Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers




(මගේ ලොකු පුංචි ස්වර්ගස්ත වුණා. මං ඒ බව තාම දන්නෙ නෑ.)

දේවදාර ගස් හිමිදිර සෙමෙර සලපු
පාරෙ පයිප්පෙන් නාගෙන වරල උනපු
මාව වඩා අඩ හඳ හා මොට්ටු තියපු
හාදු කඳු ගසා කොපුළත වැඩට දුවපු

රෑට එනවිටයි කුප්පිය පණ එන්නේ
පාට ලොසින්ජර ඇස් වල විසිරෙන්නේ
ඊට වඩා ඔබෙ කම්මුල රතු වෙන්නේ
කාට සමානද නෑ තව වැටහෙන්නේ

පුංචි ඇඟිළි ඇති පුංචිගෙ පුංචි ඇඟිල්ලේ
පල්ලි ගියේ එල්ලීගෙන සබත මුළුල්ලේ
කන්නි මරිය මව් හැබැහින් සිටිය ඇසිල්ලේ
පුංචි වුණා නම් තවමත් නිවි හැනහිල්ලේ

තෙරේසා ශුද්ධවරියකි
ඇගේ ඇස් ගෙත්සෙමෙනියකි
විඩාපත් නොවන වුවනත
සිනාවන් දුක්ඛ කවියකි

පුංචි කුටියෙ කවුළු දොරකි
පාළු කනත්තට දෑසින් තනි රකිනා
කන්ද නැඟන් ටෙරන්ස් මාවතේ එන රුව
හීනයෙන් වගේ දෑසට ඇණ ගසනා
පුංචි පියාපත් කුළියට
ගන්න බැරිව
පුංචි නෙතින් ඉඟිමරනා
පුංචි කුරුල්ලෙක්
නිසසල සුරුවමකට
උර දෙන්නට තටු සොයනා

අතීතයට යන පාරේ ගොක්කොළ එල්ලා
නිදා සිටින දෙව් මැදුරේ සීනුව හොල්ලා
මුදා හැරෙන පූජාවේ පූපය ඉල්ලා
හඬා වැටෙන සිහිනයකට සිහිය ඇවිල්ලා

පාස්කුවත් වියැකී ගිය සැඳෑවක
දෑස් බොඳ වුණා ඔරසන් තලාවක
දෑත් රැඳුණු බෙංතිඤ්ඤෙද මළානික
මාත් අඳිමි කුරුසිය හුදෙකලාවක

පුතුන් වදන කුස තරමට දුක් වින්ඳ
ඔවුන් කවන්නට දෙතනින් ඉකි බින්ඳ
සවන් පුරාවෙම ගැරහුම් පොදි බැන්ඳ
මවුන් තරම් දිගු අහසක් කොයිබින්ඳ

මංජුල වෙඩිවර්ධන
(2010 අප්‍රේල් 30)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



මේ ප්‍රකට චිත්‍රපටයකින් ගත් දර්ශනයක්.

1- දර්ශනයේ පෙනී සිටින රංගන ශිල්පියා කවුද? | 2- ඔහු සමග දර්ශනයේ සිටින රංගන ශිල්පිනිය කවුද? | 3- චිත්‍රපටය කුමක්ද? | 4- අධ්‍යක්ෂණය කළේ කවුද?


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අන්තර්භාෂණයම සංවාදය වූ කල කටහඬ නිෂ්ප්‍රභා වී රූපය ප්‍රභාමත් වී ආලෝලනය වෙයි. ඒ ප්‍රභාමත් බව තුළ ඇත්තේ නින්නාද නැඟෙන ගණ අන්ධකාරයයි. අන්ධකාරය තුළ සෙවනැලි නො නැඟෙන්නේ යැයි ඔබට තර්ක හැකිය. එබැවින් නිහැඬියාව තුළ හඬක් නොවෙතැයි සිතීමට ද ඔබට බාධාවක් නැත.

සියලු මානව හිමිකම් සුණුවිසුණු කරන ලද්දේ වුව පරපුරෙන් පරපුරට අඛන්ඩව නො නසා රැක ගත් සාමූහික ජීවිතය උපන් දිනයක රාමුගත කළ නිෂ්චල ඡායාරූපයක් පමණක් බවට පත් කරනු ලැබ ඇත. එවිට ස්වයං හුදෙකලාව මරණීය තුවාල ලත් සුව කළ නො හෙන හදවතක පරම විමුක්තිය බවට නිරායාසයෙන් පත් වේ. සිහිනය යථාර්තය බවට පත්වීමත්, යථාර්තය සිහිනය බවට පත් වීමත් අතර ඇති අන්තරය ශුන්‍යය වනුයේ අන්තර්භාෂණයේ ඓක්‍යය ලෙසය. බහුතරය නම්වන මහ ජාතිකත්වයේ අනුකම්පා විරහිත සුවිසල් බැකෝ යන්ත්‍රයෙන්-

-බලහත්කාරයෙන් මුලිනුදුරා උපන් භූමියෙන් තලා පිටමං කොට ආත්මීයව අනන්‍ය විය නො හෙන භූමියක ඉන්දන්නට තැත් කරන වෘක්ෂයක් මුදුන් මුල සොයා ගත නො හැකිව වේදනාවෙන් ඇඹරෙයි.

ඉදින් ප්‍රොයිඩියානු විෂ්ලේෂණයට අනුකූල විභව ආසය මඟහැර විමුක්තිය අත්පත් කර ගැනීමට නො හැකි යැයි සිතෙනා තරමටම ජීවිතය ව්‍යාකූල වෙයි. දෙපයේ මාපටැඟිලි එක්කර බඳින ලද මිනිසෙකුට ඩැක්කි සපත්තු යුගලක යථාර්තය සඟවා ඉබාගාතේ ඇවිද යා හැකිද?

රවීන්ද්‍රන් ප්‍රදීපන්ගේ ''නිහැඬියාවේ සෙවනැලි'' (Shadows of Silence) - මහත් සේ හඬනඟමින් පුපුරා යන රූපාවලියකි. සවන් ගුගුරුවන ඒ විසල් නිහැඬියාව තුළ මතු වන සංවාදයේ විසංවාදයත්, විසංවාදයේ සංවාදයත් පාර භෞතික ''සීතල සිහිනයන්ට'' භෞතික දෑසක් පළඳවයි. ප්‍රදීපන් සිය පරිකල්පනයේ තෙලිතුඩ ඉසියුම්ව හසුරුවමින් ඔහු අබියස ඇති සමාජ කැන්වසය මත නිමවන මානව සමීප රූපය හැඟීම් විරහිත වන්නේ වෙයි. ඒත් එකී පැතලි මුහුණේ ගැඹුරුතර පත්ලින් විනිවිද නැඟෙන්නේ මිදී ගිය අසංඛේය හැඟුම් සමුදායයකි. ජිවිතයෙන් අත්මිදෙන්නට වෑයම් කරන මිනිසකුට නාඳුනන සමාජ පරිසරය විසින් ජීවත් වන්නට අණ කරනු ලබන විට ඔහුගේ මානසික ඉරණම හෙවත් භෞතිකය වඩාත් සංකීර්ණ වන බව ප්‍රදීපන් කලාත්මක සන්දර්භයක ගොණු කරයි. මෙකී අණ නැඟෙනුයේ ජීවන පංගුකාරයන්ගේ ආදරණීය කටහඬින් වන විට වේදනාව කෙතරම් දරුණු වනු ඇද්ද?

ඉතා උස්ව නැඟුණු ගොඩනැගිල්ලක ඉහළ මාලයක වන පටු බැල්කනි තීරුවට වී අසීමිත ආතතියෙන් මිදෙනු වස් වේගයෙන් දුම්වැටියක් උරන මිනිසෙකුට පහළ සුසුදු හිම තලාවක රුහිරු ලපයක් මැද පතබෑවී සිටින ඔහුගේම මළකඳ පෙනෙන විට සැතපුම් සිය ගණනක් දිග දුම් වැටියක් උගුරට දෙකට බී හමාර කළ නො හැකිද? අතරමඟදී තමන්ගේම මෘත ශරීරය හමුවන මිනිසෙකුට තම රුධිරය ගලා ගිය මඟ ඔස්සේ රැකියාවකට යා හැකිද? ජීවිතය කෙතරම් වේගයෙන් ගෙවී යන්නේ වුවද මතකය දිය වී නොයන සංසිද්ධියකි. නිෂ්චිතව පවතින පරම බලවේගය අවිනිෂ්චිතභාවයම පමණි.

මරණය ලුහුබැඳ යන මිනිසෙකු පසුපස ජීවිතය ලුහුබැඳ පැමිණෙයි. මූකලන් ගැන්වුණු මුහුණක් හෙළිපෙහෙළි කළ විට කැටපත තුළින් අතීත ජීවිතය හමුවී සමස්ථ ආත්මය යළිදු මූකළන් ගත වේ. ශාරිරිකව අවතැන් කරන ලද මිනිසුන්ගේ මානසික අවතැන් වීම ප්‍රදීපන්ගේ රූප සෞන්දර්යය තුළ ගිලිහී නොයන කඳුළක් ලෙස මිදී පවතී. එය මිදී පවතින කඳුළක් බැවින් කිසිවෙකුටත් ඉන් මිදීමට නො හැකිය. බලහත්කාරයෙන් සිරගත කරන ලද දේශ දේශාන්තර සීතල සිහින ජීවිතය සර්පයකුගේ කිලිපොළා යන සුසුදු බඩවත සේ පෙනුනද පිටත පෘෂ්ඨය මත කැටයම් කපන ලද කළු කාෂ්ටකභාවයේ හංවඩුව විෂ ශරීරගත කොට ක්ෂණික මරණයක් ලබා නො දුන්නද ජීවිතය පුරා වෙලෙමින් ආත්මයේ දරණ ලා හිඳී.

මිනිසකුගේ ප්‍රශ්වාසී ළයමානය අවසන් මොහොත තෙක් සමස්ථ රූපාවලිය පුරා සංධ්වනියක් සේ දිගහැරෙන විට දුම්රියක හඬ නිෂ්චිත අරුත් නො නඟන පද මාලාවක් සහිත සරල ගීතයක් බවට පත් වේ. විසිර ගිය රුධිරය මත වැතිර සිටිනා ප්‍රාණ නිරුද්ධ මිනිසකුගේ සමීප රූපය තෙරක් නො පෙනෙන හිම තලාවක දුර රූපයක් බවට පත් වන විට වක්‍රෝත්තිය තුළ දුර රූපයක ඇති ඉන්දියන් සයුරේ මුතු ඇටය ඉරිතැලී ගිය සමීප රූපයක් බවට පත් වේ.

ඔබේ ජංගම දුරකථනය අඛන්ඩව නාද නැඟී ඇස ඇරෙන විට ඔබ දකිමින් සිටි සිහිනයේ හිම තලාවක වැතිර සිටින මිනිසකු සිටිය හැකිය. ඒ මරණය යැයි නො සිතන්න. ඒ අවතැන් කරන ලද ජීවිතයයි. ඉදින් ''නිහැඬියාවේ සෙවනැලි'' අතරින් පැන නැඟෙන කටහඬ නිහැඬියාවම බව කීමට ඔබට පිළිවන්ද?

මංජුල වෙඩිවර්ධන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(දකුණෙන් ආ එකම සම්මානනීය නිළියගේ පශ්චාත්තාප පරීක්ෂණ වාර්තාව)


මේ ඊයේ පෙරේදේ ඇටෙන් පොත්තෙන් එලියට ආ පබා කෙල්ල ගම්පහින් කප් ගසා දියවන්නාව තරණය කරන විට දකුණෙන් බිහි වූ එකම සම්මානනීය නිළියට දියවන්නා තෙරින් තබා බෙන්තර ගඟෙන්වත් එතෙර වී සසර මග කෙටි කර ගැනීමට නොහැකි වූයේ මන්දැයි පැවති උහතෝකෝටිකය නිමා කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නට ඉහලින් නියෝග ලැබී ඇත. ගාල්ල ද මේ සිරිලකම කොටසක් වූ බැවින් මෙවැනි අපරාධයක් සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව සෙවීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවට අංජනමක් බලා ටක්කටෙම වූ දේ කියන්නට අලි දේවාලේ රත්තරං කපුවා ද කෝකටත් තෛල ජනමත සමීක්ෂකගේ ආචාර්ය පියදාස ද ජ්‍යෙෂ්ඨ ගුප්ත විද්‍යාඥ කලාභූෂන අර්ථපති සූර්යපෙරුමයා ද පත් කෙරිනි.

ජන්දයට පෙර සිටම අනාවැකි පලකල රත්තරං කොල්ලාගේ අනාවැකි හා අරින ලද පිල්ලිවල සංකලනයෙන් මෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කය පුරා දීප ව්‍යාප්තව සිදු කරන ලද දැවැන්ත කරුණු අධ්‍යයනයකින් පසු මෙම තුන් කට්ටුව විසින් එහි වාර්තාව පසුගිය ඉරිදා නිකුත් කරන ලදි. ඒ වාර්තාව අනුව හෙලිකරගත් කරුණු කිහිපයක් පමණක් පහත සඳහන් වේ.

ඉරිදට ඉරිදට මේ අපේ දෙරණේ ලයිව් පෙන්නන කෙලී ගේ ෆෝගෑම් එක කොරන ලී පරපුරෙන් පැවත එන තවත් එක් සම්මානනිය නිලියක් මේ විශාල නස්පැත්තිය සිදු වීමට මූලිකව බලපා ඇති බව මෙම කොමිටිය හෙළි කරගෙන ඇත.

එම වාර්තාවට අනුව පුංචි කතිර යුද්ධයේදී ගාල්ල පොලේ ගොස් අක්කිලාගේ අම්මිලාගේ මනාපය ඉල්ලා කතිර යුද්ධයෙන් පසු පැත්ත පලාතේ නොයෑම නිසාත්, කෙලී ලයිව් පෙන්නන කොට හුරතල් වෙනවා මදි නිසාත් අක්කිලා තරහින් පුපුරමින් සිට ඇත. එහෙව් නරක කාලයේම දකුණෙන් ආ එකම සම්මානනීය නිළියට ද මහ කතිර යුද්ධය සඳහා මනාප ඇහිලීමට යන්නට ලැබීම ඇයගේ බුද නීච වීම නිසා සිදු වී ඇති බව රත්තරං වැඩිදුරටත් සොයාගෙන ඇත. මෙය මේ ආත්මයේ කළ වරදක් නිසා නොව මීට ආත්ම දහඅටකට උඩදී සිදු වූ අත්වැරද්දක් බවද ඔවුන් වැඩිදුරත් ප්‍රකාශ කර ඇත. එම වරද නිවරද කර ගැනීම සඳහා බුදුම්පා.... සත්තකින්ම ඔබ වෙනුවෙන්මයි... දෙයියම්පල්ලා යනුවෙන් දහඅතේ දිවුරමින් ගියද වඩා ප්‍රබල වී ඇත්තේ දිට්ඨ දම්ම වේදනීය කරුමය නිසා මලගෙවල්වල ඇවිදින්න ඩේට් ෆික්ස් කර ගැනීමේ පටන් හැම ප්ලෑන් එකක්ම ලත් තැනම ලොප් වී ඇත. එසේම කතිර යුද්දෙන් පසු ටීවී එකට ගොස් සමන්මලී ලයිව් පෙන්නන්න ගත්තොත් කොහොමට හිටීද යනුවෙන් සිතූ බුද්ධිමත් ජනතාව හිටු තොට හොඳ වැඩක් කොරන්න කියා හෙට්ටියාටම තනි මනාපය ගසා තිබීමද මෙයට බලපා ඇති බව ඔවුන් පවසයි.

ගැටයන්ගේ පමණක් නොව අවුරුදු 50-60 කොල්ලන්ගේ පවා මනාපය ගන්නනම් පෙන්නීම පමණක් නොව වයසද බලපාන බව ඔවුන් සොයාගෙන ඇත. ඒ අනුව කොතරම් සම්මානනීය වුවද ඊට වඩා බාගෙකුත් තවත් අරික්කාලකුත් අඩු වීම නිසා ගම්පහින් ටොප් එකට එන්නට පබා කෙල්ලට හැකි වී ඇති අතර හැටේ දශකයේ කෙල්ලෙක්ව සිටි අවධියේදී මනාපය නොඉල්ලා එක්ස්ෆයර් වූ පසු මනාප ඉල්ලීම හේතුවෙන් සම්මානනීය නිළිය පරාද වී ඇති බව එම වාර්තා තවදුරටත් අනාවරණය කරගෙන ඇත. (වාර්තාවේ එය සඳහන් වූයේ “ඩේට් පැනපු බඩු කවුරුවත් ගන්නෙ නෑ විහින් ලෙඩ වෙන්න”, යනුවෙන් වුවද මෙම ලිපියේ සභ්‍යත්වය රැක ගැනීම උදෙසා එම වචන භාවිතා නොකළ බව කරුණාවෙන් සළකන්න. තුන් කට්ටුවේ පෙරුමයාට වඩා මෙම ලේඛකයා සභ්‍යත්වය රැක ගැනීමට ආශා කරයි.)

පුංචි කතිර යුද්ධයට පෙර සිටම ඉහළ ගෙටත් පහළ ගෙටත් එකසේ බෙදා අතක් ගත් හෙට්ටියාගේ මොලේ තියෙන බවට ලබා දුන් බුදු ෂුවර් සහතිකය ද දකුණෙන් ආ එකම සම්මානනීය නිලියගේ අවාසනාවන්ත පරාජයට හේතු වී ඇති බව මෙම වාර්තාව තවදුරටත් හෙලිකර සිටී. මේ නිසා මොලේ තියෙන එක මිනිහෙක් හිටියම මදැයි කියා තනි මනාපය කෙල ඇති බව වියත් සභා පෙන්වා දී ඇති බව වාර්තාව තවදුරටත් හෙලිකර සිටී. අතක් ගත් හෙට්ටියා සම්මානනීය නිලිය මුණ ගැසුන එක් අවස්ථාවකදී හප් කියා බය කොට උගුරේ තෙල් ගා ගිලින බවට විහිළුවට පවසා තිබීම නිසා බියට පත් සම්මානනීය නිලියට හරියට චන්දය කොර ගත නොහැකි වීමද පරාජයට හේතුවූ බව සමීක‍ෂණ වාර්තා හෙලිකරන බව පියදාස පෙන්වා දී ඇත.

මනාප ගැන්න දොහේ ඉඳන් හොටු පිහදාමින් ඇඬූ කඳුලින් ලක්ෂ 300 ක් ඉන්වෙස්ට් කොරේ කොස්ඇට තම්බන්න නොවන බවද තමන් දිනූ පසු ජීඇස්පී පස් ලබාදී රටට සේවය කිරීමට හිතා සිටි බවත් පවසා, තමන් දිනූ බවත් අන්තිමේ ජිල්මාට් පැමිණ ඒකට ඇරිය බවත් පැවසුව ද යථාර්ථය එය නොවන බව මෙම ප්‍රබුද්ධ වාර්තාව, ඇයගේ පරාජයට හේතු ඉදිරිපත් කොරමින් අවසාන වශයෙන් සඳහන් කොට තිබුනි.

කුමුදු ප්‍රියංකර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


තිලක, ශක්තික සහ යනුෂා-ගෙන් අලුත් පොත් තුනක්

මකරන්ද ලේඛක රසික හවුල සංවිධානය කරන නිර්මාණ කෘති එළි දැක්වීමේ උළෙලක් මැයි මස 23 වන ඉරුදින ප.ව. 2:00 සිට 5:00 දක්වා කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.


ඩී. තිලක පියදාසගේ නරුමයෙකුගේ සුන්දර රාත්‍රිය කාව්‍ය සංග්‍රහය, ශක්තික සත්කුමාරගේ කළු මකරා කෙටිකතා සංග්‍රහය, යනුෂා ලක්මාලිගේ බිඳ වැටුණු කැණිමඩල කාව්‍ය සංග්‍රහය යන කෘති මෙහිදී දොරට වැඩුමට නියමිතය. මකරන්ද සංස්කාරක තිඹිරියාගම බණ්ඩාර මුලසුන හොබවන මෙම උළෙලේ, ජිනදාස දනන්සූරිය, චින්තක රණසිංහ සහ විමලනාත් වීරරත්න දෙසුම් පවත්වති. උත්සව සභාව මෙහෙයවනු ලබන්නේ ලංකා ලේඛක සංවිධානයේ ලේකම් දේ.වි. ගාල්ලගේ විසිනි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මහ නැව් කුඩා ඔරු
නිතර පසු කර යන
ඔබ දකින
එහෙත් නොදකින
කුඩා දූපතක් ගැන
දනිමි මම

එලා කිරි කවඩි
රළ ඉකිබිඳින වෙරළේ
බලා ඉන්නවා මේ දූපත
පෝය හඳ මුදුන් වූ පාළුවේ
දැන දැනම
නොඑන බව කිසිවෙකු

කිසි සිතියමක නැති
මල් පිපෙන පරවෙන
පණ ගැහෙන
එහෙත් කිසිවෙකු නොඑන
තියනවා දූපතක්
ඔබ දකින
එහෙත් නොදකින

ඉසුරු චාමර සෝමවීර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමිත්ත- ''ජංගම දුරකථන හොරකමේ ගිය තරුණයා කඩ ලෑල්ලට ගෙල හිරවී නසී.
දිට්ටධම්මවේදනීය කර්මය පළ දේ'' - පුවත්පත් වාර්තාවක්


''උඹට හොඳ වැඩේ
හොරකමේ ගිය කුඩ්ඩො
ඉතින් උඹ ජීවිත කාලෙටම
පාඩම ඉගෙන ගත්තා''

මරණයට පෙර
කුඩ්ඩා කියන නම උපයා ගත් මල්ලියේ
කඩාවැටුණු හිස නුඹේ
පත්තර පිටුවෙ දකිද්දි
හෝස් ගාලා පත්තුවෙලා ගියා
මගෙ පපුව...

පොඩිකර දමන්නට පත්තර පිටුව
කෑ ගහන්නට වේදනාවෙන්
මට හිතුණා

උඹේ අම්මට
මොන දුකක් දැණුනාද
මම දන්නෙ නෑ
කාත්කවුරුත් ඉන්නවද
මම බැලුවෙ නෑ

පොඩිවෙච්ච පත්තරය
නැවත අල්ලන්න
මට හිතුනෙ නෑ
අහන්න ඕනෑ
පත්තරකාර මිත්‍රයන්ගෙන්
වැට් බදු හොරු
කෝප් වංචාකාරයෝ
පිටරට පනිද්දී
මන්දිරවල සුරසැප විඳිද්දී
දිට්ඨධම්මවේදනීය කරුමය
පඩිසන් දෙන්නෙ අපටද?

ඉතින් දෙයි හාමුදුරුවනේ
මොන කරුමයද මන්දා
හොරෙකුට අනුකම්පාකරන
මට පඩිසන් දෙන්නෙ?

26.04.2010

චන්දන සිරිමල්වත්ත

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලෙයින් තෙත බරියම් වී
දූවිලි ගොඩේ පාරේ
නුඹ බිම වැටී සිටියි
මා නැමී මුව මඬලට
ඒ නුඹමදැයි බැලුවා
පුතේ ඒ නුඹ බවම දැනගෙන
මං හැපී ඇඬුවා
ගිනි අවිය මානාන
මූ උඹේ කවුරුදැයි ඇසූ විට
මගේ කුළුඳුල් පුතේ
නුඹ නාඳුනන බව කිවුවා

පුතු මළකුණට වත්
මගේ ‍යැයි කියන්නට වෙර නැති
අම්මා කෙනෙක් මම අද

හිතට වෙර වීරිය ගෙන
ඔබේ මළකුණ ඔසවාගෙන
චෙම්මනිය සොහොන් පලට
මං ගියා නම් පුතේ
දෙදොහකට ඉහතින්
බත් කවපු මේ දෑතින්
පුතේ වල කණිනවා සත්තයි
මං එහෙම කළා නම්

උං ඇවිත්
මල්ලිලා මරාදාලා
පැල්කොටෙත් ගිනිලාලා
කිරි එළදෙනත් පටවා
පලාලියට යාවි
කවුරු අවනඩු ගන්නද
මං අන්ත අසරණ ගෑණි

තල් ගසක් වී දවසක
පවුලකට ම හෙවණ දෙන්නයි
ලොකු මං උඹව වැඩුවේ
හෙණ වැදී මගේ ඒ හීනෙට
නුඹ වැටී මහ පාරට අයිනක
කවුරුදෝ මේ විනේ කෙටුවේ

හිතේ ගිනි හිත යටම සඟවාගෙන
උඹෙන් සමුගෙන යමි මම්
ඒත් මතුඑළිවන දවසක
මේ ගිනි එක ගොඩකට එකතු කොට
නුඹට ගිනි බිඳින්නට උන්ටයි
බිම බෙදන්නයි ඉල්ලා
උඹව බිලිදුන් උන්ටයි
සාපයක් වී ඇවිලෙමි

සන්මාර්ගා
පරිවර්තනය - තුසිත් අබේනායක

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රදීපන්- ප්‍රදීපන් රවීන්ද්‍රන් යාපනයේ උපන්නෙකි.දැනට පැරීසියේ ජිවත් වන ඔහුවිසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම කෙටි චිත්‍රපටය පසුගිය බර්ලින් අන්තර්ජාතික චිත්‍රපට උලළෙහි අවසාන වටය නියෝජනය කළේය. පසුව ඔහු නිෂ්පාදනය කළ සිය දෙවනි කෙටි චිත්‍රපටය මෙවර ප්‍රංශයේ පැවැත්වීමට නියමිත කෑන්ස් චිත්‍රපට උලළෙහි අවසාන තරගකාරී වටය නියෝජන‍ය කරයි.

මාලනී- හෙළ සිනමාවේ නිළිරැජින ලෙස කිරුල පලන් මාලනී පොන්සේකා නම් ඈ දෙස් විදෙස් ලෙස සම්මානයට පත්ව ඇති අවස්ථා බොහෝයි.ආකාස කුසුම් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඈ නොබෝදා ලබාගත් කීර්තිය නිසාමදෝ, මෙරට නව පාර්ලිමේන්තුව නිතරගයෙන්ම නියෝජනය කිරීමට හිමිකම් ලද්දාය.

අහස ගුගුරුවනව.ඉදල හිටල ගහන පොදවලට මහකජ්ජක් කරන්න බහැ. පොලවෙ රස්නය යවන්න අඩුමගානෙ දවස් දෙක තුනක් වත් එක දිගට වහින්න වෙයි.ඌස්නෙ? මේක මුළු ලොකේටම පොදු දෙයක්වෙන්න වැඩි දවසක් ගත වෙන්නෑ.


පරිසරයට එරෙහි මානව ක්‍රියාකරකම්! මිනිස්සු එදාට උන් උන්ටම කියාගනියි.

"මෙ දවස් වල හැදෙන පොඩි පොඩි අසනීපෙත් ඉගුරු- කොත්තමල්ලි වලින් ගොඩ දාන්න බෑ"

ඉංග්‍රීසි බෙහෙත් අහුරක් කටට ඔබාගන්න ගමන් මටත් හිතන දේවල්. පිස්සු !

මාලනී අද පාර්ලිමෙන්තු ගියා.....! ප්‍රදීපන්ගෙ ෆිල්ම් එක කෑන්ස් තෙරිලා. ඔලුවට මොකක්ද වගේ. මේ දෙකකොතන හරි එකට පැටලෙන තැනක් තියනව. සුනන්ද දේශප්‍රි‍ය හිටියනම් හරියටම අහල දැන ගන්නතිබුන. කරුමෙ!සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීන් මනුස්සය මෙහෙ ඉන්නවට විරුද්දයි. අපරාදෙ? හොඳ මනුස්සය.

මම හවස ධර්මසිරි අය්යට කතා කරල ප්‍රදීපන් ගැන විස්තරේ කිවිවා. එයා ගොඩක් සතුටු උනා. අනික, එයාමේ පාර පැරිස් ගිය වෙලාවෙ එයාට දුන්නු ප්‍රදීපන්ගෙ 1st ෂොර්ට් ෆිල්ම් එකේ ඩී.වී.ඩී 1 මට පුළුවන් ඉක්මනට හොයල දෙන්න පොරොන්දු උනා. ප්‍රදීපන් මට ඒක ඉල්ලගෙන බලන්න කියල ගොඩක් දවස්. ඒත්එක මග අරුන. පහුගිය ටිකේ ධර්මසිරි අය්ය හුගක් බිසී.

මාලනී පාර්ලිමෙන්තු ගිය එක අපේ එකෙක්ට මාර ආතල්. ඌ මට කෝල් කරල කියනව මාලනී අක්ක එක්ක ඉන්ටවිව් 1ක් දාගන්නලු. මං ඇහුවහම මොන මගුලටද කියල? ඌ කියනව මගේ ෆෝන් එකේ සල්ලිනෑ පුළුවන්නම් කෝල් 1ක් ගනින් වැඩක් දෙන්න පුළුවන් කියල.

මාත් රටගවය. ගත්ත මූට කෝල් 1ක්. මෙන්න යකෝ මෙතෙන්ට තතාගතය කඩාපාත් උනා. "මචං පොඩක් ඉදපන් මූ ස්පීකර් ෆෝන් දාන්න කියනව."

"නෑ මචං තතාගතයො!මං මේ මූට කියන්න හැදුවෙ මේක තමයි වෙලාව.ආට් ෆීල්ඩ් එකේ වැඩ ටිකකරගන්න." මූ පටන් ගත්ත ගිරව වගේ අපි දෙන්නම හවුල් කරගෙන .

"ඇයි බං,මතකද එදා චිත්‍රපටි සංස්ථාවෙ තිබ්බ පතී ලොක්කගෙ ගුණ සමරු වැඩේදි මාලනී අහල තිබුනෙ චිත්‍රපටි සංරක්ෂණාගාර වැඩපිළිවලක්ගැන. අනිවාරෙන් ගෑනිට මතක් කලොත් ඕක හදනව.යකෝ ලෙස්ට ලොක්කත් එදා ඉදන් එල්ලනව මේ රටට චිත්‍රපටි සංරක්ෂණාගාරයක්. අනික බං විමල් වීරවංශටනෙ දෙන්න යන්නෙ සංස්කෘතික ඇමතිකම. මචං අමතක කරන්න එපා විමල වමට සැලුට් දාල දකුණට ගියාට බුවා ක්‍රියේට්ව් මැන්. අනිව........... මාලනී එක්ක එකතුවෙලා වැඩක් දෙනව.අපිට තියෙන්නෙ ගානට වැඩේ සෙට් කරන්න.යකෝ නො 1කේ ෆිල්ම් ස්කූල් 1ක් මෙහේ දාන්න වැඩේ සෙට් කරන්න ප්ලෑන් කරන්න පුළුවන්."

භුක්....තතාගතය හෙන වෙලාවක් තදකරගෙන හිටපු හිනාවක් දැම්ම එලියට.

"ඇයි, උඹල හිනාවෙන්නෙ? ගොන් වස්සනේ. කව්ද ඊයෙ පෙරේදා ඉංදියාවෙන් ඇවිත් ගි‍ය බුවා.යකෝ......අමිතා - බචන්. පොර අවෙ අපිටවාසියක් කරන්න. මචං මං කියන්නෙ ආන්ඩුව හරහා පොරට ඩීල් 1ක් දැම්මුවොත්, පුනායි වලින් ලෙක්චස්ල ගෙන්නල ෆිල්ම් ඩිග්‍රියක් දෙන්න පුලුවන් ස්කූල් 1ක්මෙහේ දාන්න බැරිද? අනික මේ දවස් වල ජැක්සන්ඇන්තනිත් ෆෝම් වෙලා ඉන්නෙ.පොරවත් කොහෙන්හරි මෙකට පටල ගත්තොත් අපෙ වැඩේ 100%ගොඩ. ඇයි බන් ජැකාටත් ඕනි කොහොම හරි පොරනියායෙන් උගේ වල ඉහාගන්නනෙ?

"මචං මූට මන්ද මෝල් !"

තතාගතය ගත්ත මගේ ෆෝන් 1ක. වන විනාසයක් වෙන්න යන්නෙ! ඕකුන් දෙන්න සෙට් උනොත්වලියක්. දැන් මට තියෙන්නෙ අහගෙන ඉන්න.

"යකෝ උඹ පැණි ගහලද? නැත්තම් හීනෙන්බයවෙලාද?"

තතාගතය පටන් ගත්ත උගේ හෑල්ල.

"ගොන්වස්සො! නිකමට හිතල බලපන්, මාලනීට ඔතනටම යන්න ඔනිද ඕක කරන්න.යකො එහෙම නියම උවමනාවන් තියන උන් මේකෙ නෑ. එහෙමනම් එයාට මුලින්ම කියන්න තිබුණනෙ අනේ මට මේනහින-දෙහින කාලෙ ඔය මන්ත්‍රී පුටු එපා ඒවෙනුවෙන්කලාව ගැන හිතල මගේ ඉල්ලීම් ලබාදෙන්න කියල කලාකරුවො එක්ක තියන ප්‍රශ්න කතා කරල උඹ ඔයකියනව වගෙ ඉල්ලීම් ඉල්ලන්නනෙ?

යකො ඒ නොබෙල් තෑගි ප්‍රතික්ෂේප කරන උන් ඉන්නෙ පිටරට. මෙහේ නාට්‍ය පපඩම් උනත් රයිගම් ටෙලි සම්මානෙත් ගන්නෙ බිම දිගාවෙලා.

අනික උඹ විමල් ගැන කතාකරනව. මොනවදැනගෙනද? යකෝ විමල් ඉඩම් හා ගොඩකිරීමේ අමාත්‍යංශය අරගන්න ක්‍රියේටිව් විදියට ප්ලෑන් කරනව.පොරට ඕනි ඇති සංස්කෘතියක් නෑ. "

“පොඩ්ඩක් ඉදහන් කො......”

මූ ආයිත් තතාගතයව ඩිස්ටබ් කරනව.

“අහ ගනින්.......”

තතාගතයත් අරින්නෑ.

යකෝ අමිතා-බචන් මෙහේ අවෙ අපිට ඉටිගෙඩියක් කරන්න නෙවෙයි. උන් කරන්න යන ෆිල්ම් ෆෙස්ටිවල් එක වෙන කොහෙ හරි කරොත් බර ගානක් යනව.අපේ ගොන්නු ටික අල්ලගෙන ඊට වඩා තුන්හතර ගුණයක් අඩුවෙන් මෙහේදි ගොඩදාගන්න."

තතාගතය මල පැනල ෆෝන් 1ක කට් කරා.

"ඇයි බං මල පනිනව මූ කියන ඒවට.මම ආපු වැඩෙත්අමතක උනා. ”

තතාගතය මාත් එක්ක කතාවට වැටුන.

"මචං ! ප්‍රදීපන් ලගදි කරපු ෆිල්ම් 1ක කෑන්ස් තේරිල. ඌ පේස් බුක් 1කේ විස්තර දාල තිබුන. අපි මොකක් හරි දෙයක් ඒ වෙනුවෙන් කරන්න ඕනි බං. නැත්තම් විමුක්තිට වෙච්චීඑකේ අනික ඌටවෙන්නෙ. තත්වෙ ඊටත් දරුණු වෙනව, මොකද ඌ දෙමළ හින්ද. මම ච්න්තටත් මැසේජ් 1ක් දැම්ම. උදයනම් වැඩේ ගැන දන්නව. මම දැක්ක ඌ පේස් බුක්1කේ කමින්ට් 1ක් දාල තියනව.

ඒ… මම යනව මචං රෑ උනා. මේ? උඹ ඩෞන්ලොඩ් කරපු අලුත් ෆිල්ම් නැද්ද?හැබයි හොද 1ක්.”

මූ ඒපාර මගේ කම්පිව්ටරේට බැස්ස.

"මරු..... ”

මූ පස්වනක් පිනා ගිහිල්ල.

"ආ...ගියපාර වෙනිස් ෆෙස්ටිවල් 1කේ ගෝල්ඩන් ලයන් ගත්ත එක. Micky rourke ගෙ The wrestler මරු..... ”

තතා බැස්ස මිදුලට.

"මචං! අද වෙනකොට ලංකාවෙ හිටිය දෙමළ ජනතාවගෙන් හැම මිනිස්සු 10 දෙනෙකුටම තුන්දෙනෙක් ජිවත් වෙන්නෙ පිටරට.අපේ සමාජය බලකලා ඒ අයට යන්න කියල. ප්‍රදීපනුත් එහෙම ගියයාපනේ කොල්ලෙක්.ආටිස් කෙනෙක් විදිහට ඌට අපේ උදව් ඕනි ඇත්ත ප්‍රශ්නෙ කතාකරන්න...... ”

තතාගතය හෙන සීරියස් ටොක් 1ක් දීල යන්න ගියා.

නුවන් ජයතිලක

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී දේශපාලනයට අභියෝග කරන මතවාද පිලිබඳ කියවීමක්..!
නිර්මාල් රංජිත් දේවසිරි විසින් මෙහෙයවන සංවාදය හා සාකච්ඡාව.
2010.04.28 (පෝය දින) උදෙ 10.00 ට රාජගිරිය, MDHR නිවසේදි.
(මැතිවරණ මහ ලේකම් කාර්යලය අසල)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පියෙන් පිය සිඟිති පා නඟන විට
පිටුපසින් නොසෙල් වී හිඳින‍්නැති
ඇද වැටෙන්නට නොදී හැම විටම
කෙළින් යන හරි විදිය කියන්නැති

ස්වප්නයක් නොවේ නුඹ කිසි විටෙක
එකම එක මහඟු ආදරය මිස
මිය නොයන කිසි දිනෙක මිය නොයන
වියපත්වු ළය මඬල නිදන් වුණ

මඟුල් මුද්දට හිරව දුක් වින්ද
තටු බිඳුණ කිරිල්ලක තටු අතර
උණුහුමට උස් මහත් උනෙමි මම
තැබූ පියවර බොහෝ දුර වැඩිය

ඉතිං මට
හැරෙන්නට නොහැක ආපසු බලා
බලාගෙන සිටියාට එන තුරා
පව්කාර කමෙක මහ බර දැනේ
කාලකණ්ණිම කමෙක දුක දැනේ

ජීවිතය කුමක්දැයි සිතන්නෙමි
අහිමි කරගත් බවක් හඟින්නෙමි

2010 අප්‍රේල්

සුභද්‍රා ජයසුන්දර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පොලිබස් තවම ජීවතුන් අතර
බේරගත්තත් රට තීබය
නපුරු මායාකාරියට දී නිසි උත්තර

සිවුපා යුගය
දෙපා යුගයට වැටෙන
තෙපා යුගයේ අන්ධකාරය
තුල තවමත් ඒ "මිනිසා"
අන්ධව සැරි සරයි තීබය

ඒ මිනිසාමය තැනුවේ නුඹේ ඉරණම
නොවැසිය හැකිය අන්ධව ඉරණමේ දැකුම
නුඹෙ ඇස් නුඹතින් අන්ධ වූව
එය නොවේ අවසන ඊඩිපස් මහ රජ

සැරිසරයි තවමත් ඒ අන්ධ මිනිසා‍ තීබ බිම මත

ආනන්තරීය මහා පාපතරයා බවට පත්වූ
කිසිවක් නොදැන තම හාත්පස
මරා පිය රජ ද
දරුවන් හදා ලෙයින් තමා ද හැදුන ගැබ
පාපතරයකු වීය ඊඩිපස් මෙලෝ කුහර ගැබ

නුඹ නොනිදන හැම රැයකම
මව් දේවිය සුරැකේය පාපයෙන් සාපිත
යොකොස්ටා දැන වුනිද විස්තර
නුඹ ගමන් කළ ඒ ගමන දුෂ්කර

ඊඩිපස්

හදා ගනින් හිත
රජසිරි පෑ වුවද තම ගත
ඉරණම ඇත බලා ඈත දුර සිට

ඊඩිපස්
පොලිබස් තවම ජීවතුන් අතර

ඊ ඒ ඩෝසන් ප්‍රීති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සන්ධ්‍යා අක්කේ...,

පපු කුහර වල
නලියන
විරහව,
බය,
එකට
ගුලි කරන් ..

දිග නොහැර
කඳුළු කැට..
සඟවගෙන
නුඹ සිටිනකොට
අපි ලඟම,.
බෝඩ් අල්ලගෙන
පෙළපාලි වල,
හරි අමාරුයි ..
කතා නොකළත් ..
නුඹේ
සුසුම
දැනෙනකොට ...

කුමාරි ප්‍රනාන්දු

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සැරද සුළකල කුරු
මියුරු තෙපලෙන් රඳනා
රජ කුල රහස මැතිනිය
සියනිහි මර්වින් සඳ


අග පිපි මල් මර්වින් කැළනියේයා
රටකට යන කල නම් රොනවුලේයා
මහ ජනතා සිත්නම් සැලි සැලේයා
වග බැඳ හෙන රජහස පුල් විලේයා

සමනොල මුහුල මහ සමුදුර මෙවුල් බර
සුළකල පුවල කැළණියටම වරෝ වර
ගම්පහ දින්න පබා නංගි සුපින් සර
බැඳහල රුවන් තනපට කියෙලිය පවුර

මට බැට දුන් වාහිනියට දෙමි මෙවර
තරකළ විසිල් වාසල් සදනෙමි නුවර
සව් සිරි පිරි සුරපුර වන් කැළනි පුර
පා ලෙවකා හරි වැජ‍‍ඹෙමි රජුන් ළඟ

වීරයා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සැන්ට බාබරා නගරයට මම අතිශයින් ප්‍රියකරමි. උණුසුම් කැලිෆෝනියානු කඳුකර සුළඟේ සහ හිරු රශ්මියේ පහස ලබන වෙරළට ඇළුම් නොකරන්නෝ කවුරුද? මම ද එවැනි සාමාන්‍ය ජනයාට අයත් වූ තැනැත්තෙක්මි. මේ නිසා මා සැන්ට බාබාරා නගරයට ප්‍රිය කිරීම අරුමයක් නොවේ. මුහුදේ පිහිනා වෙරලේ වැතිරී දහවල් කාලය ගත කිරීමට අගනා ප්‍රදේශයක් ලෙස මම සැන්ට බාබාරා වෙරළ තීරය හඳුනා ගතිමි. එසේම සවස් වරුවේ හෝටලයකට වැදී මාර්ටිනී තොලගාමින් අලංකාර ලෙස ඇඳ පැළඳගෙන සිටින ජනයා දෙස බැලීමද සතුට දනවයි.

මියාමි, ලෝං බීච් වැනි දැකුම්කළු ස්ථාන වල මා කාලය ගත කොට සිටි නමුදු සැන්ට බාබරා දැනට මටම අයත් වූ භූමි ප්‍රදේශයක් ලෙස සලකමි. මේ අනුව එම භූමියට මා තදින් බැඳ තබන අදිසි නූල් ජාලාවක් තිබේ.

මෙවර මා සැන්ට බාබරා වෙත පැමිණියේ සැන්ඩියාගෝ නගරයේ සිට ය. නිසි රැකියාවක් නොමැති වුවද වෙළෙඳ ප්‍රවර්ධකයෙකුගේ සිට දේපල මිළදී ගන්නා අතරමැදියෙකු ලෙසට ද රක්ෂණ සමාගම් සඳහා ගණුදෙනුකරුවන් සපයන්නෙකු ලෙසට ද යනාදී විවිධ රැකියාවල මම නිරත වූයෙමි. මාගේ රැකියා ස්වභාවය අනුව නොයෙක් නගර වලට යාමත් ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පරිදි ගමන් බිමන් වල යෙදීමටත් මට නියමිතව තිබුණි. බොහෝ අවස්ථා වලදී මම සැන්ට බාබරා වෙත ආවෙමි. ඒ පැමිණි සෑම අවස්ථාවකදිම ලාභ නවාතැනක දින කිහිපයක් නැවතී සිටීමටත් විවේක වේලාවලදී වෙරළේ ඇවිදීමත් කළෙමි. එලෙස නැවතුණු බොහෝ අවස්ථාවලදී විශ්‍රාම ගැනීමෙන් පසු ජීවිතයේ සැදෑ සමය සැන්ට බාබරා ගත කළ යුතු බව අවධාරණය කළෙමි.

මෙවර මා සැන්ට බාබරා වෙත පැමිණීමට තුඩු දුන්නේ විශේෂ කරුණක් නිසාවෙනි. සැන්ඩියේගෝ හී ධනවත් තරුණ ව්‍යාපාරිකයෙක් සැන්ට බාබරා නගරයෙන් අගනා ගිම්හාන නිවසක් මිළට ගත් අතර ඔහුගේ ලැම්බොගිනි වර්ගයේ මොටර් රථය කිසිදු සීරීමකින් තොරව සැන්ඩියේගෝ සිට සැන්ට බාබරා දක්වා රැගෙන යාමේ කොන්ත්‍රාත්තුව මා වෙත බාරදුන්නේය. මෙම ධනවත් ව්‍යාපාරිකයා එම කාර්යය සඳහා මා තොරා ගනු ලැබුවේ මා ඔහුගේ පියාට ඉටුකර තිබූ ගණුදෙනුවක් නිසාය. මීට වසරකට පමණ උඩදී කෙරුණු එය සඳහා මම ඔහු සමඟ ඩැලස් කරා ගියෙමි. පුරා දින දෙකකට ආසන්න කාලයක් ගතවූ මෙම ව්‍යාපාරික චාරිකාවේදී මම ඔහුගේ ෆෙරාරි රථය ධාවනය කළෙමි. මා දක්ෂ රියදුරෙකු ලෙස මා කිසි කලක දැන සිටියේ නැති වූවද, ඔහු මා රිය ධාවනය කළ අයුරු, නිසි මංතීරු ඔස්සේ පොලිස් රථවල අවධානයට ලක්නොවී ගමන් ගත් අයුරු තීක්ෂණව නැරඹුවා විය හැක. එසේම අනවශ්‍ය අවදානම් නොගැනීමත් පමණ ඉක්මවා වේග සීමා උල්ලංඝණය නොකිරීමත් ඔහුගේ සිත් ගත්තා විය හැක. ඩැලස් දක්වා අප ගිය ගමන ඉතාම විනෝදකාමී විය. තරුණ කාලයේදී ඩැලස් හී ඔහු ගත කළ ජීවිතයත්, ඔහුගේ ආලවන්ත රූබර මිතුරියන් ගැනත් රසවත් තොරතුරු ඔහු කීය. මෙම ව්‍යාපාරික චාරිකාවෙන් පසු ද කිහිප විටක් ඔහු මා සමඟ දුරකථනයෙන් කථා කොට ඇත. අවසාන වතාවේදී සිදුවූ සංවාදයේදී ඔහුගේ පුතාට අයත් අගනා මොටර් රථය සැන්ට බාබරා වෙත පදවාගෙන යා හැකි දැයි විචාළේය. මේ සඳහා ඉතා හොඳ මෙන්ම නිර්ලෝභී ගණුදෙනුවක් අතට ලැබෙන හෙයින් මම ඊට එකඟ වූයෙමි.

අපගේ සංවාදයෙන් දින තුනකට පසුව මම මහල්ලාගේ පුතා හමුවූයෙමි. ඉතා ජේත්තුකාර ලෙස ඇද පැළඳ සිටි ඔහු මිතුරෙකුට අමතන්නාක් මෙන් මා සමඟ කථා කළේය. ඔහුගේ නම ඩෙනිස් බවත් පියා (ඇලන් ෂේපර් මහතා) ගේ රෙකමදාරුව මත ඔහුගේ තාවකාලික සේවයට මා යොදාගන්නා බවත් ඔහු කීය. ඔහු තම පියාගේ වචනය කොතෙක් විශ්වාස කළේද යත් මාගේ රියදුරු බලපත්‍ර හෝ වෙනයම් හැඳුනුම්පතක් හෝ පරික්ෂා නොකළේය. ස්කොච් වීදුරුවකින් මට සංග්‍රහ කළ ඔහු අත්තිකාරම් වශයෙන් ඩොලර් අටසීයක් මා අත තබා ගමනාන්තයේදී තවත් ඩොලර් දහසක් මා අත තබන බවට පොරොන්දු විය.
මේ මා නොසිතූ වාසනාවකි. ඩෙනිස් ෂේපර් ගේ ඉන්ධන වලින් ඔහුගේ සුඛෝපභෝගී කාමුක ලැම්බෝගිනී මොටර් රථය සැන්ඩියේගෝ සිට මා අතිශයින්ම ප්‍රියකරන සැන්ට බාබරා කරා ගෙන යාම සිතීම පවා ප්‍රීතිය උපදවයි. ඔහුගේ නියමය පරිදි මා සැන්ඩියේගෝ සිට සෙඩෝනා දක්වා මොටර් රථය ගෙන යා යුතුය. අමුත්තන් වාහනයට නංවා ගැනීම, වාහනය නවතා බැහැරට යාම, සපුරා තහනම් වෙයි. කිසිදු ලිඛිත පත්‍රිකාවක අත්සනක් නොතබාම මම ඔහුගේ කොන්දේසි වලට එකඟතාව පළ කළෙමි. මේ පොරොන්දු රකින බවට මා අධිෂ්ඨාන කළ බව මෙහි දී කිව යුතුය.

''ඉතින් මැක්ලවුඩ් මහතාණෙනී'' ඔහු මා ඇමතුවේ පෙළපත් නාමයෙනි.
''මා අතිශයින්ම ප්‍රිය කරන මොටර් රථය ඔබගේ භාරයට දෙනවා. එය හරියට මවක තම දරුවා අන්‍ය පුද්ගලයෙකුට තාවකාලිකව භාර දෙනවා වැනි දෙයක් මේ රථය මට දරුවෙකු වගේ. ඇත්තෙන්ම ඔබ හමුවීම වාසනාවක්. මා දස අතේ කල්පනා කළා මේ මෝටර් රථය සුරක්ෂිතව සැන්ට බාබරා වෙත ගෙන යාම පිළිබඳව, ප්‍රවාහන සමාගම් විශ්වාස කරන්න බැහැ. මා හිතන්නේ ඔබ දෙවියන් විසින් මා වෙත එවනු ලැබූ අයෙකු බවයි.''

සාමාන්‍ය මිනිස් දුබලතා වලින් යුතු මා වැනි පුද්ගලයෙකු දෙවියන් විසින් එවීම පිළිබඳ මම මොහොතකටවත් විශ්වාස නොකළෙමි. සත්‍ය පවසතොත් මා ඩෙනිස් ෂේපර් මහතා වෙත එවීම දෙවියන් විසින් මට ලබා දුන් තිළිණයකි. ඒ මන්ද යත් අවසාන සති කිහිපය මා ජීවත් වූයේ යාන්තමිනි. උගුර තෙමා ගැනීමටවත් මුදල් මා අත ඉතිරි නොවීය. ඉතා නිර්ලෝභීව ගෙවන ගණුදෙනුව නිසා මාගේ සිත කුල්මත් විය.

''හොදයි මා සිතනවා දෙවි පිහිටෙන් ඔබ කිසිදු අනතුරකින් තොරව නියමිත නැවතුම්පළ කරා යාමට හැකිවේවි කියා. මෙන්න ඔබගේ අත්තිකාරම් මුදල්. සුභ ගමන්.'' මෙලෙස කියමින් ඩෙනිස් ෂේපර් මට අත දුන්නේය. එවිට ඔහු අතේ පැළඳ සිටි රොලෙක්ස් ඔරලෝසුව මම දුටිමි.

මම ඔහුට ස්තූතිවන්ත වෙමින් කිසිදු පීඩනයක් සිතට ළඟාකර නොගන්නා ලෙසටත් නියමිත පරිදි මෝටර් රථය ඔහුගේ ගිම්හාන නිවසේ බටලේරුවාට භාර දෙන බවට පොරොන්දු වූයෙමි. එවිට සතුටින් පිනා ගිය ඔහුගේ දෑස් දිලිසෙනවා මම දුටුවෙමි. ඉන් අනතුරුව මම ඩෙනිස් ෂේපර්ගේ වාහනයේ යතුර අතට ගත්තෙමි.

ඩෙනිස් ගේ ලැම්බොගිනී රථය මා මෙතෙක් ධාවනය කොට ඇති රථ වලින් අගනාම රථය විය යුතුය. එම මෝටර් රථයේ පැහැය, හැඩය සියල්ලම මනබදනා සුළුය. කිසිදු කෑගැසීමක්, ගැස්සීමක් නොමැතිව රථය පණගැන්වීමට මට හැකිවිය. එයද ඩෙනිස් ගේ සතුටට හේතුවූවා නිසැකය. ඩෙනිස් ගේ නිවසේ සිට මහාමාර්ගය දක්වා මද වාහන තදබදයක් තිබුනද ප්‍රමාදයකින් තොරව මම මහාමාර්ගයට අවතීර්ණ වූයෙමි.

අධිවේගී මාර්ගයේ නියමිත මංතීරුවේ මා රථය ධාවනය කළෙමි. නිදහසේ සතුටින් පියාසර කරන කුරුල්ලෙකු බඳු හැඟීමක් මට ඇති විය. මෙම සතුට සැමදා තිබේනම් මෙලොව කොතරම් වාසනාවන්ත විය යුතුද? සෙඩෝනා දක්වා ගිය ගමන අතිශයින්ම විනෝදය ගෙන ආවේය. සෙඩෝනා හී ඩෙනිස් ෂේපර්ගේ උපකාර්යාලය සොයාගැනීමට මදක් ප්‍රමාද වුවද අවට ජනයා මොටර් රථය දෙසත් මා දෙසත් බැලීම නිසා අමුතු ගෞරවයක් සිතට ඇතුළු විය. මහා මාර්ගය අද්දර වාහනය නතරකොට මා කාර්යාලය පිහිටා තිබූ ක්‍රෙසන්ට් ඩ්‍රයිව් පිළිබඳව රූබර තරු‚ණියකගෙන් විචාලෙමි.

''ඔබට අවශ්‍ය ක්‍රෙසන්ට් ඩ්‍රයිව්ද?'' ඇය අලංකාර සිනහවක් පා වාහනය අසලට පැමිණියාය.
''එය සොයාගැනීම අපහසු නෑ.'' ඇය වාහනය දෙස බලමින් පැවසුවාය. ''කෙලින්ම යන්න දෙවැනි සංඥා එළිය සමඟම වමට පාරක් තිබෙනවා. ඒ පාරේ ඔබට දක්නට ලැබෙයි විශාල පල්ලියක්. ඒ පල්ලියට යාබද ගොඩනැගිලි සියල්ලම ආරම්භ වන්නේ ක්‍රෙසන්ට් ඩ්‍රයිව් වෙතින්.''

මම ඇයට ස්තූතිය පුද කළෙමි. මෙවැනි තරුණියක සමඟ මෙම රථයේ නැගී ගමනක් යාමට හැකිනම් එය කොපමණ චමත්කාරද? මම ඩෙනිස්ට වූ පොරොන්දුව සිහිපත් කළෙමි.

''ස්තූතියි! ඔබ හරිම හුරතල්'' මා තරුණියට ප්‍රශංසාකළේ අවංකවමය.
යළිත් වාහනය පණගන්වා මා ඉදිරියට ඇදීගියේ සිංහයෙකු විලසිනි. මා දර්ශණ පථයෙන් ඉවත්ව යන තෙක් ඇය බලා සිටින්නට ඇතැයි මට සිතුණි. තරුණියගේ උපදෙස් පරිදි මා ඩෙනිස්ගේ උපකාර්යාලය සොයා ගතිමි. එහෙත් ඔහුගේ කළමණාකරු මාගේ සිත් නොගත් බව කිව යුතුය.

''ඔබ දැන් විවේක ගන්න. මට වාහනය පරික්ෂා කරන්න අවශ්‍යයි. මා හිතනවා ඔබගේ ලියවිලි සියල්ලක්ම නිරවද්‍යයි කියලා.'' ඔහු බොස්ටන් වාසියෙකුගේ ඌරුවට කථා කළේය. ඔහුගේ ඉතාලියානු උච්චාරණයට සිනාසෙම්දෝ යන දෙගිඩියාව ඇති වුවද මා එය යටපත් කර ගත් අතර ඩෙනිස් ෂේපර් මහතා මගේ සියළු ලියකියවිලි පරික්ෂා කළ බවත් මම ඔහුගේ පියා හොඳින් හඳුනන්නෙකු බවත් කීවෙමි.

එහෙත් එය ඔහුට ඇසුනේද යන්න මම නොදනිමි. ඔහු මගේ ගමන් බලපත්‍රය ඉල්ලා සිටියේය. ඔහුගේ අණට කීකරුව මම සියළු ලියකියවිලි කළමණාකරුට දුන්නෙමි. ඔහු ඒවා පරික්ෂා කරන අතරතුර මම ඔහු දෙස බැලුවෙමි. ඉතාලියානු නාසය, දුඹුරු පැහැති සම මේ සියල්ල සිහිපත් කළේ බලෙන් රෝබට් ඩී නිරෝ වීමට උත්සහ දරණ මුග්ධයෙකු ගේ ලක්ෂණය.

කෙසේ වුවද ගැටළුවකින් තොරව ඔහුගෙන් මිදී විවේක ගැනීමට හැකිවීම සුවිශේෂි භාග්‍යයක් ලෙස මම සැළකුවෙමි. මා විවේක ගන්නා අතරතුර වාහනය සහ යතුර ඔහුගේ භාරයේ විය. මෙක්සිකානු අවන් හලකට ගොඩවැදුණු මා මුලින්ම කළේ බියර් වීදුරුවක් පානය කිරීමයි. ආහාර ගැනීමෙන් පසු සුළු නිදිමතක් මට දැනිණි. ඩෙනිස්ගේ කර්යාලයට ගොඩවැදුණු මම අමුත්තන් පිළිගන්නා කාමරයේ ලොකු ඩිවානයක ඇලවී සිටියෙමි. වාසනාවකට මෙන් මුග්ධ කළමණාකරු මට තවත් කරදර කිරීමට නොපැමිණියේය. පුරා පැය තුනක පමණ විවේකයෙන් පසු යලිත් පිටත්වී යාමට කාලය පැමිණ තිබුණි. මොටර් රථයේ යතුර මට භාර දෙන ලද්දේ කළමණාකරුගේ ලේකම්වරිය යැයි සිතිය හැකි කාන්තාවකි. ඇය මට යතුර භාර දෙන විට ඔබට කෝපි අවශ්‍ය දැයි ඇසුවාය. සත්තකින් එම අවස්ථාවේදී කොපි කෝප්පයක් තිබුනේ නම් මැනවි. මම එයට එකඟතාවය පළ කළෙමි.

ඇය කෝපි වත්කළේ අවන්හල්වල කෝපි වත්කරන වීදුරු කේතලයකිනි. ඇය එම කාර්යය කොතරම් හොඳින් කළේද යත් ජීවිතේ යම් කාලයක මෙම තැනැත්තිය අවන්හලක සේවය කොට තිබුණු බව මට සිතිණි.

''ඔබට ක්‍රීම් අවශ්‍යද? '' ඇය ඇසුවේ අවන්හලේදී සේවාලාභියෙකුගෙන් අසන විලසටය. මා වඩාත් ප්‍රියකළේ කෝපි තද සාන්ද්‍රණයකින් යුතුව ගැනීමටය. අවශ්‍ය නම් ඇයට බ්‍රැන්ඩි ස්වල්පයක් කෝපි වලට එක් කිරීමට හැකියාව තිබුන ද ඇය ක්ෂිරමය මිශ්‍රණය හැර අන් යමක් කෝපි කෝප්පයට එක් කිරීමට සූදානම් නැත.

''නැහැ, ක්‍රීම් අවශ්‍ය නැහැ '' මම ආචාරශීලිව එය ප්‍රතික්ෂේප කෙළෙමි. කෝපි පානය කිරීමෙන් පසුව ශරීරයට ප්‍රාණවත් ගතියක් දැනුනි. මම ඇයගෙන් සමුගෙන මෝටර් රථයට නැගුනෙමි.

සෙඩෝනා පසු කරන විට හිරු රැස් වල දීප්තිය මදක් අඩුවිය. සැප පහසු ඔන්චිල්ලාවක පැද්දෙන්නාක් මෙන් මම කෙටි ධාවන මං තීරු ඔසුසේ සැන්ට බාබරා වෙත වැටී ඇති ධාවන මාර්ගයට අවතීර්ණ වූයෙමි. වංගු වලින් තොර අධිවේගී මාර්ගයක් වූ මෙම මාර්ගයේ ලැම්බොගිනි වාහනයක් පැදවීම නිතැතින්ම ප්‍රීතිය ගෙන දෙයි.

සැන්ට බාබරා දක්වා කිසිදු ගැටළුවකින් තොරව වාහනය පදවාගෙන ඒමට මට හැකිවිය. සැන්ට බාබරා වෙත ලඟා වී තවත් පැය කිහිපයකින් මෙම වාහනය මගෙන් වෙන්වී යනු ඇත. අවසන් තප්පරය දක්වා මේ ප්‍රිය ජනක වස්තුව සමග දැවටී සිටීමට මට අවශ්‍ය විය.

මම වාහනය කුඩා එළිමහන් හෝටලයක් ඉදිරිපිට නතර කෙළෙමි. මා රථයෙන් බැස්සේ මා වෙත යොමු වූ ඇස් කීයක් තිබේද යන්න සිතමිණි. මදක් ඈත මේසයක සිටි තරුණියන් දෙදෙනෙකු මා දෙසත් වාහනය දෙසත් බලනවා මම දුටිමි. ඩෙනිස්ගේ වාහනය පෙනෙන මානයේ අසුනක මා වාඩිවූයෙමි. අවුරුදු දහ අටක් පමණ වයසැති තරුණියක් මදහස පාමින් මා වෙත පැමිණියාය. ඇය එම හෝටලයේ වේටර් වරියකි. මම මදක් මිලෙන් අධික වයින් බෝතලයක් ඇණවුම් කෙලෙමි.

හෝටලයේ එළිමහනේ මේසයක සිට තඹ පැහැති වයින් තොල ගාමින් ලැම්බොගිනි රථය දෙස බලා සිටි මා දිස්වන්නට ඇත්තේ නගරයට අලුතින් පැමිණි ධනවතෙකු ලෙසටය. සැබවින්ම එය ප්‍රීතිමත් අවස්ථාවකි. එහෙත් තවත් පැය කිහිපයකින් මා යළිත් පැරණි පුද්ගලයා වනු ඇත.

අනාගතය මොහොතකට අමතක කළ මම වර්තමානයේ සැරි සැරුවෙමි. මාගේ සිහින ලෝකයට බාධා පැමිණුනේ මාගේ මේසය අසලට පැමිණි අනාරාධිත මහල්ලෙකු නිසාය.

''මෙසියර් ඔබට කරදර කලාට බොහොම කණගාටුයි.'' මහල්ලා උඩුකය නවා යාබද අසුනේ වාඩි වීමට අවසර පැතුවේය. එය ප්‍රතික්ෂේප කිරීමට මට නොහැකි විය.

''ඔබ සැන්ට බාබරාවට අමුත්තෙකු හැඩයි.'' ඔහු කීවේය.

මා සැන්ට බාබරාවට අමුත්තෙකු නොවන බවත් මෙම නගරයට කිහිප වතාවක් පැමිණි අයෙකු බවත් කීවෙමි.

''සමාවෙන්න මා සිතුවේ ඔබ ලාස් වේගාස් කරා යන්නෙක් කියා. '' මහල්ලා පැවසීය. නිසැකයෙන්ම මා වාහනයෙන් බට අයුරු ඔහු දකින්නට ඇත. මා සුපිරි ධනවතෙකු බව මහල්ලා සිතන බව මට වැටහිණි. එහෙත් මා ඔහුගේ එම අදහස අභියෝගයට ලක් නොකළේ එවැනි මායාවක් ද මාගේ හිතේ රෝපණය වෙමින් පැවති නිසාවෙනි.

''ලාස් වේගාස් වලට වඩා මෙහේ කොච්චර මනස්කාන්තද? මට මතකයි ගෝන් විත්ද වින්ඩ් චිත්‍රපටය නිෂ්පාදනය කළ සමයේ මා වරක් සැන්ට බාබරා වෙත පැමිණියා. එය මගේ මුල්ම ගමනයි. ඔබ එම චිත්‍රපටය ගැන දන්නවද?''

මා එම චිත්‍රපටය නැරඹුවේ රූපවාහිනියෙනි. ගෝන් විත්ද වින්ඩ් පරම්පරාවෙන් පසුව උපත ලැබූ අප ක්ලාක් ගේබල් විරුවෙකු ලෙස සැලකුවේ නැත. එහෙත් මහල්ලාට ඔහු වීරයෙකි.

''ඔබ දන්වාද මා එම චිත්‍රපටයේ සුළු චරිතයක් කළ බව. ඕ කොතරම් රන් කාලයක්ද? ක්ලාක් ගේබල් රඟපාන විට චිත්‍රටයේ පසුතළ දර්ශන සඳහා ගස් කපාගෙන විත් කෘත්‍රිම වනයක් සෑදුවා ඉතාම හොඳ චිත්‍රපටයක්, ප්‍රීතිමත් සමයක්..'' මහල්ලා කීවේ උද්දාමයෙනි.

මා මෙතෙක් මහල්ලා සමඟ වචනයක් හෝ කථා නොකල නිසා එය අශිෂ්ඨ යැයි මට සිතුණි. ඒ නිසා ඔහුගෙන් යමක් විමසීම වඩාත් සුදුසුය.

''එසේ නම් ඔබ හිටපු හොලිවුඩ් නළුවෙක්''
''ඒත් සම්පූර්ණයෙන්ම නොවෙයි.'' මහල්ලා පිළිතුරු දුන්නේය.
''මා කළේ සුළු අත්වැඩ. ඉන්පසු ජනයා අවශ්‍ය දර්ශන වලදී සමූහයා සමඟ රඟපෑවා. සිසිල් බී ඩිමෙල්ගේ කමාන්ඩ්මන්ට්ස්හි හීබෲ වහලෙක් ලෙස රඟපෑවා. මට චාල්ස්ටන් හෙස්ටන් හමුවී තිබෙනවා, ඒත් ඔහු අමුතු පුද්ගලයෙක්. මම ඔහුට කැමති නැහැ. ඒත් රෝයි රොජස් ඉතා යහපත් මනුෂ්‍යයෙක්. ඔහු මට උපකාර කළා. ඔහු නිතරම මට කිව්වා ඒජන්ත කෙනෙක් සොයා ගන්න කියා. ඔබ දන්නවද නළුවෙකු වෙන්න නම් මේ ඒජන්ත කෙනෙකු සිටින්නට අවශ්‍යයි. ඒත් ඒ කාලයේ මට ඒ වගක් වැටහුනේ නැහැ. සුළු සුළු චරිත රඟපෑවා, විනෝද උනා, දන්නෙම නැතුව කාලය ගියා. දැන් මා වගේ නාකියෙකු අවශ්‍ය කාටද?''

එහෙත් හොලිවුඩ් පුරවරයෙහි මහළු චරිත රඟපෑම සඳහා ද පුද්ගලයන් අවශ්‍ය කෙරෙන බව කීමට මට සිත් විය. මා ඒ බව නොකිව්වේ මේ මහළු මිනිසා මා වරදවා වටහා ගනී යැයි සිතූ නිසාය. ඒ හැර ඔහු කෙරෙන් විස්කි සුවඳක් හැමීය.

ඔහු බේබද්දෙකු බව මට වැටහිණි. ලාභ ඩොනල්ඩ්ස් විස්කි වැනි විස්කි වර්ගයක් පානය කරමින් ඉබාගාතේ යන මහල්ලා මට වදයක් නොවුයේ මන්දැයි විමතියකි.

''මට යන්නට වෙලාව හරි'' මා අත් ඔරලෝසුව දෙස බැලුවෙමි.

''සුභ ගමන් මෙසියර්..'' ඔහු මට ගරු කරනු වස් පුටුවෙන් නැගී සිටියේය.
මම ඔහුට සිනහවකින් සංග්‍රහ කොට ලැමිබෝගිනී රථය වෙත ගියෙමි. වාහනයට නැගී දොර වසා ගන්නට යත්ම මහල්ලා වාහනය අසලට පැමිණියේය.

''මෙසියර් අමනාප නොවී මට ඔබගේ සාක්කුවේ ඇති සිල්ලර කාසි ටිකක් විසිකරනවද?''

ඔහුගේ වචනයට සාක්කුවට අත දැමූ මට අතට අසු වුනේ ඩොලර් විස්සේ නෝටිටුවක් පමණි. ඩොලර් විස්සක් යනු මා වැනි පුද්ගලයෙකුට ලොකු මුදලක් බව කිය යුතුද? ඇතැම් දිනවල මම යන්තම් ඩොලර් දහයකින් වේලක් ගත කොට අත්දැකීම් ඇත්තෙමි. එම නිසා ඩොලර් විස්සේ නොට්ටුවක් මහළු පුද්ගලයාට දෙන්නේ කෙසේද?

මම මොහොතක් කල්පනා කළෙමි. මහල්ලාගේ දෙනෙත්, ලැමිබෝගිනී රථය, සැන්ට බාබරා නගරය, අලංකාර ලෙස ඇද පැළඳ ගත් ජනී ජනයා. මම ක්ෂණයකින් වාහනයේ දොර වසා එන්ජිම පණ ගැන්නූයෙමි.

මහල්ලා මදක් පසකට විය. ඔහුගේ මුහුණේ බලාපොරොත්තු කඩ වූ සේයාවක් තිබේ.

මම රථයේ රියදුරු අසුන අසන්නයේ ඇති ජනේලය පහත් කළෙමි. ඩොලර් විස්සේ නොට්ටුව අතට ගත් මා මහල්ලාට හිසින් සංඥා කොට එය ඔහු අත තැබුවෙමි.

''බොහොම ස්තූතියි මහත්මයා ඔබට දෙවි පිහිටයි.'' මහල්ලා මට ස්තුති පිදීය.

මද සිනහවක් පා මා වාහනයේ ජනේලය වැසී යන සේ බොත්තම එබුවෙමි.

නියමිත පරිදි ගමනාන්තයට ලඟාවූ මම වාහනය ඩෙනිස් ෂේපර්ගේ බටලේරුවාට භාර දුන්නෙමි. ලැමිබොගිනිය මගෙන් මිදී ගියද මට දුකක් දැණුනේ නැත. එයට හේතුව මා අවසානය ගැන දැන සිටි නිසාය. එම වාහනයේ මා තාවකාලික භාරකරුවා වූවා පමණි. කොන්ත්‍රාත්තුව නිම කිරීමෙන් පසුව මට හිමි මුදල් ද මා ලබාගත්තෙමි.

වාහනය භාර දීමෙන් පසු මා දින දෙකක් පමණ සැන්ට බාබරා හී ලාබ හෝටලයක ලැගුම් ගෙන සිටියෙමි. ඒ දින අතරතුර හෝ ඉන් පසුව සැන්ට බාබරා වෙත පැමිණි අවස්ථාවලදී වත් මට මහල්ලා මුණනොගැසුණි.

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඈත අතීතයේ ගැල් පටවා වෙළඳාමේ යාමේදී, නාවික ගමනාගමනයේදී, යුධ කටයුතුවලදී මග නිවැරදිව සොයා ගැනීමට මිනිසුන් අහසේ තරු රටා යොදා ගත්හ. රෑ අහසේ පිපෙන අනේක විධ තරු රටා කෙතරම් නම් මිනිසාට උපකාරී වන්නට ඇත්ද? එදා කළුවර අහස එළිය කළ තරු අදත් එලෙසින්ම රෑ අහස පුරා නේක රටා මවමින් අහස සරසවයි. එනමුදු, සිරිලක්දීපයට ඉහළින් පායන තරු කැටවල හිඟකම නිසාමදෝ-

-එහි වෙසෙන දූපත් වාසීන්ට අවැසි තරු සොයා දීමේ සද් කාර්යයට සිරිලක්දීපයේ වාහිනී සියල්ලම පාහේ අඩු වැඩි වශයෙන් මේ වන විට ප්‍රවේශ වී ඇත.

රාත්‍රී අහස බලා තරුවක සුන්දරත්වය විඳීමටවත් අස්වැසිල්ලක් නැති හුදී ජනතාවද තමනට අවැසි තරු සොයා දෙන තුරු රූප පෙට්ටි ඉදිරිපසට වී වේලක් නොකා දාගත් 'රීලෝඩ්’ එක අවසන්වෙනතුරු තරු සොයති. තරු ගනිති. තරු බලති. කතා කරති. තරුවේ ෆිගර් එක, සංගීත රිද්මය අනුව පා සොලවන අපූර්වත්වය, මුහුනේ තවරන පුයර, හෙයා ස්ටයිල් එක, කටහඬ, කොටා ඇති පච්ච ඇතුළු තව බොහෝ දේ කෑම මේසයටත්, දුම්රියටත්, බස් එකටත්, කාර්යාලයටත්, කඩ මණ්ඩියටත්, ළිඳ ලඟටත් ආදී ලෙස එකී මෙකී නොකී හැමතැනටම අඩු වැඩි වශයෙන් එන්නේ තම තමන්ගේ තරුව අවසන් තරුව වේවායි පතමින් වන්දනීය භක්තියකින්ද යුතුවය.

‘ගායක තරුව’, ‘වාදක තරුව’, ‘කොමඩි තරුව’, ‘නැටුම් තරුව’ ආදී ලෙස අහසේ පිපෙන තරු රටා පරදවමින් අනේකවිධ තරු ඔවුන් මවති. තරු මැවීමේ කෙළ පැමිණීම කෙතරම්ද යත් ‘විනාඩියකින් තරුවක්’, මැවීමට ඔවුන් සමතුන්ය. ‘විනාඩියකින් තරුවක්’ වීමේ ආශ්චර්ය විඳිමට කැමැත්තෝ තම පොඩි එකා කිරෙන් ඇරීමටත් පළමුව ඒ වෙනුවෙන් ට්‍රේන් කරවති. ජීවත් වීමේ අරගලය පසෙකලා ඔවුන් තරු හඹා යාම අරඹති. දහවල් තරු පෙනී පශ්චාත් පෙදෙස බිම ඇන ගන්නෝ දැක දැක වුවද ඔවුන් තරු සිහිනයම මවති. ඒ තුළ ජීවත් වෙති.

ජංගම කතා පෙට්ටියේ බොත්තම් ඔබමින් අවැසි තරුව තෝරා ගැනීමේ අති දුෂ්කර කාර්යට මේ වන විට බොහෝ දූපත් වාසීන් ප්‍රවිශ්ඨ වී ඇත්තේ අවසානයේ තරුවට හිමිවන ධනස්කන්ධයෙන් කොටසක් තමන් වෙත ලැබේදෝයි යන විශ්වාසයටත් වඩා අඩු ගණනේ තම සිහින තරුව රෑ සිහිනෙන්වත් පෙනුනොත් ඇතැයි පතමිනි.

‘හොඳම තරුව’ වීමට පෙරහුරු වීමේදී පය ලිස්සා වැටීමෙන් පසු හා එතැන් පටන් දූපත් වාසීන් ඒ තරුව වෙනුවෙන් කඳුළු වගුරවන්නේත් එතැන් පටන් සිදුවන සෑම රූප රාමුවක් සමග වාහිනී සමගම බැඳි අවසානයේ ආදේශකයක් පැමිණීමත් සමගම සැනසුම් සුසුම් හෙළන්නේත් මේ අපේ දෙරනේ හිස නැති හිසවාහිනීවලට පින්සිදුවන්නටමය. හිස නොමැති දූපත් වාසීන්ට මේ වාහිනී ගෙන එන්නේ සුරාන්තයක්මැය. ඉදින් ඉහළ ගොස් පිපිරෙන දහවල් තරු බැලුන් දෙස බලා පහන් ප්‍රමෝද සුව විඳිමේ නොනවතින ආතල් එකට ඔවුන්ට ඉඩ දෙන්න. මින් එහා වසන්තයක් නම් ඇතැයි කෙසේනම් සිතම්ද? සිතිය නොහැකිමය. ඉදින් මෙවන් ආනන්දයක් දූපත්වාසීන්ට අත්කරදීමට සමත්වූවෝ ඒ හරහා ඇබින්දක් ලාභ ලැබුවාට එහි ඇති වරද කිමැ?

කුමුදු ප්‍රියංකර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මෙම ජපන් සෙන් කතා චන්දිම විජේබණ්ඩාර සහ එච්. එම්. මොරටුවගම විසින් සංස්කරණය කරන ලද ''ජපන් සෙන් කතා'' එකතුවෙන් උපුටා ගැනිණ. ඔබ දන්නා සෙන් කතන්දර තිබේ නම් බූන්දියට එවන්න. ඒවා මෙහි පළ කරන්නට අප සූදානම්.

1. බුදුන් සිර අඩස්සියේ

වෙළෙන්දෙක් රෙදි කච්චි පනහක් රැගෙන වෙළඳාම සඳහා පිටත් වූයේය.

අතරමගදී ඔහුට තද නිදිමතක් දැනුණේය. විසල් හිටි ගල් පිළිම වහන්සේ නමක් අසල හේ නින්දට වැටුණේය. නිදි සුව විඳ අවදිව බැලූ විට රෙදි තොගය අතුරුදන් වී තිබිණි. හේ වහාම පොලිසීයට පැමිණිලි කළේය. දිගින් දිගටම පරීක්ෂණ පැවැත්විණි. පොලීසිය විසින් පැමිණිල්ල උසාවිය වෙත ඉදිරිපත් කෙරිණි. උගත් විනිසුරු තුමා,

''එකත් එකටම ඔය රෙදි හොරකම් කරන්න ඇත්තෙ බුදු පිළිම වහන්සේම වෙන්න ඕනෑ. උන් වහන්සේට වටිනවා මගීන්ගේ දේපොළ ආරක්ෂා කරල දෙන්න. නමුත් ඒ වැඩේ කරල නැහැ. ඒ නිසා ගල් බුදුපිළිම වහන්සේ හිර අඩස්සියට ගන්න මම නියෝග කරනවා'' යැයි කීය.

වියත් විනිසුරුතුමානන්ගේ නියෝගය පරිදි පොලිස් නිලධාරීහු යුක්තිය පසිඳලනු වස් ගල් බුදුරුව අත් අඩංගුවට ගෙන උසාවිය වෙත ගෙන ආහ. ඒ පසුපස බුදුරුවට දෙන දඬුවම දැනගනු රිසියෙන් මහා සේනාවක් කෑ ගසමින් සිනාසෙමින් උසාවියට පැමිණියහ. සෙනග දුටු උගත් විනිසුරුතුමාණෝ,

''මේ සෙනගට උසාවියට ඇවිත් මේ විදියට හිනාවෙන්න කෑගහන්න වටිනවද? අයිතියක් තිබෙනවද? මාගේ අණසක පිරි මේ අති පාරිශුද්ධ යුක්තියෙහි ක්ෂේම භූමියට අපහාස කිරීමේ වරදට ඔබලා හැම දෙනාම හිර ගෙට නියම කරනවා'' යයි ප්‍රකාශ කළේය.

රැස්ව හුන් සියළු දෙනා බිම වැඳ වැතිර හිඳ සමාව අයැද සිටියහ.

''මම යුක්තියේත් සාධාරණත්වයේත් සංකේතයයි. මං ඔබලාට අනුකම්පා කොට දඩයක් නියම කරනවා. මේ සියළු දෙනාම රෙදි කච්චිය බැගින් උසාවියට ගේන්න ඕනැ. දින තුනක් ඇතුළත එසේ නොකළහොත් හිරගෙට යවනවා'' යි විනිසුරුතුමා අණ කළේය.

මිනිසුන් රැගෙන ආ රෙදි කච්චි අතුරින් එකක් තමාගෙ බව වෙළෙන්දා හැඳින ගත් නිසා හොරා කවරකු දැයි පහසුවෙන් අල්ලාගන්නා ලදී. අනිත් මිනිසුන්ගේ රෙදි කච්චි ආපසු දෙනු ලැබිණ.


2. තෑග්ග

ර්යොකන් නමැති සෙන් ආචාර්යතුමා කඳු පාමුල කුඩා පැල්පතක ඉතා චාම් දිවි පෙවෙතක් ගත කළේය. එක් දිනක් රාත්‍රියක ඔහුගේ පැල්පතට සොරෙක් ඇතුළු විය. සොරා ගැනීමට කිසිවක් පැල්පත තුල නොමැතිව සොරා වට පිට බලනු දුටු ර්යොකන්,

''ඔබ මෙහි එන්න ඇත්තේ හුඟක් දුර ඉඳලා වගෙයි. හිස් අතින් යන්නත් බැහැ නේ? ඒ හින්ද මගේ ඇඳුම් ටිකවත් තෑගි වශයෙන් අරන් යන්න'' යි පවසා තමා ඇඳ සිටි ඇඳුම් උනා සොරාට දුන්නේය.

අන්ද මන්ද වූ සොරා කිසිවක් කියාගත නොහී ඇඳුම් ටික රැගෙන යන්නට ගියේය.

ර්යොකන් නිරුවත්ව හඳ එළියේ වාඩිවී,

''අනේ දුප්පතා, මිනිහට මේ ලස්සන හඳ වත් දෙන්න පුළුවන් වුනා නම්...'' යි තමාට කොඳුරා ගත්තේය.


3. අපායෙයි දිව්‍යලෝකෙයි දොරටු

නොබුෂිගෙ නමැති සොල්දාදුවෙක් හයිකුන් හිමියන් වෙත පැමිණ මෙසේ ඇසීය.

''ස්වාමිනී අපායයි දිව්‍යලෝකයයි කියල දෙකක් ඇත්තටම තියෙනවද''

හයිකුන් තමා කවරෙක්දැයි ඔහුගෙන් විචාළේය.

''මම සමුරායි කෙනෙක්'' යි හේ පිළිතුරු දුන්නේය.

''ඔබ සොල්දාදුවෙක්!'' යි හයිකුන් පුදුමය පළකළේය. ''මොන මෝඩ ප්‍රභූවරයෙක් ද තමුසෙ වගේ සොල්දාදුවෙකු පත් කරගන්නේ? තමුසෙගෙ මූණ හරියට හිඟන්නෙකුගෙ මූණ වගෙයි.''

මේ වචන ඇසූ සැණින් නොබුෂිගෙ බෙහෙවින් කෝපයට පත්වී කඩුව කොපුවෙන් එළියට ඇදගත්තේය. එහෙත් හයිකුන් නොනවත්වාම කතා කරගෙන ගියේය.

''හා...... එහෙනම් තමුසෙට කඩුවකුත් තියෙනවා. තමුසෙගෙ කඩුව මගෙ බෙල්ල කපන්න තරම් මුවාත් නැතුව ඇති''

නොබුෂිගෙ ගේ කඩුව මුළුමනින්ම එළියට ඇදෙත්ම,

''ඔන්න…. ඔන්න ඔය ඇරෙන්නෙ අපායේ දොර'' යි හයිකුන් පැවසීය.

මේ වචන පිටවෙනවාත් සමගම යථා තත්වය අවබෝධ කොට ගත් සමුරායි වරයා කඩුව නැවතත් කොපුවේ දමාගෙන නමස්කාර කළේය. එවිට,

''ඔය ඇරෙන්නෙ දිව්‍යලෝකයේ දොර'' යි හයිකුන්ගේ මුවින් නිකුත් විය.


4. චීන කවියක් ලියන හැටි

ජපානයේ සුප්‍රසිද්ධ කවියකුගෙන් චීන කවියක් ලියන ආකරය ගැන අසනු ලැබීය.

''චීන කවියක පද හතරක් තියෙනවා'' ඔහු විස්තර පටන් ගත්තේය.

''පළමු වැනි පදයේ ආරම්භක අදහස දක්වනවා. දෙවැන්න එහිම කොටසක්. තුන්වැනි පදය අලුත්ම අදහසක් පටන් ගන්නවා. හතරවැන්නෙන් මේ අදහස් සේරම එකට ඈඳෙනවා. මෙය පැහැදිලි කරන ජපන් ගීතයක් මෙන්න:

ක්යෝතෝවේ සේද වෙළෙඳුට - දුලා දෙන්නෙක් ඉන්නවා
වැඩිමලා විසි හැවිරිදියි - බාලයා අටළොස් වියේ
මිනීමරන්නේ සොල්දාදුවන් - කඩු පහර දීලයි
මේ කෙල්ලෝ නම් එය කරන්නෙ- නෙත් පහර දීලයි”

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු ලෙස ජී. බී.සේනානායක දක්වන ලද කුසලතාව තවමත් ඇගයීමකට ලක් නොවී ඇතැයි මා සිතමි. ඔහුගේ මේධා, චාරුමුඛ වැනි නවකථා ද සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය සේසත් වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ද දුප්පතුන් නැති ලෝකය, පළිගැනීම වැනි කෙටි කථා සංග්‍රහයන් ද පෙන්වා දෙනුයේ අග්‍ර ගණ්‍යයේ ලේඛකයෙකුගේ ප්‍රතිභාවන්ය. ජී. බී.සේනානායක පවසන පරිදි ඔහුගේ රචනා වලින් හෙලි කරන්නේ චිත්ත තත්වයන්ය.

ඔහුගේ කෘතීන් වල ගැඹුරු හරයක් අන්තර්ගතය. ඔහු පෙන්වා දෙන පරිදි ඔහුගේ විධිමත් අධ්‍යාපනය නිම වූයේ හත් වැනි ශ්‍රේණියෙනි. ඉන් පසු ස්ව උත්සාහයෙන්ම ඔහු උපන්නේය. විශාල ප්‍රමාණයක් කෘති කියවා තමාගේ දියුණුවේ නිම් වළලු පුළුල් කර ගත් ඔහු බුද්ධිමතෙකු ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන්නෙකි.

ජී. බී.සේනානායකයන්ගේ කෘතීන් වල ඔහු විසින් අත් විඳි මෙලන්කෝලියාව (Melancholia) දක්නට තිබේ. මේ ස්වභාවය ඔහු තම නිර්මාණයන්ට ද මුසු කල බව පැවසිය හැක. මෙලෙස තම නිර්මාණයන් තුලට තමන්ගේ ආවේදනිකයන් මුසු කල ලේඛකයන්, කවීන් විශාල ප්‍රමාණයක් සිටිති. සුප්‍රකට ජර්මානු කවි ගතේ තමන් අත්විඳි මෙලන්කෝලියා තත්වය සිය නිර්මාණයන්ට මුසු කලේය. එසේම ටෝල්ස්ටෝයි, නිකොලායි ගොගොල්, ඩිකන්ස්, එඩිගා ඇලන් ෆෝ වැන්නවුන් තමන්ගේ සෘණාත්මක චිත්තාවේගීය ප්‍රතික්‍රියා නිර්මාණයන් හරහා පෙන්වා දෙන ලදී.

මහා ගත්කරු ජී. බී.සේනානායකගේ කෘතීන් විමර්ශනය කරන විට ඔහු සාමාන්‍ය මෙලන්කෝලියාවෙන් හෝ ඊටත් එපිට වර්ධනය වූ විශාදයකින් පෙලුනේද යන්න පිළිබඳ සැක පහළ වෙයි.

විශාදය වූ කලී මානසික රෝග අතරින් බහුලවම දැකිය හැකි රෝගී තත්වයකි. ඇතැමි විට විශාදය මානසික රෝග අතර සෙම්ප්‍රතිශ්‍යාව වශයෙන්ද හැඳින්වෙන්නේ එය එතරම්ම සුලභව දක්නට ලැබෙන නිසාය.

විශාදය හෙවත් (Depression) ඇති වීම සදහා ජානමය සාධක, ජීවත් වන පරිසරයේ බලපෑම, මුහුන දෙන ක්ලෙමථකාරී තත්වයන්, ප්‍රජානන හේතූන් යනාදී කරුණු ගනනාවක් පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. එම නිසා ජී. බී.සේනානායකයන් තුල තිබූ ආවේදනික තත්වය කුමන හේතුවක් නිසා හට ගත්තේද යන්න එක එල්ලයේම පැවසීම අපහසුය.

විශාදය නිරන්තරයෙන්ම මනෝ භාවයන් සමග බැදී පවතියි. විශාදයේ මධ්‍යගත ලක්ෂණය වනාහී මනෝ භාවයන්ගේ සහ චිත්තාවේගයන්ගේ අදුරුසහගත අවපාතයයි. බොහෝ විට මිනිසුන් අත් විදින විශාදය නිසා ඔවුන්ගේ ප්‍රජානනය හීන වීම, නිර්මාණශීලීතාව අඩාල වීම දක්නට ලැබෙතත් ඇතැම් පුද්ගලයන් තමන් පෙලෙන විශාදය නිර්මාණකරණය සඳහා උත්ප්‍රේරකයක් කර ගනිති. මේ සාධකය ජී. බී.සේනානායකගේ ස්වයං චරිතාපදානය, මම එදා සහ අද මෙන්ම ඔහුගේ අනෙකුත් කෘති ආශ්‍රයෙන්ද පැවසිය හැක.

ගත්කරු ජී. බී.සේනානායක අතිශයින්ම සංවේදී පුද්ගලයෙකු විය. තම කෘති අරභයා කෙරුනු විචාරයන් බොහෝ විට ඔහු පෞද්ගලික පහර දීම් මට්ටමේ ලා සැලකීය. ඔහු වරෙක මෙලෙස පවසයි. “ලේඛකයන් බොහෝ කල් ජීවත් නොවිය යුතුය. ජීවත් වූවන්ගෙන් ඔවුනට වේදනා උපදවන අත්දැකීම් ලබන්නට සිදු වේ.”

මේ හැර ඔහුට සතුරු වූ ලේඛක කල්ලි ජී. බී.සේනානායකට පහර දුන් බව නොරහසකි. මේ හේතුවෙන්ද ඔහු මානසිකව ඇද වැටුනි. මම එදා සහ අද කෘතියේ 60 වන පිටෙහි ඔහු මෙලෙස සඳහන් කරයි;

“මා සාහිත්‍යයෙන් දස්කම් පෑ තැනැත්තෙකු ලෙස මාගේ සාහිත්‍ය ජීවිතයේ මුල් කාලයේම ඊර්ෂියාකාර කල්ලිකාරයෝ මා නැති කරන්නට නොයෙකුත් උපක්‍රම යෙදූහ. මටත් මගෙන් ජීවත් වූ අම්මාටත් ඔවුහු කරදර ඇති කල නමුත් මා නැති කරන්නට අසමත් වූහ.”

ජී. බී.සේනානායක තුල ඇතැමි විට තමා පිළිබද හීන වූ චිත්‍රය සහ හීන වූ ආත්ම අභිමානය (Low self esteem) ආක්ෂෝහිත බව (Aggitation) ස්වයං අනුකම්පාව (Self pity) සහ ශුන්‍යවාදී අදහස් (Nihilistic ideas) දක්නට ලැබෙයි.

තමා මිනිසුන්ගේ සිත් නොගන්නා පෙනුමක් ඇති අයෙකු බව ඔහු තරයේ විශ්වාස කලේය. එක් ස්ථානයකදී ඔහු තමාව හැඳින්වනුයේ අගුටුමිටි පෙනුමකින් යුතු විරූපී පුද්ගලයෙකු ලෙසටය.

ස්වයං අනුකම්පාව නිසා ඔහු තමාගේ කෘති විවේචනය ඉදිරියේ අතිශයින්ම සැලුනේය. මා අන්ධව සහ කොරව සිටිය ද විචාරකයෝ මට පහර ගසති යන්න ඔහු ප්‍රකාශ කරන ලදී. එසේම ස්වයං හුදකලාභාවයකට (Alienation) ඔහු තමාව ලක් කොට සිටියේය. මම එදා සහ අද කෘතියේ 152 පිටුවේ ජී. බී.සේනානායක මෙසේ ලියයි. “මම ඔවුන්ගේ ආශ්‍රයෙන් ඈත්වීමි. මා පාරේ යන කල සිංහල ලේඛකයෙකු ඈත එනු දුටුවොත් පාරේ අනෙක් පැත්තට වී ගමන් කිරීමට මම පුරුදු වී සිටියෙමි.”

ස්වයං වරදකාරී ගැටලු ජී. බී.සේනානායක එලිපිට පවසයි. තමාගේ මව රෝගාතූර වූ අවස්ථාවේ ඈ මිය ගියේ නම් හොඳය යන අදහස නිසා ඔහු තුල පසුතැවිල්ලක් ඇති විය. එම සිතුවිල්ල ඔහු සම කරන්නේ ටෝල්ස්ටෝයිගේ යුද්ධය හා සාමය නවකථාවේ තම මහලු පියාවූ බල්කෝන්ස්කි කුමරු මිය ගියේ නම් යෙහෙකි යන හැගීම නිසා පශ්චාත්තාපයට පත්වූ මරියා බල්කෝන්ස්කියා කුමරියගේ හැඟීම් වලටය.

ඔහු තමා හා ඇමරිකානු ලේඛක එඩ්ගා ඇලන් ෆෝ අතර සමානතාවයන් දකියි. එසේම ඔහු එඩ්ගා ඇලන් ගේ කෙටි කථා ශෛලිය අනුගමනය කල බව මාටින් වික්‍රමසිංහ පවසා ඇත. එඩ්ගා ඇලන් ෆෝ ද තමා අත්විඳි විශාදය නිසා කායිකව මෙන්ම මානසිකව පීඩා විඳි ලේඛකයෙකි.

ජී. බී.සේනානායක කුඩා කාලයේ තමන්ට නිතරම ඇතිවූ හිසරදය සරස්වතී ආවේශයක් ලෙස හෝ තමන්ව ලියන්නට පොළඹවන බලවේගයක් ලෙසට සැලකීය. සත්‍ය වශයෙන්ම ඔහු මේ අත්විදින ලද්දේ මනෝ කායික (Psycho – Somatic) රෝගී තත්වයක් දැයි සැකයක් මතුවේ. ළමා කාලයේ අත්විදින මානසික පීඩනයන් බොහෝ විට මනෝ කායික රෝග ඇති කරන බව ළමා රෝග විශේෂඥයන් පෙන්වා දෙති. ආත්ම ඝාතනය හෝ ජීවිතාශාවෙන් තොර වීම බොහෝ විට විශාදය සමග බැඳී පවතියි. ජී. බී.සේනානායක තුල ද මෙවැනි ආත්මහරණයේ සේයාවල් දක්නට තිබුනි. එසේම ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු (පියා සහ වැඩිමල් සොහොයුරා) දිවි තොර කර ගත් බව ඔහු පවසයි. එසේම ජී. බී.සේනානායක ද ඇතැමි විට ජීවිතය කෙරෙහි උකටලී බවක් පෙන්වන ලදී. පහත දැක්වෙන්නේ ඔහු විසින් රචනා කරන ලද කවියකි. එහි කවියා තුල තිබූ මරනීය ආශයේ (Death Instinct) සක්‍රීයතාව පෙනී යයි.

නයා

නයෙකු නැගුනොත් මගේ ඇඳට
තුරුළු කර ගනිමි මම ඌ
සපන්න මිතුර මා
කරුණාවෙන්
යවන්න මා එහා ලෝකෙටයි කියා


මේ හැර ජී. බී.සේනානායකයන්ගේ ආත්ම ඝාතක සංකල්ප ඇතැමි විට ඔහුගේ කෘති වල එන චරිත හරහා ද නිරූපනය කරයි.

මනෝ විශේෂඥ ආරෝන් බෙක් විශාදය පිළිබදව තමාගේ ප්‍රජානන න්‍යාය මගින් ස්වයං අවතක්සේරුව, සෘණාත්මක දැක්ම මෙන්ම අර්ථකථනය සහ අනාගතය පිළිබදව අශුභවාදී දැක්ම හේතු වන බව පවසයි. ආරෝන් බෙක්ගේ පෙන්වා දීම් තුලින් සහ විශාදය පිළිබද බෙක්ගේ නිර්නායකයන්ට (Beck’s Scale)- අනුව මහා ගත් කරු ජී. බී.සේනානායක තුල විශාදයේ ලක්ෂන තිබූ බව කිව හැකිය. එසේම කෙලර් සහ ෂැෆීරෝ විසින් විශාදයට පත්වූ පුද්ගලයන් තුල මරනීය සාධකයන් ගොඩනැගීමේ ක්‍රියාවලිය පැහැදිලිවම පෙන්වා දෙන ලදී. මෙම පැහැදිලි කිරීම් අනුසාරයෙන් ජී. බී.සේනානායකයන්ගේ ජීවිතයේ අවසාන කාලයේ තිබූ මරනීය ආශයේ ප්‍රබලතාව පෙන්වා දිය හැක. එහෙත් ඔහු දිවි නසා ගැනීමට යොමු නොවීය.

අද්විතීය ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් පෙලුනේද යන්න තුළ සායනික මෙන්ම සාහිත්‍යමය වශයෙන්ද කාලීන බවක් තිබේ. ඒ මන්ද යත් ඔහුගේ නිර්මාණ තුළ මෙම විශාදයේ සේයාවන් ඇති නිසාවෙනි. එහෙත් එම නිසා ඔහුගේ නිර්මාණ වටිනාකමින් අඩු නොවේ. ඔහුගේ නිර්මාණ මිණි කැට වැනිය. එකී නිර්මාණ වල සාහිත්‍යමය මෙන්ම දාර්ශනික ගැඹුරක් තිබේ. චිත්ත තත්වයන් අරභයා ඔහු විසින් කරන ලද විවරණයන් සලකා බැලීමේදී ජී. බී.සේනානායක යනු ලාංකික දොස්තොයෙව්ස්කි ද යැයි සිතේ.

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මිනිසාගේ අයිතීන් වෙනුවෙන් සාමූහිකව පෙනී සිටීම වඩා යහපත් ලෝකයක් උදෙසා පෙරමං බලන්නවුන්හට ආශ්වාදය දනවන්නකි. සමාජ විප්ලවය වෙනුවෙන් පෙනී සිටියවුන් ආත්ම සුඛ විහරණය වෙත පල්ලම් බහින විට, මානව ප්‍රගමනය උදෙසා කැටිකළ දැනුම ආඥාදායකත්වය වෙනුවෙන් කුණු‍කොල්ලයට විකුණන විට, යහපත් ලෝකයක් වෙනුවෙන් වූ පැතුම සාපයක් වු කළෙක, දියාරු වී ගිය ලාංකික විකල්ප ක්‍රියාකාරීන් හට ලෝකයෙන් තවත් වරක් ප්‍රායෝගික උදාහරණයක් සැපයෙමින් තිබේ.

මිනිස් රුධිරයේ පැහැය වූ රතු පාටින් යුතු කමිසකරුවන් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදෙසා, ජනතා පරමාධිපත්‍යයයේ බලය ආරක්ෂා කිරීම සඳහා වීදි බසින්නේ අග්නිදිග ආසියාවේ නවමු කාර්මික රටක් ‍වන තායිලන්තයෙනි. රටේ සිටින සමස්ත ජනතාව වෙතට දිගහැරුණු සැලසුම් සහගත අරගලයක තිබිය යුතු දාර්ශනික එළැඹුමක් හෝ දිගුකාලීන දේශපාලන දැක්මෙන් දුප්පත් වුවද, එකී අරගලය මහපොළොව මත ක්‍රියාත්මක වීමේ ධෛර්යය මෙන්ම පොදු අරමුණක් වෙනුවෙන් පෙනී සිටීමේ අනොන්‍ය එකඟත්වය ද පිළිබිඹු කරන සජිවී ආදර්ශයකි.

රතු කමිසකරුවන්ගේ (Red Shirts) ආරම්භය සිදුවන්නේ 2006 වසරේ දී සිදුවූ තායිලන්ත අගමැති තක්ෂීන් සිනවාත්රා (Thaksin Shinawatra) බලයෙන් පහකළ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුවය. සිනවාත්රාගේ නායකත්වයෙන් යුතු තායි රක් තායි (Thai Rak Thai Party) පක්ෂයේ ආධාරකරුවන්ගෙන් ආරම්භක රතුකමිස ව්‍යාපාරය ආරම්භ විය.

තායිලන්තයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ සිනවාත්රාගේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති සඳහා ජන සහයෝගය ලැබුණ අතර ඔහු විසින් ඉදිරිපත් කළ විශ්වීය සෞඛ්‍යාරක්ෂණ සැලසුම (universal health care system) තුලින් රටේ සිටින ‍පහළම ආදායම් ලබන වැඩකරන ජනයා අතර ප්‍රසාදයට පත්විය.

2006 වසරේ ආරම්භ වූ රතු කමිසකරුවන්ගේ ව්‍යාපාරය කෙමෙන් සමාජ ව්‍යාපාරයක් බවට පත්විය. මේ වන විට එය උච්ඡස්ථානයට ආසන්න වෙමින් පවතී. මීට මසකට පමණ පෙර ආරම්භ කළ දශලක්ෂයේ පෙළපාලියේ (Million-Man March) ඉල්ලීම වූයේ ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා, දින 15ක් ඇතුලත මැතිවරණයක් ප්‍රකාශ කරන ලෙසටය. දේශපාලන කේවල් කිරීමක් ලෙස එහි එතරම් ගැඹුරු දේශපාලනයක් නොතිබුණ ද ඒ ‍ වෙනුවෙන් සංවිධානය වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේදී සිය අරමුණු මුදුන් පමුණුවාගැනීම වෙනුවෙන් දැක්වූ එකමුතුබව, අධිෂ්ඨානය, කැපකිරීම දිනක වැඩ වර්ජනයක් කරගත නොහැකි අපේ ඇත්තන්ට මහඟු ආදර්ශයකි. බැංකොක් නගරයේ වෙළඳ සංකීර්ණ, මංමාවත් තුල කඳවුරු ගසා සිටින ලක්ෂ ගණනක පිරිස සිය ඉල්ලීම ලබාදෙන තෙක් තවමත් නොසෙල්වී සිටිති.

රතුකමිස කරුවන් මේ වන පිවිස සිටින්නේ තායිලන්තයේ ආර්ථිකමය, දේශපාලනික වශයෙන් මෙන්ම ආරක්ෂාව අතින්ද අතිශයින් තීරණාත්මක ස්ථානයන්ටය. බැංකොක්හි ආර්ථික මර්මස්ථාන, තායි කැබිනට්ටුව රැස්වන ස්ථානය වටකර ඇත. මෙතෙක් සාමාකාමීව පැවති උද්ඝෝෂනයන්ගේ ලේ සෙලවුණේ පසුගිය අප්‍රේල් 10 වැනිදා ය. රජයේ හමුදාවන් විසින් එල්ලකළ වෙඩිපහරින් රතුකමිසකරුවන් 18ක් පමණ මියගිය අතර හමුදා සෙබළු කිහිප දෙනෙක්ද මිය ගියහ. 800ක පමණ තුවාලකරුවන් අතරින් වැඩිදෙනා හමුදා සෙබළුන් බව ද පැවසේ.

තක්ෂීන් සිනවාත්රා නැවත බලයේ පිහිටුවීම සඳහා මෙම ව්‍යාපාරය ආරම්භ වුවද මේ වන විට එහි පන්ති අරගලයක සටන් පාඨ හඬනැංවෙන බව සොෂලිස්ට් වර්කර් (http://socialistworker.org) වෙබ් අඩවිය පෙන්වා දේ. එහි සම්මුඛ සාකච්ඡාවකට එකවන තායිලන්තයේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු මෙන්ම සමාජවාදියෙකු වූ ගයිල්ස් ජි අන්පකෝන් (Giles Ji Ungpakorn) පවසනුයේ, රතුකමිස ව්‍යාපාරය ආරම්භයේදී සිනවාත්රාගේ දේශපාලන ආධාරකරුවන්ගේ ව්‍යාපාරයක් බවට පත්වුවද මේ වන විට එය වැඩකරන ජනතාවගේ පූර්ණ සහයෝගය හා සහභාගීත්වය ලැබූ වැඩකරන ජනතා ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවයි. (http://socialistworker.org/2010/04/09/struggle-shaking-thailand) එය දේශපාලනමය වශයෙන් සමාජවාදි නොවුනත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගනිමින් ඒ හරහා වැඩකරන ජනතා අයිතීන් දිනාගැනීම අරමුණු කොටගත්තක් බව ඔහු පවසයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (www.wsws.org) දක්වා සිටින ආකාරයට තක්ෂීන් සිනවත්රාගෙන් වැඩකරන ජනතා අයිතීන් බලාපොරොත්තු වීම විහිළුවකි. එසේ වුවද රතු කමිස ව්‍යාපාරයට වැඩකරන ජනතාවගේ සියළු කොටස් වල සහයෝගය ලැබෙමින්
පවතින අතර පහළ ශ්‍රේණියේ හමුදා සෙබළුන්ගේ පවා පක්ෂපාතීත්වය රතුකමිසකරුවන් වෙත ලැබීම හේතුවෙන් හමුදාව තුල පවා අභ්‍යන්තර කැළඹීම් හට ගෙන ඇත.

මේ අතර 2006 දී සිනවාත්රා බලයෙන් පහ කළ හමුදාපති ජනරාල් අනුපොන්ග් පඕචින්දා (General Anupong Paochinda) ද ප්‍රකාශ කොට ඇත්තේ දේශපාලන විසඳුමකින් මෙම ගැටළුව විසඳාගත යුතු බවයි. රටේ සිටින මධ්‍යම පාන්තික ප්‍රභූන්ගේ විශ්වාසය ද අහිමිකොට ගෙන සිටින අගමැති අභිසිට් (Abhisit Vejjajiva) මෙතෙක් රතුකමිසකරුවන් ගේ ඉල්ලීම් වලට එකඟත්වයක් පළකිරීමක් ද සිදුව නොමැත. ඔහු එකඟව ඇත්තේ මාස 06ක් තුල ආණ්ඩුව විසිරවීමටය.

ගයිල්ස් ජි අන්පකෝන් (Giles Ji Ungpakorn) ගේ බ්ලොග් අඩවිය (http://wdpress.blog.co.uk/) උපුටා දක්වන Socialist Alternative වෙබ් අඩවිය (http://www.sa.org.au/international/2644-thailand-hundreds-of-thousands-protest-to-defend-democracy) රතු කමිසකරුවන්ගේ අරගලය තුල ශක්තිමත් දේශපාලනික දෘෂ්ඨියක් නොමැතිකමේ අඩුව පෙන්වා දේ. ඔහුට අනුව සමාජය වෙනස් කිරීම සඳහා තීරණාත්මක වන්නේ නිශ්ක්‍රීය බහුතරයකට වඩා සක්‍රීය සුළුතරයක් බවට මේ තවත් උදාහරණයකි.

බැංකොක් නගරයේ සිට දේශපාලන විශ්ලේෂණයක යෙදෙන බීබීසී වාර්තාකරු රැචල් හාවිට අනුව (news.bbc.co.uk/2/hi/asia-pacific/8575851.stm) රතු කමිසකරුවන්ගේ අර‍ග‍ලයේ නිරත තායිලන්ත ජනයා තුලින් මතුවන්නේ හුදු මැතිවරණයක් ඉල්ලීම නොව සමස්ත ක්‍රමයටම එරෙහිව ඔවුන්ගේ ඇති විරෝධයයි. බීබීසි වාර්තාකරුට අනුව ක්‍රමය වෙනස් කිරීම අර්ථගැන්වීම එක් ආකාරයක වුවත් සමස්ත ක්‍රමයේ ඇති පීඩාකාරී බව, විනාශකාරී බව ලෝකයේ ක්‍රමය ආරක්ෂාකිරීම වෙනුවෙන් මුක්කු ගහන මාධ්‍ය ආයතනයකම වාර්තාකාරයෙකුටත් අවබෝධකරගත හැකි තරම් තීව්‍ර වී ඇත.

තායිලන්ත වැඩකරන පන්තියේ ජනයා තුළින් නැගෙන ආවේගය රතු කමිසකරුවන්ගේ ව්‍යාපාරය තුළින් එළිදැක්වෙන එකී ශක්තියෙන් ලෝකය වඩා යහපත් තැනක් බවට නිර්මාණය කරගැනීමට නම් තීරණාත්මක වන්නේ එකී අරගලයට නායකත්වය දෙන්නන්ගේ දේශපාලනික දෘෂ්ඨියයි. පීඩාව තුළින් ගොඩනැඟුනා වූ වැඩකරන ජනතාවගේ ආවේගය මෙහෙයවීමේ දිශාව තෝරාගැනීමේ පරිණත භාවය එහි සාධනීය බව හෝ නිශේධනීය බව තීරණය කරයි. 2002 වසරේ බලයට පත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට එරෙහිව බලමුළුගැන්වුණු ජනමතය එකල ඊට නායකත්වය සැපයූ ජවිපෙ විසින් මෙහෙයවූයේ ජාතිකවාදී අන්තයක් දෙසටය. අවසානයේ සිදුවූයේ ඔවුන් විසින් පත්කළ ජනාධිපතිවරයා විසින් ජවිපෙට පයින් ඇණ පුද්ගල බලලෝභය තෘප්තිමත් කිරීම සඳහා එය යොදාගැනීමත්, වර්ගවාදී, මූලධර්මවාදී ජන මතයක් නිර්මාණය කොට තමන්ගේ පැවැත්ම ස්ථාවර කරගැනීමත්ය.

රාජ්‍යයේ හැසිරීම එහි වෙසෙන ජනයා විසින් ප්‍රශ්ණ කරන විටකදී, එය මඟහැර එකී ප්‍රශ්ණ කරන්නන් " ත්‍රස්තවාදීන්" ලෙස ලේබල් කිරීමට තායිලන්ත අගමැතිවරයා ද පියවරගෙන ඇත! ඇමරිකාවේ සිට ලංකාව දක්වා දේශපාලනික වශයෙන් නොමඟ යැවීම සඳහා යොදාගන්නා මේ වචනයේ අවස්ථාවාදී අරුත දැන්වත් අප තේරුම්ගත යුතුය.

තායි නියෝජ්‍ය අගමැති සුතෙප් තවුග්සුබාන් (Suthep Thaugsuban) විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද්දේ අහිංසක රතු කමිසකරුවන් දින දෙකක් ඇතුලත පිටවිය යුතු බවයි. (news.bbc.co.uk/2/hi/asia-pacific/8624218.stm) ඒ අනුව දින දෙක ඇතුළත පිටව නොයන්නන් ක්ෂණයෙන් “ත්‍රස්තවාදීන්” වනු ඇත.

ත්‍රස්තවාදියා හා සාමාන්‍ය පුරවැසියා අතර ඇත්තේ දින ගණන පිළිබඳ ප්‍රශ්ණයෙකි. නොඑසේ නම් පෙනීසිටීම පිළිබඳ ප්‍රශ්ණයකි. තවදුරටත් විස්තර කර ඇති නියෝජ්‍ය අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ත්‍රස්තවාදින් සාමාන්‍ය මිනිසුන් මිනිස් පළිහක් ලෙස පාවිච්චි කරන බවයි!

තායිලන්ත ජන අරගලයේ තවත් සුවිශේෂිත්වයක් නම් ඔවුන් විසින් නුතන මාධ්‍යයන් තමන්ගේ පිරිස හැසිරවීමට, බලමුළු ගැන්වීමට යොදාගැනීමයි. තායිලන්ත රජයේ මාධ්‍ය විසින් දැඩිලෙස රාජ්‍ය පක්ෂපාතී හා ජනයා නොමඟ යවන සුළු පුවත් විකාශනය කරන බැවින් රතු කමිසකරුවන් තමන්ගේම වූ රූපවාහිනී චැනලයක් ආරම්භ කොට ඇත.

ඊට අමතරව ඔවුන් විසින් අන්තර්ජාලයේ වෙබ් අඩවි හා බ්ලොග් අඩවි සිය ප්‍රවෘත්ති සන්නිවේදනය උදෙසා භාවිතා කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 10000කට ආසන්න වෙබ් අඩවි හා බ්ලොග් අවඩි තායිලන්තය තුළ තහනමට ලක්ව ඇත. (http://advocacy.globalvoicesonline.org/2010/04/12/thailand-pulls-plug-on-tv-station-decrees-martial-law-arrests-webmasters-blocks-10000-more-websites/)

මීට අමතරව රතුකමිසකරුවන්ගේ මූලික දැනුවත් කිරීම් හා බලමුළුගැන්වීම් සඳහා බොහෝ දුරට facebook groups භාවිතාකළ බව දැනගන්නට ඇත. මීට අමතරව රතුකමිසකරුවන්ගේ ව්‍යාපාරයට එරෙහිව ක්‍රියාත්මක උද්ඝෝෂණයක් සඳහා ලක්ෂ තුනකට අධික පිරිසක් සහභාගි කරවීමට නියමිත අතර ඒ අතරින් සැළකිය යුතු පිරිසක් facebook groups තුළින් දැනුවත් කළ අය බව පැවසේ.(http://english.people.com.cn/90833/90834/index.html)

රතුකමිසකරුවන්ගේ අරගලය තවමත් අවසන්ව නොමැත. එහි දේශපාලනික ගමන් මඟ පිළිබඳව ද අපට පූර්වකථනයන් ඉදිරිපත් කළ නොහැක. එසේ වුවද පුද්ගල ආත්මාර්ථය උත්කර්ෂයට නංවන සමාජ ක්‍රමයක් තුල තායිලන්ත වැසියන්ගේ ධෛර්ය, උත්සාහය, කැපවීම මෙන්ම සාමූහිකත්වය කෙරේ තැබූ විශ්වාසය පිළිබඳව අ‍පගේ ගෞරවාදරය හිමිවේ.

අවසාන වශයෙන් ඔවුන්ගේ අරගලය වෙනුවෙන් සහයෝගය පළකරන අතරම භූමිය තුල සිදුකරන අරගලය අපහසු, කැපකිරීම් කළ යුතු, ඇඟරිදෙන වැඩක් වනවා මෙන්ම එකී අරගලය මෙහෙයවෙන දෘෂ්ඨිමය අවියේ පරිණත බව, පළල් බව නොවේ නම් ඉහත සිදුකළ සියළු ශාරීරික දායකත්වයන්ගේ උපරිම ඵල නෙලා ගත නොහැකි වනු ඇති බවට අවධාරණය කරමු.

සංඛ කිරිඳිවැල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

චිකාගෝ එවුන්ට පිස්සු..
පැය 8ක්...!
මොන බම්බුවක්ද?
කැමැත්තෙන්ම
පැය 18ක් වැඩකරන
මිනිස්සුන්ට....

කල්දාන ජීවිතයට | අලුත් කියවීමක්



[Click on the image]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තද නිල් මූදේ වා රැලි හුස්මේ
කුයිල හිතේ බැඳිලා
පානම දසුනැසුරින් ළෙහි කවිකම්
කළලය පිළිසිඳිලා

දෙපැයක් දඟලා ඉර ද ගිලී ගිය
අඳුරු කලල් වගුරේ
නෙළුමක් සේ නැගි ලන්තෑරුමකින්
උණු එළි ඉරි වැගිරේ

පොඩි කඩ වීදිය දෑලෙහි දැවටෙන
දූවිලි මුදු සිවියේ
සුවඳින් පිච්චී සුළඟින් විසිරේ
ළතැවුල් දලු දිවියේ

සිප ගත් බඳුනේ පතුළෙහි දිලිසේ
මධු ගී පද පේළී
දුම් මත මත්තේ ඇඳි රතු චිත්‍රේ
සායම නැහැ වේලී

පොතුවිල් කෙල්ලන්ගේ රූ ගිනි සුළි
පපුවෙහි ඇවිලෙනවා
රටකජු ගොවිපොළ අද්දර අහසේ
මූණු හිනා වෙනවා

බුම්මන මූදෙන් බේරී තරු කැට
කෙලෙසක හැංඟේදෝ
යන එන තැන්වල ලැග නවතින්නට
කවරෙකු ඉඩ දේදෝ

මිණි කැටයම් රැඳි පළිඟු පියල්ලක්
බිම දා බින්දා මෙන්
සමුගෙන පිට වී ආවා මතකයි
ළා නිල් හැන්දෑවෙන්

ලක්ශාන්ත අතුකෝරල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|




ඇස නිදි ගැට හැර නැගිටුව උදා ගිර.....!

මේ දෙහිවල හන්දියේ අද උදෑසන මිනිසෙක් පාර්ලිමේන්තුවට විරුද්ධව කළ හුදෙකලා ප්‍රකාශනයක්. කතිකාවට බඳුන් විය යුතු යැයි සිතමි. මා මේ ඡායාරූප ගනිද්දිත් කිසිම මාධ්‍යක් මෙතනට එවේලේ පැමිණ නොතිබුණි. සමහර විට ප්‍රකාශනයේ අසභ්‍යභාවය හේතුවෙන් විය යුතුය. එය මා ප්‍රශ්න කරද්දී වෙන කෙසේ කියම්දැයි ඔහු මාගෙන් ප්‍රශ්නයක් ඇසීය.

(2009, අප්‍රේල් 23)

වීරයා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"උඹට ආත්මගතව තියෙන සේරම කට්ට සූත්තර ඒකරාශී කර ගන්න වෙයි. එතකොටයි හිර ගෙදර බිත්ති ඇතුළෙත් සේරම දරාගෙන ඉන්ඩ උඹට තිබුණු ශක්තිය වාගෙම මහ බලගතු පහරක් එල්ල කරන්න ලැබෙන්නේ. මේ ඉන්නේ පුරුෂයෙක්නෙ-මාළුවෙක් වගේ පීනන්න, උකුස්සෙක් වාගේ පියාඹන්න, මීයෙක් වාගේ බිත්තියක් දිගේ නගින්න, මුණිස්සමක් වාගේ දොරවල් හිල් කරන්න ශිල්ප දන්න පුරුෂයෙක් නේ!

අරූ ඉස්සර වෙලාම උඹව දැක්කම කොහොම බලයි ද? උගේ ඇස් උඹේ ඇස් එක්ක මුණ ගැහෙන එක කොහොම වෙයි ද? ඉලිෂ් උඹට අමතක වුනාද මගේ කකුල් අතර බල්ලෙක් වාගේ දැවටිච්ච හැටි? තොට තොගේ කකුල් දෙකෙන් හිට ගන්න ඉගැන්නුවේ, සිගරට් කොටෙත් ඉල්ලන පුලන්නකුගෙන් මිනිහෙක්ව හදලා ගත්තෙ මමනෙ. එහෙම නේද කාරාණා සිද්ධ වුණේ? ඉලිෂ් උඹට ආන්න ඒක මතක නැති වුණා. එහෙම වෙච්චි එකම එක්කෙනා උඹ විතරක් නෙවෙයි. ඒකිටත් අමතක වුණා. අර කුණු ගොඩෙන්, පණු කැදැල්ලෙන්, පාවාදීමෙන්, පරදාර සේවනයෙන් මතු වෙච්චි ඒ ගෑනිටත් අමතක වුණා.

මේ සේරම අන්ධකාරෙ මැද සානා උඹේ මූණ විතරයි හිනාවක් ගෙනාවේ‍. අපි මුණ ගැහුණම උඹ ඉදිරියෙ මගේ තත්ත්වෙ මොකද්ද කියල මට දැන ගත්තෑකි. තව ටිකකින් මිනිස්සු විනෝදෙන් ඉන්න පුරුදු වෙලා තියෙන මේ පටු ආරුක්කු වීදි පහු කරගෙන මං මේ පාර දිගේ කෙළවරට ම ගිහින් තියේවි‍. ඉහළටයි පහළටයි යාවි.‍ නමුත් ඒක කීර්තියට පත්වෙන්න යන ගමනක් නෙවෙයි. දිවුරලා කියන්නං මං තොපි ඔක්කොටම වෛර කරනවා."

සියලු තැබෑරුම් වසා කුමන්ත්‍රණ උපදින අතුරු වීදි පමණක් විවෘතව තිබිණ.

-නො‍බෙල් සම්මාන ලාභී ඊජිප්තු ජාතික ලේඛක නගීබ් මහ්ෆූස්ගේ හොරා සහ බල්ලෝ

නගීබ් මහ්ෆූස්
පරිවර්තනය - සුනේත්‍රා රාජකරුණානායක

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හුස්ම ඇද ඇද ගාටන
පිටටත් සෙනඟ උතුරන
තැම්බෙන මිනිස් හැලියකි
හයයි කාලේ බස්රිය.

දවසක් පුරා කඹුරා
නෙලාගත්
හාල්
පොල්
ලුණු මිරිස්
දැමූ
පොලිතින් මල්ල
දරාගෙන එක අතෙකින්
ඉහල අත් වාරුවේ
යාන්තම් එල්ලීගෙන
අම්මා ගෙදර එන්නී
සඳ සමග ඒ බසයෙන්.

හැමදාම
අත දමා අවුස්සමි
පැස පතුල
සොයා ගත හැකි බැවින් ඉඳහිට
අම්මා නොකා ගෙන එන
කුඩුවුණු කේක් කැබලි ද
කට්ලට් ද
චොකලට් ද
කෙහෙල් කොළයේ එතූ
හීල් වෙන්නට කිට්ටු රස බත් ද.

සමහරදාට
එහි ඇත
යසට සෝදා මැද්ද
ටී ෂර්ට්
සායවල්
සහ
ගවුම්.

දොලෙස් අවුරුද්දකට පෙරාතුව
හයයි කාලේ බසයෙන්
ඇතෙක් සේ ඇදවැටුණු තාත්තගෙ
තුං මාසෙ පින්කමින් ඉක්බිතිව

විදුලි අකුණු අව් වැසි නොම තකන්නියා
වාත දූලි උවදුරු නොහඳුනන්නියා
සොඬ දිගුකර නෙලා පලවැල ගෙනෙන්නියා
අපෙ අම්මා ගල් අරඹේ ඇතින්නියා

සජීවනී කස්තුරිආරච්ච්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පි-
හළෙමි රතු යකා
මම ජවිපෙ තී නිසා...//

සොඳුරු ළඳේ
සදමි ගෘහේ
තොප හැර සැප නැතේ

ගැ-
පක්සෙ ඔබේ බාල නමුත්
බඩුම තමයි දැං

පි-
ඇමැති බෙලෙන් ගෝත්‍ර ගති
දුරුකරලාමි මං

ගැ-
ප්‍රාණය සරි ස්වාමිට මගේ
ආලය වෙමි තිරා

පි-
ප්‍රීතිව ගියේ හෘදේ මාගේ
ගැහෙනවා පංචායුදේ

පි-
හළෙමි රතු යකා
මම ජවිපෙ තී නිසා...//


ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හකුළුවා ජීවිතය
හොවා අතැඟිළි අතර
ලිහා ගන්නට කියා
සුරත දිගු කළ ගුණය

මං පෙත් කටු අතුළ
ගිණි බිඳුණු බිම වැතිර
තබා හිස කඳ සෘජුව
නැගී සිටි සඳ එසඳ

හංගාන නෙත් සරය
කඳුළු වෑහෙන නදිය
කියා දුන් පාඩමේ
තිබුණේ ම තෙද ගතිය

පියවරුන් ලොව දකින
ළය තෙමා බිම වැටෙන
දෙදරවා යළි නැගෙන
අරුමයකි දුර දකින

පියවරක පිය මනින
සිඟිති දෙපයට රළුය
හීනියට මුව පිපුණු
තුරුණු පිය සටහන්ය

දාහය ද විඩාබර
නෙත් කෙවෙණි බොඳ කරන
සිහිල් පවනක් සේ ම
හමන්නේ පිය සුවඳ

ලොව තැනූ පියවරුන්
පසුපසම රන්සිළුය
ඒ පුතුන් රජ නොවන
ලොව දිළිඳු සුරපුරය

අතීතය මත නැගෙන
හෙට උදේ හිරු කිරණ
නුඹ වැනිම නුඹෙ පුතුන්
විදාලයි මුදු සුසුම

යුග ගණන් තෙද පෑව
රතු පාට ඒ හීන
පුදසුනක වැජඹීම
සුරත ළෙල දේ පාන

විසල් අහසට බරව
සොයන්නේ නුඹෙ රුවම
ගැඹුරු මහ පොළොව දැක
අඩදැණිව වැඳ වැටිණ.

තුෂාරි ප්‍රියංගිකා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පෙලපාලියෙන්ම ගොස්
පොලූ ගසා ධනපති හැත්ත වරිගෙට
පෙලපාලියෙන්ම විත් - මද පමණින්
මැයි පලමුවෙනිදා හවසට
සෝදා රතුම රතු කමිසය
නවාලා පිලිවෙලට
රතුම රතු ධජය සමගින
තැන්පත් කරයි අල්මාරියේ
යටම තට්ටුවේ - යටම රෙද්දටත් යටින්

බිඟන්නට ධනපති බලකොටු
මිට මොළවා නැගූ සුරත
දිගුකර බැතියෙන් එකත්පස්ව
බැඳගෙන පිරිත් නූලක්
අසපුවාසී හිමිනමකගෙන්
තිස්දාහේ සිවුරු පොරවන

මතුරා තුන්වරක්ම
කරණීය මෙත්ත සූත්‍රය
සැතපෙයි මෙත් සිතින්
සියලූ සත්වයෝම නිදුක් වේවායි
පතමින්

උදෑසන හිරු සමග අවදිව
මග හැර රාහු කාලය
අමතයි සීරුවෙන් - තෝර තෝරා වදන්
''සන්ධාන - සභාගේ'' විප්ලවේ ඇමති සඳ
සුදුම සුදු ඇඳ පැලඳ - රතුම රතු වදන් තෙපලන

''උතුරට වසන්තේ
ඔබමය අපේ ජය කොන්තේ
පංතිය කනත්තේ
අපත් මහරජ තුමන් පැත්තේ''

මොන තරම් සුන්දරද ජීවිතේ
පත අට එකට හිඳගත්
කම්කරු සටන් බදුගත්
ක්‍රමයට එරෙහි නඩුගත්
පංති සතුරා සමගත්
මේ යන ගමන හරි වැදගත්

නැගිටුවා සාදුකින් පෙලෙනවුන්
දිනවන්නට
සාදුකම උරුම කරනා උන්
කැන්දාගෙන ඒය අබිමනින්
මාක්ස්, ලෙනින්, කස්ත්‍රෝ, මාඕ
තවත් මදිනම් චාවේස් හියුගෝ

ජයපතා නිර්ධන පංතියට
ගටා මධු බදුන්
අදිරද විරෝධී ස්ථාවරයට
ලෙලවා දයලෙක්තිකේ
පස්වනක් ප්‍රීතියෙන් - අන්තිමේ
පතයි සැමටම මෙත් සිතින්
''බුදු සරණයි!''

චූලානන්ද සමරනායක

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails