Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කතු ප‍්‍රකාශන පිංච අත රඳා
ණය බරින් බරව ගිය හිස බදා
විචාරක ඇසක් වෙත වැර යොදා
තල්ලුවක් දමන්නෙමි හිත හදා

විචාරක ඇසක් වෙත වැර යොදා තල්ලු කරන ලද බෝගන බෝකන්ද කවි සුමිතුරාගේ කවි කඳුළු මිට පිළිබඳව මා මගේ විමසුම් නෙත හෙලන්නේ එසේ වූ පැණසර විචාරක බැල්මකට තව දුරටත් ඉඩ තබමිනි. යම් කෙටි හෝ සංවාදයකින් තොරව මෙ කවි පොත අතීතයට එක් වීම වරදක්ම වන බැවිනි.

වෙනත් මෙවැනි කියවීම් වලින් වෙසෙස්ව තුරක කඳුළු හි අන්තර්ගතය පිළිබඳව සංවාදයකට පෙරාතුව එහි රචකයා පිළිබඳව යම් කිසි වචනයක් කිය යුතුය.

බෝගන කවියා මා පළමුකොට හඳුනා ගන්නේ ඔවුනගේ "කවි සුමිතුරෝ" වෑයමෙනි. කවි තුළින් සහ දුරකතනයෙන් පමණක් හැඳිනගෙන තිබූ අප පළමු කොට හමු වූයේ මකරන්දයක් විකසිත වූ දිනකදී ය.

එතෙක් මා ඔහු තරුණ කවියෙකැයි සිතා සිටියෙමි. නමුත් ඔහු දුටුවිට මාගෙන් පළවූ තුෂ්නිම්භූත බව දුටු ඔහුම සිනාවෙන් ඒ පිළිබඳව පිළිවිසියේය. වයසින් වියපත් වුවද හේ නම් සැබෑම තරුණෙකි. තරුණ කවියෙකි. ඉදින් කවි පිළිබඳව, වෙසෙසින්ම කවි පබැඳුම පිළිබඳව උනන්දු වන්නෝ ඔහු හොඳින් හඳුනති. තුරක කඳුළු හි ඔහු සිහිපත් කර ඇති කවි සුමිතුරන්ගේ නම් පෙළම එයට දෙස් දෙයි. කවියන්, කවි සුහුඹුලන් උනන්දු කිරීම අතින් හේ ඉක්මවන්නෙක් තවත් නොවේ.

ප‍්‍රස්තුත කවියාගේ එසේ වූ මෙහෙයට අප පරපුරේ කෘතවේදිත්වය පළ කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

නන්දන වීරසිංහ කවියා සටහන් කර ඇති පරිදිම බෝගන කවියාගේ කවි එකතුවේ සුවිශේෂය වන්නේ ආකෘතිය සහ අන්තර්ගතය යන ද්විත්වයේම ඇති සීමා රහිත බවයි. හේ සඳැස් කවියේ ද නිදහස් කවියේද රිසිසේ හැසිරෙයි. ඔහු තමා වටා සීමාවක් සළකුණු කර ගැනීමේ වරදෙන් මිදෙයි.

සිව් පද ආකෘතියේ සුරුකම් පාන අප කවියා වරෙක කොළඹ යුගයේ සුවිශිෂ්ට කව් ලකුණක් වූ විමලරත්න කුමාරගමයන් සිහිපත් කරවයි.

ගේ පැල ඉදිරිපිට කොළ නැති කැකුණ ගහේ
උලමා හඩන හඩ ඉඳහිට සවණ වැහේ
කල ගත කළ නිසා සමගිය නොබිඳ රැහේ
ඔවුනගෙ සෙත් පැතුම නිති ඔබ නමට තියේ

අනෙක් අතට මෙවන් කවියක හැඩ රුව සාගර පලන්සූරිය කවියා සිහිපත් කරවයි.

වැව් තාවුලේ, දැරියක් පැල්පතක විසූ
කැබලිති කොට කපා ඇති බව දිනෙක පසූ
ආරංචියෙන් මූසල කන් යුවළ ඇසූ
මම පිය නැගිමි කෝපය දුක සමග මුසූ
(ඇසින් දුටු සාක්ෂිය)

මෙකවි සංග‍්‍රහයේ දැනෙන කවි බොහෝ ප‍්‍රමාණයකි. එයින් කිහිපයක් පිළිබඳව මෙහි ලා සඳහන් කරමි. ”අහිමි බස්” යනු එවැනි කවියකි. එකවිය තුලින් කවියා නිදහසේ විවිධ අරුත් ජනනය කරයි.

ඇතුගල් පුර සිට
එන කෙනරක් ගැන
සිහින තොරණ බැඳ
නයන පහන වැට
රහසෙම දැල්විණ

බසයක් හෙමිහිට
පාලම පසුකොට
ඇදිණි ඉදිරියට
තිරිංග තද කොට
පාගා මහදට
(අහිමි බස්)

”මත් සුවඳ” වැනි පද්‍යයක ඔහු ජනිත කරන ද්වන්දාර්ථ මන බඳින සුළුය.

සීතලෙන් දෝ අහා
කෙඳිරියක් ඇසෙන්නේ.....
ළඟට ගෙන සිඹ ගනිමි
ළයට තුරුළු කර ඉතින්
කොළ හැලුණු මල් වැරුව
තුරක සිතුවමක් ඇඳි
නිලමෙ දුන් පොරෝණය
රුක් රේණු නොතැවරුණ

”ඔබ නොදනී” වැනි කවකින් මධ්‍යම පාන්තික රැවටිලිකාරී ජීවිතවල හිස් බව දක්වාලයි. ”බත් අම්මා” වැනි තවත් කවි කිහිපයක් විඳිය හැකි මට්ටමේ නිර්මාණයෝය.

මේ කවි එකතුවේ මගේ සිත් වඩාත්ම ඇදගත් නිර්මාණය මෙසේ දක්වාලමි.

මිනී මල් පිපුණු බිම් කඩ
දුමින් පිරි අහස් ගැබ යට
තැනින් තැන වලා කැටි බිඳ
ගලා ආ අඳුර වැතිරුනු
මිනී මල් පිපුණු බිම් කඩ
සොයා පැමිණියෙම්

සීතලේ නිදන මල් මත
ගලා ගිය මිඳුණු ලේ කැටි
ඉතිරිකල මතක අහුලා
ලියන්නට කවක් මතු දින
සිතා පැමිණියෙම්

තනන මතක සිහිවටනයෙ
නම ගම දාතම ලියන්න
තබමි ඔබට අවකාශය

සීතලේ නිදන මල් මත
ගලා ගිය මිදුණු ලේ කැටි
ඔබේ සහ මගේ බව නම්
කියමි සැක හැරා

බොහෝ කවි අතරින් ප‍්‍රබල දේශපාලන අරුතක් ජනනය කරන්නක් ලෙස ”අපි අසරණයි සිහ රද” යන කවිය ස්ථානගත කල හැකිය. මේ ගෙවන දේශපාලන මොහොත පිළිබඳ ජනතා පාපොච්ඡුාරණයක් ලෙස පවා මෙය ගත හැකිය.

අපි අසරණයි සිහ රද
කප්පරක් පැතුම් පොදි
ඉටු කර ගනුව මතුදා
පළඳා කිරුළ හිස

දෙවා සක් හඬ
යවා කොඩි ගහ මුදුනට
නවා හිස බුහුමන් කොට
කිරුළ පැළැඳූ සිහ රද

කගක් ගත් අතකින්
කිසක් ඉටු කරනුව
කපා දා ලණු පොට
නැග කොඩි ගහේ මුදුනට

වැනෙන ඒ මේ අත
හමන හැම සුළඟට
ඔබටත් වඩා අද
අපි අසරණයි සිහ රද
ඔබ’තට කගක් දුන්

”බත් අම්මා” ආදී තවත් කවි කිහිපයක් විඳිය හැකි මට්ටමේ නිර්මාණ ලෙස ගත හැකිය. විඳිය හැකි කවි එසේ වුවද මේ කවි එකතුව තුල සුලබ ප‍්‍රස්තුත පිළිබඳව දුලබ කියවීම් රහිත ඕලාරික පන්නයේ නිර්මාණද හමුවේ. එකවි තුලින් කෙසේවත් බෝකන්ද කවියාගේ නියම ප‍්‍රතිභාව මතුවන්නේ යැයි කිව නොහේ. ”බිඳුණු පාලම” වැනි කවියකින් ජනනය වන අපූර්වත්වයක් නැත. පුනරුක්ති කවි වන මේවා ඇති වන තුරු පට්ටා ගසා ඇති ප‍්‍රස්තුතයන්ය. මෙයට කලින් මේ ප‍්‍රස්තුතයම ලියූ කවියන්ට වෙසෙස්ව යමක් දැනවීමට බෝකන්ද කවියා සමත්ව නැත.

”සරුංගලේ” නිමැවුම කෙටි එකකි. එහි අවසන් පද කිහිපය බලන්න.
නූල් පංදුවේ
ඇසුර බිඳුණ දා
දඩාවතේ ගොස්
පහළට එනවා
මෙවැන්නක් තුලින් සහෘදයා වෙත දැනෙන කම්පනය කුමක්ද? ”අප්පච්චී” වැනි කවියකත් ඇත්තේ එවැනි ඕලාරික බවකි. මෙවැනි රස හීන කවිද කිහිපයක් මෙහි වෙයි.

බෝගන බෝකන්ද කවියා යනු ප‍්‍රතිභාන්විත එසේම සීමා රහිත කවියෙකි. අනෙක් අතට ලාංකීය කාව්‍ය ව්‍යාපාරයට අත්‍යවශ්‍යය ප‍්‍රබල උද්ඝෝෂකයෙකි. ඔහුට තව තවත් කවි ලියන්නටත්, කවීන් උද්යෝගිමත් කරන්නටත් බොහෝ ශක්තිය ධෛර්්‍යය සහ නිරෝගී සුව පතමි.

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails