Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සංහිඳියාව සහ රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ කතිකාව නැවත වරක් දේශපාලන කරලියේ උණුසුම් මුහුණුවරක් ගනු දැකීම, දේශයේ අනාගත උන්නතිය ගැන හිතන සියලු පුරවැසියනට සතුටු විය හැකි සංසිද්ධියකි.

මෙම ලිපියෙහි අරමුණ වන්නේ එම කතිකාව පෝෂණය කිරීම සඳහා තවත් කරුණු කිහිපයක් ගැන පාඨක අවධානය යොමු කිරීමයි.

හැඳින්වීම

තිස් අවුරුදු යුද්ධය අවසන, ශ්‍රී ලංකාව ප්‍රධාන අභියෝග දෙකක් අභිමුව සිටී. ඉන් පළමුවැන්න වන්නේ ජනවාර්ගික කණ්ඩායම් අතර සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම පෙරදැරි කර ගත් ප්‍රතිසන්ධාන ක්‍රියාමාර්ග පූර්ණය කිරීමයි. දෙවැන්න වන්නේ ආර්ථීක වශයෙන් රට නඟාසිටුවීම සහ සංවර්ධනයේ ප්‍රතිලාභ සමස්ත මහ ජනතාවට හිමිවන, තිරසර හා ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් බිහි කිරීමයි. සත්‍ය වශයෙන්ම මේ වූ කලී ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැඟීමේ (State building) ප්‍රධාන පැතකඩ ද්විත්වයයි. දිග් ගැසෙමින් පැවැති සිවිල් යුද්ධය අවසන් කොට ඇති මේ මොහොතේ, මෙම ද්විත්ව අභියෝග ජයගැනීම සඳහා යළිත් උදා නොවන අවස්ථාවක් (Opportunity) විවර කොට ඇත. දැන් එළැඹ තිබෙන්නේ එම අවස්ථාවෙන් ඵල නෙලා ගත යුතු කාලයයි. මේ, ඒ පිළිබඳව තබන සටහනකි.

ශ්‍රී ලංකාවේ රාජ්‍යය ගොඩනැඟීමේ උත්සාහය සහ එහි ඉතිහාසය

ශ්‍රී ලංකාවේ රාජ්‍යය ගොඩනැඟීම පිළිබඳ කතිකාව දේශපාලන තලයේ පුළුල් හා විවෘත මාතෘකාවක් බවට පත්වන්නේ නිදහසින් පසුව, බලය බෙදීමේ (Devolution of Power) සංකල්පයක් ද ඒ තුළට සම්මිශ්‍රණය කොට ගෙනයි. එම කතිකාව තුළ කියැවුණේ ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර බරපතල අනන්‍යතා අර්බුදයක් පවතින බවත්, එම අනන්‍යතා අර්බුදයෙහි සාධනීය විපරිවර්තනයක් දැකීම සඳහා කිසියම් ආකාර බලය බෙදීමේ සිද්ධාන්ත පාදක කොට ගත් පිළිවෙලකට ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතිසංවිධානය විය යුතු බවත්ය.

මේ නිසා නිදහසින් පසුව රටේ බලයට පත් වූ සෑම පාලකයෙක්ම පාහේ රාජ්‍යය ගොඩනැඟීමේ උත්සාහයන්හි දී බලය බෙදීම පිළිබඳ සංකල්පය කෙරෙහි වඩවඩාත් නැඹුරු වන්නට වූහ. 1957 දී ඇති කරගත් බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම මඟින් ද, 1965 දී ඇති කර ගත් ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම මඟින් ද උත්සාහ ගත්තේ බලය බෙදාහදා ගැනීම සඳහා වූ වඩාත් යෝග්‍ය ආකෘතියක් (Model) හඳුනා ගැනීමටයි. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම මඟින් ප්‍රාදේශීය ස්වයං පාලනය සහතික කරනු ලබන “රට සභා” ක්‍රමයක් යෝජනා කෙරුණු අතර ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම මඟින් “දිස්ත්‍රික් සභා” ක්‍රමයක් යෝජනා කෙරිණ. එහෙත් එම යෝජනා දෙකම ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවල මැදිහත්වීම හේතු කොට ගෙන ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

1980 දශකයේ අගභාගයේ දී නැවතත් බලය බෙදීම පිළිබඳ කතිකාව දේශපාලන කරලියට පැමිණෙන අතර දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 දී එක්කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව “පළාත් සභා” ස්ථාපිත කෙරුණේ එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියටයි. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් එමඟින් යෝජනා කෙරිණ. එහෙත් ආරම්භයේ සිටම පළාත් සභා ක්‍රමය අසාර්ථක එකක් බවට විවේචන එල්ල වීමට පටන් ගැණුනු අතර එයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කෙරිණ. පළාත් සභා සංස්ථාපනය කොට ක්‍රියාත්මක කිරීමේ දී එහි භාවිතාවේ දක්නට ලැබුණු සුවිශේෂ දුර්වලතාවය වන්නේ එය උතුරු හා නැගෙනහිර පළාත්වලම ක්‍රියාත්මක නොවීමයි.

පළාත් සභා සංස්ථාපනය කිරීමෙන් පසුව ද බලය බෙදාහැරීමේ අවශ්‍යතාව ගැන සමාජය තුළ කතිකාවක් ගොඩනැඟිණ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලයට පත්වීමෙන් අනතුරුව ඇය මෙම කතිකාව සැලකිල්ලට භාජනය කළාය. ඒ අනුව 1995 දී එවකට පැවැති පොදුජන එක්සත් පෙරමුණු රජය විසින් බලය බෙදාහැරීම සඳහා වන යෝජනාවලියක් ඉදිරිපත් කළේය. එහෙත් එම යෝජනාවලිය බලාත්මක කිරීමට බලයේ සිටි පොදුජන එක්සත් පෙරමුණු රජය සමත් වූයේ නැත.

වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව බලය බෙදාහැරීම සහ රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ කතිකාව නැවත වරක් දේශපාලන කරලියට පැමිණෙන ආකාරයක් දැකගත හැකි විය. ශ්‍රී ලංකා මොඩලයේ පාලන ක්‍රමයක් ගැන ඔහු ඉඟි පළ කළේය. රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීමට නැතහොත් ශ්‍රී ලංකාවට වඩාත් ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවැසි යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඔහු විසින් සර්ව පාක්ෂික නියෝජිත කමිටුවක් සහ විද්වත් මණ්ඩලයක් පත්කරනු ලැබීය. එම කමිටු මඟින් අවස්ථා කිහිපයක දී යෝජනා මාලා කිහිපයක් ඉදිරිපත් කරනු ලැබූ අතර ඉන්දියාවේ පංචායත් රාජ්‍ය ක්‍රමයෙහි යෝග්‍යතාවය ගැන ද පිරික්සා බැලීය. එහෙත් බලය බෙදාහැරීම පිළිබඳ කතිකාවට වැඩි වැදගත්කමක් හිමි නොවුණු අතර කල්යත්ම එම කතිකාව යටපත් වන්නට විය.

මෙයින් අපට එක් කරුණක් ගැන පැහැදිලි විනිශ්චයකට එළැඹිය හැකිය. එනම්, ජනවාර්ගික සංහිඳියාව අරමුණු කර ගෙන බලය බෙදාහැරීම සහ ඒ මඟ ඔස්සේ රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඉතිහාසයේ ගෙන ඇති සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇති බවයි. එහෙත් අදත් රාජ්‍යය ගොඩනැඟීම සහ බලය බෙදාහැරීම හා සම්බන්ධ කතිකාව සමාජයෙන් සම්පූර්ණයෙන් මැකී ගොස් ඇතැයි කිව නොහැකිය. වරෙක වඩාත් උණුසුම්වෙමින් ද තවත් වරෙක මන්දගාමී ස්වරූපයෙන් ද මෙම කතිකාව නොනැසී විකාශනය වෙයි.

රාජ්‍යය ගොඩනැඟීමේ උත්සාහය අසාර්ථක වී ඇත්තේ ඇයි?

ජනවාර්ගික ගැටුමට විසඳුමක් වශයෙන් බලය බෙදාහැරීම සහ එය පාදක කොට ගෙන රාජ්‍යය ගොඩනැඟිය යුතුය; යන අදහස පරාජයට වීමට හේතු වී ඇති ප්‍රධාන සාධකය වන්නේ මෙරට ජනවාර්ගික ගැටුමෙහි පවතින ව්‍යාප්ති මට්ටමයි. මෙරට ජනවාර්ගික ගැටුම මූලික වශයෙන්ම රජය මුල් කොට ගෙන නිර්මාණය වී තිබෙන්නකි. රජයේ ස්වභාවය සහ එහි ව්‍යුහය මෙහි දී ප්‍රශ්නයට බඳුන් වී ඇත. එසේ නොමැතිව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවතියාක් මෙන් සුදු-කළු ප්‍රශ්නයක් මේ රටේ පැවැතියේ නැත. රුවණ්ඩාවේ උද්ගත වූවාක් මෙන් හුටු-ටුට්සි වැනි ගෝත්‍රික ප්‍රශ්නයක් මේ රටේ පැවැතියේ නැත. ඉතාමත් සරල කොට දක්වන්නේ නම් ජනතාවගේ මට්ටමින් සිංහල-දෙමළ ජන කොටස් පිල්වලට බෙදී එකිනෙකා ඇණකොටා ගන්නා තත්ත්වයක් මේ රටේ නැත. ඇතැම් අවස්ථාවල දී එවැනි විරල සිද්ධීන් කිහිපයක් ගැන වාර්තා වී ඇති නමුදු ඒවා එසේ වූයේ කෙසේ ද යන්න ගැන අපි කවුරුත් අඩු වැඩි වශයෙන් දනිමු. ජනවාර්ගික එදිරිවාදිකම්වල උච්ඡතම අවස්ථාවක් ලෙස සැලකෙන '83 කළු ජූලිය අවස්ථාවේ සිදු කෙරුණු මිනිස් සංහාරය සඳහා එවකට පැවැති දේශපාලන හස්තයේ බලපෑම කෙතෙක් දුරට ඉවහල් වී තිබුණේ ද යන්න ගැන අද බොහෝ වාර්තා මඟින් හෙළිදරව් වී ඇත. අප ඒ ගැන මෙහි දී වැඩි දුරටත් සාකච්ඡා කරන්නේ නැත. (අවශ්‍ය නම් අපට ඒ ගැන තවත් ලිපියකින් සාකච්ඡා කළ හැකිය.)

අප මෙහි දී අවබෝධ කොට ගත යුතු කාරණය වන්නේ මෙරට ජනවාර්ගික ගැටුම රජය මුල් කොට ගෙන ඇති වී තිබෙන්නක් වන බවත්, ජනතාවගේ මට්ටමින් එහි බරපතල සංකීර්ණතා පැනනැඟී නොමැති බවත් සහ එම හේතුව කරණ කොට ගෙන බලය බෙදීමේ උත්සාහය අසාර්ථක වී ඇති බවත්ය. (මේ සඳහා හේතු වී ඇත්තේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට එකිනෙකාගෙන් වෙන්වී වාසය කිරීමට තරම් බරපතල ජනවාර්ගික විරසකයක් මේ රටේ නොමැති වීමයි.)

ජනවාර්ගික සංහිඳියාව සහ බලය බෙදාහැරීම ඔස්සේ රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ගන්නා ලද උපාය මාර්ග අසාර්ථක වීමට බලපා ඇති තවත් අප්‍රධාන හේතු සාධක කිහිපයක් පවතී. ඉන් එක් හේතු සාධකයක් වන්නේ වෙනම රාජ්‍ය සංකල්පය පෙරමුණෙහි තබාගෙන එල්ටීටීඊ සංවිධානය විසින් ගෙන ගිය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ එකී ක්‍රියාකාරකම් ජනවාර්ගික ගැටුම සමඟ සමපාත වීමත්, එවැනි තත්ත්වයක් තුළ බලය බෙදාහැරීම බෙදුම්වාදයට රුකුල් දෙන්නක් විය හැකි බවට සමාජය තුළ ගොඩනැඟුණු අස්ථාන බියත්ය. තවත් හේතු සාධකයක් වන්නේ මෙරට බලය බෙදාහැරීම පිළිබඳ සංකල්පය අධිරාජ්‍යවාදීන්ගේ උවමනා සංසිඳුවීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන විසින් වපුරන ලද මතයක් බවට සමාජගත වී තිබීමයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජන කොටස් රටේ සියලු ප්‍රදේශවල අනෝන්‍ය වශයෙන් සම්මිශ්‍රව වාසය කිරීම ද ජනවාර්ගික සමඟිය අරබය බලය බෙදාහැරීමේ අවශ්‍යතාව ගැන ජනතාවගේ අවධානය අඩු කොට ඇත. මෙවැනි හේතු සාධක නිසා මෙරට බලය බෙදීම පිළිබඳ කතිකාව සහ ඒ ආශ්‍රයෙන් රාජ්‍යය ප්‍රතිසංවිධානය විය යුතුය; යන මතවාදය පරාජයට පත් වී ඇත.

බලය බෙදීමේ සංකල්පය මිය නොයන්නේ ඇයි?

මෙරට බලය බෙදාහැරීමේ උත්සාහය සහ ඒ ආශ්‍රයෙන් රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීමේ උපායමාර්ගය පරාජයෙන් පරාජයට පත්වෙමින් පවතින සංසිද්ධියක් වුවද අදත් එම කතිකාව සමාජයෙන් සම්පූර්ණයෙන් මැකී ගොස් නැත්තේ ඇයි ද යන ප්‍රශ්නය මෙහි දී පැන නැෙඟයි. සිදුව තිබෙන්නේ එම උත්සාහය අසාර්ථක වීම පමණි. එම අසාර්ථකත්වයට හේතු කිහිපයක් බලපා ඇත.

ඒ සඳහා බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ බලය බෙදාහැරිය යුත්තේ ඇයි ද යන ප්‍රශ්නය සහ එහි ඇති අවශ්‍යතාවය කුමක්දැයි යන්න ගැන පුළුල් සහ විවෘත වශයෙන් සමාජය තුළ සංවාදයට බඳුන්ව නොතිබීමයි. මෙම කතිකාව ගොඩනැඟී තිබෙන්නේ එක් ආස්ථානයක සිට පමණි. එය නම්, අප මුලින් සඳහන් කළ ආකාරයට අනන්‍යතා අර්බුදයට නැතහොත් “ජනවාර්ගික ගැටුමට පිළියම් සෙවීම” නම් වූ ආස්ථානයේ සිටය; යන්නයි. සත්‍ය වශයෙන්ම රාජ්‍යය ගොඩනැඟීමේ ක්‍රියාවලියේ දී අවධානය යොමු කළ යුතු එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ මෙයයි. එහි විවාදයක් නැත. එහෙත් අප එහි අනෙක් පැතිකඩ නොසලකා හැර ඇත. එකී පැතිකඩ නම් ආර්ථීක අර්බුදයයි; ආර්ථීක වශයෙන් රට ගොඩනැඟීම පිළිබඳව වූ සමාජ අවශ්‍යතාවයි.

දැඩි මධ්‍යගතවාදී පාලන ක්‍රමයක් තුළ ජනතාව දේශපාලන වශයෙන් දුබල තත්ත්වයකට ඇද වැටීම එහි සාමාන්‍ය ස්වභාවයි. එවැනි ක්‍රමයක පුරවැසියා ආණ්ඩුකරණය සඳහා සහභාගි කරවා ගැනෙන්නේ ඉතා මඳ වශයෙනි. මධ්‍යගත පාලන ක්‍රමය විසින්ම ඔහුට එම අවස්ථාව අහුරාලනු ලබයි. ස්වභාවයෙන්ම දේශපාලන සත්ත්වයකු වන මිනිසා දේශපාලන ගැන නිතැතින්ම උනන්දු වෙයි; ක්‍රියාශීලීවීමට කැමැත්තක් දක්වයි. එහෙත් පුරවැසියාට ඒ සඳහා වැඩි අවස්ථාවක් හා හැකියාවක් ලැබෙන්නේ පාලන ක්‍රමය වඩාත් විමධ්‍යගතවන ප්‍රමාණයටය. බලය බෙදාහැරීම හෝ බලය විමධ්‍යගත කිරීම පිළිබඳ කතිකාවට සමාජය තුළ වැඩි පිළිගැනීමක් ලැබී තිබෙන්නේ ඒ නිසාවෙනි. අනෙක් අතින්, බලය බෙදාහැරීමක් මඟින් පුරවැසියාට සංවර්ධන හා පරිපාලන ක්‍රියාවලියට දායකවීමට වැඩි අවස්ථාවක් ලැබෙයි. මේ නිසා ලෝකයේ සියලුම රාජ්‍ය කිසියම් ආකාර බලය බෙදීමේ හෝ බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමෝපායයක් අනුගමනය කිරීමට පෙළඹී සිටියි. ශ්‍රී ලංකාවට ද එම යථාර්ථයෙන් බැහැර විය නොහැකිය.

රාජ්‍යය ගොඩනැඟීමේ ද්විපැතිකඩ

ජනවාර්ගික සංහිඳියාව පාදක කොට ගත් බලය බෙදීම හා සම්බන්ධ කතිකාව දශක ගණනාවක් තුළ පරිණාමය වුවද අදත් එහි සැලකිව යුතු ප්‍රගතියක් පෙන්නුම් කර නැත. එදා මෙදා තුර ඒ සඳහා ගන්නා ලද කිසිදු උත්සාහයක් සාර්ථක වී නැත; එක්කෝ ප්‍රමාණවත් වී නැත. පළමු කොට අප එම යථාර්ථය පසක් කරගත යුතුය. එහෙත් එය එසේ වූයේ ඇයි ද යන ප්‍රශ්නයට නියමාකාර පිළිතුරක් සපයා ගැනීමට අප තවමත් සමත් වී නැත. ඒ සඳහා ප්‍රමාණවත් අධ්‍යයනයක් ද සිදු කෙරී නැත. එය අප ඉතිහාසයේ අත්හැර ඇති අවස්ථාවකි. අද්‍යතන ජනවාර්ගික සංහිඳියාව සහ රාජ්‍යය ගොඩනැඟීම හා සම්බන්ධ කතිකාව තුළ මේ ප්‍රශ්නය සංවාදයට බඳුන්විය යුතු බව අපගේ අදහසයි. ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැඟීම හා සම්බන්ධ කතිකාවේ එක් පැතිකඩක් වන්නේ මෙයයි.

මෙම ලිපියේ මුල් කොටසේ ඒ සඳහා ප්‍රවේශයක් අප විසින් සපයා ඇත. රාජ්‍යය ගොඩනැඟීම හා සම්බන්ධ කතිකාවේ අනෙක් පැතිකඩ වන්නේ ආර්ථීක අර්බුදයයි. ආර්ථීක අර්බුදය පිළිබඳ ගැටලුව ප්‍රථමයෙන් පැනනඟින්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාත කේන්ද්‍ර කර ගෙනයි. (එහෙත් මෙය දකුණු පළාතට පමණක් සීමා වූ ගැටලුවක් තරමට ලඝු කොට නොසැලකිය යුතුය. ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට බලපාන ගැටලුවකි) 1971 වර්ෂයේ දී එහි පළමු පුපුරායාම සිදු වූ අතර 1980 දශකයේ අගභාගයේ දී එහි දෙවන පුපුරායාම ද සිදු විය. ජනතා විමුක්ති පෙරමුණ මේ සඳහා නායකත්වය දෙනු ලැබීය. විරැකියාව, දරිද්‍රතාවය හා බැඳුණු ගැටලු රාශියක් එම පුපුරායාම් මඟින් ප්‍රකාශ විණ. මෙම ආර්ථීක සාධකය අමතක කොට අපට රාජ්‍යය ගොඩනැඟීමේ සුබ සිහිනය සැබෑ කරගත නොහැකි වනු ඇත.

උතුරත් දකුණත් එක්ව විසඳුමක් සෙවිය යුතුයි

ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතිසංවිධානය කළ යුතුය; යන අදහස අදත් පවතින අතර රාජ්‍යය පිළිබඳ අතෘප්තියෙන් පසුවන පිරිසක් ද සිටිති. එහෙත් ඒ අතෘප්තියෙන් පසුවන පිරිස උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පමණක් නොවේ. අප මෙය පටු කොට දැක්වීමට පුරුදු වී ඇත. පවතින දේශපාලන, අර්ථ ක්‍රමය ගැන අතෘප්තියෙන් පසුවන විශාල පිරිසක් උතුරේ මෙන්ම දකුණේ ද ජීවත් වෙති. තවත් පිරිසක් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වෙති. රාජ්‍යය ප්‍රතිසංවිධානය කිරීමේ කතිකාව තුළ අප ඒ පිරිස නොසලකා හැර ඇත.

වාර්ගික, ආගමික භේදයකින් තොරව රටේ බහුතර පිරිසක් අද පවතින මේ දේශපාලන, අර්ථ ක්‍රමය ගැන අතෘප්තියෙන් පසුවෙති. විරැකියාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ආදී ක්ෂේත්‍ර හා බැඳුණු ගැටලු රාශියකින් උතුරේ දෙමළ ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් වෙලී ජීවත් වෙති. රාජ්‍ය සේවය තූළ, ආණ්ඩුකරණය තුළ පුරවැසියනට හිමිවිය යුතු සම අවස්ථා ඇහිරී ඇත. එහෙත් අප මේ පොදු සාධකය අමතක කොට දමා ඇත. ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැඟීමේ කතිකාව තුළ මෙම පොදු සාධකය ආමන්ත්‍රණය විය යුතුව ඇත.

එක් පැත්තකින් සිංහල, දෙමළ ජනතාවගේ සමාජ, ආර්ථීක දුක්ගැනවිලිවලට සංවේදී වන අතරම අනෙක් පැත්තෙන් මේ සියලු ජන කොටස්වලට සමානත්වයෙන් සහ ගෞරවයෙන් ජීවත්විය හැකි බහුත්වවාදී සංස්කෘතියක් (සමාජ ක්‍රමයක්) ගොඩනැඟීම අරමුණු කරගන්නා තැනෙකට මෙම කතිකාව පරිවර්තනය විය යුතුය. සාමය හා සංහිඳියාව ඇති කිරීමත් ආර්ථීක දුක්ගැනවිලිවලට පිළියම් යෙදීමත් එකම කාසියේ දෙපැත්ත මෙන් එකිනෙක හා බැඳි පවතින්නක් බව අපගේ වැටහීමයි.

මේ අනුව ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැඟීමේ ව්‍යාපෘතිය තුළ ජනවාර්ගික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ද, ආර්ථීක වෘද්ධි ඉලක්ක ළඟා කරගැනීමේ සැලසුමක් ද ඇතුළත් විය යුතුව ඇත. හුදෙක් මෙම කාරණා දෙක එකවර ආමන්ත්‍රණය වන ආකාරයේ පුළුල් සමාජ කතිකාවක් ගොඩනැඟිය යුතුව තිබේ. මන්දයත්, උතරත් දකුණත් යා වන තැනෙක විසඳුම් ලක්ෂ්‍යය පිහිටා ඇති බැවිනි.

2011 ජනවාරි 20

සංජීව මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails