Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


හුඟක් අය එක එක ගොං පාට් වලින් වීරයෝ වෙද්දි (කකුල්වලින් කාර් එළවීම, කටින් පොල් ලෙලි ගැහීම, ජෙනරාල්ලාගෙ හෙම්බිරිස්සාව ගැන වද වීම ආදී වශයෙන්), සාමාන්‍යයෙන් මාකට් නැති වැඩක් වෙච්ච 'ලිවීම' හන්දා වීරයෙක් වුන අපේ මිත්‍රයෙක් ගැන සුබ ආරංචියක් මේ.

වීරයාගෙ නම වීරයාම තමා. ප්‍රසාද් වීරසේකර. ආරංචිය තමා 2009 යූත් ෆෙස්ටිවල් එකේදී වීරයාගේ ''පාර අමදින්නී'' හොඳම ගීත රචනාව විදිහට සම්මානයට පාත්‍ර වීම. ප්‍රසාද්ට මේ සම්මානය ඉදිරි වැඩ කටයුතු වලට දිරියෙන් මුහුණ දෙන්න ශක්තියක් වේවායි පතන ගමන්ම, 'අපෙන් එකෙකි මේ මිනිසා' කියලා සතුටු වෙන්න පුලූවන් විදිහේ නිමිත්තක් හදලා දුන්න එකට ස්තූතිවන්ත වෙනවා.

උඹට සුභ පැතුම්!



"පාර අමදින්නී"

කුණු කාණු මඩ වතුර
පිරිත් පැන් කර ගන්න
ගඳ ගහන විසාලා නගරයේ
කවමදාවත් හිතට
ජීවිතේ වැසි නොලද
සැඩොල් කුලයේ උපන් නංගියේ

දිවා රෑ පුරාවට
රජුන් යනෙනා මගට
සුදු සේල ඇතිරුවත් හන්දියේ
උඹේ හිත අමදින්න
කෙනෙක් තවමත් නොලද
මහ පාර අතුගාන නංගියේ

උඹ වගේ හැමදාම
කළුවරේ ඉකිබින්ද
සෝපාකලා උඹේ පන්තියේ
මහා කරුණා ඇසට
උඹව නොපෙනී ගියද
බුදුන් වැඩ ඉන්නවා පන්සලේ

[යෞවන සම්මාන උළෙල 2009 ගීත රචනා දීප ව්‍යාප්ත ප්‍රථම ස්ථානය - "පාර අමදින්නී" ප්‍රසාද් වීරසේකර ]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



ඇල කණ්ඩියේ වාඩි වී
පා ඔබා දිය කඳ තුළ බලා සිටියෙමි,
ඔහේ ගලනා යෝධ ඇළ දෙස,
ළමා කල මතකයේ පෙණ කැටිති පාව එන.

වතුර බසිනා තැන ‍පෙනී නොපෙනී සරන,
ගොම්මනේ ගීතය ගයන,
හොල්මන් කුරුල්ලෙකු පැමිණ,
තුඩගින් ගෙනා රාත්‍රිය
යෝධ ඇළ කුඹුක් අතුපතර දවටා
සට සට හඬින්
තටු සලා ඉගිළ යයි.

ඇල කණ්ඩියේ ගව මංකඩක
සිය දහස් ගව කුර සටහනින් මැකී ගිය
එගොඩ වූ බව මිස යළි මෙගොඩ වූ ලකුණු නැති
ළමා පා සටහනකි, දසක ගණනක් පැරණි.

නෑ සියන් කිසිවෙකුත් නැති
ගොපළු කොළුවෙක් මගෑරුණු ගවයෙකු සොයා,
රෑට දෙන රොටී පළුවද දඬුවම විසින් අහිමිව,
රැය පුරා බඩ වැටි අතර සැරි සරා
බිඳී ගිය බැරෑඬි හඬකින් ගවයන්ට අඬ ගසන හඬ
ඇල එගොඩ දුර සිට යම්තමින් තාමත් ඇසෙයි.

නොගිලී සිටිනු වස් අත්පා ගසන විට
ජලතලය කැළඹෙන හඬ,
මෙගොඩ වූ යමෙකු හතිලමින්
තෙත බරිත රෙදි කඩක් ගසා දමනා හඬ,
කෙවිටෙන් පඳුරකට ගසමින් ළඟ ළඟම පිය මනින හඬ,
නමින්වත් නොදැන හුන් අම්මෙකුට අප්පෙකුට
දුක කියා තනිව ඉකිබිඳි ඒ ළමා කට හඬ,
නෑසු කන්ව නිදි ගත් මගේ සුන්දර ගම්දොර
එදා මෙන් තාමත් නිදයි, සඳ රාත්‍රිය මළවුන්ට වෙන් කර.

ට්‍රැක් දාසයේ සියඹලා ගස යට
ගොඩ දමා තිබිණි මැස්සක් මත
ඒ අනත් දරු මළ කඳ.
කිසිදා නොපිරි කුස, සුසුම් සිර වූ පෙණහළු
යෝධ ඇල වතුරෙන්, රොන් මඩින් පිරී තිබුණෙන්
ගිලී මිය යාමක් ලෙස තීන්දුව පළවිය.

රැස්ව හුන් සියල්ලන් විසිර ගිය පසු,
ඉතුරු වූ එකා දෙන්නා එක්ව,
කුඹුරු යායට ඉහළ රිසිවේසන් කෑල්ලේ වළ දමන්නට
ඔබේ මල කඳ රැගෙන යන විට පසුපස ගෑටුවෙමි,
හඬන්නට කිසිවෙකුත් නොසිටිය අවමගුල් පෙරහැරක.

පාසල් යනෙන මග ගඩාගෙඩි ඇදිහැස විස්කෝතු
හුවමාරු වුන සුපුරුදු සියඹලා ගස යට
ගවරැලද පිරිවරා සිනහ සී අත වනන
ඔබේ රුව දකිනු වස් මොහොතකට අමතකව,
නතර වී බලන කල,
ඒ ගසේ අත්තක, දිරා යන ඔබේ වැරහැලි කමිසය
එකම එක සුදු කොඩිය වී ඔබෙ මළ ගමට එසැවුණු,
රැඳී තිබෙනායුරු දුටුවෙමි, බොහෝ කල් යන තෙක්.

යෝධ ඇල නගන මේ රැළි
සඳ රැයෙක ඔබ දියෙන් මතු වී ඉඳ හිට
කිසිවෙකු දකින්නට පෙර
යළි කිමිදෙනා විට මතුවන කැළැඹුමය.
ඈත සිට විත් පහලටම පාව යන මේ පෙණ ‍පිඬු
යෝධ ඇල පත්ලේ රොන් මඩ අතර සැඟවුණු,
තාමත් බුබුලු ලා මතුවන ඔබේ අවසන් හුස්‍මය.

2010 මාර්තු

අජිත් සී හේරත්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


පැබ්ලෝ පිකාසෝ (1881-1973)

කලාව අපට සත්‍යය වටහා ගැනීමට මඟ පෙන්වන බොරුවකි.

නරක චිත්‍ර ශිල්පීන් කොපි කරති. හොඳ චිත්‍ර ශිල්පීන් සොරකම් කරති.

මම ද්‍රව්‍ය දකින අයුරින් නොව ඒ ගැන සිතන අයුරින් ඒවා අඳිමි.

මට රෆායෙල් මෙන් සිතුවම් ඇඳීමට වසර හතරක් ගතවිය. නමුත් ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක්ම ගතවිය.

සිතුවම් ඇඳීම අන්ධයෙකුගේ වෘත්තීයයි. ඔහු අඳින්නේ ඔහු දකින දෙය නොව ඔහුට හැඟෙන දෙයයි. ඔහු දුටු දෙය කුමක්දැයි ඔහුටම පවසන දෙයයි.

ඇතැම් චිත්‍ර ශිල්පීහු ඉර කහ පැහැති ලපයක් බවට පත් කරති. අනෙක් අය කහ පැහැති ලපයක් ඉර බවට පත් කරති.


වර්ෂ 1881 ඔක්තෝබර් 25 වනදින ස්පාඤ්ඤයේ උපන් පැබ්ලෝ පිකාසෝ උත්පත්තියෙන්ම චිත්‍ර කලාව හා සබැඳි දිවියක් ලද්දෙකි. ඔහුගේ පියා සිත්තරෙක් වූ අතර චිත්‍ර කලා ගුරුවරයෙකු ලෙස ද සේවය කලේය. පිකාසෝ කුඩා කල පටන්ම චිත්‍ර ඇඳීමට මහත් ඇල්මක් සහ දක්ෂ කමක් දැක්වීය. වයස අවුරුදු හතේ දී ඔහු සිය පියාගෙන් චිත්‍ර ඇඳීම පිළිබඳව මුල් පාඩම් ඉගෙන ගත්තේය. පිකාසෝගේ පියා සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පියෙක් වූ අතර උසස් මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වීමට නම් ශාස්ත්‍රාලීය පුහුණුව, සජීවී මිනිස් රූප සහ ද්‍රව්‍ය ඇඳීමේ ක්‍රමානුකූල පුහුණුවක් ලැබිය යුතු බව විශ්වාස කල අයෙකු විය. දිනක් පියා විසින් අඩක් නිම කරන ලද පරෙවියෙකුගේ චිත්‍රයක් කුඩා පිකාසෝ විසින් නිම කරන ලදී. තම කුඩා පූත්‍රයා තමාවද අභිබවා ගොස් ඇති බව පිකාසෝගේ පියා තේරුම් ගත්තේය. වර්ෂ 1895 දී පිකාසෝගේ සත් හැවිරිදි බාල නැගණිය ඩිප්තීරියාවෙන් මියගියාය. මෙය කුඩා පිකාසෝ ගේ හද මහත් සේ සසල කල සිදුවීමක් විය.

ඉන්පසු ඔවුහු බාසිලෝනා නගරයට පැමිණියහ. පිකාසෝගේ පියා සිය පුත්‍රයාව එහි ලලිත කලා විද්‍යායතනයට යැවීමට කටයුතු සැලසුම් කලේය. එහි උසස් පාඨමාලාව සඳහා ඇතුලත් වීමට සමත් වියයුතු විභාගය සඳහා සාමාන්‍ය සිසුවෙකුට මාසයක පමණ කාලයක් ගතවුවද පිකාසෝට ඒ සඳහා ගතවුයේ සතියක පමණ කාලයකි. වයස අවුරුදු 13 ක් වන පිකාසෝ එම පාසලට ඇතුළත් විය. පිකාසෝ ගේ පියා නිවස අසල කුඩා කාමරයක් කුළියට ගෙන දී පිකාසෝ ව එහි නතර කරවා තනිවම සිය කටයුතු කරගෙන යාමට ඉඩ සලසා දුන්නේය. නමුත් ඔහු සිය පුත්‍රයාගේ කලා කටයුතු වල වර්ධනය ගැන අවධානයකින් පසුවිය.පිකාසෝ වයස අවුරුදු 17 දී එනම් 1897 දී මැඩ්‍රිඩ්ස් හි ශාන්ත ෆ’නැන්ඩො රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. එය එරට තිබුණු ප්‍රධානතම කලා අධ්‍යාපන ආයතනය විය. නමුත් පිකාසෝ සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවට එතරම් කැමැත්තක් නොදැක්වීය.

මැඩ්‍රිඩ් වල අධ්‍යාපනයෙන් පසුව පිකාසෝ 1900 දී පැරිසියට පැමිණියේය. එහිදී ඔහුට මාධ්‍යවේදියෙකු මෙන්ම කවියෙකුද වූ මැක්ස් ජේකොබ් ව මුණගැසුනි. ඔහු පිකාසෝට භාෂාව මෙන්ම සාහිත්‍ය ද ඉගැන්වීය. ඔවුහු එකම කාමරයක නවාතැන් ගත්හ. ඔවුහු ඉතා දැඩි මුදල් අසීරුතා මැද දිවි ගෙවූහ. ජේකොබ් රාත්‍රීකාලයේ නිදා ගත් අතර දිවා කල වැඩ කලේය. පිකාසෝ දිවා කල නිදා ගත් අතර රාත්‍රී කාලයේ සිය චිත්‍ර ඇඳීම් කරගෙන ගියේය. ඇතැම් විට සීත කාල වලදී සිය කුඩා කුටිය උණුසුම් කර ගැනීමට පිකාසෝ තමා විසින්ම ඇඳි සිතුවම් පවා ගිණි ලෑවේය.

පළමුවන සහ දෙවන ලෝක යුද්ධය මෙන්ම ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ද පිකාසෝ ගේ කාලයේ ඇති වුවද ඔහු කිසිම රටක් වෙනුවෙන් යුධ වැදීමට නොගියේය. මෙනිසාම ඇතැම් විටෙක ඔහු බියගුල්ලෙකු ලෙස හැඳින්වීය. ඔහුගේ යුධ විරෝධී ආකල්ප මෙන්ම ෆැසිස්ට් වාදයට ඇති පිළිකුලද ඔහුගේ කලා කෘති වලින් එළි දැක්වීය. 1944 දී පිකාසෝ ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයට බැඳුනේය. නමුත් ඔහු විසින් ඇඳි ස්ටාලින්ගේ සිතුවමක් අරභයා පක්ෂය තුළ වූ විවේචනය නිසා ඔහුගේ කොමියුනිස්ට් දේශපාලන අදහස් තරමක් හීන විය. නමුත් ඔහුගේ ජීවිත කාලය පුරාවටම එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කලේය. කොරියානු යුද්ධය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමෙරිකාව සිදුකල මැදිහත්වීම පිකාසෝ තරයේ හෙළා දැක්කේය. ඔහු එය සිය "කොරියාවේ සමූල ඝාතනය" (Massacre in Korea) නම් සිතුවමෙන් විදහා දැක්වීය. 1962 දී ඔහුට ජාත්‍යන්තර ලෙනින් සාම ත්‍යාගය ලැබුනේය.

පිකාසෝ ගේ චිත්‍ර කලා දිවිය මූලික වශයෙන් යුග කිහිපයකට බෙදිය හැකිය. මෙයින් 1901-1904 දක්වා යුගය හැඳින්වෙන්නේ "නිල් යුගය" නමිනි. මෙකල ඔහු විසින් ඇඳි සිතුවම් වල බහුලව දක්නට ලැබුනේ නිල් පැහැයයි. 1904-1906 කාලය ඔහුගේ "රෝස යුගය " නමින් හැඳින්වෙයි. මෘදු උණුසුම් වර්ණ සහ රෝස පැහැයේ විවිධ යෙදීම් ඔහුගේ සිතුවම් වල බහුල විය. ඉන්පසු පිකාසෝ ගේ අවධානය යොමුවන්නේ අප්‍රිකානු චිත්‍ර හා මූර්ති කලාව වෙතය. ඉන් ඔහු ලබන ආභාෂය පසු කලෙක ඔහු විසින් නිර්මාණය කරනලද "ඝණක වාදය" ( Cubism) ට අඩිතාලම දමනු ලැබීය. "ජොර්ජස් බ්‍රැකේ" නම් චිත්‍ර ශිල්පියා සමග එක්ව පිකාසෝ විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍ර සම්ප්‍රදාය සෘජු රේඛා සහ ජ්‍යාමිතික හැඩතල බහුලව යොදා ගත්තකි. පිකාසෝ ගේ අද්විතීය නිර්මාණයක් වන "ගුවර්ණිකා" නම් සිතුවම මෙම සම්ප්‍රදායේ චිත්‍රයකි.

ලෝ පුරා කලා රසිකයන්ගේත් විචාරකයන්ගේත් පැසසුමට ලක්වුනු බොහෝ සිතුවම් පිකාසෝ අතින් නිමවුනද ඒ සියල්ල අතර වඩාත්ම ඇගයීමට ලක්වන සිතුවම මෙම "ගුවර්ණිකා" නම් සිතුවමයි. උතුරු ස්පාඥ්ඥයේ ඉපැරණි නුවරක් වූ ගුවර්ණිකා කේන්ද්‍ර කරගෙන ස්පාඤ්ඤ සිවිල් යුධ සමයේදී නව මාසයක්ම දරුණු යුද්ධයක් විය. එහි සිදුවුන විනාශය පිකාසෝ විසින් මෙම සිතුවමෙන් එළිදැක්වීය.

ලොව පුරා චිත්‍ර ශිල්පීන් දහස් ගණනක් බිහිවුනද මිහි මත සදාකල් පවත්නා වූ නිර්මාණයන් ඉතිරිකර යන්නේ ඉන් අතලොස්සකි. සිය ජීවිතයම දියකර කලාව තුළ තමන්ගේම ආත්ම ගවේෂණයේ යෙදුනු මේ ශ්‍රේෂ්ඨ සිත්තරා 1973 අප්‍රේල් 8 වන දින මෙලොවින් සමුගත්තේය.

අනුෂ්ක තිලකරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



1.ජීවත්ව සිටියා මෙහි
මහපොළොව වත් නොදන්නා තාලයට
මිනිසෙක්
ගුරු පාරෙන් නිවසට
නිවසින් ගුරු පාරට
ඉන් පිටත තණකොල ගසක් වත්
නො පෑගුණු විලස
ජීවත්වීය මිනිසෙක් මෙහි

2."බෑරක්ද මේ" අසන අයටත්
"අංකල් කොහේටද" අසන අයටත්
වීය එකම පිළිතුරක්
ඔහුගේ මුවෙහි

3.ඈත තැනක කඩයක
කරදී සුලු සුලු වැඩපල
දිවි ගෙවීය ඉන් ඔහු
මහ පොළොවටවත් නොදැනෙන විලස

4.කලක් ගතවූ තැන
අමුත්තෙකු පැමිණ ගමට
විමසයි තතු ඔහු ගැන
මග හමුවන අයගෙන්

5."දින කිහිපයක පටන්
පැමිණියේ නෑ කඩයට
වෙනදානම් එලෙස නෑවිත්
මග ඇරියෙ නෑ නොකියාම"

6."හැබෑමයි අපිත් දැක්කෙනෑ හුඟ දවසකින්
දොර ජනෙල් වසා තිබුනා දින කිහිපයක් “
ගම්මුද රැස්ව තැන තැන
කරති කසු කුසු කුහුළින

7.දැන් කුමක් කරමුද අපි
කුමක් වීද මොහුට
විපතක් වත් දැයි ගේ තුළ
හැර බලමු දොරවල්අපි

8.රාළහාමිද පැමිණ
එකතු කරගෙන මිනිසුන්
හැර බැලීය දොරවල්
සොයන්නට මොහු ගැන

9.ගෙය පාලුවට ගොස්ය
බැඳී මකුලු දැල් දුඹුලු
විදුලිය නැති නිවස
පිරික්සති විදුලි එළියෙන්

10.නැත කිසි සළකුණක්
ඇඳුම් වැරහැලි සහ
පිඟානක් මැටි කෝප්පයක් හැර
කසිකබල් මේස පොඩ්ඩක් මත
මොනවදෝ පොත් කිහිපයක්

11.සොයන්නට අන්තැනක් නැතිකල
පැමිණියා කෙනෙක් මේසය වෙත
එමත වූ ලියුමක් රැගෙන කියවීය
ලබන්නට හෝඩුවාවක්

12.මිතුරනි යැයි අමතා
පටන් ගෙන ඇත ලියුම
"මීටත් වඩා නිදහසක් සොයා පියනඟමි ඈතට"
එවැකි පමණක් වීය ලියුමෙහි

13.කවුද මොහු..කොහේ ගියේද
කාටත් නොදන්වා
එ පැන සහිතව
කියවති මේසය මත වූ
පැරණි කොපි පොත්

14."ඒයි මේ බලපන්...
මේ මිනිහගේ කවිද?"
පොත පිරෙන්නට පිටු පිරෙන්නට
අමුණා ඇත අකුරු කැට

15.මග තොට මුණ ගැසුන මිනිසුන්
උන් ගේ වැහැරුන ජීවිත
නෙතග රැඳි කඳුලු කැට
පණ පෙවී ඇත එ කවි තුළ

16.යුධ බියෙන් ඇළලුන ජීවිත
උන් දකින බියකරු සිහින
නිදි නොමැති දිගු රාත්‍රීන්
කැටි ගැසී ඇත එ කවි තුළ

17.මහ මඟට වැටුනු දරුවෝ
මහ මඟම ජනිත දරුවෝ
ගං දියට වැටුනු දරුවෝ
හඬන හඬ ඇසේ එ කවි තුළ

18.බොහෝ කලකට පෙර
දලු ලා වැඩුණු ප්‍රේමයක්
දුක් බරව බිඳෙනයුරු
ගැයේ ඒ කවි තුළ

19.කවිරස හඳුනන අය
බෙදාගෙන එ පොත් ටික
කියවමින් විඳිති කවිරස
නොවිඳි ලෙස අන් තැනක

20.වීය අප අතර මෙවන් මිනිසෙක්
අපද නොදැනුවත්වම
ඉටු කරමු අපි ඔහුට යුතුකම්
පළ කරමු මේ පොත් ටික

21ගෙන සිතට වීරිය
ලැබී අත හිත අවැසි ලෙස
පළ කලෝය ඔවුහු මේ
අතුරුදන් කවියාගේ කවි පද

22. ලැබ මහත් ප්‍රසිද්ධිය
පළවීය පොත් පෙල
බොහො බොහෝ දනන් ඉක්බිති
සොයා එති මෙ කවි ගෙ ගම

23.අතුරුදන් කවියාගෙ ගම යැයි
ලැබ මහත් හර සර
ගමද විය දියුණු ඉක්බිති
ඉදිවී මහා මාර්ගද

24.ඉදිවිය පිළිමයක්
අතුරුදන් කවියා නමින්
ලැබ මල් මාල හර සර
මැති ඇමති ලොකු උන් අතින්

25.මුලදි එය වසරක් පාසා
පසුව දෙවසරක් තෙවසරක් ඉන්පසු
ලැබුනු විට ඉඩකඩක් පහසුවක්
ලැබීය පිළිමය හරසර

26.පිළිමය දැන් සිටියි
තවරාගෙන දිය සෙවල
නගරාරක්ෂක බලු කැල
ලගිති පහසුව පිළිම පාමුල

27.ජීවත්ව සිටියා මෙහි
මහ පොළොව වත් නොදන්නා තාලයට මිනිසෙක්
සෙවල බැඳි පිළිමයක් ද
දියවූ මතකයක්ද ඉතිරිකර
අතුරුදන් වී බොහෝ කල්
එනමුත් සැබැවින්ම
සිටියා ඔහු ජීවත්ව මෙහි

අනුෂ්ක තිලකරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විදුදය පුනරුත්ථාපන කඳවුර
දෙසැ. 14 වෙනිදා

අක්කේ,

දැන් බලපුවාම මුං ඔක්ක්කොම මෝඩ තකතීරුවෝ. බූරුවොයි මුං අතරයි තියෙන්නේ ශාරීරික වෙනස්කමක් විතරයි. මාක්ස් එංගල්ස් කියන්නේ එක් කෙනෙක් නෙමෙයි දෙදෙනෙක් කියලා මුං සමහරු දැන ගත්තේ මෙතන දී. එක අතකට දැන් මේවා තේරුම් බේරුම් කරගෙන ප්‍රයෝජනයක් නෑ. ගාමිණී උපාලි ගැන මං මීට කලින් ලියුමක අක්කාට ලියා එව්වා මතකද? මේ කඳවුරේ සිටින බෝම්බ විශේෂඥයා ගාමිණී උපාලි. මිනිහට ඉත්තෑපානේ ආයුධ කම්හලක් තිබුණා. මම හිතාගෙන හිටියේ ඌ රයිපල් කඳකිනුයි, දුනුමුරිච්චිවලිනුයි, වෙඩිබෙහෙත්වලිනුයි හදාපු ආයුධයක් කියලා. ඇඟේපතේ හැටි සොබාවත් එහෙමයි. ගහක් ගලක් වගේ. මූණේ හැඟීම් පොදක් නෑ. හිනාවෙන්න අඬන්න දන්නෙ නැති වැද්දෙක් වගේ. කා එක්ක වුනත් වැඩි කතාවක් නෑ. හරියට අප්‍රියෙල් කැරැල්ල වෙනුවෙන් මෙලොව උපන් එකෙක් වගේ ජීවත් වුණා. රෑට ඔළුවෙ හිටන් සරම පොරවාගෙන ටික වෙලාවක් ඇන තියාගෙන වගේ ඉඳලා නින්දට යනවා. දවසක් ඔහොම වාඩි වෙලා ඉද්දි කවුදෝ එකෙක් දැලක් උස්සනවා වගේ සරම සරම ඔළුවෙන් ගැලෙව්වා. ගාමිණී උපාලියා මෙතෙක් කාලයක් කරලා තියෙන්නේ අපූරු වැඩක්, දෝත් මුදුන් තියාගෙන බුදුන් වඳිනවා. ඒ යකඩ ශරීරය තුළ දෙවියන් බුදුන් වඳින උපාසකයෙක් ජීවත් වුණ බව හිතාගන්න අමාරුයි.......

(හැත්තෑ එක කැරැල්ලට සම්බන්ධ වීමෙන් සිරගතව සිටි කුලසිරි, නීටක්කාට යවන ලද ලිපියකින්.)
(බගන්දරා)

එරික් ඉලයප්ආරච්චි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සරසුලක ආත්මය [ලොකු ]

Posted by ඩෝසන් 3.27.2010


සරසුලක ආත්මය

නිය පිටින් ගැහුවත් හෙමින්
වැර දමා හැප්පුවත් මේසයක
එකම එක සරයක්
හැමවිටම
එකම එක
සරයක්
මුමුණාය සරසුල

තලා යකුලෙන්
මිරිකා යකඩ අඬුවකින්
අඹරවා හකුළුවා
වකුටු කර අත්
බොල් කලත් කටහඬ
උගුළුවා හදවත
නොහඬා ගතම දෙදරා
සිටින අත් හකුලා
වකුටු වී ඇඹරුණු
සරසුලක ආත්මය
ගැහෙන්නේ සදාකල්
එකම එක
ස්වරයකින්මය.

ලොකු
03/2010

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


ආත්ම වංචාව

ඊයේ
ඔබ මම පෙමින් වෙලී නොසිටියෙමු
පෙම් බස් නොදෙඩුවෙමු..
පෙම් කවි නොලීවෙමු..
පෙම් ගී නොගැයුවෙමු..
අනාගත සුව සිහින නොදැක්කෙමු..

ඊයේ
අපි මුණ නොගැසුණෙමු...
දෑත් පටලා නොගත්තෙමු..
ආදරයෙන් වැළඳනොගත්තෙමු..
සුසුමක උණුසුම..
විඳ නොගත්තෙමු..

ඊයේ
මා දුටු එකම සඳ
ඔබ නොදුටුවහ..
මා විඳි මදනල පහස..
ඔබ නොවින්දහ..

ඊයේ
ඔබ කියා කෙනෙක් නොසිටියහ..
මා පමණක්ම සිටින්නට ඇත ..
අදත් එසේමය..
මම පමණක්ම
පය ගසා ගන්නට තැනක් නැති
හිස් අවකාශයේ
පෘථීවියක්ද විශ්වයක්ද
පදාර්ථයක් ද
ශක්තියක් ද
සිතුවිල්ලක් ද
හැඟීමක් ද
මේ කිසිත් නැති
හිස් අවකාශයේ
ඔහේ රැඳී සිටින්නෙමි..

ඊයේ
හිරු පෑයුවේ නැත ..
සඳ හා තරු ද නොවීය..
වෙනෙකක් තබා
ඊයේ කියා දවසක් ද නොවීය..


සියල්ල හිස් ය..


ජගත් ජේ එදිරිසිංහ
2010 මාර්තු 27

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


කාලෙකට ඉස්සර
මගේ මේ දෝතින් ම
මගෙ පුංචි කුටිය වෙත
සීරුවට වැඩම වූ
රෝස මල් කැකුළ නුඹ

ගණන් පොත් පිටු අතර
සිත අතරමං වෙද්දි
නෙතු පියන් පත් අසල
නිදිමතක් ඉකිලද්දි
ජීවිතය යනු කිමැ’යි
විසඳන්න වෙර දැරූ
එක් නිහඬ රාත්‍රියක

හර්මිෂියන් සිද්ධාන්තය
තාත්වික අතාත්වික
සංඛ්‍යා ප්‍රතිබද්ධ
න්‍යාස සහ සංයුක්ත
යනාදී කී නොකී
වචන වල පැටලෙමින්
පෑන් තුඩ හැඬවුනා
කුරුටු ගී ලියැවුනා
නුඹත් ළඟ දැවටුනා

මුදු සුවඳ විහිදමින්…..
ජීවිතය විමසමින්……

කාලයේ අව පැහැය
පෙති පුරා විසිරුණත්
හිත පුරා ඉහිරිච්ච
සුමුදු සුවඳක මතක
ඉතිරිලා ගලා යයි
එදා වාගෙම අදත්

ජීවිතය යනු කිමැ’යි
කියා දෙනු නොහැකි මුත්
ජීවිතේ තවත් දුර
යා යුතුය මා ඉතින්

නිතර පිටු නොපෙරළෙන
මේ මහා බර පොතේ
පිටු අතර සැඟවිලා
හිනැහියන් නුඹ නිතින්


මානෙල් විද්‍යාරත්න
03/2010

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



ඔලිම්පස් කන්ද නොපෙනී ගිය රැයක
හඳට නිදිමත වුණ අහසේ
ඉටි පහනක් පත්තු කරන්
මං වලාකුළක ඉඳගෙන හිටියා

වැහි කුණාටු ආවෙ නෑ
කෑලි කපන්න තරම් අඳුරක් තිබුණෙත් නෑ
ඒ වුණාට,
ගින්දර අරන් ප්‍රොමිතියස් ආවෙත් නෑ

මං සීතලේ ගැහුණා
ඔබ උස හෙළක රැඳුණා
තරු කැට බිමට වැටුණා
දුක හිතී,
මැරුණු හිරු ඇස් පවා ඇඬුවා...
ඒත් ඔබ නැවතුණේ නෑ
තරු කැට දිහා නොබලා
රළු බොරළු කැට ඇහිඳන්
යන්න ගොස් තිබුණා

ඔබේ මුවහත් වචන උල්කා
මගෙ වලාකුළ ඉරුවා
ළය පැලී කිරි සයුර මැරුණා
වැහි ළිහිණියන්, රාජාලියන්, බත් කූරන්
බිම් මල් වඩම් අරගෙන

මළ ගෙදර ඇවිත් හිටියා
ඒත් ඔබ,
තරු කැට දිහා නොබලා
යන්න ගොස් තිබුණා

වැහි කුණාටු ආවෙ නෑ
කෑලි කපන්න තරම් අඳුරක් තිබුණෙත් නෑ
ඒ වුණාට,
වලාකුළු නැති අහසේ
වැළපෙන දාර්ශනිකයා, හෙරක්ලිටස් ළඟ
මං වැතිරිලා හිටියා

මම ඔබෙන් පිරුණා
මම මගෙන් මිදුණා
ඒත් මට,
ග්ලැඩියේටර් පෙම්වතිය වෙන්න බැරි වුණා

එරීනාවම පැදකුණු කොට
පළිහ අසිපත විසි කොට
හිස් අතින් ඔබ සොයා ඇවිද විත්
ඉරී ලේ ගලන - පා ඇඟිලි තුඩු වලින් ඉස්සී

අන්තිමට,
..........................

මං
ඔබව
ඉම්බා...................

ඉතිං මට,
ග්ලැඩියේටර් පෙම්වතිය වෙන්න බැරි වුණා.

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එක්තරා සිහිනයකදී
මම සිතුවමක් ඇන්දෙමි.
එහි වූයේ
ඔබ පමණය.
එහෙත් සිහිනය බිඳ වැටීමට පළමු
මට එය නිමා කර ගත නොහැකි විය.

මා අවදි වන විට
බොහෝ කලකට පෙර
ඔබ ඇඳි ළමා සිතුවමක
කුරුටු රූපයක් වී සිටියෙමි.

සිතුවමේ වූ නිවෙසේ
දොර වසා තිබුණි.
විවර වූ ජනේලය තුලින්
සියල්ලෝම ගෙතුල සිට
බලා සිටියහ.
එහෙත් ඔබ එහි නොවීය.

ඔබගේ මල් පාත්තිවල
මල් පිපී තිබිණ.
දෑත්දෙපා ඇඟටම ඇලූණ
ඔබේ එකම එක බෝනික්කා
ඒ අසල විය.
එහෙත් ඔබ එහි නොවීය.

නිල්පාට දිය ගැලූ
රන්පාට මසුන් පිහිනූ
ගංඉවුර දිගේ ඔබ
ඈත කඳු වැටි දෙසට
නික්ම ගිය බවට සළකුණු තිබිණි.
එහෙත් ඔබ එහි නොවීය.

කඳු වැටියට එහා අහසේ
කහ පැහැති හිරු දිලිසිණ.
විහඟුන් වළාකුළුවලටත්
ඉහළින් පියෑඹූහ.
එහෙත් ඔබ එහි නොවීය.

ඒ ළමා සිතුවමේ සිර වී
ඔබම ඇඳි
කඳු ශිඛර තුරු වදුළු
වැව් පොකුණු මං පෙත් සිසාරා
ඔබ සොයා බොහෝ කල් ඇවිද්දෙමි.
එහෙත් ඔබ හමු නොවීය.

දිනෙක මම යළිත් අර
සිහිනයෙන් මා ඇඳි
ඔබේ රුව දුටිමි
එක්වරම
එහි රාමු ශේෂ වෙද්දී
කැන්වසය ගිනිගෙන
අතුරුදන් විය.
ඔබ ගිනිදැල් අතරින්
බලා හිටියාය.

ඉනික්බිතිව ඔවුහු පැමිණ
රාමුවෙන්
හිස පොවා බලන විට
ඔබත් මාත් හැරෙන්නට
අන් සියල්ලන්
ජීවතුන් අතර විය.

[හිරු-නිම්තෙර- 2002 ජනවාරී]
අජිත් සී හේරත්


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලංකාවේ ටෙලිනාට්‍ය ජෝකර් කෙනෙක් වන බුද්ධික රඹුක්වැල්ල පහුගියදා ලෝකවාර්තාවකට අතගසා ඇත. ඒ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා අත භාවිතා නොකර පාදයෙන් පමණක් මෝටර් රථයක් පැදවීමයි. මෙයට පූර්ණ දායකත්වය දැක්වූයේ "තාරුණ්‍යයට හෙටක්" සංවිධානයයි. ජනතා කැමැත්ත ඇතිව ‍හෝ නැතිව ලංකාවේ තරුණයින්ගේ අනාගතය තීරණය කිරීමේ පේටන්ට් අයිතිය ‍හිමි "තාරුණ්‍යයට හෙටක්" සංවිධානය තමන්ගේ පිහිණුම් තටාක ඉදිකිරීම, මෝටර් කාර් රේස්, අශ්ව රේස් වැනි සිය ව්‍යාපෘති‍ පෙලේ මීළඟ පියවර ලෙස ගිනස් පොතට නම යැවීම වෙනුවෙන් මෙම නවමු කටයුත්ත සිදුකරයි.

පසුපසට මොටර් රථ පැදවීම, කකුල් දෙකෙන් මොටර් රථ පැදවීම වැනි ‍වෙන වැඩක් නැතිකමට ලෝක වාර්තා පිහිටුවීමට බුද්ධික රඹුක්වැල්ල දරණ උත්සාහය ගැන අපට පුදුමයක් නැත. එහෙත් මෙවැනි මෙලෝ රහක් නැති වැඩකටයුතු ජාතික තලයේ ක්‍රියාකාරකම් ලෙස පුම්බාලීමට දරන්නාවූ දේ පිටුපස ඇති දේශපාලනය ගැන අප සැලකිලිමත් විය යුතුය.

කන්න දෙන්න යමක් නැති කමට දරුවෙකු ඟඟට විසිකිරීම ජාතික රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනිය වැනි ජාතික මාධ්‍යයක ප්‍රවෘත්තියක් නොවන්නෙත්, පසුපසට මොටර් රථ පැදවීම ජාතික කර්තව්‍යයක් ලෙස හුවා දැක්වීමෙත් සැඟවුණු දේශපාලනය තේරුම් ගත යුතුය.

තෙවන ලෝකයේ රටවලින් සූරාකන ධනයෙන් වැජඹෙමින්, තමන්ගේ ධනස්කන්ධයට කරන්නට දෙයක් නොමැති මිනිසුන් බහුල ඇමරිකාවේ හෝ ස්කැන්ඩිනේරියානු රටවලින් මේ ආකාරයේ පිස්සු ලෝක වාර්තා ගැන අප අසා ඇත. වැඩිම ආහාර ප්‍රමාණයක් ගිලදැමීම, ලොකුම බඩ, මීට උදාහරණය.

එක්පසෙකින් රජරට ගොවියන් තමන්ගේ වී විකුණාගැනීමේ ගැටළුවලට මුහුණදෙද්දී, අනෙක් පසට කඩවල් වල සහල් මිල ගිනි ගණන් යෑමේ පරස්පරය ගැන මිනිස්සු හිතාබැලීම නවත්වන්නට නම් මෙවැනි උපක්‍රම අත්‍යාවශ්‍යය. සිය වැටුප් වැඩි නොවීමත්, බඩු මිල අහස උසට ඉහළ යද්දී සාමාන්‍ය මිනිස්සු කන්න නැතිව දුක්විඳිත්දී ලංකාවේ භාවිතා වන සුඛෝපභෝගී වාහන සංඛ්‍යාව සැළකියයුතු ලෙස ඉහළ යෑම පිළිබඳව ජනතාවගෙන් සඟවා තැබීමට උපක්‍රම අවශ්‍යය. මනාප පොරයට එළි බැස ඇති දේශපාලකයින්ට කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් ලැබෙන්නේ කෙසේද යන ප්‍රශ්ණය ජනතාවගේ මනසට නොනැඟිය යුතුය.

දැනටමත් ලංකාවේ මිනිසුන්ගෙන් සැළකිය යුතු පිරිසක් ආහාරයට ගනු ලබන්නේ දිනකට ආහාර වේල් දෙකක් පමණි. නව නිර්මාණ, නිෂ්පාදන ගැන නිකමට වත් නොහිතන විට කලාතුරකින් හෝ නව නිපැයුමක් එළියට ආවොත් ඒවා යටපත් කිරීමට පරාස්සයින් රැසක් මඟබලා සිටිති. එහෙව් එකේ බුද්ධික රඹුක්වැල්ල මෙන් ආතල් ‍ලෝක වාර්තා තබා පසෙකට වීම ඇඟට ගුණය.

සජින් වාස් ගුණවර්ධන අභ්‍යන්තර ගුවන් සේවයක් අරඹන විට, ලංකාවේ ඇස්ටන් මාටින් කාර් හිමිකරුවන්ගේ සංගමයක් ද නුදුරේම ඇතිවිය හැක! එවිට ලංකාවේ තවත් ලෝකවාර්තාවක් ලෙස පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කෙසේවෙතත් මුහුදට පැනීම සඳහා පුකෙන් රූටාගෙන යාමට ලාංකේය ජහමනතාවට සිදු වන දිනය වැඩි ඈතක නොවනු ඇත!

දොන් ජුවන් එදිරිල්ලේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ටයි පටියකින් ගෙල වැලලාගෙන මිය ගිය පාසල් සිසුවිය පිළිබඳ එක්තරා සති අන්ත පුවත්පතක ලියවී තිබුන ‘අපිට පුතේ මගක් නැතේ. නමින් තිබූ කතු වැකියක් මට මතක් වූයේ කළුතර බබා ගේ සිදුවීම කන වැකීමත් සමගය. (අමිල සඳරුවන් කාටත් බබා වූ නිසා මාද ඒ ලෙස හඳුන්වන්නට පෙළ ඹුනෙමි.) ළමයින් පිළිබඳ හද කකියවන ශෝචනීය සිදුවීම් වැලක් අප හෘදය ස්පර්ෂ කරන කාල පරිච්ජෙදයක් අප පසු කරමින් සිටින්නෙමු.

කළුතර බෝධිය හෝ ඒ පුදබිම පිළිබඳ බොහෝ දෙනෙකු පිළිබඳ ඇති භක්තිය ගෞරවය මම අනන්ත වාරයක් ඉන් එහා මෙහා ගමන් කරද්දී දැක ඇත්තෙමි. බෝධිය ඉදිරිපටදී කිසිදු දිනක අසුනින් නැගීමට මට සිත් නොවුවද පුදබිමක් පිළිබඳ තිඛෙන භක්තිය කළුතර බෝධිය සම්බන්ධයෙන්ද මගේ සිතේ නොතිබුනා නොවේ. බස් රියදුරන් ඇතුළු බොහෝ රියදුරන් තම වාහනයට ගෙන ඇති පූර්ණ රක්‍ෂණයට අමතරව තවත් රක්‍ෂණයක් බෝධියෙන් ලබා ගන්නා අයුරු මම දැක ඇත්තෙමි. වාහනයේ වීදුරුව පහත් කර යන ගමන් පඬුරු විසිකරන අය මෙන්ම වාහනයෙන් බැස ගෞරවාන්විතව පේවී අනතුරුව මාර්ග නීති කඩ කරමින් පාරේ යන ජීවිත පිළිබඳ කිසිදු සැලකිල්ලකින් තොරව වාහන ධාවනය කරන රියදුරන්ද මගේ ඇස්වල නලියමින් කොතෙකුත් එහේ මෙහේ යද්දී දැක ඇත්තෙමි.

කළුතර අද රටටම කළු පැල්ලමකි. ඒ මිල කළ හැකි දහසකුත් පඬුරු පාර දෙපස ඇති පිං කැටවලට වැටෙද්දී, වඩදිය බාදිය ඝට්ටනයට මැදි වී මිල කල නොහැකි අමිල නිසොල්මන්ව පාවෙන අයුරු රටටම දැක ගැනීමට හැකි වූ බැවිනි. මැතිවරණ උණුසුමත් සමගම උණුසුම් වී ඇති පරිසරය තුල කැකෑරෙමින් පවතින මාතෘකාවක් බවට අමිල සඳරුවන් අද පත් වී ඇත. එහි නියම ගෞරවය හිමි විය යුත්තේ එම අසීරු දසුන කැමරා කාචයට ගත් පුද්ගලයාටත් අනතුරුව එය උණු කැවුම් මෙන් අලෙවි කල ස්වර්ණවාහිනී ආයතනයටත්ය.

කුසගින්නේ ගිලෙමින් තිබූ ජීවිතය කළු ගං දියේ ගිල්ලවා ජීවිතයට පිළිතුරු සොයද්දී ඒ ආදරණීය අම්මාට උදව් කරමින් මරණය එනතෙක් නිසොල්මන්ව වැතිර සිටි අමිල දෙස පාලම උඩ සිටිමින් නරඹනවාට අමතරව එම දර්ශනය වීඩියෝවකට එබ්බවීමට තරම් ශක්තියක් තිබූ එම කැමරාකරුවාටත් යුද්ධයෙන් පසු නරඹන්නට හරි හමන් නිවුස් නොමැතිව නන්තාර වී සිටි ශ්‍රී ලාංකිකකයනට නැරඹීමට අඩුම තරමේ සතියකටවත් නිවුස් සැපයූ ස්වර්ණවාහිනියට ජාතියේ ගෞරවය නිසැකවම හිමිවිය යුතුය. පබා හෝ මහගෙදර බැලීමට චැනල් මාරු කිරීමට පෙර ඇඟ රත්කර ගැනීමට වගේ රටේ උණුසුම්/ආතල් නිවුස් ටික බලා ගැනීමට මිනිසුන් රැදෙන්නේ මෙවැනි නිවුස් රස කර කියන තරමට බව ඔවුන්ද හොඳාකාරවම දනී.

අමිල මහ මුහුදට පාවී පාවී යද්දී මිනිසුන් එක රොත්තට පාලම මතට වී ඒ දෙස නරඹමින් සිටියේ අනෙකුගේ ජීවිතය වෙනුවෙන් අවදානම් මරණය තෝරා ගැනීමට තරම් එඩිතර මිනිසුන් නොමැති බැවිනි. ඒ උත්තම ලොරි රියදුරා නොහිටින්න අමිල පිළිබඳ කතාව අපට ඇසෙන්නට නියමිතව තිබුනේ බොහෝ වෙනස් ආකාරයකට වන්නට ඉඩ තිබුනි.

අපේ බොහෝ දෙනා යම් යම් දේ නරඹා ආතල් ගැනීමට රුසියෝය. බෝම්බයක් පිපිරුනත්, ඇක්සිඩන්ට් එකක් උනත් ඒ දෙසට දිව යන්නේ එම සිදුවීම නැරඹීමේ උණෙනි. ඒ නිසා අද ජනමාධ්‍ය පෙන්වන්නේද එසේ බලන්නට අවැසි දේය. ධනේෂ්වරයේ තෙවන කාර්තුවේ අද සෑම පුද්ගලයෙක්ම පුවත් මවන්නෙකි. ජනමාධ්‍යකරුවෙකි. විවේචකයෙකි.

මරණය කෙතරම් සුළභ කාරනයක් වුවද එය ඉදිරිපත් කරන ආකාරය අනුව ප්‍රභේදනය කොට කෘතිම වටිනාකමක් එකතු කළ හැකිය. ඒ තරමටම අද මරණය ද ඉස්තරම් ප්‍රවෘත්තියකි. කාලකන්නි දේශපාලඥයන්ගේ වාචාල කතා ඉදිරිපත් කරනවාට අමතරව මෙවැනි විකිනෙන නිවුස් රස කර ඉදිරිපත් කිරීමට නිවේදනයට අමතරව රඟ පෑමේ කාර්යේද යෙදෙන්නන් උත්සාහ ගන්නේ මේ නිසා බැවිනි.

මාධ්‍ය ආයතනය මෙසේ විනාශ කරන රාජ්‍යයේ සංස්කෘතික කන්‍යා පටලය ආරක‍ෂා කර ගැනීම සඳහා බස් පිටින් එඩිතරව පෙරට පැමිණ මෙවැනි ආයතනවලට විරුද්ධව ගිනි දවල් ගල් ප්‍රහාර එල්ල කරන සුසිල්වතුන් ද තවමත් නැතුවා නොවේ. ඔවුන් උතුරු සළුව අතින් හදන ගමන් අනිත් අතින් ගල් ප්‍රහාර එල්ල කරන්නේ පිරිත් හඩ මධ්‍යයේය. ජාතිය උදෙසා මහගෙදර බලනවුන්ට නැවතත් සිරස ගොඩ නගන්නට අවස්ථාවක් උදා කර දී මහත්පල මහානිසංශ ලබා ගන්නේ මෙබදු සිල්වතුන්ය.

රාජ්‍ය පොදු සුබ සාධනයෙන් විතැන්ව යන මොහොතේ පරිධිය ස්පර්ශ කරන (දුක ස්පර්ශ කරන) අමිලලාගේ පවුල් කීයක් මේ මවුබිමෙන් අපට මුණ නොගැහෙන්නේ ඇයි? අමිලගේ අම්මා කළ දේ අනිත් අම්මලා නොකරන නිසාද? මට අමිල ගැන අපමණ දුකය. මට අමිලගේ අම්මා ගැන අනන්ත අප්‍රමාණ දුකය. මට රාජ්‍යය ගැන වත්මන් සම්ප්‍රදාය ගැන අනන්ත අප්‍රමාණ තරහය. මුළු රටම අමිලගේ අම්මාට විරුද්ධව දොස් පැවරුවත් මේ ගැන අති මහත් ගින්දරක් ඇත්තේ අමිලගේ අම්මාට නොවේද? දරුවන් පහක්ම ලබා දී පියා විසින් මව හැර යද්දීත් දරුවන් හදා වඩා ගත්තේ ඇයය. අද ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් දෙමව්පිය සෙනෙහස අහිමි වී ඇති මොහොතක ඉතිරි දරුවන් වටා එතෙන්නේ තාවකාලික ආදර සුළඟකි. මිනිසුන් අප සිතන තරම් ආදරණීය නොවේ. අනෙක් දරුවන්ට ලැබී ඇති සුබ සාධන තැවරුම අවුරුද්දට නෑගම් යනතුරුවත් තිබේදැයි සැකය. මේ තැවරුම මව් සෙනෙහසට අලගු තබන්නටවත් මදි බව දන්නා නමුත් ප්‍රවෘත්තියට එහි ඇති වැදගත්කමක් නැත. මානසික ආබාධ සහිත වූවන්ට පොලූ පහරදී දියේ ගිල්ලවා මරා දමනතෙක් ඔය කියන ආදරණීය ජනතාවම බලා සිටියේය. ප්‍රවෘත්තිවලින්ද නැරඹුවේය. සුනාමියෙන් ඉතිරි වූ ඔවුන්ගේ ජීවිත පවතිනවාදැයි යන්න සෙවීමට ඇසක් හැර නොබැලුවන් අද අමිලගේ මරණය වෙනුවෙන් සුදු කොඩි එල්ලන්නේ එම ආදරණීයත්වය තුරුළු කරගෙනය. ළමා ආරක‍ෂණ අධිකාරියේ අයිතිකරුවා මල ගෙදර යන්නෙත් එම ආදරණීයත්වය නිසාය. මල් මඩම්” මල් පොකුරු” කඳුළු මේ සියල්ල ඔහු වටා සිටී. අමිල ගැන මෙලෝ ලබ්බක් නොදන්නා මිනිසුන්ද ඔහුගේ අම්මාට සාප කරමින් අමිල වෙනුවෙන් කඳුළු වගුරති. සෝ සුසුම් හෙලති. ජීවත්ව සිටියදී පාන් කෑල්ලක් දීමට උත්සුක නොවූවන් සුදු කොඩි දැමීමට ලයිට් කනු බඩ ගාති. රටට එකක් ඉල්ලති.

නොදන්වාම ගිය අම්මාගේ ස්වාමි පුරුෂයාද පැමිණ සිටී. අමිලගේ නිසල දෙනට කෑ ගැසිය හැකිනම්, ඔහු මොනවා නොකියයිද? අමිලගේ අම්මාට හිමිවූ සිපිරි ගෙයත් අමිලගේ සහෝදරයන්ට හිමිවූ පරිවාසයත් අතර වෙනස හඳූනා ගන්නට මම උත්සාහ කරමි. මෙලෝ රහක් නැති රාජ්‍යයේ, විශ්ව විද්‍යාලයේත්, උසාවියෙත්, පාසලේත්, කන්තෝරුවේත්, බස් එකේත් ඒ තැන්වලත් මේ තැන්වලත් වෙනසක් දැකීමට නොහැකි වී තිඛෙන්නේ මන්දැයි මා නොදනිමි. ගැලවුම අවැසි තැන අනාරක‍ෂිත වී ඇත. මිනිසුන් විදියට ගත්තම අප ගෙවා දමමින් සිටින්නේ බොහෝ දුංඛිත ජීවිතයකි. මන්ද අප බොහෝ විට දුර්වල බැවිනි.

අමිලගේ අම්මගේ දුර්වලතාවයද හයිලයිට් වුනේ මාධ්‍ය නිසා. ඒත් හැබෑවටම මගේ හිතේ හයිලයිට් වුනේ අමිලගේ තාත්තා. පූර්ණත්වයට හෝ පූර්ණත්වය ආසන්නයටවත් නොපැමිණෙන පිරිමින්ගේ මළගම පිළිබඳ සොහොන් ලකුණක් ලෙස මෙම සිදුවීම මගේ ජීවිත පොතේ එක් පිටුවක් සටහන් කර ගත්තේ එබැවිනි.

කුමුදු ප්‍රියංකර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"මේ බලන්න
.......
මේ ඉන්නෙ අම්මා
දූල තුන්දෙනා,
පුතා
.......
එහා පැත්තේ ඉන්නා
කෙනා
අම්මම්මා
........"

"අයියෝ!
මේ බලන්න
මේ අම්මාගෙ
කකුලක් නෑ නේද?"

"හ්ම්........ ˜

"ඒ වුනාට
හැමෝම හිනාවේගෙන
ඉන්නෙ හරි සතුටින්........
මොකද ඒ"

"එහෙම තමයි
පින්තූර ගනිද්දි
ජීවත් වෙනවට
වඩා
හරි වෙනසක්
ආසයි
හැමෝමත්
මොකද ඒ
දන්නෙ නෑ
මමත් "

"එතකොට.....
මොකද මේ පොඩි එකා
අත ටිකක් හංගගෙන"

"ඒ මොකද දන්නවද
.......
කැමතිම නෑ එයා
කොට අත් කෑල්ල
පෙන්නන්න
විශේෂයෙන්
පින්තූරවලට"

"ංආ
එතකොට
අම්මගෙ දකුනු කකුල නෑ
පුතාගෙ දකුනු අත නෑ? "

"එහෙම තමයි යුද්දෙ හැටි"

"කෙල්ලො තුන්දෙනා නම්
හොඳින් ඉන්නව නේද?"

"එහෙමයි
පෙනෙන්නට
ඒ වුනාට
මේ කෙල්ල
මේ ඉන්නෙ පොඩියට
පවුලේ දෙවෙනියා
පොඩියි නේද හැමෝටම
තියෙනවලූ එයාගෙත්
ෂෙල් කෑලි මහ හුඟක්
ඔළුවෙත්
හැමතැනත්
අමාරුලූ ඒවා
ගන්න නම් එළියට"

"එතකොට ඒ ළමයගෙනුත්
නෑ වැඩක්....
කමක් නෑ
කෙල්ලො දෙන්නෙක්වත්
ඉතුරුයිනෙ හොඳින්....
ලැඛෙනවද උන්ට
අඩුගානෙ ඉගෙන ගන්නට"

"ඒවනම් කොහොමද
දන්නෙ
ඉන්නවානම් උඩ
ඒ දෙයියො විතරමයි
අපිට ඒවා
හොයන්නත් තහනම්
කියන්නත් තහනම්
හෙව්වාද
කිව්වාද
කියලත්
ඇතිවේද
ඵලයක්?"

"එතකොට
කෝ මේ පවුලෙ තාත්තා?
නැතුවාද තාත්තෙක්?"

"නැතුව තාත්තෙක්
කොහොමද ළමයො දරුවෙක් !
ඒත් දැන් එයා නෑ
ගිය බවක්
එයාවත් දන්නෙ නෑ"

"ඈ!
තාත්තා මැරිලද?
කොහොමද එතකොට
කකුලකුත් නැති
මේ තරුණ අම්මා
බලාගන්නෙ මේ ළමයින්ව
විශේෂයෙන් මේ
තරුණ කෙල්ලන්ව......"

"ඒවත් ඉතින්
දන්නේ
ඒ දෙයියොම තමයි
අනිත් එක
දැනගත්තත් හැමෙක
අපි මොනා කරන්නද?
හෙව්වයි කියලවත්

කිව්වයි කියලවත්
ඇති වැඩක් තියෙනවද
............
............
අන්තිම කාලෙ නම්
වතුර ටිකක් බොන්නවත්
බංකරෙන් එළියට
එන්නම බැරිවුනා
බැරිම තැන ආ අයට
ජීවිතය නැතිවුනා
............
............
............
මේ පවුල
හිටියාලූ
ගුලිවෙලා
බංකරේ
බැරිම තැන
වෙලාවක
කීවාලූ
අප්පා
'මුං මැරෙයි හාමතේ
කැඳ ටිකක් හදාගමු'
තිබුනාලූ එතකොටත්
අරිසි එක කොත්තුවක්
........
ෂෙල් වැටී ගිනි වැදී
නිශ්චලවු වෙලාවක
හැදුවාලූ අම්මා
එක කංජි මුට්ටියක්
........
හනි හනික
පැන පිටට
ගහක් යට
හිඳ වටට.....
..............
..............
එකපාරටම
වැටුනාලූ
මැදටම
පිපුරුවාලූ
වටේටම
............
'අම්මා අම්මා
අත මගේ නැතිවෙලා'
කෑ ගහපු කොල්ලා
බලන්නට
නැගිටින්න හදනකොට
ඇයි වැටුනෙ බලනකොට
කකුලක් නැතිවෙලා
............
'ඒයි මේ බලන්නකො
කොල්ලාගෙ අත නෑ
මගෙ මේ කකුල නෑ
නැගිටලා බලන්නකො
කෙල්ලො ටික හොඳින්දැයි
අනේ දැන් කියන්නකො'

නෑ ඒත් සෙලවුමක්
තියා හැල හොල්මනක්
එතකොටලූ දන්නේ
කාටද කියන්නේ
එයානම් ගිහිල්ලා
............
උන් මෙහේ තනිවෙලා
............
............
ලක් එකක් තිබුනු අය
බේරුනා
අත් කකුල් නැති වුනත්"

"ඒ ඉතින් ලක් එකද?"

"මැරුනෙ නැති හැම කෙනෙක්
ලක් එකක් තිබුන අය
අත, පයක් නැති වුනත්
ඇස් දෙකම නැති වුනත්
............
හිතුවෙ නම් එහෙමයි
හුඟක් අය .....
............ ............
දුෂ්කර ක්‍රියා කොට
ගැලවිලා යන්තමට
නැතිව කිසිවක්ම මුවාවට
ආවාට
සත් සයුරු තරණය කොට
සත් පවුරු පසුකොට
පියවරෙන් පියවරම ගාට ගාට
ආවාට
නැගුනු ගිනි නිවන්නට
සැනහිලි වදනක් අසන්නට
සෙව්වාට
පැතුවාට
හිස සෙමින් අතගා සනහන්ට
කිසිවෙක්
නැතුවුනේ අපේ කරුමෙට
............
එතකොට
ටකරං වහලයට
ටකරං හතරවට
වියරු වූ ඉර යට
කා නොකෑ ගානට
ජීවිතේ ගෙවුනාට
............
............
හ්ම්.......
දැන් ඉතින් අපිට
............ ............"

"ඉතින්
දැන් ඉතින්
මොකක්ද ඔය කියන්නට
හදන්නේ නොකීවට..?"

"නෑ ඉතින්
දැන්නම් මේ අයත්
කියනව නොකීවත්
හිටියනම් නෑවිත්
එතනමත්
එහෙමමත්
මළානම් හොඳදවත්!"

"මොකක් ?
මොකක්ද ඒ කතාව ?
සතුටු වනු නොහැකිවද
දරන්නට නොහැකිවද
විඳින්නට නොහැකිවද
කරනවා මදිවාද
කියනවා මදිවාද
හිතනවා මදිවාද
කිම්ද ?
කෙතරම් සැලකුම්ද
සොයන්නට බලන්නට කොතෙක් අය ආවාද
අසන්නට දෙසන්නට නොඑන අය කවුරුන්ද
............ ............?"

"හිරයක් කරාගෙන
දරු මල්ලො හදාගෙන
කුලි මලී හොයාගෙන
පොළොවෙ පය ගසාගෙන
............
දෙයියන්ට කියාගෙන
පැමිණි දුක් ඛෙදාගෙන
............
මහ පොළොව කර්කශයි
සුළං මහ වියලියි
ඉර අව්ව දරුණුයි
වැහි වැටුනෙ ගෙඩි වගෙයි
මිනිස්සුත් එහෙමමයි
දුටුවාම දරුණුයි
ඇතුලතින් සීතලයි
ජීවිතේ අමාරුයි
ඒ වුනත් සුන්දරයි"

"ඉතින්?
මොකක්ද එහෙනම් ප්‍රශ්නෙ?"

"දැන් ඒ හැමෙකක්
පමණයි මියැදුනු අතීතයක්
............
හොයන්නටවත් ගමක්
තිබුණු තැන් දැන් ලදු කැලෑවක්
............
මෙතෙක් කල් ජීවිතේ ඛෙදා ගත් උන් නැතිවෙලා
මෙතෙක් කල් ජීවිතේ පැතු පැතුම් හැම වැළලිලා
මෙතෙක් කල් ජීවිතේ ජීවත් කළ හේතු මියැදිලා
මෙතෙක් දේ බලා සිටි දෙවියොත් අප අතැර ගිහිල්ලා"

"............
ඉතින්
මොකක්ද අපි කරන්න ඕනෙ?........."

"............
............
............
නෑ නෑ නෑ
මුකුත් නෑ
මුකුත්ම නෑ
කරන්න දෙයක් නෑ
කියන්න දෙයක් නෑ
කිව්ව කියලත් වැඩක් නෑ
...........
නිකමට ඔයාලට
පෙන්නුව ෆොටෝ ටික
ඛෙදාගන්නට
ඕනෑ වුනේ මට
මගේ හිත හැදෙන්නට
මට අඬන්නට
ඉඩක් දුන්නාට
මදිවාට
තවත් ඉල්ලන්නට
හැකිද මට......
...........
...........
හැකිනම් මේ අයට
දෙන්න ඉඩක් අඬන්නට
මේ ජීවිතේ ජය ගන්නට
හයියක් වෙන්නට
ඛෙදා හදා ගන්නට
හැකිනම් ඔයාලට
...........
හ්ම්.......
...........
..........."

2010 මාර්තු
[කෙටි කරපු දිග කථා ලියපු කුමාරි විසින් ලියන ලදී]

කුමාරි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


උපුටනය- agniezine.wordpress.com|අග්නි – විද්‍යුත් සඟරාවෙනි.

කෘතිය : සවාසනා
කර්තෘ : තිලක් ජයරත්න
ප‍්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් ලිමිටඞ්


අවුරුදු සියගනනකටත් වැඩි ඉතිහාසයක් ඇති සිංහල නවකතාව විශ්ව නවකතාව හා සංසන්දනය කළහොත් තවම ඇත්තේ ළදරු අවධියකය. 19 වෙනි සියවස ලෝක නවකතාවේ සියවස වීය. එම යුගයේ යුරෝපා නවකතාව විශිෂ්ට ලෙස වර්ධනය වීය. නමුත් නවකතාවේ විශාලතම උද්දීපනය ඇති වූයේ රුසියාව තුළය. එයට හේතු වූයේ එම රටේ තිබූ පරස්පර විරෝධී සමාජ ක‍්‍රමයයි.

ඒ වන විට යුරෝපා සමාජය ප‍්‍රංශ විප්ලවයෙන් පසු වැඩවසම් ක‍්‍රමය අතුගාදමා තිබුණි. රුසියාවේ තිබුණේ අත්තනෝමතික සාර් තන්ත‍්‍රය යටතේ වැඩවසම් ක‍්‍රමයකි. තමන්ට අයිති වහලෙකුට මැරෙන තුරු පහර දීම රුසියාවේ කුලීනයන්ගේ “අයිතිවාසිකමක්” විය.

රුසියානු නවකතාවේ වර්ධනයට සීඝ‍්‍ර හේතු දක්වමින් රෝසා ලක්සම්බර්ග් මෙසේ කියයි.

‘බටහිරින් නැගී ආ ආලෝක කදම්බයන්ගේ සෙවන යට (නූපන් සාහිත්‍යය) වසන්ව තිබුණේය. එකී සංස්කෘතික බීජයන් අංකුර පිටකිරීමට නියම කාලය වනතෙක් පොලව යට සැගවී සිටියෝය. රුසියානු සාහිත්‍යය හදිසියේම පැනනැගී යුරෝපා සාහිත්‍යයේ අද්විතීය සාමාජිකයෙකුගේ තැන ගත්තේය. එහි නහරවල ඩාන්ටේ, රබෙලයිස්, ෂේක්ස්පියර්, බයිරන් ලෙසිං සහ ග’තගේ ලේ දිවීය. සිංහයකුගේ ජවයකින් පසුගිය සියවසක කලක් අහෝසිව තිබූ දේවල් ගොඩ නගාගෙන බටහිර සාහිත්‍ය පවුලේ පූර්ණ සාමාජිකයෙක් බවට රුසියානු සාහිත්‍යය පත් විය.

රුසියන් සාහිත්‍යයේ ඉතාම කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ පවතින සමාජ ක‍්‍රමයට විරුද්ධව සටන්කාමී රූපයකින් එය බිහිවීමය. දහනව වැනි සියවස පුරාම එහි කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ එයයි. එහි බුද්ධිමය අන්තර්ගතයේ පොහොසත්කම හා ගැඹුර සහ ඊටත් වඩා එහි නිර්මාණශීලිත්වය කලාත්මක රූපයන්ගේ සර්වසම්පූර්ණ බව හා ජීවාත්මක සමාජ බලවේගයක් වශයෙන් එය සර්ව සම්පූර්ණය. සාර් තන්ත‍්‍ර කාලයේ තරම් සාහිත්‍යය වෙන කිසිම කලක් හෝ කිසිම රටක ප‍්‍රබල සමාජ බලවේගයක් නොවීය. එය ශතවර්ෂයක් පුරාම තමාගේ මුරහලේ රැඳී සිටියේ මහජන බලවේග ඒ වෙනුවට ආදේශ වන තෙක් ය. වචනය මාංශ පේශීන්වලට හැරවුණේය. අර්ධ ආසියානු එ්කාධිපති දේශයක සාහිත්‍යය, නිර්මානාත්මක සාහිත්‍යය ලෝක සාහිත්‍යයේ තැනක් ගත්තේය. එය මර්දනයේ චීන ප‍්‍රාකාරය පුපුරුවා හැර සිසුවා වශයෙන් නොව ගුරුවරයා වශයෙන්ද බටහිරට පාලමක් තැනුවේය. :්රඑ ්ි ක්‍දටබසඑසදබ දෙ කසෙැග ්කැනි්බාැර ඪදරදබිනහ ඡු්ටැ 92* රෝසා ලක්සම්බර්ග් මෙහිදී පවසන්නේ රුසියන් සාහිත්‍යය 1917 බෝල්ෂේක් විප්ලවයට කෙතරම් දායක වූයේද යන්නයි.

රුසියන් සාහිත්‍යයේ මෙම භූමිකාව අනුව බැලූවහොත් සිංහල නවකතාව ප‍්‍රාදේශික හා ග‍්‍රාම්‍යවාදයේ තවමත් ගැලී සිටී. අතීතයේ සිටම සිංහල නවකතාව ආගම් ප‍්‍රචාරයට හෝ සදාචාර සංවර්ධනය මැදිකරගෙන සිංහල ජාතිකත්වය ගොඩනැගීමේ යෙදී සිටි නිසා රුසියන් සාහිත්‍යය මෙන් සමාජ තන්ත‍්‍රයට එය විරුද්ධව පිහිටියේ නැත. පේරාදෙණි නවකතාව බිහිවූයේ යුද්ධයට පසුව ආර්ථික ප‍්‍රසාරණයක් තිබූ කලකය. නමුත් සමාජ අර්බුද එම කාලයේ මතුපිටට පැමිණියේය. 1953 හර්තාලය 1958 සිංහල දෙමළ කොළාහල මෙන්ම කැකෑරෙන සමාජ අර්බුදය දේශපාලන පාවාදීම් නිසා ආයුධ සන්නද්ධ අරගලවලට තරුණයන් මෙහෙය වීය. මෙම සමාජ බලවේග විශ්ලේෂණය වෙනුවට පේරාදෙණි ගුරුකුලය පේරාදෙණි නිම්නය තුළ පැස්බර වතක් රැක්කේය.

මෙවැනි පසුබිමක් යටතේ ‘සවාසනා’ ග‍්‍රන්ථයේ කතුවරයා මෙන්ම කෘතිය පළවූ කාලයද වැදගත් වේ. සවාසනා කතාව තිලක් ජයරත්නට පුරුදු පස්දුන් කෝරළයෙන් පටන් ගනී. එහි ජීවත් වූ සීට්ටු හාමිනේ සහ ඇගේ සැමියා ඉඩම් හිමි ධනපතියෝය. එම ගමේම වෙසෙන නෝබට් ඉබා ගාතේ ජීවත් වන්නෙකැයි කීවත් ඔහු සමසමාජ කාරයෙක් විය හැකියයි කියවන්නා හඳුනා ගන්නේ ‘මන්ත‍්‍රී සහෝදරයා’ සමඟ තිබුණ සම්බන්ධකම්වලිනි. හේ වෘත්තීය සමිති හා තරුණ සමිති පිහිටුවීමටද මුල් වේ. 1953 හර්තාලයේදී පොලීසිය විසින් ඔහුගේ කකුල් කඩන ලදී. පසුව ඔහු පොළොන්නරුවේ ජනපද ගොවිතැනට ගොස් සශ‍්‍රීකව මුදලාලි කෙනෙක් වේ. සීට්ටු හාමිනේගේ පවුලද කම්පැනි පටන්ගෙන රබර් හා අනිකුත් ව්‍යාපාර ඔස්සේ පොහොසත් වේ. එම කාර්්‍යයට සිංහල මුස්ලිම් ව්‍යාපෘතිකයන්ද හවුල් වේ. කතාව අවසාන වන විට දේශපාලනයටද සම්බන්ධ වී ඇති මේ පවුල් හොඳින් ජීවත් වෙති. පරණ සමසමාජ කාරයා දක්‍ෂිණාංශක දේශපාලනයටද පිවිසේ.

වාමාංශික දේශපාලනය හැරදමා විකල්ප වශයෙන් තමන්ගේ ස්වාර්තය සාදාගත් චරිත තිබිය හැකි නමුත් සමාජ යථාර්තය නම් දේශපාලන වශයෙන් ඊට වඩා අර්බුදකාරී තත්වයක් ලංකාවේ ඇති වීමය. ‘සවාසනා’ නවකතාවෙන් එම යථාර්තය විභාග කිරීමට උත්සාහයක් නොකෙරේ. පොළොන්නරු ප‍්‍රදේශයේ බැංකු නය ගෙවා ගැනීමට බැරිව සිය දිවි නසාගත් ගොවියන් ගැනද වාර්තා වී ඇත. පවතින සමාජ ක‍්‍රමයේ ඇති අසමාන වර්ධනයේ නීති කතුවරයා දැක නැත්තේ ඔහු සිද්ධීන් අනුභූතිතව වටහාගෙන තිබෙන නිසාය.

නවකතාව පේලි අතරින් කියවීමේදී එය වාමාංශික දේශපාලනය පිළිබඳව නරුම අදහස් දරා ඇති බැව් පෙනේ. එසේම කතුවරයාට දේශපාලන යථාර්තය ගැන වැටහීමක්ද නැත.
”නිර්ධනයින්ට හිමි ලොවක්, ධනපති පංතිය පෙරළා දමා ලෝක කම්කරු ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව කතා කරන ඔහු පීඩිත ගම්වැසියන්ගේ සිත්තුළ මහත් ධෛර්යයක් සහ බලාපොරොත්තු දල්වයි.” (පිට 35* එකල වාමාංශික දේශපාලනයේ තිබුණේ ප‍්‍රාදේශීය දේශපාලනයක් මිස ”ලෝක කම්කරු ආණ්ඩුවක්” පිහිටුවීමට කිසිම බලාපොරොත්තුවක් නොවීය.

අපි කලින් කිවූ රුසියන් නවකතාවේ ජීවය වූ සමාජ යථාර්තය හෙළි කිරීමේ අභිප‍්‍රාය අනුව විමසා බැලූවිට ‘සවාසනා’ වේ තේමාව වෙනස් අභිමතාර්ථයක් තිබෙන බැව් කතුවරයාට නොවැටහී ඇත. එය පළ කර ඇත්තේ ත‍්‍රස්ත‍්‍රවාදයෙන් රට නිදහස් කරගෙන ඇති කාලයකය. එමනිසා ඇත්තේ හොඳින් බිස්නස් කිරීම බව නවකතාව නොකියා කියයි. එම නිසා නවකතාවේ තේමාව පැරණි ලෝක දෘෂ්ටියට අනුගත වී ඇත. තිලක් ජයරත්න මාධ්‍යය සදාචාරය ගැන ප‍්‍රචලිත අදහස් දරයි. නමුත් සෑම යුගයකදීම පාලකපංතියේ අදහස් එනම් – සමාජයේ භෞතික සම්පත් පාලනය කරන පංතිය – සෑම විටම එහි බුද්ධිමය බලවේගය වශයෙන් සිටී. මෙම කරුණට අවදානය යොමු නොකරන සිංහල නවකතා කරුවන් දිගටම තමන්ගේ ඇස් ලොඩි ඉදිරියේ තිබෙන දර්ශන පමණක් නවකතාකරණය කිරීම සිංහල නවකතාවේ අවාසනාව වේ.

සෝමචන්ද්‍ර විජේසූරිය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පිඹිනු මැන නලාව !
දැන් ඉතින්....
පී‍්‍රති විය යුතු කාලයයි !
කුරුළු කිරිලියන්
දිවා රෑ, සොම්නසින් !
රෑ කොවුලෝ ද !
මිටියාවතේ....
සින්දුවෙහි දක්ෂ
කුඩා විහඟුන්,
සොම්නසින් උනන්දුව
වසන්තය පිළිගනී....

ගෑණු පිරිමි පුංචි ළමෝ
උතුරායන සන්තෝසෙන්!
කුකුළෝ ද හඬලති.
ඔබත් හඬ නගයි!
බාල බිළිඳු මොළකැටි නද,
වසන්තය....
සන්තෝසෙන් පිළිගනී.

පුංචි බැටළුවෝ
දුව එන්න මා ළඟට
සිඹින්න මසුදු ගෙල.
ඉඩදෙන්න මට නුඹේ
සුදු ලොම පිරිමදින්න....
සිඹින්නට නුඹේ,
මුදු මුහුණ.
සොම්නසින් ඉපිල
වසන්තය පිළිගන්න....

[”විලියම් බ්ලේක්” ගේ ”Spring” කවියේ අනුවර්තනය]
අනුවර්තනය: මුතු පබා

ලන්ඩන් නුවර උපත ලද ”විලියම් බ්ලේක්” (1757 - 1827) ඉංග‍්‍රීසි ජාතික කවියෙකි. සිත්තරෙකි. Songs of Innocence and Experience, Jerusalem, The Marriage of Heaven and Hell, An Island in the Moon ඔහු විසින් ලියල ලද පොත් වලින් කිහිපයකි.

විලියම් බ්ලේක්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හැඳින්වීම-මැදිහත් වීම ගැන

ඩේවිඩ් ලින්ච්ගේ [David Lynch] සිනමා පටයක් වන ලොස්ට් හයිවේ [Lost Highway] ගැන ලියැවෙන ලිපිය ඇරඹුමේදීම මා සඳහන් කළ යුතුයි ඒ සඳහා ලැකානියානු මනෝ විශ්ලේෂණයේ භාවිතය ගැන. ජොනතන් කියුලර් [Jonathen Culler] වරක් නිරවද්‍යලෙස සංවාදගත කළා මෙවැනි අදහසක්.

"සාහිත්‍යය මිනිස් අත්දැකීමේ සමස්තය එහි විෂය ලෙස ගන්නා බැවින් එනම් ප්‍රධාන වශයෙන් මිනිස් අත්දැකීමේ පිළිවෙල හෝ පටිපාටිය - එහි අර්ථ විවරණය මෙන්ම එම මිනිස් අත්දැකීම් තුළ වූ සන්ධීය බව ග්‍රහණය කරගන්නා බැවින් සාහිත්‍ය කේන්ද්‍රීය වු චින්තාවන් අවසාන වශයෙන් විවිධ සෛද්ධාන්තික කටයුතු වලදී නිර්ණායකයන් වීම හුදු අහම්බයක් නොවේ."

සාහිත්‍යය සඳහා සත්‍ය වන්නේ යමක් ද එය අනෙකුත් කලා මාධ්‍ය කෙරෙහිද එනම් චිත්‍ර කලාව හෝ සිනමා කලාව තුළ ද එම සත්‍යය පවත්වා ගනී. කියුලර් ගේ නිරීක්ෂණය මාර්ගෝපදේශනයේ ලා තබා ගනිමින් මෙම ලින්ච් ගේ සිනමා පටය කියැවීම තුළ සිද්ධාන්තය සහ සාහිත්‍යය අන්‍යොන්‍ය වශයෙන් සමසහභාගිත්වය ට පත්වේ. එම නිසා ලැකාන්ගේ සමහර අභිරහස්මය සංලක්ෂ්‍යයන් විදහා දැක්වීමට ලින්ච්ගේ සිනමා නිර්මාණ ප්‍රයෝජනවත් වන අතර ලැකානියානු සිද්ධාන්ත ලින්ච්ගේ කාව්‍යමය සිනමාව ගැන සිතිවිලි මෙහෙය වන්නට උචිත පසුබිමක් ද සපයයි.

ලැකානියානු මනෝ විශ‍්ලේෂණ විෂයය කෙරෙහි-

-සිද්ධාන්තයක් යෝජනා කරන්නේ ඒකත්වය -ව්‍යුත්පත්තිය-සන්තතිය යන සංකල්පයන්ගෙන් වියුක්තවය. මූලිකවම පැල්මකට ලක්වූ විෂයක උපකල්පනයෙන් එය ස්ථාපිත අඩුවක් තුළ භූගතව ආත්මීයත්වය පිළිබඳ මාදිලියක් ගොඩනගන්නේ පූර්ණත්වයට ප්‍රතිපක්ෂව ය. එනයින් මෙම සිද්ධාන්තය විසින් ස්වතන්ත්‍ර සහ ස්ථායි පුද්ගලත්වය නමැති සංකල්ප නිෂේධනය වී ඇති සිනමා කෘතියක විශ්ලේෂණය උදෙසා වූ ප්‍ර‍යෝජනවත් සහ අදාල පසුබිමක් එයට සපයා දෙන්නට සමත් වේ.

ලැකාන්ට අනුව මනුෂ්‍ය සත්තාව රෙජිස්තර තුනක පැටලී ඇත්තේ සංකේතීය රෙජිස්තරය -පරිකල්පනීය රෙජිස්තරය සහ යථ යනුවෙනි. පරිකල්පනීය රෙජිස්තරයේ අන්තර්ගත වන්නේ ප්‍රත්‍යක්ෂමය යථාව හෝ අහමේ යථාව වන අතර එය ස්වතන්ත්‍රතාවයේ සහ පූර්ණත්වයේ සංකේතීකරණයට බලපවත්වයි. සංකේතීය රෙජිස්තරය අතරමැදි වීමේ ක්ෂේත්‍රය වන්නේ ආන්තරික හෝ අවකලමය තර්කණය ඇසුරෙනි. විෂය කෙරෙහි සත්තාවේ අඩුව අනවරතව සන්සිඳුවීමේ උත්සාහයක පරිකල්පනීය රෙජිස්ත‍රය යෙදෙන අතර සංකේතීය රෙජිස්තරය කප්පාදුව පිළිගනියි. එහෙයින් මනුෂ්‍ය විෂය ද්විප්‍රකාරව පැළුමකට ලක්ව ඇත. පරිකල්පනීය මට්‍‍ටමේ දී අහම සහ එහි දර්පණ ප්‍රතිබිම්බය ලෙසද සංකේතීය මට්ටමේදී භාෂාව සහ සමාජ සංස්කෘතික යථාවෙ අභිලේඛනය කෙරෙහි ද යනාදි වශයෙන් විෂය වෙනත් ඕනෑම ඒකත්වයකින් වෙන් කිරීමේ නීති ක්‍රියාවේ යොදවන බැවිනි. එනිසා මේ සර්වකාලීනව නැති වූ ඒකත්වය අයත් වන්නේ තුන්වන රෙජිස්තරයකට ය. ඒ යථයි. එනම් සරලව එය විසින් සංකේතීය හෝ පරිකල්පනීය නියෝජනය මග හරින්නේය. මෙම අඩුව නිසා විෂය යනු ලැකාන්ට අනුව හැඟවුම්කාරකයේ ප්‍රතිවිපාකයක් වන අතර එය නැති වූ ඒකත්වය ගොඩනගන්නට දිශාගත වෙයි. ආශාවේ මූලෝපාය වීමේ ප්‍රතිඵලය වන්නේ විෂය යථෙන් වෙන්වීම සහ එය අර්ථවත් වන්නේ විෂය විසින් යථ නැවත අල්ලා ගන්නට දරණ උත්සාහයත් නැවත ඒකත්වය සෙවීමත් තුළය. එහෙයින් මනුෂ්‍ය ලෝකය හරහා විෂයේ ගමන් පථය ආශාවේ හේතුව ලෙස ලැකාන් මෙලෙස සදහන් කරයි.

"දේවල්වලින් යුත් ලෝකයක් නැත- සත්තාව සහිත ලෝකයක් නැත-ලෝකය යනු එබඳු ආශාවන්ය."

මෙය ලින්ච්ගේ සිනමා පට සම්බන්ධයෙන් සත්‍ය වන්නේ රසිකයා සහ සිනමාව අතර පවතින සම්බන්ධය ගැන සාමාන්‍යකරණයක් ලෙසිනි.

වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ ජනප්‍රිය සංස්කෘතියේ මුහුණුවර බලහත්කාරයෙන් වෙනස් කරමින් ඉන්නා සිනමා අධ්‍යක්ෂවරයෙකි ඩේවිඩ් ලින්ච්. ලින්ච්ගේ ලොස්ට් හයිවේස් සිනමා පටය ගිය අවුරුද්දේ [1998] එළියට එද්දී උද්යෝගීමත් ඇගයුමක් මෙන්ම අනුකම්පා විරහිත අවිශ්වාසයක් ද ඒ කෙරෙහි ගොඩ නැගී තිබුණි. යුරෝපීය ප්‍රේක්ෂාගාරය නිරන්තරයෙන්ම ලින්ච්ගේ දෘශ්‍යමය නිර්මාණ ඉමහත් උද්‍යෝගයෙන් පිළිගත්තේය.

ඉරේසර්හෙඩ් [Eraserhead-1976] සිනමා පටයේ පටන් දි එලිෆන්ට් මෑන් [Elephant Man],ඩියුන්[Dune],බ්ලු වෙල්වට්[Blue Velvet],වයිල්ඩ් ඇට් හාර්ට් [Wild at Heart] සහ ෆයර් වෝක් විත් මි [Fire walk with me] යන ලින්ච්ගේ සිනමා පට විදේශයන් තුළ අතිශය ජනප්‍රිය විය; විශේෂයෙන් ප්‍රංශයේ. ට්වින් පීක්ස් [Twin Peaks] නම් වූ තරමක් විප්ලවකාරී රූපවාහිනි වැඩසටහන් මාලාව ඇමරිකානුවන්ගේ ප්‍රේක්ෂකාශාවන් ට මනා සේ හැඩගැසුණු එකකි. ඇත්ත වශයෙන්ම එහි අමානුෂික ආකෘතියක් වුව ද, එය රූපවාහිනි වැඩසටහන් මාලාවකට උචිත සෝප් ඔපෙරාමය ලක්ෂණයෙන් යුතු වූවකි. ලින්ච් තමා තුළ පවතින දෘශ්‍යමය ශෛලිය සහ පෞද්ගලිකව සිත තුළ බලපවත්වන එනම් ග්‍රස්තික දේ කෙරෙහි වූ නැඹුරුව විසින් සෑම විටකම ඔහුගේ නිර්මාණ දැවැන්ත ආකාර්ෂණාත්මක ප්‍රේක්ෂාගාරයක් වෙත යොමු නොකළේය.

ඔහුගේ වෘත්තිය පෙන්වන්නේ ඇත්ත වශයෙන්ම ඔහු වචනාර්ථයෙන්ම සටහන් පොත් තබන, සිනමා ඉවකින් යුත් , ඇවැසි තැනක දී ඕනැම මට්ටමක කැප කිරීමක් කර නිර්මාණාත්මක පාලනයට නතු කර ගැනීමට වෙර දරන, ඒ ආකාර වූ සැබැ නිර්මාණශීලි කතුවරයකු සතු හැකියාවෙන් අනූන වූ ,කතුවරයකු ලෙස හෝ මමංකාරයේ සීමාවන් විසින් හා කැපවීමේ ලාලසාවන් විසින් අත් කර දෙන තේරීම් අනුව හෝ කුඩා දරුවකුගේ වැලි සෙල්ලමක යෙදීමේ ආශාව මෙන් හෝ එම ආකාර ත්‍රිත්වයේම මුහුවක් ලෙසිනි. මෙනයින් යුරෝපීය ශෛලියේ සිනමාකරණයක් පිළිබඳව පොදුවේ පිළිගත් ආරක් ලෙස ලින්ච්ගේ සිනමාකරණය විශ්මයක් නොදල්වාම ප්‍රංශ සමාගමක් වන සී.අයි. බී.වයි 2000 [CBIY 2000] ආයත‍නයෙන් මූල්‍යමය සහයෝගය ලබන්නේ ඔහුගේ පූර්ව අවසාන සිනමා පටය වන ෆයර් වෝක් විත් මී [Fire walk with me] මෙන්ම වර්තමාන ලොස්ට් හයිවේ සිනමා පටයට ද එම නිර්ණායකම වලංගු වන තතු ඔස්සේ ය. එම සිනමා පටයෙන් වසර පහකට පසු එම කෘතිය ට්වින් පීක් වැඩසටහන් මාලාවෙන් හුදු සූරා ගත් දෙයක් ලෙස එය දුටු විචාරකයන්ගේ හෝ ප්‍රේක්ෂකයන්ගේ හෝ බලපෑමෙන් තොරව අති සාර්ථක නිර්මාණයක් ලෙස ඉදිරියට පැමිණියේ ලින්ච්ගේ අලුත්ම සිනමා පටය ද්විප්‍රකාර භේදයකට දැනටමත් ලක්වෙමින් පවතිද්දීය. සමහර කොටසකට මෙය ඩේවිඩ් ලින්ච් නිර්මාණය කරන ලද උසස්තම සිනමා කෘතිය වන අතර අනිත් විචාරකයන්ට අනුව ලොස්ට් හයිවේ කල්තියා ප්‍රද්ර්ශනය කළ මොහොතේ පටන් ම එය කුණුකන්දලක් විදියට සලකන්නෝද වන හෙයින් මොන තරම් උද්වේගාත්මක දෙයක් ද මේ?

එසේ වුවත් මා හොඳින්ම දන්නා කාරණයක් නම් ලොස්ට් හයිවේ සිනමා පටය විවරණය කර ගැනීමට යෝජනා කරන උත්සාහයක් අවසානයේ ඉතිරි කරන්නේ සංකීර්ණ ව්‍යූහයක්, රේඛීය වෘතාන්තයක් හෝ ආඛ්‍යානයක් බවට මෘදුලෙස ඌණනය වීමයි. මා සිනමා පටයේ අන්තර්ගතය පිළිබඳ කෙටි සටහනක් තබන්නට උත්සාහ කරන්නම්.

පේන හැටියට නම් ලොස්ට් හයිවේ යනු ජෑස් සංගිතඥ ෆ්‍රෙඩ් මැඩිසන්ගේ කතාවයි. ඔහුගේ සුරූපි බිරිඳ රෙනී ඔහුගෙන් අරුම ලෙස දුරස්ය. අද්‍යතන වෛවාහක ජීවිතයේ නරුමත්වය කෙරෙහි අවුල් සහගත අධ්‍යයනයක යෙදෙන සිනමා පටයේ මුල් පරිච්ඡේදයේ අවධානය යොමු වන්නේ ෆ්‍රෙඩ්ගේ සාංකාව සහ අනාරක්ෂිතභාවය විසින් ඔහු තම බිරිඳගේ දෙබිඩි ජීවිතය කෙරෙහි සිය අවබෝධය පුළුල් වීම පිළිබඳය. ෆ්‍රෙඩ්ගේ පීඩනෝන්මාදයේ කේන්ද්‍රය වන්නේ රෙනීය. ඇය සැමියාගේ අනර්ඝතම වස්තුව වන්නා සේම ඔහුගේ දුස්ස්වප්නය හෝ බියකරු සිහිනය ද වන්නේ ය. සිනමා පටය දිග හැරෙද්දී ඔවුන්ට නිවසේ පියමං පෙළ අසල දමා ගොස් ඇති කැළඹුම් සහගත වීඩියෝ පට කීපයක් දින කීපයක් තුළ හමුවේ‍. දෙවන විඩියෝ පටය පෙන්වන්නේ ඔවුන් යුවල නිදි යහනේ නින්දේ පසුවන අකාරයේ අසාමාන්‍ය කෝණයකින් පටිගත කරන ලද දෘශ්‍යාවලියකි. තුන්වන සහ අවසාන විඩියෝ පටයෙන් පෙන්වන්නේ ෆ්‍රෙඩ් සිය බිරිඳ රෙනීව කපා කොටා එම මළකඳ අසල මර හඩ දෙමින් සිටින දර්ශනයකි. සාහසික හදිසි තත්වයක් තුළ ෆ්‍රෙඩ් මිනී මැරුමේ වරදකරු වී විදුලි පුටුවේ මරණීය දණ්ඩනයට නියම වුවද ඔහුට සිදු වූ කිසි දෙයක් පිළිබඳ මතකයක් නොවේ. ඔහු මරණීය දණ්‍ඩනයට නියමව සිටින අවසන් කුටි පේළියේ දී නිරන්තර මායා දර්ශනාවලියකින් සහ අධික හිස කැක්කුමකින් පීඩා විඳියි.

මේ අවස්ථාවේ දී ෆ්‍රෙඩ් කිසියම් ආකාරයකින් තරුණ යාන්ත්‍ර ශිල්පියකු වන පීට් ඩේටන් බවට රූපාන්තරණය වී සිය සිර කුටියේ වාඩි වී සිටියි. පීට්ගේ ජීවිතය ලින්චියානු උපනාගරික පරිසරයක ස්ථානගත වී ඇත්තේ බ්ලූ‍ වෙල්වට් සිනමා පටයේ පසුබිම් වන කුඩා නගරයේම ප්‍රතිමූර්තියක් ලෙසිනි. බ්ලූ වෙල්වට් සිනමා පටයේ ලුම්බර්ටන් ට සමපාතව පීට් ගේ ජීවිතය ද නගරයේ පාතාල නායකයකු වන එඩී මහත්මයාට ගැට ගැසී ඇත. එක්තරා තැනක දී එඩී මහත්මයාගේ සුරදූතිය ඇලිස් වේක්ෆීල්ඩ් - පීට් ට මුණ ගැසේ. මිනිත්තු කීපයක දී පීට් ඔහු තවමත් ඔහුගේ පෙම්වතිය වන ශීලා සමගින් පෙම් සුව වින්ද ද ඔහුගේ සාරාර්ථය ඉක්මවා ගිය ගුප්තමය ප්‍රේමයක තම වැයික්කියේ පාතාල නායක මිනීමරු ගොඩ්ෆාදර්ගේ පෙම්වතිය වන රෙනී ගේ රූ සොබාවම ඇති ඇලිස් හා වෙළෙන්නට පටන් ගනී. රෙනී තළෙළු ගැහැණියක් වත්දී ඇලිස් ප්ලැටිනම් බ්ලොන්ඩියකගේ වේශයක් ගනී. ඔබට මේ අවස්ථාවේ දී ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ වර්ටිගෝ සිනමා පටයේ ද්විත්ව නිරූපිත කිම් නොවැක් මතක් වුවහොත් මෙතැනදී ඔබ නිවැරදිය. ලින්ච් ඔහුගේම මෙබඳු ද්විත්ව රංග චරිතයන් ට්වින් පීක් වැඩසටහන් මාලාවේ ද උපයෝගි කර ගත්තේය. ඇලිස් රෙනී වගේම දෙබිඩි ජීවිතයකට තල්ලු වෙයි. පාතාලගත අසැබි විඩියෝ නිෂ්පාදන ආයතනවල වීඩියෝ පට සඳහා චරිත නිරූපනය කරන්නියක වන ඇලිස් නොයිර් -අඳුරු-ෆෙමි-ගැහැණිය-ෆේටේල්-කර්මය නම් වූ සම්භාව්‍ය සිනමා පටයේ ආකාරයේම පීට්ව වරදට පොළඹවා‍ ගැනීමෙන් සිය ව්‍යාපාරික හාම්පුතා ඝාතනය කරවා ඔහු පාවා දී අද්භූත ලෙස කතරක හුදකලා කුටියක් මුණගස්වා සිනමා පටයේ තට්ටු දෙක වෘත්තයකට වැර ගන්වා බැඳලන්නට හෝ වඩාත් නිරවද්‍ය ලෙස සම්පූර්ණ මෝබියස් පටයකට හරවන්නීය. පීට් අතුරුදහන් වෙයි. ෆ්‍රෙඩ් නැවත උත්පාද වෙයි.

ඒක තමයි රළු කතා සාරාංශය. දැනටමත් පේන්න පටන් ගන්නේ සිනමා පටයේ ආකෘතිය කුමක් වුවත් එය “සරල” බවයි. මම දැන් මේ විෂය කෙරෙහි ස්පර්ශෝන්මුඛව ළඟා වීමට ඒ කියන්නේ වක්‍රව සෙල්ලම් ගමන් පිළිවෙලකින් මගේ විෂය වෘතයට ඇද ගනු ලබන්නට උත්සාහ කරන්නේ අතුරු කතා කීපයක් ඔස්සේ යමිනි.

ඉදිරියට ඇදේ...

On the Lost Highway: Lynch and Lacan, Cinema and Cultural Pathology by Bernd Herzogenrath
Other Voices V1N3 1999 ජනවාරි
Copyright © 1999, Bernd Herzogenrath, all rights reserved.

Torrents ගන්න. | ගිහින් බලන්න.

බර්න්ඩ් හර්සොජෙන්රත්
පරිවර්තනය - ඊ ඒ ඩෝසන් ප්‍රීති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

"ඉතිහාස" තෙවන කලාපය

Posted by BoondiOnLine 3.23.2010



"ඉතිහාස" තෙවන කලාපය දැන් නිකුත් වී තිඛෙනවා. "ලංකා ඉතිහාසයේ ගැටළු සහ ඉතිහාසයට ඇති බිය" මැයෙන් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න ලියූ ලිපියක් ද "සෝවියට් විවේචනය සහ සමාජවාදය පිළිබඳ ලංකාවේ සංවාදය දෙස නැවත හැරී බැලීමක්" මැයෙන් නිර්මාල් රංජිත්, සුනිල් විජෙසිරිවර්ධන හා ටියුඩර් වීරසිංහ සමග කතාබහක් ද මෙවර කලාපයට ඇතුළත්.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අලි සිය කුඩා නැගනිය සහරාගේ ගෙවුණු රෝස පැහැති සපත්තු කුට්ටම පිළියම් කරනු පිණිස සපත්තු මසන්නෙකු වෙත රැගෙන යයි. එහෙත් එන අතර මග දී සපත්තු කුට්ටම නැතිවෙයි. අළුත් සපත්තු මිලදී ගත නොහැකි බැවින් ද දෙමාපියන්ගේ දඩුවමින් ගැලවෙනු රිසියෙන්ද ඔවුහු එම අකරතැබ්බය රහසක් ව තබා ගැනීමට එකඟ වේ. උපායක් ලෙස අලි ගේ ''ස්නීකර්'' සපත්තු හුවමාරු කරගෙන පැළදීමේ යෝජනාව මතුව එයි. එනම්, සහරා උදේ පාසල් යන්නට සපත්තු දැමිය යුතු අතට දහවලේ දී සපත්තු කුට්ටම අලි වෙනුවෙන් නිදහස් කිරීමත්ය. දෙමාපියන් ගෙන්, ගුරුවරුන්ගෙන් සඟවන්නට ප්‍රයත්න දැරීම හේතුවෙන් මේ දුෂ්කර පිළිවෙල නිසා බොහෝ අවදානම් වලට එකක් පසුපස එකක් ලෙස මුහුණ දීමට ඔවුනට සිදුවේ. දිනක් තමාගේ නැති වුණු සපත්තු ජෝඩුව තම පාසල් සගයෙකු පැළඳ සිටිනු දකී. පාසල අවසානයේ ඇගේ පසුපසින් යන සහරා අවසන බොහොම ඉක්මනින් ඇය හා මිතුරු වේ. ඇයත් තමාත් එකම සමාජ තලයක බැව් වටහා ගන්න සහරා ට එය යළිත් ලබා ගැනීමට සිත් නොදෙයි. එබැවින් ඈ ආපසු හැරී එයි.

ඒ අතර තුන්වන ජයග්‍රාහි ත්‍යාගය ලෙෂ ''ස්නීකර්'' සපත්තු ලබාගැනීම වෙනුවෙන් අලි ධාවන තරඟයකට අවතීර්ණ වේ. එහෙත් නොසිතූ ලෙස ඔහු තරඟයේ ප්‍රථම ස්ථානය හිමි කර ගනී. අලූත් බලාපොරොත්තුව වූ ''ස්නීකර්'' සපත්තු ඔහුට අහිමි වී යන අතර පරණ ''ස්නීකර්'' යුගල ගෙවී යාමෙන් නැවත පැලඳීමට නොහැකි තත්වයට පත් වේ.
මේ, ''චිල්ඩ්රන් ඔෆ් හෙවන්'' නමින් මජීඩ් මජීඩ් විසින් ලියා අධ්‍යක්ෂණය කළ, 1997 වසරේදී තිරගත වූ ඉරාන සිනමා පටයයි. කතාන්තරය දිවෙන්නෙ අපූරු සහෝදරියක් සහ සහෝදරෙයෙක් නැති වුණු සපත්තු කුට්ටමක් වෙනුවෙන් විඳින අපමණක් ගැහැට සහ වික්‍රමයන් වටාය.

1997 වසරේ ප්‍රථම වරට ටෙහෙරාන් නුවර පැවති ''ෆජීර් සිනමා උළෙලෙදී'' මහත් ඇගයීමට ලක් වූ මෙම චිත්‍රපටය ''ඔස්කාර්'' සම්මාන උළෙලෙ සඳහා යෝජනා වීමත් සමග ලොව පුරා දහස් ගණනක ගේ රස වින්දය උදෙසා යුරෝපය, දකුණු අමෙරිකාව සහ ආසියාතික රටවල් බොහෝ ගණනක ප්‍රදර්ශනය ඇරඹිණි.

බොහෝ සෙයින් විචාරක පැසසුමට ලක් වු අතර ඇතැම් විචාරකයෝ ''විට්‍රියෝ ඩි සිකා'' ගේ ''බයිසිකල් තීව්ස්'' හා සසඳමින් ''චිල්ඩ්රන් ඔෆ් හෙවන්'' චිත්‍රපටය පිළිබඳ අදහස් දැක්වූහ . ''චිකාගෝ සන්- ටයිම්ස්'' පුවත් පතට පිලිබඳ අදහස් දක්වමින් ''රොජර් ඊබට්'' කියා සිටියේ මෑත යුගයේ දරුවන් උදෙසා බිහිවූ අපූර්වතම එමෙන්ම හොඳම සිනමා නිර්මාණය එය බවයි.
ඇත්තෙන්ම, ''චිල්ඩ්රන් ඔෆ් හෙවන්'' යනු සතුට ගිලිහුනු පවුලක කතාවකි. එකිනෙකා ගහ මරා ගැනීම වෙනුවට ආදරයෙන් සියල්ල විසඳා ගන්නට වෙර දරන අපූරු සහෝදර බැඳීමක අසිරිමත් පණිවුඩයකි. දරුණු සමාජ දේශපාලන ඛේදවාචකයක එක්තරා පැතිකඩකි.

ප්‍රශංසනී පරණවිතාන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



''කියකිගාර්ඩ් ලෞකික ලෝකයේ ඇති ප්‍රධානතම ලක්ෂණ දෙකක් ලෙස ඉච්ඡාභංගත්වය හා සන්තාපය හැඳින්වීය. ලෞකික ජීවිතය ගොඩ නැගෙන්නේ අපට සැපක් ලබා ගත හැකිය යන විශ්වාසය මතය. නමුත් අප බලාපොරොත්තු වන සැපයන් සැප හැටියට පෙනෙන්නේ ඒවා අප වෙත ළඟා වන තුරු පමණි. යමක වටිනාකම වැඩි වන්නේ එය අප වෙත නැති වන ප්‍රමාණයටය...''

කාමරය අසළ ඇති පාරෙන් ගිය වෑන් රථයකින් නැඟි ගොරහැඬි ශබ්දය සමන්තගෙ දැහැන එකවැර බිඳ දැම්ම. ඒ හඬ ඔහුට දැනුනෙ වේගවත් දුම්රියකින් පිටවන, දරාගත නොහැකි කඨෝර දෙදරුම් හඬක් වගෙ. ඉමක් කොනක් නොමැති අතාර්කික සිතිවිලි කොහේද අන්ධකාර ගුහාවෙක සිට නයි-පොලඟුන් වගේ පැමිණ නිර්දය ලෙස තම හදවතේ එල්ලෙනව සමන්ත බලාගෙන. එක්තරා චමත්කාර ජනක අතීතයෙක,

ජීවිතය මුසපත් කළ ඒ සොඳුරු සිතුවිලි අද වන විට තමන්ගෙන් පළි ගන්නෙ අමනුෂ්‍යයින් වගේ නේද කියල ඔහුට හිතුණ. වෙනද ඉතාමත් ආශාවෙන් කියවන ''සාංදෘෂ්ටිකවාදය'' නම් දාර්ශනික කොටස පවා දියෙහි ඇඳි ඉරක් මෙන් තමා වෙතින් පලා යන ආකාරය, ඔහු තුළ ඇති කළේ ඉවසාගත නුහුණු පුදුමයක්. නිර්දය අයුරින් තමා වෙලා පවත්නා මේ විපරීත සංතාපයන් සහ අතීරණයන් සුණු විසුණු කර, විභාගය පිළිබඳ කටයුතු කිරීමේ තිර අධිටනින් දෝ, සමන්ත සිය දෑස් නැවත පොත වෙත යොමු කළා...

''මිනිසා එකිනෙකා ආශ්‍රය කරන්නේ යන්ත්‍ර සූත්‍ර ලෙසිනි. මේ නිසා ඇතැම් වෙලා වලදී තමන් හුදෙකලා ජීවිතයක් ගතකරන බව සිතේ. මානුෂික සම්බන්ධකම් වලට එතරම් අවකාශයක් නූතන සමාජයේ නොයෙදේ. මුළු ලෞකික ජීවිතයම අර්ථ ශූන්‍ය මිත්‍යාවක් ලෙස කැමූ පැහැදිලි කළේය. උදේ ඉඳන් රෑ වන තුරු මහන්සි වෙමින් අප වෙහෙසෙනිනේ එතරම් අර්ථ සම්පන්න දෙයක් සඳහා නොවේ...''

ඔහුගෙ හිස හිටි හැටියෙ කකියන්න ගත්ත. සමන්තට රෑ එළිවෙනකම් පාඩම් කරල පුරුද්දක් තිබුණෙ නෑ කවදාවත්ම. තමන්ට තියෙන ලොකුම දුර්වලතාව ඒක කියල සමන්තත් දැනන් හිටිය. අනෙක, විභාගෙකට දවසක් දෙකක් තියෙද්දි පාඩම් කරන එකයි ඔහුට පුරුදු - ඒත් දවසට පැයක් දෙකක්. අනිත් දවසට කරන්නෙ අතට අහුවෙන ඕනම පොතක් ආසාවෙන් කියවන එක. කවි, නවකතා, කෙටිකතා, දේශපාලනය, දර්ශනය වගෙ පොත් ඒ අතරෙනුත් තමාගෙ හිත වැඩියෙන් ගන්නා බව සමන්තට කල්පනා උණා. එක අතකට, තමන්ගේ දැනුම අනිත් ශිෂ්‍යයින්ට වඩා වැඩියි නේද කියල ඔහුට හිතුණු අවස්ථාත් නැතුවම නෙමෙයි. ඒත් ඒ මළහිලව් දැනුමෙන් විභාග පාස්කරන්ඩ වන පිටිවහලක් ඇත්තෙ නෑ...! ලයිබ්රරියටවත් ගියානම් හිත එකලස් කරන් පාඩම් කරතහැකි - සමන්තට හිතුණ. ''හිතනම් එකලස් වෙයි, ඒත් මේ පාළු කාමරයේ තරම්වත් හිත පොතේ රඳවාගන්ඩ පුළුවන්යැ පුස්තකාලෙ?''. හිස කකියන ගතිය වැඩි වුණ නිසා දෝ ඔහු තම හිස තියාගත්ත හීන්සීරුවේ පෙරලලා තිබුණු පොත උඩ...

අම්මල මට මේ විදිහට සලකන්නෙ ඇයි කියල හිතාගන්ඩ බෑ... එයාල කියන විදිහට මං කොහොමද නදී අමතක කරන්නෙ...? නැත්තම්, ගෙයක් දොරක් අම්මෙක් අප්පෙක් නෑ කියල හිතන්ඩලු... අම්ම හොඳටම දන්නව මං නදීට කළින් කාටවත් ආදරේ කරල නෑ කියලා... මං කොහොමද ජීවත් වෙන්නෙ නදී අමතක කරල... අනික එයාට දීපු පොරොන්දු...!

* * * * * * * * *

මා හදවත
තත් පිරිමැද
නංවයි ඔබ
මෙතෙක්කල් මා නෑසූ සංගීතය
අසනා තුරා ඔබ හඬ
දකිනා තුරා ඔබ වත
බිහිරි වී සිටියෙමි මම
අන්ධ වී සිටියෙමි මම...

සමන්ත නදීගේ කන් පෙති මත මුමුණව්ව.

''හරි නරකයි, බොරු නේද කියන්නෙ...?''

''මං මොකටද බොරු කියන්නෙ?''

''ඔයා ඇත්තටම ආදරෙයිද මට?'' නදී ඇහුව සමන්තගේ මුහුණට එබෙන ගමන්. ඈ ස්ථීර හඬින් අසරණව වූ නිසා දෝ ඔහු ගොළු ගැහුණ...

''මං දන්නව ඔයා මට ආදරෙයි කියලා. ඒත්....., මාව කවදාවත් අමතක කරන්නෙ නෑ නේද? ඔයා නැතිවුණොත් මං කොහොමද ජීවත් වෙන්නෙ - ඊට හොඳයි මැරෙණව...!'' සමන්ත නදීගෙ දිගැටි මුහුණ දිහා බැලූව. තමා කෙරේ උතුරා ගලා හැලෙන නොතිත් ප්‍රේමයක සළකුණු ඈ දෑස් තුළින් කඩා හැලෙනව සමන්ත දැක්ක. ඒ හා අතිනතගත් සියුම් රිද්මයකටද කොහෙද ඈ සිනිඳු තොල් පෙති සෙලවෙමින් තිබුණ. ඈ හිස ගෙන, ඔහු තම උණුහුම් පපුව මත හොවා ගත්ත... තම ළය මත සුන්දර රටා මැවූ ඈ සිනිඳු කෙස් කලඹ තම නාස් පුඩු අග තැවරූ සිහින් සුවඳත්, තම ළය මත සටහන් කළ ඈ දෑසෙහි සීතලත් සිය සිරුර විනිවිද ගොස් කොහේදෝ අන්ධකාරයක් තුළ සියුම් කිතියකුත් සමග යළි නොමැකෙන ලෙස සටහන් වෙනව සමන්තට දැනුණ.

''ඒ අමතක කළොත්නෙ...!''

ඈ හිස තැවරුණු මුදු සුවඳ තම නාස්පුඩු අග නොරැඳ පෙම්වතුන්ගේ මාවත ඉක්මවා සමස්ත සරසවි භූමිය පුරා පැතිර ගොස් වෙනකෙකුට දැනෙති'යි සමන්තට බය හිතුණ. ඒ උණුසුම් සුවඳ තමා වෙතින් කිසිදා පලා නොයන'යුරු තම පුළුල් ළය තුළ තව තවත් ගුලිකොට සඟවාගන්න ඒ බිය ඔහුට බල කළා. ''ඒ...අමතක කළොත්නෙ...!'' ඈ සැලෙන දෙතොලෙහි තැවරුණු උණුසුම තමා වෙත උරා ගන්නට මෙන් සමන්ත ඈ මුව මත එබුණා... ඔහුගේ හා ඇයගේ හදවත්හි වේගවත් නාදය එකට මුසු වී අපූර්ව සංධ්වනියක් මැව්ව. කිටි කිටියේ සමන්ත තමා වෙත ඇදගැනීමට මෙන්, නදී ඔහු උස් සිරුර හා පොර බැදුව. ඔවුන්ගේ වේගවත් සුසුම් රිද්මයානුකූල ස්වරයක් මවමින් ඈතට ඈතට ගොස් මහවැලි නදියෙහි ජල තරඟයන් නඟන ඉසියුම් කෙඳිරිය හා මුසු උණා...

* * * * * * * * *

පොත්පත් ඉහිරිලා තිබුණ අඳුරු කාමරය හැම තැනම. ඇර දමා තිබුණු කවුළුව තුළින් ගලා ආ දුබල එළිය සමන්තගෙ මේසයවත් හරියට එළිය කළේ නෑ. දින කිහිපයක් පුරා කිලිටි වුණ ඇඳුම් කාමරය පුරා ගොඩගැහිල තිබුණ අපිළිවෙළට තැන් තැන්වල. කාමරය පුරා බැඳ තිබුණු මකුළු දැල් හමා ආ සුළඟට අතවනනව වගෙ ඒ අතට මේ අතට හෙලවෙන්න පටංගත්ත. ජනේලයත් වහලත් අතර තියෙන හිස් අවකාශය තුළ මකුළුවෙක් ලහි ලහියේ අලූත් දැලක් වියනව සමන්ත දැක්කෙ එතකොට. ඌ තම කුඩා පාදයන් ඉතා සියුම්ව එහා මෙහා කරමින් නිර්මාණශීලීව දැල බඳින විදිහට සමන්තට පුදුමයි. හරියට ඌ එතැනම දැල බඳින්නෙ ඒ හිස්තැන පුරවන්ඩ වගේ නේද කියල සමන්තට හිතුණ. එක අතකට මකුළුවෝ තමයි මේ පාළු බෝඩිමට ආ දවසෙ ඉඳන් ඔහුගෙ තනි නොතනියට හිටි එකම ජීවන සහකරුවො...

''උන් දිහා බලන් ඉන්ඩ පුළුවන් දවසම උනත් කිසි කම්මැලියක් නැතුව...!''

''ලෝකයේ පවතින වස්තූන් දෙආකාරයකට පවතින බව සාත්‍රේගේ අදහස විය. සමහර වස්තූන් තමන් සඳහාම පවතී. සමහර වස්තූන් පවතින්නේ වෙනත් දේ සලකාගෙනයි. පුටුවක් පවතින්නේ පුටුව සඳහා නොව යම් කිසි මිනිසකුගේ ප්‍රයෝජනය සඳහාය. මිනිසා පවතින්නේ පුටුව මෙන් නොවේ. මිනිසා පවතින්නේ තවකෙක් සඳහා නොව මිනිසා සඳහාමය. මෙහිදී ඇතිවන ගැටලූවක් නම් සමහර අවස්ථා වලදී මිනිසුන් ද පුටු වැනි බාහිර වස්තූන් මෙන් සැලකෙන්නට පෙළඹෙනු දකින්නට තිබීමයි. හෝටලයක වැඩ කරන වේටර් කෙනෙකුගේ පැවැත්ම කෙබඳු ද ? ඔහු තමන්ට නිශ්චිත, ක්‍රමානුකූලව සකස් කරන ලද වැඩ කොටසක් කරයි. ඔහු ක්‍රියා කරන්නේ යංත්‍රයක් මෙනි. ඔහු පවතින්නේ ද අනුන් සඳහාය...''

නදී පොත තුළින් එබුණ සමන්ත දිහාවට. ඇගේ මුහුණ සීතලින් සුදුමැළිව ගොස් තියෙනව සමන්ත දැක්ක. ඈ දෙකොපුල් රූරා ගැලු සීතල කඳුලූ බිඳුවක් ඔහු කියවමින් සිටි පොත මත වැටී රිදී තිතක් වගේ මද සුළඟට සෙලවෙමින් දිලිසුණා. නදී ඔහු දෙස එක එල්ලේ බලා හිටියෙ හරියට කවදාවත් පිළිතුරක් සොයාගන්ඩ බැරි ප්‍රශ්නයක් අහන්න වගෙ. සමන්ත බිම බලා ගත්ත - ඈ අහන්න යන ප්‍රශ්නෙට උත්තර දෙන්ඩ බැරුවද කොහෙද...

''මෙච්චර කාලයක්... මේ සම්බන්ධය දැනන් හිටියෙ නෑ අපේ ගෙදරින්...'' බිඳුණු හඬින් සමන්ත කිව්ව.

''ඒ වුණාට අපේ ගෙදරින් දැනන් හිටිය''

"ඔව්..., ඔයාල ගෙදරින් දැනන් හිටිය''

''ඔයා අපේ ගෙදරට ආව... ගොඩක් පාරක් - අපෙ අම්මටයි අප්පච්චිටයි මං කිව්ව ඔයා මාව කසාද බඳිනව කියල - ගමේ මිනිස්සු කිව්වෙ මං චාරයක් නැති වල් කෙල්ලක් කියල... එක එකාව ගේ අස්සට දා ගන්නව කියල - බඳින්ඩත් කළිං...!''

නදී දිග සුසුමක් හෙළුව.

''ඔයා දන්නවද...?''

''මොනවද?''

''ගමේ මිනිස්සු අපෙ අම්මගෙන් ඇහුවලූ - කෝ දැං පහුගිය දවස් වල ගෙදර ආපු ගියපු කොල්ල - ඇයි දැන් දුව එයත් එක්ක නෙමෙයිද කියල... උන් එහෙම කියද්දි - අම්ම ගෙදර ආවෙ අඬ අඬ...!''

නදී ඉකි බින්ද, හරියට අහිංසක පුංචි දරුවෙක් වගෙ. සමන්තගෙ ඇඟ වෙව්ලූම් ගත්ත ඒ ඉකිබිඟමෙ රිද්මයටද කොහෙද. කොහේදෝ සිට හදිසියේ කාමරයට කඩා ආ සුළං රොඳක් ඈ සීරුවට පීරූ කෙහෙරැලි සිපගනිමින් ඒවා ඒ මේ අත අවුල් කළා. තමන් වෙත එබුණු ඒ දීප්තිමත් දෑස් දෙස සමන්ත බලාන හිටිය හැඟීම් විරහිත හිස් බැල්මකින්.

''ඇයි කතා නැත්තෙ?''

සමන්ත ඈ දෙස බලන් හිටිය හරියට ඈ හඬේ තිබුණෙ දුකක්ද තරහක්ද කියල හොයාගන්ඩ වගෙ.

''ඇයි කතා නැත්තෙ...!?''

නදීගෙ වේගවත් හඬ තම කන් පෙති විනිවිද ගොස් හදවතේ කිඳාබැස නැවතෙනව සමන්තට දැනුණ. ඔහුගේ මිටි කළ දෑත වේගයෙන් ගොස් නැවතුණු මේසය දෙදෙරුන් දුන්න. තමාගේ කෝපයට ඇයගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක් වෙයිද කියල ඔහු හිතන්ඩ උත්සහ කළත් ඔහුට අදහසක් තිබුණෙ නෑ ඒ ගැන.

* * * * * * * * *

මම කොහොමද අමතක කරන්නෙ නදී... එයා දුප්පත් විත්තිය ඇත්ත අම්මල කියනව වගෙ... මට වඩා වැඩිමහල් විත්තියත් ඇත්ත. ඒත් කිසිම කෙල්ලක් ළඟ නැති අහිංසක කමක් තියෙනව එයා ළඟ. වයස - සල්ලි වගෙ භෞතික මිණුම් දඬු වලට පුළුවන්ද මනින්න ආදරේ දිග පළල... ඒවායෙන් මැන්නොත් පෙනේවි අපේ ආදරේ වෙළඳ වටිනාකම යහමින්... ඒ කියන්නෙ ශූන්‍ය බව... එක අතකින් අම්මල කියන එකත් ඇත්ත... නදී බැඳල මට පස්සෙ දුක් වෙන්ඩ උණොත්...?

''ඇයි උඹට කැම්පස් එකෙන්වත් හොයා ගන්ඩ බැරිවුණාද හොඳ කෙල්ලෙක් ඕකි හැර - අපිට ගැලපෙන විදිහෙ?''

එහෙමයි අම්ම කිව්වෙ නිතරම. එක අතකින් මට හොයා ගන්ඩ බැරිද නදීට වඩා ලස්සන පෝසත් කෙල්ලෙක් ලේසියෙන්ම - කෝසලා නංගි වගේම...? අම්ම පොරොන්දු වුණාලූ මාමට මාව කෝසලා නංගිට බන්දන්න... එයා නදීට වඩා ලස්සනයි - ඇත්ත. නදීට වඩා දඟකාරයි - ඒකත් ඇත්ත. විකාර... මං කොහොමද කෝසලා දිහා ඒ විදිහට බලන්නෙ. කෝසලා, පොඩි කාලෙ ඉඳන් කාලා බීලා සෙල්ලම් කරලා එකට හැදුන කෝසලා...

මං විහිලූවක් කළාම, රතු පාට වුණ මුහුණ හංගගෙන, මාව හුරතලේට කොනිත්තලා ඈ ගෙට දුවනව මට තවමත් මතකයි... කෝසලා... ඔබ ආවා... ඔය සුමුදු බඳ වටා එතුණු මිහිරි සුවඳත් අරන්, ඔබ පාවෙලා ආවා... ලස්සනට මල් වැටුණ රෝස පාට ගවුමකුත් ඇඳන් ඔබ ආවා, සිනා මල් පොකුරක් දෑතින් අරන්, මේ කුටිය සනහා නිවන්ට, ඔබ ආවා... ඔය දෑසේ කාන්තිය මගේ ලොවට ඇරන් මගේ ලෝකය එළිය කරන්නට... ඔබ ආවා මා ළය ගැහන රිද්මයට සියුම් පියවර තබමින්... පොපියන දෙතොලෙහි උණුසුම අරන්, ඔය දෙතොලෙන් මා ළය මත මුද්‍රා තබන්නට ඔබ ආවා... කෝසලා... ඒත්... ඒත්... අපි...

* * * * * * * * *

මකුළුවා තාමත් දැල වියනව සමන්ත බලාගෙන. ඌ ඒ වැඩේ කරන්නෙ කිසිම කම්මැලි කමක් නැතුව. ''දැන් ඒක ගොඩක් දුරට හදල ඉවරයි''. සමන්ත කියවමින් සිටි පොතේ කළු අකුරු ඔහු දෑස පටල ගත්ත අහම්බෙන් වගේ නැවතත්.

''...මිනිසා බාහිර වස්තුවක් මෙන් තවත් දෙයක් සඳහා පවතින්නක් විය නොහැකිය. මිනිසා අවශ්‍යයෙන්ම සලකනු ලබන්නේ තමන්ගේම නිෂ්ඨාව ලෙසයි. බාහිර වස්තුවකට නොකළ හැකි බොහෝ දෑ මිනිසාට විතරක් කළ හැකි වන්නේ මිනිසා ඒ බාහිර වස්තුවට වඩා වෙනස් බැවිනි. මිනිසාට තමන්ට අවශ්‍ය ලෙස තමා වෙනස් කර ගැනීමේ හැකියාව තිබේ...''

සමන්තගෙ ඇස් පොතේ කළුපාට අකුරු දිගේ ඒකාකාරී රිද්මයෙන් ගමන් කළා. ඒත් බොඳවෙලා තිබුණු ඒ අඳුරු පාටට එහා ගිය අර්ථයක් ඔහුට හඟවන්ඩ ඒ කළුපාට අකුරු වලට පුළුවන් කමක් තිබුනෙ නෑ... සමන්ත තවත් පිටුවක් හෙමින් පෙරලූව - ඉස්සරහට නෙමෙයි ආපස්සට. අම්ම උසට උසේ තමන්ගෙ ඉස්සරහට වෙලා තමා දෙස බලාගෙන ඉන්නව සමන්ත දැක්කෙ එතකොට. ඇගෙ බැල්මට බයෙන් ද කොහෙද සමන්ත හෙල්ලිලා ගියා කවදාවත් නැති විදිහට. ඒ නිසාමද කොහෙද ඔහුට පුළුවන් කමක් තිබුණෙ නෑ කෙළිං බලන්න අම්මගෙ මූණ දිහා.

''මොකද උඹ ගෙදර ආවෙ නැත්තෙ, ඉරිද-සෙනසුරාදවත්?''

සමන්ත නිශ්ශබ්දව හිටිය හරියට නෑහුනා වගේ.

''ඇයි... උඹට අරකිත් එක්ක රෝන්ද ගහන්ඩ පුළුවන්නෙ හොඳට - මෙහෙ ඉඳන්!''

''දැන් උඹට අපිව ඕනෙ නෑ...''

ඈ දිග සුසුමක් හෙලූළුව. හැර දමා තිබෙන කවුලූව තුළින් මද අඳුර හා දියවුණ සිහින් සීතල සුළඟක් කඩා වදිමින් තිබුණ කාමරයට. සමන්ත හිස ඔසවලා අම්ම දිහා බැලූව. අම්මගෙ මූණ රතුවෙලා තිබුණ ගින්දර වගේ - කේන්තියෙන්. ඔහු ආයෙත් බිම බලාගත්තෙ අම්මට නොදැනෙන්ඩ.

''ඇයි උඔ අපි කියන දේ අහන් නැත්තෙ? අප්පච්චියි මායි කොච්චර දුක් වින්ද ද උඹ මේ තත්වෙට ගන්ඩ ...?

* * * * * * * * *

සමන්ත ජනේලෙන් එළිය දිහා බැලූව. හීන් සිරිපොදක් වැටෙමින් තිබුණ සීතල සුළඟකුත් එක්ක. ''මේ වැස්ස අල්ලල යයි කාලෙකට, දැන් වැස්ස කාලෙනෙ'' සමන්තට හිතුණ. ජනේලෙන් ආපු හුළං වැස්ස හිටි හැටියෙ කඩා පැන්න ඔහුගෙ මූණට - හීන් ඉදිකටු වලින් අනින්නා වගෙ.

''සිසිෆියස්ගේ මිත්‍යා කතාව නම් ඉපැරණි ග්‍රීක මිත්‍යා කතාවක් තුළ ශ්‍රේෂ්ඨ සාංදෘෂ්ටිකවාදී දාර්ශනික ඇල්ඛෙයා කැමූ තම දර්ශනය හකුළා දක්වයි. සිසිෆියස් කළ වරදක් නිසා ඔහුට දෙවියන් වහන්සේ විසින් දඬුවමක් ලබා දෙයි. සිසිෆියස් හට ලැබුණු දඬුවම අනුව ඔහු විශාල කළු ගලක් කර තබා ගොස් ත්‍රිකෝණාකාර බෑවුමක් සහිත පර්වතයක් මුදුනින් තැබිය යුතුය. සිසිෆියස් මේ ගල කරතබා කන්ද මුදුනට යත්ම ගල නැවත කන්ද පහළට වැටේ. ඔහු නැවතත් එසේ ගල ඔසවාගෙන ඉහළ නගිත්ම ගල නැවතත් කඳු බෑවුමට පතිත වේ. සිසිෆියස් නැවත නැවතත් මේ වැඩය කරයි. නමුත් ගල පර්වත මුදුනින් තැබීමට ඔහු නොසමත් වේ. කැමූට අනුව සාමාන්‍ය මිනිසාද සිසිෆියස්ට සමාන වේ. ඔහුද යම් කිසි අරමුණක් හඹාගෙන යෑමේදී එය සාර්ථක වුවහොත්, ඒ කෙරේ තිබුණු ආශාව නැති වී ඒ තැනට තවත් අරමුණක් පැමිණේ. අසාර්ථක වුවහොත් දුක් විඳිමින් තව තවත් ඒ සඳහා වෙහෙස වේ...''

''උඹ අපි කියන දේ කරන් නැත්තන් මීට පස්සේ අපි මැරිල කියල හිතාගනින්... උඹ ඉගනගත්තු ළමයෙක් නේද?''

අම්මගෙ වේගවත් වචන සමන්ත තිගැස්සුවා. ඈ උසට උසේ තාමත් තමා ඉස්සරහ ඉන්නව සමන්ත දැක්කෙ එතකොට. ඇගේ උසම උස හෙවණැල්ල ඔහු කියවමින් සිටි පොතෙහි අකුරු තව තවත් බොඳ කරමින් පැතිරිල තිබුණ.

''අම්මා, නදී හැර වෙන කාවවත් මට බඳින්ඩ බෑ''

අම්මට ඔහුගේ වචන ඇහුණු බවක් පේන්ඩ තිබුණේ නෑ - නැත්තම් ඇහුණු බවක් පෙන්නුවෙ නෑ.

''මං අද හොඳට දෙකක් කියලා ආවෙ - ඒකිගෙ ගුබ්බෑයමට ගිහින්...! ''

''අම්මා මට...''

''තවත් කතා එපා... උඹ ඒකි කසාද බඳින්නෙ නෑ එච්චරයි. අන්න ඒක හොඳට මතක තියාගනින්!''

''අම්මා මට...'' සමන්ත මොනවදෝ කියන්ඩ හිතුවත් ඒ මොකක්ද කියල ඔහුට අමතක වෙලා තිබුණ.

* * * * * * * * *

'' ...පර්වතය මුදුනින් ගල තැබීමට සිසිෆියස් ගන්නා වෙහෙසත් සාමාන්‍ය මිනිසා විවිධ අරමුණු පසුපස හඹා යෑමට ගන්නා නොතිත් වෙහෙසත් එක හා සමාන වේ. එහෙත් හාස්‍යට කරුණ වන්නේ, සිසිෆියස් සාමාන්‍ය මිනිසාට වඩා ශ්‍රේෂ්ඨ වීම යි. මක්නිසාද යත්, සිසිෆියස් තමා විඳින්නේ දඬුවමක් බවත්, තමා ගල පර්වතය ඉහළට ගෙන ගිය කල එය නැවත කඳු පහළට වැටෙන බවත් දනී. නමුත් සාමාන්‍ය මිනිසා තමා විඳින්නේ දඬුවමක් බවත් තමා මෙසේ අරමුණු පිටුපස හඹා යෑම කිසිදා තෘප්තිමත් නොවන බවත් නොදනිති...''

හුළං වැස්ස ගෙට කඩාගෙන එන නිසාදෝ සමන්ත එළිය බැලූව ජනේලෙ වහන්ඩ හිතාන වගෙ. එතකොටයි ඔහු දැක්කෙ නදී ජනේලෙ ළඟ ඉන්නවා. ඉර බැහැගෙන ගිහින් මුලූ පළාතම රතුපාට වෙලා තිබුණ. බැසයන ඉරෙන් පරාවර්තිත සියුම් ආලෝක කදම්බයක් නදීගෙ කම්මුල හරහා වැටී තිබුණ රතට රතේ. ඇගෙ මුහුණ හොඳටම තඩිස්සි වෙලා වගෙයි සමන්ත දැක්කෙ. ඈ දෑසෙහි වෙනදා තිබුණු සුන්දරත්වය කම්මුල් දිගේ බැස ගිහින් තිබුණ. සමන්ත ඈ දෙස හිනා වුණා ලාවට. එතකොට නදිත් හිනා වුණා. ඉර එළිය හොඳටම අඩුවෙලා තිබුණ නිසාදෝ ඇගේ හිනාව ඔහුට පෙණුනෙ අඬනවා වගෙ. අඳුර තුළින් එකපාරට සට සට ගා ඇදී ආ මාවවුලෙක් තම කාමරය පුරා ඉගිලී ගොස් මෙතෙක් වේලා බඳිමින් සිටි මකුළුදැල විනිවිද යනව සමන්ත බලාගෙන.

* * * * * * * * *

ශේෂ වූ පාඩම එහෙමම තිබුණ සමන්තගෙ මේසය මත හුදෙකලා වෙලා.

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගෙහිමි සිත් සනහන
ආලින්ද මේස
සරසන
ලොකු කුඩා ටැංකි මත
ගර්වයෙන්
ඇවිදින
සලමින් සරල් වරලින
රිදී මාළුවනි
ලස්සන

සමචතුරශ්‍ර ලෝකය
මිසම හැර
ඉනෙ‌‌‌’පිට
වපර දෑසින්
නරඹන
පිළිකුල් දෑස් හැකිළෙන
සලමින රිදී වරලින
ගර්වයෙන්
ඇවිදින

වෙසෙයි නිබඳ සුසුමින් කෘත්‍රිම වළඳන
දිලෙයි නිතින එළියෙන නියොන් දැල්වෙන
යැපෙයි ලොබින ප්ලාස්ටික් ශාක උලමින
පෙනයි එතුළ තුඟු සුර විමනක් ලෙසින

පුළුලුකුල
අවකාශය,
ගණඳුරෙහි එගැඹුර
නොවෙද දුටුවේ
සකි සඳ
අකමැති වුවද බලනට

වටහා ගතිද එසැණින
මේ පැනිති කෙම් බිම,
සමචතුරශ්‍ර
තුනී
ලෝකය
මිස
ඉන් පිටැ’ති
ජීවිතේ රුදු දාහය
පුලුටු ගඳ මරණය

පෙනනා හෙයින්
විනිවිද
නොදුටුවෙද නොඑ‌සේනම්
සිර කොට තබා අත් බැඳ
ගෙහිමි සිත් සැන‌සෙන
පටු අවකාශ තල‌යෙක
හිටුවා පස් ගසන
මේ තුනී
වීදුරු බැමි
මා උඬඟු සකි සඳ

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මුහමලයේදි වෙයි ජුංඩක් ඇඹරෙන්ඩ
දූවිලි වදී මුකවාඩම් ගෙනියන්ඩ
කිලිනොච්චියෙදි කමු යටි බඩ හිරවෙන්ඩ
කෝලං නොකර කැමරාවට හිනැහෙන්ඩ

බය හිතෙනා නමුත් සොමි ගමනකි ඔන්න
නාගදීපයට වේලාහන යන්න
වාලම්පුරි තිබේ අඩුවට ගෙන එන්න
තල් රා මඳ පමණ ගෙන නිවනට යන්න

මුලූ රට පුරා සිරියාවයි එක හීයයි
කලූ වර දුවයි අම්බානක හඳ පායයි
මුලූ ගැන්නී මොකද කාටත් ජය පාටයි
පුලූ පුලූවං එවුං හෙලූවෙං රජු ගාවයි

කාලේ ඉතින් ඉවරයි අපි දුක් වින්ඩ
ටාප්පයේ අලවා ඇත දත් ඇන්ඩ
බට්ටෝ නැති පොළව ලං වී ලෙවකන්ඩ
මහට්ටුරිනි ජැප්නා වැඳ ගෙන එන්ඩ

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(The Hurt Locker, ඔස්කාර් සම්මාන සහ ඉරාක යුද්ධය පුනරුත්ථාපනය කිරීම නමින් ඩේවිඩ් වෝල්ෂ් විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියන ලද ලිපියේ සංක්ෂිප්ත පරිවර්තනයකි.)

මේ වසරේ ඔස්කාර් සම්මාන උළෙල තුච්ඡබවේ සහ බියසුලූබවේ සංදර්ශනයක් විය!

ඇකඩමි සම්මාන වැඩියෙන්ම දිනූ The Hurt Locker, Precious සහ Inglourious Basterds යන තුනම එක්තරා අන්දමකින් ප්‍රතිගාමී වූ ද චිත්‍රපට කර්මාන්තයේ දූෂිතබව මූර්තිමත් කරන්නා වූ ද, වැරදි ඇඟවුම් සපයන්නා වූ ද චිත්‍රපට විය.

The Hurt Locker පිළිබඳ ඊනියා ''අදේශපාලනික'' සහ ''අපක්ෂපාතී'' විග්‍රහයන් එසේම තිබියදී පවා, එය පිළිකුල් සහගත ලෙස යුදවාදී සහ අධිරාජ්‍යවාදී චිත්‍රපටයක් වන බව ඉතාම පැහැදිලි ය. අප්‍රිකානු- අමරිකානුවන්ගේ ජීවිත දෙස කුළුණුබර බැල්මක් හෙලනවායැයි කියන Precious චිත්‍රපටය පීඩිතයන්ගේ ඉරණම් සම්බන්ධයෙන් ඔවුන්ටම දොස් නගමින්, සමාජ පසුගාමීත්වයේ මඩ ගොහොරුවේ ගිලී යයි.

නාසි විරෝධීයැයි සැලකෙන Quentin Tarantino ගේ Inglourious Basterds නම් ජුගුප්සාජනක චිත්‍රපටය, ෆැසිස්ට්වාදය ගැන සාකච්ඡා කිරීම වෙනුවට, එයටම ආවේණික අශ්ශීල පරපීඩාකාමුකත්වයේ ලකුණක් ප්‍රදර්ශනය කරයි.

මේ ත්‍රිත්වයම නියම වශයෙන් සැලකූ කල, අශෝභන නිර්මාණයන්ය.

සත් වසරකට පෙර, එනම් 2003 මාර්තුවේ දී, අමරිකාව අයුක්තිසහගත ලෙස ඉරාක ආක්‍රමණය දියත් කිරීමෙන් දින කිහිපයකට පසුව, වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂක Michael Moore සිය Bowling for Columbine චිත්‍රපටයට ඔස්කාර් සම්මාන ලබා ගත් මොහොතේ, ජෝර්ජ් ඩබ්. බුෂ් යනු බොරුකාර ජනාධිපතිවරයෙකු බවට ප්‍රසිද්ධියේ චෝදනා කළේය. එහිදී ඔහු තව දුරටත් කියා සිටියේ, ''ව්‍යාජ හේතු දක්වමින්, අප යුද්ධයකට දක්කන මිනිහෙකු යටතේ ජීවත් වන්නට අපට සිදු වී ඇත. අප මේ යුද්ධයට විරුද්ධයි. බුෂ් මහත්තයෝ ඔබ ලැජ්ජා විය යුතුයි!'' යනුවෙනි.

මේ ප්‍රතිපත්තිගරුක නිර්භීත ප්‍රකාශයෙන් සත් වසකට පසුව, පසුගිය ඉරිදා රාත්‍රියේ (ඔස්කාර් සම්මාන උළෙලේදී) චිත්‍රපට කර්මාන්තය, ඉතාම ගර්හිත ආකාරයෙන් සිය සළුව ගලවා වීසි කරමින් ''නිල වශයෙන්'' නිරුවත් විය. මෙමගින්, මැද පෙරදිග සහ මධ්‍යම ආසියාවේ පවත්වාගෙන යනු ලබන විජිතවාදී මාදිලියේ යුද්ධවලට, යටත් පිරිසයින් ව්‍යාජ ලෙස හෝ විරෝධය පළ කිරීමේ උවමනාව මුලූමනින් හැර දමනු ලැබ තිබේ. The Hurt Locker හොඳම චිත්‍රපටය ලෙස තෝරා ගැනීම වූකලී, සත්‍ය වශයෙන්ම, ලිබරල් දේශපාලනික සහ මාධ්‍ය අවකාශය තුළ ඉරාක යුද්ධය අළුත් වටයකින් යළි පණ ගන්වා, පිහිටුවාලීමේ ව්‍යාපෘතියේ ම කොටසකි. 2003 ඉරාක ආක්‍රමණය කෙරෙහි විරෝධය ගොඩ නැගීමටත්, බුෂ් පරිපාලනයට එදිරිව සංස්කෘතිකමය සහ මනෝමය ද්වේශයක් ගොඩ නැගීමටත් විශාල කාර්යභාරයක් ඉටු කළ හොලිවුඩයේ ධනවත් ''යුධ විරෝධී'' ලිබරල් මහත්වරු ද මේ සමග එක්ව සිටිති.

The Hurt Locker අධ්‍යක්ෂිකා Kathryn Bigelow, හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය පිළිගනිමින් පැවසුවේ, එම සම්මානය ඉරාක, ඇෆ්ගනිස්ථාන සහ ලෝ පුරා යුද බිම් තුළ තම ජිවිතය පරදුවට තබා සේවය කරන හමුදාවල ගැහැණුන්ට සහ පිරිමින්ට පුද කරන බවයි. පසුව, හොඳම චිත්‍රපටය සඳහා සම්මානය පිළිගනිමින් ඇය පුනරුච්ඡාරණය කළේ, ''තව එක පුද කිරීමක්.... මේ සම්මානය ලෝ පුරා නිල ඇඳුම් අඳින සියලූ දෙනාට පුද කරනවා.... ඔවුන් ඉන්නේ අප වෙනුවෙන්... අප ඉන්නෙ ඔවුන් වෙනුවෙන්...!'' යනුවෙන්.

ඔවුන් ඉන්නේ ''අප වෙනුවෙන්'' නොවේ! එක්සත් ජනපද හමුදාව යනු, බලහත්කාරයෙන් මිලිටරි සේවයේ යොදවාගත් මිනිසුන්ගෙන් සැදි හමුදාවක් නොව වෘත්තීය හමුදාවකි. එය ඇමරිකානු ආර්ථීක අභිවෘද්ධිය පතා ලෝකය පුරා පහර දීමේ බල ඇණියක් ලෙස ක්‍රියාත්මක වන්නකි. ''භට පිරිස් වලට සහාය දීමේ අවශ්‍යතාවය'' නැමැති සූත්‍රය පෙරට දමා ගනිමින්, සකල විධ ලිබරල් මතධාරීහු ද හිටපු වාමාංශිකයෝ ද අධිරාජ්‍යවාදී යුද්ධය වටා පෙළ ගැසෙමින් හිඳිති. මෙය නරුම වූ ද බියසුළු වූ ද සටන් පාඨයකි. ප්‍රායෝගිකව ගතහොත්, එයින් ඇඟවෙන්නේ මේ ම්ලේච්ඡ යුද්ධයන්ගේ ප්‍රභවය, මෙහෙයුම් උපක්‍රම සහ අරමුණු පිළිබඳ විවේචන යටපත් කොට දැමීමයි.

The Hurt Locker ඔසවා තැබීම සඳහා වූ සම්මාන පිදීමේ ව්‍යාපෘතියේ සාර්ථකබව මගින්, විචාරකයන්ගේ මෙන්ම ඊනියා හොලිවුඩ් ''ප්‍රභූන්''ගේ බුද්ධිමය බංකොලොත්භාවය පිළිබිඹු වෙයි. එකී චිත්‍රපටය ජනතාව විසින් වැළඳ ගනු ලැබූවක් නොවේ. ගාඩියන් සඟරාවට Jeremy Kay මෙසේ ලියා තිබිණි. ''මේ ත්‍රාසජනක චිත්‍රපටය ඇමරිකාවෙන් නිපදවුනු විශිෂ්ටතම ඉරාක යුද චිත්‍රපටය ලෙස දයාබර පිළිගැනීමකට ලක් විණ. ඇත්ත වශයෙන්ම එය මෑත කාලීනව නිපදවූ චිත්‍රපට අතරින් යුද්ධය පිළිබඳ විශිෂ්ටතම අභ්‍යන්තරික විවරණය ගෙන එන්නකි.'' මේ ප්‍රකාශය ව්‍යාජයකි. සිදු වූයේ, මෙයට වඩා විශිෂ්ට සිනමා කෘති සේ සැලකිය හැකි Battle for Haditha, In the Valley of Elah සහ තවත් චිත්‍රපට ඇමරිකානු සහ ඇමරිකානු ගැති මාධ්‍ය විසින් හිතාමතාම කොන්කරනු ලැබ දැමීමයි.

The Hurt Locker අධ්‍යක්ෂිකාව ඔස්කාර් සම්මානයක් දිනූ පළමු කාන්තාවයි. ''එය අපූරු වැඩක්!'' Jeremy Kay තවදුරටත් කියයි. ''හිතාගත නොහැකි වේගයෙන් කාන්තාවක් ඔස්කාර් දිනීම පිළිබඳ කතාබහ පැතිරගියා. නාම යෝජනා ඉදිරිපත් වුන පෙබරවාරි දෙවැනි දා පටන් කිසිවෙක් මේ ගැන හැරෙන්නට වෙන කිසිවක් කතා නොකළ තරම්!''

වෙනත් විදිහකට කියන්නේ නම්, වෙන කිසිවකටත් වඩා වැදගත් ම තුරුම්පුව වී ඇත්තේ අධ්‍යක්ෂිකාවගේ ලිංගයයි! ඇත්තෙන්ම සිදු වූ කතාව මෙය නොවේ. සිදු වූයේ, ඇකඩමි සම්මාන තෝරන මණ්ඩලය, The Hurt Locker චිත්‍රපටයේ තේමාවට වහ වැටී එය වටා රංචු ගැසීමයි.

වාස්තවිකත්වය සහ තථ්‍යතාවයේ වේශයෙන්, අධ්‍යක්ෂිකාව කරන්නේ, ''දඩබ්බර මිනිහෙක්''ගේ එනම්; බෝම්බ නිෂ්ක්‍රීය විශේෂඥ විලියම් ජේම්ස්ගේ දෂ්ඨි කෝණයෙන් ඉරාක යුද්ධය අපට පෙන්වීමයි. එමගින්, ඉරාකය තුළ ඇමරිකානු හමුදා ලැග සිටීම කිසි විටෙක ප්‍රශ්ණ නොකරයි. ඒ වෙනුවට, ''එඩිතර'' (ඇත්තටම නම්... මනෝව්‍යාධික!) හැසිරීම් ඇති චිත්‍රපටයේ චරිත විසින් ජීවිත දහස් ගණනක් බේරා ගනු ලබන අන්දම වීරත්වයට නගා අපට පෙන්වයි.

බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අවස්ථාවල යොදා ගෙන ඇති කෙටි දෙබස් බොහෝ විට නොමග යවන සුළු ඒවාය. අධ්‍යක්ෂිකාවට සොල්දාදුවන් කෙබඳු ද යන්න තබා සාමාන්‍යයෙන් මිනිසුන් අන්තර් ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැනවත් කිසිදු හැඟීමක් නොමැති සේය. ඇගේ කලින් චිත්‍රපට (එනම්; The Loveless, Near Dark, Blue Steel, Point Break සහ Strange Daysහි) කිසිවක් ජීවිතය පිළිබඳව සාකච්ඡා නොකරයි. ඒවා පශ්චාත් ව්‍යුහවාදී සහ පශ්චාත් නූතනවාදී දාර්ශනික කෑලි-බෑලි මූට්ටු කිරීමෙන් සාදන ලද වියවුල් සහගත අඳුරු නිරූපණයන්ය.

Bigelow බලයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් හා යුද්ධයෙන් වශී වී සිටින අන්දම ඉතාම පැහැදිලිය. ඈ යුද්ධය දකින්නේ චිත්තාකර්ෂක සහ ඉතාම නාට්‍යාකාර ලෙසය. ඇය ''කලහකාරීත්වය එනම්; යුද්ධය සඳහා මූලික අවශ්‍යතාවක් ඇත'' යන අදහසට ආසක්තව සිටියි. එබැවින්, ''සටන් කිරීම සඳහා මනෝ විද්‍යාත්මක ප්‍රේරණයක් හෝ ඇබ්බැහියක් හෝ ආකර්ෂණයක්'' ඇතැයි යන විනිශ්චයකට ඇයම පැමිණෙයි!

චිත්‍රපටයට ප්‍රශංසා කරන්නෝ, හිතන්නේ එකී කරුණ සම්බන්ධයෙන් Bigelowට විවේචනයක් ඇති බවය. නො එසේනම් ඒ ගැන ඈ වැලපෙන බවය. ඊට පටහැණිව, ඇත්ත වශයෙන් සිදු වන්නේ The Hurt Locker මගින් යුද්ධය උත්කර්ෂයට නැංවීමයි. ඇගේ චිත්‍රපටයට පාදක කර ගැණුනු හිටපු අභ්‍යන්තරික වාර්තාකරුවෙකු වන Mark Boalගේ පිටපත ''යුධ-විරෝධී'' එකක් නොවේ. එය හුදෙක් ඉරාක සංහාරයේ යෙදී සිටින එක්සත් ජනපද හමුදාවන් ගෙවනු ලබමින් සිටින මිල ගැන කතා කිරීම සඳහා ලබා ගත් ඉසිඹුවක් පමණි. පහුගිය අගෝස්තුවේදීත් ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් අප සඳහන් කළ පරිදි, මේ චිත්‍රපටය පිළිබඳ විශාලතම මිත්‍යාව නම්, ඉරාකයේ සමස්තය සලකා බැලීමකින් තොරව, එක්සත් ජනපද හමුදාවන්ගේ මානසික සහ සදාචාරාත්මක පසුබිම නිවැරදි ලෙස විග්‍රහ කළ හැකියැයි නිර්මාණකරුවන් විසින් විශ්වාස කරනු ලැබීමයි.

චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළෙලේ දී සාර්ථක වූයේ, එක්තරා විචාරකයෙක් චිත්‍රපටය සම්බන්ධයෙන් ප්‍රශංසාත්මකව පැවසූ පරිදි ''එය යුද්ධය සම්බන්ධ කිසිදු දේශපාලනික විනිශ්චයක් ඇති කර ගැනීම සඳහා ප්‍රේක්ෂකයාට බල නොකරන'' බැවිනි. එමගින් ඔබාමා පාලනයත්, පෙන්ටගනයත් ප්‍රශ්න නොකෙරෙන බැවිනි.

පැහැදිලිවම, වාර්ෂික ඇකඩමි සම්මාන ප්‍රදානෝත්සවය යනු හුදෙක් හොලිවුඩයට තමන්වම ප්‍රශංසා කර ගැනීම වෙනුවෙන් පවත්වන උළෙලක් පමණක් නොවේ. එය එක්සත් ජනපදයේ පමණක් මිලියන හතළිහක් ජනතාව විසින් විවිධ සන්නිවේදන මාධ්‍ය හරහා නරඹනු ලබන, ඇමරිකානු ජන ජීවිතයේ සාමූහික වතාවතක් බවට පත්ව ඇති උළෙලකි. එනිසාවෙන්ම, පොදු මහජන මතය හැඩ ගැස්වීමටත්, මෙහෙයවීමටත් එයට ඇත්තේ අනල්ප විභවයකි. එබැවින්, එබඳු වෙනත් අවස්ථාවන් සම්බන්ධයෙන් සිදු වෙන්නාක් මෙන්ම, ඔස්කාර් සම්මාන දැක්ම ද සම්පූර්ණ පාලනයක් සහිත ''පිටපතේ නැති කිසිවක් නොසිදුවන'' උළෙලක් බවට පත්ව තිබේ.

මේ ලිපිය මුලදී සඳහන් කරන ලද, 2003 දී Michael Moore දිනූ සම්මානය පවා විශාල පාලනයකට යටත්ව ලබා දුන් එකක් විය. මෙවර හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය සඳහා නාමයෝජනා ලැබුණු Judith Ehrlich සහ Rick Goldsmithගේ The Most Dangerous Man In America: Daniel Ellsberg and the Pentagon Papers චිත්‍රපටය, 1971 වසරේ වියට්නාම් යුද්ධයේදී පෙන්ටගනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ රහස් ප්‍රසිද්ධියේ හෙළිදරවු කළ Ellsberg පිළිබඳ තැනුනු එකකි. එහෙත්, නිවටකමට සහ දූෂණයට යට වුනු වත්මන් වටපිටාවේ, එබඳු අධිකාරීත්වයට එරෙහිව නැගී සිටි මිනිසුන් ගැන මතක් කිරීම පවා මොන තරම් කරදරයක්ද?

ඒ වෙනුවට හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ, වාර්ෂිකව ඩොල්පින් සහ මුහුදු ඌරන් විශාල සංඛ්‍යාවක් බිහි කරන, ජපානයේ එක්තරා ධීවර ගම්මානයක් ගැන කියවෙන The Cove නම් චිත්‍රපටයයි. එහි තේමාව වැදගත් විය හැක. එහෙත්, ජන ඝාතක වියට්නාම් යුද්ධය නතර කිරීම හෝ වියට්නාම් යුද්ධයේම වත්මන් පුනර්රූපනය වූ ඉරාක සහ ඇෆ්ඝගනිස්ථාන යුද්ධය ගැන කතා කිරීමට වඩා ධීවර ගම්මානයක් ගැන කතා කිරීම වැදගත් වන්නේ කෙසේද?

කෙටියෙන් කිවහොත්, මේ වසරේ ඇකඩමි සම්මාන උළෙල විශාල පසු බැස්මකි. සෘජු සහ අවංක හොලිවුඩ් අධ්‍යක්ෂකවරුන්, පිටපත් රචකයන් හෝ නළු-නිළියන් වේ නම් කට අරින්නට කාලයයි මේ. මේ පවතින තත්ත්වය, චිත්‍රපට කර්මාන්තය සම්බන්ධයෙන් හෝ සමාජමය වශයෙන් හෝ කිසිදු අන්දමකින් හෝ වර්ධනය වී තහවුරු වෙන්නට ඉඩ දීම විශාල අන්තරායයකි.

මාර්තු 11, 2010
ලෝක සමාජවාදී වෙබ් අඩවිය

ඩේවිඩ් වෝල්ෂ්
පරිවර්තනය - කූඹියා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails