Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජාතිය ගොඩ නැගීම වු කළි ධනවාදයේ කාර්යයකි. ජාතිය ගොඩ නැගූ විට ධනවාදය පවත්වාගෙන යාමේ සියලූ අංගෝපාංග ජාතික රාජ්‍යය මගින් සපයනු ලබයි. ජාතිය මගින් ඊට අදාල භෞතික කාරණා මෙන්ම සංකේත පද්ධතිය තුළද පුද්ගල අභිලාශයන් මුදුන්පත් කරවීමට අවශ්‍ය සාධක සපයයි. මහා ආඛ්‍යානයන්ගේ නාමයෙන් අනෙකුත් බොහෝ දෑ අමතක කරනු ලැබීමත් පුද්ගලික ලෝකවල වටිනාකම්වලට ජනයා ආන්තීකරණය කරනු ලැබීමත් මගින් පාලක පන්තියට තම සිතූ මනාපයේ පාලනය හැසිරවීමටත් නොමද දායකත්වය සපයයි.

සුළු යන නාමය මහ බවට පත් කිරීමේ නැතහොත් මහ යන නාමයෙන් සුළු අමතක කිරීමේ ද්විත්ව ප‍්‍රතිපක්ෂ සංකල්පගත කිරීම්වල පැවැත්මෙහි රට කරවන්නන් සහ ඊට සහාය දෙන්නන් මුලු ගැන් වී ඇත.

මේ තුළ හරවත් වන ජාතිය, ජාතික රාජ්‍යය යන සංකල්ප අප රට තුළ කි‍්‍රයාත්මක වන්නේ ඊට අදාල සුවිශේෂ නිදහස් ලක්ෂණ කැටිව නොව විකෘතිතා රැසක්ද සමගින්ය. මෙම විකෘතිය තුළ රට කරවන්නන්ට අපහසුවකින් තොරව සිය වංක බව වසා ගැනීමටත් සිය පැවැත්ම සාධාරණීය කර ගැනීමටත් අවකාශ සපයා ඇත. ඊට ජනතාවගේ සහමතිය තිබේ. වෙනසක් කිරීමට අපහසුවන්නේ මෙම සහමතිය සාධරණීකරණය කිරීමට මෙවලම් තිබීමය.

අප රටෙහි යුද්ධයෙන් පෙරද ඊට පසුද ජාතිය ගොඩ නැගෙන්නේ එක් ජන වර්ගයක් ප‍්‍රධාන කොට ගෙන මිස ජාතියක් අරමුණුකොටගෙන නොවේ. නමුත් එය සාධාරණීකරණය කරන්නේ බහුතරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙවලම භාවිතා කරමින්ය. මහා ආඛ්‍යානයට අනෙකුත් ආඛ්‍යාන යටපත් කිරීම තුළය. උත්ප‍්‍රාසයට කරුණ වන්නේ එහිම ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවු යුද්ධයට ප‍්‍රතිචාර දක්වන්නේත් ඊට විසදුම් සොයන්නේත් ඒ තුළම සිට වීමය. මිලිටරි යුද්ධයේ අවසානයත් සමගින් දේශ හිතෛශී මතවාදය ජයග‍්‍රහණය කොට තිබේ. එය තව දුරටත් පවත්වාගෙන යාමට දැන් ඹවුන්ට සතුරන් අවශ්‍යය. ඒ නිසා ජාතිය ගොඩ නැගීමේ නාමයෙන් ජාතික රාජ්‍යය පවත්වාගෙන යාමේ සංකේත පද්ධතියට ආමන්ත‍්‍රණය කිරීමට පටන් ගෙන තිබේ. ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගැයීමේ යෝජනාව ඊට අයත්ය. යුධ ජයග‍්‍රහණය හුදු ජයග‍්‍රහණයක් නොව එය දේශහිතෛශීන් සහ දේශද්‍රෝහීන් බිහි කළේය. වෙනත් භෞතික ඉලක්ක සපුරා නොගත් මෙම මතවාදයේ නඩත්තුව රදා පවතින්නේ ඔවුන් සතුරා නැසුවිට හට ගන්නා අවකාශය තුළ නොව ඊට මග පෑදු ඔවුනගේ වටිනාකම් පද්ධතිය පවත්වාගෙන යාමෙන්ය. එම නිසා සතුරා භෙතිකව නොමැති වුවද සංකේතමය වශයෙන් සතුරා නිර්මාණය කළ යුතුය. උදාහරණයක් ලෙස දේශපේ‍්‍රමීන්ගේ පැවැත්ම ඇත්තේ දේශදෝහි ආඛ්‍යාන වැඩි කරගන්නා තත්වයක් තුළය.

සුළු ජාතීන්ට තමන් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය නැතිකළ විට ඔවුන්ගේ සද්භාවී ගුණය මහ ජාතිය හිස් මුදුනින් පිළිගනී. ගැටලූව ඇත්තේ සුළු ජාතීන් නැති වුවද මහ ජාතිය සිටීමය. එක මහ භාෂාවක් තිබීමය. මහ ජාතියේ භාෂාවෙන් ජාතික ගීය ගැයීමේ වරද කුමක්දැයි යෝජනාව ගෙන ආ අය පවසන විට මහා අවකාශය තුළ ඔවුනගේ අර්ථ ගැන්වීමි තුළ ඔවුන් සාධාරණීකරණය වී ඇත. මන්ද සුළු ජාතියක් නැති තැන සුළු ජාතික භාෂාවකින් ජාතික ගීය ගැයීමේ ඇති ඵලය කුමක්ද? මෙලෙස තව දුරටත් ඔවුන්ට සුළු යන්න තම ශබ්ද කෝෂයෙන් මකා දැමිය හැකිය. ඒ හා සබැඳි සියලූ ආඛ්‍යාන බැහැර කිරීමේ කලාව ප‍්‍රගුණ කළ හැකිය.

මෙහිදී මෙම යෝජනාව ගෙන ආ පිරිස තුළ ඇති සිංහල ලාංකික අනන්‍යතාවයෙහි ගුණාංග පිළිබද සැලකිලිමත් විය හැකිය. එනම් ඔවුන් විදේශීය රාජ්‍යවල මැදිහත්වීම නැවැත්වීමට, අපේ සිංහලකම රැක ගැනීමට, උපවාස කර මිය යාමට ඔන්න මෙන්න කියා තිබියදී දිවි ගලවා ගැනීමට කැපවී සිටින පිරිසකි. එහෙත් තමන්ට අවශ්‍යය යමක් පවත්වාගෙන යාමේ නැතහොත් කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගි විට උදාහරණ සපයාගන්නේ, තම යෝජනා යුක්ති යුක්ත කරනුයේ ලංකාවෙන් පිටස්තරව එය ආස්ථානගත කිරීමෙන්ය. සපයා ගන්නා උදාහරණද වැරදිය. එහෙත් ජනයා ප‍්‍රතිරූප වටා තම මතයන් නිර්මාණය කර ගැනීමේ බහූත්ව සාධක සපයා ඇති අවකාශයක් තුළ මහ ජනතාවට ඒවා වැරදි බව නොසිතෙයි. එනිසාම මෙම පඹ ප‍්‍රතිරූපවල පැවැත්ම තව දුරටත් සනාථ වේ.

ජනතාව චින්තනමය වශයෙන් සක‍්‍රීය වීම ධනවාදී යාන්ත‍්‍රණය මගින් අඩපන කොට ඇති බවට සාක්ෂ්‍ය ලෙස වත්මනෙහි ජනයාගේ දේශපාලන මැදිහත්වීමෙහි අවම බව සලකා බැලිය හැකිය. ජනයා තව දුරටත් පුද්ගලික පරිමණ්ඩලය ආරක්ෂා කිරීමේ සිහිනයට පමණක් ආන්තීකරණය කර ඇත. පුද්ගල සතුට අහිමි කර තිබේ. ඒ තුළ පාලක පැවැත්ම තහවුරු කර ඇත. මේ තුළ ජනයා ක්ෂණිකව ළගා කර ගත හැකි සිහින (සැබෑවේදී තමුන් ජීවිත කාලයටම මහන්සි විය යුතු) තුළ ගිල්වා ඇත. අල්තුසර් දක්වන ලෙසට අර්බුදය වන්නේ මෙම නිදහසේ මායාව තුළ පුද්ගලයා හිරවී තිබීමය. විවේකය අහිමි කිරීම තුළ එනම් අද දවසේ ආහාර වේල සොයා ගැනීම අසීරු කාර්යයක් බවට පත් කරද්දී සක‍්‍රීය පුරවැසියකු අපේක්ෂා කළ හැකිද? ව්‍යවහාරික ඥානයෙන් පිටස්තර යමක් අපේක්ෂා කළ හැකිද? ඒ නිසා දන්නා සතුරන්ට අදාල මතවාදය පවත්වා ගැනීම ජනයාට පහසුය.
මෙරටෙහි දේශපාලනය තුළ ප‍්‍රධාන ලෙසම සතුරාගේ භූමිකාව හිමි වූයේ ජාතිවාදී ආඛ්‍යාන තුළ 'අනෙකා' වූ සුළු ජාතියටයි. මෙම සංකල්ප ගතකිරීම් තුළ දේශපාලකයින්ට ඔවුන්ව ස්ථානගත කිරීමට වරම් හිමි විය. යුද්ධය ජයග‍්‍රහණය කළ යුතු යැයි පැවසූ තේමා පාඨයන් තව දුරටත් පවත්වා ගත නොහැකි මොහොතක අනෙකා පිළිබද භීතියේ මායාව තව දුරටත් පවත්වා ගෙන යාමට ඔවුනට ඇවැසිය. මන්ද දිනවන්නට උත්සාහ කළ මතවාදය දිනවී ඔවුනට ඔවුන් අභිමුඛ වු විට සිය පැවැත්ම තහවුරු කිරීමට නැසූ සතුරා තව දුරටත් පවත්වා ගත යුතුය. එනිසාය ඔවුන් ජාතික ගීය වැනි රාජ්‍ය සංකේතවලට ආමන්ත‍්‍රණය කරනුයේ. සිංහල ජාතියට සබැදිව ඊට විරුද්ධවන්නේ යැයි ගොඩ නැගිය හැකි සංකේත සොයමින් යන අතරේ දෙමළ බසින් ජාතික ගීය ඇසීම ඔවුන්ව තව දුරටත් ජීවත් කරවන්නකි. ආර්ථික බරින් මිරිකී නිමක් නැති සිහිනවල පැටලී සිටින ජනයා නිහඩ ප‍්‍රතිපත්තියක රැදී සිටින විට රට කරවන්නන්ටද හරි නැත. ඒ නිසාවෙන් ඔවුනගේ නිහඩත්වය සාධාරණය කළ යුතු සාධක සොයා ගත යුතුව ඇත. ඒ තුළය අද දවසේ ජනතාවට ඇති ප‍්‍රධාන ගැටලූව නමෝ නමෝ තායේ බවට පත් වනුයේ. තව නොබෝ දිනකින් රාජ්‍යයට එකම භාෂාවක් තිබීම මැනැවැයි කල්පනා කළහොත් ඊට කලබල නොවිය යුතුය. මන්ද ඔවුනගෙන් ඊට වඩා යමක් අපේක්ෂා කළ නොහැකි නිසාය.

එහෙත් මේ සියල්ල තුළ අපට සතුටු විය හැකි කාරණයක් තිබේ. එනම් ඔවුන් මේ යෝජනාව ගෙන ඒමත් එය හකුලා ගැනීමත්ය. මෙයට ඊනියා දේශපේ‍්‍රමී ගොඩෙහි අයද විරෝධය පෑහ. අවශ්‍යවන්නේ මෙලෙස ප‍්‍රතිරෝධය පෑ හැකි පොදුකාරණා සොයා ගැනීමය. එසේ නැතිනම් තව දුරටත් යෝජනා කර හකුලා ගැනීමට බලපෑම් කළ හැකි යෝජනා ගෙන ඒමට ඔවුන්ව පෙළඹවීමය.

'දේශපේ‍්‍රමිත්වය තක්කඩින්ගේ අවසන් නවාතැන් පල' යැයි කියමනක් ඇත. ගැටලූව වී ඇත්තේ මෙම තක්කඩින් බිහි කිරීමට සුභවාදී වෙනසක් අපේක්ෂා කළ මතවාදී යාන්ත‍්‍රණයම දායකත්වය සපයා තිබීම සහ ඒවා ඔවුන් සිය දර්ශනය යුක්ති යුක්ත කිරීමට භාවිතා කරන නිසාය. කෙසේ වුවද අද දවසේ අධිපති මතවාදය තුළ ඇති බැහැර කිරීමේ කලාව අවබෝධ කළ යුතුවේ. බැහැරවන්නේ අප නොවන අනෙකා යැයි සිතා සිත සනසා ගත්තද එය එසේ නොවන නිසාවෙන් අක‍්‍රීය වී ඇති පුරවැසියා සක‍්‍රීය විය යුතුය. එවිටය විවිධත්වයට ගරු කරන නිදහස් පිරිසක් නිර්මාණය වනුයේ.

ගීතිකා ධර්මසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails