Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බෝම්බ වලට බියෙන්
බස් රියේ යන්න බෑ කියූ පෙම්බරී
ස්ටාෆ් සර්විස් ඇවිත් ආදරය සර්විස් කළා
මතකයි ද මන්දා
දැන් බස් වල බෝම්බ පුපුරන්නෙ නෑ
පුපුරපු බෝම්බ වල කැළැල් විතරයි
ඒත් නුඹ නෑ
ගෙයින් එළියට බහින්නේවත් නෑ
කම්පනයට වෙන්න ඇති!

කුණු ගඳ ගහන කොළඹත් චෙක් පොයින්ට් නෑ
තිබුණත් ගංජා බීඩියක්වත් උන් අල්ලලා නෑ
උන්ම දාපු දේවල් ආයෙම පෙන්නුවා විතරයි
මැජික් මිසක් මොකුත් තිබුණේ ම නෑ
ඒත් කව්රුවත් කාටවත් කතා නෑ
කම්පනයට වෙන්න ඇති!

කරට අත දමා පිහියෙන් ඇන්නත් කමක් නෑ
දෙනෝ දහක් මැද වෙඩි තිබ්බත් කව්රුවත් දැකලා නෑ
කිස් එකක් දුන්නොත් පොලීසිය කර අරින්නෙ නෑ
හූ කියලා අහු වුණොත් ඇප දීම ෂුවර් නෑ
ගාලු කොටුවත් "බුදු ගෙයක්" වුණා කියලා වැඩක් නෑ
කොටු පවුර ඉකිබිඳින හඬ කාටවත් ඇහුණෙ නෑ
කම්පනයට වෙන්න ඇති!

බෝම්බයක ගිගුරුම් හඬක් ඈතින්වත් ඇහුණෙ නෑ
පුහුණු අවි වලින් ගිනි බින්ඳාට හානි නෑ
සුදු පරෙවියන් තැන තැන මැරී වැටුණා වුණත්
තුවාල තිබුණෙ නෑ - ලේ ගැලුවේම නෑ
පශ්චාත් මරණ පරීක්‍ෂණ නැතත්
හැමෝම කීවේ එක දෙයයි
කම්පනයට වෙන්න ඇති!

ඉඩම් ටික "අධි ආරක්‍ෂිත" වුණේ
වැඩි ආරක්‍ෂාවටයි
ඔප්පු ටික නැති වුණොත් පූරුවේ කරුමෙටයි
හැදෙන මහ කම්මල් තුට්ටු දෙකේ ශ්‍රමයටයි
තාර පාරවල් යට වැළලුණේ තරුණ ජීවිතයි
කකුල් කොට වනන කිහිළිකරු
අනාගතය උතුරටයි
අලුත් වෙන සිහළ නම් තහඩු හරි හැඩයි
සුසුමක් වුණත් පිට වෙන්න හරි බයයි
කම්පනයට වෙන්න ඇති!

සිනමාව විනයටයි කලාවත් විනයටයි
හැදෙන්නෙත් විනයටයි හදන්නෙත් විනයටයි
නීතියේ කන්‍යාව විනයෙන්ම ගැබ්බරයි
ඇස් පොට්ට හින්දාම උපත අවජාතකයි
සුරාවට තිත වුණත් සූදුවට මනාපයි
විඩාවට කාට වුව හිර ගෙදර සනීපයි
කඳුළක් වුණත් දිලිසෙන්න අකමැතියි
කම්පනයට වෙන්න ඇති!

මහපාරේ කිරිබත් සුවඳ වියැකුණා වුණත්
කටු කම්බි වැට පිම්මෙ දලු දැම්මා තවත්
කටක් තිබු මිනිසුන්ට රිදී මුකවාඩම් ය
අතක් තිබු මිනිසුන්ට හිරිවැටුණු එන්නත් ය
තටු තිබුණු මිනිසුන්ට ඉගිලෙන්න අමතක ය
ඇවිදින්න ගියත් දෙපා හරි කම්මැළි ය

මගේ පෑන් තුඩ වුණත් විවේකයට හරිම කැමති ය
කම්පනයට වෙන්න ඇති!

"කම්පනයට වෙන්න ඇති"- 2010

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails