Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රඟහල නෙක් පැහැ විදුලි එළියෙන් බැබලේ. මේ උදුල පහන් එළි අතර මම හුදෙකලාවෙන් ඔබ මොබ සැරිසැරීමි. ඒ අතරත මගේ සගයන් වී දැයි විපරමින් පසුවන මගේ සිතෙහි මඳ චකිතයක් ද නැතුවා නොවේ. රඟහල තුළ අඩක් රඟ දැක්වූ නාට්‍යය පිළිබඳ කතා-බහ සෑම අතකම රැව් දේ.

රඟහලට එපිටින් වූ එළිසබෙත් මල් හල වෙත ගිය මට තෙල්මාට තිලිණ කිරීමට මල් කළඹක් තෝරා ගැනීම අපහසු කටයුත්තක් වූයේ, එහි තිබූ සියළුම මල්වල සුන්දරත්වය ඈ සතු වූ බැවිණි. මට සහය වෙමින් විවිධ මල් වර්ග මට පෙන්වන තරුණ වෙළඳෙ සේවිකාව වෙහෙස වූවා පමණි. මට මලක් තේරීම ඈට අපහසු කටයුත්තක් විය.

''එහෙනම් මම කියන්නද ඔයා මෙතන තියන හැම මලකින්ම මල ගානෙ අරගෙන බොකේ එකක් හදාගන්න.'' ඇය අපූරු යෝජනාවක් කළා ය.

නාට්‍යයේ ඉතිරි අඩ ඇරඹෙන්නට ඇත. මම මල් කළඹ ගෙන රොබරෝසියා මල් වැටුණ පාර දිගේ රඟහල වෙත දිවගියෙමි. මා අත වූ මල් කළඹ මටත් වඩා ප්‍රවේශම් කරගැනීම මගේ අරමුණ වූ හෙයින් පාර මාරු වන විට මා රතු පැහැ ජගුවර් රථයකට හැපෙන්නට ගොස් ඇද වැටුණෙමි. රථයේ වූ මැදිවියේ පුද්ගලයා දුව ආවේ ය.

''ආ යූ මෑඩ් මෑන්?''
ඔහු මට නැගිටින්නට උදව් කළ අතර මගේ අවධානය දකුණතේ වූ මල් කළඹ වෙත යොමු විය.
''ඔය කමිසේ මඩ'' යැයි කියමින් අවඥා සහගත ලෙස සිනාසුන ඔහු තුළින් මිළ අධික සැර මත්පැන් ගඳක් වහනය වන්නට විය. මම එපිටින් පේන රඟහල දෙස බැලුවෙමි.
''ආ අන්න පටන් ගත්තා ඉක්මනට ගියා නං හරි'' යැයි කියමින් ඔහු රථයේ නැගී වංගුව පසුකර ගියේ විදගෙන ය. මා තව දුරටත් එතැන නොනැවතී ඇතුළු වීමේ දොරටුව වෙත දිව ගියෙමි.

''මොකද මහත්තයා පරක්කු උනේ දැන්නං දොර අරින්න බෑ පටං ගත්තනේ....''
මම මහළු දොරටුපල්ලාට මුදලින් අත්ලසක් දෙන්නට උත්සහ කළත් රඟහල් දොරටුව ඔහු ලවා අරවා ගන්නට අපොහොසත් වීමි. පැරදුණ මා රඟහල් උයනේ වූ සිමෙන්ති බංකුව වෙත ගියෙමි. රඟහල තුළින් මධුර ස්වර විටින් විට ඇසේ. ඒ මධුර ස්වර අතරට එක් වූ තෙල්මා ගේ සිහින් ස්වර ද විටින් විට ඇසේ. එහෙත් කිසිවිටක රඟහල තුළින් පිටතට එවැනි හඬක් නැගෙන්නේ නැත. එසේනම් ඒ කුමක්ද, ඒ ඇසෙන්නේ මා හද තුළම නැගෙන නොඉවසිලිමත් ස්වරය ද?

රඟහලේ කුළුණු මුදුනේ ඇති ඔරලෝසුවේ වේලාව රාත්‍රී අටයි තිහට ළං වෙමින් තිබිණ. නාට්‍යය නිමා වීමට ඇත්තේ තවත් අඩ හෝරාවක් පමණි. එහෙත් මට ඒ අඩ හෝරාව ඉවසීමෙන් ගත කළ හැකි වේ ද? සති අග දිනයක් වූ හෙයින්දෝ වෙනදාටත් වඩා පිරිසක් අද දින නාට්‍යය නැරඹීමට පැමිණ සිටිය හ. විවිධ වර්ගයේ මොටෝ රථයන්ගෙන් රථ අංගනය ගැවසී ගෙන ඇත. ඒ අතරතුර කලා ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ තරාතිරමේ අය ද නාට්‍යය නැරඹීමට පැමිණ සිටිනු දැක ගත හැකි විය.
කලාව මගේ විෂය පථය නොවුණ ද ඉඳ හිට හොඳ නාට්‍යයක් නැරඹීම මගේ පුරුද්ද ය. තෙල්මා රඟන නාට්‍යය නැරඹීමට පැමිණියේ ද එසේ අහඹු ලෙස ය. ''හංස විල'' යැයි නම් කෙරුණ මේ නළුව ගායනය, වාදනය, නර්තනය මුසු ඔපෙරා නැමති ශෛලියෙන් නිෂ්පාදනය කොට තිබිණ. ධවල සේද පිහාටු වලින් නිම වන ලද කොට, රවුම් ගවුමක් හැඳ විදුලි රේඛාවක් මෙන් ක්ෂණික වේගයෙන් කරකැවෙන, සිහින් ස්වරයෙන් විරහ ගී ගයන තෙල්මා ගේ දිගැටි දෑසත් අවිහිංසක බැල්මත් දැකීමට පිට පිටම මම මේ ගී නළුවට පැමිණියෙමි. ප්‍රථම දිනයේ ඈ දැක්මෙන් ගල් ගැහුණ මගෙ හදත් ඇසත් නිරතුරේ ඈ දකින්නට පෙරුම් පිරුවේ ය. එහෙත් මට ඈ දැකිය හැකි වූයේ රඟහලේ වේදිකාවේදී පමණි. නළුවෙන් පසු ඈ වට කර ගන්නා රසිකයින් මා ඈ හමුවන්නට දරන තැතත්, ඇය මා වෙත ළං කරන හැම මොහොතක්මත් මගෙන් උදුරා ගනී.

කෙතරම් උත්සාහ ගත් නමුදු ඇය හමු වීමට මට කිසිදු අවස්ථාවක් උදා වූයේ නම් නොවේ. සමහර දිනෙක ඇය එන තෙක් නේපත්‍යාගාරයේ කෙළවරේ බලා සිටිය ද ඇය ඉන් එළියට අවුත් ඇගේ යෙහෙළියන් සමග රඟහලෙන් පිටතට විත් ඇගේ සුඛෝපභෝගී රථයේ නැගී අතුරුදහන් වන්නීය. ඈ පිළිබඳව කිසිවෙකුගෙන් හෝ විමසන්නට තරම් ධෛර්යයක් මා තුළ නොවීම ගැන මට ම පුදුම ය. රාජකාරී කටයුතු වලින් තොර අන් කිසිදු දෙයක් පිළිබඳ අමුතු උනන්දුවක් මා තුළ නොවීම නිසා ඇය පිළිබඳව කිසිවෙකුගෙන් විමසීමට මම මැලි වීමි. සමහර දිනෙක ඇගේ ඡායාරූප පුවත්පත් වල පළ වී තිබෙනු දකින විට, ඒවා රහසින් එකතු කොට තබා ගැනීමට මට ඕනෑ විය. එසේ එකතු කර ගත් ඡායාරූප කිහිපයක් මගේ කාමරයේ පොත් රාක්කයේ සඟවා ගෙන සිටියෙමි. එහෙත් මා නැති අතර මගේ කාමරය පිරිසිදු කළ නංගීට ඒවා අසු වීමෙන්, ඈ මා සරදමට ලක් කළ බැවින් ඉන් ලජ්ජාවට පත් වූ මම ඇගේ ඡායාරූප එකතු කිරීමේ ආශාවෙන් මඩනා ලදිමි.

''සර් මලක් ගන්නවද අද මේකේ සිය වෙනි ෂෝ එක! මිනිස්සු පොර කකා ඇතුළට ගියේ. අද හැමෝම මල් දෙනවා ප්‍රධාන නිළියට.'' මල් විකුණන කොල්ලා මගේ වමතෙහි වූ මල් කළඹ දුටුවේ නැත.
'
'එක මලක් වෙනුවට මල් ගොඩක්. සොරි සර්. සර්ට කියන්ඩ මට තාම බැරි උණානේ ඒ නිළියට මලක් දී ගන්ඩ. හැමදාම එනවා කොහොම හරි මිස් වෙනවා. කොහෙද මේ පත්තරකාරයොයි කැමරාකාරයොයි ඒ මිස් ව වට කර ගන්නවනෙ. පැය ගාණක් බලං ඉඳලත් එක දවසක්වත් බැරි උනා. මේ ෂෝ එකේ මං මල් විකුණන්නෙත් සියවෙනි වතාවට. තව විකුණගන්ඩ බැරි උනොත් මං මේ සේරම දෙනවා ඒ මිස්ට.''

මගෙන් කිව යුතුව තිබූ දෙය ඔහු විසින් කියැවිණ.

''තමුසෙ බලලා තියනවද ෂෝ එක?''
''ඔව්. තුන් පාරක් බැලුවා. හැබැයි හොරෙං රිංගලා.''
''තමුසෙ යකාගෙ මිනිහෙක්නෙ. ටිකට් බලන කට්ටියට අහුවුන්නැද්ද?''
''ම් හූ.... සර්ට කියන්ඩ සර්..... ඒ මිස් ගෙ කටහඬ..... ප්හූ.... අපේ පල්ලියෙවත් නෑ එච්චර හොඳට ගීතිකා කියන සිස්ටර් කෙනෙක්. ලස්සනත් ඒ වගේමයි. කොහොමද සර් ඒ මිස්ගෙ කැරකිල්ල....! හරියට.... හරියට.... සුළි සුළඟක් වගේ....''

''මේ හලෝ මෙහාට එනවකෝ... දෙනවකෝ මට මල් ටිකක්..'' පැජරෝ එකකින් බට තඩි මහත්තයෙක් විත් ඔහුට අඬ ගැසුවේ ය. ඔහු ගිය පසු මා මගේ ලොවේ යළිත් තනි විය.

තෙල්මා පිළිබඳ මසිතේ දහසක් සිතුවිලි මාලා ගෙතෙන්නට වන්නේ කවදා සිටදැයි මම නොදනිමි. කෙතරම් සිතුවත් උල්පතකින් වතුර ගලන්නාක් මෙන් ඈ පිළිබඳ අනේක විධ සිතුවිලි ධාරා මසිතේ උපදී.
ඇය කාගේ කවුද, ඉන්නේ කොහේද, කිසිවක් මා දන්නේ නැත. කිසි දිනෙක ඇය මා තුළ රඳවා ගැනීමේ අදහසක් ද මට නොමැත. එහෙත් ඇය සමග මොහොතක් වෙලා හෝ ගත කිරීමේ ආශාවෙන් මම පෙළෙන්නට වීමි. බැඳ තබා ගන්නට සිතුවත් අල්ලා බැඳ ගත නොහෙන සුළඟ මෙන් ඇය මා තුළම දැවටෙයි. එහෙත් අල්ලනු නොහැකි යි.

''මොකද ඇතුළට යන්න බැරි වුණාද, එළියෙ ඉන්නේ?'' කඩවසම් තරුණයෙක් සිගරට්ටුවක් උරමින් මවෙත ආවේ ය.

''මටත් බැරි උණා. කොහෙද මේ ටිකට් අස්ප ගණංනේ. මේ මොහොත වෙනකං ට්‍රයි කළා කවුන්ටරේ හාදයත් එක්ක බැරි උණා හලෝ. ඒකිව දකින්ඩ විතරයි මට ඕනේ. ඉඩ දෙන්නෑ අයිසෙ මෙවුං...''

මේ නහරයා පිළිබඳ මා තුළ කෝපයක් හට ගැණින. එහෙත් ඔහු ද තෙල්මාගේ රසිකයෙකි. මා මෙන්ම ඔහුට ද ඈව නොදැක සිටිය නොහැකි වී තිබේ. ඈ සතු අසිරිය නැරඹීමට අපි මෙතරම් ආසා ඇයි දැයි නොදනිමු. නොදැක්ම ඉවසිය නොහැක. ඈ අන් සතු නම්.....?

''මගේ ජීවිතේට දැක්කේ නෑ එච්චර ලස්සන ඩාන්සර් කෙනෙක්''
''ෂා... මාරයි කවුද ඒ නිළිය?''
''අනේ එයාගෙ කටහඬ.. ස්වීට් අයියෝ... මට හරියට ඇඬුණා....''

අසන, දකින කාගේත් තුඩ තුඩ රැව් දෙන්නේ ඇගේ ගුණ ගැයුම් ය. ඈ රුවට වශී වූවෝ ය. ඇගේ හඬට කීකරු වූ හදවත් ඇත්තෝ ය.

අවේලාවේ තරමක සිරි පොදක් වැටෙන්නට විය. නළුව අවසන් වීමට තව විනාඩි කීපයක් තිබේ. සිරිපොදෙන් බේරීමට මට අවශ්‍ය නොවුණත් තෙමී අපිරිසිදු වුවහොත් තෙල්මා හමුවන විට, ඈ මා ගැන සිතන විදිහ සිහි වී සිරි පොදෙන් බේරී මම අසල වූ සමර්-හට් එක තුළට වැදුණෙමි. ෆ්ලොරන්ස් විදුලි එළිය කපා ගෙන වැටෙන සිරිපොද අමුතු චමත්කාරයක් ගනී. මේ සිරි පොදේ තෙමෙන සිතක් පහළ වුවද එය ක්ෂණිකව මැඩ ගතිමි.

කළු හංසයාගේ රුදුරු ප්‍රේම මංකොල්ලයට හසු වූ තෙල්මාගේ විරහී හඬ මා තුළ අනුරාව නැගේ. ඒ දුක්බර හඬින් මගේ ඇස් කෙවෙණි තෙමිණි. මම දෑස් පියා ගතිමි. එකා දෙන්නා සමර්-හට් එක තුළට ආහ. මල් කළඹ පොඩි වෙනු ඇතැයි සිතූ නිසා මම එය නොතැලෙන සේ මා ළයට තුරුළු කොට ගතිමි. මල් සුගන්ධයෙන් මගේ නැහැ පුඩු මිහිරෙන් පිරෙන්නට විය. මල් පෙති වලටත් වඩා සිනිඳු ඇගේ දෙතොල් මට සිහි වේ.

''අන්න කට්ටිය එනවා. නාට්‍යය ඉවරයි වගේ...''
''අද මේ අන්තිම ෂෝ එකලුනේ. මං වැඩ කරන ගෙදර නෝන මහත්තයගෙන් බේරුමක් නැති වුනා. අද මං ගමේ යන්න උන්නේ. මේ කෙහෙල්මල් නාට්‍යය හින්දා අද ගෙදර යන්නත් බැරි උනා. ආ ඔය එන්නේ...''

අන්තිම ෂෝ එක යැයි රියැදුරා කියන විට මගෙ හදවත නැවතුණේ, හැල්මේ දුවන තුරෙඟකු මැජික් බලයකින් ගල් ගැහෙන්නාක් මෙනි. සෙනග පොකුරු පිටින් රඟහල් දොරටුවෙන් පිටතට ඇදේ. ඔවුන් මුවඟ රැඳෙන්නේ ඇගේ අසිරිමත් රැඟුම් ගැනම ය. නොකල් සිරිපොදයේ ද නැවතුමක් නැත.

තෙල්මා මග හැරේවි දෝ හෝ'යි හැඟුණ බැවින් ගෙල උස්ස උස්සා රඟහල් දොරටුව පිරික්සන්නට වීමි. මේ අන්තිම දර්ශනය වන්නේ නම් ඈ බලන්නට තවත් දිනක් නොඑළඹෙනු ඇත. එසේ නම් අද අප හමුවන අවසන් දවස ද? සෙනග පොකුරු ටිකෙන් ටික අඩු විය. පත්තරකාරයෝ ද කැමරාකාරයෝ ද රඟහලෙන් පිටතට පමිණියෝ යන්නට ගියෝ ය. සිරිපොද ක්‍රමයෙන් වේගවත් වැස්සක් බවට පෙරළිණ. නළුවේ සමහර නළු නිළියෝ ද රඟහලෙන් පිටතට අවුත් රිය මත නැගී පිටව ගියෝ ය. මා දන්නා තරමින් නළුවේ අධ්‍යක්ෂකවරයා සහ සංගීත අධ්‍යක්ෂකවරයා ද පිටතට ආහ.

''තෙල්මා කොහොමද යන්නේ? ඇරලවන්නද?''
''වාහනේ ඒවි.''
රඟහල තුළින් තෙල්මාගේ හඬ ඇසී මගේ නොඉවසිල්ල තියුණු කළේය.
''එහෙනං හෙට පාටි එකට වරද්දනැතුව එන්ඩ. මාටින්, නෝනගෙ වාහණේ එනකල් නෝනව බලා ගනිං. ආ මේක උඹ තියා ගනිං- උඹ කොහොමත් හිත හොඳ මනුස්සය. ආයෙත් දවසක බලමුකෝ.''

රුපියල් දාහක නෝට්ටුවක් දොරටුපල්ලාට දෙමින් අධ්‍යක්ෂකවරයා සහ සගයා රියට නැග නොපෙනී ගියහ.

නළුව නිම වී සියල්ලෝ පිටත්ව ගියත් තෙල්මා රඟහලෙන් පිටතට නේන්නේ ඇයි? වැස්ස තදින් වහී. ඇය බලන්නට මම රඟ හල තුළට යන්නට සිතා සමර්-හට් එකෙන් අඩි දෙක තුනක් රඟහල තුළට ළං වීමි. එවිටම ඈ රඟහලෙන් පිටතට පැමිණියා ය. ඇය තාමත් මේක්-අප් පිටිනි. ඇය දුටු මම ගල්-භීත වුනෙමි. මා දුටු ඇය ද ගල් ගැහුණාය. අප දෙදෙනාම මේ වැස්ස යට.... තෙමෙමින්..... තෙමෙමින්......

''නෝනා තෙමෙන්නැතුව ඇතුළට යන්න.''
ඈ ඇතුළට යන්නට හැරී.... නැවත මා දෙස බැලී.....
මා ගොළු වී.... වචන හිර විණ.
දහිරිය ගෙන,
''තෙල්මා... ''
ඇය නැවත හැරී....
''ඇයි?''
''මං හිටියේ ඔයාට සුභ පතන්න....''
''නෝන වහිනවා මෙහාට එන්න..''
තෙල්මා මවෙතට සම්පූර්ණයෙන්ම හැරිණ.
''ඉතින් සුභ පතන්න....''
මගේ උගුර යන්තම් තෙමිණ.
''හොඳටම වහිනවා.... ඔයාව තෙමෙනවා...''
''ඉතිං....'' ඇය ඇගේ සිහින් ගෙල අහස දෙසට හරවන ගමන් කීවාය. මට සිනා පහළ විය.
''ඉතිං කියන්නේ... මේ හොඳටම වැහි....''
''ඉතිං සුභ පතන්න...''
ඇගේ දිගැටි දෑසෙන් සිනා වෙමින් සිහින් සරින් කීවා ය.
''මගෙන් සුභ පැතුම්...''

මෙතෙක් වේලා තෙමි තෙමීත් මා අත උණුසුම් වූ මල් කළඹ ඈ වෙතට පෑවෙමි. මගේ දකුණත ඇගේ වමතේ ස්පර්ශ වීමෙන් මහද වේගයෙන් ද ප්‍රීතියෙන් ද ගැහෙන්නට විය.
''මෙච්චර ගොඩක් මල්.....!''
මා නොසිතූ තරම් ඈ සතුටු වූවා ය. මේ හීනයක් ද?
''නෝනා තෙමෙනවා.. ඇතුළට එන්න..''
මාටින්ගේ හඬ අපට ඇසුණේ හීනයක දී මෙනි. වැස්ස ඇගේ රතදර තෙමා හැලේ. ඇගේ දිගු වරල දිගේ වෑහෙන දිය බිඳිති ෆ්ලොරන්ස් එළියෙන් දිදුලයි.

''ඔයා කවුද?''
''මම සඳරූ''
''නාට්‍යය බැලුව ද?''
''ඔව්.. පස් වතාවකටත් වඩා.... අද බැරි වුනා... මං පරක්කු වුණා.... මේ හොඳටම වැහි...''
''ඉතිං හොඳයිනේ.... ඔයා නොහිටියනම් මට මේ වැස්සෙ තෙමෙන්න බෑ...''
''අසනීප වෙයි...''
''අදින් මගෙ අසනීපෙ ඉවරයි..!''
''ඒ කිවුවේ?''
''මේ නට්‍යයේ අද අන්තිම දවස....''
''එහෙනං ඒක ඇත්තක් ද?'' මගේ බලාපොරොත්තු සුන් විය.
''ඔව්. අද මේකෙ අන්තිම දර්ශනය...''
''එතකොට.... එතකොට....''
''ඔව් මං මේ නාට්‍යය ඒ තරං කැමැත්තෙන් කළේ නෑ.''
''මොනවා.. ඇත්තද? ඒත් ඔයාගෙ රඟපෑම බොහොම ඉහළයි...''
''ඔයා නාට්‍ය කරන කෙනෙක් නෙමේ නේද?''
''ම් හූ..''
''ඒක තමයි...නාට්‍ය නොකරන අය තමයි නාට්‍ය අගය කරන්නේ....''
''ඇත්තටම මොන තියරි එකක් වත් මම දන්නේ නෑ... ඒත් නාට්‍යය නම් හැබෑ ලස්සනයි....''
''ලස්සනයි ද?''

ඇගේ රෝස කම්මුල ඇකිළිණ. මගේ පිළිතුරෙන් ඈ දුකට පත් වීම පිළිබඳව මට මා ගැන තරහක් උපන.

''තෙල්මා... අපි හොඳටම තෙමෙනවා.. යමු ඇතුළට....''
''මට බෑ.... මම මෙහෙම ඉන්න කැමතියි.... දැන් කවුරුවත් අපිව දකින කෙනෙක් නෑනෙ.. පත්තරකාරයො.. කැමරාකාරයෝ.... රසිකයෝ.... කවුරුත් නෑ.... මට පුළුවන් මං කැමති විදිහට ඉන්න...'' ඇගේ දිගැටි දෑස් මලානික වෙන හැටි......!
''ඔයා ඉන්නවද මාත් එක්ක මේ වැස්සෙ?''
''ඔව්.. ඉන්නම්'' මා පැකිළුණේ නැත.
''ඔයා ගෙනාපු මල් වලට ස්තූතියි. ඇයි ඔයා මම වෙනුවෙන් මෙහෙම තෙමෙන්නේ....?''
ඒ ප්‍රශ්නයෙන් මා නිරුත්තර විය.
''මං... මං... ඔයා කැමති නම් තෙමෙන්න... මං මොනවා කරන්නද?''
''මං ආස නෑ රසිකයො මං වෙනුවෙන් එහෙම කරනවට... ඒක මට මහ වදයක්....''
''නෝන මේ කුඩේ ඉහළ ගන්න අසනීප වෙයි..''
''මාටින් ඔය කුඩේ ගෙනියන්න.... මට ඕන්නෑ.... මට ඕනෙ තෙමෙන්න... ඇති තරම් මේ වැස්සෙ තෙමෙන්න....''

ඇය මල් කළඹ දකුණතට ගෙන වමතින් කුඩය ගෙන වැස්සේ කරකැවෙන්නට වූවා ය. හරියටම රඟ පෑමක් වාගේම.

''නෝනා මටයි බැණුම් අහන්න වෙන්නේ...''
ඇය කුඩය අතට ගෙන ඉවතට වීසි කළා ය. එය රෝල් වී ගොස් උඩ අතට හැරී වැස්සට තෙමෙන්නට විය. මාටින් එය අහුලා ගන්නට දිවුවේ ය.

''ඔයා නාට්‍යයේ ආසම මොන සීන් එකට ද?''
''ඔයා ඉන්න හැම මොහොතකටම''යැයි මට කියවෙන්නට ආවත් මම ගිල ගතිමි.
''එහෙම නෑ.... මුළු නාට්‍යයටම...''
''බොරු එපා... ඇත්ත කියන්න....''

මම ලජ්ජාවෙන් බිම බලා ගතිමි. මිණි කිංකිණියක් සෙලවෙන්නාක් මෙන් ඇය මට සරදමට සිනාසෙන්නී ය.

''අනිත් අය වගේම ඔයත් කැමති මං ඉන්න සීන් වලට නේද?''
ඇය මගේ දෑසට එබී කියන්නී ය. මා සීතලෙන් හිරිවැටී සිටියත් මගේ යටි හිතේ සිතැඟි ඇය කියවූ නිසා මගේ දෙකණ්සේ රත් විය.

''සඳරූ... නාට්‍ය කියන්නේ මායාවක්.... ඇස්බැන්ඳුමක්.. හරියට ඔයා මං ගැන හිතනවා වගේ... ඇත්ත එතන නෑ... මට බෑ තවත් ඔයාලව රවට්ටන්න....''
ඈ එය මා සමීපයටම විත් මගේ ඇස් ඉදිරියේ සිට කියන්නී, වැස්සට ඇගේ වත්සුණු දිය වී යමින් තිබිණ. දැසෙහි ගෑ අඳුන්, ඇසි පිය මත තැවරී විකාරයක් සේ පෙණින. ඇගේ රතදරවල ගෑ රෝස පැහැය දියව ගොස් පඬු පැහැයක් දොතොල් මත රැඳී තිබිණ. විශ්මයෙන් යුතුව මා ඇගේ මුහුණ නිරීක්ෂණය කරන දෙස ඈ ඕනෑකමින් බලාසිටින්නී,

''සඳරූ, මාව හොඳින් බලන්න...''
ඇය මා ළඟටම විත් මගේ දෑසට එබී ගැඹුරු සිහින් ස්වරයෙන් කියන්නී, ඇගේ ගිළුණු ඇස් වටයේ ලොකු කඳුළු ගුලි දෙකක් සිර වී තිබිණ.
''මේ මල් කොච්චර ලස්සනද? ඒත් මේවා හෙට පරවෙනවා...''

ඇගේ හුස්මේ උණුසුම ද මගේ කම්මුලට දැනෙන තරම් ඈ මට ළං විය. එකෙණෙහි ම, ජගුවර් රථයක් විත් රඟහල් ගේට්ටුව අසල නතර විය. එක දිගට නලාව නාද විය.

''මල් වලට ස්තූතියි... මං යන්නං...''

ඇය මගේ උණුසුම් කම්මුල මත ඇගේ සීතල දෙතොල තැබුවාය. මම ගල් ගැසුනෙමි. ඇය යළි නොහැරී ගොස් රථයට නැග ගත්තී ය.
රිය කවුළුවේ වැහි බිඳු තැවරීමෙන් බොඳ වුණු ඇගේ රුව මට පෙනේ. ඇය මට අත වනා නොපෙනී ගියා ය.

[අක්ෂර සෙනග| 2008]

නයෝමී ගුණසිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails