Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තුංමං හංදියේ අන්දර ගස්සෙවණේ තනිවූ මහගම සේකර ප්‍රතිමාව දකින සහෘදයකුගේ හිත පෑරෙයි, රිදෙයි. මෙහි සිදුවූ සියල්ල විඳ දරාගත් කිවිඳු අප‍දෙස බලා සිටී. ඔහුගේ උඩුකය ප්‍රතිමාව යදැලින් වටකොට ඇත. ඔහු සිටිනුයේ සිය කැමැත්තෙන් සිරගතව නොව ඔහු කෙරේ පෙම ඉපිද වූවන් විසින් සිරගත කරනු ලැබීමෙනි. සම්ප්‍රපලාප සුළඟේ මැකී ගියා. තුං මං හංඳිය සදානුස්මරණීය කලා නිකේතනයක් කරන බවට සේකරගේ මළගම දා හැංදෑවේ කියැවුණු සම්ප්‍රපලාප සුළඟේ මැකී ගියා. දෙණ අභියස සිට සිදු කෙරන ඔවැනි කතා අපේ වර්තමාන සංස්කෘතියේ ආවේණික ගුණයකි. එනිසා ඒ ගැන කලබලවන්නට හෝ හිතරිදවා ගන්නට අවැසි නැත. අනිත් අතට දෙණ අභියස කරන කතා-

මළගිය ඇත්තන්ට ඇසෙන්නේ ද නැත. ප්‍රශ්ණයක් පැන නඟින්නේ එසේ ඇසෙනවා නම් පමණි. අද ජීවත් වන අයට ඔය වාගේ කතා හොඳට හුරුය, පුරුදුය. තුංමං හංදියේ මහගම සේකර ස්මාරකය බැන්දේ අභාවයෙන් තරමක් පසුකාලයේය. ප්‍රතිමාව හිටවන ලද්දේ රජයේ ලලිත කලායතනයේ සේකරයන්ගේ ගෝල පරම්පරාවක දරුවන් අතිනි. ඒ කාලයේම තවත් දෙයක් සිදුවිණි. කලා නිකේතනයක් වෙනුවට තුංමං හංදිය මැද වෙලිබොල් පිට්ටනියක් ඉදිවිය. අලුත් පරමපරාවේ වේ ලයනල්ලා, වික්ලර්ලා , ප්‍රියන්තලා හැම හැන්දෑවකම පාහේ තුං මං හංදියේ බෝල ගසති. ඩෑෂ් පහරවල් සේකරයන්ගේ මුහුණට එල්ල වේ. ඔහු වැනි මානවාවදී මහා කලාකරුවෙකුට මෙවැනි ප්‍රහාරයක් විඳ දරාගැනීම අසීරුවක් නොවේ. ප්‍රබුද්ධ තුං මං හංදිය අසලදී නව පරම්පරාවේ තරුණයින්ගෙන් කැට මුගුරු ප්‍රහාරයක් කෑවා රසික ඔබට මතක ඇතුවාට සැක නැත.

නොසන්සුන් වූවෝය තරුණයෝ
නොතේරේ අපට ඔය දෙසන බණ
වැඩක් නැත අපට ඔය දෙසන බණ
ගැඹුරු දර්ශන වාද අභිධර්ම

නිවා ගත නොහැක කුසගිනි බණවලින්
වසා ගත නොහැක ගත විලි බණවලින්
ආවේය දස අතින් හූ හඬක්
ආවේය දස අතින් ගල් මුල්ද

රොස් පරොස්
වේදනාව දැනී නළලත
බලත අතගා
රතුලේ පැහැය තැවරිණි.
ඇඟිලි තුඩු අග
ගලින් නෙළූ ප්‍රතිමාවක් සේ
අචලව අකම්පිත ව
බලාසිටියේය ඔහු නොසෙල්වී
එතැන් හිම
භීතියක් ඔහු සිතට නොදැණින
කෝපයක් ඔහු සිතට නොනැඟිණ
මන්ද යත්
පිරී තිබුණෙන් ඔහුගේ මුළු සිතම
උන් කෙරෙහි උපන් මහ දයාවෙන්
(ප්‍රබුද්ධ - 88, 89 පිටු)

සේකර අත්පන්දු පහරවල් සියල්ල නිසලව විඳ දරා සිටියා. එය එසේ වන බවට ඔහු කල් ඇතිව දැන සිටියාවෙන්. නමුත් සංසාරේ තැවරී ඇති දුක් එතනින් ‍නිමාවේද?
එක් ඉරිදා උදෑසනක බලන විට තුංමං හංදියේ සුපරුදු තැන සේකර දකින්න හිටියේ නෑ. තුංමං හංදිය පාලුවෙලා තිබුණා.

“කෝ මහගම සේකර මහත්මයා”

හිස් බව දකින සියල්ලන් සසල වුණා. දිගින් දිගට මුහුණත මත පතිතවන පන්දු පහර දරා ගන්න නොහැකිව ගියාද? සංසාරේ දුක එතැනින් නිමාවීද? අභිනිෂ්ක්‍රමණය කලාවත්ද? මිනිස්සු රදාවනා පුරා සේකරව සෙව්වා. සේකරගේ ළබැඳියෝ හැමෝම ඊට එකතු වුනා. ඔවුන් කෙරේ උපන් මහා දායාවෙන්, නිවී සැනැහුණු මුහුණින් යුතුව තුංමං හංදියේ පාළු ළිඳ පතුලේ ගරා වැටුණු සුන්බුන් අතරෙ සිටි සේකර ඔවුන්ට හුමුවුණා. සේකර ප්‍රතිමාව කිසියම් පිළිමලකු විසින් ළිඳට හෙලනු ලැබ තිබුණා. පෑරුණු හදින්, තැළුණු හදින්, රිදුණු හදින් මං තුං මං හංදිය පසුකරනා බව කීවේ ඇයි දැයි දැන් ඔබට වැටහෙනු ඇති.

ඉන්ඉක්බිතිව සේකර කෙරෙහි පෙම් බැන්දෝ, ඔහු යළි තුං මං හංදියේ වඩා හිඳුවා අලුත් පරිම්පරාවේ ඇතැමුන්ගේ ප්‍රහාරයන්ගෙන් ඔහු ආරක්ෂා කරගනු පිණිස ඔහු වටකොට යකඩින් දැල් ගැසූහ. තමා පෙම් බැන්දවුන් විසින්ම සිරගත කරනු ලැබූ සේකර තුංමං හංදියේ සිටී. ඔහු අචලව, අකම්පිතව සිටී යයි ඉතිං මා ඔබට කියන්නේ කෙසේද? සේකර සසලව කම්පිතව සිටින්නා සේ මට දැනෙන බව මම ඔබට කියමි.

[උ‍දේනි සමන් කුමාර විසින් රචිත "මහගම සේකර" කෘතියේ 128 – 131 පිටු]

Image from| MahagamaSekera.org

උ‍දේනි සමන් කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails