Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers





"බා බා බ්ලැක් ෂීප් - හැව් යූ එනි ඩිසිප්ලින්?
දඟ කෙරුවොත් මං - දෙනවා පනිෂ්මන්ට්"

මයිත්‍රී චෙක්ඩ් ඇන්ඩ් සෙඩ් ලයික් දිස්
"වය් නොට් බුදු සෑර්? ත්‍රී බෑග්ස් ෆුල්!"
වන් ෆෝ යු මාස්ටර් ඇන්ඩ් වන් ෆෝ යුවර් බ්‍රෝ
ඇන්ඩ් වන් ෆෝ ද ඉඩියට්ස් හූ වෝට් බ්ලැක් ෂීප්ස්!

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



'ඔයා කොහොම ද එහෙම කරන්නේ ?'
'කොහොම ද?'
'නෑ දැන් කිවුවේ ?'
'ආදරේ තියෙන්නේ කරන්න මිසක් තියාගෙන ඉන්න නෙවෙයි නේ'
'හරි මම ඒක දන්නවා'
'එතකොට ඔයා කියන්නේ මම අනිවාර්යෙන් ම එයාව මගේ කරගන්න ඕනේ කියලා ?'
'ඔව්. එහෙම නෙවෙයි නම් මොකට ද ආදරේ කළේ ?'
'ආදරේ කරන්නේ අයිති කරගන්න ම නෙවෙයි'
'එහෙනම් ආදරේ කරන්නේ අතෑරලා දාන්න ද?'
'ආදරේ කියන්නේ අතාරින එක ම තම යි'
'ඒක නම් හරි පුදුම කතාවක්'


'නෑ. ආදරේ කරන කෙනා තමන්ගෙම කරගන්න ඕනෑ කියලා කියනවා නම් එතන ආදරේ තිබිලා නෑ'
'දෙයියනේ, ආදරේ කරන්නේ තමන්ගේ කරගන්න නෙවෙයි නම් අනුන්ට අයිතිවෙනවා බලාගෙන ඉන්න ද?'
'ආත්මාර්ථය ඇතුලේ ආදරේ තියෙන්න විදියක් නෑ'
'ඔයා කියන විදියට ආදරේ කරන කෙනා තමන්ගේ කරගන්නවා කියන්නේ ආත්මාර්ථකාමීකමක්'
'ඔව්. ඒක එහෙම තමයි'
'එහෙනම් දෙන්නෙක් ආදරේ කරලා, කසාද බඳින්නේ ඇයි ?'
'මූලිකම කාරණාව තමයි නිදහස් ලිංගික පැවැත්ම නීත්‍යනුකූල රාමුවක් ඇතුලේ ඉඳගෙන, සීමාවක් හදාගෙන, ඇඳක් උඩ, රෑට රෑට කරන එක'
'නෑ. ඒක ඊට වඩා එහා ගිය දෙයක්'
'මම හිතන්නේ නෑ'
'ඇයි?'
'නිදහස් ලිංගික පැවැත්ම මේ සමාජය අනුමත කළා නම් ඔයා හිතනව ද කිසි කෙනෙක් කසාද බඳින්න ලෑස්තිවෙයි කියලා ?'
'අපි ඉන්නේ පෙරදිග සංස්කෘතිය ඇතුළේ, ඒක ඇතුළේ පවුල තරම් උතුම් දෙයක් තවත් නෑ. තමන්ගේ කෙනා එක්ක මිසක පිට කෙනෙක් එක්ක ලිංගික ව හැසිරෙන එක සමාජ විරෝධී යි'
'මම හිතන්නෙ නෑ මිනිස්සු තමන්ගෙ හැඟීම් කොටු කරලා තියාගෙන ඉන්නවට අවංකව ම කැමති වෙයි කියලා'
'ඒ නිසා තමයි ආදරේ කරන්නේ'
'හැඟීම් කොටුවෙලා තියෙන එකෙයි ආදරයෙයි තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් විතරයි'
'නෑ. එක පවුලක් ඇතුලේ ඉන්නකොට ටික ටික ආදරේ වැඩිවෙනවා මිසක අඩු වෙන්නේ නෑ'
'ආදරේ වැඩිවෙනවා නම් දාලා යන එක දුකක් වෙන්න බෑනේ'
'දාලා යන්නෙ නැත්තේ ආදරේ නිසා'
'නෑ. දාලා යන්නෙ නැත්තේ ආත්මාර්ථය නිසා. වෙන කෙනෙක්ට අයිතිවෙයි කියලා හිතන නිසා. වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන් ඉන්න බැරි නිසා'
'ඔයා කියන්නේ පවුලක් එකතුවෙලා තියෙන්නේ ආදරේ නිසා නෙවෙයි කියල ද?'
'ඔයා හිතන්නේ එකට ඉන්න පවුලක් එකට ඉන්නේ කැමැත්තකින් කියල ද?'
'ඔව්. කැමැත්තෙන් තමයි'
'නෑ. කැමැත්ත නිසා නෙවෙයි'
'එහෙනං මොකක් නිසා ද?'
'සමාජයට බය යි, නීතියට බය යි, හිතන්න බය යි, දාලා යන්න බය යි, ගිහින් එන්න බය යි, කොටින්න ම කියනවානම් රාමුවට එළියෙන් හිතන්න ම බය යි'
'නෑ'
'ඔයා හිතන්න දැනට තියෙන විවාහ නීතිය අවලංගු කළා කියලා'
'එහෙම කවදාවත් වෙන්නේ නෑ'
'ඔය විවාහය කියන රාමුව ඇතුලේ තමයි ආදරේ කොටුකරලා තියෙන්නේ. ඒත් ආදරේ කියන්නේ කවදාවත් එහෙම කොටුකරලා තියන්න පුළුවන් දෙයක් නෙවෙයි.'
'නෑ. ඒ රාමුව නීතියේ රාමුවක් නෙවෙයි. ඒකට කියන්නේ සභ්‍යත්වයේ සීමාව කියලා. ඒ නිසා තමයි කවුරුත් ඒ සීමාව බිඳගෙන යන්න උත්සාහ කරන්නේ නැත්තේ. ඒ නිසා තමයි ඒ තුළ ඉඳගෙන පවුල ඇතුලේ විතරක් සෙක්ස් කරන්නේ. ඒ නිසා තමයි පවුලින් පිට සෙක්ස් කරලා අහු වුණාම මුළු සමාජයම එයාව ප්‍රතික්ෂේප කරන්නේ, ඒ නිසා තමයි පවුල කියන ඒකකය තවමත් ආරක්ෂා වෙලා තියෙන්නේ'
'පවුල ආරක්ෂා වෙලා තියෙනවා. ඒත් ආදරේ ආරක්ෂා වෙලා නෑ'
'ඇයි ආදරේ ආරක්ෂා නොවෙන්නේ ?'
'එකක් සෙක්ස් ඇතුලේ ආදරේට ඉඩක් නැති නිසා. අනික ආදරේ ඇතුලේ සෙක්ස් වලට ඉඩක් නැති නිසා'
'ඔයා හිතන්නේ ආදරේ ඇතුලේ සෙක්ස්වලට ඉඩක් නෑ කියල ද?'
'කවදාකවත් ආදරේ ඇතුලේ සෙක්ස් තියෙන්න විදියක් නෑ කියලයි මම කියන්නේ'
'නෑ. සෙක්ස් කියන්නේ ආදරේ ඇතුළෙම තියෙන දෙයක්. එහෙම නෙවෙයි නම් කොහොමද දෙන්නෙක් එකට එකතු වෙන්නේ ?'
'එතන ආදරේ නැති නිසා'
'සෙක්ස් වලට ආදරේ නැතිව පැවැත්මක් තියෙනවා තමයි. ඒ නිසානේ සල්ලි දීලා කෙනෙක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසානේ එකම කෙනෙක්ට නිතර නිතර සල්ලි නොදෙන්නේ. ඒක නිසානේ ඒ මොහොතෙන් පස්සේ ඒක අමතක කරලා දාන්නේ. ඒත් ආදරේ ඇතුලේ තියෙන සෙක්ස් කියන්නේ පවුල. ඒකයි කෙනෙක්ට පවුල අමතක කරන්න බැරි. ඒකයි සෙක්ස් වලින් පස්සේ ඉපදෙන සත්තවයාට තමන්ගේ නම දීලා දරුවෙක් කර ගන්නේ. එහෙම නැති කෙනෙක්ට දරුවෙක් ලැබුණාම තියෙන තත්ත්වය ගැන ඔයා දන්නවානේ'
'ඔයා මොනවා කිවුවත් සෙක්ස් තියෙනවා නම් එතන ආදරේ තියෙන්න විදියක් නෑ'
'ඇයි ?'
'සෙක්ස් කියන්නේ ආදරේ ප්‍රතිවිරුද්ද පැත්ත. ඒ නිසයි කෙනෙක්ට ලිංගික ඊර්ෂ්‍යාව පහළ වෙන්නේ. ඒ නිසයි මිනිහෙක් වෙන ගෑණියෙක් එක්ක වත්, ගෑණියෙක් තව මිනිහෙක් එක්කවත් ඉන්නවට අනෙක් කෙනා කැමති නැත්තේ. ඒ නිසා තමයි කෙල්ලෙක් දිහා වෙන කොල්ලෙක් හැරිලා බැලුවත් යාලුවෙලා ඉන්න එකාට මළ පනින්නේ. කොල්ලා වෙන කෙල්ලක් දිහා බැලුවත් කෙල්ලට නහුතෙට තද වෙන්නේ'
'ඉතිං ඒකනේ ඒ සම්බන්දෙට ආදරේ කියලා නමක් දීලා තියෙන්නේ'
'ආදරේ තියෙනවානම් කොහොමද ඒ විදියට ආත්මාර්ථයක් මතු වෙන්නේ ?'
'ඔයා කියන්නේ ආදරේ කියන්නේ තමන්ගෙ නෙවෙයි වගේ ඉන්නවා කියන් එක ද ?'
'නෑ'
'එහෙනම් මොකද්ද ?'
'ආදරේ කියන්නේ ආත්මාර්ථයෙන් තොර බව'
'තමන්ගේ කරගන්නේ නැත්නම් මොකද්ද එතක තියෙන ආදරේ ?'
'ආදරේ කරන කෙනෙක් කවදාවත් මෙයා මගේ ම වෙන්න ඕනෑ කියලා හිතන්නෙවත් නෑ'
'ඔයා එහෙම ද?'
'ඔව්'
'ඒ කියන්නේ ඔයාගෙ කෙනා වෙන කෙනෙක් එක්ක ගියාට ඔයාට දුකක් නෑ'
'දුකක් දැනෙයි. ඒත් දුක හිතන්නේ නෑ'
'ඔයා එයා ගැන එහෙම හිතන් ඉන්නවා කියලා එයා දන්නව ද?'
'මං ගැන දන්නෙ නැත්නම් මමයි එයයි අතරේ සම්බන්ධයක් ගොඩනැගෙන්නේ කෙහොමද?'
'ඒක එයාට දුකක් කියලා ඔයා හිතන්නේ නැද් ද?'
'දෙන්නෙක් කවදාවත් එකම විදිය වෙන්නේ නෑනේ. හැම දෙනා ම හැම වෙලාවෙම අනිවාර්යෙන් ම එක් කෙනෙක්ට එක් කෙනෙක් වෙනස් වෙනවා. ඒ නිසා මම දුක නොහිතුවට එය දුක නොහිතයි කියන තහවුරුව දෙන්න මට බෑ'
'ඒත් එයා ඉන්නේ දුකින් නම් ?'
'දුකින් නම් මගෙත් එක්ක ඉන්න උවමනාවක් නෑනේ'
'සමහරවිට එයා දුකින් හරි ඔයා ළඟ ඉන්නේ ලොකු කැපකිරීමක් කරලා වෙන්න පුළුවන්'
'ඇයි කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් කැපකිරීම් කරන්නේ ?'
'සමහරවිට පවුල් ජීවිතයක් හරියට ගතකරන්න ඒ කැපකිරීම් නැතිව බෑ'
'ඒ කියන්නේ කෙනෙක් කැපකිරීමක් කරන්නේ තමන්ගේ පවුල රැකගන්න ?'
'ඔව්. එහෙම නෙවෙයි නම් කොහොම ද දෙන්නෙක් ඉස්සරහට ජීවත්වෙන්නේ ?'
'ඒ කියන්නේ අනිත් කෙනා වෙනුවෙන් තමන් කැමතිම දෙයක් බිල්ලට දීලා, ඒ වෙනුවට පවුලේ සතුට අපේක‍ෂා කරනවා ?'
'බොහෝ දුරට එහෙමයි'
'ඒත් එක් කෙනෙක් කරන කැපකිරීමට සාධාරණය ඉටුකරන්න අනිත් කෙනාට බැරි වුණොත් ?'
'එතන ගැටුමක් නිර්මාණය වෙනවා'
'ඒ කියන්නේ තමන් කැමති දෙයක් කැප කරලා ඒකට හිලවු වෙන්න තමන් කැමති තවත් දෙයක් නොලැබුණොත් එතන අර්බුදයට යනවා'
'කැපකිරීමට සාධාරණයක් වෙන්න ඕනෑ'
'ඒ කියන්නේ ආදරය කරලා විවාහ වුණත්, යම් යම් කාරණාවලදී මතුවෙන ව්‍යාකූලතාවන් සමනය කරගන්න එක් එක්කෙනා වෙන වෙනම කැපකිරීම් කරලා, ඒවාට සාධාරණයක් වෙයි කියන අපේක‍ෂාවෙන් ඉන්නවා කියන එකයි'
'දෙන්නට ම දෙන්නා ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ'
'ඔයා කියන විදියට නම් මෙන්න මෙහෙමයි. හරියට අපි කඩේකට බනිස් කන්න ගිහින්, කන්න බනිස් තිබුණේ නැති නිසා, ඒ වෙනුවට සල්ලි දීලා ගල් බනිස් කනවා වගේ වැඩක්. හැබැයි අපිට ගල් බනිස් වුණත් බනිස් කියලා හිතාගෙන කන්න පුළුවන් තත්ත්වයෙන් තියෙන්න ඕනෑ. ඕකනේ ඔයා කියන්නේ, එක් කෙනෙක්ගෙ කැපකිරීමට අනිත් කෙනාගෙන් සාධරණය වෙන්න ඕනෑ කියලා ?'
'මම කියන්නේ යහපත්, සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න අවශ්‍ය වෙන දේවල්'
'ඒ කියන්නේ කුණු ගෑවුනු ඇඳුමක කුණු අයින්කරනවා වාගේ'
'ඒ කිවුවේ ?'
'කෙනෙක්ට තමන්ගෙ ඇඳුමේ තියෙන කුණු ටික යවා ගන්න ඕනෑ තරම් විකල්ප තියෙනවා. වොෂින් මැෂින් එකෙන් හෝදන්න පුළුවන්, ගලේ ගහලා හෝදන්න පුළුවන්, අතින් අතුල්ල්ලා හෝදන්න පුළුවන්, රින්සෝ දැම්මත්, සර්ෆ් එක්සෙල් දැම්මත්, සන්ලයිට් දැම්මත්, පර්ල්වයිට් දැම්මත් කුණු යනවා නම් එච්චරනේ. ඒකනේ ඔයා කියන්න යන්නේ ?'
'ඔයා ආදරය කරලා බඳිනවටයි පවුල් ජීවිතේටයි කැමති නෑ වගේ'
'මම කියන්නේ එක් කෙනෙක්ට විතරක් ආදරේ කරන්න බෑ කියලා'
'එහෙමම බැරිනම් ඇයි ඔයා ඔයාට කෙනෙක් හොයා ගත්තේ ?'
'ඒක ආදරේ මත ම වත්, සෙක්ස් මත ම වත් තීරණය වෙච්ච දෙයක් නෙවෙයි'
'එහෙනම් ඔයාලා දෙන්නා අතර සම්බන්ධයක් ඇති වුණේ ?'
'හැම සම්බන්ධයක් ම ආදර සම්බන්ධයක් කියලා වටහා ගන්න එකත් වැරදි යි'
'ඒ කියන්නේ ඔයාලා අතරේ තියෙන්නේ ආදර සම්බන්ධයක් නෙවෙයි'
'මම එයාට ආදරේ කරනවා'
'ආදරයක් නැත්නම් සම්බන්ධයක් තියෙන්නෙ නෑ, සම්බන්ධයක් නොතාබුණොත් සෙක්ස් තියෙන්නේ නෑ'
'නෑ, ආදරයයි සම්බන්ධයයි දෙකම නැතිව උණත් සෙක්ස්වලට පැවැත්මක් තියෙනවා'
'ඔයා අදහස් කරන්නේ අමු ම අමු සෙක්ස්'
'සෙක්ස් කිවුවාම ඒක සෙක්ස් ම විතරයි. හැබැයි අපේ ක්‍රමය ඇතුලේ ඒක අමුවට කෙරෙනවා වෙනුවට වහගෙන කරනවා'
'ඒ අනිත් කෙනොට තියෙන ආදරේ නිසා'
'නෑ. තමන් සෙක්ස් කරනවා වෙන කෙනෙක් දකී කියන බයට. හැබැයි කොච්චර වහගෙන කළත් හැමෝම කරන්නේ එකම දේ නේද කියලා කවුරුත් කල්පනා කරන්නේ නෑ'
'ඒක තමයි සභ්‍යත්වයේ සීමාව'
'සෙක්ස්වලටවත් ආදරේටවත් සභ්‍යත්වයේ නෙවෙයි මොනම සීමාවක් වත් දාන්න බෑ'
'නෑ, පුළුවන්, ඒක නිසා තමයි තවත් කෙනෙකුට ආදරේ කරන්නේ. එයාට විතරමක්'
'නෑ. ආදරේට බෑ එක්කෙනෙක් විතරයි, ඒ දෙන්නා කොල්ලයි කෙල්ලයි ම විතරයි කියන සීමාව දාන්න'
'එහෙම නෙවෙයි නම් ඒක අනුමත වෙන්නෙ නෑ'
'අනුමත නොවෙනවා කියලා ආදරේ නොකර ඉන්න බෑ'
'ආදරේ කියලා සභ්‍යත්වයෙන් පිට දේවල් කරන්න බෑ'
'ඒත් මම එක්කෙනෙක්ට කියලා විශේෂයක් කරන්නේ නෑ'
'ඒ කියන්නේ ඔයා හොමෝ සෙක්ස් වලට කැමතියි'
'ඇයි, මට මගේ ම සෙක්ස් එකේ කෙනෙක්ට ආදරේ කරන්න බැරි ද?'
'එහෙමනම් ඔයා හොමෝ සෙක්ෂුවල් වෙන්න ඕනේ'
'මම කියන්නේ ආදරේ කිරීම ගැන. ඒ ආදරේ ඇතුලේ සෙක්ස් නෑ'
'ආදරේ ඇතුලේ සෙක්ස් නැතිව ඒ ආදරේට පැවැත්මක් නෑ. එහෙම සෙක්ස් නැත්නම් අඩුම තරමේ එක් කෙනෙක්ගේ අතක්වත් අනිත් කෙනා අල්ලන්න බෑ'
'එහෙම අල්ලන්නේ ආදරේට නෙවෙයි. ආකර්ශනයට. එතන තමයි සෙක්ස් තියෙන්නේ'
'ඒ කියන්නේ ඔයා මමත් එක්කත් සෙක්ස් කරන්න කැමතියි'
'ඔයා හිතන්නේ මට බැරි වෙයි කියල ද?'
'නෑ, මම ඇහුවේ කැමතියි නේ ද කියලා'
'කෙල්ලෙක් එක්ක කොල්ලෙක්වත්, කොල්ලෙක් එක්ක කෙල්ලක් වත් සෙක්ස් කරන්න අකමැති වෙන්නෙ නෑ'
'ඇයි ?'
'එතන තියෙන්නේ විරුද්ධ ලිංගික ආකර්ශනය. හැබැයි මම ඔයත් එක්ක සෙක්ස් කළා කියන්නේ මම ඔයාට ආදරේ කරන්න පටන්ගත්ත කියන එකත් නෙවෙයි.'
'එහෙනම් ?'
'බැඳීමක් තියෙන්න පුළුවන්'
'ආදරයක් ඇතිවෙන්නේ නැද්ද ?'
'ඔයත් එක්ක සෙක්ස් කළත් නොකළත් මම ඔයාට ආදරේ කරනවා නම්, ඒකට සෙක්ස් අදාළ වෙන්නෙ නෑ'
'එහෙනම් ඒ කියන්නේ පරම පිවිතුරු නිරාමිස ආදරයක් වෙන්න ඕනෑ'
'ඒ කියන්නේ කිසිම බැඳීමක් නැති අදරයක්'
'ආදරයක් නම් බැඳීමක් තියෙනවා මයි'
'නිරාමිස වෙනවා කියන්නේ ආයේ බැඳීමක් තියෙන්න බෑ කියන එක'
'බැඳීමකින් තොර ආදරේට පැවැත්මක් නෑ'
'ආදරෙන් තොර බැඳීමකට දුර යන්න බැරි වුණත්, බැඳීමකින් තොර ආදරයට අනන්තය දක්වාම යන්න පුළුවන්'
'ආදරේ කියන්නෙ ම බැඳීමක්'
'නෑ, හරියට ම ආදරේ කරනවා නම් එතන කිසිම බැඳීමක් තියෙන්න විදියක් ඇත්තෙම නෑ'
'ඒ කියන්නේ ඔයා එයාව ආශ්‍රය කරන්නේ ඔයාගේ සෙක්ස්වලට තියා ගන්න'
'මම මගේ යාළුවන්ට ගොඩාක් ආදරෙයි'
'හෝමෝ සෙක්ෂුවල් අයට විරුද්ධලිංගික ආශාව අඩුයි'
'ආදරේ බයිසෙක්ෂුවල් හරි සෙක්ෂුවල් හරිකියනවට මම මුළුමනින් ම විරුද්ධයි'
'ඔයා කොච්චර ඔයාගේ මතේ ම හිටියත් සමාජය පිළිගන්න දේට අභියෝග කරන්න ඔයාට බෑ'
'මට ඔයාට අභියෝග කරන්න පුළුවන්'
'ඔව්'
'ඒ කියන්නේ මම සමාජයට අභියෝග කරනවා කියන එක ම තමයි'
'නෑ. ඔයා අභියෝග කරන්නේ මාත් එක්ක විතරයි'
'ඔයාට මේ සමාජයෙන් තොර පැවැත්මක් නෑ'
'ඔයාටත් එහෙමයි'
'ඒ නිසා තමයි මම සමාජයට අභියෝග කරනවා වෙන්නේ'
'නෑ'
'නැත්තෙ නෑ. ඔයාටවත්, මටවත් සමාජයෙන් තොර පැවැත්මක් නැත්නම්, ඔයත් මමත් මේ සමාජයේ ම කොටස් දෙකක් නම්, ඔයයි මමයි කරන කියන හැමදේට ම සමාජයීය වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ මම අභියෝග කරන්නේ සමස්ත සමාජයත් එක්ක'
'ඒ ඔයා කියන විදියට'
'නෑ. ඒක එහෙම තමයි, හැබැයි ඔයා පිළිගන්න බයයි'
'ඒ මම ඔයාට කැමති නිසා'
'කැමැත්ත කියන්නේ ආදරේ නෙවෙයි නේ'
'ආදරයක ආරම්භය කැමැත්ත වෙන්න පුළුවන්'
'නෑ. ආදරය කරන්න කැමතිවෙන්න ඕනෙම නෑ'
'ඒ කියන්නේ ඔයා මට ආදරෙයි'
'මගේ ආදරේ තියෙන්නේ ඔයාට ගොඩාක් දුරින්'
'කාට ද?'
'ආදරේට'
'ඒ කියන්නේ'
'සොබා දහම වගේ ම'

සඳකැලූම් රසාංජන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සව් සිරින් සපිරි සල් පිල් වරුණ නෙත ගැටෙත
සුතන'ඹුන් දුගී වත, අඳුරු පැල සිහිව එත
සල් පිලම මිලට ගනු රිසි ලොබක් පහළ වෙත
සිහිව හිස් පසුම්බිය සිහිනෙකින් මිදී සිත දුක පිරෙත

[ආලෝචනය- 2009]

දේ. වි. ගාල්ලගේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මම, පශ්චාත් නූතන ද නොදන්නෙමි හරියට
බලන්න අර අහස, නිදි නැති මේ රාත්‍රිය

පශ්චාත් මාක්ස්වාදී ද මම නොදන්නෙමි හරියට
අත්‍යාලංකාර ලෙස බිය ගත් මේ රාත්‍රිය

ස්ත්‍රීවාදී ද නොදන්නෙමි මම හරියට
ඇය ඇස් අහස තරු නටන මේ රාත්‍රිය

විසංයෝජනවාදී ද නොදන්නෙමි හරියට
මම, ඔබ සඳ දුම් නැගෙන මේ රාත්‍රිය

ඩෙරීඩාවාදී ද නොදන්නෙමි හරියට
උරමත මා ඈ වැලපෙන මේ රාත්‍රිය

ප්‍රජාතන්ත්‍රවාදී ද නොදන්නෙමි හරියට
''අයියෝ එපා. මම-'' කියන මේ රාත්‍රිය

නෙරූදා සේම දුක්බර වැකි ලියන
රාත්‍රිය- මේ රාත්‍රිය, ඒ රාත්‍රිය

එක දෙයක් නම් දන්නෙමි හරියටම
මා උර මත, මේ දැන් ආරේ ඇරඹුණා- මම රාත්‍රිය.

[එකමත් එක පිටරටක]

ලියනගේ අමරකීර්ති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ ඉගෙන ගත් මගේ කොලූ කාලේ අපේ වයසෙ කොල්ලන් ගේ වීරයන් සිටියේ අද මෙන් ටෙලිවිෂන් තිරයේ නොවේ. එමෙන්ම අන්තර් ජංජාලයේ ද නොවේ. ඇත්තටම නම් ඒ මාධ්‍ය ඒ දිනවල සිරිලක තිබුනේ ද නැත. අපේ එකම ඉලෙක්ට්‍රොනිකමය විනෝදාංශය වූ ට‍්‍රාන්සිස්ටර් රේඩියෝවේ වැඩ සටහන් අතර කොටස් වශයෙන් ප‍්‍රචාරය වුනු ගුවන් විදුලි නාට්‍යයන් බහුල වුවද, මුවන් පැලැස්සේ කදිරා හෝ උක්කු බණ්ඩා හෝ මොනරතැන්නේ පියසෝම හෝ එදා අපේ වීරයෝ නොවූහ.
ඒ වෙනුවට, එදා අපේ වීරයන් සිටියේ ඒ දිනවල ඉතා ජනපි‍්‍රය වී තිබූ සතුට, සිත්තර වැනි චිත‍්‍රකතා පත්තරවල ය. ඒ ආකාරයෙන් අපේ සිත් දිනාගත් අපේ කාලයේ සුපිරි වීරයන් දෙන්නෙකු වුයේ යුනිකෝ සහ මේඝ නම් වූ චරිත දෙකයි.

යුනිකෝ නමින් හැඳින්වුනේ අද අප දන්නා බැට් මෑන් චරිතය සේ ඇස් දෙක වසාගත්, ආදි යුරෝපීය යුගයකට අයිති වීර චරිතයකි. ඔහු කඩු සටනේ කෙල පැමිණියෙකි. එමෙන්ම-

ශක්තිමත් බවේ ද බාහු බලයේ ද සංකේතයක් ම විය. යුනිකෝ කෑවේ මස් පුච්චා ගාත් පිටිනි. ඔහු සටන් කළේ කෘර රජවරුන්, නපුරු සෙනෙවියන් සමගය. ඒ සියල්ලම ඔහුගේ බාහු බලය සහ අසිපතේ දස්කම් වූ අතර කිසිදු මන්තර හෝ මැජික් බලයක් යුනිකෝ ට නොතිබුණි. සෑම සතියකම පාහේ කඩු සටන් තිබිණ. යුනිකෝ කෙසේ හෝ මේ සටන් අවසානයේ රජ කුමරියව නපුරු සෙනෙවියාගේ ග‍්‍රහණයෙන් මුදවාගෙන ඩයිනෝසර් යුගයේ සුවිශාල පක්‍ෂියාගේ පාද වල බැඳි කූඩයක් බඳු මැදිරියේ නැගී රජ මාලිගයට ඇය රැගෙන එන බව අපි දැන සිටියෙමු.

මේඝ යනුවෙන් හැඳින්වුනේ අප දන්නා ටාසන් මෙන් කැලෑවක සිටි වීරයෙකි. දිවි සම් කඩකින් ඔහු යටිකය වැසිණ. එසේ වුවද මේඝ තනිකරම දේශීය චරිතයක් විය. කිසිදු මාංශ භක්‍ෂණයක් දක්නට නොලැබුණි. මේඝ හැමවිටම පාහේ කෑවේ පලතුරුම ය. කැලේ සතුන් මේඝ ගේ ගජ මිතුරෝ වූහ. ඔහු පොදුවේ දුෂ්ඨයන් සමග ද සුවිශේෂීව වනාන්තරය වැනසීමට පැමිණි අය සමග ද සටන් කලේය අද වෙසෙන හරිත කි‍්‍රයාකාරීන්ට පරමාදර්ශී චරිතයක් මවමිනි. මේඝ ගේ කැපී පෙනුනේ ඔහු සතු බාහු බලයයි. රූමතියෙක් හෝ දෙන්නෙක් නිරතුරුම පාහේ දුෂ්ඨයින් ගේ ග‍්‍රහණයෙන් බේරා ගැනීම මේඝ ගේ එදිනෙදා ජීවන රටාවේ අනිවාර්ය කොටසක් විය.

මේ දිනවල මා උගත් හතේ පන්තියේ ද උසට මහතට කැපී පෙනෙන කොල්ලෝ දෙන්නෙකු වුහ. එකෙක් සුනිල් ය. අනෙකා පියතිලක ය. මේ දෙදෙනා පාසලට පැමිණියේ එකම ගමේ එක ලඟ ගෙවල් දෙකක සිටයි. සුනිල් ගේ පියා පුද්ගලික සමාගමක කළ රැකියාවම පියතිලක ගේ පියා ආණ්ඩුවේ සංස්ථාවක කලේය. මේ පවුල් දෙක හොඳ හිතවත්තු වූහ. ඒ නිසාමදෝ මුලින් හොඳ යාළුවන් වූ සුනිල් සහ පියතිලක දෙන්නා අතර මේ වෙන කොට ටිකක් නොව සෑහෙන තරහක් ඇතිවී තිබුණි.

සුනිල් සහ පියතිලක දෙදෙනාම අපේ පන්තියේ සිටි මා වැනි අනිත් කොල්ලන් හා සසඳා බැලූ කළ යෝධයන් මෙන් වූ දෙදෙනෙකි. ඒ උසින් ද, මහතින් ද දෙකෙන්ම ය. මෙනිසාම, මේ වෙන විය මේ පසමිතුරන් දෙපලට නම් දෙකක් ද පටබැඳී තිබුණි.

සුනිල් යුනිකෝ විය. පියතිලක මේඝ විය.

ඉඳිආප්පයා, රතුඅලයා, කණ්ණඩි පොළඟා වැනි වෙනත් එවකට අප අතර පැතිර පැවති සරදම් නම් සඳහා මෙන් නොව, යුනිකෝ, මේඝ වැනි වීරයින් ගේ නම් තමන්ට පටබැඳීම ගැන අකමැති වන්නෝත් සිටිද්ද? නැත. එදා එවැන්නෝ නොසිටියහ. අද ද නොසිටිති. එපමණක් ද නොවේ. අපේ පන්තියෙ එකට උගත් කොල්ලෝ කිහිප දෙනෙකු ද යුනිකෝ සහ මේඝ වටේ කල්ලි ගැසුණහ. සිත්තර පත්තරේ කොටස් වශයෙන් පලවූ සරත්මධු නිර්මාණය කළ යුනිකෝ චරිතයේ හොඳම මිතුරාගේ නම ඔමෙගා විය. අපේ පන්තියේ සිටි සුනිල් ගේ හොඳම සගයා තමන් ට ඒ නම දා ගත්තේය. තවත් කිහිප දෙනෙකුට මට අද අමතකව ඇති එවැනි නම් ලැබුණි.

සතුට පත්තරේ කොටස් වශයෙන් පලවූ අනුර විජේවර්ධන නිර්මාණය කළ මේඝ චරිතයට සිටි සියළුම මිතුරන් කැලේ සිටි අලි, කොටි, වඳුරෝ වැනි වනසතුන් වූ බැවින් අපේ පන්තියේ මේඝ ගේ පිලේ අයට වෙනත් අන්වර්ථ නාම තිබුනේ නැත. කාලය ගෙවී ගියේය. යුනිකෝ සහ මේඝ අතර රණ්ඩුසරුවල් මිස හොඳ හිතක් නම් ඇති නොවුණි. පසුව 1976 දී පැවති ජාතික පොදු අධ්‍යාපන සහතිකපත‍්‍ර විභාගයෙන් පසු අපි පාසලෙන් විසිරී ගියෙමු.

යුනිකෝ පියා ගේ කොම්පැණියේ වැඩ පුරුදු වීමට ගියේය. මේඝ ඒ පාසලේම රැඳී සිටියේය. මම මිල්ලෙ සොයා වෙනතක ඇඳී ගියෙමි.

මේ කාලයට අවුරුදු හතකට පමණ පසු මට යුනිකෝ නමින් පෙර පතලව සිටි සුනිල් ද, මේඝ නමින් පතලව සිටි පියතිලක ද යන දෙදෙනාවම අහම්බෙන් මෙන් නමුත් වෙන වෙනම මුණ ගැසුණි.
අහෝ ඛේදයකි!

එදා හතේ පන්තියේ දී උසට මහතට සිටි, එනිසාම යුනිකෝ සහ මේඝ නම් වූ අපේ කාලයේ වීරයින් දෙදෙනෙකු ගේ නම් වලින් ගෞරවණීය පටබැඳි නම් ලද, අපේ වීරයෝ දෙන්නා යාන්තම් අඩි පහේ මිට්ටෝ දෙන්නෙක් පමණක් බව මට පසක් විය.

ඔවුන් දෙදෙනාම මා සමග කතා කලේ තම හිස කොටස උඩු අතට ඔසවාගෙනය. මා ඔවුන් ට වඩා අඩියකින් පමණවත් උස යැයි මට එවෙලේ සිතුනද, සැබවින්ම අප අතර උසේ පරතරය අඟල් අටක් පමණ විය යුතුය.

සිදුවී තිබුනේ කුමක්ද? සුනිල් ගේ ද, පියතිලක ගේ ද, ශරීර වර්ධනය නමයේ පන්තියෙන් නැවතී ඇත. එදා කැහැටු කොට කොල්ලන් අතර යෝධයින් සේ දිස්වුණු ඔවුන් දෙදෙනා එදා කර දඬු උස් මහත්වූ මා සමග සසඳන කල කුරුමිට්ටෝ දෙදෙනෙකු වූහ. එදා යුනිකෝ සහ මේඝ හමුවේ කුරුමිට්ටෙකු වූ මගේ ශරීර වර්ධනය නමේ පන්තියෙන් ඔබ්බට ඇදී ගොස් අද මා ඔවුන් අතරම යෝධයෙකු වී ඇත. "අනේ පව් යුනිකෝ! අනේ පව් මේඝ!" මට සිතිණ.

මේ ලිපිය සඳහා ඒ අතීතය යලි සිහිපත් කරන මට වැටහුනේ අපේ කාලයේ වීරයන් කී දෙනෙකුට නම් ඔය ඉරණම අත් වුනේද කියාය. ඒ බොහෝ විට ශාරීකව නොවේ! අදහස්, සිතුම්, පැතුම් අතින්ය. ඉස්සර සිටි සමහර පතාක යෝධයන් අද කුරුමිට්ටන් වී ඇති අතර, එදා අයුක්තියට එරෙහිව සිහනද පැතුරූ සිංහ රාජයන් ද අද හුරතල් බලූ පැටවුන් වී ලද පරිදි කටු බුදිමින් දැහැමෙන් සෙමෙන් කල් යවති.

රසික සූරියආරච්චි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පිවිසුම

බඹර වළල්ල ගැන බොහෝ විචාර ලියවෙයි. ඒවා සිනමා කෘතියේ සිනමාත්මක වටිනාකම් නොවටිනාකම්වල සිට අන්තර්ගත සමාජ දේශපාලන දැක්ම දක්වා විහිදෙනු පෙනේ.

මෙම චිත්‍රපටය පිලිබඳව පසුගිය සති කිහිපය පුරාවට විවිධ පුවත්පත්වල පළවූ සිනමා විචාරයන් මෙන්ම සමහර සම්මන්ත්‍රණයන් තුලින් ද අපට හමුවූ කිසිවක් මෙම කෘතිය නැරඹීම සඳහා-

-වන කවුළුවක් නොඑසේනම් කියවීම සඳහා වන රාමුවක් සපයාදීමට අසමත්විය (මෙහිදී අපට මඟහැරුනු විචාරයන්ද තිබිය හැක). කෙසේ වෙතත් කලා විචාරකයාගේ මූලික වගකීම වන්නේ කෘතිය තුල පවත්නා අසීමිතත්වය සීමිත බවට පත්කිරීම තුලින් එකී කෘතිය නැරඹීම සඳහා වන කවුළුවක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවට අපට හමුවූයේ කෘතිය සම්බන්ධයෙන් දක්වන ලද්දාවූ විසිරුනු අදහස් දැක්වීම් සමුදායක් පමණකි. අප උත්සාහ කරන්නේ චිත්‍රපටය යලි නැරඹීමට කවුළුවක් තනා ගැනීමටයි.

මෙම ලිපියේ සංවාද ගැටලුව වන්නේ සංකීර්ණ ලෙස එකිනෙකාට බැඳුනු ත්‍රිකෝණාකර මිනිස් සම්බන්ධයක් සමරූපීව, එනමුදු විවිධ වේශයන්ගෙන් චිත්‍රපටය තුල තුන්වරක් පුනරාවර්තනය වන්නේ ඇයිද යන්නයි. 'බඹර වළල්ල' යන්නෙහි ඇති ව්‍යංගාර්ථය මෙම මිනිස් ත්‍රිකෝණයේ නැවත නැවත පැමිණීමද?

පෙනෙන ලෙස මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන 'පොඩි එකා' අනෙකුත් චරිත හා සම්බන්ධවීම තල තුනක් ඔස්සේ විකාශනය වෙයි. පළමු තලය තුල ඔහු ජීව විද්‍යාත්මක ශරීරයෙන්ම පොඩි එකෙකි. බාප්පා (ලලිත් ජනකාන්ත) , අක්කා (අනුරුද්ධිකා පාදුක්කගේ) සහ අම්මා (නීටා ප්‍රනාන්දු) එම තලයේදී කේන්ද්‍රීයව ඔහු හා සම්බන්ධවන බව පෙනේ. මෙහිදී බාප්පා විසින් අක්කාව දූෂණය කිරීමත් (මෙය කාලයක් තිස්සේ සිදුවූ එකක් බව කෘතිය තුල නිරූපනය වෙයි) අනතුරුව ඇය ගෙල වැලළා ගැනීමත් සිදුවන අතර පොඩි එකා විසින් උදැල්ලකින් පහරදී බාප්පාව මරා දමනු ලබයි.

දෙවන තලය තුල හිරෙන් නිදහස්වන ශරීරයෙන් ලොකු 'පොඩිඑකා' අප්පුහාමි මාමාගේ (ජයලත් මනෝරත්න) හරක් බලමින්, කුඹුරු වැඩ කරමින් ජීවත් වෙයි. පොඩි එකා සිරගතව සිටියදී බාප්පා හා අක්කාගේ මරණයෙන් පසු උන්මත්තක බවට පත්වූ අම්මා බලාගනු ලබන්නේ අසල්වැසි අප්පුහාමි මාමාගේ පවුලේ උදවිය විසිනි. අප්පුහාමි මාමා, ඔහුගේ දියණිය වන පුංචි මැණිකා (කෞශල්‍යා සමරසිංහ) සහ උමතුව සිටින අම්මා එම තලයේදී 'පොඩි එකාගේ' චරිතය හා බැඳෙන ප්‍රධාන චරිතයෝ වෙත්. එහිදී පුංචි මැණිකාට ට සිය සිතැඟි හෙලිකරන පොඩි එකාව පිළිකුලෙන් බැහැර කරන ඇගේ දිගු කෙස්වැටිය පොඩි එකා විසින් කපා දමනු ලබයි. මෙයින් මහත් කෝපයට පත්වන අප්පුහාමි මාමා තමන්ට සිදුවූ නිග්‍රහයට පලිගනු වස් පොඩි එකාට පහරදී මරා දැමීමට තැත් කරයි. ඔහුගේ දිවි බේරෙන්නේ හදිසියේ එතැනට පැමිණෙන මැල් මහත්තයා (මහේන්ද්‍ර පෙරේරා) විසින් ඔහුව රෝහලට ගෙනයාම නිසාවෙනි. අප්පුහාමි මාමා පොඩි එකාගේ මවද සමඟ පොඩි එකාගේ නිවසට ගිනි තබා සිය පවුලේ උදවිය සමඟ ගමෙන්ද පිටව යයි.

කථාවේ තුන්වන තලයේදී මැල් මහත්තයාගේ හිතෛෂීයකු බවට පත්ව සිටින පොඩි එකාගේ ජීවිතය දිගහැරෙන්නේ මැල් මහත්තයා, කුමාරි (දමිතා අබේරත්න), ජිනෙ අයියා (ශ්‍රියන්ත මෙන්ඩිස්) යන චරිත සම්බන්ධ කරගනිමිනි. එහිදී මල්ශාලා හිමිකරුවකු හා වී වෙළදාමේ නියුතුවූවකු වන මැල් මහත්තයා වරෙක මානව හිතවාදියකු ලෙසින්ද, තවත් වරෙක ප්‍රචණ්ඩ අවස්ථාවාදී ව්‍යාපාරිකයකු ලෙසින්ද පෙනී සිටින්නෙකි. පොඩි එකා සහ කුමාරි මෙම තලය තුල නිරූපනය වන්නේ මැල් මහත්තයාගේ ආදරය, රැවරණය ලබන්නන් මෙන්ම ඔහුගේ ප්‍රචණ්ඩ ව්‍යාපාර ලෝකයේ ගොදුරු ලෙසිනි. කුමාරි යනු වක්‍ර බලහත්කාරයක් සහිතව මැල් මහත්යාගේ මෙන්ම ඔහුගේ විවිධවූ සහචරයින්ගේ ආශාවන් සන්සිඳවීම සඳහා රඳවා සිටින්නියකි. පොඩි එකා සහ කුමාරි මැල් මහත්තයාගේ ග්‍රහණයෙන් මිදී පළා යන අතර ඔවුන් නැවත තමන් වෙතට ගෙන්වා ගන්නා මැල් මහත්තයා ඔවුන් දෙදෙනාව විවාහ කරදෙයි. මැල් මහත්තයා වෙනුවෙන් මංකොල්ලයකට සහභාගීවන පොඩි එකාව මරාදැමිමට මැල් මහත්තයා උත්සාහ කරද්දී මැල් මහත්තයා මියයන අතර පොඩි එකාගේ මිනිය දැවීමට සැලසුම්කොට තිබූ දර සෑයේ පොඩි එකා විසින් මැල් මහත්තයාගේ මිනිය දවාලයි. කථාව අවසානයේ අප දකින්නේ මැල් මහත්තයාගේ ව්‍යාපාරයන්හි හිමිකරුවා බවට පොඩි එකා පත්වී සිටින ආකාරයත් (ප්‍රථම වතාවට ඔහුට පොඩි එකා කියා නොව මහත්තයා යනුවෙන් ආමන්ත්‍රණය කරනු මෙහිදී අසන්නට ලැබේ), කුමාරි එහි සේවය කරමින් සිටින ආකාරයත්ය.

මිනිස් ත්‍රිකෝණයක පුනරාවර්තනය

මෙම ලිපියේ සංවාද ගැටලුවට අදාල තුන් වරක් පුනරාවර්තනය වන ත්‍රිකෝණාකාර මිනිස් සම්බන්ධය නම්කර ගැනීමට කිසියම් ඉඩක් දැන් විවරව ඇත. මුල් තලය තුල කේන්ද්‍රීය මිනිස් සම්බන්ධය ලෙස පොඩි එකා, අක්කා සහ බාප්පා හඳුනාගත හැකිය. එය නැවත දෙවන තලය තුල පැමිණෙන්නේ පොඩි එකා, පුංචි මැණිකා සහ අප්පුහාමි මාමා ලෙසිනි. තෙවන තලය තුල පොඩි එකා, කුමාරි සහ මැල් මහත්තයා ලෙස පුනරාවර්තනය වන්නේද එකී ත්‍රිකෝණ සමබන්ධයමය. මේ සියලු සබඳතා ස්වරූපයන් ඔස්සේ පොඩි එකාගේ ජීවිතය කරා මේ නැවත නැවත පැමිණෙන්නේ මියගිය බාප්පා හා අක්කාගේ නොමළ අවතාරයන්ද ?

චිත්‍රපටය තුල අපට හමුවන බාප්පා, අප්පුහාමි මාමා සහ මැල් මහත්තයා යන තිදෙනාම විවිධාකාරයන්ගෙන් පොඩි එකාගේ ජීවිතයට රැකවරණ සපයන පීතෘ භූමිකාවක් නියෝජනය කරන්නන්ය. උදාහරණ වශයෙන් බාප්පා පොඩි එකාගේ පවුලට ආර්ථීක රැකවරනය සපයයි. අප්පුහාමි මාමා සිරගෙයින් නිදහස්ව ගමට එන පොඩි එකාට ජීවිකාව සලසා දෙයි. මැල් මහත්තයා පොඩි එකාගේ ජීවිතය බේරාගෙන ඔහුට සමාජයේ ජීවත්වෙන හැටි කියා දෙයි.

අක්කා මියයාමෙන් පසු දෙවන හා තුන්වන තලයන්හිදී පොඩි එකා ආකර්ශණය වන එකම ගැහැණුන් දෙදෙනා වන්නේ පුංචි මැණිකා සහ කුමාරිය. ඒ දෙදෙනාගේම චරිත ස්වභාවයන් අක්කා නැමැති භූමිකාව සිහිගන්වයි.

පළමුවන ත්‍රිකෝණය



මුල් තලයේදී අපට හමුවන බාප්පා පවුලේ නඩත්තුවට මුදල් උපයන්නාය. ඔහු අම්මාට දෙන ලෙස පවසා පොඩි එකාගේ අතට මුදල් දෙයි. ඔහු ගමෙහි අඳුරු/ පාතාල ආර්ථීකය ලෙසින් හැඳින්විය හැකි කසිප්පු ජාවාරම, හරක් වෙළඳාම ආදියෙන් මුදල් උපයන්නෙකි. ඔහු මේ තලය තුල අපට හමුවන ගැහැණු චරිත දෙකම සිය ලිංගික කාර්යය සඳහා ප්‍රචණ්ඩ ලෙස යොදාගනී. මේ ගැහැණුන් දෙදෙනා, එනම් අක්කා සහ අම්මා සමඟ පොඩි එකාට ඇසුරු කිරීමට ඇති කාලය ඔහු කසිප්පු ජාවාරම සඳහා වතුර ඇදීමට උදුරාගනී. මේ සියල්ල විසින් ඔහුගේ චරිතය ප්‍රචන්ඩ වනචාරී පීතෘත්වයක් විශද කරයි. අම්මා හා අක්කා සමඟ ඔහු ලිංගිකව හැසිරෙන බව ප්‍රත්‍යක්ෂ වන නමුත් ඔහුගේ ආශාව ප්‍රබලව අක්කා වෙත දිශානත වනු පෙනෙයි. පලමු තලය තුල පොඩි එකා හා අක්කා අතර සම්බන්ධය කෙබඳු දැයි දැන ගැනීමට ඍජු රූප රාමු කිසිවක් අක්කා ගේ මරණයට පෙර හමු නොවේ. නමුත් බාප්පා ගේ ලිංගික හිංසනයකින් පසු අක්කා ගෙල වැලලා මිය ගිය විට පොඩි එකා ප්‍රතිචාර දක්වන ආකාරය ඔහු ඊට පෙර බාප්පා කෙරෙහි දැක්වූ බයාදු බව හා කිසිසේත් නොගැලපෙයි. චිත්‍රපටියේ පෙර දර්ශනයක අම්මා අක්කාට පවසන පරිදි පොඩි එකා බාප්පා ගෙන් අක්කාට එල්ලවන ලිංගික බලහත්කාරය ගැන දැන සිටියේ නැත. එය දැන ගත් මොහොතේම ඔහු බාප්පාට උදැල්ලකින් පහර දී මරා දමයි.

චිත්‍රපටයේ පසු අවස්ථාවක අප්පුහාමි මාමාගේ උදවිය විසින් පණ පිටින් අම්මා නිවසත් සමඟ ගිනිතබා මරා දැමූ පසු පොඩිඑකා දුක්වනවා විනා මෙසේ පලි ගැනීමට ගියේ නැත. අනෙක් අතට පොඩි එකා සහ අම්මා අතර සම්බන්ධය පිලිබඳව අප මඳක් විමසිලිමත් වුවහොත් එහිදී අපට හමුවන්නේ චිත්‍රපටයේ මුල් අවස්ථාවකදී පොඩි එකා විසින් ගෙදර බිත්තියෙහි මමයි, අම්මයි, අක්කයි ලෙසින් අඳිනු ලබන සංකේතයක් සිහි විකල්වීමෙන් අම්මා විසින් ගෙයි බිත්ති පුරාත්, ගෙදරින් පැනගිය අවස්ථාවක ඈ ගිය මඟ දිගේත් ඇඳ ඇති ආකාරයයි. සිර ගෙයින් නිදහස්ව ගෙදර එන පොඩි එකා තමාගේ මේ සංකේත සිතුවම අම්මා විසින් ඒ මුලු කාලය පුරාවටම ගේ පුරා ඇඳ ඇති ආකාරය දැකීමෙන් එතරම් කම්පාවට පත්වන සෙයක් නිරූපනය නොවේ (ඔහු දුකට පත්වූවිට මහ හඬින් හඬා වැලපෙමින් සිය හැඟුම් පළ කරන්නෙකි). මමයි, අම්මයි, අක්කයි ලෙසින් වන සංකේත සිතුවම පොඩි එකා විසින් අඳිනු එක් වතාවක් පමණක් අප දකින අතර එතැන්සිට එය දිගින් දිගටම අඳිමින් සිටින්නේ අම්මාය. ඒ අනුව මමයි, අම්මයි, අක්කයි යන සංකේත සිතුවම පොඩි එකාට වඩා දරා සිටින්නී අම්මාය.

මේ අනුව පොඩි එකා, බාප්පා සහ අක්කා ත්‍රිකෝණය පළවන තලයේදී වඩාත් ප්‍රබල බව පැහැදිලිවෙයි. මෙහිදී මෙම තලය අවසානයේදී යම් අකාරයක පීතෘ භූමිකාවක් ඉටු කරන බාප්පා පොඩි එකා විසින් මරා දමනු ලැබේ. එහෙත් ඔහු විසින් බාධා පමුණුවන ලද අක්කාගේ ආදරය ලබාගැනීමට පොඩි එකාට නොලැබෙන්නේ ඒ වන විට ඇයද දිවි නසාගෙන තිබීම හේතුවෙනි. එමෙන්ම අක්කා ජීවතුන් අතර සිටියද පොඩි එකාට ඇයට ළං වීමට නොහැකි වන්නේ බාප්පා/පියා ඝාතනය කල සැනින් නීතියේ ආධිපත්‍යය විසින් ඔහුව සිර බාරයට ගන්නා බැවිනි.

දෙවන ත්‍රිකෝණය



පොඩිඑකා සිරෙන් නිදහස්ව ගමට පැමිණෙන දෙවන තලය තුල 'පොඩි එකා' යනුවෙන් ඔහුට පලමුව අමතන්නේ ඔහු බලාපොරොත්තුවෙන් හංදියේ බලා සිටින අප්පුහාමි මාමා ය. එතැන් පටන් ඔහු පොඩි එකාගේ ජීවිතයට කිසියම් මඟ පෙන්වීමක් කරන අතර එය කලින් බාප්පාගෙන් පැමිණි ආකාරයේ ආධිපත්‍යධාරී එකක් නොවේ. අනෙක් අතට පොඩි එකා වෙතින් අප්පුහාමි මාමාට පෙරට වැඩි ශක්තියක් හිමිවෙයි. පොඩි එකාගේ ප්‍රචණ්ඩ හැසිරීම් හා ඔහු කරන කටයුතු පාලනය කිරීමේ හැකියාවක් ඔහුට නොමැත. ගමෙහි කෘෂි ආර්ථීකය නියෝජනය කරන අප්පුහාමි මාමා ගේ පොඩි එකා කෙරෙහි වන පීතෘ ස්වභාවය ගමේ පාතාල/අඳුරු ආර්ථීකය නියෝජනය කල බාප්පා වෙතින් පල වූ ප්‍රචන්ඩ පීතෘ ස්වරූපයෙන් වෙනස් වූවකි.

අක්කා මිය ගිය පසු අම්මා වෙනුවෙන් අක්කා කල යුතුව තිබූ බොහොමයක් දෑ සිදු කරනු පෙනෙන්නේ අප්පුහාමි මාමාගේ දුව වන පුංචි මැණිකා අතිනි. පොඩි එකා සිරෙන් නිදහස්ව එන පලමු දිනයේ ඇය අම්මාට කෑම රැගෙන එන දර්ශනය මේ අර්ථයෙන් සුවිශේෂී වෙයි. එහි දී අප දකින අප්පුහාමි මාමා, පොඩි එකා, පුංචි මැණිකා සහ අම්මා සමරූපී වන්නේ මීට පෙර තලය තුල බාප්පා, පොඩිඑකා, අක්කා සහ අම්මා යන සැකැස්මට ය. නමුත් අම්මා නැවතත් පරිවාරයට ගමන් කරන්නේ මෙහිදී ඈ විකල් සිහි ඇතිව සිටින බැවිනි. නමුත් ඇය පුංචි මැණිකාගේ චරිතය අක්කා ගේ භූමිකාව වෙත ඔසවා තැබීමට දායක වෙයි.

අම්මා සේම අප්පුහාමි මාමාගේ බිරිඳ ද නිශ්ක්‍රිය හා නොවැදගත් චරිතයක් වෙයි. චිත්‍රපටය පුරා අප දකින්නේ අප්පුහාමි මාමාගේ කැඳවීම් (සමහර විට නිර්නාමික) වල දී ඔහු වෙත පැමිණෙන්නේත් එකී කාර්යයන් නොපිරිහෙලා ඉටු කරන්නේත් ඔහුගේ බිරිඳ නොව දෙවන තලය තුල අක්කා ගේ භූමිකාව වෙත එසවී සිටින පුංචි මැණිකා වන බවයි. මුල් තලයේ දී මෙන්ම පොඩිඑකාට වඩා වැඩියෙන් අක්කා වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් පීතෘ භූමිකාව සතු බව පෙනෙයි. නමුත් කලින් තලයේදී මෙන් පොඩි එකා, අක්කා වෙත ප්‍රවේශවීම සීමා කිරීමට හෝ එයට තහංචි දැමීමට තරම් මෙවර පීතෘ භූමිකාව බලවත් නොවේ. පොඩි එකාට අප්පුහාමි මාමාට අභියෝග කිරීමේ හැකියාව ඇත. අප්පුහාමි මාමා වඩාත් ලැජ්ජාවටත්, අවමන් කරනු ලැබූ හැඟීමටත් පත්වන්නේ පොඩි එකාගේ මේ අභියෝග කිරීම නිසාවෙනි.

පලවන තලය සැබෑවක් නම් දෙවැන්න කිසියම් අතිනාටකීය පරිකල්පිත මානයක් දරා සිටියි. මැඬවීමේ තරඟයේ ඇති වීරකාව්‍යමය ස්වරූපය, යාතු කර්ම, හරක් හොරාට දඬුවම් කරන ස්වභාවයේ පවත්නා අධිහිංසනය, පුංචි මැණිකාගේ කෙස් වැටිය කපා දැමීම, අම්මා සමඟ ගෙය ගිණි තැබීම මේ ආදී වන රූප පෙල යථාර්ථයේ අතරමැද ස්වරූපයක් නියෝජනය නොකරයි ද? අනෙක් අතට සාමාන්‍ය නීතිය යනුවෙන් කිසිවක් මේ තලය තුල නොපැමිණෙන අතර ප්‍රශ්න විසෙඳන්නේ මිනිසුන් මුහුණට මුහුණ ගැටීමෙනි. එය ඉඟි කරන්නේද ඕනෑම දෙයක් සිදුවිය හැකි කල්පනීය ලෝකයක් පිලිබඳව ද?

පළවන තලයේදී පියා ඝාතනය කොට ලබාගත නොහැකිවූ අක්කාගේ ආදරය කරා පොඩි එකා ප්‍රවේශ වන්නට උත්සාහ කරන්නේ දෙවන තලයේදීය. නමුත් පළවන තලයේදී අහිමිවූ අක්කා දෙවන තලයේදී හමුවිය යුතු වන නමුත් මෙහිදී ඇය/ පුංචි මැණීකා විසින් ඔහුව ප්‍රතික්ෂේප කරනු ලබයි. ඒ ඔහුගේ මුහුණට කෙළගසා අවමන් කරනු ලැබීමෙනි. ඔහුගේ නැවත ඉපදීම සිදු වන්නේ ඉන් අනතුරුව ය.

මෙම ප්‍රතික්ෂේප කිරීමෙන් වියවුලට පත්වන පොඩිඑකා පාලු රාත්‍රී පාරක තනිව ඇවිද එයි. අප්පුහාමි මාමාගේ සහචරයින්ගේ ප්‍රහාරයට ඔහු ලක්වන්නේ මෙහිදීය. මේ ආකාරයෙන් අවසන්වන දෙවන තලය අප හඳුනාගන්නේ පළවන තලයෙහිම කිසියම් දිගුවක් ලෙසිනි.

තුන්වන ත්‍රිකෝණය



පොඩි එකාව මරණයෙන් ගලවා ගන්නේ මැල් මහත්තයාය. ඔහුගේ ඊළඟ ජීවිතය ආරම්භ වන්නේ මැල් මහත්තයා ඇසුරේය. මේ තුන්වන තලයේදී ඔහුට ඇසරු කරන්නට ලැබෙන්නේ මැල් මහත්තයා, ජිනේ අයියා, සරා ආදීන්ය. මේ තලයේ මුල් අර්ධය පුරාවටම අනෙක් තලයන් දෙකෙහි මෙන් ස්ත්‍රී භූමිකාවක් හමුනොවේ. පළවන දෙකේම පීතෘ භූමිකාවන් දෙක සමඟම අක්කාගේ භූමිකාවක් පැමිණුන ද මෙහි මුල් අර්ධය පුරාවටම අපට හමුවන්නේ මැල් මහත්තයාගේ පීතෘ භූමිකාව පමණකි.

මැල් මහත්තයා යනු එක් අතකින් ගමෙහි කෘෂි ආර්ථීකයේ නාගරික ධනේෂ්වර නියෝජිතයාය. එක්තරා දර්ශනයක වී පැටවූ දැවැන්ත ලොරියක් ඔහුගේ නිවසින් නික්ම යයි. අනෙක් අතට ඔහු නගරයේ මල්ශාලා හිමියෙකි. මල්ශාලා හිමියන් අතර වන තරඟයේදී මැල් මහත්තයාගේ හැසිරීම ඔහු නගරයේ අඳුරු පාතාල ආර්ථීකයේද පිහිටන බව අපට පසක් කරදෙයි.

පොඩි එකා සිය නව ජීවිතය ආරම්භ කරන්නේ මැල් මහත්තයාගේ උපදෙස් හා අනුග්‍රහය යටතේය. පොඩි එකාට දකුණතින් කෑමට පුරුදු කරන්නේ ඔහුය. කලිසම් අන්දවන්නේ ඔහුය. නගරයේ ජීවිතයට අවශ්‍ය ඇවතුම් පැවතුම් සඳහා හුරු කරවන්නේ ඔහුය. සිය පැරණි ගෝලයින් වෙතින් පොඩි එකාට අභියෝගයන් එල්ලවෙද්දී ඔවුන්ගෙන් ඔහුව බේරා ගන්නේ මැල් මහත්තයාය. පොඩි එකාට අවි ආයුධ පාවිච්චි කරන්නට උගන්වන්නේ ද ඔහුය. දිවිහිමියෙන් මැල් මහත්තයා ආරක‍ෂා කිරීමට සූදානම්ව සිටින පොඩි එකා බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මැල් මහත්තයාට අභියෝග කරන්නවුන් ඔහුගේ අණින් පොඩිඑකා අතින් ඝාතනයට ලක් වන්නේ මේ අනුව ය. ඉන්පසු පොලීසියෙන් ගැලවීමට පොඩිඑකා රහසිගත පාලු නිවසකට යවනු ලබන්නේ ද මැල් මහත්තයා විසින්මය.

තෙවන තලයේ දී අප හඳුනා ගන්නා ස්ත්‍රී චරිතය පලමු වතාවට පොඩිඑකාට අභිමුඛ වන්නේ මේ පාලු නිවසේ දී ය. ඇගේ නම කුමාරි ය. වක්‍ර බලහත්කාරයක් සහිතව එසේම ඇගේ දෙමාපියන්ගේ ද අනුදැනුම ඇතිව එහි රඳවා සිටින ඇය මැල් මහත්තයාගේ සහ මෙම නිවසේ මෙසේ රඳවා තබනු ලබන ඔහු ගේ ගෝලබාලයින් ගේ ලිංගික භාන්ඩයකි. පසුව අනාවරණය වන පරිදි කුමාරි මැල් මහත්තයාගේ අඳුරු පාතාල ආර්ථීකය පොඩිඑකාට වඩා පරිනත ආකාරයකින් දනියි. ඇය පොඩි එකාට වඩා වැඩි කාලයක් ඒ සමඟ ගනුදෙනු කර තිබේ. ඒ අර්ථයෙන් ඇය පොඩිඑකාට වඩා වැඩිහිටියෙකි. එක් රූපරාමුවක පොඩිඑකාගේ කාමරයේ දොර අසල ටීපෝවක් මත තේ කෝප්පයක් තබා කුමාරි නික්ම යන්නේ දොරට නොසැලකිලිමත් තට්ටුවක් දැමා ගෙන ය. අප කලින් සාකච්ඡා කල දෙවන තලය තුල දී පුංචි මැණිකා ද පොඩිඑකාට තේ රැගෙන එනු අප දැක තිබේ.

පොඩි එකා නිවසට පැමිනෙන අවස්ථාව වන විට කුමාරි තමන් විසින්ම තමා ගොලු තැනැත්තියක බව හැඟවීමට තීරණය කොට තිබෙන්නේ සිය ජීවිතයෙන් හෙම්බත්වීම නිසා හෝ මැල් මහත්තයාගේ මේ වක්‍ර බලහත්කාරය කෙරෙහි දක්වන විරෝධයක් ලෙසින් වියහැක. ඇය ගොලු සහ එනිසා බිහිරි බව පොඩි එකාට පවසන්නේ මැල් මහත්තයා විසිනි. නමුත් පළමු වරට පොඩි එකාට මැල් මහත්යා කී දෙයක් අසත්‍යයයැයි ප්‍රත්‍යක්ෂවන්නේ ගොලු තැනැත්තියක් යැයි ඔහු කී කුමාරි දුරකථනයෙන් කථාකරනු දැකීමෙනි. මැල් මහත්තයාගේ වචනයට ඇති අධිකාරී බලය ප්‍රශ්ණගත වන පළවන මොහොත වන්නේ මෙයයි. මෙතෙක් ගරු කටයුතු ලෙස මැල්මහත්තයා යැයි ඔහුට කටපුරා ආමන්ත්‍රණය කළ පොඩි එකා ආවේගයෙන් කුමාරිගෙන් විමසා සිටින්නේ ''කවුද මෙහෙම කියන්න කිවුවෙ, මැල්ද'' යනුවෙනි. මේ ඔස්සේ ගොඩනැගෙන්නට ඇතැයි සිතියහැකි කුමාරිගේ හා පොඩි එකාගේ සම්බන්ධය කෙළවර වන්නේ ඔවුන් දෙදෙනා මැල් මහත්තයාගේ පාලු නිවෙසින් පැන යාමෙනි. එසැනින් ඔවුන් හඹා එන මැල් මහත්තයාගේ කැඳවීමට ඔහු සමඟ පැමිනෙනවා විනා වෙනත් විකල්පයක් ඔවුන්ට නැත. එසේ නැවත පැමිණන පොඩි එකා සහ කුමාරි අමතමින් මැල් මහත්තයා සිය වේදනාත්මක ආව්ගයන් මුදහරින දර්ශනය අපේ කියවීමේ තීරණාත්මක ලක‍ෂයක් සනිටුහන් කරයි.

එහිදී කිසියම් හැඬුම්බර එමෙන්ම ආවේගාත්මක ස්වරයකින් බැණවදින මැල් මහත්තයා කුමාරි දෙසට හැරී කියා සිටින්නේ ''මම උඹට ආදරය කළා'' යනුවෙනි. අනතුරුව පොඩිඑකා දෙසට හැරී ''මම උඹටත් ආදරය කළා'' යැයි කියයි. ''මම උඹලට සැලකුව මදිද.... උඹල දෙන්න මගේ ඇඟේ කෑලි දෙකක් වගේ හිටියෙ... මම හිතුවෙ කවදහරි උඹල දෙන්න මගේ මිනිය වළලයි කියල...''. මෙහිදී කුමාරි හා පොඩිඑකා දක්වන්නේ නිහඬ ප්‍රතිචාරයකි. මෙය කුමාරි සහ පොඩිඑකා මැල් මහත්තයාගේ දරුවන් බවට ඔසවා නොතබන්නේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිද ? තෙවන තලයේදී ත්‍රිකෝණ සම්බන්ධය වඩාත් නිශ්චිත ලෙසින් සලකුණු වන්නේ මෙම දර්ශනයෙන් පසුවය.

මුලින් පැහැදිලි කරන ලද පරිදි කුමාරි අක්කාගේ භූමිකාවට වඩාත් නිශ්චිත ලෙස ආරෝපනය වී සිටිනවා පමණක් නොව මුල් තලයේදී මෙන්ම ඇය මැල් මහත්තයා/ පියා ගේ ලිංගික බලහත්කාරයටද ලක්වෙයි. අනෙක් පසින් ඇය දිනා ගන්නට තරඟ කරන පොඩිඑකා/ පුතා පෙනී සිටියි. අනතුරුව මැල් මහත්තයා විසින් පොඩි එකාට කුමාරිව විවාහ කරදෙන්නේ (මෙය ව්‍යාජ විවාහයකි) පොඩි එකාව තවදුරටත් තමා වෙතම රඳවා ගැනීමේ උපක්‍රමයක් ලෙසිනි. එසේ රඳවා ගැනීම අවශ්‍ය වන්නේ ඔහුගේ විශ්වාසය නැවත තහවුරුකොට මංකොල්ලය සඳහා ඔහුව යොදාගැනීමටත්, අනතුරුව මේ සියල්ලෙන් ඔහුව බැහැර කරනුවස් මරාදමනු පිණිසත්ය. චිත්‍රපටයේ උච්චතම අවස්ථාව වන මංකොල්ලය නිමවීමෙන් පසු එදිනම රාත්‍රියේ පොඩි එකා ඝාතනය කර දැනටමත් දැවෙමින් ඇති සොහොනක දවාලීමට මැල් මහත්තයා සැලසුම් කරන්නේ ඒ අනුවය. ව්‍යර්ථ වන මෙම සැලස්මේදී වෙනත් අයකු අතින් මැල් මහත්තයා ඝාතනයට ලක්වන අතර පොඩි එකා දවාලීමට සැලසුම් කළ සොහොන වෙත මැල් මහත්තයාගේ මිනිය ගෙනගොස් එය දැල්වෙන සෙහොනට දමන්නේ පොඩිඑකා/ පුතා විසිනි. මියගිය පියාගේ දේහය සොහොනෙහිලා පුතා/ බෑණා විසින් එම චිතකය දල්වනු ලැබීමේ පෙරදිග/ ලාංකීය අවමඟුල් චාරිත්‍රය මෙහිදී අපගේ සිහියට නැගෙයි (පුතා විසින් මේ සිදුකරනු ලබන්නේ පළවන තලයේදී තමන් විසින් මරාදැමූ පියා/ බාප්පාගේ ඉටුකළ නොහැකිවූ අවමඟුල් චාරිත්‍රයද?). පොඩිඑකා එක් අතෙකින් මැල් මහත්තයාගේ පුතා වන අතර අනෙක් අතින් ඔහුගේ දියණිය/ කුමාරිව විවාහ කරගත් බෑණා ද වෙයි.

මින්පසුව එන අවසාන දර්ශනය තුල අප තවදුරටත් දකින්නේ පොඩිඑකා නොවේ. ජිනෙ අයියා ඔහුට 'මහත්තයා' යි ඉතා ගරු සරු ඇතිව ආමන්ත්‍රණය කරනු පෙනේ. ඝාතනය වූ පියා චිතකයෙහි දවා ලූ පුත්‍රයා තම සොහොයුරිය හිමි කර ගෙන පියාගේ ව්‍යාපාර අධිරාජ්‍යයේ අභිමානවත්ව වැජඹෙනු අපි දකිමු. පොඩිඑකාගේ චරිතයෙන් විහිදෙන මෙම පුරාකතාමය රැස්වළල්ල අපට සිහිගන්වන්නේ සියුම් සමාජ, දේශපාලන හා ආර්ථීක බල රටාවන් ද ඔස්සේ තිර ගත කරනු ලබන නූතන සිංහබාහු කෙනෙකුගේ ආගමනයක් ද?

අවසානය

මෙම ලිවීම ආරම්භයේදී අප විසින් හඳුනාගන්නා ලද තල තුනකදී පුනරාවර්තනය වන ත්‍රිකෝණාකාර මිනිස් සම්බන්ධය පොඩි එකාගේ චරිත විකාශනයේ කේන්ද්‍රීය බලවේගය බවට පත්වී ඇති ආකාරය දැන් අප ඉදිරියේ වඩා පැහැදිලි ආකාරයකින් දර්ශනය වෙයි. පළමු තලය තුල බාප්පා/ පියා ඝාතනය කරන පොඩිඑකා දෙවන තලයේදී පුංචි මැණිකා/ අක්කා හිමිකරගැනීමට උත්සාහ කරයි. එහිදී ප්‍රතික්ෂේප කරනු ලැබූ ඔහු තුන්වන තලයේදී මැල්මහත්තයා/ මිය ගිය පියාගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසුව කුමාරි/ අක්කා හිමිකරගනී. මෙලෙස ත්‍රිකෝණාකාර මිනිස් සම්බන්ධතා වල නැවත නැවත පැමිණීම පහත දැක්වෙන අවසාන මහා ත්‍රිකෝණයක් ස්ථාපනය වීමෙන් නිෂ්ඨාවට පත් වෙයි.



අතුල ලියනගේ විසින් නිර්මාණය කරන ලද සංකිර්ණ මනෝලිංගික ප්‍රශ්ණාර්ථීකයක් ද සහිත මෙම සිනමා කෘතිය කිසිදු වාරණයකින් තොරව ප්‍රදර්ශනය වන විට අපට වරක් කිසලොවුස්කි කියූ කථාවක් සිහිවේ. සමාජවාදී පෝලන්ත ආණ්ඩුව සිනමා කෘතීන් අරබයා වූ වාරණ නීති තද කරන හැම විටම සිනමාකරුවෝ කොඩි අතරින් ඒවායේ නොගැටී රිංගා යන හිම ක්‍රීඩකයන් පරිද්දෙන් වාරණ නීති අතරින් රිංගා යාමට උගත්තෝය. එසේ රිංගා යාමට ඔවුන් යෙදූ සංකේතාර්ථ වටහා ගැනීමට පෝලන්ත ප්‍රේක‍ෂකාගාර සමත්විය.

කෞශල්‍ය කුමාරසිංහ/ විදුර ප්‍රභාත් මුණසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දවස මුළුල්ලේ බොහෝ වෙහෙස මහන්සි වී වැඩපළ කිරීමෙන් පසු මිංපෙංට, දැන් මේ භවනෙහි වලව්වේ හාමුදුරුවන් සහ හාමුලා සැතපෙන්නට ගොස් සිටියෙන්ද ඈ, ඇගෙ නිදහස තාවකාලිකව ආපසු ලබාගෙන සිටියෙන්ද, උදක්ම හේතු සහගත ලෙස, මීට හුඟක් වේලාසනින් නින්දට ගොස් තිබිය යුතු විය. එහෙත්, මෑතක සිට නිදහස ලබන මේ පැය කීපය ඈට වෙසෙසින් ප්‍රශස්ත වී ඇත. එහි හැම විනාඩියක්ම ඈ බෙහෙවින් අගය කළාය. සිතමින්, සමරමින්,ඈ හට සිතේ ලොකු ලොකු සැනසුමක්, සන්සුන්කමක් දැනුණේය. දැන් ඈ ට හිරිහැර කරන කිසිවෙක් නැත. කෑ කෝ ගාමින් දෙන නියෝග, උදේ සිට රෑ වනතුරු ඇගේ කන් වල ගෝට්ටි කරන ඇණුම් බැණුම්, දැන් අන්තිමේදි නිසල වී ඇත.

දිවා කාලයේ සෙසු හැමදෙනාම මෙන් ඈද ඇගේ වෙස් මුහුණ පලඳවා ගෙන, පියකරු මඳ සිනා රැල්ලකින් මුව සරසා ගෙන, ඉස්පාසුවක් නැතිව වැඩෙහි යෙදෙමින් ඔබ මොබ දුව පැන ඇවිද්දාය. නිදහස ලැබුණු මේ පැය කීපය තුළ, වෙස් මුහුණ ගලවා තබන්නට ඈට හැකිය. ඇගේ සිතේ අගුල් හැර, එහි රහස්, ඇගේ හදවතට බලා ගත හැකිවන සේ, දිග අරින්නට දැන් ඈට හැකිය.

"මම මෙතන දැනට හත් අවුරුද්දක්ම හිටියා." ඒ පළමු වැනිසිතිවිල්ල විය. මේ සිතිවිල්ල මෑතක සිට නිතර නිතරම ඇගේ සිතට වධ දෙන්නට වී ඇත. හත් අවුරුද්දක් - කොච්චර දිග කාලයක්ද? ඒවා එසේ කිසි අමුත්තක් නොමැථිව නිකම්ම ගෙවී යාම ගැන් ඈ බොහෝ විට පුදුම වූවාය.ඒ කාලය තුල ඈ බොහෝ කඳුළු හෙලුවාය. බොහෝ රොස් පරොස් බස් ඇසුවාය. බොහෝ ගුටි බැට කෑවාය. එහෙත් මේවා සාමාන්‍ය දේ බවට, ඇගේ නීරස දිවියට හුදු පලක් නැති සැරසිලි බවට පත් වී ඇත. ඒවා ඈ ආස නොකල නමුත්, විඳ දරා ගත යුතු වූ නොවැලකිය හැකිදේය. ලොවේ සිදුවන සියල්ල සිදුවන්නේ මහ බඹෙකු කොටා තිබෙනා හැඨියටයි; ඇගේ ඉරණම වූයේ ඈ සිටි තැන සිටීමයි, ඈ වී සිටි දෙයම වී සිටීමයි. මෙය ඇගේම බොලඳ විශ්වාසය වූයේය, එය සෙස්සන් ඈ සමග කී දේ හා ගැලපුණේය.

එහෙත් අන් කිසියම් දෙයක් දැන් ඇගේ හදවත තුළ ඇළලෙමින් පැවත්තේය. එය, තවම ඈට ඒ බව නොදැනෙන නමුත්, ඈ වෙත බලාපොරොත්තුව රැගෙන එමින්, අවදිවෙන්නට පටන් ගෙන ඇත.

-පවුල [Family][1933]

බා ජින්
පරිවර්තනය - ආනන්ද කුමාර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


අක්ෂර සෙනග 2009- නිර්මාණ තරගය- විවෘත අංශය- කවි: අවසාන වටයට තේරුණු නිර්මාණයකි.

රඳවා අත්ල මුව මත -නවා හිස මේසය වෙත
හදවත රුවා පෑනට - සත්‍යය ගලා එන්නට

විඩාපත් මහළු හිරු - ගිළුනි සීතල වලාවක් තුල
ඇස් පිල්ලම් යටින් - කාලය ගලයි හෙමි හෙමින්

කලාවන් නොපිරුනු - චන්ද්‍ර වංකය මළානික
දිලෙන තරු නෙත් අතරින් - කිරණක් දෙකක් අලසව
පත්තර කන්තෝරුවේ
දූවිලි වැකුණු කවුළුවෙන්
එවන විටදී පවා
සිටින්නේ ඔහු පිලිරුවක් ලෙස
............

උදෑසන පැවති - මාධ්‍ය හමුවේදී
රට කරවන දෑත් - නො ඉවසයි හඬ නගන හදවත්
පනත් නොපනත් වුව - එතුමන්ට කම් නැත

ඒ අතර තුර,
'හිත මිතුරු' පත්තර - ගෙනියයි දිය යටින් ගින්දර.

පළුදු වූ බැමි ලංකර - අල්වමින් නෙක පැලැස්තර
මවන්නට කතු වැකි- පැවති සාදයෙදි
රස මිහිර ඉසිරුණි - මසවුළුද සපිරුණි
ශ්වේත සළුවෙන් වැසි - කළුම කළු හදවත්
පුරවමින් මධු විත - කියූ නෙක වැදි බණ
තුලාවේ එක පසෙකින් - පිරේ ඉතිරෙන්නට

වට රවුම් ගානේ - අඬබෙර ගසන පුවතුත්
නිහඬවම 'මොරදෙන' - රට වැසියන්ගෙ කරුණුත්
හිතට 'බර' පුරවන - ඇත්තම තිත්ත දසුනුත්
අනෙක් පස රැඳවෙයි - සමබර නොවී ඇලවෙයි

පුවත් ආවරණය - පාළමක් මෙනි ඉවුරු හමුවන
'විෂ බඳුන' හෝ 'ගිලටීනය' - පිරිනැමෙනු ඇත 'සම්මාන' ලෙස
......

රජුන් හා පිය නැගුවොත් - කටු ඔටුන්නක් වැනිය පන්හිඳ
තෙර පෙමින් හැමතැන - සොයයි විකිනු හදවතේ නද
පොදු ජන හද ගැස්ම - දැනිය යුතුවේ ඇසිය යුතුවේ
තෙවැනි ඇස යොදවා - මැනවින් සිතිය යුතුවේ

පරිශීලනය කල - නේක බර පත පොත
තුල තිබුණද නොදනිමි - කෙසේ මුවහත් කල යුතුද ඒ 'අසිපත'
..............

'කුරුසිය' දරාගෙන -'කල්වාරි කන්ද' නැගගෙන
අතර මග හමුවුන - 'රුදු සපුන්', 'නොම්මර රහිත වාහන' මග හැර
බදු බර, වසංගත බිය, අවනඩු, මත ගැටුම් ආදී දුක් සුසුම් උසුලන
'සමහර' පුවත් පිපාසාවෙන්, අඩපණව වැතිරුණු දූපත් වාසීන් වෙත,
කහට රස පදමැති - උණුම උණු තේ බඳුනක්
සෙනෙහස පිරුණු හැඟුමෙන් - පිරිනමන මෙන් උදයෙන්
ඔහු යන මග එබඳු වෙයි - සුසුම්, ලේ, දා බිඳු වැගිරෙයි.

කල් අකල් නොබලා -බැහැරව 'උණුසුම්' කැදැල්ලෙන්
ඔහු සිටිනා සඳ,
ඔරලෝසු කටුවට - තටු ලැබේ නම් කියා තිසමිණ
ඉතිරි අඩ යහනේ - නිහඬවම පිරිමැද
මසැස මෙන් මනසත් - වෙහෙසවා එක ලෙස
සත‍යට ඉව කරනා - හදවත් රැහැන් යා කර
අවුළුවා එළි වැට - ප්‍රභාතය එළැඹෙන්න ඉඩ හැර
රැය අළුයමට ඇදෙනා - මද අඳුරු හෝරාවක
සිවුරුහම් බාමින් නගින විට - ඔහු ගෙයි පඩි පෙල
කඩිනමින් දොර හැර - කැඳවා ගනිමි යලි මහද වෙත.

උද්‍යෝගී පලිහක්කාර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෙස් බැඳුණු මුහුණත්
සිනා පඬු ලා සිරිමත්
ගෙන තෑගි බෝගත්
අසුන් ගත්තෝ - අමුත්තෝ විත්

කෙරූ කෙරුවාවල්
නොපිරූ කල්පනාවල්
ගැහැණු වරුණාවල්
පිරිමි හිනැහෙති - දී සිනා බොල්

බැලුම් මෙන සිවිලිම
ඔන්න මෙන්න වැ පිපිරෙන
පුම්බාගත් ලියෙන
ජපකරති ගැහැණුද - 'මමායන'

මාරු කර අඹු සැමි
බදා නටතෙයි වැනි වැනී
බෙදා ගෙනැ බුදිමිනි
සුනඛයොත් - ගෙයි කොණක හිනැහුනී

මධු පුරති සැමියෝ
පුර සාරමෙනි බිරියෝ
වැලි කෙළිති දරුවෝ
උගුල ඇද හිනැහෙති - ගෙහිමියෝ

ලොකු කම් පෙන්නුවත්
අසල් වැසි සිත් තැවුවත්
ගත් ණයෙනි නිදහස්
වෙනුයෙ කෙළෙසද - හඬයි උන් සිත්

යමුනා මාලිනි පෙරේරා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ලේඛක "ගෝරන් සිමික්" කැනඩාව සිය රට බවට පත් කර ගැනීමේ අරගලය සිහිපත් කරයි.

සරයේවෝ සිට ලියමි.

මම ආපසු උපන් ගමට පැමිණියේ පවුලේ සොහොන් කොත් සෝදා පිරිසදු කරන්නටත් කිසිදා සරයේවෝ අතහැර නොගිය මගේ මිතුරන්, වෙසෙසින් ම ලේඛකයින් හමුවීමටත් ය. නගරය වටලා තිබූ ඒ කාලයේ අසන්ට ලද විහිළුවක් මට තාම මතක ය: යුදයට මැදිව තිබූ නගරයෙන් පැන යාමට එකල තිබුනේ ගුවන් තෙටුපොලෙහි-

-ධාවන පථයට යටින් වූ සුප්‍රසිද්ධ බිංගෙය පමණය. බිංගෙය මැද දී දෙපැත්තට දිව යන සොහොයුරන් දෙදෙනෙකු එකිනෙකාගේ හැප්පෙති. එකවරම දෙදෙනාම කෑ ගසන්නේ එකම වචන ය. ''අහවල් මළදානෙකද යන්නේ? එහේ ඇති මඟුළක් නැහැ''

එම ප්‍රශ්ණාර්ථයේ බර මට තවම දැනේ. දෙමළ සරණාගත ඉල්ලුම්කරුවන් වැන්කූවර් වෙරළට ළගාවන පුවත දකින මට සරයේවෝ වටළෑම සිහියට එයි. එය ලෙනින්ග්‍රෑඩ් වටලෑමට වඩා කල් පැවතුණි. ජීවිතය බේරා ගත් හැමට සිය කතාව කීමට අයිතියක් ඇත. දිනපතා නොකඩවාම ඈත සිට එල්ල වූ වෙඩි සහ ග්‍රෙනේඩ් ප්‍රහාර මෙන්ම හාමත විසින් මරාදමන ලද 10,000 වෙනුවෙන් මම කතා කිහිපයක් ප්‍රසිද්ධ කළෙමි. ඇත්තටම නම් මා ද එක් වතාවක් මරා දමා තිබුණි. ඒ 1992 දී නගරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන්ගෙන් මියගියවුන් අතර මගේ නම ද පුවත් පතක් විසින් ප්‍රසිද්ධ කිරීමෙනි.

එදින මට හැඟුණේ මා තවමත් ජීවත් වන බව මගේ අසල්වැසියනට සහ මිතුරන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමින් මඟ දිගේ ඇවිද යන අවතාරයක් ලෙස ය. අපේ සීලිමේ සිදුරුවලින් ගලා ආ වැහිවතුර එක් කරගැනීමට උගෙනමින් ද නගරයේ ආහාර සැපයුම කපා හැරීමෙන් පසු හිස්ව ගිය ශීතකරණය දෙස හූල්ලමින් ද, මධ්‍යම දුරකතන සහ තැපැල් ගොඩනැගිල්ලේ විදුලිය විසංන්ධි කිරීම නිසා අපේ දුරකථනයේ ඇති වූ බිය ජනක නිහඬතාවය විඳවමින් මාගේ දරු දෙදෙනා ද ඒ භයංකාරත්වයේ සිය භාගය භුක්ති වින්දෝ ය. අදත් අහිංසක ගිනිකෙළි විසින් වුව අප බඩතුරෙහි ක්ෂනික දැවිල්ලක් ඇති කරන්නේ ඒ ඇසූ ඇත්ත බෝම්බ පිපිරෙන හඬ සිහිපත් වීමෙනි.

තෙවසරක මගේ විඳවීම් ගැන කීමට මට තෙවසරක් ද නැතිව ගිය පවුලේ සහ මිතුරන්ගේ ලැයිස්තුව වෙනුවෙන් අමතර කාලයක් ද අවශ්‍ය ය. එහෙත් මම ස්වපිඩාකාමියෙකු නොවෙමි.

සරයේවෝ වටළෑම තුරෙහි දී මට මගේ ලිවීම් ගැන අමුතු ද්විත්ව හැගීමක් ඇති වන්නට පටන් ගත්තේ ය. කවියකු වන මට සාක්ෂිකාර ඇඳුමකින් සරසා යථාර්තය හසු කර ගැනීමට අවශ්‍ය ය. එමෙන්ම අනෙක් අතට මම මගේ ජීවිතයේ එම සම්පූර්ණ කාලයම අමතක කිරීමට තැත් කරමි.

මම යළිත් වතාවක් ඉන්නේ මැද ය. වරක් මොන්ට්‍රියල් හි කවි ගායනාවකින් පසු පරුස මුහුණැති ස්ත්‍රියක කැනඩාවට පැමිණීමෙන් පසු මනෝ වෛද්‍යවරයකු මුණ නොගැසුණිදැයි මා විමසී ය. ''නැහැ, ඒ මගේ පාඨකයින්ට කතා කිරීම ඊට වඩා වියදම් අඩු යි'' කියා මම පිළිතුරු දුනිමි. අනතුරුව ඇය සමඟ හුදකලාව කතාබවක යෙදුන මට මා අසාවත් නොතිබූ පකිස්ථාන නගරයක - ඇය පැමිණ සිටියේ එහි සිට ය - බෝම්බ පිපිරීමකින් ලද කැළැල් සහිත ඇගේ අත ඇය මට පෙන්වූ විට මට ලැජ්ජාවක් ඇති විය.

ඇයගේ ප්‍රශ්ණය විහිළුවකට හැරවීම ගැන මම සමාව ඉල්ලා සිටියෙමි. එම ප්‍රශ්ණය ඇසීම ගැන ඇය මගෙන් සමාව ඉල්ලා සිටියා ය. එකවරම අපි සාහිත්‍ය සමාජයක ආචාරශීලී කැනේඩියානුවන් බවට පත්වීමු. නමුත් එම සමාජයට බොහෝ කැනේඩියානුවන්ගේ , විශේෂයෙන්ම අනෙක් රටවල පුවත් කෙරෙහි ඇස් වසාගත් එමෙන්ම තම අසල්වාසයෙහි ප්‍රශ්ණ ඇති බව ප්‍රතික්ෂේප කල විට එම ප්‍රශ්ණ තම දොරට තට්ටු කරන්නට ඉඩ ඇති බව තේරුම් නොගන්නා කැනේඩියානුවන්ගේ, සම්බන්ධයක් තිබුණේ නැත.

මා ටොරොන්ටෝවට සම්ප්‍රප්ත වූයේ දරු දෙදෙනා සහ කැඩී විසිරී ගිය ජීවිතයක් ද සමඟ ය. ම විසින් පළකොට ඇති පොත් හි කිසිදු වටිනාකමක් දැන් නැති බව අවබෝධවීමට මට වැඩිකළත් ගියේ නැත. කැනේඩියානු කවිවර ග්වෙන්ඩිලොන් මැක්ඊවන් වරක් තැත් දැරූ පරිදි මගේ කෘතීන් ඇපයක් ලෙස තබා කිසි ලෙසකින් බැංකුවකින් ණයක් ගැනීමට බැරිවන බව මම දත්තෙමි. ඊටත් වඩා මගේ පොත් ලියා තිබුණේ මගේ පරණ රට කොටස් හයකට කැඩී ගිය පසු නැතිව ගිය සර්බියාකෝර්සියා බසිනි.

''ඔබට ණය ඉතිහාසයක් තිබේ ද?'' යැයි තමා ඉදිරියේ ඉන්නේ මානසික රෝගියකු හෝ මේ දැන් නිදහස ලද බැංකු සොරකු යැයි විශ්වාස කළ බව පෙනෙන්නට තිබූ බැංකු ලිපිකරුවකු මගෙන් ඇසීය. එතැන් පටන් මා බඩතුරෙහි වු ගින්න මාගේ මාර්ගෝපදේශකයා බවට පත් කර ගත්තෙමි.

ණයක් ගැනීම වෙනුවට බඩු පටවන සහ බාන ට්‍රක්රථ කම්කරුවකු ලෙස රුකියාවක් සොයා ගැනිමට මට සිදු විය. වෛද්‍යවරුන් විසින් නතර කරන ලෙස අනතුරු හඟවන තුරු එම වික්‍රමයේ ම යෙදී සිටීමට මට සිදු විය.

අනතුරුව මම පූර්ණකාලීන කැනේඩියානුවකු බවට පත්වීමි. පළමු පරම්පරාවේ අපේ ම කැනේඩියානුවන් සමඟ මම නොමිලයේ සහන ආහාර දෙන කෑම දීර්ඝ පෝලිම් හි දවසැරුයෙමි. සුභසාධන චෙක්පත් ලබා ගැනීමට පෝලිමේ ගිය මම ඉක්මණින් ම රුකියාවක් සොයා ගන්නා ලෙස වදාරණ සුභසාධන ලිපිකරුගේ බණ අසා සිටියෙමි. වටලෑම අතරතුර අප ලද මානුෂිය ආහාර ආධාර ඊට වඩා විවිධත්වයෙන් යුතු විය. අඩුම වශයෙන් එකළ සහන ආහාර සඳහා පැය ගණනාවක් රුදී සිටිමෙන් පසු ආපසු නිවෙස් බලා එන විට හිස් පතුරම් කොපු කිහිපයක් බෑගයට දමා ගෙන විත් යුද්ධ මතක එකතුකළ දරුවන් මවිතයට පත් කරන්නට තිබුණි.

එළෙස කැනේඩියානුවකු වීමෙන් මා මඟ හැරියේ නම් සහන ආහාර මුළුතැන්ගෙයි පෝලිමේ මා ඉදිරියන් සිටි පෝලන්තයේ සිට පැමිණි ඇනා ඇගේ දරුවන්ගේ අධ්‍යාපන වියදම් පිරිමැසීම පිණිස හෝටල තුනක් පිරිසිදු කිරීමට යන බවට කී කතාව අසන්නට ලැබෙන්නේ නැත.

එසේත් නැත්නම් මිසසගා හි පුද්ගලික සමාජ ශාලාවක ඔට්ටු අල්ලන තරඟයන් හි සහායක බොක්සිං තරඟකරු ලෙස සේවය කරන බව කී රුල්පෝ නම් මැක්සිකානුවාගේ කතාව අසන්නට ලැබෙන්නේ ද නැත. සෑම විට ම ඔහුගේ දෑස් බැද තිබූ නිසා ඔහු එතැන ලිපිනය දැන සිටියේ නැත. ඔහු දිනුවොත් පන්සියයකි. පැරදුනහොත් සමහර විට එමෙන් දෙගුණයකි.

මා කැනඩාවට නොපැමිනියේ නම් දැවැන්ත එනමුත් නොපෙනෙන ''අප'' සහ ''ඔවුන්'' අතර වෙනස තේරුම් ගන්නට ලැබෙන්නේ නැත. මගේ නව ආරම්භයට පෙම්බඳින කැනේඩියානුවකු ලෙස මම මටත් මගේ පාඨකයාන්ටත් රිදවූ පොත් කිහිපයක් පළ කළෙමි. මෑත දී සංක්‍රමණය වූවන්ගෙන් ලද ප්‍රතිචාර ලිපි කියවා බැලූ මට ''මට ආදරය නොකරන්නේ නම් ඔවුනට මා අවශ්‍ය ඇයි'' යන පැරණි ප්‍රශ්ණයේ සහජවූත් භයානකවූත් රෝගය මා ඔවුනට බෝකර ඇති බව හැඟී ගියේ ය.

සංක්‍රමනිකයකු ලෙස මට හැගෙන්නේ මා ඉතා බිදෙනසුළු මිනිස් ප්‍රභේදයකට අයත් වන බව යි. ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් තමන් ඉපදුනු රටට අයත් නැති ගමන් බල පත්‍ර හිමිකරුවන් බව කීමෙන් එම හැඟීම දුරුවන්නේ නැත. මම කල් ඉතුත් වූ මගේ බොස්නියානු ගමන් බල පත්‍රය අලුත් කර ගත්තෙමි. සංඛ්‍යාලේඛණඥයින් ආත්මය ගැන දන්නේ මොනවාද?

මෙම ගිම්හානයේ පැවැති සරයේවෝ සිනමා උළෙල ලොව නෙක දෙසින් ආ සිනමා තරු සාදරයෙන් පිළිගත්තාය. එමෙන්ම නගරය එතෙර ජීවත්වන බොස්නියානුවන් ද එළෙසින් ම පිළිගත්තාය. පූර්ව යුද්ධ බොස්නියානු ජනගහනයෙන් තුනෙන් එකක් අද ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩනය වැනි පිට රටවල ය. ඔවුනට සමච්චලයක් වැනි තනි ලේබලයක් තිබේ: ඩයස් පෝරාව.

ඔවුන් වාරික ගොවිපොල කම්කරුවන් වැන්න. සිය දරුවන් බොස්නියානු බසින් නොව ඉංග්‍රිසියෙන් කතාබව කරන්නේ මන්දැයි වික්ෂිප්ත වෙමින් මතක සටහන් නෙළා ගැනීම පිනිස යළි ආපසු සිය රට එති. මගේ මිතුරු කිවිවර අසීම් බර්කා ගේ ''යුද්දයෙන් දිවි ගලවා ගත්තේ යැයි සිතූවෝ සාමය විසින් මරා දමති'' යන වචන වල සැඟවුනු පණිවිඩය මෙනෙහි කරති.

කැනඩාවේ මගේ ජීවිතයේ දුෂ්කරතම අංශය - එනම් මා දෘෂ්‍යමාන කරගැනීම - ගැන කල්පනා කරන්නට පටන් ගන්නට පෙර ''ඇයි මෙහාට ආවේ'' යැයි කාව හරි අහන්නට කලින් මගේ සිතිවිලි අවසන් කළ හැකි පහසුතම මඟ එම වචන යැයි හැඟේ.

බොස්නියාවේ ඉපදුන ගෝරන් සිමික් කවි, නාට්‍ය සහ කෙටි කතා වෙළුම් ගණනාවක්ම පළ කර තිබේ. ඔහුගේ කෘති භාෂා නමයකට පරිවර්තනය කර ඇති අතර ඔහුගේ නාට්‍ය යුරොපයේ රඟ දැක්වෙයි. සිමික් පැරණි යුගොස්ලොවියාවේ සිටි ප්‍රමුඛතම ලේඛකයෙකි.

[ඉංග්‍රිසි බසින් පළවූ මුල් ලිපිය]

ගෝරන් සිමික්
පරිවර්තනය - සුනන්ද දේශප්‍රිය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



'මතට තිත' පල් කෙබරයක්.. ගිය වසරේ 'බාර් ලයිසන්' 2800ක් දීලා!!!
-පුවතක්




සුරාවෙහි ඇති සුවඳත් - එහි ඇති මනා සුවයත්
බොන නිරින්දෝ මිසක් - නොබන කබ්බෝ අනේ නොමදත්

කිරි දියෙනි දෙව්වත් - අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්
මොන තිතක් තිවුවත් - "බාර් ලයිසන්" මාර වැදගත්!

සුරත්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කං කං කභුරුඝමුවේ වජිරං බූරූ
බැං බැං ගගා මැර්වින්ගේ පිට සීරූ
සං සං සබරගමු කුලපති බුල් වාරූ
තුඃ තුඃ නොදෝකිං ගණගෙඩි සිංඤෝරූ

සරස් වතී දෙවි දුන් බැල්මෙන් බලන
උසස් රස සොයා තරු නැබ කිචි කවන
හුඹස් මොටද නයි මිස ගැරඬින් ලගින
මෙලෙස් ඇමැත්තෙක් වෙද රජෙකුන් ලබන?

මද්ද ගසා රුක්වල හොරු අලවන්නේ
සිද්ද "සමන් දෙවියො"යි මේ වේලෙන්නේ
ඇද්ද දපා සිටියා කඳ සුරිඳුන්නේ
බැද්ද කපා අපෙ මැතිඳා ගොඩ ගන්නේ

වෘෂණං මිරික්කං මැති සඳ පුර කළණ
පුරවං පඩික්කං සිරි සඟ ගණ සොබන
වෘෂභං අනිච්චං රූ තිර ළඟ කිරන
බලවං කුරක්කං නට නළු රස ලොවින

මෙවන් ඇමැත්තෙක් නැති සඟ දැවුනා ය
බවුන් වඩන එක පස්සට තිබ්බා ය
රවුන් තට්ට වල දාඩිය නැංගා ය
ලෙවන් ඉදිරියේ මැති කැක පුස්සා ය

කක්ෂපුට

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එකල කියූ බණා බණා
මතක් වෙද්දි හිනා හිනා
හමබිම ළඟ දණා ඇනා
තණ කෑවා ගොනා ගොනා

පෙරදිග සිට ගුණා ගුණා
හුළං කදක් ගෙනා ගෙනා
ඒක බිඳපි ශනා ශනා
අපිට ...කෙන් හිනා හිනා

අහංගම පියතිස්ස

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"රට කරවන්ට නම් සතුරන් නැතිව වටේ
හොඳ මුසලෝනියෙකු ආවොත් පිනකි රටේ!"
වතේ මෙතේ ඇති මුත් ගිනි බටේ කටේ
ලංකට් බුරුල් වී හැංගුනු කිණිසි වැටේ

ඉක්කා ගහයි පොරජා තන්තර වාදේ
ලොක්කා හරි ෂෝක් ඔබෙ හිට්ලර් වාදේ
දොක්කා ගෙන එතොත් "මානව හිත වාදේ"
කක්කා වුනත් පුසුඹයි ඔබෙ නැහැ වාදේ

දඹුලු ගොහිං තලගොයි මස් අඹරන්ට
දුඹුළු බැඳුණු නම හෝදාගෙන එන්ට
නෙරළු තුරක් යට අද හෙට බුදු වෙන්ට
කුරුළු වැදි රජුට නිසි විවරණ දෙන්ට

අඟුල් මල්, අලව් යකු බුදු ළඟ නැමුණී
සඟුන් දුටොත් එදවස රජුනුත් නැඟුනී
එවන් කෙසෙර සිහ නැටි යටි කුඹු කෙරුණී
රජුන් ළඟ රෙවිණි! යට අඳනය තෙමුනී

වැඩක් නොවෙයි මහන්සියෙන් කඩපු පැණී
ගොඩක් බිම හැළුණි හියුමොං රයිට් ඇනී
මඩක් එතොත් අපි දෙඤ්ඤං "පිරිත් පැණී"
ඩිමොක්-කොරසි නං ගොයියෝ වේරමණී!

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වේසා ගැහැණියක්
ඇඹරුණා
කෙඳිරි ගෑවා
නෑඹුල් සුදියක් ලද
හිරිමල් කෙල්ලක මෙන්.

ඉර බැස යන සඳ
මලක් සිනාසුණා කෝලව.
හිස පහත් කර ගත්තා විලිබරව.
ඒ මායමෙහි සිරවුණා බමරා.

කාන්තාර රටකින් ආ ඇඹලයෙකු
මත් වුණා පැණි බිඳුවකින්
වලස් ගෙරියකු කැරකුණා
වදය බැඳි ගස මුල.

කවියනි
මෙයයි ලෝ දහම
වීසිකොට පෑන් පත් ඉරු
බැඳ ගනිල්ලා හුලු අතු
මෙන්න ගින්දර තොපට!

[නගා මැරූ අල [Poems, Non-Poems and Anti-Poems]- 2000]

කේ කේ සමන් කුමාර [සර්පයා]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අපේ කසාදය කටුගාලා ගෙවුනු දෙවසර තුලදී
අපි මුන ගැහුනා කීප විටක් කඩ මන්ඩියේදි

පාර පනිද්දි ඔබ එක් වරක් මා දිහා බැලුවා

අපේ දරුවවත් ඇදගෙන ඔබ දුවනව දැකල බස් එකට
මම ඔහුව උස්සලා තිබ්බා පා පුවරුවෙන් උඩට
ඉක්මනට ගැන්නෙන්න
ඔබේ තුරුලට

වරක් මම
පදිකාව දිගේ එමින් සිට
නිකමට
ඔබ ඉන්නවද බලන්ඩ
තැපැල් පෙට්ටිය ඉදිරිපිට
රේන්ද සලු පිලි හලට එබුනා

වේගයෙන් ගසාගෙන ගිය බස් එකක
දවසක්
ඔබේ හිනහව
රිදී ඉරක් සේ ඇදී ගියා හරහට

මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගෙනද මන්දා

මගේ දෙවන බිරිඳ
ඇගෙන් මට දරුවො නැහැ
ඊයෙ රෑ කෑම පිහද්දි
මට දැනුනා අතීත සුවඳක්
මතකයට ආවා
කුස්සියේ ඉස්සර හැඩය
හැඳි අලුව කලින් එල්ලුනු තැන
දිය මැස්ස වට්ටි ආන එදා තිබුනු පිලිවෙල

මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගෙනද මන්දා

[මාරියාව- 2008]

අජිත් තිලකසේන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බඹර වළල්ල චිත්‍රපටිය බලන්නට මගේ කකුල් දෙක ඉක්මන් නොවූ කාරණා දෙකක් තිබුණේය. එකක් එය හූස්ටන් යැයි කියන සම්මාන උළෙලකින් හොඳම අධ්‍යක්ෂණයට හා කැමරාවට සම්මාන ගත්තේ යැයි දාගෙන ගිය ලොකු සද්දයයි. හූස්ටන් යනු චිත්‍රපටි ගැන දන්නා කිසි කෙනෙක් ගණං නොගන්නා ඒ වගේම එම උළෙලට ඉදිරිපත් කරන ඕනෑම චිත්‍රපටියකට මොකක් හෝ වර්ගයක සම්මානයක් දෙන වර්ගයේ දෙකේ කොලේ සම්මාන උළෙලකි. ඒ සම්මානයෙන් පිදුම් ලැබුවේ නැති අධ්‍යක්ෂකයින් ලංකාවේ ඉන්නේ අතලොස්සකි. ඒත් සම්මාන උළෙලේ තරම දැනගත්තායින් පසු-

-ඒ කවුරුවත් ඒ සම්මාන ගැන කතා කරන්නට ආවේ නැත. නමුත් අතුල ලියනගේ එතැනදී ලුම්පන් වැඩක් කළේය. ඒ සම්මාන මෙහේ විකුණන්නට ඔහුට එහෙම ලැජ්ජාවක් තිබුණේ නැත. ඒ වගේම ජැක්සන් ඇන්තනි වගේ සිනමාව ගැන මෙලෝ මළදානයක් නොදන්නා අයට ඒ සම්මාන ගැන කියවන්නට අවුලක්ද නැත.

දෙවන කාරණය චිත්‍රපටිය හා සම්මාන ටික උස්සාගෙන අතුල, මහින්ද රාජපක්ෂ හමුවීමට යාමය. චිත්‍රපටියක් උස්සාගෙන මෑත කාලයේ තමන් දුටු හොඳම චිත්‍රපටිය 'මයි නේම් ඉස් කාන්' යැයි කියූ මහින්ද ළඟට යාමෙන් කියන්නේ ආණ්ඩුව කියන හැටියට 'මහින්ද චින්තනයට' අනුව චිත්‍රපටි හදන්නට තමන් දිවුරා පොරොන්දු වෙන බවයි. මහින්ද චිත්තන සම්ප්‍රදායේ චිත්‍රපටි බලද්දී මගේ දත් හිරි වැටෙයි.

ටීවීටී එකේදී මට අතුල මුණගැහුණේය. චිත්‍රපටිය රට පුරා අරගෙන යන්නට ඔහු කරන දැඟලිල්ල ගැන එතැනදී මට දුක හිතුණි.

'චිත්‍රපටියක් කරන එක නෙමෙයි වැඩේ ඒක අරගෙන යන එක' අතුල මට කිව්වේය.
'හැම අධ්‍යක්ෂවරයෙක්ම කරන්නේ නිෂ්පාදකයාගේ සල්ලි ටික අරගෙන වැඩේ අත්ඇරලා දාන එක. මට ඒක කරන්න බෑ. නිෂ්පාදකයා බේරගන්න මං මහින්ද නෙමෙයි කවුරු ගාවට වුණත් යනවා'

'ඉතිං මචං මහින්ද ළඟට ගිය එකේ සල්ලි ටික එතනින්ම එන්න විදිහක් හදා ගත්තා නං හරිනෙ. ඔය කට්ට කන්නෙ නැතුව?'

මං ඇහුවේ චිත්‍රපටිය දුවවන්නට කුඹුරක හරකෙක් තරම් මැඩවෙන ඔහු ගැන අනුකම්පාවෙනි. සිනමාව ගැන මට ඇති ශෘංගාරය හෝ සෞන්දර්ය වෙනුවට ලේ ගලන වේදනාවක් ඔහු විඳිමින් සිටියේය. අවසානයේ චිත්‍රපටිය බලන්නට මං රීගල් එකට ගියේ අතුලගේ ශ්‍රමයට හදවතින්ම උපන් ගෞරවයෙනි. චිත්‍රපටියක් කිරීමෙන් හා එය මා ආදරය කරන උණුසුම් ප්‍රේක්ෂකාගාරයකට පෙන්වීමෙන් ආනන්දයට හා සංතෘප්තියට පත්වන මට වඩා වෙනස්ව මේ කර්මාන්තයේ දහඩිය වගුරන කම්කරුවන් වැනි සිනමා අධ්‍යක්ෂවරුන් ගැන උපන් වේදනාවෙනි.

''මට ඒක විනෝදයක්... ඒත් ඔවුන්ට ඒක ජීවිතය සහ මරණය අතර වෘත්තීමය සටනක්''
-ෆ්‍රැන්සිස් කොපෝලා


රීගල් සිනමා ශාලාව අන්ත දිළිඳුය. එතන චිත්‍රපටියක් වින්දනය වෙනුවට තිබෙන්නේම මුඩුක්කු වර්ගයේ ආතල් එකකි. ඒ මදිවාට ජාතික ගීතය වාදනය වන්නටද පටන් ගත්තේය. චිත්‍රපටියක් බැලීමේ සෞන්දර්ය විඳින්නට ආපු මම ජාතික හැඟීමෙන් කෙලින් වෙන්නට අකමැතිව හිඳගෙනම සිටියෙමි. පිටුපස සිටි ජාත්‍යාලයෙන් කිති කැවුණු කෙල්ලන් පිරිසක් ඒ ඉඳගෙන සිටීමෙන් මගේ සිංහලකම මැනගන්නට නොහැකිව අර්බුදයකට ගියේය. කොහොමෙන් හෝ ඉතාම පරණ විදිහේ ප්‍රවේශ නාමාවලියකින් චිත්‍රපටිය පටන් ගත්තේය.

ආරම්භක රූප පෙළ මගේ හිතේ බලාපොරොත්තුවක සේයාවක් ඇති කළේය. කැමරාව පාවිච්චි කරන සියුම් තැන් කීපයක් දකිද්දී මං අසුනේ තවත් හරිබරි ගැසී හිඳ ගත්තේ කිළිපොලා යන ආස්වාදයක් බලාපොරොත්තුවෙනි. නීටා ප්‍රනාන්දු දැක්ක ගමන් මගේ ඒ හැඟීම නන්නත්තාර විය. පාරේ රස්තියාදු වන වෙසඟනක් පරිදි මේක්-අප් දමා සිටි ගැමි දුක් විඳින ගැහැණු චරිතය චිත්‍රපටියේ සියල්ල බිංදුවට බස්සයි.

'මං ගස් හිටවලා ඒවා ලොකු වුණාම ඒවයේ ගෙඩි කන මිනිහෙක්'

අතුල එකම දෙබසක් නැවත නැවත කීමෙන් චරිතයක් ගොඩනංවන්නට හදයි. කසිප්පු පෙරන බාප්පා මෙන්ම මැල් මුදලාලිද ඒ වගේය.

'මං වළලන්නෙ මැරිච්ච මිනිස්සු'

ඒත් මේ දෙබස් වලින් චරිතය ගැඹුරු කරනවා වෙනුවට තිර රචනය බාල කරයි. ඒ වගේම තිර රචනාව ලියැවී තියෙන්නේමත් හුඟක් පරණ තාලේ විලාසිතාවකිනි. හොඳ යැයි මුලින් පෙනෙන චරිත පසුව ඉතා අඳුරු චරිත බවට පෙන්වීමේ එකම විදිහක රටාවක් තිර රචනාවේ එයි. ඒක අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයා සමඟ කරන ජෝක් එකක් වගේය. ඔහු චිත්‍රපටයේ චරිත ඔහුට ඕනෑ ඕනෑ හැටියට ඒ අතට මේ අතට පෙරලයි. ඒ නිසා ප්‍රේක‍ෂාගාරය පොඩි උන් ටිකක් යැයි හිතාගෙන කරන සෙල්ලමකට වඩා ගැඹුරක් දෙන්නට ඒ චරිත වලට පුළුවන් වෙලා නැත. ඒ චරිතවලට ජීවිතයක් නැත. තිර රචකයා තමන්ට ඕන ඕන හැටියට චරිත වල හැඩ තල මාරු කරයි. උදාහරණයක් විදිහට මුලින්ම අපි දකින 'අල් පැචිනෝ' වර්ගයේ මැල් මහත්තයා අන්තිම හරිය වෙන කොට හොටු පෙරන්නෙක් බවට පත්වෙයි. අකුරක් වත් දන්නෙ නැති වයසෙදි හිරේ ගිය 'පොඩි එකා' ලොකුවෙලා එන්නේම හරි තියුණු බැල්මකින් සහ ගැඹුරු ඉරියවු වලින් යුතුවයි.

'මට සමහර දේවල් තේරෙන්නෙ නෑ' කියන වෙලාවට පමණක් ඔහු මෝඩයෙක් බවට පත්වෙයි. ප්‍රධාන චරිතය වන පොඩි එකාගේ චරිත නිරූපණයම අවුලකි. අපිට පේන්නේම අතුලය. පොඩි එකා හිර ගෙදරදී මැරිලාය.

චරිත හැසිරෙන්නේ ඒ ඒ වෙලාවට සිද්ද වෙන සිද්දියට අනුවය. ඒ නැතුව ආරම්භයේ පටන් චරිතවලට ගොඩ නැගෙන පැවැත්මක් චිත්‍රපටිය පුරා ගෙන යන්නට තිර රචකයා වගේම අධ්‍යක්ෂවරයාටද බැරි වී තිබේ. ඒකට කියන්නට වෙන්නේ මේ චරිත 'බංකොලොත්' යන්න පමණකි. පත්තර කීපයකින් ලොකුවට උඩ දමා තිබුණු මහේන්ද්‍ර නිරූපණය කරන මැල් මහත්තයා නිරූපණය වෙන්නේ ලෝකල් පැචිනෝ කෙනෙකුගේ සිට මහේන්ද්‍ර පෙරේරා දක්වා පරාසයකය. කොටින්ම වළලන්නේ මැරිච්ච මිනිස්සු කතාව පවා ඔහුට අන්තිම වෙන විට අමතක වෙයි.

චිත්‍රපටිය ගෝඩ් ෆාදර් වගේ කරන්නට ගිය බව පැහැදිලිය. ඒ වගේම ගෝඩ් ෆාදර් චිත්‍රපටිය තේරෙන්නට අතුල තාම පරිණත නැති වගත් ඒ වගේම පැහැදිලිය. ගෝඩ් ෆාදර් චිත්‍රපටිය පුරාම හොඳින් ගොඩ නැගුණු තව තවත් ගැඹුරින් ගැඹුරට යන චරිත වෙනුවට අතුල ගේ චරිත උන් හිටි තැන් මරු කරයි. කැලේ මාරු වෙද්දී කොටියාගේ පුල්ලිද මාරු වෙයි. 'කලින් දැක්කේ මෙයාමද?' කියා නොයෙක් වර අපට සිතේ. අතුලට වගේම ගෝඩ් ෆාදර් චිත්‍රපටිය ජැක්සන්ට තේරෙන්නේද නැති බව ඔහු ලංකාදීපයේ කියා තිබේ. ජැක්සන් ට බඹර වළල්ල පේන්නේ ගෝඩ් ෆාදර් වගේමය. ඒක කියවද්දී මට කාරණා කීපයක් එකවර පත්තු විය.

එකක් චිත්‍රපටි බැලුවාට චිත්‍රපටි තේරුම් යනවා කියන එක වෙන කාරණාවක් බවයි. ගෝඩ් ෆාදර් කියන්නේ අපේ චිත්‍රපටි ගැන කිචියක් ඇති ළදරුවා පවා දෙතුන් වර බලා දැන් විසි කර දමා ඇති චිත්‍රපටියකි. ලංකාවේ චිත්‍රපටි කරන සහ කියවන ගොඩක් අය කොපෝලා ගෙන් සහ ඩේවිඩ් ලීන් ගෙන් මෙහාට තවමත් ඇවිත් නැත. ඇත්තටම කොපෝලා- ලීන් තේරෙන වයසටවත් ඇවිත් නැත. ගෝඩ් ෆාදර් චිත්‍රපටියේ චරිත වල පසුබිම් දේශපාලනය ඉතා සියුම් අකාරයෙන් ගොඩ නංවා තිබේ. අඳුරු චරිත ඇතුළට ගමන් කරමින් ඒවයේ අළු සහ සුදු වර්ණ කොපෝලා මතු කරන්නේ අඳුර තුලින්මය. ඒ වෙනුවට අතුල මෙතැනදී කරන්නේ පොඩි එකාගේ වැඩකි. හොඳ චරිත වල නරක ඇති බවත් නරක චරිත වල හොඳ ඇති බවත් කියන්නට යාම බාලාංස වර්ගයේ ගොඩනැංවීමකි. ඔහුගේ හොඳ චරිත නරක කරද්දී චරිතය මෙතෙක් හැසිරුණු ජීවිත දේශපාලනයම වෙනස් වෙයි. වෙනම ජීවිතයක් වෙයි. ජැක්සන්ට මේක කොපෝලා වගේ පෙනීම හරිය. ඒ කියන්නේ ඔහුට කොපෝලා පේන්නේ අතුල වගේ කියන එකය.

ලංකාවේ පේමන්ට් එකේ පවා හොඳ චිත්‍රපටි වල ඩීවීඩී තිබෙන නිසා අපි කාට වුණත් අතිශය සම්භාව්‍ය මට්ටමක කෘතියක් වුණත් රුපියල් දෙසීයකට බලන්න පුළුවන්ය. නමුත් ඒ චිත්‍රපටිය කියවන්නට ඒ බැලීමම ප්‍රමාණවත් නැත. ඒකට හැදෑරීමක් උවමනාය. තමන් සහ චිත්‍රපටිය අතර තමන් සිටින තැනින් එහාට තමන්ව ගෙන යන සංවාදයක් උවමනාය. ජැක්සන් කොපෝලා බලද්දී වෙන්නේ 'මං කොපෝලාත් බැලුවා' කියන වර්ගයේ කතාවක් මිස 'කොපෝලා මාව වෙනස් කළා' වගේ සංවාදයක් නොවේ. එයාට ගෝඩ් ෆාදර් 'පොඩි එකා' වගේ පේන්නේ ඒ නිසාය. ලංකාවේ ඔක්කොම ජැක්සන් ලාට බඹර වළල්ල මාර වෙන්නේත් ඒ නිසාය.

අතුල මේ කාලයේ ගෝඩ් ෆාදර් වර්ගයේ චිත්‍රපටියක් කරන්න හිතන්නේ ඇයි? ගෝඩ් ෆාදර් ගෙන් පසු ඊට වඩා සියුම් අකාරයෙන් සහ වඩාත් මානුෂීය සිනමාත්මක කතිකාවන් අතරින් කෙරුණු චිත්‍රපටි එලෝ කෝටියක් තිබේ. ඒ එක්කම මේ වන විට ලෝකයේ එම ක්ලැසිකල් වර්ගයේ ප්‍රවේශයන් සමඟ තාර්කිකව ගැටෙන දියුණු විකල්ප සිනමාවන් තිබේ. උදාහරණයක් හැටියෙන් ටැරන්ටිනෝගේ ගැන්ග්ස්ටර් චිත්‍රපටි ප්‍රවේශය දියුණු ආකාරයෙන් ගෝඩ් ෆාදර් සිනමාව අතික්‍රමණය කරයි. නමුත් අතුල සිය කූළුඳුල් චිත්‍රපටිය කරන්නට ආයිමත් කොපෝලා දක්වා පසුබසින්නේ ඇයි? අපේ සිනමා නොදැනුමේ තරම ඒ තරම් නිසාද? අපේ විඳීමේ අවකාශය ඇත්තේ වත්මන් ලෝකයට දශක ගාණක් අතීතයේ නිසාද? මෙබඳු කෞතුක වර්ගයේ සිනමාවකින් තමන්ගේ පළමු සිනමා ප්‍රකාශනය කරන්නට තීරණය වුණේ අතුල ගේ සිතීමේ සීමාවන් හරහාද?

''මට හිතෙන විදියට ගෝඩ් ෆාදර් චිත්‍රපටියට කලින් තමයි, ඉතා කුඩා පිරිසක් සහ උපකරණ ප්‍රමාණයක් එක්ක හුඟක් පුද්ගලික චිත්‍රපටි හදන්න උවමනා වුණු නියම ෆැන්සිස් (කොපෝලා) හිටියේ... ''
-ෆ්‍රැන්සිස් කොපෝලා


මඳක් දුර සිට චිත්‍රපටිය තනිකරම 'ගිණි අවි සහ ගිණිකෙලි 2' වර්ගයට වැටේ. ඒ මදිවාට ඒ ක්‍රියාදාම සිද්දීන් ගොඩනැගෙන්නේද මන්ද බුද්දික විදිහටය. රාළහාමිගේ කකුල් කපා දැමූ බව දැන දැනත් අපේ වීරයා, පොඩි එකා මෝඩයෙකු සේ උළු මෝලේ සල්ලි හොරකම් කරන්නට යයි. ඒ සල්ලි සුවචව කීකරුව මැල් ට ගෙනැත් දී පොඩි එකා සුවසේ නිදයි. මැල් පොඩි එකා ගේ බෙල්ල කපන්නට යන්නේ ලේන්සුවක් එහෙම මූණට දමා සිනිඳුවටය. පිටිපස්සෙන් එන රාළහාමි මැල් ට වෙඩි තියයි. මෙතැනදී පොඩි එකා හිරේ හැදී වැඩුණු එකෙකුට වඩා අඩු මාසෙන් ඉපදුණු එකෙකුගේ තත්වයට වැටේ.

තවත් තැනක පොඩි එකා ඔහු සිත් ගත් කෙල්ලගේ කෙස් වැටිය කපා දමයි. ඇගේ පියා මනෝරත්න හඬා වැටෙන්නේ ඇගේ බෙල්ල කැපුවෙ නැත්තෙ ඇයි කියමිනි.

කතාවේ ගොඩක් තැන් වල හරි ගුප්ත විදිහට බර කරලා කියන දේවල් වල කිසි තේරුමක් නැත. දමිතා එක තැනකදී හරි බයානක විදිහට 'මැල් මහත්තයාගෙන් අපිට ගැලවීමක් නෑ' කියන්නේ කිසි හේතුවක් නැතුවය. අන්තිමට බලන විට මැල් යනු කිසි දෙයක් කර ගන්නට බැරි මෝඩ බයියෙකි. 'කරන දේ මං ඊළඟට කියන්නං' කියමින් හැම දෙයක්ම තිතට සැලසුම් කර ඇති බඳුව හැසිරෙන මැල් තමන්ගේ මිනීපෙට්ටි සාප්පු වසා දමමින් ගෙවල් පවා සින්න වෙද්දී කරන්නේ අසරණයෙකු ලෙස සුසුම් ලෑම පමණකි.

චිත්‍රපටිය පුරාම ප්‍රේක්ෂකයාට දැනෙන්නේ අතාර්කික සිද්දි හා චරිත ගණනාවක් ඔස්සේ තමන්ව මෝඩ විදිහට පහළට ගලායාම පමණකි. ඒ දුර්වලකම වසන්නට අතුල පාවිච්චි කරන්නේ කිසි තේරුමක් නැති ගුප්ත දාර්ශනික වර්ගයේ දෙබස් විතරය.

'සිනමා සංගීතය ගැන ඉගෙන ගන්නට කසුන් කල්හාරගේ සංගීතය අහන්න' යැයි බඹර වළල්ලේ සංගීතය ගැන කතාවක් මට අසන්නට ලැබුණේය. මට කියන්නට ඇත්තේ සිනමා සංගීතයේ නොදැනුම ගැන උදාහරණයක් හැටියට බඹර වළල්ලේ සංගීතය ඉතා හොඳ බවය. කසුන් ගේ අතින් නිර්මාණය වී ඇති සංගීතය චිත්‍රපටියට කිසිඳු මෙහෙයක් නොකරයි. එය පැත්තකින් එල්ලා වනා තිබේ. ඉන් චිත්‍රපටියට දෙන ආලෝකයක් හෝ චිත්‍රපටිය බලා එළියට එන විට හිතේ ඇති කරන මූඩ් එකක් හෝ නැත. කොටින්ම සංගීතය ඇතැම් තැනක නිකං තාලයක් විතරය. කිසි අදහසක් නැත.

ලාංකීය සිනමාවෙ නවතම ප්‍රවේශය ඇත්තේ මෙතැන නම් ඒ සිනමාව ජැක්සන්ලාට අතුල ලාට සහ මහින්ද චින්තනයටම බාර දී වෙන වැඩක් කර ගන්නවා ඇරෙන්නට අපිට කරන්න දෙයක් නැත. ජැක්සන් විසින් ලංකාදීපයේ වැරදියට පාවිච්චි කර ඇති ඔහුගේම කියමනක් හරියට පාවිච්චි කරමින් මේ කතාව අවසන් කරමි.

'ලාංකේය කලා සම්ප්‍රදායේ අලුත්ම ප්‍රවණතාව වැරැද්ද ප්‍රමිතිගත කිරීමයි. වැරැද්ද නිවැරැද්ද සමඟ ගැටෙන කල් වැරැද්ද සහ නිවැරැද්ද වෙන් වෙන්ව හඳුනාගැනීම පහසුය. එහෙත් වැරැද්ද නිවැරැද්ද ලෙස ප්‍රතිගත වූ විට වැරැද්දේ පැවැත්ම ස්ථාවර වන්නේය'

කට බොරු කීවත් දිව බොරු කියන්නනේ නැත.

චින්තන ධර්මදාස

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එක්තරා භික්ෂුනියක්, රුපියල් තිස් පන් ලක්ෂයක් තවත් කාන්තාවකගෙන් වංචා කළාය යන චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පසු ගිය දා පුවත්පත් වාර්තා කෙළේය. දෙවැනුව කී කාන්තාව මේ භික්ෂුනියට අර කී මුදල ගෙවා ඇත්තේ, ආධ්‍යාත්මික සේවයක් අපේක්ෂාවෙනි. එනම්, නිවන් යා හැකි මග පෙන්වා දීමේ පොරොන්දුව වෙනුවෙනි.

නිවනට යන මග රුපියල් තිස් පන් ලක්ෂයක් ගෙවා සොයා ගත හැකි නම් බොහෝ සංඝයා වහන්සේලා එම සේවාව ලබා ගනු ඇතැ යි කෙනෙකු සිතිය යුතුය. එහෙත් මේ සම්බන්ධයෙන් මර්වින් සිල්වා කී ප්‍රතිවිරුද්ධ මතයක් ද තිබේ. ඔහුට අනුව, අද සිටින බොහෝ භික්ෂූන් වහන්සේලා, තපස් රැකීමට ගිය සිදුහත් කුමාරයාගෙන් මූලික වශයෙන් වෙනස් වෙත්. එදා සිදුහත් කුමාරයාට තේරීම් දෙකක් තිබුණි. එකක්, සක්විති රජකම ලැබීමය. අනික, බුදු වීමය. ඔහු තෝරා ගත්තේ සක්විති රජකම නොව, බුද්ධත්වයයි. අද සිටින භික්ෂූන් වහන්සේලා,-

-මර්වින් සිල්වාට අනුව, මේ දෙක අතරින් තෝරා ගන්නේ බුද්ධත්වය නොව, සක්විති රජකමයි. ඒ නිසා අද උන්වහන්සේලා සිය දායකයන්ගේ බරපැණින් හෝ තිස් පන් ලක්ෂයක් වියදම් කළොත්, ඒ නිවනට යාමට නොව, පාර්ලිමේන්තුවට රිංගන මගක් සොයා ගැනීමටය යන්න මර්වින් සිල්වා කී අදහසේ සාරයයි.

රජකම හෙවත් දේශපාලනය බුද්ධත්වයට වඩා වටිනා දෙයක් බවට පත්ව තිබීම අරුමයක් නොවන්නේ, ආධ්‍යාත්මික විමුක්තියට වඩා ලෞකික සැපත උත්තුංග බව අද සමාජයට පෙන්වා දෙන්නේම සංඝ රත්නය වන බැවිනි. ලෞකික සැපත පස්සේ දුවන්න එපා යැයි දේශනා කරන භික්ෂුවක් බණට වඩින්නේ සුඛෝපභෝගී මර්සිඩීස් බෙන්ස් රථයකින් නම්, ඔහුගේ ධර්මයට වඩා පෘථග්ජනයන්ගේ හිත යන්නේ තමනුත් අත්පත් කරගත යුතු සුඛෝපභෝගීත්වයක් කෙරෙහිය. තොල් රතු කරන ප්‍රකට මන්ත්‍රී භික්ෂුවක්, බණකට වඩින්නේ ඔහුගේම කැමරා කණ්ඩායමක් සහ හඬ පද්ධති හසුරුවන නියාමක පිරිසක් ද සමගිනි. බණ සංවිධානය කරන අයවළුන්ගේ කැමරාවේ කාචය පිළිබඳ ඔහුට විශ්වාසයක් නැත. ඔහුගේ රූප සෝබාව ඉහළම මට්ටමින් ප්‍රේක්ෂකයාට සම්ප්‍රේෂණය කිරීම ඔහුගේ අරමුණයි. සංවිධායකයන්ගේ ශබ්ද විකාශනය හරහා සිය මධුර ස්වරය අංශු මාත්‍රයකින් හෝ විකෘත වීමට ඇති ඉඩකඩ වළක්වනු වස්, තමාගේම ශබ්ද විකාශන පද්ධතිය කෙරෙහි ඔහු විශ්වාසය තබයි. (මේ සියල්ලේ බරපැන දැරිය යුත්තේ බණ අසන සිල්වත් පිරිස වීම වෙනම කාරණයකි). එසේ වතුදු, මේ බණ දෙසන්නේ, සසරින් මිදීම සඳහා යැයි අපි සිතමු. එනම්, තණ්හාව ප්‍රහීන කිරීම සඳහා ය. විස නැසිය යුත්තේ විසෙන්ම නිසා තණ්හාව නැති කළ යුත්තේත් තණ්හාවෙහිම ඇලී ගැලී විසීමෙන් යැයි විශ්වාස කිරීමට මෙයින් අපට බල කෙරේ.

ඇත්තෙන්ම මෙවැනි භික්ෂූන් තරම් ගිහියන් දුස්ශීල නැත. ඔවුන් පසු ගිය දා ඇති වූ යුද්ධය අස්සේ, ඉස්සරට වඩා දාන, සීල, භාවනා කෙරෙහි බැතිමත් නැමියාවක් දක්වන බව පෙනේ. ඉස්සරට වඩා දරුවෝ අද දහම් පාසල් යත්. ඒ වෙනුවෙන්, ඉරිදාට සහ පෝය දාට ටියුෂන් පවා තහනම් කෙරේ. රෙද්ද බැනියම සහ ළමා සාරිය ඉරිදාට සුපුරුදු දර්ශනයකි. බුද්ධාගම සහ ජාතිකත්වය එකක් බව, යුද්ධය වෙනුවෙන් පෙළ ගැසීමේ ක්‍රියාවලිය තුළම අඩංගු විය.

ලෞකික අසිරිය සහ ජයග්‍රහණයන් මගින් අධ්‍යාත්මික වටිනාකම් සහ පුරුෂාර්ථ මණින මෙවැනි සමාජයක, අතපිට මුදල් ගෙවා නිවනට ළඟා විය හැකි යැයි කෙනෙකු විශ්වාස කිරීම ගැන අප පුදුම විය යුතු ද? මේ ප්‍රවෘත්තිය කියැවූ සැණින් මට සිතුණේ, අර භික්ෂුණිය සිර භාරයට ගැනීමට අමතරව, මුදල් ගෙවූ තැනැත්තිය වහාම ළමාරක්ෂක අධිකාරයට භාර කොට මනෝ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කළ යුතු බවයි. එහෙත්, පුරුෂාධිපති භික්ෂු සාසනයේ ඉහත කී චර්යාව ගැන සිතුණු විට, අර දෙවැනුව කී ගැහැනිය ගැන මට ඇති වුණේ අනුකම්පාවකි. ඇය හැරුණු කොට, වර්තමානයේ බැතිමතුන් සහ භික්ෂූන් නිවනට යාම සඳහා අනුයන ක්‍රමවේදය ඊට වෙනස් ද?

උදාහරණයක් වශයෙන් නූතන අසපු සංකල්පය සැළකිල්ලට ගන්න. මීට දශක කිහිපයකට පෙර අසපුවක් යනු, හැකි තාක් ගිහියන්ගෙන් ඈත්වූ, ගිහි සමාජයේ උගුල්වලින් මිදුණු, භාවනානුයෝගීව වැඩවසන සිල්වත් මුනිවර පරිශ්‍රයකි. අද අසපුව, ප්‍රසාංගික සැණකෙලි බිමකි. මේවායේ වෙසෙන්නේ, ඊනියා ධර්ම කථීකයෝය. දේශපාලනික බල පුලුවන්කාරයෝය. ධර්ම කථීකත්වය සැළකිල්ලට ගන්නේ නම්, ඔවුන් දෙසන දහම, අවුරුදු දෙදහස් පන්සීය ගණනක් වදාළ දහමට වඩා වෙනස් ද යන පැනය මතු වේ. මෙය අළුත් දහමක් නොවන්නේ නම්, ඒ සා ආකර්ශණීයත්වයක් අළුතෙන් ඇති වන්නේ, යම් ධර්ම සාරයක් වෙනුවෙන් නොව, ධර්මය ඔතන දවටනය වෙනුවෙන් බව වැටහෙනු ඇත. ඇත්තෙන්ම දවටනය සිත්කළු වීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් අන්තර්ගතය අභිබවා දවටනය ඉස්මත්තට එන දවසක් තිබෙන බව මතක තබා ගත යුතුය. ක්ෂණික භෞතික පරිභෝජනය සඳහා නම්, මේ තර්ජනය අවමය. උදාහරණයක් වශයෙන්, කේක් ගෙඩියක රස හෝ නීරස අභිබවා යන්නට දවටනයක් සතු හැකියාව ඉතා සීමිතය. පුස් රස දිවෙට දැනෙන මොහොතේ සිට දවටනයේ අරුත බොල් වෙයි. එහෙත්, ලෝකෝත්තර ඥානයක් දවටන කඩදාසියකට ඒ සීමාව නැත. මන්ද යත්, ඥානය ලෝකෝත්තර නිසාත්, හුදු ඉන්ද්‍රිය ස්පර්ශයෙන් එහි සාරය පිරිසිඳ ගත නොහැකි යැයි විශ්වාස කෙරෙන නිසාත්ය.

මේ පරිභෝජනවාදී ධර්ම ශ්‍රවණයේ දී, ඊළඟට අධිනිශ්චය වන්නේ දවටනයට වඩා දවටන්නාය. ඊට කදිම නිදසුන සෝම හිමියෝය. එතුමන්ගේ අපවත් වීම, ලංකාවේ සංඝ සාසනයේ අළුත් පිටුවක් පෙරලුවේය. සිවුරු පොරවා ගත් මන්ත්‍රී පරම්පරාවක් අද අපට ඉන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ආධ්‍යාත්මික ආරක්ෂාවක් පතා සෙවූ ලෞකික බලය කෙතෙක් වසඟකාරී වී ද යත්, දැන් ඒ ලෞකික බලයේ සේවය සඳහා ආධ්‍යාත්මික දේහය කැප කොට ඇත.

ඉහත කී පන්නයේ භික්ෂූන් වහන්සේලා රූපවාහිනියේ පෙනී සිටින විට, පුවත්පත් සාකච්ඡා දෙන විට, මන්ත්‍රී මණ්ඩලයේ දී තමන්ගේ අණ්ඩකෝෂ මිරිකා ගන්නා විට, මේ ප්‍රබන්ධය හෙළි වෙයි. එහෙත්, දේශපාලනයේ ස්වභාවය කෙබඳු ද යත්, වරක් සිය සේවය සඳහා යොදා ගන්නා කිසි බලවේගයක් නිරුපද්‍රිතව මුදා හැරීමට එය සුදානම් නැත. හරියට, පාතාලයේ සේවය සපයා ගන්නා දේශපාලන බලධාරීන් අවසානයේ එම සේවයේ මුක්තිය රැක ගැනීම සඳහා මැරයන් නැසීමට යම් අවස්ථාවකින් පසු පියවර ගන්නා සේය. වර්තමාන දේශපාලකයා ද සිය සේවය සඳහා සාසනය යොදා ගන්නේ එයාකාරයෙනි. නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පහ කළ මර්වින් සිල්වා නැවත එම තනතුරට පත් කරන්නැයි ඉල්ලා සංඝයා වහන්සේලා 1500 කගේ අත්සනින් යුත් පෙත්සමක් ඉදිරිපත් කිරීමටත්, ඒ වෙනුවෙන් බල කිරීමේ භික්ෂු රැළියක් හෙට (20) කොළඹ දී පැවැත්වීමටත් නියමිත බව අද පුවත්පත් වාර්තා කරයි.

මීට කාලයකට පෙර, 'විද්‍යාවේදී' භික්ෂුවක් ජාතික පුවත්පතක් හරහා කරළියට ආවේය. අපොස සාමාන්‍ය පෙළට විද්‍යා විෂයයන් ඉගැන්වීමට තරම් මොහු විද්‍යා හැදෑරීමක සිට ඇතත්, ඥාන විභාගාත්මක තලයේ සිට විද්‍යාවට වෙට්ටු දාන්නට ගොස් කතෝලික පල්ලියට සිදු වූ ඇබැද්දිය ගැන ඉතිහාසය නොදන්නා නිසාදෝ, නිතරම ඉස්මතු වීමට බැලුවේ, 'විද්‍යාවෙන්' බණ කියන ධර්ම කථීකයෙකු සේ ය. පසු ගිය දවසක මර්වින් සිල්වා සමග ඔහු ගත් පින්තූරයක් පුවත්පතක පළ වී තිබුණි. මර්වින් සිල්වා එකත්පස්ව බිම වාඩි වී සිටියේය. කෙලෙස් නැසීමට පේවී සිටි මේ භික්ෂුව, ස්වර්ණාලේප කොට ඇතැ යි පෙනෙන තරමේ 'සිංහාසනයක' අභිෂේක වී සිටියේය. ඒ පින්තූරය දුටු මතින් මට සිතුණේ, නිවන පිළිබඳ මගේ පුහුදුන් නොදැනීමේ හැටියට, එනම්, නිවන යනු 'අස්මිමාන සමුච්ඡේදයට පත්වීම' නම්, මේ කියන භික්ෂුව නිවන් යාමට දවසකට හෝ මත්තෙන් මර්වින් සිල්වා නිවන් යනු ඇති බවයි. ඒ, එම පින්තූරය මා කියැවූ සැටියි.

පසුව විපරම් කිරීමේ දී, මගේ කල්පනාව අයුක්ති සහගත නැතැ යි මට සනාථ විය. ඔහුටත් අසපුවක් තිබේ. මේ අසපුව විසින් ඇති කොට තිබෙන පරිසර විනාශයත්, සිය බල ව්‍යාපෘතිය තුළ ඔහු ගොඩනගාගෙන සිටින ආක්‍රමණශීලී චර්යාවත් නිසා ඒ ප්‍රදේශවාසීහු දැන් මේ භික්ෂුවට එරෙහිව නඩු මගට බැස ඇත. කොටින්ම මෙය අසරණයන්ගේ සිත් සතන් පහන් කරවන අසපුවක් නොව, බලපුලුවන්කාරයන්ගේ කීර්තියෙන් වැජඹෙන තිප්පොලකි. ඔහු ගමන්බිමන් යන්නේ, පොලිස් කොමාන්ඩෝ ආරක්ෂාවක් යටතේය. මෙය අදාළ භික්ෂුවගේ ශීලයේ තරම පෙන්වන මනා කැඩපතකි.

මා දන්නා පරිදි, වැරදි චර්යාවන්හි යෙදෙන පූජකවරුන්ගේ ලෝගු ගැලවීමේ අධිකාරයක් කතෝලික පල්ලියට ඇත. ඇතැම් අවස්ථාවල මේ අධිකාරී බලය යෙදී ඇත්තේ ප්‍රගතිශීලී අදහස් මර්දනය කිරීමට වුවත්, යම් සාසනයක අභ්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක් පැවතීම අයෝග්‍ය නැත. අපේ රටේ අධිකරණ සංඝනායක පදවි තිබුණත් ඒවා කොතෙක් දුරට මෙවැනි භික්ෂූන් නිසි මග යැවීමට දායක වන්නේ ද යන්න ගැන මෑත අතීතයෙන් නම් සාක්ෂි නැත.

(අවරදිග ආවර්ජනා. රාවය. 2010.08.22)

ගාමිණී වියන්ගොඩ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජීවිතයම දුකයි කියා උදේ හවා අහන්නට ලැබෙන රටක "දුක"ම එක්තරා ආකාරයක වින්දනයක් බවට පත්කරගෙන ඇත. මේ නිසාම දුකෙන් මිදීමට යැයි කියා තව තවත් දුකම වැළඳගැනීම සුලබ දෙයකි. වැඩිහිටියන් විසින් පාරම්පරිකව අනුගමනය කරන මෙකී දර්ශනය නිසා අවසාන වශයෙන් අතිශය දරුණු ඛේදවාචකයකට පත්ව ඇති ලංකාවේ පාසැල් ශිෂ්‍ය ප්‍රජාවේ- එක් කොටසක් මේ දිනවල තමන් විඳින්නාවූ සසර දුකින් එතෙර වීමේ දුක කෙළවරෙහි වෙති.

විවෘත ආර්ථිකය එකවර ප්‍රාදූර්භූත වීමත් සමඟම භාණ්ඩමය වශයෙන් සීග්‍ර සංවර්ධනයක් අත්කරගත් විට එය දුටු ලාංකිකයින් දුක ලෙස නිර්වචනය කළේ භාණ්ඩ පරිභෝජනයට ඉඩකඩ නොලැබීමයි. එතරම් බඩු භාණ්ඩ නොතිබූ තම කුඩා කාලයේදී අල්ප ලෙස භාණ්ඩ පරිභෝජන කර තිබීම වත්මන් වැඩිහිටියන්ට අනුව "අපා දුක්" විඳීමකි. තමන් විඳි එකී දුකෙන් සිය දරුවන්ව එතෙර කරකරවීම මෙකළ දෙමාපියන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත. තමන්ගේ සමාජ තත්ත්වය, අසීමිත ධනස්කන්දයක් රැස්කරගැනීමට වඩාත් පහසුම මාර්ගය ලෙස අධ්‍යාපනය, දැනුම දෙසට කෙන්ද්‍රගතව පවතින බවට සමාජයේ උදාහරණ බො‍හෝමයක් ඇත. එහෙයින් තමන්ගේ දරුවන්ට කෙසේ හෝ ඉහළ අධ්‍යාපනයක් ලබාදීමට සමාජයේ බහුතරයක් දෙමාපිය පිරිසක් උත්සුක වී ඇත.

ලංකාවේ අධ්‍යාපනය තුළ තීරණාත්මක වන්නේ ජනප්‍රිය පාසැල්වලට තෝරාගැනීම සඳහා වන පහ වසර ශිෂ්‍යත්ව විභාගයත්, උසස් අධ්‍යාපනය සඳහා කඩඉම් විභාගය වන අ‍ධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයත්ය. සමාජයට යහපත් මනුෂ්‍යයෙකු බිහිකිරීම උදෙසා ඉවහල් වන මිනිස් ජීවිතයේ අතිශයින්ම තීරණාත්මක කාලපරිච්ජේදයක් තුළ පැවැත්වෙන මෙකී විභාග ක්‍රමය නිසාම, අනාගතයේ බිහිවන්නේ හැඟීම් දැනීම් නැති, තාර්කික බවක් හෝ විචාරශීලී බවකින් තොර කොටින්ම මනුෂ්‍යයෙකු ලෙස සුවිශේෂී සාමාජයීය ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ නොවූ හිස් ශරීරයකි.

ළමා වියේ සම්පූර්ණ කළ යුතු කායික හා මනෝමය අවශ්‍යතා තෘප්ත නොවෙමින් නව යොවුන් වියට පියමනින දරුවන් කිසිලෙසකින් වත් ළමාවියෙහි සිදුවිය යුතු ආකාරයකට ගොඩනැංවීමක් හෝ පරිණත වීමක් සිදුනොවේ. එමඟින් පරිපූර්ණ මනුෂ්‍යයෙකු ලෙස සමාජගත වනවාට වඩා සිදුවන්නේ යාන්ත්‍රික ලෙස තරඟාකාරී හැඟීමකින් යුතු සමාජයට බද්ධ නොවූ පුද්ගලයෙකු ලෙස නව යොවුන් වියට පිවි‍සීමයි.

නව යොවුන් විය යනු ජීවිතේ ඇති සුන්දරතම අවධියක් ලෙස බො‍හෝ දෙනෙකු හැඳින්වුවද, අවුරුදු 16 සිට අවුරුදු 19, 20 දක්වා කාලය ලාංකික තරුණ තරුණියන්ගේ ජීවි‍තයේ අමිහිරිතම කාලපරිඡේදයක් බවට පත්ව ඇති බව කිවහොත් පුදුමයක් නොවේ. දරාගත නොහැකි මානසික පීඩනයෙන් යුතු, නිවෙසේ සාමාජිකයින්ගෙන් සහ සමාජයේ විවිධ කොටස් වල නිබඳ විවේචනයන්ට හසුවන, තමාට ඉටුකළ නොහැකි බලාපොරොත්තු ප්‍රමාණයක් කරපිට පටවා, බැරි බැරිව හෝ ඉලක්කය දක්වා යාමට බලකෙරෙන අමිහිරි අත්දැකීම් රාශියක් විඳීමට මෙකළ ලාංකික නව තාරුණ්‍යයට සිදුව තිබේ.

සම්පූර්ණයෙන්ම නිදහස් යැයි සම්මත අධ්‍යාපනයක් ලබාදෙනවා යැයි කීවද, උසස්පෙළ ඉගෙනගන්නා ශිෂ්‍යයෙකු හට කිසිඳු ප්‍රමිතියකින් තොර අධ්‍යාපනයක් මුදලට ලබාගැනීම සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැයකිරීමට මෙම අධ්‍යාපන ක්‍රමය විසින්ම බලකෙරී ඇත. ලංකාවේ ප්‍රධානතම කෝටිපතියන්, ප්‍රාදේශීය ධනවතුන් රාශියක් "ටියුෂන්" ගුරුවරුන් බවට පත්ව ඇත්තේ ලංකාවේ "නිදහස් අධ්‍යාපනයේ" තරම නිසාමය. තවෙකක් ත‍බා ලංකාවේ වත්මන් අධ්‍යාපන ඇමතිවරයාද කලකට පෙර සුප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරෙකු වීම නිදහස් අධ්‍යාපනයේ යථා ස්වභාවය මැනවින් වටහා දෙන්නකි.

උසස්පෙළ විභාගයේ ඇති කොන්දේසි විරහිත තරඟකාරීත්වය විසින් සිසුන් ගණනාවකට තමන්ගේ ජිවිතය විනාශකරගැනීමට බලකර ඇත. තවත් පිරිසකට විවිධාකාරයේ රෝගාබාධ, විශේෂයෙන් මීමැස්මොරය, නියුරෝසීය මනෝ අක්‍රමතාවන් මෙන්ම සයිකෝසීය මනෝරෝගාබාධයන් ද සුලබ කර ඇත. ගැස්ට්‍රරයිටීස් වැනි රෝග උසස්පෙළ ඉගෙනගන්නා ළමුන්ගෙන් 100%කටම පාහේ වැළඳී ඇති රෝගයකි. ඊට හේතු වන්නාවූ ප්‍රධානතම කාරණා වන අධික මානසික පීඩනය හා කලට වෙලාවට ආහාර නොගැනීම ලාංකික උසස්පෙළ සිසුන්ගේ ජාති ලක්ෂණයකි. මේ අතර තුර ජනප්‍රිය යැයි සම්මත කොළඹ පාසැල්වල සිසුන්ගේ සියදිවි නසාගැනීමේ විවිධ උත්සාහයන් කළින් කලට වාර්තා වුවද, ඒවා සාමාන්‍ය ජනතාව අතරට යෑම වැළැක්වීමේ වෙනමම යාන්ත්‍රණයක් ද යටිපෙළින් ක්‍රියාත්මක බවද සඳහන් කළ යුතුව ඇත.

මෙකී විකෘති උසස්පෙළ විභාග අකෘතිය නිසා සිදුවන ප්‍රධානතම පාඩුව නම් ලංකාවේ ඇති තෝරාගත් හොඳම බුද්ධියක් ඇතැයි සම්මත සිසුන් විශාල ප්‍රමාණයකගේ මනස විකෘති කිරීමත්, ජීවිතය යනඑන මං නැතිව ගොස් අවසාන වශයෙන් රටේ දියුණුවට වඩා හිතකර දායකත්වයක් ලබාගත හැකිව තිබූ බුද්ධිමතුත් බහුතරයක් උපන්ගෙයි විනාශ වීමත්ය.

පහවසර ශිෂ්‍යත්වය විභාගය යනු ලංකාව පුරා විසිරී සිටින බුද්ධිමත් ළමුන් සියල්ලක්ම පාහේ කොළඹට හෝ වෙනත් නගර ආශ්‍රිත ප්‍රදේශ සඳහා ආකර්ෂණය කරගන්නා වූ මූලිකම යාන්ත්‍රණයයි. මෙකී ළමුන් සියල්ල එකට කටයුතු කිරීම නිසා අධික තරඟයක් හටගන්නවා සේම, උසස් අධ්‍යාපනයෙන් පසු ඇතිවන රැකියා වෙළඳපොළ පිළිබඳව ඇති පටු දැක්ම නිසාම මෙකී තරඟයේ පරාසය වඩාත් පටුවේ. සරළව ගත‍හොත් දැඩි තරඟයක් පවතින්නේ ගණිත අංශයෙන් ඉංජිනේරු උපාධියක් ලබාගැනීම සඳහාත්, ජීව විද්‍යා අංශයෙන් වෛද්‍ය උපාධිය ලබාගැනීම වෙනුවෙන්ය. අතරමැද එකඟතාවක් නොවන නිසාවෙන් සීමිත අවස්ථා ප්‍රමාණයකට දරුණු තරඟකාරීත්වයක් ඇතිවේ. රටපුරා විසිරී සිටින සියළු උසස්පෙළ සිසුන්ගෙන් මෙකී අවස්ථාවේ ජයග්‍රහණයට නොකරන බහුතරයට සිදුවන්නේ මෙතෙක් තමන් විසින් අපෙක්ෂා නොකළ ගමනක් යෑමටය. පහ වසර ශිෂ්‍යත්වය සමත්ව නගරයට පැමිණ අධ්‍යාපනය ලබා උසස්පෙළ ජයග්‍රහණය නොකළ පිරිසද මේ අතර වේ. මේ සියළු පාර්ශ්ව වල ශක්‍යතාවන් ගැන කිසිඳු වගවිභාගයක් කිසිඳු පාර්ශවයක් විසින් සොයා නොබලන අතර රටක් ලෙස සංවර්ධනය කරා පියනැඟීමේදී දායකකරගත යුතු පිරිසක් සේවා වියුක්තව අහඹු අවස්ථා සොයා යති.

පෙර සඳහන් කළ ප්‍රාථමික හා ද්වීතික මට්ටම් වලදී ලබාදෙන අධ්‍යාපනයේ පරාසය පටුවීම නිසා බොහෝ දුරට පාසැලෙන් පිටවන ශිෂ්‍යයින්ගේ මූලික සමාජ කුසලතාවන් අවම මට්ටමක පවතී. සමාජ ඇසුර, අන්තර්පුද්ගල සම්බන්ධතා, පරාජයන් දරා ගැනීම,ධෛර්ය සම්පන්න වීම, මානසික පීඩනයන් අවම කරගැනීම වැනි සමාජයේදී වැදගත් වන කුසලතාවන්ගෙන් සන්නද්ධ නොවීම රැකියාව, පවුල පමණක් නොව කලාව, දේශපාලනය, වැනි ක්ෂේත්‍රයන් තුලටද සෘණාත්මක ලෙස බලපෑම් සිදුකරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

ප්‍රශ්ණ කිරීම් හෝ විකල්පයන් පිළිබඳ සිතා බැලීමකට නොපොඹවන අධ්‍යාපන ක්‍රමයක් තුළ නිර්මාණශීලී චින්තනයක් හෝ එතුලින් ලොවට හිතකර මනුෂ්‍යයෙකු නිර්මාණය වේ යැයි බලාපොරොත්තුව උගහටය. තත්ත්වය එසේ වුවද ස්වභාවිකම යම් රැඩිකල් භාවයකට හිමිකම් කියන නව යොවුන් වියේ ලාංකික තරුණ තරුණියන් මුහුණදී සිටින දුක්ඛදායක තත්ත්වය ගැන නැවත සිතාබැලීමක් සිදුකිරීමට ඔවුන්ම පෙළඹීමට ඔවුන් විසින් විඳිමින් සිටින අධික දුක්ගැහැට වුවද ප්‍රමාණාත්මකය. කෙදිනක හෝ මෙකී සිසුන් හා එක්වූ සමාජය සංවිධානගතව ඉදිරිපත් කෙරෙන සමස්ත අධ්‍යාපන ක්‍රමයට එරෙහි විරෝධතාවකදී හැරුණු කොට වගකිවයුත්තන් විසින් ‍වගකීම් සහගත ඉදිරිදැක්මකින් යුතුව කටයුතු කරාවි යැයි බලාපොරොත්තුවීම උගහටය.

සංඛ කිරිඳිවැල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|





Starring- IRUNIKA OLETY, SANJAYA ABEYSUNDARA| Written, Directed, Photographed & Edited by- AMILA GALAPPATTHI

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සළු පොටින් හිස වසා සෙවන දෙන්නට වගේ
ඉස්කෝලෙ හැර ගෙදර රැගෙන අවු කූටකේ
නියර පිට මඩ ගොහොරු පිරුණ මංපෙත් දිගේ
පැමිණි අත්තම්මා තනිකමට එදවස මගේ

නා කොටයෙ වාඩිලා මා ඇරෙන සීනුවට
උණ පඳුරෙ හෙවණ යට රඳව ගෙන මොහොතකට
දැනුණු කුසගිනි ඉවට කඩල ගොටුවක් අතට
අරන් දී හැඹිලියේ සඟවගත් ශත පහට

දුක දැනි කඳුළු විත් දෙතොල් සිඹ ලුණු රසට
මළ දවසෙ සාංකාවෙන් පිරුණු පොඩි හිතට
බැණුම් ඇහුවත් නිතර කෙළි කවට කම්වලට
ළඟින් හිටියේ ඇයයි දුවේ මං වගෙ නුඹට

කාලයා ඇවෑමෙන් එදා ඈ සිටි තැනට
අද පැමිණ මහළු වී ඇති සුදුව ඉහ නිකට
වාහනෙන් මාරුවී නුඹ ගෙදර එන ටිකට
මග බලා ඉනු මිසක වෙන යමක් නැත මෙමට

රැඳෙනු නොහැකිය ගෙදර නිදහසක් හිඟ කමට
වෙහෙස වෙනවා මිසක මුළු දවස ඉගෙනුමට
දුක දැනෙන්නට ඉඩක් නැති උනත් නුඹෙ සිතට
මං මැරන දවසෙවත් හැඬුම් ඒ විද නෙතට

[මතක සුවඳ- 2005]

චන්ද්‍රසිරි මීවනගේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"සිහිනය මියගිය යුගයක කලාවේ දේශපාලනය හා දේශපාලනයේ කලාව"

ප්‍රධාන අදහස් දැක්වීම- ධර්මසිරි බණ්ඩාරනායක.
දිනය- 2010 අගෝස්තු 29 වන ඉරිදා
වේලාව- පෙ.ව. 10:00
ස්ථානය- එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානය. [අංක 106, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවත, බොරැල්ල, කොළඹ 08]


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails