Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"අනතුරුව ඔවුහු මා වෙත පැමිණියෝ ය" යනු, අනතුරුදායක දේශපාලන වට පිටාවන් හි නොපමාව පියවර ගැනීම සමිබන්ධයෙන් නිතර උපුටා දැක්වෙන, ජර්මානු පියනමක වන නීමෝලර් ගේ කවිය කි. එය එදා වට පිටාවෙන් ගලවා ගත් පසු, අදට ගැලපෙන්න කි. ඒ හේතුවෙන් එය ගැන නොකියවෙන කතාවක් ඇත. මාටින් නීමොලර් වනාහි, හිට්ලර් බලයට පත් කිරීම වෙනුවෙන් කැප වූ මුග්ධ කොමියුනිස්ට් විරෝධියෙකු යැයි නොකිය වේ. ඔහු ගේ කොමියුනිස්ට් විරෝධය විසින් හිට්ලර් ගේ අන්ත වර්ගවාදයට හයියක් ලබා දුන් බවත්, එසේ ශක්තිමත් කෙරුනු හිට්ලර් ගේ වර්ගවාදී මතවාදය ලක්ෂ ගණන් ජනයා ඝාතනය කිරීමට හේතු වූ බවත් නොකිය වේ. එනිසා ඔහු ගේ කවියට එදා කිසිදු අරුතක් නොතිබිණ.

එවැන්නක් මෙහි සිංහල සමාජයට ද සිදු විය. දෙමළ බෙදුම්වාදය යුද්ධයෙන් අතු ගා දමන්නට සිංහල සමාජය එකග වුයේ මනුස්සකම නොතැකූ, ප්‍රජාතන්ත්‍රවාදයට ද පිටු පෑ, දැනුවත් සතුටක් සමගින් ය. ඒ හේතුවෙන් රාජපක්ෂ පාලනයේ අඩන්තේට්ටම් විඳ ගැනීමට නොහැකිව දැන් ජ.වි.පෙ ඇඹරෙන්නේ ය. රාපක්ෂ පාලනය තහවුරු කරන්නට වලි කෑවේ ද ජවිපෙ ය. ඒ වෙනුවෙන් ඔවුහු විය හැකි වින්නැහිය ගැන කතා කළ වුන් ද්‍රෝහීන් හා කොටි ත්‍රස්තයන් යැයි ලේබල් අලවා, හංවඩු ද ගැසුවෝ ය. ගොඩ නගන්නට තිබූ විපක්ෂ දේශපාලනය මර්දනය කරන්නට රාජපක්ෂ පාලනයට හවුල් වූහ. අවසානයේ විපක්ෂයට ඇද දැමුනු පසු, ජවිපෙ ද නීමෝලර් ගේ තත්ත්වයට වහා පත් වෙමින් සිටින්නා හ.

අඳ බාල, කෙටි ඉවක් ඇති රනිල් ගේ යු.ඇන්.පි නායකත්වය ද යුධ කාලයේ සිදු වූ කිසිදු මානව හිමි කම් උල්ලංඝණයකට, පැහැර ගැනීමකට, ඝාතනයකට, මරණ තර්ජනයකට, අනිසි අත් අඩංගුවට ගැනීමකට, හදිසි නීතිය දීර්ග කිරීමට එක හෙළා විරුද්ධ වන්නට මැලි වූයේ, එසේ විරුද්ධ වූවහොත් ඔවුන් ට දකුණේ සිංහල චන්ද ටික නැතිව යා හැකි යැයි සිතීමෙනි. එහෙත් ඒ නිවට දේශපාලනයෙන් කිසිදු වාසියක් යු.ඇන්.පියට නොලැබුණෙන්, කිසිදු දේශපාලනයක් නොදන්නා ඔවුන් අතර දැන් පුද්ගලවාදී නායකත්ව කුලල් කා ගැනීමකි. එනිසා වැදගත් දේශපාලන භුමිකාවක් සඳහා දේශපාලනයක් ද ඔවුන් ට යළි තෝරා ගත නොහැක. ඔවුන් දැන් සීමා වන්නේ කිසිදු වැදගත් පිළිගැනීමක් නැති, වැදගත් දේශපාලනයක් කතා නෙකෙරෙන හා එනිසාම මේ රාජපක්ෂ පාලනයේ ස්වරූපය හඳුනා ගැනීමට උනන්දුවක් නැති පාර්ලිමේන්තුවේ, ගෝසාකාරී හැසිරීමකට පමණ ය. යු.ඇන්.පි නායකත්වය සහ ඊට බාල්දි පෙරළන දේශපාලන පුස්සන් ද ඇතුලු සියල්ලන් දැන් දකුණේ සිංහල සමාජයට බුද්ධිමත් විපක්ෂයක් තබා ගැනීමේ අවකාශය ද අහෝසි කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පහසුවෙන් හකුළා දැමීමේ දී රාජපක්ෂ පාලනය ලබන්නා වූ සතුට ඇත්තේ එහි ය. දැන් 18 වන ව්‍යවස්ථා සංශෝධනය රටේ නීතිය බවට පත් ව ඇත. එමගින් තෙවන වරටත් තම අභිමතය මත ජනාධිපති වීමේ අවකාශය රාජපක්ෂ ජනාධිපතිට ලබා දීම ට, කල් තබා තීන්දු කර ඇත. ඒ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය හා වමේ නපුංසකයින් නගන්නා වූ තර්ක, පට්ට කෙබර ය. ජනතාව චන්දයෙන් තෝරා පත් කර ගන්නේ නම්, වාර සීමා වැදගත් නැතැයි කීම, මේ රටේ මැතිවරණ හමුවේ මුඩුම තර්කයකි. විශේෂයෙන් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු එය කාලකණ්නි කමෙකි.

අතීතයේ දී නීති විරෝධි ලෙස ගණිකා වෘත්තියෙහි යෙද වූ රාජ්‍ය මාධ්‍ය, බලහත්කාරයෙන් යොදා ගත් රාජ්‍ය සම්පත් සහ මැතිවරණ ක්‍රියාදාමයට කළ අතවර සියල්ල, නිත්‍යානුකූලව යොදා ගැනීමේ සහ කිරීමේ වරමක් 18 වන ව්‍යවස්ථා සංහෝධනයෙන් දැන් ලබා දී ඇත. මේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් තමන් මනාප ඕනෑම ගැත්තෙකු ඕනෑම ඉහළ තනතුරකට යොදා ගනිමින් රාජ්‍ය පාලනය කිරීමේ වරම පරිදිම, මර්වින් පන්නයේ පොලිස් ලොක්කන්, රෙදි අපුල්ලන මාධ්‍යකරුවන් සහ හුරතල් කීකරු මැතිවරණ කොමසාරිස් වරයෙකු ළග තබා ගෙන ජනාධිපතිවරණය කිරීමේ හැකියාව ද ලබා දී ඇත. එවැනි මැතිවරණයකින් වෙන කෙනෙකුට ජනාධිපති කාර්යාලය දිනකට හෝ දැක ගැනීමට, මේ ශ්‍රී ලංකාවේ දී නොලැබෙන්නේ ය.

එනිසා, මේ දිග හැරෙන්නා වූ දේශපාලන කතාන්දරය හරියට තේරුම් ගැනීමට නොහැකි, ඊට විරුද්ධව තමන්ගේ වූ දේශපාලන ඉදිරි දැක්මක් සහිත ක්‍රියා මාර්ගයක් ජනතාව හමුවේ තබා ගැනීමට නොහැකි, නන් දොඩවන යු.ඇන්.පිය හා ජ.වි.පෙ ඇතුළත් දකුණේ සිංහල විපක්ෂය, බූරු කුට්ටම අණන විට ඉවතට දමන ජෝකරයා වැනි ය. එවැනි විපක්ෂ දේශපාලනයක් 2016 වන තෙක් දකුණේ පැවතුනහොත්, උස්බෙකිස්ථානයේ ඉස්ලොම් කරිමොව් ජනාධිපති ගැන කියැවෙන්නාක් මෙන්, රාජපක්ෂ ජනාධිපතිටම විපක්ෂ අපේක්ෂකයා තෝරා දෙන්නට ද සිදු විය හැක.

එහෙත් මේ ජීවිතය එළෙසින් කියැවෙන තරමේ අපූරු, රස කතාවක් නොවේ. පවතින 1978 ජනාධිපති ව්‍යවස්ථාවට ගෙනෙනු ලැබූ 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙතෙක් නොලියැවුනු රජ පෙළපතක් ස්ථාපිත කර ඇති අතර, එහි දී වඩාත් භයානක, එවැන්නක් කැමැත්තෙන් පිලිගෙන නඩත්තු කරන්නා වූ දකුණේ රජයන සිංහල මානසිකත්වය වන්නේ ය. දැනට මේ ගෞතම බුදුන් ගේ රටේ බල පාන්නේ සිංහල මතය පමණි. දෙමළ සහ නැගෙනහිර මුස්ලිම් අඩුතරය, තලා දමා දේශපාලන ක්‍රියාකාරිත්වෙන් ඉවත් කර ඇත. එබැවින් මේ ව්‍යවස්ථාවට හා රාජපක්ෂ පාලනයට නීතිමය පිළිගැනුමක් ලබා දෙන්නේ දකුණේ සිංහල සමාජයේ විකෘති අර්ථකතන විසින් ය.

එපමණින්, රාජ්‍ය හා ප්‍රජාව හමුදාකරණයකට යටත් කිරීමේ ප්‍රමාණවත් ඉඩක් රාජපක්ෂ පෙළපත් පාලනයට ලැබී ඇත. මේ වන විටත් උතුරු හා නැගෙනහිර පළාත් මුළුමනින්ම පාලනය කෙරෙන්නේ හමුදාව යටතේ ය. හමුදා අධි ආරක්ෂිත කලාප දැන් එහි පවත්නා එක් අඳෝනාවකි. එහෙත් එමගින් සිදු වූ අවතැන් වීම් පිලිබඳව කිසි විටෙක දකුණේ විපක්ෂය කතා කර නැත. සාම්පූර් අධි ආරක්ෂිත කලාපය ආසන්නම නිදසුන ය. ඉන්දීය ආණ්ඩුවේ ආධාරයක් ලෙස එහි ඉදි වෙන මෙගා වොට් 520 ක තාප බලාගාරය විසින් පවුල් 1,600 ක් පමණ අවතැන් කර ඇත. ඔවුන්ට මනුස්සකමට ගැලපෙන විකල්ප ස්ථාන හෝ තවම ලබා දී නැත. හමුදාව ද හවුල් කර ඉදිරිපත් කෙරෙන එවැනි ව්‍යාපෘති නිසාවෙන්, ජනතාව පත් වන අවදානම කවරක් වූවත් මේ විපක්ෂය ඉන්නේ නිහඩව ය. ඒ අනුව රටේ දිස්ත්‍රික්ක 24 න් 08 ක්, මුලු උතුරු නැගෙනහිර දෙපළාතම, පාලනය කෙරෙන්නේ හමුදා ලොක්කන් වූ අයගෙනි. පළාත් සභා දෙකෙහිම ආණ්ඩුකාරවරුන් හිටපු හමුදා ලොක්කන් ය. උතුරේ මේජර් ජනරාල් වරයෙකි. නැගෙනහිර රෙයා අද්මිරල් වරයෙකි. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් වරයා ද මේජර් ජනරාල් වරයෙකි. මේ සියලු තනතුරු, සිවිල් පාලනයේ සිවිල් නිලධරයන් විසින් දැරිය යුතු තනතුරු ය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් විපක්ෂයට නැත. (යකඩ සපත්තුවේ ඔපය මැකෙන්නත් කලින් විධායක ජනාධිපති ධුරයට යුද්ධයේ වීර ජෙනරාල් කෙනෙකු ඔසවා ගත් පසු දැන් ඒ ගැන කුමන කතා ද?)

දෙමළ හා මුස්ලිම් ජනයා ට ඉතිරි කෙරුනු කරුමය එවැනි ය. ඔවුන් ගේ කතාව දැන් අවසන් ය. ඔවුන් ගේ මානව හිමි කම් අවසන් වී බොහෝ කල් ය. ඔවුන් ගේ ප්‍රජාතන්ත්‍රවාදය තීන්දු කෙරෙන්නේ ඒ පෙදෙස් වල දිගැලී කර ඇති හමුදා පාලනයේ අභිමතය අනුව ය. පොලීසිය ද අතුරු හමුදාවක් බවට පත්ව ඇති හෙයින්, නීතිය හා සාමය ද ආරක්ෂක සාධකයකි. සිවිල් යැයි කිව හැකි කිසිත් දැන් ඔවුන් ගේ ජීවිතයට ඉතිරිව නැත.

දැන් දකුණේ සිංහල සමාජයේ වාර යයි. සන්නද්ධ හමුදා තවමත් මුර පොල වල් සමගින් මහ මග ය. දේශපාලනඥයින් ගේ ආරක්ෂාවත් තවමත් අඩුවක් නැත. පුරුද්දට ගොසින් ඇති නිසා බරපතල ලෙස දිස් නොවුනත් කිසිදු විරෝධයකින් තොරව හමුදාකරණයට ලක් කෙරුනු දකුණේ සමාජය එසේම ය. යුද ආරක්ෂක හේතුන් නිසා යැයි හදිසි නීතිය යටතේ කෙරුනු නිවැසියන් ලියා පදිංචි කිරීම වෙනුවට, දැන් එය හදිස්සියෙන් තොර, යුද්ධයක් ද නොමැතිව, පොලිස් ආඥා පණත යටතේ යැයි කෙරෙන්නේ ය. නගර සංවර්ධනය අලුතින් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනෙන්නේ සමස්ථ සමාජයම එවැනි හමුදාකරණයකට යටත්ව ඇති අතරතුර ය. ඒ අනුව, සියලු නගර හා තදාසන්න ප්‍රදේශ ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් ව ඇත. වෙරළ සංරක්ෂණ අධිකාරිය ද ගැනීමෙන් ඒ අත් පත් කර ගැනීම සම්පූර්ණ විය.

කොළඹ පදික වෙළඳුන් හා පාතාලය සුද්ද කරන්නට යැයි කියූ කතා ඇත්තෙන්ම හමුදා මැදිහත් වීම් සම්බන්ධයෙන් ජන මතය උර ගා බැලීමක් විය. නගරයේ යහ පාලනය සැබෑ වුවමනාවක් වූයේ නම්, ලොකු ව්‍යාපාරිකයින් පදික වේදිකා පමණක් නොව පාරේ වාහන තද බදයද ඇති කරමින් සිය ව්‍යාපාර පවත්වා ගැනීම ද සුද්ද කළ යුතුව තිබිණ. හමුදාව ක්‍රියාකාරීව තබා ගැනෙන්නේ ඒ කිසිවක් වෙනුවෙන් නොවේ. පාතාල ක්‍රියාකාරකම් හා පදිකය අතර ද දැන් සම්බන්ධකම් අල්ප ය.

පදිකයෙන් ලබා ගත හැකි සොච්චම අද ඔවුන්ට වැදගැම්මක් නැත. දැන් පාතාල සෙන්පතියන් දේශපාලනයේ බලසම්පන්න අතු අතර පැළපදියන් වී අවසන් ය. එබැවින් සැබෑ කතාව ඊට හාත්පසින් වෙනස් කණස්සල්ලකි. කලින් යෝජනා කෙරුනු 66,000 ක් කොළඹින් ඉවත් කිරීමත් ඊයේ පෙරේ දා කිරුළපන පැල්පත්වාසීන් ඉවත් කිරීමේ යෝජනාවත් ඉතා පැහැදිලිව කොළඹ අධි මිල ඉඩම් හා ඒවා අවම විරෝධයක් ඇතිව හිස් කර ගැනීම පිළිබඳ කතාවකි. මෙම ඉඩම්, කෝටි නැතිනම් ප්‍රකෝටි ගණනින් තක්සේරු විය හැකි ඉඩම් ය. එවැනි මහා ගනු දෙනු ජනතා නියෝජනයකින් පත් කෙරුනු, ප්‍රජාතන්ත්‍රවාදී වගකීමක් සහිත ආණ්ඩුවකට කළ හැකි ගනු දෙනු නොවන්නේ ය.

එනිසා ආණ්ඩු පාලනය සම්මත ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතින් බැහැරව ගෙන යා යුතු වන්නේ ය. නාගරික සංවර්ධන අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනෙන්නේ එබැවින් ය. රාජපක්ෂ පාලනය දැන් කොළඹින් අත් හදා බලා සනාථ කර ගත් සත්‍යයක් ඇත. මහ පරිමාන කොමිස් තිබුණත් දුර දිග යන ස්ථාවර සංවර්ධනයක් ගැන අදහසක් නොමැත්තෙන්, එල්.ටී.ටී.ඊය පරාජය කළ යුද්ධයේ කීර්තිය සමගින් විරෝධය අවම කෙරෙන පාලනයක් දැන් ගෙන යා හැක්කේ හමුදා පෙනුමකිනි. එවගේම, රාජපක්ෂ පෙළපත අනු දත් අනෙක් කාරණය වනුයේ, දකුණේ සමාජය තම දේශප්‍රේමය ගැන තවමත් විශ්වාසය තබා ඇති මේ කාලය තුල, හමුදාකරණය සඳහා අවශ්‍ය නීතිමය ආවරණ සපයා ගත යුතු බව ය.

වසර 150 ට අධික කාලයක් පැවති කොළඹ නගර සභාව වෙනුවට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කොළඹ පාලනය කිරීමේ යෝජනා අත්තේ ද එනිසාම ය. එම යෝජනා අනුව, කොළඹ නාගරික අධිකාරිය චන්දයෙන් පත් නොකරන අධිකාරියක් වන්නේ ද හේතු ඇතිව ය. උතුරු නැගෙනහිර මෙන් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ එය ද හමුදාවේ සිටි ඉහළ නිලධරයෙකු ගේ අණ සකට, එවැනි විට යටත් කළ හැකි ය. කොළඹ ඒ අනුව, දේශපාලනයෙන් තොර, පෝස්ටර, බැනර, පිකටිං, පෙළපාලි හා විරෝධතා නොමැති, ආරක්ෂක ප්‍රදේශයක් විය හැක. කොළඹ වෙසෙන බදු ගෙවන්නන් ද යාපනයේ වැසියන් ලෙසින් එවිට ජීවත් විය යුතු ය. කොළඹ යනු ඇත්තෙන්ම රාජපක්ෂ පාලනයේ සියලු බලය එක් තැන් කෙරුනු කේන්ද්‍රය ය. එනිසා මේ බල කේන්ද්‍රයේ වෙනත් දේශපාලන අභියෝග සඳහා ඔවුන් ඉඩක් නොතබනු ඇත. ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් වන ප්‍රධාන පාලම් තුන වන දෙහිවල, කිරුළපන හා තොටළග පාලම් සීමාවන් ඇතුළත කොළඹ ප්‍රදේශයේ කිසිදු දේශපාලන සද්දයකට ඒ අනුව, නීතිමය වශයෙන් අවසර නොලැබෙන්නට කටයුතු යෙදිය හැක.

දැනට මේ හැමකක් ම, හිතළු යැයි ඉවත දැමිය හැක. රාජපක්ෂ පෙළපත යටතේ වත්තම් කෙරෙන දේශප්‍රේමීන්, එය එසේ යැයි සිතීමට වඩාත් කැමති ය. එහෙත් ඇත්තෙන්ම මේ දිග ඇරෙන්නේ හමුදා නිල ඇඳුම් නොමැති හමුදා පාලනයකි. එය ව්‍යවස්ථාමය වශයෙන් ද තහවුරු කෙරෙන්නකි. අවශ්‍ය නීතිමය ආවරණ නොමැති විට, නීතිමය අවසර හදා ගත හැකි බව ද රාජපක්ෂ පාලනය පෙන්නා දී ඇත.

කිසියම් දේශපාලන විභවයක් සහිත විපක්ෂයක් මෝදු වන්නේ නම් එය උත්පත්තියේදී ම විනාශ කිරීමට ද රාජපක්ෂ පෙළපත දැන් බිය වන්නේ නැත. ඔවුන් වඩා කැමැත්තෙන් බාර ගනු ඇත්තේ මේ ඉන්නා විපක්ෂය ය. මෙහි ඇති භයානක කම වනුයේ, මෙලෙසින් එලෙන හමුදාකරණය බුද්ධිමත්ව තේරුම් ගත හැකි හා එයට එරෙහිව, ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී බලයක් ලෙසින් ගොනු කළ හැකි විපක්ෂ නායකත්වයක් අහළක වත් නොමැති වීමෙහි ය. සැබෑය. එවැන්නක් අවශ්‍ය වන්නේ, ප්‍රසන්න පෙනුමැති සිංහල මනුස්සයෙකු ගේ කුරහන් සාටකයේ අනන්‍යතාවය ද සමගින් ව්‍යවස්ථාපිතව තහවුරු කෙරෙන හමුදාකරණයකට එරෙහි වීමේ අවශ්‍යතාවයක් දකුණේ සිංහල සමාජයට ඇති නම් පමණි. නොමැති නම්, මේ සිංහලයින් ගේ වාර යයි!

(ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් පුවත් අඩවියෙහි පළ වූවක, සිංහල අනුවර්තනයකි)

කුසල් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



උණුහුමට තුරුළු වෙන
සෙනෙහස තුරුල්ලට ගෙන
උඹ උපදින දවස
අද..

කන්දරාවක් හීන
හිත අස්සෙ හංඟාගෙන
හෙටක් නැති හෙට දවසට
උඹ උපදින දවස
අද..

අනාගතය ගණඳුරේ බව දැන දැනම
මේ තරගෙට වෙහෙස නොබලාම,
හති අරින්නටවත්
ඉසිඹුවක් නොලබන බව දැන දැනම
උඹට දුවන්න වෙන
කුරුවල් වුණ ලෝකෙට
උඹ උපදින දවස
අද..

ප්‍රජාතන්ත්‍රවාදය ගැන
ලියැවුණු පොත්පත් කන්දට මුවාව
හෙට අනිද්දාට
හුස්ම ටිකටත් මුදලක් ඉල්ලන.
අනේ උඹ ලොකු මිනිහෙක් කරන්නෙ කොහොමද මං
හැම තැනම කොටු කරලා
සත් පියුම් පිපෙන්න පොළොවක් නෑ
එහෙව් ලෝකෙට
උඹ උපදින දවස
අද..

උඹට ලියන්නත් බෑ
දෙයක් කියන්නත් බෑ
ඉක්මණින් යන්න වෙන නිසා
එන්නත් කලින්ම.
හැංගිලා ඉන්නත් වෙයි.
තුන්තිස් පැය පුරාම
බණ අහගෙන, අහක බලා ගෙන
ඉන්න වෙන ලෝකෙට
උඹ උපදින දවස
අද..

මගෙ පුතේ !
උඹ ගොළුවෙක් වෙයන්
අන්ධයෙක් වෙයන්
බිහිරෙක් වෙයන්
එහෙම නොවුණොත්..,
උඹ හොරෙක්, මංකොල්ලකාරයෙක් වෙයි
නැත්නම් අමනයෙක්, දාමරිකයෙක් වෙයි
කමකට නැති දේශපාලනඥයෙක් වෙයි
සමාජයට මහා විනාශයක් වෙයි.
කොහොමද මං බලන් ඉන්නෙ
මං උඹේ අම්මා වුණාම?
එහෙම හිතෙන ලෝකෙට
උඹ උපදින දවස
අද..

ඒත් පුතේ, හැබෑවටම
උඹේ අම්මගේ හිතේ
කැකෑරෙන ප්‍රාර්ථනාව වෙනස්.
ලෝකෙට ආදරේ කරන
හොඳ විප්ලවකාරයෙක් වෙයන්
අවියෙන් නෙමෙයි
මේ වක ගැහුණු සමාජය
උඩු යටිකුරු වුණු මිනිස් හිත
ඉද්ද ගැහුවා වගෙ දිග අදින්න
පිට කොන්දක් ඇති එකෙක් වෙයන්
කුණු හෝදලා දාන මහා වැස්සක් වගෙ
හැම හිතකටම ඉහෙන
සීත පිනි පොදක් වගෙ
මහා ගුණ කඳක් එක්ක
දුකට අඬන ඇස් දෙකක් එක්ක
අනේ උඹ උපදින්න ඕන..
එහෙම හිතෙන, ඒ දවස
අද !!!

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කජ රකුළට හිර වී බටියා නම්
පොඹත් උරකි තුපුනේ
විලැඳුම නී ගෙන
පැම්පර ජමිනෙයි
පරු තටි සිති නෑනේ
සීටයා ගොනා වෙවී
කෙළ කොරුවාවල්
වක නෑ පූගේ

කුලප තරක්කන් කූටක සක්කන්
වින කට කළි පින්නේ
බෙකට එදා ගෙන, මටි කොස් හැ කැටි
වපුවට පද දෙන්නේ
පිළෙක් බෙඟානෙක
බර හිත් කොනකට
වහමද කෝවන්නේ
සීටයා ගොනා වෙවී
කෙළ කොරුවාවල්
වක නෑ පූගේ

බිඩි බිඩි පොස්නස් දූනට බැන්නත්
ෂොමිකන් ගා නැත්තේ
අග්ගිලි මියුරින් කෙටට රලිනකොට
කත්මිටි දාපන්නේ
පිනි ගිම්බා නම්
කැරි හොසුවා නම්
මහමෙද ඊ මන්නේ
සීටයා ගොනා වෙවී
කෙළ කොරුවාවල්
වක නෑ පූගේ

එදුකොඩි සුක්කන් ලොනකොටි එක්කන්
හැරු මැටි දා මන්නේ
ටී එක වෙර බොයි කෙවුලට පල වෙයි
හී මර ගට ගෙත්තේ
පොතු රඩි තත් පෙන්
කයට නහින හැටි
වා මට නෑවන්නේ
සීටයා ගොනා වෙවී
කෙළ කොරුවාවල්
වක නෑ පූගේ

මැනික් පෑන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සැදෑවතුනේ ඉතින් පෝලිමේ පැමිණෙන්න
සැදෑසිත් පෙරදැරිව නරඹන්න
මේ අලුත් ජාතකය අහගන්න

සිංහයකු සිටී මෙහි කූඩු කර
මිලිටේරි රේසරෙන් රන් කෙසර බා දමා
තරු පටි ද ගලවා
පදක්කම් සහමුලින් උදුරා
වලග ලොම් පවා ඇද ගලවා

සුනඛ සෙයියා ලබා දෙනු වස්
සිංහ සෙයියා බොහෝ උදුරා
පශ්චාද් භාගයට පයින් ඇන
මිලිටේරි කඳවුරින් එළවා

සැබෑ කේසර සිංහයෙක් විය
මහා බල විකුම් පෑ ඌ එකල
රජ අනින් දස දහස් සතුරු හිස් පොලු ගැසූ
රුහිරු විල්වල නිතර පිහිනූ
සලා කේසර ගොර බිරම් දුන්
ඇසට ඇස ලෙයට ලෙය
හිසට හිස ඉල්ලූ

සිංහයෙකි ඌ එකල
දමිළ මස කුස පුරා වැළැඳූ
දමිළ රුහිරෙහි දියබුං ගැසූ
වෙනසකට ඉඳහිටක
සතුරු සිංහල මසද
අතුරුපසකට වගේ වැළැඳූ

සැදෑවතුනේ දැන් ඉතින් වැඳගන්න
අවසාන දෙමළාද පොළු ගසා
කෙසර සලමින් පැමිණි ඌ
සිහසුනට පොරබැදූ දවස් ගැන
ටිකක් නිකමට මෙනෙහි කරගන්න
දසක දෙකකට කලින්
පණපිටින් හමගැසූ පරපුරේ
බාල සොයුරන් අතින්

සුදෝ සුදු සිල් ඇඳුම පෙරවූ
සුසිල්වත් සිංහයකු වීය ඌ එදවස
මිනීමස් බොක්කේ තබාගෙන
හකු පුරා බුදුරැස් ද ලෙලවූ
ප්‍රජාතන්ත්‍රය නිතර මැතිරූ

රතු සහෝදර අත් වීය හැම අත
රන් කෙසර පිරිමදින
මැතිවරණ හිනාවේ රදනක මුවාකරලන

(වෙනසක් නොවිණි කාටත්
රජ මැති ඇමැති කාගෙත්
වීය බොක්කේ දඩමස්
දිළිණි හක්කේ බුදුරැස්
වීය රදනක තිස්දෙකෙන් දාසයක්
ඒකනේ පැෂන් එක දැං)

එහෙව් සිංහයෙකි මේ
මේ මෙතැන කූඩුවේ ලගින්නේ

සැදෑවතුනේ ඉතින් ඇඳිලි බැඳ ඉඳගන්න
මේ සිංහ ජාතකය කමටහනකට රැගෙන
භාවනාවකට හිත යොදවන්න

පරම සතුරා ගැනත්
'අනේ අපොයි' කියනා
දහම් දිවයින මේක
ඒ නිසා 'හොඳවැඩේ' යයි
තැලුම් කෑ කෙනෙක්වත්
නිකං සෙල්ලමටවත් නොසිතන්න
භාවනාවටම හිත බැඳලන්න

''රාජ උදහසට ලක් වුණු දාට
මහා කේසර සිංහයන්ටත්
කල ගෙවෙන්නේ මෙහෙම නම්
අපි නිකං මොන කුරුම්බැට්ටිද''
කමටහන වෙත ම හිත යොදවන්න

රජ අතත් තව ටිකක් ශක්තිමත් කළ බැවින්
තවත් හොඳ හොඳ සෙල්ලම් තියෙයි
හඳ නැතිව තරු පේන ජාමයට
එදාටත් සාදුකාරය දෙන්න
පණකෙන්ද යාන්තම් රැකගන්න....

එතකල්ම
භාවනාවෙන් එපා නැගිටින්න...

සනත් බාලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|





'ෆොන් සඳ' රෑට ඇවිදිං මැඳුරේ කලුව බිඳ
'කිං සඳ' දකින හීනේ චවු චවු කරන වද?
තනි ඇඳ මදිය මහ තඩි මකරුන් දෙන්නෙකුට
'පුන් සඳ' වැලිකඩ හඩු ගඳ තනියෙන් විඳිනව ද?

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


Andrew Sinclair විසින් සංස්කරණය කරන ලද, VIVA CHE! [The Strange Death and Life of Che Guevara] කෘතියෙහි පරිවර්තනය |
2 කොටසට මෙතනින් යන්න.

තරුණයන් දෙදෙනා පීරු රටට පැමිණියහ. ඔවුහු එහි විසූ ඉන්දියානුවන්ගේ ඉරණම දැක තැති ගත්හ. එකී ඉන්දියානුවන් කුසගින්න, සූරාකෑම සහ මත් ඇබ්බැහිය විසින් කෙතරම් උග්‍ර ලෙස පිරිහෙලනු ලැබ ඇත්දැයි ඔවුනට පැහැදිලි විය.

ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:

මට මතකයි දවසක් මම Macchu Pichu වලදී (එහේ අපි කීප දිනක් නැවතී උන්නා) මම නටබුන් අතර තිබුණු යාග පාෂාණයක් (වැඳුම් ගලක්) මත ඇලවී උන්නා. චේ මා ළඟම හොට් ඩ්‍රින්ක් එකක් හදමින් උන්නා. අන්දීස් වල කම්කරුවන් සමූහයක් ලෙස එකතු කොට, ශිෂ්ඨාචාරයේ කිසිදු ඵල ප්‍රයෝජනයක් හිමි නොවූ මේ දුගී මිනිසුන්ට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්නට-

ආණ්ඩුවට බල කරන විප්ලවීය වැඩ පිළිවළක් හැදිය යුතු බව මම ඔහුට කියමින් උන්නා. අර්නෙස්ටෝ සිනාසී මෙසේ කිවුවා.

''එක වෙඩිල්ලක්වත් නොතියා විප්ලවයක් කරන්න? ඔබට පිස්සු හැදී ගෙන එනවාද?''

ග්‍රෙනාඩෝස් සහ අර්නෙස්ටෝ Pucalpa වරායේ සිට ඇමසන් ගඟේ අතු ගංගාවක් වූ Ucayali ගඟ දියේ බෝට්ටුවෙන් සංචාරය කළහ. Iquitos වල නැවතී සිට පසුව ඔවුහු San Pablo දක්වා ගමන් කළ අතර එහිදී ඔවුහු ලාදුරු රෝහලක පර්යේෂණාගාරයේ වැඩ කළහ. ලාදුරු රෝගීන් සමග දවස ගෙවමින් ඔවුන් සමග පැසි පන්දු ක්‍රීඩා කරමින් ඔවුන් සමග විනෝද ගමන් යමින් කළ හැකි සෑම අන්දමින්ම ඔවුන්ට උපකාර කරමින් ගෙවුණු මේ කාල සීමාව මේ සවාරියේ වැදගත්ම අංගයක් විය.

ලාදුරු රෝහලෙන් සමු ගන්නා දිනය එළඹුණු පසු ඇමසන් ගඟ තරණය කොට කොලොම්බියාවේ Leticia වලට පැමිණීමට තරුණ සංචාරකයෝ දෙදෙනා තීරණය කළහ. Leticia යනු බ්‍රසීල, පීරු සහ කොලොම්බියා දේශ සීමා එකිනෙක ඡේදනය වන ලක්ෂ්‍යයට ඇමසන් ගඟ වැටෙන ස්ථානයයි. මේ නදී සවාරිය සඳහා ලාදුරු රෝගීහු එක්ව ඔවුනට ''මැම්බෝ-ටැන්ගෝ'' නම් පහුරක් තනා දුන්න. ඊට අමතරව ඔවුන් සමග ප්‍රීතිමත් කාලයක් ගත කළ මේ තරුණයන් දෙදෙනා වෙනුවෙන් සමුගැනීමේ සාදයක් ද පිළියෙළ විය.


ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:

ඇද හැලෙමින් තිබූ මහ වැස්ස පවා නොතකා බෝට්ටුව ගැහැණු, පිරිමි හා ළමා රෝගීන්ගෙන් පිරී තිබුණා. අපි එහි පැමිණෙද්දි, එයාලා සුභ පතන්න ගත්තා. එක් වරම කට්ටිය සිංදු කියන්න පටන් ගත්තා. හැමෝම එතන රැස් වෙලා- සංගීත කණ්ඩායමත් එතැනම! සැක්සපෝනය මේ රෝගීන්ගේ ගායනය එක්ක අපූරුවට මුහු වුනා.

ඊගාවට ආවේ කතා පැවැත්වීමේ වාරය. මුලින්ම රෝගීන් තුන් දෙනෙක් කතා පැවත්වුවා. හරිම සරලව හැබැයි ටිකක් නුහුරු නුපුරුදු විදිහට, පුදුමාකාර ආදරණීය ස්වරයකින් එයාලා අපේ පැමිණීමත් ඔවුන් සමග ගෙවූ කාලයත් අගය කරලා කතා කළා. තෙවන රෝගියාගෙ කතා වාරයෙන් පස්සෙ නැගිටින්න වුනේ මටයි. මං හිටියේ මහා කම්පනයකින්. ඒ නිසාම වෙන්න ඇති මගේ කතාව ඒ හැටි හොඳ වුනේ නෑ. අත්පුඩි හඬ ඉවර වුනහම එයාලා සමු දීමේ ගීයක් ගායනා කර කරම එකා දෙන්නා හෙමින් හෙමින් පහුරෙන් බැහැලා ඉවත්ව ගියා. උත්සවයේ හරිම සංවේදී අවස්ථාව වුනේ අපි පහුරෙන් යාත්‍රා කරද්දිත් වැහි මීදුම අස්සෙන් ඒ ආදරණීය මිතුරන්ගේ ගී ගායනය අපිව හොයා ගෙන ආපු එකයි. ඒ මොහොත සරසලා තිබුණේ වචනයට නගන්න බැරි ආදරයකින්. ඒක සහෝදරාත්මක ගැඹුරු හැඟීමක්.


ඔවුහු ඉමහත් වික්‍රමාන්විත වූ ද දුෂ්කර වූ ද අත්දැකීම් ලදහ. Leticiaවට පැමිණි දෙමිතුරෝ එහිදී පාපන්දු පුහුණුකරුවන් ලෙස වැඩ කළ අතර Bogotaවේදී අත් අඩංගුවට ද පත් වූහ. කෙසේ හෝ අවසන ඔවුහු වෙනිසුවේලාවට පිවිසුණහ. එහිදී ග්‍රෙනාඩෝ Caracasහී ලාදුරු රෝහලක දීර්ඝව සේවය කිරීම සඳහා එහි නවතින්නට තීරණය කළේය. අර්නෙස්ටෝ ට ඔහුගේ පවුලේ මිතුරෙකු වූ රේස් අශ්වයන් ප්‍රවාහනය කරන ගුවන් යානා හිමියෙක් මුන ගැසුණු අතර ඔහු මිතුරාගේ ගුවන්යානයකින් මියාමි බලා පිටත් විය.


ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:

මියාමියේදී කරදර කාලයක් ගත කරපු බව චේ කිවුවා . එහෙදි එයා නිතර පුස්තකාලයට ගියා. මුලදි මුලු දවසම ගත කරල තියෙන්නෙ කෝපි හරි කිරි හරි කෝපයක් බීලා. එහේ ආපනශාල හිමියෙක් එක්ක යාලු වුනාට පස්සෙ කෑම ටිකක් ලැබුනලු.

එයිනුත් පසුව අර්නෙස්ටෝ බුවනෝස් අයර්ස් පැමිණියේය. 1953 දී සිය උපාධිය ලබා ගත්තේය.

ජෝස් ඇගුලාර් [JOES AGUILAR] මෙසේ කියයි :

අර්නෙස්ටෝ එයාගෙ ශිෂ්‍ය ජීවිතේ හමාර කළේ උල්කාශ්මයක් වාගේ ක්ෂ්ණික දීප්තිමත් ආකාරයකට. මහා විශාල ලකුණු ගානක් අරගෙන නෙමේ; නමුත්, මහ පුදුම වේගයකින්!


චේ [CHE] මෙසේ කියයි:

මට මගේ වෛද්‍ය අධ්‍යාපනය පටන් ගත් කාලයේ විප්ලවවාදී අරමුණු තිබුණේ නැහැ. අනෙක් අය වාගෙම මමත් සාර්ථකත්වය ට ආශා කළා. මගේ සිහිනය වුනේ ප්‍රකට පර්යේෂකයෙකු වෙන එක; මනුෂ්‍යත්වයට සේවය කරන්නට පුළුවන් විදිහේ කිසිවක් සොයාගැනීම හෝ නිපදවීම. නමුත් විවිධ හේතු නිසා, මගේම කැමැත්තත් නිසා ඇමරිකාව පුරා කළ සංචාර වලින් මම වෙනස් වුනා. මිනිසුන්ගේ දුගී බව, කුසගින්න, රෝගාදියෙන් ඔවුන් විඳින පීඩාව ගැන මට විශාල අවබෝධයක් - ප්‍රායෝගික දැනුමක් ලැබුනේ මේ ගමන් වලින්. මං දැන ගත්තා කුසගින්නේ මිය යන රෝගීන් බේරා ගන්නට මා සතුව තිබූ කිසිදු අරමුණක් ප්‍රමාණවත් නොවෙන බව. මිනිස්සු උන්නේ මර්දනයෙන් සහ මන්දපෝෂණයෙන් අවමානයට පත් කරවලා. මහා පර්යේෂකයෙක් වෙලා වෛද්‍ය විද්‍යාවට විශාල දායකත්වයක් දෙනවා වාගේම පැහැර හැරිය නොහැකි වගකීමක් තියෙන බව මගේ හිත කියන්නට වුනා.
ඒ මේ පීඩිතයන් ගලවා ගැනීමේ වගකීමයි.

ජෝස් ඇගුලාර් [JOES AGUILAR] මෙසේ කියයි :

මං නිරීක්ෂණය කළා චේ මේ සංචාරයෙන් පස්සෙ දේශපාලනය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙන බවක්. මට සැරයක් ඇහුණා චේ කියවනවා එයගෙ දිනපොතේ කොටසක්. ඒ Macchu Pichu ගැන. ඒ ඉන්දියානු සංස්කෘතිය ආක්‍රමණය කළ ස්පාඤ්ඤ යටත්විජිතවාදය ගැන. ඔහු කිවුවා ඔහු ඉන්කා නටබුන් ඉවත්කොට තැනූ කතෝලික පල්ලි දුටු හැටි.


උපාධිය ලැබූ පසු අර්නෙස්ටෝ, ඇල්බර්ටෝ හමු වන්නට වෙනිසුවෙලාව බලා පිටත් විය. ඔහුගේ මිතුරන් දෙතුන් දෙනෙකුත් සමග ඔහු මේ ගමන ගියේ බුවනෝස් අයර්ස් සිට දක්වා සැතපුම් හයදාහක දුරක් දුම්රියෙන්. මේ ගමන අතරතුර ඉක්වදෝරයේ දී රිකාඩෝ රෝජෝ නැමැත්තෙකු අර්නෙස්ටෝට හමු විය. ඔහු පිටුවහෙලෙක් වූ අතර සිරගෙදරින් පැන බුවනෝස් අයර්ස් හී ග්වාතමාලා තානාපති කාර්යාලයේ රැකවරණය පතා යමින් සිටි ආජන්ටිනියානු නීතීඥයෙකි. තමන් වෙනිසුවේලාව බලා යන බව අර්නෙස්ටෝ රෝජෝට කී පසු රොජෝ මෙසේ කීය.

''නමුත්, ග්වාරා වෙනිසුවේලාවට යන්නේ මොකටද? ඒ රට වැදගත් සල්ලි හොයන්නට විතරයි! මා සමග එන්න ග්වාතමාලාවට - එතැන සැබෑ සමාජ විප්ලවයක් සිදුවෙමින් පවතිනවා''

ඇල්බර්ටෝ ග්‍රෙනෝඩෝස්ට දින කිහිපයකට පසු ලිපියක් ලැබිණ.
''මිත්‍රයා මම ග්වාතමාලා යනවා- ඔබට පසුව ලියන්නම්....'' එහි ලියා තිබිණ.


අර්නෙස්ටෝ ග්වාරා 1953 දෙසැම්බර් 24 වන දින ග්වාතමාලාවට පැමිණියේ ය. අර්නෙස්ටෝගේ ‘El Che’ යන නමේ ඇරඹුම මෙතැනයි. මන්ද, ‘චේ’ යන ඒකාක්ෂර ඇමතුම ආජන්ටිනියානුවන් ඔවුන්ගේ කතා බහේ පහසුව පිණිස යොදා ගන්නා ලද්දක්; එනිසාවෙන්ම ආජන්ටිනාවෙන් පැමිණෙන ඕනෑම අයෙකුට එනමින් ඇමතීම මධ්‍යම ඇමරිකානුවන්ගේ සිරිතක්.


චේ [CHE] මෙසේ කියයි:

මට, ''චේ'' යනු මගේ ජීවිතයේ වැදගත්ම, ආදරණීයම කොටසයි. ඒකෙන් මට හුඟක් දේවල් ඇඟවුනා. අන් සියල්ල එයට දෙවැනි වුනා. මගේ වාසගම, මගේ ක්‍රිස්තියානි නම නොවැදගත්, පුද්ගලික සුළු විස්තරයක් බවට පෙරලුනා!

[මතු සම්බන්ධයි.]
පරිවර්තනය - කූඹියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බල තෙද ගුණැති අනුහස් ඇති සුවාමිනේ
හල මැන දිවැස කරුණා සිත ඇති පෙමිණේ
විල සට හිටිය මුත් සිරිලකට පා සෙනේ
ගල ගණ්ඩයෙන් මා සිරවුණ බවක් දැනේ

බල සුබ නැකැත් එනතුරු මග ජය කැන්දා
නිල තල දැන උපා වෙහෙසින් විඳ නින්දා
විල වැද මඩෙහි ලැග විඳිනා ලෙද ගිජිදා
කල බල නැතිව සූවිසි වසරක් වින්දා

පල නොකියන සකියෙකු පක්ෂයට නැත
කල පෙර භවයකදි පවු මිස අද වරද නැත
කුල ගොත් පැරණි දොස් හෙම දා ඉවත
දළ ඇන බිම යදිමි සුරකිනු මගෙ දෙඅත

දොළ ඇති නමුත් රජ වෙන්නට ලක් දෙරණේ
කෙල වර බවක් නොපෙනේ මිහිඳු පාලණේ
නොල දත් දිනෙක ජනපතිකම හිමි සඳුණේ
කළ පින් මදිද ඉන්න මෙහෙමම සදා අනේ

හිතුවක්කාරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජර්මන් භාෂාවෙන් නවකථා සහ කෙටිකථා රචනා කරමින් ප්‍රාග් නුවර වාසය කළ යුදෙව් ජාතික ෆ්රාන්ස් කෆ්කා (1883-1924) මැදිවියේදීම මියගිය නමුත් ඔහුගේ මරණා'පර කීර්තිය කුණාටුවක් සේ ලොව පුරා පැතිර ගියේය. අද වන විට ඔහුගේ සාහිත්‍යය සහ ජීවිතය විසින් කෆ්කාලොජි නමින් කෆ්කා විද්‍යාවක් හෙවත් කෆ්කාවේදයක් බිහි කරනු ලැබ ඇත. යථාර්ථවාදයේ සතුරකු ලෙසත්, ඊනියා මැජිකල් යථාර්ථවාදයේ මිතුරකු ලෙසත් ඔහු මත හංවඩු තබන ලද ශ්‍රී ලංකාව සමග සංසන්දනය කරන විට ඒ ගැන සතුටුවිය හැකි වෙතත් අද එම විද්‍යාව කෆ්කා නමැති ලේඛකයාගේ අසහාය කර්තව්‍යයන් යටපත් කරන ආකාරයේ විෂය ධාරාවක් බවට පත්වී තිබේ.

මේ නිසා අප අද පසුකරන්නේ කෆ්කා විද්‍යාවට එරෙහිව කෆ්කා නමැති සාහිත්‍යධරයා කියැවිය යුතු වකවානුවකි. අද කෆ්කා යනු ධජපතාක සහිත සන්නාහ සන්නද්ධ මතිමතාන්තර බලකොටුවකි. අද ශාස්ත්‍රාල නඩත්තු කිරීම සහ මුද්‍රණ, ප්‍රකාශන සහ සංචාරක කර්මාන්ත දියුණු කරගැනීම සඳහා විවිධ කතිකා සහ වියමන් උපයෝගී කරගනිමින් සාහිත්‍යධරයන් වටා එවැනි බලකොටු ගොඩනගනු ලැබේ. අන්තර්-වියමන් තොණ්ඩුවලින් (Intertextual Loops) ලේඛකයන් සහ නාට්‍යකරුවන් සිරකර ගෙන සිටින අයුරු ක්‍රිස්ටීනා ඔල්ගා කිබුසින්ස්කා මැතිනිය පෙන්වා දෙයි.

මේ චිත්‍රපටය කළු සුදු ලෙස නිර්මාණය කර ඇති අතර කූටප්‍රාප්තියේදී පමණක් වර්ණ ගැන්වෙයි. චිත්‍රපටය ආරම්භවන්නේ ප්‍රාග් නගරයේ පාළු මාවතක් දිගේ ප්‍රාණ භයින් තැති ගෙන දිව යන කලිසම් කෝට් ඇඳි තරුණ මහතකුගෙනි. ඔහු විකෘති මුහුණකින් යුතුව සිනාසෙන දරුණු මිනිසකු අතින් මරු දකියි. එලෙස මහමග දවාලේ මියයන්නේ කෆ්කාගේ මිතුරෙකි. කෆ්කා වැඩ කරන රක්ෂණ සමාගමේම ඔහුද සේවය කළේය. ඔහු අතුරුදන් වී ඇති බව අවබෝධ කර ගන්නා කෆ්කා ඔහුගේ ඉරණම දැන ගැනීමට උත්සාහ කරයි. පසුව ගගෙන් ගොඩගත් බව පැවසෙන මළ සිරුර හඳුනා ගැනීම සඳහා කෆ්කා පොලීසියට කැඳවේ. මිතුරාගේ පෙම්වතිය වෙතින් කෆ්කාට දැනගන්නට ලැබෙන්නේ ඇයත්, මිතුරාත් දෙදෙනාම ප්‍රාග් නගරය තුළ බෝම්බ පුපුරවනු ලබන තරුණ අරාජකවාදීන්ගේ හවුලක සාමාජිකයන් බවයි. මිතුරාගේ මරණයේ තොරතුරු ප්‍රාග් නගරයට ඉහළින් උස් පියසි දිස්වන මහා මාලිගාව නමැති ලේකම් කාර්යාල තිබෙන බව දැනගන්නා කෆ්කා සොහොන් කොත් සාදන්නකුගේ මගපෙන්වීම අනුව රහස් උමඟකින් ඊට ඇතුළු වෙයි. උමඟින් ප්‍රවිෂ්ට වන කෆ්කා ලක්ෂ සංඛ්‍යාත ලිපිගොනු අසුරණ ලද යකඩ කැබිනෙට්ටුවකින් මතුවෙයි.


ෆ්රාන්ස් කෆ්කා (1883-1924)


චිත්‍රපටයේ සියලු රූපරාමු ගොඩනගා ඇත්තේ පැරනොයිය හෙවත් භීතෝන්මාදය දැනවෙන අයුරිනි. කෆ්කාද ඒ මානසිකය තුළ ජීවත්වන නමුත් තම මිතුරාගේ මරණයේ අගමුල සෙවීමේ වීර චාරිකාව අතනොහරියි. දිවා කල රක්ෂණ සමාගම් රාජකාරි කරන ඔහු රෑට නවකථා කෙටිකථා ලියයි. මධ්‍යගත වුණු පීඩක බලාධික නිලධාරිකරණය වුණු සමාජ ක්‍රියා, වංකගිරි බවට පත්වුණු ආයතන, ගොදුරක් බවට පත්වුණු පුද්ගලයා, භීෂණය යනාදී අනේකවිධ බියකරු සමාජ ලක්ෂණවලින් චිත්‍රපටය සමන්විත වී තිබේ. මේ විරූපී සමාජ තතු මධ්‍යයෙහිම කෆ්කාගේ දෛනික කාර්යාල ජීවිතය, සාහිත්‍යකරණය සහ මිතුරාගේ ඝාතනයේ අගමුල සෙවීම රහස් පරීක්ෂක වෘත්තිය නොනැවතී දිග හැරේ.

සාහිත්‍ය සේවාව අද්විතීය වුවද කෆ්කා හැම අතින්ම අවාසනාවන්ත ලේඛකයෙකි. 1962දී පැවැත්වුණු සාමය සහ නිරායුධකරණය පිළිබඳ මොස්කව් සම්මේලනයේදී ෂොන් පෝල් සාත්‍ර මේ කාරණය පැහැදිලි කළේය. විවිධ රටවල් විසින් සංස්කෘතිය අවියෙන් සන්නද්ධ කිරීමේ අධම කටයුත්තේ ආදීනව පෙන්වා දීම සඳහා ඔහු නිදසුන් කොට ගනු ලැබුවේ කෆ්කාය. ඔහු විසින් කෆ්කා හඳුන්වා දෙන ලද්දේ බටහිර ධනේශ්වර ලෝකය මෙන්ම නැගෙනහිර සෝවියට් ලෝකය විසින්ද සංස්කෘතිය අවියක් ලෙස භාවිත කිරීම මගින් කරන ලද මහා පාපයට වන්දි ගෙවූ ලේඛකයා ලෙසටය. සංස්කෘතික ක්ෂේත්‍රය තුළ නිරවිකරණය සිදුවිය යුතු බවත්, එය අවියක් ලෙස භාවිතයට නොගත යුතු බවත් සාත්‍ර අවධාරණය කළේය.


සිනමාත්මක ආඛ්‍යානය අතින් මේ චිත්‍රපටියේ මැවෙන කෆ්කා යනු ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ බර්ඩ්ස් චිත්‍රපටියේ කුරුල්ලන් මෙන් ආඛ්‍යානය ඉදිරියට රැගෙන යන මහා හඟවනය හෙවත් මාස්ටර් සිග්නිෆයරයය වත්මන් ඒකාකාරී ලිබරල් සමාජය තුළ කෆ්කා සාධකය පවා සුවිශේෂ වින්දනීය භූමිකාවක යෙදෙන අයුරු ෆෙඩ්රික් ජෙම්සන් පැහැදිලි කරයි. ඔහු එය විස්තර කරන්නේ කෆ්කානු ප්‍රීතිප්‍රමෝදය වශයෙනි. කෝපරේට් ධනවාදී සමාජය තුළ දෛනික ජීවිතය බෙහෙවින් ඒකාකාරීය. නොකඩවා එළැඹෙන වැඩබර සතිවලට ආවේණික හිස්භාවය සහ ඒකාකාරීත්වය කිසියම් බියකරු දෙයකින් හෝ නැතිවී යනු ඇතැ'යි පුද්ගලයෝ බලාපොරොත්තු වෙති. සමාජයේ සෑම පුද්ගලයකුම තමන් දෙස බලා සිටින්නේය යන හැඟුම වත්මන් මිනිසා තුළ තිබේ. එම නිසා රහස් පරීක්ෂකයාගේ ඇස ඔහුට වුවමනා වේ. ජීවිතයේ ඒකාකාරීත්වය සහ හිස්කම භිතෝන්මාදයෙන් ජයගැනීමට වර්තමාන පුද්ගලයා පුරුදු වී සිටියි.

[රාවය| 2010.09.26]

එරික් ඉලයප්ආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසයයි. මේ කාලවකවානුව ආසන්නයේ එළැඹෙන්නේ ශ්‍රී ලාංකික ලේඛක ලේඛිකාවන්ට ද සුබපල ගෙන දෙන, තම සිහින සැබෑ කර දෙන කාලයයි. සාහිත්‍ය රසවින්දනය යනු කුමක්දැයි නිර්වචනය කිරීම සාපේක්‍ෂ වන අතර සාහිත්‍ය යනු මේ යැයි සමාජය විසින් සකසා ගත් යම් යම් නිර්නායක වෙත්. ඒ අනුව යම් සමාජ ව්‍යූහයක සදාචාරාත්මක අගයන් ගෙන එන්නට සමත් වනුයේ එකී සමාජය තුළ සාහිත්‍ය විසින් බිහි කරනු ලබන ගුණ වගාවයි.

මිනිසා නිසගයෙන්ම රසකාමී ය. එම රසවින්දනය නිසි අයුරින් සමාජය තුළ වර්ධනය කිරීම එකී සමාජයේම වගකීම වෙයි.

මෙහි දී අධ්‍යාපනය මුලික තැන් ගන්නා අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යය ද ඒ හා සමාන වගකීමක් දැරිය යුතු වෙයි. කැටි කර කියන්නේ නම් රාජ්‍යයේ පටන් සියලු පුද්ගලයින් කෙරෙහි මෙම වගකීම පැවරෙයි. ඉන් මඟ හැර යාමට අප කිසිවකුට අයිතියක් නැත. මේවා නිරන්තරයෙන් කතාබහට ලක් වනු විනා, ක්‍රියාත්මක නොවන බවත් සැබෑවකි.

ලෝක සාහිත්‍ය වනාහී මිනිසා සහ සමාජය සසල කරමින්, රසවින්දනය කලතා, බුද්ධිය සොළවා, සමාජයට පෙරගමන්කරුවකු වන ඉතාම අග්‍රගන්‍ය කෘති ලෝකය පුරා අස්සක් මුල්ලක් නෑර ප්‍රචලිත වන අවස්ථාවයි. ටෝල්ස්ටෝයි, මාර්කේස් හෝ පාවුලෝ කොයියෝ ගැන නොදන්නා කෙනෙක් වෙත් ද? නැතහොත් මැක්සිම් ගෝර්කි විසින් නිර්මාණය කළ “අම්මා" හෝ චිංගීස් ආයිත්මාතව් නිර්මාණය කළ "දුයිෂෙන්" නොහඳුනන කෙනෙක් වෙත් ද? මේවා මෙතරම්ම හරවත් සහ ප්‍රතිභාසම්පන්න නිර්මාණ වනුයේ ඇයි? එම කෘති සමාජයට දුන් දේ මොනවාද? එම පරමාදර්ශ සමාජය කොයිබට ගෙන ගියේ ද? "යුද්ධය සහ සාමය" සමාජයට පෙන්වා දුන්නේ කුමක් ද? "නොරිකො සන් සහ දෙවෝන්දරා සන්" අප සිත් හි ඇති කළ ප්‍රේමය කෙතරම් ද?

වර්තමානය තුළ නිර්මාණය සහ නිර්මාණකරුවා යනු අංග දෙකක් බව මේ වන විට සමාජය විසින් සනාථ කර හමාරය. නිර්මාණයත්, නිර්මාණකරුවාත් එක්තැන් වූ විට, නැතහොත් නිර්මාණයට නිර්මාණකරුවා අවංක වූ විට වඩාත් අගනා නිර්මාණයක් නිතැතින්ම බිහි වෙයි. එවන් නිර්මාණ එම සමාජය පුරා දිදුලමින් ව්‍යාප්ත වෙයි. ශ්‍රී ලාංකීය සාහිත්‍ය තුළ ද ඩබ්.ඒ සිල්වා, සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා, සරච්චන්ද්‍ර වැනි ගත්කතුවරුනගේ ප්‍රබන්ධයන් සහ ඒවායේ භාෂා ශෛලිය පාඨකයා ඉතා ඉහළ මානයකට ගෙන යයි. ඔහුගේ රසවින්දනය සහ දැනුම ද පුබුදු කර කියවන්නා තුළ හිතන්නට යමක් ඉතුරු කරයි. ස්ව අනන්‍යතාව රැක ගනිමින් ඔවූහූ සමාජයට ඉතුරු කළ දෑ බොහෝ ය. මේවා ගිණිය හැක්කේ අතලොස්සක් වන අගනා නිර්මාණයන් ගොඩට ය.

සාහිත්‍යය, අධ්‍යාපන විෂය ධාරාවෙන් කප්පාදු කර දැමීමේ ඵලවිපාක අද අපි අත්විඳිමින් සිටින්නෙමු. මෙතරම් විශාල අපරාධයක් කළ රටක සෞභාග්‍ය සම්පන්න වූ, ප්‍රමුදිත වූ, රසවින්දනයෙන් පිරුණු කලාවක් අපේක්‍ෂා කිරීම ද විහිළුවකි. දැනුම සහ වින්දනය මොට කරන ලද සමාජයක මීට වඩා දෙයක් කෙසේ නම් බලාපොරොත්තු වන්න ද?

දැන් දැන් සෑම වසරකම පාහේ පවත්වනු ලබන සාහිත්‍ය සම්මාන උළෙල කිහිපයකි. එහෙත් ඒවා නිර්මාණකරණයට අත්වැලක් වනුයේ නිසි ඇගයීමක් අදාළ නිර්මාණ වලට ලැබෙන්නේ නම් පමණි. කෙසේ වුව ද සම්මාන උළෙල අරමුණු කරගෙන නිර්මාණ බිහි වීමත්, වාර්ෂික පොත් ප්‍රදර්ශනය අරමුණු කර ගෙන ග්‍රන්ථ මුද්‍රණය කිරීමත් සුලබ කාරණයකි. වාර්ෂික පොත් ප්‍රදර්ශනය ආසන්නයේ මුද්‍රණාල ඉතා කාර්යබහුල වනුයේ අවසන් මොහොතේදී හෝ පොත මුද්‍රණය කරවා ගැනීමට සියල්ලන් වෙහෙසෙන බැවිනි. එහිදී අදාළ ග්‍රන්ථයේ උසස් භාවය ගැන විවිධ මතයන්ට එළැඹිය හැකිය. මන්ද යත් සිත වෙහෙසවා, බලයෙන් සිතුවිළි උලුප්පා ගැනීමෙන් සාර්ථක නිර්මාණයක් බිහි වීමට ඇති ඉඩකඩ අඩු බැවිනි. හදිසියේ නිර්මාණ කිරීමෙන් යම් නිර්මාණයක් බිහි වුව ද, එය ඉතා හොඳ නිර්මාණයක් වීමේ ඉඩකඩ අඩු විය හැකිය.

ඊළඟ සම්මාන උළෙල තෝරා ගනු ලබන්නේ ද එලෙස කඩිමුඩියේ එළිදැක්වූ, එක හුස්මට ලියා ගෙන ගියා වූ ග්‍රන්ථ ය. බොහෝ විට මේවායේ සෝදුපත් බැලීමවත් නිසි අයුරින් නොකළ බව පාඨකයාට වැටහෙයි. පසුගිය වසර කිහිපයක් පුරා මෙම සම්මාන උළෙල දැඩි විවේචනයට ලක් වනුයේ තෝරා ගනු ලබන කෘති උසස් තත්ත්වයේ කෘති නොවන බව පාඨකයාට ඒත්තු යාම නිසා ය. විනිසුරු මඩුල්ලේ රස වින්දනය, පාඨකයාගේ රසවින්දනය අභිබවා නොයන නිසාවෙනි. හේතුව, පෞද්ගලික සම්බන්ධතා මත හෝ, තෝරා ගැනීමට සුදුසු කෘතියක් නොමැති වීම නිසා හෝ වෙන යම් හේතුවක් නිසා කිසියම් කෘතියක් තෝරා සම්මාන පිරිනැමීමේ අභාග්‍යසම්පන්න සමයකට අප ගොදුරු වී සිටීමයි. මෙය සමාජය තුළ තව දුරටත් කතා බහට ලක් විය යුතු, අවධානයට ලක් විය යුත්තකි. මෙය පැසුණු බුද්ධියක් ඇතියවුන්ගේ සමාජ මෙහෙවරකි. පිරිහෙමින් පවතින සාහිත්‍යය නැවත නඟා සිටුවීමට බුද්ධිමත්හු පියවර නොගන්නේ නම්, අප සමාජය තව තවත් අගාධයටම තල්ලු වීම කිසිවකුටත් වැළැක්විය නොහැකි ය. හෙට උපදින තාරුණ්‍යය, එලෙස වැපුරූ බොල් වී යේ අස්වැන්න වනු ඇත.

එමෙන්ම මෙවැනි සම්මාන උළෙල සඳහා නිර්දේශ වන ග්‍රන්ථ සුදුසු නොවන්නේ නම් ඒවා ප්‍රතික්‍ෂේප කිරීමට තරම් කොන්දක් තෝරා පත් කර ගනු ලබන විනිසුරු මඩුල්ලට තිබිය යුතුය. සම්මාන තිළිණ කරනු ලබන්නේ කුමන සාධකයන් මත දැයි සකසා ගත් ක්‍රියාදාමයන් ඇති විය යුතුය. එම නිර්නාකයන්ට අදාළ නොවන්නේ නම් සියලුම කෘති වුවද ප්‍රතික්‍ෂේප කිරීමට තරම් ශක්‍යතාවක් විනිසුරු මඩුල්ලට තිබිය යුතුම ය. සමහර විට එම වසර තුළ කිසිදු ග්‍රන්ථයක් සම්මානයට පාත්‍ර නොවන්නට පුළුවන. එහෙත් නුසුදුසු කෘති සම්මාන සඳහා නිර්දේශ කරමින් සාහිත්‍යය විනාශ කර දමනවා වෙනුවට ඊළඟ වසර තුළ වඩාත් සාර්ථක නිර්මාණ බිහි වීමට එය හේතුවක් වීම මුළුමහත් සමාජයටම ඵලදායී වනු ඇත. සම්මාන ලබා දෙනුයේ කුමන කරුණු අන්තර්ගත වීම තුළ දැයි ලේඛකයා දැනුවත් වීම තුළ ඉන් ඔහු අධෛර්යයට පත් වීමක් ද නොවනු ඇත. එමෙන්ම බොහොමයක් හරසුන් නිර්මාණ අතර නවකතාව ද, කෙටි කතාව ද, කවිය ද පෝෂණය කළ සහ කරන්නා වූ ප්‍රවීන සහ ආධුනික නිර්මාණ කරුවෝ වෙති. ඔවූහු නිහඬව තම කාර්යයන්හි නියැලී සිටීම ද දකින්නට හැකිය. එහෙත් ඒවා නිසි ඇගයීමකට හසු නොවන බව ද සැබෑවකි.

සාහිත කෙත වල් බිහි වී ඇතැයි හෝ පුරන් වී ඇතැයි චෝදනා නඟනවාට වඩා කළ යුතු වන්නේ මෙම සම්මාන උළෙල සංවිධානය කරන අනුග්‍රාහකයින්, ප්‍රබුද්ධයින් හා එක්ව සම්මත කර ගත හැකි නිර්නායක සැකසීමයි. එවිට සම්මානයක වටිනාකම ද, කෘතියෙහි වටිනාකම ද රැකෙනු ඇත.

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ආචාර්ය එස්.අයි. කීතපොන්කලන්- කොළඹ විශ්වවිද්‍යාලය

• විශ්ව විද්‍යාලය ආචාර්යවරුන් හැටියට 18 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීමට ඔබ හිතුවේ ඇයි?

අපි විශ්වාස කළ දෙයක් තමයි 18 ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බලනකොට කොහොමටවත් වාසිදායක දෙයක් නොවන බව. ඒ පිළිබඳ සමාජ මට්ටමේ සංවාදයක් තියා අඩුතරමේ වැඩිදෙනෙක් එහි ව්‍යුහයවත් දැනගෙන හිටියේ නෑනෙ. මං හිතන්නෙ නෑ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුටවත් අනෙක් කවරකුටවත් මේ ගැන පොදු සාකච්ඡාවකට එන්න කාලයක් තිබුණා කියලා. ඒ නිසා ඒ ගැන සමාජයට කියන්න-

-දැඩි අවශ්‍යතාවක් අපි තුළ තිබුණා. මේ හේතුවෙන් අන්තිම මොහොතෙදි හරි විශ්ව විද්‍යාල ආචාර්යවරු හැටියට අපි ඒ දේවල් කිව්වා.

• 18 සංශෝධනය තුළින් ඔබ කියූ අයුරු ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවන හානිය මොකක්ද?

77දී අපි මේ ව්‍යවස්ථාව හදාරණ කොට ඉතා අවශ්‍ය ප්‍රමාණයට වඩා ශක්තිමත්, බලතල සහිත විධායකයක්නෙ ගොඩනැගුවෙ. ඒ හදන කොට ජනාධිපති ක්‍රමයක තිබීමට අවශ්‍ය කරන සංවරණ සහ තුලන විධික්‍රම ගොඩනගා තිබුණේ නැති තරම්. තිබුණත් ඒ එකක් දෙකක් පමණයි. අයවැය වැනි කරුණක් ගත්තාම ඒ තුළ යම්කිසි ස්වාධීනත්වයක් ව්‍යවස්ථානුකූලව හිමිවුණා. නමුත් එය ප්‍රායෝගික වශයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නෑ. මොකද හැමවිටම වගේ ජනාධිපතිවරයාගේ පක්ෂය ආණ්ඩු පක්ෂය විදිහට තිබීම නිසා.

1978දී අපි පරිකල්පනය කළ ජනාධිපති ක්‍රමයට වඩා හාත්පසින් වෙනත් ක්‍රමවේදයක් තමයි අපි මෙතනදි ගොඩනැගුවෙ. ඒ අනුව 78 තිබුණ නම් තිබුණු සංවරණයන් සහ තුලනයන් කිහිපයක් උදුරගෙන මේ තුළින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේදයක් ගොඩනගලා තියෙනවා.

• රජය මේ සංශෝධනය ගෙනයන්න්, මෙතෙක් කල් සාකච්ඡා වුණු බලය බෙදීම, 13 ව්‍යවස්ථා සංශෝධනය පරිපූර්ණ කිරීම කියන කාරණා සියල්ල අමතක කර?

බලය බෙදීම කියන එක අද වන විට හුදෙක් තර්කයට විතරක් සීමා වෙලානෙ තියෙන්නෙ. නමුත් 2009 මැයි වෙන්න කලින් මේ තර්කය යථාර්ථමය තර්කයක්. සාමය අවශ්‍ය නම් සුළු ජාතිකයන් සෑහීමකට පත් කරන්න නම් බලය බෙදිය යුතුයි කියන විශ්වාසය ඒ යුගය වන විට දේශපාලනය තුළ විශාල වැදගත්කමක් දරන කරුණක් වුණා. මොකද ඒ වන විට එල්ටීටීඊ සංවිධානය ඉතා ශක්තිමත්ව තිබූ නිසා. නමුත් අද වන විට ඒ පීඩනය පේන්න නෑනෙ. ඒ නිසා සාමය අවශ්‍ය වනවා නම් බලය බෙදිය යුතුයි කියන එක අද හුදු තර්කනමය කාර්යයක් වෙලා තියෙනවා. එය අද වනවිට යථාර්ථවාදී ස්වරූපයෙන් ඈත්වෙලා. මේ කරුණු හේතුවෙන් තම ප්‍රථම වෑයම ලෙස බලය බදීමට ප්‍රමුඛත්වය දෙන්න රජයට අවශ්‍යතාවක් තිබුණෙ නෑ. මතනදි රජය ලැබිලා තියෙන තුනන් දකේ බලය වුණත් ස්ථීර එකක් නෙමෙයිනෙ. ඒක හදාගෙන තියන්නෙ වන පක්ෂවල මන්ත්‍රීවරුන් එකතු කරගෙන නිසා එය බොහොම ඉක්මනින් බිඳ වැටී යන්න පුළුවන්. ඒ නිසා රජය කළේ තමන්ට අවශ්‍ය කරන ප්‍රශ්න දෙකක් විසඳාගන්න ඒ අවස්ථාව ඉතා අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න එක. එක ප්‍රශ්නයක් තමයි වාර සීමාව. අනික තමයි රජය ඉතා විශාල ප්‍රශ්නයක් විදියට සලකා 17 වන සංශෝධනය ඉවත් කිරීම. ඒ අනුව රජය ඒ කටයුත්ත ඉතා සාර්ථකව හා සූක්ෂ්ම ලෙස කරගත්තා.

කිසිම පීඩනයක් නැතිව ඉන්න අද වගේ දවසක, තියෙන හුදු තර්කමය කරුණක් වන බලය බෙදාහැරීම වගේ වැඩ කටයුත්තකට රජය අතගසයි කියලා හිතන්න බෑනෙ. ඔවුන්ට ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික කැමැත්තක් අනාගතය තුළවත් තියෙයි කියලා හිතන්න අමාරුයි. මොනවා වුණත් ඔවුන් ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වන සංශෝධන හරහා අපිට රජයේ අවංක කැමැත්ත මොකද්ද කියන එක තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්.

අද වන විට බලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ ලංකාවේ දෙමළ ජනයාට විතරක් නෙමෙයි. අනෙක් හැමෝටමත් මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද දේශපාලන වශයෙන් කොළඹට කේන්ද්‍රගත වෙලා. ඒ නිසා බලතල බෙදීමේ අවශ්‍යතාව හැමෝටම තියෙනවා. නමුත් ඒ පිළිබඳ වැඩි උනන්දුවක් තියෙන්නෙ දෙමළ ජනතාවට. ඒ නිසාමනෙ ඔවුන් මෙතරම් කල් සටන් කළේත්.

ඒ නිසා මේ අවස්ථාව තුළ වෙන්න ඕනෙ රටේ ඒකීයභාවය තහවුරු කරන, එමෙන්ම හැමවිටම රටේ ජනතාවගේ දේශපාලන අවශ්‍යතා ඉටු කරන බලය බෙදාහැරුණු ක්‍රමයකට යෑම අපි කළ යුතුයි. නමුත් ඒ දේවල් පීඩනයකින් තොරව ඉබේ සිදුවෙයිද කියන ගැටලුව තියෙනවා.

මොනවා වුණත් ලංකාව තුළ බලය බෙදීම කියන එක, ජනවාර්ගික ප්‍රශ්නය කියන එක විසඳන්න තියන හොඳම අවස්ථාව මේ අවස්ථාව විදිහට තමයි මං දකින්නේ. මොකද මේ වන විට එල්ටීටීඊ එක නැතිවා විතරක් නෙවෙයි ඒ හේතුවෙන් රජයට මේ වන විට විශාල පීඩනයකුත් නෑ. තවත් අතකින් ටීඑන්ඒ වගේ පක්ෂ, බෙදුම්වාදය කියන එක අතහැරලා වෙනත් ඇහැකින් දේශපාලනය දිහා බලන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා මේ අවස්ථාව තුළ මේ ප්‍රශ්නය විසඳීමට උපරිම වශයෙන් වෙහෙස වියයුතු බව තමයි මගේ විශ්වාසය.

• 18 ව්‍යවස්ථා සංශෝධනය වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිසංස්කරණ ඉතා පහසුවෙන් කිරීම සඳහා මෙරට ජනතාවගේ දේශපාලනික සවිඥානිකත්වය වැදගත් වෙන්නෙ කොහොමද?

මේක එකපාරටම උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. 2009ට ඉස්සෙල්ලා ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කළා නම්, එතකොට තිබුණු මූලික මතය තමයි මේ ව්‍යවස්ථාව ඉතාම නරකයි. ඒ අනුව ඒ ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියන මතය. ඒ වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය පිහිටුවිය යුතු බව තමයි ඒ යුගයේ මතය වුණේ. ඒ වුණාට ඒ සියල්ල 2009 මැයි මාසයත් එක්ක වෙනස් වෙනවානෙ. යුද්ධයත් එක්ක නොසිතූ විරූ අන්දමට ජනප්‍රියත්වයක් ලබනවා. ඒ නිසා තමයි 18 සංශෝධනය කිසිම ජනතා විරෝධයකින් තොරව කරන්න පුළුවන් වෙන්නෙ. 18 සංශෝධනය ඉදිරිපත් කළ දිනයේ තිබුණේ ජන පෙළගැසීම් දෙකයින. ඉන් එකක් එක්සත් ජාතික පක්ෂය මෙහෙයවපු විරෝධතාව. අනෙක විරෝධතාවක් නෙමයි 18ට පක්ෂව රජය පාර්ශ්වයෙන් ගෙනගිය පෙළපාළිය. මෙතනදි යථාර්ථමය වශයෙන් දකින්නට තිබුණු කාරණය තමයි රජය පාර්ශ්වයෙන් ගෙනගිය පෙළපාළිය යූඑන්පී පෙළපාලියට වඩා බොහොමයක් විශාල වීම. ඒ අනුව ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්නෙ දකුණේ මොනවගේ මානසික මට්ටමක්ද තියෙන්න කියලා.

• 18 වන ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මානව අයිතිවාසිකම් සහ ඡන්ද හිමිකම් වැනි තත්ත්වයන් තුළ සිදුවිය හැකි වෙනස්කම් මොනවාද?

සාමාන්‍ය සම්ප්‍රදායට අනුව ගත්තාම ලංකාව තුළ අනෙක් මොනවා නැතත් ඡන්දය වෙලාවට සිදුවෙනවානෙ. එය තවදුරටත් නියමිත වෙලාවට සිදුවෙයි කියලා හිතන්න පුළුවන්. නමුත් ජනතාව සඳහා ඡන්ද ප්‍රතිඵල කෙරේ සෑහීමකට පත්වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා.

මං හිතන විදියට මොවුන් ධුර වාරයන් වැඩි කළත් මෙතනදි ප්‍රායෝගිකව මුහුණ දෙන්න සිදුවේවි විශාල ගැටලුවකට තුන්වැනි වර ඡන්දය ඉල්ලීමේදී. මගේ නම් අදහස මහින්ද රාජපක්ෂට ඊළඟ වතාවේ ඡන්දය ෙ ජයග්‍රහණය කරන්න බැරි බව. ඡේ.ආර්. 77දී දිනන කොට ඇය ඡේ.ආර්.ට අත තියන්න බෑ කියලා හිතෙන තරමට ඔහුට විශාල ජන බලයක් තිබුණනෙ. එසේ නමුත් කල්යෑමේදී ඡේ.ආර්. ජනාධිපතිවරයාගේ ජනප්‍රියභාවය බිංදුවටම පිරිහිලා තිබුණේ.

• නමුත් එක පැත්තකින් මේ විධායක ක්‍රමය තුළ වෙනත් අපේක්ෂකයකු බලයට පත්වීමට ඇති ඉඩකඩ අහුරලා තියෙනවා. තවත් අතකින් රජය මීළඟට ගෙන ඒමට නියමිත 19 සංශෝධනය ඇතුළෙ වෙනස් වෙන්න ඡන්ද ක්‍රමය කියලා වාර්තා වෙනවා?

මේ ක්‍රමය ඇතුළෙ යම්කිසි පුද්ගලයකුට ජනාධිපතිවරයකු අබිබවා බලයට ඒමේ ඉඩකඩ ඇහිරිලා තියෙන බව මං පිළිගන්නවා. ඒ මොනවා වුණත මහජන මතය අතිවිශාල වෙනසකට භාජනය වෙලා තිබුණෝතින් මේ එක් දෙයක්වත් වළක්වන්න බෑ. ඒ නිසා ඒ තුළ විශාල වෙනස්කමක් විය හැකි බවයි මගේ නම් විශ්වාසය.

• පවතින තත්ත්වය ඇතුළෙ ප්‍රජාතන්ත්‍රවාදය ඇහිිරීයෑම, මානව හිමිකම් උල්ලංඝනය වීම වගේ සංවේදී කරුණු දිහා බැලීමට මෙරට ජනතාවගේ මනස කොයි ආකාරයෙන්ද සකස් විය යුත්තේ?

කලින් කිව්වා වගේ 18 ව්‍යවස්ථා සංශෝධනය සඳහා ප්‍රමාණවත් මහජන විරෝධයක් දක්නට තිබුණේ නෑනෙ. එහෙම ගත්තාම අපේ ජනතාවට කිසිම හැඟීමක් තියෙනවා කියලා හිතන්න බෑ ඔබ කිවූ කාරණා ගැන. අනෙක් අතට සිංහල කියන්නේ මුළු ජන සංඛ්‍යාවෙන් 75%ක් පමණ වන අතිවිශාල බහුතරයක්නෙ. ඒ අනුව බලපුවාම මහ ජාතිය වශයෙන් ඔවුන් ඉතා ශක්තිමත් පිරිසක්. ඒ වුණත් බලය බෙදීම වගේ කරුණක් ගැන කතා කරද්දී ඔවුන් කල්පනා කරන්නේ, හැසිරෙන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම ඔවුන් ඒ ගැන බලන්නේ අධික භීතියකින් යුක්තව. බලය බෙදුවාම රට විනාශ වෙනවා කියන මතය පෙරටුගාමීව සිටින ඔවුන්ගේ එම චර්යාව තුළින් විතරක් අද වන විට රටේ මහජනතාවගේ විඥානය සකස් වෙලා තියෙන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්නෙ.

ප්‍රමාණාත්මක වශයෙන් මෙතරම් විශාල සංඛ්‍යාවක් ඉඳලත්, බලය බෙදීම වගේ කරුණක් සම්බන්ධයෙන් සුළු ජාතිකයන් කෙරේ අවිශ්වාසයක් තැබීමටත්, අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමටත් මේ රටේ සිංහල ජනයා යොමුවිය යුතු නෑනෙ. මොකද දෙමළ ජාතිකයන් ඇතුළු පිරිසට සන්නද්ධ අරගලයකට යන්නටවත්, දේශපාලනික වශයෙන් බහුතර සිංහල ජනතාවට අභියෝග කිරීමටවත් පුළුවන්කමක් නෑ. නමුත් අද වන විට සිංහල ජනතාවගේ විඥානය මේ යථාර්ථය පිළිගන්න ආකාරයට සැකසිලා නෑ. ඒ නිසා අපිට මෙතනදි ඉස්සෙල්ලාම වෙනස් කරන්න සිදුවෙන්න, ප්‍රජාතන්ත්‍රවාදය බලය බෙදීම ආදිය පිළිබඳ මෙරට ජනයා තුළ ඇති හැඟීම් සහ ඔවුන් තුළ වන අදහසයි.

• ව්‍යවස්ථා සංශෝධන කාර්යයන් ඇතුළෙ මහජන මැදිහත්වීමේ වලංගුතාව පෙන්වන ජාත්‍යන්තර උදාහරණ මොනවාද?

සාමාන්‍ය විදිහට බලපුවාම ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නෙ රටක බරපතළම කාර්යයක්නෙ. ඒ අනුව එහි මූලික පියවර වියයුත්තේ ජනතාවට ව්‍යවස්ථා කෙටුම්පත ලබාදීම සහ ඔවුන් සඳහා විශාල කාලසීමාවක් ලබාදී ප්‍රධාන සාකච්ඡාවක් සඳහා මහජනතාව පොළඹවන එක. ඒ සඳහා වාද විවාද සංවිධානය කරන එක.

ස්විස්ටර්ලන්තය වගේ රටක් ගත්තාම තත්ත්වය මීටත් වඩා ඉදිරියෙන් තියෙනවා. මොකද දේශපාලනික වශයෙන් තමන්ට අවශ්‍යයැ'යි කියලා හිතන ප්‍රතිසංස්කරණ රජයට ලබාදී ඒවා ව්‍යවස්ථාවට ඇතුල් කරගැනීමේ හැකියාව එරටෙහි ජනතාවට තියෙනවා. තමාට මේ වගේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා ජනතාව රජයෙන් ඉල්ලද්දී ඒවා සලකා බැලීම රජයේ අත්‍යවශ්‍ය කාර්යයක් වෙනවා. මොකද එකී කරුණු පිළිබඳ එරට ව්‍යවස්ථාව තුළින්ම ප්‍රතිපාදන ලබාදීලා තියෙන නිසා.

ඇත්තටම මෙතනදි ජනතාවට පුළුවන් තමන් යෝජනා කරන දෙයක්, යෝජනාවලියක් ලෙස සකස් කොට ඒ සඳහා මහජනතාවගේ අත්සන් ලබාගැනීමත්, මගින් රජයට ඉදිරිපත් කිරීමට. මෙසේ ජනතාව මගින් ඉදිරිපත් වන යෝජනා සියල්ල පාර්ලිමේන්තුව විසින් සාකච්ඡාවට ගැනීම එරට සාමාන්‍ය ක්‍රමවේදයයි.

ඒ විතරක් නෙමෙයි මහජන නියෝජිතයන් නිසි පරිදි ජනතාවට ස්වය නාකරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් නිසි තීන්දු තීරණ ගැනීම සඳහා කටයුතු කිරීමට පවා ස්විස්ටර්ලන්තය තුළ ඡන්දදායකයාට අයිතියක් තියෙනවා. නමුත් ලංකාවෙ එහෙම නෑනෙ. ඒ වගේ දේවල් අනුකරණය කරමින්, ඒ වගේ දොස් කියලා ජනතාවට පෙන්වන්න තමයි ජනමත විචාරණය කියන එක අපි ගත්තෙ. මොකද ජනමත විචාරණයක් තුළදීත් ජනතාවගෙන්නෙ අහන්නෙ. එහෙත් ජනමත විචාරණයෙන් අහන ප්‍රශ්න මහජනයාගේ වුවමනාවට ඔවුන් විසින් සැකසූ ඒවා නෙමෙයිනෙ. ඒවා ඔක්කොම දේශපාලනඥයන් විසින් තම අවශ්‍යතා අනුව සැකසූ දේවල්. එතනදි වෙන්නෙ අපි මෙහෙම දෙයක් කරන්න යනවා. ඒකට කැමතිද නැත්ද කියලා බලහත්කාරයෙන් තම අවශ්‍යතාව ජනතාව මත පැටවීමක්.

(රාවය| 2010.09.26)

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මේ කවුද? මොනවද කළේ?
(ඉඟිය- ප්‍රකට ලේඛකයෙකි.)


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දුහුවිලි අවුස්සා
නෙක රථ
උතුරු මඟ දිග ඇදෙන
දකුණු උණුසුම රැගෙන.
සෙනෙහස් සුතුර
හිතැතිව
බසින්නේ ද එ රථ
දොරටු විවරව?

පෙරළා දැමූ පස මත
ඉන්ඳ වූ පැල
ඵල දරාවි ද
මුල් අඳින්නටවත් නොහැකිව
ලතැ වෙන?

දිලෙන රත් පෑ මිරිස් කරලක
සොම්නස
පමා වී වට පොද වැසි
තෙමාවි ද එබිම ගහකොළ?

එක රෑනට පියඹන
වෙන් කළ නොහෙන
අව පැහැ රත් පැහැ නළලත තිලක.
බස නොදැන
මුමුණන ආදර බස
දෙනුවන් පුරා නො ලියැවේ ද
සඳුටත් රහසේම?

හීන අංකුරක දළුලන හීනයක්
දෙපතුලට පොඩිව
මිය යයි
සීතලම උදෑසනක.
කෝ කොහිද
නොබිඳෙන හුය
දෑඟිළි එක් කළ?

පිච්ච මල් පිපෙන හිස මත
විසුරුවා තුරුණු තරු කැට
හැඩ දමාවි ද ඈ තාමත්
කෝලම්
මිදුල පුරාවෙම?
සඳ සාවුන්ට කවන්නට
තෛපොංගල්
ඉදෙන්නේ ද සුවඳ විහිදුවා ඉරගලට?

දොළොස් මහේ පහන නිවී
තැන තැන ඉහිරුණු කූඩාරම්
කල් ඉකුත් වුව
අප්පා එංගෙයි අසන ඇස් ඇති
මපුතුන් නිදිබර
සොයන්නේ ද තුරුල්ලේ උණුසුම?

සුළං රළවත් එ ගම් මැද්දෙන්
හමා ඇදෙන්නට අවසර නැති
පවුර නොබිඳී බිඳින්නේ ද හදවත
ඇහිද ගන්නට නොහැකි තරමට?

07/10

තුෂාරි ප්‍රියංගිකා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීමටත්, සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවා ගැනීමටත් පෙළ ගැසෙමු!

අප රටේ සෞඛ්‍ය සේවාව දිගින් දිගටම අර්බුදකාරී තත්වයකට ඇද වැටෙමින් පවතී. ඖෂධ හිඟය, බාල ඖෂධ ගෙන්වීම, අත්‍යාවශ්‍ය රසායනික පරීක්ෂණ හා විකිරණ පරීක්ෂණ රජයේ රෝහල් වල සිදුකිරීම අඩුකර තිබීම, රෝහල් වල ඇඳන් හිඟය, කාර්ය මණ්ඩලවල හිඟය මේ අර්බුදකාරී තත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ඉහත ගැටළු අතරින් ඖෂධ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ඖෂධ ගිඟය, බාල ඖෂධ ගෙන්වීම, ඖෂධ නිසි ප්‍රමිතියට නොමැතිවීම, ඖෂධ මිල අධික වීම ආදිය නිසා රෝගීන්ට ගුණාත්මක ඖෂධ ලබා ගැනීමට නොහැකි වී ඇත.

රජයේ රෝහල් වල අත්‍යාවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සිදු නොවීමෙන් ඖෂධ හිඟය බරපතල තත්වයට පත්ව තිබේ. පසුගිය වසරේ පමණක් ලංකාවට ආනයනය කළ ඖෂධ වර්ග 60ක් පමණ තත්වයෙන් බාල වීමෙන් පෙනී යන්නේ රෝගියාට ලැබෙනුයේ තත්වයෙන් බාල ඖෂධ බවය. මේ අතර වෙළඳ පොළේ ඖෂධ මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග ආදී ජීවිත කාලයම ඖෂධ ලබා ගන්නා රෝගීන්ට මෙම ඖෂධ මිල ගණන් කිසිසේත්ම දරාගත නොහැකි වී තිබේ. එමනිසා ඔවුන් බහුතරය ඖෂධ මිල දී ගත නොහැකි තත්වයට පත්ව ඇත. තවද අත්‍යාවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ මිල ද වේගයෙන් ඉහළ ගොස් ඇත.

ඇති වී තිබෙන මේ තත්වය ආණ්ඩුව හා ඖෂධ සමාගම් එක්ව සිදුකරන ඖෂධ ජාවාරමේ ප්‍රතිඵලයකි.

මෙම ඖෂධ ජාවාරමට වැට බැඳීම සඳහා ලොවපුරා ගෙනගිය අරගලයට නායකත්වය දුන්නේ මහාචාර්ය සේනක බිබිලේ ය. ඔහු ඉදිරිපත් කළ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අපේ රටේ මේ දක්වා ක්‍රියාත්මක කිරීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කොට නැත. නමුත් රටවල් ගණනාවක් ඔහුගේ එම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඖෂධ ජාවාරම්කරුවන්ට වැට බැඳ තිබේ.

අපේ රටේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඖෂධ ජාවාරම් කරුවන්ට වැට බඳිමින් ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන වගකීමකි. නමුත්, ආණ්ඩුව දිගින් දිගටම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගහරිමි සිටී. එනිසා එය ක්‍රියාත්මක කර ගැනීම සඳහා සංවිධානාත්මකව ආණ්ඩුවට බලපෑම කළ යුතුය. ඒ සඳහා අප සියළු දෙනා එකාවන්ව පෙළ ගැසෙමු.

(සැප්. 27 දිනට යෙදුණු මහාචාර්ය සේනක බිබිලේ 33 වන ගුණ සමරුව වෙනුවෙන් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය මගින් නිකුත් කළ අත් පත්‍රිකාව)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


Victor Jara (1932-1973)

ආදරය කරමි..
මගේ නිවසට බිරිඳට සහ දරුවන්ට..
ජීවිතය දෙන මහපොළොවට....
අධ්‍යාපනයට සහ වෘත්තියට....
පොදු යහපත උදෙසා කටයුතු කරන මිනිසුන්ට..
මිනිසාගේ සමානාත්මතාවය සුරකින සාධාරණත්වයට...
ජීවිතය විඳීමට ඉඩ සලසන සාමකාමීත්වයට....
අනෙකාගේ නිදහස කෙලෙසන නිදහස නොව සැමගේම නිදහසට...


ජීවත් වීමට සහ පැවැත්මට ඇති නිදහසට..
දරුවන්ගේ පැවැත්මට ඇති නිදහසට....
අපගේ දෛවය ගොඩ නැගියයුතු පරිසරයේ ඇති නිදහසට...
ගැති කම් නැති සැබෑම වූ නිදහසට....


1932 සැප්තැම්බර් 28 වනදින චිලී හි සැන්තියාගෝ නුවරට ආසන්න පෙදෙසක දුප්පත් ගොවි පවුලක උපන් වික්ටර් ලිඩියෝ හාරා මාර්ටිනෙස් පසුකලෙක චිලියේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, ගීත රචකයෙකු, ගුරුවරයෙකු මෙන්ම දේශපාලන ක්‍රියාධරයෙකු ද බවට පත් විය. වික්ටර් ගේ පියා මැනුවෙල්, නූගත් ගොවි කම්කරුවෙකු වූ අතර පවුලේ දරුවන්ට ඉගැන්වීම ගැන උනන්දුවක් නොදැක්වීය. දරුවන් ද තමා මෙන්ම හැකි ඉක්මනින් කම්කරු සේවයට යොදවා ගැනීමට ඔහු කටයුතු කලේය. මේ නිසා වික්ටර් ට වයස අවුරුදු 6 දී පටන් පියා සමග කෘෂි බිම් වල වැඩ කිරීමට සිදු විය.

කොතෙක් මහන්සි වී වැඩ කලද සිය පවුලට සෑහෙන ආදයමක් සොයා ගැනීමට වික්ටර් ගේ පියාට නොහැකි විය. මේ අතර ඔහු තදින් බීමට ඇබ්බැහි වූ අතර නිවසට පැමිණ දරුණු ලෙස හැසිරෙන්නට විය. මේ නිසා මැනුවෙල් සහ වික්ටර් ගේ මව ඇමැන්ඩා අතර වූ බැඳීම දෙදරා යන්නට විය. වික්ටර් ඉතා කුඩා වියේදීම ඔහුගේ පියා සිය පවුල අතහැර ගියේය. වික්ටර් ගේ මව තරමක අධ්‍යාපනයක් ලැබූ තැනැත්තියක් වූ අතර සිය දරුවන් ද අධ්‍යාපනය ලැබිය යුතු යැයි සැලකුවාය. ස්වෝත්සාහයෙන් ලද අධ්‍යාපනයද සමග ගිටාර් වාදනයටද පියානෝ වාදනයටද දස්කම් දැක්වූ ඇය ගම්බද පෙදෙස්වල තිබූ විවාහ උළෙලවල් වල ගීත ගායනයට සහභාගි වූවාය.


වික්ටර් 15 වන වියේදී ඔහුගේ මව ඇමැන්ඩා මෙලොව හැර ගියාය. වික්ටර් ඉන්පසුව ගණකාධිකාරී වරයෙකු වීම සඳාහා ඉගෙනීමට පටන්ගත්ත ද පසුව එය අතහැර පූජකයෙකු වීමට සෙමනේරියකට ඇතුලත් විය. නමුත් වසර කිහිපයකට පසුව ඔහු ඉන් ඉවත්වූයේ පල්ලියේ කටයුතු කෙරෙහි නොපැහැදීමකිනි. වසර කිහිපයක් හමුදාවේද සේවය කරන වික්ටර් ඉන්පසු සිය උපන් ගම බලා පැමිණෙන්නේ ගැමි සංගීතය සහ වේදිකා නාට්‍ය ගැන උපන් කැමැත්ත ඇතුවයි.


චිලීහි සහ අනෙකුත් ලතින් ඇමෙරිකානු රටවල ජන ශ්‍රැතීන් ගේ ආභාසය වික්ටර්ගේ නිර්මාණ වල තදින්ම දක්නට ලැබුණි. තවද යුපැන්කි, පැබ්ලෝ නෙරුඩා වැනි කලා කරුවන්ගේ නිර්මාණද ඔහුගේ නිර්මාණවලට මග පෙන්වීය. 1950 දශකයේ මැදදී වික්ටර් "කුන්කුමෙන්" නම් සංගීත කණ්ඩායම සමග ගීත ගායනයට පිවිසියේය. ක්‍රම ක්‍රමයෙන් සිය දස්කම් වැඩිදියුණු කරගත් ඔහු "නුඑවා කැන්සියොන්" නම් ලතින් ඇමෙරිකානු ජන සංගීත ව්‍යාපාරය සමග එක්වී සිටියේය. ඔහුගේ ගීත ලතින් ඇමෙරිකානු ජන සංගීතය සමග මුසු වුනු විප්ලවවාදී වාමාංශික අදහස් වලින් පිරී ගියේය. සංගීතයටම ඇලුම් කල වික්ටර් වේදිකා නාට්‍ය කටයුතු වලින් ඈත්විය. එවකට චිලී හි ජනාධිපති අපේක්ෂකයෙකු වූ සැල්වදෝර් අය්යන්දේ ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වූ වික්ටර් ඔහු වෙනුවෙන් නොමිලේ සංගීත ප්‍රසංගද පැවැත්වීය.


අය්යන්දේ ගේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථක වූ අතර ඔහු 1970 දී එරට ජනාධිපති වශයෙන් තේරී පත්විය. 1973 සැප්තැම්බර් 11 වන දින ක්‍රියාත්මකවුනු හමුදා කුමන්ත්‍රණයකින් අය්යන්දේ ගේ සමාජවාදී ආණ්ඩුව පෙරලා දමා ඔහුව ඝාතනය කලේය . මෙම සිදුවීම වන විට වික්ටර් එරට තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියේය. ඔහු එදින මුලු රැයම විශ්වවිද්‍යාලයේ අනෙකුත් ගුරුවරුන් සහ ශිෂ්‍යයන් සමග ගත කල අතර ඔවුන්ගේ ආත්ම ධෛර්ය වඩවනු වස් ගීත ගායනා කලේය.


පසුදින උදෑසන වික්ටර් සහ තවත් දහස් ගණනක් වූ පිරිස්, සිරකරුවන් ලෙස ක්‍රීඩාංගනයකට රැගෙන යනු ලැබීය. බොහෝ දෙනෙක් එහිදී අනේක විධ වද වේදනාවලට ලක් වෙමින් මිය ගියහ. වික්ටර් ද දිගින් දිගටම හමුදා සෙබලුන්ගේ වධ වේදනා වලට ලක්විය. ඔහුගේ ඉල ඇට මෙන්ම දෑත් ද කඩා දැමුනි. එම බිහිසුණු සිදුවීම සියැසින් දුටුවන් පවසන පරිදි දෑත් කඩා දැමූ වික්ටර් ට ඇතැම් හමුදා සෙබලුන් අවඥා සහගත් ලෙස "හැකිනම් දැන් ගිටාර ගහපන්" යැයි පවසා ඇත. වික්ටර් එහිදී "වෙන්සෙරෙමොස්" (අපි දිනන්නෙමූ) නම් ගීතය ගයනු ලැබීය. තව තවත් පහර දෙනු ලැබූ මෙම විප්ලවවාදී ගායකයාව ඉන්පසු ඉතා කෲර ලෙස වෙඩි තබා මරා දමා ඔහුගේ සිරුර මාවතක් අසල දමා ගොස් තිබියදී පසුව නගරයේ මෝචරියට භාරදෙනු ලැබීය.


වික්ටර් විසින් තම මරණයට පෙර ක්‍රීඩාංගනයේ රඳවා සිටි තමන් ඇතුලු අනෙකුත් සිරකරුවන් පිළිබඳව ගීතයක් රචනා කලේය. එය තවත් සිරකරුවෙකුගේ සපත්තුවක් තුළ රහසේ සඟවා තිබුණි. 2008 වසරේ ජූනි මාසයේදී වික්ටර් හාරා ගේ මරණය පිළිබඳ පරීක්ෂණ කටයුතු යළි ආරම්භ විය. එහිදී වික්ටර්ව මරා දැමූ හමුදා නිලධාරීන්ව හඳුනාගත් අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනුනි. 2009 දෙසැම්බර් මස 3 වනදින දහස් ගණනකගේ ගෞරවාචාර්ය මැද වික්ටර් හාරා නම් අභීත විප්ලවවාදී සංගීතඥයාගේ සිරුරේ කොටස්, එයට වසර 36 කට පෙර එනම් 1973 දී ඔහුව වල දැමූ ස්ථානයේම ගෞරවාන්විතව භූමදානය කෙරිණ.


ඉතිහාසය අපට බොහෝ දේ උගන්වයි. එහි ජීවත් වුනු මිනිසුන් ගැන ඔවුන් කලකීදෑ ගැන බොහෝ පාඩම් අපට කියාදෙයි. තම හිසට ඉහලින් රැඳි අයුක්තියේත් සමාජ අසාධාරණයේත් පර්වතය තම හෘද සාක්ෂියේ ස්ඵන්දනයෙන් ස්පර්ශ කලා වූ මිනිසුන් එම මහා පර්වතය දෙදරුම් කැවීමට සමත් වීය. දිනෙක මෙම මහා පර්වතය සහමුලින් කඩා ඉහිරවිය යුතු බවට මුලු මහත් මිනිස් වර්ගයාටම පෙන්වා දෙමින් ඔවුහු සිය ආත්මයන් සදාකල් අප අතරම රැඳවූහ. ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟව ලොව දෙස බලනා කල එම ආත්මයෝ ඔබ දෙස ආදරයේත් බලාපොරොත්තුවේත් දෑසින් බලා සිටින අයුරු දක්නට ලැබේවි.

අනුෂ්ක තිලකරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මත් පැන් බීලා හදාගන්න ලෙඩ වලට රෝගියාගෙන් මුදල් අය කරනවා
-ගරු ඇමතිතුමා


ඇත්ත තමයි ඇමතිතුමෝ
හදාගන්නවට කුණු ලෙඩ
සල්ලි අරන් මදි මුන්ගෙන්
නවත්තන් එපා ඔතනින්
ඔහොම යං ඉදිරියටම

සමාජ රෝග හදාගන්න උන්ගෙන්
ගනු මැනව සල්ලි නොපමාව
උන් ලෙඩ හදාගන්නෙත්
හොරෙන් නිදිවදින්න යන හන්දාය

ඇක්සිඩන්ට් වෙන එවුන්ට
එහෙම වෙන්නේ
වගක් නැතිව යන හින්දයි

හෙම්බිරිස්සා නිවුමෝනියා හැදෙන්නේ
කන්න මේ තරම් තියෙද්දිත්
සීතල කෑම හොය හොයා කන හන්දාය

දියවැඩියාව හැදෙන්නේ
බඩජරි කමට
පැණි රසම කන හින්දාය

කොලෙස්ටරෝල් හැදෙන්නේ
තෙල්ම කන හන්දාය

වදන වාට්ටුවෙනුත්
ගත යුතුය ලොකු ගානක්
උපද්දන් නැත්නම් මේ ගෑනු
ලෙඩ හැදෙන්න කෝ මිනිස්සු

බය වෙන්න එපා ඇමතිතුමෝ
කැමැත්ත දෙන්නෙ අපි
ඉස්සෙන හැම එකම උස්සලා

ප්‍රජාතන්ත්‍රවාදය එපා කියනා අපිට
සෞඛ්‍ය සේවාව
නොමිලේ දෙන්නෙ මොනවටද?

චූලානන්ද සමරනායක

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අන්ධකාර ශාලාව නිහඬය. සියයක් අසුන් ගත හැකි වියනාහි කුඩා තියාටාප‍්‍රැර්ට් රඟහල පිරී ගොසිනි. වේදිකාව විසල්ය. හීනියට හඬක් නැගේ. රූර්ර්, ශීර්ර්, ඌම්ම්.... ආලෝක ධාරාව කලු රෙද්දකින් හිස සිට වසා සිටින හෙක්ටර් මත පතිත වෙයි. සතිය පුරා පැවැති වැඩමුළුවට එක් වූ සගයින් දෙදෙනෙකු ඒ හඬ දෝංකාර නංවයි.

'රාත‍්‍රී සුළඟ' ඇරඹෙයි. හඬ උච්ච වෙයි. ක්ෂණික නිහඩතාවය. 'ත‍්‍රස්තවාදියා එන්නේ කොතැනින්ද?' ලොමු දැහැගැන්වෙන හඩින් අසන හෙක්ටර් සිය බඩ තුර පහලින් ගර්භනී බවක් නිරූපණය වූ බැලුම එළියට ගෙන පා කර හරියි. කලු රෙද්ද ඔහු නැගී සිටි බංකුව මත අතුරමින් ඒ මත දිගා වෙයි.

හෙක්ටර් අර්ටිස්බාල් වියනාහි දින පහක් පුරා පීඩිතයාගේ රංගකලාව පිළිබඳ වැඩමුළුවක් පැවැත් වූයේ විකල්ප කණ්ඩායම් දෙකක ආරාධනයෙනි. එහි අවසන් දවස වූ පසුගිය 10වන සිකුරාදා ඔහු සිය ජීවිතයේ පැතිකඩක් වූ 'රාත‍්‍රී සුළඟ' රඟ දැක්වීය. එම සැන්දෑව හදුන්වා දුන්නේ වැඩමුළුවේ වඩාම වර්ණවත් සහභාගිකාවක වූ රෝදපුටුවක ගමන් කරන වේරා ය. ඇගේ රෝද පුටුවේ රෝද වසා රතු අකුරින් මෙසේ ලියා තිබුණි. 'dance ability' නැටුමට හපන්.

ඒ disability නොහොත් අංග විකල යන අදහසට අභියෝගයක් පරිද්දෙනි. හෙක්ටර් රංගනය සඳහා ඇද සිටියේ එදා දවස පුරා වැඩ මුළුවට හැද සිටි දුඹුරු පැහැ ටී ෂර්ට් එක සහ ඩෙනිම් කලිසම ය. ඒකාංග රංගනය වැඩ මුළුවේ එක් පුහුණුවක් වූ 'කතා කීමේ කලාව' සමඟ එකට වෙලී තිබුණි.

"අවුරුදු 14දි මං හවානා රේඩියෝවට ලියුමක් යැවුවා, වේ ගුවේරාගේ ඔක්කොම ලිපි මට එවන්නැයි කියා" රතුපාට කඩදාසි රූනෙක් මගින් අභිනයෙන් ලියුමක් ලියූ හෙක්ටර් ප්‍රෙක්ෂකාගාරයට රූනා පියඹා එවූයේ ය. "මාත් ඒ ලියුමේ කොපියක් ළඟ තියා ගත්තා"

"චේ! චේ !! චේ !!!, අප හැමෝම කතා කළේ ඒ ගැන" අපේක්ෂා සහගත සිනහමුසු මුහුණ. දුරින් අඩි තබා කැරෙන රංග නිරූපනය.

"1982 කොළෙම්බියාවේ ජනාධිපති දරුණු පාලනයක් ඇති කරා. සෑම කෙනෙක්ම සැක කරන මර්දනකාරී නීති පැනෙව්වා" හෙක්ටර් බඳ වටා එතී තිබූ කලු රෙදිපටිය ගෙන එය කමීසයේ බෝ එකක් ලෙස සකස් කලේ නිමේෂයෙන්. දැන ඔහු ජනාධිපති. "කොම්යුනිස්ට්වාදී ත‍්‍රස්තවාදය පරාජය කිරිමට මට සහය වෙන්න. දෙවියන්ගේ බැල්ම ඇති අපේ දේශය රැක ගමු. සැක සහිත කෙනෙක් දුටුවොත් හඬක් ඇහුනොත් වහාම ආරක්ෂ අංශ වෙත වාර්තා කරන්න. මං හදිසි නීතිය පනවනවා ද්‍රෝහීන්ගෙන් රට රැක ගන්න." ඒ ජනාධිපති හඬ.

හෙක්ටර් යළි හෙක්ටර්ගේ භූමිකාවට. "ඒ කාලේ මගේ බාල සහෝදරයා තවත් යාළුවො කට්ටියක් එක්ක විනෝද සංචාරයක ගියා. දුර ගමක ඔවුන් නවාතැන් ගත්ත දේවස්ථානයක. ඔවුන් දේශපාලනය කතා කරනව දේවගැතිවරයාට ඇහුණ. ඔහු සිකුරිටියට කිව්ව. සිකුරිටිය පොලීසියට කිව්ව. පොලීසිය හමුදාවට කිව්ව. ත‍්‍රස්තවාදීන් අත් අඩංගූවට ගන්න හමුදා ට‍්‍රක් රථ ගම වට කරා. කොල්ලො ටික කුදලාගෙන අරන් ගියා" බියෙන් වෙව්ලන හඩින් හෙක්ටර් අපට පිටුපෑව. ඔහුගේ සගයින් දෙදෙනා පරණ බෙලෙක් ඉනිමඟක් බිත්තියට හේත්තු කරගෙන බියමුසු හඬක් නිකුත්වන සේ ඊට තට්ටු කරමින් සිටියා.



හෙක්ටර්ගේ බඳ වටා එතී තිබූ කලු පටිය තුවක්කුවක් ලෙස දෑතින් ඇද ගැණුනි. "එළිවෙන ජාමේ අපේ ගෙදරත් වට කරා. වාඩිවෙයන්, අම්මා පැත්තකට තල්ලු කරා. සොල්දාදුවො අපේ කාමරේ සුද්ද කරන්න ගත්ත. මේ මොකක්ද? ගරිල්ලන්ට සහාය දෙන පක්ෂයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය. මේ මොකක්ද? හිර ගෙදරක ඉන්න ගැහුණු ජායාරූපයක්. අන්තිමේ දි මං වයස 14 දි හවානාවට ලියපු ලිපිය. උඹේ මල්ලි උඹ ගැන ඔක්කොම කිව්ව. කියපන් ඇත්ත." කලු රෙදි කඩින් දැන් හෙක්ටර්ගේ දෑස් බැද හමාරය.

සිය සහෝදරයා විප්ලවීය පොතපත කියවන බව හෙක්ටර් දැන සිටියේ නැත. ඔහු සිය කාමරයේ සැකයට බඳුන් විය හැකි ලියවිලි කිසිවක් තබා ගත්තේ නැත. නමුත් ඔහුගේ බාල සොයුරා එම පොත කාමරයේ සඟවා තිබුණි. හෙක්ටර් ද ඒ රාත‍්‍රියේ ම හමුදා වධ කඳවුරකට ගෙන යන ලදී. 'ලෝකයේ පැරණිම ත‍්‍රස්තවාදී පුහුණු කඳවුරේ ඒ කියන්නේ ඇමරිකාවේ පිහිටි ලතින් ඇමෙරිකානු හමුදා පුහුණු කඳවුරේ පුහුණු වී සිටි වධ කඳවුරේ හමුදා ලොක්කා පිස්තොලය කණට තිබබා, ඩෝං' පේලියට තබා තිබූ බැල්මක් හෙක්ටර් පයින් පාගා පොඩි කරයි. ස්වේචජා සගයකු වටාස් හඩින් අත්පුඩියක් තලයි. 'තවත් සොල්දාදුවෙක්,' කලු රෙදි පටිය යළි තුවක්කුවකි. තවත් බැලු මක් පිපිරේ. චටාස් අත්පුඩි තැලීමකි. බිත්තියේ ඇඳපු රූපවලට දිගටම වෙඩි. 'චට පටාස්, චට පටාස්, චට පටාස්.....' ඒ හඬ සමඟ බෙලෙක් ඉණිමඟ සෙළවීමෙන් නැගෙන බොල් බියකරු හඬ එක්වෙයි.

හෙක්ටර්ට සිය මලයා දකින්නට ලැබුණේ නැත. වතුර බිඳක් හෝ නින්දක් හෝ නොමැතිව දවස් තුනක්ම සිටගෙන සිටීමට හෙක්ටර් බල කෙරුණි. අවසානයේ දී වතුර වතුර යැයි ඉල්ලූ කළ තම හිස වතුර බාල්දියක ඔබා තැබු සැටි හෙක්ටර් නිරූපනය කරන්නේ කතාව ද කියන අතරම ය. වතුර ලැබුණේ නැත.

දරුණු වධ හිංසාවන්ට ලක් වූ දෙසොයුරන් වාසනාවකට මෙන් නිදහස් වන්නේ එම අවස්ථාවෙහි කොළොම්බියාවෙහි නිරීක්ෂන වාරිකාව නිරත වෙමින් සිටි අන්තර් ජාතික මානව හිමිකම් දූත මණ්ඩලයක් නිසා ය. වාමාංශික ගරිල්ලන්ට හිතවත්කම් දැක් වූ ඒ බාල සහෝදරයා වසර ගණනාවට පසු ආණ්ඩුවේ මිනීමරු ඝාතන කල්ලි විසින් අත්‍යන්තයෙන් ම බියකරු වූ වධ හිංසාවන්ට ලක් කර මරා දමන ලදී. වධ හිංසාවන්ට ලක් වූ ඔහුගේ සිරුර මිහිදන් කර සිය ජීවිතය බේරා ගැනීමට පලා ගිය ඇමෙරිකාවට ආපසු එන අතර තුර පළි ගැනීමේ මාවත ගනිම්දෝ නොගනිම්දෝ යැයි ඔහුගේ සිත පෙළෙන අවිනිශ්චිත මෙහොතෙහි සිය දරුවන් මෙනෙහි විමෙන් හෙක්ටර් වනගත වීම වෙනුවට රංගගත වීම තෝරා ගනී. සිය සහොදරයාගේ මරණය නිරූපනය කරමින් සිය රංගනය අවසන් කරන හෙක්ටර් යළි අසන්නේ මුලින් අපට ඇසුනු පැනය ම ය. "ත‍්‍රස්තවාදියා බිහිවන්නේ කෙහෙන්ද?" මව්කුසයෙන් බිහිවන දරුවා ත‍්‍රස්තවාදියකු වන්නේ උපතින්ද? නැතනම් වධ හිංසා පැමිණ වීම නම් රාජ්‍ය ත‍්‍රස්තවාදයෙන් ද? ඔහු අපගෙන් නොඅසා අසන ප‍්‍රශ්ණය එය යි.

නාට්‍යය පුරා ඇමෙරිකානු අධිරාජ්‍යවාදය මෙන්ම ලොව පුරා පවතින වර්ගවාදී සහ ඒකාධිපති පාලනයන් උග‍්‍ර විවේචනයට හසු කරන "රාත‍්‍රි සුළඟ" අත් අඩංඟුවෙහි දී වධ හිංසා පැමිණ වීම තේමා කරගත් පැය බාගයකට නොවැඩි ඒකාංග රංගනයකි. එහි වැදගත්ම පියවර එළඹුනේ රංගනය අවසානයේ දී ය.

”හැමෝම වේදිකාවට එන්න” යැයි කැඳවූ හෙක්ටර් ගතික භාවනා අභ්‍යාසයකට අප හැම යොමු කළේ ඇඟමැලි කඩා හිරි යැවීමට මෙන්ය. අනතුරුව ඔහු හැමට සිය රංගනයේ දුටු පණිවුඩයට ප‍්‍රතිචාරයක් අභිනයෙන් දක්වන සේ ඉල්ලා සිටියේ ය. විවිධ ප‍්‍රතිචාර මතුවිය. කේන්තිය, කණගාටුව, පළිගැනීම, නැගී සිටීම, සාමුහිකත්වය, අයාචනය, මරණය, සටන්කාමිත්වය යනාදී ලෙසිනි. ඊළගට එම ප‍්‍රතිචාරයට මහ හඬක් එක් කරන ලෙස ඉල්ලීමකි. වැඩිම නැගී ආ හඬ වූයේ "කවදාවත් එපා" (Never again) හඬ ය. මම ඈත බලාගත් අපේක්ෂා සහගත අභිනයකින් යුතුව කෑ ගැසුවෙමි: "කවදා හරි දවසක" දෙවනුව හෙක්ටර් අප සියයක් දෙනා දෙකොටසකට බෙදා සාමූහික ඉරියව්වන්ට යොමු කර අනෙක් පාර්ශවයේ වධහිංසා විරෝධී අභිනයන් අර්ථ නිරූපනයකට ලක් කරන සේ කියා සිටියේ ය. පේ‍්‍රක්ෂකාගාරය මනුෂ්‍යත්වය උදෙසා වූ දේශපාලන වේදිකාවක් බවට පත් විය. අප හැම එකම අරමුණකට නොදැනීම බැදුණි.

හෙක්ටර් සිය අප‍්‍රිකානු බෙරය වයමින් සිය රංගනයේ උපත සිදුවූයේ ඉරාකයේ අබු ගිරාබ් සිරකඳවුරේ වදහිංසා විරෝධී හැඟීමෙන් බවත් තමා සිය ගමන් මල්ල පමණක් රැගෙන ගොස් මෙම ඒකාංග රංගනය පවත්වන සැටිත්, ගායනයක් වැනි කතාවක් රාත‍්‍රී සුළඟට මුසු කළේ ය. ‘අපට අවශ්‍ය නිර්මාණශීලී සිතීමක්, පැන්ටසි නොවෙයි’ කියූ ඔහු කලාව මගින් යුක්තියේ පණිවුඩය ගෙන යන්නේ කෙසේද යන සාකච්ජාව ගොඩ නැගුවේ තව තවත් ක‍්‍රියාකාරකම් තුලිනි.

ඉන් එක් ක‍්‍රියාකාරකමක් ලෙස අප කණ්ඩායමකට මැෂිමක් සේ අතපය හැසිරවීමට කියූ හෙක්ටර් මැෂිමට අණ දුන්නේ මැෂිම වේගයෙන්, මැෂිම අඬනවා, මැෂිම සතුටෙන් ලෙසිනි. එකවරම මැෂිම "ඉරාකයට යනවා, දැන් ඉරාකයෙන් එනවා" යැයි ලද නියෝගය අප කණ්ඩායමට අභියෝගයක් ගෙන ආවේ ය. ඉරාකයට යන් මැෂිම බෝම්බ හෙළමින්, වෙඩි තබමින් ගිය අතර ආපසු එන අතර මිය ගිය සොල්දාදුවන් ගෙන එනු නිමේෂයකින් නිර්මාණය විය. මට ඒ නියෝගය ඇසුණේ "වන්නියට යනවා, වන්නියෙන් එනවා" ලෙස ය.

අප‍්‍රිකානු බෙර වාදනයට පා තැබූ කෙටි නමුත් විමුක්තිදායක නැටුමකින් සිත් සැහැල්ලු කර ගත් අප විසිර යන අතර හෙක්ටර් ගේ දෑත ගෙන "ඔබේ අත් දැකීම මගේ අත් දැකීම යි, වධහිංසා වින්ද, මරණ අත් දැක්ක, හිරේ ගියා, මරණයෙන් බේරෙන්න පිටුවහල් වුනා..." යැයි කියත්ම හැගුම්බරව තිබූ අපේ සිත් විසින් දෑස් තෙත් කරනු දුටු අපි දුරස් වූයෙමු. සීතල වෙමින් තිබූ වියනා හී රාත‍්‍රී සුළඟ වෙත පා නඟන මගේ දෙසවන් හි හෙක්ටර්ගේ උණසුම් වචන දෝංකාර දුන්නේ ය.

"Brothers are together, where ever we are" [කොහේ හිටියත් අපි සහෝදරයින් එකට!].

සුනන්ද දේශප්‍රිය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මල්වඩම හරවා යැවිණ.

ත්‍රස්ත වූහ!
මගේ රටේ අදේශපාලනික බුද්ධිමත්හු

කෙලෙස අදහන්න ද?
පාන් පෙත්තකි න්‍යාය..... රජ වසුරු නම් වෙඬරු ය
වයින් වඩියකි ප්‍රතිපත්ති..... හිස් වෙයි දෑස පියවෙයි
එදිනෙදා මිය යන මිනියක් වීම පහසුය
ආයු බල වර්ණ වඩා ගන්නට හොඳම මග එයමය

"අහා ඒ මල්වඩම!
රජු එවන - අප පතන - කළ සේවයට සරිලන
මොක් පුරේ මහ දොරේ රහස් අංකය රැගත්
ශුද්ධ වූ මල්වඩම
නොපතන්නවුන් වේද ඉතිරිව?"


ඔව් හිඳියි අතළොස්සක් නොමළවුන්
මේ කවිය උන්ට ය

මිනිසුනි අසනු..... අස්වැද්දිය යුතුය මුඩු හිස්
පෙරලමු නැවුම් පස..... වපුරමු නැවුම් බිජුවට
අවදියෙන් සිටිය යුතු..... රැකිය යුතු දළු දමන ලා ගොබ
ගැනිය යුතු දින ගණන..... එ ගස් තුරුණුව මල් දරන තුරු

කවියනි අසනු.... නිපදවිය යුතු පොහොර ද
පලිබෝධ ප්‍රතිරෝධ සහ සතුරු ප්‍රතිදේහ
ගොවියනු අසනු.... කම්කරුවන් ද සමගින්
අවැසිය හොඳම මල්..... කලක් අල්ලා සිටිය හැකි

නෙලිය යුතු ඒ මල්
හුයෙක අමුණා එකිනෙක සෙමෙන්
සැදිය යුතු සහසක් මල් වඩම්
එක සතුරෙකුට එක බැගින්

ලොකු බල්ලන්ට ලොකු වඩම්
පොඩි කුක්කන්ට පොඩි වඩම්


දිනෙක උදයක
වාසල් දොර ළඟ.....

2010.09.25

කර්තෘ අඥාතයි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මෑත එක් යුගයක - ලෙයින් නැහැවුනු පොළොවක
පවුකාර දේශයක - අසිරිමත් වේයයි පෙන්වූ
විසුවා මහා රාජයෙක්

ජෝර්ජි අබෂ්විල්ලි - ඔහුගේ පුදුම නම විය
රූමත් බිරියකුත් - දරුවන් ද පුෂ්ටිමත්
හිඳින්නේ මේ රජු හට

මේ තුන් ලෝකයේ - වෙන කිසිම රජෙකුට නොවූ තරම්
අසුන් අස් හලෙහි ද - පක්කලියන් ද දොරකොඩ
බටයෝ ද සේවයේ - කලාකරුවෝ ද ගෙමිදුල

උපදේශකයෝ ඇඳ යට - කතුවරු ද වැසිකිළි වළ තුළ
ගිරවුන් නිදන කුටියෙහි - පූජකයින් ද පිළිකන්නෙහි
කවටයන් මැඳුරෙහි - දඩ බල්ලන් ද අත ළඟ
හිවලුන් ද ගී ගයන - අපුල්ලන්නන් ද ළිඳ ළඟ
මේ රජුට සිටියා
ජෝර්ජි අබෂ්විල්ලි - කෙසේ නම් විස්තර කරන්න ද ඔහු
ඔහු සැපෙන් සිටියා*


දිනෙක එක් සවසක - දියෙන් මතුවුනු මැඳුරක
නැගී අත් පොකුරක් - නොමැරෙන ලෙසින් කිසි දින
රජුට වරමක් දුන්නා

තිමිර මැද නිදන දන - වරක් ඇහැරී නෙත් හැර
කිම්දැයි බලා පෙරළිය - "අපිට කම් නැති" නියා දැන
යළි ඇඳේ පෙරලුනා

මළත් මළකුණ ද රජ - ඊළඟට පුතු පෙරහැර
හොරිකඩයන්ට සුර සැප - ඉනුත් පසු නෑ පිරිවර
නිදන්නෙද අපි? කිව මැන

*(බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාවට හෙන්රි ජයසේන ලියූ ආරම්භක ගීතය ඇසුරෙන්. කව්කාස්කියේ සිට වෙනත් රටක් වෙත ඒමේදී ගීතය සුළු වශයෙන් විකෘති වී ඇත.)

කර්තෘ අඥාතයි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගැට පද පිරුණ
පිටු කළු ගැසුණ
පොත
මම,
රාක්කය මත
ඔබ
තව බොහෝ පොත් මැද
වෑයමින්
සිරගත කළ..

නොම රමණි
වන පැරණි
පොත
මම,
කියවනු අරුචි යැයි
කලකට ඉහත
ඔබ
නම් කළ..

බොඳ සිත්තමකි
මුල් පිට
මහ හිස්තැනකි
පසු පිට,
පෙරවදන්
පසුවැනුම්
අයිති
නැතියෙන..

දුම් රොටුවක් විලස
අතීතයටම
එක්වුණ
ඉතිහාස පොත
මම,
හැම රහසක්ම
අකුරු යට
වළ දමා
හිනැහුණ..

තවමත්
අකම්පිත
පොත
මම...
අලුත් පොත් අතැතිව
සිටින
ඔබ කිසිවෙකුට
නොපෙනෙන..

26.09.2010

රසික ජයකොඩි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails