Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සෝමලතා සුබසිංහගේ ලංකා ළමා හා යොවුන් රඟහල පදනම (LCYTE) පස්වන වරටත් යොවුන් ප්‍රේක්ෂකාගාරය සඳහා ඉදිරිපත් කරන නාට්‍ය උළෙල 2010 දෙසැම්බර් මස 3 - 5 දක්වා ප.ව. 3.30ට හා 7.00ට කොළඹ ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ දී පැවැත්වේ. දෙසැම්බර් 03 සෝමලතා සුබසිංහගේ විකෘති නාට්‍යයත්, දෙසැ. 04 නාමල් ජයසිංහගේ ග්ලැඩියේටර් ප්‍රේමය නාට්‍යයත්, දෙසැ. 05 කෞශල්‍යා ප්‍රනාන්දුගේ සඳ ළඟ මරණය නාට්‍යයත් වේදිකාගත වේ.

සංස්කෘතික විඳීම සහ නාට්‍යය යන තේමාව මූලික කරගෙන නාට්‍ය උළෙල නිමිත්තෙන් කෙරුණු සංවාදයට කෞශල්‍යා ප්‍රනාන්දු, නාමල් ජයසිංහ සහ චන්දන අලුත්ගේ සහභාගි වූහ.

• මිනිස්සුන්ගෙ සංස්කෘතික විඳීම ඇතුළෙ නාට්‍ය නමැති ප්‍රභේදය කේන්ද්‍රගතවන්නේ කොතැනද?

නාමල් : නාට්‍ය කියන්නේ සමාජයේ මුල ඉඳලම විවිධ ස්වරූපයෙන් පැවති දෙයක්. ඒ විතරක් නෙමෙයි අද වන විට නාට්‍ය කියන එක තවත් මාධ්‍ය කිහිපයක් ඇතුලෙ සංකේන්ද්‍රණයවෙලා තියෙනවා. චිත්‍රපටය, ටෙලිනාට්‍ය වැනි තත්ත්වයන් ඒ අතර ප්‍රධානයි. කෙසේ වෙතත් නාට්‍ය කලාව මුල් කාලීනව පැවතුණේ ජනකලාව ජනශ්‍රැතිය අතර ඓන්ද්‍රීයව බද්ධ වෙමින්. එය අද වන විට එතැනින් ගැලවිලා හතරැස් රාමුවක් තුළට ඇවිත් තියෙනවා. යුරෝපීය නාට්‍ය කලාවේ ආභාසය මේ කෙරේ ප්‍රමුඛ වශයෙන් බලපෑවා වෙන්න පුළුවන්.

• නාට්‍ය කියන කලාත්මක උපව්‍යුහය ඇතුළෙ තියෙන සංස්කෘතිකමය කාර්යභාරය මොකක්ද? එකී කාර්ය භාරයන් ඉටුකර ගැනීමේ දී සෙසු කලාංගයන්ට වඩා නාට්‍ය කලාව දක්වන භව්‍යතා සහ සීමාවන් මොනවාද?


චන්දන


චන්දන : ප්‍රධාන වශයෙන් නාට්‍ය කලාව කියන එක සමාජ කලාවේ උපාංගයක් කියන විදිහට මම දකින්නේ නෑ. මම හිතනවිදියට නාට්‍ය කියන්නේ මහා කලා සම්ප්‍රදායටම අයත් තවත් කොටසක්. ඒ තුළ වෙනමම ගොඩ නැඟුණු සම්භාව්‍ය නාට්‍ය සම්ප්‍රදායක් තියෙනවා. සංස්කෘත නාට්‍ය සහ ග්‍රීක නාට්‍ය අයිති වන්නේ ඒ අතරට. නමුත් වර්තමානයේ එන නාට්‍ය විවිධාකාරයෙන් විකාශනය වෙමින් පැවතිලා නූතනීකරණයට ලක්වුණු එකක්.

මං හිතනවිදිහට නාට්‍ය කියන්නෙ වෙන මොකුත් නෙවෙයි අපේ චින්තනය. අපි අවට තිබෙන අපි එදිනෙදා අත්විඳින ප්‍රශ්න දිහා අපි බලන්නේ කොහොමද ඒවා අපි විශ්ලේෂණය කරන්නේ කොහොමද සහ අන් අයට ඒවා අවබෝධ කරවන්නේ කොහොමද කියන කරුණු ඇතුළෙ තමයි නාට්‍ය කලාව ව්‍යුහගත වෙන්නෙ.

නාට්‍යයේ තියෙන අනෙක් විශේෂත්වය තමයි මේ සඳහා සෙසු කලා ශිල්පයන් සියල්ලම පාහේ පාදක කර ගැනීමට පුළුවන්කම තිබීම. ඒ අනුව නාට්‍ය නම් කලාව තුළ අපගේ දර්ශනය ඉදිරිපත් කිරීමේ හැකියාව වැඩි වශයෙන් රඳා පවතිනවා කියලා කියන්න පුළුවන්.

උදාහරණයක් විදිහට අපි ළමා නාට්‍යයක් නිෂ්පාදනය කරනවානම්, ඒ නාට්‍ය තුළින් අපිට පුළුවන්කම ලැබෙනවා කුඩා ළමයකුට නර්තනය කියන මහා සම්ප්‍රදාය හඳුන්වා දෙන්න. චිත්‍රය කියන මහා සම්ප්‍රදාය හඳුන්වා දෙන්න. සංගීතය කියන මහා සම්ප්‍රදාය හඳුන්වා දෙන්න. ඒ නිසා නාට්‍ය කියන මාර්ගය එක් අතකින් අතිවිශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් වනවා සේම තවත් අතකින් නාට්‍යයේ කාර්යභාරය ඉතාමත් පුළුල් එකක්.


නාමල්


නාමල්: ඒ කරුණටම තවත් දෙයක් එකතු කරනවානම්, නාට්‍ය කියන කලාව ඇතුළෙ මම දකින තවත් විශේෂ ගුණයක් තියෙනවා. ඒ තමයි යම් කිසි දේශපාලනික ව්‍යුහයක් ඇතුළෙ අපිට යම් කිසි දෙයක් කීමේ පළක් නැතැයි කියලා හිතෙන තත්ත්වයකදී හෝ නැවත යහපත් තත්ත්වයක් ගොඩ නැගිය නොහැකියි කියලා හිතෙන තත්ත්වයක් තුළ දී හෝ එම ව්‍යුහය වෙනස් කළ හැකියි කියන විශ්වාසය මිනිසා තුළ ගොඩනැගිය හැකි ගාමක බලවේගයක් ලෙස වේදිකා නාට්‍ය ක්‍රියාත්මක වීම.

කෞශල්‍යා: වේදිකා නාට්‍ය ක්‍රියාවලියක් ඇතුළෙ තියෙන තව වැදගත්කමක් තමයි මේ තුළ නාට්‍ය ශිල්පියා සහ ප්‍රේක්ෂකයා අතර සජීවී සාමුහික හමුවීමක් ගොඩනැඟීම. සිනමාව සහ ටෙලිනාට්‍ය කියන කලාවන් ගත්තාම එතුළ තියෙන්නෙ කලින් නිර්මාණය කරන ලද කලාවක්. අනෙක් අතට ඒක එක එක ප්‍රේක්ෂකයා නරඹන්නෙ එක එක වෙලාවන්ට වෙන්නත් පුළුවන්. නමුත් මෙතන එහෙම නෑ. මෙතන වේදිකාවයි නාට්‍යයි අතර මායාකාරී බැඳීමක් තියෙනවා.

මේ තත්ත්වය ඉතා පැහැදිලිව අත්විඳින්න ලැබුණු තැනක් තමයි යොවුන් නාට්‍ය උළෙල. මෙවර පැවැත්වුණු යොවුන් නාට්‍ය උළෙල ගත්තාම එතනදි තරුණ නාට්‍යකරුවන් කථා කළේ මේ වේලාවේ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව. මොකද තාරුණ්‍ය කියන එක මේ වෙලාවේ ඉන්නෙ වික්ෂිප්ත අසරණතාවයකින්නෙ ඇත්තටම. රට හදන්න අවංක චේතනාවක් තියෙන පුද්ගලයකු මේ නාට්‍යය බැලුවොතින් ඔවුන්ට වර්තමාන සමාජ දේශපාලනික ගැටලු රැසක් ඒ තුළින් ග්‍රහණය කරගන්න පුළුවන්.

මෙවර යොවුන් නාට්‍ය තුළ ප්‍රධාන වශයෙන් විවේචනය වුණේ වත්මන් දේශපාලන ක්‍රමය, ආරක්ෂක අංශ, පන්සල වගේ දේවල්. ඒ වුණත් මේ තුළ ඔවුන්ගේ ප්‍රකාශ වාරණයට ලක් වුණේ නෑ.

නාමල් : ඇත්තටම එතනදි කියන්න ඕනෙ දෙයක් තමයි ඔවුන්ගේ නිර්මාණ වාරණයට ලක් වුණේ නෑ කියනවාට වඩා මේ තරුණ නාට්‍යකරුවන් එවැනි සමාජ විචාරයන් තුළ දී ඉතා උපක්‍රමශීලී ලෙස තම විවේචන මුදා හරින්න සමත් වෙලා තිබුණ කියන එක.

• අද වන විට නාට්‍ය ප්‍රේක්ෂකාගාරය තුළ සිදුවෙලා තියෙන වෙනස්වීම් මොනවාද?

කෞශල්‍යා: මං හිතන විදිහට අද වන විට ප්‍රේක්ෂකාගාරයේ කිසියම් පැහැදිලි වෙනස්කමක් සිදුවෙලා තියෙනවා. යම් කිසි විදිහකට පසුගිය දිනවල තිබුණු ආරක්ෂක හේතූන් නිසා නාට්‍ය බැලීම පසෙකට තබා තිබූ බොහෝ පිරිස් නැවතත් නාට්‍ය කරා යොමුවෙලා තියෙනවා. ඒ තත්ත්වය යටතේ පසුගිය අවුරුදු කිහිපය තුළ සීමාවෙලා තිබුණු ප්‍රේක්ෂකාගාරය නැවත පුළුල් වෙන්න පටන්ගෙන තිබෙනවා. අද වන විට ජනප්‍රිය නාට්‍ය සඳහා එන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව ඉතා විශාලයි.

නාමල්: මම කලින් කිවුවා වගේ අද වන විට වේදිකා නාට්‍ය කියන කලාව වෙනත් විෂයන් රාශියක් ඇතුළෙ ව්‍යාප්ත වෙලා ඉවරයි. අද වන විට ඒ විෂයන් රාශිය අතර ඇති එක් අග්‍ර කොටසක් විතරයි නාට්‍ය කියන එක. ඒ මොනවා වුණත් මං හිතන්නෙ නෑ නාට්‍ය බලන ප්‍රේක්ෂකයින්ගේ අඩුවීමක් හරි වැඩිවීමක්හරි ඇතිවෙලා තියෙනවා කියලා.

චන්දන: ජනප්‍රිය නාට්‍යය තිබුණු ප්‍රේක්ෂකාගාරය කවදත් එක සමානව තිබුණා. නමුත් අපේ ප්‍රේක්ෂකාගාරය මීට වඩා තරමක් වෙනස්. මම ළඟදි කියවපු ලිපියක තිබුණු දෙයක් තමයි සාමාන්‍ය වශයෙන් නාට්‍ය ප්‍රේක්ෂකාගාරයක් අවුරුදු තුනකින් තුනකට වෙනස් වෙනවා කියන එක. අද ළමා නාට්‍ය ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ප්‍රේක්ෂකයින් තව අවුරුදු කිහිපයකින් යොවුන් සහ වැඩිහිටි නාට්‍ය ප්‍රේක්ෂකාගාර වෙත ඇදෙනවා. එතකොට අලුත් ප්‍රේක්ෂකාගාරයක් ගොඩනැගෙනවා. ළමා නාට්‍ය සඳහා.

• ලංකාව වගේ රටක් ගත්තාම බොහෝ විට නාට්‍ය ගොඩනැගෙන්නෙ තනි පුද්ගල ව්‍යාපෘතියක් විදිහටනෙ. නමුත් තවත් රටවල් ගත්තාම තත්ත්වය ඊට වඩා වෙනස්. මේ අභියෝගය නාට්‍යකරුවන් විදිහට දැනෙන්නෙ කොහොමද?

නාමල්: අපිට පුරුදු අදහසක් තමයි මේ දේවල් රජය විසින් ඉටු කෙරෙන්නෙ නෑ කියන එක. නමුත් අපිට කලින් හිටපු නාට්‍යකරුවන් පවා නාට්‍ය නිෂ්පාදනය කළේ ඉතා ස්වාධීනව. ඔවුනුත් රජයත් එක්ක කටයුතු කළේ නෑ. ඒ නිසා මේ දේවල් රජයෙන් කරයි කියලා ඉන්නවාට වඩා අපි කරන්න ඕනෙ අපිට පුළුවන් විදිහට.

සෝමලතා සුබසිංහ මහත්මිය මේ ආයතනය පටන් ගනිද්දි කියූ දෙයක් තමයි, මං කළේ රස්තියාදුකාරයින් පිරිසක් එකතු කරගෙන ඔවුන්ව නිර්මාණකරනයට යොමු කරලා ඔවුන් හිරේ යැවීමෙන් වැළැක්වීම කියලා. මා ඒ නිසා නාට්‍ය කරන්න ඉදිරිපත් වන රස්තියාදුකාරයින්ට පුළුවන් කම තියෙන්න ඕනෙ ඕනම කට්ටක් කාලා මේක ඉස්සරහට ගෙනියන්න. එයින් අදහස් වෙන්නෙ නෑ ජනතාවගෙන් බදුගන්න රජය මේ දේවල් නොකර මඟහැරිය යුතුයි කියලා.


කෞශල්‍යා


කෞශල්‍යා: අද නාට්‍යකරුවන් ඉදිරියේ තියෙන්නෙ අති විශාල අභියෝගයක්. අපි නාට්‍ය පුහුණු ආයතන පිහිටුවලා තරුණ ශිල්පීන්ට යම් කිසි තල්ලුවක් ලබා දෙනවා තමයි. නමුත් තමන්ගේ ඉඩම විකුණලා නාට්‍යයක් කරන මිනිස්සුත් මේ අතර ඉන්නවා. අපි වුණත් විවිධ කලකිරීම් හමුවේ මේ කලාව අත් නොහැර රැඳී ඉන්නේ මේ තරුණ රස්තියාදුකාර පිරිස නාට්‍ය කලාව වෙනුවෙන් ගන්න උත්සාහය නිසා. ඇත්තටම ඒ උත්සාහය දැක්කාම අපිට වුණත් ආශාවක් ඇතිවෙනවා මේක අත් නොහැර ඉන්න. නාමල් සහ ප්‍රසන්න එකතුවෙලා කළ ග්ලැඩියේටර් ප්‍රේමය නාට්‍යයත් එවැනි වෑයමක ප්‍රතිඵලයක්. මේ නාට්‍යයත් එක්ක වැඩ කරන තරුණ තරුණියන් වැඩ කළේ තමන් ඔස්කාර් සම්මාන උළෙලට ඉදිරිපත් වෙනව වගේ තියුණු කැපවීමකින්.

• පස්වන වතාවටත් පවත්වන්න නියමිත Colombo Theatre Festivalහි මෙවර තේමාව මොකක්ද?

චන්දන: ඇත්තටම අපි මේ නාට්‍ය උත්සවයේ නම තරමක් වෙනස් කළා. Colombo Theatre Festival for Young Adults කියලා. නමුත් අපි මේ උළෙල මෙතෙක් කල් ගෙනාවේ Colombo Theater Festival for Yong Audience කියලා. නමුත් එතනදි ඉතා කුඩා වයසේ ළමයි පවා අයිති වන නිසා අපි ඒක වෙනස් කළා. මොකද මෙවර අපි පවත්වන නාට්‍ය සියල්ලම වැදගත් වෙන්නෙ තරුණ පිරිස්වලට. මේවායේ විශේෂයෙන් කථාකෙරෙන්නෙත් තරුණ ප්‍රශ්න ගැන. අනෙක් අතට මෙවර පැවැත්වීමට නියමිත නාට්‍ය තුනෙන් දෙකකම අධ්‍යක‍ෂවරු තරුණ අය. ඇත්තටම මේ උළෙල පැවැත්වීමේ මූලික අරමුණ තරුණ නාට්‍යකරුවන්ට තම දක්ෂතා ඉදිරිපත් කිරීමට ප්‍රසිද්ධ වේදිකාවක් තනා දීම.

• මෙවර පැවැත්වීමට නියමිත 'විකෘති' 'ග්ලැඩියේටර් ප්‍රේමය' සහ 'සඳ ළඟ මරණය' කියන නාට්‍ය තුනෙන් ඔබ මොනවාද කථා කරන්න උත්සාහ කරන්නෙ?

නාමල්: ග්ලැඩියේටර් ප්‍රේමය කියන නාට්‍ය ගත්තාම ඒකෙදි මූලික වශයෙන් කථා කෙරෙන්නේ මනුෂ්‍ය ප්‍රේමය පිළිබඳව. කෝට්ටේ රංගපීඨය තුළ කළ වැඩමුළුවකදී දහදෙනෙක් විතර පිරිසක් එකතුවෙලා ලියපු නාට්‍ය පිටපතක් තමයි මේ නාට්‍යයට පදනම් වෙන්නෙ. ඒකෙ තියෙන්නේ මේ රටේ වර්තමාන තරුණ පරම්පරාව තුළ තියෙන සමහර අදහස්. ඔවුන් අත්විඳින ඇතැම් ප්‍රශ්න. පෙළීම් හා ආශාවන් පිළිබඳව. මනුෂ්‍ය ප්‍රේමයට අමතරව ඒ ප්‍රේමය පවත්වාගෙන යද්දි තරුණයන් මුහුණදෙන සමාජ දේශපාලන කරුණු කාරණා රාශියක් නාට්‍යයේ යටි පෙළින් කථා කෙරෙනවා.


චන්දන: විකෘති නාට්‍ය ගත්තාම ඒ තුළ නිරූපණය වන්නේ ලංකාවේ තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය තුළ අත්විඳින සංකීර්ණ ප්‍රශ්නයන් පිළිබඳව. අනෙක් අතට සඳ ළඟ මරණය කථා කරන්නේ ආදරය දරිද්‍රතාව සහ සමාජය තුළ පවතින යම් යම් සම්ප්‍රදායන් මතිමතාන්තර හේතුවෙන් තරුණ අයට මුහුණ පාන්න සිදුවන දුෂ්කරතා මොනවාද කියන එක. එය ස්පාඤ්ඤ නාට්‍යකරු ගාර්ෂියා ලෝකාගේ Blood Wedding නාට්‍යයේ පරිවර්තනයක්.

ඡායා - රංජිත් අසංක
[රාවය- 2010.11.28]

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වියරු වෙස් ගත් එරීඩා ගේ නගරයේ
කඳුළු පැන් බෙලෙක්කය අතින් ගෙන
සඳ හිඟා කන වීදියේ
දුටුවාද මිනිසුනි,
ප්‍රේමයක් බිම වැටී තිබුණා...

ගැඩවිලුන් පනුවන් චිරි චිරියේ
කාක රැළ ඉව කරන
කෑදරම ගිජු ලිහිණි ඇස්
දිස්නෙ දෙන ගණ අඳුරේ
දුටුවාද මිනිසුනි,
ගොදුරකට නියමිතව
ප්‍රේමයක් බිම වැටී තිබුණා...

යවට රළු වදන් උල්
සිදුරු කොට දෙසවනම
තැළුම් කා වධ වින්ද සිරුරත
ඕජසින් වණ වෙවී ලේ ගලන
ඉරා නිය පහුරු ගා
විකා හප කළ මුව ගොළුය
එහෙත් දෑසම පෙනෙන ප්‍රේමයක්!
දුටුවාද මිනිසුනි,
වීදියේ බිම වැටී තිබුණා....

ඇස් නැතිව ඉස් නැතිව
කෙස් ඇදන් මහ මග දුවන
හිම වැටෙන ගිනි ගැනෙන
මස් කඳන් රති කෙළි වැදුන
සිල් රකින මල් පුදන
නිල බලා උල් කටු ගසන
කතෘ අඥාත මරණ මිස
සොහොන් කොත් හිමි නැති
මළවුන්ගෙ මුඩු බිමක
මධු බඳුන් සව් දිය පුරද්දී
දුටුවාද මිනිසුනි,
ප්‍රේමයක් බිම වැටී තිබුණා...

දුකම ගිලදා දරනු බැරි තැන
පිට උගුරෙ ගිය ජීවිතය,
මිය ඇදෙන්නට නියමිතව
ඉක්කා ගසන
වික්කල්ව ඇවිදින වීදියේ
නමක් නොලදින්
හැදුනුම් පතක් හිමි නැති
අඥාත ප්‍රේමයක්
දුටුවාද මිනිසුනි,
හැම කිළුටු පයකටම
පෑගෙමින් තිබුණා...?

ඒ පෙමට ඇස් දෙකක් තිබුණා..
ඒ දෑස් කෙළවර
රැළි නගන්නට ඉඩක් නොමලද
කඳුළු මුහුදක් තිබුණා...

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වනපෙතක නිදැල්ලේ පිය නගන විට
නීල තුරුපත් අතරින් මතු වුණ
කැලෑ මලක ගීතයක්,
මගේ දෙසවන වැකුණි

"නිහඬ නිසසල රාත්‍රියේ
මම මිහිකත මත සැතපුණෙමි
තැතිගැන්මෙන් මා කෙඳිරුවද,
මහත් සොම්නසකින් පෙළුනෙමි

පිරුණු බලාපොරොත්තු සහිතව
උදෑසනින්ම මම පිටවුණෙමි
සොයන්නට නැවුම් සතුටක්;
ඒත් අනේ! ලැබුණේ අවමානයකි"

["The Wild Flower's Song" කවියේ පරිවර්තනය.]

විලියම් බ්ලේක්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පාසලේ
ගේට්ටුව දැන් ඇරී ඇත
සීනුව
නම කියා අඬගසන විට
සාමා... අමර
හැංගිලා නැහැ එන්නෙ
"යෝ වද තං පව..."
පාසලේ ගේට්ටුව වැසෙයි
කළු ලෑල්ලේ
කළු පාට මැකී ගොස්
ඉතිහාස පාඩමේ
සුදු පාට හුණු කූරකින් ලියූ
කිසි දෙයක් නොම පෙනේ

සියඹලා ගහ යට
ඉදී බිම වැටුණ
සියඹලා කරල්
වැටුණු තැන් වල
තාමත් තිබෙයි

පාසල් ළිඳේ
කප්පිය
බියෙන් හරි බියෙන්
නැහැ කිසිම සද්දයක්
මැයි මල් පෙති
පුංචි දෙපා පිළිගන්න
බලා සිටියත්
නිදි කුම්බා පඳුරු
විස සඟවා කටුවල
සැඟව සිටී

සුදුපාට කොක්කු රංචුවෙන්
එකෙක් දෙන්නෙක්
අඩු බවක් මට පෙනේ
මගෙ පුංචි හිත් ඇතුළේ
කඳුලු උල්පත් හැදේ
පුංචි ගුරු කාමරේ
ජනේලය වසා
හෙට උදේ මමත් යමි ගමට

පමාවෙලා කිසිවිටෙකත් නො ආවෝ
නොකා නොබී අකුරට හිත යෙදූවෝ
කාගෙ බහට අවනත වී ගියාදෝ
අනේ මගේ දරුවෝ කොයි ගියාදෝ

ඊබට් ඇම්. පල්ලියගුරුගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යාන්තම් යමක්
කට ගා ගත් බාල වියේ
අම්මා නංගීට
'හඳ මාමාගේ කිරි පැණි'ගැන
කතා කියද්දී
මම උදහස් වූයෙමි;

ලොව දියුණු වී ඇත
හඳට මිනිසුන් ගොස් ඇත
ඊටත් එහා ඈතට
පවා යානා යවා ඇත

එපා!
බාල ළමුන් මුළා කරන්න
මුසා බස් උගන්වා!

යාන්තම් යම්ක්
කට ගා ගත් බාලවියේ
මම උදහස් වූයෙමි

අනේ අද!
ඒ 'මුළා-හඳ'
කොතරම් අපූරුද
හැබෑටම..!

ජයත් පියදසුන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



[චතුර මධුශංඛ සොයුරාගේ "කවිය මෙසේ විය යුතුය" කවියට ප‍්‍රතිචාරයකි. තද අකුරෙන් ඇති කොටස ඔහුගේ පද පෙළින් උපුටා ගත්තකි**]

සත්‍යයකි
කිසිවකුට
නොමැතිමය අයිතියක්
පනවන්න අණ පණත්
ඇළ දොළක මදනලක
රැඳි සිසිල
හද කොනක රැඳි පෙමක
මුදු මෙළෙක
නො යුතු යයි රඳවන්න
පද පෙළක

මිහිතලේ කොහේ වුව
පණ ගැහෙන හදවතක
හැඟුම් කැටි පැතුම් පොදි
සිනා පොද කඳුළු බිඳු
වචන තුළ හැඩවෙලා
කවි වෙලා පිපෙනවා මිස

කෙසේ නම් කියන්නද
කවුරුවත් කියන්නෙද
රාමුකර ඇණ ගසා
අච්චුවක් තුළ බහා
ඇණවුමක් අනුව සේ
කවි පේළි හැදිය යුතු බව

"මස් පිඩු ඉලිප්පුණු
දාඩිය පෙරාගත්
අව්වේ වේලෙන
හැඩි දැඩි උස මහත
කම්කරු ස්ත‍්‍රීන්"
පමණක්ම නොව


ඉපල් දඬු විලසටම
කේඩෑරි වී ගිය
මිනිසුන්ද ගැහැණුන්ද
වෙහෙස වී ගොඩ නැගූ
රිසි ලෙසට සිසිලස ද උණුසුම ද
ගෙන හනා ගත සිතට සුව සදන
මතු මහල මැදුරු මත හිඳ
ලියනු මැන ඔබේ කවි
නෙත සිතට සුව සදන
සුරූපී කුමරියන් ගැන

එසේ වුව සොහොයුර
දශක ගණනක් පුරා
මහපොළොව නිහඬවම උරාගත්
රුහිරු බිඳු කඳුළු බිඳු වේදනා
කවි වෙලා සුපිපෙනා විට
නොයෙක් ලේබල් ගසා
කවි නොවේ යයි කියා
පිපෙන්නට එපා යයි
කියන්නට නම් එපා ඔබ

ජනක බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මගේ පොත් තුන විකිණුනාද? නැත්තම් පොත් තුන එවපන්... විකිණුනා නම් සල්ලි එවපන්.
-මිතුරු කවියෙකුගේ කෙටි පණිවිඩයක්-


ගම ඔබේ ඈතය
පොත් තුනමයි තිබුණේ
දන්න ළඟ අහලක

අමිල මිණි ලෙස හැඟුනෙනි
වඩම්මන් ආවේ නොතකා නේක කරදර
ඔබේ කවි ඇති කළ මා අත
හිතුනා ගජ පෝසතකු බව මම

ඒත් කොටලා තිබුණා
හෙන අඩු මිලක් කවරයේ
පොත් තුනම විකුණා
පාන් ගෙඩි නමයක් ගත හැකි

සියල්ල මිල වෙතැයි
විකිනෙතැයි
කට කහන්නේ නැති
ඔබේ ඉටු දෙවියා
කියා ඇත්තේ නිකමට ද
බය වුණාවද ඔබ
බොරු කළා යැයි මම
මාක්ස්ගේ දේව වාක්කිය

සියල්ල මිලැයි
එස්.එම්.එස් සත තිස් තුනයි
කෝල් නම් අනතුරු සහිතයි
කවියන්ට ඇමතීම අලාභයි
කාල් මාක්ස් ද ?
කියා දුන්නේ ඔබට
මේ සා සූක්ෂම ගණිතය

බස් ටිකට්, කෝල් චාජස්
ප්ලේන් ටී බිල්, ෆෙන්ඞ්ෂිප්, ප්ලස් වැට්
කාලය ෆී‍්‍ර ඔෆ් චාජස්
පැකේජේ නම රන්වන්

පෙරළා දාස් කැපිටාල මහ පොත
එ’ගුරු සිත නොතලා
අමිල හැම දේ මිල කර
සකසා හර බැර ගිණුම තිතටම
මුද්දර ද අලවා
නොමිලේ ම දෙන කෙල සමඟ
තැපැල් කර එවනෙමි පොත් තුන

කෝටි ගාණක්
ළඟම කන්තෝරුවට ගෙවා
පුලූවනි ඔබට
ගෙදර අරගෙන යන්නට

ඉසුරු ප්‍රසංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අවුල ලිහා ගනු බැරිවි දුටු සිහිනේ
රැවුල පවා කැරළි ගැසුවා නුඹෙ මුහුණේ
පවුලෙ එකෙක් වාගෙයි නුඹ මට දැනුනේ
හවුලෙ බිව්වෙ ඒකයි එක මධු බඳුනේ

රවල බලන්නට වරදක් නෙවෙයි උනේ
රුවල මගෙත් ඉරුණා දියඹෙදි පෙනුනේ
ඉගිළ ගියත් නුඹ ඈතට සකි සඳුනේ
හබල මිසක් මට අත්තටු නෑ තිබුණේ

අතින් අතැඹුලක් සේමයි මිට මොළවන්
නිදන් හිටියෙ සිහිනෙක හරි කලාවෙ මං
වැරෙන් වැදුණු පහරට ඇහැරුණි සිහිනෙන්
මචං, මංජුලයියේ මං වැරදිද බං

සින්නක්කර කවි තියෙද්දි මට අයියේ
සංකාවක් නෑ කොහොමත් හිත හරියේ
වංසක්කාරයෝ අන්දල රජ පායේ
ප්‍රංසෙත් විප්ලවය කරමු අපි ආයේ

[අත් අකුරු මල් වඩම - දෙසැ. 2010]

අමිල තේනුවර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තාරකා මල් පිපී
සිනාසෙයි සිරියහන
අමාවක ගෙවාගෙන
සඳ ඒවි දැන් ගෙදර

පෙති එකින් එක තියා
අප තැනූ මල් පැතිම
ගැන පුංචි රහසක්
තිබේ එන්නකො හනික

සඳ හොරෙන් බලා පෙම්
අසාගෙන ඉන්න බැව්
කියන පෘථිවියේ පෙම් -වතුනි
මෙය අසන් දැන්
අපෙ මියුරු පෙම් කතා
අසාගෙන හිඳින් දැන්

රන් හුයෙන් අත් ඇඟිලි
පැටළුණත් ඇවිද ගොස්
මිතුරි හා මිතුරු වී
මහ සැපත සොයාගොස්
යහන දෙපසට වෙලා
නැගි වෙහෙස නිවාලන
පෙම්වතුනි දැනෙනවද
අප ලබන මේ සතුට
ජීවිතේ මීට පෙර
නොලැබුවා වූ සතුට
ඔබ අසන මේ රහස

දනිමි මම් පුරහඳක
සතුට ඇති නුඹ ගාව
තබා හිස මකුස මත
අසා ඉනු සඳ පැතුම

අප්සරා පොඩිමැණිකේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෙහෙසව
හවස ආ විට බෝඩිමට
ලිපියකි
අවුල් වූ මේසය මත
දන්නෙමි
සැපෙනි සැප වේවා...! නොවන වග
නොඅරිමි
එනිසා ම මම ලියුම් කවරය

හිත ටිකක් කලබල වුනහම
කොයිකටත් හොඳයි
උඩ මළුවෙ යන එක
තනියටත් එක්ක මා සමග යන්නට
වැඩක් හෙම නැත්තං ඔයත් එනවද?

අප දෙපස මේ මග යන එන
ඇඳිරි කළුවර මුහුණ තැවරුන
මේ ගැහැණු පිරිමි
කොහේ සිට එනවා ඇද්ද?
කොහෙ කොහේ යනවා ඇද්ද?
අනේ අපි වගේමයි ඔවුනුත්
මේ මග යන මග නොහඳුනන

අර කුඩා කුටි වල
මහ හඬින් කෑ ගසා විකුණන
පැතුම් ය ඉටු නොවූ
මිනිසුන් රැගෙන සූරන
සීරී ඔවුන් පාරන

කුටි වටා බිම හැම තැන
දැක්ක ද ඉටු නොවූ පැතුමන්?
මිනිසුන් පාග පාගා යන
ගොස් නව පැතුම් තෝරන

මධු සලෙහි දොර ළඟ
හිරවෙන, තෙ‍රපෙන, තද බද
තුරුණු මහළු මැදි වයස් මුහුණුය
ඔවුන්ගේ යෝගය
කාම සුඛල්ලිඛානුද?
අත්ථකිලමතානුද?

අර අතන මාර ගහ යට
දැක්කද නොකියා කවි කියන කිවිඳිය?

‘පතන බෝධියෙන් නිරුවාණෙට යන්ඩ...
හරි ලාබයි මේ කුණු කය අරගන්ඩ...’

ඒ කිවිඳිය
සුත පෙම පෙරදැරි
පති වත අත හැරි

අම්මා කෙනෙකු විය හැකිය
බෝසත් වරියක ද විය හැකිය
කාමිණියක වන්නට ද බැරි නැත

දුටුව ද මේ දැන් මා පසු කර ගිය
දෙනෙත ගැඹුරෙහි දුකක දැවටුන
ඒ රුවැති යුවතිය
ඇය...
නිතරම සසල මගෙ සිත
මෙ දුක්බර සවසත්
යමකින් සසල කරවයි
හැරී බැළූ මුත් මා
ඇය අහංකාරය

ඇය ඇගේ ගමනේ
ඉතින් යමු අපි අපේ ගමනේ

බොර පාට ලොඩි ඇස් උලුප්පා
මේ හිඟන්නා අපෙන් ඉල්ලන
දේ තියනව ද අපි ළඟ
ඔහුට දෙන්නට තබා
අපේ වැඩකට අපට ගන්නට...?

ඒ නිසා මේ කාසි දෙක තුන
පිං තකා අපි දෙමු මේ උන්දැට

අපි යන්නෙ දැන් මේ
මල්වතු ඔය උඩින්
පාලමේ ඇන්දෙන්
එබී බලමුද
ඔයේ දඟකම්...?

මේ හවස් ජාමෙත්
පුලන්නියො අර දුක අපුල්ලන
අනේ නෑ කිසි දඟකම්
ඔය ගලයි හේදුන දුකම ගෙන

මග දිගට වවා ඇති
මේ ඇහැළ ගස් වල
දැන් නැතත් කාලෙකට
මල් පිපෙනවා එපා වෙන තරමට

මල් නැති ඇහැළ ගස් සේ
මුර පොළ පොලිස් යුවතියො
අපට යන මග දැක්වුවේ
සිනා හෝ කිසි කතා නොමැතිව

කෙලි කොළු රෑන අර
බෝධියට මල් විකුණන
නොපුබුදු මල් කැකුළු
ඇඟිලි තුඩගින් බලෙන් පුබුදන
පිබිදුනු සිනාවෙන් කෑ ගසා
ය‍න දනා කැඳවන

පරවෙනා නිල් මහනෙලක් ගෙන
යමු අපිත් බෝධිය ලබන්නට
පවුරු පදනම් හා රැකවලින්
යතුරු ලෑ බෝධිය දකින්නට

සුදු නෙළුම් දෝතක් ඉහට ගත්
අර මහළු අම්මා
මහ බෝධියට නොගොසින්
බැතිය වෑහෙන දෙනෙතින්
වෙව්ලනා දෙතොලින්
මග ම නැවතී වන්දනාවක

දනන් එන මග දිහාවට
රන් වැට පවුරු නොතකා නැවීගෙන
වැඩ හිඳින්නේ මහ බෝධියය
සෙසු බෝධි පිරිවරට අරගෙන

මළුවෙන් මළුව...
හැම මළුවක ම වාගේ
තැන තැන හිඳින වැඳගෙන
මේ බැතිමතුන් ගේ
හැම දෙතොලින් ම මිමිණෙන
ගාථාව එකක් ම ද?

ගෙනා මේ මහනෙල
පරවෙනා බැව් සිතාගෙන
තබා බැතියෙන් මලසුන
වඳිමු අපි දණ බිම ඔබාගෙන

වසර සිය දහසක් පුරා
අව් වැසි සුළං ඉවසා
දුක අහන දුක දකින
දුක දරන මේ බෝධිය
තිරසරව බැස පස තුල
උඳුව නොම හිඳ
හැරි හැරී විදා ශාඛා ප්‍රශාඛා
සුළඟ හා වෙළෙවිව
දුක නිසා පත් සලන අපූරුව...

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ තෘප්තිකර යැයි මට හැ‍ඟෙන කාර්යයකය. මගේ විත්ත ස්වභාවය එය යි. දැවැන්ත පරිමාණයේ පද්ධති ගොඩ නැගීමෙන් මම සතුටු වෙමි. එමෙන්ම ගොදුරු බවට පත්විය හැකි ජනයාට උදව් කිරීම ද මට සතුට ගෙන එයි. අවලමුන් කුඩුපට්ටම් කර දැමීම ද සතුට ගෙන දේ." -ජුලියන් අසාංශේ

උපතින් ඕස්ටේ‍්‍රලියානුවකු වූ අසාංශේට අද රටක් නැත. ඒ ඉහත කී පරිදි ආත්ම තෘප්තිකර ජීවිතයක් ගත කිරීම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ඇති නිසා ය. තමන්ට සමහර විට ස්විස්ටර්ලන්තයෙහි දේශපාලන රැකවරණ පතන්නට සිදුවනු ඇතැයි පසුගිය සතියේ අසාංශේ ජීනිවා ජනමාධ්‍යයට කියා සිටියේ ය. ලොව මහබලවතුන් විසින් සැඟවීමට උත්සාහ දරණ මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ තොරතුරු මහජනයා කරා ගෙනයාම අසාංශේ පිටස්තරයෙක් බවට පත් කළ එකම සාධකය වේ.

ඇමෙරිකා එක්සත් ජනපදය පරාජය වූ යුද්ධ ඇත්තේ එකක් යැයි කියනු ලැබේ. ඒ වියට්නාම් ජනයාට එරෙහිව එය විසින් පවත්වාගෙන ගිය දීර්ඝ යුද්ධය යි. ඒ යුද්ධය ඇමෙරිකාව පැරදුනේ වියට්නාම් සටන් බිමෙහිදී නොව ඊට ප‍්‍රථමයෙන් ඇමෙරිකානු භූමියේදීම ය. ඊට හේතු වුයේ එකල ජීවත් වූ ජුලියන් අසාංශේ වැනි සිය හෘද සාක්ෂිය වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ පුද්ගලයින් නිසා ය. ඉන් එක් අයකු ඩැනියෙල් එල්ස්බර්ග් නම් විය. ඇමෙරිකානු රජය එහි ජනයාට යුද්ධය අවම කරමින් සිටින බවට කියන අතරවාරයේ යුද්ධය තීව්ර කරමින් සිටිනවා පමණක් නොව අසල්වැසි කාම්බෝජ සහ ලාඕස් යන රටවලටද බෝම්බ හෙළමින් සිටින බව වාර්තාමය සාක්ෂි සහිතව හෙළිදරව් කළ ජනමාධ්‍යවේදියා ඔහුය. පෙන්ටගන් ලියැවිලි නමින් ප‍්‍රසිද්ධ වූ එම තොරතුරු ලේඛන 1000ක සටහන් වී තිබිණි. මේ හෙළිදරව්ව නිසා රට පාවා දුන් ද්‍රෝහියෙකු ලෙස නම්කරන ලද එල්සබර්ග්ට ඝාතන සැලසුම් වලින් දිවි ගලවා ගැනීමට සිදුවිය. එසේ නමුත් පසු කලෙක එල්ස්බර්ග් යුද්ධයේ අමිහිරි සත්‍යය හෙළිදරව් කළ නිර්භය මිනිසකු සහ වීරයකු ලෙස සැළකුම් ලැබුවේ ය.

අද ඇමෙරිකාවෙහි දක්ෂිණාංශික මතවාදීන් අසාංශේ සළකන්නේ ද ද්‍රෝහියකු ලෙස ය. එසේ නමුත් ලෝකයෙහි කොතැනක වුවත් යුක්තිය සහ සාධාරණත්වය ඉටුවීම ආරම්භ වන්නේ එවැනි මිනිසුන්ගේ නිර්භය ව්‍යායාමයන් නිසාය. අද විශේෂයෙන්ම පාරිභෝගික සමාජ හරයන් විසින් මිනිසුන් කන බොන සහ අණට කීකරුවන රොබෝවරුන් බවට පත් කර ඇති යුගයක එවැනි ධෛර්යමත් මිනිසුන් එනම් අවුන් සාං සුකී වර්ගයේ පිරිමින් සහ ගැහැනුන් අපේ ලෝකයට අත්‍යවශ්‍යය.

අසාංශේට ගෙදරක් කියා තැනක් නැත. එක් වාර්තාකරුවකු පැවසුයේ ඔහුගේ නිවෙස විවිධ ගුවන් තොටුපලවල් බව යි. අද රටක් නැතිව තැනින් තැන යමින් සිය ජනමාධ්‍ය මෙහෙවර ඉටු කරන ජුලියන් අසාංශේ එවැනි මිනිසෙකි. ඉරාකයේ ඇමෙරිකානු යුද්ධයට අදාළව විකි ලීක්ස් මගින් අසාංශේ සිවිල් මරණ 66,081 ක් පිළිබඳ විස්තර හෙළිදරව් කළේ ය.

ජුලියන් අසාංශේ විකි ලීක්ස් නමින් හැදින්වෙන තොරතුරු වෙබ් අඩවියේ නිර්මාතෘවරයා මෙන්ම එහි ගාමක බලවේගය ද වෙයි. මෙම වෙබ් අඩවිය වෙන්ව ඇත්තේ වෙසෙසින්ම රාජ්‍යයන් විසින් රහසිගතව තබා ගැනීමට උත්සාහ කරන මහජන යහපතක් සහ වැදගත්කමක් සහිත තොරතුරු සොයා ගෙන පළ කීරීම පිණිස ය.


පසුගියදා ඔහු ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවරට පැමිණියේ ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව මානව හිමිකම් චෝදනා කිරීම පිණිස ය. ඔබාමා පාලනය යටතේ ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ අධිකාරිය පිළිගත් එක්සත් ජනපදය මෙළෙස ප‍්‍රශ්න කෙරුනේ ප‍්‍රථම වතාවට ය. ඇමෙරිකානු හමුදා විසින් ඉරාකයේ දී සහ ඇෆ්ගනිස්ථානයේ දී සිවිල් වැසියන් ඝාතනය කිරීම සහ සිරකරුවන්ට වධ හිංසා පැමිණවීම අරභයා පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි අසාංශේ ජිනීවා මානව හිමිකම් කොමිසමට කියා සිටියේ ය. තම වෙබ් අඩවිය විසින් පළ කරන ලද ඇමෙරිකානු ආරක්ෂක ලිපි ගොනු විසින් පෙන්වා දෙන සිවිල් වැසියන් ඝාතනය කිරීම් ගැන පරීක්ෂණයක් පැවැත්වීමට කිසිදු පියවරක් ගෙන නැතැයි ද අසාංශේ මානව හිමිකම් කොමිසමට කියා සිටියේ ය. ඔහු කියා සිටියේ එලෙස සිය හමුදා විසින් කරන ලද මානව හිමිකම් කෙළෙසීම් ගැන පරීක්ෂා කරනු වෙනුවට එක්සත් ජනපදය සිය වෙබ් අඩවියට තොරතුරු දුන් පුද්ගලයින් පසුපස පන්නමින් සිටින බවයි.

මසකට පෙර විකි ලීක්ස් වෙබ් අඩවිය එක්සත් ජනපද යුදහමුදා ක්ෂේත‍්‍ර වාර්තා 400,000ක් පළ කරමින් කියා සිටියේ විවිධ මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ සාක්ෂිමය තොරතුරු එහි අඩංගු වන බවයි. මෙම හෙළිදරවිවට පෙර පසුගිය ගිම්හානයේ දී තවත් එවැනි ලේඛන 75,000ක් පළකරමින් විකි ලීක්ස් කියා සිටියේ සිය ගණනාවක් සිවිල් වැසියන් ඝාතනය කිරීම පිළිබඳ සාක්ෂි ඒ අතර වන බව යි.

අසාංශේ සිය ආත්ම අභිලාෂය සේ දැවැන්ත පද්ධති නිර්මාණය කිරීම ගැන කතා කරන්නේ නිකමට නොවන බව මෙම සංඛ්‍යා මොනවට පැහැදිළි කරයි. බලවත් රාජ්‍ය විසින් පන්න පන්නා පහර දීමට බලා සිටින නමුත් පසුගිය සතිය වන විට ඇමෙරිකානු ටයිම්ස් සඟරාවේ "2010 වර්ෂයේ මිනිසා" ලෙස පාඨක ජන්ද 21,736ක් ලබා ගනිමින් පෙරමුණට පැමිණ සිටියේ ය.

ඔහු විසින් නිර්මාණය කර ඇති විකි ලීක්ස් නම් වෙබ් අඩවිය ද ඒ හා සමඟ බැඳුණු ස්වේච්ඡා ක‍්‍රියාකාරීන්ගේ ජාලය ද අපේ යුගය සඳහා අන්තර් ජාලය මත පදනම් වූ නව ජනමාධ්‍ය භාවිතයක් හඳුන්වා දෙයි. වෙබ් අඩවිය සතු සංකීර්ණ ජාලය පවත්වා ගන්නේ සිය ගණනාවක් වූ මෙම ස්වේච්ජා තොරතුරුකරුවන් විසිනි. පූර්ණ කාලීනව වැඩ කරන තුන් හතර දෙනෙකු හැරුණ විට අන් සියල්ලෝ සිය කාලයෙන් යම් ප‍්‍රමාණයක් විකි ලීක්ස් වෙනුවෙන් වැය කරති. ප‍්‍රධාන පුද්ගලයින් හැඳින්වෙන්නේ මුලකුරකින් පමණ ය. සියළු විද්‍යුත් පණිවිඩ හුවමාරු කැරෙන්නේ රහසිගත සංඥාවන්ට පෙරළෙන පරිදි ය. ඒ බලවත් ආණ්ඩු සිය ජාලය තුළට රිංගනු වැළැක්වීමට ය.

කිසිදු අයෙකුට වාරණය කළ නොහැකි පරිදි පවත්වාගෙන යන විකි ලීක්ස් තොරතුරු අඩවිය සිය ගණනාවක් ලියා පදිංචි නම්වලින් විවිධ අන්තර්ජාල පදනම් මත ඉතා සංකීර්ණ ජාලයක් ගොඩ නගා තිබේ. මෙයට අමතරව විකි ලීක්ස් තොරතුරු අඩවියේ හිතවතුන් ද ජායාමය අඩවි ගණනාවක් වෙන වෙනම පවත්වාගෙන යයි. අසාංශේ කියන්නේ සිය තොරතුරු අඩවිය බිඳ හෙළිය නොහැකි එකක් බවයි.


විය යුතු පරිදිම අසාංශේට එරෙහිව පුද්ගලික ප‍්‍රහාරයන් ගණනාවක් ද දියත්ව තිබේ. ඉන් එකකින් කියැවෙන්නේ ඔහු ස්ත‍්‍රී දූෂකයකු බවයි. තවත් චෝදනාවක් වන්නේ ඔහු අධිපතිවාදී ලෙස කටයුතු කරන බව යි. චෝදනා සත්‍ය වුවත් නැතත් ඒ මගින් සෝදා හැරිය නොහැකි පරිදි අසාංශේ සිය පා සළකුණු නිහඩව නොසිටින යහපත් මිනිසුන්ගේ ගමන් මාර්ගයේ ප‍්‍රබල ලෙස සටහන් කර අවසන් ය. යුද්ධය විසින් මිනිස්කමට එරෙහි බරපතලම අපරාධය බව විකි ලීක්ස් තොරතුරු අඩවිය යළිත් වතාවක් සනාථ කරයි. යුද්ධයේ හිමිකරුවන් වන කිසිවකු ඊට කැමැති නැත.

ජුලියන් අසාංශේ අපේ කාලයේ වීරයකු වන්නේ අපේ කාලයේ ඇති කාළකණ්නි අකර්මණ්‍ය බවට ඔහු ඉදිරිපත් කරන අභියෝගය නිසා ය. ඔහුගේ දැවැන්ත හෙළිදරව් කිරීම් විසින් කලකට පෙර නම් මහජන මතයේ දැවැන්ත වෙනස්කම් සිදුවන්නට ඉඩ තිබුණි. අද එවැනි ඉදිරිගාමී මහජන මනෝභාවයක් ඇත්තේ කලාතුරකින් විශේෂ තත්ත්වයන් යටතේ පමණය. අසාංශේ ඇත්ත වශයෙන්ම නම් අඳුරු අහසක රිදී වලාවක් වැන්න. වෙලාවක් ඇතොත් http://wikileaks.org/ අඩවියට ගොඩ වී යුක්තිය වෙනුවෙන් දැරෙන සැබෑ ජනමාධ්‍ය කෙළසකදැයි දැක බලා ගන්න.

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
[රාවය 21.11.2010]

සුනන්ද දේශප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මියුසික් වීඩියෝ... කියපු ගමන් ''ආ ඇත්තද? ඉතිං...?'' ඔයිට වඩා දෙයක් කීමට නැත. සින්දුවක් කරපු ගමන් එයට මියුසික් විඩියෝ එකක් කරන එසේ නොකළහොත් සිංදුව විකුණගන්න බෑ.... ගොඩදාගන්න බෑ කියන කාල සමයකි මේ. බොහෝ අය ඒ නිසාම මොකක් හෝ දෙයක් කරති. ඒක සිංදුවට අදාළ ද නැද්ද කියන ඒක ප්‍රශ්ණයක් නොවේ. අවශ්‍යවන්නේ කැමරාවක් අටවාගෙන මොකක් හෝ කිරීමයි. එහිද වැඩි හරියක් පෙනෙන්නේ එක එක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස්ය. ඒ අතර ඉඩ තිබුණොත් පමණක් මිනිස් රූප ටිකක්ද චලනය වෙයි. ඒවාද මෙලෝ රහක් නැත. අහවල් සෝඩා වර්ගය බොමින් ලව් කිරීම, අහවල් චොකලට් වර්ගය කන ගමන් ලව් කිරීම ඒ අතර හරි ප්‍රසිද්ධය.

නැත්නම් හොඳ සැප වාහනයක් වීඩියෝව පුරාම තිබිය යුතුය. සමහර විට ඉදිරියේදී අහවල් ටූත්පේස්ට් ගෙන දත් මදිමින් ලව් කිරීම් ද පැමිණිය හැක. නැතිනම් අහවල් දියරයෙන් වැසිකිළි සෝදමින් ලව් කරනවා පෙන්නන්නත් පුළුවන. මේවා සම්බන්ධයෙන් අපට මොකුත් කීමට බැරිය. සල්ලි ලැබෙන්නේ ඒ ආයතන තුළින් නම්, ඔවුන්ගේ නිෂ්පාදන පෙන්විය යුතුය. හැබැයි ඒවාට ''මියුසික් වීඩියෝ'' කීමට තරම් වටින්නේදැයි සිතා බැලිය යුතුය. ඒවාට 'මියුසික් ටීවී කොමර්ෂල්ස්' හෝ 'ඇඩ්ස්' කියමු යැයි යෝජනා කරමි. බහුතරයක් මියුසික් වීඩියෝ බහුතරයක කථාව එසේ වුවද ඉඳහිට හෝ අපේ බොක්කටම කථාකරන සිංදුවක්, මියුසික් වීඩියෝ එකක් දැකීම ඇත්තටම ති්‍රලකි. සින්දුව සහ එයට නොදෙවෙනිව පපු කුරහයේ ගැඹුරුම තැනට කථාකරන මියුසික් වීඩියෝ එකක් දැකීමෙන්, ඒ ත්‍රිල ඩබල් ට්‍රිබල්ව දැනෙන්නට වෙයි.

''ආදරයේ අංශුමාත්‍රයක්'' එවැනි ත්‍රිලක් දෙන, රහක් ඇති වැඩකි. හුස්ම ගන්නවා කියා දැනෙන වැඩකි. එය මියුසික් වීඩියෝ යැයි කියනා මියුසික් ටීවී ඇඩ්ස්වලට කෙළින්ම අභියෝගකළ නිර්මාණයකි. අශෝක හඳගමගේ පද රචනයට උපරිම සාධාරණයක් සංගීතයෙන් සිදුකරන ජයනාත්ට (ජයනාත් ධර්මවර්ධන) චාපා (ඉන්ද්‍රචාපා ලියනගේ) තම ඉහළම ම දායකත්වය ලබා දී ඇත. මේ ත්‍රිත්වයේ සුසංයෝගය හොඳ බරක් සින්දුවට ගෙනෙද්දී උදය, (උදය ධර්මවර්ධන) එම වීඩියෝවේ අධ්‍යක‍ෂකවරයා ලෙස තම උපරිම මේ වෙනුවෙන් යොදවා ඇත. මෙය ආප්ප බෑමේ මෙහෙයුමක් නොවන බව ද ඔවුන් එය කෙතරම් ආදරයෙන් හදාවඩා ගෙන ඇති බව ද මේ වීඩියෝව අපට කියයි. මේ මියුසික් වීඩියෝව දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළලේදී සම්මාන 5 ක් ලැබීමට වඩා වැදගත් වන්නේ එමගින් සීමිත මිනිත්තු ගණනාවකදී ආදරය සම්බන්ධව මේ මොහොතේ අප සමාජයේ පවතිනා අර්බුදය ගැන කරනා සමාජ විවරණයයි.

ආදරෙයි ආදරෙයි ආදරෙයි හැම තප්පරයක් පුරාම තෙපලුවත්, එය අංශුමාත්‍රයක්වත් නොදැනීම නූතන අර්බුදයයි. ඒ හරහා මතුව එන සමාජ ඛේදවාචකයයි!

ආදරය කිරීම මෙන්ම ආදරය පිදීමට ද ඉතා ඉහළ වෙළඳෙපොළ අගයක් ලබාදී ඇති මේ යුගයේ වැඩියෙන්ම නොදැනෙන්නේද වැඩියෙන්ම විකිණෙන්නේද ආදරයයි. ඒ වගේම ලාංකීය වැඩවසම් සමාජය තුළ හැඟීම් හිරකර සිටීම හරහා එකිනෙකා විෂයයෙහි ඇතිවන පීඩනය, මේ මියුසික් වීඩියෝව මනාව චිත්‍රණය කරයි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියමින් බටහිරට කටේ කෙළ ඉවරවෙන තුරු බැණ වදිමන් ම එහි සියලුම විලාසිතා අනුකරණය කිරීම සහ තවමත් දම්මි- සුගත් මට්ටමේ පවතිනා අපේ ආදර හැඟීම් යන මේ නොගැලපීම නිසා සිදුවන ඝට්ටනයේ අදෝනාව උදය අතිශය සිනමාරූපීව ග්‍රහණය කර ඇත. ඒනිසාම හඳයාගේ වචන අපේ පපු කුහර සිදුරු කරමින් කිඳාබසී.


කෑම බීම, ඇඳුම් පැළදුම් පමණක් නොව ආදරය කළයුතු ආකාරය වගේම පැළදිය යුතු කොන්ඩමයද වින්තනය මගින් තීරණය කරනා මෙවැනි කාල සමයක් තුළ ආදරයේ පැටළිල්ලේ තරම කෙතරම් ද කියා හඳගම ගීයේ එක තැනක මෙසේ කියයි.

ව්‍යාකරණ නැති කැඩීබිඳී ගිය භාෂාවක පැටලී...

අර්බුදය මෙයය. ඊනියා සංස්කෘතික, සදාචාරවාදීන් විසින් නිර්මාණය කළ ආකෘතියක් තුළ නූතන ලාංකීය ආදරය වල් වැදී දිරාපත්වී ඇත. මේ වල්වැදුන ආකෘතියෙන් එළියට පැමිණෙන්නන් දේශද්‍රෝහීන් ය. ඊනියා සදාචාරවාදීන්ගේ තමන්ගේ මතය නොපිළිගන්නා කොටස් නම් කිරීමට යොදන නාමය එයයි. ඒ නිසාම දැන් ලාංකීය ආදරය චින්තනයේ ආදරය ලෙස බ්‍රෑන්ඩ් වී ඇත. ආදරයේ වපසරිය, ආදරය කළයුතු වපසරිය ද සළකුණු කරන්නේ ඔවුන් විසිනි. විවිධ වූ මිලිටරි අණපනත් ඔස්සේ මේ වපසරියෙන් එහා ආදරය කිරීම නීති විරෝධී කර ඇත. එසේ ආදරය කළහොත් උරුම වන්නේ සිරමැදිරියකි.

පාලනය පැත්තෙන් ඒ ලෙස සිදුවෙද්දී අනෙක් පැත්තෙන් ආදරය සිල්ලරට මෙන්ම තොග වශයෙන් ද මාධ්‍ය හරහා විකුණයි. මේ විකිණීමේ ප්‍රතිඵලයක් ලෙස ආදරය අද වනවිට සොයාගත නොහැකි ලෙස අස්ථාන ගත වී ඇත. එහෙයින් සමහර මුදලට ආදරය කරති. තවත් අය පෙනුමට ආදරය කරති. සමහරු පුරුද්දට ආදරය කරති. දෙදෙනාට ආදරය ෆීල්වීමට අද මොකක් හෝ අතරමැදි තත්ත්වයක් පැවතීම අනිවාර්ය වී ඇත. ඒ නිසාම අතරමැදි කොටස අතුරුදහන් වූ විට ආදරය අන්ත්‍රස්දාන වෙයි. නූතන අර්බුදය මෙයයි.

ඇහිපිල්ළමකටවත් අවසරයක් තිබුණ් නෑ... හරි හදිස්සිය... ඔබ රැඳුනා... ඇසිල්ලකී...

විනාඩි දෙකෙන් සාදන නූඩ්ල්ස් සොයනා අපි ඒ ලෙසම අපි ඉන්ස්ටන්ට් අදරයක් හඹා යන්නෙමු. වරුගණන් දුරකථනවල එල්ලී කථා කරන්නෙමු.. නමුත් දැනිච්ච ආදරයක් නම් නැත. ඒ නිසාම ආදරය නිමවූ වහාම ගුටිකෙළියකි. නැත්නම් අවසානය මහා ඛේදවාචකයකි. ආදරය තේරුම්ගනු බැරිනම් වෙන්වූවාට කිසිදු ප්‍රශ්ණයක් නැත. නමුත් ඒ වෙන්වීමෙන් පසු එකිනෙකාට වෛරකරන තත්ත්වයක් ඇතිවීම ඛේදවාචකයකි.

ලංකාවේ සමාජයේ තුළ මේ තත්ත්වය අතීතයේ හෝ වර්තමානයේ කියා වෙනසක් නැත. අනාගතයේදී ද වෙනසක් බලාපොරොත්තු විය හැක්කේ සිටින්නා වූ දූපත් මානසික තත්ත්වයෙන් එළියට පැමිණිය හැකිනම් පමණි. එවැනි උත්සාහයක් දැරීම ම අපේ සමාජය දෙස බලන විට සුවිසල් පිම්මකි. නමුත් එවැනි පිම්මක් පැනීමට ගන්නා උත්සාහයක් පේනතෙක් මානයේ නොමැත. එසේ තිබේ නම්, අනුන් සලකුණු කළ සීමාවකදී තමන්ගේ ආදරය උකස් කරන්නේ නැත. එසේ වනතුරු නිකමුන් මෙන් බලාසිටින්නේ නැත.

මේ ගීතය අවසානය මෙසේ වෙයි.

ආදරයේ අංශුමාත්‍රයක් දැනුනේ නෑ...

එය අතිශය නිවැරදිය. ඉතිහාසය පුරාම සිදුවූයේ එයයි. පළමුවැනි කාරණය ආදරයේ අංශුමාත්‍රයක් හෝ දැනීමට පළමුව අපි ආදරය කළ යුතුය... දෙක මෙහෙව් සමාජ ක්‍රමයක් තුළ ආදරය අංශුමාත්‍රයක් හෝ දැනුනහොත් එය ද පුදුමයකි. ආදරය මෙකී බ්‍රෑන්ඩඩ් ස්වරූපය ඉක්මවන තුරු, විශ්වීය තත්ත්වයට පත් තුරු ආදරය නොදැනෙන්නේමය. පවත්නා වටපිටාවේ ඊට වඩා වැඩි කිසිවක් බලාපොරොත්තු විය නොහැක.

දශක කීපයක් තුළ තරුණ අරගල තුනක් පැන නැගුනේ ද ඉතිහාසය පුරාම ආදරෙයේ අංශුමාත්‍රයක්වත් දැනී නැති නිසා නොවේද? ආදරය නොදැනීමෙන් උපරිම ඵලනෙලා ගත්තේ මෙරට පාලකයන්ය. මේ නොදැනීම ඔවුන් විසින් විවිධ ස්වරූප බවට පත්කලහ. සියළු අර්බුද ඇති කළ මේ අධිපතිවාදී, මහජාතිකවාදී මනෝ භාවය එහි ප්‍රතිඵලය ය. තවමත් ඔවුන් මෙතරම් නීති දමමින් මේ තත්ත්වය පවත්වාගෙන යාමට තමන්ට හැකි උපරිමය යොදන්නේ හදිසියේ හෝ ආදරයෙන් අංශුමාත්‍රයක් හෝ දැනුණු දවසට, ආදරය නම් වූ විශ්ව මානව භාෂාවෙන් හදවතට හදවතක් කථාකරන පටන් ගත් දවසට ඔවුන්ගේ රඳෙි ගැලවෙන්නට පටන්ගනු ඇති නිසාය.

සමාජයක් ලෙස අප ද මෙය අතපසුකරමින් ආදරය ගැන ලොකු ලොකු කතන්දර කියමින් සිටින්නේ ආදරයේ අංශුමාත්‍රයක් හෝ දැණුනු දවසට අපගේද රඳෙි ගැලවෙන නිසාය. ආදරය කියා වෙන මොකද්දෝ ගැන කියමින් සිටි නිසාම ආදරයේ භාෂාව අපේ හදවත්වලට ද කථා කර දින අපේ පොරටෝක් ද අහෝසිවී යන හෙයිනි. මෙලෙස අප දෙපිරිසම හුදු යැපීම වෙනුවෙන් ආදරය පාවා දෙමින් ජීවත් වෙන්නෙමු.

ක්‍රිශාන් රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෙසක් වෙසක් බැලූ බැලූ හැම තැනම වෙසක්
වෙසක් යනු මගේ සවනට පුරුදු බසක්
පසක් කරන දින බව බැමි බිඳපු පුතෙක්
මතක් කිරීමත් මගෙ මතකයට සැපක්

-මීට වසර තිහකට පමණ පෙර මගේ තාත්තා ලියූ වෙසක් කවියක්


මා මුවරඳ
ඔබේ
මල් මකරන්දයේ
කය සතපන
මගේ සුජාතාවෙනි
දිග ඇදෙන්න
මේ
වදුලේ
(බලන්න! වෙසක් සඳ
අපේ පයේ හැපෙනවා)
පිරිනමන්න!
ඔබෙ
තුනුවිල
කිරිපිඬු දානයක් ලෙසින්
සසඟින් පසු
බුදුවන
මට

(2000)

[කාලයක් තිස්සේ ලියූ කවි - 2007]

චින්තක රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වැයට වැයාක් ඇත - අයට අයාක් නැත
දොන්ත බබාක්කට බඩු! මාමේ
පෙට්ටගමාක් උඩ - ඩොලර් දෙකාක් ඇත
ඒකට අත දිග නැතුවානේ

කඩුල්ල අල්ලං - අමුඩය තද කොට
'හොයි හොයි' ගානා හැටි මාමේ
උන්ට වැයාක් නැත - අපට අයාක් නැත
අය වැය මේකද බුදු මාමේ?

බරට බරේ තඩි කේප්ප හරාක් ඇති
ඇමති මණ්ඩලේ මදි! මාමේ
උංඩ ගිලීන්ඩට තණකොළ මදි බොල
බදු පිට බදු ගහපං රාළේ

කණට සැපාක් දෙති - බඩට බිජූත් නැති
පටි තද කොට බැඳගං රාළේ
ඇහැට සැපාක් දෙති - ඉණට කඩාක් නැති
'යටට නැතිව' යනු බැහැ පාරේ

පිටට හරි ඔපේ - යටායි කුණු හපේ
හපේ වටෙන් සුදු හුණු බේරේ
මේ හැටි හුරතාල් - රටාක් ලොවෙත් නැත
ආසාවේ කණ වැලි කෑවේ...!

හෙළුව වැහේංඩට - කොටු කොටු කොටු කොටු
පෝනුත් කට් කාට් - මතටාත් ඩොට් ඩෝට්
ආටක නාටක යටි ගිරි පුප්පං
'ආං නැවාක් බොල' ඕඩි කොළොප්පං

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද මෑත කාලීන රැඩිකල් දේශපාලන ඉතිහාසය පාදක කර ගත් "ශාස්තෲ" නවකතාවේ දොරට වැඩුම 2010 නොවැම්බර් 30 දින සවස 3.00ට කොළඹ 7, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ලංකාවේ කැරැලි හා සාහිත්‍යය තේමා කර ගත් මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම් පවත්වනු ලබන්නේ ආචාර්ය සුනිල් විඡේසිරිවර්ධන හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසිනි. සංවිධානය නොවැම්බර් ව්‍යාපාරය විසිනි.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තුඩ තුඩග නැගි ගී සර සියොත් කැළ
නැත, ඇසෙන්න බුල්ඩෝසරෙ හඬ
ගොරහැඬි හඬින් මරහඬ මැදින්
පවසාවි අද තව දිනකි කලබල

තුන් ඉරිය පන්යාය යටකර
ලගියි රතු පස සුසුම් සිඳ බිඳ
හිරු මඬ ඇවිලී කිම් දැ මේ
සැඩ රැස් දවයි අමනාප ලෙද

මී ගොනු පිටින් රජ ගමන් යන
නෑ කිරි කොකුන් උන් සැඟවිලා වද
ජල තලය මත හොර තපස් රැකි
මැටි කොක් දැහැන බිඳි ටිපර හඬ

මළ හිරු ගිලෙන විට සිතිජ ඉම
වෙල් ආතා තුරු කොක් සුදෙන් වට
කෝ උන් කොහිද නැත තුරු පෙළද
මිස කිරුළු දැරි රට තණ නිලට

වෙල් දියට බර වී ස්නේහයෙන්
දිය රැළිති සිඹි මහ කදුරු ගස් පෙළ
කුසුම් පෙති වෙල් දියට ඉස ඉස
නොදෙයි ආසිරි නැවත කිසි කල

සුදු මහත්වරු සුදු නෝනවරු
තණ පලස මත පිති හරඹයක
නෙක රළු හිනා වට ගිගුම් දෙන
සොහොනක තැනූ සුරපුර මෙබිම

යට කරන් සිය දහස් ජීවිත
කැඳවමින් උන් හට නෙක පිරිපත
වුනු මහ විපත දැක වේදනාවෙන
කරවුනු සුළං රැල්ය තාම වැළපෙන

මහ වැසි වසිත් දිය බැස නොයත්
ගං ඉවුරු බිඳ සෝ සුසුම් ලයි
මග අහුරවා කලබල කරත්
වගක් නැති ලෙස මේ කිසිත්
අනේ, අළුත් තණ යහතින් නිදත්!!

ප්‍රශංසනී පරණවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සෙනඟ ගඟ සිඳුණු ඉවුරක
මම ඉන්නම් හෙටත් මඟ බලාගෙන
මිතුරිය
ඔබ එනතුරු
දැවී ගිය සොම්නස ළඟ තබාගෙන
ගනුදෙනු කරන්නට වියෝ දුක

ප‍්‍රථම පේ‍්‍රමයේ මළ සිරුරු හොවාගෙන
යන්නෙ කුමටද ගෙන් ගෙට
සොයන්නට අබ ඇට

ගිහින් බැලුවොතින් අභ්‍යවකාශෙට
දැක ගන්න හැකි වේවි අපිටම
ගිණිය නොහැකි ග‍්‍රහ වස්තු අතර
අබ ඇටයක් වගේ අපේ ලෝකය
කෝටි ගණනක් සත්වයන් අතර
අබ ඇටයක් වගේ අපේ ලෝකය
කෝටි ගණනක් පෙම් සිහින අතර
අබ ඇටයක් වගේ අපේ ලෝකය

මුණ ගැහුණම ආයෙමත් හෙට
ප‍්‍රසාරණය කරමු හදවත්වල සුසුම් අබ ඇට
එයම විතරයි නේද ඉතිරිවුණු එකම තෘප්තිය
උද්‍යානයේ
බංකුවක් උඩ
මට මතකයි ඊයේ සවස අපෙ සමීපය
ඔබේ පේ‍්‍රමයේ වියෝ කඳුලක්
තෙත් කළා මගෙ පිටි අත්ල

කඳුලැල් බිඳුවක් වුව
මා නෙත’ගින් ගලන
වදන් පින්සල අගට ගෙන
අගෙයි මිතුරිය ඔබ අඳින සිතුවම් සිත නිවෙන

ඔබ හරි හොඳයි ඇයටත් වැඩිය
පැහැදිලි රූපයක් මැවුනත් සිතේ හැම විටම

ඔබේ දුක් අඟුරු
මගේ දුක් අඟුරු
අනේ හරි පුදුමයි
රත‍්‍රන් යැයි අපටම නොපෙනෙන අයුරු

සිරුරින් විතරක් නොවෙයි
පේ‍්‍රමයෙනුත් කිස
මිතුරිය දැන්
ඔබ
මම

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



'අසෙනිය කුසුම' 2010 රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය කලා උළෙල 2010 නොවැම්බර් 29 වෙනිදා සවස 2.30ට රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ දී පැවැත්වෙයි. රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය එදින සිදු කෙරේ. මෙවර තේමාව "යහපත් සමාජයක් උදෙසා සාහිත්‍ය" වේ. එමෙන්ම එදිනම, සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත සම්මාන ප්‍රදානය කිරීමට ද නියමිත වේ. ආරාධිත දේශනය- චූලානන්ද සමරනායක.

විමසීම්- 71 95 31 770 [සුපුන් සුදාරක] | අසෙනිය කුසුම 2010 Facebook Event





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කවියන්ට ආඥා පනවන්න
පුළුවන්ද කෙනෙකුට
ප‍්‍රචාරකවාදියෙකු වනු!
ආත්ම ප‍්‍රකාශනය
හෙලි නොකරනු!

ගැහැනු සිරුරක වසඟය
මැවූ සොබාදහමේ අරුමය
ගැන ලියවෙන
රෝමාන්තික කල්පනාවකට
කවියක ඉඩක්
තියෙන්න බැරිද
මස්පිඬු ඉලිප්පුනු
දාඩිය පෙරාගත්
අව්වේ වේලෙන
හැදි දැඩි උස මහත
කම්කරු ස්ත‍්‍රීන් ගැන මිසක

ලොවම අමතක කර
තමතමන්ගේ ලෝක වල
තනිවුනු පෙම්වතුන්ගේ
හද ගැස්ම
කවියක ලියන්න බැරිද
පේ‍්‍රමය මගහැර
පරාර්ථකාමී වූ
විප්ලවවාදීන් ගැන මිසක

දෙවියන් සුරදූතියන් ගැන
සුන්දර මිථ්‍යා කතාවක්
ලියන්න කවියක
කවියෙකුට බැරිද
ප‍්‍රකෘතිය යථාර්තය
ගැන ලියවෙන
ද්‍රව්‍යවාදී/දාර්ශනික
කතාන්දර මිසක

පරිණත නොවූ
පේ‍්‍රමයක් ගැන ලියූ
පුෂ්කින් වගේම
පස් අවුරුදු සැලසුම්
සලාක කූපන් ගැන ලියූ
මායාකවුස්කි ද
ප‍්‍රචාරකවාදය සමග
ආත්ම ප‍්‍රකාශනය
කැටිකර ලියවී
තිබේ නම් කවියක
සැබෑ ආත්ම ප‍්‍රකාශනයට
රසවින්දනයට ඉඩ තියෙන
ලෝකයක පිළිබිඹුව
දකින්න පුළුවන්ය අපට.

චතුර මධුසංක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විප්ලවයත් වලපල්ලට ගියාවේ
ප්‍රතිපත්තිත් යන යකෙකුට ගියාවේ
සමසමාජෙ සදහට වැළලුනාවේ
ඇමතිකමයි හිතට ජොලිය ගෙනාවේ

[කවිය සහ කාටූනය- උපුටා ගත්තේ නොවැ. 28 රාවයෙන්]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බර්ටි බී. කුඩාහෙට්ටිගේ නවතම කාව්‍ය සංග්‍රහය "විදාරණය" 2010 දෙසැම්බර් 08 බදාදා දින සවස 3 ට පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී දොරට වඩියි.

දේශන- චින්තක රණසිංහ, පානිණි විජේසිරිවර්ධන.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සංගීතය| ආදරයේ දේශපාලන ක්‍රියාවක් ලෙස| (පෙරටුගාමී සහ පශ්චාත් සංගීතය සමග දවසක්)
-නව කතිකාවක් සඳහා සාමූහිකය-
2010 නොවැ. 28 වන ඉරු දින පෙරවරු 10 සිට. බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී....
දේශන- චින්තක ගීතදේව, ඉසුරු කුමාරසිංහ, චූලානන්ද සමරනායක.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සුපිරි මාරකැට්ටුවේ මාවත් වැටී ඇත්තේ - උස් රාක්ක අතරින්
අත පොවන නොපොවන මායිමේ
'එව කව බොව'
කරත්තය තල්ලු කරන්න - මඳක් නැවතී බලන්න
'හොඳම දේ අඩුම මිල - ගන්න එකක් ලැබෙයි දෙකක්'
අතරමං වෙයි ද ඔබ - ශීතල වෙළඳ බඩු ලන්තයේ?
පෙණ බුබුලු ශෝධනයන් මකා නොදමන්නේ සිත් තැවුල් පමණයි!
සුවඳ පැන්; ආලේපන ඔබෙ වයස සගවයි!
තවත් ටිකක් ඇදෙන්න
'පැකැට්ටුවෙන් උදුනට'
'මදක් හැඳිගාන්න - පෝෂණය ඉතිරෙන්න'
වැසුනත් වීදුරු ආවරණයෙන් 'අලුත්ම විවිධ අවයව' කැඳවයි ඔබ එතැනට
ඒ විසිතුරු සැත්කම් හලෙන් තෝරයි ඔබ රස මුසුවක්
මඳක් උඩට ඉස්සෙන්න - අහා ඉස්තරම් ම බලු බළල් කෑම!
ඔබේ ඉඳුල් කන සුරතලුන් සිටියේ ගමේ පිල් කඩ උඩ
පොඩ්ඩක් වමට හැරෙන්න - අමතක උනා නේද?
කට ගැස්මට බොහෝ දේ ඇතත් කෝ රත් වෙන යමක්?
පෝය දිනය ට කලු තිර ඇද්දා ට ඇයි දැන් අදි මදි කරන්නේ?
අපි හැමෝම ඕමාර් ඛයියාම් ලා නොවැ
මේ චාරිකාවේ කෙලවර මඳක් ඉවසන්න විනීතව
ගිලෙන තුරු පොලිතීන් සාගරයේ ප්ලාස්ටික් ගංගාවන්
මෙන්න ඔබේ කාඩ් පත - ස්තූතියි සුව රැයක්
'කීර අමිමේ මාලු සයිමන්' - ඔබ කලින් හෙට්ටු කල
පුංචි කඩ ඔබ පසු කරන් යන - දැන් ඉතින් වැඩක් නැහැ
කොයිතරම් පහසු ද?
ඔබ මේ ඉන්නේ ගෙදර යන ගමන් නේ....!

උද්‍යෝගී පලිහක්කාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉපල් හිස් තුරෙක අස
දලුවකුදු නොපෙනෙන
විසුළ පර පත් හැම
පෙත්මං වසා අවුරන

ඉකිබිදී සිහරද
තෘෂ්ණිම්භූත ස්වරයෙන
හිත අසළ තුරුලු කළ
පර මලෙක සුවද විද විද
නොදැන මෙන යා යුතු මග

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කැරකෙන කැරෝකේ
රඟදෙමි සිනා සී
ඇවිළෙන නුරා ගීයක
මත්වුණු අවන්හල් මැද....

උමතු ව විදුලි එළි
පවසින් දවයි මා වත
කම්හලේ පොළේ වෙහෙසුණ
මතකය නැගෙයි ඉඳහිට....

පියොවුරු අඳුර තෙරපන
රඟදෙන මධු කොපුල් අස
ඔත්පළ මවුන් තනි වුණ
ලැයින් ගේ නැගෙයි මතකෙට...

අඳුරින් උපන් සමයෙක
හෝටල් කුස්සි අගුවක
මා මවු වැදූ හැටි
ඈ කියූ අයුරු සිහි වෙයි....

පෙම්වත දමා ගිය දා
ඇඳිවත ඉනූ ඇඳ ළඟ
නැති වූ කරාබුව වෙනුවට
ජිප්සි රඟදෙයි දෙසවන.....

දෙතොලග නුරා තබමින්
මධු මී සිස්ව යනතුරු
ඔඩමක් ලෙසින් අතින’ත
රැයකින් රැයක් පුරමින....

අඳුරින් වරම් අරගෙන
නළඟන ලෙසින් ඇවිළෙන
මත්වුණු නුරා නෙත් මැද
විකිණෙමි රඟන රැඟුමක.....

[බිම් ගෙයට සඳ ඇවිත්- 2010]

නදුන් යසිත දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails