Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නන්දිකඩාල් කළපුවට ඉහළින් හඳ පායා තිබිණි.මැදියම් රැයද පසු වී තිබිණි. පෑයූ සඳේ සෙවනැල්ල කළපුවේ දිය මත වැටී තිබිණි. පෙනෙන තෙක්මානය, ඇසෙනතෙක් මානය නිහඬ වූයෙන් මමත් මාගේ මිතුරාත් ඒ 35 මාර්ගයේ බෝක්කුවක් මත අසුන් ගෙන කළපුව දෙස බලා සිටියෙමු. යුද්ධයේ අවසානය සටහන් කරමින් මෙතැනට මඳක් ඔබ්බෙන් වූ ඈත මුහුදට එල්ල කළ මල්ටි බැරල් ප‍්‍රහාර වලට පෙර මෙතැන කොතරම්-

කලබල තැනක් වන්නට ඇත්ද? ඝෝෂාකාරී තැනක් වන්නට ඇතිද? අද සියල්ල නිහඬය. නිසලය. අප සිටින තැනට පසු පසින් වූයේ අප දින කිහිපයක් නැවතී සිටි නිවසය. ඒ පරණ තාලේ උළු සෙවිලි කළ නිවසකි. දොර ජනෙල් වෙඩි වරුසා වලින් විනාශ වී ඇත.

සතර දිග්භාගයටම ඒ දොර පියන් විවෘතව ඇත්තේ කිසිදු ආරක්ෂාවක් ඒ නිවසට නැතුවාක් මෙනි. නමුත් මිනිසුන්ගෙන් ශුන්‍ය වූ බිමක දොරජනේල් අගුලු දමන්නේ කාගෙන් මොනවා රැක ගැනීමටද? ඒ නිවෙස් වල වහලයේ සවිකළ කුඩා ප‍්‍රමාණයේ සුදු කොඩි හිටවා තිබෙයි. ඒවා තවමත් සුළගට ලෙළ දෙයි. කලකට ඉහතදී මිනිසුන් හා දුර ගමන් ගිය ලොරි,බස්, වෑන්, කාර් පමණක් නොව යතුරුපැදි හා පා පැදිද නතර වූ තැන්වලමය. සමහරක් ඒවා ගිනිගෙන දැවී ඉතිරිව ඇත්තේ සැකිල්ල පමණකි. වෙඩි වැදි සිදුරු නොවූ වාහනයක් සොයා ගත නොහැකි සෙයකි.

පාර අයිනේ ඇති පාපැදි අංගනයේ දහස් ගණනක් පා පැදි එක පෙළට ගොඩගසා තිබේ. ඒ අතර කූඩා දරුවෙකු විසින් භාවිතා කළ කුඩා ට‍්‍රයිසිකලයකි. ඒ අවට නිරන්තරයෙන් කැරකෙන බලූ සුරතලෙකි. විටක නැගිට ඒ වටා රවුමක් යන ඌ එය දිව ගා බලන්නේ සාංකාවට මෙනි. ඒ බිමේ එසේ හාම්පුතුන්ගෙන් වියෝ වූ සුරතලූන් අනන්තය අප‍්‍රමාණය. කැඞී බිඳී වලගොඩැලි නැංවූ පාරේ හමුදා ට‍්‍රැක්ටරයක් හෝ ට‍්‍රක්රථයක් යන විට නැගී සිටින ඔවුන් එදෙස බලා සිටින්නේ අපේක්ෂාවකින් තොරවමය. ඒ සුරතලූන්ගේ අඩවන් වු ඇස් හා කඩාවැටුණු කන් ඇසූ දුටූ බොහෝ දේ ගැන ඉඟියක් අප වෙත කියා පාන්නේය.

නන්දිකඩාල් කළපුවෙහි මාළු ගහණය ඉතා ඉහළ ගොස් තිබේ. මාළු අල්ලන්නට ධීවරයෝ නොඑතියි කියා ඔවුන් කැරලි ගසන්නාක් මෙනි. ඉර බැස යන යාමයේ හමුදා සෙබළෙක් කළපුවට බැස වීසි දැලක් විසිකරනු දැකිය හැක.වව්නියාවෙන් පසු මාන්කුලම දෙසට යන ගමනේදි දක්නට ලැබෙන ජන ශූන්‍ය ඉඩම් ගැන ඕනෑම අයෙකු තුළ පහල වන්නේ තෘෂ්ණාවකි. ඒවායෙහි සාරවත්භාවය නිසාම යමකු තුළ ඒවා අත්පත් කරගැනීමට තෘෂ්ණාවක් පහල වීම සාධාරණයැයි සිතේ. නැගෙනහිර පළාත එල්. ටී. ටී. ඊ. යෙන් මුදාගෙන, ආරක්ෂාව තහවුරු වූ පසු රටේ බොහෝ ප‍්‍රදේශ වලින් විවිධ ජාතීන්ට අයත් විවිධ තරාතිරමේ මිනිසුන් එහි ඇදෙන්නට විය.

එසේ ශ්‍රද්ධාවෙන් සේරුවිල ගිය උවැසි උවැසියන් පවා නැවත තම ගම රටට පැමිණියේ ඒ ඉඩම් පිළිබඳව තෘෂ්ණා සිත් පහල කරගෙනය. තමන්ගේ ගෙවත්තේ බටු ගහක්, මිරිස් ගහක් පැළ නොකරන්නට තරම් කම්මැලි ඈයෝ"නැගෙනහිරින් අක්කර පහක් දෙනවා නම් ෆාම් එකක් දානවා"යැයි කියන්නට තරම් කෘෂිකාර්මික සිත් පහල කොටගෙන තිබිණි. නමුත් සැබෑව ඇත්තේ කොතැනද? ශ‍්‍රී ලංකාවේ එක් ප‍්‍රදේශයක වැසියන් පිරිසකට ව්‍යසනයක් සිදුවී තිබේ.

ඔවුන්ගේ ගේ දොර, ඉඩකඩම්, හරකාබාන පමණක් නොව ජීවිත පවා විනාශ වී යළි ගොඩ ආ නොහැකි තරමේ දුකකට පත්ව සිටී. දුක් මහන්සියෙන් ජීවිතය උපයා ගත්තවුන්ට සියල්ල මොහොතකින් අහිමිව ගොස් ඇත. කොහේ හෝ තාවකාලික කඳවුරක ඔවුන්ගේ ජීවිතය ගෙවෙයි. නැවත ඔවුන් තුළ ආත්ම විස්වාසයත් රට ගැන අභිමානයත් ඇතිකිරීම අවශ්‍යව තිබේ. ඒ සඳහා පළමු පියවර වන්නේ ඔවුන්ගේ ගම්බිම් නැවත ඔවුන්ටම ලබා දීමයි.

නැගෙනහිර පළාත මුදාගත් අවදියේ, වාකරේ ප‍්‍රදේශයේ අභ්‍යන්තර අවතැන්වූවන්ගේ එක් කඳවුරකට ගිය විට මැදිවියේ කාන්තාවක් අපට කී දෙය ඒ ඉඩම් දකින අපගේ මතකයට නැගේ."අපට ආණ්ඩුවෙන් වන්දි එපා, අපේ ගෙවල් දැන් තිබුණු තැන්වල නෑ, ඒකට කමක් නෑ. අපට අපේ ඉඩම් වලට යන්ඩ දෙන්ඩ. අපි මොනවා හරි පැළකරගෙන ජීවත් වෙන්නම්. මේ අපායේ අපට තවත් ඉන්ඩ බෑ” යනුවෙනි.

උතුරු පළාතේ මිනිසුන් නැවත පදිංචි කිරීම දැන් දැන් සිදුවෙමින් පවතී. ව්‍යාසන, ආපදා වලින් පසුව මිනිසුන් නැවත පදිංචි කිරීම පිළිබඳව, ප‍්‍රදේශ යළි ගොඩනැගීම පිළිබඳව කැනේඩියානු ජාතික සම්මානනීය ලේඛිකාවක් වන නයෝමී ක්ලයින් මහත්මිය ඇගේ දේශනයකදී සඳහන් කළ කරුණක් උපුටා දක්වන්නට කැමැත්තෙමි."අද පෘතුවියේ විශාල කොටසක් නැවත ගොඩනැගීම් වලට යටත්ව ඇත. මේවා රාජ්‍යයන්ට සමාන්තරව ලාබ උපයන සමාගම් වලින්ද, ඉංජිනේරූ සමාගම් වලින්ද, රාජ්‍ය නොවන සංවිධාන වලින්ද එක්සත් ජාතීන්ගේ ආර්ථික හා මුල්‍ය නියෝජ්‍ය ආයතන වලින්ද සිදු කරයි. සියලූ ගොඩනැගීම් ඉතා මන්දගාමී ස්වරුපයකින් සිදු කරයි. විදේශ උපදේශකයින් ඉතා සුඛෝපභෝගීව දිවි ගෙවන අතර දිනකට ඩොලර් දහස් ගණනින් වැටුප් ලබයි. එමෙන්ම ස්වදේශිකයින් තීරණ ගැනීමේ හා පුහුණු කිරීමේ කි‍්‍රයා වලින් ඉවත් කොට ඇත. ව්‍යසනයේ අවසාන හෝරාව ගෙවුණු නන්දිකඩාල් කළපුව ආසන්න ප‍්‍රදේශය පමණක් නොව මුලතිව් දිස්තී‍්‍රක්කය හෝ උතුරු හා නැගෙනහිර දෙපළාතද පමණක් නොව සමස්ථ ශී‍්‍ර ලංකාවම ඉහත කී තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා මහජනතාව තුළ සම්මා දිට්ඨිය ඇති කිරීම අත්‍යවශ්‍ය ඇති බව පෙනෙයි.

කෙසේ වෙතත් විශේෂ අවසරයක් ලැබී කිසිදා හැබැහින් දැක නොතිබූ පළාතෙහි විසු දින කිහිපය පසු දින පහන් වීමත් සමග නිමවන බැවින්, කළපුව අසල පාරේ බෝක්කුව මතින් මමත් මගේ මිතුරාත් නැගී සිටියෙමු. තැන තැන විසිරී තිබු සාමන්‍ය මිනිසුන්ගේ හෝ එල්. ටී. ටී. ඊ. සමාජිකයන්ගේ හෝ වටිනා බඩුබාහිරාදිය අතරින් කිසිවකුත් රැගෙන නොඑන්නට අප තරයේ හිත හදා ගතිමු. නමුත් සුන්බුන් අතර ඇවිදින විට දී අහම්බයෙන් නෙත ගැටුණු යමක් මම අහුලා ගතිමි. එය දෙමළ තරුණියන් බුහුලව පාදයෙහි පළඳන දැවීගිය පළදනාවක කුඩා එක් ගෙජ්ජියකි. තඹ පැහැති ඒ ගෙජ්ජිය අහුලා ගත් මම එය මිට මොලවා ගතිමි. ඒ කුඩා ගෙජ්ජිය පාපැදි අංගනයෙදී දුටු කුඩා දරුවාගේ රෝස පැහැති ට‍්‍රයිසිකලය මෙන් මා මනසේ දහසක් චිත්ත රූප මවයි. නිරන්තරයෙන් හඬ නගයි. නන්දිකඩාල් කළපුවට ඉහළින් හඳ පායා තිබුණි. එහි සෙවනැල්ල දිය මත වැටී තිබිණි.

ජනවාරි 11, 2011
[උපුටා ගැනීම අද දෙරණ වෙබ් අඩවියෙනි.]

ප්‍රියංජිත් ආලෝකබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails