Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දියවැඩියාව අඩු කරන්නලු පාන්, සීනි මිල වැඩි කලේ!
-(ඇමතිවරයෙක් කියයි)


සිරෝසිස් ගැන
හිතලා වෙන්නැති
'මතේ' ගානත් වැඩි කලේ....

මන්දපෝෂණේ
අඩු වෙලා ඇති
කිරි පැකට් එක
වැඩි කලේ....

බඩේ ගෑස් ටික
අඩු වෙලා ඇති
ගෑස් ටැංකිය
වැඩි කලේ....

තරබාරුකම
අඩු කරන්නද
සහල්,එලවළු වැඩි කලේ....

හිතේ ඇති ලෙඩ
සුව කරන්නද
යකඩ ගොඩවල් අඩු කලේ....

හැම ලෙඩම දැන්
සුව නිසා අපි
යාපනේ යමු මරුටියේ....

විරාජ් ලියනාරච්චි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


පසුගිය මැයි 23 වන දින බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති "විකල්ප සංවාදයක්" වෙනුවෙන් වූ පළමු සැසිවාරයේදී සුමිත් චාමින්ද විසින් සිදුකළ දේශනය.

මම කැමතියි මගේ කෙටි අදහස් දැක්වීම නම් කරන්න "ලාංකීය දේශපාලනයට කෘෂිකාර්මික ශ්‍රම අතිරික්තයේ ඇති බලපෑම" කියලා. මම මේක පැහැදිලි කරන්නම්. කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ ශ්‍රම අතිරික්තයක් කියන්නේ මොකක්ද? ඒක ලංකාවේ දේශපාලනයට කරන බලපෑම මොකක්ද? මේක තමයි මගේ මාතෘකාව. මේ දේශණයේ පළමුවන කොටස පදනම් වෙන්නේ එස්.බී.ඩී ද සිල්වා මතුකරපු ප්‍රශ්ණයක් මත. ඒක තමයි ලංකාවේ දේශපාලනය-

තේරුම් ගන්න බැහැ අපට මූලික ප්‍රශ්ණයක් මත. ඒ කියන්නේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ "ශ්‍රමය" කොහොමද සංවිධානය වෙලා තියෙන්නේ, ඒකෙ තියෙන ගැටළු මොනවාද කියන එක අඳුරගන්නෙ නැතිව. ලංකාවේ වත්මන් දේශපාලන විශ්ලේෂණ වලදි අතඇරල තියෙනවා වැදගත් දෙයක්. ඒක තමයි මාක්ස්වාදය විසින් මතුකරපු දේශපාලන ආර්ථීකය. කොහොමද දේශපාලන ආර්ථීකය සංවිධානය වෙලා තියෙන්නේ, ආර්ථීක ක්‍රියාවලිය දේශපාලනයට දක්වන සම්බන්ධය මොකක්ද, මෙන්න මේ ප්‍රශ්ණය තමයි එස්.බී.ඩී මතු කලේ. ඉතිං මම කැමතියි ඒකෙන් පටන් ගන්න වැඩි වෙලාවක් ගන්නෙ නැතිව.

කෘෂිකාර්මික ශ්‍රම අතිරික්තයක් අපේ රටේ තියෙනව කියන එකයි මීට අදාල පළවෙනි ප්‍රවාදය. මොකක්ද මේකෙ අදහස, ශ්‍රම අතිරික්තය කියන එක අපි සරලව ගත්තොත් අපි හිතමු ඒ කියන්නේ යම් කිසි වැය කල හැකි ශ්‍රමයක් තියෙනවා. නමුත් ඒ ශ්‍රමය නිෂ්පාදනීයව ප්‍රයෝජනයට ගැනෙන්නෙ නෑ කියලා. මේක තමයි ශ්‍රම අතිරික්තය පිළිබඳ සරල අදහස. උදාහරණයක් විදියට ත්‍රී රෝද රථ රියදුරෙක් ගත්තොත් එයා යම් ක්‍රියාවක් කරනවා. එයා ප්‍රවාහනය කරනවා. ඕන තරම් දවසකට එහෙ මෙහෙ යනවා. හැබැයි සැලකිය යුතු වෙලාවක් මේ ත්‍රීරෝද රථය නවත්තලා තියෙනවා. ඉතිං මේක ප්‍රයෝජනයට ගන්නෙ නැති ශ්‍රමයක්. එතන තියෙනවා ශ්‍රමයේ අතිරික්තයක්. ලංකාවේ සාම්ප්‍රදායික කෘෂිකර්මය දිහා බැළුවොත් අපි හැමෝම දන්න දෙයක් මේක. මේ කෘෂිකර්මයේ තියෙන ප්‍රධාන ලක‍්ෂණයක් තමයි එක කාලයක් කුඹුර වැඩ කරනවා, අස්වැන්න ගන්නවා, කාලයක් මහන්සි වෙන්න ඕන. විශේෂයෙන් කුඹුරේ වපුරන කාලයේ මහන්සි වෙන්න ඕන, පැළ වැඩෙන්න අපි යම්කිසි කාලයක් ශ්‍රමය දරන්න වෙනවා. ඊට පස්සෙ අස්වනු නෙලන කාලයට මහන්සි වෙන්න ඕන. නමුත් විශාල කාලයක් වැඩ කරන්නෙ නැහැ. බලාගන ඉන්න තියෙන්නෙ. ගොයම් ටික වැවෙනවා. ඉතිං මේක චක්‍රයක්. දන්නවනෙ ලංකාවේ සාමාන්‍ය ගොවියගෙ චක්‍රය. රත්තරන් බඩු සේරම උගස් කරල සල්ලි අරගන කුඹුරෙ වගා කරනවා. ඊට පස්සෙ අස්වනු අර‍‍ගෙන ආයෙ රත්තරන් බඩු ටික බේරගන්නවා. ආපහු කුඹුරු වැඩ පටන් ගන්නකොට මේවා උගස් තියනවා. ගොවියා මෙහෙම විෂම චක්‍රයක කැරකෙමින් යනවා. ඉතිං විශාල ශ්‍රම අතිරික්තයක් කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය තුල තියෙනවා.

දැන් ඒ වගේම ජනගහණය පැත්තෙන් ගත්තොත්, අළුතෙන් එන තරුණ පරපුරට ඉඩම් හිඟයක් තියෙනවා. සමහර විට ඔවුන් කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ රැ‍‍ඳෙන්න සූදානම් නැහැ. ඉතිං මේ ශ්‍රමයට මොකද වෙන්නෙ, මෙන්න මේක තමයි ප්‍රශ්ණය. මේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ අතිරික්ත ශ්‍රමයට සිදුවන්නෙ කුමක්ද? මෙන්න මේ සිදුවන දේ මත ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය බොහෝ දුරට රඳා පවතිනවා අපි එච්චර හිතන්නෙ නැති වුණාට. ඒ කොහොමද? ඒක තේරුම් කරන්න කලින් මම කියන්නම් මේ ශ්‍රම අතිරික්තයට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා.

කෘෂිකර්මයේ අතිරික්ත ශ්‍රමයට කරන්න පුළුවන් එක දෙයක් තමයි කාර්මීකරණය ඇතිවුණු රටවල, නූතන ධනවාදය ඇතිවුණු සමාජවල වුණා වගේ මේ අතිරික්ත ශ්‍රමය ගලපා ගන්න පුළුවන් නගර වලට, නගරයේ අළුතෙන් හැදෙන කර්මාන්ත වලට. එවිට ඔවුන් කාර්මික නිර්ධනයින් බවට පරිවර්තනය වෙනවා යුරෝපයේ ගොඩාක් රටවල ඒකයි වුනේ. තව එකක් තමයි විශේෂයෙන් නැගෙනහිර ආසියාතික සමහර රටවල සිදු වුණා වගේ ඒ කියන්නේ මැලේසියාව, සිංගප්පූරුව වාගේ සමහර රටවල සිදුවුණා වගේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යම් පාර්ශවීය නවීකරණයක් සිදුවිය හැකියි. ඒ කියන්නෙ උදාහරණයක් ගත්තොත් සමහර නිෂ්පාදන වලට අවශ්‍ය සමහර අමුද්‍රව්‍ය නිපදවන එක ගොවියන්ගේ කාර්යයක් බවට පත් කරන්න පුළුවන් වුණා. ඒ වගේම ගොවියන්ට පුළුවන් සමහර විවිධ නිෂ්පාදන භාණ්ඩ හදන්න. ඒ විදිහේ ක‍ෂුද්‍ර තලයේ කර්මාන්ත ආරම්භ කරන්න පුළුවන්. ලංකාවේ ඒකත් වුනේ නැහැ. ඒ වෙනුවට මේ ශ්‍රම අතිරික්තය ගැන ප්‍රශ්ණය කොහොමද විසඳුවෙ?

ඩී.එස්. සේනානායක ලංකාවේ පළමුවැනි ධනේෂ්වර නායකයා ඒක විසඳපු විදිහ තමයි මේ අතිරික්ත ශ්‍රමය වෙනත් ප්‍රදේශ වලට විතැන් කිරීම. ඒ කියන්නේ වියලි කලාපයේ ජනපදකරණය ආරම්භ කිරීම. ඒ කියන්නේ මේ ඇතැම් ප්‍රදේශවල තිබුණු කෘෂිකර්මයේ අතිරික්ත ශ්‍රමය අරගන ගිහිල්ලා ඒ මිනිසුන්ව පදිංචි කලා වෙනත් ප්‍රදේශ වල. කෘෂිකර්මය කරන විදිහ කිසිසේත් වෙනස් වුනේ නැහැ. කිසිදු ව්‍යුහාත්මක වෙනසක් වුනේ නැහැ. අතිරික්ත ශ්‍රමය වියලි කලාපයට අරගෙන යාම පමණයි කලේ. මේ ක්‍රියාව එක විට ප්‍රශ්ණ දෙකක් ඇති කලා. එකක් තමයි මේ මූලික ගැටළුව ව්‍යුහාත්මකව විසඳගන්නෙ නැතිව ගැටළුව විතැන් කිරීම. දෙවෙනි එක තමයි මේක සිදු කරේ යම් ආකාරයක වාර්ගික පදනමකින් කියලා සුළු ජන වර්ග විශ්වාස කළා. ඒ කියන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල. විශේෂයෙන් අපි දන්නවා නැගෙනහිර පලාතේ සිංහල ප්‍රදේශවල මේ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්ණ තියෙනවා. මොකද ජනපදකරණයත් එක්ක සම්බන්ධ වුණු සිංහලකරණයක් මේකේ තිබුණා.1

දැන් මේ ගැටළු දෙක අපි හරියට විශ්ලේෂණය කර ගත්තොත් මේ ගැටළු දෙක ඔස්සේ තමයි අපේ නිදහසින් පසු දේශපාලන ඉතිහාසය ගමන් කරන්නේ. අපි ඉතිහාසය අරන් බැලුවොත් ඊට පස්සේ පණස් ගණන් වල අග හරියේ සහ 60 දශකයේදී යම් උත්සාහයක් තිබුණා ලංකාවේ ආනයන ආදේශණ නිෂ්පාදන ඇති කරන්න. දේශීය නිෂ්පාදනයන් දිරිමත් කරන්න. හැබැයි මේකත් එක්ක ඇතිවුණු තව ගැටළුවක් තියෙනවා. (මෙම දේශණයේ ඉදිරි කොටසට එස්.බී.ඩී සිල්වාගේ සම්බන්ධයක් නැහැ. මොකද එස්.බී.ඩී සිල්වා මම දන්නෙ නෑ මේ අදහසට එකඟ වෙයිද නැද්ද කියලා.) ඒක තමයි ලංකාව වගේ රටවල මේ කෘෂිකර්මයේ තිබුණු විශේෂ තත්ත්වය මත සෘජුවම නිෂ්පාදන උපකරණ හිමි කෙනා සහ ශ්‍රමිකයා ඒ කියන්නේ ඉඩම් හිමියා සහ ගොවියා අතර එතරම් දරුණු ගැටුමක්, දේශපාලනිකව ප්‍රකාශවන ගැටුමක් හඳුනා ගන්න නොමැතිවීම. ඒ කියන්නේ පන්ති ප්‍රතිවිරෝධයක් නැහැ කියල නෙමෙයි මම කියන්නේ. යම් යම් හේතු නිසා මේ ප්‍රතිවිරෝධය දේශපාලනිකව ප්‍රකාශවුනේ සාපේක‍ෂ්ව අඩුවෙන්. තවත් කාරණයක් තමයි මේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයට අදාලව බිහිවුණු සුවිශේෂ සමාජ පන්ති ස්ථරයක් හඳුනාගත හැකිවීම. සාමාන්‍යයෙන් මේ ගැන විශ්ලේෂණය කරපු සමහර බුද්ධිමතුන් මේක හැඳින්නුවෙ අතරමැද පන්තිය කියල. උදාහරණයක් විදිහට ‘මයිකල් කැලිකි’ කියන න්‍යායවේදීයා හඳුනා ගත්ත ලතින් ඇමරිකාවට අදාලව අතරමැද පන්තීන්ගේ දේශපාලන වැදගත්කම. ඉන්දියාවෙ සමහර අය මේ සංකල්පය ඉන්දියාවට අදාලව පාවිච්චි කරා. ලංකාවේත් කිහිප දෙනෙක්. විශේෂයෙන්ම නිව්ටන් ගුණසිංහ, ජයදේව උයන්ගොඩ සහ සුනිල් බැස්ටියන් වගේ අය මේක ලංකාවට ගලප්පන්න උත්සාහ කරල තියෙනවා. මේ අතරමැද පන්තිය කියල කියන්නේ සෘජුවම ශ්‍රමිකයින්, අපි කියන නිර්ධන පන්තියේ ශ්‍රමිකයන් හෝ කෘෂිකාර්මික ශ්‍රමිකයන් නොවේ. කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය කාර්මීකරණය වෙලා නැතිකොට එවන් කෘෂිකාර්මික නිර්ධන පන්තියක් ගොඩනැගෙන්න බැහැ, සම්භාව්‍ය අර්ථයෙන්.

දෙවෙනි එක මේ පිරිස නිෂ්පාදන උපකරණ හිමි නැත්නම් ඉඩම් හිමි පන්තියකුත් නෙමෙයි. ඔවුන් අතරමැද ඉන්න පන්තියක්. කුඩා නිෂ්පාදකයින් පිරිසක් වෙන්න පුළුවන්. ඔවුන් පොඩි කඩයක් දාගෙන පොඩි බිස්නස් එකක් කරගන ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මධ්‍යම පන්තිය කියල අඳුරගන්න නමුත් ග්‍රාමීය සමාජ ස්ථරයක්. ඒ වගේම තවත් අර්ථයකින් මේක අතරමැදි වෙනවා. මොකද ඔවුන් ධනවාදය සහ වැඩවසම් ක්‍රමය අතර ගත්තොත් අතරමැදියි. ඔවුන් හරියටම ධනවාදීකරණය වෙලත් නැහැ. නමුත් වැඩවසම් නැත්නම් පූර්ව ධනවාදීයි කියන්නත් බැහැ.

දැන් ලංකාවේ මේ ස්ථරය හරි විශාලයි. ගම් වලට ගිහින් බැළුවොත් ගොවීන්ම නොවන, ඒ වගේම ඉඩම් හිමියන් විදිහට තමන්ගේ ඉඩම් බද්දට දෙන අයත් නොවන, ගොවි කම්කරුවනුත් නොවන අතරමැද පිරිසක් විශාල වශයෙන් ඉන්නවා. බොහෝ විට රජයේ සේවකයන් වෙන්නෙ මේ අය. සමහර විට ගම් වල ජේවීපී කරන්නෙ මේ අය වෙන්න පුළුවන්! විශ්වවිද්‍යාල එන්නෙ බොහෝ විට මේ අය. මෙහෙම පිරිසක් ඉන්නවා. අදහස් නිපදවීමට අදාලව ලොකු බලයක් තියෙනවා මේ පන්තියට.

දැන් කැලිකි ගෙ අදහස ටිකක් ලංකාවට ගලප්පන්නෙ කොහොමද කියල මම කෙටියෙන් කියන්නම්. (මම සමහර දේවල් ගොඩාක් මඟ ඇරල කියන්නෙ මේ වෙලාව පිළිබඳ ප්‍රශ්ණය නිසා) දැන් ඒක මම නිව්ටන් ගුණසිංහ කියන විදිහට පැහැදිලි කරන්නම්. නිව්ටන් පෙන්නපු දෙයක් තමයි ලංකාවේ පාලක ප්‍රභූ පන්තියට, ඩී.එස්. ලගෙ පන්තියට හැකියාවක් තිබුනෙ නෑ පොදුජන සමාජයේ කැමැත්ත මගින් පාලනය කරන්න. ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ අදහස්" මිනිස්සුන්ගේ දෘෂ්ඨිවාද, මිනිස්සුන්ගේ සංස්කෘතීන් වගේ දේවල් හසුරුවන්න එච්චර හැකියාවක් තිබුණෙ නැහැ. මේ කට්ටියට ආව ප්‍රධාන විවේචනයත් ඒකයි. මේ අය ටයි කෝට් අඳගෙන, හැඳි ගෑරුප්පු වලින් කෑම කන, සිංහල භාෂාව තේරෙන්නෙ නැති කට්ටියක් කියලා. ඉතිං ලොකු ප්‍රශ්ණයක් තිබුණා මේ පාලක පන්තියට මේ රටේ. ඒක තමයි පහළ සමාජ පන්තීන් දෘෂ්ටිවාදීව ඒ කියන්නේ ඔවුන්ගේම සක්‍රීය කැමැත්ත මගින් පාලනය කරන ක්‍රමයක් නොතිබීම. මේ නොහැකියාව ඓතිහාසිකයි. ඒක තේරුම් ගන්න ලංකාවේ යටත් විජිත විරෝධී ජාතිකවාදී ව්‍යාපාර වල ස්වරූපය දෙස බැලිය යුතුයි.

ඇත්තටම මේ ජාතිකවාදයේ ධාරාවන් දෙකක් හඳනාගන්න පුළුවන්. එක ධාරාවක් 19 වන සියවසේ අගභාගයේ ඉඳල, ඒ කියන්නේ අනගාරික ධර්මපාලගෙ ඉඳල වර්ධනය වූ යම් විදිහක ජනප්‍රියවාදී ජාතිකවාදයක්. හාමුදුරුවරු, සිංහල ගුරුවරු, ආයුර්වේද වෛද්‍යවරු (ඒ කාලේ ඒ අයටත් ලොකු බලයක් තිබුණා). මේ වගේ අය තමයි මේක වෙනුවෙන් පෙනී හිටියෙ. අනිත් ව්‍යාපාරය තමයි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ දිනා ගැනීම ඔස්සේ ආපු ප්‍රභූ ජාතිකවාදය. ප්‍රශ්නෙ තමයි 1947 දි මේ ප්‍රභූ ජාතිකවාදයට දේශපාලන බලය හිමි වුණාට මේ කට්ටියට පහළ පන්තීන් එක්ක තිබුණෙ දුරස්ථ සම්බන්ධයක්.

මෙන්න මේ ප්‍රශ්ණය අපේ රටේ විසඳුවෙ කොහොමද? සුනිල් බැස්ටියන් පෙන්වාදෙන විදියට ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ මේ පාලක පන්තිය මුහුණ දුන් මූලික ප්‍රශ්ණයට ඒ කියන්නේ පහළ පන්තීන් එක්ක සම්බන්ධයක් හදාගැනීමේ ප්‍රශ්ණයනැත්නම් ශාස්ත්‍රීය වචනයෙන් කිව්වොත් "රාජ්‍යය ගොඩනැගීමේ ගැටළුව"ට සම්බන්ධයි.

1920 ගණන්වල ඉඳලම ලංකාවේ සිංහල බහුතරයක් ඉන්න ප්‍රදේශ වල ග්‍රාමීය සංවර්ධනය සහ කෘෂිකාර්මික සංවර්ධනය තුල විශාල අවමානයක් යොමුවුණා. ජාතික සංවර්ධනයේ ප්‍රධාන අංශයන් විදිහට හඳුනා ගත්තේ රාජ්‍යය විසින් සිංහල ගොවි ජන ප්‍රජාව ආරක‍්ෂා කර ගැනීම‍, සුළු ඉඩම් හිමි වී ගොවිතැන වර්ධනය කිරීම වගේ දේවල්. ලංකාවේ 1931 ඉදන් සර්වජන ජන්ද බලය ක්‍රියාත්මක වෙන්න ගත්ත නිසා අති බහුතරයක් ග්‍රාමීය ගොවි ජනයාගේ ජන්ද දිනා ගන්න ඩී.එස්. සේනානායක ලංකාවේ පාලක හවුලට නියම උපාය මාර්ගයක් හොයල දුන්නා. ඉතින් එයා "ජාතියේ පියා" වීම පුදුමයක් නෙමෙයි. මෙතනදී අපි මතක තියා ගන්න ඕන සංවර්ධනය එක් අතකින් යම් දෘෂ්ඨිවාදී කාර්යයකුත් ඉටුකරනවා කියන එක. ඉන්දියාව වගේ ජාතික විමුක්ති අරගලයක් ඔස්සේ පහළ පන්තීන් සමඟ බැම්මක් ගොඩනඟා ගන්න ඩී.එස්. ලා අසමත් වුණත්, මේ ගොවි ජනපදකරණය ග්‍රාමීය සංවර්ධනය රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ දෘෂ්ඨිවාදය වගේ දේවල් ඒ වෙනුවට ආදේශ වුණා. ඇත්තටම නිදහසින් පස්සෙ ගොවි ජනපදකරණය වේගයෙන් වර්ධනය වුණා. 1931 ඉදන් 1947 වෙනකල් කොළණි 13 ක ගොවි පවුල් 3145 ක් විතරයි පදිංචි කලේ. ඒත් 1948 ඉදන් 1953 දක්වා කාලයේදී අළුත් කොළණි 16 ක පවුල් 10426 ක් පදිංචි කළා. රජය විසින් ප්‍රදානය කරපු විවිධාකාරයේ ඉඩම් ඔක්කොම ගත්තහම කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියත් එක්ක 1953 ඉදන් 1985 දක්වා පවුල් 830,833 ක් දෙනාට ඉඩම් බෙදාදී තියෙනවා. 1953 කුඹුරු ඉඩම් පනත මඟින් හම්බන්තොට සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල කෘෂිකර්මයේ විශාල ඉඩම් හිමියන් නොවන අතරමැදියන්ට යම් සහනයක් සැලසුනා. හැබැයි සාමාන්‍ය ගොවියන්ට ඒක එච්චර ප්‍රයෝජනයක් වුනේ නැහැ. 1956 දේශපාලන පෙරළියත් එක්ක මේ තත්වයේ ලොකු වෙනසක් ඇතිවුණා. පිලිප් ගුණවර්ධනගේ ප්‍රසිද්ධ 1958 කුඹුරු පනත මගින් ඉඩම් හිමියන්ට අඳ ගොවීන් මත තිබුණු අධිකාරීත්වයට යම් යම් සීමා පැනවුණා. ඒ විතරක් නෙවෙයි බැස්ටියන් මහත්තයා පෙන්වා දෙන විදිහට ලංකාවේ පළවෙනි වතාවට වී වගාවේ අලෙවිය, ණය, රක‍ෂණ, ඉඩම් අයිතිය වගේ දේවල් වලට අදාලව විධිමත් ප්‍රතිපත්ති මාලාවක් සැකසුවෙ 1958 දි. ගොවිජන සේවා දෙපාර්තුමේන්තුවක් ස්ථාපිත කරලා ගම් මට්ටමේ ගොවි සංවිධාන වලට යම් පිළිගැනීමක් ලබා දුන්න. මෙන්න මෙතනදි ඒ කියන්නෙ 1956 න් පස්සෙ සිදුවෙන මේ ක්‍රියාදාමය තේරුම් ගන්න නම් අපට අර කලින් කියපු අතරමැදි පන්තීන් ගැන කාරනය සැලකිල්ලට ගන්න වෙනවා. මේ අතරමැද පන්තීන් අතරින් මතුවුණු බුද්ධිමය ශ්‍රේණියක් තමයි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජාතිකවාදය සංවිධානය කලේ සිංහල වගේම දෙමළ සමාජයේත්. ඉතිං පාලක පන්ති පවුල් වලට නොතිබුණු ආකාරයේ දෘෂ්ටිවාදී බැම්මක් තිබුණා පහළ පන්තීන් එක්ක.

නිව්ටන් ගුනසිංහ 1956 පරිවර්තනය ගැන කරන විග්‍රහයේදී මේ කාරණය ලස්සනට පැහැදිලි කරල තියෙනවා. මේ කියපු බුද්ධිමය ශ්‍රේණිය තමයි 1950 ගණන් වල මුල් භාගයේදී 2500 බුද්ධ ජයන්තිය, සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම, බුද්ධාගමට "නිසි තැන" ලබා දීම වගේ සටන් පාඨ එක්ක ජනප්‍රිය සිංහල - බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරයක් සංවිධානය කළේ. පණස් ගණන් වල අපි ඒ ව්‍යාපාරයට ගියොත්, ඒකෙ හිටිය කට්ටිය දිහා බැඟවොත් කොළඹ කේන්ද්‍රීයව මෙත්තානන්ද වගේ ටිකක් ප්‍රභූ අය හිටියා. නමුත් මේක ගම් වල පැතිරෙනකොට සාමාන්‍ය පාසැල් ගුරුවරු, ආයුර්වේද වෛද්‍යවරු, සාමාන්‍ය රජයේ සේවකයන් මේ වාගේ පිරිසක් තමයි මේ දෘෂ්ටිවාදය හැදුවෙ. මෙතනදී පාලක හවුල දේශපාලන අර්බුදයකට යනවා. ඒත් මේකට විසඳුමක් තිබුනා බණ්ඩාරනායකට. ඒ විසඳුම තමයි නිව්ටන් ගුණසිංහ කියන විදිහට (එයා කියන්නෙ නෑ 1956 පිහිටෙව්වෙ අතරමැදි පන්තීන්ගේ ආණ්ඩුවක් කියලා.) මේ අතරමැද පන්තීන් නැත්නම් සුළු ධනේෂ්වර පන්තීන් හා ප්‍රභූ, ධනපති පන්තීන් අතර සන්ධානයක් ඇති වුණා. සන්ධානයක් කිව්වට බණ්ඩාරනායකයි මෙත්තානන්දයි ඇවිත් කොළේක අත්සන් කරල ගිවිසුමක් ගැහුවෙ නැහැ. නමුත් දේශපාලන අර්ථයෙන් ඒක සන්ධානයක්. ඉතින් 1956 ට පස්සෙ අදහස් නැත්නම් දෘෂ්ටිවාද පාලනය කරන උපකරණ සේරම හසුරුවන්නේ මේ අතරමැද පන්තිය. පාසැල් පෙළ පොත් ලියන්නේ මේ අය, අපි පොඩි කාලේ ස්කෝලෙ යනකොට, අපි පොත් කියවනකොට අපි හිතුවෙ නැහැ මේවා කවුරු හරි හිතපු දේවල්, මේවා ලියපු මේ කට්ටියට මේවා ගැන අදහසක් තිබුණා කියන එක. නමුත් ඒ පොත් වලින් අපිට උගන්නපු දෘෂ්ටිවාදයක් තිබුණා. (මම පොඩ්ඩක් මාතෘකාවෙන් එලියට ගිහින් කීවොත්) රෙජී සිරිවර්ධන පෙන්නල දෙන විදිහට සිංහල පෙළ පොත් වල "රාජා" කියල නරක ළමයෙක් ඉන්නවා. ගාමිණී කියල හොඳ ළමයෙක් ඉන්නවා. අපිට පොඩි කාලේ මේක තේරුනේ නැහැ. නමුත් රාජා දෙමළ කෙනෙක්. ගාමිණී සිංහල කෙනෙක්. ගාමිණී සම්බන්ධයි ගාමිණී අභයට, දුටුගැමුණුට. ඒ වගේ පොත් කව්ද ලිව්වේ? මේ පොත් ලිව්වෙ අර පණස් ගණන් වල රාජ්‍යයේ දෘෂ්ඨිවාද හසුරුවන ඒ ආයතන වල බලය අත්පත් කරගත්තු පිරිස.

මෙතන වැදගත් දෙයක් තමයි මතක තියාගන්න ඕන. මුළු අතරමැද පන්තියම නොවෙයි, ඒ අතරමැද පන්තියේ යම් කිසි කොටසක් තමයි මේක කරේ කියන එක. ඒ කොටස තමයි අතරමැද පන්තියේ සිංහල බෞද්ධ ධාරාව. ඒකයි මේක මෙහෙම වුණේ. එතකොට මෙහෙම තමයි 56 න් පස්සෙ දේශපාලනය හැඩගැහුනේ. මේක පැහැදිලි කර ගන්න හරි සරල උදාහරණයක් මම කියන්නම්. 56 ට කලින් හිටිය ඔක්කොම ප්‍රභූ නායකයෝ අපිට පේන්නෙ කොහොමද? ටයි කෝට් ඇඳලා ඉන්න බටහිර ගැති කට්ටියක් විදිහට. 56 න් පස්සෙ ඔක්කොම වෙනස් වුණා. ඡේ.ආර්. පවා. බණ්ඩාරනායක විතරක් නොවෙයි. ඒකයි එතන වැදගත්. බණ්ඩාරනායක වගේම ඩඩ්ලිත් ජාතික වුනා. දකුණු ආසියාවේ ආගම ගැන අධ්‍යනය කරන සමහර අය, උර්මිලා පද්නිස් [Urmila Phadnis] වගේ අය පෙන්නනවා මේ බණ්ඩාරනායක කරපු දේ ඊටත් වඩා හොඳින් ඊටත් වඩා බරපතල විදිහට ඩඩ්ලි සේනානායක 60 ගණන්වල කළා කියලා. ඒකයි එයාට ආපහු සැරයක් ජාතිකවාදී දේශපාලන නායකයෙක් විදිහට එන්න පුළුවන් වුණේ. ඊට පස්සෙ ඡේ.ආර්. ජයවර්ධන ආගම කියන එක පාවිච්චි කරලා 77 බලයට ආවා. ඉතින් 77 වෙනකම් මේකයි තිබුණු තත්වය. ඒක අතරමැද පන්තීන්ගේ ම පාලනයක් නෙමේ නමුත් අතරමැද පන්තීන්ගේ සහයෝගය ලබපු (ඒ සහයෝගය ලබා ගත්තෙ යම් කිසි අනුග්‍රහයන් ලබාදීමෙන්.) අනුග්‍රාහක රාජ්‍යයක්.

මේක කරන්න උදව් වුණා 77 දක්වා ලංකාවේත්, ලෝකයේත් තිබුණු දේශපාලන ආර්ථීක තත්වය. මොකද ඒ කාලේ තිබුනේ රජය මුල් කරගත් ආර්ථීක ක්‍රමයක්. නොබැඳි ප්‍රතිපත්තිය සහ තෘෂ්ණි යුද්ධය ආශ්‍රිතව හැදුනු ලෝක රටාවන් මේකට උදව් වුණා. මේ ගොඩක් තත්වයන් නිසා මේක කරගන්න පුළුවන් වුණා 77 වෙනකම්. හැබැයි ප්‍රතිවිරෝධතා නැතිව නෙමෙයි. ප්‍රතිවිරෝධතා වලට හොඳම උදාහරණය 71 කැරැල්ල. 71 කැරැල්ල ගැහුවෙ කව්ද? අපි හොයල බැළුවොත් ඒ අයගේ සමාජ පන්ති මූලාශ්‍රයන් මොනවද කියලා ඔවුන් තමයි ග්‍රාමීය අතරමැදි පන්තියට අයත් තරුණ කණ්ඩායම. මොකක්ද එතන තිබුණු ප්‍රශ්ණය? ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තිඛෙන ව්‍යාප්තිය, මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය, ඒ වගේම සුභ සාධනය, මෙන්න මේ තත්වයන් තුළ ග්‍රාමීය අතරමැද සමාජ පන්තියක් වර්ධනය වෙනවා. මම අර කලින් කිව්ව වගේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඔවුන් තව දුරටත් රැ‍ඳෙන්න සූදානම් නැහැ. හැබැයි ඔවුන්ව උරා ගන්න, ඔවුන්ව සම්බන්ධ කර ගන්න තරම් දියුණු කාර්මික අංශයකුත් නගරයේ නැහැ. ඔවුන්ට යන්න වෙන තැනක් තිබුනේ නැහැ. ඉතින් මේ පිරිස උතුර දකුණ දෙකේම. මේක ඇත්තටම උයන්ගොඩ ලියල තියෙනවා, එයාගෙම චරිත කථාව ඇසුරින් එයා කියනවා "ඔන්න මම විශ්ව විද්‍යාලයට ගියා, මම තව දුරටත් ගොවියෙක් වෙන්න කැමති නැහැ. මට ගොවියෙක් වෙන්නත් බැහැ. මට යන්න තැනකුත් නැහැ" කියලා.ව්‍යුහාත්මක ප්‍රශ්ණයක් මේක. 60 ගණන් වල අගභාගයේ ඉඳල.

විරෝධයක් වශයෙන් මතුවෙන්නෙ ලංකාවේ දේශපාලන ආර්ථීකයේ මේ ගැටළුව ප්‍රකාශ වීමක්. මොකද මේ සමාජ පන්තියට ලංකාවේ තිබුණු ක්‍රමය තමයි රාජ්‍ය රැකවරණය. ලංකාවේ රාජ්‍යය කියන්නේ ඒක පාලනය කිරීම විතරක් නොවෙයි ඊට වඩා දෙයක්. ලංකාවේ රාජ්‍යයත් එක්ක පුරවැසියන් දක්වන සම්බන්ධය, යටත් වැසියන් දක්වන සම්බන්ධය හරිම සංකීර්ණයි. මේ අතරමැද පන්තීන් රාජ්‍යත් එක්ක තිබුණු සම්බන්ධයත් මෙතනදී තේරුම් ගන්න ඕන. එක අතකින් ඒක අනුග්‍රාහක සම්බන්ධයක්, ඒ වගේම රාජ්‍යයෙන් ආරක‍ෂාවක් බලාපොරොත්තු වෙනවා. ආර්ථීක සුබසාධනය බලාපොරොත්තු වෙනවා. නමුත් මේ රාජ්‍ය අංශයේ රැකියා දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒක සීමිතයි.

මේක තමයි 71 විසඳන්න බැරි වුණු ප්‍රශ්ණය. මේ වෙනුවට පාලකයින් කරේ ඇත්තටම සමසමාජ, කොමියුනිස්ට් පක‍ෂ වල උදව්වත් ඇතිව (මොනව වුණත් අන්තිමේදී ඔවුනුත් මේකෙ කොටස්කාරයො වෙලා තියෙනවා.) තව දුරටත් රාජ්‍ය ශක්තිමත් කිරීම. ආර්ථීකයේ, මේ කෘෂිකාර්මික ප්‍රශ්ණය ව්‍යුහාත්මකව විසඳුවෙ නෑ, ඒ වෙනුවට තව දුරටත් රාජ්‍ය තුළම මේ අතරමැදි පන්තීන් වල මේ රැඩිකල් තරුණ කොටස් වලට පිළිසරණක් වෙන්න උත්සාහ කළා.

77 දි ඡේ ආර් ජයවර්ධන මෙන්න මේ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථීක උපාය මාර්ගයෙන් ලංකාව වෙන් කරනවා. (මම කෙටියෙන් කියන්නම්. මොකද දිග ඉතිහාසයක් තියෙන හින්දා මම පුළුවන් තරම් කෙටිකරල කියන්නම්.) මොකක්ද ඡේ ආර් කරපු දේ, ඡේ ආර් ලංකාවේ පාලන තන්ත්‍රය, Regime එක වෙන් කරා මේ අතරමැද පන්තියෙන්, ඒ කියන්නේ අතරමැදි පන්තීන්ට සුභසාධනය සපයන, රැකවරණය ලබා දෙන ආයතනයක් විදියට රාජ්‍යයට තිබූ තත්වය වෙනස් කළා. ඒ වෙනුවට නිදහස් වෙළඳ අවකාශයක් තුළ විදේශ ප්‍රාග්ධනයේ දේශීය ඒජන්තකම් දරන්න යම් ධනපති පිරිසකට ඉඩ ලබා දුන්නා. කෘෂිකාර්මික උපකරණ සහ කෘමිනාශක වගේ දේවලට අදාලව පුද්ගලික අංශයේ ව්‍යාප්තියට ඉඩ ලබා දුන්නා. උදාහරණයක් විදිහට Fertiliser Corporation එක පෞද්ගලීකරණය කළා. හැබැයි අපි මතක තියාගන්න ඕන ඡේ.ආර්. ව. නිකම්ම විවෘත ආර්ථීකය කියන ලේබලයෙන් නම් කරන්න එයා සරල නැහැ. කෘෂිකාර්මික ප්‍රජාවන් සහ රාජ්‍යය අතර තිබූ සම්බන්ධතාවයේ ස්වරූපය ගැන එයාට එයාට යම් අදහසක් තිබූ බව පේනවා. කඩිනම් මහවැලි සංවර්ධනය වගේ වැඩපිළිවෙල වල් යම් කිසි ආර්ථීක ජනතාවාදයක [Economic Populism] ලක‍්ෂණත් තියෙනවා.

මහවැලිය යටතේ විශාල පිරිසකට ඉඩම් බෙදා දුන්නා, ස්වර්ණභූමි ඔප්පු ලබා දුන්නා. මේකත් එක්ක සම්බන්ධයි යම් සීමා කම් ඇතුලෙ වුනත් ඉඩම් හුවමාරු භාණ්ඩයක් වීම, වාණිජ භෝග හඳුන්වා දීම, ඉඩම් හිමි ගොවියන්ට වාසි වෙන විදිහේ ප්‍රතිපත්ති හඳුන්වා දීම වගේ දේවලූත්. ගොවියන්ගේ කෘෂිකාර්මික නොවන ආර්ථීක ක්‍රියාකාරකම් වර්ධනය කරන්නත් යම් උත්සාහයක් අරන් තියෙනවා. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල ඇඟළුම් කම්හල් සහ විදේශ ගෘහ සේවය වැනි දේවලින් කළ බලපෑමත් අපි සැලකිල්ලට ගත යුතුයි. 80 දශකයේ ජනප්‍රිය කථාවක් තමයි ''ඡේ.ආර්. ගමේ කොල්ලො හමුදාවටත්, කෙල්ලෝ ගාමන්ට් ෆැක්ටරි වලටත් යවනවා'' කියන එක. (අලූත් ආර්ථීකයේ විශාල කාර්යයක් ස්ත්‍රී ශ්‍රමය විසින් ඉටු කරන්න ගැනීම වැදගත් කාරණයක්.) කොහොම වුනත් අපි කතා කරන ග්‍රාමීය සිංහල අතරමැදි පන්තියේ පැත්තෙන් ගත්තොත් ඡේ.ආර්. ට එයාලගේ ප්‍රශ්ණ වලට ප්‍රමාණවත් උත්තරයක් තිබ්බේ නැහැ. උපමාවකින් කිව්වොත් කැම්පස් ගියපු කොල්ලෝ, කෙල්ලෝ හමුදාවටවත් ගාමන්ට් ෆැක්ටරි වලටත් යවන්න අමාරුයි. පුද්ගලික අංශයේ ආර්ථීක අවස්ථා ලබා ගන්න නම් යම් යම් අලූත් සුදුසුකම් අවශ්‍ය වුණා. ඒත්, ලංකාවේ දේශපාලනයේ තිබුණු සුවිශේෂ තත්වයන් අනුව දේශපාලන" සමාජ සහ සංස්කෘතික ඉල්ලීම් හැඩ ගස්සන්න මේ අයට විශාල හැකියාවක් තිබුණා.

1980 දශකයේ දේශපාලන සාහිත්‍යය කියෙව්වොත් ඒ කාලේ පත්තර වල ගිය විවාද කියෙව්වොත්, හොඳට පැහැදිලි වෙනවා මේ කාලේ ඡේ ආර් ගේ පාලන තන්ත්‍රයට විරෝධය ආවේ වෙන කොහෙන්වත් නෙමෙයි. එතෙක් රාජ්‍යයේ රැකවරණය ලබපු අයගෙන්මයි. මේක මුලින්ම ආවෙ සංස්කෘතික ක්ෂේත්‍රයෙන්. මේක ආවේ වේග රිද්ම සංගීතයට ආපු විරෝධයක් හැටියට, මේක ආවෙ ගැහැණු ළමයි ඩෙනිම් අළුන එකට විරෝධයක් හැටියට. නැත්නම් විවෘත ආර්ථීකයට ආපු විරෝධයක් හැටියට. මේකෙ ප්‍රධාන ප්‍රකාශකයෙක් වුනේ සරත්චන්ද්‍ර. කවුද සරත්චන්ද්‍ර කියන්නෙ? සරත්චන්ද්‍ර කියන්නෙ 56 මේ අතරමැද පංතීන්ගේ සහයෝගයෙන් ධනේෂ්වර පංතීයේ අර්බුධය විසඳගන්න කොට ඒකෙ ප්‍රධාන කෙනෙක්. රාජ්‍යයේ රැකවරණය ලබපු කෙනෙක් සහ රාජ්‍යයේ දෘෂ්ටිවාදය හදපු කෙනෙක්. එයා තමයි ඡේ ආර් ට විරුද්ධ වෙන්නෙ, "ධර්මිෂ්ඨ සමාජය" පොත ලියල. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා මුලින්ම ඡේ ආර් ජයවර්ධනට විරෝධය පාලන තන්ත්‍රයෙන් එතෙක් කල් රැකවරනය ලබපු අතරමැද පංතීන්ගෙන් ආවෙ කියන එක. ඒක සංවිධානය කරන්න පුළුවන් වුණා ජේවීපී එකට.

විශේෂයෙන්ම 87-89 කාලේ තිබුනු සුවිශේෂී තත්වයන් නිසා. ජනවාර්ගික ප්‍රශ්ණයට සම්බන්ධ විශේෂ තත්වයක් නිසා, ඉන්දියන් හමුදාව සිටිය තත්වය තුළ මේක රැඩිකල්කරණය කරල UNP විරෝධී ප්‍රවාහයක් කරන්න JVP එකට පුළුවන් වුනා. එහෙම තමා විරෝධය ප්‍රකාශ වුනේ. ඉන් පස්සෙ චන්ද්‍රිකා - රනිල් යුගයක් එනවා. මම හිතන්නෙ 1994 ඉඳලා 2005 වෙනකම් ඒ දශකය ගත්තොත් ඒක චන්ද්‍රිකා - රනිල් යුගයක්. මේ යුගය හරි වැදගත්. ලංකාවේ පහුගිය දශක තුනේ දේශපාලනය තේරුම් කරන්න බෑ යුද්ධය විසින් අපේ රාජ්‍යයට මොකක්ද කලේ? පංති සම්බන්ධකම් වලට මොකක්ද කලේ? යුද්ධය විසින් දෘෂ්ටිවාද වලට මොකක්ද කලේ? අපිට මොකක්ද කෙරුවෙ කියන එක තේරුම් ගත්තෙ නැත්නම්. ඒක එච්චරම වැදගත්. මේ යුද්ධය තුළ දකුණේ මේ සිංහල අතරමැද පන්තිය, (සිංහල අතරමැද පන්තිය කියල මම කථා කරන්නේ එයාල තමයි රාජ්‍යයේ රාජ්‍ය දෘෂ්ටිවාදය හැදුවෙ, ඒ වගේම ඔවුන් තමයි රාජ්‍යයත් එක්ක කැරළිකාරී, ගැටුම්කාරී සම්බන්ධයක් පවත්වාගෙන ගියෙ.) කාලයක් SLFP එකට සහයෝගය දෙනවා කාලයක් JVP එකට සහයෝගය දෙනවා.

මේ වගේ වුනේ. මට කියන්න අවශ්‍ය කාරණය තමයි මේ අතරමැද පංතීන්ගෙන් යම් විදිහකට ලංකාවේ මේ ධනේෂ්වර පාලනය වෙන් කර ගන්න සිද්ධ වුණා ඡේ ආර් ට එයාගේ විවෘත ආර්ථීක ප්‍රතිපත්තීන් එක්ක. මේ පංතීන්ගෙන් තමයි දිගටම ඊට පස්සෙ රාජ්‍යය එක්ක ප්‍රශ්ණය ආවෙ. මේ ප්‍රශ්ණය විසඳපු තවත් ක්‍රමයක් තමයි යුද්ධය. මොකද සිංහල අතරමැද පංතීන්ගේ පැත්තෙන් ගත්තොත් මේ රාජ්‍යය යුද්ධ කරල තියෙන්නෙ මේ සිංහලයින් වෙනුවෙන්. ඒක තමයි තිබුණු අධිපති දෘෂ්ටිවාදය. ඒ නිසා දකුණේ යුද්ධය කියන්නේ හුදෙක් වෙඩි තබා ගැනීමක් පමණක් නොවෙයි. යුද්ධයට තිබුණා දෘෂ්ටිවාදී කාර්යයක් ඒක තමයි පාලකයින් සහ පාලනය වන්නන් අතර මේ ගිලිහුණු සම්බන්ධය නැවත තබා ගැනීම. නැත්තම් අපි කියන මේ පාලනය යුක්ති සහගත කිරීම.

මේක ලලිත් ඇතුලත්මුදලි පවා කරා. ඒකයි 1987 ජූලි 29 වෙනිදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනවත් එක්ක විශාල වශයෙන් ජනයා පාරට බස්සන්න පුළුවන් වුනේ. මොකද ඒ යුධවාදී මානසිකත්වය, දෘෂ්ටිවාදය හැදුවෙ රාජ්‍යය නිසා, ලලිත් ඇතුලත්මුදලිගේ අධීක‍ෂණය යටතේ. ඉතින් ඒක ආපහු එක පාරටම හරවන්න බැහැ. යුද්දෙට ෆෝම් කරල ෆෝම් කරල ගිවිසුමක් ගැහුවම පිපුරුවා. මම හිතන්නෙ චන්ද්‍රිකා - රනිල් යුගයට අපි ආවොත් 1994-2005 කාලයට ආවොත් මේ පංතිමය ප්‍රශ්ණය, මේ අතරමැද පංතීන් සහ පාලක පන්තීන් අතර තිබුණු ප්‍රශ්ණය මේ ප්‍රතිවිරෝධී සම්බන්ධය අළුත් මුහුණු වරක් ගත්තා. මොකද මේ දෙන්නම, මේ දෙන්නගෙ කොච්චර ගැටුම් තිබ්බත් මේ දෙන්නගෙ සමානකම් තිබුනා. එක සමානකමක් තමයි ඔවුන් දෙන්නම උත්සාහ කලා සිංහල අතරමැද පන්තීන්ගේ දෘෂ්ටිවාදයට සම්පූර්ණයෙන්ම යට නොවී දේශපාලනය හසුරුවන්න. විශේෂයෙන්ම ජනවාර්ගික ප්‍රශ්ණයට අදාලව ගත්තොත්. ඒ කියන්නේ අතරමැද පංතීන්ගේ දෘෂ්ටිවාදයට යටනොවීම ඉන්නට උත්සාහ කලා. හැම වෙලේම නෙවෙයි. යටත්වුණා. චන්ද්‍රිකා ඇවිත් යුද්ධත් කලා සෑහෙන්න. නමුත් Fight එකක් කලා. උත්සාහයක් කළා. (මේක මගේ තේරුම් ගැනීම. මේක ඕන්නම් කථා කරන්න පුළුවන්.) නමුත් මේක අසාර්ථක වුනා. පසුගිය දශකයේ මැතිවරණ ඉතිහාසය ගැන පොඩ්ඩක් බැලූවොත්, විශේෂයෙන් මැතිවරණ ප්‍රථීඵල ගැන බැලූවොත්, 2000 මහ මැතිවරණය, 2001 මහ මැතිවරණය සහ 2004 මහ මැතිවරණය. මේ මැතිවරණ අරගෙන බැලූවොත් ජේවීපී එක සහ හෙළ උරුමය හිතන්න බැරි තරම් ජන්දගන්නවා. විශේෂයෙන් හෙළ උරුමය මහරගමින් දෙවෙනි තැනට එනවා. කැස්බෑවෙන් විශාල සංඛ්‍යාවක් ගන්නවා. කඩුවෙල මම හිතන්නේ දෙවෙනි තැනට එනවා. මේකට බලපාපු සුවිශේෂී තත්වයනුත් තියෙනවා. මේ විවෘත ආර්ථීකය ඇතුලෙ මේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල පන්ති ස්වභාවය යම් යම් විදියට වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම ජේවීපී එකට 2000 හා 2001 ලැබුණු ජන්ද ගත්තොත්, තනි පක‍ෂයක් විදිහට තරඟ කරල මන්ත්‍රීවරු 16 ක් ආව 2001 දි. දැන් මේක පුළුවන් වුනේ මේ ප්‍රධාන පක‍ෂ දෙක අතර මේ කාලෙ තිබුණු සන්ධානය නිසා. විශේෂයෙන් ඒක ගැටුම්කාරී වුනත් චන්ද්‍රිකා, රනිල් දෙන්නම මේ අතරමැද සමාජ පන්තීන්ගේ දෘෂ්ටිවාදයෙන් ගැලවෙන්න යම් උත්සාහයක් දරපු තත්වය තුළයි ‍ජවිපෙට සහ හෙළ උරුමෙට මෙහෙම සාර්ථක වෙන්න පුළුවන් වුනේ. මොකද අර පාලකයන්ගෙන් ගිලිහෙන කොටස් සංවිධානය කර ගන්න මේ කට්ටියට පුළුවන් වුණා.2. මෙන්න මෙවැනි ඉතිහාසයක් පහු කරල තමයි 2005 ට අපි එන්නෙ.

මම හිතන්නෙ දැන් අපිට බය නැතිව කියන්න පුළුවන් ලංකාවේ අතරමැද සමාජ පංතීන් විසින් තමන්ගේම පංතියෙන් තමන්ගේ නායකයා පළවෙනි වතාවට තෝරගන තියෙනවා. මේක විශාල වෙනසක්. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ බරපතල වෙනසක්. මොකද තව දුරටත් ගැටුමක් නැහැ පාලකයයි දෙගොල්ලම එකයි. මේ දෘෂ්ටිවාදය හදන කට්ටියයි අතර දෙකම එකයි. මේ සාමාන්‍ය මිනිස්සු කියන එකම තමයි පාලකයත් කියන්නේ. ගමේ ගුරුවරයා කියන එකම තමයි ජනාධිපතිත් කියන්නේ. දැන් මෙහෙමයි ප්‍රශ්ණය විසඳුවෙ. හැබැයි කෘෂිකාර්මික ප්‍රශ්ණය සම්බන්ධයෙන් ගත්තම ප්‍රශ්ණය එහෙමමයි. බරපතල ව්‍යුහාත්මක වෙනසක් වෙලා නැහැ. කෘෂිකාර්මික ශ්‍රමයේ අතිරික්තය තව දුරටත් ගමේ තියෙනවා. මේ ශ්‍රම අතිරික්තය ගලාගන යන්න කර්මාන්ත නැහැ. ක‍්ෂුද්‍ර තලයෙත් නැහැ, මහේශාඛ්‍ය තලයෙත් නැහැ. තව දුරටත් විශාල වශයෙන් උපාධිධාරීන් පිරිසක් බිහි කරනවා. ඒ උපාධීධාරීන් 14,000 ක් ජනසභා ලේකම් වරු කියල පත් කලා කියලා ඕක විසදෙන්නෙ නැහැ. මොකද මෙතන ජන සභා කතන්දරේ වෙන එකක්. ඒක තමයි මේ පාලන අධිකාරිය ඈතම ගම දක්වා තමන්ගෙ බලය ව්‍යාප්ත කරන සංකීර්ණ සැලැස්මක් තියෙනවා මේ රටේ. (ආණ්ඩුවට නෙවෙයි පාලන තන්ත්‍රයට. Regime එකට.) නමුත් මෙතන ප්‍රධාන ප්‍රශ්ණයක් මම මතුකරන්න කැමතියි. මේ මහින්ද Regime එක සම්බන්ධයෙන්. (මම ඒ ගැන ලොකු විශ්ලේෂණයකට යන්නෙ නෑ. මොකද ඒකට වෙලාව මදි.) කෙටියෙන් කීවොත් මෙන්න මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා. ඒක තමයි මම කිව්වෙ 56 න් පස්සෙ අතරමැදි පංතීන්ට යම්කිසි රැකවරණයක් දෙන්න රාජ්‍යය උත්සාහ කළා. හැබැයි ඒත් බැරිවුණා. ඒකයි 71 කැරළි ගැහුවෙ, ඒකයි උතුරෙ කැරළි ගැහුවෙ. දෙවිදිහකට කැරැල්ල ආවෙ. නමුත් මේකෙ සමාජ පසුබිම එකයි.

එහෙම තත්වයක් තුළ මහින්දගෙ මේ බල අධිකාරීයට පුළුවන් වෙයිද මේ අතරමැද පංතීන්ට රාජ්‍යයේ රැකවරණය දෙන්න? විවෘත ආර්ථීක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ගමන්, දැන් යුද්දෙත් නෑ. යුද්දෙ තිබුණ නම් අන්න ප්‍රශ්ණයට තිබුණ වෙන උත්තරයක්. ගමේ කොල්ලො ටික හමුදාවට දාන්න පුළුවන්, ඒ වගේම යුධ මානසිකත්වයෙන් රට පාලනය කර ගන්නත් පුළුවන්. ඒ එක පැත්තක් දෘෂටිවාදී පැත්තෙ. යුද්දෙ කියන එක මම හැම වෙලාවෙම දකුණට අදාලව ගන්න කොට ඒක දෘෂ්ටිවාදී පැත්තෙන් තමයි ගන්නෙ. මොකද දකුණෙ අපි වෙඩි තියා ගත්තෙ නැහැනෙ. බෝම්බ පිපුරුවා. නමුත් මේක සිංහල - දෙමළ ප්‍රශ්ණයක් වුනාට, යුද්ධයක් වුනාට යුද්දෙ කරේ දෙමළ අයගෙ ගෙවල් වල. අපේ ගෙවල් වල නෙමෙයිනෙ. ඒකයි ප්‍රශ්නෙ වුනේ. ඉතින් ඒ නිසා සිංහල අයට හැමවෙලේම මේක දකුණෙ රාජ්‍යයේ ඒකාග්‍රතාවය තියාගන්න උදව් කරා. දැන් ඒ සාධකයත් නෑ. මහින්ද ට සිද්ධ වෙලා තියෙනවා අද එක සැරේ ගේම් දෙකක් ගහන්න.

මේක ලේසි නෑ. එක ගේම් එකක් තමයි මේ නව ලිබරල් ගෝලීයකරණයත් එක්ක සම්බන්ධ මේ ආර්ථීක ව්‍යාපෘතිය. ඕක කොහොමටත් කරන්න ඕන. මොකද ඒක දැන් පවුලේ වැඩක්නේ. ඒක නිසා කොහොමටත් ඒක කරනවා. අනිත් පැත්තෙන් ඒත් එක්කම මේක අතරමැද පංතීන්ගේ දෘෂ්ටිවාදයෙන් මෙහෙයවන පාලනයක් නඩත්තු කරන්නත් ඕන. ඉතින් ඕකට තමයි උපාධිධාරීන් 14,000 කට රස්සා දෙනව වගේ පොඩි පොඩි වැඩ කරන්නේ. නමුත් මේ පන්ති පදනම අපි හරියට විශ්ලේෂණය කලොත් ප්‍රතිවිරෝධය එහෙමමයි. ප්‍රශ්ණය එහෙමමයි. මොකද මම ඒකයි කිව්වෙ රාජ්‍යය ශක්තිමත්ව තිබියදී, රජය මුල් කර ගත් ආර්ථීකයක් තිබුණු පනස් ගණන් වලත්, හැට ගණන් වලත් බැරි වුනා මේක විසඳන්න. දැන් පුළුවන් වෙයිද? ආර්ථීක විවෘතකරණය, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය, මේ ඔක්කොම කරන ගමන් කොහොමද මේක කරන්නෙ? මේ ප්‍රශ්ණෙ මේ නිසා එදාටත් වඩා බරපතලයි. එදාටත් වඩා ප්‍රතිවිරෝධය බරපතලයි. හැබැයි මැතිවරණය ඉවර වෙච්ච ගමන් තියෙන තත්වය තුල මේක යම් විදිහකට පාලනය වෙලා තියෙනවා. නමුත් පේන්නෙ නෑ. යුද්දෙ අන්තිම දවස් වල සමාජය සුරතාන්තයට පත් වුනා නම් නම් දැන් ඒක හිරි වැටිලයි තියෙන්නෙ. හැබැයි ප්‍රතිවිරෝධය අති භයානකයි. විවෘත ආර්ථීකයයි, මේ ගමේ ගොවියගෙ සුභසාධනයයි එක සැරේ Champion කරන්න බැහැ. මහින්දගෙ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ එයා ලියල තියෙනවා "මගේ තාත්තා කුඹුරෙ වැඩ කර කර ඉඳලා අතේ තිබුණ මඩ ටික වක්කඩෙන් හෝදගන තමයි මහ මැතිවරණයට නාම යෝජනා අත්සන් කලේ" කියල. පොඩි කාලෙ අපිත් කතන්දර පොත් වල කියවල තියෙනවා 'ගොවි පුතා රජ වුණු හැටි' කියල. ඉතින් දැන් ගොවි පුතෙක් රජ වෙලා ඉන්නවා. අර කැලකි ගෙ අර්ථයෙන් අතරමැද පංතීන්ගෙ බල අධිකාරයක් ඇති වෙලා තියෙනවා. නමුත් කැලකි මේක කිව්වේ අර සංවෘත ආර්ථීකයක් තියෙන්න පුළුවන් කාලෙක නැත්නම් නොබැඳි ව්‍යාපාරය පැවතුණු කාලෙක වෙන්න පුළුවන් දෙයක් විදියටයි. නමුත් අද මේක වෙලා තියෙන්නේ ගෝලීයකරණ යුගයක. නව ලිබරල් ආර්ථීක ක්‍රමයක් තියෙන යුගයක. ඒක නිසා එදාට වඩා අද මම හිතන්නෙ ගොවිජන ක්ෂේත්‍රයේ අති විශාල ප්‍රශ්ණයක් තියෙනවා.

තරුණයින්ගේ විරැකියාව, මේ කෘෂිකාර්මික ගම් වල අතිරික්ත ශ්‍රමය කොහාටද යන්නෙ? මේ අතිරික්ත ශ්‍රමයට මොනවද කරන්නේ? කව්ද මේ අයගේ දෘෂටිවාද හදන්නේ? ඒවා කොයි පැත්තකට යනවද? ප්‍රශ්ණ ගොඩක් තියෙනවා. මේක ව්‍යුහාත්මක ප්‍රශ්ණයක්. ඒ ප්‍රශ්නය එක එක සටන් පාඨ උස්සල තාවකාලිකව විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක විසඳන්න පුළුවන් මේ මූලික ප්‍රශ්ණය මම මේකෙ මුලින් මතු කරපු මූලික ප්‍රශ්ණය ' කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අතිරික්ත ශ්‍රමයට මොකද වෙන්නේ' කියන ප්‍රශ්ණය නිෂ්පාදනීය විදියකට විසඳුවොත් පමණයි. ලංකාවේ දේශපාලන අනාගතයත් මේ ප්‍රශ්ණය විසඳුවෙ නැත්නම්, මේ ප්‍රශ්ණයට ප්‍රවේශ වෙන විදිහ අනුව හැඩ ගැහෙනවා.

මම උතුරෙ ප්‍රශ්ණය ගැන ටිකක් කිව්වොත් කෙටියෙන්. පණස් ගණන් වල මේ අතරමැද පංතීන්ට අයත් බුදධිමතුන් පිරිසක් මම කිව්වනෙ රාජ්‍යයේ බලවත් තැනකට යනවා. ඒ කියන්නේ අපි කියමු රාජ්‍ය දෘෂ්ටිවාදී උපකරණ පුවත්පත්, කලාව, මාධ්‍ය, අධ්‍යාපනය මේවා හසුරුවන බලය ගත්තා. ඒ කියන්නෙ ඒක සිංහල රාජ්‍යයක් වුණා. මෙන්න මේ කාරණය නිසා උතුරේ දෙමළ පිරිස් වලට (ඔවුන් ඇත්තටම පණස් ගණන් වලට කලිනුත් මේ රාජ්‍යයෙන් බැහැර කිරීමකට ලක් වෙලා තියෙනවා.) ඔවුන් මේ රාජ්‍යයේ කොටසක් නෙමෙයි. මේක එක ප්‍රශ්ණයක්. එතකොට ඔවුන් ඒ කියන්නේ දෙමළ අතරමැද සමාජ පන්තීන් ඒක නිසා මේකට ප්‍රතිචාර දක්වන්නේ සිංහල අතරමැද පන්තීන් ප්‍රතිචාර දක්වපු විදිහට නෙවෙයි. ඒක තමයි ජවිපෙ සහ අනෙකුත් උතුරෙ දෙමළ සංවිධාන අතර සම්බන්ධයක් ගොඩනගන්න බැරි වුනේ. උත්සාහ දරල තියෙනවා, නමුත් සාර්ථක වෙලා නෑ. ඒ වෙනුවට සිද්ධ වුනේ දකුණේ මේ අතරමැද සමාජ පන්තීන් රාජ්‍යයට දක්වන විරෝධය අසූ ගණන් වල විශේෂයෙන්ම මේ විරෝධය ආවෙ රාජ්‍යයේම දෘෂ්ටිවාදයේ ප්‍රකාශකයන්ගෙන් ආපු එක. ඇත්තටම අසූ ගණන් වල ඡේ ආර් ට වඩා රාජ්‍යය නියෝජනය කලේ විඡේවීර. ඡේ ආර් රාජ්‍යයේ දෘෂ්ඨිවාදයට පිටින් හිටියෙ. මොකද රාජ්‍යයයේ දෘෂ්ටිවාදය හැදුවෙ මේ පන්තිය. නමුත් දෙමළ සංවිධාන වල විරෝධය එන්නෙ රාජ්‍යයට විරුද්ධ දෙයක් කරන්න. මොකද රාජ්‍යයට ඔවුන් ඇතුලත් කර ගන්න අසමත් වුන නිසා.

මම කියන්න කැමති දේ තමයි අසූ ගණන් වලත් මේ වගේ තත්වයක් ඇතිවුණාම ඒකට අපි ප්‍රතිචාර දැක්කුවෙ කොහොමද කියන එක බරපතල ප්‍රශ්ණයක්. මොකද මෙතනදි මම එස්.බී.ඩී. ගෙනුත් වෙනස්, ගොඩාක් සම්භාව්‍ය මාක්ස්වාදය පිළිගන්න අයගෙන් වෙනස්. මොකද ආර්ථීක අර්බුදයක් ඇතිවූ පළියටම එය දේශපාලන අර්බුදයක් කරා යන්නේ නෑ මට අනුව. (ඕන නම් ඒක කථා කරන්න පුළුවන්.) ඒ වෙනුවට මේ අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ දේශපාලනයෙන්ම පමණයි. ඒ කියන්නේ ඒක ඕන නම් ප්‍රජාතන්ත්‍රවාදී පැත්තකට හරවන්නත් පුළුවන්. ඕන නම් පන්ති අරගලයක් කරන්නත් පුළුවන්. ඕන්නම් ඒක ජනවාර්ගික දෘෂ්ටිවාදය අනුව හසුරුවන්නත් පුළුවන්. ඕන්නම් ඒක වෙනත් ජනප්‍රියවාදයක් වෙන්නත් පුළුවන්. ඒ කාරනය ආර්ථීකව තීරණය කරන්නේ නෑ කියල මම විශ්වාස කරනවා. මොකද ඉතිහාසයේ අපිට ඕන තරම් පෙන්නන්න පුළුවන් එහෙම තීරණය කරන්නෙ නෑ කියන එක. අසූ ගණන් වල අපි දැක්කා ජවිපෙ එකේ මේ සිංහල අතරමැද සමාජ පංතිය එක විදිහකට මේක සංවිධානය කළා, උත්තර දුන්නා. දෙමළ අතරමැද සමාජ පන්තීන් තවත් විදිහකට මේකට උත්තර දුන්නා ඒකට සාධාරණ හේතු තියෙනවා. නමුත් අපිට මඟහැරුණු පුරුක් දෙකක් තියෙනවා,අපේ වර්තමානය මෙහෙම වෙන්න බලපෑව.

එකක් තමයි උතුර දකුණ යා කරන පොදු ව්‍යාපාරයක් බවට මේක පත් කරන්න බැරි වුණා, රැඩිකල් කණ්ඩායම් වලට. මම ජවිපෙත් ගන්නෙ රැඩිකල් වාමාංශික පක්ෂයක් විදිහට. ඒකෙත් තියෙනවා යම් විමුක්තිවාදී ලක‍ෂණ. අපි මොනව කිව්වත් ජේවීපී කාරයා ජාතිය දිනවන්න නෙමෙයි පක‍ෂයට බැ‍ඳෙන්නෙ, පන්තිය දිනවන්න. නමුත් 80 දශකයේදි මඟහැරුණු ලින්ක් එක තමයි ජනවාර්ගික දෘෂ්ටිවාදයන් අනුව මේ විරෝධය දෙපැත්තෙම ගොනු වීම නිසා වාමාංශයත් ඇතුළුව මුළු ජාතික දේශපාලන දේහයම ජනවාර්ගික පසමිතුරුතා අනුව ඛෙදීම; උතුර දකුණ වෙන වීම. මම හිතන්නෙ අපිට අද තියෙන එක අභියෝගයක් තමයි මඟහැරුණු මෙන්න මේ පුරුක ගැන නැවත හිතන්න. මේ පුරුක නැවත හදා ගන්න. උතුර දකුණ යා කරන ව්‍යාපාරයක් නොවී මේක දිනවන්න බෑ කියන එක. ඒක දෙමළ ව්‍යාපාර වල පැත්තෙන් ගත්තොත් (LTTE එක නෙවෙයි, LTTE නොවන දෙමළ ව්‍යාපාර ඉදිරියේදී මතු වෙන්න ඉඩ තියෙනවා.)

මම හිතන්නෙ එතනත් වටහා ගත යුතු දෙයක් තියෙනවා. ලංකාවේ තියෙන දේශපාලන තත්වය අනුව සැලකිය යුතු සිංහල සමාජ කණ්ඩායමක, සිංහල සමාජ පිරිසක සහයෝගය නැතිව ද්‍රවිඩ ජාතියේ ඉල්ලීම්, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ලබා ගත නොහැකියි. සිංහල දේශපාලන ප්‍රජාවේ සැලකිය යුතු සහායක් නැතිව මේක කරන්න බැහැ. සිංහලයින් යම් පිරිසක් කීවොත් දෙමළ අයට මේ ප්‍රශ්ණ තියෙනවා. මේක සාධාරණයි, මේක පිළිගත යුතු දෙයක් කියලා අන්න එදාට ඒක පුළුවන්. එතෙක් කල් බෑ. මොකද සිංහල බහුතරයට ආණ්ඩු හදන්න පුළුවන් කියලා මහින්ද පෙන්නුවා. අනිත් එක සැලකිය යුතු සිංහල කොටසකගේ සහයෝගය නැතිව දෙමළ අරගලයේ ඉල්ලීම් ඉටු කරන්න ගියොත් වෙන්නෙ රනිල් ට වෙච්ච දේ. ඉතින් ඒ වැඩේ කර ගන්න එකක් නෑ මම හිතන්නෙ ලංකාවෙ ඉස්සරහට එන කිසිම පාලකයෙක්. ඒක නිසා දකුණේ ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාර වල එකතුවීම දෙමළ ව්‍යාපාර පැත්තෙනුත් අවශ්‍ය දෙයක්. ඒක තමයි යථාර්තය.

ඒ වගේම දකුණේ අයගේ පැත්තෙන් ගත්තත් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයන්ගේ වෙනස්කම් ඇතිකර ගන්න නම් එය දෙමළ ඉල්ලීම්, දෙමළ ජාතිකවාදය, සුළුතරයේ උවමනාවන්, අනිකුත්, තවත් ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් සමඟ ගලපා ගත යුතුයි. සම්බන්ධ කර ගත යුතුයි. එහෙම නැතිව මේක කරන්න බැහැ. අපි කියන්නේ Articulate කරන්න ඕන. නැතිව බෑ. උදාහරණයක් ගත්තොත් මේ කාලේ ගිහිල්ල නිකම්ම බලය ඛෙදීම කිවිවොත් දකුණේ බැහැ ලේසියෙන් Champaign කරන්න. හැබැයි මේක අපි ගැලැප්පුවොත් තව දේවල් එක්ක, උතුරෙ ව්‍යාපාර වලට පුළුවන්නම් ජනවාර්ගික දේශපාලනයෙන් තව ටිකක් ඔබ්බට ගිහිල්ල ජාතික දේශපාලනයක් Practice කරන්න උදාහරණයක් ගත්තොත් ජීවන වියදම ගැන ප්‍රශ්ණය මතු කරොත් අන්න ඒක දකුණෙත් ප්‍රශ්ණයක්. දකුණෙත් එතකොට අපේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, අපේ අළුත් සිතීම තුළ ජනවාර්ගික සමානාත්මතාවය කියන එකත් ඒකෙ කොටසක් කර ගන්න පුළුවන් වුනොත් අන්න එතන ලින්ක් එකක් හැදෙන්න පුළුවන් තැනක්. මේක තමයි අපිට Miss වුණ දෙවෙනි Link එක. මම කිව්වා Missing Link දෙකක් තියෙනවා කියලා. එකක් මම කියපු ඔය උතුර දකුණ ප්‍රශ්ණය.

දෙවෙනි එක තමයි සන්නද්ධ අන්තයකට දෙපැත්තම ගියා. උතුරත් ගියා. දකූණත් ගියා. ආයුධ වලින් දේශපාලනය කරන තැනකට. නමුත් දැන් ඔන්න තත්වයක් ඇවිල්ල තියෙනවා ආයුධ වලින් ම කරන දේශපාලනයක්ද වමේ දේශපාලනය කියන්නේ කියන ප්‍රශ්ණය නැවත මතු කරන්න. දැන් දෙමළ ව්‍යාපාරය පැත්තෙන් වඩා ප්‍රජාතාන්ත්‍රික ලෙස විරෝධය මතුවුණොත්" සන්නද්ධ නොවන වේදිකාවක් තුළ ලේසි නෑ ඒක යටපත් කරන්න. අර ගහල නවත්වනවා වගේ නොවෙයි. ඒක අමාරුයි. ඉතින් මම මුලින්ම මේක පටන් ගනිද්දි මතුකරපු ප්‍රශ්ණය තමයි යම් කිසි දේශපාලන ආර්ථීකයකට සම්බන්ධ ප්‍රශ්ණයක්. මොකක්ද ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අතිරික්ත ශ්‍රමය ට වෙන්නෙ? මේ ප්‍රශ්ණයට අදාල දේශපාලන ආ ර්ථීක හැඩගැසීම් නිසා අතරමැද සමාජ පන්තීන් නිර්මාණය වෙනවා. ඒ අතරමැද සමාජ පන්තීන් දේශපාලනය තුළ විශාල මැදිහත්වීමක් කරනවා. හැබැයි දැන් අපි අලූත් තත්වයකට ඇවිල්ල ඉන්නවා. ඒක තමයි දැන් මේ අතරමැද පංතීන්ගේ බල අධිකාරයක් හැදිල තියෙන්නේ පවුලක් මුල් කරගන, හැබැයි මේ කට්ටියට ලෙසි වෙන්නෙ නෑ මේ ප්‍රතිවිරෝධය ලේසියෙන් සමනය කරන්න. මොකද දෘෂ්ටිවාදී තලයේ බැලු බැල්මට පෙනෙයි ඔක්කොමල්ල අත්පුඩි ගහනවා, ඔක්කොමල්ල චියර් එක දානව, ඔක්කොම වැඳගන ඉන්නෙ, සාටකත් දානව. හැබැයි අපි බැඟවොත් Ground එකේ, අපි බැළුවොත් දේශපාලන ආර්ථීකය දිහා මේ ප්‍රතිවිරෝධය තියෙනවා. ඒක විසඳලා නැහැ. නොවිසඳුණු ප්‍රතිවිරෝධයක් තියෙනවා. කැරළි ගහන අතිරික්ත ශ්‍රමයක් තියෙනවා. ඉතින් අපිට තියෙන අභියෝගය තමයි කොහොමද මේ සමාජ ස්ථරය සංවිධානය කරන්නෙ අසූ ගණන් වල කරපු නැති විදිහට. උතුර දකුණ යා කෙරෙන එකක් විදිහට සහ ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාරයක් විදිහට. ඉතින් මම හිතන්නෙ මේ අභියෝගය තියෙනවා. ඒකට මම හිතන්නෙ මට උත්තරයක් නෑ. මම හිතන්නෙ නෑ කාටවත් තනි තනිවම උත්තර තියෙනවා කියලා. නමුත් මම කැමතියි ඒක කථා කරන්න. මට සමාවෙන්න ඕන මම වෙලාව වැඩියෙන් ගත්තනම්. බොහොම ස්තූතියි.

End Note

1. නිදසුනක් විදිහට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සිංහල ජනගහණය 1921 දී මුඟ ජනගහණයෙන් 4'5 ක්, වුනත්1981 වෙනකොට ඒක 33'6] ක් වෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ එය 8'2] කක ඉඳන් 8'2] ක් දක්වා ඉහළයනවා. අම්පාර සහ සේරුවිල සිංහල මැතිවරණ කොට්ඨාශ හැදුනේ ජනපදකරනයේ ප්‍රතිඵලයක් විදිහටයි.

2. මොකද JHU එක නාගරික ව්‍යාපාරයක් බව මතක තියා ගන්න ඕන. ඇත්තටම JHU එකේ කෙටි කාලීන සාර්ථකත්වය තේරුම් ගන්න කොළඹට තදාසන්න නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වල දේශපාලන ආර්ථීකයේ මෑතකාලීනව සිදුවුනු වෙනස්කම් තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම "මහරගම" කැස්බෑව" කඩුවෙල" පානදුර වගේ ප්‍රදේශ වල වාණිජකරණයේ ව්‍යාප්තියත් එක්ක පන්ති සම්බන්ධකම් වල යම් යම් වෙනස්කම් වෙලා තියෙනවා. අලූත් නාගරික අතරමැදි පන්තියක් නිර්මාණය වෙලා තියෙනවා. පසු ගිය මැතිවරණ වලදි පෙනුනු විදිහට පාවෙන ජන්ද" ඒ කියන්නේ දෘෂ්ටිවාද වලින් මෙහෙයවන්න වැඩි හැකියාවක් තියෙන ජන්ද මේ ප්‍රදේශවල බහුලයි. ඒ වගේම මේ ප්‍රදේශවල බෞද්ධ ආරාමික සම්බන්ධතා එක්ක කාලාන්තරයක් තිස්සේ ගොඩ නැගුනු සම්ප්‍රදායික සිංහල-බෞද්ධ පවුල් කාණ්ඩයකුත් ඉන්නවා. JHU එක කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජන්ද ගත්ත මහරගම කියන්නේ ගුණවර්ධන පවුලේ සම්ප්‍රදායික ආධිපත්‍ය යටතේ සිංහල-බෞද්ධ දේශපාලන දෘෂ්ටිවාදී පදනමක් සහිත ප්‍රදේශයක්. ඒ වගේම සෝම හාමුදුරුවන්ගේ පන්සල කේන්ද්‍ර කරගෙන ආරාමික සම්බන්ධතා ජාලයක් මහරගම ක්‍රියාත්මක වුනා. කඟතර දිස්ත්‍රික්කයේ JHU එක වැඩිම ජන්ද ගත්ත පානදුර මැතිවරණ කොට්ඨාශයේත්, ගම්පහින් වැඩිම ජන්ද ගත්ත කැළණි යමැතිවරණ කොට්ඨාශයේත් බෞද්ධාගමික ආරාමික සම්බන්ධතා වලට දිග ඉතිහාසයක් තියෙනවා. ඉතින් ග්‍රාමිස්චියානු අර්ථයෙන් ගත්තොත් මේ කණ්ඩායම් එයාලගේ සම්ප්‍රදායික නායකයන්ගෙන් ගිලිහුණු මොහොතක තාවකාලිකව ඒ අයව ආකර්ෂණය කරගන්න මුලින් ජේවීපී එකත්, ඉන් පස්සේ JHU එකත් සමත් වුනා. මෙදා සැරේ සරත් ෆොන්සේකා ට වැඩිම ජන්ද හම්බ වුනෙත් මේ ප්‍රදේශ වලින්. මෙතනදී මේ පිරිස්වල යම් කොටසක් ඉංග්‍රීසි උගත් සිවිල් සමාජයට අයිති බවත් කියන්න ඕන. ලංකාවේ සිවිල් සමාජයේ බහුතරයක් ජාතිවාදීයි. ඉතාම කුඩා පිරිසක් තමයි ලිබරල්වාදය ගැන කතා කරන්නේ. (රජීව විඡේසිංහ ලිබරල් පක‍ෂයේ නායකයා බවත් අමතක කරන්න එපා.) ඇත්තටම ලංකාවේ සිංහල පත්තර තරමටම නැත්නම් ඊටත් වඩා ඉංග්‍රීසි පත්තර ජාතිවාදියි. JHU කියන කෙටි කාලීන ප්‍රපංචය තේරුම් ගන්න ඕන මේ සංකීර්ණතා එක්කයි.

සුමිත් චාමින්ද

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බජට්ටෙක බොරුවේ
ආණ්ඩුව බොරුවේ
විපස්සය බොරුවේ
ජනතාව බොරුවේ

ගව'නර මහ බලැති
හේසාරවය කරතී
සියයට ගණන් හදතී
සංවර්දනය මවතී

පිළිවෙත කෙළවුනා
ලියැවිලි මැලවුනා
අන්දර පැළවුනා
අමු (උ)ණු ගොලු උනා

ආරස්සකේ වැඩිවිය
වෙන ඒවාට මදිවිය
ලෝ බැංකුවට ණය විය
ප්ලග් එක හොඳට හිර විය

පිස්කල් ප්‍රතිපත්ති
කුස්සියේ තැනුනී
මූල්‍ය ප්‍රතිපත්ති
කක්කුස්සියේ මැවුනී

බදු පෙර අයවුනී
වැටුප් වැඩි නොවුනී

උකස් කර බිත්තී
කුඩු කෑව විත්තී
ඉලක්කං සොත්තී
අපිටම උරුම වෙච්චී

2010-06

කිරිමාමා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මේ තමයි දුයිෂෙන්
"මහා පුරුෂයෙක්"!
ඒ මග යමි මමත්
කියා මොන්ටෙරෝවෙන් බසින
ටියුෂන් ඇදුරු තෙම
ගෙන් ගෙට ගොස්
දරුවන් එකතු කළ
මැරයින් රැගෙන ගිය
අල්තීනායි රැක ගත්
දුයිෂෙන්ම ද?

දල්වා දෙනෙත්
එළිපිට ද හොරැහින් ද
තලු මරා ඇදුරු රුව
නැළවෙන අල්තීනායි
සිදාදියට ගිය ගුරුතුමා
පැමිණෙන්න ප්‍රමාද වූ විට
හදවතින් හඬා වැටුනු
අල්තීනායිමද?

අයිලයේ අස් හලින්
සිප් හලක එළිය ගෙන ආ දුයිෂෙන්-
කිළිපොලන සීතල මකන්නට
ගොමරිටි එකතු කළ අල්තීනායි
ඇල්මෙන් අකුරු කරවූ
සැදැහෙන් අකුරු ඇහිලූ
ගුරු-ගෝල ඔබ දෙදෙන
විකුණා අවසන් නෑ තාම

විමල් වික්‍රමසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඒ අතීත දවස්වල සිත්තරුන් අත් අඩංගුවට ගැනුණු ඕනෑම විටෙක, තීන්ත සහ පැන්සල් හිර ගෙදර ඇතුළට ගෙන යාමට ඔවුන්ට ඉඩ දෙන ලදි. මෙසේ බලකොටුවේ ඉහළ පිහිටි අඳුරු සිර කුටියට පිවිසෙද්දී, මෙම කතාවේ වීරයාගේ සිතට වැදුනු සිතුවිල්ල නම් කුටියේ බිත්ති වලින් එකක කවුළුවක් සිත්තම් කරගැනීමයි. වැඩට බැස්ස ඔහු දෑස් නිලංකාර වන අහස දැකිය හැකි ඇරුණු කවුළුවක් සිත්තම් කළේය. මෙසේ ඔහුගේ සිර-කුටිය වඩා දීප්තිමත් බවට පත්විය.

ඊලඟ උදෑසන පාන් සහ වතුර රැගෙන ආ ජේලර්ට සිත්තම් කළ කවුළුවෙන් පෙරී එන ඇස් අන්ධ කරවන එළිය හමුවේ දෑස් වසා ගන්නට සිදුවිය.

මොකක්ද මෙතන සිද්ද වෙන්නේ?

කෑගැසූ ජේලර් කවුළුව වැසීමට වහා ගියේය. සිදු වූයේ ඔහු බිත්තියේ හැපීම පමණී.

මං කවුළුවක් ඇරලා තියෙනවා. මෙතන හුඟක් කරුවල තිබුණා යි සිත්තරා නොකැළඹි පිළිතුරු දුන්නේය.

හෙහ්-හෙහ්-හෙහ් - ජේලර් තමා තමාටම රැවටීමට ඉඩදීම පිළිබඳ අවමානයට පත් වූ බව හඟිමින් හිනා වුණේය. ඊලගට ඔහු සිත්තරාට එදිරිවාදු කමට සමච්චල් කරන්නට විය.

තමුසේ කවුළුවක් ඇරලා තියෙනව එහෙනං...
තමුසේ කවුළුවක් ඇඳලා මෝඩයා. මේක ඇත්ත කවුළුවක් නෙමේ. තමුසේ තමයි හිතෙන් මවාගෙන ඉන්නේ ඒක කවුළුවක් කියලා.

සිත්තරා කලබලයට පත් නොවී දිගටම කතා කලේය.

මට ඕනෑ වුනා මේ කාමරය එළිය කරන්න. ඉතිං මම එහෙම කෙරුවා. මගේ කවුළුවෙන් අහස පේනවා. ඔබටමත් ඇතුළට එද්දී ඇස් වහන්න වුනා. මොකද එළිය හින්දා.

මේ අවස්ථාවේ ජේලර් සැබැවින්ම කෝප වී සිටියේය.

තමුසේ ලෑස්ති වෙන්නේ මට ප්‍රෝඩා කරන්නද නැත්තම් වෙන එහෙකටද? මේ බලකොටුවේ මොනවා තිබුනත් කවුළු නෑ. මේක ඇතුළට එන කවුරුවත් කවදාවත් දවල් එළිය දකින්න ජීවත් වෙන්නේ නෑ.

ඒ උණත් දවල් එළිය මගේ හිර කුටියට එනවා. ඇරුණු කවුළුවෙන් - සිත්තරා කීවේය.
ආං - ඇත්තට? ජේලර් ඔහුට සමච්චල් කලේය. එහෙනම් තමුසේ ඇයි පැනල යන්නැත්තේ? අන්න එහෙනම් තමුසෙට තිබුනා, තමුසෙගෙ කවුළුව ඇත්ත කියල මට ඒත්තු ගන්නන්න.

සිත්තරා ජේලර් දෙස විමසිලි බැල්මක් හෙලා බිත්තිය දෙසට පියවර කිහිපයක් ගොස් කවුළුවෙන් එළියට පැන්නේය.

නැවතියන් ජේලර් ඔහු නැවැත්වීමට උමතු ලෙස තැත් කරමින් , ඔහු පසුපස වේගයෙන් ගිය නමුත් යළිත් වරක් ඔහු කළේ ඔහුගේ හිස මහ හඩින් බිත්තියේ හප්පා ගැනීම පමණි.

සූදානමින් මිනිහා පැන්නා යි, සිත්තරාගේ සිරුර වා තලය අතරින් වේගයෙන් පහළට ඇදී යනුත්, සිරුර බලකොටු පාමුල ගල් පුවරුවේ වේගයෙන් වදිනුත්, ඇසෙන විට ජේලර් කෑ ගසන්නට වූවේය.

[ඇරුණු කවුළුව ප්‍රකට රුමේනියානු කිවිඳියක වන ඇනා බ්ලැන්ඩියානා ලියූ කෙටි කතාවකි. ඇගේ කවි කියවා කෝප වූ පාලකයන් ඒවා පල-කරන්නට ඈට ඉඩ නොදුන්හ. එහෙත් ඈ සාහිත්‍යය පිළිබද ඇගේ විශ්වාසය තුළම නොසෙල් වී සිටියාය. මෙය 1990 දී මුල් වරට පළවිය. ඉතා කෙටි නිර්මාණයක් වුවද ඉතා ගැඹුරු අරුත්බර කම්පනයක් මෙම කතාව රසිකයා තුළ ඇති කරයි.]

රුමේනියානු බසින් ඉංග්‍රීසියට නැගුවේ - ෆ්ලෝරීන් බිකැන්
සිංහලට නැගුවේ - ලියනගේ අමරකීර්ති
(1998 දී පළ කළ ලියනගේ අමරකීර්තිගේ මල්බර සමය කෙටිකතා එකතුවෙන් උපුටා ගන්නා ලදී.)


ඇනා බ්ලැන්ඩියානා
පරිවර්තනය - ලියනගේ අමරකීර්ති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වසර දෙදහස් පන්සීයක ඉතිහාසය වරුගණන් තළුමරමින්, දේශණ පවත්වමින්, ගල් කුළු අතර දිවයමින්, රූපවාහිනි දෙවනත් කරමින්, ගම් නියම්ගම් ඔස්සේ මහා සංචාරයේ යෙදුන ද ඉතිහාසයේ අක්මුල් සොයා ගිය ද වසර දෙදහස් පන්සියයක් ඉතිහාසයෙන් තබා මෑත ඉතිහාසයෙන්වත් ඉගෙනගත් දෑ මේයැයි පෙන්වීමට හැකි දෙයක් මෙරට මහාජාතිය සතුව නැත. එසේ නොමැතිනම්, මේ තරම් පිරිහුණු රටක් නිර්මාණය වන්නට, ජනතාපරමාධිපත්‍යය මෙතරම් පිස්සු කෙළිනා තත්ත්වයක් ඇතිවන්නට කිසිම කාරණාවක් නොමැත. ඉතිහාසයේ වූ වැරදිවලින්වත් පාඩම් ඉගෙන නොගන්නා සේම ඉතිහාසයේ වූ වැරදි නැවත නැවතත් සිදුවේ නම් එවැනි රටක් ජාතියක් පිරිහීමේ මාර්ගයේම යන්නේය.

මෙරට ඉතිහාසය පුරාම එකම වැරැද්ද නැවත නැවතත් කර තිබේ. එහි ළඟම උදාහරණය පසුගිය 18 වනදා ගාලු මුවදොර පිටිය දෙවනත් කරමින් පැවැත්වූ යුධ සැමරුමේ පළමු සංවත්සරය සැමරීමය. තවමත් උතුරේ බිඳීගිය සිත්සතන් සුවපත්වී නොමැති වටපිටාවක, මේ උජාරු ජයපැන් උත්සවයෙන් ඒ බිඳුනු සිත්හි වේදනාවන් වැඩිවනවා මිසක එය සැබෑ මානුෂීය සැමරුමක් නම් නොවන්නේය. තවත්, එහි ඇති බැරෑරුම් කාරණා ගණනාවක් වටහා ගැනීම වැදගත්ය. දමිළ සහෝදරයා උතුරේ අන්ත අසරණ තත්ත්වයකට වැටී සිටින මොහොතක මෙවැනි සැමරීම් වලින් සිදු වන්නේ ඔවුන්ගේ සිත් සතන් තව තවත් පෑරීම නොවේද? ඔවුන්ගේ ද අම්මා, තාත්තා, අයියා, අක්කා මේ ජය පැන් බොන යුද්ධය නිසාම අහිමි වන්නට ඇත. ඒ අහිමි වීම සමරා දකුණේ ජයපැන් බීම, කෙතරම් සදාචාර සම්පන්න දැයි යන ප්‍රශ්ණ ගණනාවක් අප ඉදිරියේ තබයි.

එය රාජපක්ෂ ආණ්ඩුව අහිංසක දමිළ ජනතාවට ගසන තවත් කනේ පාරක් නොවන්නේ ද? එය රාජපක්ෂ ආණ්ඩුව තවමත් මිලිටරි බලය උත්කර්ෂයට නැංවීම කෙරෙහි තබා ඇති අසීමිත විශ්වාසය පිළිබිඹු නොකරන්නේද? අනෙත් පැත්තෙන් එයින් ගම්‍යමාන වන්නේ ආණ්ඩුව මේ වන විටත් ප්‍රජාතන්ත්‍රවාදයේ අක්මුල් සිඳීමේ පිඹුරුපත් සකසමින් සිටින නිසාම එකී බල ක්‍රීඩාව සුජාතකරණය කොට, දකුණට සිල්ලර ''ෆන්'' එකක් දීමය. බඩගින්නේ මියෑදුනත් තමන් ඇඳිවත උකස්කර හෝ ෆන් ගැනීමට සූදානම් පිරිසක් දකුණේ සිටිනා බව මොවුහු දනිති.

දමිළ ජනතාවගේ ප්‍රශ්ණය තවමත් පැවති තැනමය. යුද්ධය දිනුවායැයි පම්පෝරි ගැසුවද තවමත් උතුරේ ප්‍රශ්ණයට ස්ථීරසාර විසදුමක් සැපයීමට දකුණේ ආණ්ඩුව සූදානම් නැත. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය ලෙසින් කිනම් නමකින් කෝටි ගණන් වැයකර කටවුට් ගසමින් වැඩසටහන් ආරම්භ කෙරුණද උතුරට හා නැගෙනහිරට අත්වූ සුගතියක් නම් නැත. ඉතිහාසයේදී සිදුවූ වැරදි රාජපක්ෂ ආණ්ඩුව ද සිදුකරමින් සිටී. ප්‍රශ්ණයට සැබෑ විසඳුම් සෙවීම පසෙකලා, උතුර හුදු සංදර්ශන බිමක් බවට යනු පත් කෙරෙමින් තිබීම කණගාටුදායකය.

කාළිංග යුද්ධයෙන් ජයගත් අශෝක අධිරාජ්‍යයා පවා යුද්ධය, ප්‍රචණ්ඩත්වය කෙරෙහි තැබූ තම අපිරිමිත විශ්වාසය වෙනස් කරගනිමින් සර්ව ජන සුගතිය වෙනුවෙන් කැපවුණි. සිදුවූ මිනිස් සංහාරය තමන්ගේ හෝ වේවා වෙනත් රාජ්‍යයක හෝ වේවා එය මිනිස්කමට නිගාවක් බව අශෝක අධිරාජ්‍යයා පවා වටහා ගත්තද අපේ නායකයින්ට ඒවායින් වගේ වගක් නැත. වාර ගණනාවකදී ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීමේ ප්‍රතිඵල ලෙස දකුණේ සහ උතුරේ සිදුවූ තරුණ නැඟීම් ඔස්සේ විඳීමට සිදුවූ අත් දැකීම්, අපි කීපවරක් අත්වින්ද ද තවත් එයින් පාඩම් ඉගෙන ගෙන ඇති බවක් පෙන්නට නැත. ජාතින් අතර සංහිදියාව ඇතිකිරීමට අවශ්‍ය පසුබිමක් රට තුළ ගොඩ නැගීමට රාජ්‍යයට අවශ්‍යතාවයක් නැති සෙයකි. ඔවුන් එය හිතාමතාම මඟ හරිමින් යන බව පැහැදිළිවම පෙනෙන්ට ඇත.

ලෝක ඉතිහාසයේ පවා මෙලෙස පාඩම් ඉගෙන නොගැනීමේ ඵලවිපාක උදාහරණ ලෙස ගත හැක. පළමු ලෝක සංග්‍රාමය නිමවන්නේ තවත් ලෝක සංග්‍රාමයකට අවශ්‍යය බීජ වපුරවමිනි. මිත්‍ර පාර්ශ්වික රටවල් සියල්ල එක්ව පවුම් කෝටි 800ක වන්දියක් ඉල්ලීම නිසාම එයින් පීඩිත වන ජර්මන් ජනතාව තම පීඩනයෙන් මිඳීමට හිට්ලර් නැමති මිනිස් වෙස්ගත් යක්ෂයා සමග එක්වීම හේතුවෙන් ලොව, දෙවන ලෝක යුද්ධයෙන් මිහිපිට අපායක් විය. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර ජීවිත ලක්ෂ ගණනක් විනාශ වුණි. දෙවන ලෝක යුද්ධය අවසානයේදී පළමුවර මෙන් නොව එම රටවල් නගාසිටවීමේ ක්‍රියාවලියක් වෙත මිත්‍ර පාර්ශ්වික රටවල් යොමුවන්නේ පළමුවර අත්දැකීම් වලින් ඉගෙන ගත් පාඩම හේතුවෙනි. එහිම ප්‍රතිපලයක් ලෙස ජර්මනිය හා ජපානය යන රටවල් අද පත්ව සිටින ස්ථාවරත්යව ගැන සලකා බැලීමේදී පළමු සහ දෙවන ලෝක යුද්ධ දෙකෙහි අවසානයන්ගෙන් පසු ගත් ක්‍රියාමාර්ග වල වෙනස පැහැදිලි ලෙස දැකගත හැක.

රාජජක්ෂ ආණ්ඩුව ද සිදුකිරීමට සුදානම් වන්නේ ඡේ.ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව හරහා බිඳ දැමූ, මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අක්මුල් තවදුරටත් කඩා විසුරුවා දැමීමටය. 2010 ජනාධිපතිවරණයේදී වගන්ති ගණනාවක් ඔස්සේ ව්‍යවස්ථාදායකයේ බලය ශක්තිමත් කරනවායැයි දස අතේ පොරොන්දු වෙමින් බලයට පැමිණි මහින්ද රාජපක්ෂම ව්‍යවස්ථාදායකය බල්ලට දමා තමගේ බලය වැඩිකර ගැනීමට දැඟලීම මෙරට ජනතාපරමාධිපත්‍යයට ඇන්න පොල් ටොක්කකි. විධායකයේ බලතල අසීමාන්තිකව වැඩිකර ගැනීමට නොහොත් තමා කැමති ලෙස ව්‍යවස්ථාව වෙනස් කිරීමට හදිසි පනතක් ලෙස ගෙන ඒමට ලකලෑස්ති වෙමින්න්නේ කිසිදු ජනතා සංවාදයකට ඉඩ නොතබමිනි. ඡේ. ආර් කළ වරදම ඊටත් අන්ත ලෙසින් මහින්ද රාජපක්ෂ සිදුකරමින් සිටී.

අතීතයේ දැකුණේ සිදුවූ දේම නැවත වරක් සිදුවෙමින් පවතී. ඉතිහාසය පුරා මහජාතික සිංහල ආණ්ඩු මාධ්‍ය දඩයමේ ගියා සේම, අද ඒ කාර්යය එදාටත් වඩා හොඳින් සිදුකරමින් සිටී. ලසන්ත ඝාතනය සම්බන්ධව, ප්‍රගීත් ගැන තවමත් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකී වීමම රටෙහි නීතියේ අරාජික තත්ත්වය මනාව පෙන්වයි. අද දින මාධ්‍යයේ කුමක් පළවිය යුතුද යන්න පවා තීරණය කරනා තැනකට, සත්‍යය ලියන්නට පෙර දෙවරක් සිතන්නට අවශ්‍ය තැනකට මෙරට මාධ්‍ය නිදහස තල්ලුකර තිබේ.

පාලකයන් කෙසේ වෙතත් මෙහි ජනතාව ද ඉතිහාසය කටපාඩම් කරනු විනා එයින් උගත් කරුණක් නැත. සියල්ල මෙසේ සිදුවෙද්දීත් ජනතාව තවමත් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් ''ඉඳින් මේ නම් මිහිබට සුර පුරකි''යැයි සිතා බඩගින්නට නියපොතු හපමින් ද බඩ විරේකයට අයි ටී එන් මෙගා අරිෂ්ඨ බොමින් ද දිය රත් වන තුරු නෙක නෙක කකුළු කෙළි කෙළමින් ද පසු වෙති.

ක්‍රිශාන් රාජපක්ෂ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ස්වයං රැකියා අත්වැල-

එකමත් එක රටක් තිබුණා. හරියට ලංකා‍ව වගේ. ඒකටත් ලංකාවට වගේ නොයෙකුත් අන්වර්ථ නම් තිබුණා. හරියට ලංකාවට ඉන්දියන් සාගරේ මුතු ඇටය, බුවාලන්තය, ආසියාවේ ආශ්චර්ය කියනවා වගේ. ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාළව ඒ ඒ අන්වර්ථ නම් තියෙන නිසා මේ මං කියන්න යන කතාවට ගැලපෙන්න ඒ රටට කිව්වේ "කොමිස්ලන්තය" කියලයි.

මම ඉස්සෙල්ලා ලංකා‍ව වගේ රටක් කියලා නිකමට කිව්වට ඇත්තටම පුදුමයට කාරණය කියන්නේ මේක ලංකාව වගේම රටක් වීමයි. ඒකට ඉතිං මට කරන්න දෙයක් නැහැ. ලෝකේ එකවගේ දෙවල් කිහිපයක් තියෙනව කියලා කතාවකුත් තියෙනනේ. කොහොමහරි මේ දෙක පටලවගන්න නම් එපා.

මං කිව්ව වගේම "කොමිස්ලන්තේ" මිනිස්සුත් ලංකාවේ වගේම තමයි. ගොඩාක් මිනිස්සු තමන්ගේ ජීවිතේම කැපකරලා රස්සා කරනවා. ඒ මිනිස්සු හැමදාම මැරීගෙන වැඩකරනවා. ඒත් තව කොටසක් උපක්‍රමමශීලීව සල්ලි හම්බකරන්න ඉලක්ක කරගෙන වැඩකරනවා. එහෙම කට්ටිය ගොඩක්ම කරන්නේ "මාර්කටින්" වගේ තව කෙනෙක්ව අන්දන ජොබ්. ඒ ඇරෙන්න කොමිස් ගහන, පගා ගහන, එන්ජීඕ ඩොලර් හොයන ඔය ඔක්කෝටම වඩා දේශපාලනයට ගිහිල්ලා තමයි කෝටි ප්‍රකෝටිපතියෝ වෙලා තියෙන්නේ. මේවා නං ඉතිං ලංකාවට අදාළ නැහැ කියලා ඔයාලා දන්නවනේ.

ඒ කොහොම වුනත් ලංකාවට සමාන ලක්ෂණ තියෙන හින්දා "ඉක්මණින්ම කෝටිපතියෙක් වෙන හැටි" ඔයාලටත් අත්හදා බලන්න කියලා දෙන්න ඕන කියලා හිතුනා. තමන්ගේ ඇ‍ඟේ තියෙන ලැජ්ජාව, බය , ආත්ම ගෞරවය වගේ ඉල්ලුම් සැපයුම් න්‍යායට ගැ‍ලපෙන්නේ නැති හැඟීම් අවයව ටික කපලා දැම්මම මගේ පාඩම හොඳින්ම
භාවිතාකරන්න පුළුවන් වේවි.

ක්‍රමය කියන්න ඉස්සෙල්ලා "කොමිස්ලන්ත" වටපිටාව පොඩ්ඩක් කියල ඉන්නම්. සමහර දේවල් ලංකාවේ වගේම වගේ කිව්වත් මේවා පටලවගන්න එපා කියලා මම මුලින්මත් කියලා තියෙනවා කියල මතක තියාගන්න.

කොමිස්ලන්තේ පාලනය කරන්නේ නිලනොවන රජෙක්. මම එහෙම කිව්වේ රටේ නීතියට අනුව යාවජීව ජනාධිපතිකමක් ජනාධිපතිතුමාට පවරලා තියෙනවා. ‍ප්‍රාන්ත පාලනය තමන්ගේම ලේනෑයන් වගේම, මීළඟට රජවීම සඳහා රජතුමාගේ පුතාත් දත කට නියවගෙන ඉන්නවා. මෙහෙ ඉන්න මොළකාරයෝ ක්ෂණයෙන් කෝටිපතියන් වීම සඳහා සූක්ෂම, ඒත් ඉතා පහසු ක්‍රමම භාවිතා කරනවා.

රටේ නිෂ්පාදනයක් නැති නිසාත්, පිටරටින් ණයට ගන්න සල්ලි වලින්, පිටරටින් එන බඩුගන්න හින්දත් රට ඇතුලේ දේකට සම්බන්ධ වෙලා කෝටිපතියෝ වෙන එක ලේසි වැඩක් නෙවෙයි. අනික එහෙම වුනත් ඒක සක්විති පන්නයේ ගේමක් වෙන්න ඕන. එහෙම කරලා මිනිස්සුන්ගේ ශාපෙ වැදිලා තමන්ගේ කර්ම ඵලයක් වගේ තමන් පස්සේ එයි කියල බයකුත් ඒ රටේ ඉන්න මින්ස්සුන්ට තියෙනවා.

මෙකී නොකී දෙවල් නිසා "ක්ෂණික කෝටිපතියන් වීම" වගේ දේකට මේ අය සම්බන්ධ වෙන්නේ ලංකාවේ වගේ "විදේශ ආධාර" ලබන යෝජනාවලට, ව්‍යාපෘතිවලට. විදේශ ආධාර දෙන්න ඒ ඒ රටවල රජයන්ම සෘජුව සම්බන්ධ වුනු ආයතන තියෙනවා. හරියට US AID, EUROPIAN COMMISSION, GTZ, JAICA, NORAD වගේ අය ලංකාවට දෙනවා වගේ.

අර අපි ඉස්සෙල්ලා කිව්ව රටවල් වගේ රටවල් ධනවාදී ක්‍රමය හොඳින් ස්ථාවර වෙලා තියෙන නිසාත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රික ව්‍යුහය ශක්තිමත් නිසාත් විදේශ ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට ධනේෂ්වර පන්ති ක්‍රමය ශක්තිමත් කිරීම, ලිබරල් ක්‍රමය ස්ථාවර කිරීම, ධනේෂ්වර ප්‍රතිවිරෝධතා මර්දනය වගේ දේවල් පළල් ලෙස ඉලක්ක කරන හින්දා තමන් විසින් ලබාදෙන ආධාර ගෙඩිය පිටින් ගසාගෙන කන්න කාටවත් ඉඩතියන්නේ නැහැ. අඩුම තරමින් මේ ආධාර හින්දා ඔවුන්ට ගැති ආයතන ව්‍යුහයක්, ප්‍රභූ පිරිසක් වත් අදාළ ආධාර ලබාගන්නා රටේ ස්ථාපිත කර තියෙනවා. ඒක හින්දා මේ වගේ විදේශාධාර ලබාගෙන හොඳට ජීවත්වෙන්න හැකියාව ලැබුණත් කෝටිපතියෙක් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඉතිං කෝටිපතියෙක් වෙන්න නම් ආධාර ලබාගන්න ඕන ඉස්සෙල්ලා මම කියපු පුර්ව ගතිගුණ නැති රටවලින්. ඒ කියන්නේ ධනේෂ්වර පන්ති වුවමනාවන් සඳහා සෘජුව පෙනී නොසිටින, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවුණු, අළුතින් ආර්ථික ලෝක ආර්ථික ආධිපත්‍යය ලබාගන්න පොර කන රටවල් වලින්. හරියට ලංකාව වගේ රටකට ඉන්දියාව, චීනය වගේ රටවල්. මොකද හරියට ප්‍රජාතන්ත්‍රවාදය තබා නාමික සභ්‍යත්වයවත් හරියට ස්ථාවරව නැති හින්දා ආධාර ලැබෙන රටේ ඉන්න පාලකයින්ගේ ‍ඕනෑම ගෝත්‍රික වැඩකට මේ අය එකඟ වෙනවා. එහෙම කරනකොට "ක්ෂණික ‍කොටිපතියන්" බිහිවීමේ ඉඩකඩ පළල් වෙනවා.

ඉතිං ක්ෂණික කොටිපතියන් බිහිකරන "කොමිස්ලන්තෙ" ක්‍රියාවලිය ඉතාම සරල දෙයක්. ඒකට මුලින්ම කරන්න ඕන පාලනයේ ඉන්න රජතුමා හා ඔහුගේ පවුලේ අයට හිමින් සිරුවේ සමීප වීම. කෝටිපතියෙක් වෙන්න යන ගමනක් හින්දා තමන්ගේ අම්මා, තාත්තා, ළමයා, බිරිඳ තබා මුළු ලෝකයම වුනත් පාවා දෙන්න දෙපාරක් හිතන්න ගියොත් නං ඕං වැඩේ කෙරෙන්නෙ නෑ...!

ඊට පස්සේ ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ආර්ථික ආයෝජනය කරන්න පුළුවන් තැනක් හොයාගන්න ඕන. කොමිස්ලන්තේ අගනුවර හැරුණුකොට අනෙක් කිසිම දිස්ත්‍රික්කයකවත් යටිතල පහසුකම් තබා මූලික පහසුකම් වත් ක්‍රමවත්ව ගොඩනඟලා නැති හින්දා මිලියන 1000 ඉක්මවන යෝජනාවලික් ඉදිරිපත් කරන එක එච්චර අපහසු දෙයක් නෙවෙයි. කොමිස්ලන්තේ තියෙන කටපාඩම් අධ්‍යාපන ක්‍රමය හින්දා නිර්මාණාත්මක චින්තනයක් නැති එකේ කොටුවට එළියෙන් පොඩ්ඩක් හිතුවනම් එච්චරයි.

දැන් අපි බලමු කෝටිපතියා හැදෙන්නේ කොහොමද කියලා….!

විදේශ ආධාර ගන්න හදන හින්දා අපි ඇස්තමේන්තු ඉදිරිපත් කරන්න ඕන ඇමරිකන් ඩොලර් වලිනුයි. උපකල්පනය කරමු අපි ඩොලර් මිලියන 2000 ක ඇස්තමේන්තුවක් හැදුවා කියලා. ඒක හැදුවට පස්සේ ව්‍යාපෘති යෝජනාවත් එක්ක අර කියපු කොමිස්ලන්තේ රජ පවුලට ලංවෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒත් ඉතිං තමන්ගේ අදහසේ සංකල්පය ගැන කෙළපිඩක් වත් එළියට නොදාන්න පරිස්සම් වෙන්න ඕන. නැත්තං තමන්ට ඉස්සෙල්ලා වෙන කෙනෙක් කෝටිපතියෙක් වෙයි තමුන්ගේ යෝජනාව විකුණලා.

රජතුමාගේ එක්ක එක කුසේ බල්ටි ගැහුව කෙනෙක් තමයි කොමිස්ලන්තේ සම්පුර්ණ ආර්ථික සංවර්ධන කටයුතු භාරව ඉන්නේ. රට සංවර්ධනය තබා‍ පොලිස් කාරයෙක්ට රුපියල් සීයයක් වත් ගන්න බැහැ ‍මේ මිනිහට නොදී. ඉතිං තමන්ගේ ව්‍යාපෘති යෝජනාවත් එක්ක ගිහිං මේ කොමිස් ඇමතිතුමාට 10%ක කොමිස් මුදලක් (ඒ කියන්නේ ‍ ව්‍යාපෘතියේ මුදලින් ඩොලර් මිලියන් 200ක්) දෙන්න එකඟ කරවාගන්න ඕන. එතන තියෙන්නෙ ව්‍යාපෘති යෝජනාවේ ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක භාවය පිළිබඳව ඇතිවෙන පරස්පරතා නෙවෙයි, තනිකරම කොමිස් මුදලේ ප්‍රමාණයට එතුමා කොච්චර දුරට එකඟවෙනවද කියන ප්‍රශ්ණයයි. ඉතිං තමන්ගේ තියෙන කේවල් කිරීමේ හැකියාව අනුව මේ ප්‍රතිශතය 7%කට විතර අඩුවෙන්නත් 15%කට විතර වැඩිවෙන්නත් පුළුවන්. මේක හරියට දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්. මොකද වැඩේ වැරදුනොත් "දේශද්‍රෝහියා" කියන සන්නම් නාමය නොමිලේ ලබාගන්නත්, ජීවිතාන්තය දක්වා හිරේ ලගින්න උනත් කටයුතු ‍සැලසෙන්න පුළුවන්.

ඕං දැන් ලොකුම වැඩේ ඉවරයි. ඊට පස්සේ ඉන්නවා කොමිස්ලන්තේ භාණ්ඩාගාරයේ ප්‍රධාන පරිපාලකයා. මිනිහා කොහොමටත් රජා වෙනුවෙන් බෙල්ල තියන්න සූදානමින් ඉන්නේ. මොකද රජාගේ දූෂණ වුනත් මිනිහාගේ කරින් යන්න පුළුවන්. රජවරුවන්ගේ හැම දූෂණයකට හවුල්වෙලා පනිෂ්මන්ට් එහෙමත් කාලා තියෙන පළපුරුදු මහත්මයෙක් තමයි මෙයා. මිනිහත් 2% ඉඳන් 4% දක්වා කොමිෂමක් ඉල්ලනවා. ඒකත් දීලා කොහොමහරි ව්‍යාපෘතිය ‍අනුමත ‍කරගත්තොත් වැඩේ අමාරුම කොටස ඉවර වෙනවා.

බැලූ බැල්මට මේ වැඩේ ඇතුලේ ලොකු ඇඟ වෙහෙස කරවිලිවත්, වෙන අනංමනං කරදර වත් පේන්න නැහැ. කරන්න තියෙන එකම දේ තමයි ලොක්කන්ට අදහසක් දිලා තමනුත් ඒකෙන් ගානක් තියාගන්න එක. හැබැයි පුතෝ, ඕං මුන් ලෝක අණ්ඩයෝ. ඒක හින්දා තමයි ගේමක් ගහන්න යන කෙනා සීරුවෙන් වැඩ කරන්ඩෝනේ. එතනදි ගොඩාක්ම පිරිසකට වෙන්නේ තමන්ගේ යෝජනාව කුණුකොල්ලෙට පැහැරගන්න දීලා බලන් ඉන්න වෙන එකයි. ඒක වෙන්නේ මෙහෙමයි.

මම මුලින්ම කිව්වා වගේ මේ ගේම් හොඳට ගහන්න පුළුවන් අළුතින් ආර්ථික ආධිපත්‍යය දරන්න ආපු රටවල් එක්කයි. බොරුවට පිටට පේන්න තිබුණත්, මේං මේ කස්ටිය සභ්‍යත්වය, සදාචාරය තඹ සතයකටවත් ගණන් ගන්නේ නැහැ. හරියට ඔය ලිංගික පාපය ගැන කුහක බණ කියන එකෙක් ඇස්වහපු ගෑණියෙක් එක්ක ඇඳක තියනවා වගෙයි. තමන් කියන්නේ මොනවද කියලවත් මුන්ට අමතක වෙනවා.

තුන්වෙනි ලෝකයට තමන්ගේ ආධිපත්‍යය දාන්න අවස්ථාවක් ආපු ගමන් කිසිම දෙයක් හොයන්න උන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතිං මේක ගැන දන්න අපේ රජතුමාගේ එක කුසේ බල්ටි ගැහුව පුංචා කරන්නේ තමන්ට කවුරුහරි අදසහක් දාපු ගමන් අදහස කියපු මිනිහටත් හොරෙන් කෙළින්ම අර ආධාර දෙන රටට ගිහිං අමු අමුවේ විකුණලා තමන්ගේ කොමිස් මුදල ස්විස් බෑන්ක් අකවුන්ට් එකට දා ගන්න එකයි. එතනින් පස්සේ තමන්ට එල්ලවිය හැකි ‍චෝදනා ගැන දන්න හින්දා මුලින්ම කරන්නේ අර යෝජනාව දාපු මිනිහව නැත්තට නැති කරන එකයි. ඒකත් එක්ක ගත්තම "ක්ෂණීක කෝටිපතියා" වීම පහසුයි වගේම භයානකයි…!

අවසාන වශයෙන් කෝටිපතියා බිහිවෙන්නේ මෙහෙමයි. ඔය සියළු බාධක මැඩගෙන ඉදිරියට ගිය පුද්ගලයා තමන්ගේ කොමිස් මුදල හැටියට ඉල්ලන්නේ 1% මුදලක් පමණයි. ඒ කියන්නේ ඩොලර් මිලියන 20යි. (ඇමරිකන් ඩොලරයක් රු 110 ක් ලෙස ගත්තත් මේ මුදල රුපියල් මිලියන 2200ක්, කෝටි 220ක්) ඔන්න එතකොට කෝටි නෙවෙයි ප්‍රකෝටි පතියෙක් ක්ෂණිකව කොමිස්ලන්තේ පහළ වෙනවා. එතනින් පස්සේ ඔය යෝජිත ව්‍යාපෘති කොමිස්ලන්තේ ඊළඟ අයවැය වාර්තාවට ඇතුලත් වෙන එක එච්චර දෙයක් නෙවෙයි.

මාධ්‍යවල බයිලා ගහන ආචාර්ය මහාචාර්යවරයෙකුට රු 1,00,000ක් දුන්නත් මොකද ඔය ව්‍යාපෘති ගැන වර්ණනාවක් කරනවා නම්. ඔය යක්කු විශ්ව විද්‍යාලයේදි මාසෙකටම ගන්නෙත් රුපියල් 50000යි…!

ලංකාවේ ජාතික ව්‍යාපෘතික් බිහිවෙනවා පිට ඉන්න අපිට පෙන්නේ ආසියාවේ ආශ්චර්ය පහළවුනා වගෙයි. සමහරවිට ඊළඟ අවුරුද්දෙ එක අමාත්‍යාංශ පහකට තියෙන එකම වැඩේ බවට මේ යෝජනාව පත්වෙනවා. ව්‍යාපෘති නිසා පරිසරයට, වන සත්තුන්ට තියා මිනිස්සුන්ට වුනත් හෙණ ගහලා ගියාට ගණන් ගතයුතු නැත. ව්‍යාපෘතියට අදාළ "සියළු භාණ්ඩ වැඩි මිලට ආධාර සපයන රටෙන් ලබාගත යුතුයි" යන කොන්දේසි හෝ "කම්කරුවන් එම රටෙන් ආනයනය කළ යුතුයි" වැනි කොන්දේසි පඩයකටවත් ගණන් ගත
යුතු නැත.

කොහොම වුනත් ව්‍යාපෘතිය අනුමත වුනාට පස්සේ ඒකේ නිර්මාපකටය තියෙන්නේ තමන්ගේ 1%ක කොමිස් මුදල අරගෙන කොපිරයිට් පිටින් රජපවුලට බාර දෙන්න. එක හොරකමකින් පස්සෙ, අදින්නාදානාව මාර පවු වැඩක් වගේ විකාර ඔලුවෙ හොල්මන් කරන්ඩ ගත්තොත් එහෙම, ක්ෂණික කෝටිපතියට තමන්ගේ ජීවිත කාලෙම පැත්තට වෙලා ජීවත් වෙන්නත් ඕන නම් අවකාශ තියෙනවා.

සල්ලි හොයන්න නියම ධනාත්මක චින්තනය මේකයි! කොමිස්ලන්තේ නම් සමහරු තමන්ගේ නිවස රුපියල් කෝටි 10ක් විතර වැය කරලා හදලා, තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට කෝටි 50ක් විතර වැයකරලා, තමන්ට ඡන්දෙ දුන්න අයට හොඳට සළකලා, තවත් කොටි 100ක් විතර පොතේ දාගන්නත් මේ වගේ ව්‍යවසායකයන්ට හැකිවෙලා තියෙනවා.

ජොබ් නැතුව වේලෙන උපාධිදාරීන්ට, ඔළුව තිබුණත් අතමිට නැති ව්‍යවසායකයන්ට, අවසාන වශයෙන් වේලි වේලි ඉන්න ලංකාවේ තාරුණ්‍යයට, ගෙවල්වලට නාකි වෙවී නියපොතු කිලෝ ගණං කකා ඇපෙන්ඩිසයිටිස් හදා ගන්නවා වෙනුවට.... කරනව නම් මෙන්න වැඩ.........!!!

පසුසටහන-

මේ වැඩේ පටන් ගැනීමට අයෙක් උත්සාහකරනවා නම් මුලින්ම මානසිකව ඒ සඳහා සූදානම් විය යුතුයි. ඒ සඳහා හොඳම අභ්‍යාසයක් වන්නේ ලංකාවේ පවතින පොඩි පොඩි ව්‍යාපෘති (පාරවල් සෑදීම, තාර දැමීම, විදුලිය ලබාදීම, නල ජලය ලබාදීම වැනි) සඳහා වැයවන මුදල් ගැන සඳහන් බෝඩ් ලෑලි කියවීමය. ඒ සඳහන් වන මුදලින් 1%ක සිට 5% දක්වා ශුද්ධ ලෙස කොමිස් ලබාගත හැකි බව සිතේ තබා ගත යුතුය. එය මෙකී ව්‍යවසාය සඳහා යොමුවීමට මනා උත්තේජනයක් සපයනවා නියතය. වැඩිකල් නොගොස් අදම වැඩ අරඹමු…!!!!

දොන් ජුවන් එදිරිල්ලේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පෙම්වතා දුප්පත්ය පෙම්වති ඇක්ට්‍රස්ය
පිචැර් එක බැලුවෙ දාවල් ගම්පහය
ඉන්ටවල් එකේ කැව්වේ චොකැලැට්ය
ඉලව්වේ ගෙදර යන්න පරමාදේ සංගදිය

කල් තව තියනවා සුදෝ ටියුටරි ඇරෙන්නට
ගෙදර ගියොත් වේලාසන හොර අද අහුවෙනවා
රන්කත ඉවසන්න පොඩ්ඩක් කල්පනාවේ
ලොජ් එකකට ටිකකට යමු රෑ බෝ වේ

ගැටයා පපුව පුම්බා ගියා පෝනිං සෙන්ටර්
ගැටිස්සී අදි මදි කලා බෙල්ලේ රන්දමට
කමක් නෑ තව තොවිලයක් නටනව ගෙදර
ඔන්න ඉතිං ඉගිල්ලුනා දෙන්නා ආට එකේ

බාල අපරාදෙ හොඳ ටික බයිස්කෝප් වලත් නැත
තාත්තලා වැඩ ඇරිලා නෑගං ආවේ පොලිසියට
තොපි දෙන්නම මකබෑ වෙයව් අම්මප අපට එපා
ඔෆිස් බෑග් පත බෑවුණා ඔළු ගෙඩි වලට

අනේ වස්තුවේ පැලෙනව මගෙ හර්දේ
සිබිඩිඩෙන් පනින්ඩත් කලියෙන් ගාගෙන හත් පොළක
මෙහෙව් රටේ මෙව්වා වෙනවා හප්පෝ
ඇහැකන පියාගත්තම හරි යනවාද බොලව්

නිරෝධා තුෂාරි නානයක්කාර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"මගේ පෙම්වතා දෙවි කෙනෙක්"
- පෙම්වතියක් -


හැබෑටම පුළුවන්ද
දෙවියෙක් එක්ක
පෙම් කරන්න

සදා කුටියක්
වඩා හිදුවා
පළඳා මල් මාලා
අල්ලා අඟිල් කපුරු

නෙලා පළවැල
පුදා පාමුල
වසා තිර පට

ඔබා දණ
එකත් පස්ව
ඉන්නවා මිස,
එබී එබී උනුන් නෙතු පතුල
සොය සොයා විසල් පෙම ඉම් හසර

නෙලා උනුන් සිරුරත
මනු සත් පෙමක නොනිමි කැටයම
මී දුමක් සේ
දියව යා හැකිද ...?
දෙයියෙක් එක්ක....

-අහස හැඩි වී ඇත 009

රෝහණ පොතුලියැද්ද

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කඳුකර කඳුළු
නොගිල්වා සාර තේ පඳුරු යට
කෝල් මුරයෙන් පණ ගසා පේ කර
ප්ලැට් කෙරුවෙ
ඒ දෙවොල් බෙර හඬ
මහතෙකුව හොඳින් ඉන්නද?

තාරකා නිදිකිරා වැටෙන රෑ
විසුනු කර මොනර නිල් කවි ආර
අකීකරු පුත්‍රයා නුඹ එ සඳ
චණ්ඩි කම් කළ
තැලෙන පෑගෙන උංගෙ පඩි ගෙන

රටේ කවියා නේද උඹ
හරියයිද
මහතෙකුව සොඳින් හිඳ?

රශ්මි විහිදන කවි රැස
මවා ගොස්
මහ දවල් මහ මග
මහතෙකුව හොඳින්
හිටියැකිද පියෙකුට
ඒ කවි පුතුන් නැළවෙද්දි
පැළලි කවියන්ගෙ
උකුළත

මුල අනුමුල කැන මැන
හඳුනන
පොඩි මල්ලිලාගේ ද හද මැන
පුරුද්දාපන්
පරණ ගමනෙම දිගුව
මහතෙකුව හොඳින් හිඳ කුමට
කවි දුන්න පොළොවට
ආගන්තුක ව

ඩී. එම්. ටීම්රාන් කීර්ති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඔවුන්
මා මිරිකා
සාරය ගනියි...

ඉල ඇට ද
කොඳු ඇට ද
ඔළු ඇටද
පුපුරවමින්
මිරික මිරිකා එකතු කරයි

හැඩ ගසා
බ්‍රොයිලරයන් කරන පාසල
වැඩ දමයි දහම් පාසල

සිරිමත්ය පවුලට
පාඩම් කරති කෙළියට
පාස් කර කඩ ඉම
පැක්ටේරියට නිසි ලෙස

පැක්ටේරියයි මේ
ඔෆිස් කියා කියන
ටයි දමාගෙන ය එන්නේ
අමුඩෙත් මගේ නෙවෙයිනේ

ඒසී දමා දී
කැරකෙන පුටු වලට බර දී
මොනිටරයටම නෙත් දී
ජීවිතයම පැරදී

මා මිරිකා
සාරය ගනියි...

මා මිරිකා
සාරය ගනියි...

ඒ සාරය එක මිට ගෙන
එච්එස්බීසී හරහා
ස්ටෑන්ඩඩ් චාටට් හරහා
යුරෝපයට
සැප කොළඹට
කොළඹ 7 ට
ඇයි රජගෙට...?

උන් මහ මාළිග නංවයි..
නවතා ඇත කඩ්ඩෙන්
නවතා ඇත විනයෙන්

කුඩා කාරයක ඒසී
නවතාලයි මා කේන්ති

ණය ගමු අප රොක් වෙලා
ක්‍රෙඩිට් කාඩ් එක් වෙලා

මුළු ලොවටම ඇහෙනා සේ
කෙසේ කෑගසම් සිත්සේ
එක පසෙක පියන්ය
අනෙක් පසෙහි යාලුවන්ය
පිටුපස මා කෙල්ල සිටී
ගැට්ට ඉදිරියෙන්ම සිටී

කෙසේ කෑගසම්ද මා
ටයි පටියක් ගෙල වටකර
ජෙල් කොණ්ඩය හිස වටකර

වෙනස් නොවේවි
මා කොණ්ඩය
බදින ටයි පටිය
පැදයන කුඩා කාරය
ගෙතුලටම වැදී
මා නෙතු පියන් වෙහෙසී
දිනක් ඒවිද මතු
බසින්නට එළියට
බලන්නට නිල්වන් සයුර
..........
එතකොටම තව එකක්
මාසික ණය වාරිකය
වාහනයේ ෆිනෑන්සය
සෙනසුරාදා ගෙවෙයි
අයියෝ රෙදි සේදුමටම
හවස් වන විට
මිරිකා ගනිමි බෙල්ල
හෙට ඉරිදා
අනිද්දාට සූදානම්ව
සඳුදා වැඩ
.........
යමි
සියල්ල හැරදා
රැස්වීමට
සෙල්ෆෝනය වසා
මොලයද වසා
සිරුරෙන්ම පමණක්
පෙනී සිටිනෙමි
..........
ටයි දමන් ඉන්න වුන්
දැන් ඉතිං හිතපියව්
කෑගසන ක්‍රමේ ගැන
හොයපියව්

විශ්ව උයන්ගොඩ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලේ ගලනකොට
නොදැනෙන දුක
මේ කොතනින්ද ?
පස්කාගෙන මැරෙන
දෙපස
සෙබලුන්
පුරවැසියන්
මැරෙන බව දැන දැන
නොඉස්සුන දබරැඟිලි
ඉස්සෙන්නෙ
කාගේ දුකකටද ?
කාගේ කණගාටුවකට ද ?

මරාගෙන මැරෙන සෙබලුන්
සන්නද්ධ වි. කා. බ. සෙබළුන්
එකම ගුලියක වට වෙවී මැරෙන විට
පිළිස්සෙන මස් ගඳ ඈතට දැනෙන විට
කොහි හිටියේද මේ උන්
ඇස් ඇරුණේ දැන් ද බැන් කී මුන්?

සුළු ජාති මහ ජාති
බේද නැති මිනී කඳු
ගොඩ ගැහෙනවිට

තානාපති කාර්යාල
තානාපති මතවාද
තානාපති බාසාව
තානාපති සුව කෑම
එකට බුදිමින් සැවොම
කොන්ෆරන්ස් කාමරය ඉදිරිපිට
වැළඳගෙන
මිරිකමින් උනුන් අත්
නොපෙනුනිද
දෙපස අදිරද කඳවුරු
අඩුවයස් ලපැටියන්
මරාගෙන මැරෙන්නට
යැවූ බව
උන්ගේ මළමිනී වත්
නාකි මවුපියන් වෙත
නොයැවූ බව
කොහි හිටියේද මේ උන්
ඇස් ඇරුණේ දැන් ද බැන් කී මුන්?

සැප පුටුවේ
මකුණෝ බෝ වුනාවද
ගම් පිටින් කැති ගෑවෙන විට
ගම් පිටින් ෂෙල් වලින්
සමතලා වෙන විට
නොනැගිටුන පුටුවලින් උඩ පැන
රංචු ගැහෙමින් අවට
'ඩිප්ලොමැටික්' වචන
මැෂිමෙන් වගේ පිට වෙන
කොහි හිටියේද මේ උන්
ඇස් ඇරුණේ දැන් ද බැන් කී මුන්?

ආඳා යවාලා
වල්පත අතට ගෙන
නටන තොවිලෙන් කුමන
බෙර පලුව හිල් වෙයිද?

-2010/06

කිරිමාමා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


පෙළ ගැසීමේ කවිය

මට නිබඳ තනි රකින
කුප්පියේ ගිනි දැල්ල
දෙපැත්තට පැද්දෙමින් නිදි කිරයි...
ඒත් මා ලණු පුටුවෙ සීරුවෙන්
නිදි ‍බිඳෙන -පෙළ ගැසෙන-කවි ලියයි...

මටම පුදුමයි!
ප්‍රාණවත් අකුරු වැල් කෑ ගසයි...
සොයුරනේ අවදිවව්!
සොයුරනේ අවදිවව්!!
ප්‍රාණවත් අකුරු වැල් කෑ ගසයි...

අලුත් අසිපත් රැගෙන
ඒ හඩට පෙළ ගැසෙන
විඩාබර දිරි මුහුණු මට පෙනෙයි...
මොහොතකින්
පත් ඉරුව පිරී යයි...
ඩා දියෙන් තෙත්ව ගිය
ඒ සියලු මුහුණු මත
එකම පැතුමක සොඳුරු ලකුණු වෙයි...

ප්‍රාණවත් අකුරු වැල් සුභපතයි...
"නුඹලාට නිසැකවම ජය ලැබෙයි !!!"
හැඟුම් බර මුහුණු මත
යන්තමට පිපෙන හසරැලි තුළින්
ප්‍රේමයේ ලෝකයක් මට පෙනෙයි
"සොයුරනේ !
මෙය නොවෙද අප පැතුව සොඳුරු ලොව"
මෙවර මට කෑගසන්නට සිතෙයි...

නමුදු මේ අඳුරුබර රාත්‍රියයි
වකුටු වී නිදි නොවැද
පෙළ ගැසෙන්නට ඇවැසි
අවදියෙන් සිටිය යුතු කාලයයි...



මංජුල වෙඩිවර්ධන
නිරුත්තර සමාධිය 1997

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


සිල්දෙනෆිල්*


සිල්පද බිඳෙනු ඇත
සංකර විදුලි බුබුලු යට
ගතින් ගත
ඇසින් ඇස
පුන්සඳ මෝදු වන සඳ
සිල්දෙනෆිල්* දන
සිල් පද බිඳුනු සැඩ
කකියන පුන්සඳ
අමාවක වනු ඇත සුළු මොහොතකට
සිල්දෙනෆිල් දන
කෙලින පිස්සු දැක



* සිල්දෙනෆිල් [Sildenafil] මෝචනය පමා කරවන ඖෂධයක්.

නුවන් චින්තක
06/2010

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


පිතු පහන

සඳ වෙල ගලා අහස් ගඟ උතුරා
ගල් වළේ මායිමේ කැදැල්ලේ
ඊයේ මෙන් අදත් දුර ඇසෙන්නේ
හද විල්හි මුදු තරඟ සසල කළ ඉකි බිඳුම්

රොස් පරොස් ගිගුම් දුන් ඒ පැලේ කඩුල්ලේ
සේපාලිකා මලකි ඇමිණිලා තිබෙන්නේ
මවක් නැති අසපුවේ විසල් තුඹසක් මැවී
පිය සුවඳ මැකී රුදු සපු දරණ ලිහෙන්නේ

මීන චංචල දෑස පර වී
තව ම කිරි සුවඳ ඇති දෙතොල් පොඩි පිපිරී
පිතු සෙනේ පිරි හදෙහි විස දළ ඇනී
අනේ කඳුළැල් ලතා කඩුල්ලේ ලියල යි

මැදයමෙහි ගඟේ දිය හෝ ගා හඩන්නේ
දරු කුසුම ගිලිහී පුදසුනෙහි වැටෙන්නේ
සසර දුක තලුමරන රතැස් යුග බමන්නේ
පිතු පහන ගිනිගෙනා අසපුව ම දැවෙන්නේ

තිඹිරියාගම බණ්ඩාර
1994
වෙසක් කුණාටුව [1996] කාව්‍ය සංග්‍රහයෙනි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

කාව්‍යා

Posted by හෂිත 6.23.2010














නොකල්හී වියපත්ව
මැකෙන්නට ඉඩ නොදෙමි
මුතු අකුරු නොම දනිමි
කුරුටුයෙන් කටු ගාමි

හාත්පස ගිනි වදින
දහවලක ඔබ දකිමි
ලෙහි හොවා රැක ගනිමි
දැවුණු පද සුව කරමි

රුදු සීත කුණාටුව
මුලා කල වග හඟිමි
පොරෝනා රැගෙන එමි
උණුහුමින් සනසවමි

වසත් කල නිමාවට
රැස් ගෙනෙන හිරු දකිමි
හද වතේ බැමි ලිහමි
කවුළු දොර හැර තබමි

-ධනුෂ්කා නිශාදි කුලරත්න-
2010


පින්තූරය: ලිශාන්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



මං එදා සෙල්ලං කරලා ගෙදර ආවෙ හෙම්බත් වෙලා. අපේ ක්‍රීඩා නිවාසෙයි, තවත් නිවාසෙකුයි අතර පාපන්දු තරඟෙන් අපි දිනුව. ලකුණු 44:37 ට. මං ඒ හින්දා හරිම සන්තෝසෙන් හිටියේ. ඉක්මනට අත් දෙක හෝදගෙන මං කෙළින්ම ගියේ කුස්සියට. කුස්සියේ මේසෙ ලඟ වාඩිවෙලා මං අම්මට මෙහෙම කිව්වා.
"අම්මෙ, මට යකෙක් කන්න බඩගිනී..."
අම්මා හිනාවුණා. "පණ තියෙන යකෙක්ද?"
අම්මා ලිප ලඟින් අහකට හැරුණා. එයා අතේ දුං දමන පිඟානක්. මං හිතුවා ඒ මගේ ආසම සුප් ජාතිය කියලා. අම්මා මං ඉස්සරහින් පිඟාන තියලා, "ඔන්න කාලා බලන්න...." කිව්වා. ඒත් ඒ නූඩ්ල්ස් එක්ක කිරි සුප්. යොදය පිරිලා. හරියට ත්‍රිපෝෂ වගේ. ත්‍රිපෝෂත් එක තලියට තියෙන කෑමක්. කිරියි- නූඩ්ල්සුයි එකට දාපු සුප් එකත් එකට ඇලිලා. යොදයත් තියෙනවා. ඒවා කනවා තියා, මට දකින කොටත් වමනෙ යන්න එනවා.

"අපෝ, මට එපා.."
"කතා කරන්න එපා!" අම්මා සැර කළා.
"මේ යොදය පිරිලා.."
"මොන යොදයක්ද?"

තාත්තා ආවා. එයා අපි දිහා බලලා, "මොකද දෙන්නත් එක්ක බර කතාවක්" කියලා ඇහුවා.

"බලන්නකෝ මෙයාගෙ විකාර! මේ කෑම කන්න බෑ කියනව. මෙයා තව ටික දවසකින් අවුරුදු එකොළහ ලබනව. ඒත් තාමත් තොත්ත බබෙක් වගේ වැඩ කරන්නෙ.."

මට තව ටික දවසකින් ලබන්නේ අවුරුදු නවය. ඒත් අම්මා හැමතිස්සෙක කියන්නෙ මට එකොළහක් වෙනව කියල. මට අවුරුදු අටේදි එයා කිය කිය හිටියේ මට ඊලඟට ලබන්නේ දහය කියලා.

"ඇයි මෙයා කන්නෙ නැත්තෙ?" තාත්තා ඇහුවා.
"ඇයි සුප් එක කරවුණාද? එහෙම නැත්තං ලුණු වැඩි වුණාද?"
"මේ උණු කරපු කිරියි, නූඩ්ල්සුයි. ඒ මදිවට යොදේ පිරිලා"
තාත්තා ඔලුව වැනුවා.
"හා. ඒකත් එහෙමද! අපේ මහරජතුමට මේ කෑම රහ මදිවෙලා. එයාට රිදී බාජනේක දාලා අමෘතෙ ඕනෙ වෙලා!"

මට හිනා. තාත්තා හැම තිස්සෙම ඔහොම විහිළු කරනවා.
"මොනවද අමෘතෙ කියන්නෙ..."
"මන් දන්නෙ නෑ. මොනව හරි රහම ජාතියක්. ඔන්න ඔය සුප් එක බීලා දාන්න ඩෙනිස්.."
"ඒත් තාත්තෙ මේකෙ යොදේ තියනව"
"ඔයාට සැප වැඩිවෙලා කොල්ලෝ!" තාත්තා එහෙම කියල අම්මා දිහාට හැරුණා.

"මෙයාගෙ පිඟාන අයින්කරන්න. මට මෙයා දිහා බලන්නත් එපා වෙනවා. මෙයාට ත්‍රිපෝෂ කන්නත් බෑ. නූඩ්ල්ස් සුප් බොන්නත් බෑ. පුදුම වදයක්නෙ! මට නං මෙව දැකල ඇති වෙලා..."

තාත්තා මගෙ ඉස්සරහපිට වාඩිවෙලා මං දිහා බැලුවෙ ජීවිතේ කවදාවත් මාව දැකලා නෑ වගෙ. එයා මොනවත් කිව්වෙ නෑ. ඒත් එකදිගටම මං දිහා බලාගෙන හිටියා. මං වහාම හිනාවෙන එක නැවැත්තුවා. මට තේරුණා මේක තව දුරටත් විහිළුවක් නෙමෙයි කියලා. තාත්තා එහෙමම සද්දයක් නැතුව හිටියා. අම්මයි මමයි ගල් ගැහිලා වගෙ හිටියා. ඊට පස්සෙ ඔන්න තාත්තා කතා කරන්න පටන් ගත්තා. ඒත් එයා කතා කළේ මටවත් අම්මටවත් නෙමෙයි. හරියට අපිට න්පෙනෙන කෙනෙකුට්‍ර වගේ.

"මං හිතන්නෙ නෑ කවදාවත් මට ඒ නරක සරත් කාලෙ අමතක වෙයි කියලා" තාත්තා කිවුවා.

"මොස්කව් නගරෙ හරිම සීතලට අඳුරු වෙලා තිබුණ. ඒ යුද්ද කාලේ. නාසි හමුදා නගරෙට ගහන්න පටන් අරන්. අපි හැමෝම සීතලෙන්, බඩ ගින්නෙන් මිරිකිලා හිටියේ. මිනිස්සුන්ගෙ මූණෙ හිනාවක් නෑ.හැමෝම පැයෙන් පැයට රේඩියෝ එකෙ ප්‍රවෘත්ති අහනව"

"මට ඒ කාලේ අවුරුදු එකොළහක විතර ඇති. මං හරි වේගෙන් වැඩුණ. ඉක්මනට උස ගියා. ඒ හින්දම හැම තිස්සෙම බඩගිනි ආවා. කවදාවත් බඩ පිරෙන කල් කන්න හම්බවුණේ නෑ. මං හැම තිස්සෙම අම්මගෙන් කෑම ඉල්ලුවා. ඒත් ඒගොල්ලන්ට ලැබුණෙ පුංචි පාන් සලාකයක් විතරයි. ඒක තමයි අපි බෙදාගෙන කෑවෙ. ඒකත් මගෙ බඩට මදි. මං හැමතිස්සෙම නිදාගන්න ගියෙ බඩගින්නෙ. හීනෙන් දැක්කෙ පාන්. හැම තැනම ඔහොමයි. ඒ කාලෙ ගැන කොච්චර දේවල් ලියවිලා තියෙනවද? "

"දවසක්දා මං නගරේ පුංචි වීදියක් දිගේ යනකොට, ට්‍රක් එකක පැණි කොමඩු ගොඩ ගහල තියෙනව දැක්ක. මං දන්නෙ නෑ ඒක මොස්කව් නගරෙට කොහොම ඇතුළු වුණාද කියලා. ඒගොල්ලො ආධාර බෙදන කට්ටිය වෙන්නැති. කෙට්ටු මනුස්සයෙක් ට්‍රක් එක උඩ නැගලා හිටියා. එයා කොමඩු ගෙඩියක් අරගෙන ඒක තව මනුස්සයෙක් අතට විසි කලා. එයා ඒක අරගෙන පළතුරු ගබඩාවෙ වැඩකරපු ගෑනු කෙනෙකුට දුන්නා. එයා තව කාට හරි දුන්න. ඔය වගේ මිනිස්සු කට්ටිය එකතු වෙලා, ට්‍රක් එකේ ඉඳල පළතුරු ගබඩාව ඇතුළට කොමඩු අතින් අත යැවුවා. කවුරු හරි දක්කම හිතයි ඒගොල්ලො ඉරි වැටිච්ච කොළපාට බෝල අල්ලන සෙල්ලමක් කරනවය කියල"

"මං එතන හිටගෙන හුඟක් වෙලා බලා හිටිය.ට්‍රක් එකෙ හිටපු මනුස්සයෙක් මං දිහා බල බල සැරින් සැරේ හිනා වුණා. එයා හරිම කරුණාවන්ත පාටයි. අන්තිමට ඒගොල්ල දිහා බලාගෙන ඉඳලා මට එපා වුණා. මං ආපහු ගෙදර යන්න හැරෙන කොටම තමයි, ඒ ගොල්ලන්ට පැණි කොමඩු ගෙඩියත් අතෑරුණේ. ලොකු කොමඩු ගෙඩියක් විසිවෙලා ඇවිත් පාරෙ හැපුනා. හරියටම මං ලඟ. ඒක පිපිරුණා. කොමඩු ගෙඩිය ඇතුලෙ රතුපට මදෙයි, කලුපාට ඇටයි එක්ක ඇතුලෙ හීනි සුදුපාට ලෙල්ල... පැණි බේරෙන කොමඩු ගෙඩියයි, ඒකෙ සුවඳයි දැනුනම මට දැනුණා මං කොච්චර බඩගින්නෙද හිටියෙ කියලා. මං අහක බලාගෙන ගෙදර යන්න හැරුණා. අඩි දෙක තුනක් යනකොට මට ඇහුන කවුද කෑගහනව"

"ඒයි ළමයෝ...ළමයෝ"

"මං හැරුණා. ට්‍රක් එක උඩ ඉඳලා මට හිනාවුණු මනුස්සයා මං දිහාට එනවා. එයා අතේ අර පැලිච්ච කොමඩු ගෙඩිය"

"ආ පුතා මේක ගන්න. ගෙදර අරන් යන්න. මේක ඔයාට..."

"මං වචනයක් වත් කතා කරන්න කලින් එයා කොමඩු ගෙඩිය මගෙ අතේ තියලා ඉක්මනට ට්‍රක් එක දිහාට ගියා. මං කොමඩු ගෙඩිය බදා ගත්තා. ඒක හරිම බරයි. මට උස්සගෙන යන්නත් බැරි තරං. මං ගෙදර ගියාම වාල්යා; මගේ යාළුවටත් අඬගහලා, දෙන්නත් එක්කම ඒ ලොකු කොමඩු ගෙඩිය කෑවා. දෙයියනේ! ඒකෙ රහ! මට ඒක ඕගොල්ලන්ට වචනයෙන් විස්තර කරන්න බැහැ. ඉස්සරවෙලාම අපි ගෙඩිය දෙකට කැපුව. ඊට පස්සෙ කොමඩු කෑල්ල කනකොට පැණි අපේ කන් වලටත් විසි වුණා.පැණි බේරෙන කොමඩු ගෙඩියෙ යුෂ අපේ කම්මුල් දිගේ බේරුණා. අපෙ බඩවලුත්, කොමඩු ගෙඩි දෙකක් වගේ පිම්බිලා ආවා. බඩට ගැහුවොත් බෙරයක් වගෙ සද්දෙ එන්න තිබුණ. අපිට දුක කොමඩු කන්න එක පාන් කෑල්ලක් වත් තිබිච්ච නැති එක ගැන. එහෙම උණා නං එදා අපිට රජ මගුල්. ඔව්..."

තාත්තා ජනේලෙන් එහා බලාගෙන හිටිය.

"ඒ සරත් කාලෙත් සීත දැනෙන්න පටන් අරන් තිබුණ. හිම පියලි වැටිලා හුළඟට පාවෙලා ගියා. අපිට දැං ඉස්සර තරම් වත් කන්න නෑ. නාසි හමුදා මොස්කව් නගරෙට එන්න එන්නම ලංවුණා. මට බඩගිනි වුනා. ඒත් මං ඒ වෙනකොට හීන දැක්කෙ පාන් කන්න නෙමෙයි. පැණි කොමඩුයි පානුයි කන්න. දවසක් දා මං උදේ නැගිටිනකොට බඩ පිටටම ඇලිලා. බඩක් නෑ වගෙයි පෙනුණෙ. මට කෑම ඇරෙන්න වෙන දෙයක් ගැන හිතා ගන්න බැරි වුණා. මං වාල්යා ගේ ගෙදර ගිහින් කිව්වා "අපි පැණි කොමඩු මාවතට යමු. සමහර විට අදත් කොමඩු බාන්න බැරි නෑ. ආයෙමත් ගෙඩියක් විසිවෙලා පැලුණොත් එහෙම අපට ඒක හම්බ වෙයි" කියල.

"අපේ ආච්චිලගෙ සාලු කරවල් වටේ ඔතාගෙන, කබායයි තොප්පියි දාගෙන අපි ගියා. ඒ මොකද උහුලන්න බැරි තරං සීත නිසා. අපි පැණි කොමඩු මාවතට ගියා.ඒක හරිම මූසල දවසක්. වීදියෙ මිනිස්සු හිටියෙ නැති තරං. හරිම නිස්සද්දයි. කොහොමටවත් දැං වගෙ නෙමේ. පැණි කොමඩු මාවතේ මිනිස් පුළුටක් වත් නෑ.අපි ගබඩාව ලඟ හිටගෙන පැණි කොමඩු අරන් ට්‍රක් එකක් එනකල් බලා හිටියා. ගොඩක් වෙලා හිටියා. කරුවල වැටුණ. ඒත් තවම ට්‍රක් එක නෑ."

"බාගදා හෙට එන්න බැරි නෑ..." මං කිව්වා.
"ඔව්. බාගදා හෙට ඒවි.." වාල්යාත් එකඟ වුණා.

ඉතිං අපි ආපහු ගෙදර ගියා. ඊලඟ දවසෙත් අපි ආයෙමත් පැණි කොමඩු මාවතට ගියා. ට්‍රක් එකක් තියා මොකක් වත් නෑ. අපි එදා ඉඳන් හැමදාම ගියා. බලාගෙන හිටියා. බලාගෙන හිටියා. ඒත් ඒක කවදාවත් ආයෙ ආවෙ නෑ."

තාත්තා කතාව නැවැත්තුවා. එයා ජනෙලෙන් එහා පැත්ත බලාගෙන හිටියෙ හරියට අම්මටවත්, මටවත් පෙන්නෙ නැති දෙයක් දිහා බලාගෙන ඉන්නව වගේ.

අම්මා තාත්තා ලඟට ගියා. ඒත් තාත්තා එක පාරටම නැගිටලා කුස්සියෙන් යන්න ගියා. අම්මා තාත්තගෙ පස්සෙන් ගියා. මං තනි වුණා. මමත් තාත්තා කළා වගේ, වාඩිවෙලා ජනේලෙන් එහා පැත්ත බලාගෙන හිටියා. එකපාරටම මටත් තාත්තයි වාල්යයි සීතලෙන් ගැහි ගැහී බලාගෙන ඉන්නව මැවිල පේන්න පටන් ගත්ත. සුළඟයි, හිමයි ඒ ගොල්ලන්ගේ ඇඟවල් වල හැපුණ. ඒගොල්ලො සීතලට ගල් වෙලා. ඒත් හිටගෙන බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. නිකම්ම බලාගෙන ඉන්නව...!

මං කොච්චර බය වුණාද කියනවා නං මගෙ පිඟාන බදාගෙන මට පුළුවං තරං හයියෙන් කාගෙන කාගෙන ගියා. ඊට පස්සෙ මං ඒක ඇල කරලා, අන්තිම කිරි බිංදුව දක්වා බීගෙන බීගෙන ගියා. ඊට පස්සෙ පාන් කෑල්ලකින් පිඟාන පිහලා ඒකත් කෑවා. වෙන එකක් තියා හැන්දත් ලෙව කෑවා!



The Adventures of Dennis by Victor Dragunsky සිංහල පරිවර්තනය "ඩෙනිස්ගේ දස්කම්" කෘතියෙන් උපුටනයකි. මෙම කෘතිය විජේසූරිය ප්‍රකාශනයකි.[2005]

වික්ටර් ඩ්‍රැගුන්ස්කි
පරිවර්තනය - කත්‍යානා අමරසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විප්ලවවාදී මතයක් වෙනුවෙන් සටන් කළ පිරිසක් සමඟ එක්ව විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම වෙනුවෙන් වූ ලෙනින්ගේ අරගලය ධනපති සමාජය පවතින තාක් නිශේධනය නොවන්නා වූ න්‍යායික, දේශපාලනික හා ප්‍රායෝගික මග පෙන්වීමක් ගෙන එයි. එනිසා අපි නැවත නැවතත් පක්ෂය ගොඩනැගීම පිළිබඳ ගැටළු නිරාකරණයේ දී ඒ වෙත යොමු විය යුතු වෙමු. එය තේරුම් ගැනීමේදී “පටන් ගත යුත්තේ කොතැනින්ද?”(1901), “කළ යුත්තේ කුමක් ද” (1902), “පියවරක් ඉදිරියට පියවර දෙකක් පස්සට” (1903) යන කෘතීන් අවශ්‍යයෙන්ම සමස්තයක් ලෙස ගෙන හැදෑරිය යුතු වෙමු. මේ රුසියානු විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ ගැටළු විසඳා ගැනීම සඳහා “කළ යුත්තේ කුමක්ද?” යන කෘතියෙන් ඔහු හෙළි පෙහෙලි කළ සංවිධානය ගොඩ නැගීමේ න්‍යායික ගැටළු හඳුනා ගැනීමට ඔබව යොමු කිරීමේ කුඩා වෑයමකි.

1901 දී ලෙනින් නිශ්චිත ලෙස විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම පිළිබඳ අරගලය අරඹන විට රුසියානු විප්ලවවාදීන් ගේ ව්‍යාපාරය පැවැතියේ සිමිත අරගලයක් තුළය. සුළුධනේශ්වර න්‍යායන් හා ව්‍යාපාරවලට එරෙහිව විශේෂයෙන් නරොඩ්නික්වාදයට එරෙහිව සිද්ධාන්තයක් ලෙස මාක්ස්වාදය ආරක්ෂා කර ගැනීමට එදා එය ප්‍රධාන ලෙස කැපවී තිබුණි. ගොවි ජනතාව පදනම් කොටගෙන ප්‍රාථමික කොමියුනිස්ට් සමාජයක් පිහිටුවීමට හැකැයි විශ්වාස කළ මෙම ව්‍යාපාර සටන් ක්‍රම ලෙස-

-යොදාගත්තේ තැන් තැන්වල මතුවන ගොවි කැරලි හා ත්‍රස්තවාදී කටයුතුය. මේ සුළුධනේශ්වර ව්‍යාපාරයන්ට එරෙහි අරගලය ගෙන ගිය ප්ලෙකනොව්ගේ නායකත්වයෙන් යුතු වූ රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් කණ්ඩායම් සැදුම් ලද්දේ මූලික ලෙස බුද්ධිමතුන්ගෙනි. මේ බුද්ධිමතුන් කම්කරු පංතිය සමඟ සම්බන්ධකම් පැවැත්වූයේ ඉතා සීමිත වශයෙන් ය. 1890 ගණන් වල සිට ප්ලෙකනොව් කරගෙන ආ මේ න්‍යායික සටන 1900 ඇරඹෙත් දී සැලකිය යුතු ජයක් මතවාදීම ය වශයෙන් අත් කර ගෙන තිබුණි. පෙර කාලයේ ශිෂ්‍යයන්ගේ හා බුද්ධිමතුන්ගේ කණ්ඩායම් තුළ මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටින්නවුන් සිටියේ අතලොස්සක් වුවද මේ වන විට මාක්ස්වාදය ප්‍රධාන ප්‍රවණතාවය වී තිබිණ.

20 වන ශතවර්ෂය එළැඹෙත්දී රුසියානු ව්‍යාපාරය තුළ අර්බූදය විකාශනය වූයේ පෙර කී කණ්ඩායම් වල මධ්‍යම පංතික ස්වරූපය හේතුකොට ගෙන ය. පළමුකොට තමන් කම්කරු පංතිය තුළට පිවිසෙත්ම මේ ශිෂ්‍යයෝ හා බුද්ධිමත්හු සියලුම දේශපාලන අරගල අත්හැර දමා කම්කරු පංතියේ ස්වාභාවික චින්තනයට අනුගත වී ක්‍රියාශීලී වෘත්තීය සමිති සංවිධායකයන් බවට පත් වූහ. මේ අයුරින් කම්කරු පංතිය මුහුණ පාමින් සිටි මූලික ප්‍රශ්න එනම්, කම්කරු පංති ව්‍යාපාරය තුළට හිතාමතාම ගෙන ආ යුතු වූ ප්‍රශ්න අත්හැර දමන ලදී. එම කටයුත්ත වෙනුවට කෙරුණේ ක්ෂණිකව සිදුවන ජනතා නැගීටීම්වලට හිස නැමීමත් ආර්ථීක අරගලය පමණක් අවධාරණය කිරීමත් ය.

මෙසේ මෙකී ප්‍රචාරක විප්ලවවාදී කණ්ඩායම් කම්කරු පංතිය තුළට පිවිසෙනවාත් සමඟ විප්ලවවාදී න්‍යාය වර්ධනය කිරීමක් සිදු නොවූ අතර එහි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධය සිදු විය. එනම් කම්කරු පංතිය තුළට පිවිසීමේ න්‍යාය දියකර හැරීමට හේතු විය. න්‍යාය වියුක්තව පවතිනතාක් කල් බුද්ධිමතුන් විසින් එය ආරක්ෂා කරනු ලැබීය. පක්ෂයේ ජීවමාන වර්ධනය තුළදී භාවිතයේ කොටසක් ලෙසින් න්‍යාය ඉදිරිපත් කෙරුණු කල්හි කණ්ඩායම් ගත පුද්ගලයන් වශයෙන්ම සිටීමට ආශා කළ බුද්ධිමත්හු න්‍යාය අත්හැර දැමූහ. එහෙයින්ම එබඳු තැනැත්තන් තමන් වියුක්ත ලෙස න්‍යාය හරඹ කරමින් සිටි කාලයේදී වූ පන්ති පදනම ම පවත්වාගෙන යෑමට සමත් වූහ. හුදු න්‍යායවාදීන් බවට පත් වූ මේ න්‍යායකාරයෝ තම න්‍යායත්, පක්ෂයත් අත්හැර දමා ව්‍යාපාරය දේශපාලන වශයෙන් දියකර දමා අවසානයේ දී සාර්ගේ රහස් පොලිසියේ ගොදුරු බවට පත්ව සයිබීරියාවට දක්කන ලදහ. ලෙනින් මේ තත්ත්වයට මුහුණ දීමේ අරගලය සූදානම් කළේය. 1901 මැයි මස “ඉස්ක්‍රා” පුවත්පතේ පල කළ “පටන් ගත යුත්තේ කොතැනින්ද?” ලිපිය මගින් ලෙනින් මේ සුළුධනේශ්වර අවස්ථාවාදයට එරෙහි න්‍යායික අරගලයේ තීරණාත්මක පියවරක් තැබීය. සැබැවින්ම අද සිට බලන කල පෙනී යන්නේ “පටන් ගත යුත්තේ කොතැනින්ද?” ලිපිය හා “කළ යුත්තේ කුමක් ද?” කෘතිය 1903 රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනය තුළදී ලෙනින් විසින් තමන් ජය ගැනීමට බලාපොරොත්තු වූ සංවිධාන සැලසුම් සඳහා පූර්ව සූදානමක් ඇති කරන ලද බවයි.

කළ යුත්තේ කුමක්ද යන්න තුළින් ප්‍රධාන කරුණු හතරක් ඉස්මතු කර පෙන්වයි.

ඉන් පළමුවැන්න, සමාජවාදය පිට සිට කම්කරු පංතිය වෙත ගෙන ආ යුතුතුය යන්නයි. කම්කරුවගේ එදිනෙදා චින්තනය ධනපති චින්තනයට සීමා වී පවතී. සූරාකෑමේ දුර්විපාකයන්ට විරුද්ධව ආත්මාරක්ෂාව සඳහා ප්‍රාග්ධනයෙන් වෙන් වී සංවිධානය වීමේ අවශ්‍යතාවය වටහා ගැනීම කම්කරුවන්ට තනිවම කළ හැකිය. එනම් කම්කරුවන් තුළ වෘත්තීය සමිති විඥාණය පහළ වීමයි. එහෙත් සූරාකෑමේ ක්‍රමයම වනසා දැමීමේ අවශ්‍යතාවය ඔවුන්ට නොවැටහේ. වෘත්තීය සමිති විඥානය වූ කලී ධනේශ්වර ක්‍රමය තුළම ගැට ගැසුනකි. මක් නිසාද යත් වෘත්තීය සමිතියක් සංවිධානය කෙරෙන්නේ ශ්‍රම ශක්තිය ධනපතියාට විකිණීමට ගණන් හිලව් කේවල් කිරීම සඳහා වන නිසාය. එහෙයින් වෘත්තීය සමිති ධනවාදය ආර්ථීක ක්‍රමයක් ලෙස පිළිගැනීමට සීමා වී පවතී. පිට සිට ගෙන එනු ලබන හෙයින් සමාජවාදී විඥානය ඇතුළත පැලපදියම් වී තිබෙන දෙය සමග ගැටීම අනිවාර්යයෙන් සිදුවේ. කම්කරු පංතිය සමඟ අන්තර් සබඳතාවක් ඇතිකරගැනීමක් ලෙසින් හා කම්කරු පංතියේ පවත්නා වෘත්තීය සමිති විඥානය සමඟ ගැටෙමින් එය ඇතුළට ගෙන ආ යුත්තේ පක්ෂය මගිනි.

ලෙනින් දක්වන දෙවන කරුණ වන්නේ සමාජවාදය යනු තනි පංතියක පිළිබිඹුවක් නොවේය යන්නයි. එය හුදු කම්කරු පංතියේ පිළිබිඹුවක් නොවේ. සමාජවාදයෙන් පිළිබිඹුවන්නේ හුදෙක් තනි පංතියක චින්තනය හෝ තනි පංතියක ස්ථාවරයක් නොව පංති අතර සබඳතාවයයි. එහි පදනම වන්නේ විශේෂයෙන් ධනපති පංතිය විසින් පෙර දවසේ රැස්කරන ලද සමස්ත ඥාන සම්භාරයයි. ධනපති චින්තනය කෙලවර වන තැනින් සමාජවාදය ඇරඹේ. සමාජවාදය පිටත සිට ගෙන එනු ලැබේය යන කියමනෙහි පිටත යන්නෙන් අදහස් කෙරෙන්නේ වෙනත් පංතියක් නොවේ. මෙහි පිටත යනු පක්ෂයයි. පක්ෂය කම්කරු පංතිය සමඟ ගැටෙන්නක් ද වේ. ඓතිහාසික වශයෙන් බලන කලද සමාජවාදය පිටත සිට ගෙන එන ලදැයි කිය හැකිය. එසේ කියන්නේ එය මධ්‍යම පංතික බුද්ධිමතුන් විසින් කම්කරු පංති ව්‍යාපාරය වෙත ගෙන ආවේ ය යන අර්ථයෙනි. පක්ෂයට මාක්ස්වාදී පක්ෂයක් වීමට පුළුවන් ප්‍රමාණයට එය දියුණු කම්කරුවන් තමා තුළට ඇද ගනී. අනතුරුව ඒ කම්කරුවෝ පිටත සිට කම්කරු පංතිය තුළට සමාජවාදය ගෙනයති. තව දුරටත් ඔවුන් වෘත්තීය සමිතිවාදීන් නොවේ. ඔවුන් පක්ෂයේ සාමාජිකයෝ ය. එමෙන්ම පක්ෂයක සාමාජිකයන් වන පුද්ගලයන් තුළ ඔවුන් අයත්වන්නා වූ සමාජ පංතිවල විශේෂතා නොපවතී. මධ්‍යම පංතියෙන් පැමිණියවුන් වේවා, ශිෂ්‍යයන් වේවා, වෘත්තීය සමිති වලින් ආ පුද්ගලයන් හෝ වේවා කොහෙන් ආවත් ඔවුහු කම්කරු පංතියේ විප්ලවවාදී නායකත්වයම නියෝජනය කරති.

ලෙනිනින් විකාශනය කරන තුන්වන කරුණ වන්නේ පෙර දිනවල කල්පනා කරමින් ආ අයුරින් විප්ලවවාදී පක්ෂයක කටයුතු දෙවදෑරුම් නොව තුන්වැදෑරුම් බවයි. එය දේශපාලන පෙරමුණේ සටනේ පමණක් නියැලී නොසිටී. එමෙන්ම එය ආර්ථීක පෙරමුණෙහි (වෘත්තීය සමිති අරගල) පමණක් නියුක්ත වන්නේ ද නැත. මේ දෙකටම වඩා ප්‍රමුඛ ලෙස විප්ලවවාදී පක්ෂය කම්කරු පංතියත් මධ්‍යම පංතීනුත් අතරට උතුරා ගොස් පැතිර යන ධනේශ්වර මතවාදයට විරුද්ධව මාක්ස්වාදය වටහා ගැනීමේ න්‍යායික අරගලයක නියැලේ. පංති සටන සමාජවාදය තුළ අඛණ්ඩව පිළබිඹු විය යුතුය. කම්කරුවන් අතුරින් ධනවාදී චින්තනය පරාජය කර විප්ලවවාදී නායකත්වයසඳහා කරන අරගලයේ දී න්‍යාය වර්ධනය කර ගැනීම සඳහා කළ යුතු අරගලය තීරණාත්මකය.

ලෙනින් සතරවනුව සාකච්ඡා කරන්නේ ආධුනිකත්වය පිළිබඳ ප්‍රශ්නයයි. විප්ලවවාදී පක්ෂය කම්කරු පංතියේ පවත්නා චින්තනය සමඟ ගැටීම මගින් කම්කරු පංතිය තුළට සමාජවාදී විඥානය ගෙන ඒ. එසේ කරන්නේ කම්කරු පංතියේ නායකත්වයක් ගොඩ නගා දේශපාලන බලය අත්පත් කර ගැනීම සඳහාය. අපගේ යුගයේ විෂයබද්ධ තත්ත්වය විප්ලවය පිළිබඳ ප්‍රශ්නය අප වෙත ඉදිරිපත් කරනු ලබන හෙයින් පක්ෂය සිද්ධාන්තයන් සුරැකීමේ හෝ වියුක්තීකරණයන් ප්‍රචාරය කිරීමේ හෝ සංවිධානයක් බවට පත් නොවී තමා සිතන දේ කිරීමේ අධිෂ්ඨානයෙන් සන්නද්ධ වූ ක්‍රියාව සඳහා උපකරණයක් වීම අත්‍යාවශ්‍ය වේ. පක්ෂය අතීත වියුක්ත පාඩම් ගොනුකර ගත යුතුය. එසේ කළ යුත්තේ කම්කරු ව්‍යාපාරය තුළ නායකත්වයක් සැබැවින්ම ගොඩනගන විට ඇතිවන කම්කරු ව්‍යාපාරයේ අත්දැකීම් නිරතුරුවම අතීත වියුක්තයන් හා ගැටීම මගින් තම නව්‍ය අත්දෑකීම් වටහාගැනීමට හා න්‍යායික වර්ධනයන් ළඟා කරගැනීම සඳහාය.

ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය පිළිබඳ මූලධර්මය මේ සමස්තය සමඟ සමපාත වන්නේ ය. ලෙනින් පැහැදිලිව ඉදිරිපත් කර ඇති අයුරුම පුහුණු වූ පූර්ණකාලීන විප්ලවවාදීන්ගේ, විප්ලවවාදී පෙරටු බලඇණි පක්ෂයේ න්‍යායික හා සංවිධානාත්මක වර්ධනයන්, කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත ජනතාවන්ගේ අරගලය තුළ, එම අරගලයේ සෑම රූපයක් ඇතුලතම ක්‍රියා කිරීම තුළින් පමණක් අත්පත් කර ගත හැකි වෙයි. එම අරගලයන් සමඟ නිතිපතා ක්‍රියාවෙන් සම්බන්ධීකරණය නොවූ ව්‍යාපාරයක් හුදු අංකුරයක් විනා පක්ෂයක් ලෙස ගොඩ නොනැගෙන්නේ ය. එවැනි අංකුරයක් කට්ටිවාදී හා විඥාණවාදී පිරිහීම් වලට ලක් වී හමාර වනු ඇත. තමන් පෙරටු බලඇණිය ලෙස ලොවට ප්‍රකාශ කළ පලියට පෙරටු ඇණියක් වන්නේ නැත. පංතියේ “දියුණු කොටස්” අතරත්, විප්ලවකාරී අරගලයන් ඇතුළතදී “කම්කරුවන්ගේ ඉතාමත් නොදියුණු” කොටස ඇතුළුව සමස්ත කම්කරු පංතිය තුළත් තම බලපෑම තහවුරු කර ගැනීමට ගන්නා තියුණු උත්සාහය තුළින් ම පමණක් පෙරටු බලඇණියේ ඓතිහාසික උරුමය දිනාගත යුතුය. දිනාගත හැකිය.

".....අපගේ කර්තව්‍යය මල්පොච්චිවල තිරිඟු වැවීම නොවේ. වල්පැලෑටි උදුරා දැමීමෙන් අප කරන්නේ තිරිඟු වැවෙනු පිණිස බිම සුද්ධ කිරීමය. අපනාසි ඉවානවිච් ලා, පුල්හෙරිය ඉවානවිච්ලා ඔවුන්ගේ මල්පෝච්චි කෙත බලාගෙන සිටිත්දී, අපි අද වල් නෙලීම සඳහා පමණක් නොව හෙට අස්වැන්න නෙලීම සඳහාද නෙලුම්කරුවන් සූදානම් කළ යුතු වෙමු....."යි ලෙනින් ලීවේය.

උපුටනය - හරය 2010 මැයි - ජූනි

කඩුපුල්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඈත පින් බිම

Posted by හෂිත














බීරි සබේ මුරබැමි ඇත
සුලු දන යුද වැදිලා
ජනා මසින් උදර නෙරන
සල්ලි මල්ල වනනා
බීරි නින්දෙ නිදනා
මැණික් ගඟෙන් පා සෝදා
දියවන්නා පැමිණා

නිල අතු රතු කොළ සොලවා
බුරුතු රැළින් ඇදෙනා
රැල්ලක් ඇති නොවේ සබේ
මන්තරෙ ජප වුවෙනා

මුන්ට ඉතින් කතිර කෙළියෙ
ඇයි දැයි රට අසනා
හෙණ අපොලන හිස් මත්තේ
පරාභවය වැවෙනා

දිය වන්නා ගොළු විල් තෙර
රිය කබලින් යනෙනා
තෙල් පප්පලා ටොකු අනිතෙයි
හිමින් ගමන් නොවෙනා

ජාතියෙ මළ හංස කුණේ
දුගඳ සැමට දැනෙනා
ගඳ දැනෙන්නෙ කිමද මන්ද
කොමිසමයක් දමනා

සුදු කබා නිරුවතින්
විල් තෙරට රොක් වෙනා
ඈත පින් බිම සුවඳ
ඉපිලෙන්ට පින නොවෙන
පොතක බර හිස් අකුරු
ඇතෙක් බර ජනා කර
තොටිලි පැද්දිලි නිසරු
සුළඟෙ සැපයයි මහරු
අඹු දරුන් පුෂ්ටිමත් වූ සොඳුරු

හිරු නොදැක මල් පිපෙන
තඩි උපැස් රෝගි වුන
පුස් බැඳුනු අසුන් මත
දේශයේ රෝගි බර


ධර්මසිරි රාජපක්ෂ
-සඳ වතුර - 2010

ධර්මසිරි රාජපක්ෂ 'ඉතින් සහෝදරවරුනි' හා 'ශක්තියේ පුෂ්පය' කාව්‍ය සංග්‍රහ මගින් අප ඇමතීය. ඔහු ගේ නවතම කවි පොත 'සඳ වතුර' 2010 නිකුත් විය.
[Illustration: Raft of Medusa by Theodore Gericault]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



මේ උද්ධෘත කවර නවකථාවලින් ගත් ඒවාද? ඒ පොත්වල කතුවරුන් කවුද? ඒවා සිංහලට නැගුවෝ කවුරුන්ද?

1. "එතකොට කෙල්ලගෙ වාසගම?"
"වාසගමක් ඕනෙ නැහැ. තාත්තගේ නම වැදගත් නැහැ."
"ඒ වුණාට වාසගමක් කාටත් තියෙන්න ඕනේ. බල්ලෙකුට විතරයි එක නමක් තියාගෙන එහේ මෙහේ දුවන්න පුළුවන්."
"මෙයා ගේ තාත්තා ලූනා වංශෙ, ඒ කියන්නේ චන්ද්‍ර දරුවන්ගෙ වංශෙ. වාසගමට එහෙනං ලූනා කියලා කියන්න...."

2. "එතකොට ඔයාගෙ ආච්චිට පැක්ටේරියක් තියනවාද?" දොඩම් ලෙමන් කාරයා ඇසීය. "මොන විදිහෙ පැක්ටේරියක් ද?"
"හුඟක් දේවල් හදනවා." එදෙස නොබලා උරන බටය කටේ ඇතිව ඔහු පිළිතුරු දුන්නේය.
"පළතුරු යුෂ, අච්චාරු, ජෑම්, තුනපහ කුඩු, අන්නාසි පෙති."

3. "ඇයි මම පිරිමි ළමයි එක්ක සෙල්ලම් කරන්න ඕනෙ?"
"ඇයි?" අම්මා ඇසුවා ය. "අහස අපමණ උසයි. හොටබරියන්ට බෑ පියාඹන්න. අන්න ඒකයි-"


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කිරිපිටි ගනන් ගිය මුත්
මොකට
හිත නරක් කර ගන්නද
සල්මන් ඇවිත් මෙහෙ
දවස් හතලිහකට

දෙමළුන්ට කුද ගහ ගන්න
උන්ගෙ මඩ වැඩ වලට
අහුනොවුන
සල්මන් ඇවිත් මෙහෙ
දවස් හතලිහකට

දැන් ඉතින් අඩු මොනවද
සිනමාව හෙට උදේ ගොඩේ ගොඩ
සිනමා හල් සිසාරා සිනා හඬ
පෝලිම් තියෙයි දින ගනන් දිග
අතිරික්ත කාලයෙන් වැඩ ගන්න
සල්මන් ඇවිත් මෙහෙ
දවස් හතලිහකට

බච්චන්ට ශාරුක් ට බැරිවුනත්
අපට ඇත සල්මන්
වාසගම ඛාන් වුන
යාල අරගෙන යන්න
ඉහළින්ම අවසර ඇතිව
මුවෙක් දෙන්නෙක්
බය නැතුව තඩි ගහගන්න
බාබකිව් වුනත් හැකි දාගන්න
සල්මන් ඇවිත් මෙහෙ
දවස් හතලිහකට

සල්මන් එක්ක තරඟෙට එන්න
බොලිවුඩ් නැටුම් පෙන්නන්න
ශැවොලින් කුන්ග්ෆු
හොංකොං බයස්කෝප්
මොන ජරාවද
ජැකී චෑන් නළුවෙක්ද

කිරිමාමා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමිත්ත- පියන්කාරගේ බන්දුල ජයවීරගේ "තෝරාගත් කෘති" එළි දැක්වීමේ උළෙල

පන්ති සටනේ පෙරමුනෙත්
අන්තිමෙත් වුන්
සියල් සගයන්
විසිර ගිය පසු ඉතිරි වී
නැතිව ඇතිවෙන
තූතු කළ සෝවියට් දේසෙත්
ගොර්බචොප්
මාක්ස්වාදය ලෙනින් අදහන
ආස්වාදය වැලඳ ගත්
චේගෙ රූපය සහිත කමිස යි
කැප් එකයි
තාම පරිහරණය කරන ඔබ
වාගෙ මිනිසෙක් ඉස්තරම්
ඉතින්
තෝරා ගත් කෘති කවි
වෙතින් ජනගත කරන මොහොතෙදි
රැඳෙන්නට ලඟ බැරි වුනත්
මගෙත් උණුසුම් සුභ පැතුම්

චන්ද්‍රසිරි මීවනගේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ද්‍රව්‍යවාදී සංකල්පවල බලපෑම හේතුකොට ගෙන තත්කාලීන නළුවා විසින් තම කලා ක්ෂේත්‍රයෙන් මානසික මූලිකාංග බැහැර කිරීමත් බාහිර අංගයන් හුවා දැක්වීමත් නිරතුරුව සිදු කෙරෙයි. මේ අයුරින් ඔහු තම රසහීන පරිසරයෙහි පත්ලටම ගිලී යද්දී, ඔහුගේ ශරීරය ක්‍රමයෙන් අජීවී ස්වරූපයක් ගනිමින් වඩාත් නිස්සාර රූකඩයක් බවට පත් වෙමින් එහි උච්ඡම අවස්ථාව ලෙස ඔහු ජීවත් වන යාන්ත්‍රික යුගයේ ස්වයංක්‍රීය උපකරණයක තත්ත්වයට පිරිහෙන්නට විය. නිර්මාණ කෞශල්‍යය ධන ලෝභයට යට වේ. නේකවිධ රංගන ප්‍රයෝග සහ විජ්ජාවන්ට ගොදුරුවන නළුවා අරුම පුදුම රංගන විලාශ සහ ශාරීරික පුරුදුවලටත් ඇබ්බැහි වේ. මේ සියල්ල ඔහුගේ සැබෑ කලාත්මක හැඟීම්වලට සහ වේදිකාවෙන් මවන්නා වූ නිර්මාණාත්මක ආවේශයන්ට හිලව්වක් මිස, ඉන් ජනිතවන සාර්ථකත්වය හෝ පරිහානිය සලකා සිදු කෙරෙන්නක් නොවේ.

එපමණක් නොව නූතන ද්‍රව්‍යවාදයෙහි මෝහනීය බලය යටතේ වේදිකා රංගනයත් දෛනික ජීවිතයත් අතර පවත්නා පරතරය පවා නොතකා හැරීමේ ප්‍රවණතාවක් නළුවා තුළ ජනිත වන්නේය. දෛනික ජීවිතය එලෙසින්ම වේදිකාව මත මවාපෑමේ උත්සාහයන් තුළින් ඔවුහු කලාකරුවන්ට වඩා වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ ගණයට ඇද වැටෙති. ඔවුන් විසින් නොසලකා හරිනු ලබන කරුණ වනුයේ නිර්මාණශීලී කලාකරුවාගේ සෑබෑ කාර්යභාරය වන්නේ ජීවිතයේ බාහිර ලක්ෂණ අනුකරණය කිරීම නොව, ජීවිතයේ ගැඹුර සහ සියළු පැතිකඩ විග්‍රහ කිරීමත් ජීවිත සංසිද්ධිය පසුබිමේ ඇති තතු විදහා පෑමත් සහ ප්‍රේක්ෂකයාගේ ජීවන දෘෂ්ටිය වඩාත් ගැඹුරු කිරීමත් වන බවය.

මයිකල් චෙකොව්ගේ To the Actor සිංහල පරිවර්තනය නළුවා වෙතට හෙවත් රංගනය තාක්ෂණයක් සේ කෘතියෙන් උපුටනයකි. මෙම කෘතිය සරසවි ප්‍රකාශනයකි. (2008)

මයිකල් චෙකොව්
පරිවර්තනය - සෝමපාල මල්ලවආරච්චි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|













මම නුඹේ අත සිඹිමි
එහි උණුසුම විඳිමි
පියාපතක් වන් නුඹේ සුරත
හරව හරවා බලමි...


ඒ අත්ලේ ඇඳි රේඛා සිලිටිය
රක්තය
කැපී ඇත ඇලක් මෙන් ගැඹුරට
පියෙද්රා ගඟ සේම ගලා යයි කඳුවැටි පසුකර


හෘද රේඛාව කවාකාරව ඇදී යයි මැදැඟිල්ල පාමුල
ශීර්ෂ රේඛාව හරහා යයි අත්ල මත දෙබෙදුමකි හරිමැද
ජීවන රේඛාව සිකුරු මණ්ඩලයේ වපසරිය ලකුණු කළ
දෛවය ද ගලා යයි හෘදයේ අපර භාගය වෙත


නැත කිසිදු සළකුණක් පිපුන බවට එක මලක්
නැත කිසිදු සළකුණක් අත්ල මත;
තැබු බවට බඹර තු‍ඩක්


පිලාර්...
මේ දෙවියන් ඔබ මැවූ ලෙසමය
කියනු මැන මදෙස බලා සඳවතිය
පෙනෙයිද ස්ත්‍රීත්වය සහ පුරුෂත්වය
බැඳී ජයාංග සහ පූමංග සේ එකම මල තුළ


එනමුත්
අප වෙන්ව ඇත
නොවේ අප ලිය මඩුලු; එතුනු බඳ තුඟු වෘක්ෂ
ස්වයංවර ලෙස පූදින; කූජන නද තරඟ මැද


මම නුඹේ අත සිඹිමි
එහි උණුසුම විඳිමි
රේඛා අතර දැවටුන දෙපෙති මලක් සේ මම
ඔබ අත්ල මත පිපෙමි
රේඛා සුවඳ විඳ ගනිමි


පියාපතක් වන් නුඹෙ සුරත මත
මම පිපී උපදිමි.


['පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි' කියවා ලියැවුනි]
ඩෝසන් ප්‍රීති
06/2010

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



විදුලි පුවත ලදිමි
මෙහෙකරුවන් සමග දොඩමලුව
එළිමහනේ හිස පීරන විට...

''රජයේ සාතිශය කනගාටුව''
ඒ සමඟ දන්වා තිබිණි...
ක්‍රියාන්විතයේ දී
මිය ගිය මහිමි වෙනුවෙන් !

දින දෙකක් කිසිවක් නොදත්තෙමි
ඉනික්බිති අවදි වූයෙමි
දුක් වන අසල්වැසියකුගේ හඬකින්
යළි පියවි සිහිය ලදිමි...
ඉනික්බිති,
පළමු වැන්දඹු ඇඳුම්
පළමු වැන්දඹු අහර....

මතකයෙන් හැර දමන විට
උකුල් ඇට එතැන
ඉල ඇට මෙතැන
ගිජු ලිහිණින්ට ඉතිරිය...

සිප ගනු ලැබූවෙමි
පුතුගෙ හිස අතගානු දුටුවෙමි
ලද දින වීර පදක්කම
පළ විය පුවත්පත්වල
''තුරුණු වියෙහි ම ඔහු
විරුවකු ව මිය ගියේය...''

නැවත මිතුරෝ රැස් කෑහ
සුබ පැතුමට එවර...
සතියක් පුරා ම'පුතු ද
පැළඳ ඒ පදක්කම
වීදිය පුරාම දිවැ
රසකැවිලි පුද ලද...

දැන් ඒ පදක්කම
පෙට්ටගම තුළ...
ඉන් කුමක් කරම් ද?
දෙඅත් නැත ඊට,
දෙතොල් නැත...
ළිඟුවක්ද නොමැතිය
සැබැවින්ම එය
තවත් එක් පිත්තල කැබැල්ලකි.

තවුෆික් රෆාත් නමැති පාකිස්තානු කවියාගේ ද මෙඩල් නම් කවියේ පරිවර්තනයකි.

තවුෆික් රෆාත්
පරිවර්තනය - චන්දන සිරිමල්වත්ත

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමිත්ත : පුවත්පත් වාර්තා කියන පරිදි දැන් පෙම්වතුන් පොලිස් අත්අඩංගුවට ගැනීම ජයටම සිදුවේ

"රති සුඛ සාරේ ගත මභිසාරේ මදන මනොහර වේශම්"

වෘන්දා වන උයන් තෙර
මල් පෙති අතුල යහනත
රාධා බලා හිඳිනී

ඒ හුඟක් ඉස්සර
(ශිෂ්ඨාචාර යුගයට
හුඟක් ඉස්සර වෙන්නැති)
පොරණ කිවිඳුන් වැනූ ප්‍රේමයයි.

මෙ තැන
දැන් මේ මොහොතේ

"පතති පතත්‍රෙ විචලති පත්‍රෙ සංඛිත භවදු පයානම්
සචකිත නයනේ...."

බැටන් පොලු අතින් ගත් කාවලුන්
හඹා එන බර අඩි හඬ
ළඟ ළඟම ඇසෙනුයෙන්
සැකෙන් වටපිට බලන
නුරා බර රත් නුවන්
බිය වැද නිතින් වෙවුලයි.

මෙතැන
මේ දැන්
මිනී මැරුමක් ද?
නැත
සොරකමක්වද?
නැත නැත
රළු පරොස් වදන් ඇති
පෝස්ටරයක් වත්
අඳිනවාවද කොල්ලෙක්?

නැත ස්වාමිනී
සත්තයි

උන්
මෙතැන
උන්ගේ පාඩුවේ
පෙම් කරනවා පමණයි

"ලලිත ලවංගලතා පරිශීලන කෝමල මලය සමීරේ
මධුකර නිකර කරම්බිත කෝකිල කූජිත කුඤ්ජ කුටීරේ"

"රතොට රතැදීයෙම්
කොපුල් පතලේ බිඳියෙම්
තන හස මුස කළෙම්"

එ පද බැඳි උතුම් රජ පරපුරින් පැවත එන
ඉතා යහපත් මහරජ
අනේ මේ ඇත්තමයි

උන් මෙතැන
උන්ගේ පාඩුවේ
පෙම් කරනවා විතරයි.

සජීවනී කස්තුරිආරච්ච්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails