Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජාතික ගීය දෙමළ බසින් ගැයීම නවතා දමා සිංහලෙන් පමණක් ගැයීමටත්, එහි දෙමළ පරිවර්තනය පාසල් පෙළපොතේ පටන් මුලිනුපුටා දැමීමටත් පසුගිය දා ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර හමාරද, එසේත් නැතිනම් ඒ ගැන සලකාබලමින් සිටින්නේද යන්න හරියට ම පැහැදිළි නැත. කෙසේ වෙතත් මේ වූකලී අනාගත ශ්‍රී ලංකාව යළි යළිත් විනාශය කරා ගෙන යැවෙන, සිංහල මහජාතික උද්දච්ඡකමින් දූෂිත, අතිශය අදූරදර්ශී හා-

අඥාන තීරණයක් බව නොවැටහෙන්නේනම්, ඒ අන්ත සිංහල ජාතිවාදී උන්මත්තකයකුට ම පමණෙකි. එසේ ම මේ වූකලී එක්සත් ශ්‍රී ලංකාවක් ගැන හෝ ජාතීන් අතර සංහිඳියාවක් සමාදානයක් ගැන ගැඟීමකින් නොව, අවම වශයෙන් ජාතිකත්වය මත පදනම්වන කලකෝලහාලවලින් තොර සාමකාමී රටක විසීමට කැමැතිවන කිසිවකු හෝ සිටීනම්, එවැන්නකු විසින් හෙළාදැකිය යුතු, නැවැත්වීමට හෝ අහෝසිකිරීමට බලකළ යුතු විනාශකාරී තීරණයකි.

යළි යළිත් පාරන තුවාලය

රටක ජාතික ගීයක් මොන භාෂාවෙන් ගැයුවත් නොගැයුවත් එයට අමුතු අර්ථයක් සැපයෙන්නේ නැත. ඊට සැබෑ අර්ථ සැපයෙන්නේ ඒ රටේ වෙසෙන ජනකොටස් කොතෙක් දුරට ඒ තුළ සංඛේතීය ව නියෝජනය වනවාද, ඒකරාශී කරනවාද ඒ සම්බන්ධයෙන් එහි ජනකොටස්වලට කෙබඳු සංජානනයක් තිබෙනවාද වැනි කාරණා මත ය. එය බොහෝවිට රටක් සිය ජාතික රාජ්‍යය ගොඩනැංවීමේ මූලික අවදියේ දී සපුරාගත යුතු කාර්යභාරයන්ට අදාළ කාරණාවකි. එතැනින් එපිටට එය අදාළ රටේ සමාජ දේහයේ ගැඹුරට කාවැදී, ඒ තුළ කිඳී යන්නක් මිස වරින් වර හුදෙකලාව හාරා පාදා අමුතු අර්ථකතන සෙවීමට අවශ්‍ය කාරණයක් නොවීම ස්වභාවික ය. ජාතික ගීය මතු නොව, ඕනෑ ම ජාතික සංඛේතයක් සම්බන්ධයෙන් මෙය සැබෑවකි.

එහෙත් රටේ අධිකාරී බලය දරන්නන් විසින් ම එ වැනි සංඛේත කලින් කලට හාරාගෙන, විවිධ පටු අරමුණු උදෙසා ඒවායින් රටේ විවිධ ජනකොටස් පිටමං කිරීමට, පලවා හැරීමට, ඔවුන්ට ඇති සංඛේතීය නියෝජනයත් අහෝසි කිරීමට කටයුතු කරන්නේ නම්, එය ගැටුමක් නැති රටක වුව ජනකොටස් අතර සංහිඳියාව දැඩි කිරීමට නොව නව ගැටුමකට පාර කපන්නකි. දැවැන්ත ගැටුමකින් පසු යටත්කරන ලද්දේය යන මානසිකත්වය උරුම කරදුන් ජාතිකත්වයක් අරබයා මේ අන්දමින් කි්‍රයාකරන්නට යාම අතිශය බැරෑරුම් ප්‍රතිඵල ගෙනඑන්නක් බව එයින් ම පෙනීයයි.

අතේ පත්තුවන දේශප්‍රේමී තර්ක

ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට නියම කිරීමත්, එහි දෙමළ පරිවර්තනය උගුළුවා දැමීමත් විසින් නිශේධ කරනු ලබන්නේ යුද්ධයට එරෙහි වූ, යුද්ධය වෙනුවට සාමකාමී දේශපාලන විසඳුමක් තුළ ප්‍රශ්නය විසඳාගත යුතුය යි කී අප වැනි 'දේශද්‍රෝහීන්ගේ' තර්ක නොවේ. යුද්ධය වෙනුවෙන් ම කැපවී සිටි, 'කුරිරු ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් අහිංසක දෙමළ ජනයා බේරාගැනීමේ මානුෂික මෙහෙයුමක්' ලෙසින් යුද්ධය වර්ණ ගැන්වූ, 'කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගෙන එක්සේසත් කළ ඒකීය ලංකාවක් තුළ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් තහවුරු වී ඔවුන් නිදහස ලබන්නේය' යි අදටත් මුරගාමින් සිටින, ඊනියා 'දේශප්‍රෙමී' නඩයේ ම සටන් පාඨ යි.

මේ වූකලී සිංහල රාජ්‍යය පොරොන්දු වූ ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවට, බෙදුණු ලංකාවක අවශ්‍යතාව දෙමළාට තව තවත් තහවුරු කැරෙන පියවරකි. එල් ටී ටී සන්නද්ධ අරගලය තලාදැමීමෙන් අනතුරුව තමන්ගේ ජාතිකත්ව අනන්‍යතාව අහිමි කරමින්, තමන් තව තවත් දරුණු ලෙස සිංහල මහ ජාතිවාදයට යටත්කර දැමීමක් ලෙස දෙමළාට මෙය වැටහෙන බවත්, වෙන්වීම හැර මේ සිංහල මහ ජාතිවාදයෙන් නිදහස ලැබීමට තමන්ට වෙනත් මඟක් නැතිබව දෙමළාට නැවතත් තහවුරු වන බවත් මේ තීරණ ගන්නා පිරිස් හා ඒවාට හුරේ දමන පිරිස් තේරුම් නොගැනීම අවාසනාවකි. කිසිදාක ප්‍රායෝගික ව කි්‍රයාත්මක නොවූ සිය භාෂාවට ද ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අයිතිය, නිල වශයෙන් ම උල්ලංඝනය වීමේ තවත් දරුණු සංඛේතාත්මක අවස්ථාවක් ලෙසින් නොවේද මෙය දෙමළ සමාජයට හැෙඟනු ඇත්තේ? එයින් නිශේධ වන්නේ ඒකීය ලංකාවක් තුළ දෙමළා ද සිංහලයා හා සමාන පුරවැසියකු වනබවට වහසිබස් දෙඩූ ඉහත ඊනියා දේශප්‍රේමීන්ගේ ප්‍රවාදයම ය.

මෙහි අනියම් ඇඟවුම වශයෙන් 'බිමට සමතලා කර දමන ලද තොප දැන් ඉතින් අප කියන හැටියට අපේ භාෂාවටත් අපේ සංස්කෘතියට වැඳ පුදාගෙන අපේ යටත් වැසියන් වශයෙන් සිටිය යුතුය' යන්න දෙමළාට සම්මුඛ වීම ස්වභාවික ය.

දෙබිඩ්ඩන්ගේ බොරු

කැබිනට් මණ්ඩලය තුළ මේ තීරණයට උඩගෙඩි දුන් ප්‍රධාන පුද්ගලයකු ලෙස වාර්තා වන්නේ විමල් වීරවංශ ය. ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයිය යුතුය යි අවධාරණය කරමින් ඔහු කීබව වාර්තා වන්නේ වෙනත් කිසිදු රටක මෙසේ භාෂා දෙකකින් ජාතික ගීය නොගැයෙන බව ය. එහෙත් වීරවංශ දැන දැන ම හෝ නොදැනුවත්කම නිසා මෙහිදී ද බොරු කියයි. භාෂා තුන්සියයකට වඩා ඇති ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ හින්දි භාෂාවෙන් පමණකැ යි කියා ඇති ඔහු ගේ කතාව බොරුවකි. ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ හින්දි භාෂාවෙන් නොව, බෙංගාලි බසෙනි. සංස්කෘත වදන් බහුලව යොදාගනිමින් බෙංගාලි බසින් එය ලිවේ රවීන්ද්‍රනාත් ථාගෝර් ය. එහෙත් භාෂා 300ක් වහරන, හින්දි බස ප්‍රමුඛ නිල භාෂාව වූ ඉන්දියාවට, තමන්ගේ ජාතික ගීය බෙංගාලි බසින් ගැයීම අදටත් ප්‍රශ්නයක් වී ඇතිබව දැනගන්නට නැත.

භාෂා කිහිපයකින් ජාතික ගීය ගැයෙන රටවල්වලට ඕනෑතරම් උදාහරණ තිබේ. දකුණු අප්‍රිකාවේ එය ගැයෙන්නේ ක්සෝසා, අප්‍රිකානු හා ඉංග්‍රීසි යන භාෂා තුනෙනි. කැනඩාවේ ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා ද්වයෙන් ම ජාතික ගීය ගැයේ. ස්විට්සර්ලන්තයේ ජර්මන්, ප්‍රංශ, ඉතාලි හා රුමාන්ට්ෂ් යන නිල භාෂා හතරෙන් ම එය ගැයේ. මෙහි විශේෂත්වය වන්නේ රුමාන්ට්ෂ් භාෂාව 1%ක පමණ ස්විට්සර්ලන්ත ස්වදේශීය ජනකොටස පමණක් කතාකරන භාෂාවක් වීම යි. නවසීලන්තයේ ඉංග්‍රීසි හා මැඔරි භාෂා ද්වයෙන් ම ජාතික ගීයේ අනුවාද පවතින අතර සාමාන්‍යයෙන් පළමුව ගැයෙන්නේ මැඔරි අනුවාදය යි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු වචනය නොව කි්‍රයාවයි

මේ සම්බන්ධයෙන් තව තවත් උදාහරණ දීමට නොවෙහෙසෙමි. තමන්ට අවාසි සියලු දෙයෙහි දී විදේශ ආදර්ශයන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ න්‍යායයෙන් හංවඩු ගසමින් 'දේශීය පොළොවේ උපන් විසඳුම්' නම් ජාතියක් සොයන මෙබඳු දෙබිඩ්ඩන්, මෙවැනි තැන්වල දී ජාත්‍යන්තර උදාහරණවලින් බොරු පවා ගොතමින් සිය මතය තහවුරුකරගන්නට දඟලන ආකාරය පමණක් හෙළිදරව් කරතැබීම ප්‍රමාණවත් ය.

එහෙත් ජාතික ගීය භාෂා කිහිපයකින් පවත්වාගෙන යන රටවල් එසේ කරන්නේ කුමක් සඳහාදැ යි සලකා බැලීම වැදගත් වේ. එහි අරමුණ වන්නේ ඒ ඒ භාෂාවන්ට අවශ්‍ය ගරුත්වය, සමානාත්මතාව, සැලකීම අදාළ රාජ්‍යය තුළ පවතින බවට ඒ ඒ භාෂා වහරන ජනකොටස්වලට හැඟීමක් ලබාදීම යි. එහෙත් ලංකාවේ ආණ්ඩුව කරමින් සිටින්නේ බිහිසුණු යුද්ධයකින් තලාදමා සිටින දෙමළ ජාතිකයා මෙතෙක් සංඛේතීයව හෝ භුකති විඳිමින් සිටි කිසියම් ම හෝ සැලකීමක් වී නම් එවා ද ඔහු කෙරෙන් උදුරා දැමීම යි.

'මුදාගත්' ජනතාව 'යටත්වැසියන්' කිරීම

ආණ්ඩුව එසේ කරමින් සිටින්නේ දෙමළා තමන් ගේ අයිතිය ඉල්ලා අරගල කරන අවස්ථාවක නොවේ. ඒ අරගලය තලා පොඩිපට්ටම් කර, ඒ භූමියේ සිටි ජනයාගෙන් සැලකිය යුතු පිරිසක් වසර එකහමාරක් තිස්සේ මිනිස් දුහුවිලි කර කඳවුරුවල අනාථයන් සේ ගාල්කර, තවත් තරුණ පිරිසක් රහසිගත ස්ථානවල දේශපාලන රැඳවියන් සේ ගාල්කර, ඔවුන් සතු භූමිය ආරක්ෂාවේ නාමයෙන් කොල්ලකාගෙන, සිය ලැබැඳියන්ට එරෙහිව සිදු වූ සකලවිධ ඝාතනයන් ඇතුළු මර්දනයන්ට කිසිදු පිළිසරණක් නොසපයා, මුළුමනින් අසරණකර දමා තිබෙන තත්ත්වයක් යටතේ ය. ඇතිවෙන්නට බැට කා, නැතිවන්නට දෙයක් නැතිව, අමුතුවෙන් රිදුමක් කියා දෙයක් දැනෙන්නට තරම් සංවේදනාවක් පවා නැතිතරමට රිදුමෙන් හෙම්බත් ව සිටින අද දවසේ දී, මෙය ඔවුන්ට දැනෙනු ඇත්තේ කෙසේද යන්නත්, හෙට වනවිට ඔවුන් ඒ සම්බන්ධයෙන් දක්වන සංවේදීතාව කෙබන්දක්ද යන්නත්, අනාගතයේ දී එයට දැක්වීමට ඉඩඇති ප්‍රතික්‍රියාව කුමක්ද යන්නත් සිතාබැලීම, මේ තීරණ ගන්නන්ගේ කෙසේවෙතත් අවම වශයෙන් සාමකාමී රටක ජීවත් වන්නට හෝ බලාපොරොත්තුවක් ඇති මිනිසුන්ගේ යුතුකමකි.

යුද්ධය අවසන්බව ප්‍රකාශ කළ අලුත ජනාධිපතිවරයා අඩුපාඩු සහිතව හෝ දෙමළ බසින් දෙමළ පෙදෙස් හි ජනයා ඇමතීමට උත්සාහ ගත්තේ ය. විදෙස්හි දී රාජ්‍ය තාන්ත්‍රික සභා පවා දෙමළෙන් ඇමැතීමට කටයුතු කළේ ය. එයින් ඔහු රටටත් ජාත්‍යන්තරයටත් දෙන්නට හැදූ පණිවුඩය වූයේ දෙමළ ජාතිකත්වයට ද සිය ආණ්ඩුව යටතේ පිළිගැනීමක් ලබාදෙනවා ය යන්න නම් ඒ උත්සාහය අමූලික ව්‍යාජයක් හා රඟපෑමක් බවට සකල ලෝකයාට ම ඒත්තු ගැන්වීමට මේ තීරණය හේතුවනවා ඇත. සැබෑවට ම රටෙහි වසන තවත් ජාතියකට සැලකීම යනු ක්‍රියාවෙන් එය ඔප්පු කර පෙන්වීම මිස ඔවුන් ගේ භාෂාව කටපාඩම් කරගෙන වරද්ද වරද්දා රට තුළ හා ජාත්‍යන්තර සභා ඇමතීම නොවේ ය යන්න ශිෂ්ට ලෝකය හොඳින් දනී.

කැබිනට් සාමාජිකයන්ගේ ඔලුගෙඩියේ හා කශේරුකාවේ ප්‍රශ්නය

වාර්තාවන අන්දමට මේ සම්බන්ධයෙන් වචනයෙන් හෝ විරුද්ධ අදහසක් කැබිනට් මණ්ඩලය තුළ දක්වා තිබෙන්නේ ඇමැතිවරුන් දෙ දෙනකු පමණි. ඒ විරෝධය ද 'පස්සට කල්දාන්ඩ' 'තවත් සලකාබලන්ඩ' වැනි දියාරු වදන්වලින් එපිටට ගිය එකක් ලෙස වාර්තා නොවන අතර තීරණාත්මක මොහොතේ කිසිදු හිරිකිතයක් නැතිව (දැනටමත් අතඋස්සා නැතිනම්) මේකටත් අත උස්සන්නට ඒ දෙදෙනා ද පසුබට නොවනු නිසැක ය.

අමාත්‍ය මණ්ඩලය වැනි රටක ගමන්මඟ ගැන තීන්දු ගන්නා ව්‍යූහයන් පැත්ත පළාතක වැද්දගන්නට නොගැලපෙණ සොරුන්, අපරාධකාරයන් සේම, එ වැනි තනතුරු දැරීමට තරම් උගත්කමක්, දේශපාලන දැනුමක් ඇති, එහෙත් තමන්ගේ ම බෙල්ල කැපෙන පනතට පවා ආණ්ඩුවේ ප්‍රධානියාට එරෙහිව අත උස්සන්නට තරම් කශේරුකා ශක්තිමත් නැති, රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහ අනතුරට හෙළුෑ 18වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් කිසිදු හිරිකිතයකින් තොරව අත එසැවූ 'ප්‍රාඥයින්ගෙන්', 'වම්මුන්ගෙන්' හා 'දේශපාලන පරිනතයන්ගෙන්' ද සමන්විත කැබිනට් මණ්ඩලයකින් මීට වඩා කුමක්නම් බලාපොරොත්තු වියහැකිද? 'ඔවුන් මීට විරුද්ධවීමෙන් ඇතිවන ප්‍රායෝගික වෙනසක් නැති බැවින් ඊට අතඋස්සනවා හැර වෙනත් කරන්නට දෙයක් ඔවුන්ට නොතිබිණැ'යි මෙයින් ඇතැමුන් වෙනුවෙන් චරිත සහතික ලියාදීමට න්‍යායාචාර්යවරුන් ද සිටින විට එය කොහොමත් අමාරු කටයුත්තක් නොවේ.

වචනයකින් හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්තියකට විරෝධයක් දැක්වීමට තරම් අවකාශයක් ඇති ශ්‍රී ලංකාවේ ඇතැම් දෙමළ පාර්ශවවලින් දැනටමත් මීට විරෝධය එල්ල වී ඇත. තමිල්නාඩු දේශපාලන ක්ෂේත්‍රයේ ද ඒ විරෝධය පවතී. යුද්ධයකින් යටත් කළ ජාතියක ගේ මෙ වැනි අවම අයිතිවාසිකමක් පවා සුරකින්නේ නැතිව ඒවා ද උගුල්ලාදමන රාජ්‍ය තන්ත්‍රයකින් ඒ ජාතියට අනාගතයේ ලැබෙන්නට නියමිත සුපිරි සමතැන කුමක්දැ යි ජාත්‍යන්තර ප්‍රජාවට මෙයින් ඍජු සංඥාවක් යැවෙයි. මෛවැනි පියවරයන් ආණ්ඩුව කියන සුපිරි සංහිඳියාව ඇතිකිරීමට හේතු නොවනවා පමණක් නොව ඒ සංහිඳියාවේ රුවගුණ දැකබලාගැනීමට ඍජු ව උපස්ථම්භක වන අවස්ථා ද වේ.

ප්‍රඥාංකුරය වෙනුවට කහඹිලියා වැල හමුවීම

අසූව දශකය අග භාගයේ දී සිංහල බෞද්ධ ගැමි ප්‍රඥාංකුරයක් සොයමින් සිට, එයින් දශක දෙකක් ඇවෑමෙන් ඒ ප්‍රඥාංකුරය වෙනුවට ඇටුවම්බැසගත් අමු ග්‍රාම්‍ය සිංහල බෞද්ධ පවුල් වනාන්තරයකුත්, මැස්ස ඇති දෙසට දිවගිය කහඹිලියා වැලකුත් සම්මුඛ වී, එයින් අමන්දානන්දයට පත්ව සිටින හිටපු සාහිත්‍යවේදී මා මිත්‍ර ගුණදාස අමරසේකර, මේ තීරණය සම්බන්ධයෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් තප්පුලෑම ලංකාවේ වෙසෙන කාටවත් පුදුමයක් නොවීම නම් ස්වභාවික ය.

සනත් බාලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"මං දැන් යනවා නැන්දාව බලලා එන්න. සමහර විට අපි දෙන්නා ආයෙ මුණගැහෙන එකක් නෑ. මට කියන්න, ඇයි ඔයා ඒක කළේ? ඔයා බොරුවක් කිව්වත් කමක් නෑ. මට ඕනේ, ඒක මොකක්ද කියලා අහන්න."

"ඒ කියන්නේ, ෂෝෂාව බැන්දෙ ඇයි කියලාද?"

"ඔව්"

"මං ඇත්තරම දන්නෙ නෑ. ඒත් මං ඔයාට කියන්නං. එයා විතරයි මට විස්වාස කරන්න පුළුවන් එකම ගෑනි." මගේම වචන ගැන විස්මිත වෙමින් මම කීමි.

බෙටීගේ දෑස් සිනාවෙන් මුකුලිත විය. එක මොහොතකට නැවතත් ඈ යෞවන වූවාය. "දෙයියනේ, මේකයි එහෙනං ඇත්ත! මොන තරං සරලද!"

"බාගෙ විට"

"ඔයා, මගේ මී මුත්තා වගේම, අධානග්‍රාහී, පිස්සු යුදෙව්වෙක් වගේම, දෙවියෙක් නැති සල්ලාලයෙක්. කොහොම ද එහෙම වෙන්නේ?"

"අපි පස්ස නොබලා දුවනවා. සීනායි කන්ද අපි පස්සෙන් එළවනවා. මේ පැන්නිල්ල නිසා අපි පිස්සු වැටිලා, ලෙඩ වෙලා."

"මාව ඒ ගොඩට දානා එපා. මාත් ලෙඩ වෙලා, පිස්සු වැටිලා තමයි. ඒත් සීනායි කන්දේ සම්බන්ධයක් ඒකට නෑ. ඇත්තම කිවුවොත්, ඔයා කියන්නේ බොරුවක්. මට වැඩිය බයක්, සීනායි කන්ද ගැන ඔයාට නැහැ. ඕක ඇවිල්ලා ඔයාගේ කාලකණ්ණි උඩඟුව. ජරා පිරිමි ගර්වය නැතිවෙයි කියලා තියෙන බෝඩ බය. සැරයක් ඔයා මට කිවුවා, ඔයාගේ ගජයෙක් කිව්වා කියලා, 'හැමදාම රවට්ටන්න බැහැ, කවදාවත් රැවටෙන්නේ නැතුව' කියලා. කවුද ඒ කිවුවෙ? ෆෙටල්සන්."

"මට මතක නැහැ. එක්කෝ ෆෙටල්සන්, එහෙම නැත්නං හයිමෙල්."

"හයිමෙල් එහෙම දෙයක් කිව්වා වෙන්න බැහැ. ඒකෙන් කමක් නැහැ. ඔයා පිස්සෙක්. එච්චරයි. ඒත් මතක තියාගන්න, ඔයා වගේ පිස්සො ඕනෙ තරං ජීවිතේ නැථි කරගෙන තියෙනවා, කොහෙවත් නැති වේසියෙක්ගේ කීර්තිය රකින්නත්. නැහැ, ඒක ඇත්ත. ෂෝෂා නං කවදාවත් ඔයාට ද්‍රෝහි වෙන එකක් නෑ. නාසිවාදියෙක්, බලහත්කාරයෙන් හදි කළොත් මිසක්."

"මං යන්නං බෙටී."

"සදහටම."

*****

වෝර්සෝ නුවර යුදෙව්වන් හිට්ලර්ගේ මාරක හමුදා එන තෙක් බියකරු දෙගිඩියාවක වෙසෙන අතරේ ආරොන්, සම්ප්‍රදායික අතීතයක් සහ අස්තිර අනාගතයක් අතර කල් ගෙවයි. විවිධ ගැහැණු ඔහුට විවිධ දොරටු විවර කරති. විශේෂයෙන් හිට්ලර්ගේ අළුගෝසු හමුදාවෙන් දිවි ගලවාගෙන පලා යාමේ ඉඩකඩ ඉන් ප්‍රමුඛය. එහෙත් ළමාවියේ ආලය ගැන අතීත රතියෙන් උපන් ආකර්ෂණය ඊට බාධාවක්ද? ඔහුගේ මිතුරු මිතුරියන්ට ඇයත්, ඇගේ ආලයත් අති ඛේදනීය විකාරයක් පමණක් නොව, ඔහුගේ මරණය ළං කරන බිහිසුණු උරචක්‍රමාලයක්ද වන්නේය. පහසුවෙන් සිතින් මකා දැමිය නොහැකි මේ සුන්දර ආදර කතාව, මිනිස් සන්තානයේ දරුණු ප්‍රහේළිකාවක් එකලස් කරගැනීමට පාඨකයාට පිහිට විය හැකිය.

-ෂෝෂා

ඉසාක් බෂෙවිස් සිංගර්
පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජාතික ගීය මත සිංහල පමනයි මුද්‍රාව තැබීමෙහිලා අන් කාටත් වඩා උද්යෝගයක් පෙන්නුම් කරමින් සිටින්නේ අමාත්‍ය විමල් වීරවංශයි. වීරවංශ උපුටමින් බීබීසී ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ කොට සිටියේ භාෂා දෙකකින් ජාතික ගීය ගැයීම "හුදු විහිලුවක්" බව හෙතෙම පැවසූ බවයි. ජාතික ගීය පිලිබද ආන්දෝලනයට මුල පිරුවේ සති අන්ත ටයිම්ස් පුවත්පතය. සිරිමාවෝ බන්ඩාරනායක අගමැති ධූරය හෙබවූ සමයේ-

යාපන සංචාරයකදී දෙමලෙන් ජාතික ගීය වැයීම පිලිබද අප්‍රසාදයට පත්ව ඇය යම් උත්සවයක් වර්ජනය කොට ආපසු හැරී යාමේ සිදුවීමක් පිලිබද සදහන් කරමින් ජාතික ගීය සිංහලයට පමනක් සීමා කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා කැබිනට් මන්ඩලය ඉදිරියේ අවධාරනය කල බව එම පුවත්පත වාර්තා කොට තිබුනේය. ජාතික ගීයේ දෙමල පරිවර්තනය ඉවත් කිරීම පිලිබද කැබිනට් මන්ඩලයේදී සාකච්ඡා වු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ද පිලිගෙන තිබුනි. කෙසේ වුවද ඒ පිලිබද අවසන් නිගමනයකට ඒමෙන් කැබිනට් මන්ඩලය වැලකී සිටි බවද ඔහු සදහන් කර සිටියේය. මෙම ප්‍රවෘත්තිය දැඩි ආන්දෝලනයක් ජනිත කල අතර එම ආන්දෝලනය කෙතරම් වී ද යත් පසුව මාධ්‍ය හමුවකදී අදාල ප්‍රශ්නය නිශ්චිතව මතු වූ විට රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ඊට සෘජු පිලිතුරක් දීමට අසමත් වූයේ "ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලන්න,ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලන්න" (Refer to the constitution)යනුවෙන් ගොත ගසන තැනකට අවසානයේ තල්ලු වී ගියේය. රජය ජාතික ප්‍රතිසන්ධානයක් පිලිබද චාටු කතා තෙපලමින් සිටින කාලයක එම රජයම ජාතික ගීයේ දෙමල පරිවර්තනය කටු ගා දැමීමේ මෙවැනි තීන්දුවකට එලඹීම සැබැවින්ම ජාතික සමගිය පිලිබද ව්‍යාජ සලු පිලි ඉවත ලා සම්පූර්න නිරුවතින් ලෝකය ඉදිරියේ හිටගැනීමක් හා සමාන සිදුවීමකි.

ඉහත සමස්ථ ක්‍රියාවලිය සලකන විට කෙසේ වුවද තරගයේ වීරයා බවට පත්වන්නට මාන බලමින් සිටි තැනැත්තා අමාත්‍ය විමල් වීරවංශ බව පැහැදිලිය. ඔහු නාමිකව ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමතිවරයාය. නමුත් ඔහු අඩුවෙන්ම වැඩ බලන්නේ ඉදිකිරීම් අමාත්‍යංශයේ වූවා වැන්න. ඒ තරමට සිය විෂයට බාහිර නා නා ප්‍රකාර දේ අරභයා හෙතෙම නිරන්තරයෙන් කාර්යබහුලය. ජාතික ගීය සිංහලට පමනක් සීමා කිරීමේ ව්‍යාපාරයේ ප්‍රධාන උද්ඝෝෂකයා ඔහුය. ඒ වෙනුවෙන් හඩ තලන,ඒ උදෙසා මත සම්පාදනය කරනු වස් මාධ්‍ය වෙත වොයිස් කට් දෙන ප්‍රධාන කථිකයා ඔහුය.

සිය සිංහල ඔන්ලි මෙහෙයුමට පෙර අමාත්‍ය වීරවංශ විසින් පන පොවනු ලැබූ මෙහෙයුම් ගනනාවක් විය. ඉන් දැවැන්ත ප්‍රචාරයක් ලද එක් මෙහෙයුමක් වූයේ ඔහුගේ සුප්‍රසිද්ධ මාරාන්තික උපවාස මෙහෙයුමයි. එය, සියල්ලන් දන්නා පරිදි වීර කාව්‍යයක් හෝ ශෝකාන්තයක් නොවී ජොන්සන් ඇන්ඩ් ගොන්සන් වර්ගයේ කොමඩියක් බවට පත්ව කෙලවර වූවද එම සමස්ථ සිදුවීම තුල,ලංකාවේ සිවිල් යුද්ධය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත්කල ත්‍රිපුද්ගල කමිටුවට එරෙහි ප්‍රධාන භූමිකාව රගපාන ලද්දේ අමාත්‍ය වීරවංශ විසිනි. රටම බලා සිටියේ වීරවංශ දෙසය. පොලිස් මාර්ග බාධක පෙරලා දමමින්,දේශද්‍රෝහී පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින්,එක්සත් ජාතීන්ගේ දොරටුව අසබඩ සිට බැන් කී මූනා ට එරෙහි වහසි බස් දොඩමින් සම්පූර්න සිදුවීමෙහි අවධානය තමා වෙත යොමුකරගනු වස් හේ ක්‍රියා කලේය.

මාරාන්තික උපවාස මෙහෙයුම උනුසුම්ව පුපුරා යද්දී වහ වහා ක්‍රියාත්මක වූ රජය කෙසේ වුවද අමාත්‍ය වීරවංශගේ ක්‍රියාකලාපයෙන් ස්වකීය "නිල ස්ථාවරය" නිරූපනය නොවන බව නිවේදනය කලේය. රජය ප්‍රකාශ කලේ එය වීරවංශගේ පුද්ගලික ක්‍රියාවක් පමනක් බවයි. එය රජයේ "නිල" ක්‍රියාවක් වූවත් නැතත් රජයේ නිල ආශීර්වාදය එම සමස්ථ ක්‍රියාවලිය සදහා නොඅඩුව සපයනු ලැබින. ඉහල නගින පාන් මිල අභිමුව වීරවංශ විසින් ඉක්බිති දියත් කරනු ලැබූ "පාන් පිටි ත්‍රස්තවාදය" පිලිබද මෙහෙයුමේදී එය ද නැවතත් රජයේ නිල ස්ථාවරය නොවන බව ප්‍රකාශ වූයේය. දැන් ජාතික ගීය සිංහලට සීමා කල යුතු බවට මහ හඩින් වීරවංශ ප්‍රකාශ කරමින් සිටී. රජයේ නිල මාධ්‍ය හමුවේදී කෙහෙලිය රඹුක්වැල්ල විසින් ප්‍රකාශ කරන්නට යෙදුනේ එයත් වීරවංශගේ පෞද්ගලික ස්ථාවරයක් මිස රජයේ නිල ස්ථාවරය නොවන බවය. (කෙසේ වෙතත් එහිදී රජයේ නිල ස්ථාවරය කුමක්දැයි කීමට රඹුක්වැල්ලද අසමත් විය. ඔහුගෙන් පිටවූ එකම ස්ථාවරය වූයේ ව්‍යවස්ථාව බලන්න යන වචන දෙක පමනි)

මේ අනුව ඉහත කරුනු අනුව පෙනෙන්නේ "රජයේ නිල ස්ථාවරය" සහ ඊට වෙනස් "වීරවංශගේ නිල නොවන ස්ථාවරය" පිලිබද කතාන්දරය නිතර නිතර කරලියට එන,සිදුවීම් පැහැදිලි කරනු වස් රජය විසින් නිරන්තරයෙන් යොදා ගනු ලැබෙන සමීකරනයක් බවයි. අතුල ලියනගේ ගේ බඹර වලල්ල චිත්‍රපටය මෙම ක්‍රියාවලිය පැහැදිලි කරගැනීම සදහා යොදා ගත හැකි සිත්ගන්නා සුලු රූපකයක් වන්නේය.

බඹර වලල්ල චිත්‍රපටයෙහි එන මැල් මහත්තයා වනාහි මිනී පෙට්ටි වෙලෙන්දෙකි. හෙතෙම ජාතික ඇදුම අදී. ඉඩ ලබන සෑම විටෙකම අසරනුන්ට පිහිට වේ. දුගීන් වෙත අත දීමට සැදී පැහැදී සිටින වැදගත් මහත්මයෙකු වන ඔහු සද්ගුනවත් ව්‍යාපාරිකයෙකි. මුල් බැල්මට පෙනෙන මැල් මහත්තයාගේ මෙම නිල සද්ගුනවත් ලෝකයට වඩා ඔහුගේ නිල නොවන ලෝකය විශාලය. ගැඹුරුය. එම නිල නොවන ලෝකය තුල පිලිමල් ව්‍යාපාරිකයන් ඝාතනය කෙරේ. පාතාල මැරයන් නඩත්තු කෙරේ. ගැහැනුන් ලිංගිකව සූරාකනු ලැබේ. එම නිල නොවන ලෝකයට කෙසේ වුවද මැල් මහත්තයා සෘජුව සමබන්ධ වන්නේ නැත. එම ලෝකය ඒ වෙනුවෙන්ම පුරුදු පුහුනු කරනු ලැබූ ගෝනමඩිත්තේ පොඩි එකා වැනි පුහුනු මෙහෙයුම්කරුවන් හරහා ක්‍රියාත්මක වන අතර ප්‍රසිද්ධ ලෝකයේදී ගෝනමඩිත්තේ පොඩි එකා විසින් සිදු කරන සාපරාධී ක්‍රියාවන් හා මැල් මහත්තයාගේ ව්‍යාපාරය අතර සබදතාවයක් තිබෙන බව පිලිගනු නොලැබේ.

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ වනාහි මැල් නම් වූ මිනී පෙට්ටි ව්‍යාපාරිකයා නම් විමල් වීරවංශ වූ කලී එම ව්‍යාපාරිකයා වෙනුවෙන් සේවයේ යෙදෙන පාතාල ඒජන්තයෙකි. ඉදින් අතෙකින් පෝදා බන අසන ලෝකයට ගොස් දෙමල බසින් දේශනා පවත්වන මහ රජුය. අනෙත් අතින් දෙමල ජාතික ගීය කටුගා දැමිය යුතු බවටත් දෙමලුන්ටද ජාතික ගීය සිංහලෙන් ගායනා කරන ලෙස බලකොට සිටිය යුතු බවටත් මොර දෙන වීරවංශය. අතෙකින් දුටු දුටුවන් ශ්‍රද්ධාවෙන් සනහාලන,මෛත්‍රියේ වටිනාකම සහ අවෛරී දේශපාලනයේ අගය පිලිබද දැහැමි බස් තෙපලන මහ රජුය. අනෙත් අතින් බැලූ බැලූවන් ඇග මවිල් කෙලින් කරවමින් මග දෙපස ධූලි නංවමින් දේශද්‍රෝහී විරුද්ධ පාක්ෂික කුමන්ත්‍රනකරුවන් සුන්නද්ධූලි කල යුතුයැයි මොර දෙන වීරවංශය. අතෙකින් බැන් කී මූන්ගේ කමිටුව වුව උපේක්ෂාවෙන් ඉවසන,තමා වනසනු වස් එන මූන්ට වුවද කරුනා සිතින් ඉඩ හරින මහරජුය. අනෙත් අතින් බැන් කී මූනාගේ බොටුව ගෙන පරසක්වල ගසන බවට දස අතේ ශපථ කරනා වීරවංශය.

බැන් කී මූන්ගේ කමිටුවට එරෙහි විශාල ජන විරෝධයක් ලංකාවේ තිබෙන බව පෙන්වීමට රජයට අවශ්‍ය වූවද එවැන්නක් නිල වශයෙන් සිදු කිරීමේ අවදානම භාර ගැනීමට රජය අකමැතිය. මේ සදහා මේ අනුව වීරවංශ නම් වූ පාතාලයාට කොන්ත්‍රාත්තුව පිරිනමනු ලැබේ. ඉහල යන පාන් මිල අභිමුව විසදුමක් නැතිවන රජයට ඊට විරුද්ධව නැගිය හැකි විරෝධය වෙනතක හරවනු වස් භාවිතා කල හැකි විකල්ප සටන්පාඨයක අවශ්‍යතාවය පවතී. පාන් පිටි ත්‍රස්තවාදය වැනි විකාර අදහසක් රජයට නිල වශයෙන් සූත්‍රගත කල නොහෙන නිසා නැවතත් කොන්ත්‍රාත්තුව වීරවංශ නම් වූ පාතාලයා වෙත පැවරේ. කොන්ත්‍රාත්තුව යම් හෙයකින් අසාර්ථක වූවද රජය අපහසුතාවයට පත් වන්නේ නැත. මන්ද යත් අදාල මෙහෙයුම රජයේ නිල මෙහෙයුමක් නොව වීරවංශගේ පෞද්ගලික මෙහෙයුමක් බව කල් තබා මනාව ප්‍රකාශ කොට තිබෙන හෙයිනි.

සිරස ආයතනයේ අඩු කැඩීම වැනි ඇගේ හයිය අවශ්‍ය කෙරෙන මජර කොන්ත්‍රාත්තු සදහා මර්වින් සිල්වා වැනි පාතාල සත්වයන් කුලියට ගනු ලබන දැහැමි රාජපක්ෂ රජය මාධ්‍ය හරහා ජනමතයට බලපෑම් කිරීම වැනි කටේ හයිය අවශ්‍ය කෙරෙන කොන්ත්‍රාත්තු සදහා වීරවංශ වර්ගයේ පාතාල සත්වයන් භාවිතා කරයි. දත් බුරුසුව කරලියට ආ කල්හි දැහැටි දඩුව ‍පසෙකට විසිව ගියේ යම් සේද,මෙ‍තෙක් ඉහත කාර්යය සදහා භාවිතා වූ රාජිත සේනාරත්න වැනි ඒජන්තයන් වීරවංශගේ ආගමනයෙන් පසු කුනු කූඩයට විසිව ගොස් තිබේ.

සමාජයේ ඉතාම පීඩිත ස්ථරයක උපත ලද විමල් වීරවංශ වනාහි මෑතකාලීනව ලංකාවේ බිහි වූ ඉතාම ප්‍රතිභාසම්පන්න කථිකයෙකු හා සන්නිවේදකයෙකු බවට සැකයක් තිබිය නොහැක. කථිකත්වයෙහි කෙතරම් ශූර වූවද ප්‍රභූන් විසින් පාලනය කෙරෙන දේශපාලන ලෝකය තුල මෙවැන්නවුන්ට හිමිවන භූමිකාව එම ප්‍රභූන්ගේ සුඛ විහරනය වෙනුවෙන් බැල මෙහෙ කිරීම මිස අනෙකක් නොවේ. මේ අනුව සිය සියලු හැකියාවන් සහ ශක්තීන් වීරවංශ විසින් මේ මො‍හොතේ යොදවමින් සිටිනුයේ ස්වකීය මජර භූමිකාව හැකිතාක් හොදින් ඉටු කිරීම සදහාය. වීරවංශ වැන්නවුන්ගේ ආත්ම ගෞරවය දැහැමි මහරජුට බලු නොවටනා බව වීරවංශ විසින් මාරාන්තිකව විරෝධය පලකල බැන් කී මූන්ගේ කමිටුව රජය විසින් පසුව සිඹ පිලිගැනීමෙන්ම පෙනී යයි.

සමාජයේ ඉහලට බඩ ගාගනු වස් ස්වකීය පාංතික මූලයන් අමතක කොට දැමිම ඉතාම පහසුය. නමුත් හුදු පාතාල මැරයෙකු ලෙස කෙලවර නොවී,පිටින් පැමින,ප්‍රභූ සමාජයෙහි ස්වීය අනන්‍යතාවයක් සහිතව තහවුරු වීම සෑම අතින්ම දුෂ්කරය. ගෝනමඩිත්තේ පොඩි එකා මැල් මහත්තයා අබිබවා මිනී පෙට්ටි ව්‍යාපාරය තුල තහවුරු වූයේය. නමුත් හටගනු ලැබූ සියලු සිදුවීම් විසින් පෙන්නුම් කරනුයේ වලව්වේ දොර වීරවංශට අකැප බවත්,වලව් වත්තේ මුරබල්ලාගේ භූමිකාවෙන් ඔබ්බට යාමේ වාසනාවක් වීරවංශ වෙත නොලැබෙන බවත් මිස අනෙකක් නොවේ.

රාමචන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අහම්බෙන් හමුව මහමග කොණෙක
විවර කර අඳුරු හද ලෙනෙහි දොර
හැඟුම් ඕඝය ම'වෙත මුදාහළ
ළඳුණි, සුප්පා කුමට වැලපෙනුද
විවර වූ පසුව ගල් ලෙනෙහි දොර

නොබිඳ ලෙන් දොර ඉතා සීරුවෙන්
ලබා අවසර විවර කළ දොරෙන්
පිටව පියවර තබා හෙමි හෙමින්
අරඹන්න හුරු ගමන හිනැහෙමින්

අඳුරු වන ගැබ කතර නපුරු මිරිගුව රඟන
නුවර කාටත් රවන විසල් කොන්ත්‍රීට් වාසල් පිරුණ
දෙවන රුදු නිය පහර වැදුණු හද නිවාලන
අසිරිමත් මහා ඔසුවක් ලෙසින
වැළඳගත්තී නොවෙද ළඳුණි ඔබ
දිනෙක පෙර ප්‍රේමයේ පිළිසරණ

නිවා හිරු සඳු නේක මිණි රැසින් එළිය කළ
සලා විදුනා සෙමර විජිණිපත්
සිව් දෙසින් එන සුළඟ මුවා කළ
පවුරු බිත අලෙව්දුන් සුඳ'ඟරින්
ලොවෙක නෙත් වහා ඇද වසඟ කළ
ඇත්ත, ළඳ කොතැන වුව කාට වුව
විටෙක ගල් ලෙනෙකි දොර වසන ලද කුළ ගෙදර

පුතුන් කරඳඩු වැඩුණු නගා ගොර බිරම් හඬ වියරුවෙන්
බිඳින්නට පෙර සෙමෙන් බලා කල් යල් විවර කළ දොරෙන්
පිටව පිය පොඩි තබා මග දිගේ ඉතා සකසුරුවමින්
යාම යෙහෙකිය යළිත් හුරු ගමන
දැන හැඳින අතුරු අනතුරු රැඳුණු නුවර මැද සීරුවෙන්.

සජීවනී කස්තුරිආරච්ච්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පවිටු පුළුටු ය විසි කෙරුණු කිළුටූ
ගොඩ ගැසූ නෙත් මානයේ දැවටූ
බිඳී දැහැනම සිහිනයේ විසිරූ
ඇටසැකිලි වම් අතට දැමු අගුළුෑ

"යදී දෙවොලේ නො මැති දෙවිඳුන්
අලුත් අවුරුද්දට
එක් කොට ප්‍රාර්ථනාවක් සේ
සුබ!"

ඉරි ඉරී රැස් පෙරෙන
පෙරි පෙරී දිය හැලෙන
පුංචි කූඩාරම් මාලිග
පෝලිම් දිග ලැග හති අරින
අම්මාවරු වන්නට තතනන අම්මාවරු
වාරු නැති කුස තබා සුරත මත
වාව ගනු නොවු හදවතක් ගෙන
එල්ලෙනා කිරි පැටව් දුව විත්
පටලවා ගත් සාරි කඩමළු තුරුල්ලේ සැංගී
අලුත් අවුරුදු සුබ පැතුම ද
ඇහිද ගන්නට සොයයි හාරා අවුස්සා
මිනී පුරයක් වළ දැමූ තැන
අරලියා ගස වැරූ මල් මත්තෙන්.

සුසුම විසුලන අවරදිග අර
පාළු අහසට නැංඟ තුඟු හිස
සිඟිති පියපත් සල සලා හුන්
තිලක බොඳ කර වැස්ස වෑහුණි
උරිස් බිඳ දා කඳුළු බොර වුණි
දෙපා ඇද වී ලණු පොටක් වුණු
ළදැරියක් වෙයි හිනා අහිමිව
දෑසෙ පොපියන ගැටළු ඉහිරන
කරකවා ඔත් පෑලදිග හිඳ
වෙව්ළනා දෑතින් වරින් වර
හඬවනා දුක් කඳුළු නූපුර.

ඉහින් දා විත් දාදියත් පැන
දරා ගනු බැරි පඩිපතට වැද
නඟන කෙඳිරිය කඩපොලේ මැද
උහුල්ලා වළඳන්න හැකි වෙද
අලුත් අවුරුදු නැකත කොයිබද
බක්මහේ නොව දුරුත්තේ එන
දුරුතු පුන්සඳ මකා දා අර
නැඟෙන්නේ ගණ අමාවක සඳ
අලුත් සළුවෙන් දෙපය තෙක් පොරවා.

පරණ අවුරුද්දට පණ ගෙනෙනු බැරුවා.

ඔසවගන්නට බැරිය බිල්පත
රක්ත පෑ ඔරවාන වද දෙන
සරදමට අකුරුත් හිනා වෙන
තැනින් තැන ලොකු ඉලක්කම්
ඇවිත් ඇසගට ඔලොක්කම්
හාමතේ තළු මරා පරපුර
අලුත් අවුරුදු සුබ පැතුම් පොදි
තබා යයි දොර කවුළු අද්දර
නෑගමන් නැති හිනා පොඩි කර.

දෙවොල අහිමි ව දෙවිඳු හැර පිය
රජිඳු කෝ දෙව් අසුන සරසන
කුමට මොක වුව සිරස වැඳ පුද
යදිමු මළසුන තබා සත්මල්
සඳුන් සුවඳින් නහව නහවා
අඳුන් හෙමිහිට ගාව ගාවා
හඳුන් කූරක අළුය පුරවා
ගිනි පුපුරු යට දෙවිඳු කෝවා
අලුත් අවුරුදු ආවාඩාවා!!!

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|





අචල ජාගොඩ ජනිපෙන් ඉවත් වෙයි.
-පුවතක්


මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
නැමිලා නැමිලා කැඩුවා කැඩුවා පුරවලා මලූ
විමලෙටයි මටයි මුළු ගොඩත් මදී
වැඩිය කන්නෙ විමලෙ නිසා මං යන්ට යමී

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පසුගිය අවුරුදු කිහිපය තුලම ලෝකය පුරා සාහිත්‍යය ලෝලීහු ඔක්තෝබර් මාසය වන විට මරි‍යෝ වර්ගාස් යෝසාගේ නම සිහිකරන්නටත්, ඔහුගේ නම පුවත්පත්වල දකින්ටත් පුරුදුව සිටියහ. ස්‍ටොක්හෝම් නුවරින් එන ප්‍රවෘත්තිවල ඔහුගේ නම නිතර සඳහන් විය. ඊට හේතුව සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය ඔහුට හිමිවේය යන අනුමානයයි. ලතින් ඇමරිකානු සාහිත්‍යය නොබෙල් ත්‍යාග ගණනාවක් දිනා ඇතත්, එහි ඊළඟ හිමිකරු වර්ගාස් යෝසා විය හැකිය යන්න විශ්වාස කරන්නේ ඔහු උපන් පේරු ‍රටේ ජනතාව පමණක් නොවේ.
මරියෝ වර්ගාස් යෝසා දැනට ලතින් ඇමරිකානු රටවල සිටින ප්‍රධානතම ලේඛකයන් තුන්දෙනාගෙන් කෙනෙකි. ගේබ්රියෙල් ගාර්සියා මාර්කේස්, (කොලොම්බියාව) කාර්ලෝස් ෆුවෙන්තේස් (මෙක්සිකෝව) මාරියෝ වර්ගාස් යෝසා (පේරු) ඒ ති‍දෙනාය.

ලතින් ඇමරිකානු රටවල හිඳිමිනුත්, ඒ රටවලින් ‍යුරෝපයටත් ඇමරිකාවටත් සංක්‍රමණය වී වෙසෙමිනුත් ලේඛනයෙහි යෙදෙන සිය ගණනක් අගනා ලතින් ඇමරිකානු ලේඛක ලේඛිකාවන්ගේ වැඩිහිටි පරම්පරාවට මාරි‍යෝ වර්ගාස් යෝසාද අයිති වේ. 1936 දී ‍උපන් ඔහු 1953 දී නීතිය හැදෑරීමට විශ්වවිද්‍යාලයට පිවිසියද, නිතීඥ වෘත්තිය අතහැර , 1958 දී ස්පාඤ්ඤයේ විශ්වවිද්‍යාලයකදී සාහිතයවල පිළිබඳ ආචාර්ය උපාධියක් හදාලේය. ඔහුගේ අචාර්ය උපාධි නිබන්ධනය ගේබ්රියෙල් ගාර්සියා මාර්කේස් ගේ කෘති පිළිබඳය. එම කෘතිය ගාර්සියා මාර්කේස් ගැන ලියැවී ඇත විශිෂ්ඨ අධ්යකයනයක් ලෙස සැලකේ.

නව යෞවන වියේදී ඇරඹි වර්ගාස් යෝසාගේ සාහිත්‍යය ජීවිතයෙහි ඇති එක් ලක්ෂණයක් තමන් අන්ත දරිද්‍රතාවයෙහි ගැලී සිටින යුගයන් හිදී පවා, තමන් ස්වකැමැත්තෙන් තෝරා ගත් ලේඛක වෘත්තිය කැපවීමෙන්ද බරපතලකමින්ද සැලකීමය. " සතයක් අතේ නැතිව " සිය පළමු නවකතාවේ දෙවැනි අත් පිටපත ලියද්දී පවා, ඒ නවකතාවට පසුබිම වන දේ, විෂය වන දේ ගැන නොයෙකුත් පොතපත කියවීමට ඔහු පුරුදුව සිටියේය. මෙය වූ කලි ඔහුගේ ලේඛක ජිවිතය පුරාම පැතිරුණු පුරුද්දකි. තමන් ලිවීම මිස කියවීම නොකරන බව ලංකාවේ නවකතාකරුවෝ පුවත්පත්වලට පවා කියති ! සිංහල හැර අන් බසකින් නොකිවන අයට පවා විශ්ව සාහිත්‍යයයේ නො‍යෙක් විශිෂ්ඨ කෘති දැන් සිංහලයෙන් පළ වී ඇත. එම පරිවර්තන කෘති ආඛ්‍යාන කලාමය වශයෙන් විචිත්‍රත්වයක් දක්වයි. දර්ශනීය පිටකවරවලින් සැරසුණු අලෙවි භාණ්ඩයක් සීමාවෙන් එහා ට යන්නට එම කෘතිවලට හැකිවී නොමැති බවට, එම කෘතිවල බලපෑමක් අලුතින් ලියවෙන නවකතා මත දැකිය හැකි නොවීමෙන් පෙනේ. සාහිත්‍ය පරිවර්තනයද, සමාජමය කතිකාවලට දායක නොවූ හුදු ගෘහ කර්මාන්තයක් බවට පිරීහී තිබේද? තරුණ නව කතාකරුවෙක් වෙත කෘතිය කියවන ලේඛකයෙන් විසින් වටහා ගනු ලැබිය හැකි වන දෙයක් නම් හොඳ ලේඛකයෙක් වීම සහ හොඳින් කියවීමත් ගසට පොත්ත මෙන් බැඳී ඇති දෙයක් බවයි. ලේඛකයන් කියවීමේ ප්‍රධාන අරමුණ ‍ඔහුගේ ලේඛන පෝෂණය කිරිමය.


"මැරිච්ච කිරි අම්මල සීයකටවත් වඩා තමන් ලියමින් ඉන්න නවකතාව වටිනවා" යැයි කවදත් උපහාස රසයෙන් අනූන ඇමරිකානු ලේඛක මාර්ක් ට්වේන් වරක් කීවේය. ඉන් ට්වේන් අදහස් කළේ ප්‍රබන්ධ රචකයා ඉතා ආත්මාර්ථකාමී ස්වයං විනයකින් යුතුව ලේඛනයනට කැප විය යුතු බවයි. "කිරි අම්මගේ මළ ගෙදර යන්න, එහා ගෙදර මනුස්සයගේ නෝනගේ තාත්තාගේ මළ ගෙදර යන්න ලිවීමේ කාලය නාස්ති කිරීම නොකළ යුතුය" යන්නයි ට්වේන්ගේ හැඟවුම වූයේ. මාරි‍යෝ වර්ගාස් යෝසා එවැනි ස්වයං විනයකින් යුතුව ලේඛනයට කැපවූ ‍ලේඛකයෙකි. ඒ නිසා ඔහු වයස අවුරුදු තිහ වන විටම ලතින් ‍ඇමරිකාවේ ප්‍රධාන ලේඛයන්ගෙන් කෙනෙක් බවට පත් වූයේය. ඒ වයසේදී ම ඔහු ලතින් ඇමරිකානු ලේඛකයෙක්ට පිදෙන උසස්ම ත්‍යාගය දිනා ගත්තේය. ඉන් පසු නොකඩවා වැඩුණු ඔහුගේ කීර්තිය නොබෙල් කමිටුව වෙතත් ළඟා වී ඇති අතර ඔහුගේ සියළුම කෘතීන් පාහේ ඉංග්‍රීබසට පරිවර්තනය වී ඇත. මෙම සිංහල පරිවර්තනය පළකිරීම සඳහා මා ඊමේල් මඟින් ඔහු අමතන විට සිය නවතම නවකතාව පළ කරන්නට සූදානම් වෙමින් ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර සිටියේය. ඔහු වැඩි වශයෙන් වාසය කරන්නේ ලන්ඩන්, පැරිස් සහ මැඩ්රිඩ් නුවරවලය. කැපවීමෙන් යුතු ලේඛනයත්, තීක්ෂණ බුද්ධියෙන් යුතු ලේඛන කුසලතාවත්, ඔහුට කිර්තිය සේම ධනයද අත්පත් කරදී ඇති බැවින් ‍ලෝකයේ ප්‍රධාන නගර තුනක වාසය කරන්නටද ඔහුට හැකිවී ඇත්තේය.

අද කීර්තියත් ධනයත් ඇත්තේ වුවද 1950 ගණනන්වල මැද හරියේ, එනම් ඔහු ලේඛන කලාව ඇරඹි කළ ඉමහත් ආර්ථික දුෂ්කරතා වින්දේය. සිය සැබෑ ජීවන ලාලසාව වූ සාහිත්‍යය වෙනුවෙන් නීතිඥ වෘත්තිය කැප කිරීම ‍ඊට වඩාත් හේතු විය. ඔහු නොයෙක් අර්ධකාලීන රැකියා කෙරමින්දෙ, පුවත්පත්වලට ලියමින්ද දුෂ්කර ජීවිතයක් ගෙව්වේය. මේ දුෂ්කර කාලය තුලදීම, ඔහු සිය ප්‍රථම නවකතාවේ පිටු 1500කින් යුත් අත් පිටපත් කිහිප වරක් ලියන්නටද මෙහෙය වූවේය. එහෙත් ඔහු වෙත පහසු ජීවිතයක් ගෙවිය හැකි තරම් අදායමක් ලැබෙන්නට කියවීමෙන්ද, ලිවීමෙන්ද, යළි යළි ලිවීමෙන්ද යුතු තවත් දුෂ්කර අවුරුදු දහයක් තරම්ම ගත විය. " ආධුනික අවදිය" කියා දෙයක් නොමැතිව " එක රැයෙන් " ලේඛකයන් වී වසර නවකතා දහස පහලොව ‍ලියන අද්‍යතන සිංහල ලේඛකයන් ට වර්ගාස් ‍යෝසාගේ ජීවිතයෙන් බොහෝ දේ ‍ඉගෙන ගත හැකිය.

වර්ගාස් යෝසාගේ තීක්ෂණ බුද්ධිය යනුවෙන් මා හැඳින්වූ අංගය මෙහෙදී අවධාරණය කරනු ලැබිය යුතුය. තමන් ලියනු ලබන වස්තු විෂය මත සැම අතින්ම ස්වාමීත්වය දරන්නට ලේඛකයාට උපකාර වන්නේ විචාරතාමක බුද්ධියයි. මේ ගුණය වර්ගාස් යෝසාගේ කෘති තුල නිතර දැකිය හැකිය. එය වඩාත් වැදගත් වන්නේ වර්ගාස් යෝසාගේ කෘති කාටත් වැටහෙන සරල, කතා කීමේ කලාවක් අනුගමනය කිරීම නිසයි. කතා කීමේ කාලාවේදී ඔහු කරන අත්හදා බැලීම් කෙරෙන්නේ සරලත්වය, කතන්දර කීම යන ගුණ පාවා නොදෙමිනි. මේ අගනා මිශ්‍රණය සඳහා ප්‍රතිභාව සේම විචාර බුද්ධිය අවශ්‍යම ‍වේ. එය කරන හැටි මෙම කෘතියෙදී ඔහු මැනවින් විස්තර කරයි. ටී. ඒස් එලියට් වරක් කි ලෙස ලිවීම සඳහා " අතිශයින් බුද්ධිමත්වීම හැරණු විට අන් ක්‍රමවේදයක් නැත. " යන කියුම වර්ගාස් යෝසාගේ කෘති සම්බන්ධයෙන් මැනවින් ගැලපේ.

වර්ගාස් ‍යෝසාගේ නවකතා කලාව තුළ සිංහල නවකතා වෙහි දැන් කලාතුරකින්වත් දක්නට නැති ලක්ෂනයක් වන බුද්ධිමත් හාස්‍ය අඩංගුවේ. සමහර විට ලෝක නවකතා කලාව තුළ ම ඇති හාස්‍යය ජනක කෘති අතර තැබි ය හැකි ඔහු ගේ ආන්ට් ජූලියා ඇන්ඩ් ද ස්ක්‍රිප්ට් රයිටර් (1977) නවකතා විශේෂයෙන් සඳහන් කළ යුතුය. කතා රේඛා දෙකක් එකට සමාන්තරව ගොඩ නැගෙන මෙහි එක් කතා රේඛාවක එන්නේ තරුණ ලේඛකයෙක් සිය නැන්දණියක සමඟ ප්‍රේමයෙන් වෙලීමයි. මේ ප්‍රේමය වර්ගාස් යෝසාගේම ප්‍රේමයක කතාව බව පසු කලෙක ඔහු ගැන ලියවුණු දේවලින් හෙළි විය. දෙවන කතා රේඛාව ගොඩනැ‍ඟෙන්නේ පේරු ගුවන් විදුලියක විකාශනය සෝප් ඔපෙරා මාලාවක් මඟිනි. කතුවරයා මේ කතා රේඛා දෙක එකට ගොතමින් නවකතාවේ කතාව සාදයි. මෙහිදී විවිධාකාර හාස්‍යමය අවස්ථා මතු කරන්නට වර්ගාස් යෝසාට හැකිවෙයි. ඔහුගේ ඊට කලින් නවකතාව වූ කැප්ටන් පන්තොහා ඇන්ඩ් ද ස්පෙෂල් සර්විස් (1973) නවකතාවද හාස්‍ය රසයෙන් අනූනය. පේරු යුධ හමුදාව උපහාසයට ලක් කරන එහි එන්නේ, පේරු රටෙහි උතුරු නැගෙනහිර පළාත් වල සිටින හමුදා භටයන් ඒ පළාත්වල තරුණියන්ට ලිංගික අතවර කිරීම වැලැක්වීම සඳහා නීතිමය ගණිකා වෘත්තිය ඇරඹීමේදි, එය ඉතා සාර්ථක විමේ ද හාස්‍ය ජනක පුවතය. මෙවැනි නවකතාවල හාස්‍ය " බුද්ධිමත් හාස්‍ය" යැයි මා කලින් හැඳින්වූයේ එමඟින් නවකතාවට අදාල ජීවිතය, ආයතන, බලධරයන් තියුණු විචාරයකට ලක්වන බැවිනි. වර්ගාස් යෝසාගේ සාහිත්‍යයෙහි මෙම අංගය සවිඥානික සම්බන්ධක අංගයක් බව ඔහුගේ නොයෙක් ප්‍රකාශයන්ගෙන් පෙනේ. මේ එවැන්නකි.

"සාහිත්‍ය සාමාන්‍යයෙන්, නවකතාව විශේෂයෙන්ම අසන්තෘප්තියේ ප්‍රකාශයයෝ වෙති. සාහිත්‍යයෙහි ප්‍රයෝජනවත් බව මූලික වශයෙන් රඳා පවතින්නේ ලෝකය (සමාජය) සෑම විටම සාවද්‍ය බවත් ජීවිතය නිරන්තරයෙන්ම වෙනස් විය යුතු බවත් ජනතාවට මතක් කර දීමට සාහිත්‍යයට ඇති හැකියාව මතය "

ඔහුගේ ප්‍රථම නවකතාව වූද ටයිම් ඔෆ් හීරෝ (1963) කෘතිය තුළදී පවා වර්ගාස් යෝසා බලය, ආයතනික ආධිපත්‍යය වැනි දේට එරෙහිව සවිඥානිකවම ලියුවේය. පේරු රටෙහි හමුදා විද්‍යාලය තුළදී ඔහුම ලද අත්දැකීම් විස්තර කරන මෙම කෘතිය එම විද්‍යාලයෙහි කුරිරු හිංසක ස්වභාවය හෙළි කරයි. ඒ නිසා එය පළවූ වසරේදී ඉන් පිටපත් දාහක් අර හමුදා විද්‍යාල භූමි තුළදී උත්සවාකාරෙයන් පුළුස්සා දමන ලදී. එහෙත් එම කෘතිය එකළ ලතින් ඇමරිකානු රටවල විසූ ප්‍රවීණ ලේඛයන් හා විචාරකයන්ගේ ප්‍රශංසාව දිනාගත් අතර ජත්‍යන්තර ත්‍යාග දෙකක්ද ලද්දේය. 1967 දී රොමුලෝ ගලාගෝස් ත්‍යාගය පිළිගනිමින් ඔහු කළ " සාහිත්‍ය යනු ගින්දරයි " යන ප්‍රකාශය බොහෝ දෙනෙකු විසින් බොහේ වරක් උපුටා දක්වනු ලැබිණි. එය සිය ප්‍රථම නවකතාව ගිනි තැබු හමුදා බලධරයන් එල්ල කොට, සැබෑ ගින්දර ඇත්තේ හමුදාව අත නොව සාහිත්‍යකරුවා අතබව යැයි කීමක් වැනිය. එය සාහිත්‍ය යෙහි ඇති කැරළිකාර ගුණද තරුණ වර්ගාස් යෝසාගේ උණුසුම් සමාජවාදී අදහස් ද ප්‍රකාශ කිරීමකි.

1969 දී රචිත කොන්වර්සේෂන් ඉන් ද කැතීඩ්‍රල් නවකතාව ලතින් ඇමරිකානු නවකතාකරුවන්ද විචාරකයින් නිතර කතා කරන " සම්පූර්ණ නවනකතාව " යන්න සාක්ෂාත් කරගැනීමට දැරුණු තැතකි. "සම්පූර්ණ නවකතාව " යනු සිත් ඇදගන්නා සංකල්පයක්. ඉන් අදහස් කෙරෙන්නේ අදාළ රටක, යුගයක, සියළු අංගවල සමස්තයම නවකතා පඨිතය තුළට හසුකරගැනීමයි. ගාර්සිය මාර්කේස්ගේ වසර සියයක හුදකලාව, කාර්ලෝස් ෆුවෙන්තෙස්ගේ ටෙරා නොස්ත්රා. මෙවැනි සම්පූර්ණත්වයක් සහිත නවකතා ලෙස සැලකේ. මෙම නවකතාව ඇරඹෙන විට, 1960 දී දෙතිස් වියැති සන්තියා ගේ සාවාලා සහ ගේ පියාගේ රියදුරා වු ඇමිබ්රොමසියෝ අතර සංවාදයක් ඇති වෙයි. ඔවුන්ගේ සංවාදය කඩින් කඩි අතීතයට පනිමින් ජෙනරාල් මැනුවෙන් ඔ ද්රියාගේ හමුදා පාලනය ය‍ටතේ පෙරු රෙටේ ජීවිතය ගැන කතාවක් කියයි. මේ නිසා, මෙම නවකතාව විසිවන සියවසේ මුල්දශකයේ එ‍රට ඉති හාසයෙහි "සම්පූර්ණත්වය" හසු කර ගැනීමකට තැත් කරයි.

"සම්පූර්ණ නවකතා " (Total Novel) යන යෙදුම පශ්චාත් නූතනවාදීන්‍ගේ නොසතුටට හේතු වන්නකි. සම්පූර්ණ නවකතාව යන " මහා ආඛ්‍යාන " යන්නට සමාන බැවින්. අධිකාරවාදි කේවල සත්‍යයක්, තනි ලේඛක - කථක අධිපතියෙකුගේ ආධිපත්‍යයවත් පර්යාලෝකයට හසු කළ "මහා තනි ආඛ්‍යානයේ" තනි සත්‍ය , ඒකීය සත්‍ය, ප්‍රශ්ණ නොකළ හැකි සත්‍ය ස්ථාවර කරති; රකිති. එහෙත් ලතින් ඇමරිකානු " සම්පූර්ණ නවකතා " ලියන්නට තැත් කළ ගාර්සියා මාර්කේස්ට, ෆුවන්තේස් සේම වර්ගාස් යෝසාද මහා ආඛ්‍යාන, ඇති ආධිපත්‍යධාරි බල කතිකාව ගැන සවිඥානිකය. ඔවුන්ගේ " සම්පූර්ණ " සංකල්ප යනු විවිධි ශබ්දයන්ගෙන් කටහඬින් , කුඩා ආඛ්‍යාන වලින් බහුවිධ සත්‍යයන්ගෙන් සැදුනකි. එකිනෙක ගැටෙන , එකිනෙක කැපෙන, එකිනෙක තරඟ කරන බල කතිකා, සත්‍යය සමස්ථ ප්‍රබන්ධ ව්‍යූහයක් තුළට අඩංගුකර ගැනීමට මෙම ලේඛකයෝ තැත් කරති, කුඩා කතිකා වල ආධාරයකයද, නිවහනද වන මහා කතිකාව (ආඛ්‍යානය) ද රැකගෙන ,ඒ මහා කතිකාව මත රඳා පවතින අතරම එය ප්‍රශ්න කරන , එයට එරෙහි වන තවත් කතිකා සමස්ථයක් තුල හසු කරගැනීමට ඔවුන් ප්‍රයත්ත දරති. එනයින් මෙම රචකයෝ පශ්චාත් නූතන ප්‍රබන්ධ රචකයන් වන අතරම , පශ්චාත් නූතන වාදයේ විචාරකයෝද වෙති.


වර්ගාස් ‍යෝසාගේ උක්ත නවකතාවේදී පේරු රටෙහි පනස් වසරක තරම් " ඉතිහාස" කියවෙන්නේ, එහි ක්‍රියාදාමයන් නාභිගත කෙරෙන්නේ තනි, ඒකීය සහ ආධිපත්‍යධාරි කථකයෙකු තුලින් නොවේ. කතාව , අඩු තරමින්, චරිත පහක් වත් ඔස්සේ කියවෙයි. මේ නිසා කතාව කියන්නේ කවුද, කාටද, කොතැනදීද, කවර හේතුවක් නිසාද යනාදී ප්‍රශ්ණ මාලාවක් ම ඇසිය හැකියි. ගම්පෙරළිය, නවකතාවද ලංකාවේ එක්තරා යුගයක ඉතිහාසය ගැන කියතත්, ඒ නවකතාව වෙතින් ඉහත ප්‍රශ්න එතරම් සංකීර්ණ ලෙස ඇසිය නොහැකිය. එහි එක් තනි සර්වවේදී කථකයෙක් සිටියි. "සියල්ල " දත් ඔහු කිසිවක් නොදන්නා පාඨක අපට කතාව කියයි.

ඒ අර්ථයෙන් ගත් කල, අපගේ ගම්පෙරළිය ක්‍රිස්තියානි මහා ආඛ්‍යානයක අභ්‍යන්තරික ව්‍යූහය දරයි. 19 වන සියවසේ , යථාර්ථවාදී නවකතාවේ ව්‍යූහය චින්තනය සකස් වීමට ක්‍රිස්තියානි අර්ථයෙන් ලෝක විනාශ සංකල්පය දායකවී ඇත බව කීත් බුකර් පෙන්වා ක්‍රිස්තියානි සම්ප්‍රදාය තුළ ඉතිහාසයේ පරිපාකය ලෝක විනාශයයි. සාම්ප්‍රදායික යථාර්ථවාදී නවකතාව තුලදී ආඛ්‍යාන සිද්ධි දාමයේදි අවසාන පරිපාකය සංකේතමය ලෝක විනාශයකි. ඇමරිකානු විසංයෝජන ගුරුකුලයේ සාමාජික ජේ.හිලිස් මිලර් පෙන්වා දෙන පරිදි යටකී ක්‍රිස්තියානි ඉතිහාස සංකල්පයත්, තාර්කික ඉතිහාසයක් පිළිබඳ හේගල් ගේ අදහසුත්, ප්‍රබන්ධ කතාව පිලිබඳ බටහිර ආකල්ප බෙහෙවින්ම සකස් කරන නිසා, ප්‍රබන්ධ ආකෘතියේ ඒකීයත්වය, සම්පූර්ණත්වය,කාලමය අඛණ්ඩත්වය, රේඛීය කාල විකාශය, සජාතීයත්වය, ආරම්භය සහ අවසානය යන බටහිර සංකල්ප තුළට අර යට කී සාම්ප්‍රදායික චින්තනය කා වැදී ඇත. වර්ගාස් යෝසා ඇතුළු යට කී ලේඛකයන් තම "සම්පූර්ණ කතාව" යන සංකල්පය වර්ධනය කරන්නේ මෙවැනි නිරායාසයෙන් ප්‍රබන්ධ කතාව තුළට කඩා වදින ආචීර්ණ කල්පික ව්යූනහමය පරිකල්පන බිඳ දැමීමටය. එය සිදුවන්නේද නැද්ද යන්න වෙනමම ප්රතශ්නයකි. ගම්පෙරළිය වැනි නවකතාවක් නම් යට කී ආචීර්ණ කල්පික ව්‍යූහමය පරිකල්පන ප්‍රශ්න නොතකා රකියි. මෙවැනි කේවල ආඛ්‍යායන වල ඇති ගැටළුව එය ක්‍රිස්තියානි වීමවත්, බටහිර වීමවත් නොවේ. එය මහා ආඛ්‍යානමය වීමයි. සජාතීය, කේවල ආඛ්‍යානයක් වීමයි. අජිත් තිලකසේන, සයිමන් නවගත්තේගම දෙදෙනා ආඛ්‍යානයක අවිඥානයේ පවතින ව්‍යූහමය සජාතීයත්වය බිඳින්නට සවිඥානික ප්‍රයත්න දැරුවෝ වෙති. මෙවැනි නිර්මාණාත්මක ප්‍රයත්න වෙත අන්ධ ඇතැම්හු ගම්පෙරළියේ ව්‍යූහමය පරිකල්පනයෙහි වන සජාතීයත්වය රකින්නෝ පමණක් නොව, මහා වංශයේද මහා ආඛ්‍යානමය චින්තනයද රකිති. එහෙයින් ආඛ්‍යානවල ව්‍යූහමය සමීපව කියවීම මෙකල අතිශය දේශපාලනික ක්‍රියාවක් වේ. එහිලා තරුණ නවකතාකරුවෙකු වෙත කෘතියෙන් ආරම්භක අධ්‍යාපනයක් ලැබිය හැකිය.

උපුටනය- ලියනගේ අමරකීර්ති පරිවර්තනය කළ 2010 වසරේ නොබෙල් සම්මාන ලාභී මරි‍යෝ වර්ගාස් යෝසාගේ "තරුණ නවකතාකරුවෙකු වෙත" කෘතියෙනි. [හැඳින්වීම් සටහන]

ලියනගේ අමරකීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉරක් නොනැගි ජීවිතයේ
කළු අහසේ
හිමි සඳ වළලා
ඒ මරණේ වන්දි ගන්ට
කළුතර ලොකු ඔපීසිවල
කොච්චර නම් බඩ ගෑවද?

අතුල් පතුල් හම යනකං
ගිං ගංඟා තොටේ ඉඳං
කළුවර දිය සහ ගං දිය මුහු වන තුරු
තට්ට තනියමේ
රෙදි කඳ ඇපිල්ලුවා

ලද සොච්චං කාසි පනං
දිය කර කර ලියුං අරං
බසයෙන් බසයට දුවමින්
විටෙන් විටට කල් මරමින්
දින සුමාන මාස ගණන්
කොරිඩෝවල දුක් වින්දා

gඅම්මණ්ඩියෙ අදත් බැරිය
පස්සෙ බලමු” කිව්ව කලට
කච්චේරියෙ ගල් බංකුව උඩ ඉඳගෙන
අහක බලං - අහස බලං
හීල්ලුවා

අවුරුද්දෙදි ඒ ගත වුණ
ජීවිතයේ ගණ කළුවර
තරු වීදුරු කටු ඇන ඇන
තුවාල කර ලේ හල හල
වලා වෙලුම් පටි බැඳලා
අහසට දුන් වධ බෝමයි

අන්තිමේදි සඳේ මුහුණ
ගොඩ ඇවිදින් සිරියාවට
හිනා වෙච්ච පෝය දාට පස්සෙන් දා
හිනා කටින් කීට ඉරක් ජනිත වුණා

කච්චේරියෙ පංකා යට
වන්දි සල්ලි ගණන් හදා
ඔන්න කතා කරයි
ක්ලාක් මහත්තයා

සුදු කොළයේ කළු ඉරි උඩ
පෑන තියා තැන පෙන්නා
මෙන්න මෙතන හනි හනිකට
අත්සන ගහපනැයි කියා කියන කලට..

සාරි කබල පොරවාගෙන
නෑහුණ විදියට හිටියා
ඇඳිරි හදේ සුසුම් හමා
ඇසි පිය යට වැසි වැටුණා

කෝප වෙලා අඩි හප්පා
බැණ වදියිද මේ ඇත්තෝ
දැන් මේ අත්සන
ගහන්න බෑ කිව් විට

කොහොම ගහන්නද අත්සන
කොහෙන් ගේන්නද දෙයියෝ
ගිං ගං තොට
කිඹුලා ඩැහැ ගෙන ගිය අත!

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සුපිරිසිදු
හිම මත
මිළ අධික
අඩි තිය තිය
ඇවිදින විට
පසක් විය මට
ලස්සන යුරෝපයේද
ජීවිතය
ලිස්සන බව

ජගත් වික‍්‍රමආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගලා යන්න ගඟකට දහඩිය හෙළපු
සලා දුලා නා දල්ලට පිනි තියපු
මලානිකම තුරු සිරසට මල් ඉහපු
වලාකුළයි නුඹ වැටෙනට බිම හොයපු

දොළෙන් සංහි‍ඳෙන් තෙත ගත් හද මඬල
සිහින් අකුණු සරටත් ඇස දිය විසුල
තෙලෙන් බැදන් කිරි කන නුවරක අපුල
සැලෙන්නැති අතින් තිර මත කවි කෙරුව

රොද බැඳි සකි කැළ හා විඳ සඳ වතුර
කඳුළක් වෙද ළය ගුලි කොට මුතු තැනුව
අග පිපි මල් මග හැර කල් හැරි මිතුර
මග බැලුවෙද එනු දැක හිමිදිරි තරුව

අහස විසල්, ඔව්! නුඹ මේ කුළ බැවිනි
රහස යනුම වැසි වැටෙනා එක පමණි
නොවැස මෙතෙක් සෙනෙහස රැස් කළ සඳුනි
අහස පොළොව හමුවෙන තුරු වැසි පතමි

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වේදනා කොහිද නැත වත මඬල පිපී එයි
පළමු රන් හිරු එළිය මල් කැකුළ සිප ගනියි
කිරි සුවඳ දැනී එබි එබී ඉස්සී බලයි
කිරි ශිරා දිය වෙමින් හිරු එළිය දෝරෙ යයි

රැය වින්ද දුක මලක් වෙලා පෙති දිග හැරේ
කිරිළු පැලැඳූ පුතා පෙති මැදින් මෝදු වේ
ඇඟිලි හිරු කිරණතර උණුහුමට තුරුළු වේ
බිම වැටුණ පිණි පොකුරු සිනා පලඳා ගනී

පාත් වී පාන් තාරකා නළලත සිඹියි
විහඟ ඇස ඇරෙයි ගී ඇසෙයි ජය මංගලම්
හැම ගහක පඳුරකම අම්මෙකුගෙ හිනාවයි
මාතෘ වාට්ටුව සොඳුරු දෙනිපෙතක් වෙයි

එදා දුර පියාඹා යද්දි සඳ එළිය යට
සැඟව කළු සළුව තුළ එරෙව් නෑ ගිරි සිකර
හැර දමා හද වැසුණ මීදුමේ ගන තිමිර
ප්‍රේමයෙන් භරිත වී පෙනේ ගලනා කඳුර
සඳට හිමි නැති වුනත් මේ උදෑසන අහස
සඳේ ආදරය ඇත පෙති මත්තෙ හැම තැනම

දවස බිහි කරන්නට විළි ලෑව ගන අඳුර
හැලූ පිනි කඳුලු නුඹ අතේ ගුලි කරමි පුත
කව් ගීත නාඳුනන මල් පතන බඹරුන්ට
කියා දෙනු පිණිස හෙට උදෑසන මල් සුවඳ

ගැමුණු පී. දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බොහෝ මිනිසුන් ආ ගිය
පළල් පාරට
ඈ නිවහනේ දොරටුව
නිරතුරුව විවර වී තිබිණි

ඇතැමෙක්
පැමිණියේ හිස් අතිනි ...
පිටව යන විට
මල් ද අතු ඉති ද
රැගෙන ගියහ
ඇතැමෙක්
පිය සටහන් පමණක්ම
තබා ගොස් තිබිණි

වසන්තය
පැමිණ ආපසු ගියේය
වස්සානය ද
පැමිණ ආපසු ගියේය
ඉඳහිට
ගිම්හානයද
නො ආවා නොවේ ...

කටුක ගිම්හානයක දී වුව
පුළුල් ඈ හද පත්ල
අත පත ගාන යමෙකුට
මලක් හෝ දෙකක්
නෙළා ගත හැකි විය

නිතිපතා
පැමිණි අය වෙත
සාද සංග්‍රහය පවත්වන විට
ඈට ඈ අමතක විය ...

අට අනූවක් රෝග
නව අනූවක් ව්‍යාධි
නිහඬවම දරාගත් ඕ
පාළු මූසල රාත්‍රියක
රහසින්ම
මරු හා නික්ම ගොස් තිබිණි

ඈත කඳු මුදුන් මත
පඬු පැහැති මළ හිරු වැතිරුන
අළුපාට හැන්දෑවක
බිමට බරවුනු හිස් ඇති
මෙරක් බරවූ හිත් ඇති
සුදු පාට මිනිස් පෙරහැර
ඈ කැන්දාන ගියදා පටන්
පාර පටුවිය

අගුළු නොවැටුනු මුත් දොරටුවට
එයින් පසු
"මෙත් මැදුර" වෙත
ආ ගිය කෙනෙක්
නැති තරම්මය...

පද්මිණි ශ්‍රියාලතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එන්න
ඇවිදින් රැගෙන යන්න
කාලාන්තරයක් මුළුල්ලේ
බිඳෙන් බිඳ රන් සුණු එකතු කර
ඈ වෙනුවෙන්ම තැනූ රන් රෝස මල
මා මියෙන තුරු නොසිට
ඇවිදින් රැගෙන යන්න

හමුනොවුනා නම් ඈ යළිත්
හුදෙකලාවේ පාළම මත
ගං පතුලේ සැඟව ගිය
මතකය යළි අවදි නොකරම

ඈ වෙනුවෙන්ම තැනූ රන් රෝස මල
පුංචි පොහොට්ටුවක් ද සමඟින්
රන් සුණු කොටසකින් නොව
ජීවිතයම වැය කර

රන් රෝස මලකට
නොහැකිය කිසි දිනෙක
හදවතක උපදවන්නට
ආදරය

එහිම උපදින
ආදරයෙන්
රන් රෝස මල්
තැනෙනු මිස

අනුෂ්ක තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හිමයේ සිසිල විඳ විඳ - නිදැල්ලේ හැසිරෙන සඳ
දැනෙන්නට ඇත සතුටක් - අපේ මවි පිය හට

නෙරා ආ දත් දෙක - දුන්නත් පිට ඔපේ
මිල නියම වේවි ද - කියා ඇති වෙයි සැකේ

සඳ වතුරෙ නැහැවෙමින් - පෙම් කරන්නත් නෑ ඉතින්
ඒ ඉරියව් සැණෙන් - පෙනෙයි වීදුරු ඇස් වලින්

ඉපැදුණෙන් සද්දන්ත කුලයේ - ඉඩ ඇවැසි විසල් වපසරියේ
හුස්ම ගන්නත් නිදහසේ - නෑ සැනසුමක් ළයේ

සම්පතක් ලැබුණත් - රැහේ මාගමක ට
සෙනෙහස වසාගෙන - දැනෙයි අවදානම

අපෙන් දුර ගෙනගිය - අපේ කටිටිය ගැන
ඉඳහිටක සුසුමක් - නැගේ සිහිවන විට

රස අහර ලැබුණත් - විලංගුයි පාද මත්තේ
සරසවා ගෙන ගියත් - පුංචි හෙණ්ඩුව තිබෙයි පැත්තේ

තැන තැන කියවුණත් - අපෙ නියම තත්තේ
අබිමන් පරපුරක් - වැනසෙන ලකුණු ඇත්තේ

තුන් පත් රෑනෙ උන්නත් - තනිව හෝ රංචුවේ සැරුවත්
කටින්නට විනයක් - නෑ අපේ තුන් හිතකවත්

අපේ බිම් එළිකර - තනයි උන් ගේ වාසේ
ගියොත් ඒ අසල ට - දැඩි ගැටුම් මැද මාර යුද්දේ

කාලයක් යන විට - වනන්තරයෙන් වනන්තරය ට
අත් හරවමින් නිජ බිම් - අපව ගෙන යයි කබල් ලොරි පිට

අය්යනායක දෙවියනි - කියනු මැන අවසර
උන් ද අපි වෙද - අනවසර වනය ට

උද්‍යෝගී පලිහක්කාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මම කිසිවෙක් නොවෙමි! ඔබ කවුද?

මම කිසිවෙක් නොවෙමි! ඔබ කවුද?
ඔබත් නොකිසිවෙක්ද?
එහෙනම් මෙන්න, අප දෙදෙනෙක්- කාටවත් නොකියන්න!
උන් අපව පළවා දමාවි

කොතරම් කම්මැලි දෙයක්ද, 'යමෙකු' වීම!
ප්‍රශස්ති ගයන මඩ වගුරකට,
මුළු දවස පුරා
ගෙම්බෙකුසේ තම නම කියමින්
පරසිඳුව හිඳීම!

[I'm nobody! Who are you? By Emily Dickinson]


මණි පත්‍රයක්-මල් පෙත්තක්-කටුවක්

සුලබ වසන්ත උදෑසනක්
මණි පත්‍රයක්,මල් පෙත්තක් සහ කටුවක්
තුෂර පිරි බඳුනක්
මී මැස්සෙක් දෙන්නෙක්
මද පවනක් - තුරු පතර දැඟලිල්ලක්
මම රෝස මලක්!

[A sepal, petal and a thorn By Emily Dickinson]


ලෝකයට මා ලියන ලියමන

මේ,
මට කිසිදා නොලියූ ලෝකයට
මා ලියන ලියමනයි,...
සිය මුදු මහේෂාක්‍ය බවින්
සොබා දම කියූ සරල පණිවුඩයයි.
ඇගේ පණිවුඩය
මට දකින්නට නොහැකි
දෑත් වෙත කැප කොට ඇත;
දුර වසන දයාබර මිනිසුනි,
ඇයට ඇති ආදරය උදෙසා
මා දැඩිව විනිශ්චය නොකරන්න!

[This Is My Letter To The World By Emily Dickinson]


එමිලි එළිසබෙත් ඩිකින්සන්
[Emily Elizabeth Dickinson -දෙසැ. 10, 1830 – මැයි 15, 1886]

ඇමරිකානු කිවිඳියකි. ඇම්හර්ස්ට්හි ඉහළ සමාජයේ දැඩි ආගමික නැඹරුවකින් යුත් පවුලක උපන් ඇය සිය අභයන්තරයටම යොමුවු හුදෙකලා චරිතයක් වූවාය. එනිසාම ඇය සාම්ප්‍රදායික ඇමරිකානු සමාජයේ වෙනස් චරිතයක් සේ සැලකුණි. කිසිදා විවාහයකට නොඑළඹි කිවිඳිය සුදු වතින් සැරසෙමින් ද ජීවිතයේ පසු කාලයේ දී සිය කාමරයෙන් පවා එළියට නොබසිමින් ද ලියුම් වලින් පමණක් ලෝකය සමග ගණුදෙනු කළාය. වසර පණස් පහේ දි ඇය මිය යන විටත් ලියමින් සිටිය ද ඇ ඒවා තව දුරටත් සංස්කරණය කළේ නැත.

අට සියයකට අධික ඇය ලියූ කවි වලින් ඇය ජීවත්ව සිටියදී ප්‍රසිද්ධ කළේ දොළහක් වැනි සුළු ප්‍රමාණයක් පමණි. එමිලිගේ කවි ලෝකයා අතට පත්වන්නේ ඇගේ මරණින් පසු සහෝදරියක විසින් ඒවා සොයා ගනු ලැබීමෙන් පසුය.

1955 "The Poems of Emily Dickinson" ප්‍රකාශයට පත්වීමත් සමග ඒ පිළිබඳ කතිකාව ඇරඹුණි. එමිලි ඩිකින්සන් සැළකෙන්නේ 19 වෙනි සියවසේ ඇමරිකාවෙන් බිහිවූ වඩාත් ස්වභාවික කිවිඳියක ලෙසය. ඈ එසේ අවධානයට ලක් වන්නේ සම්ප්‍රදායට එරෙහි වෙමින්, කැඩෙන රිද්ම රටාව, අසාමාන්‍ය විරාම ලකුණු භාවිතය, නිර්මාණාත්මකව සංකේත භාවිතය සහ සමස්ත පද්‍යකරණයේ වූ නැවුම් බව ගෙන හැර පාමින් කළ මෙහෙය නිසාය. ඇය සොබා දහම ගැනද මිනිස් ස්වභාවය ද මරණය ගැන ද ලිව්වාය. අධි සංවේදී කාන්තාවක් වූ ඇය ජෝන් කීට්, එළිසබෙත් බ්‍රවුනිං වැන්නන්ගේ නිර්මාණ ප්‍රිය කළ ද එකල පිළිගත් ශෛලිය වූ සුපිරිසිදු මල් හා පවිත්‍ර ප්‍රේමය ගැන පරිකල්පනීය කවි ලිවීම ප්‍රතික්ෂේප කොට සිය ඇතුළාන්තය ද මිනිස් ස්වභාවය ගැන ද ලියුවාය. කොතෙක් හුදෙකලා චරිතයක් වුවද ඇගේ කවි බොහෝ විට ප්‍රීතියෙන් ද උත්සවාකාරී බවින්ද යුතුය. 20 වන සියවස වන විට විචාරකයින් ඇගේ කවි හැඳින්වූයේ 'නූතන' පද්‍ය සම්ප්‍රදායට අයත් ඒවා ලෙසය. සම්ප්‍රදාය නොතකා හැරීම යනු නොදැනුවත් කම නොව ඇය සවිඥානිකව කළ බුද්ධිමය එළඹුමක් ලෙස ද ඔවුහු හඳුනා ගත්හ. ඩිකින්සන්ගේ සංකීර්ණ මෙන්ම බුද්ධිමත් ලේඛන ‍ෛශලිය ‍බොහෝ විචාරකයින් අතින් පැසසුම් ලබන්නාක් මෙන්ම ඇගේ ලියවිලි 21 වන සියවසේ ලේඛකයින්ට සහ හා කවියන්ට කර ඇති බලපෑම ද ඉමහත්ය.

එමිලි ඩිකින්සන්
පරිවර්තනය - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එරික් ඉලයප්ආරච්චිගේ නවතම නවකතාව "ලලිත සමය" දැන් නිකුත් වී තිබේ. සරසවි ප්‍රකාශනයකි.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෙරළෙ සීමාවෙමයි අපි හැමදාම
පීනන්න වරම් නැති උනත් අපි දෙන්නටම
සොහොයුරිය
මොහොතකට රැල්ල පෑගුවත් අපි වැරදියි ද

ගොඩ සුළං පාරකට
දැඟලුවා ඔබෙ සාය උඩයන්න
මං දෑස් එලෙව්වා ඈත සිතිජයට
හිරුගෙ මූණත් රතුඋනා හොඳටෝම

දිවාවේ ප‍්‍රභාවට
අඳුරු දුම පැතිරෙන මොහොත
හැන්දෑව උනත් මේ අපට කළුවර ගේන
මගෙ ළඟම තියාගෙන
කියවන්න ඔබෙ මුහුණ
මිහිරිතම සුයාමය මෙය නොවෙද ලොව තීන

අඳුර අත ළඟ දැනම
මුණගැසෙමු නමුත් හැමදාම

ගිනිගෙන දැවෙන ලෝකෙක
හැන්දෑව විතරමයි
ඔබට මට තෙතබරිත

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නියම කරන ලද වටිනාකම් හා දෙන ලද වටිනාකම් මිස වෙනත් වටිනාකමක් ඇත්දැයි සිතීම පවා සහමතියෙන්ම නතරකොට දමා ඇත. නිහඬත්වය රජ කරයි. පුද්ගල වටිනාකම් පිළිබද නැවත සිතා බලන්නට යම් යම් කණ්ඩායම්, පුද්ගලයන් උත්සාහ දරන බව පෙනේ. එය දේශපාලන ආශ්චර්යයක් පිළිබඳ සිහින දකින අයට අස්වැසිල්ලකි. හබර්මාස් දක්වන පුරවැසියා 'පුද්ගලික ලෝකයක හුදෙකලා වීමේ' සින්ඩ්‍රෝමයට ප්‍රතිකර්මයකි. මේ සදහා බොහෝ වීරයන් අවැසිව ඇත. දේශපාලන සමාජ නිදහස වෙනුවෙන් ආඛ්‍යාන ගොඩනගන්නට වීරයන් අවැසිව තිබේ.

ඒවා අරමුණු කරා මෙහෙයවීමට විශ්වසනීය වීරයන් අවැසිව තිබේ. අපගේ ලෝකවල සිටි බොහෝ වීරයන් පවතින සමාජ ක්‍රමයම අනුයන්නෝ වූයේ අප ඔවුන් හරහා දකින්නට උත්සාහ කළ සිහිනයන් බිද හෙළමිනි. වෙළදපල හර පද්ධතීන් තුළ ඔවුනටද මිලක් නියම විය. ඔවුන් විසින් මිලක් නියම කර ගති. අද දවසේ සමාජය යම් සහමතික නිහඩත්වයක ඇතැයි යමෙකු විශ්වාස කරයිද ඊට මූලිකම හේතුවක් වී ඇත්තේ නොකඩවා බිද වැටුනු සබඳතා පිළිබද විශ්වාසය යැයි මා විශ්වාස කරමි. වීරයන් කෙරෙහි මෙන්ම වීරයන් තැනූ මාවත් කෙරෙහිද පුද්ගල විශ්වාසයන් බිඳ වැටී ඇත. එනිසාවෙන්ම වෙනසට යන මාවත් වටා ජනයා ඒකරාශ්‍රී කිරීම අපහසු වූවකි. ඔවුන් තුළ විශ්වාසය ගොඩ නැගීම අපහසු වූවකි. මන්ද යත් බොහෝ දෙනා වත්මන විග්‍රහ කරගන්නේ අතීතය හා සම්බන්ධ කරමින් නිසාය. ඒ හරහා බොහෝ උත්සාහයන් සාමාන්‍යකරණය කරයි. නව ලොවක්, අලුත් වීරයෙක් පිළිබද සිතීම පවා සමච්චලයට ලක් කරයි. උදාහරණයක් ලෙස කාට දුන්නත් එකයි කවුරු කලත් එකයි යන්න සලකා බැලිය හැකිය.

මා මෙම පෙරවදන ලියන්නට වූයේ අශෝක හඳගමගේ සිනමා කෘතියක් වන 'විදු' පිළිබදව අදහස් දැක්වීමකටය. හඳගම පුද්ගල වටිනාකම් පිළිබදව සිතා බලන්නට, ඒවාට මිලක් නියම කරන ප්‍රවාහය දෙස නැවත සිතා බලන්නට, ප්‍රේක්ෂකයා ඒ පිළිබඳ සවිඥානික කරවීමට උත්සාහ දරා ඇත. වැඩිහිටි දේශපාලනය තුල වීරයන් විය හැක්කේ දේශහිතෛශී ජාතිකවාදය තුළ පමණක් වන තැනෙක ක්‍රමයට එරෙහිව හඩ නැගීම පහසු නොවේ. හඳගම වැඩිහිටි දේශපාලනයක් ළමා දේශපාලනයේ අව්‍යාජ බව හරහා ප්‍රවාදයට ගෙනෙන්නේ ඒ නිසා විය හැකිය. ඔහු ගොඩනගන අඛ්‍යානය මා සදහන් කළ විශ්වාසය බිදවැටීම පිළිබද කාරණයට අදාලවන්නේ ඔහු සිනමා පටය අවසානයේ දමන දැන්වීමක් හරහාය. එනම් ඔබත් විදූ ටී ෂර්ටයක් හැඳ විදූ පරපුරේ සාමාජිකයකු වන්නැයි කරන ඉල්ලීමකි. වෙළදපල යාන්ත්‍රණය තුළ ඔබට බොහෝ දේ මිලට ගත හැකිය. අවශ්‍යනම් සවිඥානිකව විකිණෙන්නටද හැකිය. ඒ තුළ විකිණීම විලාසිතාවක් කරගැනීමටද විලාසිතා හරහා විකිණෙන්නටද හැකිවෙයි. විදූ ටී ෂර්ටය හැඳ විරෝධයට එක් වන්නැයි කීමෙහි ගැටලුව ඇත්තේ එහිය. අවසන ඔහු වෙළදපල යාන්ත්‍රණය තුළ තම ආඛ්‍යානයට මිලක් නියම කර ඇත. ටී ෂර්ටයක අගය වටිනාකමක් ඊට එක්කර ඇත. අනන්‍යතා ආරෝපිත කර ගැනීමත් එය පවත්වාගෙන යාමත් පහසු කරුණක් නොවේ. ක්‍රියාව සහ දේශනය අතර වෙනස පවතින්නේ එහිය. වෙනසට ඇලුම් කිරීම විලාසිතාවක් කර ගත හැකි නමුත් ඒ සදහා සක්‍රීයව දායකත්වය සැපයීම තවකෙකි. වෙනසට ඇලුම් කිරීම විලාසිතාවක් කරගත් යුගයක හඳගම ගොඩනැගූ ආඛ්‍යානයද වෙළදපල යාන්ත්‍රණය තුළ ලඝු කිරීමෙන් මා මුලින් කී විශ්වාසය ගොඩනැගීම පිළිබද සාධකය කෙරෙහි නැවත සිතා බලන්නට පොළඹවයි. පුද්ගල වටිනාකම්වලට මිලක් නියම කරන්නට එය සාධාරණීයකරණය කරන්නට දහසකුත් එකක් යාන්ත්‍රණ ඇත. ඒවා අතික්‍රමණය කිරීම පහසු නොවේ. දේශපාලන සබදතා තුළ බිඳ වැටී ඇති විශ්වාසය ගොඩ නැගිය යුතුව ඇත්තේ එනිසාවෙනි.

ගීතිකා ධර්මසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නොබෙල් සම්මානලාභී ඉංග්‍රීසි ජාතික සාහිත්‍යධරයෙකු වන හැරල්ඩ් පින්ටර් විසින් 1996දී රචනා කරන ලද ‘Ashes to Ashes’ නාට්‍ය කෘතිය ප්‍රියන්ත ෆොන්සේකා විසින් "අළු" නමින් සිංහලයට පරිවර්තනය කරන ලදුව එළි දැක ඇත. ලෝ ප්‍රකට සාහිත්‍යධරයෙකු වූ පින්ටර් නාට්‍ය රචකයෙකු, කවියෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම සිනමා තිර රචකයෙකු ලෙසද නමක් දිනූවෙකි. එහෙත්, ඔහු වඩාත් ප්‍රචලිත වූයේ ඔහුගේ කෘති තුළින් මෙන්ම දේශන හරහාද ප්‍රකාශිත දේශපාලනික දැක්ම හේතුවෙනි. 2005 වර්ෂයේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගනිද්දී ඇමරිකානු පාලනය විවේචනය කරමින් ඔහු කළ ප්‍රකාශය ඉමහත් අවධානයට ලක් විය. එයින් තෙවසරක ඇවෑමෙන් පින්ටර් මිය ගිය මුත් ඔහුගේ විශිෂ්ට රචනා අද ද සාකච්ඡාවට ගැනේ. Ashes to Ashes ඉන් එක් කෘතියකි.

ප්‍රියන්ත ෆොන්සේකා විසින්ම මෙම නාට්‍යය 2006 වර්‍ෂයේ පරිවර්තනය කර නිෂ්පාදනය කරන ලදුව, එම වසරේ යෞවන සම්මාන උළෙලේ අවසන් වටය නියෝජනය කෙරී ඇත. විශද ප්‍රකාශකයින් විසින් ගෙන එන අළු නාට්‍ය කෘතිය සඳහා පියල් කාරියවසම්, පින්ටර් හා ඔහුගේ නිර්මාණ පිළිබඳ දීර්‍ඝ සංඥාපනයක් එක් කර ඇත.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සුනන්ද කරුණාරත්නගේ "දූවිලි මිනිසා" කවි එකතුව දොරට වැඩුම සහ සාහිත්‍ය සම්භාෂණය, 2011 ජනවාරි 12 වන බදාදා ප.ව. 3:00 ට කොළඹ නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී.

දේශන- ප්‍රණීත් අභයසුන්දර සමග චින්තක රණසිංහ. සංවිධානය- ලංකා ලේඛක සංවිධානය. විමසීම්- සුනන්ද කරුණාරත්න| 71 421 3466




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එයා ලස්සණයි. හරිම ලස්සණයි. දිගටි ඇස් පිහාටු, ලා දුඹුරු පාට ලස්සණ බළල් ඇස්, සුරුන්ඩු වෙච්ච චූටි නෙළුම් දළු වගේ හැඩ තොල්, හීනි දිගටි අත පය, දිගටි ඇඟිලි, දිය ඇල්ලක් වගේ ගලාගෙන බහින ලා දුඹුරු පාට කොණ්ඩෙ, කොටින්ම එයාගෙ ඇඟටම කැපෙන වැඩි විච්චූරණ නැති චාම් ඇඳුම්. ඒ චාම් බවම එයාට ආභරණයක්. ඒ ඇඳුම් වලින් වැඩි හරිය සුදු පාටයි. නැත්නම් හරිම ලා පාට ඒවා. වළලුකරට ම දිග ලා පාට සායවල්, නෙපර්ටිටි රැජිණ වගේ ලස්සණ දිග බෙල්ල කැපිල පේන හීන් උරිස් පටි දාපු ගවුම්, ගොඩාක් එයාට තිබුණා. මට එයාගෙ නම කියන්න බැරි වුණානෙ. එයා සෆ්රා ඇන්සලා බූසෝ. මහ අමුතු නමක් නේද? එයා මුස්ලිම්... ඒකයි නම අමුතු වුනේ. එයා ඇත්තටම කිව්වොත් බාගෙට මුස්ලිම්. තාත්තා මුස්ලිම් අම්මා සිංහල. ඒත් එයා හැදුනේ වැඩුනෙ සාමාන්‍ය සිංහල ගෑණු ළමයෙක් වගේ.

ඇත්තට ම ඊට ටිකක් වෙනස්වට.... ඇත්තට ම එයා සිංහල කෙනෙක්-

වගෙත් නෙමේ, මුස්ලිම් කෙනෙක් වගෙත් නෙමේ... එයා ... එයා වගේ.

එයාගෙ වයස දහ නමයයි. එයා ඒ ලෙවල්ස් හොඳට පාස් වෙලා වෛද්‍ය විද්‍යාලෙට කැඳවීමේ ලියුම එනකන් බලන් හිටිය. එයා එයාගෙ පවුලෙ එකම ළමයා. සෆ්රට ටයිනි කියල හරි හුරතල් පොමනේරියන් බැල්ලි පැටියෙක් හිටිය. ඌ සුදුම සුදුයි. මං ලඟට සෆ්රා වැඩියෙන්ම ආදරේ වුනේ ඌට. සෆ්රට ලස්සණට කවි ලියන්න පුළුවන්. එයා එවන ලියුම් වල ලස්සණ දිග කවි තිබුණ. එයා මට නිතරම වගේ ලියුම් එව්වා. ඒ අපිට නිතරම මුණගැහෙන්න බැරි වෙච්චි නිසා. සෆ්ර ගෙ තාත්තා අපේ සම්බන්දෙට කැමති වුණේ නැහැ. ඒ මම දුප්පත් නිසා. අපේ ගෙදරිනුත් සෆ්ර ට කැමති වුණේ නැහැ. ඒ එයා මුස්ලිම් නිසා. මටත් පුදුමයි ඇයි සෆ්රා මං වගේ නිකම්ම නිකං කිසි ගතියක් නැති ක්ලාක් කෙනෙකුට කැමති වුණේ කියලා.

එයා කොච්චර චාම්, විනීත, හැදිච්ච ගෑණු ළමයෙක් වුනත් බොරු පුහු සදාචාරෙ තඹ සතේකට මායිම් කලේ නැහැ. අපි තනි වෙච්චි වෙලා වලදි එයා මට එයාව සිප ගන්න ඉඩ දුන්නා. මට ඕනෙ නම් එයාව නිරුවත් කරන්න ඉඩ දුන්නා. අපි අ‍තරෙ අපේ සිරුරු ගැන රහස් තිබුණෙ නැහැ. එයා ඒ ත‍රමට විවෘතයි. එයාගෙ නිරුවත ... ඒ ගැන කිව්වොත් අර මොකක්දෝ පොතක තිබුණා වගේ වර්ණනාවිෂයාතික්‍රාන්තයි. පුදුමෙන් ඉස්සරහ බලන් ඉන්න පියයුරු, හීනි සියුමැලි සුදුමැලි බඩ, චූටි ගැඹුරු බුරිය, ඇත් දළ පාට ලස්සණ කලවා... මං තවත් වර්ණනා කරන්න යන්නෙ නැහැ. ඒක එයාගෙ පුද්ගලිකත්වයට හානියක්. එයාගෙ බෙල්ල පිටිපස්සෙ චූටි ලස්සණ සමනළයෙකු ගෙ ටැටූ එකක් තිබුණා. දිග ලස්සණ කොණ්ඩෙට වැහිලා නිසා ඒ ලස්සණ ටැටූ එක දැක්කෙ මම විතරම යි. එතන ඉඹින කොට හරි උණුසුම්. මං එයත් එක්ක චිත්‍රපටියක් බලන්න ගියාම කරට අත දැම්මා කියල කවදාවත් ඔරවලා නෑ. ඉඳලා හිටලා කිස් එකක් දුන්නම මූණ පුළුටු කර ගන්නෙ නැහැ. එයා ඉර එළියෙ ගලා බහින විනිවිද පේන දිය පාරක් වගේ විවෘතයි.

මං ගැන කිව්වොත් මම උදේ හවස ඕනෙම පාරකදි හම්බවෙන්න පුළුවන් ජාතියෙ, නීට් එකට අඳින, නෝ-ලිමිට් හරි ඔඩෙල් හරි බෑග් එකකට ලන්ච් පැකට් එක දා ගෙන යන නිකම්ම නිකම් ක්ලාක් කෙනෙක්. මට සෆ්ර ව හම්බ වුනේ කොළඹ පබ්ලික් ලයිබ්‍රියෙ දි. පොත් රාක්ක පහු කරගෙන පහු කරගෙන ඇවිල්ලා එකම පොතක් ගාව නතර වුණා අපි.

ඒ සෝම හාමුදුරුවන්ගෙ “ජාතිය සුරකින රන් අසිපත” පොත.

එයාටත් ඒ පොතම ගන්න ඕනෙ වුණා. මමත් හොය හොය හිටපු පොත ඒක යි. ඒත් සෆ්ර ගෙ බ්ලේඩ් තල බැල්ම මගෙ පිරිමි දහිරිය බිංදුවට හිංදෙව්වා. එයා පොත මගේ අතින් උදුරලා වගේ ගත්තා.

අරන්... ආයෙමත් මට දුන්නා. දීලා ආයෙත් පොත මාරු කරන්න එන දවස, වෙලාව කියලා කෝල් කරන්න එයාගෙ මොබයිල් ෆෝන් එකේ නම්බර් එක මට දුන්නා. ඉතිං අපි ආයෙමත් මුණ ගැහුනා. විහාර මහා දේවි එකේ බංකු උඩ සෝම හාමුදුරුවො ගැන කතා කලා. එයාගෙ තාත්තා මුස්ලිම් වුනාට එයා බුද්ධාගම විශ්වාස කලා. අපි ක්‍රෙස්කැට් ගියා, එම්. සී. ගියා, ගෝල් ෆේස් ගියා, ගල්කිස්සෙ බීච් ගියා... අන්තිමට ගෙවල් දෙකට මාට්ටුත් වුණා.

සෆ්රා ඉඳහිට හීනෙන් ඇවිත් මගේ ඇඟ උඩ නැගලා උල තියා ගත්තා...

මම දාඩිය දාගෙන චොර වෙලා මබ්බෝද වෙලා ඇහැරුණා...

ඒ මගේ ප්‍රථම ප්‍රේමය.

... දෙවෙනි ප්‍රේමය තුෂාරි.

හැබැයි මගේ ප්‍රථම ප්‍රේමය පටන් ගත්තෙ දෙවෙනි ප්‍රේමයට පස්සෙ. ඒ මොන පිස්සු විකාරයක් ද? පළවෙනි එකට පස්සෙ දෙවෙනි එක මිසක් දෙවෙනි එකට පස්සෙ පළවෙනි එක වෙන්නෙ... ඒක වෙන්නෙ කොහොමද?

ඒක වුනේ මෙන්න මෙහෙම.

තුෂාරිට ඩේටා එන්ට්‍රි ඔපරේටර් පත්වීමක් හම්බවෙලයි අපේ ඔෆිස් එකට ආවෙ. ඒකත් එක විදිහක ක්ලාක් පට්ටමක් ම තමා. නම බරපතල වගේ පෙණුනට. කවුරු හරි තුෂාරිගෙන් රස්සාව මොකක්ද කියල ඇහුවම තුෂාරි එයාගෙ ලිප්ස්ටික් උලපු තොල් හරි ලස්සණට එහෙ මෙහෙ කරල “ඩේටා එන්ට්‍රි ඔපරේට” කියන කොට අහගෙන ඉන්න අයට තේරෙන්නෙ ඒක හරියට මැනේජින් ඩිරෙක්ටර් වගේ පෝස්ට් එකක් කියල. තුෂාරි අපේ ඔෆිස් එකට එනකොට කොණ්ඩෙ බෙල්ල ගාවින් කපලා. ලිප්ස්ටික්, කියුටෙක්ස් ගාලා, ඇහි බැමත් නීට් වෙන්න ගලවලා, ඇස් වටේ කළු පාටට ඇඳලා... හරි පිළිවෙලකට එයා එයාගෙ සිරුර නඩත්තු කළා. එයා සෆ්රා වගේ පැහැපත් නෑ. තලෙළුයි. නිතරම ඇන්දෙ ස්ලැක්ස්. ඉඳල හිටල ලොකු කරාබු දාල පන්ජාබ් කිට්, නීට් එකට මැදපු කපු සාරි එහෙමත් ඇන්දා. මුලදි මට එයා ගැන අමුතු ආකර්ෂණයක් තිබුණෙ නැහැ. එයත් උදේ හවා මග තොටේ දකින අනිත් ගෑණු ළමයි වගේමයි මට පෙණුනෙ. එයා ඔෆිස් එකේ දි පොඩි විහිළුවකටත් පොඩි එකෙක් වගේ මහ හයියෙන් තේරුමක් නැතුව හිනා වුණා. ගෑණු අයත් එක්ක ඉන්නවට වැඩිය පිරිමි කාණ්ඩෙත් එක්ක වැඩිපුර කතා බහට ආවා. නිතරම මොබයිල් ෆෝන් එකෙන් එස් එම් එස් යැව්වා. (කාට යැව්ව ද මන්ද...). එයා ආකර්ෂණීය නැති වුනාට ඉබේම ඔෆිස් එකේ කොල්ලන්ව ආකර්ෂණය කර ගන්න එයාට පුළුවන් වුණා. එයා අපි හැමෝම එක්ක යාළු වුණා. අනේ මන්ද එයා ඒක ‍කොහොම කලා ද කියල. තුෂාරි එයාගෙ ඇඳුමෙ පාටට ජුවලරීස් දැම්ම. ඒ පාටට කියුටෙක්ස් ගෑවා. මට මුල දි ඒව මහ විකාර වැඩ වගේ පෙණුනට පස්සෙ පස්සෙ ඒවයෙ අමුතුම ලස්සණක් පේන්න ගත්ත.

දන්නව ද? දවසක් මාර වැඩක් වුණා.

එදා ලන්ච් අවර් එකේ දි අපේ සෙට් එක ෂොපින් ගියා. තුෂාරි ගියෙ නෑ... බඩ රිදෙනවා කියල. එයා එදා ඇඳල හිටියෙ තද රතු ස්කර්ට් එකකු යි, සුදු පාට හිරම හිර බ්ලවුස් එකකු යි කියන්න මට හොඳට ම මතකයි. තුෂාරි බඩ රිදෙනවා කිව්වම කොල්ලො සෙට් එක “හා හා හොරේ දැණුනා දැණුනා ...” කිව්ව. තුෂාරි අනිත් අයට හොරා මට එදා ලන්ච් අවර් එකේ එළියට යන්න එපා කිව්ව. අනේ මමත් ගොනා වගේ නතර වුණා. එදා තුෂාරි උයාගෙන ඇවිත් තිබුණෙ හාල් මැස්සො තෙල් දාලයි, තෙම්පරාදු කරපු පොල් සම්බෝලයි, ගොටුකොළ මැල්ලුනුයි, පරිප්පුයි, බතුයි. එයා ලොකු බත් එකක් ගෙනත් තිබුණ. ඉතිං අපි දෙන්නා දෙන්නගෙ ව්‍යංජන මාරු කරගෙන කෑව. කන ගමන් තුෂාරි දෙතුන් පාරක් ඇස් හීන් කරල අමුතු විදිහට මගෙ දිහා බැළුව. මාත් ඉතින් ඔහෙ ඇලේට හිනා වුණා. කන ගමන් එයා මගෙ ගෙදර විස්තර ඇහුව. එදා ඉඳන් අපි දෙන්න අතරෙ මොකක්දෝ අමුතු බැඳීමක් ඇතිවුණා. අපි කන්න ගියෙ එකට, එයයි මායි ෂොපින් ගියෙත් එකට. අපි එකිනෙකාට 'I LOVE YOU' කියා ගත්තෙ නැහැ. ඒත් අන්තිමට අපි ආදරේ කරන්න පටන් ගත්ත. ඒ වෙනකොට අපේ ඔෆිස් එකේ මට ඇර අනිත් හැමෝටම කෙල්ලො හිටිය. සමහර උන්ට දෙක දෙක... මාලන් ට කෙල්ලො තුනක් හිටිය.

ඇත්තටම තුෂාරියි මමයි ආදරේ කලේ මහ අමුතුම තාලෙකට. අපි දෙන්නා එකට ගමන් බිමන් ගියා. පාරෙ ඇවිදින කොට අත්වැල් පටල ගත්තා. බස් එකේ පිටිම පස්සෙ සීට් එකේ මුල්ලට වෙලා අපි දෙන්නටම අදාල නැති විකාර දෙඩෙව්වා. එහෙම වෙලාවට තුෂාරි කි‍ව්වෙ තුෂාරිගෙ නංගිගෙ යාළු කොල්ලා ගැනයි, ඌ නංගිට ගෙනත් දෙන තෑගි ගැනයි. මාත් ඔය කටට එන විකාර කියෙව්වා. අපි සමහරදාට හවසට අසපුවට ගියා. එතන තුෂාරිට හරි පුරුදු තැනක්. අපි කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ බණ ෆෝන් එකෙන් ඇහුවා. පිච්ච මල් පූජා වලට ගියා. ඒවාට තව හුඟක් කෙල්ලො කොල්ලො ආවා. ඒ හාමුදුරුවන්ගෙ බණ හරි ආත්මීය යි. ඒ බණ අහල දවසක් තුෂාරියි මමයි ඇවිදගෙන එනකොට “අපි දෙන්නත් හරියට සිදුහතුයි යශෝධරයි වගේ ආත්මෙන් ආත්මෙ පතාගෙන එන දෙන්නෙක්” තුෂාරි මගෙ කණට කෙඳිරුවා. මම තුෂාරිගෙ නළල ඉම්බා. මගෙ හිතට ලොකු සැනසීමක් දැණුනා. මොනවා නැතත් සංසාරෙ පුරාවට මගෙ ළඟින් කවුරු හරි කෙනෙක් තනියට ඉන්නවනෙ. හාමුදුරුවො විස්තර කරන සංසාරෙ පාළු භයංකාර ඉවරයක් නැති වේදනා පිරිච්ච ගමනෙදි එකට යන්න, ජීවිතේ බෙදා හදා ගන්න, තව කෙනෙක් ඉන්නවා කියන එකත් ලොකු හයියක් නෙ. අඩුම තරමෙ මැරෙණ මොහොතක කටට වතුර උගුරක් දාන්න හරි කෙනෙක් ඉන්න එකම මදෑ. ඊටත් ජීවත් වෙන්න අරමුණක් එපායැ. ඔෆිස් යන එන එකට අමතරව මට ජීවිතේට වෙනසක් ඕනෙ වෙලා තිබුණ. අපි ගෙවල් දෙකට අපේ සම්බන්ධෙ ගැන කිව්ව. අනිත් අයට ඒක දැනෙන්න ඇරිය. ඉතිං... අපි අපේ වෙඩින් එකට සල්ලි එකතු කළා.

දවසක් හවසක බොරැල්ලෙ කොටා රෝඩ් ස්ටේෂන් එකේ දි බළලෙක් මල්ලෙන් එළියට පැන්න.

“මං ඔයාට කියන්නම යි හිටියෙ, නැත්තං පස්සෙ ඔයා මට දොස් කියයි ...” තුෂාරි මහපටැඟිල්ලෙන් සිමෙන්ති‍ පොළව හාර හාර කෙඳිරි ගෑවා..

“කියන්න සුදු මට ඔයාට බනින්න බැහැ කියල ඔයා දන්නවනෙ ...” මම සැකෙන් කිව්වා.

තුෂාරි මූණ වහින්න ඔන්න මෙන්න අහසක් කර ගත්තා..

“මට කලින් බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් හිටියා ...” ඒකි කෙඳිරුවා.

“මටත් කලින් ගර්ල් කෙනෙක් හිටියා ඔයාගෙ හිත රිදෙයි කියලයි මම නොකියා හිටියෙ...” මට කියවුණා.

මටම පුදුමයි ...! එහෙම හිතන්නත් කලින් මට බොරුවක් කියවුනේ කොහොමද? තුෂාරි ඒක ලෝක පුදුමෙ වගේ ගැස්සුණා.

“ඉතිං කියන්න ඒ බෝයි ගැන...”

“ඔයාට මතකද කස්ටමර් සර්විස් එකේ හිටපු නිලාන්... අර කැන්ඩි බ්‍රාන්ච් එකට මාරු වෙලා ගියෙ...?”

නිලාන් සුදු උස මහත, ජිම් යන, නිතරම වලි දා ගන්න, බුවෙක්. හොඳ හයේ හතරෙ පොරක්. මට මිනිහගෙයි තුෂාරිගෙයි අතරෙ කිසිම කිසි ගැලපීමක් පෙණුනෙ නැහැ. නිලාන් එක්ක බලනකොට තුෂාරි ඩිම් වෙච්ච වොට් හතළිහකටත් අඩු බල්බ් එකක් වගේ. එතන සීරියස් ලව් එකක් තියෙන්න ඇති කියලා හිතනකොටත් මගෙ ඔළුව විකාරයි වගේ. ඒ යකා කවදාවත් මගෙත් එක්ක යන්නං මචං, එන්නං මචං කියනවට වඩා යාළු කමක් තිබිලා නැහැ. ඌට හිටියෙ ඌ වගේම යාළුවො සෙට් එකක්. තුෂාරිට බඩු හරි ඇති කියලමයි මගෙ හිත කිව්වෙ. මගෙ හිතේ හිටපු කෙල්ල පිරිසිදු නිර්මල මට විතරක්ම ආදරේ මාවම පතාගෙන එක කෙනෙක්.

ඒත් මගෙ කට කියවන්න ගත්තෙ වෙන දෙයක්. “ඕවා ඔහොම තමයි බබා... මටත් ගර්ල් කෙනෙක් හිටියනෙ...” තුෂාරි එයා ගැන අහන්න ගත්තා. ඔන්න සෆ්රා ඉපදුනා. ඇත්තටම එහෙම බොරු වැලක් එක පාරටම හිතට එන්නෙ කොහොමද? ඒ බොරු කලින් ඉඳන්ම මගෙ හිතේ තිබුණද? මටත් වඩා අවුරුදු හතරක් බාල තුෂාරිගෙ පළවෙනි කොල්ලා මම නෙමේ කියලා ඒකි කියනකොට, ඒකි මගෙ පළවෙනි කෙල්ල කියන්න මට නිකන් බෑ බෑ වගේ. මං නිකං වැඩීම බාල වෙච්චි එකෙක් වගේ මට දැනෙන්න ගත්තද? අනේ මන්ද. සෆ්රයි මමයි ආ ගිය තැන් පවා මම තුෂාරිට පෙන්නුවා. කොටින්ම විහාර මහා දේවි එකේ අපි වාඩි වෙලා හිටපු බංකු පවා. දැන් සෆ්රා රට... අපේ සම්බන්දෙ කඩන්න සෆ්රගෙ තාත්ත එයාව රට යවල.

මමයි තුෂාරියි කොහොම හරි මේ අවුරුද්දෙ බඳිනවා. එයා අඳින්නෙ කැන්ඩියන් ලු. තුෂාරි කියනවා සෆ්රටත් වෙඩින් කාඩ් එකක් දාමුලු. එයා නිලාන්ටත් එකක් දාන්නම්ලු. නිලාන් එයාව දාලා ගිහින් තියෙන්නෙ ආදරේ නැති නිසා නෙමේ. අම්මට පිටු පාන්න බැරි නිසා. එයාගෙ අම්මට ඕනෙ වෙලා තියෙන්නෙ උඩරටින් ම නිලාන්ට කටයුත්තක් කරවන්න.

අපි දැන් නිතරම අසපු ගිහින් භාවනා කරනවා. තුෂාරිට ලාවට ලාවට දැන් ආලෝක පහල වෙනවලු. එතනට එන හුඟක් අය දැන් එක එක ජාතියෙ සමාපත්ති පහළ කරගෙන. මම භාවනා කරනකොට... සෆ්රා මගෙ හිතට එනවා. දැන් එයා හීන් රත්තරං පාද සළං දෙකක් දාලා. බුරියට චූටි කරාබුවක් දාලා. ඉස්සරට වඩා හුඟාක් ලස්සණයි. එයා මගෙත් එක්ක දඟ කරනවා, මගේ වටේ එතෙනවා. මම එයාව ඉඹිනවා, හපනවා. අපි එකට තුරුළු වෙලා පැය ගණන් ඉන්නවා. මම හොඳට භාවනා කරනවා කියල තුෂාරි කියනවා. එයා කියනවා මටත් ජිම් යන්නලු. සික්ස් පැක් එක හදා ගන්නලු. මගෙ බඩ ආරමින් එනවා. ශරීරෙ නෙමේ වැදගත්... හිත...! ශරීරෙ කියන්නෙ... කැටයම් කරපු අසූචි කළයක්, මම කියනවා.

අපි මේ දවස් වල බැඳලා පදිංචියට යන්න බොරැල්ල කිට්ටුව ලාබ ඇනෙක්ස් එකක් හොයනවා. තවම හම්බ වුනේ නැහැ. හැම එකේම ගණන් අපිට දරන්න බැරි තරම් ලොකුයි.

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



[සුනාමි රළ පහරින් පැරෑළියේදී අනතුරට පත් දුම්රිය අසල තිබූ මළ සිරුරක වූ අත් ඔරලෝසුවක කටු 9.25 දක්වමින් නතර වී තිබිණ.]

"දුම්රිය තව මෙහොතකින්
යළි ගමන් අරඹනු ඇත....
සියළු මගීන් නැවත
තමන්ට නියමිත මැදිරිවලට පැමිණෙන්න.
ගමනාන්තය දක්වා
සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ඇත..."

9.25 සිට
කාලය කරකවයි
පසුපසට කිසිවෙකු
වියරු කළු රළ පෙළ
වෙරළ වෙත නෑවිදින්
ආපසු ඇදී ගොස්
නොපෙනෙනා ඈතක
නතර වන ලෙස

මරණාන්තයෙන් මෙපිට
අවසාන දුම්රියපළේ
දුරකතනයක් නාද වෙයි.
නොනැවතී
නාද වෙයි…
කිසිවෙකුත් නැත.

කාලය නතර වී ඇත.
රළ පෙළක්
හා
මිනී යායක් අතර
දුම්රියක් නතරව තිබේ.
සදාකාලික පසු තැවීමක
සදා නොමැකෙන
සිතුවමක් ලෙස....

මැදිරියෙන් මැදිරිය
පිය තෙපුල් සිනහ හඬ නැගෙයි.
අඳ වාදකයාගේ ළසෝ ගීයට මුසුව
සිතාරයේ අවසාන සත්සර බිඳී යයි.

කවුළුවෙන් පිටත
ඈත සිතිජය දෙස
සිඟිත්තෙකු නෙත් යොමයි.

ඒ නිමේෂයෙන් පසු
පිළිවදන් පසුවදන් ඇවැසි නැත.

මා මගේ මළවුන් සොයා යනු මිස…..
ඔබ ඔබේ මළවුන් සොයා යනු මිස….

මළමිනී ගොඩ දමන විට
සීරුවෙන් ඇවිද යා යුතුය.
පයට පෑගෙන දින පොතක් වුව
වේදනාවෙන් ඉකිබිඳිනු ඇත.

බැකෝ යන්ත‍්‍රය ඇවිත්
නොමළවුන්ගේ පපු කැනැති හාරයි.
ආත්මය හිස්ව ගොස්
නොමළවුන්
අවතාර ලෙස සැරිසරයි.

සමාන්තර විශ්වයක
කාලය යළි සෙමින් ගලා යයි.
දුම්රිය යළි පිටත් වීමේ
සංඥා නළා හඬ නාද වෙයි.

"දුම්රිය තව මෙහොතකින්
යළි ගමන් අරඹනු ඇත....
සියළු මගීන් නැවත
තමන්ට නියමිත මැදිරිවලට පැමිණෙන්න.
ගමනාන්තය දක්වා
සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ඇත."

සියළු මළවුනි
තෙතැති පස් තට්ටු බිඳ
මිනී යායෙන් නැගිට
ඉදිමී ගිය අතින් අත අල්ලගෙන
ඇවිත් මෙහි ගොඩවන්න
මිළඟ නැවතුමට වී ඔබේ නෑසියන් බලා හිඳී.

[නිම්තෙර| හිරු| 2005 ජනවාරි 3]

අජිත් සී හේරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

PANA BOONDIYA | පැන බූන්දි | 028

Posted by BoondiOnLine 12.27.2010



"ගජබාවත් අවුරෝරාවක් වේවා! ඇචිලන් බැරැක්කය පෙත්‍රොග්‍රෑඩ් ගැරිසනයක් වේවා!.... කම්කරුවන්ගේ, ගොවීන්ගේ හා සෙබළුන්ගේ විප්ලවය දිනේවා!"

ලාංකේය ඉතිහාසයේ එක් සුවිශේෂී කඩ ඉමකට මග පෑදූ මේ වදන් කාගේද? කවදා කොතැනකදී කියන ලද්දේද?




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


විකිලීක්ස් තොරතුරු දැනගැනීමේ අයිතියේ ජයග්‍රහණයක්
-විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන

• මොකක්ද මේ විකිලීක්ස්. ඔබ කොහොමද විකිලීක්ස් හඳුන්වා දෙන්නෙ?

විකිලීක්ස් වෙබ් අඩවිය ගැන දැනගන්න කලින් අපි විකි කියන වචනයේ තේරුම බැලුවොත් පේනවා එහි තියෙන්නේ කඩිමුඩිය වගේ තේරුමක් කියලා. මේක හවායි වචනයක්. පොදුවේ බොහෝ දෙනාට පහසුවෙන් බද්ධවෙලා සාමූහිකව එහි අන්තර්ගතය සංස්කරණය කරන්න පුළුවන් මෘදුකාංග තමයි මේ වෙනකොට ඒ නමින් හැඳින්වෙන්නෙ. වෝඩ් කනින්හැම් කියන පරිගණක විද්‍යාඥයා තමයි මුලින්ම විකි නිර්මාණය කළේ.

හවායි බස් එකේදී ඔහුට ඇසුණු විකි කියන වචනය අදාළ මෘදුකාංගය සඳහා ඔහු විසින් භාවිත වූ අතර අද වන විට එය wikihow, wikitravel, wiki Answers, wiki pedia, wikia, wikitionary, wikibooks, wikisource, wikiquote වගේ බොහොමයක් බෙබ් අඩවි දක්වා ව්‍යාප්තවෙලා තියෙනවා. wikileaks කියන වෙබ් අඩවියක් නිර්මාණය වෙන්නෙ ඉහත සංකල්පවලට අනුව.

විකිලීක්ස් වෙබ් අඩවියේ මූලික පරමාර්ථය ලෙස ඔවුන් දක්වන්නේ තොරතුරු හරහා රජයන් වඩාත් වගකිවයුතු තත්ත්වයකට තල්ලුකිරීම කියන එක. විකිලීක්ස් වෙබ් අඩවිය තුළ තියෙනවා කොහෙවත් ගන්න නැති විශාල තොරතුරු ප්‍රමාණයක්. අනෙක් අතට විකිලීක්ස් කියන්නේ ලාභ නොලබන සංවිධානයක්. භෞතික වශයෙන් පිහිටන ආයතනයක් එයට නැතත් අන්තර්ජාලය වටා එක් වූ 1200ක් විතර ස්වේච්ඡා සේවකයින්ගෙන් මෙය මෙහෙයවනවා. 2006 දෙසැම්බර් මාසයේ පටන්ගත්තු මේ වෙබ් අඩවිය වැදගත් වන්නේ අද කාලයේ ජනමාධ්‍යකරුවන්ට සහ දේශපාලනඥයින්ට පමණක් නෙමෙයි. අනාගතයේ බිහිවන ඉතිහාසඥයින්ට අපේ කාලය පිළිබඳ වඩා නිවැරදි තොරතුරු සහ තීරණවලට එළඹීමටද තම වෙබ් අඩවිය ඉතා වැදගත් බව විකිලීක්ස් තවදුරටත් සඳහන් කරනවා.

මේ දක්වා සිදුවුණේ ටික දෙනෙක් පමණක් දන්නා යම් යම් තොරතුරු, රහස් මත පාදක වෙමින් ඉතිහාසය ලියැවීම වුණත් ඉන් වියුක්තව සම්පූර්ණ තොරතුරු පාදකකොට ගනිමින් ඉතිහාසය ලියන්න පුළුවන් විදියේ ලෝකයක් තමයි විකිලීක්ස් බලාපොරොත්තු වන්නේ. ලෝකයේ ඕනෑම තැනක ඉන්න ඕනෑම කෙනෙකුටත් තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් තමන් පෙනීසිටින බවත් විකිලීක්ස් පවසනවා.

මෙහි නායකත්වය දරන සහ මහජනයාට පෙනෙන ප්‍රකටම මුහුණ වන ජූලියන් අසාන්ජ් ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ 39 හැවිරිදි අයෙක්. තවත් අතකට ඔහු අවුරුදු 16 සිට පරිගණක ග්‍රැෆික්වලට යොමුවුණු අතිදක්ෂ පුද්ගලයෙක්. ඔහු උපාධියක් ලබාගැනීමට මෙල්බන් විශ්වවිද්‍යාලයට ගියත් ඔහු ඒ පිළිබඳ කලකිරී උපාධිය අමතක කළා. මොකද ඔහු දැක්කා බොහෝ ආචාර්යවරු සහ ශිෂ්‍යයෝ මිලිටරි පරීක්ෂණවල නිරතවෙලා ඉන්නවා. විශාල යුද විරෝධියකු වූ අසාන්ජ් මේ නිසා කලකිරුණා. මේ වගේ අයත් සමග උපාධිය අරගෙන වැඩක් නෑ කියලා අන්තිමට ඔහු උපාධිය නොගෙන ඉවත් වුණා.

• විකිලීක්ස් වෙබ් අඩවිය සතු නව්‍යතම තාක්ෂණික මූලධර්ම මොනවාද?

ඇත්තටම විකිලීක්ස් වෙබ් අඩවිය සතු ප්‍රධානම මූලධර්මය whistle-blowing කියන එක. මේකට ගැළපෙන සිංහල වචනයක් හොයා ගන්න මං උත්සාහ කළත් ඉතා මෑතක ඇතිවුණු ඉංග්‍රීසි වචනයක් වන මේකට ගැළපෙන වචනයක් තිබුණේ නෑ.

රාජ්‍ය ආයතන, සමාගම් ආදී ඕනෙම ආයතන ව්‍යුහයක් තුළ ඇති දේවල් පිටතට නොදී රහසිගතව තියාගෙන ඉන්න අවස්ථාවන් තියෙනවානේ. තවත් අතකට ඒ හංගා ඇති තොරතුරු එළියට දැමීමට ඒ ආයතනවලට මැද මට්ටමේ හෝ පහත මට්ටමේ යම්කිසි පුද්ගලයින්ට උවමනාවක් තියෙන්නත් පුළුවන්. නමුත් ඔවුන් ඒ දේ ප්‍රසිද්ධියේ කළහොත් ඔවුන්ට යම් යම් කරදරයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා තම අනන්‍යතාව හෙළි නොකර මේ තොරතුරු විශ්වාසවන්ත ජනමාධ්‍ය සගයකුට හෝ සංවිධානයකට මුදාහරින්න ඕන. ඒ කටයුත්ත තමයි whistle-blowing කියන එකේ සරල තේරුම; එසේ මුදා හැරීම.

මේ සඳහා විකිලීක්ස් වෙබ් අඩවිය සිදු කළේ එසේ තොරතුරු මිනිසකුගෙන් තවත් මිනිසකු වෙත යන එක වෙනුවට තම පරිගණකය මගින් තම අනන්‍යතාව හෙළි නොවන පරිදි සිදු කිරීමට සයිබර් අවකාශයේ යම් කිසි ඉඩක් සැපයීම. එතනදී ඔවුන් අධි ආරක්ෂිත Drop Box කියන මෘදුකාංගයක් හඳුන්වා දෙනවා. මේ මගින් කරන්නේ මේ වෙබ් අඩවි තුළට එන්නේ කවුද, යන්නේ කවුද තොරතුරු දුන්නෙ කවුද, කීයටද වගේ කරුණු ඉවත් කිරීම.

Criptography කියන මූලධර්මය යටතේ තොරතුරු සඟවන මේ උපක්‍රමය නිසා තොරතුරු ලබා දෙන්නට පුළුවන්කම ලැබුණා, තම අනාවරණයන් විකිලීක්ස් හරහා ඉතාමත් නිරුපද්‍රිතව සිදු කිරීමට. මේ Drop Box එකේ එක් එක් පුද්ගලයින් රහසිගතව තබා ගිය තොරතුරු පළ කිරීමේදී විකිලීක්ස් සාමාජිකයන් අනුගමනය කරන ස්වරූප කිහිපයක් තියෙනවා.

මොවුන් තමන්ට හමුවන හැම රහස් තොරතුරක්ම යම් කිසි ඇගයීමකට ලක් කර, ඒ වායේ මහජන වැදගත්කමක් තියෙනවාද මෙය නිකුත් කළ යුත්තේ මොන කාලයේ ද මොන ස්වරූපයෙන් ද කියලා තීරණය කරනවා. විකිලීක්ස් සමග වැඩකරන මාධ්‍යවේදීන් කණ්ඩායම තමයි මේ තීරණ ගන්නේ. ඔවුන් මේ තොරතුරු නිකුත්කිරීමේදී එක් අවස්ථාවකදී ඒ තොරතුරු ලැබුණු ස්වරූපයෙන්ම නිකුත් කිරීමත් තවත් විටෙක ඒවා මහජනයාට වඩාත් තේරුම් යන පරිදි අර්ථගන්වමින් ඇතැම්විට විශේෂාංග ස්වරූපයෙන් නිකුත් කෙරෙනවා.

• විකිලීක්ස් තොරතුරු සම්පාදන මෙහෙයුම තුළ ඔවුන් හුදෙක් අන්තර්ජාලයට පමණක් සීමා වෙන්නේ නෑ. එතනදි ඔවුන් ලෝකයේ ප්‍රබල අන්‍ය මාධ්‍යයන් සමගත් අත්වැල් බැඳගන්නවා. එකී ජාලගතවීම විකිලීක්ස් සඳහා වැදගත් වෙන්නේ කොහොමද?

ඇත්ත වශයෙන්ම අද වන විට විකිලීක්ස්වල ප්‍රධාන ශක්තිය වෙලා තියෙන්නෙත් මේ තත්ත්වය තමයි. ඔවුන් ලොව ප්‍රබල මාධ්‍ය කිහිපයක් වන ඇමරිකාවේ 'නිව්යෝර්ක් ටයිම්ස්' බ්‍රිතාන්‍යයේ 'ගාඩියන්', ජර්මනියේ 'ද ස්පීගල්' වගේ ප්‍රධාන පුවත්පත් කිහිපයක් සමග සම්බන්ධ වී සිටිනවා. විකිලීක්ස් යම් තොරතුරක් නිකුත් කරනවිට ඒ අනුව අනෙක් ආයතන කරාත් ඒවා ලබාදෙනවා. එතැනදි ඔවුන් කරන්නේ ඒ ඒ තොරතුරු සම්බන්ධ, වාර්තා විශේෂාංග සපයමින් සියලු දෙනා නියම කරගත් එක් දවසක ඒවා පළ කරනවා.

විකිලීක්ස් ගොඩනැගී ගතවුණු පසුගිය අවුරුදු තුනක විතර කාලය තුළ ඒ හරහා ලෝකයට හෙළිදරවු වුණු නොයෙක් ආකාරයේ තොරතුරු තියෙනවා, රජයන් විසින් ලෝකයෙන් වසන් කිරීමට උත්සාහ කළ. මේ අතර ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට අපි දැනගත්තේ ඉරාකය හා ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු රජය විසින් ගෙන යන ලද යුද මෙහෙයුම් පිළිබඳව වුවත්, ඒක විතරක් නෙමෙයි, දූෂණ, කාලගුණ විපර්යාස වගේ කරුණු පවා මේ තුළ සඳහන් වෙනවා. ඒ අනුව ඇමරිකානු රජයේ ක්‍රියාකලාපය පිළිබඳ හෙළිදරවු වුවත් විකිලීක්ස් හරහා මිනිසුන් දැනගෙන ඒවා ජනප්‍රිය වුණත් විකිලීක්ස් කියන්නේ ඒවාට විතරක් සීමා වුණු වෙබ් අඩවියක් නෙමෙයි කියලා පේනවා. වඩාත්ම වැදගත් වන්නේ මේ තුළින් හෙළිදරව් වන්නේ, වෙනත් මූලාශ්‍ර හරහා පහසුවෙන් දැනගැනීමට නොහැකිවුණු මෙතෙක් සැඟවී තිබුණු මෑතකාලීන සහ තරමක් පැරණි තොරතුරු රාශියක් ලෝකයට හෙළිදරව් වීම.

විකිලීක්ස් සතු තවත් වැදගත් දෙයක් තමයි, මේ තොරතුරු ලබා දෙන්නේ කවුද කියන එක සඟවනවා සේම, මේ තොරතුරු එළිවීමත් සමග බලපෑම් විය හැකි සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත පිළිබඳ වගකීම ගැනීම. එතනදි තමුන් වෙත ලැබෙන තොරතුරු තව මාධ්‍යවේදීන් විසින් ඇගැයීමට පත් කරන අවස්ථාවල ඒ තොරතුරුවල සිටින බලපෑම් විය හැකි අහිංසක මිනිස්සු පිළිබඳ තොරතුරු ඔවුන් ඉවත් කරනවා. ඇත්තටම එය ඉතා ශිෂ්ට සම්පන්න ගුණයක්.

• 2010 නොවැම්බර් 25 වන දින විකිලීක්ස් කළ හෙළිදරව් කිරීම් එක්තරා අතකට ලෝක දේශපාලනය අර්බුදයකට යැවීමටත් තවත් අතකට විකිලීක්ස් අර්බුදයකට යැවීමටත් හේතු වෙනවා නේද?

විකිලීක්ස් ඉතිහාසයේ මේ දක්වා නිකුත් කළ විශාලතම පළකිරීම කරන්නේ ඔබ කියූ දිනයේ තමයි. ඔවුන් ඒ නිකුත් කිරීම්වලට පාදක කරගන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තම විදේශ තානාපති කාර්යාල හරහා හුවමාරු කරගන්නා ලද කේබල් පණිවිඩ දෙලක්ෂ පනස්දහසක් විතර ප්‍රමාණයක්.

ඒ කේබල් පණිවුඩ හරහා ඇමරිකානු තානාපතිවරුන් තමන් වෙසෙන ඒ ඒ රටවල කළ සමාජ ආර්ථීක සහ දේශපාලනික ආදී ගනුදෙනු පිළිබඳ තම මව් රටට යැවූ රහස් තොරතුරු සටහන් වෙලා තිබුණා. මේ තත්ත්වයත් එක්ක ඇමරිකානු ජනාධිපති ඔබාමාට සහ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු පිරිසට විශාල අභියෝගයක් එල්ල වුණා, මෙච්චර තොරතුරු රාශියක් එළියට එද්දී ඒවාට කොහොමද මුහුණ දෙන්නේ කියලා. අනෙක් අතට අද වනතුරු ඇමරිකාව කියා හිටියේ ජනමාධ්‍ය, අන්තර්ජාලය ඇතුළු මාර්ග සියල්ලම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියලා. නමුත් ඒ අයිතිය තමන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ඔවුන්ට ප්‍රතිචාර දක්වන්න සිදුවන්නේ වෙනත් විදිහකට. ඒ ප්‍රතිචාර දක්වන ස්වරූපය අනුව ඇමරිකානු රජයට තමන් මෙතෙක් කල් ගෙනගිය ප්‍රතිපත්තිවලට එරෙහිව යන්න සිදුවෙලා තියෙනවා.

ඒ අනුව ඇමරිකාව, විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ත්‍රස්තවාදියෙක් සහ අපරාධකාරයෙක් යනුවෙන් හඳුන්වමින් ක්‍රියා කළා. නමුත් ඇමරිකානු මධ්‍යස්ථමතධාරීන් පවා පෙන්වා දෙන්නේ ජූලියන් අසාන්ජ් හෝ විකිලීක්ස් හෝ කිසිම නීතියක් කඩ කරලා නැති බවයි. ඒ අනුව ලිංගික අපයෝජනය පිළිබඳ පෞද්ගලික චෝදනාවක් මත ජූලියන් අසාන්ජ්ව අත්අඩංගුවට ගන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ හෙළිදරව් කළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව විමසන්නේ නැතිව කවුද මේක හෙළිකළේ කියමින් සොයමින් ඔවුන්ගෙන් පළිගැනීමට අද වන විට ඇමරිකාව උත්සාහ කිරීම නිසා ඔවුන් තම ව්‍යවස්ථාවෙන්ම පරම අයිතියක් ලබා දී අවුරුදු දෙසිය ගණනක් දිවි හිමියෙන් රැකගෙන ආ ප්‍රතිපත්ති අර්බුදයට ලක් වෙලා තියෙනවා.

• ලංකාව සම්බන්ධයෙන් විකිලීක්ස් හෙළිදරව් කිරීම් මොනවාද?

ඇමරිකාවේ කේබල් දෙලක්ෂ පනස්දහස විකිලීක්ස් එකවර නිකුත් කළේ නෑ. ඒ නිසා ඔවුන් මේ පණිවුඩ කොටස් වශයෙන් නිකුත් කරමින් ඉන්නවා. ඒත් එක්කම ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම් එංගලන්තයේ ගාඩියන් වගේ පත්තරවල දිනපතාම අලුතින් ප්‍රවෘත්ති පළවෙනවා, මේ තොරතුරු තවදුරටත් ගොඩ නගමින්. මේ කේබල් පණිවුඩ දෙලක්ෂ පනස්දහ අතර ලංකාවේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකාවට යවන ලද කේබල් පණිවුඩ තුන්දහසකට අධික සංඛ්‍යාවක් තියෙනවා කියලා කියනවා.

ඒ අතරින් මේ දක්වා පළවෙලා තියෙන පණිවුඩ එකක් දෙකක් තුළින් ලංකාවේ යුද්ධය පිළිබඳවත්, ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය පිළිබඳ ඇමරිකානු තානාපතිවරුන්ගේ අවංක දැක්ම මොකක්ද කියලා දක්නට ලැබෙනවා. ලංකාව ගැන හිතලා නෙමෙයි මේ තුළ අපේ වගේ රටවල පොදුවේ ලබා ගන්න අවශ්‍ය පාඩම් කිහිපයක් පැහැදිලි වෙනවා. මොකද මේ වන විට අපේ රටවල් විසින් සැක කළ නමුත් හෙළි නොවූ තොරතුරු මේ හරහා හෙළිවෙමින් තියෙනවා. බහුජාතික, ඖෂධ සමාගම් අපේ වගේ රටවල් කරන දේවල් පිළිබඳ අප තුළ තිබූ සැකය උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මේ කේබල් පණිවුඩ බොහෝමයක තියෙනවා ඇමරිකානු ඖෂධ සමාගම් අප්‍රිකාව සහ ආසියාව වගේ ප්‍රදේශවල කළ විශාල ජාවාරම් පිළිබඳව, සහ ඒවාට කවර නිලධාරීන්ද සම්බන්ධ වුණේ කියන එක ගැන. මීට අමතරව ඒ ජාවාරම් හේතුකොට කීදෙනෙක් මරණයට පත්වුණාද කී දෙනෙක් රෝගී වුණාද කියන කරුණු පවා ඒවායේ ඇතුළත් වෙනවා.

ඇමරිකාවට පොට වැරදීම ගැන සතුටුවනවාට වඩා මෙතනදී අපි කළ යුත්තේ හෙළිදරව් කිරීම් තුළ අපි නැවත කොහොමද ඒ ඒ ආයතනයන් සමග ගනුදෙනු කරන්නේ කියලා හිතන එක. ඒ විතරක් නෙමෙයි මේ තුළ නිරාවරණය වන තවත් වැදගත් කරුණක් තමයි, දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ලෝකයම කැළඹිලා ඉන්න අවස්ථාවේ, ඒවා අඩු කරන්න මුළු ලෝකයම සම්මුතීන්ට එද්දී අදාළ සමුළු තුළ ඇතැම් සංවර්ධිත රටවල් කළ කුමන්ත්‍රණ පිළිබඳව.

අනෙක් අතට ලංකාව වගේ රටකට පුළුවන් නම් අපේම කියලා විකිලීක්ස් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න එය අපේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට අවකාශයක් සලසා ගන්න පුළුවන්. එක්තරා අතකට රාජ්‍ය ආයතනයන්හි විනිවිදභාවය ඇති කරන්න මේක විශාල කටයුත්තක් වේවි. උදාහරණයක් විදිහට අපේ කලාපයේ ඉන්දුනීසියාව වගේ රටක මෑතක ආරම්භ කරන තියෙනවා, 'ඉන්දො ලීක්ස්' කියලා මෙවන් වෙබ් අඩවියක්. ඒ අනුව ඔවුන් ඒ රටේ දූෂණ, අක්‍රමිකතා පිළිබඳ තොරතුරු පළ කරනවා. තවත් අතකට ඉන්දියාව වගේ රටක 'ටෙනෙල්කා' වගේ වෙබ් අඩවි නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන් තොරතුරු ලබාගන්නෙත් විස්ල් බ්ලෝවර්ස්ලා මගින්.

• විකිලීක්ස් වගේ වෙඩ් අඩවියක් නැවැත්වීමට හෙවත් වාරණය කිරීමට ඒ යටතේ බලපෑමට ලක්වන ඇමරිකාව වගේ ප්‍රබල රටකට ඇති හැකියාව ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?

විකිලීක්ස් බ්ලොක් කරන්න දැනටමත් විවිධ උත්සාහයන් දරලා තියෙනවා. අන්තර්ජාලය ඇමරිකාව තුළ ආරම්භ වුවත් අද වන විට එය එක් ආණ්ඩුවකට හසුරවන්න බෑ. මොකද අන්තර්ජාලය නිර්මාණය කරලා තියෙන්නේම හිතුමතික ලෙස තනි පාලනයට නතු නොවන විදිහට. ඇමරිකාවේ ඇතැම් සෙනෙට් සභිකයින්ගේ බලපෑම පිට ඇමරිකාව තුළ ඇතැම් විට විකිලීක්ස් තහනම් වෙලා තියෙනවා. නමුත් එසේ වීමත් සමගම අදාළ වෙබ් අඩවිය පළ කිරීමේ වගකීම ස්විට්සර්ලන්තය බාරගන්නවා.

ඒ අනුව මේ මොහොත වන විට wikileaks.ch ලෙස ස්විට්සර්ලන්තය මුදා හැරලා තියෙනවා. ඊටත් අමතරව මේ මොහොත වන විට, wikileaks.antiwar.com ලෙසත් තවත් විදිහකට හුදෙක් ඉලක්කම් ටිකක් පමණක් සහතික වෙබ් ලිපිනයක් වන 213.251.145.96 වගේ ස්වරූපයන් රාශියක් යළි උපත ලබා තියෙනවා.

අන්තර්ජාලයේ ඉතිහාසය පිළිබඳ පර්යේෂණයක් කළ ජෝන් නෝටන් කියන පරීක්ෂකයා පෙන්වා දීලා තියෙනවා, මුළු අන්තර් ජාලයම නැවැත්වුවේ නැත්නම් විකිලීක්ස් නවත්වන්න බෑ කියලා. ඒ අනුව සමස්ත අන්තර්ජාලයම ඕෆ් නොකර මේක කරන්න බෑ. අන්තර්ජාලය උපමා වෙන්නේ ග්‍රීක පුරාවෘත්තවල තියෙන හයිඩ්‍රා කියන සතාට. ඒ සතාගේ එක ඔළුවක් කැපුවහම එතැනින් ඔලු දෙකක් මතුවෙනවා. ඒ වගේ විකිලීක්ස් එකතැනකින් වාරණය වෙද්දී එයට ආදරය කරන පිරිස් තවත් කිහිපතැනකින් එය පළ කරනවා. අද වන විට විකිලීක්ස් කියන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ඉතා හොඳ කටයුත්තක්. ඒ නිසා එයට අත තියන එකෙන් වළකින්න කියලා අද වන විට ඔන්ලයින් පෙත්සමක් අත්සන් වෙනවා. විශාල අත්සන් ප්‍රමාණයකින් යුතුව. එතනදි ඇතැම් පිරිස් කියලා තියෙනවා විකිලීක්ස් එක් වරක් වාරණය කළොත් අපි තවත් පස් තැනක පළ කරනවා කියලා.

ඒ විතරක් නෙමෙයි මෙතනදි ජූලියන් අසාන්ජ් කියලා තියෙනවා තමන් ළඟ හෙළිකිරීමට තවත් රහස් විශාල ප්‍රමාණයක් තියෙන බවත්, තමාව මැරුවත් තමන් ඒ රහස් සියල්ල ලෝකය පුරා පුද්ගලයින් සිය දෙනෙක් ළඟ තබා ඇති බවත්. විකිලීක්ස් සම්බන්ධ අනෙක් ප්‍රධානතම ලක්ෂණය වන්නේ සෙසු මාධ්‍ය සමග ඔවුන් ඇති කරගෙන තියෙන සම්බන්ධය කියලා මං කලිනුත් කිව්වා. ඒ නිසා මුළු අන්තර්ජාලය නතර කළත් විකිලීක්ස් අනෙක් මාධ්‍ය හරහා පළවෙනවා.

තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අද සිදුවිය හැකිදේ මීට අවුරුදු විස්සකට කලින් ආතර් සී ක්ලාක් මහතා ඉතා නිවැරදිව පෙන්වා දී තියෙනවා. එතනදි ඔහු කියනවා තොරතුරු දැනගැනීමේ අයිතිය සහ තොරතුරු පාලනය පිළිබඳ අනාගතයේදී තීරණය වන්නේ දේශපාලනය නොවෙයි තාක්ෂණයයි කියලා. මොකද තාක්ෂණය විසින් තොරතුරු වාරණය කිරීමේ හැකියාව දිනෙන් දින හකුළුවමින් තියෙනවා.

ඡායා: රංජිත් අසංක
[රාවය| 2010-12-19]

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|





විෂයක් නැති - සරණක් නැති
ගතියක් නැති - සම්තිං නැති
මේ කසල දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
දෙයි හාමුදුරුවනේ.....

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails