Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මාක්ස් එංගල්ස්
ෆ්‍රොයිඩ් ෆූකෝ
ලකාන් ඩෙරීඩා
කොටා දියකර
බී එයින් මත් වී
වනා කගපත හතරතේ
'පිටිය සුද්ධයි'
(ground clear)
කියා තුටු වී
කුටියකට වැද...
"මමයි ලෝකය
මම වගේ වෙනු!
සකල සාහිත
කලා ලෝකය
මගේ අණසක
අනුව යා යුතු!"
(ට්‍රොට්ස්කි ගැන අමතක වුණාව ද)
ඈත නොම වූ
දිනෙක "දහසක්
මල් පිපේවයි
මත ගැටේවයි"

කියූ මුවගින්
"එක ම මල මම"
කියා මළ පැන!
වහසි දොඩනා
කුටියකට වැද
ස්වයං වින්දනයේ
වුණේ කිම්දැයි
අසන ලොව වෙත
බුරා පැන
පිළිතුරු දෙමින්
"මට වුණේ කිම්දැයි
‍දැනගන්ට තොපි
සතුටු නම්...
මා සොයාගෙන
මාගේ ගෙදරට
තොපි වරෙව්
(මෙන්න ලිපිනය)
මගේ අභිමානය
එයයි!"

"පෙම් ලොව දී දුටු ඔහු ම ද මේ!
ඔහුට ද මා අන්ධ වු‍ණේ!!"


[පශ්චාත් පශ්චාත් නූතන යුගය]
"තෝරාගත් කෘති"[2010]- පියන්කාරගේ බන්දුල ජයවීර


පියන්කාරගේ බන්දුල ජයවීර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මේ වෙසක් සමයයි. වීදි පුරා ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් දකුණේ බොහෝ පෙදෙස් හි විවිධ වූ ජාතක කථා දිග හැරෙනා වෙසක් තොරණ, අනේක විධ මොස්තරයන්ගෙන් හැඩ වුණු වෙසක් පහන් කූඩු වලින් හා විවිධ වූ වෙසක් සැරසිලි වලින් වීදි පිරී ආලෝකමත් වී මහත් වූ උනන්දුවෙන් වෙසක් සමරති. ගමක් නගරයක් පාසා දන්සැල් වලින් පිරී යන්නේ එයට තවත් බොහෝ හැඩ වැඩ එක්කරමිනි. මෙවර වෙසක් සමය ජාතියටම අතිශය සුවිශේෂ වෙසක් පොහොයක් ලෙස නම් කරමින් රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව ජාතික වෙසක් කලාපයන් සංවිධානය කොට තිබිණ. ජනපති, අගමැති වෙසක් පණිවුඩ නිකුත් කරති. ජාතික නාලිකා වෙනමම වේලාවක් ගෙන ගිරවුන් මෙන් ඒවා කියවති. මැති ඇමතිවරුන්ට ද අතිශය කාර්ය බහුල කාල සමයකි. ඒ මේ කාලය පුරා සංවිධානය වන වෙසක් තොරණ් හි විදුලි පහන් ක්‍රියාත්මක කිරීම් සහ දන්සැල් ඉඳුල් කිරීම් වෙනුවෙන් සහභාගී වීමට ඇති නිසාය. අමාත්‍යංශ ලේකම්වරුන්ටද ත්‍රිවිධ හමුදාපතිවරුන්ටද ඉස්පාසුවක් නැත. ඒ විවිධ වූ වැඩසටහන් වෙනුවෙන් සහභාගී වීමට ඇති හෙයිනි. මේ සියල්ලෙන්ම වැඩිම බරක් පැටවෙනුයේ රාජ්‍ය මාධ්‍ය හි තාක්ෂණික සේවකයන්ටය. ඒ ඉහතින් සඳහන් කළ සියල්ලන්ගේම අවස්ථා මාධ්‍ය ආවරණය සිදුකළ යුතු බැවිනි. කුමකින් හෝ අතපසු වීමක් සිදුවුවහොත් ලොක්කන්ගෙන් ඔවුන්ට විසුමක් නැත.

ගම් ගොඩේද වෙසක් කූඩුවක් පත්තු නොකරන බෞද්ධ ගෙදරක් නැති තරම් ය. සියල්ල හොඳය. නමුත් ප්‍රශ්ණය බුදු දහමේ නියම අරුත මේ සියල්ලන්ම අවබෝධ කරගෙන සිටීද යන්නයි. වෙසක් තොරණ්, දන් සැල්, වෙසක් කලාප සංවිධානය වන තරමින්ම අධ්‍යාත්මිකවද බැඳී සිටියේනම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදිය ගැන අතිශය කණගාටුවෙන් කථා කරන යුගයක් නිර්මාණය වන්නේ නැත. උඩින් ඔපේ ඇති යටින් හපයක් වූ සමාජ ක්‍රමයක් නිසාවෙන්ම අතිශය පිරිහුණු රාජ්‍ය ත්‍රන්ත්‍රයක් බිහිවී තිබේ.

බුදු දහමේ හරය වන මෛත්‍රිය පසෙක ලා දතට දතක්, ඇසට ඇසක් ඉල්ලා සිටිනා තැනට ගොස් ඇත්තේ ඉහත කී අධ්‍යාත්මික බැඳීම් මෙරටින් පලාගොස් ඇති බැවිනි. ප්‍රභාකරන් මැරුණු විටද සරත් ෆොන්සේකා පැරදුනු විටද කිරිබත් කෙසෙල් කන්නේ මියැදුනු පැරදුනු පුද්ගලයන්ට ගරු කිරීමට නොදත් ජාතියක් ලෙස ලොවටම හොරණෑ පිඹ පෙන්වමිනි. ඇත්තෙන්ම ඔවුන් අපේ එවුන් නොවන්නේද? අපේ එකෙක් පැරදුනු විට එය තවත් මිනිසුන් කොටසක් ලෙස සැමරිය හැකිද? මොන මත වාදයන් දැරුවත් ඔවුන් මේ බිමේ එවුන්ය. මේ පොළවෙන් උපන් එනුන්ම වන්නේය.

සටන් පැරදුනු එළාරගේ මෘත ශරීරය නිසි පරිදි සොහොනක තැන්පත් කර ගරු කිරීමට ද රාජ ආ ඥාවන් පැවවූ බව අප මෙරට ඉතිහාසයෙන් ද අසා තිබෙන අතර ලෝක ඉතිහාසයේ ද ඕනෑ තරම් උදාහරණ තිබේ. එහෙත් මෙරටේ මහජාතිකවාදීගේ වරදින්ම සන්නද්ධ ව්‍යාපරයක් වෙත යොමු වී මරු වැළද ගත්ත ද ඔවුන්ගේ සොහොන් කොත් කඩා දැමීමෙන් රිදෙන්නේ සොහොන් කොත් වලට නොව ඒ ජාතියේ ජීවත්ව සිටිනා අපේම එවුන් කොටසකටය. දැන දැනම නැවත නැවතත් එසේ සිත් තුවාල කරන්නේ ජාතික ප්‍රශ්ණයට සැබෑ ලෙසම පිළිතුරු අවශ්‍ය නැති නිසාය. සමහර විට මෙසේ කරනවා වන්නට ඇත්තේ නිරන්තර සිත් බිඳිම් තුළින් ජාතික ලෙස බෙදී සිටින තාක් ඔවුන්ගේ පාලන අරමුණු ඉටුකර ගැනීමට පහසු වීමටයැයි ද කෙනෙක්ට උපකල්පන කිරීමට නොහැකි නොවේ.

මේ බුදුන්ගේ දේශයය යැයි සංකල්පනා නිර්මාණය කිරීමෙන් පළක් නැත. බුදුදහමේ අධ්‍යාත්මික හරය, විනය තමා තුළින්ම ප්‍රදර්ශණය ප්‍රදර්ශනය කළ යුතුමයි. තමා සම්මතේ නොමැතිව වැදි බණ දෙසා සමාජය සුචරිත කළ නොහැක. එම විනයේ අරුම පසුගිය කාල පරාසය පුරාම මෙරට දුටු නුදුටු මිනිසෙක් නැත.

සංහිදියාවේ කොමිසම් පත් කිරීමෙන් පමණක් මෙම ප්‍රශ්ණයට විසදුම් සෙවීමට යාම පලක් නැත. දමිළ ජනයාටද තමන් කැමති පරිදි නිදහසේ ජීවත්වීමට පරිසරය සකස්කිරීම අනිවාර්යයෙන්ම කළයුතුය. දකුණේ ජනයා හට උතුරට යෑමට අවසර පත් දැන් අවශ්‍ය නොවන හෙයින් උතුරේ අහිංසක දමිළ වැසියන්ට ද දකුණට එමට තවමත් තාවකාලික අවසර පත් ලබාගැනීමට සිදුවීම ජාතික විහිළුවකි. එසේ සිදුවන්නේ ඔවුන් අපේම එවුන් ලෙස පිළිගැනීමට මහජාතිකවාදී නායකත්වය සූදානම් නොමැති නිසාද? ලොවට මානව සංහිදියාවේ අරුත හොඳින් ම පහදා දුන් බුදු රජුන් අංගුළිමාලට පවා සමාව දී සසුන් ගත කලද අර අහිංසත මිනිසුන්ට යුද්ධය හමාර වී වසරක් ගතවී ඇතත් තවමත් සමාජගත වීමේ අවස්ථාව අහිමි කරමින් විවිධ වූ මිලිටරි අණපනත් වලට යටත් වී ජීවත් වීමට සිදුව ඇත.

කරුණා අම්මාන්ට මෙරට ප්‍රජාත්‍රන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වී ඇමතිකමක් පවා දරන්නට හැකිනම් උතුරේ කඳවුරු වලට ගාල්කර සිටින ඔවුන්ගේම අංකුරයන්ටද ප්‍රජාත්‍රත්ත්‍රවාදී ප්‍රවාහය තුළ තමන්ගේ ජීවිතය රිසි සේ ගෙන යාමට සම අවස්ථාව සලසා යුතු වන්නේ නොවේද?

අවාසනාවන්තම කාරණය දකුණට ඔවුන්ගේ සිත් හඬනා වේදනාවේ හඬ නොඇසීමයි. අද දකුණම මර නින්දක සුබ අනාගතයක් ගැන සිහින දකිමින් සිටිති. එසේ නොමැතිනම්, මේ වෙසක් පුන් පොහෝ දිනයේ සියලලෝ සුව පත් වේවා යැයි හැඟුමින් පහනක් පත්තු කරන සෑම කෙනෙකුටම උතුරේ සොහොයුරා අමතක වන්නට කාරණාවක් නොමැත. ඒ සියල්ලෝම අපේ එවුන්ය. මේ පොළවේ උරුමය ලද එවුන්මය. දෙවියන් නොමැති තැන සියල්ල අහිමි වන්නාක් මෙන් ආදරය, මෛත්‍රිය නොමැති තැනක ගෙවෙන්නේ යක‍ෂයාගේ හෝරාවයි. අප ගෙවන්නේ ද එවැනි වූ කාල සමයක් වන්නට බැරි නැත.

උතුරට පමණක් නොව අද දකුණේද මකරාක්ෂ සෙවනැළි වල අඩුවක් නොමැත. සඳ කිඳුරියගේ අදෝනාවෙන් සෑම බොදු සිතක භක්ති සංවේගාත්ම සිතුවිළි ජනිත වන විට අපේ තවත් එකෙක් (ප්‍රගීත් එක්නැළිගොඩ) අතුරුදහන් වී දින 125 ක් වන තැන ඒ ගැන එවන් සංවේගයක් ඇති නොවන්නේ බුදුන්ගේ ධර්ම ප්‍රායෝගික ලෙස සමාජ භාවිතාවේ පළපුරුද්දක් නොමැති හෙයින්ද? මල දරුවා සුවපත් කර දෙන ලෙස බුදුගෙන් ඉල්ලා සිටීමේදීද ඇයට සත්‍ය පසක් කරදීමට බුදන් පවා උත්සුක වූවද අපේ පාලකයන්ට තවමත් සන්ධ්‍යා එක්නැලිගොඩගේ කඳුළු කථාවට සාධාරණයක් කිරීමට උනන්දු නොවන හේතුට වටහා ගැනීමට අප උකටලී නොවෙමු. එහෙත් තවමත් දකුණ නිහඬය.

මාටින් නීමෝලර්ගේ කවියක මෙසේ එයි.

මුලින්ම ඔවුහු යුදෙවුවන් මරා දැමුහ.
මම යුදෙව්වෙක් නොවේ.
එබැවින් මම නිහඬව සිටියෙමි.

ඉන්පසු ඔවුහු කොමියුනිස්ට්වාදීන් මරා දැමුහ,
මම කොමියුනිස්ට්වාදියෙකු නොවේ,
එබැවින් මම නිහඬව සිටියෙමි.

අනතුරුව ඔවුහු වෘත්තිය සමිති නායකයන් මරා දැමූහ.
මා වෘත්තිය සමිති නායකයෙකු නොවේ.
එබැවින් මම නිහඬව සිටියෙමි.

අවසානයේදී ඔවුහු මා සොයා පැමිණියහ,
එවිට මා වෙනුවෙන් කථාකිරීමට කිසිවෙක් ඉතිරිව නොසිටියහ.


වේලුපිල්ලේ ප්‍රභාකරන්ද, නඩේසන්ද, බාලචන්ද්‍රන්, සරත් ෆොන්සේකාද, ප්‍රගීත් එක්නැලිගොඩද, ලසන්ත වික්‍රමතුංග ද මේ බිමේම එවුන් වන්නෝය. මතවාදය වෙනස් වන්නට පුළුවන. එසේ වෙනස් මත දරන්නට ඕනෑ තරම් කරුණු කාරණා අපේ ඉතිහාසය ඔවුන්ට නිර්මාණය කර දී ඇති බව ද අපි දනිමු. අප හතුරුව ඇත්තේ අපටම නොවේද? මේ වෛරී සමාජ ක්‍රමයේ තිමිර පටලය බිඳගන්නාතුරු ඔබ ඔහේ දෙන දෙයක් කා - වෙන දෙයක් බලාගෙන සිටිනු ඇත. දැන්වත් අවදි වන්න. නැතිනම් ඔවුන් ඔබ සොයා පැමිණි කළ ඔබ වෙනුවෙන් හඬක් නැගීමට කිසිවෙකුත් ඉතිරි නොවනු ඇත. ලේ සුවඳට නොව හදවතේ සුවඳට ඉවකර, දෑස් හොඳින් විවර කර බලන්න. එවිට අපට අපේ එවුන් පෙනෙනු ඇත.

ක්‍රිශාන් රාජපක්ෂ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



What is This!!!!

හත් ඉලව්වයි...!!!

ඒ පාර මේ මොකද්ද?

අපේ ගෙදරට නයෙක් ආවනේ... ඌ අරහෙන් ගිහින් මෙහෙන් ගිහින් රූපවාහිනිය උඩිනුත් ගියා... හැබැයි ඌ මට රහසක් කියලා ගියා. බොලේ ඇත්ත නෙවින්නං... මටත් එතකොටයි තේරුනේ...

හත් ඉලව්වේ

මේ මොකද්ද? කියල...

නයා මට රහස කියද්දී ඒක එලි නොකරන්න පොරොන්දු කර ගත්තත්,
එළිකලොත් මැරෙනව කිව්වත්,

හත් ඉලව්වෙ කොහොමද නොකිය ඉන්නේ?

වචනෙ කඩන්න බැරි නිසා නොකිව්වත්
නොකියම ඉන්නත් බැරි නිසා
අපේ රූපවාහිනිය
මම ගේනව ලිප්ටන් වට රවුමට
කාටත් පෙන්නන්න...

ජූනි 1 වෙනිදා
හවස තුනේ ඉඳන් පෙන්නනවා

කවුරුත් එන්න බලන්න...

මීට,
පණිවුඩකරු

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මේ නිර්මාණය මා තුලින් හමා යන්නේ ඉලෙක්ට්‍රො කනවල්සිවු ෂොක් තෙරපියක් Electro-Convulsive Therapy (ECT) වගේ කියල සඳහන් කළොත් සමහර අය මේ කීව තෙරපිය ගැන හාංකවිසියක්වත් නොදන්නා හෙයින් තවත් මේ වගේ දෘශ්‍ය කවි දුටු විට ඒවා රසාස්වාදනය කෙසේ වෙතත් පැත්ත පළාතකින් ඇස යවන්නවත් බය වෙන්නට‍ බොහෝ ඉඩකඩ ඇත්තේය.

සත්‍යය නම් මෙවැනි නිර්මාණයක් හරහා අපි අත්දකින එබඳු කම්පනය කුමක් ද යන්න නිවේෂණය කර ගැනීම තුළින් අප අත්කර ගන්නා දැනුම හෝ පැහැදිලි බව යම් අයුරකින් සම්ප්‍රදායික කවියක් හරහා ගොස් ආනන්දයෙන් ප්‍රඥාවට එළඹීමට වඩා හාත්පසින් වෙනස් වන බැව් අවබෝධ කරගැනීමයි. නැවතත් එම කළින් සඳහන් කළ තෙරපිය වෙතට ආවොත් එය සමහර මානසික රෝග පරිපාලනය සහ ප්‍රතිකාරය පිණිස භාවිත වන විද්‍යුත් තරංග ආශ්‍රයෙන් මොළය කම්පනය කරවා එහි රසායනික ජීව ක්‍රියාවලිය සොලවා දැමීමකින් එම ප්‍රතිකාරයට ලක්වන පුද්ගලයාගේ කිසියම් මානසික ආතතියක් හෝ-

-පීඩන තත්වයක් සමනය කිරීම හෝ පාලනය කිරීම කරනු ලබන බව දැක්විය හැකියි.

මේ දෘශ්‍ය කවිය කියවීමත් සමග මේ තෙරපිය ගැන මගේ මතකය අවදි වුනේ කලකට පෙර මා නැරඹූ සිනමා පටයක් වන වන් ෆ්ලූ ඕවර් ද කුකූස් නෙස්ට් [One Flew Over the Cuckoo's Nest] හි ජැක් නිකල්සන් ‍ද මෙවැනි විද්‍යුත් ප්‍රතිකාරයකට බඳුන් වන ශෝකිජනක ඉරණමක් එහි තීව්‍රර ලෙස සටහන් ව තිබූ බැවිනි. ජැක් නිකල්සන් ගේ තත්වය ‍එසේ වුවද මේ නිර්මාණය පරිශීලනයෙන් මා අත්කරගත් කම්පනය ඊට වඩා වෙනස් සහ තීව්‍රරත්වයෙන් සූක්ෂමය.

නිර්වින්දන තාක්ෂණඥයකුගේ බාබිටියුරේට් එන්නත් නික්ෂේපණයකින් සිහි මුර්ජාව හෝ සිහි නැතිව හෝ සිහිනයකට ඇතුල්වන්නා සේ මම ද මෙම තෙරපියට සූදානම්ව කවියේ සංකේත සහ පරිකල්පන ක්ෂේත්‍ර වෙත ඇතුළු වන්නට සැරසෙමි. මෙනයින් මා විසින් කිසියම් ආකාරයක හිස්ටීරියාවක් කෘතිම ලෙස නිර්මාණය කරගෙන කවිය තුලට ඇතුළු වන්නේ නියු‍රෝසියාවක මනෝවිශ්ලේෂණය තුලින් කෘත්‍රිම හිස්ටීරියාව නැවතත් හිස්ටෙරික නියුරෝසියාවක් බවට ඌණනය කොට එය අවසානය දක්වා විසඳා ගැනීමට එළඹුමක් වශයෙනි. මෙය සායනික තත්වයක් වුවද අ‍පගේ විග්‍රහයේදී කවිය සහ මා අතර සිදුවන ගනුදෙනුව එබඳුම තත්වයකට සම්ප්‍රේෂණය කර ගත හැකි වන්නේ කවිය ද සජීවි විශ්ලේෂකයෙකු බවට පත් කිරීමෙනි. මේ තත්වය තුළ කවියෙ අවිඥානය ලෙස එහි කතෘ පෙනී සිටින අතර එය පෙනී නොසිටීමත් අතර දෝලනය වන තත්වයක් බැවින් එය හැඟවුම්කරණය බවට පත්වෙයි. නිර්මාණයේ යථ වසා දැමෙන මේ හැඟවුමේ ක්‍රියාකාරිත්වය සොයා යාම මගේ අරමුණයි. දැන් මේ ලෙස පවතින තත්වය විග්‍රහය සඳහා උචිත සියලුම අංගෝපාංගයන්ගෙන් සැදුනේ වෙයි. වඩාත් නිවැරදිව මෙම ආස්ථානය පැහැදිලි කරන්නේ නම් ස්ලාවො සිසැක් [Slavoj Zizek] සිනමා කෘතියක් තුලින් සංකේතීය සහ පරිකල්පනීය පිළිවෙල තුලින් යථ පරාවර්තනය කරගැනීමේ ක්‍රමවේදයම දෘශ්‍ය කවිය අරභයා අනුගමනය කිරීමේ උත්සාහයකි මේ. සිනමාත්මය තුළ දී කාලය සමග වෙනස්වන රාමුව සහ අන්තර්ගතය ආන්තික වශයෙන් චලිතයේ යෙදෙන විඥානය පිළිබඳ සෘජුවම සමපාත වුවද භාෂාමය කවියක් තුළ හෝ කාව්‍යාත්මය තුළ එබඳු චාලක බවක් සුළු වශයෙන් අන්තර්ගත මුත් දෘශ්‍ය කවියක එවැනි ගතිකයක් ප්‍රබලව ඇති හෙයින් දෘශ්‍ය කවිය අරභයා වඩාත් සෘජු ලෙස මෙම පරමාදර්ශීකරණය අදාල වන්නේ යැයි කතෘ උපකල්පනය කරයි. නොඑසේ නම් දෘශ්‍ය කවිය විඥානමය ගතිගුණ දක්වන වස්තුවක් ලෙස ගැනීමේ විරල දෝශයෙන් මුදවා ගැනීමේ වෙනත් ක්‍රමයක් සොයා ගත යුතුය. එනමුත් දෘශ්‍ය කවිය අරභයා අපගේ පර්යේෂණාත්මක එළඹුමත් මනෝවිශ්ලේශණ සිද්ධාන්ත ප්‍රායෝගිකව වටහා ගැනීමටත් මෙවැනි අභ්‍යාසයකින් කිසියම් උදව්වක් වන්නේය යන්න පමණක් වුවද මේ උත්සාහ‍යේ අපද්‍රව්‍ය ලෙස හෝ ශේෂ වනු ඇත.

මෙම නිර්මාණයේ තිරෝහරණ අතුරු මුහුණත හෝ අපගේ මැදිහත් වීමේ දොරටුව ලෙස තල දෙකක් සංයුක්තව ඇති බැව් මතුපිටින් දැකිය හැකිය. එක තලයක් තුළ දෘශ්‍යමය පසුතලය ද දෙවන තලය ලෙස අක්ෂර මගින් දැක්වෙන සංකේත තලය ද හඳුනා ගත හැකිය. එම තල යුගල සමපාත වන්නේ විඥානයේ පරිකල්පනීය තලය සහ සංකේතීය තලය වෙතටය. දෘශ්‍ය පිලිබිඹුව වන පසුතලය අප ලෝකය දක්නා පරිකල්පනීය දේ හා ගැට ගැසෙන බැවින් එය දෘශ්‍ය රූපයක් අපට සෘජුව සකසා දෙන බැවින් එය පැහැදිලිවම පරිකල්පනීය තලය ලෙස වටහා ගත හැකිය. අක්ෂර භාවිතයෙන් හෝ පරිභාෂික වචන භාවිතයෙන් ගැට ගැසී ඇති දෘශ්‍ය කවියේ සංකේතමය කොටස සෘජුවම සංකේතීය තලය බව එනයින් වටහා ගත හැකිය. මෙනයින් මෙම තල දෙක අතර ගැටුමෙන් උපදින හැඟවුම විසින් අපගේ සංකේතීය ලෝකය වෙත මුදා හරින සංකේතකරණය නොවන වපසරිය යථ ලෙසද හඳුනාගත හැකිය. යථ කිසිවිටෙකත් අප වෙත සෘජුව අභිමුඛ නොවන එනයින්ම එය සොයා යෑම තුළ විෂය බිහිවීම යනු මෙම දෘශ්‍ය කවියේ විවිධ කියැවීම් කරා අපව මෙහෙය වනු ලබන ක්ෂතියේ උල්පතයි. එම ක්ෂතිය යනු මා පෙර සඳහන් කළ ෂොක් තෙරපියේ සමරූපය යි. එනයින් මෙම දෘශ්‍ය කවිය තුළ අප එහි නිරූපිත යථ සොයා යවන ගම්‍යතාවය එම ක්ෂිතමය අත්දැකීමයි.

දැන් අපට මෙම නිර්මාණයේ සංකේත තලය වෙත ගොස් එහි වියවුල තුළ උපදින කියැවීම් කරා වෙනස් මානයකින් ප්‍රවේශ විය හැකිය. සංකේත තලයේ නෛසර්ගික ප්‍රවණතාවය වන්නේ එය නිරන්තරයෙන්ම භෞතික ලෙස නිශ්චිත නොවන අර්ථ සහ නීති පනවන්නට සමත් වීමත් එනයින් භෞතික ලෙස නිර්වේෂණය කළ නොහැකි සිද්ධාන්තමය අවකාශයක් මනස තුළ නිර්මානය කරන්නට පෙළඹවීමත් එතුළ වියවුල හට ගැන්වීමත් ය. නිවැරදි උදාහරණයක් දුන්නොත් එය හරියටම සමපාත වන්නේ ක්වොන්ටම් පද්ධතියක වන භෞතිකව විග්‍රහ කළ නොහැකි ‍ෂ්‍රෝඩින්ගර් සමීකරණයේ විවිධ ගණිතමය ප්‍රකාෂන සහ එමගින් විසඳුම් ලෙස ලැබෙන භෞතික අගයන් තුලින් ක්වොන්ටම් සංසිද්ධි විග්‍රහ කරගැනීමට උපකාරී වීමත් ය. මේ අයුරින් සංකේත තලය සෘජුවම ක්‍රියාත්මක වන නීති අපට අවිශය වුවද එහි ප්‍රතිඵල අපට භෞතිකව විෂය වේ. එනයින් මෙම කවියේ සංකේත තලය විසින් කුළු ගන්වන ප්‍රතිඵලද ඒවායේ මූලාකෘතික වන හෝ සහේතුක වන තත්වයන් අපට විශය නොවූ වද එම අන්තර්ක්‍රියාවේ ප්‍රතිඵල නිරතුරුවම භෞතික තේරුමක් අපට අත් කර දෙන්නට සමත් වෙයි. එම සියළු කියැවීම් නැවතත් පරිකල්පනීය විශ්වය තුළ ගැටීමෙන් අපට ශේෂ කරනු ලබන යථමය ස්වරූපයන් අතරින් වඩාත් ප්‍රභල යැයි අපට හැඟවුම් වන දෙයක් තෝරා ගත හැකියි. එම යථමය ස්වරූපයන් ද කිසි විටෙකත් සර්වප්‍රකාරයෙන් නිරාවරණය නොවන තාක් අපට මේ නිර්මාණය සමග විනෝද විය හැකිය. මෙම නිර්මාණයේ හෝ මෙබඳු දෘශ්‍ය කවියක් හා අපගේ ගනුදෙනුව ‍එලෙස අපරිමිත ශ්‍රේණියක පැටලුන යථෙහි හැඟවුම් සමග දිගින් දිගට ගනුදෙනු කළ හැකිය. එයට අපි මෙම නිර්මාණය අරභයා වන වෙනස් කියැවීම් ලෙස අර්ථගන්වන්නටද හැකිය.

එබඳු එක් කියැවීමක් උදාහරණයක් ලෙස මෙහි සටහන් කළ හැක.

කවියා කුඩය අකුලාගෙන වැස්සේ තෙමෙන්නට තීරණය කරන්නේ පොද වැස්සක් පතිත වීමත් සමගය. පොද වැස්සට හේතු වන්නේ පහල වායුගෝලයේ මහා කැළඹීමකි. කවියේ දෘශ්‍ය පසුබිම එම වැස්සේ භෞතිකත්වය මවා පෙන්වයි. එය තෙමී ගිය තාප්පයක හෝ බිත්තියක ප්‍රතිබිම්බයක් ද ඊට මෙහායින් වන රෙදි වැලක හුදකලා නොවූ ඇමුනුම් කටු දෙකක් ද එමත වූ ජල බිඳු ද පෙන්වයි. බිත්තියේ වර්ණ විසින් බිත්තිය මකා දමන අතර පැහැදිලිවම එය අහසින් වැටෙන පොද වැස්සකට හුවමාරු වෙයි. ඇමුණුම් කටු යුගල හෝ යුවල එකිනෙකා තෙරපගෙන වැස්සට නිරාවරණය වෙයි. පරිකල්පනීය අවකාශයේ හුදකලා යුවලක් දැකීම සංකේතීය විශ්වය තුළ කවියාගේ හුදෙකලා බව මකා ගැනුමට වැස්සේ තෙමෙන්නට යෝජනා කරයි. කවියා හුදකලා නොවූයේ නම් වැල මත වූ යුවල ඔහුට සංවේදනය වන්නේ වෙනස් ආකාරයකටය. නොඑසේ නම් කුඩය සංකේතිකරණය වන්නේ තම සහකරු නම් ඇයද තුරුළට ගෙන වැස්සේ තෙමුනේ කවියා ය. මෙහිදී මෙම අවිනිශ්චිතතාවය විසින් ඇත්තටම කුමක් සිදු වූයේද යන්න විමසීම යනු කිසිදා අවසානයක් නොවන පිළිතුරු ආදේශ වෙමින් ගමන් කරන ප්‍රහේලිකාවකි.

දෘශ්‍ය කවියක අපරිමිත කියැවීම් මෙනයින් මෙම සංකේතීය සහ පරිකල්පනීය තල ඔස්සේ මුදා හරින්නේ යථ හමුවීමෙ ක්ෂතිය නම්වූ විභවය නොනැසී පවතින තාක් දුරටය.‍ ප්‍රායෝගිකව කවියා අතරමැදි වී මෙම සංකේත තලය තුලට පිවිසියොත් අපට අරුම පුදුම දෙයක් අත් විඳින්නට ලැබෙයි. එනම් අපට කවියේ යථ ලෙස කවියා හමු වෙයි. ඉන් සියළු යථාර්ථයන් බිඳී යයි. කිසිවෙකුත් යථාර්ථය සුන් කරගැනුමට උත්සාහ නොකරති‍. එනමුත් මේ වන විටද සඳුන්ගෙන් මේ දෘශ්‍ය කවියේ සැබෑ තේරුම අසන්නන් සිටිය හැකිය.

ඊ ඒ ඩෝසන් ප්‍රීති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තොරණ් ගහපිය කූඩූ බැඳපිය මූණූ දාගෙන මෙහෙ වරෙල්ලා
බලුබ් දමපිය දනට දීපිය කොඩිත් ඇද පීකර් දමල්ලා
ඩෙනිම් ගහපිය කැප් දමාපිය ස්කිනී ගහගෙන මොඩ් වෙයල්ලා
පාරේ නටපිය දෙකක් දාගෙන ප්‍රීතී වෙසඟක් ඇත ඇවිල්ලා

දෙරණ පාළන මැති දනන්ගේ අන්ධ වූ නෙත් විවර වේවා
බයිල ගසනා පඬිවරුන්ගේ මොට්ට මොලයට නුවණ ඒවා
මෝහයෙන් දන මුළා කරණා හොර සඟුන් දෙවියෝ රකීවා
දන්න අයටත් නොදත් අයටත් ප්‍රීතී වෙසඟේ සෙත්ම වේවා


මාතලන්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යෙව්ගිනි ෂ්වාට්ස්ගේ ''The Dragon'' නාට්‍යයේ පරිවර්තනය ''මකරාක්ෂයා'' නව නිෂ්පාදනයේ මංගල දර්ශනය ජූනි 19 සහ 20, සවස 6:45ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී.

පරිවර්තනය- සිරිල් සී. පෙරේරා
අධ්‍යක්ෂණය- ධර්මසිරි බණ්ඩාරණායක


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉන්ද්‍රනාථ තේනුවරගේ පැනරෝමා ඡායාරූප ප්‍රදර්ශනය ජූනි 12-14 දක්වා උදේ 9 සිට සවස 6 දක්වා කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වෙයි.
සමාරම්භක උත්සවය ජූනි 11 වන සිකුරාදා සවස 4:30ට කලා භවනේදී.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සකල සරින් පිරි සිරි ලංකාවේ දෙවන නිදහස් සැමරැම සමරන්න සියල්ල සුදානම්ව තිබියදි කොහේදෝ යන කඩා කප්පල්කාරි වැහි කුණාටුවක් පැමිණ සියල්ල සුණු විසුණු කරන්නට විය. රජය සිතා සිටියේ මෙය විපක්ෂයේ කඩාකප්පල්කාරි වැඩක් කියාය. විපක්ෂයේ උන් දේශප්‍රේමීන් සිතුවේ බටහිර කුමන්ත්‍රණයක් කියාය. විමලසිරි සිතුවේ මෙක NGO කාරයන්ගේ ගේමක් කියාය. චමිපක සිතුවේ තමන් පරිසර ඇමතිව සිටි කාළයේ වැඩක් නොකලැයි කීමට දැං සිටින පරිසර ඇමතිතුමා ඇද්ද අංචියක් ලෙසය. එකිනෙකා එකිනෙකාට මෙසේ ඇගිලි දිගු කරගන්නා අතර සිදු වී තිබුණේ ගස් ගල් පවා දැං අදහන තත්වයකට වැටි ඇති අහිංසක නිරහංකාර සිංහළ බෞද්ධයා දොහොත් මුදුණින් පිළිගන්නා වු කාරණාවකි.

මේ මුරැගසන් වරැසාව දෝරේ ගලන්න වහිද්දි හිසේ සිට පොරවාගෙන නිදා හුන් මා දුටු සිහිනයයි.

ප්‍රභාකරන් විමලසිරිට අනුව පිරිබාහරන් මිය ගොස් වසරක් වේ. සකල ලංකාවාසීන් සිතා සිටියේ ලග ලගම සුබ අනාගතය එතැයි සිතාය. මෙහෙන් චුත වී ප්‍රභාකරන් කෙළින්ම දෙවි ලෝවට විසා ගසාගෙන තිබිණි. පුර‍ විද්‍යා චක්‍රවර්තීන් මොනව කීවත් බෙන්ස් රථයේ සුදුව එහෙටත් බෝ වී තිබිණ. ඔක්කෝම වැඩ අත යටිනි. අනෙක එදා ඉදන්ම ලාංකිකයාගේ මතකය ඇත්තේ දින හතකි. සම්මා සමාධිය ලාංකිකයාගේ වැඩි කරවු පිං බලයෙන් හෙතෙම දිව්‍ය ලෝකයේ හට ගත්තේය.

කල් යල් බලමින් උන් ප්‍රභා ජෙනරාල් හි‍රේ වැටීමට කදුඵ එන තුරැ සිනා සෙමින් සිටි අතර තුර මෙන් මෙහේ දෙවැනි නිදහසයැයි අටමගලක් පටන් ගෙන තිබිණ. බඩුත් එක්කම දෙන්නමි වැඩක් යැයි සිතු ප්‍රභා වැස්ස වළාහක දෙවියන්ට කොල් එකක් ගෙන හොදවැයින් විස්කි බෝතලයක් තමන් ලග ඇතැයි මෙහි පැමිණ අඩියක් ගසමු යැයි යෝජනාවක් දැමීය. බිමත් කමට ඇබ්බැහී වි උන් වැස්ස වළාහක දෙවිදුන් පටස් ගා ප්‍රභා සොයා පැමිණියේය. එක දෙක විය. දෙක තුන විය. දෙන්නටම හොද පදමට මද පවනේ වැදි සිටියෝය. ප්‍රභා තමන්ගේ යෝජනාව ඉදිරිපත් දඩස් ගා වැසි දෙවිදුන් ඉදිරියේ අතහැරියේය.

මචං... මගේ හිතේ අමාරැවක් තියේනවා මේ දවස් වල...

ඒ මොකද්දැයි ඇසු වැසි දෙවිදුන් තව අඩියකින් සප්පායම් විය.

මම හිටපු රටේ උන් මචං මං මැරැණම කිරිබත් උයාගෙන පාරක් පාරක් ගානේ කැවා මදිවට මචං දැං උන් මාව කොචොක් කරන්න උත්සවත් තියේනවා. අපේ කටිටියටම මේක හරිම හිතට අමාරැයි. එක සදාචාර සමිපන්නත් නැහැනේ මචං.......

අනික අපේ මැරිච්ච උන් වළලපු සොහොන් කොත් ටිකත් මුං සමතලා කරලා මචං.... මම හිටියනම් අපේ ප්ලැටුන් එකේ එකෙක් යවලා මරාගෙන මැාරන ගේමක් දෙනවා එහෙනම්...

මොකක්ද දැං මගෙන් වෙන්න ඔනේ... ඔන දෙයක් තියෙනවා නමි කියපං මං කරලා දෙන්නමි.

දඩමස් කෑල්ලක් රස විදින ගමන් වැසී දෙවිදු පිළිතුරැ දුන්නේය.

මචං ධාරණිපාත වැස්සක් වස්සලා වැඩේ චකබල්ස් කරලා දාමුද මචං.

හයියෝ සුඵ දෙයක්නේ හැහි තෙපුල හේ එතැන් පටන් මහා ධාරණිපාත වැහි වළාකුලක් ලංකාවට ඉහළින් තැබිය.

දින දෙක තුනක් ගත වු පසු තමන්ගේ වැඩේ සාර්ථකත්වය පිළීබද දැන ගැනිමට සිත් වු වැසී දෙවිදුන් ප්‍රභාට කෝල් එකක් දුන්නේය.

හලෝ මිත්‍රයා.... කොහොමද මගේ වැඩේ.. නැගලා යනවා නේදැයි විචාලේය.

කණස්සල්ලෙන් මෙන් පිළීතුරැ දුන් ප්‍රභා පැවසුවේ අපේ අනාත වුනාට වඩා වැඩි පිරිසක් අනාත වී ඇති බවය.

මචං එක අපේ වැරද්දක් නොමෙයිනේ.... මුංගේ කෙහොමත් යටිතල පහසුකමි අප්සටි අපි ටාර්ගට් එක හරි වැඩි හරිය උන්ගේ වැරද්ද යැයි පවසා ප්‍රභාව සැනසීය.

හීනෙන් මා සිනා සෙනු ඇසුණු බිරිද මා නැගිටුවාය.

අපරාදෙනේ යෝදියේ පට්ට හීනයක් මං දැක්කේ යැයි කියා හීනය සවිස්තරාත්මක විස්තරයක් ඇයට කිවෙමි. දේශද්‍රෝහියෙක් වී විසි වසරක සිරදඩුවමක් මා විදිනවාට අකමැති යැයි කියමින් ඇය හඩා වැලපෙන්නට වුවාය.

අරවින්ද පෙරේරා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අපේ ම දේශයේදී
වහළුන් වන්නට නොහැකිය අපට
නිදා වැටෙමින්...
තවත් භීතියෙන් නොසැලෙමු

නිවට වූවොත්
මේ මිහිමඟල මත
අයුක්තිය තවත් වැඩෙනු ඇත
මවිබිමට අපි දිවිය කැපකරමු
සතුටින්....

සදහට ම මිය යා යුතුද අපි
තව තවත්
අපටම දුක කියමින්?
නැතිනම්
මේ සුන්දර දිවිය
අවදානමට නොහෙළිය යුතුද
නැවත නිදහසේ උපදින්නට?
මරණය තෙක්...

නිදහසට ආදරය කිරීමත්
පාපයක්ද?
අපේ දුක අවසන්කිරීමත්
පාපයක්ද?
එහි වෛරයක් ඇතිද

අප උගෙන ඇති එකම මාවත සමඟියයි
සැන්දෑව දවස ගැන හොඳින් දැන සිටී
අපි තවත් විස්මයට පත් නොවෙමු
බෙදී වෙන් වී නොයන්නෙමු

ඔබේ කෲරත්වයෙන්
අපේ අරමුණ
නොසැළෙයි
මගේ මස පෙතිගැසූ විට
අප කෙරෙහි ඔබගෙ භීතිය
අවසන් වේද?
පළිගැනීමේ ආශාව
සංසිදෙනු ඇතිද?
ඔබේ උවමනාව
ඉටු වේද?

මා සිරුර දැවී ගියද
හදවත උණුවන්නේ නැත.
මන්ද... එහි තිබේ අතෘප්තව
මගේ ජීවන පැතුම, නිදහස

සුබ්‍රමනියා භාරතී කවියා විසින් රචිත 'චිදම්බරම් පිල්ලේගේ පිළිතුර' [Chidambaram Pillai's Reply] කවියේ පරිවර්තනකි.

සුබ්‍රමනියා භාරතී
පරිවර්තනය - චන්දන සිරිමල්වත්ත

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අතීතය
පටු නිම්නයකි

සදාකාලික
ස්වප්නයකි..

සිල් බිඳුණු අලුයම
මල් පියලි කොපුලත
කල් යල් බලා
තියා ගිය පිනි තිත යට ද
ඉතිහාසයකි.

අකල් වැස්සට නොසේදෙන
බිම වැටුණ
මැයි මලක ලේ රත
කල්පයක් කල් වුව
මකාලන්නට
බැරි සත්‍යයකි..

අරගන්න...
එය ඔබට
තව එක
මතක වස්ත්‍රයකි..

ජීවිතය
ලිහාගන්නට බැරි
ගෙත්තමකි

ආදරය
වලාකුළු මත ඇඳි
සිත්තමකි..

රසික ජයකොඩි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සස්පෙන්ඩර් අමුඩේ සිට
හැම වස්තරයක් ගානෙම
දේශික - ස්වදේශික
චින්තනය?
ඉන්තේරුවෙන්ම ජාතික
ඇමරිකන් වාහන ගැන කියනු කුමකට
ජපන් වාහනයකවත් නොයනකොට
''අපිට මොකටද විජාතික රථ''

රෝල් කට්ලට් හැම්ද බේකන්
පිට්සා පැස්ටා සමග සැන්විච්
අදිරදේ විෂ සපිරි හන්දම
අලය බතලය බත්ය යහමින

විජාතික මර සෙන් නසන්නට
පන්නරය දී අපේ දැනුමට
සුද්දගේ බස හෙලා අකුලට
අමතතිය මහ සමුළු සිහලෙන

මෙදෙස ඉගෙනුමෙ අගය පසසා
වනති හෙලයේ අබිරු විකුමන්
ඉගෙන ගනුවයි අදිරදේ ගැට
යවති සිය දරුවන් එරොප්පෙට

අදිරදේ සැටි සොඳට උගෙනා
ඒය මතුදින ඔවුන්ගේ දරු
ජනයිනේ දැන් සාධු නද දී
සැරසියල්ලා මහා සටනට

කඩොලැතුත් උන් ගාලෙ සැපසේ
ඇති පදම් ගැල් තිබේ සකසා
ඇවැසි නම් ජය අම්බරුවො වී
ජනයිනේ කර ගසව් විය ගස

මන්ද එයමය තොපේ උරුමය

චූලානන්ද සමරනායක

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සෝමාවතී මහා සෑයෙන් බුදු රැස් විහිදෙන බව මීට දෙසතියකට පමණ පෙර ලංකාව පුරා පෝස්ටර් අලවා බෞද්ධ රටවැසියාට දැනුම් දී තිබුණි. මේ මහා උත්සවයට සති තුනකට පමණ පෙර පැවති තවත් උත්සවයක දී, කොළඹ සිට බුද්ධ රූපයක් සෝමාවතිය දක්වා වැඩමවාගෙන ගොස් තැන්පත් කෙරුණි. එදා මොරසූරන වැසි දවසකි. මේ පින්කමේ දී එක් භික්ෂූන් වහන්සේ නමක් ධර්ම දේශනා පවත්වන අතරවාරයේ අහස දෙදරා ඈතින් විදුලි කෙටුවේය. ඒ අස්සේ, බොහෝ දෙනා ඡායාරූප ගනිමින් සිටියහ. කැමරාවලින් විහිදෙන පුපුරු එළි සහ අහසේ කෙටෙන විදුලි එළි දුටු දේශක භික්ෂූන් වහන්සේ එහි සිටි සැදැහැවතුන් අමතා, 'සෝමවතිය අරා බුදු රැස් විහිදෙන අසිරිය නරඹන්නැ' යි කීහ. ඒ මොහොතේ, එතැන සිටි දහස් ගණන් බැතිමත්තු දොහොත්මුදුන් දී පළාතම දෙවනත් වන සේ සාධුකාර දුන්හ. උපන් දා සිට දැක ඇති ස්වභාව ධර්මයේ සාමාන්‍ය ප්‍රපංචයක් වන විදුලිය කෙටීමක් පවා, අවශ්‍ය කරන මුළාවේ නියම මාත්‍රාව තුළ මෝහනයට පත් වූ විට, බුදු රැස් වශයෙන් දකින්නට තරම්, මේ සැදැහැවත්තු එදා පින්වත් වූහ.

දෙවැනි දවසේ (පසු ගිය 8 වැනිදා) උත්සවයට ද ලක්ෂ ගණන් බැතිමත්තු සෝමාවතියට රැස් වූහ. එදා ද මහ වැසි වැස්සේය.-

-පෙර දා මෙන් නොව, මහවැලි ගඟ උතුරා ගොස් පාරවල් ද යට වුණේය.

දස දහස් ගණන් සැදැහැවත් ජනයා ආපසු ගම රට බලා ඒමට නොහැකිව සෝමාවතී භූමි භාගය තුළ හිර වූහ. මහා පින්කම අවසන් වන විට දෙන්නෙකු මියගොස් සිටියහ. තවත් විසි ගණනක් තුවාල ලබා රෝහල් ගතව සිටියහ.

අවසානයේ දී, උද්ගතව ඇති හදිසි තත්ත්වය සළකා, අවශ්‍ය කරන ආහාර වර්ග සහ බෙහෙත් ද්‍රව්‍ය හෙලිකොප්ටර් මාර්ගයෙන් එම ස්ථානයට සපයා දීමට රාජ්‍ය බලධාරීන්ට සිදු විය. මෝහයට එරෙහි සාරවත් දර්ශනයෙන් සිය ජීවිතය ආදර්ශවත් කළ සහ මිනිස් වර්ගයා මෝහයෙන් ලවා ගැනීම සඳහා විමුක්ති මාර්ගයක් දේශනා කළ මුනිවරයෙකුගේ අනුගාමිකයන් වශයෙන් පෙනී සිටින වර්තමාන භික්ෂූන් වහන්සේලා විසින් නූගත් සැදැහැවතුන් ශ්‍රද්ධාවෙන් අන්ධ කොට මෝහය වෙතම දක්කනු ලැබීම ඒ උතුම් මුනිවරයාට කරන සතුරු කමකට අඩු දෙයක් නොවේ.

මෙය බුද්ධාගම සම්බන්ධයෙන් පමණක් නොව, සෑම ආගමක් සම්බන්ධයෙන්ම දක්නට ඇති යථාර්ථයකි. සත්‍යය නිරීක්ෂණය කිරීම අධ්‍යාත්මික තලයේ දී තරම් ප්‍රායෝගික තලයේ දී අපහසු නැත. එහෙත් ආධ්‍යාත්මික ක්ෂේත්‍රයේ දී තරමටම, ප්‍රායෝගික ක්ෂේත්‍රයේ දී ද, අන්ධ භක්තිකයාව නොමග යැවීමට සෑම ආගමකම පූජ්‍ය පක්ෂය නිරතුරුව කැප වෙයි. මේ ගැන මදක් සැලකිල්ලෙන් කල්පනා කළ විට, සෑම ආගමක්ම පවතින්නේ මිනිස් සත්වයාගේ බිය නැමැති පදනම උඩ පිහිටා බව අපට පෙනේ.

මේ බිය කුමක් ද? එය වූ කලී, පරම අවසානයක් දැකීමට ඇති බියයි. පටන් ගත් සියල්ල අවසානයක් වීම ස්වභාවය වුවත්, මරණය නැමැති අවසානය ප්‍රශ්න කිරීමකින් තොරව බාර ගැනීමට කිසි මිනිසෙකු සූදානම් නැත. මන්ද යත්, එහි ස්වභාවය විසින්ම යම් පරම ගතියක් හෙවත් ආපසු හැරවිය නොහැකි සදාතන ගතියක් ඊට ආරෝපණය කෙරෙන බැවිනි. ඇත්ත වශයෙන් මිනිසුන් බිය වන්නේ ඒ අවසානයට වඩා ඒ අවසානය තුළ පෙනෙන්ට ඇති අර කී 'පරම' ස්වභාවයටයි. පූජ්‍ය පක්ෂය විසින් මිනිසා ඉදිරියේ ආගම අදාළ කරවන්නේ මෙතැන දීය. එම පරම ස්වභාවය ප්‍රායෝගික තලයේ දී පරාජය කළ නොහැකි මේ මිනිසාට, (මරණය වළක්වා ගත නොහැකි මේ මිනිසාට) අධ්‍යාත්මික ලෝකයක් හරහා එය සාපේක්ෂ ප්‍රපංචයක් බවට පත් කර දීමට ආගම ඉදිරිපත් වෙයි. අර මිනිසාට එය සහනයකි. ඒ අනුව, මරණයෙන් තමා සදහට අවසන් නොවන්නේය යන්න, එනම් මරණයෙන් පසුව පවා තමා නොනැසී පවතින්නේය යන්න තනි තනි පුද්ගලයා කෙරෙහි ඇති කරන්නේ සහනශීලී හැඟීමකි. නූතන මිනිස් සමාජය තුළ මේ මනෝ භාවයෙන් නිදහස් වන්නේ, නිර්-ආගමිකයා හැරුණු කොට, ආගම් කෝව තුළ තවම පුහුණු කර නැති ළදරුවාය. නිර්-ආගමිකයා මරණය පාරභෞතිකයක් බවට පත් නොකරයි. මරණය ඔහුගේ සතුටට හේතුවක් නොවුණ ද, එය සැබෑ නිමාවක් වශයෙන් අවංකව බාර ගැනීමට ඔහු සූදානම් ය. අනිත් අතට, ළදරුවා මරණය නොහඳුනයි. ඒ නිසා ඔවුන් දෙන්නාටම මේ කියන පරම අවසානය ආගමික අරුතකින් අදාළ නැත. ඒ හැරුණු කොට, ආගමික ආභාෂයකට යට වන අනිත් සෑම පුද්ගලයෙකුම මේ හැඟීමට ගොදුරු වෙයි. ජීවිත කාලයක් තුළ වඩාත් ආගමික වන්නේ කුමන වයස් කාණ්ඩයක පිරිසක් දැ යි පිරික්සීමෙන්, මරණය සමග ආගම දක්වන ඒ සමාජයීය සම්බන්ධතාව වටහා ගත හැක. ආගම කුමක් වුවත්, ඕනෑම රටක වඩාත් ආගමික වන්නේ, මහළු උදවිය වීම අහම්බයක් නොවේ.

මරණයට වඩාත් ළංවන්නේ ඔහු බැවිනි. එසේම, ඕනෑම රටක අඩුවෙන්ම ආගමික වන්නේ තරුණ පිරිස වීම ද මේ අනුව අපට තේරුම් ගත හැක. එහි අදහස වන්නේ, මරණ බිය සෑම ආගමකම මූලික පදනම වන බවයි.

එසේ බියට පත්ව සිටීම, මේ පුද්ගලයාගේ මානසික සෞඛ්‍යය සරිකර දීමේ වගකීම බාරගෙන සිටින පූජ්‍ය පක්ෂයට ඉල්ලමකි. තමාට නොපෙනෙන ඊළඟ ලෝකයේ ස්වභාවය ඒ තනි තනි පුද්ගලයාට කියා දෙන්නේ පූජකයා ය. ඒ ලෝකයේ සතුට හෝ දුක, මේ ලෝකයේ දෛනික පැවැත්ම සමග ගැටගැසූ විට, පූජ්‍ය පක්ෂය ඒ මිනිස් ප්‍රජාව අතරේ මහා බලවේගයක් බවට පත්වීම ස්වභාවිකය. කායික ලෙඩ සුව කරන වෛද්‍යවරයා මෙන්, ආධ්‍යාත්මික ලෙඩ සුව කිරීම පූජ්‍ය පක්ෂය බාරගන්නේ ඒ තතු යටතේය. එහෙත්, ලෙඩ නොවී සිටීමේ හැකියාවක් මිනිසාට නැද්ද?

නූතන ලෝකය තුළ පුරාණ කාලයට වඩා වැඩියෙන් විවිධ මට්ටමේ මානසික රෝගීන් සිටිනවා විය හැක. එය නූතන ශිෂ්ඨාචාරය සහ භෞතික දියුණුව සමග වෙනම සාකච්ඡා කළ යුතු කාරණයකි. මෙහිදී සැළකිල්ලට ගැනෙන්නේ, ආධ්‍යාත්මික රෝගී තත්ත්වයට පත් නොවී සිටීමට නොහැකි ද යන්න පමණි. මධ්‍යතන යුගයේ දී, යම් සමාජයක් වසංගත රෝගයක් පැතිරෙන විට පල්ලිය කෙළේ, පළාතේ ප්‍රජාව දේවස්ථානයට කැඳවා සමූහ යාච්ඤා පැවැත්වීමයි. එයින් සිදු වුණේ වසංගතය වඩාත් සීග්‍රයෙන් බෝ වීමයි. වසංගත තත්ත්වයක දී මිනිසුන් ඒකරාශී වීමෙන් හැකි තාක් වැළැකිය යුතු බව නූතන වෛද්‍ය විද්‍යාව අද අපට කියා දෙයි.

ලෙඩක් වැළඳුනු විට කට්ටඩි සොයා යාම වෙනුවට අද අති බහුතරය යන්නේ වෛද්‍යවරයෙකු සොයාගෙනය. මේ තත්ත්වය අප උදා කරගෙන ඇත්තේ, විද්‍යාව සොයා ගත් භෞතික සත්‍යයන් පෞද්ගලික මට්ටමෙන් නිරීක්ෂණය කිරීමෙනි. සහසුද්දෙන් අත්දැකීමෙනි. බොහෝ ආගමික මිථ්‍යාවන්, ස්වාධීන නිරීක්ෂණ මාර්ගයෙන් බැහැර කිරීමට තරම් නූතන මිනිසා අවශ්‍ය කරන දැනුම් පද්ධතියෙන් අද සන්නද්ධය. එහෙත් බොහෝ විට, ඒ නිරීක්ෂණ හැකියාව ඔහු භාවිත නොකරයි. විදුලි කොටන විට, එක් පුහුදුන් භික්ෂුවක් දේශනා කළ පමණින්, අප සාධුකාර දෙන්නේ එබැවිනි. බුදු රැස් විහිදීමට තරම් හාස්කම් පෑ එවන් මහා පින්කමක් අවසානයේ ඇති වන අවාසනාවන්ත ආපදාවක් වළක්වා ගැනීමට තරම් ඒ බුදුරැස් මහිමයට නොහැක්කේ මන්ද කියා අප ප්‍රශ්න කරන්නේ නැත.

මීට අවුරුදු පහකට පෙර ඇමරිකාව හරහා හමා ගිය කත්‍රීනා නැමැති චණ්ඩ මාරුතය පාඨකයාට මතක ඇති. එහි දී, නිව් ඕර්ලියන්ස් නගරයේ පමණක් දහසක් දෙනා මරුමුවට පත්වුණි. දස ලක්ෂයකට උන්හිටි තැන් නැති වුණි. මේ සියලු ජනයා, සර්ව බලධාරී, සියල්ල දත්, මහා කාරුණික දෙවියෙකු පිළිබඳ විශ්වාස කළෝය. එසේ වුවද, අවසානයේ දී ඒ දෙවියන්ට වඩා මේ මිනිසුන් කෙරෙහි යන්තම් හෝ කාරුණික වී තිබුණේ, කාලගුණ විද්‍යාඥයන්ය. ඔවුන් විසින් චණ්ඩ මාරුතය ගැන අනතුරු ඇඟවීම් කල් තියා ප්‍රකාශයට පත්කර නොතිබෙන්නට, විනාශය මීට වඩා දැවැන්ත වනු ඇත. එසේ තිබියදීත්, ඉන් අනතුරුව කළ ජනමත විචාරණයකට අනුව, දිවි ගලවාගත් අයවළුන්ගෙන් සියයට 80 ක් දෙනා කියා සිටියේ, එම විනාශය තුළින් දෙවියන් වහන්සේ පිළිබඳ තමන්ගේ විශ්වාසය තවත් තහවුරු වූ බවයි/ (මීට සපුරා වෙනස් මතයක් පළ කළ හැකිව සිටි මියගියවුන්, මේ ජනමත විචාරණය සඳහා සහභාගී කර ගැනීමට නොහැකි වී ඇති බව කරුණාවෙන් සළකන්න/)

කත්‍රීනා මාරුතයට නිව් ඕර්ලියන්ස් නගරය බිළි වෙද්දී, වන්දනාවේ යමින් සිටි ඉස්ලාම් භක්තිකයන් දහසකට ආසන්න පිරිසක් ඉරාකයේ පාලමක් උඩ ඇති වූ අධික තදබදය නිසා හුස්ම හිරවී, පයට පෑගී ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් වඳින්නට ගියේ වෙනම දෙවි කෙනෙකුටය. ඔහුද, නිව් ඕර්ලියන්ස් වාසීන්ගේ දෙවියන් මෙන්ම, සර්ව බලධාරීය. මහා කාරුණිකය.

තමා සතු දෑ අහිමි වීම සහ තමාට අහිමි දෑ අත්පත් කර ගැනීම වැනි ලෞකික වරදාන පතා අවුරුදු පතා කතරගම යන ලක්ෂ ගණන් මිනිසුන්, මීට වසර විස්සකට පමණ පෙර, කතරගම කිරි වෙහෙරේ කොත සොරකම් කළ සොරා තවමත් අල්ලා දීමට ඒ දෙවියන්ට නොහැකි වූ බව සැළකිල්ලට නොගනිති.

ආගමික මිථ්‍යා ප්‍රශ්න කිරීමට ඔබ ඇල්බට් අයින්ස්ටයින් කෙනෙකු විය යුතු නැත. ඒ තරමට, එම ප්‍රවාද අති සරළය. ළාමකය. එහෙත් අත්‍යන්තයෙන්ම බිහිසුණුය. ඔබේ පැත්තෙන් අවශ්‍ය කරන්නේ, ඇස් මට්ටමේම පුපුරා යන බොරුව එයාකාරයෙන් දැකීමට අවංක වීමත්, කෝච්චියක් ඉදිරියට එන විට රේල් පාරෙන් ඉවත් වීමට අවශ්‍ය කරන තරමේ අවම තර්ක බුද්ධියකින් සන්නද්ධ වීමත් පමණි.

(අවරදිග ආවර්ජනා. රාවය. 2010.05.23)

ගාමිණී වියන්ගොඩ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


[රාවය 2010.05.23]

(සුදත් මහදිවුල්වැව ගේ ලිපිය හා බැඳේ) පසුගිය රාවය කලාපයේ සුදත් මහදිවුල්වැව විසින් 'ආදරයේ අංශුමාත්‍රයක්' චිත්‍රපටය පිළිබඳ ලියා තිබූ සටහන සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් තිබුණද චිත්‍රපටය පිළිබඳ ව මා හට කියන්නටඇති කාරණාවට පිවිසුමක් හැටියෙන් එය පවත්වාගෙන චිත්‍රපටය ගැන වෙනත් ඍජු ප්‍රායෝගික කතාවකට මුල පුරනු කැමැත්තෙමි. චිත්‍රපටය බලන්නට මා ආරාධනා ලද්දෙක් නොවේ. නමුත් අධ්‍යක‍ෂකවරුන් දෙපළගේම යම් යම් නිර්මාණ නරඹා තිබූ නිසා සහ මේ නිෂ්පාදනය ගැන මා අසා තිබූ 'ලොමු දැහැ ගැන්වන' කතා නිසා අවසරයක් නොපතාම ආරාධිතයන්ගේ දර්ශනයට රිංගා ගත්තෙමි. චිත්‍රපටය නරඹන විට චිත්‍රපටයට වඩා ඊට බාහිර කාරණා ගණනාවක් මා 'ස්වයංපීඩනයට' මෙන්ම 'ස්වංය වින්දනයට' ද පත් කරන ලදී.

මේ චිත්‍රපටයේ නිර්මාණකරුවන් විසින් කියන්නට යන සාංදෘෂ්ඨික වේදනාව මේ පොළොව මත සිටවිය හැකිදැයි මා නොයෙක් වර නොයෙක් තැන කතාබහට ගෙන ඇත. අපි චත්-පොන්ග් වීරසේතුකල් ගේ සිනමාව ලෝකයේ පැසසුම් ලැබීම තරම් තැනකට නොනැසී වැඩීම ගැන මට ඇත්තේ පුදුමයකි. මේ සංදෘෂ්ඨික තනිකම අපේ සංස්කෘතියෙන් මගහරින දේයි. අප සාමූහික බව හඟිමින් යටපත් කරන්නට දවල් රෑ උත්සාහ කරන දේයි. චිත්‍රපටයේ සාකච්ඡා කරන මෙම තනිකම කෙතරම් අපේම දැයි යන්න ප්‍රශ්න කිරීම චිත්‍රපටයේ විචාරය සම්බන්ධ කාරණයකි.

මට දැනෙන සහ දැනී ඇති පරිදි අපේ රටේ පරාරෝපණය නැතිවා නොවේ. නමුත් ඒ පරාරෝපණය වෙන තැන් වලට වඩා සංකීර්ණය. සුදත් චිත්‍රපටය ලෝක සිනමාවේ විවිධ ප්‍රවණතා හා ගැටගසමින් කතා කිරීම මට අනුව බොළඳය. ඊට හේතුව ලෝක සිනමාවේ ඒ කතා කරන චිත්‍රපට එසේ කතා කරන තැනක් දක්වා ගොඩනැගුණේ ඒවා නිර්මාණය වීම නිසා නොවේ. ඒවා සමාජගත වීම නිසාය. මට අනුව චිත්‍රපටයක පිටපත ලිවීම සිම්පල්ය. එය රූ ගත කිරීම සහ සංස්කරණයද සිම්පල්ය. ඒ අපේ රටේ සිනමාකරුවන්ගේ හෝ කර්මාන්තයේ මාර එකක් නිසා නොවේ. අඩු මිළට තාක‍ෂණය ආනයනය වීම නිසා සහ හොර යැයි කියන ඩීවීඩී කොපි නිසාය. ලංකාවේ තරුණ සිනමාකරුවන්ගේ ප්‍රවේශය වෙනුවෙන් විශ්ව විද්‍යාල වලට වැඩි මෙහෙයක් බම්බලපිටියේ ‘බොලිවුඩ්’ එකෙන් කරනවා යැයි මා කියන්නේ ඒ නිසාය. කෙසේ හෝ චිත්‍රපටයක් නිර්මාණය කිරීම අතිශය පහසු කටයුත්තකි. ලක්ෂ තුනහමාරකින් චිත්‍රපටයක් කිරීම දක්ෂ වැඩක් නමුත් එය තවම මට පුදුම වැඩක් නොවේ. පුදුම වැඩේ තිබෙන්නේ එහි දෙවන අදියරේ ය. චිත්‍රපටය සමාජගත කරන්නේකෙසේද යන කාරණයේ ය.

මේ වන විට ලංකාවේ තරුණ සිනමාකරුවන් කීපදෙනෙකුගේම ප්‍රවේශය එක් වර සිදුවෙමින් තිබේ. අතුල ලියනගේ මේ දිනවල හූස්ටන් වලින් දිනූ රෙමී සම්මානයක් සමඟ කළ එලි බසින්නට සූදානම් වෙයි. රාවය පුවත්පතේ සුදත් ගේ ලිපියට යටින් ද මේ පිළිබඳව විස්තරයක් කර තිබුණේ අතිශය වගකීම් රහිතව බව කිව යුතුය. සැඳැල්ල හෝ රිද්ම පත්තරයක මෙබඳු වාර්තාවක් කමක් නැතැයි කිව හැකි නමුත් රාවයේ මෙබඳු අවිචාරී සටහනක් අප බලාපොරොත්තු වුණේ නැත. හූස්ටන් සම්මාන උළෙල යනු ඉදිරිපත් වෙන චිත්‍රපට සියල්ලටම පාහේ සම්මාන දෙන චිත්‍රපට උළෙලකි. මා දන්නා පරිදි අශෝක හඳගම ද වරෙක ඉන් ප්ලැටිනම් සම්මානයක් දිනූවද ඒ සම්මාන උළෙල ගැන දැන ගැනීමෙන් පසු ඒ සහතිකය ගැන සඳහනක් වත් නොකළේය. මෙවර ද ඉදිරිපත් වූ චිත්‍රපට දෙදහසක් පමණ අතරින් අට සියයකට පමණ ඔවුන් මේ සම්මාන දීම කර තිබුණි. හූස්ටන් සම්මාන උළෙල කොතරම් අඩු තත්වයක පවතී දැයි තේරුම් ගන්නට ඔවුන්ගේ වෙබ් අඩවිය බැලීම ප්‍රමාණවත්ය. කෙසේ නමුත් චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් යම් සම්මානයක් පාවිච්චි කොට චිත්‍රපටයක් අළෙවි කිරීම හොඳ තත්වයකි. මගේ විවේචනය ඇත්තේ මේ සිනමාකරුවන් යන්නේ කොයිබටද යන කාරණය ගැනයි.

රාවය වැනි පුවත්පතක් ඊට වගකීම් රහිතව සහාය දැක්වීම ගැනයි. අතුල ලියනගේ මේ සම්මානය රැගෙන ගොස් මහින්ද රාජපක‍ෂ ළඟ සිටින ඡායාරූපයක් පත්තරයක පළ විය. මේ ඔවුන් තෝරා ගනිමින් සිටින්නේ ජැක්සන් ඇන්තනිලා විසින් මාර්ගෝපදේශකත්වය ලබා දුන් සිනමාවයි. ඊට සහාය පළකරන්නේද නැද්ද යන්න අපේ දේශපාලනය තීරණය කරන හන්දියයි.

ආදරයේ අංශුමාත්‍රයක් මා කතාවට ගන්නේ මේ ප්‍රායෝගික කරුණු අතරේ තබා ගෙනයි. මේ පොළොව තියෙන්නේ එක තැනකයි. චින්තන සහ උදය විසින් උත්සාහ කරන්නේ සැඩ ගංවතුරක උඩ අතට පීනන්නටයි. ‘ආදරේ අංශුමාත්‍රයක්’ චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එය කවදාවත් මහින්ද චින්තනයට පවරා දිය නොහැකි වීමයි. පවතින දේශපාලන වපසරියට එරෙහිව විකල්ප ජීවන විලාසිතාවක් ඉල්ලා සිටීමේ රැඩිකල් ප්‍රවේශය වෙනුවෙන් ඒ බොළඳ සිනමාකරුවන් දෙදෙනාට සැලියුට් කරමි.

මේ චිත්‍රපටයේ පළවෙනි දර්ශනය පැවැත්වීම පහසුය. එදා නොමිලේ දුන් බීර ද පංකාදුය. නමුත් එතැනින් එහාට මේ චිත්‍රපටය යන්නේ කොහේද? ඍජුවම දෙකක් නැතිව පැවසිය හැකි පරිදි මෙය සාමාන්‍ය ලාංකීය ජනතාව නරඹන චිත්‍රපටයක් නොවේ. එසේම නරඹා විනෝද විය හැකි චිත්‍රපටයක්ද නොවේ. අඩුම ගාණේ කතාවක් ඇසීමෙන් ලබා දෙන අවම තෘප්තිය හෝ ලබා නොදෙන්නට තරම් මේ සිනමාකරුවන් දෙපළ සාහසික වී ඇත. එනිසාම මේ චිත්‍රපටය සඳහා ප්‍රේක්ෂක අනුකම්පාව ලැබේ යැයි සිතිය නොහැක. මෙවැනි චිත්‍රපටයක් සමාජගත කරන්නට නම්, වෙනත් වචන වලින් නම් මෙවැනි වෙනසක් හෝ විකල්පයක හැඟීමක් රසවිඳීම සමාජයට හුරු කරන්නට නම් ලාංකීය බුද්ධිමතුන් කියන පිරිස මෙබඳු දෑ වෙනුවෙන් සහාය ලබා දිය යුතුය. මා සිනමාවට සම්බන්ධ කෙනෙක් නොවේ. එසේ හෙයින්ම පැත්තකට වී බලා සිටියේ ඒ සමාජය මේ චිත්‍රපට ගැන කරන මැදිහත් වීම කොයි ආකාරදැයි දකින්නටයි. කිසිවක් වුණේ නැත.

චිත්‍රපටයකට ඇති අවදානම ඊට විරුද්ධ මත වලින් ප්‍රහාර එල්ල වීම නොවේ. කිසිවක් නැති නිහැඬියාවක භයානක මරණයක් ඊට උරුම කිරීමයි. ලාංකීය බුද්ධිමතුන්ගේ පිළ දෙවැන්න තෝරා ගෙන ඇති බව පැහැදිළිය. කිසිවෙන් කිසිවක් නොකරයි. සුදත් කරන්නේත් ලෝක සිනමාවේ එක එක ප්‍රවණතා තුල මෙය තබා ගෙන කතා කිරීමය. මේ චිත්‍රපටය පෙන්නන්නේ කවුද? බලන්නේ කවුද? කරන්නේ කොහොමද? උදයට සහ චින්තනට මේ ප්‍රදර්ශනයෙන් අනතුරුව සුරතාන්තය ලැබුණා නම් මට කරන්නට ඇත්තේ ඔවුන් ගැන කණගාටු වී පමණකි. ඒ දර්ශනයෙන් කිසිවක් සිදුවුණේ නැත. එක් භයානක ඇත්තක් එළදරවු වුණා පමණකි. චිත්‍රපටය මියැදෙන්නට නියමිතය. ඒ එදා පැමිණ සිටි බුද්ධිමත් යැයි කියන ජනතාව ලබා දුන් තීන්දුවයි.

උපවිඥාණය තුල දිග හැරෙන රූපාවලියක් සමඟ සංකීර්ණ ගැඹුරු තේමාවක් දිගහැරීම යන කාරණය සිනමාවෙහි යෙදුණු පළමු වතාව 'ආදරයේ අංශුමාත්‍රයක්' චිත්‍රපටයයි. ප්ලොට් එකක් නැති, කතාවක් ඔස්සේ හැඟීම්-වලියක් දිග හැරෙන සීනමාවක පළමු ප්‍රවේශයයි. මේ සම්බන්ධ විවේචන එල්ල කිරීමට ඇතැම් කාරණා මා වෙත ඇතත් මා හට එය කළ නොහැක්කේමත් ඒ නිසාමයි. හේතුව චිත්‍රපටය හා සසඳමින් කතා කරන්නට බිහිවුණු වෙනත් චිත්‍රපටයක් මා ලංකාවේ දැක නැති නිසාය. වෙනත් රටවල චිත්‍රපට හා තබමින් මේ රටේ බිහිවූ ඒ ආකෘතියේ පළමුවැන්න විවේචනය මා හට කළ ෙනාහැක්කකි. නමුත් ජීවිතය සම්බන්ධයෙන් මේ චිත්‍රපටකරුවන් ඉදිරිපත් කරන දැක්ම පිළිබඳ දාර්ශනික සංවාදයක් මා හට අවශ්‍යය. ලංකාවේ සිනමාකරුවන් මේ උත්සාහය වෙනුවෙන් එය ආරක‍ෂා කරන්නට පෙළ නොගැසෙන බව මේ වන විට පැහැදිළිය. ඇතැම් විට සමාජ මැදිහත් වීමක් යන අවශ්‍යතාවය පවා මේ වන විට පුවත්පතක ලිපියක් තරමට පටුවීම දුක්ඛදායකය.

මේ චිත්‍රපටය වෘත්තාන්ත චිත්‍රපටයක් යැයි කියනවාට මා විරුද්ධය. මෙය කෙටි චිත්‍රපටයකි. පැයකුත් විනාඩි පහළොවක් පුරා දිගහැරෙන කෙටි චිත්‍රපටයකි. මෙහි ආඛ්‍යානය විෂයයෙහි මට ඇති අපූර්වත්වය එයයි. චිත්‍රපටය නිමවුණු විට සිතේ ඉතිරි වන්නේ ඉතාමත් කෙටි කාල ගත වීමක මතකයකි. එසේම ප්‍රේක‍ෂකයන්ට තේරුම් ගැනීම සඳහා බොහෝ දේ පැහැදිලි කරන්නට යාම මේ සිනමාකරුවන් දෙදෙනාගේ දුර්වල බවකි. එයින් චිත්‍රපටයේ ගැඹූරු අභ්‍යන්තරය හානි කරන අතර එයින් ප්‍රේක‍ෂකයන්ට යමක් තේරෙනවාදැයි යන්න වෙනම විමසා බැලිය යුතු කාරණයකි. කාරණා වශයෙන් විචාරයට ගන්නට තවත් කාරණා බොහොමයක් 'ආදරයේ අංශුමාත්‍රයක' වෙයි. ඒ සියල්ලටමත් වඩා 'බඹර වළල්ල', 'සුළඟ එනු පිණිස' බඳු චිත්‍රපට තැනූ අයගේ සූ‍ක්ෂම බව ඉදිරියේ උදයගේ සහ චින්තනගේ අහිංසක බව මට 'පව්' හැගීමක් ඇති කරයි.

මේ අධ්‍යක‍ෂවරුන් දෙදෙනාට පවසන්නට මා හට ඇත්තේ ප්‍රයෝගික කාරණා කීපයකි. එනම් ඔබලා විශ්වාස කරන 'බුඩ්ඩිමතුන්ගේ සමාජය' පිළිබඳ සිහිනයෙන් දැන් ඇහැරෙන්න. ඔවුන්ගේ තීන්දුව ලබා දී අවසානයි. දැන් ඔබේ ප්‍රේක‍ෂාගාරය වෙත යන මාවතක් දේශපාලනිකව තීරණය කරන්නට කාලයයි. අනෙක් අතට මේ චිත්‍රපටය යනු අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ පළමු චිත්‍රපටයක් යන සරල මුදා හැරීමක් නොවේ. මේ අනාගතයේ ආත්ම ප්‍රකාශනවාදී සිනමාව ගැන අපේක‍ෂා කරන සියල්ලන්ගේ පළමු මුදා හැරීමයි. එහි සශ්‍රීකබව මත අපේ විකල්ප සිනමාවේ අනාගතය පිළිබඳ බොහෝ දේ තීන්දු වනු ඇත. සිනමාවට බැහැරින් දේශපාලනිකව දැනුවත් මෙහෙයුමක් වෙනුවෙන් උත්සාහ කිරීම උදයට සහ චින්තනට ඇති එකම දුෂ්කර නමුත් ගැලවීමේ මගයි. පත්තර වල ලියවෙන ලිපි වලින් හිරි නොවැටී ඒ උත්සාහයට එළඹෙන මෙන් මා යෝජනා කරන්නේ නැත්නම් ඔවුන්ගේ මරණය අපට ඉතා 'බෝරිං' විය හැකි නිසාය.

තුෂාර පෙරේරා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පහත පළවන්නේ හරියටම මීට වරකට ඉහතදී මවිසින් ලියන ලද්දකි. එහි අන්තර්ගත වන්නේ ඒ මොහොතේ මා අත්දකින ලද හැඟීම් සමුදායක් වචනයට නැංවීමට දරන ලද්දාවූ උත්සාහයකි. සමහරවිට ඔබ ඒ කාලයේ මෙය කියවා තිබෙන්නට පුළුවන. නමුත් වසරකට පසුව ද නැවත වරක් එය කියවීමට මා ඔබට ආරාධනා කරන්නේ අප ගෙවමින් සිටින මේ මොහොතට එහි කිසියම් අදාලත්වයක් ඇතිදැයි යන්න සිතිය යුතු යැයි මා සිතන බැවිනි.

-විදුර ප්‍රභාත් මුණසිංහ


හෘදයසාක්ෂිය

දිනය - 2009. 05.19 | වේලාව - රාත්‍රී 11.17

විධිමත්ව යමක් ලිවීමට තරම් නිශ්චිතාවයකින් තොරව මේ මොහොතේ මා දරා සිටින්නාවු අවිධිමත් ශෝකය, දුක, සතුට, ප්‍රීතිය වැනි භාෂාත්මක කියවීමකට රාමුගත කරගත නොහැකි හැඟීම විසින් අපහසුතාවයට, වියවුලට සහ උදාසීනත්වයට ලක්ව සිටින මා එසේ තිබියදීත් මෙම ලිවීම ආරම්භ කරන්නේ භාෂාවට නැංවිය නොහැකි අසීමිතභාවය වචනය නැංවූවිට සීමාසහිත වීමෙන් බිහිවන ආඛ්‍යානය විසින් ඊට පෙර නොවූ ගල් ගැසුනු අර්ථය ජනනය කරන්නේය යන පදනමේ සිටය. එබැවින් මේ වූකලි මට දැනෙන මේ යැයි කිව නොහැකි හැඟීමක් නිසා දැනෙන අපහසුතාවයට භාෂාව තුල කුමණ හෝ පිලිතුරක් සොයායමින් විසඳුමක්, සහනයක් ලබාගැනීමට දරන උත්සාහයකි. එසේ නොවූවහොත් මේ හැඟීම විසින් ඇතිකර ඇති උදාසීනභාවය මාගේ සාමාන්‍ය එදිනෙදා පැවැත්ම තර්ජනයට ලක්කරයි. එබැවින් මේ සත්‍යය සොයා යාමක් නොව වියුක්ත හැඟීම් සමුදායක් භාෂාත්මක ආඛ්‍යානයක් තුල සීමා සහිත කිරීමට දරන උත්සාහයකි (භාෂාවට පිටතින් වන සත්‍යයක් නොමැති බැවින් ලිවීමට පෙර තිබූ යම ලිවීමෙන් අනතුරුව තවදුරටත් නොපවතින බව මම දනිමි. නිශ්චිතව කුමක්දැයි නොදන්නා දෙය ආඛ්‍යානගත කිරීමෙන් පෙර පැවති වියවුල නිමවී නව සැනසිලිදායක අර්ථය පමණක් ඉතිරි වනු ඇත).

අද දිනය තුල මා දන්නා හඳුනන දෙදෙනකු අවස්ථා දෙකකදී පැවසූ වාක්‍ය දෙකක් ඔවුන් තුලද වන මා දරා සිටින වියවුල් සහගත හැඟීමට සමාන දෙයක ප්‍රකාශනයන් යැයි මට සිතේ.

1. ''ඇයි මිනිස්සු මේ තරම් රතිඤ්ඤා පත්තු කරන්නේ, දෙපැත්තෙම මැරුනෙ අපේ මිනිස්සු නේද ?”
2. ''මොනව වූනත් ප්‍රභාකරන්ගෙ මිනියෙ මූණ දැක්කම මට හෝස් ගාල ගියා..''

මේ මොහොතේ පවතින සිදුවීම් අනුක්‍රමණයන් ද ගල් ගැස්විය යුතු යැයි මට සිතෙන්නේ පසු අවස්ථාවක මෙම සිදුවීම් මීට වඩා වෙනස් ලෙස ආඛ්‍යානගතවී තිබිහැකි (එය අනිවාර්යතාවයකි, අප අතීතය කියවන්නේ වර්තමාන මොහොතේ සිටය) බැවිනි. එවිට මා විසඳුම හොයන මේ හැඟීමට පදනමක් නොමැති වනු ඇත (මා ගැලවීමට උත්සාහ දරන මේ හැඟීම පිලිබඳව ආදරයක්ද මා තුල පවතී, එය ගල්ගැස්විය යුත්තේ මේ ලිවීම අනාගත මොහොතක කියවීමේදී විඳින සෞන්දර්යය (?) වෙනුවෙනි).

අද උදෑසන 9. 40 ට පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ජාතිය අමතා කථා කළේය. වසර 30 ක් තිස්සේ පැවති යුද්ධය ජයග්‍රහණය කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරින. මුළු රටම පසුගිය දින 2 පුරාවටම රතිඤ්ඤා හඬින් ගිගුම් දෙයි. මිනිසුන් වාහනවල නැග ඉමහත් ආනන්දයකින් කෑකෝ ගසමින් පාරවල්වල ගමන් කරති. රටම කිව නොහැකි ආනන්දයක පසුවෙයි. අද දහවල් 1. 30 ට ප්‍රභාකරන්ගේ දේහය රූපවාහිනියේ පෙන්වන ලදී. ලංකාවට නව රජෙක් ලැබී ඇති බවත් ලංකාව ඉතිහාසයේ විශිෂ්ඨතම ජයග්‍රහණය උදාකරගෙන ඇති බවත්, මෙරට අනගිභවනීය යුගයක් කරා පිවිස ඇති බව පැවසෙයි.

මා අත්විඳීන අවිනිශ්චිතභාවයට පසුබිමින් ඇත්තේ මෙම සිද්ධිමය කාරණාවන්ය. මේ සියලු සිදුවිම් විසින් නිර්මාණය කරන හැඟීම මා මිතුරකු කී ලෙස 'එකපාරටම සුනාමිය ආපු වෙලාවෙ ඇතිවුන මොකුත්ම නැති හිස් හැඟීම' හෝ එම හැඟීමේ නෑයකු වියහැකි යම් හැඟීමක් වියහැක. මේ මොහොතේ මේ හැඟීම භාෂාවට නැංවීම මාගේ සහනදායී පැවැත්ම ආරක්ෂා කරගැනීමක් මෙන්ම මේ මොහොතේ සෞන්දර්ය මඟහැරී යාම වැලැක්වීමක්ද වෙයි. ඒ අරමුණින් යුතුව මසිතට එන පෙළගැස්වීමක් නැති සිතීම් කිහිපයක් පෙළට තබමි.

1. පරිපූර්ණ ජයග්‍රහණයක/ පරාජයක සෞන්දර්යය

සිය සටන පරාජයට පත්ව අවසානයක් කරා ළගාවී ඇති බව දනිමින්ම විනාශය අනිවාර්යතාවයක් බව දනිමින්ම අවසන් භටයා මියයන තුරුම සමස්ත කොටි සාමාජිකත්වයම සටන් කරන ලදී. කිසිත් දිනන්නට නොහැකි බව දනිමින්ම ලක්ෂ 2 ක හමුදාවක් 350 ක පිරිසක් වටකොට ඇති බව දනිමින් නායකයා, ඔහුගේ පුත්‍රයා, සියලු නායකයින් ඇතුලු සියලුම සාමාජිකත්වය එකකු හෝ යටත් නොවී පළා නොගොස් (සියලු නායකයින්ට පළා යාමට ඉඩ ප්‍රස්ථා ඕනෑ තරම් අවස්ථා විය) සිය මරණය දක්වා සටන් කළහ. මීට පෙර එවැන්නක් චිත්‍රපට හෝ වීරකථාවල හැරෙන්නට මා අසා හෝ දැක නැත. එබැවින් මේ සමස්ත සිදුවීම මට මහා සෞන්දර්යයක් ගෙනඑයි. පරිපූර්ණ අවසානයක්, පරිපූර්ණ පරාජයක් සාහිත්‍යයේ මිස සැබෑ ජීවිතයේදී අත්විඳින්ට සිදුවෙතැයි මම කෙදිනක හෝ සිතා නැත්තෙමි. සාහිත්‍ය කෘතියක අපූර්වත්වය මේ සිදුවීම තුල අන්තර්ගතව ඇතැයි මට සිතෙන්නේ එබැවිනි.

2. තුවක්කු පහත්වෙයි

ජාතික රූපවාහියේ දර්ශන පෙළකින් කොටසක් සංස්කරණය කොට විකාශය කළ CNN නාලිකාව පවසා සිටියේ ශ්‍රී ලංකාවේ දෙමළ අරගලය අවසානයකට පත්ව ඇති බවයි. රූපරාමුවේ දැක්වුනේ මුලතිව් සටන් බිමේදී ගිනි තබා විනාශ කරන ලද කොටි කාලතුවක්කුවක බැරලය ඈතින් පෙනෙන තල්ගස් දෙකක් පසුබිම්කොටගෙන පහත්වන අයුරුය.

3. 1989. 11. 13 දා රාත්‍රියේ ඇසුනු රතිඤ්ඤා හඬ

මුළු කොළඹම සිංහ ධජ වලින් සරසා ඇත. මීට පැය 1/2 කට පෙරද වාහනවල නැගුනු තරුණයෝ උද්දාමයෙන් සිංහ කොඩි ළෙලවමින් කෑ කෝ ගසමින් මහපාරවල්වල ගමන් කළහ. තැන තැන පිරිස් සංගීතයට නටති. ත්‍රී රෝද රථවල ප්‍රභාකරන්ගේ මරණ දැන්වීම් අලවා ඇත. 'පරලොවට ඊළම - ඊළමට පරලොව' එහි ලියැවී ඇත. සියලු ජනමාධ්‍ය, කලාකරුවෝ, භික‍ෂූන් වහන්සේ, විද්වත්හු මහා ජයග්‍රහණය සමරති. හෙට ජාතික නිවාඩු දිනයකි. (89 නොවැම්බර් මාසයේ දවසක රාත්‍රියේද මෙවැනි රතිඤ්ඤා හඬක් ඇසුනා මතකයි)

4. සතුට

ජනමාධ්‍ය පුරා රණ ගී, ජය ගී, උදාන ගී, ජාතිකාභිමානී ගී වලින් ගිගුම් දෙයි.
මේ සිංහල අපගෙ රටයි...
ආයු රක්ඛන්තු ආවඩා..
අපටත් රජෙක් පහලව ඇත්තේ...
තුන් හෙළේ කැළෑ තුල සිංහ පැටව්...
.....
....
උතුරේ ගම්මානයන්ට රණ විරුවන්ගේ නම් තැබිය යුතු බව ජාතික හෙළ උරුමය පැවසූ පුවතක් පුවත්පතක පළවී තිබිණ.

පොලීසිය සිංහ කොඩි දමා නොමැති කඩවලට ඒවා දැමීමට බල කරයි.
යුධ ජයග්‍රහණ සැමරීම නිසා පසුගිය සතිය පුරා අවතැන්වූ 250,000 ට ආධාර එකතුකිරීමේ උන්මාදය අමතකව ගියා සේය.
යුද්ධය සිදුවන අතරතුරේදී කොටි පාලන ප්‍රදේශයේ සිට 35,000 ක් ජනතාව හමුදා පාලන ප්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවේ ප්‍රකාශයක් කරමින් තවදුරටත් බලා නොඉඳ අවසන් ප්‍රහාරය එල්ල කර භූමිය අත්කරගන්නා ලෙසත් එහිදී යම් ජීවිත වන්දියක් ගෙවීමට සිදුවන්නේ නම් එය ගෙවා සටන නිමකරන ලෙසත් පැවසූ විමල් වීරවංශ (නමුත් රජය එසේ පහර නොදුන් අතර ඒ හේතුවෙන් 215,000 ක් දිවි බේරුනි) සෑම විටම ජනාධිපතිවරයා අසලින්ම සිටිනු දැකිය හැකිවිය.

මේ මොහොතේ අවිධිමත් ලෙස මසිතට ගලා එන සිතුවිලිය. මේවා ලියූ පමණින් වියවුල නොවිසෙඳයි. (ලීවීම තුලම යම් ආඛ්‍යානයක් නිර්මාණය වෙමින් පවතිනු පෙනෙයි.) දැන් කළ යුත්තේ ලිවීම පරිපූර්නත්වයට පත්කිරීම/ වියවුල විසඳීම/ අර්ථය සීමා කිරීම යි.

මා ඉපදුනු දිනයේ සිට අද දක්වාම මේ රටේ යුද්ධයක් පැවතුනි. ප්‍රභාකරන් නම් මිනිසෙක් මේ රටේ කොටසක වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවීම සඳහා සටන් කළේය. මරාගෙන මැරෙන බෝම්බ, ගම්පිටින් මිනිසුන් ඝාතනය කිරීම්, ආර්ථීක මර්මස්ථානයන්ට එල්ලවූ මාරාන්තික ප්‍රහාරයන් ඇතුළු අතිශය අමානුෂික ප්‍රහාරයන් රැසක් මැද අපි ජීවත්වීමු. ඔහුගේ බල ප්‍රදේශය අල්ලා ගැනීමට විවිධ අවස්ථාවල සිදුකළ මෙහෙයුම්, ඉන්දු ලංකා ගිවිසුම්, ඔහුගේ ම්ලේච්ඡ ප්‍රහාරයන්ට පිලිතුරු ලෙස දෙමළ ගම්මානවලට පහරදී දෙමළ ජාතිකයන් ඝාතනය කිරීම්, සාකච්ඡා, සටන් විරාම ගිවිසුම් සමඟ මේ කාලය ගෙවීගියේය. අපගේ ජීවිතයේ සෑම මොහොකටම සෑම නිමේෂයකටම මේ මිනිසා හා ඔහුගේ ව්‍යාපාරය බලපැම් සහගත විය (ඊළග මෙහොතේ පුපරන බෝම්බයකින් මා මිය යා හැකිව තිබිණ). ප්‍රභාකරන් හුදෙක් අපගේ ප්‍රතිවාදියා පමණක් නොව අපගේ පැවැත්මේ, අපගේ සුඛ විහරණයේ, සාමකාමී හිඳීමේ, අපගේ සතුටේ ප්‍රතිපක්ෂය විය. අපගේ සතුට, දුක, ශෝකය, උන්මාදය, චිත්තප්‍රීතියද පැවතුනේ ඔහු සමඟිනි (මා මිතුරකුට අනුව ''අපිට රිදව රිදව අපිත් එක්ක අවුරුදු 30 ක් හිටපු මිනිහ''). ආදරය/ වෛරය, හොඳ/ නරක, කලු/ සුදු ආදී සියලු ප්‍රතිපක්ෂයන්හි එකකට අනෙක නොමැතිව පැවතිය නොහැකිවාක් මෙන් අපගේ සාමාන්‍ය ජීවිතය සමඟ ප්‍රභාකරන් අවියෝජනීයව බැඳී සිටියේය. අපි ඔහුට අතිශයින් බිය විමු. ඔහුගේ ලේ පිපාසය ඕනෑම මොහොතක මා ඇතුලු මා ආදරය කරන කවුරුන් හෝ බිලිගත හැකිවිය.

මේසාර්ට් ගේ ජිවිත කථාව ඇසුරින් නිපදවූ “ඇමඩියුස්” නම් චිත්‍රපටය මාගේ සිහියට නැගේ. මෝසාර්ට්ගේ දක්ෂතාවයට ඊර්ෂ්‍යා කරන නමුත් මෝසාර්ට්ට පමණක් දෙවන වන දක්ෂ සංගීතඥයකු වූ සැලියාරි නැමැත්තා මෝසාර්ට්ව විනාශ කිරීමට, පැරදවීමට, ඔහුගේ නිර්මාණ සොරාගැනීමට සිය ජීවිතයම කැප කරයි. නමුත් මෝසාර්ට් මියගිය පසු සැලියාරිට ජීවත්වීමට හේතුවක් නැතිවේ. මෝසාර්ට් නැතිවුවත් ලෝකය පවතී. ඔහු නැතැයි කියා කිසිවක් වෙනස් නොවේ. නමුත් මෝසාර්ට් නැතිව සැලියාරිට ජීවත්විය නොහැක. ඔහු ආත්මයේ මහා හුදෙකලාවකින් පීඩා විඳී. අවසානයේ ඔහු සියදිවි නසාගනී. සැබවින්ම මෝසාර්ට්ට වැඩියෙන්ම ආදරයකොට ඇත්තේ ඔහුට වෛර කළ සැලියාරිය.

ශිශිරයේ මීදුම් වළාවන් අතරින් මතුවී එන මාගේ වීරයා “හීත්ක්ලිෆ්” මෙහිදී අමතක කළ නොහැක. ඔහු සිය ආදරය තමන්ගෙන් උදුරා ගත්තවුන්ගෙන් පළිගැනීමට සිය ජීවිතයම කැප කළේය. ඒ සියලු උතත්සාහයන් සාර්ථක කරගත් පසු ඔහු මුහුණ දුන්නේ ආත්මය පහුරුගාන මහා හුදෙකලාවකටය. සියදිවි නසාගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඔහුට නොවුනි. ඔහුට ඔහුගේ වෛරයෙන් තොරව පැවත්මක් නොවුනි. ඔහු මියයාමට සැලැස්වූ විනාශ කළ පිරිසට ඔහු වඩාත් ආදරයකොට තිබිණි. ආදරය/ වෛරය වෙන්කළ නොහැකි ද්වෛතයකි.

දැන් අපට අපගේ වෛරය අවසන්ව ඇත. ප්‍රභාකරන් අවසන්ය. මේ රතිඤ්ඤා හඬේ, අසීමිත ප්‍රීතියේ, නිමක් නැති නිදහසේ තේරුම කුමක්ද ? දැන් අපිට, අපගේ කිසිදු ක්‍රියාකාරකමකට බාධාවක් නැත. මෙතෙක් ඔබ හා මා හමුවුයේ ත්‍රස්තවාදයට බියපත්වූ සමාජයක ප්‍රභාකරන් නම් අතුරු මුහුණත තුලිනි. දැන් අතුරු මුහුණත අවසන්ය. ඔබට ඍජුවම මා දැකිය හැක. අපගේ නම්හිම් නැති සංතෘෂ්ඨිය කෙළවර අපි අපගේ පැවැත්මේ තර්ජනයකට මහුණදී ඇතිතෙමු. දැන් බාධාවකින් තොරව නග්න ලෙස මා හමුවන ඔබට මුණගැසෙන්නේ කුමක්ද ? සියලු ප්‍රබන්ධයන් අවසන්ව ගිය තැන ඔබ දකින්නේ මගේ හොඳකම්, බැරිකම්, දුෂ්ඨකම්, කුහකකම්, ම්ලේච්ඡකම් සියල්ල නිරාවරණයව ඇති අයුරුය. මේවා වසා තැබූ අතුරු මුහුණත අවසන්ය. ඔබගේ ඒ සියල්ලද මට නිරාවරණය වෙයි. මෙවැනි සමාජයක් මහා බිහිසුනු අන්තරායකට මුහුණ දෙයි. මේ ක්ෂතිමය මොහොතේ උදාවද මේ අපි සමරන්නේ.. සිංහල සමාජය වඩාත් වෛරකළ/ ආදරය කළ මිනිසාගේ මරණය ගැන මීට වඩා බැරෑරුම්ව සිතිය යුතු නොවේද ?

ප්‍රභාකරන්ගේ මරණය සෞන්දර්යයක් වන්නේ ඇයි?

ප්‍රභාකරන්ගේ මරණය මා නියෝජනය කරන පැරණි පන්නයේ ලෝකයේ එවැනි සිදුවීම්වල අවසානයයි. ජාතික රාජ්‍යය දියවී යමින් පවතින ලෝකයක ඔහු එය විශ්වාස කළේය. එවැන්නක් නිර්මාණය කිරීම සඳහා ඔහු රාජ්‍යයක් සමග සටන් කළේය. පැහැදිලිවම ඔහුගේ මතවාදය ජාතිවාදී විය. දෙමළ ජාතියේ ඵෙතිහාසික වේදනාවන්ට, සන්තාපයන්ට හා අසාධාරණයන්ට එකම විසඳුම ශක්තිමත් දෙමළ ඊළාම් රාජ්‍යයක් නිර්මාණය කිරීම යැයි විශ්වාස කළ ඔහු ආරම්භයේ සිටම මියයන මොහොත දක්වාම ඒ වෙනුවෙන් සටන් කළේය. යම්හෙයකින් ඔහු ඊළම දිනා ගත්තේ නම් ඕනෑම ජාතිවාදියකුගේ මඟ යමින් අතිශය ඒකාධිපති, මර්ධනකාරී, ප්‍රජාපීඩක රාජ්‍ය තන්ත්‍රයක් නිර්මාණය කරනු ඇත. ඒ කෙසේ වෙතත් ඔහු ඊළමින් මෙපිට කිසිදු විසඳුමක් පිලිගත්තේ නැත. සටන මෙන්ම සාමය හරහාද ඔහුගේ අවසාන අභිප්‍රායවූයේ එයයි. මියයන තුරුම වෙනස් නොවූ අධිෂ්ඨානය එයයි. වර්තමාන ලෝකය තුල නොවෙනස් පැවතීම, අධිෂ්ඨානය වැනි වචනවලට අර්ථයක් නොමැත.

ඝන වූ සියලු දේ දියවී යන ලෝකයේ ජාතිය වෙළඳපොළ බවටද, නොවෙනස්වීම වෙනස්වන වෙළඳපොළ තත්වයන්ට අනුව වෙනස්වීම බවටද පත්වූ ලෝකයක ඔහු පැරණි පන්නයේ මිනිසෙකි. ඊළමෙන් මෙපිට කිසිවකට එකඟ නොවන්නේ නම් දිය හැකිව තිබූ එකම පිලිතුර ශ්‍රී ලංකා රජය විසින් ඔහුට ලබාදෙන ලදී. සිදුවිය හැකිව තිබුණේ දෙකෙන් එකක් පමණි. එක්කෝ ඊළම දිය යුතුය. නැතිනම් ඔහු මිය යා යුතුය. ඊළම දී රට දෙකඩ කිරීමට අකමැති වූ නිසා ඔහු මරා දැමිය යුතු වූ අතර එය එසේම සිදුවිය. (ඔහුත් සමග ඒ අරමුණ දරමින් මියෙන තුරුම සටන් කළ මේ රටේ පුරවැසි පිරිස එසේ කළේ ඇයි ? ඔවුන් එතරම් ආන්තික ආස්ථානයක් කරා ඇදීගියේ ඇයි ? යන්න කිසිදා මඟහැර යා නොහැකි ගැටලුවකි. යුධ ජයග්‍රහණ සැමරීම තුල ලංකාවේ කිසිදු ජනමාධ්‍යයක මුලතිවු සිට පැමිණි 250,000 ක ජනතාව එම සිදුවීමට මුහුණදුන් ආකාරය දැක්වෙන එකදු රූපරාමුවක් හෝ කොටි සංවිධානයෙන් කැඩී රජයට එක්ව ඇමතිධූර බාරගත් අයගේ හැර වෙනත් කිසිදු දෙමළ ජාතිකයකුගේ ප්‍රතිචාරයක් සඳහන් නොවීම ද සැලකිය යුතුය.)

කෙසේ නමුත් පැරණි පන්නයේ රාජ්‍ය සිතීමේ අවසානයක් මේ සමඟ සනිටුහන් වෙයි. රජය ශ්‍රී ලංකා රාජ්‍ය පිලිබඳ මතවාදය සිය ප්‍රචාරණ යාන්ත්‍රණය තුල යුධ උපක්‍රමයක් ලෙස (යුද්ධයක් කිරීමට ජනතාවගේ සහාය ලබාගැනීමට එය කළ යුතු වන අතර ඇමරිකාව ඇතුලු සෑම රටක්ම එය සිදු කරයි.) ඉදිරියට ගෙන ආ නමුත් දකුණ වෙළඳපොළ යාන්ත්‍රණයට හසුවූයේ මීට බොහෝ පෙරය. දකුණේදී ජාතිය වෙළඳපොළ අළෙවිකරණ උපක්‍රමයක් පමණකි. යම්හෙයකින් උතුරටද මේ වෙළඳපොළ යාන්ත්‍රණය පැතිරගියේ නම් ප්‍රභාකරන් සමඟ මිය යාමට එකදු මිනිසකු හෝ ඉතිරි නොවනු ඇති අතර ප්‍රභාකරන්ද එය මනාව වටහාගෙන වෙළඳපොළ බලපෑමෙන් සිය බලප්‍රදේශයේ ජනතාව දැඩිව ආරක්ෂා කරගත්තේය. මේ බව රජයද මනාව වටහාගෙන ඇති බව පෙනී යන්නේ මෑතකදී මාතලේ කොටස් වෙළඳපොළ ශාඛාව විවෘත කරමින් බැසිල් රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයකිනි. ''අපි යුද්ධයෙන් කළේ වෙන මුකුත් නොවෙයි, මෙතෙක්කල් උතුරේ විශාල ප්‍රදේශයක් සමස්ථ ආර්ථීක යාන්ත්‍රණයෙන් බැහැරව පැවතුනා, අපි කළේ ඒ ප්‍රදේශය මේ ආර්ථීක යාන්ත්‍රණයට ඇතුල් කරන එකයි'', ඔහු කියා සිටියේය. මේ අනුව සිංහල ජාතිවාදීන් කෙතරම් කෑමොර ගැසුවද (1976 දී යාපනය විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමට පවා මොවුහු විරුද්ධ වූහ.) නුදුරේදීම උතුරේ ප්‍රදේශ සීඝ්‍ර වෙළඳපොළකරණයකට ලක්වනු ඇති අතර ඒ සඳහා පාලම්, මහාමාර්ග, විදුලිය ඇතුලු බොහොමයක් යටිතල පහසුකම් සැලසෙනු ඇත. නැවත දෙමළ ජාතිකවාදය ඉස්මතුවීම වැලකී එය වෙළඳපොළ යාන්ත්‍රණය තුල දියකර දැමෙනු අතර සිංහල ජාතිවාදීන්ගේ මතය ජයග්‍රහණය කළහොත් පමණක් දෙමළ සටන නැවත පණ ලබනු ඇත. කෙසේ නමුත් පැරණි පන්නයේ සිතීමක් තුල දෙමළ ජාතියේ ඵෙතිහාසික අසාධාරණයට පිලිතුරක් ලබාගත හැකිව තිබූ අවසන් අවස්ථාවද මේ අනුව අහිමිවී යනු ඇති අතර තවදුරටත් එවැනි ඉල්ලීම් කිරීමට ජාතිකත්වය මත පදනම්වූ ඝනීභූත දෙමළ සිතීම අවසන් වනු ඇත. මේ අනුව CNN නාලිකවේ පෙන්වූ තල්ගස් අතරින් කාලතුවක්කු බැරලය පහත්වන රූප රාමුව අතිශය සංකේතාත්මතය.

කෙසේ නමුත් මේ අවසන් සටන සෞන්දර්යාත්මක යැයි මා සිතන්නේ එම පැරණි සිතීමේ අවසන් සටන මෙය වූ බැවිනි. තවදුරටත් ධීරත්වයට, නොවෙනස්වීමට අනාගතයක් නැත. නමුත් අපේ අතීතකාමයන් අපව තවදුරටත් ඊට ආශක්ත කරයි. ප්‍රභාකරන් ඇතුලු පිරිස එහි අවසන් විශිෂ්ඨ නිර්මාණය සම්පූර්ණ කළහ.

හෘද සාක්ෂිය

මේ දිනවල බෙහෙවින්ම කියැවෙන දුටු ගැමුණු රජුගේ පුරාවෘතයේ එක් වැදගත් සිදුවීමක් කෙරෙහි අවධානය යොමු කරමි. එළාර ඝාතනය කොට අනුරාධපුරය විජයග්‍රහණය කිරීමෙන් අනතුරුව දුටුගැමුණු දුකට පත්වූ බවත් තමන් විසින් ඝාතනය කළ සතුරන් පිලිබඳව ඔහු මහත් වේදනාවට පත්වූ බවත් පුරාවෘතවල කියැවෙයි. ගණනාථ ඔබේසේකර පවසන ආකාරයට මෙම පුරාවෘතයන් තුල මෙම සිද්ධිය නිර්මාණය වීමෙන් නිරූපනය වන්නේ හෘදසාක්ෂිය සම්බන්ධයෙන් ගැමි බෞද්ධයා තුල වූ දැක්මයි. එය පැරණි ගැමි බදුදහමේ සාරය ඉවත්කෙරුනු නූතන විෂයමාලාගත නාගරික බුද්ධාගම තුල අන්තර්ගත නොවන්නකි. වර්තමාන යුධ ජයග්‍රහණ සැමරුමේදී නෑසී මියගොස් තිබුණේ මෙම හෘදසාක්ෂියයි. 'මොනව වුනත් මගෙ පපුව හෝස් ගාල ගියා' යනුවෙන් කී මා මිත්‍රයා නියෝජනය කළේ හෘදසාක්ෂිය දරාගත් ඒ අතිශය සුලු පිරිසයි. ඕනෑම සමාජයකට හෘදසාක්ෂිය අතිශයින්ම වැදගත්ය. හෘදසාක්ෂියක් නැති මිනිසකුට කළ නොහැක්කේ කුමක්ද ? කෙනෙකුගේ හෘද සාක්ෂිය විසින් අප තුල නිර්මාණය කරන අතිශය සංවේදී චිත්තාවේගයන් හා මානසික ගැටුම නොමැති සමාජයක බොහෝ දේ ඉතා සරළ ලෙස සිදුවන අතර බොහෝ දේට ඉතා සරළ අරුත් ගැන්වීම් හා විසඳුම්ද පවතී (අද රට ජාතිය පිලිබඳ කථාබස් කරන ජාතිවාදී බහුතරයක් තුල නැත්තේද මේ හෘද සාක්ෂියයි).

හෘද සාක්ෂියක් නොමැති අතිශය නග්න වෙළඳපොළ සබඳතා, කුහකත්වය, ආත්මාර්ථය රජකරන ත්‍රස්තවාදයෙන් මිදුනු සුරක‍ෂිත සමාජයක් අපට උරුමව ඇති අතර ඔබත් මමත් හෙට මුණගැසීමට නියමිත එම භූමියෙහිය. හෘද සාක්ෂිය විශ්වාස කරන සුලුතරයක් වූ මිනිසුන් සෑම අයෙකුම මහා පරිමාණයේ ප්‍රශ්ණ ගැන කථාකරනු වෙනුවට තනි මිනිසාගේ හෘද සාක්ෂිය පිලිබඳව අවධානය යොමුකළ යුතුයැයි මට සිතේ. දකුණේ ජනතාව අන් කවරදාකටත් වඩා පසුගිය කාළය තුල රාජ්‍යය සමඟ එක පෙළට සිටගන්නා ලදී. නමුත් සිදුවිය හැකි නරක දෙය නම් තමන් රාජ්‍ය නොවන බව ජනතාව විසින් අමතක කරදැමීමට ඇති ඉඩ ප්‍රස්ථාවයි. තමන් රාජ්‍ය නොවන බවත් තමන් හෘදසාක්ෂියක් දරාගත් තනි මිනිසෙක් බවත් සෑම අයකුම පසක් කරගත යුතුය. එනයින්ම රාජ්‍ය යාන්ත්‍රනයට වඩා තනි මිනිසාගේ හෘදසාක්ෂිය හා අභිමානය ගැන ජනතාව වදවිය යුතුය. හෙටදවසේ තම හෘදසාක්ෂිය ගැන වදවන මිනිසුන් පොඩි මිනිසාගේ අභිමානය ගැන වදවීම ඉතාමත් වැදගත් වන්නේ එය ඔබේත් මගේ මනුෂ්‍යත්වයට තීරණාත්මක වන බැවිනි.

වේලාව රාත්‍රී 1. 35.
දැන් මට සැනසීමෙන් (?) නිදාගත හැක.

ප.ලි. 2009.05.20

මාවිල් ආරු සොරොව්ව මුදාගැනීමේ සිට මේ දක්වා මියගිය රජයේ හමුදා භටයින් ගණන 6,931 ක් බවත් තුවාල ලැබූ පිරිස විසිහයදහස් ගණනක් බවත් ආබාධිත වූ පිරිස දෙදහස් හයසිය ගණනක් බවත් ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රකාශ කරන ලදී.
ඔහුට අනුව යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් සංඛ්‍යාව 21, 000 කට ආසන්නය. එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව පසුගිය වසර 2 තුල යුද්ධයෙන් මියගිය සාමාන්‍ය ජනතාව 8,000 කි. (සුනාමියෙන් ලංකාවේ 36, 000 ක් පමණ මියගිය බව විශ්වාස කෙරේ)

ප.ලි. 2009.05.21

යුධ ජයග්‍රහණ සැමරීමේ වැඩසටහන් හේතුවෙන් පසුගිය දිනවල විකාශය නොවූ මුතු කිරිල්ලී, පබා හා ඉතින් ඊට පස්සේ නාට්‍ය අද සිට යළි විකාශය ඇරඹින.

ප.ලි. 2009.05.22

'උගතුන් හා දේශපාලඥයින් එකතුවී අලුත් මිත්‍යා සාධාරණීකරණය කිරීම බුද්ධ ධර්මය විකෘති කිරීමකි. එසේ සාධාරණීකරණය කරන්නෝ සිය බෞද්ධ උරුමයට පිටුපා ඇති අතර දුට්ඨගාමිණී අභයගේ චිත්තාග්නිය තුලින් මතුවන මහා සදාචාරාත්මක ප්‍රශ්ණය හා එහි ඇති වැදගත්කම ඔවුනට වැටහී නැත.'

'සියුම් මනස් ඇත්තවුන් ඇසිය යුත්තේ සරළ ගැටුම් තුල අප සිතුම් සිරකරන, තරණය කළ නොහැකි ආගාධ වලින් අප වෙන්කරන ලෝක ස්වභාවය කුමක්දැයි යන්නය. හෘදසාක්ෂිය හා ලෝක ස්වභාවය අතර ඇති ගැටුම විසඳීම සුළුකොට තැකිය හැකි කර්තව්‍යයක් නොවේ. අතපය හකුලුවාගෙන යහනෙහි වකුටුවී ''දකුණින් ගොලු මුහුදය, උතුරින් හැඩි දෙමළුය, මෙම කෙසේ අත් පා දිගහරිම්දැයි'' ඇසූ බොළඳ කොලූ ගාමිණී අනුකරණය කිරීම, සතුරන් තුල යම් යහපත් ස්වභාවයක් දුටු වැඩිහිටි දුට්ඨගාමිණී අනුකරණය කිරීමට වඩා පහසුය.

'දුටුගැමුණුගේ හෘද සාක්ෂිය'
-මහාචාර්ය ගණනාථ ඔබේසේකර


විදුර ප්‍රභාත් මුණසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ජෝන් ලෙනන් (1940-1980)


ඔබ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. නමුත් ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි.

අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි.

ඝාතනය සඳහා වන මොනම හේතුවක්වත් මම විශ්වාස නොකරමි.

යථාර්ථය විසින් පරිකල්පනය සඳහා බොහෝ දේ ඉතිරි කර තබයි.

ඔබ විනෝද වීමට වැය කල කාලය නාස්ති වී නොමැත.


වර්ෂ 1940 ඔක්තෝබර් මස 9 වනදින ලිවර්පූල් හිදී උපන් ජෝන් වින්ස්ටන් ලෙනන් ගායකයෙකු, ගීත රචකයෙකු මෙන්ම සුප්‍රකට "බීට්ල්ස්" කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම නායකයා ද වෙයි. ඔහු සහ බීට්ල්ස් සංගීත කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් වන පෝල් මැකාර්ට්නි සමග එක්ව රචනා කල ගීත විසිවන සියවසේ අති සාර්ථකම ගීත රචනා ලෙස සැලකෙයි. ලෙනන් ගේ කුඩා අවදිය කිසි විටෙකත් සුන්දර නොවීය. ඔහු කුඩා කලම දෙමාපියෝ එකිනෙකාගෙන් වෙන් වූහ. ඔහු සිය ළමා කාලයෙන් වැඩිමනක් ගත කලේ සිය නැන්දණිය සහ මාමා සමගය.

1952 වසරේදී ලෙනන් "කොරි බෑන්ක්" හි උසස් පාසලට ඇතුලත් විය. එහිදී ඔහු විසුලු කාටූන් රූප අඳිමින් ගුරුවරුන් අනුකරණය කරමින් රඟ පාමින් තරමක් විනෝදකාමී ජීවිතයක් ගත කලේය. තෙවන වසරේදී ඔහුගේ ප්‍රගති වාර්තාව ඉතා දුර්වල එකක් විය. "පංතියේ කවටයෙක්. අනික් සිසුන්ගේ කාලය නාස්ති කරන්නෙකි" ලෙස එහි සටහන් විය. ලෙනන් ට වයස අවුරුදු 10 දී ඔහුගේ මවගෙන් ප්‍රථම වරට ගිටාරයක් තෑගි ලැබුනි. ඔහු කෙදිනක හෝ තමන් ජනප්‍රිය වෙන බව පැවසුවද මව විශ්වාස කලේ ඔහු ඉක්මනින් එය අතහැර දමනු ඇති බවයි. 1958 දී එනම් ලෙනන්ට වයස අවුරුදු 18 දී ඔහුගේ මව මෝටර් රථ අනතුරකින් මියගියාය.

ජෝන් සාමාන්‍ය පෙළ විභාගයේ සියලු විෂයන් ගෙන අසමත් විය. ඔහුව භාර ගැනුනේ "ලිවර්පූල්" හි කලාව ඉගැන්වෙන පාසලට පමණි. නමුත් එම පාසල තුළද ඔහුගේ අධ්‍යාපනය සාර්ථක නොවීය. වාර්ෂික විභාග වලින් අසමත්වූ ලෙනන් අවසාන වසරට පෙර පාසලින් නෙරපා දමනු ලැබීය. 1956 දී ලෙනන් සහ "කොරී බෑන්ක්" උසස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ තවත් සිසුන් පිරිසක් එක්වී "ද කොරී මෙන්" නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්හ. පසු කලෙක ලෝ ප්‍රකට "බීට්ල්ස්" කණ්ඩායමට අඩිතාලම වැටුනේ එලෙසයි.

මුල්කාලයෙදී ඔවුහු ප්‍රිය සාද වල, පාසැල් වේදිකා වල සහ ආධුනික ප්‍රසංග වල සිය දක්ෂතා එළිදැක්වූහ. පසුකලෙකදී බීට්ල්ස් කණඩායමේ සුප්‍රකට ශිල්පීන් බවට පත්වූ පෝල් මැකාර්ට්නි, ජොර්ජ් හැරිසන් වැනි ශිල්පීහුද මේ කණ්ඩායමට එක්වූහ. 1960 මුල් කාලයේදී "කොරී මෙන්"ලා "සිල්වර් බීට්ල්ස්" ද ඉන්පසු "බීට්ල්ස්" ලෙසද සිය නම වෙනස් කර ගත්හ. 1960 දශකයේ දී එංගලන්තයේ සහ එක්සත් ජනපදයේ "බීට්ල්ස්" උන්මාදයක් පැතිරී ගියේය. සැබැවින්ම 1960 දශකය ඔවුන්ගේ වසරයි. 1962 දී ලෙනන් "සින්තියා පොවෙල්" සමග විවාහ විය. මේ විවාහයෙන් ඔවුන්ට ජූලියන් නම් පුතෙක් ලැබුනි. නමුත් 1968 දී ලෙනන් සහ සින්තියා වෙන්වූහ. 1965 වසරේදී බීට්ල්ස් කණ්ඩායම "ඔර්ඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පරර්" සම්මානයෙන් පිදුම් ලැබූහ.

60 දශකය අග භාගය වනවිට බීට්ල්ස් ලා තරමක පසු බෑමකට ලක්විය. ලෙනන් මේ වනවිට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියේය. තවද ඔහු විසින් කරන ලද "අපි ජේසුස් ට වඩා ජනප්‍රියයි" යන ප්‍රකාශය බැරෑරුම් තත්වයක් ඇතිකරමින් තිබිනි. ඔවුන්ගේ සංගීත තැටි ගිණි තැබීමද, කූ ක්ලුක්ස් ක්ලෑන් වැනි අන්තවාදී සංවිධාන වල බලපෑම් වලට මුහුණදීමට ද ඔවුනට සිදුවිය. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ ඔවුන් සංගීත සංචාර වලට සහභාගි වීමෙන් වැලකීමය.

1960 දශකය අග භාගය වනවිට බීට්ල්ස් කණ්ඩායම ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටෙන්නට විය. ඔවුන්ගේ කළමණාකරු වූ බ්‍රයන් එප්ස්ටයින් ගේ හදිසි අභාවය මෙයට බොහෝ සෙයින් බලපෑවේය. ලෙනන් ද එල්.එස්.ඩි නම් මත් ද්‍රව්‍යට තදින් ඇබ්බැහි වී සිටියේය. 1969 දී ලෙනන් "යොකො ඔනො" නම් ජපන් ජාතික සංගීත ශිල්පිණිය සමග විවාහ විය. ලෙනන් දැඩි යුද විරෝධී පුද්ගලයෙකි. 1969 දී ඔහු විසින් ගැයූ "Give Peace A Chance" ගීතය වියට්නාම් යුධ විරෝධී ව්‍යාපාර වල තේමා ගීතය බවට පත්විය. එංගලන්තය වියට්නාම යුද්ධයට සහය දැක්වීමට විරෝධය පෑමක් ලෙස එංගලන්ත රැජිනගෙන් ලද සම්මානය ආපසු යැවීය.

1970-1980 අතර කාලය තුළ ලෙනන් තවත් ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කලේය. ඒ අතර "Imagine", "Jealous Guy”, “How Do You Sleep?" වැනි ගීත ඒ අතර වෙයි. 1980 දෙසැම්බර් මස 10 වනදින මානසික දුබලතාවයකින් පෙලුනු පුද්ගලයෙකු වූ "මාර්ක් ඩේවිඩ් චැප්මන්" විසින් ලෙනන් ට වෙඩි තැබීය. ලෙනන් ව වහාම එ අසල පිහිටි රෝහලකට රැගෙන ගිය ද ඔහු අතරමගදීම අවසන් හුස්ම හෙලීය. මිය යෑමට පෙර එදින සවස ඔහු වටා රොක්වූ රසික කැල අතර වූ චැප්මන් සඳහා “Double fantacy” නම් ගී තැටියේ පිටපතක ලෙනන් විසින් සිය සමරු සටහන යෙදීමද සැබැවින්ම දෛවෝපගත සිද්ධියකි.

අනුෂ්ක තිලකරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



.....කමතේ වැඩ කරමින් සිටි තරුණියන් හා ගැටවරයන් අල්ලා ගැනීම (ක්‍රීඩාව) ආරම්භ විය.
.....එහෙත් ඉතා පුදුමාකාර දෙය වූයේ, හැම තරුණයෙක් ම ජමිලා පමණක් දුටුවාක් මෙන් ඇය අල්ලා ගැනීමට ඉදිරිපත් වීම ය. හැම දෙනා ම ඇය අල්ලා ගෙන බදා වැළඳ ගැනීමට පරිශ්‍රම දැරූහ. තරුණයෝ තිදෙනෙක් ඉදිරියට පැන එකවර ජමිලා අල්ලා ගෙන ගං ඉවුරට ගෙන ගියහ.

''අපව සිපගන්න. නැතිනම් ගඟට දානවා!''
''ගඟේ දැමීමට සූදානම් වෙයව්!''

ජමිලා ඔවුන්ගෙන් ගැලවීමට ඒ මේ අත පනිමින් තම යෙහෙළියන් ගෙන් ආධාර ඉල්ලා කෑ ගසමින් හිස පිටුපසට හරවා ගෙන කොක්සන් දෙමින් සිනා සුනාය. එහෙත් ඔවුහු තම හිස බැඳි ලේන්සු අල්ලා ගනිමින් කඩි මුඩියේ නදී තීරය ඔස්සේ දිවැ ගියහ. තරුණයන් ගේ ප්‍රීතිදායක සිනා මධ්‍යයේ ජමිලා ගඟට වීසි කරන ලදී.

ඈ ගඟින් ගොඩ ආවේ තෙත බරි වුණු සහ අවුල් වුණු හිස කේ ඇතිව ය. එහෙත් පෙරට වඩා දැන් ඇගේ රූ සපුව සුන්දර විය. තෙතැති කපු ගවොම සිරුරට ඇලී තිබිණි. ඇගේ වටකුරු, ශක්තිමත් වටොර ද, යව්වන දෙතන ද යසට කැපී පෙනිණි. ඈ ඒ කිසිවක් නො දකිමින්, වැනෙමින් මහ හඬින් සිනා සුනා ය. ගිනි රත් වූ ඇගේ දෙකොපුල් ඔස්සේ තෙමුණු හිස කේ වලින් වෑස්සුණු දිය බින්දු ගලා ගියේ ය. ''අපව සිප ගනින්!'' යැයි කියමින් තරුණයෝ ඇය වෙත කඩා පැන්නා හ.

ජමිලා ඔවුන් හැම දෙනා ම සිප ගත්ත ද, ඇය යළි ගඟට වීසි කරන ලදී. ඈ නැවත තෙතැති හිස කේ හරි ගස්වා ගනිමින්, හිස් උඩට හරවා සිනා සෙන්නට වූවා ය.

තරුණයන් ගේ මේ සරදම නිසා කමතේ සිටි හැම දෙනෙක් ම සිනා සුනහ. තිරිඟු පොළන මහල්ලෝ තම උදලු අහකට දමා ඔවුන් ගේ සතුටු කඳුළු පිස දැමූහ. ඔවුන් ගේ දුඹුරු පැහැති මුහුණේ රැළි වලින් ප්‍රීතිය විදහා පෙන්වන ආලෝකයක් මතු වී, ඔවුන් මොහොතකට තරුණ බව ලැබූවන් බවට පත් විය. ජමිලා තරුණයන් ගෙන් බේරා ගැනීමට තමන් සතු ඊර්ෂ්‍යා සහගත වගකීම මොහොතකට අමතක කරමින් මම ත් සිත පුරා සිනා සුනෙමි.

සිනහ නො වූ එක ම පුද්ගලයා දනියාර් පමණකි. අහම්බෙන් මම ඔහු දුටුවෙමි. නිහඬ වීමි. ඔහු කමතේ එහා කොනේ දෙපා පුළුල් කැරැගෙන හුදකලාව සිටියේ ය. ඔහු වහා ම දිවැ ගොස් තරුණයන්ගේ ග්‍රහණයෙන් දැන්, දැන් ජමිලා මුදා ගනිතියි මට සිතිණි......

-ජමිලා


චිංගීස් අයිත්මාතව්
පරිවර්තනය - දැදිගම වී. රුද්‍රිගු

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඈත දුර දිගට විහිදුණු
තැනිතලාවේ සිට
මං හසර සෙවූ සඳ
මඟ පෙන්වූ උස් කඳුපෙළ
කාලයේ වලා තිමිරයෙන්
වැසී ගොස් ඇත

එනමුදු,
ඔබ පමණක්
තවම උස්ව නැඟී සිටී

එනමුදු,
කුමක් වීද
ඒ සරුසාර හරිතවත් තුරුලතා පිරි
සුන්දරත්වයට,
ගලා බැස ගිය
නිල්වන් සොඳුරු දියවැල්වලට

සතර වටින් හමා ආ
මහෝඝයන් ඉදිරියේ
නෙතට උළෙලක් වූ
ඒ තුරුලතා පෙළ
පවිටු මාර සේනා විසින්
සුණු විසුණු කර ඇත

මහා තැනිතලා බිම සරු කළ
අප සා පිපාසා ද නිවූ
ඒ සොඳුරු දියවැල්
සිඳී ගොසිනි....

කඳුළු පිරි දෑසින් බලා සිටිමි
පවිටු සෙන් නඟන උස් හඬ
තුරු පෙළින් දියවැල්වලින් තොර
ඔබ මත
අටවාගෙන නෙක කූඩාරම්
ඔබගේ ජීවය සිඳී ගොස්ය

නැත පෙනෙන මානෙක
මේඝ වලාවක සේයාවක්වත්
හෙළා මහවැසි
සෝදා හැර පවිටුන්
යළි පුබුවන්නට
ඔබ මත
ඒ තුරුලතා පෙළ
යළි උපදින්නට
ඒ මනරම් දියවැල්

බලා සිටිමි
කඳුළු පිරි දෙනෙතින්
තවමත් උස්ව නැගී සිටින ඔබ දෙස

ඉස්සුවේ- [රාවය- 18 පිටුවෙන්]


නිර්මාල් රංජිත් දේවසිරි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පාන්දර පුතා මට කියූ විදියට
බොහෝ දුර ඇවිත් නැග පුතුගෙ රථයට
නතර කර පසුව නගරෙක ගසක් යට
හුස්ම හිරවුණත් පෙන්නුවෙ නෑ පිටට

පුත නුඹ වඩාගෙන මම ඉස්සර දිනෙක
ගමනක මහන්සිය හැර ගන්නට රැයෙක
නැවතුණ මෙතන මේ ගස හොඳ හැටි මතක
මෙතනට මාව ගෙන ඒමම පුදුමයෙක

ඉතින් පුතේ නුඹ බිහිවූ දිනේ සිට
ඇතින්නියකගේ හදකින් ලද පෙමට
ගිහින් එමි කියාවත් නොකිය යන විට
ඇහෙන් ගලා හැළුණා හදවත බිමට

අතේ තියපු රුපියල් දාහ හරි බර
හිතේ සවිය ගෙන ඉමි දෑස් ගුළිකර
රතේ පදිද්දී කලබලයකින් තොර
පුතේ පරිස්සම් වී පලයන් ගෙදර

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
''බුදු රැස්'' වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ

ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
විදුලිය කොටන විට වැහි මන්දාරමට
එළියට ගිහින් බැලුවොත් පේවී යසට
''බුදු රැස්'' පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
නිතින් රැඳේ ''බුදු රැස් මාලා'' නිසැක

දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා
ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා
කලින් කලට කියනා බොරු සීලෙ පපා
බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සොබා දහම කම්පා වෙලා තියෙන්නේ ජනරාල් සිර ගත කරගෙන හිඳීම නිසයි.
-ටිල්වින්
[පුවතක්]


අනේ ඔව්
ඒක තමයි කොම්රෙඩ්!

ඔය විතරක්යෑ.....,

ඉන්ද්‍රිය අප්‍රාණිකත්වය
ක්ෂණික මෝචනය
ධාතු අඩස්සිය
ඇඟ උණුකරවා යාම
සුද යාම
මාස් ශුද්ධි පමාව
ඔය කී නොකී කොයි දේටත්
එකම හේතුව
ඕං ඔය තුමා ඇතුළේ හිඳීමයි!

මාක්ස් ලෙනින් එංගල්ස් කස්ත්‍රෝ ළඟට
ඕං ඔය තුමයි එල්ලිය යුතු හැඩට
දැවුන ටයර්වල ගඳ එහෙ මෙහෙ වෙන්ට
හඳුං කූරු ලොරියක් දල්වමු එවිට

ඒ මදිනම් දහසක් කැට හොල්ලාලා
ඒ මුදලින් චයිත්තියක් බන්දාලා
''ජනරාල් මහ සෑය'' යනුවෙන් නම දාලා
වඳිමු ඕං එතුමට පිං පමුණෝලා

පංති අරගලය (හූ) මොන ලබ්බක් ද
දයලෙක්තිකය (හූ) ඒ මොන මඟුලක් ද
ඉතිහාසේ (හූ) මොන ඇටි කෙහෙලක් ද
බවුතිකවාදෙ (හූ හූ) මොන රෙද්දක් ද

ඔන්න ඉතිං එක දවසක් පාන්දරින්
සුදු අලියෙක් සුදු නෙළුමක් අරං හොඬින්
තැබුවා නෙළුම සෝමා දේවියගෙ නැබින්
''සිදුහත්'' කුමරු පිළිසිඳ ගති එතැං පටන්

බුදු වෙන්නට පිං මදි වුණි කුමරුන්ට
මග ඇණුනා ඉන් පස් වග මහණුන්ට
කට කට ගගා වෙවුලනකොට හීතලට
''ඉස්-ට්‍රැට-ජිය''[1] හැරෙයි ''බුදු ගුණ ගීය''කට!

බඹරු බඹරුමය ගුමු ගුමු ගෑවාට
දෙබරු දෙබරුමය පැණි වද බැන්දාට
වඳුරු වඳුරුමය බිම බඩ ගෑවාට
මකරු මකරුමය සුදු රෙදි ඇන්දාට!

මකරි ගෙනාවා අටවං පරිවාසේ
මකරා එක්ක බුදියෑවෙත් සංතෝසේ
පදිරි වැඩ මදිද කළ දැං ඉතිහාසේ
මකරු එක්කම ද බොල තොපෙ සහවාසේ?


2010-05-20

1- Strategy- (කැමති නම් මෙය ''හිස්-ට්‍රැට-ජිය'' ලෙස ද ගත හැක- Histrategy)

කූඹියා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


සිරකරුගේ කවිය!

ඉක්මනට සෙනසුරාදා එන්න!
සතියේ දවස් නීරසයි එන්න!!
කන්තෝරු හිරගෙදර දුක් විඳින
සිතට සිහිලසක් අරගෙන එන්න

"ජීවිතය" පැය අටක් නො වන වග
දින දෙකක් දිවි ගෙවා දැනගන්න
රළු කටුක දවස් පහ විසුණු කර
ඇවිත් යන්නට වුණත් ඔබ එන්න

දූපතක ගෙවී යනමුත් දවස
ජිවිතය මහාද්වීපයක් බව
හතරවට මූදු වෙරළෙන් එපිට
ලෝකයක් තිබෙන බව දත යුතුය

'පඩියකින්-පඩියකට' පනින විට
හැමදා ම කොන්ද කැඩුණැයි හඩන
ණය බරින් පෙළෙන දිවි ගිම් නිවන
මෙඟක් කොහි හෝ තිබිය යුතු නොවෙද?

සඳුදාට ඇස් අරින උදෑසන
ගෙවූ දෙ දින සිහිනයක් දැයි හඟින
දින පහක් විය ගඟට ගෙල පුදන
දෙපා-අම්බරු සකිය! පිබිදෙන්න!!

බන්දුල ජයවීරගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය වන 'තෝරාගත් කෘති' පොතෙන් උපුටා ගන්නා ලදී.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



මේ සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ හෝ පැමිණීමට සූදානමින් පසුවනවා ඇත. මෙහි අරමුණ ශ්‍රී ලාංකාව අවසන් පූර්ව තරගයේදී ලැබූ පරාජය සම්බන්ධව, සංගක්කාර ප්‍රමුඛ තරුණ රෑනට දොස් දෙවෙල් තබනවා වෙනුවට රාජපක්ෂ රෙජීමයේ බල පරාක්‍රමය මහිමයෙන්, මෙරට ජනප්‍රියම ක්‍රීඩාව තල්ලු වී ඇති අවසනාවන්ත ඉරණම ගැන සටහනක් තැබීමය.

මට හැඟෙන ආකාරයෙන් මෙම තරගාවලියේදී සහ ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක විට ප්‍රතිවාදීන් දෙදෙනෙකුට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. ඒවානම් ප්‍රතිවාදී කණ්ඩායම හා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ටෙරාන් ජයසූරිය ය. ඒ අනුව අවසන් තරගයේදී ශ්‍රී ලංකාව පරාජය වූයේ එංගලන්ත කණ්ඩායමට සහ ජයසූරියටය.

සනත් මෙරටට ක්‍රිකට් වලින් අතිශය කීර්තියක් අත්කර දුන් බව සැබෑවකි. නමුත් තම අතීත කීර්තිය ආයුධය කරගනිමින් යැපීමට භාවිතයේ යෙදෙන්නේ නම් එය නින්දිත තත්ත්වයකි. ක්‍රීඩකයෙකු වේවා වෙනයම් වෘත්තීයවේදීයෙකු වේවා වෘත්තීය වශයෙන් විශ්‍රාම යායුතු කාල නිර්ණායක ඇත. ජයසූරිය වෙනයම් වෘත්තියක නියැලුනි නම්, ඔහුගේ විශ්‍රාම යෑම සම්බන්ධව අප ගැටලුක් නැත. ගැටලුව ඇත්තේ ඔහු නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට හා තරුණ ක්‍රීඩකයන්ට වන බලපෑම සුළුපටු නොවීම හේතුවෙනි. මෙහි ප්‍රතිඵල ලෙසින් දිනේෂ් චන්දිමාල්ට, ජීවන්ත කුලතුංග, මහේල උඩවත්ත, සමන් ජයන්ත ආදීන්ට අත්වූ ඉරණම අප දුටිමු. සමහර විට මෙය රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක ක්‍රීඩාවක් නිසාවෙන් සහ දැන් ඔහු රාජ්‍ය බලයෙන් සන්නද්ධව මත්ව සිටින හෙයින් විශ්‍රාම ගැනීම වයස අවුරුදු 65 දී දැනුම් දීමට ඉන්නවා වෙන්නට පුළුවන.

කෙසේවෙතත් රාජාධි රාජ අනුග්‍රහයෙන් අනුහසින් මාතර දිස්ත්‍රික් ජනතාවගේ 74,000 කට අධික මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්වූ ජයසූරිය මන්ත්‍රීතුමා පසුගිය දිනෙක දිනපාතා ජාතික පුවත් පතක් වෙත කරන ලද ප්‍රකාශයක් වෙත අවධානය යොමු කරනු කැමැත්තෙමි. ඔහු කියා සිටින්නේ තමා 2011 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. එය දුටුවිට ක්‍රීඩාලෝලී අප අන්ද මන්ද වී ක්ලාන්ත තත්ත්වයක් උදාවීම වරදක් නැත. හේතුව බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූවද එය හරහා අපට දෙන ඉඟියක් බව තේරුම ගැනීමට අප උකටලී නොවෙමු. එයනම් ජයසූරිය අනිවාර්යයෙන්ම ලෝක කුසලාන තරගාවලියද නියෝජනය කරනු ඇත කියාය. එම නිසාම තමන්ගේ සුවිශේෂීම තරගාවලියේදී ප්‍රතිවාදීන් දෙදෙනෙකු ට මුහුණ දීමට අපේ තරුණ කොලු රෑනට පහසුවක් නම් නොවනු ඇත. මේ සියල්ල දෙස බැලීමෙදී අපට හිතට දැනේනේ ''එක්කෝ අපට පිස්සුද?, නැතිනම් ගරු මන්ත්‍රීතුමාට පිස්සුද?'' කියාය. අපට පිස්සුනම්, අප එයට වෛද්‍ය උපදෙස් ගැනීමට සූදානම් නමුත් ගරු මන්ත්‍රීතුමා එයට සූදානම් දැයි දන්නේ එතුමාම පමණි.

වරක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ ඔහු නැවත කණ්ඩායම හා එක්වන්නේ විධායකයේ අනුපමේය අනුහසිනි. ඉන් පසු ඔහුගේ නම ඉදිරියෙන් කතිර ගැසීමට කිසිවෙකු ඉදිරිපත් නොවීය. එම උපකාරයට ඔහු කෘතගුණ දක්වන්නේ පසුගිය ජනාධිතිවරණයේදී දේශපාලන වේදිකාවන් හි උගුරු ලේ රහ වනතුරු සංවේදී කථා පැවැත්වීමෙනි. සියළු බෙලෙන් දෙවැනිවර ද විධායකයේ බලය ලබාගන්නා සංවේදී නායකයාණන් ජයසූරිට නැවත කෘතගුණ සලකන්නේ මාතරින් පාර්ලිමේන්තුව වෙත යැවීමෙනි. චිරාත් කාලයක් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස බල අධිකාරියේ අනුසින් වැජඹෙන ජයසූරිය IPL තරගාවලියේ දී එක තරගයකට සීමා වන්නේ මෙරට තේරීම් කමිටුවේ නිරුවත ලොවටම පෙන්වමිනි. නිරුවත් එකක් නොව දහසක් පෙන්නුවද, තවමත් 2011 ලෝක කුසලානය ගැන ජයසූරිය බලාපොරොත්තුවෙන් සිටින්නේ ඉහත බලඅධිකාරියේ අසහාය බලය ගැන ඔහු හොඳින්ම දන්නා නිසාය.

තරුණ ක්‍රීඩකයෙකු අසාර්ථක වූ සැණින් කණ්ඩායමේන් ඉවතට විසිකරනා ශ්‍රී ලංකා තේරීම් කමිටුව, ජයසූරිය වෙනුවෙන් වෙනස්ම ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ජයසූරියගේ ස්ථානය අහිමිකිරීම තේරීම කමිටුව තුළ ඔවුන්ගේ ස්ථානය අහිමි වීමට හේතු පාදක වන කරුණක් වන නිසාද? සනත් ලෝක කුසලානය යවන්නේනම් මෙවර දිනේෂ් චන්දිමාල්ට වූ දෙයම ජීවන්තටත් නොවන්නේයැයි කාටනම් කිව හැකිද?

තම මංගල තරගාවලියට සහභාගී වූ දිනේෂ් චන්දිමාල් වැනි අපේ ක්‍රිකට් අනාගතය ක්‍රීඩාගාරයේ තබා පිටිය මැද වෙනින් විහිළුවක් කළද අලුතෙන් පත්ව ආ ක්‍රීඩා ඇමතිවරයාටද වගේ වගක් ඇති බවක් පෙනෙන්නට නැත. ඇමතිවරයාද මෙම තත්ත්වයට මැදිහත් නොවී නොදුටු සේ හිඳින්නේ විධායකයේ සුරතලුන් සමඟ කොකු දාගැනීම තමාගේ ශරීර සෞඛ්‍යයට කොහෙත්ම හොඳනැති නිසා වියයුතුයි.

නමුත් එකක් පැහැදිලිය. 74,000 ක මනාපයෙන් 2010 දී පාර්ලිමේන්තු ගියත් ඔහුට මනාප දුන් සැම සිටින්නේ 1996 ලෝක කුසලානයේ ආතල් විඳිමින් බව නම් නියතය. නැතිනම් මාතරින් ප්‍රථම තැනට ගේන්නට වෙනත් සාධනීය කරුණු කිසිවක් නැත. ඔහුට අධ්‍යාපනය හෝ වෙනම් වෘත්තිමය සුදුසුකමක් ඇතිදැයි අපි නොදනිමු. ඔහුට ලැබුණු කීර්තිය සහ එකල දක්ෂතාවයේ අනුභාවයෙන් ආසියාවේ කොටිපතියෙකු වූ සනත්ට මිනිසුන්ට වැඩක් කිරීමට පාර්ලිමේන්තුවට යන්නට අවශ්‍යය නැත. ඔහුගේ අරමුණ පැහැදිලිය. තමන්ට කැමතිතාක් ජාතික කණ්ඩායමේ රැඳී සිටීමට අවශ්‍ය බලය නිර්මාණය කරගැනීම යන කාරණාව දැන් පැහැදිළිය. මේ ගෙවෙන්නේ එම කාරණවේ අරමුණු මුදුන් පත්ව ඇති සමයයි.

රූපවාහිනියේ ක්‍රිකට් තරග නරඹන විට අප දැන් ලන්සු තබන්නේ ජයසූරියගේ 6 පහරවල් ගණනට නොව ඔහු විකට්ටුවේ ක්‍රීඩා කරනා පන්දු ගණනයට. ජාත්‍යන්තර විස්තර විචාරකයන් ජයසූරියගේ නිතරම වයස ගැන සඳහන් කරන්නේ සිදුවන විනාසය ඔවුන්ද වටහාගෙන ඇති නිසා වෙන්නට පුළුවන. (කුමන හෝ මොහොතක මෙය අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රනයක් යැයි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවක් තැබීමටද බැරි නැත!)

මෑත ක්‍රිකට් පිටියේ විශිෂ්ටයන් ගණනාවක් නවකයින්ට තැනදීම වෙනුවෙන් සහ තමන්ට බැරිවූ විට ක්‍රිඩාවට ගෞරවනීයව සමුදුන් අයුරු අප දුටුවෙමු. ස්ටීව් වෝ, ගිල් ක්‍රිස්ට්, ක්‍රිස් කෙයෑන්ස්, ඇන්ඩෘ සයිමන් වැන්නවු ගේ සමුගැනීම් සහ දැන් එම රටවල් තරණ ක්‍රීඩකයන් ඔස්සේ ලබා ඇති දියුණු අපගේ ඇස් පනාපිටම බලාගත හැක.

සටහන මෙසේ අවසන් කරන්නට සිතමි.
ඒ දන්නා හඳුනන එහෙත් තම සේවාස්ථානයට පලක් නැති අයෙකුගෙන්, වරක් ඔහුගේ ඉහළ කළමනාකාරීත්වය අපූරු ප්‍රශ්නයක් ඇසූවේය.

කළමනාකාරීත්වය - ''ඔයා මේ ඔෆිස් එකට ආදරේද?''
සේවකයා - ''ඔව්'' (නොපැකිලිව පිළිතුරු දෙයි.)
කළමනාකාරීත්වය - ''ඒහෙනම් කරුණාකරලා මෙහෙන් අයින් වෙලා යන්න.''

එහෙයින්, අපට කියන්න ඇති දෙයද ගරු.ජයසූරිය මන්ත්‍රී තුමාට තේරුම්ගැනීමට අපහසුවක් නොවනු ඇත.

[කාටූනය- දර්ශන කරුණාතිලක විසින් අඳින ලද්දකි. උපුටා පළ කරන ලදී.]

ක්‍රිශාන් රාජපක්ෂ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


කක්ෂාදීප | (ක්)ෂාර සංග්‍රහය | [ප්‍රාරම්භ කලාපය- 2010 මැයි 20 බ්‍රහස්පතින්දා]

කක්ෂා බබා

ඒ වුනාත, අහිංතක දැක්සන් මාමිත කොලපු අපලාදෙත මුන්ද හෙන ගහන්ද ඕනෙ කියලා දඟයලගේ බාප්පි කිවුවාය. ඒ බාප්පි දැක්සන් මාමිගේ ලාලුවෙක් හින්දා එහෙම කිව්වාත මතත් නං මේක නං අලිම අලි පුස්නයකි. මේ පුස්නය ගැන හිතල හිතලාම මත දැන් මහන්තිය. මත පුස්නයක් කතා කොල ගන්ඩ ඉන්න එකම ලාලුවා පහළ ගෙදල දඟයාය. දඟයාතවත් මේ පුස්නය ගැන කිසිම වුවමනාවක් නැත. අන්තිමේදී බැලිම තැන, දාතික වීලයෙක් වගේ ඉන්න දැක්සන් මාමි මේ තලං මාන්ති වෙලත් ලූපවාහිනියත වෙන මාමියෙක් දාපු එක ගැන පුස්න අහලා මම දනාදිපති මාමිත ලිවුමක් ලිවුවාය. තික දවසකින් දනාදිපති මාමි ලියුම ආව බව දන්නලා මට තල ගුලි පාර්සලයක් එවුවාය. ගුලි පාර්සලේ දැකපු බාප්පියා කිවුවේ එකත් එකටම දැක්සන් මාමිටත් ඔය වගේම ගුලි පාර්සලයක් යවන්ද ඇති කියලාය. පුස්නයක් අහපුවහම උත්තල වෙනුවට ගුලි එවන මේ වගේ දනාදිපති මාමිලා නැති රටවල් වල පොදි ළමයි කොච්චල පවුද කියා මට සිතුණෝය. ගුලියෙන් ගුලිය ලෙහ ලෙහා කද්දී මට තිකෙන් තික දැක්සන් මාමිව අමතක වෙලා ගියෝය.

කක්ෂා ටෝක් ෂෝ

මහ මැතිවරණ සමයේ බිබිල ආසනයට යැවූ එජාප ප්‍රතිපත්ති ප්‍රකාශන තොගයක් පරණ බඩු කඩයක තිබී ඉකුත් දා හමුවිය.
-කරළියේ කතාබහෙන්. ලංකාදීප

හෆොයි හෆොයි! තව ටික දවසකිං ඕකෙ ලොක්කවත් ඔය කඩේ ඇතුළෙන්ම හම්බවෙයි!

''ක්ෂිතිජයට උඩින් ලොව දකින මිනිසෙක් අවශ්‍යයි''
-උසස් අධ්‍යාපන ඇමති ඇස්. බී. රාවයට කියයි.

ලා..ලල.. ලාල ලලාලා - ලා..ලල.. ලාල ලලාලා
පාත්තරේ ඉරක් ගියානේ - කොහොමද දං වළදන්නේ?


''සේවකයන් හික්මවීම සඳහා දන්ඩණය සුදුසු නැහැ. ගහලා බැණලා හදන්න පුළුවන් නම් ලෝකයේ ඉන්න බුද්ධිමත්ම පිරිස මීහරක්!''
-පළාත් සභා මාණ්ඩලික නිලධාරීන් අමතමින් හිටපු කතානායක වි.ජ.මු. කියයි.

සෙංකෝලෙ අරං දුවද්දි ඔය හික්මීයා නිවාඩු ගිහිං ද හිටියේ ආයිබෝං?

''ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තියෙන්නෙ නාස් ලණුවක් නැති ගොනෙක් වගෙයි. හිතුමතේ ගිහින් ඔහේ ඇණ ගන්නවා.''
-මේරියන්ස් නලින් පෙරේරා ලංකාදීප සඳැල්ලට කියයි.

තරාවෙන්ඩෙන්පා.... අපි හිතං හිටියෙ ඔයත් ඒ ජාතියෙ ගොනෙක් කියලා තමා. ඒත් මේ වික්ටර්ලා එක්ක කරන්න යන අන්ප්ලග් වැඩේ රහක් තියන වැඩක්. අරින්ඩෙපා මස්සිනා. අරින්ඩෙපා!


කක්ෂා ලහි-පිට

නළු නිළි වරම්-
රියත අතිරේකයේ කොටස් වශයෙන් පළවෙන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ලියන ''පංචායුධ කුමාරයාගේ කතාව'' ඇසුරෙන් වෙසක් නාට්‍යයක් කිරීමට සියළු කටයුතු යොදා ඇත. නවක නළු නිළියන් සියළු දෙනා නාට්‍යය අතරමග පාර්ලිමේන්තු නොයන බවට පොරොන්දු වී දෙමව්පියන් ලවා සහතික කරන ලද ලිපියක් අයදුම්පත සමග එවිය යුතුය. අයදුම්පත් එවිය යුතු ලිපිනය- ජුදාස් ඉස්කාරියේට් මයා, ''ඇළදිව'' News Papers Pvt Ltd, සුළුදිව, දඹදිව.

ඈවරයි දෑවරයි!
කල් ඉකුත් වූ සුපර් ස්ටාර් පොල් කුඩු තොගයක් වෙන්දේසි කෙරේ. අවම මිල හොණ්ඩරය දෙකයි පණහේ සිට ඉහලට. විමසීම්- කුසාර ඩිනාල්, නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන කළමණාකාරු, තුන් හුළස ටී.වී, රහ මාජා බිල්ඩිං, කොඹල.

රචනා තරගයක්-
''එ.ජා.ප.යේ වත්මන් අර්බුදයට විසඳුම කුමක්ද?'' යන මැයෙන් දීප ව්‍යාප්ත රචනා තරඟාවලියක් අරලිය පොත් මැඳුර මගින් සංවිධානය කර තිබෙන අතර දැනටම ආදර්ශ රචනා කිහිපයක් පුවත් පත් වල පළ කොට තිබේ. ජයග්‍රාහකයාට පා.ම. හූරියප්පෙරුම සහ අතක් ගනිං හෙට්ටිආරච්චි සමග මරදොඩලාව චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනක ගීතයක් ගැයීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. ඊට අමතරව ලොව පුරා ලක්ෂ ගණනින් අලෙවි වන ''ඝරු ඛඨාණායඛථුමණි'' නැමති කෘතියේ කතුවරයා සමග යාල්පානම් සවාරියක් යෑමේ දුර්ලභ වරම හිමි වෙනු ඇත.


කක්ෂා බහු-වරණ

අ. තම්බපණ්නියේ විල්පත්තු කැලේ මහ මූකලානේ රිංගමින් දහ දුක් විඳිමින් ජෑක්සන් ඈන්ටෝනියෝ පඬිවරයා, කුවේණියව සොයන්නේ කුමකටද?

1. ගෙදර වැඩට කවුරුහරි හොයලා දෙන්නැයි හැමදාමත් කුමාරි බර බර ගාන නිසාය.
2. කුවේණිව කොඹල ගෙනත් අවර්ණවාහිනියේ රස්සාවක් අරන් දී ඈ ලවුවා යෙහෙළි ප්‍රෝග්‍රෑම් එක ප්‍රසන්ට් කරවීමටය.
3. ජීවහත්ත දිසාලාව ඉල්ලා ගෙනවිත් හෆං පැදුරේ සිංදු කියන්නට දමා පැදුර ආයෙත් නග්ගලා අරගෙන ටිකිරි මාරියාගෙන් කුට්ටියක් කඩා ගැනීමටය.
4. ඝන මූල, වර්ග මූල, තෘණ මූල, පණු මූල රජ්ජුරුවංවහන්සේ ඡන්දෙට කලිං වුන බාරයක් ඔප්පු කිරීම සඳහාය.
5. අපේ උරුමයේ අරුමය පාදා මතු පරපුරට ගෙනයාමටය.

ආ. ගණිත ගැටළුවකි. ජනතාව තුනෙන් දෙකක් දුන්නේය. දැන් ජනතාව ළඟ ඉතිරි කීයද?

1. ප්‍රශ්ණේ වැරදියි. ජනතාව හිටියෙත් තුනම නැති වෙලාය.
2. ප්‍රශ්ණේ වැරදියි. ජනතාව කියා දෙයක් නොපවතී.
3. බිංදුවයි ඕයි බිංදුවයි. කොහොමත් ජනතාවට බිංදුව තමා.
4. ඇයි ගොනෝ තුන රින දෙක එකයිනේ?
5. දුප් පරයා. අපි මේ ඉතුරු එක බේර ගන්ඩ බැරුව නහිනවා. මූ එනවා ප්‍රශ්ණ අහන්ඩ.

ඇ. ජෑක්සන් ඈන්ටෝනියෝ නිපැයූ හෆං පැදුර සහ අලුත් ආණ්ඩුවේ කැබිනට් එක යන දෙකම එක වාගේය. විමසන්න.

1. ඔව් ඉතිං දෙකේම වැඩියෙන්ම ඉන්නෙ ගෙදර කෂ්ටියනේ. පුතා, දුව, වයිෆ්, නැන්දා, මාමා, බාප්පා, බාප්පාගේ යාලුවා, යාලුවාගේ ගෙදර ටොමියා, ටොමියාගේ මැක්කා, මැක්කාගේ අක්කා, අක්කාගේ චුක්කා ආදී වශයෙන්.
2. ඔව් ඉතිං දෙකේම හොඳම සිංදු ටික කියන්නේ ගෙදර අයනේ.
3. ඔව් ඉතිං දෙකේම හොඳම අය වාටියේ වේලෙන එකනෙ වෙන්නෙ.
4. ඔව් ඉතිං දෙකේම සිංදු කියන්නෙ බබ්බුනේ.
5. අනේ අය්යෙ මං නං දන්නෑ. අපේ ඇංටනාව බුරුල්. හෆං පැදුර පේන්නෑ!


කක්ෂා ඛතන්දර

කරෝලිස් වස්තුව
(''රානි පජා - සාර මතා'' ජාතකය ඇසුරෙනි.)

තවද එක් සමයෙක, කක්ෂාදීපය නම් රාජ්‍යයක, රුපුනොද බිඳ කෙහෙළි නැංවූ මහ පුරිස් ලකුණැති රජ්ජුරුකෙනෙකුන් දැහැමෙන් සෙමින් රට කර කර කර ඉන්නාහු, ස්වකීය දෙවන ධූර කාලයේ පශ්චිම යාමයට එළඹෙන නියා දැන, අන් ඕනෑම නරෝත්තමයෙකුට සේම ධූර කාලය සදා සොත්ථී භවන්තුතේ කර ගැනීමට දොළක් පහළවැ, ජන මත සමීක්ෂණයක් කළ මනාවැයි සිතන්නාහු, තල්පත් යවා ප්‍රත්‍යන්ත ජනපදයක අකුරු කරවන කරෝලිස් නම් සරසවි ඇදුරෙකු රජ වාසලට ගෙන්වාගත් සේක. ඒ වන විටද ජන මත සමීක්ෂණ විෂයයෙහි කෙළ පැමිණ සිටි කරෝලිස් තෙමේ රජ අණ සම්පූර්ණයෙන් දෙසා බෑමටත් පළමුවෙන්, කලු නම් මානවකයා මාරපන ගිය පරිද්දෙන්, තනි අණ්ඩෙන් කුන්දු පනිමින් සමීක්ෂණ පුස්තකය ද අතැතිව පසල් දනවු කරා විදුලි වේගයෙන් නික්මී යන්නට වීය.

ඉහින් දහඩිය ද කණින් මී ඉටි ද කටින් ඛේඨය ද වගුරවමින්, ගිනි කූටක අවුවේ මහ මග යන්නා වූ කරෝලියා ඉදිරියට පළතුරු වට්ටියක් හිසින් ගත් මහත දෙහත ස්ත්‍රියක් එන්නාහු, නමෝ විත්තියෙන් මේ වෙළඳ ස්ත්‍රිය විචාළමියි සිතැත්තේ ඈ නවතා කලින් සකසා ගත් පැනය නගන්නට වීය. ''අප මහා රජ්ජුරුවංවහන්සේ නුඹලා ගැන අප්‍රමාණ අනුකම්පාවෙන් තෙවන වරට ද ධූරයට පත් වෙන්නට සිතන්නාහු. ඒ ගැන තොපගේ අදහස් විචාලන්නට මම ආමි''යි කී සැණින් යථෝක්ථ ස්ත්‍රියාව නිහඬවම පළතුරු වට්ටිය බිම තබා විශාල දූරියන් ගෙඩියක් අතට ගන්නා නියාව දැක, බිළාලයෙකු දුටු මූසිකයෙකු පරිද්දෙන් මහත් බියට පත්ව, කරෝලියා තමා කුඩා කළ ප්‍රගුණ කළ දශ ප්‍රයාම ඉසවුව ද දුර පැනීම ද තුන් පිම්ම ද යන ඉසවු ත්‍රිත්වයම එක වර ප්‍රදර්ශනය කොටැ අන්තරස්දහන් වැ සිතිජ රේඛාවෙනුත් යොදුනක් එහා ඝන වනාන්තරයකින් මතු වීය.

බිඳුණු සිතැත්තේ ඉදිරියටම යන්නාහු, මහ වන මැද කුඩා හමුදා අණු ඛණ්ඩයක් බිම කොටා අල හාරමින් සිටිනු දැක උන් වෙත යන්නාහු, සිතට එඩි ගෙන පෙර කී පැනයම විචාල සඳ එතැන එසැණින් හාරන ලද අල පවා ඉවත ලෑ කුඩා හමුදා අනු ඛණ්ඩය උඩට වෙඩි තබා රයිපල් ද ගෙන පේළි සැදී ලෙප් රයිට් ද නොකියා වහාම ගමනේ යන්නට වූයෙන් නැවත ද බිඳුණු සිතැත්තේ මහත් දුකෙන් මෙන් කුඩා අලයක් ද හප හපා ගම් තුලානට ගාටන්නට වීය.

ගම් තුලානට වැද, ස්ත්‍රියාවන් සමූහයක් දිය ස්නානයේ යෙදෙන එක් පොදු ළිඳක් අසබඩට යන්නාහු, කරෝලියා සුපුරුදු පැනයම එකී ස්ත්‍රියාවන්ගෙන් අසන ලදුව, පැනය නිම වීමටත් පෙර සියොළඟ සීතලව යනු දැනී, දෑස් විවර කොට බලන විට තවත් දිය බඳුනක් ගෙන ඒ දෙසට එන මාරදූතිකාව දැක මහත් භයට පැමිණ ළඟම ඇති පුවක් වෘක්ෂයකට බඩ ගා පණ මෙන් රකින්නා වූ ස්වකීය කරෝල සුගන්ධය දිගටම රැක ගන්නට සමත් වී, ස්ත්‍රියාවන් සියල්ලෝ ස්නානය කරන තුරු පුවක් වෘක්ෂය මුදුනේ ලැගුම් ගෙන සිට අවසන් ස්ත්‍රියාව ද ගිය පසු වෘක්ෂයෙන් බැස, ඇතුළුපුරය දෙසට පිය මනින්නට වීය.

ඇතුළුපුරයේ දී පවා සමීක්ෂණ ප්‍රතිඵලය ලෙස අඳ ගොළු බිහිරි ප්‍රතිචාරයන් ද ඇතැම් තැනෙක කැට කැබලිති ප්‍රහාරයන් ද ලද්දේ, අවුල්වැ ගිය මනසින් තුවාල ලෙව කා ගනිමින්, මේ අසුබ ප්‍රතිඵලය රජ්ජුරුවංවහන්සේට දැනුම් දී මඟුලැතු ලවා ලවා අස්ථී පඤ්ඤරය සම්බාහනය කර ගැනීමට වේදෝ යි මහත් ආතතියෙන් සැලෙමින් කරෝලියා වාසල දෙසට පසු බසින්නාහු, අධික විඩාව සංසිඳුවා ගැන්මට වෙල් යායක් ළඟ දොළකින් දිය පානය කරද්දී ඈත වෙලේ සිටි පඹයෙකු ඇස ගැටුනේ නව ජවයක් ලද්දා සේ නැගී උමතු හැඟීමෙන් ඒ දෙසට යන්නට වීය.

ස්වකීය ප්‍රයාමය හැර දැමීමට පෙර අවසන් වරට මේ පඹයා විචාළමියි සිතා, සුපුරුදු පැනය පඹයාට ද යොමු කරන්නට වීය. ව්‍යවස්ථාව හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිදු දැනුමක් නැති පඹ තෙමේ සුපුරුදු ගොළු වතින් කරෝලියා දෙස බලා සිටින්නට වූ සඳ, අඩ උමතුවෙන් සිටි කරෝලියා පරුෂ වචනයක් ද බෙණවා ''යකෝ රජ්ජුරුවෝ ආයෙ එනවට තෝවත් කැමතියි නේද?''යි අසමින් පඹයාගේ කඳින් අල්ලා මාරාවේශයෙන් මෙන් සොලවන්නට වීය. එවිට පඹ ඔලු මුට්ටියේ එතෙක් වේලා බහු කන් මන්ත්‍රණයක නියැලෙමින් සිටි ගිරවුන් තුන් දෙනෙක් මුට්ටිය සැඩ සුළඟකට හසුව සෙලවෙන නියාව දැන මහත් සේ බිය පත්ව පඹ ඇස් ද්වාර වලින් එළියට රිංගා, සිදු වූ හුට්ටප්පරය විමසන්නේ, කෙස් අවුල් කරගෙන පඹයා සොලවමින් සිටි කරෝලියා දැක ''නොදකින්'' කියා, වර්චස් පිඩ පිඩ පිඩ බැගින් කරෝලියාගේ මුවෙහි හෙලා ක්‍රෑක් යන අනුකරණයෙන් ඉගිලී යන්නට වූහ. කලබල වූ ගිරවුන් දැඟලීම හේතු කොට ගෙන එතෙක් පඹ කඳ මත කෙළින් තිබූ මුට්ටියේ සමබරතාවය ගිහිලී පඹ හිස පහළට කඩා වැටුණෙන්, ඒ දැක පඹයා සිය පැනයට ''හා'' කිවුවේයැයි සිතා කරෝලියා මහත් චිත්ත ප්‍රමෝදයට පත් වී නෑඹුල් මනමාලියක සේ පඹයා තුරුළු කොටැ, මුට්ටි මුහුණ මත හාදු වර්ෂාවක් වස්සවන්නට වීය.

අනතුරුව, ඒ කරෝලිස් ඇදුරා දොළෙන් මුව දෝවා පිරුවටයක් හැඳ වාසලට ගොස් රජ්ජුරුවං වහන්සේ ළඟ දණ ගසා ජන මත සමීක්ෂණ වාර්තාව ඔප්පු කරන්නට වීය.

එකී වාර්තාව මෙසේ බව දත යුතුය.

''තවදුරටත්, කක්ෂාදීපයේ ජනතාව යැයි කිසිවෙකුත් ශේෂව නැති සෙයකි. සිටින්නෝ නම් පඹයෝ වෙති. ඉන් ද පැනයට එකඟව පිළිතුරු දුන්නේ එක පඹයෙක් බැවින් ඔබ වහන්සේගේ ධූර කාලය සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් දක්වා දිගු කරගැනීමේ යෝජනාව එක් වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කොට තිබේ.''

ඉන් පසු සිදු වූ දේ නොකියවමනාය.

මවුලි මංගල්ලයෙන් පසු වහාම ක්‍රියාත්මක වෙන පරිදි, ඒ වන විට ඉතිරි වී තිබූ එකම ඇමති ධූරය වූ රෝම කූප ප්‍රවර්ධන ඇමති ධූරයට කරෝලියා පත් කරන්නට යෙදිණි.

කක්ෂාදීපයේ පෙර සිරිත් ප්‍රකාරවම, නව යුගයේ සංකේතය වූ එකී නිර්භීත පඹයා රජ්ජුරුවංට පමණක් දෙවැනි අගමැති ධූරයට පත් කරන්නට යෙදිණි.

ඒ ඓතිහාසික තීන්දුව ලබා ගැනීමට අමිල සේවයක් කළා වූ ගිරා පෝතකයන්ට ද යමක් ප්‍රදානය කළ යුතු වූයෙන්, උන්ට නිදහසේ අල්ලාප සල්ලාපයේ යෙදිය හැකි වන පරිදි, අගනුවරට නොදුරු දිය වළක් මැද සියළු පහසුකම් සපිරි බහුකන්මන්ත්‍රණ ශලාවක් තනවාලා බාර දෙන්නට යෙදිණි.

කක්ෂාදීප | (ක්)ෂාර සංග්‍රහය | අග්නිදිග සයිබෝරියාවේ වැඩියෙන්ම කියවන කොබ් වෙලම | (සියළු නම් ගම් මනඃකල්පිතයි)

කක්ෂපුට

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


2010 අප්‍රේල් මස 28 වන දින ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කල, රාජගිරිය MDDR රැස්වීම් ශාලාවේ පැවැති නිර්මාල් රංජිත් දේවසිරි විසින් මෙහෙයවන ලද සාකච්ජාවට ප්‍රතිචාරයක් වශයෙන් බූන්දියෙහි පළ කිරීම පිණිස එවන ලද ලියමනකි. එම සම්බන්ධයෙන් අප පළ කළ ''ඔත්තුව'' මෙතනින් බලන්න.
-බූන්දි

බොහෝ ඈත එක් සමයක චීනයේ ලී හුන් ප්‍රදේශයට දීර්ඝ ශීත කාලයකට මුහුණ දීමට සිදුවුණා. වැසියන්ගේ බොහෝ ක්‍රියාකාරකම් අඩපණ වුණා. බොහෝ දෙනා සිසිර නිද්‍රාවක ගිලුණාක් මෙන් තම තමන්ගේ එදිනෙදා කටයුතු පමණක් කරගනිමින්, ශීතය අවසන් කර ගැනීම ගැන හෝ ශීතයට ශක්තිමත්ව මුහුණ දෙන ආකාරයක් ගැන හෝ නොසිතා ඉතාම අලස ලෙස කාලය ගත කලා. ඒකට ප්‍රධාන හේතුව වුනේ අප කවුරුත් නොසිතන අමුතුම ආකාරයේ හේතුවක්. එනම් වැසියන් සියඟ දෙනාම හිතුවේ; මේ ශීත සමය තමන්ට තමන්ගේ ජීවිතය උපරිම තැනකට රැගෙන යාම සඳහා සුදුසුම කාලය බවයි. ඒ සඳහා ඔවුන් ඉතාම තදින් වෙහෙස මහන්සි වී වැඩ කලා. ඒ නිසාම ඔවුන්ට ශීතලක් දැනුනේම නෑ. ඒත් එන්න එන්නම ශීතය වැඩි වුණා. ශීතය ගැන ටිකක් හෝ සවිඥාණික මිනිසුන්, මේ ශීතය ගැන නොසිතා වෙනමම ලෝකයක වැඩ කරන මිනිසුන් සැබවින්ම මිනිසුන් ලෙස කිසිවක් නොකරනා බව අවබෝධ කරගෙන සිටියා.

එමෙන්ම සාමාන්‍ය මිනිසුන් සිසිර නිද්‍රාවක ගිලී සිටීම යන්නත් ඔවුන්ගේ තේරුම් ගැනීමක්.

මේ ඉතාම පැරැණි සෙන් සම්ප්‍රදායකට උරුමකම් කියූ ප්‍රදේශයක්. ඉහත අවබෝධය සහිත පිරිස සෙන් දහම අනුගමනය කරන අයයි. මෙහි ප්‍රධාන සෙන් ගුරුවරයා නිකීතෝ හිමි නම. සෙන් බුදු දහම අනුගමනය කරන ගෝල හිමිවරුන් කීප දෙනෙක්, වරක් ශීතලත්, ශීතයට හුරුවූ මිනිසුනුත්, ශීතයට ඉතාම හොඳින් මුහුණ දීමට මෙතරම්ම හක්තිමත් සෙන් දහමක් තිබියදී එය අනුගමනය නොකිරීමත් ආදී බොහෝ දේ ගැන කථා කිරීමට රැස්වුණා.

එය තරමක් උද්යෝගී හමුවීමක්

''බැෂෝ'' කථාව ආරම්භ කලා.

'මේ වන විට සෙන් දහමට හා සෙන් ක්‍රියාකාරීත්වයට අභියෝග රැසක් එල්ල වෙලා තියෙනවා. ඒවා තැන් ගණනාවක විවිධ විදිහට ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. මම කැමතියි ඒවායින් ටිකක්
තෝරාගෙන ඒ පිළිබඳව කථා කරන්න. ඒවාට පිළිතුරු නොදී අපිට මඟ හැරලා යන්න බෑ. නමුත් අපිට උවමනා නම් මඟ හැරලා ඉන්නත් පුළුවන්. ඒත් එතකොට ඒ මඟ හැරීමයි, ශීතය අමතක කරලා අවදි නොවී වේගයෙන් වැඩ කරන මිනිස්සු අතරයි කිසිම වෙනසක් වෙන්නේ නෑ. අනිත් එක මේවා ගැන කථා කරමින් පිළිතුරු ගොනු කිරීමම තමයි, ශීතයට එරෙහිව මිනිසුන් අවදි කිරීමේ හොඳම මාර්ගය වෙන්නෙ'

බොහෝ අය ඒත් සමඟ තම තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම ආරම්භ කලා.

'ඩෙං ෂු' ගේ අදහස මෙහෙමයි.

''මේ දේවල් නිකම්ම කථා කරන්න බෑ. මේවා කථා කළ යුත්තේ ශුද්ධ වන්තයින් විසින් පමණයි. ශුද්ධවන්තයින් නොවන අය අපි මෙතැනින් ඉවත් කල යුතුයි.''

හැමෝම ඒකට එකඟ වුනා. ශුද්ධවන්තයින් නොවන අය සියල්ල තෝරා අවසන් කල පසු කිසිවෙක් සාකච්ජාව සඳහා ඉතිරි වූයේ නෑ. මේ නිසා වහාම එම ශුද්ධවන්ත නිර්ණායකය ඉවත් කිරීමට සිදුවුණා. නැවතත් රැස්වී සිටි සියළු දෙනා එක්ව සාකච්ජාව ආරම්භ කලා.

මේ අතර මෙම ගෝල හිමිවරුන්ගේ සාකච්ජාව දෙස ඉතාම ඕනෑකමින්, ඔවුන්ට නොදැනෙනා ලෙස නික්තෝ හිමි බලා සිටියා. කෙසේ වෙතත් නික්තෝ ගේ සිතුවිලි කිසිවෙකුටවත් ග්‍රහණය කරගත නොහැකි වුනා.
''ශුද්ධවන්තයින් නිර්ණය කරන විනිශ්චයකරුවා කවුරුන්ද? එක යුගයක ඔවුන් විසින්ම පත් කරගෙන සිටියේ 'එළිය'. මෙවර ඔවුන් ඒ සඳහා 'අඳුර' පත් කර ගනීවිද? විනිශ්චයකරුවෙකු පත්කර ගැනීමට මොවුන්ට ඇති මෙතරම්ම වූ උවමනාව කුමක්ද?''

සාකච්ජාව දිගටම කරගන ගියා. මේ අදහසත් 'ඩෙං ෂූ' ගෙමයි,
'අපි මේ පිළිබඳව කථා කිරීමට පෙර සෙන් සාහිත්‍යයේ ඉතිහාසය හරියට දැනගත යුතුයි. ඒවා දැන ගැනීමට මාර්ග කීපයක් අපිට තෝරාගත හැකියි. ඒ සඳහා කන්ද උඩ මාර්ගය සුදුසුයි කියලයි මම හිතන්නෙ.’

ඒ සමගම 'ලී හායි' තම කථාව ආරම්භ කලා.

ඔව් එවැනි ලෙස අපි ඉතිහාසය නිවරදිව නොකියවා මේ දේවල් අවබෝධ කරගන්න අමාරුයි.. මං හිතන්නෙ ඒ සඳහා කන්ද පහල මාර්ගය වුවත් යොදාගත හැකියි.

''ඒ විතරක් නෙවෙයි. අපිට මේ මාර්ගය හරහාත් ඉතිහාසයේ කරුණු නිවරදිව ග්‍රහණය කර ගැනීමට පුළුවන්'' ඒ 'කිතානෝ' ගේ අදහස.

'' ඔව් අපිට ඔය මාර්ග යොදා ගන්නත් පුළුවන් .එපමණක් නොවෙයි තව මාර්ග කීපයක් ම තියෙනවා. ඒවත් යොදා ගෙන ඒ අවබෝධයට එන්න පුඟවන්'' 'බැෂෝ'ත් එකතු වුනා.

මේ අනුව බොහෝ අය සෙන් ඉතිහාස අවබෝධයට එන ආකාරය ගැන තම තමන්ගේ අදහස් ඉදිරිපත් කලා. එනම් ඒ බොහෝ අය ඒ වන විටත් එම අවබෝධයට පැමිණ සිටි අයයි. පසුව එම අවබෝධය නොමැති අය කවුද යන්න විමසා බැළුවා. ඒ අනුව එක් අයෙකුට පමණක් එම අවබෝධය නොමැති බව අනාවරණය වුනා. ඔහු 'චිං කූ'. ඒ පිළිබඳව ඔහු මෙවැනි අදහසක් ඉදිරිපත් කලා.

''මට ඒ ගැන දැනගන්න උවමනාවක් නෑ. අපි සාකච්ජාව කරගෙන යමු.''

ඒත් සමගම සාකච්ජාව නැවතත් ආරම්භ වුණා. නමුත් 'නික්තෝ' ගේ සිතුවිලි මෙවරත් කවරෙකුටවත් ඇසුනේ නෑ.

''චිං කූ නිවැරදියි. හැමෝම වෙන වෙනම දන්නා දේයි, චිං කූ නොදන්නා දේයි අතර වෙනසක් නෑ. හැමෝම දැනටමත් දන්නවා. නොදන්නා දේ කුමක්ද යන්න පමණක් නොදන්නවා.''

මෙතෙක් වෙලා තරමක් නිහඟව සිටි 'ලිං ලී' ත් සාකච්ජාවට එකතු වුනා.
''මේ ප්‍රතිපත්ති පූජාවෙන් විතරක් ඇති වැඩක් නෑ. අපි ආමිස පූජාවටත් යන්න ඕන. හුඟක් අයට ආමිස පූජාවක් නෑ. ප්‍රතිපත්ති පූජාව විතරයි තියෙන්නෙ.''

නැවතත් කිසිවෙකුටවත් නොඇසෙනා'නිකීතෝ' ගේ සිතුවිලි අවට පැතිරුණා.
''ඉතිං එහෙම නම් මොකටද මේ රැස් වුනේ? ලිං ලී මේ මොහොත (වර්තමානය) මඟහැරීම මෙතන විතරක් කරන දෙයක් නොවෙයි. එයා හැම විටම කරමින් සිටින දෙයක් එයා තමාගේ අභ්‍යන්තරයෙන්ම 'අවබෝධය' ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ඉතිං එයා ඕනෑම කටයුත්තකට අවතීර්ණ වෙන්නෙම එය ගැඹුරින්ම ප්‍රතික්ෂේප කරමින්. ඔහු සමඟ සාකච්ජාව, එක්කෝ නිශ්ඵලයි. නැත්නම් දුෂ්කරයි.''

''ලිං ලී'' ට වගේම ''සුමිකෝ'' ත් තරමක දඩබ්බර හිමි නමක්. හැමෝම හිතුවේ ''සුමිතෝ'' ගේ අදහස, ලිං ලී ට පිළිතුරු බැඳීමක් කියලයි.

'සුමිතෝ' මෙහෙම කිව්වා.
''නැහැ 'ලිං ලී' කියනවා වගේ මෙතන වැඩකට නැති තැනක් නෙවෙයි. මේ ලැබෙන අවබෝධය අළුත් තේරුම් ගැනීම හා නව කරුණු එකතු වීම ඉතාම වැදගත්. ඒ පන්නරය අපි ගන්න ඕන.”

මේ ආකාරයේ බොහෝ වාද විවාද වලින් අනතුරුව එදින සාකච්ජාව අහවර වුනා. සියළු දෙනා තව දුරටත් විවිධ කරුණු කථා කරමින් එතැනින් පිටත් වීම ආරම්භ කලා.

ඒ අතර තුර 'සුමිතෝ' ගේ අදහස ගැන පැහැදීමක් ඇති වුනු 'ඩෙං වූ ලී' 'සුමිතෝ' ට ප්‍රකාශ කලේ මෙවැනි අදහසක්.
'ඔබේ අදහස හොඳයි. මෙතැනින් බොහෝ දේ ඉගෙන ගනිමින් අපිට ඉදිරියේදී යමක් කරන්න යොමු වෙන්න පුළුවන්'
'සුමිතෝ' වහාම තමන්ගේ ප්‍රතිචාරය ඊට එකතු කළා.
'නෑ. නෑ. මෙයාලත් එක්ක කරන්න පුළුවන් වැඩක් නෑ. ඒක අපි වෙනම, වෙලාවට කරනවා. මේ සාචකච්ජා වලිනුත් යමක් ගන්න පුඟවන්. එච්චරයි.'

'ඩෙං වූ ලී' මැලවුණු නෙතින් යුතුව ඈත ක‍ෂිතිජය දෙසට තම දෙනෙත් යොමු කලා.


******

නිමිත්ත-

2010 අප්‍රේල් මස 28 වන දින ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කළ රාජගිරිය MDDR ආයතන රැස්වීම් ශාලාවේ පැවැති නිර්මාල් රංජිත් දේවසිරි විසින් මෙහෙයවන ලද සාකච්ජාව පිළිබඳව,


එවැනි සාකච්ජාවක් පිළිබඳව බරපතල ලෙස නැවත සිතා බැලීමට පෙළඹවීම එක් අර්ථයකින් සංවාදය පෝෂණය කිරීමට මැදිහත් වීමක් ලෙස සලකමු.

ඒ සඳහා ප්‍රධාන ආකාර දෙකක් ඇත.
01, සංවාදය පැවතුනු ආකාරයෙන්ම වාර්තාගත කොට සංවාද භාෂකයින්ට කියවීමට සැලැස්වීමයි.
02, සංවාදය ප්‍රතිනිර්මාණය කොට සංවාද භාෂකයන්ට මුණගැස්සවීමයි.

එමෙන්ම එය සාහිත්‍යමය ආකෘතියක් ගන්නේ නම් වඩාත් උචිත වනු ඇත. මේ ඒ සඳහා එවැනි උත්සාහයකි.


නදීජ රත්නායක

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



1985 පමණ වන විට මම එක්තරා දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දැරුවෙමි. කෝට්ටේ පාගොඩ ආනන්ද බාලිකා මාවත [එවකට පස්වන පටුමග] වරක් රතු කොඩි වලින් ‍පිරී ගියේය. "ශාන්ත බණ්ඩාර ස‍හෝදරයා එනවා" බොහෝ දෙනා කියවන්නට විය. ආනන්ද බාලිකා මා‍වතේ ආණ්ඩුවේ පයිප්ප තුනක් විය. එකක් ආනන්ද බාලිකාව ළඟය. අනෙක ගුණසිරි අයියාගේ ගෙය ළඟය. අනෙක මාවතේ කෙළවර අමරසිංහ ගේ නිවස ළඟය. මේ ස්ථාන තුන අසළ ශාන්ත බණ්ඩාර සහෝදරයා ඇතුළු පිරිස-

-ඉතා ශූර විලාසයෙන් රැස්වීම් පවත්වමින් ජනතාව ඇමතුවේය. ඒ අතර එකෙකු මගේ කරට අතදාමින් "මල්ලි මට පුංචි උදව්වක් කරනවද?" යි ඇසුවේය. ඔහුට අවශ්‍යව වූයේ පෑනක් සහ කඩදාසියකි. නිවසට ගොස් එය ගෙනැවිත් දෙන අතර ඔහු මා සමඟ විය. ඒ ටිකට මට කොක්ක ඇමිණී අවසානය.

එදා ඒ විප්ලවකාරී දේශපාලන පක්ෂය විසින් සාමාජිකයින් එකතු කළේ අන්න ඒ ආකාරටයි. කාලය ගෙවී යමින් 1987 උදා විය. අපි නාට්‍ය කලාවේ ක්‍රමයෙන් හිස ඔසොවන පිරිස වීමු. 1987 දී යෞවන සම්මාන දිනා ගන්නා විට මට වයස අවුරුදු විසි තුනකි. පොත් පත්තර කියවීම විනෝදාංශය කරගත් අපට කවදාවත් අමතක නොවන නමක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක අහම්බෙන් මෙන එක්තරා පත්තර කන්තෝරුවක දී මට මුණ ගැසුනි.

"කවුද මල්ලි සොයන්නේ?" ඒ ඔහුය.

මට ඔහුව හරියට හඳුනා ගත නොහැකිය.

"මම හොයන්නේ ... අහවලා..." කියමින් ඉදිරියට ඇදුනෙමි.

"උඹගෙ නාට්‍යය මරු මචං, ඒකේ සුරා කෑම ගැන නියමෙට කියවෙනවා."

"ඇත්තමයි මල්ලි මං බැලුවා... " ඔහු දිගටම පවසයි.

"මං චූටි එකක් අරගෙනයි උන්නේ..." ... මම කල්පනා කළෙමි‍.

මචං, මල්ලි, චූටි එකක්, ඒ අතර ඇස් දෙක වරින් වර ගැස්සීම ... ඒ වචන කෝෂය මට තරමක් හුරුය. මම ඔහුට කතා කළෙමි.

"මං පුංචි ප්‍රශ්නයක් අහන්නං අයියේ?"

"ඔව් මල්ලි"

"ඔයා .... සුනිල් මාධව ද?"

"ඔව් බං ... ඇයි මාව මතක නැද්ද අපි මීට කළින් හම්බු වුණේ?"

සමහර විට අප මීට පෙර හමුවී නැත. එහෙත් සුනිල් අයියා කුළුපග බව රැක ගන්නට එසේ කියන වග මට හොඳින් වැටහුණේ තරමක් කල් ගෙවුණු පසුයි.

"මං මේ අහන්නමයි හිටියේ අයියාගේ තාත්ත ද මීමන ප්‍රේමතිලක කියන කවියා?"

"හ්ම්හ්... උඹ එහෙනං අපේ තාත්තා ගැනත් දන්නවා ඈ!"

"ඔව් මම දවසක් කඩල ගොට්ටක් කාල කොලේ කියවද්දි ඔයාගේ තාත්තගෙ කවියක් කියවන්න ලැබුණා. ඒක මගේ ජීවිතේ අහපු හොඳම කවි වලින් එකක්."

රුදු මරුවා ඇවිත් මගේ ඇඳ ළඟ ගාටත්
ජීවිතයම අවිස්වාසයි අද රෑටත්
දැන්විය යුතුයි සොඳුරිය මළගම කාටත්
මගේ සොහොයුරාටත් දරුවන් තිදෙනාටත්

"හරි‍ නේද?" ඔහු ඉතා ආසාවෙන් මා දෙස බලා සිටියේය.

"තාම මතකයි නේද?..." ඔහු එක එල්ලේ මා දෙස බලා සිටියි.

"අපි බොමු මල්ලි ප්ලේන්ටියක්." කියමින් ඔහු සාක්කුවට අත දා මාරු සල්ලි කිහිපයක් හිතවතෙකුට දෙයි. මම තව තවත් ඔහු සමග කියවමිනි.

"මම ඔය කවියට ආස කරන්නේ, ඉතාමත් අසීරු එළිවැට රැකීම නිසයි. ඒ වගේම කවිය ලියල අතේ තියාගෙනම ඔහු මිය ගිය එකයි. මරණය අභියස දී කවියෙන් දැකීම පුදුම කවියෙක් නේද?"

එදා ඉඳන් සුනිල් අයියාත් අපිත් අතර හිතවත්කම් වැඩි දියුණු විය. මෙතැන දී අපි කිව්වේ කවුද?

* කාලෙකදි 1989 මිය ගිය කිහිප දෙනෙක්. [ඔවුන් සැබවින්ම ජීවිතය විප්ලවය උදෙසා පුදනු ලැබූවන්ය. අද ඔවුන් සිටියා ද නැද්ද සමහරුන්ට මතක නැත.]
* පසුකාලීනව X කණ්ඩායම නිර්මාණය කල දීප්ති කුමාර ගුණරත්න ඇතුළු සර්පයා සහ පිරිස [පසුව ඉතා වේගයෙන් ආශ්‍රයෙන් ඉවත් වී X කණ්ඩායම පිහිටුවා ගත්තේය]
* අශෝක හඳගම ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායමේ පිරිසක්. අද හඳගම ඒ තැන්වල නැත.
* පසුකාලීනව විකල්ප පුවත්පත් හැටියට නිර්මාණය වූ "රාවය" සහ සුනන්ද දේශප්‍රිය සංස්කරණය කළ "යුක්තිය" පත්තර සහ සඟරා වලට ලියපු පිරිසක්‍.
* විකොසෙන් [විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය] ගැල වී ආ කීප දෙනෙක්.
* වීදි නාට්‍ය කණ්ඩායම් වල [ගාමිණි හත්තොට්ටුවේගමගේ හා විවෘත කලා කවයේ] සිටි පිරිසක්

මේ සියළු කණ්ඩායම් කොළඹ කේන්ද්‍ර කරගෙන යම් කිසි උප සංස්කෘතියක් ගොඩ නගාගෙන තිබුණේ යැයි කීවොත් නිවැරදිය. මහජන පුස්තකාලය, සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය හා සුදර්ශිය ඉහත කී කල්ලිවල නවාතැන් විය. ඔය සෑම තැනකම අප සියළු දෙනා එල්ලීගෙන ගන සම්මන්ත්‍රණ සංවාද වලට සහභාගි වූයෙමු. මේ අතර සංවාද වල යෙදෙන විද්වත් මණ්ඩල අතරේ සිටි පණ්ඩිතයින් කාර්වලින් ආපසු ගිය විට අප සමග අත්වැල් බැඳගත් එකම පුද්ගලයා‍ වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකයන් ය. මහජන පුස්තකාල කැන්ටිම බිත්ති කතා කරන්නේ නම් මොන මොන දේ කියයිද?

ඔතන ඉඳගෙන ප්ලේන්ටිය බොන ගමන් ඩලස් අලහප්පෙරුමලා විමලසිරි ගම්ලත් ලා [අද එහෙම කෙනෙක් නැත] මොන මොන දේවල් කතා වෙන්න ඇත්ද?

ඔහ හැම තැනකම කතා කළත් නොකළත් සුනිල් අයියා සිටියේය. දවසක් මම ලිපි රචනා කළ 'දෙසතිය' සඟරාවේ හිටපු කර්තෘ ගාමිණි විජේතුංගයන් අමුතු කතාවක් කීවේය. "සුනිල් මාධව හොඳ වැ‍ඩකාරයෙක්. වැඩේ තියෙන්නේ මනුස්සය එක එක ගුබ්බෑයම් කාරයෝ අල්ලගෙන තියෙන අගේ නැති කරගන්නවා."

මම එදා ගාමිණි විජේතුංගයන්ට මුවින් නොබැණ ඉවසා එතැනින් පිට වූයෙමි. නමුත් අද මම ඔහුට එකඟ වෙමි. මේ වන විට ඔහුද මිය ගොස්ය.

විවිධ විකල්ප මතධාරීන් සමඟ එකතු වූ සුනිල් අයියා ඔවුන් සමග කරට කර වැඩ කරන්නට යෙදුණේය. මෙතැන දී මම ඔහුගේ දුර්වලතාවයක් දකිමි. [වර්තමානය සමාජය මෙවැනි සත්ගුණ දකින්නේ දුර්වලතාවක් හැටියටයි.]

කාලයක් ආතක් පාතක් නැති වැඩිදුර අධ්‍යාපනය නොලැබූ බොහෝ දෙනෙක් පත්තර කලාවට පැමිණි යුගයක් විය. ඇත්තටම එය ඛේදවාචකයකි. එකී බොහෝ දෙනෙක් හරියට ආකර්ශනීය ලෙස වාක්‍යයක් ලි යන්නේ කොහොම ද කියා අවබෝධ කරගත්තේ සුනිල් අයියාගෙනි. ඔවුන්ට හරි මඟ පෙන්වාදී ම සුනිල් අයියා කළ දුර්වල කටයුත්තයි. කිමද ඔවුන් බොහෝමයක් සුනිල් අයියාගේම කටට පැහැරුවා හැරෙන්නට වෙන යමක් කළේ නැත.

ඔහුගේ අනෙක් දුර්වලකම [සත් ගුණය] නම් තමා ඉදිරියට පැමිණ දුක් වේදනා කියන හැම කෙනෙක් ම පිළිගැනීමයි. විශ්වාස කිරීමයි. මේ කාළකණ්නි සමාජයේ සිටින දුර්දාන්ත මුදලාලිලා කපටි කුහකයෝ සුනිල් අයියා සමග මීවිත තොල ගෑවේ ඔහුට ඇති ආදරයකට නොවෙයි. පොත් පත් නොකියැවූ ඔවුන් සුනිල් අයියා‍ගේ දැණුම වක්‍ර ආකාරයකින් ලබා ගත්තේ ඒ මාර්ගයෙනි. මේ පුද්ගලයා කිසිම ලෝබ කමක් නැතිව වට වූ සෑම කෙනෙකුටම යමක් කියා දෙයි. ඔවුන් පසුදා උදේ පත්තර කන්තෝරු වලට ගොස් ඊයේ රෑ සුනිල් අයියා කියා දීපු දේවල් හරියටම තමන් කියවා ලැබූ දැනුම වාගේ සෙස්සන්ට කියන්නට විය. පිටවෙන්නේ සුනිල් අයියාගේ වචනයි.

වර්තමානයේ අමනයෝ මේවා උගැන්වීම් හැටියට නොගනිති. ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයා ඉදිරියේ ඇඳිවත උණා අපර් එකක් ගත්ත කෙල්ලෙක් ඉන්පසු කථිකාචාර්යවරියක් වී පොත් බලාගෙන උගන්වන විශ්වවිද්‍යාල දේශනවලට උගැන්වීම යැයි කියති.

ඉහත කී දුර්වලතාව සුනිල් අයියා තුළ තවමත් රජ කරයි. ඕනෑම එකෙකු විශ්වාස කිරීම නිසා ඉතා ඉක්මණින් කළකිරෙන ඔහු නැවතත් නිවෙසට වී කල්පනා කරයි. ඔහුගේ පිහිට පතමින් ඔහුගේ නම විකුණමින් ජනතාවගේ මුදලින් 'පත්තර' ආරම්භ කළ සමහර නිවටයෝ පසුකාලීනව සුනිල් අත හැර දමා දේශපාලන වේදිකාවේද අර බොරුවම කළේය. ජනතාවද රැවටුණි. සමහරු ඇමතිකම් දැරීය. සමහරු වර්තමානයේ පාර්ලිමේන්තුවට වැදී බණ දෙසති. ‍මේ සියළු දෙනාම සුනිල් අයියාට සදාකල් ණයගැතිය.

2001 මැතිවරණයේදී මට නැවතත් 'සුනිල් අයියා' මුණ ගැසුණේ අපූරු විදියකටය. ඒ නුගේගොඩ ජනතා විමුකති පෙරමුණ විසින් සමාජවාදී කලා සංගමය යටතේ පැවැත්වුණු මහා රැස්වීමේදීය. මුළු රැස්වීම සඳහා එදා විශාල ජනකායක් පැමිණ සිටියහ. එහෙත් වේදිකාවට නගින්නට සිටියේ කලාකරුවෝ කී දෙනාද? පරාක්‍රම කොඩිතුවක්කු, ගුණදාස කපුගේ, ඩබ් එස් විජේසිංහ, සුනිල් මාධව, රංජිත් බාලසූරිය, උදය ආර් තෙන්නකෝන් සහ මමයි. ලූෂන් බුලත්සිංහල, හර්ෂ බුලත්සිංහල, රනිල් මල්ලවආරච්චි පසුව වේදිකාවට පිවිසුණි. ප්‍රේමසිරි කේමදාස මහතා එනවා ය කීවත් එහු අසනීප යැයි පැවසීය. එවකට පැවති ආණ්ඩුව යූඇන්පී යයි. මේ නිසා සමහරු බයෙන් තැති ගත්හ. ජවිපෙ වෙනුවෙන් අපි නිර්භයව වේදිකාවේ කතා කළෙමු.

වේදිකාවෙන් බැස සතියක් ගෙවෙනවාත් සමගම පරාක්‍රම කොඩිතුවක්කු ජවිපෙ දුර්වලතා කියමින් පත්තරවල ලිපි දෙකක්ම පළ කරවා තිබුණි. පරාක්‍රම කැඳවාගෙන ඒම සඳහා ජවිපෙන් රත්නපුරයට වාහනයක් යවා තිබිණ. ඔහු ආපසු ගියේද එම වාහනයෙනි. එය පරාක්‍රමගේ කොන්දේසියකි. සෙස්සෝ බස් රථ වලම එතැනට පැමිණියහ. සුනිල් අයියාද එදා ඉතාමත් ආවේගශීලි ලෙස තම අදහස් ප්‍රකාෂ කරමින් ජවිපෙට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. වේදිකාවෙන් බහිනවාත් සමගම පරාක්‍රම ඇසුවේ වාහනය කෝ කියාය. ඩිමාන්ඩ් කරන මිනිහාට ජවිපෙන් සළකනු ලැබීය. මෙය අනෙකුත් සාමාන්‍ය දේශපාලන පක්ෂයක ක්‍රමවේදයමය.

නැවත 2004 මහා මැතිවරණය උදා වූයේ හදිසියේම සිදු වූ ආණ්ඩුව විසුරුවා හැරීමත් සමගය. ඒ සඳහා 'ජනතා කලාකරුවෝ' නම් කණ්ඩායම නිර්මාණය විය. එදත් නුගේගොඩ බස් නැවතුම් පොළ අසළ රැස්වීමට සුනිල් අයියා පැමිණියා මතකයි. රැස්වීම සම්පූර්ණයෙන්ම සංවිධානය කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එදා නම් බොහෝ දෙනෙකුට 'සුනිල් අයියා' ගැන විශේෂයක් නොවීය. කලාකරුවෝ වේදිකාවට නගින්නට පොරකමින් සිටියි. දුටු දුටු තැන කලා‍කරුවෝය. "මටත් කතාවක් ඕන, මටත් කතාවක් ඕන" හැම තැනම උනන්දුව. ඇයි? මේ ආණ්ඩුව එන බව විශ්වාසයි. 'අසූචි කන බල්ලාට අධෝ මාර්ගයේ හැ‍ඩයෙන් වැඩක් නැහැ' කියන්නාසේ ලියාපදිංචි වී සිටි කලාකරුවෝ පිරිසක් යූඇනපී යත් අතහැර එතැනට රොක් වූහ. 'සුනිල් අයියා' ද එහි දී කථාවක් කළේය. ඔහුව හඳුන්වා දුන්නේ ද මමයි. සමහර කලාකරුවෝ තමාට කථාවක් නොදීම පිළිබඳ උරණ විය. නමුත් කෝට්ටේ නගර සභාව කළ කෙණෙහිලිකම් නිසා අපට කාලය සීමා කරන්නට සිදුවී තිබිණ.‍

ආණ්ඩුව නැවතත් පත්විය. දැන් සුනිල් අයියාව ඔවුන්ට උවමනා කවදාටද? සමහරු මෙසේ අසති.

"ඇයි සහෝදරයා සුනිල් අයියා ගැන හිතන්නේ නැත්තේ?" ‍උත්තරය...

"මේකයි සහෝදරයා එයා ඩ්‍රින්ක් එක ගන්නවනේ, කොහොම ද පක්ෂෙ ප්‍රතිපත්ති එක්ක තැනකට ගෙනියන්නේ?"

"එහෙනං ඒ දවස්වල වේදිකාවට නග්ගන කොටත් එයා එහෙමනේ. එතකොට ප්‍රතිපත්තිවලට මොකද වුණේ?"

"මේකයි සහෝදරයා ධනවාදී ආකෘතිය තුළ අපි ඒ ගොල්ලන්ව පාවිච්චි කළා."

'සුනිල් අයියාට' අත් වූ ඉරණම ඒකයි.

දැන් වීප්ලවීය පක්ෂවලට සුනිල් වැන්නවුන් උවමනා නැත. ආයෙත් දවසක අන්ත කඩා වැටීමකට පත් වි ඔවුන් 'සුනිල් අයියා' සොයා ගෙන එනු ඇත. එවිට ඔහු මෙසේ කියනු ඇත.

"පව්... මල්ලී ... මචං උන්‍ දුකේ ඉන්නේ..." [ඇස් වේගයෙන් ඇරෙයි, වැහෙයි] "මට කතා කළා ... ආයෙත්. මේ වෙලාවේ උදව් කරන්න එපායැ. අපි නගිමු වේදිකාවට. නැගල මේ සූරා කෑමට විරුද්ධ හඩ නගමු."

අර බොරුකාරයින්ට ඔහු අනුකම්පා කරනු ඇත. ඔවුන් නැවතත් ධනවාදී ආකෘතිය ගැන කතා කරනු ඇත. සුනිල් අයියා ආයෙත් පාවිච්චි වෙනවා සිකුරුයි.

‍අනේ සුනිල් අයියේ ආයෙත් කවදාවත් එහෙම වෙන්න එපා. උන් අපිට වඩා සදාචාරෙයි ප්‍රතිපත්තියි දෙකම නැති කරගත් එවුන්.

උපුටනය- "සුනිල් මාධව- පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත"

'පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත' සුනිල් මාධව ප්‍රේමතිලක උපහාර උළෙල නිමිති කොට ගෙන 'අටවෙනි පිටුවෙන් ඔබ්බට සහෘද සංසදය' විසින් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයකි. 2005 සැප්තැම්බරයේ මෙම උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ එලිමහන් ‍පීඨිකාවක පැවැත් වුණි. මෙහි උපුටා පළ කෙරෙන ලියවිල්ල එකී ග්‍රන්ථයට ජයලාල් රෝහණ විසින් ලියන ලද්දකි.

ජයලාල් රෝහණ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails