Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


සන්ධ්‍යාව
සීතලෙන්
අන්ධයි
සංසාරෙ
සළු ලිහා
අන්ඳයි
නන්නාඳුනන දුරක
ඉර තැබූ පය ලකුණු
සංතානයට අඳුර
කැන්ඳයි

ව්‍යාකරණ
සිල් බිඳින
රාත්රිය
අකුරු
පද පේළි
උසි ගන්නයි
ව්‍යාකූල වළාකුළු
කැරළි කෙහෙරැළි ලිහා
ව්‍යංජන ස්වර
පීලී පන්නයි.

ගිම් සමය අවසන්ව
බිම්බරක් කොළ පත්‍ර
නිම්තෙරට පාව යන
හින්දයි
මං මගේ කවුළු දොර
යන්තමින් හැර තියා
අන්ධ අඳුරට ඇදෙමි
මන්දැයි?

අවතාර පමණකිය
මහපාර
මධුපානයට බඳුන්
පුරවාන
හිත තාම සැළෙන විට
ඔබ ගාව
දුර ඈතවත් නොමැත
හඳපාන

හිස නමන වීදී කණුවට
හිස නමමි
ගොස නඟන මඳඳුරින්
ඇස පිසිමි

දීර්ඝ ඇදය සේ ඇද වුණ
මාර්ගය කෙළින් කර
පිය මැන
තාර්කික කහ ඉරක
නවතිමි

පැන්සයක්වත් නොදුටු
බඩවතකි
යන්යසයක් සේම
අකුරින් අඩකි

අම්බරය පෙළා ගෙන
ඉහළ නැගි
ලිංගයක දෙපා මුල
කොම්බුවක් විලස
ගුලි වී හිඳිමි
තුංග වූ කුළුණක් ය
වංකගිරි නුවර මැද
ඉන් කෙලෙස
කුළුණු ගුණයක් දකිමි?

ඉස්පිල්ල ගලවමින්
මොහොතකට
කෙස්ස ඇද
කන් අගුල්
බිඳ දමමි
දොස් කියන්නට
නොහැකි
ගෙවුණු පාපිලි
සමඟ
අස්වැසිලි ගණඳුරට
තනි රකිමි

සරනු හැකි
පියාපත් නැතුවාට
අයනු ආයනු පලි ද
මම සිතමි

නිවෙනු දැල්වෙනු
දැනෙන
පිළුණු
හද කුටිය මත
අඳුරු කවියක එළිය
සතපවමි.

2010.10.10

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නීතිපීඨ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට එස්.බී.දිසානායක ඇමතිතුමන් පැමිණි අවස්ථාවේ එතුමාගේ රාජකාරියට බාධා කරමින් අනවසර ලෙස රඳවා තබා ගත් බවට සිසු නායකයෝ සිව් දෙනක් වෙත චෝදනා එල්ල කර රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මේ ඒ සමිබන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුවෙක් බිත්ති පුවත් පතක පළකරන ලද කවියකි.

යටගිය දවස එක් දිනෙක
සුචරිත ඇමති උතුමන් සපැමිණ
විවර කෙරුවා මතකය
අභිනව යයි කියන
නීති පීඨයේ ද්වාරය

පීඨයේ දොර හරින සඳ
තෙපලනු මැනවි මැති සඳ
ඔබ'තින් කෙලෙසකද
වැසූයේ නීතියේ දොර

ඔබ හැරි දොරින් රිංගමින
ඉදින් කොහොමද හඟින්නේ නීතිය
නීතිමය වගන්ති ද
වනපොත් කරනුයේ කෙලෙසක

සුදු හුණු ගෑව රළු බිතු අතර
ඔබෙ සිනා හඬ සමඟ කැළතුන
දෙදරවා ඇසෙනුයේ
එක හූ හඬක් පමණය

කොඳුරයි නිතියෙන
ඒ හඬ සෙමෙන් මෙලෙසට
"නිදි වරාගෙන දිවා රැය
උගෙන කුමකටද නීතිය
එකම එක පාඩමයි
අද දින උගත යුතු තොප
නීතිය දිලෙනු ඇත-බලය රැඳි අත මත"

කර්තෘ අඥාතයි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමලරාජන් මරා දමා දස වසරක් ගෙවී ගොස්ය. 2000 වසරේ ඔක්තෝබර් 19 වැනිදා රාත්‍රී 10.00ට පමණ ආයුධ සන්නද්ධ පිරිසක් විසින් වෙඩි තබා අත් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් නිලමරාජන් මරා දැමුනේ සිය නිවසේදීමය. ඒ වෙන කොටත් නිමලරාජන් 'වීරකේසරී' පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් සිටියේය. 1983 ජාතිවාදීන්ගේ ප්‍රහාරයට ලක්වුණු අගනුවර දෙමළ ජනයා අතරේ නිමලරාජන් ද ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් ද විය. රජයේ මුද්‍රණාලයේ සේවය කළ ඔහුගේ පියා සංගරපිල්ලෙයි මයිල්වාගනම් වාමාංශික අදහස් දැරූ වෘත්තීය සමිති ක්‍රියාධරයෙකි. නිමලරාජන්ලා රාජගිරියේ පදිංචි නිවෙස අත්හැර යාපනේ පදිංචියට යන්නේ අනාථ කඳවුරුවල සති කීපයක් ගෙවා දැමීමෙන් අනතුරුවය. 1983 ජූලි ජාතිවාදීන්ගේ ප්‍රහාරයන්ගෙන් ජීවිත රැකගත් දෙමළ මිනිසුන් බොහෝ දෙනෙක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පිටත් කෙරිණි.

වසර කිහිපයක් ඇවෑමෙන් නිමලරාජන් උතුරේ දෙමළ ජනයා අත්විඳින කටුක දුක්වේදනාවන් ලෝකයා හමුවේ කියා පාන්නට ගත්තේ මාධ්‍යවේදියෙක් ලෙසිනි. ඒ අති දුෂ්කර වටපිටාවක සිට සීමිත පහසුකම් මැද්දෙනි. 'බී.බී.සී තමිල්ඕසේ', ඒබීසී මාධ්‍යජාලයේ 'සූරියන් එෆ්.එම්.', 'වීරකේසරී', 'ආදන්', මාධ්‍යයන් වෙත දෙමළ භාෂාවෙන් ද, 'බීබීසී සංදේශය', ඒබීසී මාධ්‍යජාලයේ 'හිරු එෆ්.එම්', හා 'රාවය' මාධ්‍යයන් වෙත සිංහල භාෂාවෙන් ද, ඝාතනයට ලක් වෙන මොහොත වන තෙක්ම අඛණ්ඩ තොරතුරු සැපයුවේ මහත් උනන්දුවකිනි. ඒ පිළිබඳ මෙකී මාධ්‍ය ආයතනයන්හි එවකට සේවය කළ මාධ්‍යවේදීන් සාක්ෂි දරනු ඇත.

සෑම මොහොතකම නිවැරදි තොරතුරු ලබා දෙන මාධ්‍යවේදීයෙක් ලෙසත් දුෂ්කර අවස්ථාවන් යටතේ වැඩ කිරීමට ඇති හැකියාවත් නිසා නිමලරාජන් දකුණේ ජනමාධ්‍යවේදීන් අතර පිළිගැනීමට ලක්වූයේ නිතැතිනි. කලක් අගනුවර විසීම නිසා සිංහල භාෂාව හැසිරවීමේ හැකියාවත්, සිය පියාගේ ආභාෂයෙන් ලැබුණු වාමාංශික දේශපාලනික අදහස් ද මීට ඉවහල් විණි.

වරක් නිමලරාජන් මාධ්‍ය හැඳුනුම්පතක් ලබාගැනීම පිළිබඳ බරපතළ අර්බුදයක පැටලී සිටියේය. එවකට යාපන අර්ධද්වීපයේ පැවති භීෂණකාරී, මර්දනකාරී වටපිටාව හේතුවෙන් මාධ්‍ය හැඳුනුම්පතක් තිබීම ඉතාමත් වැදගත් විය. ඒ මගින් යම්තරමකට හෝ බාධාවකින් තොරව තොරතුරු සොයා ගැනීමේ කාර්යය ඉටු කර ගත හැකි බව නිමලරාජන්ගේ අදහස විය.

ඔහුගේ බොහෝ සිංහල මිතුරන් සිටි 'රාවය' පුවත්පත් ආයතනයට මාධ්‍ය හැඳුම්පත පිළිබඳ ඉල්ලීම ඉදිරිපත් කෙරුණේ මහත් අපේක්ෂාවන් ඇතිවය. එහෙත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. 'රාවය' සංස්කාරක වික්ටර් අයිවන් කියා සිටියේ නිමලරාජන් කොටි සංවිධානයට සම්බන්ධ අයෙක් ලෙස සැකකෙරෙන හෙයින් ඔහුට 'රාවයෙන්' මාධ්‍ය හැඳුනුම්පතක් ලබා දිය නොහැකි බවය.

ඒබීසී මාධ්‍ය ජාලයේ ප්‍රධානීන් ද එකී ඉල්ලීම ඉටු කිරීමට උත්සුක වූයේ නැත. එවකට ප්‍රාදේශීයව කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය හැඳුනුම්පත් ලබාදීමට මාධ්‍ය ආයතන එතරම් උනන්දු වූයේ නැත.

අවසානයේදී නිමලරාජන්ට මාධ්‍ය හැඳුනුම්පතක් ලැබුණේ 'හරය' පුවත්පතෙනි. එහෙත් ඔහුගේ මාධ්‍ය වාර්තාවන්ට ඇති ඉල්ලුම අඛණ්ඩව පැවතිණි. ඒ වෙනුවෙන් සෑම මාධ්‍ය ආයතනයක්ම නිමලරාජන්ව යොදා ගත්තේය.

උතුරේ ජනයා පිළිබඳවත්, එහි සිදුවූ හා සිදුවෙමින් පවතින දේ පිළිබඳවත් ප්‍රබල මූලාශ්‍රයක් බවට පත් වූයේ නිමලරාජන්ය. තමන් දන්නා සියලු තොරතුරු නොසඟවා ලබාදීම නිමලරාජන්ගේ සිරිත විය. ඒ වෙනුවෙන් මුදල් ලැබුණද, නොලැබුණද ඔහුගේ මාධ්‍යකරණය අඛණ්ඩව සිදු කළේ යුද්ධයෙන් පීඩාවට පත් ජනයා වෙනුවෙනි. ඔහු එය සිය වගකීමක් සේ භාරගෙන තිබුණි.

කෙතරම් දුෂ්කරතාවයන් යටතේ වාර්තාකරණයේ යෙදුනද ඒබීසී වැනි ව්‍යාපාරික මාධ්‍ය ආයතන ඔහුට ලබාදුන්නේ සොච්චම් මුදලකි. ඒ එක් ප්‍රවෘත්තියක් සඳහා 'රුපියල් 50'කි. පැය 24 පුරාම ක්‍රියාත්මක එම ආයතනයේ ගුවන් විදුලි නාලිකා 05ක් ඔස්සේ සෑම පැයකට වරක්ම ප්‍රවෘත්ති ලුහුඬින් ප්‍රකාශය කෙරෙති. ඒ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන්ට අමතරවය. මේ සෑම ප්‍රවෘත්ති විකාශනයක් සඳහාම නිමලරාජන් විසින් එවනු ලැබූ වාර්තා ප්‍රයෝජනයට ගත්තේය. ෆැක්ස් පණිවිඩ මගින්, දුරකතනයෙන්, හඬ පටමගින් ලබා දුන් සෑම ප්‍රවෘත්තියකටම ලැබුණේ එක හා සමාන මුදලකි.

මේ සම්බන්ධයෙන් ඒබීසී මාධ්‍ය ජාලයේ බලධාරීන් වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කෙරුණද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. එහෙත් නිමලරාජන් ඝාතනය කිරීමෙන් පසුව ඔවුන්ට අවශ්‍ය වූයේ නිමලරාජන් තමන්ගේ යාපන වාර්තාකරු බව පවසා වඩා ප්‍රසිද්ධියක් ලබා ගැනීමටය. නිමලරාජන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා මුල්‍ය අනුග්‍රහය දැක්වීමටද ඒබීසී බලධාරීන් උත්සාහ කළද එය අසාර්ථක විය. ඒ තුළින් ඔවුන් අපේක්ෂා කරනු ලැබුයේ තම ආයතනයට ප්‍රසිද්ධියක් ලබා ගැනීමටය.

නිමලරාජන් මාධ්‍යවේදියෙකු ලෙස සිංහල ජනයා අතරට මුලින්ම පැමිණියේ බීබීසී සංදේශය ඔස්සේය. යාපනයේ සිදුවෙන අතුරුදන්වීම්, ඝාතනයන්, අත්අඩංගුවට ගැනීම්, යුද්ධය නිසා පීඩාවට පත් ජනයා දුක්විඳින සියල්ලම ඔහුගේම හඬින් සිංහල අසන්නන් වෙත ගෙන ආවේය. පීඩිත දෙමළ ජනයාගේ දුක් දෝමනස්සයන් සිංහලෙන් ගෙන ආවේ නිමලරාජන්ය. එහි පුරෝගාමියා වන්නේද ඔහුය. චෙන්මනි සමූහ ඝාතනය පිළිබඳ සවිස්තර වාර්තාවක් මධ්‍යවෙත ඉදිරිපත් කිරීමටද නිමලරාජන් සමත් විය.

2000 ඔක්තෝබරයේ පැවති මැතිවරණයේදී කයිට්ස් දූපතේ සිදුවුණු ඡන්ද අක්‍රමිකතා පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කෙරුණේ නිමලරාජන්ගෙන් පමණි. එම වාර්තාවට දින කීපයකට පසු ඔහුට තර්ජනය කරමින් නිතරම නිර්නාමික දුරකතන ඇමතුම් ලැබෙන්නට විය. ඉන් එක් ඇමතුමක් ලැබී තිබුණේ නිමලරාජන්ගේ බිරිඳටය. ඒ ''උඹ සුදු ඇඳගෙන ඉන්න ලැහැස්තිවෙලා හිටපන්'' යනුවෙනි. 'මේ තර්ජන කරන්නේ ඊපීඩීපී එකෙන්, මම බය නැහැ, මම රිපෝට් කරන එක දිගටම කරනවා.' දිගින් දිගටම තර්ජනයන් පැවතියද නිමලරාජන් සිය මාධ්‍ය සගයින්ට පැවසීය.

ගතවූයේ දින කීපයකි. නිමලරාජන්ගේ ඝාතකයින් ඔහුගේ නිවෙස අසලටම පැමිණ ඔහුව බිළිගත්තේය. ඒ යාපනේ අධි ආරක්ෂක කලාපයක පිහිටි ඔහුගේ නිවසේ සිටියදීය. නිමලරාජන්ගේ ඝාතනය දේශීය මෙන්ම ජාත්‍යන්තරවද බලවත් කැලඹිල්ලකට හේතු විණි. ඝාතන චෝදනාව ඍජුවම එල්ල වූයේ රජය වෙතය. එවකට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සභාග ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය ලෙස ඩග්ලස් දේවානන්දගේ ඊපීඩීපී ය කටයුතු කළේය. ඒ එම ආණ්ඩුවේ පුනරුත්ථාපන කැබිනට් ඇමතිවරයා ලෙසිනි.

මේ ඝාතනයේ වගකීම ඊපීඩීපී වෙත එල්ල කරමින් පළමුව පුවත්පත් නිවේදනයක් නිකුත් කළේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණයි. එවකට එහි නායකත්වය හෙබවූයේ වී. ආනන්ද සංගරී විසිනි. ඊපීඩීපී සංවිධානය මෙකී චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, ඔවුන් කියා සිටියේ නිමලරාජන් කොටි සාමාජිකයෙකු බවයි. කොටි සංවිධානය විසින් ඔහුව ඝාතනය කළ බවටද ඔවුන් චෝදනා කළේය.

යාපන සරසවි ශිෂ්‍ය සංගමයද පත්‍රිකාවක් බෙදා හරිමින් නිමලරාජන්ගේ ඝාතනයට විරෝධය පළ කළහ. 'ජනතාව පුනරුත්ථාපනය කිරීමට සැරසෙන අය ජනතාව මරා දමමින් සිටින බව' පවසමින් ඔව්හු ද ඝාතන චෝදනාව එල්ල කරනු ලැබුයේ ඊපීඩීපී වෙතයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද නිමලරාජන්ගේ ඝාතනය පිළිබඳ සිය විරෝධය ප්‍රකාශ කළේය. ඊට සති කිහිපයකට පසු කොළඹදී සංවිධානය කෙරුණු උද්ඝෝෂණයකදී රජයට බලකර සිටියේ නිමලරාජන්ගේ ඝාතකයින් නීතිය ඉදිරියට පමුණුවන ලෙසයි.

යාපනය ඇතුළු ප්‍රාදේශීය මාධ්‍ය සංවිධාන කිහිපයක්ද නිමලරාජන්ගේ ඝාතනයට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ සංවිධානය කෙරිණි. දේශසීමා රහිත ජනමාධ්‍යවේදියෝ, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව උදෙසා වන කමිටුව වැනි ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන ද මෙම ඝාතනය පිළිබඳව දැඩි අවධානය යොමු කළේය. ඔවුන් පෙන්වා දුන්නේ 2000 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණය පැවැති කාලය තුළ යාපනයේ සිදුවූ මැතිවරණ දූෂණ ක්‍රියා පිළිබඳව වාර්තා කිරීම නිමලරාජන්ව ඝාතනය කිරීමට හේතු වී ඇති බවය.

දේශීය හා ජාත්‍යන්තරව නැගී ආ විරෝධය හමුවේ පොදු පෙරමුණු ආණ්ඩුව නිමලරාජන්ගේ ඝාතකයින් සෙවීම ඇරඹීය. ඒ යාපනය පොලීසියේ අපරාධ අංශ ප්‍රධානියාව සිටි රංජිත් ද සිල්වාගේ ප්‍රධානත්වයෙනි. ඝාතනයට සම්බන්ධයැයි සැක කෙරෙන පුද්ගලයින් දස දෙනෙකු පමණ විටින් විට අත්අඩංගුවට ගෙන උසාවිය වෙත ඉදිරිපත් කෙරිණි. ඔවුන් සියලු දෙනාම ඊපීඩීපී සාමාජිකයින් හෝ එහි කලක් කටයුතු කළ අයයි. ඒ පිළිබඳව මාධ්‍ය මගින් දේශීය හා ජාත්‍යන්තරව ද ප්‍රචාරය කෙරිණි. තවද ඝාතනයට යොදා ගවන්නට ඇතැයි සැක කෙරෙන සියලුම ආයුධ හා භාණ්ඩ සොයා ගත් බවට පොලීසිය අධිකරණයට දැනුම් දුනි.

එහෙත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු මත ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වූයේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ඔහුගෙන් ප්‍රකාශයක්වත් සටහන් කර ගැනීමට හැකියාවක් නොලැබිණි. ඊපීඩීපී ප්‍රබලයෙකු වන 'සෙබස්තියන් පිල්ලේ රමේෂ්' නොහොත් 'නැපෝලියන්' වන ඔහු ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ ආරක්ෂාව යටතේ රටින් පලා ගියේ මේ අතර තුරය. සෙසු සැකකරුවන් ද විටින් විට ඇප මත මුදා හැරිණි.

ඉන්පසු වසර කිහිපයක් ඉතාමත් මන්දගාමීව ඇදී ගිය පරීක්ෂණ කටයුතු අද වන විට ස්වභාවිකවම යටපත්ව ගොසිනි. දේශසීමා රහිත ජනමාධයවේදියෝ 2003 වසරේදී නිකුත් කරනු ලැබූ ඒ ඒ රටවල ජනමාධ්‍යවේදීන්ගේ තත්ත්වය පිළිබඳ වාර්ෂික වාර්තාව මගින් නිමලරාජන්ගේ ඝාතනයට අදාළ කරුණු සවිස්තරාත්මකව දක්වා තිබිණි.

නිමලරාජන්ගේ ඝාතනයෙන් පසු යාපන අර්ධද්වීපය තුළත්, ඉන් පිටදීත් බොහෝ දේ සිදු විණි. රජීවර්මන්, නිලක‍ෂ්න්, දේවකුමාර් හා නමුදුඊලනාඩු කළමනාකරණ අධ්‍යක්ෂක මහාසිවරාසා ද යාපනයේදී ඝාතනය කරනු ලැබුවන් අතර වේ. මොවුන්ටද මරු සොයා පැමිණියේ අධි ආරක්ෂක කාලපයන් තුළදීය. එසේ නැතහොත් ආරක්ෂක හමුදා මුරපොලක්, කඳවුරක් හෝ ඒ ආසන්න ස්ථානයකදීය.

මීට අමතරව මාධ්‍යයට සම්බන්ධ සේවකයින් කිහිප දෙනෙකු ද යාපනයේදී ඝාතනය කරනු ලැබිණි. යාපනයේ පළ කෙරෙන 'උදයන්' පුවත්පත් කාර්යාලයට කිහිපවතාවක්ම බෝම්බ ප්‍රහාර එල්ල කෙරිණි. එහි ප්‍රධාන සංස්කාරක කානමයිලනාදන් ඝාතනය කිරීමට කිහිපවතාවක්ම තැත් කෙරිණි.

'වාලම්පුරි' ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන රාමචන්ද්‍රන් අතුරුදහන් වූ අතර අද වන විටත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත. ඒ වන විට ඔහු 'වාලම්පුරි' පුවත්පතේ චාවකච්චේරි වාර්තාකරු ලෙස කටයුතු කළේය.

නොයෙකුත් වාරණයන් යාපනේ මාධ්‍ය වෙත මුදාහැරුණු අතර මුද්‍රණ කඩදාසිවලටද සීමා පැණවිණි. එහෙත් ඉතාමත් දුෂ්කරත්වයන් යටතේ වුවද යාපන ජනමාධ්‍යවේදීන් සිය කටයුතු කරගෙන ගියේ සිය ජීවිත පරදුවට තබමිණි. බොහෝ ජනමාධ්‍යවේදීන් යාපනය හැර දමා යමින් සිටියදීත් ඇතැම් දෙනා ජනමාධ්‍ය කටයුතුවලින් නිහඬව සිටිද්දීත්, 'උදයන්' පුවත්පතේ සංස්කාරකවරයා ඇතුළු කිහිපදෙනෙක් සිය කටයුතු අඛණ්ඩව ගෙන ගියේය.

මේ අතර නිමලරාජන්ගේ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් රටින් පිටුවහල් වූයේ ජීවිතාරක්ෂාව පතාය. නිමලරාජන් ඇතුළු ඝාතනය කරනු ලැබූ ජනමාධ්‍යවේදීන් පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් රාජපක්ෂ සභාග ආණ්ඩුවෙන්ද බලාපොරොත්තු විය නොහැකිය.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවට ආරවුලක් තිබුණද, ඇයගේ පාලන කාලයේදී සිදු වූ මෙම ඝාතනය පිළිබඳව ඔවුන් ද රකිනු ඇත්තේ නිහැඬියාවකි. ඒ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වු පාර්ශ්වය රාජපක්ෂ සභාග ආණ්ඩුවේද ප්‍රබල කොටස්කරුවන් නිසාවෙනි.

නිමලරාජන් ඝාතනය පිළිබඳ ඊපීඩීපී සංවිධානයට එල්ල වන චෝදනාව ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ ද, විධිමත් පරීක්ෂණයකට ඉඩ සලසා දීමට ඔවුන් ද මෙතෙක් සමත් වී නොමැත. කෙසේ වුවද අද දවසේ එය සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැක්කේ මේ වන විටත් යාපනේ සෙසු කටයුතු මෙන්ම මාධ්‍ය ද පාලනය වනුයේ ආණ්ඩුවේ අණසක යටතේ බැවිණි.

නිමලරාජන්ගේ ඝාතනයෙන් වසර දහයකට පසුවුවද යාපනේ සිය මාධ්‍ය සගයින්ට ඔහුව සිහිපත් කිරීම දුෂ්කර වී ඇත. නිමලරාජන් සැමරීමට සිදුවන්නේ නම් ඒ ඔහුගේ ඝාතකයින් සමග එක්වය.

නෙවෝ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|





පසුබිමෙහි පණ අදින පණ ගැහෙන කතාවකි
පොඩි එකෙකු ඒ නොදැන මා සමග සිනාසුණි
ඔටුනු අභියස කොඳු කැඩෙන රටකින්
විප්ලවයට පේටන්ට් ගන්ට පොරකන දෙසකින්
පැමිණි මා දෙස බලා හෙමිහිට
...පොඩි එකා මා සමග සිනාසුණි.
ශිෂ්ටාචාර වලට බැරිවුණු
කාල මායාවේ යළි යළිදු සැඟවුණු
විප්ලවය ද ජයග්‍රහණය ද
කහට බැඳි ඒ දසන් මත නැගි
සිනා රළ මත ඉපදුණි.
මම නැවතුණෙමි.

-වවුනියාවේ පාවක්කුලම්හිදීය.

පින්තූරය සම්පූර්ණයෙන්

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පාරේ ගමන් කරන ත්‍රී වීලයකි. ඒ ඇතුළේ නාට්‍ය නිෂ්පාදක සිටී.

''හලෝ මචං.... කොහෙද යන්නෙ?'' අතරමග නතරකර හමුවෙන මිතුරාගෙන් නිෂ්පාදක අසයි.
''මං මේ යාළුවෙක්ගෙ ගෙදර යන ගමන් ඇයි?''
නිෂ්පාදකගේ මුහුණට සතුටක් දැනෙයි.

''හොඳ වෙලාවට ආවෙ. නැගපංකො ත්‍රී වීල් එකට... උඹලගෙ ගෙදරට ගිහින් ටක්ගාල මේක් අප් බොක්ස් එක ගනිං...''
''මොකටද?'' විමතිය.
''කතා වැඩක් නැහැ.. උඹටත් සම්තිං එකක් ගන්න පුළුවන්. අද මගෙ ෂෝ එකනෙ මචං..''
''නෑ ඉතිං මං මොකටද උඹට... ලාබෙට පොරවල් ඉන්නවනෙ...''

''හරි හරි... ඕවට කේන්ති ගන්න එපා... ඌ රණ්ඩුවෙලා ගියා... හරිද? දැන් උඹ වැඩේ දෙන්න ඕන ඌට උණ ගන්න එක්ක.. ටක් ගාලා වරෙන්....''

මේ අපේ රටේ සාමාන්‍යයෙන් අංගරචකයෙක් නැත්තං ''මේක් අප් ආටිස්ට්'' කෙනෙක් හොයාගන්නා විදිහයි. හැමෝම නොවෙයි. නමුත් බොහෝ වෙලාවට... ඊට පසුව සිදුවීම් මේ ආකාරයයි.

ස්ථානය- නේපථ්‍යාගාරය

''කෝ... කාටද දාන්නෙ?'' අංගරචකයා අසයි.
''මෙන්න මෙයාට දාන්න. මෙයා රඟපාන්නෙ හමුදාවෙ චරිතයක්...'' නිෂ්පාදකයා කියයි.
''ආ... එන්නකො මෙහාට...''
නළුවා පැමිණෙයි....
''අනේ අය්යෙ... හොඳ උඩු රැවුලක් දාන හොඳේ...''
අංග රචකයාට ටිකක් තද වෙයි.
''මොකද්ද? හමුදාවෙ කිව්වට මං දන්නවයැ මොන හමුදාවෙදකියලා''
''අය්යෙ මං දෙවන ලෝක යුද්ධ කාලෙ ජර්මන් සෙබලෙක්.....''
අංග රචකයාට තව ටිකක් තද වෙයි.
''ඒ කාලෙ සොල්දාදුවන්ට උඩු රැවුල නැහැනෙ; වවන්න තහනම්නෙ...''
''ඒ වුනාට කමක් නෑ අය්යෙ ඕව මේ රටේ එවුන්ට තේරෙන්නෙ නැහැ. ඔන්න ඔහෙ දාන්න...''
''එහෙම බැහැ මල්ලි මමත් නිකං නෝන්ඩි වෙන්න කැමති නැහැ...''
නළු කොලුවා නැගිටියි; නිෂ්පාදක වෙත දිවයයි. රණ්ඩු වෙයි.
අංග රචනා ශිල්පියා බඩු අස්කරන්නට පටන් ගනී. මුහුණ අඳුරුයි.
''මංච මේ මං උඹට අච්චර ගානක් දුන්න මතකනෙ; නාට්ටියට...''
නිෂ්පාදක අන්දුන් කුන්දුන් වෙන්නේ නළුවාගේ දොස් ඇසීමෙන්ය.
''ඉතින්?''
නළුවා කියාගෙන කියාගෙන යයි.
''ඉතිං එහෙම මට කියන එක හරිද අනිත් නළුවො ඉස්සරහා? මමත් ඉංග්ලිෂ් බුක්ස් ගොඩක් කියවලා තියනවා. අපේ ගෙදරට ඇතුළ් වෙනකොටම පේන්න තියෙන්නෙ පොත් රාක්කෙ...''
''ඉතිං මොකද වුනේ කියනවකො''
''අරය එනවා මට උගන්නන්න.. පඩිය.... උගෙ කට වැඩියි... මට උඩු රැවුල දාන්න බැරිලු. මචං මං කොහොමද මෙහෙම මුහුණ දෙන්නෙ. උඩුරැවුලක් තිබ්බනං නෙ ලස්සන....''

නිෂ්පාදක නළුවා සමග අංගරචනා ශිල්පියා වෙත යයි. ශිල්පියා ගණනකට නොගෙන ඉඳී. ඔහුගේ ගෝලයා ද ළඟ සිටී. තරමක් ව්‍යාකූල මුහුණු.
''අනේ මචං මෙන්න මේ අපේ කොල්ලෙක් උඩු රැවුලක් දාහං..''
අංග රචකයා කුලප්පු වෙයි.
''මචං මං යන්නං... උඹලා වගේ එවුන් එක්ක ඉන්න බැහැ... මං කියන දේ උඹලට තේරෙන්නෙ නෑ. ජර්මන් සොල්දාදුවො රැවුල වැවුවෙ නැහැ. ඒකට හේතුවක් තියනවා... ඉතිං මූ කියනවා උඩු රැවුලක් දාන්නලු...''
නිෂ්පාදක ෂේප් න්‍යායට එයි.
''ඉතිං මචං ජර්මනියෙන් එන්නෙ නැහැනෙ නාට්ටිය බලන්න...''

අනෙකුත් නළු නිළියන්ද වටවෙයි. නළු නිළියන්ට අවශ්‍ය පරිදි මූණු පාට කරගන්න විදිහක් නොමැති වූයෙන් සියළු දෙනාම දැන් අංග රචකයාට එරෙහිව ආඩපාලි කියයි. අංග රචකයා නොසැලෙයි.

''මං යනව මචං මට බැහැ මේ වගේ කණ්ඩායම් වල ඉන...''

අංග රචකයා බඩු ටිකත් පොදි බැඳ ගෙන පිටවෙයි. ඔහු ගියාට පසු සියළු නළු නිළියන් ඔහුට බැණ වදියි.
''ඌ ටිකක් පණ්ඩිතයා නේද?'' යනාදී වශයෙන්... මෙතෙක් නොබැන සිටි එවුන්ද අතනටම එකතු වේ. එහෙම වෙන්නේ එකතු නොවුනොත් නාට්‍ය කණ්ඩායමේ තව දුරටත් ඉන්නට නොහැකි වන නිසයි.

පසුව දින කිහිපයක් ගත වෙයි. නාට්‍ය කරුවන් අතර ප්‍රචාරය වෙන්නේ වෙනත් දෙයකි.

''ඌට මිනිස්සු එක්ක ඉන්න බැහැ. ඇරගන්නව ඌට මේ ෆීල්ඩ් එකේ තව ටික කාලයයි.''

මේ කතාව පැතිරවීමට; විශේෂයෙන් මෙතෙක් අර ශිල්පියා යටතේ ඉගෙන ගත් ගෝලයා ද එකතුවෙයි. නාට්‍යයේ ඊළග දර්ශනය අංගරචනා කරන්නේ ගෝලයායි. කලින් රුපියල් සියයය්ට මේක් අප් කළා නම් මෙයා පණහට කරයි. ලාභයත් නිෂ්පාදකට.

ඊළග නාට්‍ය උළෙලේ දී ගෝලයාට හොඳම අංගරචකයාට හිමි සම්මානය හිමිවෙයි. ඒ එක පැත්තක් පමණි.

අංගරචනා ශිල්පියෙක්, මේකප්කාරයෙක් කියූගමන්ම තවමත් අපේ සමාකයේ බොහෝ දෙනෙකු සිතන්නේ නපුංසකයෙක් යනුවෙනි. බොහෝ පිරිමි අංගරචනා උපකරණ සහිත පෙට්ටි පා්රෙ අරගෙන යන්න ලැජ්ජා වෙන්නෙ ඒ නිසාවෙනි. වර්තමානයේ ඔය හැඟීම ටිකෙන් ටික ඉවත්වී ගියත් ඒ සිතිවිල්ලට හේතුවක් මූලාශ්‍රයක් අපේ සමාජයේම දැකිය හැක.

පාර්සි, බලිවාලා නාට්‍ය කණ්ඩායම් ලංකාවට පැමිණීමත් සමග ලාංකේය නාට්‍ය කලවේ බොහෝ වෙනස්කම් සිදු වී ඇත. ජා, මුස්ලිම්, හින්දුස්ථානී, මැලේ වැනි ජාතිකයන් බොහෝ දෙනෙක් මේ නාට්‍ය වලට සම්බන්ධ වී ඇති අතර අංගරචකයින්, ඇඳුම් නිර්මාණ කරුවන් සහ කොණ්ඩා මෝස්තරකරුවන් බොහෝ දෙනෙක් මේ අතර දැකිය හැක. එයින් සමහරු ලංකා කාන්තාවන් සමග විවාහ වූ අතර කොළඹ, මරදාන යන ප්‍රදේශ වල පදිංචි වෙනම නාට්‍ය (ටීටර්, ජෝගි) නැටීම කර ඇත. ජෝගි නාට්‍ය වලදී ජනප්‍රිය වී ගිය නැටුම් ක්‍රමයක් ද ඇත. වරින් වර ඇඳුම් උනා දමමින් අවසානයේ යට ඇඳුම් දක්වා පිළිවලින් උණා දමන්නට සකස්කර ගත් නැටුම්; සමහරු පොන්න ඩාන්ස් යනුවෙන් ද මේ නැටුම් හඳුන්වති. මෙසේ සකස්වුනු කලාවක් නැත්නම් නාට්‍ය කලාවේ උප සංස්කෘතියක් අප ලාංකේය සමාජයේ වෙනමම දැකගත හැකි අතර අද වන විය එය ක්ෂය වෙමින් පවතියි.......

එම උප සංස්කෘතිය තුළ ''මේක්-අප් දාන්නෙ පොන්නයෝ'' යන හැඟීම තදින් ව්‍යාප්ත වූවකි. සමහර නිළියන්ව ඔවුන්ගේ දෙමාපියන් භාරදී යන්නෙ කොණ්ඩා මෝස්තරකරු හෝ අංගරචකයාටයි. නිළියන් ලජ්ජාවක් නැතිව ඒ අංගරචනා ශිල්පීන් ඉදිරියේ ඇඳුම් උනා දමා තවත් ඇඳුමක් ඇඳ ගනී, කුඩා කල මම පොල්කොටන් නාට්‍ය (ටීටර්, ජෝගි) නටන ස්ථානවල මෙවැනි බොහෝ දේ අනන්තවක් දැක ඇත්තෙමි..........

1960 දශකයේදී පමණ ටිකෙන් ටික අංගරචනය කිරීම පමණක් නොව මුළු නාට්‍ය කලාවටම අයත් බොහෝ අංශ වෘත්තීයමය නොවුනත් යම්කිසි මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත් වූවා මෙන්ම, යමක් ඉගෙන ගත් පිරිසකගේ වැඩ කොටසක් බවට පත් විය........

ජයලාල් රෝහණගේ "සැබෑ මුහුණේ වෙස් මුහුණු"(1999)- අංග රචනා අත් පොතේ පෙරවදනෙන් උපුටා ගන්නා ලද කොටස් කිහිපයකි.

ජයලාල් රෝහණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංකාවෙන් ලොකුම ලොකු රංචුවක් ගියෝය. එහෙව් ලොකු රංචු විදෙස් ගත වීම මගින් කාටූන් කාරයන්ට එදා වේල කාටූනයක් දෙකක් ඇඳීමට ප්‍රස්තුත සපයනවා විනා සිදු වන කිසිවක් නැති නමුත්, මේ දිල්ලි ගිය නඩයේ නම් 'යන දිල්ලියක' නොගිය කීප දෙනෙකු හෝ සිටි බව දැන් අපි හොඳාකාරවම දනිමු. ඒ මංජු, චින්තන සහ සුදේශ් යන අපේ ක්‍රීඩකයන් පදක්කම් තුනක් රැගෙන ආ නිසාවෙනි. ගිය රංචුවේ තරමට සහ යන්නට පෙර පැවැත්වූ මීඩියා ගිණිකෙළිවල තරමට මෙය කන්දක් තටමා එළු බෙට්ටක් දැමීමක් වුවත්, අපේ කොල්ලන් තුන් දෙනාගේ ශ්‍රමයට සහ අසීමිත කැපකිරීමෙන් ලද ජයග්‍රහණයට සැලියුට් එකක් ගහන්නට එය බාධාවක් නොවේ.

චින්තන විදානගේ

නූලෙන් රන් පදක්කම මිස් කර ගත් චින්තන විදානගේ ඉකුත් සෙනසුරාදා සිරසේ රූපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් අපූරු හෙළිදරවුවක් කළේය. ඒ තමන් තරඟයට සහභාගී වූයේ දාහක් ප්‍රශ්ණ මැද මහත් මානසික පීඩනයකින් බවය. කලින් චින්තනගේ මව සමග කළ කතාබහක පටිගත කළ දර්ශන එහිදී විකාශය වූ අතර ඇය කියා සිටියේ චින්තන මේ තරගය වෙනුවෙන් ගෙදර තිබුණු බයික් එක විකුණලා රුපියල් අනූ දාහක් හොයා ගත් බවය. චින්තන දිල්ලි ගිය කණ්ඩායමේ නායකයාය. නායකයාගේ තත්ත්වය ඒක නම් අනික් අය ගැන කවර කතා ද? එම වැඩසටහනටම සහභාගී වූ බර ඉසිලීමේ සම්මේලනයේ නිලධාරියෙකු එකී තත්ත්වය පැහැදිලි කිරීමේ දුර්වල උත්සාහයක නියැලුනු අපට දක්නට ලැබිණි. ක්‍රිකට් හැර අනෙකුත් ක්‍රීඩා වෙනුවෙන් දක්වනු ලබන සැලකිල්ලේ 'තරම' මෙබඳුය.

තව දුරටත්, චින්තන එහිදී කියා සිටියේ තමන් ක්‍රීඩාවේ රැඳී සිටීම සඳහා අනුග්‍රාහකයෙක් බලාපොරොත්තුවෙන් වසර ගණනාවක් උත්සාහ කළ නමුත්, කිසිවෙකු ඊට ඉදිරිපත් නොවුනු නිසා මේ වන විට ඒ උත්සාහය හැර දමා ''පුළුවන් හැටියෙන්'' පෝෂ්‍යදායක ආහාර කා බී ''පුළුවන් හැටියෙන්'' පුහුණුවීම් කර ගෙන ''රට වෙනුවෙන්'' මේ දුෂ්කර මාවතේ ගමන් කිරීම තෝරා ගෙන ඇති බවය. ඇතැම් විට සිරසේ වැඩසටහනෙන් පසු චින්තනට අනුග්‍රාහකයෙක් ලැබෙන්නට ඉඩක් තිබේ. එහෙත් ගැටළුව වන්නේ, ලංකාවේ ක්‍රීඩාව නමින් පවත්නා පරිපාලන ආයතන හොබවන බීරි අලින්ට රටවල් 76ක් පරදවා රිදී පදක්කමක් ගෙන එන තුරුම චින්තන වැයූ වීණා හඩ නෑසුනේ කෙසේද යන්නයි. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු වූ චින්තනට 'කෙළවා' ඇත්තේ එසේ නම් අනෙක් ක්‍රීඩකයන්ගේ 'කෙළවුම්' ගැන කවර කතා ද?

මංජු වන්නිආරච්චි

අන්තිමේදී මංජු වන්නිආරච්චිව ටී.වී. තිර මත පෙන්වන්නටත් පත්තර වල ක්‍රීඩා අතිරේක ඔහුගේ රුවෙන් සරසන්නටත් ලංකාවේ ක්‍රීඩා මාධ්‍යකරුවන්ට සිදු විය!

ලංකාවේ පත්තරකාරයන්ට බොක්සිං යනු 'ඩයන් ගෝමස්'ය. (ලංකාවේ පාපන්දු යනු 'මනිලාල්' මෙනි!) සමහරු හිතන් හිටියේ වලල්ලේ බොක්සිං ගහන්නේත් ඩයන් මය කියාය. කවුරු හරි ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වැඩිපුර ඩයන් ගැන (බොක්සිං ගැන) ලියනවා නම් ඔහුගේ වයිෆ් අඳින්නේ 'වික්ටෝරියා සීක්‍රට්' යට ඇඳුම් බව කලකට පෙර මව්බිමේ පෙරදිග සුළං අතිරේකය ක්‍රීඩා ලෝලීන්ට ඔත්තුවක් සැපයුවේය.[1]

ලංකාවේ බොක්සිං සිම් ලයින් ප්‍රාග්ධනයෙන් රන් වෙන බවත් ඩයන් ගෝමස් හෙවත් වෙන්ඩ 'එල් ග්වාරා', මංජු වන්නි-ලාගෙ දහඩියෙන් තමන්ගෙ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ ප්‍රොජෙක්ට් එකක ඉන්නා බවත් නොදන්නා කෙනෙක් නැත. (ඕනෙ නම් රන් පදක්කමේ රස්නෙං යනකල් තව සති දෙක තුනක් මංජුව මීඩියා වල පෙන්නයි. ඊට පස්සෙ ආයෙ ඩයන්....!!!

ඩයන්- චේ- බොක්සිං
මනිලාල්- සිමෙන්ති- පාපන්දු)

මෙඩල් එල්ලන් එද්දි එයාර්පෝට් එකේ දි මල්මාල දමලා පිළිගන්න, මෙඩල් එකේ දිස්නෙ බහිනකල් ළගින් නොහෙල්ලි කැමරාවලට විරිත්තන ක්‍රීඩා නලධාරීන් සහ ක්‍රීඩාවට සම්බන්ධ දේශපාලන බලධාරීන් යන මේ සියලු සමනල්ලු ක්‍රීඩාව එල්ලිලා ඉන්නෙ මල් වල රොන් ගන්ට නෙමෙයි. ක්‍රීඩාවට හෝ රටට ඇති ආදරයක් නිසා නොවෙයි. ඒ අරමුණු පත්තරේ ෆොටෝ එක දා ගන්න එකේ ඉඳලා හොරකම් කිරිල්ල, බඩු ගැහිල්ල, රට සවාරි ගැහිල්ල, පාර්ලිමේන්තු යන්ඩ අවශ්‍ය කරන පාරමී පිරිල්ල ආදී විශාල පරාසයක විහිදෙන එකක්. ක්‍රීඩා සංගම්වල නිලවරණ පුංචි යුද්ධ බවට පත් වුනේ ඒවයේ මහ පුටුවලට නැග ගත්තට පස්සෙ පවුල් පිටින් නිවන් යන්ඩ පුළුවන් බව කවුරු කවුරුත් දන්න නිසයි.


'ක්‍රීඩාප්‍රේමියෝ' සහ 'දේශප්‍රේමියෝ' මොන බයිලා ගැහුවත්, අන්තිමේදි ''පිට්ටනියේ අපේ පස්වෙනි පන්තිය'' බවට පත් වෙන්නෙ 'ක්‍රීඩකයෝ'. ක්‍රීඩා සංගම් වල නිලධාරීන් සැප ගන්නෙ ක්‍රීඩකයන් පිට්ටනියේ හෙලන දහඩියට ලැබෙන මුදලින්. ක්‍රිකට් ක්‍රීඩකයන් ගත්තහම මේකෙ ව්‍යතිරේකයක් තිබෙන බව ඇත්ත; ඒත් අනික් හැම ක්‍රීඩාවකම තත්ත්වය මේකයි. කලකට පෙර ලංකාවේ පාපන්දු පිල කීප වතාවක්ම මෙහෙයවූ 'මොහොමඩ් අමුනුල්ලා' කියූ කතාවක් මේ.

''....මම මේ වෙනකොට අවුරුදු විස්සක් පාපන්දුවල නියැලිලා ඉඳලා තියනවා. අදත් ඉන්නේ ඒ මත්තේ. ඒ පාපන්දුවලට තියෙන කැමැත්ත නිසා. නමුත් ආපස්සට හැරිලා බලනකොට අපිට විතරක් නෙමෙයි අපිට ඉස්සර පරම්පරාවට මෙන්ම අපෙන් පසු පරම්පරාවටත් දැන් ඉන්න පරම්පරාවටත් පාපන්දු හරහා සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ..... මම බකල ගගහා ඇවිදින්නේ. ඒ උපතින්ම මම බකල හින්දා නෙමෙයි. පාපන්දු ගහලම කකුල බකල වෙලා. මම ලෝකයේ ගරු කරන විශ්වාස කරන 'අල්ලා' දෙවියන් යදින්නවත් කකුල් දෙක හරියට තියාගන්න බැහැ. මට විතරක් නෙමෙයි පාපන්දුවල හිටපු ඕනම කෙනෙක් දිහා බලන්න. එ අය බකල ගහනවා. අන්තිමට අපිට ඉතිරි වෙලා තියෙන්නේ මේ බකලය විතරයි..............''[2]

පිට කැසීම, යටි බඩ අත ගා පිටට පිහියෙන් ඇනීම, කකුල් මාට්ටු දැමීම ආදී ''ජාතික'' ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩකයන් තරමටම ජාතික සම්පත් නොවෙන නමුදු බර උසුලන, දුවන, පනින, මුෂ්ටි ප්‍රහාර වලින් විටෙක වැටෙමින් නැවත නැගෙමින් රට වෙනුවෙන් සටන් කරන මේ කොල්ලන් කෙල්ලන් ද දක්ෂයන් ය. සම්පත් ය.

රට කන, අපේ බදු මුදලින් සුර සැප විඳින මැති ඇමතියන් හෝ පාලකයන්ගෙන් මේ දරුවන් වෙනුවෙන් යමක් කරන්නැයි ඉල්ලීම මෙබඳු සෑම ලිපියකම අවසානයට එන අංගයයි. නමුත්, සිදු නොවන්නේ ද එයයි. මැති ඇමැත්තන්ගේ ''කකා බිබී නටන අමන පුතුන් සහ නරුම යහළු යෙහෙළියන්'' නයිට් ක්ලබ් වල එක රැයකට ආතල් සඳහා ලක්ෂ ගණන් වියදම් කරන රටක චින්තනලා ''අපේ රට වෙනුවෙන්'' තරග වදින්නට යන්නට ගෙදර තියෙන බඩු විකුණන යථාර්ථය විසින් අපට පෙන්වා දෙනු ලබන්නේ කුමක් ද?

ඔබේ අවධානය සහ දිගින් දිගටම සිතීම පිණිසයි.

1- මව්බිම. ඒ-කේ-47 අතිරේකය- 2006.08.27
2- මොහොමඩ් අමනුල්ලා සමග ටිරන් කුමාර බංගගමආරච්චි කළ සංවාදයෙන් - උපුටනය : රාවය 2006 ඔක්තෝබර් 22 ඉරිදා

දොන් ජුවන් එදිරිල්ලේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මහා වැසි මැද කඳු නාය ගොස්
මහ හඬින් පහලටම රූටා ගලා ආ
තෙතැති පස් කන්දකට යට වී
නොයෙක සුන්බුන් අතර
ඔබ සිරව අතරමං වූ බව සැබැයි
එහෙත් ඒ තනිවම නෙවෙයි
උදවු ඉල්ලා කෑ ගසන විට
ශේෂ කඳු වැටි අතර ඒ
ඇහෙන්නේ ඔබෙ හඬේ
දෝංකාරය නෙවෙයි
එකිනෙකා නොපෙනෙන අඳුර මැද
තුවාලව අඩපණව මේ ළඟම වැතිරුන
නෑසියන්ගේ මරණීය වැළපුමයි

වළාකුළු ගණ කළුව බිඳ
මග කියන්නට තරු නොඑයි
මලවුන්ගෙ රැය ගෙවෙන්නේ මේ
මල් සුපිපි නිසංසල
හෙට උදයකට නම් නොවෙයි
තළු මරන වෘකයන් ඔබ අසල
මේ රැයේ කල් මරන්නේ
ඔබේ තනියට නොවෙයි.
සියවසක් තව
වැටී හුන්නද අසරණව ඔබ
ගැලවුමට කවුරුත් නොඑයි.

දෑතින්ම පස්කඳු පහුරු ගා නැගී සිට
අතට අසුවන කැට මුගුරු ගෙන
ලේ ඉවට සැරි සරන
නිශාචර වෘක දත් බිඳ
ශේෂ වූවන් සොයා
ඇවිද යන්නට කාලයයි.

මඩ දියෙන් වැසී ගිය මංපෙතක වුව
ගැඹුරටම කා වැදුනු පා ලකුණු
ඔබේ ඇස ගැටෙන තෙක්
තවත් මොහොතක් නොමැකී රැඳෙයි.

-2010 ඔක්තෝබර්

අජිත් සී හේරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉරානයේ දී සංගීතය යනු බියකරු සිහිනයක්. Bahman Ghobadi ප්‍රකට ඉරාන සිනමාකරුවා No One Knows About Persian Cats [2009] සිනමා පටය මගින් මේ යථාර්ථය හෙළිදරවු කරයි. වසර තිහකට ආසන්න කාලයක් පුරා-

-මහජන සංගීත සංදර්ශන තහනම් කළ රටක, සංගීතකරුවන් පිරිසක් එක්ව සංගීත කණ්ඩායමක් පිහිටුවා ගැනීමට දරන දුෂ්කර ප්‍රයත්නය මේ චිත්‍රපටයට තේමා වී තිබේ. චිත්‍රපටය රූ ගත කොට සති තුනකට පසු චිත්‍රපටයේ තිර රචිකාව සහ Ghobadiගේ පෙම්වතිය වූ Roxana Saberi ඉරානයේදී අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව අන්තර්ජාතිකව එල්ල වූ බලපෑම් හමුවේ බලධාරීහු ඇයව නිදහස් කළහ.

පහත පළවෙන කතාබහ Bahman Ghobadi සහ Roxana Saberi සමග Montana Wojczuk විසින් 2010, අප්‍රේල් 21 වන දින කරන ලද්දක්. BombSiteBlog.com වෙබ් අඩවිය ඇසුරෙනි.

● මේ චිත්‍රපටයේ වාර්තා චිත්‍රපටයක ලක්ෂණත් සාමාන්‍ය වෘත්තාන්ත චිත්‍රපටයක ලක්ෂණත් එක වර දක්නට ලැබෙනවා. ඔබ කොහොමද ඔබවම සිනමාකරුවෙක් ලෙස නිර්වචනය කර ගන්නේ?

මා නිතර කියන්නේ චිත්‍රපට තනන්නෙකු වීමට පළමුවෙන් මා කවුළු-තනන්නෙක් වන බවයි. මා කරන්නේ කවුළුවක් ඇඳ එහි දෘශ්ටි කෝණය ප්‍රේක්ෂකයාට දීමයි. ඇවිත් මා පසුපසින් සිට කවුළුවෙන් එබී බලන්නෙකු දකින්න්නේ කතාව මැවෙන බිමෙහි ඔවුන් සිටියා නම් දකින දර්ශනයමයි.

සිනමා පටයේ එන චරිත වලට මෙන්ම මට ද සැඟවී සිටින්නට සිදු වුනා. හේතුව මම එහි කතා කළේ සැඟවුණු විෂයයක් වීමයි. චිත්‍රපටය හැදීමට අවසර ගැනීමට පවා මම හිතුවේ නැහැ- මන්ද මම දැන සිටියා කිසිවිටෙක එබඳු අවසරයක් නොලැබෙන බව. වරක් රූගත කිරීම් කළ කිසිදු දර්ශන තලයකට නැවත රූ ගත කිරීම් සඳහා යන්නට මම උත්සාහ ගත්තේ නෑ. මන්ද, මේ දරුවන් කිසිම අන්දමකින් අමාරුවේ දැමීමට මට උවමනා වූයේ නැහැ. හෙළිදරවුවීම් මගින් ඔවුන් මහත් දුෂ්කරතා විඳ සකසා ගත් එබඳු සැඟවුණු ස්ථාන අන්තරායේ හෙලන්නට මට උවමනා වූයේ නෑ. රූ ගත කරගත් දර්ශන පොලිසිය අතට පත් වීමකින් අහිමි වේය යන නිරන්තර බිය නිසා හැම දිනකම අවසානයේ මම ඒ පටිගත කිරීම් වලින් පිටපත් දෙකක් හෝ තුනක් රැගෙන වෙනස් වෙනස් තැන් වල සැඟවූවා.

කීප විටක්ම පොලිසියට බොරු කියන්නට සිද්ධ වුනා. මට රූ ගත කිරීම් සඳහා අවසරයක් තිබුණේ නෑ- මම වෙන කෙනෙක්ගෙ අවසරපතක් තමා තියාගෙන හිටියේ.... මම කිවුවේ මේක මත්ද්‍රව්‍ය ගැන කරන චිත්‍රපටයක් කියලා- මේකෙ එහෙම කිසිම මත්ද්‍රව්‍ය ගැන සඳහනක් නැති වුනත්.... පොලිසිය හිතුවේ අපි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ගැන චිත්‍රපටයක් කරනවා කියලා... චිත්‍රපටයෙ එන ව්‍යාජ වීසා හදන අයව අත්අඩංගුවට ගන්න දර්ශන රූ ගත කිරීම් බලාගෙන හිටිය පොලිසිය හිතුවේ ඒ අත්අඩංගුවට ගැනීම් මත්ද්‍රව්‍ය නිසා කෙරෙන ඒවා කියලා....


රූ ගත කිරීම් ඇදගෙන යන්න මේ වගේ තැන්වලදි මට සිද්ද වුනා පොලිසිය මුළා කරන්න ව්‍යාජ දෙබස් පවා යොදන්න. පසු-නිෂ්පාදනයේදී මේ ව්‍යාජ දෙබස් වෙනුවට මට අවශ්‍ය දෙබස් යොදා සංස්කරණය කළා.

මේ මිනිසුන්ගේ වේදනා, විඳවීම් සහ අසීරුතා වලින් සැදි ලෝකය ඒ තරම් සමීප ලෙස අත්දකිමින්ම වුනත් මේ ගැන චිත්‍රපටයක් කරන්න මට ලැබී තිබුණේ එකම එක අවස්ථාවක් පමණයි... මේ මුළු කාලය ඇතුළත මම මහත් අපහසුතාවයකට පත් වුන කාරණය වුනේ ඒක. මොකද මම දැන හිටියා, මේ සිනමා පටයෙන් පස්සෙ ආයෙ කවදාවත් මට මේ මිනිස්සු අතරට ගිහිල්ලා මේ මිනිස්සුන්ව පෙළන කිසිදු ප්‍රශ්ණයක් ගැන මැදිහත්වීමක් කරන්න නොලැබෙන බව....

● රූ ගත කිරීමේ දී ඔබ තුළ වූ මේ කියන අන්තරායකාරී හැඟීම මගින් ඔබේ සිනමා වියමනෙහි හැඩය වෙනස් වුනා ද?

රූ ගත කිරීම් වලට කලින් මම මේ සියළු සංගීතකරුවන් සමග සාකච්ඡා කලා සති දෙක තුනක් තිස්සේ... සිනමා පටයේ මූලික හැඩය ඔවුන්ගේ පිළිතුරු මගින් නිර්ණය වෙලා තිබුනේ. හැබැයි අෂ්කාන් සහ නෙගර් දෙන්නගේ කතාව ආවෙ පස්සෙ. මේ අයගෙ සාකච්ඡාවලට මැදි වෙලා ඉන්න කොට තමා ළඟදි හිරෙන් නිදහස් වෙලා ආපු මේ අය ඉරානයෙන් ගිහින් සංගීත කණ්ඩායමකට එක් වෙන්න හදන කතාව මම දැනගන්නෙ. ඒක ඇහුවහමයි මට ඒ කතාව සිනමා පටයේ කේන්ද්‍රීය පුවත විදිහට ගෙන එන්න ඕනෙ කියන සිතුවිල්ල ආවෙ. මම සත්‍යය කතාව මත රැෙඳන්න උත්සාහ කළා.

ඇත්තටම චිත්‍රපටයේ අන්තිමට එනකල්ම මම දැන සිටියෙ නෑ අවසන් කළ යුත්තේ කෙසේද කියා. ටෙහෙරානයේ, ඉරානයේ හැම දෙසතියකටම වරක් මේ වර්ගයේ සාද පැවැත්වෙනවා.... ඒ තැන්වලට පොලිසියෙන් කඩා පනිනවා... කොල්ලො කෙල්ලො කුදලගෙන යනවා... මේ කලබලය අස්සෙ සමහර කොල්ලො කෙල්ලො පැනල යද්දි අනතුරු වෙනවා. උඩ තට්ටු වල ජනෙල් වලින් පැනලා අනතුරු වෙනවා... සමහරු මැරෙනවා.... ඉතින් මට උවමනා වුනේ යථාර්ථයේ ජීව ගුණය මේ කතාවට ගේන්න... සිනමා පටය මිනිත්තු 106ක් නම් මිනිත්තු 104ක් ම පිරිලා තියෙන්නෙ සංගීතය, සිනහව සහ හාස්‍යයයෙන්... යථාර්ථය එන්නෙ ඉතිරි මිනිත්තු දෙකේ...

● ඔබ හිතනවද මේ ළමයි කිසියම් වෙනසක් කරාවි කියලා?

ඒ ගැන බලාපොරොත්තුව සහ බලාපොරොත්තු විරහිත භාවය අතර මම හිර වෙලා ඉන්නෙ.... මේ සිනමා පටය ජීවිතය සහ මරණය අතර.... හෝ හොඳ සහ නරක අතර අතීරණාත්මක තැනක නැවතී සිටිනවා.... හරියටම සැබෑ තත්තවයේදි වෙන විදිහටම... නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් වූ විසංවාදයක් මා තුළම තියනවා....

සිනමා පටය අවසානයේ අෂ්කාන් සහ නෙගාර් වඩා විශාල සිතියමක් තුළ සංකේතයක් බවට පත් වෙනවා. ඉරානයේ සංගීතය ගත්තොත් එයට තිබෙන්නේ තෝරා ගැනීම් දෙකයි. එක- සියදිවිහානිකරගැනීම- නෙගාර් අන්තිමට කර ගන්නවා වගේ... දෙක- අෂ්කාන් වාගේ අන්තිමේදී ඔක්සිජන් මුහුණක් සවි කර ගැනීම: මගෙ විසඳුමත් ඒකයි.... එක්කෝ උදව් අරගෙන- ඔක්සිජන් වලින් හුස්ම අරගෙන ජීවත් වීම නැත්නම් නෙගාර් වාගේ සිය දිවි හානි කර ගැනීම....

Half Moon වලින් පස්සෙ ඉරාන ආණ්ඩුව මට චෝදනා කළා මම බෙදුම්වාදියෙක් කියලා... මම බෙදුම්වාදියෙක් නොවෙයි..... ඒ සිනමා පටයෙන් එහෙම පණිවුඩයක් දෙන්න මට උවමනා වුනේ නෑ. මට අවශ්‍යව තිබුනා 60 Seconds About Us නමින් සිනමා පටයක් හදන්න.... නමුත් මම මටම ඉලක්කයක් දුන්නා, ටෙහෙරානය පිළිබඳ සියල්ල දැන ගන්නා තුරු, එහි මා වටා වෙමින් තිබෙන සියල්ල නිවැරදිව සොයා ගන්නා තුරු එය ඇරඹීම කල් දමන්නට. මට අවශ්‍ය වුනේ ටෙහෙරානය ගැන වඩා හොඳ දැක්මක් ප්‍රකට කරන ඉතාම වෙනස් වර්ගයේ චිත්‍රපටයකට යන්නයි.


වැදගත්ම දේ ඔබ පර්සියන් කැට්ස් බලන්නේ හුදෙක් සංස්කරණය කරන ලද ''මියුසික් ටෙලිවිෂන් ක්ලිප් එකක්'' වශයෙන් නොවීමයි. මගේ අභිප්‍රාය වුනේ එහි ලා ''සිනමාව'' භාවිතය සහ එකී සිනමාත්මක ප්‍රයත්නය තුළ ටෙහෙරානයේ සමාජ පසුබිම විවරණය කිරීමත් කියන කාරණයයි. බොහෝ ස්ටූඩියෝ ඉල්ලා සිටින්නේ හුදු ක්‍රියාදාම පමණයි. එහෙත් මම මෙහිදී ස්ටූඩියෝ හෝ සංගීත උපකරණ වල සමීප රූප පෙන්වීමට සීමා වුනේ නැහැ. ඒ වෙනුවට මට එළියට ගිහින් ''සැබෑ ටෙහෙරානය'' පෙන්වන්න අවශ්‍ය වුනා.

සැබෑ ටෙහෙරානය ඉක්මනින් කලබල වෙන, එතුළම වූ පරස්පරතාවයන් ගණනාවක් ප්‍රකට කරන, විශාල ජවයක් සහිත නගරයක්. මේ සියලු මානයන් සිනමා පටය තුළින් එළි දකින්නේ ''සංගීතය'' හරහා. ඇත්තටම මම කළේ මේ ළමයින්ගේ ''වචන'' වලට ගැලපෙන ''රූප'' සොයා දීමයි. එය සමාජ විද්‍යාත්මක එළඹුමක් සහිත සිනමා ප්‍රයත්නයක්.

මට අවශ්‍ය වුනා චිත්‍රපටය මුළුමනින්ම වෙනමම සංගීත නිර්මාණයක් බවට පත් කරන්න. පාතාල සංගීතය ගැන මට කළ හැකි පළමු සහ අවසාන මැදිහත්වීමේදී එය ඉරානය ගැන මෙතෙක් බිහි වූ සියලු චිත්‍රපටවලට වඩා වෙනස් එකක් බවට පත් කළ යුතුව තිබුනා.

● ඔබට මේ චිත්‍රපටය හැදීමෙන් පසු නැවත ඉරානයට යා හැකිද?

රීත්‍යානුකූලව නම් ඔව්! ඒත් මා තෝරා ගන්නේ එහි නොයාමයි. සිදුවිය හැකි දේවල් දෙකයි. එක සිර ගත වීම, දෙක නිවාස අඩස්සියට පත් වී කිසිදු චිත්‍රපටයක් සෑදීමේ අවසරයක් නැතිව කල් ගෙවීම. ඉදිරි වසර කිහිපය මම මෙහි ඉන්නවා. තත්ත්වය යම් ලෙසකින් වෙනස් වේ යයි අප සිතනවා. මට දැන් ''ගෙදර''ක් නැහැ! ''ගෙදර''යි කියා මා කිවයුත්තේ කුමකටදැයි මා දන්නේ නෑ....!


● ඔබ චිත්‍රපටයේ මේ තරම් විවිධ වර්ගයේ ''මියුසික්'' එකතු කළේ ඇයි? සම්ප්‍රදායික සංගීතයට තරුණ සංගීතකරුවන්ගේ ඇති බැඳීම කෙබඳුද?

මට ඕනෙ වුනේ ප්‍රේක්ෂකාගාරය බ්ලූස්... හිප්-හොප්... රොක්... රැප්.. මෙට්ල් වැනි විවිධ සංගීත සම්ප්‍රදායන් සමග කුළුපග වෙනවා දකින්න. අෂ්කාන් සහ නෙගාර් වාගේ ළමයින්ට සම්ප්‍රදායික ඉරාන සංගීතය ගැන හොඳ දැනුමක් තියනවා. නිසැකවම, ඔවුන්ගේ සංගීතය පදනමේ සිට එන්නේ....

● මෙහිදී කුහුල දනවන කාරණයක් තමා, කොහොමද චිත්‍රපටයේ චරිත දේශපාලනික ක්‍රියාධරයන් බවට පත් වන්නේ කියන එක... මේ තරුණයෝ මුලින් දේශපාලනික නැඹුරුවක් සහිත සංගීත භාවිතයක නියැලෙන අය නොවෙයි. නමුත්, අන්තිමේදි එහෙම වෙනවා. ඔවුන් දේශපාලනික ප්‍රකාශනයක් විදිහට සංගීතය යොදාගන්නවා....

ඒක තමා ප්‍රතිරෝධය එන විදිහ. අපි සමාජය එක්ක වැඩ කරද්දි එකී ගතිකයන් මග හැර යා නොහැකි තැනකට අපිව ගෙනෙනවා. මේ ගීත වල පද රචනා අවධානයෙන් බලන්න. ඒවා කෙතරම් දුරට පවතින සමාජ යථාර්ථයන් ග්‍රහණය කරනවාදැයි බලන්න...

● මට කියන්න මේ Naderගේ චරිතය වර්ධනය වෙන පුදුම සහගත විදිහ ගැන යමක්. ඔහු ගී ගයන්නට පටන් ගත් විට මම පුදුම වුනා.... පටන් ගැන්මෙදි ඔහු සේල්ස්මන් කෙනෙක් වගේ ඉන්නෙ... අන්තිමේදි වෙස්මූණ ගලෝලා කලාකාරයෙක් එළියට එනවා.

මට පෙන්නන්න ඕන වුන දේ තමා ඇත්ත. මමත් ඔය ඔබ පුදුම වුන තරමටම පුදුම වුනා.... ඒ ටැක්සි අතරෙදි ඔවුන් හමුවුනු මුල් වතාවෙදි... මම නිරීක්ෂණය කළා මේ මිනිස්සු බොහෝවිට බුද්ධිමත්.... කලාකරුවෝ.... ඔවුන් කවියෝ... පොත් කියවනවා....! මම හිතුවා... ඔවුන් ටැක්සි එළවද්දි... මහ ලොකු නමක් තියන මම: Bahman Ghobadi මොනවද මේ කරන්නේ........?


● මේ පැනය රොක්සානාට. ඔබ බන්ධනාගාරගතව සිටියදී සිරගතව සිටි සංගීතකරුවන් හෝ කලාකරුවන් මුණ ගැහුණා ද?

(Roxana Saberi කියයි.) නැහැ. බන්ධනාගාරයේදී නැහැ. එහෙත් භාෂණයේ නිදහස වෙනුවෙන් වැඩ කිරීමෙන් සිරගත වූ අය එතන හිටියා. ගැහැණු දෙදෙනෙක් හිටියා; ඔවුන් කළ වරද තමා බේකරියක් අසල එළියේ සිට ''අපට පාන් ඕනේ'' කියා කෑ ගැසීම. අන්තිමටම මගෙ කුටියේ සිටි සහකරුවා වුනේ රජය විසින් ඇදහිලි කල්ලියක් ලෙස නම් කරන ලද සංස්කෘතික කණ්ඩායමක නියෝජිතවරියක්. ඇය විදෙස් මාධ්‍ය කීපයක් සමග සම්මුඛ සාකච්ඡා කිරීමේ වරදට තමා ඇතුළට ඇවිත් හිටියේ. මේ කිසිවක් චිත්‍රපටයේ ඔබ දකින දේවල් වලින් වෙනස් වන්නේ නැහැ. මූලික මිනිස් අයිතීන් යනු එහිදී අරගල කොට දිනා ගත යුතු කිසිවක්; ඔවුන් සිපිරි ගෙවල්වල ලගින්නේ ඒ වෙනුවෙන්.

මොන්ටානා වොෂූක්
පරිවර්තනය - කූඹියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එළැඹෙන පොත් ප්‍රදර්ශනයට සියලු පොත් ප්‍රකාශකයින් ලහි ලහියේ සූදානම් වෙමින් සිටි පසුගිය සාහිත්‍ය මාසයේ දී ඕනෑම පොත් සාප්පුවකින් මෙවරත්, සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ කර තිබූ පොත් අපහසුවකින් තොරව ලබා ගත හැකිව තිබුණි. කන්දක් සේමා, කළු දෝංකාරය, බුද්ධදාසි, කළු සහ භවාන්තරය ඕනෑම කුඩා පොත් සාප්පුවක පවා මුලසුනව තබා තිබුණේ ව්‍යාපාරික අදහසටත් වඩා පාඨකයා ගේ පහසුව පිණිස ම වන්නට ඇත.

මේ බිනර මාසයයි. සෙමින් සෙමින් සරා සඳ නැඟ එයි. සියලු සාහිත්‍ය සම්මාන උළෙල ද, පොත් ප්‍රදර්ශනය ද, විචාර ද අවසන්ව වෙහෙසට පත් සාහිත්‍යය, ගිමන් හරින්නට සැරසේ. මම "කන්දක් සේමා" කියැවූයෙමි. එහි, නූපා නම් කතා නායිකාව, සියලු දුක්ඛ දෝමනස්සයන් දරා ගන්නා ගැහැණියක් බව කියැවෙයි. විවාහයෙන් පසුව ජපානයේ, නීගතා හී, සන්ජෝ නගරයෙහි වාසයට යන නූපාගේ-

සියලු බලාපොරොත්තු, සුමිකාවා මහතා හෙවත් ඇගේ සැමියාගේ නිවසට ඇතුළු වන මොහොතේදී ම බිඳී යයි. සකුරා මලින් බර වුණු වසන්තයම ඈ දෙපය අභියස කඩා වැටෙයි. සුමිත්‍රාගේ නිර්මාණය සිත්තම් කර ගනිමින් එය රසවිඳින්නට මම උත්සාහ ගත්තෙමි. ඈ එය මනරම්ව විස්තර කරන්නට වෙහෙසී නැතුවාක් මෙනි. කන්දක් සේමා හිදී ඇය ප්‍රබල භාෂා ශෛලියක් භාවිතා නොකරයි.

"....ආයෙම මල් පිපිලා. ගේ වටේ තිවෙන පුංචි සකුරා ගස් පේළියෙ මල් පිපිලා. පීච් ගහෙත් මල් පිපිලා. මුළු සන්ජො නගරයෙම මල් පිපිලා. කුරුල්ලොත් නොනවත්වා ගායනා කරනවා. සන්ජො නගරය චිත්‍රයක් නම්, කුරුල්ලොයි, ගහකොළ, මල් වැල ඒ චිත්‍රයට දර්ශනීය ජීවයක් දෙනවා. මේ දර්ශනීය ජීවය හිත උමතු කරවනවා. ඔය අහසෙ පා වෙවී ඉන්නෙ නැතුව පොළොවට බහින්න පෙම්බරා…"
(පිටුව 193)


සුමිත්‍රා සිය නවකතාව නේක වර්ණයන්ගෙන් සරසන්නට උත්සාහ කර ඇතත් එය දුර්වල ව, අඳුරු ව ගොස් ඇත. පාඨක රසවිඳීම සාපේක්‍ෂ ය. නිර්මාණකරණය ද නිර්මාණකරුවාට අනුව සාපේක්‍ෂව බිහි වෙයි. එහෙත් මෙය වසරේ සියලු සම්මාන දිනා ගත් නවකතාවයි. එබැවින් නතරව සිතන්නට සිදු වෙයි.

කන්දක් සේමා යනු මේ අප අත්දකින, නේක වධ වේදනා විඳින, සමාජ සම්මතයන් ඉදිරියේ තම නිදහස, සිතුවිළි පාවා දෙමින් ජීවිත දුකෙහි පටලවා ගත් ගැහැණුන් ගේ තවත් කතාවක් බව, පරම්පරාවෙන් පරම්පරාවට විවිධ අතවරයන් ට ලක් වන, විනාශ වන, දුබල ගැහැණුන් ගේ තවත් කතාවක් බව කියන්නට ඈ ගන්නා උත්සාහය හොඳම නවකතාව වීමට සුදුසුකමක් නොවනු නැත. නැතහොත් පුරුෂාර්ථ සිඳී ගිය පුරුෂ මූලික සමාජයේ තවත් කතාවක් වීම ඊට සුදුසුකමක් නොවනු ඇත. ඇගේ උත්සාහය මෙම සිදුවීම් සමාජය තුළ කතාබහකට ගෙන ඒම වුව ද, නිර්මාණයක් වශයෙන් එය උසස් මට්ටමකින් නිමවා නැත. කියවන්නාගේ බුද්ධිය අවදි කරවන්නට කතා කර නැත.

විදේශගත වන ශ්‍රී ලාංකිකයින් විඳින විවිධ දුක් කරදර කන්දක් සේමා හි සාකච්ඡා කරයි. පිටරට වලට ඇදෙන ශ්‍රී ලාංකිකයින් දෙස ශ්‍රී ලංකාව ඇතුළත ජීවත් වන ශ්‍රී ලාංකිකයින් ගේ දෘෂ්ටි කෝණය පිළිබඳව කියන්නට ද උත්සාහ දරා ඇත. කෙතරම් උත්සාහ දැරුවද, කෙනෙකුට අත්දකින්නට නොලැබෙන දෙයක් මනාව වටහා ගැනීම දුෂ්කරය. අසන්නට ලැබෙන්නේ ද බොහෝ විට, පවතින සැබෑ තත්වය පිළිබඳව නොවන නිසා එය තේරුම් කර ගැනීම වඩාත් දුෂ්කර වී ඇත.

කිසිවකු, නන්නාඳුනනා රටක දී මූලිකව අසරණ වන තැන් කිහිපයකි. එහිදී මුල් වනුයේ ආර්ථික තත්වය සහ භාෂාවයි. දෙවනුව එරට දේශගුණය සහ කෑමබීම රටාවට අනුගත වීමේ ක්‍රියාදාමය යි. විශේෂයෙන් ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශීය පිරිමින් හා විවාහ වී විදෙස්ගත වීමෙන් ඔවූහූ මුල් වසර කිහිපය ගෙවා දමනුයේ දැඩි අපහසුතා මධ්‍යයේ ය. තම හැඟීම්, අදහස් හුවමාරු කර ගැනීමට යම් තරමකටවත්, එරට භාෂාව නොදන්නේ නම් ඇයට ගොළුවකු සේ අංගචලනයෙන් කතා කරන්නට සිදු වීම කෙතරම් පාපයක් වනු ඇද්ද? බටහිර සංස්කෘතියට අනුව බොහෝ විට ඒකපුද්ගල ජීවන රටාව තුළ අනෙකාගේ නිදහස අගය කිරීමත්, තමන් නිදහස් වීමත් මත ඔවුන් බෙදාහදා ගන්නා දේ අල්ප ය. කුඩා කල සිටම තනිව ජීවත් වීමට හුරු කරවන බටහිර රටවල මිනිසුනට පෙරදිග රටවල මිනිසුනට තරම් අනෙකා හැඟෙන්නේ නැත. කුඩා සන්දියේදීම මව්පිය දූ දරු සම්බන්ධය දුරු කර ඔහුට තනිව වැඩෙන්නට සැලැස්වීම තුළම නිදහස් කර දැමීම ද සිදු වේ. අවිඥානිකව සිදුවන යථාර්ථය මෙයයි. අප වැනි ආසියාතික මානසිකත්වයට එය ගලපා ගැනීම උගහට ය. එහෙත් මේ සියල්ල සාමාන්‍ය දේම බවට පත් වී තිබේ. නමුදු මේවා ඇසීමේ දී සහ කියැවීමේ දී ඇති වන සංවේදනාවන්ට වඩා අත්දැකීමේ දී විදෙස්ගත වන බොහෝ දෙනා අඩුවැඩි වශයෙන් ඉතා අසරණ තත්වයට පත්වීම වළකාලීම අපහසු දෙයක් බවට පත්ව තිබේ. ගිම්හානයේදී ඇඳිය යුතු ඇඳුමක් සිසිරයේ දී අඳින්නට ඔබට සිදු වුවහොත් කුමක් වේදැයි ඔබ සිතනවාට වඩා දහස් ගුණයකින් දරුණු රිදවන හැඟීමක් එයට මුහුණ දෙන කිසිවකුට ඇති වෙයි. ශීත ඝෘතුව අඩුවැඩි වශයෙන් අත්දකින්නන්ට මෙය අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත. මේවා තම මව්රටින් පිටවන කෙනෙකුට ඕනෑම වෙනත් රටක දී මුහුණපාන්නට වන ගැටළු ය. එබැවින් මෙම සිදුවීම් මීට වඩා ගැඹුරින් කතා කරන්නට වසරේ හොඳම නවකතාවට හැකි විය යුතුව තිබුණා නොවෙද?

"මසායා සාන් වැඩට යනවා. එනවා. කොහෙද වැඩට යන්නෙ කියලා කියන්න ගැලපෙන ඉංග්‍රීසි වචන එයා දැනගෙන හිටියෙ නෑ. කොහේද වැඩට යන්නෙ කියලා අහන්න ජපන් වචන මං දැනගෙන හිටියෙ නෑ." (පි.56)

".. මම ඔයාට කතා කරන්නෙ ජපන් භාෂාවෙන් නූපා සාන්. මං ඉංග්‍රීසි භාෂාව දන්නෙත් නෑ. මං ලංකාවෙ භාෂාව දන්නෙත් නෑ. සංඥා භාෂාවෙන් කතා කරන්න ඔයා ගොළුවෙකුත් නෙමෙයි…" (පි.62)


ඒ සියලු සිදුවීම් මීට වඩා තීව්‍ර ව ඉදිරිපත් කරන්නට සුමිත්‍රා උත්සාහ නොගත්තේ මන්ද? ඈ නවකතාවක් ලියා ඇත. එහෙත් එය අනෙක් සියලු නවකතා අභිබවා යන්නට සැබෑවට ම සමත් වී තිබේද? එහිදී ඈ සමාජයේ පවතින විවිධ ගැටළු පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නට සියලු උත්සාහ දරා ඇත. එහෙත් එය නිර්මාණාත්මක නොවීම තුළ පාඨකයා ඇඳ බැඳ ගැනීමට සමත්ව නැත. කියවන්නා තුළ, හිත පතුළ පීරා යමක් ගෙන එන්නේ නැත.

ශ්‍රී ලංකාව නම් කුඩා දූපත තුළ පවත්නා ඉතාම ඛේදනීය තත්ත්වය කියා පාන්නේ නූපාගේ නීගතාවට විගමනය වීම පිළිබඳ කතාවයි. සුමිත්‍රා විසින් ඉස්මතු කළ යුතුව තිබුණේ මෙහි දේශපාලනික අදහස යි. මෙය රටක සිදු වන ඉතා අමිහිරි, ඛේදනීයම සිදුවීමකි. එය සමාජය තුළ කෙතරම් දුරට සාකච්ඡාවට බඳුන් විය යුතු ද, රටක කඩා වැටෙන ආර්ථික, අධ්‍යාපනික, දේශපාලනික සහ සමාජයීය තත්ත්වයන් හමු වේ රටක් කොයි අතට යා යුතුදැයි සාකච්ඡාවට ගෙන ඒම ඇගේ අරමුණ වන්නට ඇත. රටක දරිද්‍රතාව හේතු කොට ගෙන විගමනය වන ශ්‍රම ශක්තිය සහ ජීවිත, එම සමාජ යාන්ත්‍රණයේ දිග පළල පෙන්වා දීමක් බඳු ය. එරට දරිද්‍රතාවෙහි විෂ්කම්භය මැන බැලීමට එය කදිම සාධකයක් වෙයි. එහෙත් ඇය එම කරුණ ඉදිරිපත් කරනු ලබන ආකාරය, පාඨකයාගේ මනස අවුළුවන්නට සමත් නොවෙයි. එය ඉතාම සාමාන්‍ය ව්‍යවහාරයෙන් ඈ ඉදිරිපත් කිරීම තුළ නොනවත්වා කියවා ගෙන යාමටවත් පාඨකයා තුළ පෙළඹවීමක් ඇති නොකරයි. රස නූපදන ග්‍රාම්‍ය දෙබස් පාඨකයා තෘප්තිමත් කරන්නේ නැත.

".. එතකොට මඟුලට කලින් මනමාලයා දකින්න බෑ..?" මම අවසාන වතාවටත් ඇහුවා.

"....දකින්න පුළුවන් ඉන්නවා නම්. ඒත් ඒ මනුස්සයා එන්නෙ හෙට උදේ. තමුන් මේක අත අරිනවා නම් දැන්ම කියන්න. අපි ලැයිස්තුවේ ඊළඟ එක්කෙනා ගෙන්න ගන්න ඕන.."
(පි.36)


සුමිත්‍රා, මෙම විදෙස් විවාහ ගනුදෙනුව තවත් ව්‍යාපාරයක් බව පෙන්වා දෙන්නට තැත් දරයි. අප අත්දකින සමාජය තුළින් බොහෝ විට එම අවස්ථාවන් දකින්නට ලැබේ. එහෙත් පාඨකයාට දැනෙන්නට ඈ මේවා ඉදිරිපත් කර නැත. පාඨකයාගේ හදවත රිදවන්නේ නැත. කෙනෙකුට මෙය සාධරණීකරණය කරන්නට පුළුවන් වුවද, මගේ කරුණු දිග හැරෙන්නේ "කන්දක් සේමා" සියලු සම්මාන හිමි කරගන්නට තරම් නොවන නිසා ය.

ගැහැණුන් දුබල කර දමා පිරිමි වුවමනාවන් සපුරා ගන්නා සමාජයක,,, කාලාන්තරයක් තිස්සේ සියල්ල දරාගත් ගැහැණුන් සහ අසරණ වුණු ගැහැණුන් හට හෙට දවසේත් එසේ විය යුතු දැයි මොහොතක් නතර ව සිතන්නටත් කන්දක් සේමා හි සියලු ගැහැණු, සමාජයට කියති. එහෙත් මේ අදහස් පාඨකයා විසින් පෝෂණය කර ගත යුතුවා මිස, සුමිත්‍රාගේ සරල භාෂා භාවිතය තුළ එම කරුණු බොහෝ තැන් වල දී අරුත් නිෂ්පන්න ව යන බවක් පෙන්වයි. නැතහොත් මුළු නවකතා ශරීරයම වැහැරී යන බවක් දිස් වෙයි.

".....ලංකාවට ගිහින් එහේ හිටියත් අපිට හම්බ වෙන්නෙ එක්කො නාකි මිනිහෙක්.
නැත්නම් අබලන් වෙච්ච මිනිහෙක්. සැපකුත් නැතුව. එහෙමත් නැත්නම්, මිනිස්සු ගොඩක්....." රෝසා මිටියකින් පපුවට තට්ටු කළා.

".. මට මේ මිනිස්සුන්ගෙන් නම් වැඩක් නෑ. කාලා ඇඳලා අම්මලාට කීයක් හරි අරින්න තියෙනවා නම් එච්චරයි.." (පි.68)


මා ඉහතින් දැක් වූ කරුණු සමඟ ගැඹුරු සංවාදයක යෙදෙන්නට වසරේ හොඳම නවකතාව අසමත් වීම කණගාටුව කරුණක් නොවන්නේ ද? සමාජය මතුපිටින් අතපත ගෑ, මෙවැනි නිර්මාණයකට වසරේ සම්මාන 4 ම හිමිවීම අහම්බයක් නොවන බව පිළිගන්නට සිදු වේ. එසේ නම් ඉන් ගම්‍ය වනුයේ කුමක් ද?

සමස්තයක් වශයෙන්, මෙය ගැහැණුන් පිළිබඳ කතාවක් යැයි මම මුලින්ම කීවෙමි. අප කුටුම්භ සමාජය තුළ සහ, ලෝකය හා ගැටීමේදීත්, ලෝකය සමඟ ගනුදෙනු කිරීමේදීත් සිදුවන මේ සියල්ල ඉතාම සාමාන්‍ය දේ බවට පත්ව තිබේ. එබැවින් "කන්දක් සේමා" අපට අලුත් කතාවක් නොවීම තුළ නැවුම් හැඟීමක් පාඨකයා තුළ ජනිත කර නැත. කෘතියක් ලෙසට ගත් කල භාෂාව හසුරුවා තිබෙන ආකාරයත් මීට වඩා පොහොසත් වූවා නම් යැයි ඒ කියවද්දී සිතෙන්නකි. වචන හැසිරවීම තුළ පාඨකයා ආනන්දය කරා ගෙන යා හැකි යයි මම විශ්වාස කරමි. කෙසේ වුව ද, අන් කිසිවකට සසඳන්නේ නැතිව ගත්කල මෙය ඉතාම සාමාන්‍ය කෘතියක් මිස විශේෂ ඇගයීමකට හසු වන්නක් නොවන බව පැවසිය යුතු ය. එය එතරම්ම සුලබ කතා වස්තුවකි. එය කියවන්නා තුළ ශෝකය මිස, ත්‍රාසයවත්, භීතියවත්, කුතුහලයවත් ඇති කර නැත. රස නහර අවුස්සන්නේ නැත. පාඨකයා තුළ විවිධ හැඩතල මවන්නට සමත් ව නැත. මෙහි එන එකදු සිදුවීමක් හෝ අලුත් නොවෙයි. අද වන විට එකිනෙකා මුණගැහෙමින්, ජීවිතය බෙදා හදා ගන්නා අන්තර්ජාලයවත් අලුත් දෙයක් නොවෙයි. පුදුම වන්නට දෙයක් එහි නැත.

කවිය, නවකතාව, කෙටි කතාව හෝ වෙනයම් ඕනෑම නිර්මාණයක, අරුත් සහ රස උද්දීපනය අවශ්‍ය ය. පාඨකයා තුළ යමක් ඉතුරු කරන්නට, ඔවුන්ගේ රස වින්දනය වර්ධනය කරන්නට අවැසිය. මෙය කළ යුත්තේ මෙවැනි නිර්මාණ අගයන්නට, භාරදූර වගකීම පැවරෙන අය විසිනි. ඔවුනගේ කාර්යය නිසි අයුරින් ඉටු නොවන විට සමාජය වැළඳ ගනුයේ ඉඳුරාම ඔවුන් සමාජගත කරන්නට වෙහෙසෙන දේ ය. එය හරවත් නොවේ නම්, වැදගත් නොවේ නම්, , උසස් නොවේ නම් සමාජය ද ඒ හා සමානුපාතික වෙයි. කන්දක් සේමා, එම සියලු සම්මානයෙන් පිදුම් ලැබුවේ අප සමාජයේ පහළට ඇද වැටුණු සාහිත්‍ය පිළිබඳව හෙළිදරව් කරන්නට ද? රටක විද්වත් හු, අසුන් අරා සිටින්නේ කොතැනකදැයි කියන්නට ද?

දැන් අහස කළුවර වෙමින් ඇත්තේ ය.
සරා සඳ බැස යන්නට ආසන්නව ය.


අරිගතෝ ගොසයිමස්!

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ඉර හඳ යට" සිනමා පටයේ අධ්‍යක්ෂ බෙනට් රත්නායක තමාට හිමි වූ (එක්තරා අන්දමකට ජාත්‍යන්තර මට්ටමේ) සම්මානයක් පිළිබඳ ආණ්ඩුවේ පුවත්පතකට දුන් සාකච්ඡාවක දී ප්‍රකාශ කළ අදහසක් නම්, ''හමුදාව විවේචනය කළා නම් තවත් සම්මාන ලැබෙන්න තිබුණා'' කියාය. බෙනට්ගේ සිනමාත්මක පරිචයත්, ඔහුට තිබෙන සමාජ පරිකල්පනයේ දිග-පළල හා ගැඹුරත් මෙනයින් හෙළිකොට තිබෙන අතරම එක්තරා ''සම්මානනීය කුහකකමක්'' ද වක්‍රාකාරයෙන් ප්‍රකට කොට ඇත.

ඔහුගේ ප්‍රකාශය අනුව සිංහල සිනමා කරුවන් විදෙස් සිනමා සම්මාන අපේක්ෂා කරත් නම් ඒ වෙනුවෙන් හමුදාව විවේචනය කළ යුතුය. එනිසා මේ සම්මාන නිර්දේශ කරන කමිටු මෙවැනි වේ යැයි වැනි අදහසක්-

එනයින් ගම්‍ය වේ. එය එසේ වේ නම්, මේ සම්මාන කමිටු යනු බෙනට්ට තරම් සිනමාව විෂයයෙහි අවංකබවක් නැති, දැනුමක් නැති පුද්ගලයින්ගේ රංචු ගැසීමකි.

කෙසේ නමුත් ඔහු සෑම විටම තම සිනමා කෘති තුළින් හමුදාව (රජයේ මිලිටරි හස්තය) තබා, අපේ (සමාජ-ආර්ථීක-සංස්කෘතික දේහයේ) ස්ථාපිතයන් කිසිවක් විචාරයට, විවෙචනයට, ගවේෂණයට බඳුන් නොකිරීමට පරිස්සම් වී ඇත. සමාජ ආඛ්‍යානයේ කිසිදු අගතියක්, කිසිම ''අප්සට් එකක්'' ගැඹුරින් නිරූපණය කිරීමට, අභ්‍යාස කිරීමට බෙනට් කිසිවිටෙක උත්සාහ දරා නැත.

සමාජ සංස්කෘතික වටපිටාවේ ගුණාත්මක පෙරලි ඇති වී තිබෙන්නේ බෙනට් වැනි ''නිර්මාණ කරුවන්''ගේ නිර්මාණ නිසා නොව සමාජ න්‍යායික අවබෝධයක් ඇතිව සමාජ ප්‍රපංච, මානුෂීය ප්‍රපංච සමග නිර්මාණාත්මක අභ්‍යාසයක් කිරීමට උත්සාහ දැරූ දැනුවත් අවංක නිර්භීත නිර්මාණකරුවන් නිසාය. ඇත්තෙන්ම, අප අතර සිටින අතළොස්සක් අවංක නිර්භීත සිනමාකරුවන්, කලාකරුවන් මේ පවතින දුෂ්කර වකවානුව තුළ මේ විෂයය තුළ අසීරු හුදකලා අරගලයක නියැලෙමින් පර්යේෂණාත්මක යමක්, අලුත් යමක්, ගැඹුරු යමක් ඉදිරිපත් කිරීමට වෑයම් කර ඇත. නමුත්, බෙනට් රත්නායක යනු ඒ අය අසලින් තැබිය හැකි අයෙක් (ප්‍රාමාණිකයෙක්) නොවේ.

අභියෝගාත්මක යමක් නොකළ මුත් ලෙස්ටර්, වසන්ත, මහගමසේකර, සිරි ගූනසිංහ වැන්නන් සිනමාව තුළින් පටන් ගත් තැනටවත් තවම ළඟාවීමට බෙනට් සමත්ව නැත.

අනෙක් අතට හමුදාව යනු පරම යමක් නොවේ; එය ලංකාවේ සිංහල හමුදාවට පමණක් නොව සෝවියට් රතු හමුදාවට ද අදාළ අනුභූතියකි. සිංහල හමුදාව වෙතින් මීට දශක දෙකකට ඉහත වකවානුවකදී සිංහල සමාජයම ලැබූ අත්දැකීම් පමණක් යළි මෙනෙහි කිරීම ඊට ප්‍රමාණවත්ය.

අවසාන වශයෙන් කෙටියෙන් සංක්ෂිප්ත කළහොත් පවතින ''අප්සට්'' එක මත යැපෙමින්, පවතින බලධූරාවලියේ කිසිම සංරචකයකට අභියෝග නොකරමින් හුදු කතන්දරයක් ගෙතීම පමණක් සිනමාව ලෙස තෝරා ගත් ඔබ වැන්නන් කිසිවිටෙක පුරෝගාමී සිනමාකරුවෙකු හෝ නිර්මාණාත්මක සිනමාකරුවෙකු නොවෙනු ඇත. මෙය ඕනෑම සමාජ විෂයයකට අදාළ යථාර්ථයකි. ප්‍රත්‍යක්ෂ්‍යයකි. කෙසේ වුවත් ලංකාවට උරුම මේ ඉතිහාසයේ කෙටි පරිච්ඡේදය තුළ වේදිකාව ඉදිවී ඇත්තේ ජැක්සන් ඇන්තනී, සෝමරත්න දිසානායක, බෙනට් රත්නායක වැන්නන්ටයි.

මොහාන් විඡේනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"එකසිය පණස් දාහක් රට වැසියන්නේ
ඇස් ගෙඩි අඳ වෙලා!" මුල් පුවතකි ඊයේ
ඒක දැකලා හිකි හිකියේ හිනා වෙවී
මට කියවුනා මේ ටික ගස් බෙණයකට

"සංක්යා ලේඛනේ වැරදියි නොවෙද රජෝ
සීයක් බැලුවොතිං අන්ධයි අනූවක්
ජහ මනයා කණා පල්ලන් ගැහුවාට
රට කන මැතින්දන්ගේ නම් ඇකෙත් පුස්!"

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එකම එක වලාකුලක් අහස හරහා පින්සලකින් ඇඳි අළුපාට තීන්ත පාරක් සේ විහිදී තිබිණි. එක් අගකින් මුහුදටම කිඳා බැස විශාල වූත් දික් වූත් ත්‍රිකෝණයක් බඳුවූ ඒ වලාකුලට යටින් මියෙන්නට තතනන හිරු රැස් අපාට රතු පැහැයකින් දිදුලයි. සුපුරුදු පරිදිම මුහුද එකක් පසු පස එකක් රළ ගෙඩි පා කර එවමින් වෙරලේ වැල්ල තෙතබරි කරමින් සිනාසෙමින් සිටී. රළ බිඳී නැගෙන සුදු පෙණ, සාළුවක් සේ පැතිරෙන්නට තීව්‍රව ඉහලට නැගුණු-

-වෙරලේ වැලි කන්දෙන් ඉඩක් නොමැත්තෙන් ඒවා දිය යටම බිඳී, ගොජ දමන දිය සැලියක නැගෙන වා බුබුළු සේ නැගී, බි‍ඳෙන රළ ජලය මොහොතකට දෙකකට ශ්වේත වර්ණයෙන් වයිරම් වැටුණු කිරි ගරුඬ ගල්තලාවක් මෙන් පෙන්වයි.

ස්වර්ණා, දිගු සාය මනාව සකසා කහවන් වැල්ල මත සීරුවෙන් වාඩිවී ඈත දියඹ දෙස නෙත් යොමා සිටින්නීය. ඇගේ දෙනෙත් මට නොපෙනෙන නමුදු, ඒවා දීප්තිමත්ව එක එල්ලේ ක්ෂිතිජය රේඛාව වෙත යොමුවී තිබෙතැයි මට හැඟෙයි. හැම දෙයක්ම මෙන්ම ක්ෂිතිජයද මිරිඟුවක් වුවද, ඉර බසින මොහොතේ මෙසේ බලා සිටීම ඇගේ ඉතාමත් ප්‍රියමනාප කාරියකි. බටහිර වෙරලබඩ ජීවත්වන අපට හිරු උදාවට වඩා හිරු බැස්ම හිතට සමීප දසුනක් වෙයි.

“අද අහස පාට තුනක්...” අඩ කවයක් හිස හරවා මා දෙස බලා ස්වර්ණා කියන්නීය.

රත්වන් සුර්යාලෝකයට ඉහලින් එල්ලුනු අඳුරු වලාකුලෙහි උතුරු කෙල‍වර කොහෙන්දෝ එන ආලෝකයකින් අඳුරු නිල් පැහැයකින් දිදුලයි. ස්වර්ණාගේ හැමදාම පැහැදිලි සිනාසෙන දෙනෙත් තුලත් අඳුරු නිලක් සටහන්වී ඇතැයි මට සිතේ. ඇගේ දෙනෙත් අඳුරු වන්නේ එහෙමත් වෙලාවකය. එයත් මොහොතකට දෙකකට පමණක් යැයි සිතෙන තරමට ඒවා ඉතා ඉක්මනින් සන්සුන් ප්‍රීතියකින් ‍පිරී යයි. ඇගේ දෙනෙත් දෙස බලා සිටීම, හැමවිටම, වෙසෙසින්ම සංකීර්ණවූත්, ගැඹුරු වූත්, මිනිස් සබැඳියාවන් පිළිබඳ ඇගේ අදහස් උදහස් වර්ණවත්ව විස්තර කරන විට ඇගේ දෙනෙත් දෙස බලා සිටීම, අපූර්ව ආස්වාදයක් මසිත ජනනය කරයි.

“හ්ම්... පාට තුනක් තමයි...” මගේ මද සිනහවට, ස්වර්ණාගේ මුහුණ ප්‍රීතියකින් පිරෙයි.

දැඩිවන ගොම්මන් අඳුර සමග වෙරල හිස් වෙන්නට පටන් ගෙන ඇත. අපට දකුණු පසින් එකිනෙකාට තුරුළු වූ යුවලක් මුහුද දෙස බලා සිටිති. තරමක් ඈතින් ගී ගයන පිරිසකගේ ගී හඬ යාන්තමින් ඇසෙයි.

අහසේ පාට බොඳවෙන්නා සේම අපේ ජීවිතත් බොඳවී යනු ඇතැයි යන සිතුවිල්ල හදිසියේ සිතේ කොණකින් මතුව එයි. ස්වර්ණා තවමත් නිසලව ඈත බලා සිටින්නීය. නොසිතූ මොහොතක නොසිතූ අයුරකින් ස්වර්ණා මුණ ගැසුනු දිනය තවමත් නැවුම්ය.

“මිස් බණ්ඩාර ප්ලීස්....”

“යස්... දිස් ඉස් බණ්ඩාර ස්පීකින්... වට් කැන් අයි ඩූ ෆො යූ...?”

දුර කතන සංවාදය, ඇගේ වාර්තාව පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකට පෙරලුනු අයුරුත්, දින දෙකකට පසුව කාර්යාලයේ සාදයකට ඇරයුමක් ලැබුණු අයුරුත්, ඉඳහිට ලැබුණු එස්. එම්. එස්. පණිවිඩ, දෛනික මෙහෙවරක් බවට පත්වූ අයුරුත් එකිනෙක පෙල ගැසී මතකයට රිංගයි.

“තනියෙන් ඉන්න කැමතිම නෑ. ඒත් හැම කෙනාවම ආශ්‍රය කරන්නත් බෑනෙ... ගැලපෙන කෙනෙක් වෙන්න එපැයි...”

“ගැලපෙන කිව්වෙ....?”

“ඔන්න...ඉතින්... මම කිව්වෙ සිතිවිලි, අදහස් උදහස් ගැලපෙන...!”

“ඉතින් අපි දෙන්න ගැලපෙනවද?”

“නෑ.... කොහොමටත් නෑ.... අපි දැන් ඔය බොළඳ චැනල් එක මාරු කරමු හො‍ඳේ...!”

ස්වර්ණා නෝක්කඩුවෙන් කියන්නීය.

හිතා මතාම නොවුනත්, යම් දුරකට විහිළු කතාවක් සේ මතු පිටින් පෙණුනත්, අප දෙදෙනා අතර ඉඳහිට කියැවෙන මෙවැනි කතා බස් වල ගැඹුරක් තිබෙන බව ස්වර්ණාටත් රහසක් නොවේයැයි මම දනිමි. ජීවිතය පටුවූත් කෘත්‍රිමවූත් බන්ධනයන් ගෙන් බැඳ දැමීම අප අපටම කරගන්නාවූ අසාධාරණයක් සේ ඕ සිතන්නීය. ජීවිතය තුල ඈ දකින චමත්කාරයත් මේ සැහැල්ලුවේ බලාපොරොත්තුවත් කිසි ලෙසකින් තාරුණ්‍යයේ සමනල සිහිනයක් නම් නොවේ. ස්වර්ණා කිසිම ලෙසකින් ජීවිතය මල් යහනාවක් කොට සලකා ජීවත්වන්නියක වී නම් මෙසේ ඈ අසල හි‍රු මියෙන සවසක සයුරු තෙර හිඳින්නට මා නොපෙලඹෙනු ඇත.

“අන්න ඉර ගිලෙන්නයි යන්නෙ... ! ඔයා නං දැනටම ගිලිල වගෙ ...”

ඈත ගල්පර අසල ඉහල පහල පියාඹන මුහුදු ලිහිණින් ගේ දසුනෙන් මගේ නෙත් වලකාලමින් මා දෙනෙත් වෙත එබී ඕ සිනාසෙයි. ලදැරියකගේ කෙලිලොල් බවත්, දයාබර මවකගේ සන්සුන් බැල්මත් ඇගේ බැල්මේ සනිටුහන් වී ඇතැයි මට සිතෙයි.

“දන්නවද ... ඕක ලොකු බොරුවක්...”

“මොකක්ද ... ?”

ඇගේ ඇහි බැමි හමුවන ඉසව්වේ යාන්තම් ඉරි දෙකක් සනිටුහන් වෙයි. කාන්තිමත් නෙත් වලා දුහුලකින් වැසී ඇති සේය.

“ඔය ඉර ගිලෙන එක ...”

“මොකක්ද ඒකෙ තියෙන බොරුව...?”

ඇගේ දෙතොලතර සිනාවක සේයාවක් මතුව එයි. දෑතම වැල්ලෙහි රඳවා හිස පස්සට වීසිකර ඒ ඉරියව්වෙන්ම මා දෙස හැ‍රුන ස්වර්ණා ඒ සිනා සේයාව නොනසා රඳාගෙන බලා සිටින්නීය. උත්තරය පසෙක තිබියදී ඇගේ නලලත සිප ගන්නට මට සිතෙයි. නොකට යුත්තකයැයි ඈ නොසිතන බව දන්නා මුත් එවැනි ක්‍රියාවකින් මේ මොහොතේ සංයමය බිඳීම‍ නොකල යුත්තකැයි මගේ සිත කොඳුරයි.

“කවදාවත් ඉර ගිලෙන්නෙ නැහැනෙ... ගිලෙනව තියා ඉර මූද අහලකටවත් එන්නෙත් නැහැනෙ...!”

“හ්ම්....”

ස්වර්ණාගේ දෙනෙත් සක්වල ගල කෙලවර රක්ත තප්තව නලියන හිරු දෙසට ‍යොමුවෙයි. දෙ‍තොලතර සිහින් සිනහව එසේම තිබුණද, ඇගේ නෙත් තුල වික්ෂිප්ත වූත් ශෝකාකූල වූත් හැඟීමක් සටහන් වී ඇතැයි මට සිතෙයි.

“දන්නවද ඉර තියෙන්නෙ පොලොවෙ ඉඳල කිලෝ මීටර් මිලියන එකසිය පණහක් විතර ඈතින්...”

“විද්‍යාඥය...!”

නිරුත්තරයෙන් තොල් මැතිරූ ස්වර්ණා තවමත් ගිලෙන හිරු දෙස නෙත් යොමා සිටින්නීය.

“අපි දකින්නෙ අපිට පෙනෙන දේ නෙ. කොච්චර දැන හිටියත් පෙනෙන දේ දැනෙන දේ දනවන හිතිවිලි උඩ නේද අපේ හිත් වැඩ කරන්නෙ... බලන්න අහස කොයිතරම් ලස්සණට පාට වෙලාද? අර මුහුද අහලම තද දම්පාටක් වෙලා දැන්...”

“පෙනෙන දේ වල ලස්සණත් පෙනෙන දෙයක් විතරමයි නේද ස්වර්ණා?”

මලානිකව වියැකෙන හිරු එළිය ස්වර්ණාගේ පියකරු මුහුණ කහවන් රත් පෑ දීප්තියකින් දොවාලයි. මගේ ප්‍රශ්නය නෑසුණු විලස ඕ මියෙන හිරු දෙසම දෙනෙත් යොමා හිඳින්නීය. යාන්තම් මෝදුවූ සිනහව ඇගේ දෙතොල් අතර තවමත් රැඳී ඇතිසේය.

“මුහුදයි ඉරයි ඈතයි තමයි. ඉර මූදෙ ගිලෙන්නෙත් නෑ තමයි. ඒත් ඉර බහින එක ලස්සණයි. අපට හිතෙන්නෙම ඉර මූදෙ ගිලෙනව කියල. මූද ගිනිගන්නව කියල. අහස ඒ ගිනිදැල් වලින් පාට වෙනව කියල. එතන බොරුවක් නෑ ලලිත්. ඒක බොරුවක් වෙන්නෙ, අපි අපිට දැනෙන දේ ඇත්තක් කියල විශ්වාස කරන්න පටන් ගත්ත දවසට ...”

“හ්ම් ...”

රන්සිරිමල් ප්‍රනාන්දු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



[මැනික් පෑන් විසිනි]

ටීමෙන් කිරි සැරිම හපයි
කොට කණකින් ගගට දිලයි
එන පෙන කොට දබුලු බුමයි
කමඩ් කොටම තමඩි කොමයි

ගැටු දුමුණුය මුගෙ මත්තා
උම මපතින් ගැජ රත්තා
කයට නහින පෙඳ ගත්තා
වඹුරු ගැලකි පැසු පත්තා

වත්තා මුගෙ බැමළු දෙරූ
හිපි අරගෙයි මිරි ඇතිරූ
වජ රෙන්නට මැට කතිරූ
තරිම සොමයි කෙත පසරූ

පුලනි කැරේ රම යජ්ජා
කස් පන පොන්දර අජ්ජා
ආවොත් කිපෙ රහ මජ්ජා
දානි සිමා සුමි බොජ්ජා

මැනික් පෑන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"තහනම" යන වචනයෙන් ශ්‍රී ලාංකිකයින් වඩාත් ප්‍රමෝදයට පත්වන බව පාලකයින් අවබෝධකොට ගෙන ඇත. "දුම්බීම තහනම්" "පෙම් කිරීම තහනම්" "රාත්‍රියෙ සැරිසැරීම තහනම්" "රංචු ගැසීම තහනම්" "හිඟා කෑම තහනම්" “ඉරිදට ටියුෂන් තහනම්” මෙහි මූලික අදියරයන්ය. "තහනම" සයිබර් අවකාශය වෙතට පාත් වූයේ එල්ටීටීය හා යුද්ධය පැවැති ස‍මයේදීය. යුද්ධය පිළිබඳව එකල්හි ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ දෘෂ්ඨිකෝණය ගෙනහැර දැක්වූ "ටැමිල්නෙට්" [www.tamilnet.com] වෙබ් අඩවිය ලංකාවේ අන්තර්ජාල සේවා සපයයන්නන් මාර්ගයෙන් නිල‍නොවන ලෙස අවහිර කරන ලදී.

රජයේ ප්‍රබලතම ආයුධය අන්තර්ජාලය සම්බන්ධයෙන් එ ආකාරයෙන් යොදාගන්නා විට, යුධ විරෝධි හා ආණ්ඩු විරෝධී මතවාදයක් ‍නියෝජනය කළ "ලංකානිව්ස් වෙබ්" [www.lankanewsweb.com] වෙබ් අඩවියට පිවිසීමද රාජ්‍ය බලපෑම මත අවහිර වුණි.

පසුගිය සතියේ රජයේ නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කොට තිබුණේ ලංකාවේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ අසභ්‍ය වෙබ් අඩවි 120කට පමණ පිවිසීම අවහිර කරන ලද බවයි.[news.lk]. මීට පෙර දේශීය අසභ්‍ය යැයි පැවසෙන වෙබ් අඩවි ගණනාවක් රජය විසින් අවහිර කරන ලද්දේ එහි වන අන්තර්ගතයන් තුළ දේශීය පුද්ගලයින් සිටින නිසාත්, එමඟින් දේශීය සංස්කෘතියට සිදුවන හානියත් රටට සිදුවන අගෞරවය නිසා බවත් පවසමිනි.[lankapuvath.lk]

මේ අතර ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆෙස් බුක් [facebook.com] වලට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් සිදුකළ පැමිණිලි නිසා ලංකා‍ව තුළ එහි පැවැත්ම පිළිබඳවද සැකයන් හටගෙන තිබේ. [dailymirror.lk] ‍රජයෙන් පාලනය වන කොළඹ කෙන්ද්‍රගත ජනප්‍රිය පාසැල් ගණනාවකම අභ්‍යන්තර නීතියක් ලෙස ෆේස් බුක් වෙබ් අඩවියේ සාමාජිකත්වය ගැනීම මේ වන තහනම් කර ඇති බවටද තොරතුරු ඇත. කාන්තා පාසැල් වල මෙය වඩාත් සුලබ වේ.

යුද්ධය පැවති සමයේදී "ජාතික ආරක්ෂාව" "ස්වෛරීබව" යනාදී යුධ සන්දර්භය තුළ වැඩිපුර භාවිතා වූ සංකල්ප හේතු ලෙස දක්වමින් නිල හා නිල නොවන ලෙස අන්තර්ජාල වෙබ් අඩවි වාරණය රජය විසින් සාධාරණය කළද, සන්දර්භය වෙනස්‍ වෙමින් පවතින නිසා "අන්තර්ජාල තහනම" මේ වන විට ක්‍රියාත්මක වන්නේ සදාචාරවාදී දෘෂ්ඨිකෝණයකින්ය. අසභ්‍ය වෙබ් අඩවි තහනම එක් පසෙකින් වන විට සමාජ ජාල අ‍ඩවි වලින් අන්තර්ජාල භාවිතා කරන්නන් නොමඟ(?) යන බවට කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ කිසිඳු විද්‍යාත්මක හේතු දැක්වීමකට වඩා මනෝ මූලික සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදය පදනම් කරගෙන වන බව ඉතා පැහැදිලිය.

ගොනා හැරෙන්නේ පොල් පැලය දෙසට බව පැහැදිලිය. කරුණු දෙකක් මෙම ලියුම්කරුවාගේ මනසට පැමිණේ.

1. අන්තර්ජාලය මඟින් අශිෂ්ඨත්වයට පත් කරනවායැයි කියන ශ්‍රී ලාංකිකයින් අන්තර්ජාලයේ සම්බන්ධයක් නොමැති වටපිටාවක වුවද ශිෂ්ඨසම්පන්න පිරිසක් නොවේ.
2. සදාචාරවාදී ප්‍රවේශයකින් අන්තර්ජාල වාරණයට පිවිසෙන බලාධිකාරය, එකී ආයුධය තමන්ගේ ප්‍රතිවාදී මත දරන්නන් විනාශ කිරීම සඳහා යොදා ගනී යැයි සැක කිරීමට සාධාරණ හේතු ඇත.

මෙහි ඇති මූලිකම කාරණය සළකා බැලුවහොත්, අවම අන්තර්ජාල පිවිසී‍ම් අවකාශ සහිත රටක් ලෙස රටේ සදාචාරය පිරිහීමට මූලික කාරණයක් ලෙස අන්තර්ජාලය කොතෙක් දුරට බලපෑ ඇත්ද යන්න ගැටලුවකි. විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ කතා බහට ගැනෙන සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයේ ගුණාත්මක බව පිරිහීමට ප්‍රධාන හේතුව අන්තර්ජාලය බව ප්‍රකාශ වීම විහිළුසහගත ප්‍රකාශයකි.

රටේ සම්පත් හා ඉපැයුම් සමාජයේ අසාධාරණ ලෙස බෙදී යාම, පවතින අධ්‍යාපන ක්‍රමයේ, දේශපාලන හා පරිපාලන ක්‍රමයේ බිඳවැටීම, ක්‍රීඩා හා විනෝදාස්වාදය පිළිබඳව ක්‍රමික වැඩපිළි‍වෙලක් නොමැති නිසා එය පාලනයෙන් තොරවීම, තරඟාකාරී ආර්ථික ක්‍රියාදාමයක් තුළ මානව ජීවිතයේ විවිධ පැතිකඩයන් අවහිර වීම, සාම්ප්‍රදායික සමාජයේ තිබූ යාන්ත්‍රණ සඳහා විකල්ප යාන්ත්‍රණ ව්‍යූහයක් ගොඩනොනැඟීම, ජනමාධ්‍ය කිසිමාකාරයක ප්‍රමිතියකින් තොරව ක්‍රියාත්මක වීම, යටිතල පහසුකම් හා සමාජයේ පොදු පහසුකම් පිළිබඳව ප්‍රමාණවත් දායකත්යක් ලබාදීමට රජය අපොහොසත් වීමත්, පුද්ගලික අංශයේ මැදිහත් වීම පිළිබඳව ප්‍රමිතියක් හෝ පාලනයක් ලබාදීමට රජය අපොහොසත් වීමත් සමස්ත ජන සමාජයේ සදාචාර සම්පන්න නොවීම පිළිබඳ දැක්වීමට හැකි ව්‍යූහාත්මක හේතු ලැයිස්තුවට එක්විය හැකි මූලික කරුණුය.

තෙවැනි ලෝකයේ රටක් ලෙස ලංකාවේ සමස්ත සමාජයේ සිදුව ඇති බිඳවැටීම කෙරෙහි අන්තර්ජාලයේ බලපෑම කෙතරම් පහළ මට්ටමක ඇති හේතුවක් ද යන්න පැහැදිලි කරගැනීමට සමාජ විද්‍යාව පිළිබඳව විශේෂඥ දැනුමක් අත්‍යාවශ්‍යම නැත. සමාජ ව්‍යූහය පිළිබඳ ඇස් ඇර බලන්නේ නම් ඒ පිළිබඳව ඕනෑතරම් උදාහරණ සොයාගැනීම අපහසු නොවේ.

සමාජ වටිනාකම් බිඳවැටීම, හර පද්ධතීන් හට සමාජ පිළිගැනීමක් නොමැති වීම, මානව සංවේදීතාව අහිමි කරගත් පිරිසක් බිහිවීම, හිංසාව ප්‍රචණ්ඩත්වය බහුල වීම හරහා සමස්තයක් ලෙස සමාජය, මිනිසුන්, සත්වයින් ඇතුළු සමස්ත ලෝකය දෙසට මානුෂවාදී නොවන ආකල්ප වලින් පිරි මිනිසුන් බිහිවීමට අන්තර්ජාලය මුඛ්‍ය ලෙස දායක වන බව කිසිලෙසකින් වත් කිව නොහැක.

අන්තර්ජාලයට ඇති ප්‍රබලතම චෝදනාව වන්නේ එමඟින් වැඩිහිටියන්ට පමණක් සුදුසු අසභ්‍ය දෑ ළමුන් නැරඹීමට හැකි වන බවය. එය ව්‍යූහාත්මකව, සංකීර්ණ ආකාරයෙන් ළමුන්ට බලපාන දෙයක් නොවේ. එසේ වුවද අන්තර්ජාලය පිළිබඳව සැළකීමේදී ළමා අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් ඊට දැක්විය හැකි දායකත්වය මෙතෙක් තරම් යැයි කිව නොහැක. නොදියුණු තාක්ෂණය, විධික්‍රම භාවිතා කරන ලංකාව වැනි රටවලට ‍ ලෝකය විවෘත කරගැනීම වෙනුවෙන් අන්තර්ජාලය භාවිතා කළ හැකිය. සැබැවින්ම ගැටළුව ඇත්තේ අන්තර්ජාල මාධ්‍ය තුළ නොව එය නරක අයුරින් භාවිතා කරන්නට යොමුවන පිරිස තුළය.

ඕනෑම දෙයක් හොඳට හෝ නරකට භාවිතා කිරීම අවසාන වශයෙන් එය භාවිතා කරන්නාට සාපෙක්ෂ වන අතරම සාර්ථකව, සාධනීය ආකාරයෙන් තාක්ෂණය රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගැනීමට නොහැකි වූ ලාංකික‍යින් අන්තර්ජාලය හිතකර අයුරින් භාවිතා කිරීමට නොපෙළඹීම ද පුදුමයක් නොවේ. ජංගම දුරකතනය ලංකා‍වේ ව්‍යාප්තිය හා ඉන් ලංකාවේ නිෂ්පාදනය, ආර්ථිකයට කෙතරම් දායකත්වයක් දක්වන්නේද සැළකීම තුලින් අන්තර්ජාලයේ භාවිතාවේ අනාගතය ගැනද පූර්ව නිගමනයක් සිදුකළ හැකිය. එසේ නම් සිදුකළ යුතුව ඇ‍ත්තේ තහංචි සීමා දැමීමට වඩා එය භාවිතා කරන පිරිසගේ බුද්ධිය, අවබෝධය, ගොඩනැඟිය හැකි වඩාත් නූතන ක්‍රම භාවිතා කිරීමය.

"තහනම" ක්‍රියාත්මක නොකර ඒ වෙනුවට සිදුකළ යුතු දේ ගැන පාලකයින් කොතෙක් අවබෝධ කර ගත්ත ද, "තහනම" ක්‍රියාත්මක කිරීමට ඔවුන් පෙළඹෙනුයේ ඒ හරහා වැටී ඇති වෙනත් දිශාවක් වෙත වූ මාර්ගය නිසාය. එනම් සදාචාර ප්‍රතිපත්ති වෙනුවෙන් යැයි මුවහත් කරන "තහනම" ආයුධය ඉන් මුවහත් කරගත් පසු යෙදවෙන්නේ සදාචාර දිශාවක් වෙතට නොව රාජ්‍ය බලහත්කාරය පැතිරවීම දිශාව වෙතට බව ජීවමාන උදාහරණ අවශ්‍යතරම් ඇත.

අන්තර්ජාල ප්‍රකාශන නිදහස පිළිබඳ සිද්ධි පිළිබඳ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සම්පාදනය කර ඇති වාර්තාවට අනුව සදාචාරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉදිරියට පැමිණි අන්තර්ජාල වාරණයන් ආණ්ඩුව විසින් ක්‍රමිකව සිය දේශපාලන ප්‍රතිවිරුද්ධ අදහස් මර්ධනය වෙනුවෙන් යොදාගත් ආකාරය මොනවට පැහැදිලි වේ. මුලින්ම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරන රජය, ඉන්පසු එල්ටීටීඊ හිතවාදී යැයි කියමින් උතුරේ පුවත් රැගෙන ආ වෙබ් අඩවි අවහිර කරන අතර පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩුව පිළිබඳව විවේචනාත්මක ස්ථාවරයක් දැරූ ලංකානිව්ස් වෙබ් [www.lankanewsweb.com], ලංකාඊනිව්ස් [www.lankaenews.com] වැනි වෙබ් අඩවි වෙත තහනමේ ආයුධය ක්‍රමිකව ව්‍යාප්ත කරනු ලබයි.

කෲරතර ඝාතකයින් රැලක් නිදැල්ලේ හැසිරෙන අතරතුර මාධ්‍ය ක්‍රියාකාරීත්වය වෙනුවෙන් විසිවසරක සිරදඬුවමක් ලැබූ මාධ්‍යවේදී ජේ.සී. තිස්සනායගම් [www.outreachsl.com] අන්තර්ජාලය මූලික කොටගෙන මාධ්‍යකරණයේ යෙදුණෙක් විය. මීට අමතරව යුද්ධය පැවති සමයේ දී අභිරහස් ලෙස ඝාතනය වූ ධර්මරත්නම් සිවරාම් නොහොත් තාරකීද අන්තර්ජාල වෙබ් අඩවි සංස්කාරකවරයෙකු විය. තිස්වසරක් පැවති ලොව දරුණුතම ගරිල්ලා සංවිධානය පරාජයට පත්කළ හමුදාවක් හා බුද්ධි අංශවලින් සමන්විත වුවද තවමත් කිසිඳු හෝඩුවාවක් සොයාගත නොහැකියැයි කියන අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අන්තර්ජාලය ආශ්‍රිතව මාධ්‍යකරණයේ නිරත වූවෙකි. එක් පසෙකින් අන්තර්ජාල වාරණය ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත කරන විට තවත් පසෙකින් මර්දනකාරී හස්තයන්ද මේ වන විටත් ඒ වෙත එල්ල වී හමාරය.

එක් පසෙකින් තොරතුරු දැනගැනීමේ හැකියාව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වන විට, තවත් පසෙකින් රාජ්‍ය මර්ධනයේ දිශාවද ඒ වෙත දැඩි‍ ලෙස යොමු වෙමින් පවතින බවක් පෙනේ. මේ වන විට ලංකාව ජාත්‍යන්තරව වඩාත් සමීපව ගණුදෙනු කරන රටවල් වන ඉරානය, චීනය, මෙන්ම ඊජිප්තුව වැනි රටවල අන්තර්ජාල තහනම හා රාජ්‍ය මර්ධනය සුලභය භාවිතා කරනු ලබන උදාහරණ ගණනවාක් Global Voice වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

මානව සන්නිවේදන ක්ෂේත්‍රයේ නිදහස සලකුණු කෙරෙන තීරණාත්මක සන්ධිස්ථානය අන්තර්ජාලයයි. ඊට එරෙහිව එසෙවෙන රාජ්‍ය මර්ධන හස්තයෙන් මඟහරවා ගැලවීමට ක්‍රම සහ විධි ගණනාවක් ඇත. ඒ ආකාරයට අන්තර්ජාල පරිහරණයේදී වඩා ආරක්ෂාකාරී වීමට ගත යුතු පියවරයන් පිළිබඳව පහත වාර්තාවන් වැදගත් තොරතුරු රාශියක් පෙන්වා දෙයි.

HANDBOOK FOR BLOGGERS AND CYBER-DISSIDENTS - REPORTERS WITHOUT BORDERS
‍Tor Project

මීට අමතරව, තනිව හෝ කණ්ඩායම්ගතව අන්තර්ජාල‍ය වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි මඟින් අදහස් ප්‍රකාශ කරනු ලබන පිරිස් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සාමූහික සංවිධාන කිහිපයක් ද වේ.

www.globalvoicesonline.org
advocacy.globalvoicesonline.org
www.eff.org

අන්තර්ජාලය විසින් ලංකාවේ සමාජයට සිදුකරන්නාවූ බලපෑමේ ස්වභාවය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින විට, ඒ වෙනුවෙන් එල්ලවෙන රාජ්‍ය ප්‍රතිරෝධයද ප්‍රමාණාත්මකව ඉහළ යයි. අන්තර්ජාලය ඇසුරේ මාධ්‍ය මෙහෙවරක හෝ නිදහස් අදහස් ප්‍රකාශ කරන්නෙකු ලෙස ක්‍රියාත්මක වනවා නම් තමන්ට වඩා බලවත්, ශක්තිමත් සතුරාට සැඟවී පහර දීමේ උපක්‍රමය තවදුරටත් වඩාත් යථාර්ථවාදී වන බව වැඩිදුරටත් සඳහන් කර සිටිමි.

1. Freedom of Expression and the Internet in Sri Lanka report published by Centre for Policy Alternatives, August 2010, මෙම වාර්තාව සම්පූර්ණයෙන් බාගත කිරීමට- Box.net

මේ පිළිබඳ වාර්තාවක් ict4peace.wordpress.com මඟින් ලබාගත හැක.

2. බ්ලොග්කරණය, සින්ඩිකේටර භාවිතය පිළිබඳව චමිල ද අල්විස් සොයුරා විසින් ලියන ලද ලිපියක් මඟින් කියවිය හැක: theopen.chamiladealwis.com/

සංඛ කිරිඳිවැල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පසු කරගෙන ආ ගහ වැල
ඈත පේන තාරකාව
මීදුම'තුළ කඳු වැටි පෙළ
මැවෙන මැවෙන හැම මොහොතක
මට ඇහෙනව මට බණිනව
අම්මා ලොකු නංගි එක්ක

ඒ මොහොතෙදි මා හදවත
දරණ ගහන් නිඳා ඉන්න
නාගයාට ඇහැ ඇරෙනව
ඌ ඇවිදින් ඇඟ වෙළනව
අත පය හොලවන්න නොදී
කිටි කිටියේ හිර කරනව
කවියක් ලියපන් ලියපන්
මගේ හිතට බල කරනව

ලොකු නංගිට ප්‍රස්තාවක්
පොඩි නංගිට රස්සාවක්
කවි ලිය ලිය හිටියොත් හරි
හීනවලට පණ එනවද

කළුව මකා රෑ අහසේ
වලාකුළේ නුඹ අලවපු
සඳා ඕප දූප මල්ල
තරු නෙතගින් බේරෙන්නේ
බලන්න බැරි ඉරිසියාව
ගහට කොළට පණ දුන්නට
හදවතකුත් තෙතකුත් නෑ
.......

නාගය තොප ඉන්නා තුරු
සිතැවුල් වෙද කවදා දුරු
ගසා ගනිමි මගෙ පපුවට
සුමිතුරු නුඹ මැරෙනා තුරු

ගැමුණු පී. දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(මහැදුරුතුමකු විසින් විශ්වවිද්‍යාලයට ඇතුළු වන නවක ශිෂ්‍යයන්ගේ සාහිත්‍ය රසඥතාව පිළිබඳ සිදු කරනු ලැබූ ආන්දෝලනාත්මක සමීක්ෂණයට සහභාගී වූ ශිෂ්‍යයෙකුගේ පිළිතුර)

අයි වෝන්ට් ටු බී කියලා
ලොකු ලොකු උදාන කරලා
නොතේරෙන කාලෙ ඉඳලා
කොයි තරම් බයකින්ද ආවේ
දහ තුන් වසරක දිගු ගමන

මෑතින් පරපුරේ ගෞරවය
ඈතින් සිනා සෙන්නට
මඟ බලන නෑදෑ පිරිවරය
ඈතින් ටයි කෝට් සිහිනය
මෑතින් බිඳ වැටුණ ප්‍රේමය
කොහොම බිය සැක නැතිව
කියවන්නද බුත්සරණ අමාවතුර
ඇල් වතුරටත් පිච්චෙද්දි ගත සිත

පහේ දහයේ දොළහේ
උස උස කඩුලු තියලා
දුවලා දුවලා ඇවිල්ලා
ඒවාද පැනහල්ල කියලා
ප්‍රශ්න පත්තරෙත් වැරදියට හදලා
කිවවම ඒත් ලියපල්ලා
කොහොමද ගැහෙන හදකින්
රස විඳින්නේ කවියක්
දල්වලා ප්‍රඥාවේ පහන්

ඉතින් කාගෙද වරද

කෝටුවක් ගෙන තලන්නට බැහැ අතීතෙට
අධ්‍යාපනඥයින්
විභාග කොමසාරිස්
අධ්‍යාපන ඇමතින්
තුවක්කු අතේ තියාගෙන
උන්ට හූ කිව්වොත්
වෙඩි තියන්නට

බොඳ නොවන අනාගතයක් ලියන්නට
ආවෙ "බොඳ මීදුම්" අතීතෙට භාර කොට
සියලු රෝග දුරු කරන්ට සරස්වතී පහළ වන්ට
බඩ බොකු හාර හාරා
ඇසූවත් වළ දැමූ අතීතය ගැනම ඔබ

කමක් නෑ කමක් නෑ
තව කිව්වත් බැණ වැදුණත්
නවක අපේ නැති බැරි කම් ගැන
මහ පොහොසක් වියත් සභා මැද
තව අවුරුදු තුන හතරකින්
අපද ඒ සභාවේ
සාමාජිකයන් වේ නම්
ඔබ තුමන්ලාගෙ අනුහසින්

මහැදුරුතුමනි වියත්
තියූවොත් නරකද ඉතින්
සරසවියට ඇතුළු වන්නන්ට වාගෙම
පිටත් වන්නන්ටත්
ඔය සමීක්ෂණයම

2010-10-10

අප්සරා පොඩිමැණිකේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


සොබා දහම, මනුෂ්‍යත්වය සහ ශ්‍රමය [1]

එක්සත් ජාතීන්ගේ පරිසර ඒජන්සිය පැහැදිලිවම ප්‍රකාශ කරනු ලබන්නේ “තුන්වන ලෝකයේ” පරිසර විද්‍යාත්මක (ecological) ගැටළු වනාහී දුගීභාවයේ ගැටළු බවයි. ඒ කෙසේ වෙතත් මෙහිදී අප පැහැදිලිවම මතකයේ රඳවා ගත යුත්තේ මේ දුගීභාවය කිසිසේත්ම “තුන්වන ලෝකයේ” වෙසෙන ජනයාගේ දෛවයෙන් පැනනගින්නක් නම් නොවන බවයි. මෙය ඔවුන්ගේ කර්මයෙන් නොව-

-ගෝලීය ධනවාදයේ කර්මයන්ගෙන් පැන නගින බවයි. එනම් ගෝලීය ධනවාදයේ ආර්ථීක හා සමාජීය ප්‍රතිපත්තීන් ගෙන් හා ක්‍රියාවන්ගෙන් පැන නගින බවයි. සත්‍ය කරුණු පටලවා ඉදිරිපත් කරන්නෙකුට දියුණු රටවල පවතින පාරිසරික අර්බුදයන්, වෙළෙඳ ආර්ථීකයේ ප්‍රතිඵල නොව, සමෘද්ධිමත් ගතික සමාජයක විපාක වශයෙන් මතු වන්නක් ලෙස පෙන්වා දීමට සමහර විට හැකිය. ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ ආර්ථීක වශයෙන් පරාධීන දුගී රටවල් වල ආර්ථීක අර්බූදයන් හා පාරිසරික අර්බූදයන් අතර ඇති කේන්ද්‍රීය සබැඳියාව ඉතා හොඳින් පෙනෙන්නකි. දශලක්ෂ ගණන් ජනතාව පරිසරයේ හා ජෛව ගෝලයේ වර්ධනය වන සිඳී බිදී යෑම්, විනාශයන් අත්දකිමින් තමන්ගේ පැවැත්ම සඳහා ඉතිරිව ඇති සුළු ඉඩකඩ මත යැපීමට එදිනෙදා අරගලයක යෙදී සිටිති. මිලියන 800 කට අධික ජනකායක් මන්දපෝෂණයෙන් පෙළෙයි. වසරක් පාසා මිලියන 40 ක් කුසගින්නේ නැතිනම් මන්දපෝෂණය නිසා ඇතිවන රෝගාබාධ වලින් මියයති.

කෝටි 200 කට නිතිපතා පිරිසිදු පානීය ජලය සපයා ගැනීමට මාවතක් නැති අතර, ඒ හේතුවෙන් වසරක් පාසා දශලක්ෂ 25 ක් මිය යති. කෝටි 150 ක් ජනයා තමන්ගේ එකම බලශක්ති මූලාශ්‍රය වන දර (firewood) හිඟතාවයෙන් පීඩා විඳිති. ඒ අනුව බලන කල පෙනෙන්නේ ලෝකයේ මේ කලාපයන්හි ජීවත් වන ජනතාවට තමන්ගේ අවම ජීවන පැවැත්ම ගෙන යෑමට අවශ්‍ය කරන ආහාර, ජලය හා ඉන්ධන වල දරුණු හිඟතාවයකින් පෙළෙන බවයි. ඒ අතර එක්සත් ජාතීන්ගේ තක්සේරු වාර්තා පෙන්වා දෙන්නේ මිලියන 500 ක ජනතාවක් “පාරිසරික අනාථයන්” (Environmental refugees) බවට පත්ව සිටින බවයි. එයට හේතුව පැතිරයන නියඟය, ගංවතුර, පස සෝදායෑම හා අපනයනය මුල්කරගත් කෘෂිකර්මයේ ව්‍යාප්තිය ආදිය නිසා තමන් ගේ නිජභූමි හැරයෑමට සිදුවීමය. එසේ බලන කල ලෝකයේ මේ කලාපයන්හි පාරිසරික අර්බූදය වූ කලී අනාගතයේ මතුවීමට තිබෙන්නක් නොව වර්තමානයේ විද්‍යාමානව පවතින අර්බූදයකි.

මේ දුගීභාවයේ හා පාරිසරික අර්බූදයන්ගේ ප්‍රාථමික හේතුව වන්නේ ධනපති නිෂ්පාදන විධිය යි. ගෝලීය ධනවාදය මේ ප්‍රදේශයන් හා පවත්වාගෙන යන ආර්ථීක වශයෙන් යටත්කර තැබීමේ ආර්ථීක ව්‍යූහය හා ලෝක වෙළඳපලේ ආධිපත්‍යය ඒවායේ පාලනයට නතු වී සිටින රටවල් වල ස්වාභාවික පරිසරය අති දරුණු ලෙස ආර්ථීක සූරාකෑමකට ලක් කර සිටී. සැබැවින්ම අද ගෝලීය බලවතුන්ගේ ආර්ථීක ශක්තිය රඳාපවත්නේ මේ දරුණු සූරාකෑම පදනම් කරගෙනය. අද ලෝක වෙළෙඳපොලේ අවශ්‍යතාවන් හා බහුජාතික සමාගම්වල ලාභ අපේක‍ෂාවන්ට අනුව සිදු වන පාරිසරික විනාශයත්, සමාජ ව්‍යූහයන් හා ජීවන මාර්ගයනුත් අතර පවතින ප්‍රතිවිරෝධය මිනිස් ඉතිහාසයේ අතිශයින්ම නින්දිත තත්ත්වයන් කරා ඉහළ නැග තිබේ.

ගෝලීය ධනවාදය මේ රටවල් තුළ තමන්ගේ ආධිපත්‍ය පවත්වාගෙන යන ස්වරූපය වන්නේ ඒවායේ ලෝක වෙළෙදපොල මත පදනම් වු ආර්ථීක මධ්‍යස්ථාන (වෙළෙද කළාප, මහාපරිමාණ වාණිජ වැවිලි) සැකසීමෙන් හා එම පදනම මත ඒවායේ අවශ්‍යතාවන් සපුරන යටිතල ව්‍යූහයන් (වාණිජ නගර, අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපලවල්, බලශක්ති මධ්‍යස්ථාන ආදීය පදනම් කරගෙන ය. සැබැවින්ම මේවා රටේ පවතින නීතියට යටත් නොවන ගෝලීය බලවතුන් ගේ ප්‍රදේශ (territory) බවට පත් වෙයි. මේ පදනම මත අපනයනය ඉලක්ක කර “ස්වාභාවික සම්පත් මධ්‍යස්ථාන”, ව්‍යාපාරික මධ්‍යස්ථාන හා නිවාඩු කළාප (Holiday zones), වැවිලිකරයන් හා සත්ව ගොවිපලවල්, විකිණීමට ගවයන් ඇතිකරන තණබිම් (Grazing lands) සඳහා අදාල භූමි ප්‍රදේශ වෙන් කර ගනු ලැබේ. මේ ආර්ථීක ක්‍රියාදාමය ජනතාවන් වෙත අතිමහත් පීඩනයක් එල්ල කරනු ලබන අතර, ඔවුන් එහි ගොදුරු බවට පත් වෙයි. ඔවුන්ගේ ස්වාභාවික ජීවන රටාවන් මුළුමණින්ම වෙනත් මාර්ග වලට තල්ලු කරන අතර, තම දේශයේම පිටස්තරයන් බවට පත් කර ඒ දේශයන්හි අද්දර කලාප දෙසට තල්ලුකර දැමෙයි.

අපට පරිසර විද්‍යාත්මක දෘෂ්ඨිකෝණයෙන් ද මේ පරාධීන රටවල් වෙත සම්මිශ්‍ර වර්ධනයේ හා අසමවර්ධනයේ නියාමයන් මගින් ගෙන එන්නා වූ මරණීය ප්‍රථීඵල නිරීක්ෂණය කළ හැකිය. ලෝක වෙළෙඳපොල තමන්ගේ පරිසර නාෂක පෙරගමන හා එහි මහත් වූ කටුක ප්‍රතිවිරෝධයන් ලෝකයේ මහත් “පසුගාමී” අස්සක් මුල්ලක් පවා මග නොහැර ගෙන යමින් තිබේ. මේ රටවල් තුළ ලෝක වෙළෙදපොලේ ක්‍රියාකාරීත්වය යමකට සමාන කළ නොහැකි තරම් විනාශකාරී වනවා මෙන්ම එයට විරුද්ධ බලවේගයන් එමෙන්ම අසමාන අයුරින් දුර්වලය. අපට මෙම යාන්ත්‍රණයේ ව්‍යූහාත්මක ලක්ෂණයන් පෙළක් ම හරහා ගමන් කළ හැකිය.

එනම්, පළමුව, ලෝක වෙළෙඳපොල සඳහා ඍජු ලෙසම අමුද්‍රව්‍ය ඒ හැටියෙන්ම සූරා ගැනීම(ඛණිජ දුව්‍ය, දැව, කපු, රබර් ආදිය) හා ඒවාට සමපාතව යටිතල ව්‍යූහයන් වර්ධනය කිරීම (මංමාවත්, දුම්රියමාර්ග, බලශක්ති නිෂ්පාදනාගාර ආදිය).

දෙවනුව ඉඩම් සුද්ධ කිරීමේ ප්‍රතිපත්තිය හරහා අපනයන නිෂ්පාදන සඳහා භූමිය මහපරිමාණ ගොවිපලවල් බවට පත් කිරීම, නැතිනම් සත්ව ගොවිපලවල තණ බිම් ලෙස වෙන් කිරීම. මේවා සඳහා පරිසරය දූෂණය වීම ප්‍රථීඵලය කොටගත් රසායනික පොහොර, වල්නාශක හා කෘමිනාශක දැවැන්ත අයුරින් යොදා ගැනීම.

මේ ක්‍රියා සන්තතීන් දෙක ඉඩම් ප්‍රශ්නය මෙකී පරාධීන රටවල් බොහොමයක් තුළ ප්‍රමුඛ දැවෙන ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. එසේ වන්නේ මේවායේ ගැමි ජනතාව කෘෂිකර්මයෙන් හෝ වෙනත් මාධ්‍යයකින් නඩත්තු වෙමින් ස්ථීර පදිංචියකට පත් විය නොහැකි නිස්සාර භූමි ප්‍රදේශ වලට තල්ලුකර දමනු ලබන නිසාය. ඔවුන්ට මේ භූමිය සුද්ධ කර පාංශු ඛාදනයටත්, සොදාපාලුවටත් හේතු වන කෘෂිකාර්මික ක්‍රම යොදාගන්නවා හැර වෙනත් තෝරාගැනීමක් ඇත්තේ නැත. කඳුකර භූමි කපා දැමෙයි, ඝර්මකලාපීය වනාන්තර ගිනි තැබෙයි. ඒ මගින් භූමිය වියැලී ශුෂ්කකරණයට ලක් වීම, ගංවතුරට ගොදුරුවන ප්‍රදේශ බවට පත් වීම හෝ පසේ සාරවත්භාවය විනාශ වී ගිය භූමි ප්‍රදේශ බවට පත් වීම සිදුවෙයි. මේ තත්වයන් දිගුකාලීන වශයෙන් දේශගුණික වෙනස් වීම් හා “ස්වභාවික විපත්” වලට තුඩු දෙයි.

නාගරිකකරණය සුවිශේෂ ආර්ථීක ව්‍යූහයක් වනවා මෙන්ම ඉඩම් ප්‍රශ්නයට ද තවත් හේතුවක් සකසයි. එක්සත් ජාතීන්ගේ තක්සේරුවලට අනුව මේ පරාධීන රටවල් වල නගර, කාර්මික රටවල් වලට සාපේක්ෂව ගත් කල තුන්ගුණයක වේගයෙන් වර්ධනය වෙයි. මේ නගරයන්හි සාමාන්‍යයෙන් නගර වල පවතින ප්‍රශ්නයන් ට වඩා පරිසරයට හා ජීවන තත්ත්වයන්ට මහත් සේ විපත්තිදායක වෙයි. නිසි ප්‍රමිතියක් සහිතව පාවිච්චි නොකරණ වාහන දුම්වලින් සිදුවන විනාශයන් මෙන්ම, කර්මාන්ත ශාලා වලින් පිටවන දුම් හා අපද්‍රව්‍යත්, නිවෙස්වල උණුසුම් කිරීමේ උපකරණ හා වායු සමීකරණ බලවත් පාරිසරික ප්‍රශ්නවලට තුඩු දී තිබේ. පිරිසිදු හා පිරිසිදූ කළ ජලය මේ රට වල නගරයන්හි පවතින විශාලම ප්‍රශ්නයකි.

තුන්වනුව, අපද්‍රව්‍ය ඉවත් කිරීම විශාල ප්‍රශ්නයකි. ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ බොහොමයක් ප්‍රධාන නගරයන් හි අපද්‍රව්‍ය එක්කෝ විවෘත භූමිවල ගොඩ ගසනු ලබන අතර නැතිනම් විවෘත භූමියේ ගිනිතබනු ලැබේ. මෙය නිරන්තරව නගරයේ වාතාශ්‍රය අපිරිසිදු වීමේ සාධකයක් ව තිබේ. මේ නගරාසන්නයන්හි තිබෙන ග්‍රාමීය ප්‍රදේශයන් හි කැලෑ ඉන්ධන සඳහා දරට කැපීම නිසා විනාශ වී යයි. නාගරික දුගීන්ගේ ඉන්ධන වර්ගය තවමත් දර ලෙසින් පවතින්නේ ඔවුන්ගේ දුගීභාවය නිසා වෙනත් ඉන්ධන වර්ග යොදා ගැනීමට නොහැකි හෙයිනි.

මේ පරාධීන රටවල් සම්බන්ධයෙන් මේ දින වල කතාබහට ලක්වන තවත් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඔවුන් ගෝලීය බලවතුන්ගේ රටවල් වලට හා ඒවායේ බැංකු වලට මහත් සේ ණයගැති වී සිටීමයි. මෙහි ප්‍රතිඵලයන් ද පරිසර විද්‍යාත්මක ප්‍රශ්නයන්ට දායකවෙයි. මන්ද යත් වාර්ෂිකව වර්ධනය වන මේ ණය ගෙවීම සඳහා මේ රටවල් වලට තම අපනයන නිෂ්පාදන පරිමාව ඉහළ දැමීම ප්‍රමුඛස්ථානයේ තැබීමට නිරන්තර බලපෑමක් පැවතීමයි. මෙය දුගීභාවය තියුණු කිරීම හා ග්‍රාමීය ජනයා සමූහ වශයෙන් පාරම්පරික වගා බිම් වලින් ඉවත් කිරීම සිදු කරයි. 1990-95 කාල පරිච්ඡේදයේ දී අප්‍රිකාවේ දුගීම හා වඩාත්ම ණය බරින් මිරිකුණු රටවල් 33 තුළ සිදු වූ වනාන්තර කපා හෙලීම අනෙක් අප්‍රිකානු රටවල් වලට වඩා 50% කින් වැඩි විය. එය ලෝකයේ වනාන්තර කපා හෙලීමේ සාමාන්‍ය ට සාපේක්ෂව බලන කල 140% කින් විශාලය. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් මේ රටවල් වලට, තමන් වෙත ඇති ඔවුන්ගේ ණයගැතිභාවය පදනම් කරගෙන ඉදිරිපත් කරනු ලබන නියමයන් සපුරා ලීම සඳහා මුදල් සම්පාදනය කර ගැනීමට පවතින එකම මග වන්නේ මෙසේ එහි බර සොබා දහම හා මිනිසා මත වඩ වඩාත් ඉහළින් පැටවීම පමණකි.

මෙහි දී බහුජාතික සමාගම් සම්බන්ධ වන ඍජු සොබාදහම වනසන පාරිසරික අපරාධයන් මාලාව ගැනද අවධානයට ගත යුතුය.

අනතුරුදායක, උපද්‍රව සහිත (hazardous) නිෂ්පාදන ඒකක (විශේෂයෙන් රසායන ද්‍රව්‍ය කර්මාන්තයේ අංග) මේ පරාධීන රටවල් කරා මාරු කරනු ලැබේ. ඒ මගින් ලාභ ශ්‍රමය සූරාකෑමට මේ සමාගම් වලට අවස්ථාව සැලසෙනවා පමණක් නොවේ. කිසිදු චෝදනාවකින්, නීතිමය බාධාවකින් තොරව රසායන අපද්‍රව්‍ය සුද්ධ කිරීමට වියදමක් නොකර ම පිට කිරීමට ද අවස්ථාව සැලසේ.

මෙවන් වූ පරිසර විද්‍යාත්මක අර්බූදයන් ඉදිරියේදී, බොහොමයක් පරාධීන රටවල පාලකයන් බල රහිතය. එපමණක් නොව, මේ පාලකයන් හා ගෝලීය ධනවාදයේ උවමනා අතර පවත්වන්නා අන්තර් සම්බන්ධතාවයන් හා ඔවුන්ගේ විශේෂ අයිතිවාසිකම් රැකගැනීමේ අවශ්‍යතාවන් මෙන්ම පංතිමය උවමනාවනුත්, මේ ආර්ථීක පරාධීනත්වය හා පරිසර විද්‍යාත්මක අර්බූදයන් ඉක්මවා සිටී.

ගෝලීය ධනවාදයට දක්වන පරාධීනභාවයෙන් මිදෙන තුරු මේ රටවල් වල පරිසර විද්‍යාත්මක ප්‍රශ්න විසඳීම ගැන සිතාගැනීමට වත් බැරිය. ණය සම්භාරයන් මත කෙරෙන “නවීකරණය”ක් දෙස බලා සිටීම හා හදිසි සමාජ ප්‍රශ්න ණය මගින් විසඳා ගැනීමට තැත් කිරීම බලවත් වරදක් පමණක් නොව මේ අර්බූදයන් වඩාත් සංකීර්ණ කරන්නේය. මෙය පරිසර විද්‍යාත්මක ප්‍රශ්නයන් සම්බන්ධයෙන් ද තවමත් එසේ ම ය. දුගීභාවය හා පරාධීන බව නිසා දශ ලක්ෂ ගණන් ජනතාව පරිසරයට බලවත් හිරිහැර සිදුකරන්නා වූ පැවැතුම් වලට යොමු වීම වැලැක්වීමට නොහැක්කේ එසේ නොකර ඔවුන්ගේ අවම ජීවන පැවැත්ම වෙනුවෙන් වෙන කළ හැකි දෙයක් ඉතිරි කර නැති නිසා ය.

මෙසේ “තුන්වන ලෝකයේ” රටවල් වල (පරාධීන රටවල්) වැඩකරන ජනතාවගේ ගෝලීය ධනවාදයේ කොල්ලකෑමට එරෙහි සටන අනිවාර්යයෙන්ම පරිසර විද්‍යාත්මක ප්‍රශ්නයන් විසඳා ගැනීමේ සටනම වන්නේය.

(හරය|2010 සැප්තැම්බර් කලාපයෙන්)

කඩුපුල්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දුයිෂෙයින් ඔබ යන්න එපා අයිලයට
නූතනත්වයෙන් ඉඳුල් නොවුන අයිලයට
කළකිරවන්නෙ මොකටද තව තව
අල්තීනායිලගෙ අහිංසක ජීවිත

උගන්වන්න එපා ඩිංගක්වත්- ඒ අයට
ඉන්න දෙන්න පාඩුවේ
එන්න දෙන්න එපා කිසිවෙකුට- සෙයිලමට
වැඩිදුර ඉගෙනගන්නට

ඉස්පෝකන් ඉංග්ලිෂ්, කම්පියුටර් ක්ලාස්
මැක්ස්, සයන්ස්, කොමස්, ආර්ට් ක්ලාස්
ඩබල් ඒ ටී, චාටඩ්, එච් ආර් එම් කෝස්
බී.ඒ, එම් ඒ, බී.බී.ඒ, එම්.බී.බී.එස්, කෝස්
ඉවරයක් නැති ක්ලාස් ජීවිත
ඉවරයක් නැති කෝස් ජීවිත

ඉඩ තියන්න එපා අල්තීනායිට
ලිප්ටන් වට රවුමේ
දුම්රියපොළ ඉදිරියේ
බෝඩ් ලෑලි උස්සන් ඉන්න
කඳුලුත් හිඳුණු ඇස් වලට
කඳුලු ගෑස් කන්න

තිබෙන තැනින් අත සරු උන් මිළට ගනී
රජ මැතිඳුන් ෂේප් නැතොත් ඵලක් නැතී
සැබෑ ශිල්ප සැඩ පහරෙම ගසන් යතී
මනා උගෙන කුමටද මතු රැකෙනු බැරී

දුයිෂෙයින් ඔබ යන්න එපා අයිලයට
නූතනත්වයෙන් ඉඳුල් නොවුන අයිලයට
කළකිරවන්නෙ මොකටද තව තව
අල්තීනායිලගෙ අහිංසක ජීවිත

"ලෙනිනුත් මැරිලා දැන් හුඟක් කල්"

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දළුවත්ත නම් විශ්ව ශක්ති තක්කඩියෙකු ගැන ටික කලෙකට ඉහත මාධ්‍ය තුළ කතාබහක් ඇති විය. [බලන්න: තවත් විශ්වකර්මයෙක්| තාරක වරාපිටිය] බල්ලන්ගේ මයිල් හැලීමේ සිට මිනිසුන්ගේ ඒඩ්ස් දක්වා සකල විධ රෝග කම්බස් කොට කම්මුතු කරන බවට පිළින දෙන මේ හොර තක්කඩි වෙන්ඩ-මුනියා එම වර්ගයේ පළමු හොරා හෝ අවසාන හොරා නොවේ. මිත්‍යාභිචාරයන් හිස් මුදුනේ තබා ගත් පාලකයන් ද ඒ පාලකයන් පෙන්වන ඕනෑම නියඟලා අලයක් හවු හවු ගා ගිලින පාලිතයන් ද ඉන්නා ඕනෑම රටක, ආණ්ඩුවේ මැති ඇමති හැත්ත බුරුත්ත ඇරුනු කල ඉතාම 'හේතුවන්ත' පිරිස වන්නේ මෙකී වෙන්ඩ-මුනිවරු සහ උන් නටවන මීඩියා සට්ටඹි රොත්ත ය.

ටික දිනක් මීඩියා රේඩාර් එකෙන් අවුට්වැ හිටි මේ වෙන්ඩ-මුනියා මැක්ස් ටීවී චැනලය ඔස්සේ සති පතා, සති අන්තවල ප්‍රේක්ෂක ජනතාව ඉදිරියේ ප්‍රාදුර්භූත වන්නට පටන් ගෙන පටන් ගෙන තිබේ.

මැක්ස් ටීවී මුදලාලිලා විසින් ලකේට අලෙවි කරනු ලබන මේ අණ්ඩපාලයා පෙනුමෙන් පෝමනේරියන් බල්ලෙකුට සදිසිය. ඔහු කැමරාව ඉදිරියේ ඉඳගෙන ඉන්නෙ අමාරුවෙන් බයිසිකල් හැඬලයක් ගිල්ල පිඹුරෙකු ගානටය. (සමහර විට සිය ශ්‍රී සිරුර තුළ අඩුක් කොට ඇති විශ්ව ශක්තිය හෙලවීම නිසා එළියට වැටී අපතේ යාවි යැයි ඇති බිය නිසා ඒ තුමා ඒ අම්බ සෘජු කාය ඉරියවුව (අමාරුවෙන්) පවත්වනවා වන්නට ද බැරි නැත.)

නොදන්නා ප්‍රේක්ෂකයෙක් කොමඩි ෂෝ එකකැයි වරදවා වටහා ගැනීමට පවා ඉඩ ඇති මෙකී ප්‍රෝග්‍රෑං එකේ ෆෝමැට් එක මෙපරිදිය. වෙන්ඩ-මුනියා ''සකල විශ්වයේ බලය'' එක මිටකට ගෙන ඒ මිටින් බික බික ගෙන පෙන්ඩන්ට් වල පරිස්සමට අසුරා තිබෙයි. එක් සාම්පල් පෙන්ඩන්ටයක් වෙන්ඩ-මුනියා ඔහුගේ අතේ වෙලාගෙන සිටියි. දැන් මැක්ස් ටීවී එකේ පුස්න විතාලක චූචි බබා, වෙන්ඩ-මුනියාම කලින් ලියා දුන් ටික්කි ටිකිරි ප්‍රශ්නයක් දෙකක් ඒ තුමාගෙන් අසයි. ප්‍රේක්ෂක ආතුරයෝ ද මැදිරියට අමතා ඔවුන් ගේ දහමනක් අතුරු ආන්තරා ජීවන ගැට සහ ගැටළු වලට වෙන්ඩ-මුනිතුමන් කොන්සල්ට් කොරති. සමහරුන්ට පාඩම් මතක හිටින්නේ නැත. සමහරුන්ට සුරා සූදු පුශ්නය. තවත් අයට හැර ගිය සැමියා පිස්සුවෙන් මෙන් දෙපතුල ළඟට ගෙන්වා ගැනීමේ ප්‍රශ්නය. මොකා මොන ප්‍රශ්නය ඇහුවත් වෙන්ඩ-මුනිතුමා මුලින්ම කරන්නේ සීරියස් පොමනේරියන් පෙනුමක් ආරූඩ කර ගැනීම ය. ඉක්බිති, ඒ තුමා එකී ප්‍රශ්නයේ ග්‍රහ පසුබිම විවරණය කරයි. ඕනෑම ප්‍රශ්ණයකට බුද සිට ඇල්ෆා සෙන්චූරියාව තෙක් ඒ ඒ ග්‍රහ තාරකා වග කිව යුතු අතර ලංකා පොලිසිය යොදවා එකී විත්තිකරුවන් අල්ලා ගෙන ඒමට අසීරු බැවින් ආතුර පිංවතුන් කළ යුත්තේ වෙන්ඩ-මුනිගේ සුවිශේෂී පෙන්ඩන්ටය පැළඳ ගැනීමය! එය පැළඳ ගත් සැණින් ඇද වී ඇති සියළු ඉරණම් කෙළින් වී ප්‍රාණවත් වී ආතුරයාට අම්මට සිරි වෙන නිරෝගී ජීවිතයක් ද නිවන් පුරයට බස් හෝල්ට් දෙකක් මෙහා සියළු සම්පත් ගොජ දමන මාරම මාර සොමේ සොම් එකක් ද ලැබෙන බව සහතිකය.

ටී.එන්.එල්. නාලිකාව ද මේ වර්ගයේම තවත් විශ්ව ශක්ති හොර තක්කඩි චීවර ධාරියෙකු ගෙන්වා රෑ තිස්සෙ නඩලං නැටූ හැටි ඔබට මතකද? ඒ නඩලම ගිය දුර කොපමණදැයි කියනවානම් එකී චීවර ධාරියා අත් වලින් හුළං ගසමින් රූපවාහිනී තරංග දිගේ විශ්ව ශක්තිය ටී.වී. තිර ඉස්සරහා අයා ගත් මුඛයෙන් බලා සිටින අමන ආතුර ජනතාවට සම්ප්‍රේෂණය කිරීමට තරම් නිර්භීත විය. පසුව වැඩේ රියැලිටි ෂෝ එකක් තරමට නැගලා යන හන්දා, මෙකී වහන්සේ ආතුරයන් සුගතදාස ස්ටේඩියමට කැඳවා මාරම මාර ''ජාතික'' විශ්ව ශක්ති සැපක් දුන් සේක. අනේ සාදු උන්නන්සේගේ කෙරුවා වූ ඒ ජාතික මෙහෙවරට පිං සිදු වෙන්ට දැං ලංකාවේ එවුංඩ මෙලෝ රෝගයක් අනතුරක් ආන්තරාවක් නැත.

මේ හොරු එක් වරම පහළ වී එක් වරම අතුරු දහන් වෙති. මීඩියා වල ඉන්නා කෂඩ වෙළෙන්ඳෝ කරන්නේ එකී හොරුන් සමග එක්ව ජනතාවට ඇරීමයි. ඒ ඇරිල්ලේ රඟ කොච්චරදැයි සක්විති නාඩගම දන්නා ඕනෑම ආතුරයෙකුට වැටහෙයි. වෙන්ඩ-මුනිවරුන් ලෙස වේෂ නිරූපණය කරන ලද මේ ඇරියපාලලා ලවුවා ජනතාවට අරෝන මීඩියා වල පිංපියෝ නවතින්නේ අන්තිමේදී ඇරියපාලට ඇරුනාට පසු ඒ ඇරිල්ලත් විකුණාගෙන කෑමෙනි. ගෙවුනු සමයේ පාත්තරකාරයෝ දිවි රැක ගත්තේ සක්විතියාව මව්පියං ජාතක කොළ ඇහිල්ලේ පටං ඌ ඇරියපාලයෙකු වී ජනතාවට ඇර දැන් දෙකයි පණහේ හිඟන්නෙකු වීම දක්වා උගේ ජාතක කතාව කොටස් වශයෙන් විකිණීමෙනි. ඊගාව සැරේ වෙසක් එකට සක්විති ජාතකය කොටුවෙන් කොටුව ඇඳ තොරණක් ගැසුවත් පුදුම වෙන්නට කාරියක් නැත. ඒ මේ පිං බිමේ හැටිය.

අද මේ සන්නාසියාගෙන් ලැබෙන මුදලට, සිය ප්‍රේක්ෂකයන් ඇන්දවීමට තමන්ගේ ගුවන් කාලය විකුණන මේ මැක්ස් ටී.වී. මහත්වරු ම සන්නාසියා වැඩේ අනා ගත් පසු ඒ මගෝඩි-ගොඩ ද නිවුසයක් කොටැ විකුණනු නියතය. මහත්වරුනි, සමාවෙන්න; අපිට මේ මීඩියා කෂඩයන්ව පෙනෙන්නේ අමු හෙළුවෙන් ටයි පටියක් පමණක් දමාගෙන බම්බලපිටිය හන්දියේ හිඟා කන හිඟන්නන් රංචුවක් විදිහටය! වෙන්ඩමුනි ඇරියපාලලා සමග ජනතාවට අරින මේ හුරතල් චැනලය තමන්ගේ ස්ලෝගන් එක මෙසේ වෙනස් කළ යුතු බව අපි යෝජනා කරමු.

"ආසාවෙන් අරින්නයි!"


දොන් ජුවන් එදිරිල්ලේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අමරණීයැයි
උදම් ඇනුවා ඇසුනි
කාටත් සමව සලකමියි
සපථ වූවා ඇසුනි
බලනා කිසිතැනක නෑ කොයි නුඹ
සිටිනා තැනක් දනී නම්
නවත්වනු මැන මේ
අඬහැරය
ඉතිහාසයේ පටන්
(තිබෙතැයි කියන)
මිනිසත් බව සොයා හැඬවෙන

රුෂිකා කලූබෝවිලගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තදින් හුස්ම ගනිමින් මම ඔහු අසලම වූ හිම තලාවක් මත ඇද වැටුණෙමි. "උඹ නිකම් කාලෙ නාස්ති කරනවා. සරුංගලේ යන්නෙ අනික් පැත්තට. උඹට ඒක පෙනුණෙ නැද්ද?"

හසාන් සිය මුවේ වූ මල්බෙරි ගෙඩියක් පිඹ හැරියේය. "ඒක මෙතනට එනවා." ඔහු කීවේය. මට හුස්මක් කටක් ගැනීමට නොහැකි තරමේ විඩාවක් දැනුණද ඔහුට නම් එවැනි සලකුණකුදු නැත.
"උඹ කොහොමද දන්නෙ?" මම ඇසීමී.
"මං දන්නවා."
"උඹ කොහොමද දැන ගත්තෙ?"
ඔහු මවෙත හැරුණේය. ඔහුගේ මුඩු හිස මතින් දහදිය වැල් කීපයක් ගලා එමින් තිබුණේය. "අමීර් අගා, මං ඔයාට කවදාම හරි බොරු කියලා තියේද?"
හදිසියේම මම ඔහු මඳක් ලෙල්ලම් කිරිමට තීරණය කළෙමි. "මං දන්නෙ නෑ. උඹ එහෙම කරනවද?"

"එහෙම කරල තියේනම් මං දැන් ඕනෙම ලැජ්ජාවක් විඳින්න ලෑස්තියි." ඔහු පිළිතුරු දුන්නේ කෝපාන්විත බැල්මක් හෙළමිනි.
"හැබෑටම? උඹ එහෙම කරනවද?"
"කොහොමද?"

"මං කිවුවොත් මං වෙනුවෙන් ඕන අවමානයක් විඳිනවද?" මම ඇසීමී. පිළිතුරු දීමට වදනක් නොදත් හසාන් හට ඇණුම් පද කී අවස්ථාවල දී මෙන් දැනුදු මා ඔහු හට නපුරු වෙමින් ඉන්නා බැව් මම දැන සිටියෙමි. එහෙත් දැන් මේ ක්‍රියාවේ කිසියම් විනෝදජනක බවක් රැඳී තිබිණි. මඳ නොහොබිනා කමක් රැඳුණේ වුවද හසාන්ට රිදවීමේ කිසියම් විනෝදාත්මක බවක් මට දැනුණි.

එය හරියටම අප එක්ව කුඩා කෘමීන්ට හිංසා කළ අවස්ථාවක් මෙනි. වෙනසකට තිබුණේ ඔහු කෘමියා බවට පත්ව සිටියදී කුඩා දේ ලොකු කර පෙන්වන කාචය ඔහු වෙත එල්ල කරන මිනිසා මා වීම පමණි.

********

"ඔයා මට කියනවා නං මං ඕනෙම ලජ්ජාවක් විඳින්න ලෑස්තියි." මා දෙස සෘජුවම බලාගෙන අන්තිමේදි ඔහු කීවේය. මම වහා බිම බලා ගතිමි. තමා කියනා සෑම දෙයක්ම එපරිදි කිරීමට මුළු හදින්ම සූදනම්, හසාන් වැනි මිනිසුන් දෙස සෘජුව බැලීම ඉතා අසීරු කාර්යයක් ලෙස මේ අද වන තුරු මම හඟිමි.

"ඒත් මං මේ කල්පනා කරන්නේ." ඔහු සිය වදන්වලට එසේද එකතු කළේය. "අමීර් අගා, ඔයා ඒ වගේ දේවල් කරන්නය කියලා කවමදාක හරි මගෙන් ඉල්ලා හිටියද කියලයි." ඉඳින් එසේ ඔහු මා සුළු පරීක්ෂාවකට ලක් කළේය. ඔව්, මා ඔහුගේ පක්ෂපාතිත්වය, අවනතභාවය පිළිබඳ පරීක්ෂා කිරීමට, ඊට අභියෝග කිරීමට යන්නේ නම් ඔහු පෙරළා මගේ මහත්මා ගුණය පිළිබඳවද පරීක්ෂා කරනු ඇත්තේය.

-සරුංගල් ලුහුබඳින්නා [The Kite Runner]

කාලෙද් හොසෙයිනි
පරිවර්තනය - චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ඔව් සහෝදරයා උඹ එවූ කවිය ලැබුණා"

"මෙහෙ සීතලයි
ඔහෙත් සීතලද"


ඇණ ගැසූ අතකින් දුක අනන්නේ කොහොමද
ඇණ ගැසූ අතකින් ඇස පිසින්නේ කොහොමද
ඇණ ගැසූ අතකින් අත වනන්නේ කොහොමද
ඇණ ගැසූ අතකින් කවි ලියන්නේ කොහොමද

උදුරලා දැමුයෙන් මුල් අදින්නේ කොහොමද
ඉරිතලා ඇතියෙන් වැව් පිරෙන්නේ කොහොමද
පරඬලා හඳකින් එළිය දෙන්නේ කොහොමද
නියඟලා මලකින් සුවඳ එන්නේ කොහොමද

බිඳ දැමූ දෙපයින් නැගිට ඉන්නේ කොහොමද
වෙඩි තැබූ ළයකින් හුස්ම ගන්නේ කොහොමද
තටු කැපු හිතකින් පිය හඹන්නේ කොහොමද
නම කෙටූ බිමකින් ඉවත යන්නේ කොහොමද

මලානික ඇසකින් තෙත උනන්නේ කොහොමද
වලාකුළු අතරින් තරු ලිහෙන්නේ කොහොමද
වෙලාවට කලියෙන් හද ගැහෙන්නේ කොහොමද
විළාපය අතරින් කවි ඇහෙන්නේ කොහොමද

වදන් වැල සැකෙවින් ගොණු කරන්නේ කොහොමද
නිවන් මඟ සැතෙකින් නො රිදවන්නේ කොහොමද
දුරින් හිඳ සැණෙකින් ළඟ රැඳෙන්නේ කොහොමද
ඉතින් අප සැබැවින් හමු නොවන්නේ කොහොමද

2010 ඔක්තෝබර් 06

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails