Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කැපුවත් කොළපාටට ලේ වැක්කෙරෙන ලංකාවේ ජන කොටසකගේ කඩවූ බලාපොරොත්තු සඵල කිරීමට අළුත් ඉරක් පායා ඒමට වෙර දරමින් සිටී. ඉරක්ද කණා මැදිරි එළියක්ද යන්න හරිහැටි පැහැදිලි නොවුණත් වසර ගණනාවක සිට පිපාසයෙන් පෙළෙමින් සිටි කොළපාට රුධිරය හිමි ජනතාවට සිය පවස යම් තරමකට හෝ සංසිදුවා ගැනීමේ බලාපොරොත්තුවක් සිත් තුළ පහළ ‍වී ඇතැයි සිතිය හැක. ඒ අන් කවරක් නිසාවත් නොව එජාප නායකත්වය සඳහා කොළඹ හතේ පරම්පරාව අභිබවමින් හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස කරළිය තුළ වැජඹෙමින් සිටින බැවිනි.

ලංකාවේ ප්‍රභූ පංතියේ නියෝජනය, පහළ සමාජ ස්ථරයන්ගේ මෙන්ම සුළු ජාතික ඡන්ද පදනම ද සහිත එජාපය දැනට ලංකාවේ ක්‍රියාකාරීව පවතින පැරණිතම දේශපාලන පක්ෂය කීවොත් නිවරැදිය. යටත්විජිත පාලකයින්ගේ ධනේෂ්වර අර්ථක්‍රමය ඉදිරියට ගෙන යෑමේ න්‍යාය ක්‍රියාත්මක කරන්නට යෙදුණු එජාපය නවසිය හැත්තෑ අටේ විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු ලිබරල් ධනේෂ්වර අර්ථක්‍රමයේ නියෝජිතත්වය මැනවින් අත්පත් කරගත්තේය. උත්තරාරෝපිත අර්ථක්‍රමය විසින් සිදුකළ පීඩනය දරාගැනීමට නොහැකි වූ කළ එහි වත්මන් නියෝජිතයා වූ රනිල් වික්‍රමසිංහ සමාජයේ උදහසට ලක්වූ අතර ජනප්‍රිය දේශපාලන නායකත්වයක් සතු විය යුතු ගුණාංග අහිමිවීම මත තව දුරටත් රනිල් වික්‍රමසිංහ මෙන්ම එජාපයද තව තවත් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වන්නට විය.

එජාපයේ ජනපදනමේ කොටසක් වූ සමාජයේ පීඩිත ස්ථරයේ නියෝජනයක් වූ ආර් ප්‍රේමදාස යනු එජාප නායකත්ව හුවමාරුවේ පැහැදිලි වෙනසක් ඇති කළ අවස්ථාවකි. එජාපය ඓතිහාසිකව නියෝජනය කළ දෘෂ්ඨිවාදයේ පැහැදිලි වෙනසක් පෙන්නුම් නොකළද ආර් ප්‍රේමදාස ගේ ප්‍රතිපත්තීන් සෘජුවම එජාපයේ ඓතිහාසික ගමන් වෙනස් කළ බවක් දක්නට ලැබෙන්නේ ඔහු විසින් සැළසුම් සහගත එය වෙනස් කළ නිසා නොව එජාපයේ ගමන් මඟ ඔහු විසින් ග්‍රහණය කර නොගත් නිසාය. ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ඔහුට දැනෙන ආකාරයේ "හොඳ" යැයි කාටත් තේරෙන දෙයක් කරන්නට උත්සාහ කළ අතර සංකීර්ණ ආර්ථික දේශපාලනය වටහා ගැනීමට නොහැකි පිරිසට අනුව ඒවා "වැඩ" විය. දේශපාලන පක්ෂයක් ලෙස එජාපය නන්නත්තාර වී ඇති අවස්ථාවක සජිත් ප්‍රේමදාස විසින් ‍"ප්‍රේමදාස ප්‍රතිපත්ති" වලින් සන්නද්ධව එජාප ගමන හසුරුවන්නට ඉදිරිපත්වන්නේ මෙවැනි වටපිටාවක් තුළය.

ශාන්ත තෝමස් හා කොළඹ රොයල් හි අධ්‍යාපන ලබා LONDON COLLEGE OF ECONOMICS මඟින් උපාධියක්ද ලබා ඇති සජිත් ප්‍රේමදාස විසින් ලංකාවේ දේශපාලනය සඳහා යොදාගනු ලබන්නේ තමන් විසින් අධ්‍යයන කළ විද්‍යාත්මක ක්‍රමවේද හෝ ලෝකයේ ඓතිහාසිකව ගොඩනැඟුණු දැනුමෙන් සමන්විත අර්ථක්‍රම‍ නොව සිය පියාගේ ක්‍රමවේද මූලික කොටගත් 'ලාංකික' ප්‍රතිපත්තිය. ඒවා ක්‍රියාත්මක කරලීමට අත්හදා බැලීමේ පර්යේෂණ භූමිය ලෙස තෝරාගන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. සාර්ථකත්වය මනින එකම මිම්ම තමන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතයයි. පර්යේෂණය අතිශයින්ම සාර්ථක විය. සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් වූ මැතිවරණ තුළ ලබාගන්නා ප්‍රතිඵලයන් ක්‍රමිකව ඉහළ යයි. 94 දී සිය සංවිධායක කටයුතු ආරම්භ කරන සජිත් 2000 වසරේ මැතිවරණයෙන් දිස්ත්‍රික්කයේ එජාප මනාප වලින් 83% ක් ලබන අතර 2001 වසරේ 82% ක්ද ඉන්පසු 2004 හා 2010 මැතිවරණ වලදී පිළිවෙලින් 84%ක් හා 89%ක් ලබයි. මේ කාලය තුළ ඡන්ද ප්‍රමාණය ගණනය කරන්නේ පක්ෂයට සාපේක්ෂවය. මන්ද සජිත්ට මුල්ම තරඟය ඇත්තේ රටේ නායකත්වයට නොව පක්ෂයේ තැන පවත්වා ගැනීම වන නිසාය. සිය පියාගේ ජන්මය විසින් ඔහුගේ පක්ෂ නායකත්වය කරා ආ ගමන කොතෙක් අපහසුතාවන්ට ලක්කරන්නට ඇත්දැයි සජිත් විසින් කුඩා කළ සිටම නිරීක්ෂණය කරන්නට ඇත.

එල්ටීටීය විසින් එජාපයේ සියළු නායකත්වයන් වඳකර දමා තිබීමත්, ජාතිවාදය හා එල්ටීටීඊ සමඟ යුධමය විසඳුමකට යෑම පිළිබඳව ආවේගාත්මක අදහස් ව්‍යාප්ත වීම මෙන්ම එජාපය සතුව ආකර්ෂණශීලී නායකත්වය නොමැතිවීම යන කාරණා හරහා මෙතෙක් Home Work කරමින් සිටි සජිත්ට නායකත්වයට ඉදිරිපත්වීමට අවශ්‍ය පසුබිම සැකසෙන්නේය. යුධ ජයග්‍රහණය පෙරටුකරගත් සිංහල බෞද්ධ උත්කර්ෂයත් ඒ සමඟින් ජනප්‍රිය දහම බවට පත්වූ පසුගාමී දේශීය පටු ජාතිකවාදයේ නැඟීමත් හේතුකොට ගෙන ‍රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ ලිබරල්වාදීන්ගේ ප්‍රතිකේෂවීම හමුවේ සජිත් ප්‍රේමදාස එජාපයේ නායකත්වය වෙනුවෙන් ස්ථානගත වන්නේය.

නායකත්වය වෙනුවෙන් වන අභ්‍යන්තර ගැටුම උපායශීලී ලෙස මඟහරිමින් කලෙක සිට එහි රැඳී සිටින රනිල් වික්‍රමසිංහ විසින් මෙවරද කෙසේ හෝ එය රැකගැනීමේ ඉඩකඩක් තිබුණද එජාපය තුළ නැඟඑන නායකත්වය පිළිබඳ යම් විමසීමක් සිදුකිරීම කාලීන යැයි සිතමු.

සජිත් ප්‍රෙමදාස හා ඔහුගේ ප්‍රතිපත්ති

රටේ පොදු ජනතාව වෙත සජිත් ප්‍රේමදාස හා ඔහුගේ ප්‍රතිපත්තීන් වැදගත් වන්නේ ඔහු එජා‍පයේ නායකත්වයට පත්වීම නිසා නොව සජිත්ගේ නායකත්වය යටතේ එජාපය විසින් රටේ බලය අත්පත්කරගතහොත් ඔහු විසින් ක්‍රියාවට නංවනු ලබන දේශපාලන දර්ශනය කුමක්වන්නේද යන්න මතය. සජිත් විසින් මෙතෙක් අනුගමනය කර ඇති දේශපාලන දර්ශනයට සමගාමීව ඔහු විසින් දියත් කිරීමට නියමිත ආර්ථික, දේශපාලනික දර්ශනය ගැන යම් විමසීමක් සිදුකළ හැක.

ජාතික දේශපාලනයේ තීරණාත්මක චරිතයක් වත්ම ඔහුගේ බොහෝ අදහස් වලින් එජාපය විසින් ඉදිරියට ගෙන යනු ලබන නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය විවේචනයට ලක්වූයේ එය බටහිරවාදී වූවක් බව අඟවමිනි. ඊට එරෙහිව සජිත් විසින් සුබසාධන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ යැයි කිවහැකි වුවද, එමඟින් රටේ සමස්ත ආර්ථිකයේ ගමන්මාර්ගය ගැන අදහසක් ලබාගත නොහැක. විශේෂයෙන් මේ වන ඔහු විසින් දියත් කර තියෙන වැඩසටහන් පිළිබඳව නිරීක්ෂණය මඟින් පැහැදිලි වන්නේ ඒවා ජනප්‍රියවාදී වැඩසටහන් මිසෙක රට පිළිබඳව ඉදිරිදැක්මකින් යුතු ඒවා නොවන බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාවට ක්‍රියාත්මක කරන්නට යෙදුණු "ජන සුවය" ප්‍රජා සත්කාරක වැඩසටහන මඟින් දිස්ත්‍රික්කය පුරා යම් යම් සුභසාධන ක්‍රියාකාරකම් ප්‍රමාණයක් දියත්කිරීමට යෙදුණද එමඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යූහාත්මක තලයේ ආර්ථික, සමාජයීය දේශපාලන වෙනසක් කිරීමට අපොහොසත් විය. සජිත්ගේ අදහස් දැක්වීම් තුළදී වුවද වෙනසක් වීමේ අවශ්‍යතාවයක් ගැන සඳහන් වුවද එකී වෙනස විනිවිද දැක එය යථාර්ථයක් බවට පත්කරගැනීමේ පළල් දෘෂ්ඨියක ලක්ෂණ පෙනෙන්නට නැත. ඒ වෙනුවට ලිබර්ල්වාදී වෙළඳපොළ ආර්ථිකය විසින් සිදුකරන්නාක්‍ මෙන් සමාජයේ පීඩිත බහුතරය සුභසාධනය කිරීම සඳහා යම් යම් 'දේවල්' ටිකක් කිරීමට උත්සාහ දැරීමක් පමණක් දැකගත හැක. සරලව ගතහොත් සජිත් ප්‍රේමදාස විසින් ‍රටේ ප්‍රශ්ණ ලෙස හඳුනාගෙන ඇති 'මන්දපෝෂණය' 'මූලික අවශ්‍යතාවන් ඉටු නොවීම' 'විරැකියාව' වැනි දහසකුත් කාරණා සඳහා ඔහු විසින් සිදුකර ඇත්තේ ගැබිණි මාතාවන්ට පොෂණ මලු ලබාදීම, දුප්පත් පාසැල් සිසුන්ට පොත්පත් ලබාදීම, පෙරපාසැල් දරුවන්ට කිරිවේලක් දීම වැනි 'දේවල්' ටිකකි. සිවිල් පුරවැසියෙකු ලෙස මෙ ආකාරයේ දායකත්වයක් දැක්වීම් සතුටුදායක වුවද ජාතික නායකත්වය සඳහා පිවිසෙන පුද්ගලයෙකු තුළින් මීට වඩා පළල් දර්ශනයක් මත පදනම් වුණු දේශපාලන ආර්ථික ක්‍රම වේදයක මූලාරම්භයක් දැකිය යුත්තේය. 94න් ආරම්භ වුණු දේශපාලන ගමන් ම‍‍ඟෙහි වන අත්දැකීම් හා අධ්‍යාපන පසුබිම ඒ සඳහා ප්‍රමාණවත්ය. දුප්පත්කම වැළැක්වීම සඳහා යැයි කොටි ගණනින් මුදල් රට තුළට පොම්ප කරමින් රාජ්‍ය නොවන සංවිධාන හරහා ක්‍රියාත්මක වූ ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග තුළද දක්නට ලැබුණේ මෙ ආකාරයේ තත්ත්වයක්ම මිස ‍අන්කිසිවක් නොවේ.

සජිත්ට නායකත්වය පිළිබඳ ඉව වැටුණු සැනින් ඔහු විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය පමණක් නොව සමස්ත රටම ආවරණය වන පරිද්දෙන් සිය සුභසාධන වැඩකටයුතු ව්‍යාප්ත කරන ලදී. එහිදී "සසුනට අරුණ" මඟින් වෙහෙර විහාර නඟාසිටූවීමටද, රනිල්ගේ නායකත්වය මඟින් දියත්කළ "ග්‍රාම චාරිකා" වට එරෙහිව "ග්‍රාම සංවර්ධන චාරිකා" ද ක්‍රියාත්මක වුනි. රටේ තිබෙන ප්‍රශ්ණ අතරින් කේන්ද්‍රීය ප්‍රශ්ණයක් වනුයේ බෞද්ධ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය යැයි ඔහු විසින් තීරණය කිරීම මඟින් සෘජුවම දක්නට හැක්කේ එය ජනප්‍රියවාදී වූවක් මෙන්ම ඒ පසුපසින් තිබෙන සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදයේ නැඹුරුවයි. මහින්ද රෙජිමය මඟින් උත්කර්ෂයට නංවන මෙකී සංකල්පය ක්‍රියාත්කම කිරීම මඟින් ක්ෂණිකවම රටේ තිබෙන අධිපතිවාදී බෞද්ධ සමාජයේ සහයෝගය තමන්ට ලබාගැන්මට හැකිවේ යැයි ඔහු උපකල්පනය කරන්නට ඇත. රනිල් වික්‍රමසිංහ මෙන්ම කොළඹ රෝයල් ගිය අයෙකු වුවද (රනිල් උසස් අධ්‍යාපනය ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් වන අතර සජිත් එංගලන්තයෙනි) තමන්ගේ වන ගොඩේ පෙනුම මඟින් ජාතික සහ‍යෝගය ලබාගැනීම ඉලක්ක කොටගෙන ඇත. ඒ අනුව මෙතෙක් සජිත් විසින් ඉදිරිපත් කරන්නට යෙදී ඇති ප්‍රායෝගික වැඩපිළිවෙළ මඟින් ඔහු සතුව දිගුකාලීනව රටට ඵලදායීව වැදගත්විය හැකි දැක්මක් හෝ සැලැස්මක් දක්නට ඇත. ඒ වෙනුවට මෙතෙක් ලංකාවේ දේශපාලනයේ දේශපාලඥයින් විසින් යහමින් කරගෙන යන "අවස්ථාවාදී දේශපාලනය" පමණක් දක්නට හැක.

වික්ටර් අයිවන්ට මහින්ද රාජපක්ෂගෙන් අහන්නට අමතකව ගොස් සජිත්ට යොමු කර ඇති ප්‍රශ්ණ වැලට (ජනවාරි 09 රාවය කතුවැකිය) මෙන්ම රටක් ලෙස පශ්චාත් නිදහස් කාලසීමාව තුළ විඳවමින් සිටින ප්‍රශ්ණ සඳහා පිළිතුරු ඇතුලත් පළල් දේශපාලන ආර්ථික දැක්මක් සජිත් ‍සතු වේ යැයි ඉඟියක් වත් මෙතෙක් පළව නැත. ඒ අතරින් යුද්ධයෙන් කෙළවර නොවූ ජාතික ගැටළුවට පටු මානසිකත්වයකින් බැලීමත්, බටහිර ධනවාදය දෙසට නපුරු බැල්මක් හෙළමින් ඊට විකල්පයක් ඉදිරිපත් නොකිරීමත් පැහැදිලිව දැකගත හැක. ඒ අනුව රටට හිතැති ජනයා වෙත දැන්වීමට ඇත්තේ සජිත් යනු එජාපයට කෙසේ වුවත් රටටනම් කණාමැදිරි එළියක් වත් වේද යන්න සැකසහිත බව පමණි.

ජවිපෙ වෙත ප්‍රශ්ණයක් :

අනාගතයේ උදාවන දේශපාලන සන්දර්භයටකට සාපේක්ෂව ඉදිරිපත්වන හොඳම දේශපාලන උපායමාර්ය ලෙස සජිත් ප්‍රේමදාස රටේ නායකයා ලෙස පත්කිරීමට ජවිපෙ සහයෝගය දෙන තත්ත්වයක් උදාවිය හැකිද?

සංඛ කිරිඳිවැල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails