Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අධ්‍යක්ෂවරයා මේ චිත‍්‍රපටය හඳුන්වන්නේ ප‍්‍රහසනයක් ලෙසිනි. ප‍්‍රහසනයේ තේමාව වී ඇත්තේ මේ ග‍්‍රහලෝකයත්, මනුෂ්‍ය සංහතියත් වෙළා ගත් ධනේශ්වර ආර්ථික ක‍්‍රමයයි. ආණ්ඩු, බැංකු, කොම්පැණි, වෘත්තීන්, මනුෂ්‍යයන් සහිත අර්ථ ක‍්‍රමයක් ඇමරිකානු අධ්‍යක්ෂවරයකුගේ චිත‍්‍රපටියක ප‍්‍රධාන චරිතය විය හැකිද? මයිකල් මුවර් ඇමරිකාවේ ධනවාදී ආර්ථිකය තම චිත‍්‍රපටියේ කතානායකයා බවට පත්කර ගනියි. එය පේ‍්‍රම කතාවක් බවට කීවද මාරක කතාවක් හෝ ඩ‍්‍රැකියුලා කතාවක් හෝ වැම්පයර් කතාවක් ලෙස නරඹන්නටද බාධාවක් නැත. එය පේ‍්‍රම කතාවක් නම් ලේඩි ගාගා ගායනා කරන බෑඞ් රෝමෑන්ස් ගීතයෙන් පැවසෙන ආකාරයේ පෙම් පලහිලව්වක් විය යුතුය.


චිත‍්‍රපටියට පාදකවන්නේ ධනපති ක‍්‍රමය නමැති පේ‍්‍රමවන්තයාගේ ජීවිතයේ නරකම කාලයයි. පෙම්වතියගේ ලේ උරා බොන, ඇය මරාගෙන කන කාලයකි. මයිකල් මුවර් කියන්නේ එය අප මේ ජීවත්වන දශකයේ ධනවාදය බවයි. ඔහු කතා කරන්නේ ඇමරිකානු පොදු ජනතාව වෙනුවෙනි. විශේෂයෙන් පහළ මැද පන්තිය වෙනුවෙනි. ඔහුගේ ආදර වස්තුව ඒ මැද පන්තියයි. චිත‍්‍රපටිය ආරම්භ වන්නේ ආරක්ෂිත කැමරාවල සටහන් වුණු බැංකු මංකොල්ලයකිනි. ව්‍යාකූල මැද පන්තික පෙනුමක් විනා සොර මුලක බියකරු පෙනුම ඔවුන් තුළ නැත. ජනප‍්‍රිය රොක් ගීතයක් පසුබිමින් වාදනය වේ. එක් සොරෙක් කිහිලිකරුවලින් ඇවිදින්නෙකි.

ටික වේලාවකට පසුව ඒ බැංකු මංකොල්ල වාර්තාව බි‍්‍රතාන්‍ය විශ්වකෝෂ චිත‍්‍රපටි මාලාවේ පුරාණ රෝමය පිළිබඳ වාර්තාවට මාරු වේ. ඒ වාර්තාවට අනුව රෝමය පුරාතන ලෝකයේ විශාලතම හා සුන්දරතම නගරයයි. එනමුත් එහි මතුපිට සුන්දරත්වයට යටින් ඇත්තේ සංඛ්‍යාවෙන් විශාල වූ වහල්ලුන්ගේ දුඃඛිත ජීවිතය නොසලකා හැරීම නිසා මතුවුණු අශෝභනත්වය බවයි. පුරාතන රෝමය පිළිබඳ ඒ ටීකාව වර්තමාන වොෂින්ටනය සමග සංසන්දනය වෙයි. ඉන්පසු ජනමාධ්‍යයේ විකාරත්වය පිළිබිඹු වන ආකාරයේ ෆනියස්ට් වීඩියෝ ශෛලියේ රූප පෙළක් දිග හැරේ. පිස්සු පූසෙක් වැසිකිළි පෝච්චියේ කරාමය කරකවා එය පවිත‍්‍ර කරයි. මයිකල් මුවර් මෙසේ විමසයි. අනාගත ශිෂ්ටාචාරය විසින් අපගේ ලෝකය දකිනු ඇත්තේ කෙසේද? මෙය වැසිකිළි යන පූසන් ජීවත් වුණු සංවර්ධිත බිළාල සමාජයක් ලෙස දකිනු ඇත.

අනතුරුව දිග හැරෙන්නේ පසුගිය ආර්ථික කඩා වැටීම නිසා ජීවන දුෂ්කරතාවන්ට මුහුණ දෙන ඇමරිකානු මැද පන්තියේ දුක්ඛදෝමනස්සයන්ය. නිවාස ණය ගෙවා ගත නොහැකි පවුල් පිස්කල් ආඥාවෙන් ඉවත් කරනු ලැබේ. මයිකල් මුවර් එවැනි නිවසක් ඇතුළේ සිටියි. නිවැසියන් ඉවත් කිරීමේ බලපත‍්‍රය ලබාගත් නිලධාරීහු දොර කඩා නිවසට ඇතුළු වන සැටි නරඹන්නා නිවස අභ්‍යන්තරයේ සිට පියවරෙන් පියවර, සුසුමෙන් සුසුම, කඳුළෙන් කඳුළ නිරීක්ෂණය කරයි.

චිත‍්‍රපටිය ඇමරිකාවේ නුදුරු අතීතය වෙතට හැරෙයි. 1979 ජූලි 15 වැනිදා ඇමරිකානු ජනාධිපති ජිමී කාටර් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතයි. ඇමරිකානුවන් සැපෙයි ගිලී සිටීමත්, පාරිභෝගිකත්වයේ වෙලී සිටීමත් ගැන ජනාධිපතිවරයා අනතුරු හඟවයි. බුදුන්වහන්සේගෙන්, ක‍්‍රිස්තුස් වහන්සේගෙන් හා ජර්මන් දාර්ශනික එරික් ෆ්‍රොම්ගෙන් ඔහු යමක් ඉගෙන ගෙන තිබේ. ඔහු මෙසේ කියයි. ‘‘දැන් මිනිස් අනන්‍යතාව හඳුනාගනු ලබන්නේ ඔබ කරන ක‍්‍රියාවලින් නොවේ. ඔබ සතු දේවල්වලිනි.’’

නිදහස් වෙළෙඳාමට, නිදහස් ව්‍යවසායට සම්පූර්ණයෙන් ඉඩදෙමින් යෝධ ව්‍යාපාර සංගතවලට නටන්නට අවසර දුන් ජනාධිපතිවරුන් මයිකල් මුවර්ගේ විවේචනයට භාජනය වේ. ක‍්‍රිස්තියානි ආගමික ඉගැන්වීම් සහ ධනේශ්වර ආකල්ප අතර වෙනස අවධාරණය වේ. කොටස් වෙළෙඳපොළේ කැසිනෝ මානසිකත්වය ගෙනහැර දැක්වේ. මේ අසත්පුරුෂ සමාජය ඉදිරියේ ශ්‍රේෂ්ඨ ඇමරිකානුවන්ද ජීවත් වුණු අයුරු ඔහු අපට පෙන්වා දෙයි. පෝලියෝ එන්නත සොයාගත් ජෝනාස් සල්ක් ඒ වෙනුවෙන් පේටන්ට් බලපත‍්‍රය ගැනීම සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරයි. ‘‘ඔබ සූර්යයාට පේටන්ට් බලපත‍්‍ර දෙනවාද?’’ ඔහු අසයි.


මේ චිත‍්‍රපටියේ නිෂ්පාදන කටයුතු පටන් ගනිත්දීම 2008 කාන්ස් චිත‍්‍රපට උළෙල ඒ පිළිබඳ පූර්ව නිවේදනයක් කළාය. ධනවාදය සුන්දර පෙම් කතාවක් බව කල්පනා කරමින් ඒ මත පැටවීම සඳහා සංස්කෘතික ප‍්‍රවාද ගොඩනගන්නන්ටද, එයට විනෝදය සැපයීම සඳහා ජනප‍්‍රිය විනෝද කර්මාන්ත ගොඩනගන්නන්ද, සොර නැව්වල නැගී රට පනින තරුණයන්ටද අනඟි පාඩමක් කියාදෙන චිත‍්‍රපටයකි.

[රාවය| චැප්ලින් කොලම| 2010.11]

එරික් ඉලයප්ආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails