Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වෛද්‍ය රුවන් ජයතුංග මහතා "මහා ගත්කරු ජී.බී. සේනානායක විශාදයෙන් (depression) පෙලුණේද?" යන හිසින් රචනා කළ ලිපිය දැක මේ සටහන ලියා එවීමට සිත්විණි. 1965 හා 1972 පමණ වකවානුව තුල කඳාන අප නිවසට නුදුරින් වාසය කළ ජී.බී. එවක මම නිතර නිතර සියැසින් දැක ඇත්තෙමි. එසේම 1971 දී කීපවාරයක්ම පෞද්ගලිකව හමු වී මම ජී.බී. සමඟ සාහිත්‍ය හා අදාල මාතෘකා පිළිබඳව කථා බස් ද කර ඇත්තෙමි. ජී.බී. පිළිබඳව, විශේෂයෙන්ම, ඔහුගේ මානසික තත්වය පිළිබඳව ජයතුංග මහතා ඉදිරිපත් කර ඇති අදහස් පිළිබඳව යමක් පැවසීම උචිතයයි සිතමි.

ජයතුංග මහතාගේ ලිපියෙහි අන්තර්ගතය අංග දෙකකට බෙදා වෙන් කළ හැකිය. පළමුවැන්න, සාහිත්‍යධරයෙකු හැටියට ජී.බී. දැක්වූ නිර්මාණ කුසලතාව අදවනතුරු නිසි ඇගයීමකට ලක් වී නොමැති බවය. මෙය සාධාරණ සහේතුක ප්‍රකාශයක් ලෙස මටද පෙනේ.

මෙයට හේතුව ජී.බී. පේරාදෙණිය ගුරුකුලයට අයිති නොවීමත්, කිසිවිටක ඒ ගුරුකුලයට ගැති නොවූ අදීන ලේඛකයෙකු හා විචාරකයෙකු වීමත් විය හැකිය. නූතන සිංහල නවකතාවේ ප්‍රමිතිය හා විශේෂයෙන්ම අද නවකථා බසෙහි පරිහාණියද පිළිබඳව මේ දිනවල මහත් කැක්කුමකින් කථා කරන සුචරිත ගම්ලත් වැනි වියතුන් පවා ජී.බී. සේනානායක පිළිබඳව බොහෝ විට මුනිවත රකින්නේද මෙම කුහක වතේම කොටසක් නිසාද? මගේ ලිපියේ මුඛ්‍ය අරමුණ මේ පිළිබඳව දිගින් දිගට කතා කිරීම නොවේ.

රචකයාගේ ලිපියේ මගේ සැලකිල්ලට භාජනය වූ අනෙක් අංගය නම්, ජී.බී. විශාදයෙන් පෙලුණේද යන මතය ස්ථාපනය කරනු අටියෙන් ඔහු ඉදිරිපත් කර ඇති තර්ක ය, සාධක ය. පදනමක් ඇත්තාක් සේ බැලූ බැල්මට පෙණුනද මේවා රචකයාගේ හුදු පෞද්ගලික පරිකල්පනයන් පමණි. තර්කානුකූල ලෙස පෙනුණද ඒවා තර්කානුකූල නොවේ. පිළිගත හැකි ප්‍රබල හෝ ඍජු සාක‍ෂි එකකුදු රචකයා ඉදිරිපත් කර නැත. ජී. බි. ජීවතුන් අතර සිටින විට ජයතුංග මහතා ජී.බී. ව විධිමත් සායන පරීක‍ෂණයකට ලක් කර ඇති බවක් හෝ ජී.බී. පෞද්ගලිකව දැක කථා බස් කර ඇති බවක් ද සඳහන් නොවේ. ඔහුගේ ප්‍රයත්නයේ පදනම වී ඇත්තේ ජී.බී. ගේ ඇතැම් නිර්මාණ වලින් සිය මනාපයට සරිලන එහෙන් මෙහෙන් අහුලා ගත් ඇතැම් දේ, කරුණු නැත්නම් සාක‍ෂි ලෙස සලකා, ඒවා විශාදයේ ලක‍ෂණ ලෙස වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ඇතැම් ලක‍ෂණ හා එකට ඈඳා ජී.බී. විශාදයෙන් පෙලුනේද යන සිය කුකුස සනාථ කිරීමය. මෙය නොසැලකිලිමත්, අපරිණත සාහසික ප්‍රයත්නයකි. ඔහුගේ ලිපියෙහි අන්තර්ගතය ප්‍රාණය යන තුරු ජී.බී. ආදරයෙන් බලා කියා ගත් තවමත් ජීවතුන් අතර ඔහුගේ ඥාතීන්ට දුකක් ගෙනදිය හැකිය.

රචකයා සිය මතය ස්ථාපනය කරනු අටියෙන් ජී.බී.ගේ චරිතාංගයන්ගේ වට්ටෝරුවකින් සිය ලිපිය සරසා ඇත. මේවා නම් -

• ජී.බී. මෙලන්කොලියාවෙන් (Melancholia) පෙලුනෙකි.
• ඔහු සමාන්‍ය මෙලන්කොලියාවෙන් එපිට වර්ධනය වූ විශාදයෙන් පෙලුනේද විය හැකිය.
• ජී.බී. තමා පිළිබඳ හීනවූ චිත්‍රයකින් හා හීනවූ අභිමානයෙන් (Low self esteem)පෙලුනෙකි.
• ආක්ෂොභිත භාවය (Agitation), ස්වයං අනුකම්පාව(Self Pity)", ශුන්‍යවාදී අදහස්, තමා විරූපී පුද්ගලයෙකු යැයි සිතීම ඔහුගේ චරිත ලක‍ෂණයන්ය.
• ජී.බී. ස්වයං හුදකලාභාවයකට(Agitation) තමාව ලක්කොට සිටි අතර ඔහු ස්වයං වරදකාරී ගැටඟවෙන් පෙලුනෙකි.
• කුඩාකල සිට නිතර හැදුණු හිසරදය මනෝකායික රෝගී ලක‍ෂණයක් විය හැකිය.
• ආත්ම ඝාතනය හා ජීවිතාශාවෙන් තොරවීම යන ප්‍රවණාතවල සේයාවන් ජී.බී. තුල තිබිණි.
• ආත්ම ඝාතන සංකල්පය ඔහුගේ කවි හා නිර්මාණවල දැකිය හැකිය. (උදා: නයා)
• ජී.බී. ගේ හා වැඩිමල් සොහොයුරා ජීවිතය තොර කරගත්තේය.
• ආරොන් බෙක්ගේ න්‍යාය පරිදි ජී.බී.ට විශාදයේ ලක‍ෂණ තිබිණි.
• විශාදයෙන් පෙලුණු අය අඳුරු අවපාතයකට එළඹෙන නමුදු (ජී.බී. වැනි) ඇතැම් අය විශාදය නිර්මාණය සඳහා උත්ප්‍රේරකයක් කර ගනිති. (මෙය ජයතුංග මහතාගේ න්‍යායක් සේ පෙනේ.)

කිසියම් රචකයෙකුගේ කතාවලින් දුක්මුසු, ශෝකාකූල බව පිළිබිඹු වූ පමණින් සැබෑ ජීවිතයේ දී ඔහු බෙලන්කොලියාව යන මානසික රෝගයෙන් පෙලුණේයයි සැක කිරීම කිසිසේත් බුද්ධිගෝචර නොවේ. මන්දයත් නිර්මාණශීලී සාහිත්‍යකරුවා සෑමවිටකම සිය පෞද්ගලික අත්දැකීම් සමූහයෙන් ඔබ්බට ගොස් තම නිර්මාණයට උවමනා කරන අමුද්‍රව්‍ය සිය ප්‍රතිභා ශක්තිය උපයෝගී කොටගෙන ප්‍රතිනිර්මාණය කරන හෙයිනි. මෙසේ ප්‍රතිනිර්මාණ කරන දෑ අතර චරිත චෛතසික ස්වභාව, තේමා වැනි නවකථාංග නිර්මාණාත්මක අවශ්‍යතා පාදක කොට මිස ගත්කරුවාගේ මනාප, අමනාපකම් රුචි අරුචිකම්, හෝ පෞද්ගලික චරිත ලක‍ෂණ මත පිහිටා නොවේ.

මේ කරුණු සලකා බලන විට මුද්‍රණ ද්වාරයෙන් පිටවූ සාහිත්‍ය නිර්මාණයක දක්නට ලැබෙන යම් යම් සාහිත්‍ය ලක‍ෂණ හා රස් කේවලව විශ්ලේෂණය කර, එමගින් සාහිත්‍යකරුවාගේ චරිත ස්වභාවය චරිතාංග හා මානසික සෞඛ්‍ය පිළිබඳව නිගමනය කිරීම ඵලදායි නොවේ.

ටෝල්ස්ටෝයි, ඩස්ටවිස්කි, මර්ගනිජ්, ඩිකන්සි හා චැකොප් වැනි කථාකරුවන්ගේ ජීවිත කථා හා ඇතැම් චරිතාංග අපි හොඳාකාරව දනිමු. එයට හේතුව ජීවතුන් අතර සිටින විට ඔවුන් පිළිබඳව බොහෝ දේ ලියැවී ඇති නිසාය. මොවුන්ගේ නිර්මාණ තුළින් පමණක් ඔවුන්ගේ පෞද්ගලික චරිත ලක‍ෂණ සොයා බලන්නෙකුට සිදුවන්නේ නිකම්ම වෙහෙසීමට පත්වීම පමණි. යුද්ධය හා සාමය හා ඇනා කැරණිනා වැනි නවකථාවල එන පියර් බෙසුහොෆ් හා ලෙවින් වැනි චරිත තුලින් ටෝල්ස්ටෝයි කෙබඳු පුද්ගලයෙකු වී දැයි සොයනවාට වඩා, මැක්සිම් ගෝර්කි විසින් ටෝල්ස්ටෝයි චරිතය පිළිබඳ ලියා ඇති සටහන් හැදෑරීම ඵලදායී බව කිව යුතුය. ෂේක්ස්පියර් පෞද්ගලිකව කෙබඳු පුද්ගලයෙකුදැයි ඔහුගේ කෘතී් ඇසුරින් සෙවීමට තැත් කරනා මෝඩයෙකි; විරාගය ඇසුරින් වික්‍රමසිංහ චරිත ලක‍ෂණ නිශ්චය කළ හැකිද ?

නවකථා අධ්‍යයනය කිරීමෙන් බොහෝවිට අපට හසුවන්නේ කථාකරුවාගේ මති මතාන්තර හා අදහස් මිස ඔහුගේ පෞද්ගලික චරිත ලක‍ෂණ නොවේ. ස්වයං චරිතාපදාන සටහන් තුලින් රචකයෙකුගේ චරිතාංග පිළිබඳ දළ අදහසක් ලබා ගත හැකි වුවද, එමගින් රචකයා විශාදය වැනි මානසික රෝගයකින් පෙලුනේය වැනි දැවැන්ත තීරණයකට එළඹීම යෝග්‍ය නොවන බව මගේ හැඟීමය. කිසියම් රචකයෙකු විශාදයෙන් පෙලුනේද යන්න සායන වශයෙන් වෛද්‍ය පරීක‍ෂණයකින් තීරණය කළ හැකි නම්, විශාදය ඔහුගේ නිර්මාණවලට කෙසේ බලපා ඇත්දැයි සෙවීම වෙනම කාරණයකි.

ජී. බී. ගේ නවකථාවල හා කෙටි කථාවල විශේෂයෙන් පසුකාලීන නිර්මාණවල ශෝකාකූල අසුබවාදී හෙවනැල්ල පතිත වී ඇති බව සැබෑය. ඔහුගේ ඇතැම් සුරංගනා කථාවල පවා මේ ඡායාව දැකිය හැකිය. ඔහුගේ සුරංගනා කථාවල ඉමහත් චමත්කාර ජනක අංගයද මෙය වේ. මෙය සමාජයේ ස්වභාවයත්, මිනිස් සිතේ ස්වභාවයත් කියා පෑමට ජී. බී. ගත් නිර්මාණාත්මක උත්සහයේ සාර්ථක ඵලය මිස මෙලන් කොලියාවෙන් හො විශාදයෙන් නිර්මාණයට පිවිසි දෙයක් හැටියට පෙන්වීම අතිශයින් සදොස්ය, එය ජී. බී. ගේ අනූපම කලා කෞෂල්‍යට කළ හැකි ලොකුම නිග්‍රහයද වේ.

ජී. බී. උපත ලද්දේ 1913 දීය. ඔහුගේ -දුප්පතුන් නැති ලෝකය'' පළ වූයේ 1944 දී පමණය. - පළිගැනීම'' කෙටි කථා සංග්‍රහය මුද්‍රණ ද්වාරයෙන් පිටවූයේ 1947දීය. මේ ග්‍රන්ථ දෙකට ඇතුලත් වූ සියඟම කථා වයස අවුරුදු 30 හා 34 අතර පබැඳුණු ඒවා ලෙස සැලකීම සාධාරණය. ජී.බී. නවකථා කරණයට එළඹියේ ඉන් දශක දෙකකට පමණ පසුව, හැටගණන්වල මැද භාගයේ දීය. අන්ධ වූ පසුද ජී.බී. සිය සොහොයුරාගේ බිරිය හා ඇගේ දියණියගේ ද උපකාර ඇතිව නවකථා පොත් විශාල සංඛ්‍යාවක් බිහිකළේය. සංඛ්‍යාත්මකව මෙය 15ක් පමණ වී යයි සිතමි. මේවා නිර්මාණය වූයේ කියවන විට ලිවීම හෙවත් ඩික්ටේෂන් ක්‍රමයටය. ජී.බී. අප අතරින් වෙන් වී ගියේ 1985 දීය. ඔහු පූර්ණ අන්ධභාවයට පිවිසියේ අසූව දශකයේ මුල් භාගයේදීය.

ජී.බී. ඉතා සංවේදී පුද්ගලයෙකු වූ අතර ඔහුගේ පෙනුම අප ලස්සන යයි පිලිගත් සම්මතයට ප්‍රතිවිරුද්ධ වීය. අසාධාරණ විචාරයන්ගෙන් ඔහු සැලුණේ ඉන් තම පොත්වල අලෙවිය අඩුවීය යන භීතිය නිසා මිස ආත්ම අනුකම්පාව නිසා නොවේ.

ඔහුගේ එකම ආදායම් මාර්ගය වූයේ පොත්වලින් ලැබුණු සුඟ මුදලය. එකල රක‍ෂාව සඳහා පොත් ලියවීම කළ එකම රචකයා ජී.බී. යයි මම සිතමි. (මාටින් වික්‍රමසිංහ පවා එවක සිත්මිණ පුවත් පතේ කතෘවරයා වීය.) පොත් ලියා ලැබුණු සුඟ මුදල, ජී.බී. ට පමණක් නොව, එකල ආර්ථීක අහේනියට ලක්වී සිටි, ජී.බී. නැවතී සිටි සිය වැඩිමහල් සොහොයුරා හා ඔහුගේ පවුලේ උදවියේ නඩත්තුවට ද මහා අත්වැලක් වීය. මෑතකදී මිය ගිය ධීමතී සේනානායක පිළිබඳව 2010. 06. 13 ඉරිදා ලක්බිම සංග්‍රහයේ පළවූ ලිපියද ජී.බී. ගැන උනන්දුවක් දක්වන සහෘදයන් විසින් කියවිය යුක්තකියී සිතමි. ජී.බී. ගේ ඇතැම් කථා හැම අතකින් කපා ඔපමට්ටම් කළ දීප්තිමත් මිණිකැට වැන්න.

පලිගැනීම'' කෙටි සංග්‍රහයට ඇතුලත් වූ "බිසෝ මැණිකා'' එක් උදාහරණයක් පමණි. මෙවැනි කථා පසු කාලයකදී රචනා කළ "ගමන'' යන කෙටි කථා සංග්‍රහයට ද ඇතුලත් වූ බව මතකය. "බිසෝ මැණිකා'' වූ කලී මහා ශ්‍රේෂ්ඨ නවකථාවක, ශ්‍රේෂඨ සම්පිණ්ඩණයක් වැන්න. විශාදයෙන් පෙලෙන අයකු විසින් මෙවැනි මිණිකැට වන් නිර්මාණ බිහිකළ හැක්කේ කෙලෙසද ? පූර්ණ අන්ධභාවයට පත් වූ පසු, තමා පත්ව ඇති අසරණභාවය හේතුකොටගෙන, විශාදය වැනි මානසික රෝගයකින් පෙලීමට ඉඩකඩ තිබිණියි අනුමාන කළ හැකි වූවද, වයස 67 දී වැනි පරිණත මුහුකුරා ගිය වයසකදී මෙවැනි අවාසනාවන්ත තත්වයක් අත්විණි නම්, වෛද්‍ය ප්‍රතිකාරවල පිහිට නොමැතිව, අවුරුදු හතරක පමණ කාලය තුල නිර්මාණ කෘතීන් 15ක් වැනි සංඛ්‍යාවක් ඔහු අතින් නිර්මාණය වන්නේ නැත.

ජයතුංග මහතාගේ ලිපියේ හිඩැස්, පලුදු, සදොස් තැන් බෙහෝය. මේවා එකිනෙක විශ්ලේෂණය කිරීමට මා අදහස් නොකළ ද, ජී.බී. විශාදයෙන් පෙලුනේද යන විෂබීජය වැපිරීමට ඉහත වෛද්‍යවරයෙකු වන ඒ මහතා මීට වඩා පරිස්සම් විය යුතුයයි සිතමි. ජී.බී. විශාදයෙන් පෙලුනේ යයි වෛද්‍යවරයෙකු හැටියට ඔහු සැකකරන්නේ නම්, ඔහු විසින් කළ යුතුව ඇත්තේ ජී.බී. ගේ සැබෑ චරිතය හා චරිත ලක‍ෂණ සොයා බැලීමය. ජී.බී. ගතකළේ හුදකලා ජීවිතයක් නිසා, ඔහුගේ චරිත ලක‍ෂණ ගැන නිශ්චය වශයෙන් දැන ගත හැකි එකම ක්‍රමය නම්, ජී.බී. බලා කියා ගත්, තවමත් ජීවතුන් අතර සිටින ඔහුගේ සොහොයුරාගේ දියණියන් දෙදෙනාද, ජී.බී. ගෙන් බොහෝ කාලයක් පාඩම් ඉගෙන ගත් අය්යාගේ කණිටු පුත් පාලිත වැනි අය හමු වී කථා බස් කිරීමය. එයද ඵලදායී විය හැකිද ?

ජී.බී. කෙටි කථා රචකයෙකු වශයෙන් ප්‍රසිද්ධ වීමට ඉහත, මාටින් වික්‍රමසිංහ සමඟ ''දිනමිණ'' පුවත් පතේ සේවය කළ බව බොහෝ අය නොදනිති. මතු දැක්වනුයේ ප්‍රථම හමුවීමේදී මාටින් ජී.බී. දුටු ආකාරයයි. ''ඔහු වහා කම්පනය වන ස්නායු (නාඩි) ඇත්තෙකියි මම සිතුවෙමි. එහෙත් ඔහු දැඩි සිත් ඇත්තෙකියි ඔහුගේ දෙ ඇස දෙස බැලූ මට හැඟිණි.'' (උපන් දා සිට - 363 පිටුව)

ජී.බී. තරමක කාලයක් කිට්ටුවෙන් ඇසුරු කළ පසු වික්‍රමසිංහ ජී.බී. දුටුවේ මතු දැක්වෙන අයුරෙනි. -ඔහු නොනැමෙන සිතක් හා ගතියද ඇත්තෙකි. මෙය බුද්ධිමතෙකුට මිස නවකථා කාරයෙකුට හැම විට උචිත ගතියක් නොවේ. -එම - 364 පිටුව)

මාටින් වික්‍රමසිංහ එදා ජී.බී. දුටු අයුරු මෙම සාකච්ඡාවටම අදාල නොවේ යයි යමෙකුට තර්ක කළ හැකිය. මන්ද යත් කාලයාගේ ඇවෑමෙන් වයසින් මුහුකුරා යන විට පුද්ගලයෙකු වෙනස් වීම නොවැළැක්විය හැකි කි්‍රයාදාමයක් නිසාය. හැට ගණන් වල මා දුටු ජී.බී. ඉතා නිහඟ, වැඩි කථා බහට 36 වන පිටෙන් කීස්බරෝ විහාරස්ථානයේ ධම්මසරණ ධර්ම ශාලාව විවෘත කිරීමේ මහෝත්සවය නොකැමති, මහමඟ යනවිට හිස උසවා කිසිවකු දෙස නොබලන තරම් නිශ්ශබ්ද පුද්ගලයෙකු වීය. ඉඳහිට කොළඹ යන විට ඔහු යල්පැන ගිය පැරණි තනි සුදු සූට් එකක් ද,පරණ ටයි පටියක් ද, පැළඳි බව මට මතකය. ගෙවත්තේ කොනක පිහිටි නාන ලිඳ වෙත ඔහු පියවර මැන්නේද ඉතා සෙමින් බිම බලා ගෙනය.

සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයවත්, ගෙවත්තේ ලමුන් සෙල්ලම් කරන ආකාරයවත් දැකීම ඔහුට ප්‍රිය නොවූවා සේය. සමාජ ආශ්‍රයෙන් මෙතරම් ඈත් වූ අයකු, මිනිසුන්ගේ අභ්‍යන්තරය විනිවිද දුටුවේ කෙසේදැයි, ජී.බී. ගේ සෑම නිර්මාණයක්ම කියවන විට මම තවමත් මවිතයට පත්වන්නෙමි.

අය්යාගේ ගෙදර කන්තෝරු කාමරය ජී.බී. ගේ නිවහන වීය. ඔහුගේ කාමරයේ ජනෙල් පියන් ඇර තිබෙනු මම කිසිවිටක දැක නැත්තෙමි. තම කාමරයෙන් පිටත සිද්ධ වනුයේ කුමක්දැයි ඔහුට දැන ගැනීමට අවශ්‍යතාවයක් නැත්තාක් සේය. ඔහුගේ කාමරය විශාල පොත්ගුලක් වීය. ඇඳක් ද, ලියන මේසයක් ද, පුටුවක් ද එහි තිබිණි. සිගරට් කොටවලද අඩුවක් නොතිබිණි. ජී.බී. සිය කාමරයෙන් පිටතට ආවේ ඉතා කලාතුරකිනි. කියවීමත්, ලිවීමත් හැර ඔහු අන් කිසි කාර්යයක් කළ බවක් පෙනෙන්නට නොතිබිණි.

ජී.බී. සැබැවින්ම හුදකලා ජීවිතයකට ඇබ්බැහි වූයේ ලිවීමට වඩා කියවීමේ පුරුද්ද නිසායයි මම සිතමි. තරුණ වියේදී තම කියවීමේ පුරුද්ද නිසා තම මවට බඩගින්නේ පවා ඉඳීමට සිදු වූ බව ඔහු සංවේගයෙන් සඳහන් කර ඇත.

දෙනුවන් නිවී යනතුරු ජී.බී. විසින් සිදුකරන ලද්දේ ප්‍රබන්ධ කථා, කවි, විචාර වැනි සාහිත්‍ය නිර්මාණ සිය පෑන් තුඩින් බිහිකිරීම හා ශාස්ත්‍ර ඥානය ප්‍රගුණ කරනු වස් කියවීම නැමැති මෙහෙවරෙහි යෙදීමය. දෙනුවන් නිවී ගි පසුත්, ප්‍රාණය සැඟවී යනතුරු ඔහු අතින් සිද්ධ වූයේ සාහිත්‍ය නිර්මාණ තව තවත් වැඩි වැඩියෙන් බිහි කිරීමය. මෙවැනි උදාර සාහිත්‍ය සේවාවක් නොඛණ්ඩව කළ අයකු, විශාදයෙන් පෙලුනේදැයි පදනම් විරහිතව සැක කිරීම අසාධාරණ නොවේද?

සන්නස 2010 ජූලි කලාපයෙන් ගත් උපුටනයකි.

මැක්සිමස් ජයන්ත ආනන්දප්පා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ෆොන්සේකාට චෝදනා බාර දෙයි, කේ.පී.ට.... (හි හි හි)
-පුවතක්!


හීරෝ අංකල් ටෙරරිස්ටා(ර්)
ටෙරරිස්ට් අංකල් හීරෝස්ටා(ර්)
හව් අයි වන්ඩර් වට් කිං ආ(ර්)
ලයික ටොයිලට් ඉන් පු-ස්කායි

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පාන්දරින් සුපිපෙන නුඹෙ සිනා වත
යාන්තමින්වත් පිපිලා නොමැත අද
වෙඩිල්ලකටවත් සසලව නොගිය හද
මොටෝරියක වැද නිසසල වෙලා ඇත

ඇඳුම් මෝස්තර වැහි වහිනා කාලෙක
ගෙතුම් ලිහුණු ගවුමක් ඇන්ඳා වැඩට
මැහුම්හලේ රුව ඇති දූරුන් අතර
කටක් තියෙන දියණිය වූවා මෙනුඹ

සමිති ක්‍රියා තහනම් කෙරුණේ කෙදින
කුණාටුවක් ලෙස හැමුවා නුඹ එදින
පිකට් ලයින්-වර්ජන කෙරුණේ කොතැන
දිරිය මවක සේ නුඹ සිටියා එතැන

ඈත දකින දෑසක් සතු වූ නුඹට
පාර නොපෙනිතැයි අදහන්නේ කෙලෙස?
රෑට වැඩට එනු බැරි යයි කී කටට
හාම්පුතුන් ඇට වූ උගුලක් වී ද?

චේන් - බැටන් පොලු ළඟ දන නොනැමූ අය
බලන් සිරස නමනායුරු නුඹ අසල
කඳුලු ගෑස් මැද නොහඬා සිටි සෙනග
කඳුලු පිරුණු දෑසිනි නුඹ ඉදිරිපිට

දැනේ අදට වැඩියෙන් පාඩුව හෙටට
නඟේ කවුරුදෝ පුරවන්නේ අඩුව
අපේ සිරුරු දාහක් බිලි ගෙන රියට
අනේ ඉතිරි කෙරුවා නම්! නුඹ ලොවට.

[කඳුලු මිටියාවතින් 1992]

දර්ශන මේදිස්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඇත් කුන්ඩලේ මගෙ ආදර ඇත් රජුනි
මගෙ ප්‍රේමයේ යදමින් නුඹ බැඳ ගතිමි‍
ගත දැඩි වුවත් හිත බෝසත්කම් දනිමි
ඒ බෝසත් කමට මම මගේ දණ නමමි

හෙන්ඩු පහර ඉවසාගෙන සිටියේ
දෙකන්සයෙන් දාඩිය මුත් ගැලුයේ
කරඩු වැඩමවන්නට පින් නැතායේ
කුලී කර මාව රකිනා ඇතායේ

ඇත් ගමනක් නොවේ බැරි බර උසුලාන
කකියන තුනටියයේ හැම දා තෙල් ගාන
හාල් තුනපිහේ ඩිංගක් දවටාන
නුඹ ගෙට වඩිනවා අරගෙන සඳපාන

[කවි සියපත- නව කවි සංග්‍රහය 2005]

ප්‍රියන්ත කොඩිප්පිලි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මුත්තයියා මුරලිදරන් තමන්ගේ වාර්තාගත අටසිය වෙනි ටෙස්ට් කඩුල්ල දවාගන්නා ලද්දේ ඉකුත් සතියේය. උද්දාමයෙන් පිටියට පැනගත් ප්‍රී‍තිමත් ප්‍රේක‍ෂකයෝ සිංහ කොඩි වනමින් මුරලි පසුපස දිවූහ. සිංහ කොඩියක් පසුබිම් කරගෙන සහෝදර ක්‍රීඩකයින්ගේ කරපිටින් යන මුරලිගේ සේයාරුව ජාතික පත්තර පිටු පුරා පළ විය. තම කීර්තිමත් ක්‍රීඩා දිවිය ජගත් වාර්තාවකින්ම කෙළවර කළ මුරලි ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයකැයි බොහෝදෙනා ලිවූහ.

නමුත් සිංහ කොඩි ළෙලදුන් ඒ විජයග්‍රාහී මොහොතේ ලියන්නට අමතක කළ කතාවක් ද තිබේ. විසි හත් අවුරුද්දකට කලින් මේ වැනිම ජූලි මාසයක සිංහ කොඩි වනමින් රැස් කෑ පිරිස් මුත්තයියා මුරලිදරන්ගේ මහනුවර නත්තරම්පොත, කුණ්ඩසාලේ නිවස වැටලූහ. මුරලිගේ පියාට අයත් කම්හල් බිම ගිනිදළු වෙළාගනිද්දී මරණ බියෙන් තැතිගත් 11 වියැති මුරලිදරන්ගේ ළමා දිවිය අහම්බෙන් මරුමුවින් ගැළවිණ. එදා සිංහ කොඩි වනමින් හඹා ආ මරණය ගැන අද සිංහ කොඩිවලට මැදිව සිංහලයන්ගේ කරපිටින් යන මුරලි කෙසේ සිතන්නට ඇතිදැයි කී දෙනෙක් කල්පනා කළේද?

මුත්තයියා මුරලිදරන් ජගත් ක්‍රීඩා වාර්තාවන් අතරට ශ්‍රී ලංකාවේ නාමය ඇතුළත් කරන ලද්දේ 2010 ජූලි 22 වෙනිදා ය. මුරලිගේ ගේ-දොර දවා හළු කළ 'කළු ජූලියේ' ගිනි පුපුරු ඇවිළ ගියේ 1983 ජූලි 23 වෙනිදා ය. බුර බුරා පැතිර ගිය ඒ මහා ගිනි ජාලාවන්ට මුත්තයියා මුරලිදරන්ලා කී දෙනෙකු බිලි දුන්නේදැයි දැනගත හැකි මගක් කිසි කලක අපට හමු නොවනු ඇත.

1983 කළු ජූලියට දැන් විසි හත් අවුරුද්දකි.

ලේ තැවරුණු අතීත ඉතිහාස පිටු දැන් පහුරු ගාමින් පෙරළා බැලිය යුත්තේ ඇයිදැයි සමහරවිට ඇතැමෙක් කල්පනා කරන්නට ඉඩ තිබේ. නමුත් පහසුවෙන් වසා දැමූ පිටු අතර අඳුරු ඉතිහාස මතකයන් ඒ සා පහසුවෙන් සැඟ වී නොයයි. කළු ජූලිය එසේ වියැකී නොයන අඳුරු ඉතිහාස මතකයන්ගෙන් එකකි. එය අඳුරු මතකයක් වන්නේ ඉන් ගැළ වී ජීවත් වන්නවුන්ට ය. එය අඳුරු මතකයක් වන්නේ ඒ ගිනිදැල් අතරෙහි සැඟව ගියවුන් ගැන දුක්බර මතකය අත් හරින්නට නොහැකි වූවන්ට ය.

ශිෂ්ටත්වය හා වාර්ගික සහෝදරත්වය ගැන අපේ රමණීය කව් ගී හා වාගාලාප විසි හත් අවුරුද්දකට කලින් කළු කුහරයක් වැනි කළු ජූලිය තුළ ගිළී ගියේය. සාහසික නීච බව ඒ කළු ජූලියේදීත් සාමූහික ආඩම්බරයක් සේ සැළකුණි. දකුණේ වීදිවල ගේ දොර - යාන වාහන සමග සිය - දහස් ගණනින් පිළිස්සී අළු ධූලිව ගිය මිනිස් ප්‍රාණීන් අපේ ශිෂ්ටාචාරයේ වීරූපී නග්න දුෂ්ඨත්වය පිළිබිඹු කළ නොමැකෙන සාක්ෂි ය.

එය 'නොහික්මුණු සුලුතරයක' අතින් සිදු වූ අපරාධයකැයි කියන්නට දැන් අපි හුරු වී සිටිමු. නමුත් ශිෂ්ටාචාරය විසින් මතුකරන ප්‍රශ්නය වනාහී ඒ කළු ජූලියේදී 'නොහික්මුණු සූලුතරය කළේ කුමක්දැයි' යන්න නොවේ - ඒ නින්දා සහගත දවස් අතරේ 'හික්මුණු බහුතරය' සිටියේ කොහේද යන ප්‍රශ්නයයි. ප්‍රසිද්ධියේ අහන්නට තහනම් නමුත් දැනුදු මගහැර යා නොහැකි කඩඉම් ප්‍රශ්නයක් අප හමුවේ තිබේ: ''විසි හත් අවුරුද්දක් ගෙවුණු තැන අපි කළු ජූලියේ ලේ වැකි උරුමයෙන් ගැළ වී සිටිමුද?''

සැබෑවකි, දැන් කොටහේනේ ශාන්ත ලුසියා දෙව් මැදුරේ හෝ වැල්ලවත්තේ හින්දු විද්‍යාලයේ සරස්වතී ශාලාවේ හෝ කොල්ලුපිටියේ මෙතෝදිස්ත දේවස්ථානයේ හෝ ගේ දොර ගිනිබත්ව දිවි ගළවාගත් දෙමළ සරණගතයින් ගාල්කොට නොමැත. එමෙන්ම දකුණේ වීදි හා පටු මං මාවත්වල පුළුටු දුමාරය මැද ඉතිරි වූ මිනිස් භෂ්මාවශේෂ දක්නට නොමැත. නමුත් ඒ සරණාගත කඳවුරු හා ඒ මිනිස් භෂ්මාවශේෂ වෙනස් බිම්කඩවල ගොඩගැසී තිබේ. මුවින් නොබැන, කරබාගත් ජන කොට්ඨාශයක් අඩ සියවසක් තිස්සේ පීඩාවේ කටු සැමිටියෙන් පහරකමින් ඔසවාගත් සාමූහික මිනිස් දුක් සංතාපයන්ගේ කුරුස කඳ දැනුදු ඔසවාගෙන යයි. වරදකාරී සාමූහික පශ්චාත්තාපය විවෘතව කියා පෑම නිවටකමක් සේ සැළකෙන රටක කළු ජූලියේ මතකයන් මැකී නොයයි.

විසි හත් අවුරුද්දකට කලින් දිවි ගළවාගත් මුත්තයියා මුරදලිදරන් පවා දැන් ජාතිකාභිමානයේ සංකේතයකි. නමුත් ඔහු මෙන්ම දිවි ගළවාගත් ලක්ෂ සංඛ්‍යාත සහෝදර ජන කොටසකගෙන් අඩුම ගණනේ 'සමාවන්නැයි' ඉල්ලා සිටින්නට අමතක කළ මේ ජූලි මාසයේදී ඒ ජාතිකාභිමානය හා ශිෂ්ටාචාරය අතර දුර වෙනදාටත් වඩා වැඩි එකකි.

සුමුදු තිවංක ගමගේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දුටු මුල් දාම බබළන නෙත් පබළු වට
දුටුවෙමි දොම්නසේ ළා දිය ලකුණ මම

නොදී තබා ගෙන හද පිරි දුක් දහස
දුන්නා නොවෙද මට අන්තිම සතුටු සුඟ

ලතු- නෙක'බරණ- විලවුන් නොහඳුනන ගත
දිවියේ ගැඹුර පහදන පුදසුනය මට

සඟවා පැලී වියලී ගිය දිවි පතුළ
මනහර සිනා මිරිඟුව මැව්වේ කෙලෙස

පැතුවේ මා ඔබේ ඉමිහිරි සිත පමණී
ඔය රූ සිරිය මා ලද අමතර දෙයකී

මා පිරිමදින්නේ සියුමැලි අත් පෙමිනී
සිහින සළුව දින දින වියනා බැවිනී

සිපගන්නේ සිහින් ඇතැඟිලි දුටු මතිනී
රාගයකින් නොවේ වෙහෙසී එන හෙයිනී

[යටි වියන 2007]

ලක්ශාන්ත අතුකෝරල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බස්නාහිර පළාත් නාට්‍ය හා රංග කලා ගුරු සංසදය මගින් මෙහෙයවන 'රඟ බට හිරු 2010' උළෙල 2010 අගෝස්තු 05 වන දින පෙ.ව. 9:00 ට ස ප:ව: 12.30 ට ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වෙයි. එහිදී, 2009 සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙලේ බස්නාහිර පළාතේ ජයග්‍රාහී නිර්මාණ රඟ දැක්වෙයි.


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කර්තෘ සංසදය එක්‌ව සංවිධානය කළ 2009 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාවය පුවත් පතෙහි කළ මාධ්‍ය සේවාවට සුරේඛා හොඳම තරුණ ජනමාධ්‍යවේදිනියට හිමි සම්මානය ලබා ගත්තා. වසර එකහමාරක් වන කෙටි මාධ්‍ය ජීවිතය තුළ ඇය සියුම්ව සමාජය දකිමින් නොබියව දේවල් හා ගැටෙමින් ලිවීමෙහි නිරත වුණා.

ඇය දකුණේ මිනිසුන්ගේ දුක වෙනුවෙන් මෙන්ම උතුරේ මිනිසුන්ගේ ගැටළුත් කතා කරනවා අපි දැක්කා. සම්මානයක් කියන්නෙ ඔටුන්නක් නෙවෙයි. අභියෝගයක්... මාධ්‍ය විතරක් නෙවෙයි මිනිස්සු හැමෝම අතරමං වෙලා ඉබාගාතෙ යන දූපතක සිහියෙන් යුතුව දේවල් දකින්නට, බය නැතිව ලියන්නට දිරිය වගේම වුවමනාවත් තිබුණ සුරේඛාට නිවැරදි මාවතේ දුර ගමනක් යන්නට සුබ පතමු!

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එජාපයේ සමගිය උදෙසා අයියෝ
සිරුරට ගිනිතියාගෙන එක්කෙනෙක් මළා
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී
මේ කලි යුගේ කාටත් ඉවසුමක් නැතී

නායක කාරකාදින් රැස්වීම් වල
යූ එන් පී කාරයො දැන් කාණු වල
මේ විදිහට සමගිය උදෙසා මැරුණොත්
ඉතුරුවෙන්නේ නායක උන්දෑ විතරයි

පිංචි නැන්දා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින

චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත-කොස්-නැදුන් වෙමු
උනට එසවිය නොහෙන

පිදුරු-පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අලුත් ගෙපැලක් බඳින

['කඳුලු මිටියාවත' කෘතියෙනි]

දර්ශන මේදිස්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කිලිනොච්චි කැබිනට් රැස්වීමේ දී උතුරට තිළිණයක් ලෙස ඉන්ධන මිල අඩු කරයි.
-පුවතක්


දු පුතුන් සිය ගණන්
මව්පියන් එනතුරා
මව්පියන් සිය ගණන්
දු පුතුන් එන තුරා
සුරලොවින් හෝ බැස
කඳවුරු තුළම
ගාල් වී සිටිති

ලාබෙට තිබේ මෙහි
ඇවිලෙන්න
ඉන්ධන....
මකරාගේ කටින් මිදී
තව්තිසාවට ආවෙමු
කඳවුරේ (ගවහලේ) හිඳ
හිනෙන් දකිමු කල්ප වෘක්ෂය

ප්‍රශ්න කිරීමට රැගෙන ගිය වුන්
ස්වර්ගයට ගියාදෝ වේලාසනින්
තවත් ලාබෙට
ඉන්ධන මොටද...?
නිවුණු රණ බිමසෙබල මුළු ඇත
නරුම ප්‍රජාතන්ත්‍ර වාදයේ
අඳුරු නීතිය රකින

ඇමතිවරු සැපත්වී
දැකබලායති
හීලෑ කළ සතුන් යැයි
සිතාගනු යහපති

බඩ දරු අම්මලාද
කිරි උරන පැටවුන්ද
බඩ සායින් පෙලෙති

ඉන්ධන තිබේ මෙහි
ලාබෙට
ඇවිලෙන්න

ප්‍රත්‍යන්ත ජනපදවල
වෙසෙන ජනයින්ද
සිතනවා ඇත
අහා...!
උතුරට වසන්තය ඇවිත්
සියල්ල නිවැරදිව ඉටුවෙතැයි

එසේ වී නැත
සහෝදරවරුනි,
ස්පාටකස් මෙන්
ඇවිලෙන්න වෙයි අපට
අපි පෙළන
අත්තිවාරම සොයා ගෙන
ගැඹුරට

දයා නෙත්තසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පොඩිවෙච්ච් හිත ගාව පාළුවේ උන්නා
තනිවෙච්චි දින ගාණ අමතකව තිබුනා
ඉගිලෙච්චි නුඹ තාම හැංගිලා ඉන්නා
පිච්චිච්චි ආදරයේ සීතලම ඕනා

ඇහිපිල්ලම් පියවෙන්න නොදී
පියාපත් සුළඟේ විසිඋනා
වාරු නැතිවී තනිකඩයා
කල්පනා ලොවේ කල් පමා උනා

ලංවෙච්චි අරුමයක කරුමයට හුරුවෙච්චි
බට්ටිච්චි නොකියාම වළාකුළක නැංගා
ඇහැරෙච්චි හීනයක ලස්සනට මත්වෙච්චි
පොල්කිච්චි කන්පෙත්තෙ අඬ අඬා හිටියා

අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බැද්ද අද්දර හින්නි කොස්ගහ
එයට එපිටින් වැඩුන රඹුටන් පැලේ
අතුවිදා මහ ගහක් වි පීදුනා තනි හිත වගේ
සරන සියොතුන් නතර කර අතු ඉති දිගේ

කොළපාට අතු වටා රතුපාට පබලු වැල්
ඇඹුල දැනුනත් අපට ඇස් වලින් රහ බලයි
ලෝබ හිත් සාංකාවෙන් පෙලෙන හැටි දැනෙයි
අයිතිකර ගන්න බැරි තාරකාවක් වගෙයි

හී මලයා එක්ක ඇවිදින්
බස් පොලේ විකුණනා රඹුටන්
මගේ තොල් පෙති දිහා බලමින්
උන් ගනී නොවටිනා මිළ ගෙවමින්

අතු කඩා ගෙඩි නෙලා පැස බහා දුර ගෙවා
ඝෝර නගරය මැදින් ගලනා මහා වාහන ගගට අතපා
කාසි උපයන තනි හිතට දැනෙන්නේ
මහ බයක් බැද්ද අද්දර මහා කලුවර වගේ

හිතුවක්කාරයා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



''මම සිටියෙමි. ඔබත් සිටින්න''
-බුදුන් වහන්සේ විසින් අංඟුලිමාලට-


සිටුව,
කී පමණින්ම
නතර වෙන්න ද කෝම?

අපි දුවනවා සිදුහත්
වෙන වෙනම
තනි තනියම
ඔබ වගේ
බුදු වෙන්න නොවුණත්
මොකක් හරි සැනසුමක්
හොයාගෙන
හොයාගෙන
අපි දුවනවා සිදුහත්.

සැනසුමක්?

ඔව් සිදුහත්
මොකක් හරි සැනසුමක්

ටිකක් හරි වැඩි පඩියක්
හම්බවෙන රැකියාවක්
වැටිල ඉන්නට ගෙපැලක්
අටවගන්නට ඉඩමක්
පාරට බහිනකොටවත්
ඇඳගෙන යන්න ඇඳුමක්
ටිකක් වත් බඩු මිල
අඩුවෙන් තියෙන කඩයක්

හොයාගෙන
හොයාගෙන
අපි දුවනවා සිදුහත්.

අපි එක්ක
රංචු වී
පොදි ගැසී
විමුක්තිය ලබන්නට
එකට සැලසුම් හැදූ
'මඝ'
සහ
ඔහුගෙ කටිටිය
සක් සැප ලබාගත් පසු
අප දිහා
බලන්නෙත් නෑ සිදුහත්

විශ්වාසයක් නෑ දැන්
අපේ ළඟ
'මඝ' වගේ එන
කිසි කෙනෙක් ගැන

ඉතින්
සිදුහත්
අපිත්
දුවනවා වෙන වෙනම
බුදු වෙන්න නොවුනත්
මොකක් හරි
සැනසුමක්
හොයාගෙන
හොයාගෙන.

සජීවනී කස්තුරිආරච්ච්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බාර් එකේ හුළං කට පැත්තට මුහුණ හරවා ක්‍රිෂ් ඈනුමක් ඇරියා. කෝලි ෂර්ට් එකේ බොත්තම් ගලවගෙන පූහ්-පූහ් ගගා පිඹිමින් අත් දෙකෙන් පවන් සලා ගත්තා. පතෝ එම්.එස්. ගේ සිංදුවක තාලෙ අල්ලන ගමන් බිමට සවිකර ඇති ලී පටිවලට පයින් අනින්නේ මේසය උඩ තියෙන වීදුරුත් ටක-ටක ගා සිංදුවෙ තාලෙට සොලවමින්. සූසා මනෝ ලොකෙ ගුලි ගැහිල. අපි ඉඳගෙන ඉන්න පසුබිමේ ඔලුගෙඩි සයිස් අකුරෙන් තියෙන ''මෙතන හුජ්ජ කිරීම බල්ලන්ට පමණයි''-

-කියලා ලියපු බෝඩ් එක දිහා බලාගෙන කෝලි මුල්ලක් අල්ලා පම්ප් කරන්න ගත්තා. ''අඩෝ වල් බල්ලනේ තොපි අද යන්නෙ කන් සාක්කුවෙ දාගෙන'' සූසා අතපය දිගෑරල කෑ ගහල කිව්වා. එතකොටම පතෝ පටන් ගත්ත,

"බෝතලෙ ගනිං මචං
අඩියක් ගහමු මචං
බයිට් එකක් ගෙනෙං මචං
සිගරට් එකක් දියං මචං
එහෙනං මචං-ගහමු මචං
චියර්ස් මචං-චියර්ස් මචං...."

ධර්මෙ අයිය දෙවෙනි බෝතලෙත් ගෙනත් තිබ්බා.

ක්‍රිෂ් ටකස් ගාල බෝතලේ කඩා- සිගරට් එකක් පත්තු කර - ගුඩුස් ගා එක හුස්මට ඩ්‍රෑම් එකක් හිස් කලා. ආයෙත් හුළං කට පැත්තට මුහුණ හරවාගෙන බුම්ම ගත්තේ නොසතුට තවමත් පහව නොගොස් ඇති බව පෙන්වන්න වගේ. සූසා සිංදුව නවත්තල කෝලි එක්ක කයියට වැටිලා.

ඊයෙ කඳු හෙල් පහුකරන් බඹරඇල්ලට ආව අපේ අරමුණ වුනේ සති අන්ත නිවාඩුව මුලට හේත්තු වුණු පෝය දවසත් වනාන්තරයක් මැද්දෙ ගත කිරීමයි. නුවර අලි මුඩුක්කුවෙදියි අපි පස් දෙනා එකතු වුණේ. බෝතල් වලින් බෑග් පිරුණා. බඹරඇල්ලෙ ඉඳන් නකල්ස් මුදුනට හැතැප්ම දහයක් විතර පයින් යන්න ඕනි. ගමෙන් හොයා ගත්තු රා බීල සුසා මගදිම පිස්සු කෙලින්න පටන් ගත්තා. ක්‍රිෂ් ඌව වත්තන් කරගෙන කන්ද නැග්ගා. පතෝ ඇම්ඩන් ගේ කතා පෙට්ටිය දිගෑරියා. හොක-හොක ගගා හිනහ වෙවී අපි ගෙවල් මංඩි පහු කළා. එනසාල් වතු පහු කළා. දිය පාරවල් තරණය කළා. හවස හය විතර වෙනකොට කන්ද මැද තෘණ භූමියකට සේන්දු වුණා. ''අද රෑ මෙතන ඉමුෟ'' හැමෝගෙම අදහස වුණා. තෘණ භූමිය මැදින් ගලා යන දිය පාරක් අයිනේ ගල්තලාව අපි අපේ නවාතැන කර ගත්තා. කෝලි මල් පිහියෙන් එළවළු කැපුවා. සූසා නූඩ්ල්ස් පැකට් කඩල සාස්පානට හලද්දී පතෝ බොඩි බිල්ඩර් කෙනෙක් මෙන් දර කොටයක් උස්සන් උගේ කට්ස් පෙන්නුවා. ''නොදෝකිං හාල් මැස්ස-ඇඟට වඩා ලොකුයි තොගේ අඟ'' සූසා කෑ ගහල කිව්වා. ක්‍රිෂ් සිගරට්ටුවක් පත්තු කරන් දුම් වලලු පිට කරමින් අහස දිහා බලාගෙන සිටියා. ''තව ටිකකින් අහස කළුවර වෙයි. එතකොට උඹ මොනව දිහාද බලන් ඉන්නෙ?.... භාවනා කරන්නද ගොනෝ මෙච්චර දුරක් ආවෙ?'' පතෝ ක්‍රිෂ්ගෙන් ඇහැව්වේ තරහින්. ඌට කිසි දෙයක් ඇහෙන්නෑ. ඌ ඉන්නෙ මෙතන නෙමේ.

අපි උයල ඉවර වෙද්දි කැලෑව පුරා එළිය බැහැල අඳුර දිගේලි වෙමිනුයි තිබුණේ. අපි සේරම ඇඳුම් ගලවල හෙලුවැල්ලෙන් ඇල පාරට බැස්සා. ජබු ගගහ නෑවා. වනය දෙවනත් වෙන්න කෑ ගැහුවා. අවුරුදු ගාණක් හිරේ ඉඳල නිදහස් වූවන් පිරිසකගේ වගේ අපේ හැඟීම් පිටාර ගියා. හිරවෙලා තිබුණු දුක් කන්දල් පිටවෙන්න තව තවත් කෑ ගැහුවා. පර්වත කඳු මුදුන් අතරින් ඉහළ අහසේ ලස්සනට පුර හඳ පායලා. සඳ එළියට ඇල පාර පෙනුනේ පහළට ගලා යන රිදී කඳක් වගේ. අපි ඇලෙන් ගොඩ එනකොටත් ක්‍රිෂ් හඳ දිහා බලාගෙන ඉන්නවා.

ගල් තලාව උඩ සාදය ලෑස්ති කළේ කෝලි. ඌ ඒවට දක්ෂය. අපි ගිනිගොඩ වටේ දහරමංඩිය ගොතාගෙන වාඩි වුණා. ඈත තෘණ භූමියේ කණා මැදිරියෝ පිරිල. සෑම බිම් අඟලකම උන්ගේ එළි ලෙලදෙනවා. මා කුඩා අවධියේ ගෙමිදුලේ සිටි කණාමැදිරියෙක් කටේ රුවාගත් අයුරුත් ඒ දැක අම්මා බිය වූ අයුරුත් දිනක් අම්මා කියූ සැටි මතක් වී මට හිනා ගියා. අප කරා හැමූ සීතල සුළං රැළි අපේ තෘප්තිය දියුණු තියුණු කළා. කෙළවරක් නොමැති මේ විශ්ව සෞන්දර්යයට වශීකෘතව කෝලි අතපය දිගෑරගෙන අමු නිරුවස්තරෙන් සඳ එළිය විඳින්න ගල් තලාව මත දිගෑදිලා. ජීවිතයේ අන් හැමදේකටම වඩා මෙසේ සොබා සිරිය විඳින්න- තනි වෙන්න ආසා කරන බව දිනක් මා සමඟ කෝලි පැවසුවා. බෝතල් ''ටකස්'' ගා කැඩෙද්දී ක්‍රිෂ් ගුඩු-ගුඩු ගා උගුඩුවෙක් වගේ බීගෙන බීගෙන ගියා. තෘණ භූමිය එපිට වනාන්තරය මැද්දෙන් වල් ඌරන්ගේ ගෝනුන්ගේ පිඹුම් හඬ නොකඩවා ගලාගෙන ආවා.

ක්‍රිෂ් ඈණුමක් ඇරියා. ''ආ....... හ්....''

''ඕක නම් හොඳ සංඥාවක් නෙමේ- ක්‍රිෂ් කතා කරන්නයි යන්නේ... ඒයි වට වෙයල්ලා...'' පතෝ කෑ ගැහුවා.

''අපේ ඇස් හමුවුණේ භව සම්බන්ධයක් නිසා'' ක්‍රිෂ් මිමිණුවා. ''ඒයි සූසා.... දාපං තව ෂොට් එකක්. ගහමු අද කැවුත්ත හැඳි ගෑවෙන්න...මගේ ශරීරයේ ඇට මිදුළුත් - හැම අනුවක්මත් පිරිලා තිබුණේ ඒකි වෙනුවෙන්ම උපන් නිර්මල ප්‍රාර්ථනාවන්ගෙන්. අදටත් ඒකි හැර අනෙක් සියල්ල මට නාම මාත්‍රයන් විතරයි සූසා....''

''එහෙනම් බම්බුවටද වල් බල්ලො - වෙන එකියක් බැඳගෙන දරුවෙකුත් හදාගත්තෙ....?''

''මං කොතනින්ද පතෝ... මේ කතාව පටන් ගන්න ඕනි. උඹල අල්ල ගන්නකම් ගතවුණු ජීවිතේ ගොඩගැහුණු දුක් කන්දරාව පිළිවෙලට කියන්න ගියොත් අතීතය කියල විද්‍යමාන වන කල්පිතයක අපිට අතරමං වුනහැකි. ඒ ගතවුණු ජීවිතේ පැතිරුණු අනුරාව එකේකක් වෙන් කරල ලිහල ගන්න ගියොත් අපිට හෙට එළි වෙනකම් දොඩවතෑකි. ඒත් උඹලට දැන්මම වෙරි වෙලා.... හැමදාම වගේ මම තනිවෙලා.... තොපි සේරම නොබැඳපු තනි වලස්සු. ඒත් බැඳපු මම තොපිට වඩා තනි වෙලා - අතරමං වෙලා....''

''එයා දවසක් මගෙන් ඇහැව්වා ...ලෝකයේ කෙළවර කොතනද ක්‍රිෂ්? මේං මෙතන... මම එයාගේ රහසඟට පහරක් එල්ල කලා- ඉකේයියා.. කියල එයා මගේ අත අරන් එයාගේ කලවයක් උඩ තියා ගත්තා. ඒත් මම ඒ වන විටත් ඇගේ රහසඟ තුළින් ලෝකය දකින කවුළුවක් නිර්මාණය කරගෙනයි හිටියේ. එහෙම බලනකොට මට පෙනුනා හැම මානව නිර්මාණයක්ම නිම වී තිබුණේ ඇගේ රහසඟ කේන්ද්‍ර කරගෙන කියලා. සියලු ආගම් - දර්ශනවාද බිහිවුණේ ඈව අත හැරීමේ අරගලය තුළින් කියලා. චැහ්.... මේ දිය දහරේ ගුලු-ගුලුව විඳින්න දෙන්නැතුව- ගහකොල සතා සිවුපාවන්ගෙන් පිරුණු මේ සොබා දහමේ ආස්වාදයත් මම උඹලට අහිමි කරනවා. එහෙම නේද කෝලි....? අඩු ගණනේ ඇල්කොහොල්වල ප්‍රීතියවත් විඳින්න මම උඹලට ඉඩ දෙන්නෑ නේද? කමක් නෑ.. තව ටිකක් අහගෙන ඉඳපල්ලා. ඊට පස්සෙ මට මෙහෙම්ම නින්ද යයි. ඒ තරමටම මට දැන් වෙරි.''

ක්‍රිෂ් උඩ බලාගෙන කියවගෙන කියවගෙන ගියා.

''ඈ නැති ලොවක මගේ පැවැත්ම කියන්නේ මොකක්ද? මේ ගස් ගල් තරම් උදාසීන පැවැත්මක් මිනිස් පැවැත්මක් වෙන්නේ කොහොමද? මම හැමදාම මගේම ස්වභාවය හෙව්වා. ඒ හැම විටකම මම මගේ ස්වභාවය හෙව්වේ මගෙන් පිටත පැවැත්මක් හා සම්බන්ධ කර, ඒ හැම වෙලාවකම මම නැවතුනේ ඈ ඉදිරියේ.... මතකයේ ඒ යෝධ බන්ධනය ඉදිරියේ පරාජය වීම මම මගේම ස්වභාවයෙහි මුලා වීමක් කියා මට කිසි දිනෙක සිතෙන්නෑ. ඒ නිසාම වෙන්න ඇති අදටත් ගැහැණියක් - දරුවෙක් ඉන්න පියෙකු වන මම ඇගේ රහසඟ තුළින් ලෝකය දකින්නේ....''

ක්‍රිෂ් කතා කරන ගමන්ම බීගෙන-බීගෙන ගියා. එකක් නිමෙද්දි එකක් සිගරට් පත්තු කළා. අපි කාටවත් කතා කරන්න අපේම කියා මාතෘකා නෑ. අපි සම්බන්ධයෙන් ලෝකය නතර වෙලා. ක්‍රිෂ් හැරුණු කොට මේ නන්නත්තාර මිත්‍ර සමාගමයේ අනෙකුත් සාමාජිකයන් වන කෝලි- සූසා- පතෝ- මම- අපි හැමෝටම ලෝකය නතර වෙලා. ඉන් පසුව පටන් ගන්න සැහැල්ලුවත් එක්ක ජීවත් වෙන එක දැන් අපට පුරුදු වෙලා. අපි වෙන වෙනම ජීවීන් පිරිසක් වුවත් අඩුම තරමින් මී විතත්- සංචාරයත් තුළින් හෝ අපි එකිනෙකා බැඳී සිටිනවා. සියල්ලටම පස්සේ අපට ඉතිරි වෙලා තියෙන්නේ එපමණයි. - මීවිත! - සංචාරය! ඒත් ක්‍රිෂ්....? ඌ වෙනස්. ඌට තාමත් නොමැරුණු ජීවිතයක් තියෙනවා. ඌ නිරන්තරයෙන් ඒ ජීවිතය සමග පොරබදිමින් ඉන්නවා. කවදාවත් මරාගන්න බැරි සංකල්ප - දර්ශන - මායාව.

''ක්‍රිෂ් උඹ මායාව එක්ක පොර බදනවා!!!''

ක්‍රිෂ් බුදි. එක පාරටම උගේ කටින් වමනෙ ගොජ ගොජ ගා ගලාගෙන ගියා. සූසා බැන බැන ඇල පාරෙන් වතුර ගෙනත් ඌව සෝදද්දී පතෝ-මම-කෝලි ගල් තලාව මත දිග ඇදී සොබා දහමට එක්වුණා. කෝලි මුමුණන්න ගත්තා.

''අප හුදු වැලි කැට පමණි. මේ අති මහත් වූ විශ්වය තුළ පවත්නා ධූලි අංශු පමණි. අපට අවබෝධ වීමට පටන්ගෙන ඇති නිසා මේ මහා විශ්වය පොළඹවනසුලු ආස්වාදජනක දෙයක් බවට පත්ව තිබේ. අපි වැලිකැට පමණක් නිසා මේ හමන සුළඟේ - අර දිලෙන හඳ එළියේ - තරු පොකුරේ - අර ගලන දිය දහරේ මුසු වී සිටිමු. අපි කිසිදු දෙයක් මැඩ පවත්වා ඉදිරියට නොයන්නෙමු. වැලි කැටයකට වඩා දෙයක් අත් පත් කර ගැනීමට අපට ආසාවක් නැත.''

''අඩෝ අඩෝ... අන්තිම වාක්‍ය නිවැරදි කරපං'' සූසා හඳ දිහා බලාගෙනම කෑ ගැසුවා. ''ඒක මෙහෙම හදපං. අපට ගල් බෝතලේකට වඩා අත්පත් කර ගැනීමට දෙයක් නැත''

''තූ...හ් බේබද්දා''

බලාපොරොත්තු කඩවීම යනු අධ්‍යාත්මය සොයා යාමේ ආරම්භයයි. අපි කන්ද නොනැගම අද උදෑසන ආපසු හැරුණෙමු. පළමු ප්‍රශ්නය පතෝගෙන්. ''ඇයි අපි කන්ද නගින්නෙ? මීට කලින් නැගපු නිසාද? නැග්ගෙ නැති නිසාද? කවුරු නැග්ගත් නැතත් ඔය හත්තිලව්ව උඩට නැග්ග කියලත් මොකක්ද අත්වෙන පලේ...''

''සිගරටුත් ඉවරයි. අරක්කුත් ඉවරයි. පෝයත් ඉවරයි. ඇයි අපි පල්ලම් බැහැල අරක්කු ටිකක් බීල- දුමක් ගහල ජීවිතේ අන්තිම සන්තෝෂෙත් විඳින්නැත්තෙ'' සූසා යෝජනා කළේය.

ක්‍රිෂ් වතුරෙ බැහැගෙනම විරෝධය පළ කළේය.

''අපතයෝ වෙන්න එපා යකෝ. තව දවස් දෙකක් එහෙම්මම තියෙනවා. තොපි බේබද්දො වෙලා. බොන්නද යකෝ හයික් ආවෙ.''

ක්‍රිෂ් වතුරෙන් ගොඩ ආ පසු අපි ඡන්ද විමසීමක් කළෙමු. කන්ද නැගීමට පක්ෂව ක්‍රිෂ් පමණක් ඡන්දය පාවිච්චි කළේය. ඇපත් නැති ක්‍රිෂ් සනසමින් අපි පල්ලම් බැස බඹරඇල්ලේ දැන් අපි මේ සිටින එකම තැබෑරුමට රිංග ගත්තෙමු.

නොවැරදීම අද අපට කදිමට වෙරි වනු ඇත. අරමුණු රහිත මේ ජීවිතය ගැන කෝලි උද්දාම වී සිටී. ක්‍රිෂ්ගේ අසන්තෝෂය තවමත් නිමා වී නැත. ඌ තාමත් බුම්මගෙන බාර් එකේ හුළං කටින් පෙනෙන කඳු පංතිය දෙස බලා සිටී.

''අපි සැවොම කඳු වෙමු.... චියර්ස්''

කෝලි පටන් ගත්තේය.

''ඉස්සර බලපං අපි කොච්චර බිව්වද? ඒ බීපු හැම දවසකම අපිට කතා කරන්න හෙට දවසක් ඉතිරි වෙලා තිබුණ. දැන් බලපං හරියට මේක සොහොනක් වගේ. මේ බාර් එක- මේ මිනිස්සු- මේ සිදුවීම්!!! ඕං ඒක කියන්න වගේ බෙල් එකකුත් වැදුන ටාං ගාල''

මම.....?

මම ශුද්ධ වූ 'ඕං'කාරය සොයා යමි....

ඕ........ ං........... ං............ ං..........

සංජීව මූණමල්පෙ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මෙලොවෙහි කිසිදු අලුත් දෙයක් නැත. ඇත්තේ එකම පරණ ලෝකයයි. එහෙත් එය අලුත් ආකාරයකින් දැකීමට ඇතැමුන්ට හැකියාව ලැබී තිබේ. එසේ දැකිය යුත්තේ තමන්ගේම ඇසින් විනා අනිකකුගේ ඇසින් නොවේය යනු කලා නිර්මාණ හා සාහිත්‍යය සම්බන්ධයෙන් පවතින ප්‍රචලිත අදහසකි. අනුන්ගේ ඇසින් ලොව දකින්නා කවියෙක් නොවේ. ඔහු කුකවියෙකි යනුවෙන් කුමාරතුංග මුනිදාස මහතා පැවසූයේ ශ්‍රී රාහුල හිමියන් කාව්‍යශේඛරය ලිවීමේදී එකල ප්‍රසිද්ධ ලේඛකයන්ගේ පොත්වල ආ අදහස් ඒ ආකාරයෙන්ම උපුටාගෙන ඇතැයි පෙන්වා දෙමිනි. "එක පොතකින් කරුණු ගැනීම සොරකමකි. පොත් ගණනාවකින් ගැනීම පර්යේෂණයකි" යනුවෙන් පැවසෙන කියමනක් ඉංග්‍රී‍සි උගතුන් අතර තිබේ. මක්නිසාද යත් බොහෝ පොතපත කියවා කරුණු උකහා ගැනීමෙන් අලුතින් තර්ක ගොඩ නැගීමට මග පෑදෙන බැවිනි.

Plagiarism හා academic dishonesty යන යෙදුම් ලොව පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි භාවිතා වන බැවින් ඒවා නොදන්නා අය අධ්‍යාපන ආයතනවලින් බලාපොරොත්තු විය නොහැකිය. මේ යෙදුම් දෙකින්ම අදහස් වන්නේ ලිපිලේඛන හා පොත්පත් පළ කිරීම්වලදී අපේක්ෂා කරන ගුණධර්මයකි. එනම් නව අදහස් මතවාද පැවසීමට තමන් කියවූ පොතපත මොනවාදැයි අවංකව ලොවට හෙළිකිරීමයි.

එහෙත් මේ වචනවල තේරුම් නොදන්නා අය හමු විය හැක්කේද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලින් පමණක් වීම හාස්‍යජනකය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර පමණක් නොව ලේඛකයන් හා ගත්කතුවරුන් අතරද මේ අවංකභාවයෙන් තොරවූවන් සිටින අන්දම වරින් වර වාර්තා වෙයි. මේ සම්බන්ධ ප්‍රකට නඩු තීන්දු කිහිපයක්ද තිබේ. මලල්ගොඩට එදිරිව විඡේසුරේන්ද්‍ර ලොකුගේ යන නඩු තීන්දුව ඒ අතරින් ප්‍රසිද්ධය.

මෑතදී රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු පැරෑණි රසවාහිනී සඟරාවල පළවූ ලිපි සිය නමින් දිවයින බදාදා අතිරේකයේ පළකරවා ගත් අන්දම මේ සම්බන්ධයෙන් අපේ සිහියට නැගේ. මෙය හරියට අනුන්ගේ ඇඳුම් හොරකම් කර ඇඳීමක් වැනිය. නිරුවතින් ගමන්බිමන් යෑම ඊට වඩා නම්බුවකි.

මේ අන්දමින් අනුන්ගේ ඇඳුමින් සැරෑසී නිරුවත වසා ගන්නට තැත්කරන කිහිපදෙනකු ගැන පොතපත ඇසුරෙන් මෙහිලා කරුණු දැක්විය හැකිය. ආර්. එල්. බ්‍රෝහියර් කොළඹ නගරයේ ඉතිහාසය හා සිය පරපුරේ විත්ති හෙළි කරමින් Changing Face of Colombo නමින් ග්‍රන්ථයක් රචනා කළේය. එය කොළොම්පුර වෘත්තාන්තය මැයෙන් පද්මා එදිරිසිංහ විසින් පරිවර්තනය කිරීමෙන් පසුව ලේඛක කථීකාචාර්යවරයෙකුගේ නමින් "කොළොම්තොට කොමළිය" නම් පොතක් වෙළඳපොළට පැමිණියේය. කොමළියගේ නිරුවත ප්‍රදර්ශනය වූයේ පරිවර්තිකාව හා ප්‍රකාශකයා නඩු මගට බැසීම නිසාය. කොමළිය රචකයා අඩුම තරමින් බ්‍රෝහියර්ගේ පොතේ නමවත් සඳහන් නොකිරීමට වග බලා ගැනීමෙන් ඔහුගේ කපටිකමද ප්‍රදර්ශනය විය. එහෙත් බ්‍රෝහියර් වාර්තා කරන ලක්දිව බර්ගර් ප්‍රජාවගේ පවුල්වල පැවති පාරම්පරික කතන්දර වෙන මාර්ගයකින් ලබා ගත නොහැකි බැවින් නිරුවත අනාවරණය විය.

මේ නිරුවත විශ්වවිද්‍යාලවල චූලාචාර්යවරුන්ගේය. මහාචාර්යවරුන්ගේ 'හොත් පොර(ණ)කම්' මීට වඩා සූක්ෂ්මය. හැබැයි මහාචාර්යවරු හිටගෙන කරන විට චූලාචාර්යවරු දුව දුව කරති:

විදුරුපොළ පියතිස්ස හිමියෝ මෙරට බිහි වූ විශිෂ්ට පාලි උගතෙකි. උන්වහන්සේ 1949දී ඉංග්‍රීසි-පාලි ශබ්දකොෂයක් සම්පාදනය කළහ. එය පළ කළේ ගිහි පැවිදි පින්වතුන්ගෙන් සම්මාදම් කළ මුදල් යොදවමිනි. එදා පොතක් පළ කර ගැනීමේ දුෂ්කරතාවද එයින් වැටහේ. පිටු 760කින් යුතු මේ පොතට පිටු 16ක හැඳින්වීමක් ලියන විශ්වවිද්‍යාල ආචාර්ය හිමිනමක් එහි මුල් පිටුවට හා කවරයට edited by යනුවෙන් තමන්ගේ හා තවත් හිමිනමකගේ නම යොදා අලුතින් පළ කර තිබේ. edit යනුවෙන් අදහස් කෙරෙන්නේ සංස්කරණය නැත්නම් සකස් කිරීමයි. පියතිස්ස හිමියන්ගේ පාලි ශබ්දකෝෂයේ සකස් කිරීමට යමක් සොයා ගත නොහැකි වූ නිසා මුල් පොත ඒ ආකාරයෙන්ම ස්කෑන් (scan) කර පළ කර තිබේ. හැබැයි සංස්කාරක වශයෙන් තමුන් වහන්සේලාගේ නම් ඈඳාගෙන ඇත. පියතිස්ස හිමියන්ගේ මුල් පොතේ සංස්කරණය කිරීමට දෙයක් නැතත් අලුත් 'සංස්කාරකවරයා' ඉංග්‍රීසියෙන් ලියා ඇති හැඳින්වීමේ නම් සංස්කරණය කළ යුතු තැන් රාශියකි. සිංග්‍රීසියෙන් කියතොත් 'ඉස්පෙලිං මිස්ටේක්' රාශියකි! උක්ත ආඛ්‍යාත ගළපා ගත නොහැකි වූ වාක්‍ය මෙන් ම වැරදි පද හා යෙදුම්ද ඒ අතර වෙයි. ඒවා නම් කෙනෙකුට සංස්කරණය කළ හැකිය.


විදුරුපොළ පියතිස්ස හිමියන්ගේ ඉංග්‍රීසි - පාළි ශබ්දකෝශයේ මුල් පිටු.

විදුරුපොළ පියතිස්ස හිමියන්ගේ ඉංග්‍රීසි - පාළි ශබ්දකෝශයේ මුල් මුද්‍රණයේ පිටු ස්කෑන් කර 'සංස්කරණය' කර ඇති අන්දම හා එයට අලුතින් එක් කළ සංස්කාරකවරුන්ගේ නම් දැක්වෙන ටයිටල් පිටුව.


මේ හිමිනම විදුරුපොළ හිමියන්ගේ තවත් පොතක් මේ අන්දමට සංස්කරණය කර තිබේ. ඒ "කමලඤ්ජලී" නම් පාලි කාව්‍යයයි. (ලිපියේ ඉහළ දක්වා ඇති කවරය බලන්න.) එය 1940දී හා 1962දී යනුවෙන් දෙවරක් පළ වූ එකක් වුවත් මෙතුමා එහි කර්තෘගේ නම ඉවත් කොට තමන්ගේ නමින් පිටකවරයක් ඇඳගෙන තිබේ. ඒ එක්කම මේ පොත තමන්ගේ දෙමවුපියන්ට පූජාකරයි. එය හරියට අනුන්ගේ මල් වට්ටියක් පැහැරගෙන පූජා කිරීමකි. එයින් පවක් විනා පිනක් නම් වේදැයි පැහැදිලි නැත. එසේ වුවත් විශ්වවිද්‍යාලයේ උසස්වීම් සඳහා මෙවැනි සංස්කරණ ඉදිරිපත් කර ලකුණු ලබා ගත හැකි බව දන්නෝ දනිති. මෙවැනි වංචා සහගත පොත්වලට ලකුණු දී උසස්වීම් ලබා දීම නැවැත්වීමට පියවර ගතොත් අපේ අලුත් උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ නම රන් අකුරින් ලියවෙනු ඇත.

මෙවැනි බාල බොළඳ වැඩ දුව දුව කරන්නට පූර්වාදර්ශ ද මහාචාර්යවරුන්ගෙන් සැපයී තිබේ. සමහර මහාචාර්යවරු පොත් 50ක් 100ක් පළ කළ බවට පුවත්පත්වල දැන්වීම් පළ කරවා ගනිති. ඒ පොත්ද එක පොතේ කාණ්ඩ 3, 4 බැගින් පළ කෙරෙන ඒවාය. ඇත්ත නම් ඒ කාණ්ඩ තුන හතර ලියා ඇත්තේ වෙනත් ලේඛකයකු වීමත් මහාචාර්යතුමා ඒ ලේඛකයාගේ උපන් දිනය පාසල් ගිය අන්දම රස්සාව කළ ආකාරය කාපු බීපු ආකාරය විවාහ ජීවිතය වැනි තොරතුරු ඇතුළත් පිටු 10ක් 15ක් තමන්ගේ නමින් ලියා මුලට එක් කොට තිබීමත්ය. මේ තොරතුරුත් සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය, දිවයින බදාදා අතිරේකය වැනි ඉහළ ශාස්ත්‍රීය ලිපි පළ කරන පුවත් පතකටවත් වැද්ද නොගත යුතු තරම් අශාස්ත්‍රීය ලියවිලිය. මේවා පූර්වාදර්ශයට ගනිමින් පියදාස සිරිසේන වැනි ලේඛකයන්ගේ නවකතා පවා අලුතින් 'සම්පාදනය' කොට තමන්ගේ නමින් පළ කරවා ගන්නට ඇතැමුන් පසුගිය කාලයේ කටයුතු කොට තිබේ.

මෙවැනි උගතුන්ගේ තවත් ආකාරයක වංචාවක් නම් ඉංග්‍රීසියෙන් පළ වී තිබෙන පොත් සාරාංශ කොට සිංහලෙන් ලියා තමන්ගේ නමින් අලුත් පර්යේෂණ සේ අඟවමින් පළ කර ගැනීමයි. දෙමළ සාහිත්‍ය ඉතිහාසය ගැන ලියා ඇති මෙවැනි එක පොතකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන පවා පිරිනමා තිබේ. මදුරාසි විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටි මු. වර්ධරාජන් ලියූ The History of Tamil Literature එසේ හොරකම් කරනලද පොතේ මුල් කෘතියයි. සිංහලෙන් පොත පළ කළ මහාචාර්ය රත්නය මුල් පොත ගැන නොකීමේ සුනි(ම)ල ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නෙකි.

තවත් මෙවැනි පොත් කිහිපයක් වෙළඳ පොළේ තිබී මම මිලදී ගත්තෙමි. ඉන් එකක් බටහිර නාට්‍ය ඉතිහාසය ගැන ලියවුණකි. නාට්‍ය හා රංග කලාව පාසල්වල ඉගැන්වෙන නිසා මේ පොත හුඟ දෙනකු විසින් මිල දී ගන්නකි. එහෙත් මුල් කර්තෘගේ නම වත් නොලිවීමට තරම් සිංහල පොතේ කර්තෘ සුචරිතවත් වී ඇත. ඔස්කාර් බ්‍රොකට් (Oscar Brockett) විසින් ලියන ලද The History of Theatre එහි මුල් පොතයි. බටහිර සාහිත්‍ය විචාරය ගැන ලියවුණු ඉංග්‍රීසි පොතක්ද මෙවැනි සුචරිත මාර්ගයකින් සිංහලෙන් පළ වී තිබේ. Aesthetics from Ancient Greece to the Present නම් මේ පොතේ කර්තා ප්‍රකට දර්ශනවාදියකු වන මොන්රෝ සී. බියර්ඩ්ස්ලි (Monroe C. Beardsley)ය. එහි ඇති වෙනස නම් මුල් ඉංග්‍රී‍සි පොතේ පළ කොට තිබූ ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සිංහල පොත අගට යොදා ඒ නාමාවලියේ මුලට මුල් ඉංග්‍රීසි පොතේ නමද එක් කොට තිබීමය. 'ගමක් ලත්' තැනැත්තෙකු නොව සිය ගණනක් 'ගම්-ලත්' අයෙකු වුවත් මෙවැනි කටයුතු කරයි නම් එහි ඇත්තේ සුචරිතයක් නොව දුශ්චරිතයකි.

කරහම්පිටිගොඩ සුමනසාර හිමියන්ද මේ සුචරිතවත් ලේඛක මහාචාර්යවරයාගේ මංකොල්ලයට ගොදුරුවූ උගතෙකි. උන් වහන්සේ ලියූ "එළු සඳැස් ලකුණේ නිදසුන් පද්‍ය" නමැති අත් පිටපත මේ තැනැත්තා විසින් උන් වහන්සේ ජීවත්ව සිටියදී රැගෙන ගොස් කලකට පසුව උන්වහන්සේ අපවත් වූ බව ආරංචි වී එය තමන්ගේ නම පිටකවරයට යොදා මුද්‍රණය කරවාගෙන තිබේ. මේ උගතාගේ නමින් පළ කර ඇති බුද්ධ චරිතයද එඩ්වඩ් ඡේ තෝමස් වෙහෙස මහන්සියක් දරා ලියූ පොතම බවත් එහි සිංහල පරිවර්තනයක් කලකට පෙර කීර්තිමත් පඬිවරයකු වූ ජී. ඇස්. බී. සේනානායක විසින් පළ කර ඇති බවත් අපට අමතක වී ගොස් නැත.

මේ උගත් මහාචාර්යතුමා ළඟදී සෙනරත් පරණවිතාන මහතාගේ Sigiri Graffiti කෘතියේ මුල් කාංඩය සිංහලට පරිවර්තනය කිරීමට පුරා විද්‍යා දෙපාර්තම්න්තුවෙන් කොන්තරත්තුවක් ලබා ගත්තේය. මුල් පොතේ පිටු ගණන 222කි. එයින් 32 පිටුවේ සිට 171 තෙක් කොටස ඒ පොතේ දිගම පරිච්ඡේදයයි. 1964දී පීටර් සිල්වා මහාචාර්යතුමා විසින් සිංහලයට පෙරළා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් එය සීගිරි ගී වියරණ නමින් පළ කොට තිබේ. කොන්තරත් මහාචාර්තුමාගේ පරිවර්තනයට පීටර් සිල්වා මහාචාර්යතුමාගේ කොටස සම්පූර්ණයෙන්ම ගෙන ඇත. ඒ නොමිලයේ නො වේ. අර පරිවර්තනය පිටපත් කර තමන්ගේ නමින් පළ කිරීමට ඔහු රජයේ මුදල් ලබා ගෙන ඇත. මෙහිදී නම් තමන් පීටර් සිල්වාගේ කොටස උපුටා ගත් බව ඔහු නොබියව පවසන්නේ මුදල හරි නිසා විය යුතුය. ඔහුට පරිවර්තනය කිරීමට සිදු වුණේ 1-32 කොටසත් 171-221 කොටසත් පමණි. මේවාත් සොරකම්ය. උපැවිදි නොවී සිටියා නම් පාරාජිකා වන්නට මෙයම ප්‍රමාණවත්ය.

විශ්වවිද්‍යාලවල "උගතුන්ගේ" තවත් ක්‍රමවේදයක් නම් තමන් උගන්වන විෂයට අදාළව සිසුන්ට කියවීමට නියම කරමින් පොත් පළ කරන විට ඒවාට පාදක කර ගන්නා මුල් පොත් වසං කිරීමයි. මුල් පොත් ගැන නොකියා ඒවායේ එන අදහස් තමන්ගේ වගේ සිංහලෙන් කියා පෑම මහා වික්‍රමයක් විය යුතුය. මහාචාර්යවරුන් මේ අන්දමින් හිටගෙන කරද්දී ගෝලයන් දුව දුව නොව පෙරළි පෙරළී මේ හොරකම කරන ආකාරය විශ්ව විද්‍යාලවලින් ආරංචි වෙයි. මහාචාර්යවරයා හොරකම් කොට බෝතලයක් පුරවා එයට තමාගේ නම අලවා ගනී. කථීකාචාර්ය ගෝලයා එයින් ඇබින්දක් කුප්පියකට දමා තමන්ගේ නමින් අලෙවි කරයි.

මේ තෙල් බේත් වෙළඳාම සඳහා හොඳම උදාහරණය අපට හමුවන්නේ මූලික සමාජවිද්‍යාව 1 කොටස නමින් පළ කොට ඇති පොතකිනි. (මූලික සමාජ විද්‍යාවක් ගැන නම් අපි නොදන්නෙමු. එය සමාජවිද්‍යාවේ මූලිකාංග හෝ සමාජවිද්‍යා මූලධර්ම වැනි මාතෘකාවකින් හැඳින්වූවේ නම් ගැළපෙන බව නම් කිව හැකිය.) කෙසේ වෙතත් මේ පොතේ හත් වැනි පරිච්ඡේදය ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් අපරාධවිද්‍යාවේ මූලධර්ම 1 යනුවෙන් ලියූ පොතේ මුල් පරිච්ඡේදය හොරකම් කර පළ කිරීමකි. (මහාචාර්යවරයාගෙ අපරාධ විද්‍යා මූලධර්ම පොතේ හා චූලාචාර්යවරයාගේ මූලික සමාජවිද්‍යාව පොතේ අපරාධ කොටසේත් ඡායා පිටපත් මෙහි දැක්වේ. ඒවා සැසඳීමෙන් සමානත්වයේ තරම වටහා ගතහැකිය.) අනික් අතට මේවා ශාස්ත්‍රීය කෘති නම් නොවේ. මේවා හොඳ විභාගවලට සටහන් එකතු කරන ශිෂ්‍යයන්ටය. විශ්වවිද්‍යාල කීපයක්ම බාහිර උපාධි විභාග පවත්වන නිසා මේ වැනි කුප්පි කෑලිවලට හොඳ ඉල්ලුමක් ඇති බව ආරංචි වෙයි.


මහාචාර්යවරයාගේ පොත.

මහාචාර්යවරයාගේ පොත කොපි කර චූලාචාර්යවරයා ලියූ පොත.


මෙවැනි පොත්වල කර්තෘවරු තමන් අහවල් විභාගයේ අහවල් විෂය භාරව සිටින බව පොත්වල පසුවදන්වලින් ප්‍රසිද්ධ කරන්නේ ඒවා අලෙවි කර ගැනීමේ මාර්ගයක්ද එමඟින් පෑදෙන බැවිනි. මේවා සෘජුවම විභාග වංචාය.


බාහිර විභාග වලට විකුණාගැනීමට ලියා ඇති පසුවදන.


විශ්වවිද්‍යාල පැත්තේ රවුමක් ගැසීමෙන් මෙවැනි පොත් ලියවෙන ආකාරය ද අනාවරණය කරගත හැකිය. මහාචාර්ය වීමට හීන මවාගෙන සිටින චූලාචාර්යවරයා කරන්නේ තමන්ට ලිවීමට ආශාව ඇති විෂයට අදාළව ශිෂ්‍යයන්ට පැවරුම් ලිවීමට නියම කිරීමයි. ඒ පැවරුම්වල මුද්‍රිත පිටපත සමග එහි සී. ඩී. එකද බාරදිය යුතුය. දැන් වැඩේ ඉතා සරලය. ශිෂ්‍යයන් ලියූ පැවරුම්වල මුල්පිටු කඩා දමා ඒවා එකට එකතු කර තමන්ගේ අත්පිටපත සාදාගත හැකිය. ඒ සමග අර සී. ඩී. තැටිද මුද්‍රණාලයට දෙයි. සතියකින් දෙකකින් පොත පිට වෙයි. ''මේ අපේ ඇසයින්මන්ට්වල තිබිච්ච කරුණු'' යි ඒ පොත දකින ශිෂ්‍යයෝ තැන තැන පවසති. මයූරයා නටන විට ''එක පුලියේ'' වුනත් ඌ එය නොදන්නා මෙන් මේ ආචාර්යවරයාටද තමන්ගේ හෙලුවැලි නැටුම නොපෙනේ.


මහාචාර්යවරයාගේ පොත.

මහාචාර්යවරයාගේ පොත කොපි කර චූලාචාර්යවරයා ලියූ පොත.


මේ අයවලුන් මේ අන්දමට පොත් පල කරන්නේ ශාස්ත්‍රීය සේවයක් තකා නොවේ. මහාචාර්ය තනතුරු ලබාගැනීමටය. විශ්වවිද්‍යාලවල මහාචාර්ය තනතුරුවලට උසස් කිරීමට අදාළ එක් චක්‍රලේඛණයක් පසුගිය නොවැම්බර් මාසයේ අවලංගු කෙරිණි. ඒ වෙනුවට අලුතින් ආ චක්‍රලේඛණය අනුව ලකුණු උසස් වීම් සඳහා හිමි වන්නේ පිළිගත් ආයතන මගින් ප්‍රකාශයට පත් කළ පොත්වලට පමණක් නිසා පරණ චක්‍රලේඛණය අවලංගු වන්නට කලින් ආචාර්යවරු බොහෝ දෙනා ඉහත කී අන්දමට පොත් පළ කර ගත්හ. තවත් සමහරුන්ගේ පොත්වල පිටපත් තමන්ගේ කාමරයේ ඩෙස්ක්ටොප් එකෙන් සකස් කර ප්‍රින්ට්අවුට් ලබා ගත් ඒවා මිස කිසිදු පුස්තකාලයක වත් පොත් සාප්පුවකවත් ඇති ඒවා නොවේ. ඒවාට ජාතික පුස්තකාලයෙන් අයි එස් බී එන් අංක පමණක් ලබා ගෙන තිබේ.

මේ දවස්වල හැම විශ්වවිද්‍යාලයකම මේ අන්දමට ඉදිරිපත් කළ පොත්වලින් මහාචාර්යකම් බලා සිටින පිරිසක් සිටිති. ඒවාට මහාචාර්යකම් දුන් පසු සිදු වන්නේ සුනකයකු පඳුරකට සුලුදිය වක් කරන විට පවා මෙවැනි ලාබ මහාචාර්යවරු දෙතුන් දෙනෙක්වත් එයින් තෙමී යාමයි. ගරු උසස් අධ්‍යාපන ඇමතිතුමනි පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඉක්මන් කළ යුත්තේ මෙවැනි වසලාචාර්යවරුන්ගෙන් මිදුණු විශ්වවිද්‍යාල අවශ්‍ය නිසාය. ඒ සමගම මේ දවස්වල දිගටහරහට පැවැත්වෙන මහාචාර්ය උසස්වීම් ගැනද හොයා බැලුවොත් තවත් ජාතික සේවයක් ඉටු කළ හැකි වෙයි.

සුනෙත් ප්‍රියදර්ශණ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉරාන සිනමා පතාකයෙක් වන අබ්බස් කිය‍රොස්තාමිගේ ෂිරින් සිනමා පටය එවැනි සිනමා ආකෘතියක් නියෝජනය කරන එම වංශයේ එකම සහ ප්‍රථම කෘතිය ලෙස මට දැනේ. 1975 ඉන්ග්මාර් බර්ග්මාන් ගේ ද මැජික් ෆ්ලූට් නම් වූ සිනමා සිත්තමේ කිසියම් ඡායාමය අත්දැකීමක් හෝ අනුභූතියක් හේතුවෙන් කියරොස්තාමී ෂිරින් නිර්මාණය උදෙසා ආභාෂයක් ලබන්නට ඇතැයි යන අනුමානය මේ සිනමා කෘති එක ළඟ තබා බැලූ විට පෙනී යයි. සැබැවින්ම ෂිරින් සිනමා කෘතියේ අන්තර්ගතය වන්නේ ඉරානයේ සුප්‍රකට පුරාණෝක්තිගත අතිශය රමණීය ප්‍රේම වෘතාන්තයක් වන කොෂ්රොව් සහ ෂිරින් පෙම් පුවතය.

මෙම පෙම්පුවත ළගන්නා සුළු කාව්‍යයක් බවට පත්වන්නේ ප්‍රකට ඉරාන කවියකු වන නේසාමි ගන්ජාවි 1141-1209 අතිනි. පෙම්පුවත කොතරම් මනරම් වුවද ෂිරින් සිනමා පටයේ ප්‍රේක්ෂකයාට දැක ගත හැක්කේ එම ප්‍රේම වෘතාන්තය කේන්ද්‍රීය වූ නාට්‍යයක් නරඹමින් සිටින එකසිය ගණනක් වූ ප්‍රේක්ෂිකාවන්ගේ මුහුණුය. කියරොස්තාමිගේ ෂිරින් සිනමා පටයේ ආරම්භක රූප රාමුවේ සිටම දැකිය හැකි වන්නේ විවිධාකාර වූ නාට්‍යමය අවස්ථා උදෙසා සිය චිත්තාභ්‍යන්තරයේ හට ගන්නා සංවේදනයන් මුහුණින් පළ කරමින් සිටිනා ප්‍රේක්ෂාගාරයක සමීප මුහුණු දසුන්ය.

ෂිරින්ගේ පෙම්පුවත තිරය මත දිගහැරෙන්නේ එහි නාට්‍යමය හඩපටය ලෙසිනි. එම හඩපටය ඔස්සේ සිදුවීම් චැනලයක් නිර්මාණය කරන අතර එම ශාබ්දික සිදුවීම් ඔස්සේ ස්ත්‍රී මුහුණු තුළින් පරාවර්තනය වන හැඟුම් විසින් දෙවන චැනලයක් නිර්මාණය වෙයි. මෙම චැනල දෙක හරහා ප්‍රේක්ෂකයා එම පෙම්පුවත මනසින් නිර්මාණය කර ගැනීමේ අභ්‍යාසයකට යොමු කරවයි. මෙහිදී සිනමා න්‍යාය කණපිට හැරවීමක් වන අයුරින් සිනමා කෘතිය නැවතත් ප්‍රේක්ෂකයාගේ නොපැවැත්ම සහ මායාවේ පැවැත්ම යන මූලික තල දෙක එකම තලයක් බවටත් එම තලය ලැකානියානු දර්පණයක් බවට පත් කිරීමෙන් ප්‍රේක්ෂකයාගේ මනසේම ප්‍රතික්‍රියාව ප්‍රේක්ෂකයා වෙත මුදා හරින්නට සැකසුමක් බවට පරිවර්තනය වීමෙන් ප්‍රේක්ෂකයාගේ ආශාවේ වස්තුව ලෙස තමුන්ම විමසීමට ඉඩක් සැළසේ.

ෂිරින් සිනමා පටයේ මෙම ලියැවිල්ලට අදාල වන ලැකානියානු සිනමා විචාරයේ මූලික අදහස් කීපයක් වෙත අවධානය යොමු කරමු. මෙහිදී අවධානයට ලක්වන්නේ කැඩපත් අවදිය නම් වූ ලැකානියානු මනෝවිශ්ලේෂණ සිද්ධාන්තයේ සිනමා භාවිතය ගැනයි.

ලැකානියානු සිනමා කියැවීමක් තුළ දී සිනමා කෘතිය සහ ප්‍රේක්ෂකයා යන අන්ත දෙක ස්ථානගත වන්නේ අවිඥානය තුළ අවධියක් ලෙස නිර්ණය වන කැඩපත් අවදිය යි. දර්පණය ඉදිරියේ මව සහ දරුවා ප්‍රථම වතාවට හමු වද්දී මවගේ ප්‍රතිබිම්බය සමග එක්තැන් වන දරුවාගේ ප්‍රතිබිම්බය දර්පණය තුළ දකින අවස්ථාවේ දරුවා පරිකල්පනය කරන්නේ තමන්ගේ සහ මවගේ ඒකත්වයකි. මෙම ඒකත්වය රසායනිකව ලියා ගන්නා දරුවාගේ අවිඥානය ඊළඟට අත්කර ගන්නේ මව විෂයක් ලෙස හඳුනා ගන්නට පෙළඹීමයි. මෙම ක්ෂුද්‍ර කාල අවස්ථාව තුළ දරුවා තමන් සහ මව අතර ඇති සම බව හෝ විෂම බව පිළිබඳ දැනුම ලබා ගනී. මේ අවස්ථාවේ දී දරුවා තමන්ගේ ප්‍රතිරූපය දර්පණය තුළින් මායාකාරී ලෙස දැකීමෙන් සිය ස්වරූපය හඳුනාගැනීමක් පරිකල්පනය කරගන්නා අතරම සිය මව පිළිබඳ නිරූපිතය නැති වී යාමක් ද සංවේදනය කරයි. එබන්දක් සිදු විය හැක්කේ තමන්ගේ සහ මවගේ ඒකත්වය දැකුම තුළින් තමන් ගේ ස්වරූපය ප්‍රථම වර රසායනිකව ග්‍රහණය වීමත් තමන් මෙතුවක් දුටු මවගේ ස්වරූපය ප්‍රතිනිශ්පාදනය වී කැඩපත තුළ දැකීමත් හේතුවෙන් එහි විශ්වසනීයත්වය බිඳීයාමක් හා සමාන ලෙසිනි.

ලැකානියානු මනෝවිශ්ලේෂණය තුළ පැහැදිලි වන මෙම කැඩපත් අවස්ථාව වටහා ගැනිමේ සරලමතිකයක් ලෙස එම උදාහරණය ප්‍රමාණවත් වුවද තත්වය වඩාත් සංකීර්ණ වන්නේ එම ගිලිහී ගිය මවගේ ප්‍රතිරූපය නැවත අත්කර ගැනීමේ අවස්ථාවට පරිවර්තනය වීම තුළ ගොඩනැගෙන්නා වූ අවුල්සහගත ස්වභාවයයි. එම නැවත මවගේ ඒකත්වය සොයා යාමේ අවස්ථාවෙන් නිර්මාණය වන්නට පටන් ගන්නා වූ සංකේතීය විශ්වය ඉන් ඔබ්බේ සියළු මනෝගතිකයන් හා සංකීර්ණව බැඳේ‍. එසේ වන්නේ මෙම මව හා නැවත ඒකත්වය සෙවීමට හැරෙද්දී එම ආශාව බාධා කරන්නට ලිංගිකමය අවරෝධනයක් පියා තුළින් ගොඩනැගීම හේතුවෙනි. මෙය ලැකානියානු මනෝවිශ්ලේෂණය තුළ නාමකරණය වන්නේ පියාගේ තහනම ලෙසිනි. පියාගේ මෙම අතරමැදි වීමත් සමගින්ම දරුවා ඇතුළු වන්නේ මූලික සම්බන්ධතා ත්‍රිත්වයක අවකාශයකටය. පියා ගේ තහනම ඉදිරිපත් වන ස්වරූපය ලෙස මව හා බැඳීම කෙරෙහි බලපවත්වන නිශේධනීය විධානය එනම් "එපා" යන අණ හේතුවෙන් පියා සිය බලය පවත්වා ගන්නා අතර දරුවා එයට අවනත වීම තුළ එක් අවදියක නිමාව සටහන් වේ.

මේ ආකාරයට භාෂාව දරුවා තුළ අණ පනවන්නට අතරමැදි වීම තුළින් ඔහුගේ සංකේතීය විශ්වයේ ඇරඹුම සනිටුහන් වේ. මේ අයුරින් දරුවා හෝ දැරිවිය සිය පැවැත්මේ අනාගත අවදිය වන විශයකරණය හෝ පුණර්‍ ලෙස සමාජගත වීම යනු පියාගේ නීතිය හෙවත් භාෂාව වැළඳ ගැනීමයි. දරුවා භාෂාවේ යථ තුළට වැද්ද ගැනීමට පියාගේ නීතියේ කාර්යභාරය පිටුවහල් වේ. මින්පසු පියාගේ භාෂාවේ එනම් එපා යන විධානය තුළින් ගොඩනැගෙන සංකේත පිළිවෙලට දරුවා සිය අවනත භාවය පිළිගනී. මේ ආකාරයෙන් පිරිමි දරුවාගේ සමාජගත වීම සම්පූර්ණ වන්නේ යැයි සැළකිය හැක්කේ ස්ත්‍රී අනෙකෙකු හා සම්බන්ධ වීමෙන් වද්දී ස්ත්‍රී දරුවාගේ සමාජගත වීම ප්‍රථමයෙන් සිය ආශාවේ වස්තුව ලෙස පියා දෙසට ද ඉන් පසුව පුරුෂ අනෙකෙකු දෙසට ද වශයෙන් ආශා‍වේ වස්තු පරිවර්තනය වීමෙනි.

මෙයාකාර වූ මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශය සිනමා තිරය තුළ දී නැවතත් කළින් සඳහන් වූ ආකාරයේ කැඩපත් අවදියකට ප්‍රේක්ෂකයා නිරාවරණය කරන බැවින් පරිකල්පනීය තලයේ අවිඥානයේ ක්‍රියාකාරිත්වය වටහා ගැනීමේ මොඩලය ප්‍රතිවර්ත කිරීමෙන් සිනමා පටය කියවා ගැනීමේ ප්‍රතිමොඩලය අපට සපයයි.

ප්‍රේක්ෂකයාගේ නොපැවැත්මක් තුළ සිනමාවක් නොපවතී. තිරයේ ප්‍රතිබිම්බත් එය‍ වෙත බැල්ම හෙලන ප්‍රේක්ෂකයාගෙත් සාමුහිකත්වය තුළ සිනමා ආශ්වාදනය ගොඩනැගේ. එමෙන්ම තිරය මත පිළිඹිබු වන්නා වූ දේවල් සැබවින් පවතින්නේ නැත. ඒවා පැවතුනා විය හැකි වුවද ඒවා පැවතීමක් තිරය මත නොසිදුවේ. තිරය මත සියල්ල නොපැවැත්මකි. මායාවකි. සංකේත විශ්වයකි. ප්‍රේක්ෂකයාගේ පැවැත්ම තිරයෙන් පිටතත් එමෙන්ම තිරය තුළ ප්‍රේක්ෂකයාගේ සංකේත විශ්වය ගොඩනැගීමත් හේතුවෙන් පැවැත්ම නොපැවැත්ම යන සිනමා සිද්ධාන්තය සෘජුව සිය ඇටවුම් සකස් කරගනී. මෙම පැවැත්ම සහ නොපැවැත්ම අතර ගැටුම සිනමා සංදර්ශනය පුරාම පවතින අතර එය අවසානයක් නොමැති එනම් එබඳු අවසානයක් වෙතොත් එය ප්‍රේක්ෂකයා ඒලියනේට් [alienate] වීමක් හෝ පරාරෝපණය වීමකින් අවසන් විය යුතුය. එමෙන්ම ප්‍රේක්ෂකයා තිරයෙන් වෙන්ව පවතින නිසා ඔහු රූප සහ ශබ්ද උරා ගන්නා වස්තුවක් බවට පත්වේ. මෙයාකාරයෙන් කැඩපත් අවදිය හා සමපාත වීමක් තිරය සහ ප්‍රේක්ෂකයා අතර සිදුවේ.

තිරය මත ට සිය දෘශ්ටිය යොමන පළමු අවස්ථාවේ දීම ක්ෂුද්‍ර කාල ප්‍රාන්තරයක දී ප්‍රේක්ෂකයා තමන්ගේ සහ තිරයේ ඒකමිතියක් සංජානනය කරයි. එවිට ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගන්නේ තමන් තිරය තුළ නොපවතින හේතුවෙන් තමන්‍ ගේ පැවැත්මේ වෙනස අවබෝධයකට පත්වීමයි. මෙම අවස්ථාව ඔහු හෝ ඇයට තිරය හෝ කැඩපත අතර තමන්ගේ අඩුවක් අත්විඳින්නට ලැබෙන අවස්ථාව හෝ මවගේ වෙන් වීම සලකුණු කරන අවස්ථාව හා සමපාත වේ. අවසානයේ දී ප්‍රේක්ෂකයා ට විෂය ලැබෙමින් පවතින්නා වූ සංජානන අවකාශය තමා බව හඳුනා ගැනීමට අවස්ථාව උදා‍වේ.

මේ ආකාරයෙන් විග්‍රහ කරද්දී සිනමා පටයක් සමග ප්‍රේක්ෂකයා ප්‍රතික්‍රියා කරන සියළු අවස්ථාවන් හිදී මෙම අවිඥාන තලයේ අවියෝජනීය ලෙස බැඳී පවතින අවස්ථා ත්‍රිත්වය පසු කර යෑම සිදුවේ. එනම් ප්‍රථමයෙන් තිරය කැඩපතක් හා සමපාතව තමන්ගේ අවිඥාන තලයේ ලිංගිකත්වය නිර්ණය ද [කැඩපත් අවදිය] දෙවනුව භාෂා ලෝකය ට අවතීර්ණ වීමද [සංකේතීය විශ්වය] අවසානයේ ස්වාත්මයේ ස්වයංක්‍රියාකාරිත්වය හෝ විෂයකරනය එනම් මවගෙන් වෙන් වීම හෝ විෂය හඳුනාගැනීමේ ක්‍රියාවලියට ඇතුල් වීම හෝ සංකේත විශ්වය තුළ විෂය හඹායාම නම් වූ අවදීන් ත්‍රිත්වයයි.

මෙම සිනමා අත්දැකීම ඉන්පසු දෙපසක සිදුවන පැවැත්මේ සහ නොපැවැත්මේ සුරතාන්ත ක්‍රීඩාවක ස්වරූපය ගනිමින් ආශාවේ දෘශ්‍යය ආනන්දය [visual pleasure] කරා ප්‍රේක්ෂකයා හඹා යවයි. මෙම ආශාවේ දෘශ්‍ය ආනන්දය පවතින්නේ ද එහි ප්‍රතිවිරුද්ධ සංරචකය ද පවතිද්දීය. එනම් බැලීමට දක්වන ලජ්ජාව යි. එනම් ප්‍රේක්ෂකයා හෝ ප්‍රේක්ෂිකාව බැලීම නමැති ක්‍රියාවේ යෙදෙන්නේ කිසිවෙකුගේත් ප්‍රති බැලීමකට යටත් නොවීමෙනි. එනම් තිරය මත සිදුවන ක්‍රියාවලිය බලා සිටින්නේ තිරයේ සිටිනා අයවළුන් නොදන්නා හෝ ඔවුනට නොදැනෙන සංජානනය නොවන ක්ෂේත්‍රයක දීය. ඊට සරල උදාහරණයක් ලෙස උද්‍යානයක පෙම්වතුන් කරන කියන දේ දර්ශනකාමයෙන් නරඹන්නකුට නිරන්තරයෙන්ම අවධානයෙන් සිටිය යුතු වන්නේ ඔවුන්ට නොදැනෙන සේ එය කරගැනීම ගැනයි. නමුත් තිරයක් මත සිදුවන ලිංගික ක්‍රියාකාරකමක් දෙස බලා සිටීමේ දී මෙම බාධකය නොපැවතුනත් එය දෘශ්‍ය ආශාවේ ආනන්දයට බාධකව පවතී.

ෂිරින් සිනමා පටයේ දී ප්‍රේක්ෂකයා අත්දකින්නේ මෙම තිරය සහ ප්‍රේක්ෂකයා යන වෙන්වීම තුළ තමා අතරමං වන ස්වරූපයක් තුළින් අවුලට පත්වීමකි. එනම් තමාගේ ඒකත්වය තුළ ගිලී යාමකි. ඊට හේතුව වන්නේ ප්‍රේක්ෂකයා‍ට ප්‍රේක්ෂකයාම වස්තු විෂය ලෙස තිරය මත දී හමු වීමයි. මෙහිදී ෂිරින් සිනමා පටයේ හඩ පටය නොවන්නට ඔහුට නිරීක්ෂණය වන්නේ ඔහුගේම ප්‍රතිබිම්බය යි. මෙනයින් සිනමා පටය අවසානය දක්වාම ඔහුට ගැලවීමක් නොමැති විෂය හඹා යාමක් තුළ හෙම්බත් වන්නට සිදු වෙයි.

දෙවනුව අවධානයට ලක් විය යුත්තේ කියරොස්තාමි මෙම සිනමා කෘතිය නිර්මාණයේදී උපයෝගී කරගන්නා මෙවලම් ආකෘතිය හෝ ගොඩනැංවීමේ ශිල්පීය උපක්‍රමය යි. ඔහු ඉරානියානු නිළියන් ද අවශේෂ ස්ත්‍රීන් ද ඔහුගේ චිත්‍රාගාරයට කැඳවා එකිනෙකට වෙනස් ආලෝක පුල්ලි තුනක් දෙස අඳුරේ බලා සිටින්නට සලස්වා ඔවුනට උපදෙස් දෙන්නේ තමා තුළ අතීතකාමී ලෙස පවතින්නා වූ ප්‍රේමාවලියක් සිතින් මවාගෙන ඒ ඒ අවස්ථා තුළ තමන් අත්දුටු සංජානනයන් මුහුණින් අභිනය කරන්නට සලස්වා කැමරාගත කිරීමයි[7]. මේ අවස්ථාවේ දී එම කිසිදු නිළියක් තමන් මේ නරඹන්නේ ෂිරින් කතා පුවත බැව් හෝ නොදන්නා අතර ඔවුන්ගේ මෙම සියළු මුහුණුමය භාවයන් ප්‍රදර්ශනය එම සිනමා පටයට ඓන්ද්‍රීය සම්බන්ධයක් ඇත්තේම නැත. සත්‍යවශයෙන්ම සිනමා කෘතියක ඇති ව්‍යාජ නිරූපණය මෙන්ම මායාකාරි සහසම්බන්ධය පවත්වා ගන්නට කියරොස්තාමි සමත් වන්නේ මේ එළඹුම තුළය.

සිනමා කෘතියක් වශයෙන් ෂිරින් ප්‍රේක්ෂකයන් අතර කිසියම් පර්යේෂණාත්මක නිර්මාණයක යෙදුනද එය ජනප්‍රියවාදී තලයේ අත්කරගත් අසාර්ථකත්වය මෙහි අන්තර්ගත විෂය ක්ෂේත්‍රයේ සිනමාත්මක විවරණය කෙරෙහි බලනොපාන බැව් මගේ විශ්වාසයයි.

ආශ්‍රිත ග්‍රන්ථ/සම්පත්/වෙබ් අඩවි

1. Key Concepts in Cinema Studies-Susan Hayward
2. The mirror stage as formative of the function of the I as revealed in psychoanalytic experience Delivered at the 16th International Congress of Psychoanalysis, Zurich, July 17, 1949
3. THE FOUR FUNDAMENTAL CONCEPTS OF PSYCHOANALYSIS- Translated by ALAN SHERIDAN
4. හිස්ටීරියාව-දීප්ති කුමාර ගුණරත්න සංස්කරණය
5. ෂිරින් සිනමා පටය- DVD තැටිය
6. කොෂ්රොව් ෂිරින් ප්‍රේම වෘතාන්තය
7. Jeremy Heilman ගේ විචාරය

ස්තුතිය

ලිපිය සකස් කිරීමේදී ඉන්ග්මාර් බර්ග්මාන්ගේ ද මැජික් ෆ්ලූට් [The Magic Flute] සිනමා පටය පිළිබඳ අදහස් දක්වමින් සහය දැක්වූ හෂිත අබේවර්ධන සොයුරාට කෘතඥ වෙමි. එම සිනමා පටය නැරඹීමට උපකාරී වූ ටොරන්ට් තාක්ෂණයට ද තුති පිළිගැන්වේ.

ඊ ඒ ඩෝසන් ප්‍රීති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජාත්‍යන්තර මට්ටමේ දෙමළ කවියකු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් කවියෙක්, කෙටිකතා කරුවෙක්, විචාරකයෙක් මෙන්ම ප්‍රමුඛ පෙළේ විද්වතෙක් ද වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂාධ්‍යනාංශයේ අංශාධිපතිව සිට ඉතා මෑතක විශ්‍රාම ගත් මහාචාර්ය නුහ්මාන්, මේ වන විට ආරාධිත මහාචාර්යවරයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන රාශියක් තුළ කටයුතු කරමින් ස්වකීය වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් සිටියි. හැත්තෑව දශකයේ සිට දෙමළ කවි කෙත පෝෂණය කරමින් ඔහු විසින් ලියන ලද පද්‍ය සංග්‍රහයන් අතර, ''තාත්තාමාරුම් පේරර්හලුම්'' (සීයාවරු සහ මුණුබුරෝ),-

-''ආලියා නිළල්හල්'' (නොමැකෙන සෙවණැලි) සහ ''මාලෙයි නාට්කල් වරුම්'' (වැසි දවස් පැමිණේවි) යන කෘතීන් කැපී පෙනේ. සමාජවාදී චින්තනය ස්වකීය නිර්මාණකරණය සඳහා මුඛ්‍ය අනුභූතිය කොටගත් මහාචාර්ය නුහ්මාන් අතින් පරිවර්තිත සටන්කාමී පලස්තීන කවි රාශියක් ද දෙමළ සාහිත්‍ය සඳහා දායාදව ඇත. පොදුවේ සමස්ත දෙමළ කවිය පිළිබඳවත්, ශ්‍රී ලාංකීය දෙමළ කවිය පිළිබඳවත් පෞද්ගලික වශයෙන් ඔහුගේ කවිය පිළිබඳවත් මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් සමඟ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර රාවය වෙනුවෙන් කළ සංවාදයකි මේ.

•''තොල්කාප්පියම්'' වැනි ග්‍රන්ථයන්හි නිර්දේශිත, වීරත්වය හා ශ්‍රේෂ්ඨත්වය නිරූපණය කෙරුණු පද්‍ය රචනා විශේෂයක් වූ ''පුරම්'' කාව්‍යන්ගෙන් සහ ප්‍රේමය හා කාමය නිරූපණය කෙරුණු පද්‍ය රචනා විශේෂයක් වූ ''අකම්'' කාව්‍යයෙන්ගෙන් සංගෘහිත සංගම් සාහිත්‍යයෙන්ද, සංස්කෘත කාව්‍යාභාසයන් රැගෙන බිහි වුණු උපදේශ හා මහාකාව්‍යාකෘතීන් ද පදනම් කොටගත් දෙමළ කවියේ කාව්‍යානුභූතීන් ඉන් විතැන්ව තත්කාලීන සමාජ දේශපාලනික යථාර්ථයන් පිළිබිඹු කිරීම සඳහා හැඩගැහෙන්නෙ කොහොමද?

දෙමළ කාව්‍යයේ ඉතිහාසය දිහා බලනකොට පේන්න තියෙන දෙයක් තමයි , එය අවුරුදු එය දෙදහසක් ඉක්මවා ගිය දිගු ඉතිහාසයකට උරුමකම් කියන එක. එතනදි ඔබ කියූ ඔය ''අකම්'' සහ ''පුරම්'' යන වෙනස්කම් එක්තරා අතකට දෙමළ කවියේ නිර්දේශයන් ලෙස සලකනවාට වඩා ඒවා කවිය හදාරන්නන් විසින් කවියෙහි ඇති සියුම් ලක්ෂණ දෙස බලලා කළ බෙදීමක් කියලා සලකන එක වඩාත් හොඳ බවයි මගේ හැඟීම. ඒ අනුව, ලිංගිකත්වය කාමය ආදිය පදනම් කොටගත් කවි මූලික යුගයන් තුළ අකම් ලෙස හැඳින්වුණ අතර යුද්ධය සහ වීරත්වය වැනි කරුණු පදනම් කොටගත් නිර්මාණ පුරම් කාව්‍ය ලෙස හැඳින් වුණා. මේවා තවත් අතකට අභ්‍යන්තරික හා බාහිර සංකල්පයන් ලෙසත් හඳුනා ගන්න පුළුවන්.

සංගම් යුගයට පසු පශ්චාත් සංගම් යුගය ලෙස වර්ග කෙරෙන දෙමළ කාව්‍ය යුගය එනවා. ඒත් සමඟ ඒ යුගය තුළ ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ ආධ්‍යාත්මිකත්වයට වැඩි වශයෙන් බර වුණු තත්වයක්. මේ තත්වය තුළ දිව්‍යමය හා අධ්‍යාත්මික ගතිලක්ෂණයන් දෙමළ කවිය තුළ වැඩි වශයෙන් ඉස්මතු වුණා. ශිව, විෂ්ණු වැනි දෙවියන් පිළිබඳ කරනු ලැබූ වර්ණනාවන් මේ තුළ වඩාත් කැපී පෙනුණා.

ඒ යුගයේ ලියැවුණු කවි සෘජු දේශපාලනික මානයන් ස්පර්ෂ කරන්නා වූ කෘතීන් ලෙස නූතන අර්ථයෙන් වර්ග කිරීම අපහසු වුවද සිලප්පදිකාරම් වැනි කෘතියක් එක්තරා අතකට දේශපාලනික කාව්‍ය කෘතියක් වශයෙන් හඳුනාගන්න පුළුවන්. මක්නිසාද යත් පත්තිනි කතා වස්තුව ඇතුලත් එහි අසාධාරණ රාජ්‍යත්වයට විරුද්ධ දේශපාලනික යථාර්ථයක් ස්පර්ෂ කරනවා. ඔය යුගයට පසු ලියැවුණු දෙමළ කවි ප්‍රධාන වශයෙන් මහා කාව්‍ය යුගය හා යුරෝපීය යුගය ආදී ලෙස බෙදා දක්වන්න පුළුවන්. ඒ වැනි පැරණි යුගයන් තුළ නිර්මිත කවි නූතනයේ කතා කරන දේශපාලනික මානයන් ස්පර්ෂ කරන නිර්මාණ ලෙස අපිට බෙදා දක්වන්න අපහසුයි.

• දකුණු ඉන්දියානු කවිය සහ කාව්‍යාකෘතිය නූතන තත්වයට ගෙන ඒම සඳහා ''සබ්‍රනියා භාරතී'' වැනි විප්ලවීය කවීන් සහ තත්කාලීන යුගය තුළ භාරතය පුරා ඇවිළී ගිය ඉන්දියානු නිදහස් සටන හා ඒ පිළිබඳ සමාජ දේශපාලනික කාරණා බලපාන්නෙ කොහොමද?

භාරතී ගැන කතා කරනවානම් එක්තරා අතකට ඔහු ඉන්දියානු නිදහස් සටනෙහිම දරුවෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. දෙමළ කවිය පළමු වතාවට දේශපාලනික මානයන් කරා යොමුකිරීම, දෙමළ කවිය තුළ මුල්වරට ස්ත්‍රීවාදී කතිකාවක් ගොඩනැඟීම හා කුල ක්‍රමයට විරුද්ධ ප්‍රබල අවියක් ලෙස දෙමළ කවිය සැකසීම ආදී සුවිශේෂී කාරණා තුළ භාරතී දෙමළ කවිය තුළ අති විශේෂ රැඩිකල් මුද්‍රාවක් සටහන් කරනවා.

භාරතී එක්තරා අතකට බිහිවන්නේ බටහිර කවියේ ඝෘජු ආභාසයන් යටතේ වන අතර එහිදී ඔහුට විශේෂයෙන් පී.බී. ෂෙලී වැනි කවියකුගේ ආභාසය තදින් හිමිවනවා. ඒ නිසාමනෙ භාරතීට ''ෂෙලිදාසන්'' කියලා හඳුන්වන්නෙත්. ඊට අමතර වශයෙන් භාරතී හට ඉන්දීය සම්භාව්‍ය කවිය හා ඉන්දියානු ජන කවියද එකසේ බලපානවා. එසේ බටහිර කවිය, සම්භාව්‍ය ඉංගී්‍රසි කවිය හා ජන කවිය යන තුනම එක සේ තම කවිය සඳහා ආභාස කරගන්නා භාරතී ඒ සියල්ලෙහි ආභාසය යටතේ ගොඩනඟන්නේ අතිශ්‍ය නව්‍ය කාව්‍ය සම්ප්‍රදායක්. එහිදී ඔහුගේ කාව්‍යාකෘතිය පමණක් නොව ඔහුගේ සමස්ත කාව්‍ය භාවිතාවම දෙමළ කවිය තුළ අතිශ්‍ය සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සලකුණු කරනවා.
භාරතී ගැන තවදුරටත් කතා කරනවානම්, ඔහු නිසා දෙමළ කවිය තුළ විවිධ අතුරු මාර්ග රාශියක් බිහි වුණා. ඉන් පළමු එක තමයි ඔහුගේ ආභාසය රැගෙන බිහිවුණු නූතන ඉන්දියානු දෙමළ කවිය. ඒ අතර ජනප්‍රිය කවියෙක් තමයි භාරතිදාසන්. නමුත් භාරතිදාසන් භාරතී තරම් පුළුල් මනසක් තිබුණු කවියෙක් කියලා හිතන්න අමාරුයි. ඔහුගේ කවිය තුළ බොහෝවිට දක්නට ලැබුණේ දෙමළ ජාතිකත්වය ප්‍රමුඛ කොට බිහිවුණු නිර්මාණ. ඒවා බොහෝවිට බ්‍රාහ්මණ විරෝධී වුණා. කනකදාසන්, සුරදා වැනි වැදගත් කවීන් බිහිවීමද සිදුවන්නේ භාරතිදාසන්ගේ ආභාසය යටතේ කියලා හිතන්න පුළුවන්.

භාරතී අතින් සිදු වුණ ඊළඟ වැදගත් කරුණ වූයේ, ඔහු නිසඳැස් කවිය දෙමළ කාව්‍යසම්ප්‍රදාය තුළ ජනප්‍රිය කිරීම. භාරතී ප්‍රධාන වශයෙන් තම කාව්‍ය භාවිතාව තුළ උපයෝගී කර ගන්නේ සඳැස වුණත් ඔහු අතින් විශාල නිසඳැස් කවි සංඛ්‍යාවක් ද ලියැවෙනවා. කොහොම වුණත්, 1930 වගේ පසුකාලීන යුගයක් තුළ පුළුල් වශයෙන් ඉන්දියාව තුළ නිසඳැස් සම්ප්‍රදායක් බිහි කිරීමේදී එම කවීන්ට ඍජු පරමාදර්ශය වෙන්නෙ භාරතී.

භාරතී අතින් සිදුවූ තවත් වැදගත්ම කරුණක් විදිහට සලකන්න පුළුවන් දෙයක් තමයි, ඔහුගේ ආභාසය යටතේ ශ්‍රීලාංකීය දෙමළ කවිය බිහිවීමට සිදුවුණ සේවය. ශ්‍රී ලාංකීය දෙමළ කවිය තුළ මහාකවි, නීලාවනන් වැනි ප්‍රබල කවීන් බිහිවන්නේ සුබ්‍රමනියා භාරතී දෙමළ කවිය තුළ ඇති කළ රැඩිකල් පිබිදීමත් සමඟ. නමුත් මුල්කාලීන ලාංකීය කවීන් නිසදැස තම කවිය තුළට වැද්දගැනීම සඳහා ඉදිරිපත් වුණේ නෑ.

• සමකාලීන භාරතීය දෙමළ කවියට සාපේක්ෂව ලාංකීය දෙමළ කවිය වෙනස් සමාජ දේශපාලනික මානයන් කිහිපයක් ස්පර්ෂ කරන බව පේන්න තියෙනවා. වෙසෙසින් ලාංකීය දෙමළ කවිය තුළ වන පුළුල් සමාජ විඥානය හා ප්‍රගතිශීලී දැක්ම ඒ අතර වඩාලාත් කැපී පෙනෙනවා?

ඇත්තටම භාරතීය දෙමළ කවිය ගත් කළ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සෞන්දර්යවාදී රොමෑන්ටික ගති ලක්ෂණ. භාරතීයයන් තම කවිය තුළ වැඩි වශයෙන් අගය කළේ ඒකී සෞන්දර්යාත්මක ලක්ෂණ. නූතනය තුළ පවා බොහෝ භාරතීය දෙමළ කවීන් විශ්වාස කරන දෙය නම් කවිය තුළට දේශපාලනය රැගෙන ඒම කවිය කවිත්වයෙන් ඈත් කිරීමක් ලෙස. ඒ අනුව ඔවුන් බොහෝ දෙනෙකුට අනුව කවිය හුදු භාෂාමය ක්‍රීඩාවක් පමණක් වුණා. එතුළ සමාජ දේශපාලනික කාරණා එතරම් වැදගත් වුණේ නෑ. මෙයින් අදහස් වෙන්නෙ නෑ භාරතීය දෙමළ කවිය සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ව්‍යුක්ත වුණා කියලා. ඒතුළ වෙසෙසින් වාමාංශික මත දරන සහ දේශපාලනික නිර්මාණයන් කරන කවීන් රාශියක් හිටියා. නමුත් ඔවුන් අතර ප්‍රමුඛත්වයක් හිමිවුණේ සෞන්දර්යවදී කවීන්ට හා එවන් නිර්මාණයන්ට.

මීට සාපේක්ෂ ලෙස ශ්‍රී ලාංකීය දෙමළ කවිය අතිශ්‍ය වැදගත් සමාජ දේශපාලනික භාවිතාවක් තුළ ක්‍රියාත්මක වුණා. ඒ විතරක් නෙමෙයි අපේ කවිය ඉංදියානු කවිය හිටි තැනින් පියවරක් ඉදිරියට රැගෙන යෑමට සහ ඉන්දීය කවීන් හට තමන් කවිය දෙස බලන දැක්ම දෙස නැවත විචාරශීලීව හැරී බැලීම සඳහා ඔවුන් පෙළඹීමටද අතිමහත් බලපෑමක් කළා. ඒ අනුව මේ වන විට ඉන්දීය දෙමළ කවීන්ට වැටහිලා තියෙනවා කවිය කියන්නේ හුදෙක් සෞන්දර්යය විතරක් නෙමෙයි කියන එක. මෙසේ භාරතීය සහ ලෝක දෙමළ කවිය සඳහා සුවිශේෂි බලපෑමක් එල්ල කිරීම සඳහා ප්‍රධාන වශයෙන් චේරන්, ජෙයපාලන්, සොලයික්කිලි වැනි බොහෝ කවීන්ගේ සහ මගේ නිර්මාණයන් ප්‍රබල ලෙස බල පෑවා.

දෙමළ කවිය නූතන තත්වයට පත්වීම සඳහා බලපෑ එක් ප්‍රධාන කරුණක් ලෙස පසු කාලීන කවීන් හට ඇතිවුණු වාමාංශික බලපෑම දක්වන්න පුළුවන්. භාරතීගේ කවිය තුළ වාමාංශික මතවාදයන් දක්නට ලැබුණත් ඒ යුගය වන විට භාරතය තුළට වාමාංශික අදහස් පුළුල් ලෙස ගලා ආ බවක් පේන්න ලැබෙන්නේ නෑ. නමුත් සෝවියට් විප්ලවය පිළිබඳ පවා භාරතියාර් කවි ලියලා තියෙනවා. භාරතීගෙන් පසුකාලීන දෙමළ කවීන් හා වෙසෙසින් ශ්‍රී ලාංකීය දෙමළ කවීන් සඳහා තමයි වාමාංශික අදහස් දැඩි සේ බලපාන්නෙ.

• ලාංකීය දෙමළ කවිය ගත්තාම එය එක්තරා අතකට අතිශ්‍ය දේශපාලනික වනවා විතරක් නෙමෙයි එය තවත් අතකට පලස්තීන, ලතින් ඇමරිකානු හා අප්‍රිකානු කවිය හා සම මට්ටමක, එසේත් නැත්නම් ඒවා ඉක්මවා යන මට්ටමක පවතිනවා කියලා කියන්න පුළුවන්. හැටේ දශකය ඇරඹි ශ්‍රී ලාංකීය දෙමළ කවිය හා කවියා සඳහා වියට්නාම් අරගලය, චීන මහජන නැගිටීම් වැනි බාහිර දේශපාලනික සාධකයන් මෙන්ම උතුරේ පැවති කුලබේදය වැනි සමාජ කාරණා ද විශාල වශයෙන් අනුප්‍රාණය ලබා දෙනවා. වෙසෙසින් ඔබ විසින් රචිත ''කොවිලෙන් පිටත අරගලය'' වැනි නිර්මාණ සඳහා අනුභූති වන්නේ ''වාච්චහුර කෝවිල් සටන'' වැනි කුල බේදයට එරෙහි ඓතිහාසික අවස්ථා?

මං කවි ලියද්දි පෞද්ගලික වශයෙන් මට බලපෑවෙ වාමාංශික, එසේත් නැතිනම් මාවෝ වාදී අදහස්. ඒ අනුව විප්ලවවාදී අදහස් අපේ කවිය තුළ වඩාලාත් දක්නට ලැබුණා. 1970 පමණ වන විට වාමාංශීක අදහස් වැඩි වශයෙන් මෙරටට ගලා එනවනෙ. සිංහල කවියට මේ දේශපාලනික සංකල්පයන් කොතරම් දුරට බලපෑවාද කියන්ඩ මං දන්නේ නැති වුණත් අපේ කවි සඳහා අපි දැඩි වශයෙන් අනුප්‍රාණය ලබන්නෙ මේ මතවාද වලින්.

කුල බේදය පිළිබඳ අදහස් ගත් කල ඉන්දීය කවිය තුළ පවා භාරතී වැනි කිවියන් තම නිර්මාණ සඳහා ඒය යොදාගෙන තිබුණා. ලංකාව තුළත් 1960 පමණ වන විට කුල ක්‍රමයට විරුද්ධව අධික ප්‍රබල නැඟී සිටීම් මතු වුණා. මුස්ලිම් කවියකු ලෙස, කුල ක්‍රමය මට අදාළ නොවුනත්, ඒ පිළිබඳ යථාර්ථයන් අපේ හදවත තදින් සසල කිරීම නිසා මගේ කවියටද ඒවා පාදක වුණා.

• කුල බේදය, වාර්ගික පීඩනය, ජාතික වාදය, හමුදා මැදිහත් වීම හා කම්කරු පංති අරගලය වැනි කාරණාවන්හි අනුප්‍රාණය ලබමින් දෙමළ කවීන් සමඟ අත්වැල් බැඳගත් ඔබ ඇතුළු මුස්ලිම් කවීන් රාශියක් ශ්‍රී ලාංකීය දෙමළ කවිය පෝෂණය කිරීමට දායක වනවා. 1990 ඔක්තෝම්බර් 30 වන දින LTTE සංවිධානය විසින් මුස්ලිම් ජාතිකයින් යාපනයෙන් පළවා හැරීම වැනි සිදුවීම් වෙසෙසින් මුලිකාලීනව උතුරේ තරුණ අරගලය සමග අත්වැල් බැඳගත් මුස්ලිම් කවියා කෙරෙහිද, පොදුවේ සමස්ත දෙමළ කවිය කෙරෙහිද බලපාන්නෙ කොහොමද?

LTTE සංවිධානය විතරක් නෙමෙයි උතුරේ පැවති සෙසු දේශපාලනික සන්ධාන ඇතුළු සියලු දෙනා විසින් 1985 පමණ සිට මුස්ලිම් විරෝධී විවිධ දේශපාලනික ව්‍යාපාර ගෙන යනවනේ. මේවාට විරුද්ධව ඒ යුගය තුළ, මං ඇතුළු බොහෝ මුස්ලිම් කවීන් සහ ඇතැම් දෙමළ කවීන් තම කවිය තුළ යම් කිසි හඬ නැඟීමක් කිරීමට උත්සහ දැරුවා. මුස්ලිම් වරුන්ගේ අයිතීන් වෙනුවෙන් හා ඔවුන්ට කෙරෙන විවිධ කෙණෙහිලිකම් වලට විරුද්ධව අප ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් කවි කිවිඳියන් රාශියක් සහ දෙමළ කවීන් කිහිප දෙනෙක් එක්ව ''මීසන් කට්ටයි කල්ලි මීල එල්ලුම් පාඩල්කල්'' (මරණයන් පිබිදුණු කවි) කියලා කාව්‍ය සංග්‍රහයකුත් පළ කළා.

අපේ කවීන් තුළ තිබුණු ප්‍රධාන දුර්වලතාවක් තමයි බොහෝ විට මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න මුස්ලිම් කවියන් විසින්ද, දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න දෙමළ ජාතික කවියන් විසින් ද පමණක් ලිවීම. නමුත් මං එහෙම බේදයක් නොසලකා සෑම මිනිසකුටම වන ප්‍රශ්න මගේ කවිය තුළ ගොණු කරන්නට හැකිතාක් උත්සහ කළා. කුල ක්‍රමය ඒ සඳහා එක් උදාහරණයක් විතරයි.

• පලස්තීන සන්නද්ධ අරඟලය පිළිබඳ ඇලුණු සිත් ඇතිව පලස්තීන විප්ලවවාදී කවි දෙමළට නගා පළ කරන ඔබ, උතුරේ තරුණ අරගලය සන්නද්ධ සටනක් බවට පත් වීමත් සමඟ එය ප්‍රතික්ෂේප කරනවා?

මා තුළ නිතර තිබුණු අදහසක් තමයි සෑම ජාතියකටම සමාන දේශපාලන ආර්ථීක අයිතීන් තිබිය යුතු වබ. නමුත් ඊළාම් සන්නද්ධ ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී එකක් ලෙස මට පෙණුනේ නෑ. ඔවුන් එක් අතකට කළේ සිංහල ජාතිවාදය ශක්තිමත් කළ එක. ඔවුන් නන්දිකඩාල් කලපුවේදී විනාශය කරා යන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු රාශියක් මුහුද මැද අතරමං කරලා. අපි යුද්ධයේදී සෑම දෙයක්ම නැති කර ගත්තා, නමුත් එයින් අපි ලබාගත් කිසිම දෙයක් නෑ. අපේ රටේ දේශපාලඥයින්ට මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න 1977 සිටම හොඳින් පුළුවන්කම තිබුණා. නමුත් ඔවුන් ඒක කළේ නෑ. මං ටික කාලයකට කලිං කවියක් ලිව්වා My Last Word කියලා. එතනදි මං කියන්න උත්සහ කළේ සමගිය සමාදානය සහ නිදහස පිළිබඳව. ඔයා මගේ නිදහසට විරුද්ධනම් එතන මේ කිසිවක් ඉතිරි වෙන්නෙ නෑ.

• LTTE සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත්වීමත් සමඟ ලංකාව තුළ පශ්චාත් LTTE අවකාශයක් ගොඩනැගෙමින් පවතිනවා. තවත් අතකින් දකුණෙහි දේශපාලනය සඳහා සුළු ජාතීන්ගේ ඡන්දවල වලංගුතාව පිළිබඳ සියුම් අර්බුයක් සහ කතිකාවක් ගොඩනැෙඟමින් පවතිනවා. මේ තත්වය තුළ අද්‍යතන ශ්‍රී ලංකීය දෙමළ කවියේ ගමන්මඟ කවර සමාජ දේශපාලනික ආස්ථානයක් ගනීයැ'යි ඔබ විශ්වාස කරනවාද?

අද වන විට පවතින දේශපාලන භූමිකාව තුළ තියෙන්නෙ මේ රටේ සුළු ජාතීන් නෑ ඉන්නෙ එක ජාතියයි කියලා ව්‍යාජ ලෙස සැකසූ මතවාදයක්නෙ. මේවා ප්‍රායෝගික සහ අවංක දේශපාලනික ප්‍රතිචාරයන් ලෙස සලකන්න බෑ. මේ රටේ සුළු ජාතීන්ට තවම තියෙන්නෙ අඩු සැලකිල්ලක්. රැකියා බෙදී යෑමයි භූමි පරිභෝජනයයි තුළ තියෙන විසමතාව විතරක් වුණත් බලන්න. අම්පාර දිස්ත්‍රීක්කය ගත්තම ඒකෙ වැඩි පුරම ඉන්නෙ, දෙමළ, මුස්ලිම් සුළු ජාතිකයොනෙ. නමුත් ඒවයෙ සියලු උසස් පරිපාලන තනතුරු දරන්නේ සහ ඒ දිස්ත්‍රීක්කයේ ඉඩම් බෙදී යෑම අනුව බහුතර ඉඩම් පරිමාවක් භුක්ති විඳින්නේ කවුද? යළි පදිංචි කිිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩ පිළිවෙළ තුළ පවා මේ වෙනස හොඳට පේනවා.

ඔබ ඇහුවා වගේ මේ මොහොතේ දෙමළ කවිය කවර දිශානතියක් ස්පර්ෂ කරයිද යන ප්‍රශ්නයට උත්තර දෙන්නනම් අපි ඉක්මන් වැඩියි කියලයි මට හිතෙන්නෙ. කෙසේ වෙතත් සමස්ත මිනිසාගේ දේශපාලන, ආර්ථීක සහ සංස්කෘතික අයිතීන් වෙනුවෙන් දෙමළ කවිය පෙනී සිටීවි. ඒ සඳහා ඉතා ප්‍රබල කවි කිවිඳියන් රාශියක් නව පරම්පරාව තුළ බිහිව සිටිනවා.

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


එක්තරා නිම්නයක....

ගඟ දෙපැත්තේ
බොහෝ කල් සිට
ප්‍රේමයෙන් බැඳි
කඳු දෙකක් ඇත

උනුන් වත දෙස
බලා ඉනු මිස
මෙතෙක් කල් වෙන
වුණු දෙයක් නැත

නමුත් ඉඳ හිට
කඳු ඇසින් වට
කඳුළු කැට කැට
ගලා පහළට

සිහින් ඇළ දොළ
ලෙසින් පැන නැග
ගඟට එක්වෙනු
දකින්නට හැක


රුවන් බන්දුජීව

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



පසුවදනකට පසු වදනක්

"ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලරාවේ ''ෆ්ලොරොන්ටිනො අරීසා''කාරයාට පොරගෙ මාමාගෙ නැව් කොම්පැනියෙ ක්ලාක් වැඩ කරද්දි, ඔෆීශියල් ලෙටර්ස් ලියන්න සිද්ධ වෙනවා. හැබැයි ඌට එක ලෙටර් එකක්වත් ඔෆීශියල් විදිහට ලියා ගන්න බැරි වෙනවා. මොකද ඌ ලියන එවුව ලවු ලෙටර්ස් වගේ. කොච්චර ඔෆීශියල් වෙන්න ගියත් අන්තිමට නවතින්නෙ ඌ ලවු වලින්. පස්සෙ මිනිහා ඔය අකුරු බැරි කපල්ස්වලට ලව් ලෙටර්ස් ලියලා දීමේ සේවාවක් එහෙම පටන් ගන්නවා.

මට කියන්න ඕනෙ වුනෙ සමහර එවුන්ට ඒක වෙනවා. මට මේ කවිය බලද්දි ඕක මතක් වුනා. මුගෙ කවි අස්සෙ එහෙම ආදරණීය මොකද්ද මගුලක් තියෙනවා"

-මගේ " අකල් කවිය" ගැන ටික කලකට කලින් "කූඹියා" ලියා තිබූ සටහනක්..


දිය සරැළි
නිදි
ඒත් ගඟබඩ
කෙඳිරිලි..

නැගෙන විට
යම් තැනක
දියසුළි
මසෙකු
නොනඟා හිඳීවිද
මැසිවිලි..?

කවිය යනු,
නිශ්චලම
මොහොතක
නිෂ්පන්න
කැළඹිලි..
හැඩතලවලට
බොහෝ නම්
දිය හැකි..

"හැඩතල"
විසුළ
යහනත
රැය ගෙවෙන තුරු
දැඟලිලි!
රැලි නැගෙයි
සුදු ඇතිරිලි..

ලුහු බඳින කල
"හදවත"
ඇවැසි නම්
එවැනි කවියක
මොහොතකට
සැඟව ගනු හැකි..

එහෙත් සකිසඳ
පලායන්නට
ජීවිතය
දිග මදි..


රසික ජයකොඩි
26.07.2010

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



ප්‍රියංකර රත්නායක නිෂ්පාදනය කළ ''ඇන්ටිගනී'' නාට්‍යයේ දර්ශන දෙකක් ජූලි 30 සහ 31 ප.ව. 3:00 ට සහ 6:30 ට ලුම්බිණි රඟහලේදී. සොෆොක්ලීස්ගේ මහා නාට්‍ය ත්‍රිකයෙන් එකක් වූ ''ඇන්ටිගනී'' නාට්‍යය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම නාට්‍යයක් ලෙස සැලකෙයි. ප්‍රියංකර මෙම නිෂ්පාදනයට, ආරියවංශ රණවීර විසින් සිංහලයට නගන ලද පෙළ යොදා ගෙන තිබේ. කැළණිය විශ්ව විද්‍යාලයයේ ''ඇකඩමික් ප්ලේයර්ස්'' නාට්‍ය කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයකි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රදීප් සාරංග කුමාරගේ අලුත් කවි එකතුව "නොසොඳුරු පෙදෙසක" එළිදැක්වීමේ උළෙල 2010 ජූලි 30 වන සිකුරාදා සවස 3:00 ට කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. එහිදී ලියනගේ අමරකීර්ති සහ ආරියවංශ රණවීර ප්‍රදීප් සාරංගගේ කවි මග පිළිබඳ සහ පොදුවේ කවිය පිළිබඳ අදහස් දක්වති.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් (1867-1957)

වේදනාවන් දුරු වී යාවි. ආදරය සදාකල් රැඳේවි. එය දෙවියන් ගෙන් ලද තෑග්ගකි. එය නාස්තිවී යාමට ඉඩ නොතබන්න.

නිවස යනු මිහිපිට ඇති සුන්දරම වචනයයි.

අවසානයේදී ඉතා කුඩා මිහිරි දේ පමණක් ජීවිතයේ සැබෑම දේ ලෙස දැනේවි.

ඔබ ඔබේ උපරිමය කරන්නේනම් සෑම රැකියාවක්ම යහපත් වේ.

ඉතා සුලු දෙයක් හෝ ආපිට නොලැබෙන මහා විශාල අහිමිවීමක් නොමැත.

වචන සම්බන්ධයෙන් ඇති අඥානම දෙය නම් ඒවායේ අක්ෂර වින්‍යාසයයි.


ලෝරා එලිසබෙත් ඉන්ගල්ස් වයිල්ඩර් වර්ෂ 1867 පෙබරවාරි 7 වනදින මෙලොව එළිය දුටුවාය. ඒ චාල්ස් ඉන්ගල්ස් සහ කැරොලයින් ඉන්ගල්ස් මව්පියන්ට දාව විස්කොසින් මහ වනන්තරේදීය. දරු දැරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක ලෝරා දෙවැන්නිය වූවාය. ඈ එම විස්කොසින් මහ වනන්තරේ ඔවුන් ගෙවූ දිවිය පසු කලෙක සිය Little house in the big woods කෘතිය සඳහා පදනම කරගත්තාය.

ලෝරා සහ ඇගේ පවුලේ සාමාජිකයින් විස්කොසින් මහ වනය හැර දමා ඉන්ඩිපෙන්ඩන්ස් අසල මිටියාවතේ පදිංචියට පැමිණෙන්නේ ලෝරා ගේ කුඩා අවදියේය. පසුකලෙක ඈ සිය Little house on the prairie නම් නව කතාවට පසුබිම කර ගන්නේ මේ මිටියාවතේ ඔවුන් ගෙවූ ජීවිතයයි. වසර කිහිපයක් එහි දිවි ගෙවූ ඔවුහු ඉන් පසු රටේ විවිධ පෙදෙස් වලට සංක්‍රමණය වූහ. වොල්නට් ග්‍රොව්, මිනෙසොටා, ඩැකෝටා වැනි ප්‍රදේශ ඔවුන්ගේ නිවහන විය. ඩැකෝටාවේදී ඔවුහු දැඩි ශීත සෘතු දෙකකට මුහුණ දුන්හ. එයිනුත් 1880-1881 කාර්තුවේ ශීත සෘතුව ඉතා දුෂ්කර විය. ඒ පිළිබඳව ඈ සිය The long winter නම් කෘතියේ සඳහන් කරන්නීය. ඩැකෝටාවෙහිදී ඇය පාසලකට ඇතුලුවූවාය. බොහෝ මිතුරු මිතුරියන් පිරිවරාගෙන ඉතා ප්‍රීතිමත් දිවියක් ගෙවූ ඇයට පසුකලෙක සිය ස්වාමි පුරුෂයා වූ අල්මන්සෝ වයිල්ඩර් මුණගැසෙන්නේ එහිදීය.


වයස 16 දී ලෝරා ගුරුවරියක ලෙස සේවයට බැඳුනාය. ඉගැන්වීම ඇයට එතරම් ප්‍රිය නොවූ නමුත් පවුලේ ආර්ථිකයට ශක්තියක් වීම සඳහා කාන්තාවන් ට රැකියාවන් ඉතා දුලබ වුනු එකල ඇය කෙසේ හෝ වාර තුනක් ඉගැන්වීමේ යෙදුනාය. වර්ෂ 1885 අගෝස්තු 25 වන දින ඇය අල්මන්සෝ සමග විවාහ වූවාය. ඉන්පසු ඇය ගුරු වෘත්තියෙන් ඉවත් වූවාය. ඔවුන්ගේ ජීවිත වල මුල්භාගය සතුටින් සාර්ථකව ගතවිය. 1886 දෙසැම්බර් මස 5 වනදින ඔවුන්ගේ කුළුඳුල් දියණිය "රෝස් වයිල්ඩර්" මෙලොව එළිය දුටුවාය. එනමුත් ඉක්මනින්ම අවාසනාව ඔවුන් කරාද පැමිණියේය. ඩිෆ්තීරියා රෝගයට ගොදුරු වූ අල්මන්සෝ අර්ධ වශයෙන් අංශභාග තත්වයට පත්විය. කලක් යනවිට ඔහු සුවපත් වුවද ජීවිතයේ ඉතිරි කාලය පුරාවටම හැරමිටියක ආධාරයෙන් ඇවිදීමට ඔහුට සිදුවිය. ඔවුන්ගේ නිවහන සහ ගොවිපළ ගින්නෙන් විනාශ විය. දීර්ඝ කාලයක් පැවති නියඟය නිසා ඔවුහු දැඩි ආර්ථික දුෂ්කරතාවලටද මුහුණ දුන්හ. ඔවුනගේ විවාහයේ මුල් වසර හතර පිළිබඳව "The first four years" නම් කෘතියේ දැක්වෙයි. මෙම කෘතියේ අත් පිටපත සොයා ගැනුනේ රෝස් වයිල්ඩර් (ලෝරා ගේ දියණිය) ගේ මරණයෙන් ද පසුවය. එය 1971 දී මුද්‍රණය විය.

1890 දී ලෝරා සහ අල්මන්සෝ මිනෙසොටා හි පිහිටි ලෝරාගේ දෙමව්පියන්ගේ නිවසට පැමිණියෝය. එහි වසරක් පමණ ගත කිරීමෙන් පසු ඔවුහු ෆ්ලොරීඩාවට ගියහ. නමුත් එහි දේශගුණය අල්මන්සෝට අහිතකර වූ බැවින් ඔවුහු යලිත් ඩිස්මෙට් බලා ආවෝය. එහිදී අල්මන්සෝ කම්කරුවෙකු ලෙසත් ලෝරා ඇඳුම් මසන්නියක ලෙසත් කටයුතු කරමින් නව ගොවිපලක් සඳහා මුදල් එකතු කළහ. ඉතා දැඩි සේ දුක් මහන්සි වී එකතු කල මුදලින් ඔවුහු "රොකී රිජ්" නම් අක්කර 40 ක ගොවිපළක් මිලදී ගත්හ. මුලදී ගොවිපළෙන්ද ඔවුනට ප්‍රමාණවත් තරමේ ආදායමක් නොලැබුන නිසා ඔවුහු ළඟ පිහිටි නගරයක නිවසක් කුලියට ගෙන එහි පදිංචියට ගියහ. එහිදී අල්මන්සෝ තෙල් විකිණීමේ වෙළඳ නියෝජිතයෙකු ලෙස කටයුතු කල අතර ලෝරා සිය නිවසේ නවාතැන්පලක් පවත්වාගෙන යමින්ද දුම් රිය කම්කරුවන්ට ආහාරපාන ආදිය සපයමින්ද ජීවිකාව සරි කර ගත්හ. පසු කලෙක ඔවුහු යළිත් රොකී රිජ් වෙත පැමිණියහ.


කලක් ගතවන විට රොකී රිජ් ගොවිපල තරම්ක් සශ්‍රීක ස්ථානයක් බවට පත් කරගැනීමට වයිල්ඩර් දෙපළ සමත් වී සිටියහ. ඔවුනගේ දියණිය රෝස් වයිල්ඩර් ලේඛන කලාවට දස්කම් දැක්වූවාය. ලෝරාද දියණිය හා එක්ව තමාගේ ජීවන අත්දැකීම් අලලා නිර්මාණ බිහිකිරීමට උත්සුක වූවාය. මෙකල ඇයට "Missouri Ruralist" නම් ප්‍රකාශනයට ලිපියක් ලිවීමේ ආරාධනාව ලැබුනි. ඉන් මතු ඇය එම ප්‍රකාශනයේම තීරු ලිපි රචිකාවියක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාවද ලැබුවාය. පසුකලෙක එහි කතෘ ධූරයද හෙබවූවාය. 1920 දශකයේ අගභාගයේදී ඇය මිසූරි රූරලිස්ට් හි තනතුරෙන් ඉවත්වූවාය.1930 දී ඇය සිය ළමා කාලය අලලා රචිත ප්‍රථම ග්‍රන්ථය වන “Little house in the big woods " රචනා කරන්නීය. ඉන් ලද සාර්ථකත්වයෙන් දිරි ගෙන ඇය සිය සොහොයුරිය කේරි ගේද සහය ඇතිව දිගටම සිය මතකයන් අලලා ග්‍රන්ථ රචනාකරණයේ යෙදෙන්නීය. Litle house on the prairie ,On the banks of plum creek, The long winter, These happy golden years වැනි ඇගේ අතිශයින්ම ජනප්‍රිය කෘතීන් 1930 ත් 1945 ත් අතර කාලයේදී සුවහසක් වූ පාඨකයන්ට රසවිඳීමට ලැබුනි. ඉන් නොනැවතී ලොව පුරා විවිධ භාෂාවන් ගණනාවකට පරිවර්තය වෙමින් අද දක්වාම මුද්‍රණය වෙමින් පවතී.

ජීවිතයේ අනේකවිද බාධා හමුවෙහි නොසැලී තමාගේත් තම ආදරණීයයන්ගේත් දිවි සුරක්ෂිත කිරීමට ගත් වෑයම තම සුන්දර ළමා කාලයේ මිහිරි මතකයන් සමග මුසුකරමින් ලොවපුරා සිය දහස් ගණනක් වූ පාඨකයන්ට ආදරණීය සොහොයුරියක වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, 1957 පෙබරවාරි 10 වනදින මෙලොවින් සමුගත්තාය.

අනුෂ්ක තිලකරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වයිමන් මහතාගේ මෝටර් රථය තවමත් පන්සල මිදුලේය. එය ඉවත්වන තෙක් පන්සලට යාමට රාහුල තෙරණුවන්ගේ කැමැත්තක් නැත. තමාට පක්ෂපාත වූවන් ඉත්තන් වශයෙන් ගෙන, සෙස්සවුන් සතුරන් වශයෙන් ගන්නා වයිමන් මහතාගේ අගතිගාමී දේශපාලනය රාහුල තෙරණුවන්ට පිළිකුලකි. ගම භේදවෙලා බොහෝ කල්. මේ අපරාධයට මුලිකයා මේ මනුස්සයා- ඇයි අපේ හාමුදුරුවො මේ මනුස්සයා අනුමත කරන්නේ? වෛරය ආවාස ගෙයි ලැගුම් ගත්තා ම කිරි වවුලො විහාර ගෙයි එල්ලෙනවා- මම පොඩි හාමුදුරු නමක්. ඇයි මට තේරෙන දේ මේ ලොකු ඇත්තන්ට නොතේරෙන්නේ? තමත් ගැන නොසොයා අනුන් ගැන සොයමින් තමන්ගේ සිත තමන් විසින්ම පාරා ගන්නේ යයි රාහුල තෙරණුවෝ දෙවනුව සිතුහ. නායක ස්ථවිර කෙලෙසුන් ප්‍රහීණ නොකල පුහුදුන් මනුෂ්‍යයෙකි. දේශපාලනඥයා ද එසේය. අනෙකුත් බොහෝ මනුෂ්‍යයන් ද එසේමය. සෙස්සවුන් ඉවසිම මහත්ම ගුණයකැයි රාහුල තෙරණුවෝ වෑයමින් සිතූහ.

අන්‍යාගමීක ශුද්ධස්ථාන, අන්‍යාගමික පුජකවරුන් දුටු පමණකින් මුල් කාලයේ තමන්ට පහළ වූ අරුචි හැඟීම්, පසුව ක්‍රමයෙන් ඈත් වූ සැටිත්, සියලු ආගම් දෙස උපෙක්ෂාවෙන් බලන්නට පසුව තමන් පුරුදු වූ සැටිත් උන්වහන්සේට සිහිපත් විය. අන්‍යන් නිසා තම සිත කිළිටි කර ගත යුතු නැත. අන්‍යන් නිසා නොසතුටට පත් තම සිත සන්සුන් කර ගැනිමේ උපායක් වශයෙන් බුද්ධ චරිතය මෙනෙහි කල තෙරණුවන්ට චන්ද-සූකර ගේ කතා ප්‍රවෘත්තිය සිහිපත් විය. ඌරන් මරා මස් විකිණිමෙන් ජිවත් වූ චන්ද-සුකර ගේ නිවෙස පිහිටා තිබුණේ බුදුරජාණන් වහන්සේ බොහෝ කලක් වැඩ වාසය කළ ජේතවනාරාමය අසලය. ඌරන් ගේ මරහඩ නිතිපතාම වාගේ ජේතවනාරාමයට ඇසිනි. එහෙත් මේනිසා බුදුරජානන් වහන්සේ සිත සසල කරගත්තේ නැත. ඔහු පාපයෙන් මුදා ගැනිමට සුදුසු අවස්ථාවක් නොලැබුනු නිසා උන්වහන්සේ චන්ද-සුකර හමුවන්නට කල්පනා නොකළ සේක. චන්ද-සුකර රෝගී ව ඔත්පල වන තෙක් දිගින් දිගටම සත්ව ඝාතනය කල අතර බුදුරජාණන් වහන්සේ ජේතවනාරමයේ වැඩ වාසය කරමින් සෙසු ලෝකයා දුකින් මුදා ගත්හ.

තමන් ප්‍රිය නොකරන දේශපාලනඥයා ආපසු ගොස් නොතිබුණත් රැ බෝ වු හෙයින් ආපසු යාම මැනවයි රාහුල තෙරණුවෝ කල්පනා කළහ. වලාකුළු රහිත අහස් තලයේ ලක්ෂ ගණන් තරු පායා තිබේ. ආලෝකය විහිදුවාගෙන ඉතා වේගයෙන් කෝණාකාරව අහස සිසාරා පැමිණි උල්කාපාතයක් සිහින් දුමක් දමමින් හිංගල දෙල් ගස දෙසට පහත් විය. චමත්කාරයත් අද්භුතයත් දනවන නිසල අහස් තලය දෙස බලා සිටිම සජීවී ලෝකය ගැන සිතීමට වඩා ප්‍රියජනක බව, රාහුල තෙරණුවන්ට හැඟුණි.

-පිච්ච මල නවකථාවෙන්

ජයසේන ජයකොඩි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails