Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මෙ කව් සරණිය, විසි වසරකට පෙරදී (1991) උදා වූ දුරුත්තේ දී ප‍්‍රකාශයට පත් කරන ලද්දකි. එහි පත්ඉරු කහ ගැහී, මළ බැඳී මියැදෙමින් යන්නා සේ ය. එහෙත් එහි පිපී දිලෙන්නේ, මෙ දුරුත්තේ නැවුම් කවි කැකුලු ය. එහි සුවඳ ද, ගුණ ද විසිවසරක සමාජ යථාර්ථය ම පසිඳලමින්, විසි වසරකට පසුව මේ සීත දුරුතු සමයේ දී ද, දසත විසුරුවාලයි.

"දුරුතු උණුසුම", කිවියර විමලදාස මුදාගේ ගේ ය.

එ උණුසුම් කවි පොකුර අද ද, සමාජ විෂමතාව ප‍්‍රශ්න කරයි. ගතු කියයි. සමාජ සත්ත්වයා විඳින අනේක දුක් වේදනා වල නිමක් නැත. විසි වසරක් නොව, දේශපාලන බල ලෝභය ට තරග වදින රටක පවතින්නා වූ සදාතනික ඝට්ටනයන් ය. ඒවා විමසන්නට අයෙකු නැති.

"පොළොව විස ය. රට අසාර ය. බලය දූෂිත හස්තයෙන් කෙළෙසිණ. මෙවන් දෙසෙක කෝප නොවී, ලියන-මහත්මයා-අච්චු අකුරු අතර හිටැවුණු පඹයෙකි.

පඹවරු දිරාපත් වන්නාහ. එහෙත් අනාගතය වෙසෙසි පැනයක් නඟනු ඇත. එවන් සමයෙක සිටි කවීහු කුමක් කළාහු ද? ඔවූහු දහවල අන්ධකාරය යි කීමට බිය වූහු ද? රාත‍්‍රිය විදුලි බුබුලින් දිලුණේ, ඇස් නිලනයෙන් කිසිවක් දැකගත නොහැකි තරමට වසං විණැයි කීමට නොදන්නෝ ද?"

පෙර වදන සපයමින් එස්. ජී. පුංචිහේවා, එ කව් සරණිය පිළිබඳ ව විමසීමක යෙදෙන්නේ, එ අයුරින් ය.

කවිය යනු හදවතේ රිත්මය යි. ඔබේ හදවත ගැහෙන රිත්මය තුළ ඇත්තේ කවියකි. එහි පද පෙළක් නොවන්නට පිළිවන. එහෙත් ඔබ නොදන්නා කවක් එහි රාව දෙනු ඇත. ඔබ එය විඳියි. ලෝකය එය නොදන්නවා විය හැකි ය. තම හද ගැහෙන රාවය හඳුනා ගන්නෝ අල්ප ය. ඔවූහු කවිපද බඳිති. ඒවා සමාජගත කරති. සමහර විටෙක ඔබ හද ගැහුණු රිත්මය, එ කව් පුරවා තිබිය හැකි ය.

සීනි පැණි රස බව නොදන්නේ කවුරු ද? එ රස ට, අපි පැණි රස යැයි කියමු. එහෙත් දුරුතු උණුසුමෙහි සීනි තිත්ත ය. ඉන් වර නැෙඟන්නේ උක්දඬු සමඟ පොරබදන කම්කරුවාගේ ජීවන අරගලය යි.

කල්දේරමේ ගොද ගොද ගා පැහෙන්නේ
උක් පැණි වලින් ලේ සුවඳයි දැනෙන්නේ
දුම් බටයෙන් උඩු සුළඟට යැවෙන්නේ
අපේ සුසුම් - වා තලය ම දවන්නේ

කල්දේරමේ ගොද ගොද ගා පැහෙන්නේ කම්කරුවාගේ ජීවිතය නොවේ ද? හිරු ද, සඳු ද නැඟ, බැස ගිය ද, ශ‍්‍රම සූරාකෑමට ලක්වන මෙම කම්කරුවා, එ කව මෙසේ අවසන් කරයි.

නවතාදෝ පැක්ටේරිය යුෂ ඉරු ම
පැණි තොපටයි - රොඩු අපටයි බල අරු ම

දුරුත්ත සීත ය. එ සීත දුරුත්ත, උණුසුම් බව කවියා කියයි. ඒ සෙනෙහසින් ළය පිරී නොව. මිත‍්‍රත්ව දෑත් එක් වී නොව. වෛරයේ උණුසුමෙන් වෑහුණු වේදනාවෙනි. තැන තැන ඇසුණු වෙඩි හඬ ය. එකිනෙකා ගේ හදවතෙහි දැල්වූයේ වෛරයේ ගිනි පුපුරු ය.

පරෙවියො ඉගිල්ලෙති වෙඩි හඬට
තල් ගසේ වසන්න ද - පොල් ගසේ වසන්න ද
නිනව්වක් නෑ උනට
කිස්තුනි බුදින බත ලේ රසයි
බුදුවරුනි වඩින්නට කාලයයි

විවෘත ආර්ථික ඉතිහාසය පුරාම, ගොවිඳුන් ගේ විලාපය අද ද එකසේ ය. ගොවි ජනතාව දිනෙන් දින සියදිවි නසා ගන්නා ප‍්‍රමාණය ඉහළ යමින් පවතී. ”ගොවි කිරුළු” පදපෙළ නැවතත් සිහිකරවන්නේ නියඟින් අස්වනු පාළු වී ගොස් සිඟමන් යදිනා ගොවියන්ගේ ශෝකාලාපය යි. එවන් ස්වභාවික විපතකදී වුව රාජ්‍ය මැදිහත් වීමක් නැත. සහනාධාරයක් සැපයෙන්නේ නැත. ”ගොවි දුක” නම් පබැඳුම ද, එවැන්නකි.

”සිංහල, බැංකු නිළධාරීන්ගේ ජීවිත, ද‍්‍රවිඩ නිළධාරීන් දෙදෙනෙකු විසින් ගලවා ගනී” යන ප‍්‍රවෘත්තිය පාදක කොට ලියැවුණු ”උතුරු-දකුණු සහෝදරයෝ” හි වෙඩි උණ්ඩයට වඩා මිනිස් පපුවක ඝනත්වය, විදහා දක්වයි.

මදුරු ගොස අඳෝනාවක් නොවේ
ගීතයකි
වෙඩි හඬට වඩා මුදු බැවිනි

විධානය..!
පිටුපසින් ගිනි අවිය
ජීවිතය මූණිස්සමක් තරම් බර නො මැත

”පුංචි අපට සිරි සැප දේ” කාව්‍යය, සමාජයේ දරිද‍්‍රතාවෙන් පෙළෙන, කම්කරු ජනතාවගේ පවුල් පසුබිම් කොට නිමැවුමකි. එහිදී මධ්‍යම පංතික පාසල් ගුරුවරියකගේ හැසිරීම් රටාව උලුප්පා දක්වමින්, සමස්ත සමාජ තලයේ මධ්‍යම පාංතිකයා ප‍්‍රතිමුඛ කර, උත්ප‍්‍රාසය ද කැටි කොට, එය අවඥාවෙන් බැහැර කරයි .

මී........ස්.......!
පුන්යසෝම පොත් ඉල්ලූ කලට
ඉල්ලුවෙ තාත්තා වැඩියෙන් පඩි පතට
කළෙ ඉස්ටයික් වැඩි පඩි නොදුන් විට
වැටුණේ තාත්තා පැක්ටරියෙන් දොට්ට

සුවඳරත්න.....!
මෙහෙ එනවා.....!
චී...කේ... යිය..
පිළී ගඳයි...
ඊයෙ කවිය...?

පාඩම් මිස්.

කවුරුත් කියමුද...?
”පුංචි අපට සිරි සැප දේ
සිරි ලංකා දී...... පේ.....”

වෙළඳ කලාපය යනු, කාන්තා ශ‍්‍රම සූරා කෑමේ තෝතැන්න ය. ගම හැර දා සිදාදියට පිවිසුණ භද‍්‍ර යෞවනිය, ගැහැණියක ව ආපසු ගමට එන්නේ තම ආත්මය නොව, ගත කෙළෙසා ගෙන ය. දෑසේ ඉනූ කඳුළින් තම දියණියගේ කිලුටු වුණු ගත දෝවනය කර, ඇගේ ආත්මය සුවපත් කරමින් කවිය නිම වෙයි.

දලු දමන යෞවනය තුරුලු කර
හාමතේ වැඩට ගිය
දහඩියෙන් රන් පවුම් තනන කම්මලේ.. යන පද කිහිපයෙන් බලවතුනගේ වගතුග කියා පාන්නේ ය.

පිණි බිංදු තල තලා
කිළිටි ගත වාරු කර- අවුල් වුණ කෙස් රොදින
මල් මැකුණ ගවුම හැඳ
සුවහසක් බුදුන් බුදු වන උදෑසන
දියණි නුඹ ආවා ය.

කවියා බොහෝ පෙදෙස් තරණය කරමින්, විවිධ ඉසව් සොයා යයි. කම්කරුවාගේ දුක්ඛාලාපය, එ සියලු තැන් සොයා, ගලා යයි. රන් ආකර වල තම දිවිය පරදුවට තබමින් දහදිය හෙළන්නන්ගේ වැලපීම ”රත්තරං” ය.

රන් ගෙනෙතැයි ගෙල දික් කර බැලූවාට
නැතේ රන්, දෝණි දීගෙක යන කලට
නාඬන් රත්තරං නුඹ - අද නැති දේ ට
නුඹත් රත්තරං අප රජ වුණ දාක


ෆැක්ටරියේ වැඩට ගිය තාත්තා කම්කරු සංගමයට නායකත්වය සපයන හැටි බලා ඉන්නා කම්කරු පුතු, එම මෙහෙවර තමා ඉදිරියට ගෙන යන බවට ප‍්‍රතිඥා දෙන්නේ මෙසේ ය.

අපේ ගත මිරිකිලා හප වෙලා සොයුරනේ
අපේ සිත් වියැළිලා ඉරිතැලී මිනිසුනේ
කුමකට ද තව තවත් බල බලා සිටිනුයේ
සියලූ සිත් එක සිතක් කර යමවු පෙරමුණේ

තාත්තගෙ නාදයෙනි මා සවන පිරෙන්නේ
තාත්තගේ ජීවයෙනි මහද පන ලබන්නේ
තාත්තේ මාත් පැක්ටරියෙ වැඩ කරන්නේ
නුඹ එසවු කොඩිය මා නැත බිමට හෙළන්නේ.

ඉදින්, කිවියර විමලදාස මුදාගේ ගේ ”දුරුතු උණුසුම”, තවමත් දුරුත්ත උණුසුම් නො කරන්නේ ද?

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails