Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හැඳින්වීම

මෙම රචනය මගින් අපේක්ෂා කරන්නේ ගුණදාස අමරසේකරගේ සාහිත්‍ය භාවිතයේ පංති දෘෂ්ටිවාදය පිළිබඳ නිරීක්ෂණ කීපයක් ඉදිරිපත් කිරීමටයි. කෙසේ වෙතත් මෙහි දී කෙරෙන ඇතැම් නිරීක්ෂණ ඉදිරිපත් කෙරෙන්නේ යම්කිසි අවදානමක් භාර ගනිමිනි. මක් නිසාද යත් මෙම රචනය සම්පාදනය කිරීම සඳහා ගත කළ කෙටි කාලය නිසා ඇතැම් නිරීක්ෂණ විධිමත් සුපරීක්ෂාවට ලක් කිරීමට හැකියාව ලැබී නොමැති බැවිනි.

කෙසේ වෙතත් එම අවදානම තිබියදීම ඒවා අසම්පූර්ණ ආකාරයෙන් වුව මෙහි දී ඉදිරිපත් කෙරෙන්නේ ලංකාවේ දැනට ජීවත්වන ඉතාම බලපෑම් සහගත වූ ද සමාජ - දේශපාලන සංවාදයට ඉතාම සක‍්‍රිය ලෙස දායක වන්නා වූ ද-

-සාහිත්‍යකරුවා වන අමරසේකර පිළිබඳව පවත්නා කතිකාවට මැදිහත්වීමට වැදගත් වන නිසාය. එම නිසා මෙහිලා ඉදිරිපත් කරන ඇතැම් විට අසම්පූර්ණ ආකාරයෙන් ඉදිරිපත් කෙරී ඇති, නිරීක්ෂණ පාඨිකාවගේ / පාඨකයාගේ තියුණු විවේචනයට හසු වෙතැයි අපේක්ෂා කරමි.

මෙම රචනය ප‍්‍රධාන වශයෙන් නාභිගත වන්නේ 1984 දී ප‍්‍රකාශිත ‘ගමනක මුල’ නවකතාවේ සිට 2006 දී ප‍්‍රකාශිත ‘ගමනක මැද’ නවකතාව දක්වා වූ නවකථා හත කෙරෙහිය. මෙම නවකථා හත එකම ආඛ්‍යානයක කොටස් වේ. ඒ අතරම විය හැකි පරිදිම අමරසේකරගේ සෙසු කෘති සමහරක් කෙරෙහි ද යම් අවධානයක් යොමු කර තිබේ. එසේම මෙම රචනය තුළ අමරසේකරගේ කෘති අරභයා මේ වන විටත් ඉදිරිපත් වී ඇති ඇතැම් විචාරාත්ක මැදිහත්වීම් සමග විවේචනාත්මක කතිකාවකට යොමු වීම මෙහි දී සිදු කෙරේ. එලෙස සාකච්ජාවට භාජන කෙරෙන ප‍්‍රධාන මැදිහත්වීම් දෙකක් වන්නේ ආචාර්ය සසංක පෙරේරා විසින් ‘ගමනක මැද’ කෘතිය අරභයා The Island පුවත්පතට සපයන ලද කොටස් දෙකකින් යුතු රචනයත්(1) කීර්ති බාලසූරිය හා මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් රචිත ‘කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය’ කෘතියත්ය.

අමරසේකරගේ ප‍්‍රබන්ධ කෘතීන්හි පංති දේශපාලනය

ගුණදාස අමරසේකරගේ පළමු නවකතාව වූයේ ‘කරුමක්කාරයෝ’ ය. එය රචනා කරන ලද්දේ 1955 දී වන අතර එය ඔහු විසින් ඉන් පසු රචිත නවකථා හා කෙටිකථා සම්භාරයෙන් සපුරාම වෙනස් වේ. එම නවකථාව මගින් ඔහු අප හමුවට පමුණුවන ප‍්‍රධාන චරිතවල සමාජ පසුබිම ඉන් පසුව රචිත ‘ජීවන සුවඳ’ කෙටිකතා සංග‍්‍රහයෙනුත්, සෙසු නවකථා හා කෙටිකථා බහුතරයකිනුත් අප වෙත එන ප‍්‍රධාන චරිත බහුතරයක සමාජ පසුබිමෙන් සපුරාම වෙනස්ය.

‘කරුමක්කාරයෝ’ හි හමුවන චරිත වල සමාජ පසුබිමට සමාන චරිත මුල් කර ගත් කෘතීන් කීපයක් ඔහුගේ පසුකාලීන කෘතීන් අතර අපට හමුවේ. ඒවා නම් අසත්‍ය කතාවක්, පේ‍්‍රමයේ සත්‍ය කතාව, ගල් පිළිමය හා බොල් පිළිමය, පිළිම ලොවයි සැබෑ ලොවයි වැනි කෘතීන්ය. ඒ හැරුණු විට ඔහුගේ සෙසු නවකතා හා කෙටිකතා වල කරුමක්කාරයෝ කෘතියේ එන ප‍්‍රධාන චරිත වලට සමාජ පසුබිම අතින් සමාන චරිත අපට හමුවන්නේ ආන්තික චරිත ලෙසිනි. ඒවාට එම කෘතීන්හි ආඛ්‍යානයේ තීරක කාර්යභාරයක් හිමිවන්නේ නැත.

‘කරුමක්කාරයෝ’ ලිවීමෙන් පසුව අමරසේකරගේ සාහිත්‍ය ජීවිතයේ සිදු වූ ඛණ්ඩනය හා එහි වැදගත්කම විමසා බැලීම මෙහි දී වැදගත්ය. ‘කරුමක්කාරයෝ’ කෘතිය වනාහී යටත් විජිත සමයේ අවසාන වකවානුවේ ග‍්‍රාමීය පහළ මැද පංතික පවුලක ආර්ථික හා සමාජ තතු සහ ඔවුන්ගේ මිනිස් සබඳතාවල ඇතැම් ක්ෂුද්‍ර පාර්ශව විවරණය කරන අපූරු කෘතියකි. එම කෘතිය එක් අතකින් මෙකී ග‍්‍රාමීය පහළ මැද පංතියේ ආර්ථික හා සමාජ අපේක්ෂාවන් ග‍්‍රාමීය සමාජය මත ආර්ථික හා දේශපාලන ආධිපත්‍යය හොබවන ඉඩම් හිමි පංතිය හා එම පංතියේ සහය ලබන පහළ මැද පංතියේම කොටස් සමග ගැටීම නිසා දෙදරා යන අයුරු චිත‍්‍රණය කරයි. අනෙක් අතට එය වික්ටෝරියානු පවුල් සදාචාරය හා ගැමියාගේ ලිංගික ජීවිතය අතර දයලෙක්තික සබඳතාව අපූරුවට විවරණය කරයි.

කෘතිය මුලින්ම පළවීමෙන් වසර පනහකට පමණ පසුව, සමහර විට අමරසේකරම, එම කෘතිය අරභයා පළ කරන ලද අදහසක් මෙහි දී අපගේ සාකච්ජාවට අතිශයින්ම අදාළය. ‘කරුමක්කාරයෝ’ හි 2001 මුද්‍රණයේ (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ) පසු කවරයේ සටහනකින් කියැවෙන්නේ කරුමක්කාරයෝ නවකථාවේ වටිනාකම රැඳී ඇත්තේ එහි ඇති ‘බහිජටා කතාව තුළ’ බවයි. මේ ප‍්‍රකාශය සම්බන්ධ වන්නේ කෘතියේ ආදර්ශ පාඨය ලෙස යොදාගෙන ඇති ‘අන්තෝ ජටා, බහි ජටා, ජටාය ජටිතා පජා’ යනාදී බුද්ධ දේශනාවටය. කෘතියේ ‘අන්තෝ ජටා’ කොටස ලෙස ඔහු දකින්නේ ප‍්‍රධාන වශයෙන්ම කෘතියේ කේන්ද්‍රීය පවුලේ ලිංගික සබඳතා මුල් කර ගත් ආඛ්‍යානය විය හැක. ‘බහිජටා’ කොටස වන්නේ කේන්ද්‍රීය පවුලේ ආර්ථික අරගලය තුළ දී එම පවුල සෙසු බාහිර සමාජ සංඝඨක සමග ඇතිවන සබඳතා ජාලය මුල් කර ගත් ආඛ්‍යානය විය හැක.

‘‘කරුමක්කාරයෝ’’ නවකතාවට පසුව ලියැවුණු කෘතිවල ද අමරසේකර ඇතැම් විට ගැමි ජනයාගේ ලිංගික ජීවිතය හා වික්ටෝරියානු පවුල් ආකෘතිය අතර ඇති දයලෙක්තිකය වෙත අවධානය යොමු කර ඇතත් ‘කරුමක්කාරයෝ’ තුළ මෙන් ගැඹුරු විවරණයක් ඒ අවස්ථා තුළ දැකිය නොහැකිය. ‘ජීවන සුවඳ’ කෙටිකතා සංග‍්‍රහයේ එන ‘කලහය’ කෙටිකතාවත් එම කතාවේම අනුභූතිය ඇසුරෙන් විදාරණය වන ‘ගමනක මුල’ නවකතාවේ එන වෙදමහත්තයාගේ හා ඉස්කෝල හාමිනේගේ නිවසේ මෙහෙකාරියට අවජාතක දරුවකු ලැබීම පිළිබඳ කථාංගය තුළ මේ තත්වය හොඳින් නිරීක්ෂණය කළ හැක.

‘ජීවන සුවඳ’ කෙටිකතා සංග‍්‍රහයෙන් පසුව ලියැවුණු බහුතරයක් අමරසේකරගේ කතා කේන්ද‍්‍රගත වී ඇත්තේ ග‍්‍රාමීය ඉහළ මැද පංතිය ලෙස හඳුනා ගැනීමේ පහසුව තකා මෙහි දී නම් කිරීමට කැමති පංතියට අයත් පවුල් කීපයක් වටාය. අමරසේකරගේ කෘතිවල සමාජ-දේශපාලන තලයට සාපේක්ෂව ග‍්‍රාමීය පංති සංයුතිය සම්බන්ධව කෙටි හඳුනාගැනීමක් කිරීම මෙහි දී උචිතය.

මෙම පංති ස්ථරායනයේ ඉහළින්ම අපට හමුවන්නේ බාල මහත්තයා, වෙද මහත්තයා, කරුමක්කාරයෝහි දෙණියෙ මහත්තයා වැනි අයගෙන් සමන්විත ග‍්‍රාමී්‍ය මධ්‍යම පංතියේ ඉහළ ස්තරයයි. මේ පංතියේ ප‍්‍රධාන ආර්ථික ශක්තිය මධ්‍යම පරිමාණ ඉඩම් හිමිකාරිත්වයයි. එසේම ග‍්‍රාමීය සමාජය තුළ දේශපාලන වශයෙන් බලවත්ම කොටස වන මෙම පංතිය ග‍්‍රාමීය ප‍්‍රභූ තන්ත‍්‍රයක් ලෙස හැඳින්වීමට පුළුවන. මා මෙම පංතිය මධ්‍යම පංතියක් ලෙස හඳුන් වන්නේ ග‍්‍රාමීය ආර්ථිකයට ආසන්න වශයෙන් බලපාන මෙම පංතියට වඩා බලවත් තවත් පංතියක් සිටින නිසාය. එම පංතිය මූලික වශයෙන් සමන්විත වන්නේ මහා පරිමාණ අදෘශ්‍යමාන (Absentee)ඉඩම් හිමියන්ගෙනි. ‘කරුමක්කාරයෝ’ නවකතාවේ අපට මෙම අදෘෂ්‍යමාන ඉඩම් හිමි පංතියේ බලපෑම ග‍්‍රාමීය ආර්ථිකය කෙරේ බලපවත්නා ආකාරය හඳුනා ගැනීමට පුළුවන (උදා: කණුකැටියේ කන්දෙ මහත්තයා). සිත්ගන්නා සුලු කරුණ වන්නේ කරුමක්කාරයෝ නවකතාවට පසුව රචිත අමරසේකරගේ කථාවල මෙම පංතියේ බලපෑම දෘශ්‍යමාන වන්නේ නැත. ඒ පිළිබඳව පසුව සාකච්ජා කෙරෙන බැවින් මෙහි දී අවධානය යොමු නොකෙරේ. මෙම ඉඩම් හිමි ග‍්‍රාමීය ඉහළ මැද පංතියේ ආර්ථික බලය ඉඩම් හිමිකාරිත්වය මත මෙන්ම නිදහස් අධ්‍යාපනය ව්‍යාප්ත වීමට පෙර පවා යටත්විජිත සමය තුළ වර්ධනය වූ අධ්‍යාපනයේ ප‍්‍රතිලාභ යම්තාක් දුරටක අත්පත් කර ගැනීමට තිබූ හැකියාව මත ද රඳා පැවතුණි.

මෙම ඉහළ මැද පංතියට පහළින් සුළු ඉඩම් හිමිකාරිත්වයක් සහිත නමුත් සිය ඉහළයාමේ අභිලාෂයන් සපුරා ගැනීම සඳහා එකී ඉඩම් හිමිකාරිත්වය ප‍්‍රමාණවත් නොමැති, මා මෙහි දී ග‍්‍රාමීය පහළ මැද පංතිය ලෙසින් හඳුනාගනු ලබන සමාජ ස්තරය දක්නට ලැබේ. කරුමක්කාරයෝහි විලිසොංගේ පවුල හරහා අපට මෙම පංතියේ ලක්ෂණ හඳුනා ගැනීමට පුළුවන. කරුමක්කාරයෝහි අපට හමුවන්නේ නිදහස් අධ්‍යාපනයේ ආරම්භයට පෙර කාලය තුළ මෙම පංතිය ආර්ථික වශයෙන් ඉහළ නැගීමට දරණ උත්සාහයන් හා එම උත්සාහයන් ස්ථාපිත ග‍්‍රාමීය ආර්ථික හා දේශපාලන සබඳතා හා ගැටෙන ආකාරයයි. ‘අසත්‍ය කථාවක්’ හා ‘පේ‍්‍රමයේ සත්‍ය කථාව’ යන කතා තුළ නිදහස් අධ්‍යාපනයේ ව්‍යාප්තියෙන් පසුව මෙම පංතියේ ගතිකයන් අපට මුණගැසේ. (උදා: නිමල් හා ඔහුගේ පවුල)

අවසාන වශයෙන් ආර්ථික වශයෙන් ඉතාම පහළ සැලකිය යුතු නිෂ්පාදන අගයක් සහිත ඉඩම් අයිතියක් පිළිබඳ ඉඟි හමු නොවෙන පංතියක සාමාජිකයින් අපට අමරසේකරගේ කථා තුළ අතරින් පතර හමුවේ. ‘කලහය’ කෙටිකතාවේ මෙන්ම ‘ගමනක මුල’ නවකතාවේ ද හමුවන අවජාතක දරුවෙක් බිහි කරන වෙදමහත්තයාගේ පවුලේ මෙහෙකාරිය ද, එම පවුලේම මෙහෙකරුවන් ලෙස පසු නවකතාවල හමුවන බ‍්‍රම්පි ද අපට මෙම පංතියේ සාමාජිකයින් ලෙස හඳුනාගත හැක. මෙම පංතිය ග‍්‍රාමීය නිර්ධන පංතිය ලෙස හැඳින්වීමට මම කැමැත්තෙමි. ‘කරුමක්කාරයෝ’ හි අදෘෂ්‍යමාන ඉඩම් හිමියකු වූ කණුකැටියේ කන්දෙ මහත්තයාගේ වත්තේ වැඩ කරන වැටුප් ශ‍්‍රමිකයින් ලෙස ද අපට මෙම පංතිය අබිමුඛ වේ.

මුලින් සඳහන් කළ ආකාරයකටම කරුමක්කාරයෝ නවකතාවෙන් පසුව විශේෂයෙන්ම ‘ජීවන සුවඳ’ කෙටිකතා සංග‍්‍රහය හා ඊට පසුව ලියන ලද කථා බහුතරයක අපට දක්නට ලැබෙන්නේ මා ඉහත සඳහන් කළ ග‍්‍රාමීය ඉහළ මැද පංතිය සිය දෘෂ්ඨිපථ ලක්ෂය (Vantage point) කරගෙන ලියන ලද කථාය. කෙසේ වෙතත් මෙම තත්වයට ව්‍යතිරේක අවස්ථා කීපයක් අපට මුණගැසෙන බව ද මෙහි දී සඳහන් කළ යුතුය. 1971 කැරැල්ලට පසුව ලියන ලද අසත්‍ය කථාවක් හා පේ‍්‍රමයේ සත්‍ය කථාව, 1983 ජනවාර්ගික ප‍්‍රශ්නය තීව‍්‍ර වීමත්, 1987-89 තරුණ කැරළි හට ගැනීමත්, පසුබිමේ ලියන ලද ‘මරණ මංචකයේ දුටු සිහිනය’, ‘ගල් පිළිමය හා බොල් පිළිමය’, ‘පිළිම ලොවයි පියවි ලොවයි’ මේ ව්‍යතිරේක ගණයේ ලා සැලකිය හැකිය.

කෙසේ වෙතත් ‘ජීවන සුවඳ’ සිට ‘ගමනක මැද’ දක්වා ග‍්‍රාමීය ඉහළ මැද පංතික දෘෂ්ඨිපථ ලක්ෂයක සිට ලියන ලද කථා සමූහය ගත්ත ද අපට ඒවා ප‍්‍රධාන යුග දෙකකට බෙදා දැක්වීමට පුළුවන. ඒවායේ මුල් යුගය ‘ජීවන සුවඳ’ සංග‍්‍රහයෙන් පටන්ගෙන ‘එකම කථාව’ ‘කථා පහක්’ යන කෘතිවලින් අවසන් වේ. අනෙක් යුගය පටන් ගන්නේ ගමනක මුල නවකතාවෙනි. එම නවකතාවෙන් ආරම්භ වී ‘ගමනක මැද’ දක්වා මෙතෙක් ලියැවී ඇති නවකතා හත මේ දෙවන යුගයට අයත් ඒවා ලෙස සැලකිය හැකිය. මෙම බෙදා දැක්වීමේ පදනම කුමක්ද?

මෙම බෙදා දැක්වීමට අදාළ සංදර්භය පැහැදිලි කළ හැක්කේ 1976 දී අමරසේකර විසින් ලියා පළ කරන ලද ‘අබුද්දස්ස යුගයක්’ යන විචාර කෘතියෙන් ද ඊට පසු ලියන ලද ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?’ සහ තවත් කෘති කීපයක් මගින් එළිදකින ඔහුගේ සමාජ දේශපාලන දැක්මේ ඇතිවන නව වෙනස්කම් ආශ‍්‍රයෙනි. එක්තරා අතකින් ඥාන විභාගාත්මක ඛණ්ඩනයක් සලකුණු කරන බුද්ධිමය මැදිහත්වීම් ලෙස සැලකිය හැකි මෙම රචනාවලින් පසුව එළිදකින ‘ගමනක මුල’ හා ඊට සම්බන්ධව ‘ගමනක මැද’ දක්වා ලියැවෙන නවකතා හත තුළ අපට ඉතා වැදගත් ලක්ෂණයක් හඳුනා ගැනීමට පුළුවන. එනම් ග‍්‍රාමීය මැද පංතික දෘෂ්ඨිපථ ලක්ෂයක සිටම මෙතෙක් සිය ප‍්‍රබන්ධකරණයට ලක් වූ චරිත හා සිදුවීම් ‘අබුද්දස්ස යුගයක්’ කෘතියෙන් පසුව ඇතිවූ ඥාන විභාගාත්මක ඛණ්ඩනයට පසු දෘෂ්ඨිකෝණයේ (Point of view) යළි ආඛ්‍යානගත කිරීමයි. Vantage point (දෘෂ්ඨිපථ ලක්ෂය) හා Point & View (දෘෂ්ඨිකෝණය) යෙදුම් දෙක අතර වැදගත් වෙනස මෙහි දී අවධාරණය කිරීමට කැමැත්තෙමි. උදාහරණයක් ලෙස ග‍්‍රාමීය මැද පංතික දෘෂ්ඨිපථ ලක්ෂයක සිට ගැනීම යන්නෙන් අනිවාර්යයෙන්ම එම පංතියේ දෘෂ්ඨිකෝණය නියෝජනය කිරීමක් අදහස් නොවේ. සිය වස්තුව දෙස බලන දෘෂ්ඨිකෝණය තීරණය වන්නේ නිරීක්ෂකයන් දෘෂ්ඨිවාදී ස්ථාවරයන්ට සාපේක්ෂවයි. දෘෂ්ඨිපථ ලක්ෂය මෙහි දී කිසියම් කාර්යභාරයක් ඉෂ්ට කළ හැකි වුව ද එම බලපෑම අනිවාර්ය එකක් වන්නේ නැත.

අමරසේකරගේ කෘති පිළිබඳ විචාර කතිකාව

මෙම කොටස මගින් මා මූලික වශයෙන්ම උත්සාහ කරන්නේ ‘ගමනක මුල’ සිට ‘ගමනක මැද’ දක්වා වූ නවකථා හත කියැවීම සඳහා කියැවීම් ආකෘතියක් යෝජනා කිරීමටයි. එවැන්නක ප‍්‍රයෝජනය අවධාරණය කිරීම වැදගත් වන්නේ "ගමනක මුල” නවකථාවෙන් පසුව සම්පාදනය වූ අමරසේකරගේ කථා දෙස නිශේධාත්මකව බැලීමේ ප‍්‍රවණතාවක් යම් තරමකට තහවුරු වී ඇති බැවිනි. දැනටමත් සඳහන් කර ඇති සසංක පෙරේරාගේ ප‍්‍රවේශය තුළ මෙම කෘති සම්බන්ධව නිශේධාත්මක ආකල්පයක් නැතත් මේ කෘති නවකථා ලෙස සැලකිය හැකි ද යන ප‍්‍රශ්නය ඔහු මතු කරයි. එසේම සුචරිත ගම්ලත් මෙම කෘති මාලාව අරබයා ඉතා දැඩි නිශේධාත්මක අර්ථ විවරණයක් ඉදිරිපත් කළේය.(3)

සසංක පෙරේරාගේ ප‍්‍රවේශයට වෙනස් ලෙස මා මේ කෘති පරිහරණය කරන්නේ නවකථා ලෙසිනි. ඒ ප‍්‍රධාන හේතු තුනක් නිසාය. පළමුවැන්න මෙම කෘතිවල අඩංගු නවකථාමය නොවන ලක්ෂණ ලෙස සසංක පෙරේරා දකින ස්වයං චරිතාපදානමය, සමාජ ඉතිහාසයීය හා දේශපාලන විවරණමය ලක්ෂණ නවකථාමය ලක්ෂණවලින් බැහැර කිරීමට එරතම් සාධාරණ පදනමක් ඇත්තේ නැත. ඔහු මෙම කෘති කියවීමට අපට යෝජනා කරන්නේ ‘‘දේශපාලන විවරණයක් ලෙසින් ප‍්‍රබන්ධගත කරන ලද ස්වයං චරිතාපදානමය සමාජ ඉතිහාසයීය ශානරයක්’’ ලෙසින් නම් එයින් වක‍්‍රව අදහස් වන්නේ නවකථා යන ශානරයට එම වර්ගීකරණයේ එන ශානරීය ලක්ෂණ ඇතුලත් නොවන බවයි. කෙසේ වෙතත් එම යෝජනාව අඩුම වශයෙන් නවකථා ගණයේ ලා සැලකෙන ඇතැම් කෘති සම්බන්ධයෙන් හෝ සාධාරණ නොවන බව සඳහන් කළ මනාය. දෙවනුව සසංකගේ නිර්වචනය තුළ අභ්‍යන්තර පරස්පරයක් ඇත. ඔහු අමරසේකරගේ අදාළ කෘති අරභයා යෝජනා කරන ශානර ප‍්‍රවර්ගයේ අංගවල ‘‘දේශපාලන විවරණ ස්වයං චරිතාපදාන හා සමාජ ඉතිහාසයීය’’ යන අංග ‘‘ප‍්‍රබන්ධගත කරන ලද’’ යන අංගය සමග පෑහෙන්නේ නැත. අඩුම වශයෙන් දේශපාලන විවරණ, ස්වයං චරිතාපදාන හා සමාජ ඉතිහාස නවකථාවලින් වෙනස්ව නිර්වචනය කිරීමට නම් මුලින් කී වර්ග තුන ප‍්‍රබන්ධමය නොවන කිසියම් ශාස්ත‍්‍රීය විධික‍්‍රම වලට අනුකූලව රචිත කෘති ලෙස පිළිගත යුතුය. නමුත් ඊට වෙනස් ලෙස සසංක යෝජනා කරන ශානරයේ ඇත්තේ ප‍්‍රබන්ධකරණයකි. එවිට ගැටලුව වන්නේ එම ප‍්‍රබන්ධකරණය කරන ලද ශානරය නවකථා ශානරයෙන් වෙනස් වන්නේ කෙසේද යන්නයි.

තුන්වෙනුව අදාළ වියමන් නවකථා බවට සමාජය තුළ පොදු සම්මුතියක් ඇත. කර්තෘවරයා මෙන්ම ප‍්‍රකාශකයාට ද අඩුම වශයෙන් බහුතරයක් පාඨක ප‍්‍රජාව ද මෙම වියමන් පරිහරණය කරන්නේ නවකථා ලෙසිනි. තවද මෙම කෘති සම්මාන යනාදිය සඳහා සලකා බැලීමේ දී ඒවා වර්ගීකරණය කරන්නේ ද නවකථා ලෙසිනි. දැන් කෙනෙකුට මෙම සම්මුතිය මත පදනම් වූ නිර්වචනය අරභයා අවශ්‍ය නම් අවම වශයෙන් විවේචන දෙකක් ඉදිරිපත් කළ හැක. පළමුවෙනුව මෙම ස්මමුතිය ප‍්‍රශ්න කරනු හෝ ප‍්‍රතික්ෂේප කරනු නොලැබිය හැකි ද යන විවේචනයයි. දෙවැන්න නවකථාව යන්න අරභයා ධනාත්මක අවබෝධයක් ලබා ගැනීමට මෙම නිශේධාත්මක නිර්වචනය ප‍්‍රමාණවත් ද යන්නයි.

පළමු කරුණ ගැන කිව යුත්තේ ඇත්ත වශයෙන්ම එම සම්මුතිය ප‍්‍රතික්ෂේප කරනු ලැබිය හැකි බවයි. ඇත්ත වශයෙන්ම පවත්නා සම්මුතිය ප‍්‍රමාණවත් නොමැති නම් එය ප‍්‍රශ්න කළ යුතු අතරම නව සම්මුතියක් සඳහා ක‍්‍රියා කිරීම ද අත්‍යාවශ්‍යය. නමුත් නව සම්මුතියක් සඳහා පදනමක් ලෙස සසංක පෙරේරා යෝජනා කරන නිර්වචනයේ අඩංගු ඇතුලත් කිරීමේ හා බැහැර කිරීමේ (inclusion & exclusion) තර්කනය සැලකිල්ලට ගතහොත් අපට ගැටලුවක් මතු වේ. එම ගැටලුව නම් අප දැනට අඩුම තරමින් ලංකාවේ, නවකථා යන ශානරය තුළට ඇතුල් කරන බොහොමයක් කෘති එම ශානරයෙන් බැහැර සිදුවීමයි. පියදාස සිරිසේන වැන්නෙකුගේ නවකථා සලකා බැලුවහොත් ඒ තුළ අපට පැහැදිලි දේශපාලන විවරණ ලක්ෂණ දැක ගත හැකිය. ස්වයං චරිතාපදානමය ලක්ෂණ අඩංගු වීම ලාංකික බොහෝ නවකථාවල දක්නට පුළුවන. ගුණදාස අමරසේකරගේ ම, ‘ගමනක මුල’ නවකථාවට පෙර ලියන ලද නවකථා හා කෙටිකථා බොහොමයකම මෙම ලක්ෂණය ‘ගමනක මුල කතා මාලාව’(4) තුළ දක්නට ලැබෙන ආකාරයටම දැකිය හැකිය. දැනටමත් සඳහන් කර ඇති ආකාරයට "ගමනක මුල” කතා මාලාව තුළ දක්නට ඇත්තේ ඊට පෙර ඔහුගේ කෘති බොහොමයක දක්නට ලැබෙන අනුභූතීන් යළි ආඛ්‍යානගත කිරීමකි.

දෙවනුව සඳහන් කළ ප‍්‍රතිතර්කය ඇත්ත වශයෙන්ම, මා ඉදිරිපත් කළ වචනවලින්ම නොවුනත්, 2007 පෙරබවාරි 01 වනදා දිවයින පුවත්පතේ පළ වූ මගේ සම්මුඛ සාකච්ජාවක දී මා මෙම කාරණය මතු කළ අවස්ථාවේ ඊට පිළිතුරු ලෙස බණ්ඩාර සෙනෙවිරත්න මහතා විසින් මතු කරනු ලැබීය. එය ඊට සති දෙකකට පසුව එම පුවත්පතේම පළ විය. එම මැදිහත්වීම තුළ ඒ මහතා පැහැදිලිව ඉල්ලා සිටියේත්, සසංක පෙරේරාගේ නිර්වචනය තුළ ව්‍යංග්‍යාත්මකව ඉල්ලා සිටින්නේත් අදාළ වියමන තුළ දැකිය හැකි ගුණාංග පදනම් කර ගත් නිර්වචනයකි. කෙසේ වෙතත් එසේ ගොඩනගන ඕනෑම නිර්වචනයක් මගින් අදාළ වියමන හෝ එය අයත් ශානරය තේරුම් කළ හැක්කේ එක්තරා දුරකට පමණි. එනම් නිර්වචනයට හසු නොවන පිටපත් (outside) නිර්වචනය සමගම නිර්මාණය වීම වැලැක්විය නොහැකිය. අමරසේකරගේ වියමන් අරභයා සසංක ඉදිරිපත් කළ නිර්වචනය ගැන ඉහත කළ සාකච්ජාවෙන් ද මෙය පැහැදිලි වේ.

අමරසේකරගේ අදාළ කෘති අරභයා මහාචාර්ය සුචරිත ගම්ලත් ඉදිරිපත් කරන විවේචනය අප හමුවේ මතු කරන්නේ සාහිත්‍ය කෘතියක්, එසේත් නැතහොත් පොදුවේ ගත් කළ කලා කෘතියක්, එහි කලාත්මක අගය ඇසුරෙන් තක්සේරු කරන්නේ කවර ආකාරයකට ද යන්නයි. සුචරිත ගම්ලත් අනුගමනය කරන කලා විචාර විධි ක‍්‍රමයට අනුව කලා කෘතියක් තක්සේරු කෙරෙන්නේ ඒ මගින් යථාර්ථය ඥානනය කෙරෙන ප‍්‍රමාණයටයි. මෙහි දී යථාර්ථය ඥානනය කෙරෙන කෘති හා එසේ නොකරන කෘති අතර බෙදා වෙන් කිරීමක් කිරීම දක්නට ලැබේ. මෙම විධික‍්‍රමය සංයුක්ත වශයෙන් කලා කෘති තක්සේරු කිරීම සඳහා යොදාගනු ලබන ආකාරය මඳක් සලකා බැලීම උචිතය.

ගම්ලත්, කීර්ති බාලසූරිය සමග එක්ව රචනා කළ ‘කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය’ කෘතියෙන් අපට මේ සාකච්ජාව සඳහා වැදගත් ආලෝකයක් ලබා ගත හැකිය. පහත දැක්වෙන උපුටා දැක්වීම එම කෘතියෙනි.

‘‘....... 1960 ගණන්වල දී ලියැවුණු බොහෝ නවකථා ධනවාදය විසින් නිපදවනු ලබන පුද්ගලවාදයේ මහාර්ඝත්වය වන්දනා කරනු පිණිසත් ධනවාදයෙන් නිෂ්පාදිත ජීවිතය පරමයක් ලෙස සලකා අනුමත කරනු සඳහාත් රචිත බොළඳ වෘත්තාන්ත සමූහයක් විය. සිරි ගුණසිංහගේ හෙවනැල්ල, ගුණදාස අමරසේකරගේ යළි උපන්නෙමි හා දෙපා නොලද්දෝ, සරච්චන්ද්‍රගේම මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදු දා, මේවා අතුරින් කැඵී පෙනෙන කෘති විය.” (1999 මුද්‍රණය, පිටුව 125)

මෙකී නිෂේධාත්මක ලකුණු සහිත කලා කෘතිවලට පරස්පරව සාධනීය කලා කෘති, අදාළ වියමන තුළ ගුණාංගීකරණය කෙරෙන්නේ මෙසේය.

‘‘එක්ටැමෙන් පොළොවට, එකම කථාව, කතා පහක්, අසත්‍ය කතාවක් හා පේ‍්‍රමයේ සත්‍ය කතාව තුළ මෑත භාගයේ ලියැවුණු හොඳම නිර්මාණාත්මක කතා මාලාවක් ගැබ් වෙයි. මේ කෘතිවල දී අමරසේකර විශේෂයෙන්ම ගැමි ජනතාව අතර කැකෑරෙන කැරලිකාරිත්වය තුළට කිදා බසිමින් නගරයේ කම්කරු ව්‍යාපාරය ද පැරණි කම්කරු පක්ෂ ද මේ ගොවි ජන නොසන්සුන්තා ද අතර අන්තර් සබඳතා ග‍්‍රහණයෙහි නිරතවෙයි.’’ (එම, පිටුව 129)

මෙම අර්ථකථන දෙස පරීක්ෂාවෙන් බැලූ විට පෙනීයන දෙයක් වන්නේ කෘතිය මගින් නියෝජනය කෙරෙන යථාර්ථය කිසියම් ආකාරයකට නිර්මාපකයා දැනුවත්ව, අරමුණු සහගතව සිදු කරන්නක් බවයි. අඩුම තරමින් කීර්ති බාලසූරියගේ හා සුචරිත ගම්ලත්ගේ ඉදිරිපත් කිරීම තුළ පැහැදිලි වන්නේ එය එසේ බවයි. එසේ නම් මතුවන ගැටලුව වන්නේ උදාහරණ වශයෙන් ගුණදාස අමරසේකරම ලියූ ‘යළි උපන්නෙමි’ හා ‘දෙපා නොලද්දෝ’ නිෂේධාත්මක කලා කෘති වන්නේත් ඔහුගේම පසු උපුටා දැක්වීමේ සඳහන් කර ඇති කෘති සාධනීය වන්නේත් කවර පදනමක් මත ද යන්නයි. මේ කරුණ තව දුරටත් විදාරණය කිරීම සඳහා පහත උපුටා දැක්වීම ප‍්‍රයෝජනවත්ය.

‘‘1971 තරුණ නැගිටීම අමරසේකර ද වෙනත් කලාකරුවන් ද සසල කළ ප‍්‍රමුඛ සිද්ධිය විය. "හෙට එච්චර කළුවර නෑ" නමැති කතාව මගින් 71 නැගිටීම බොළඳයන්ගේ විකාරයක් ලෙස පසෙකට අතුගා දමා එය ගණන් නොගන්නා ලෙස පාඨකයන්ට ආයාචනා කිරීමට සරච්චන්ද්‍ර ඉදිරිපත් වුව ද මේ නැගිටීමෙන් කෙනෙකු තුළ ඇති වූ තිගැස්ම ප‍්‍රතිරාවය කර නිහඬවීමට අමරසේකර සූදානම් නොවුණි. (එම, පිටුව 129)

දැන් ගැටලුව වන්නේ එකම සිද්ධියට කලාකරුවන් දෙදෙනෙකු දෙආකාරයකට ප‍්‍රතිචාර දැක්වීම පැහැදිලි කරන්නේ කවර ආකාරයක ද යන්නයි. කීර්ති බාලසූරිය හා සුචරිත ගම්ලත් දක්වන ආකාරයට වෙනස පවතින්නේ එකිනෙක කලාකරුවාගේ අරමුණ තුළයි. එනම් සරච්චන්ද්‍රට අවශ්‍ය වුනේ "71 නැගිටීම” ගණන් නොගන්නා ලෙස පාඨකයන්ට ආයාචනා කිරීමටයි. අමරසේකරට එසේ කිරීමට අවශ්‍ය නොවීය. බෙහෙවින්ම ගැටලු සහගත මෙම ප‍්‍රවේශය පිළිබඳව වැඩි දුර විමසා බැලීමට මෙම රචනාවේ සීමාව තුළ ඉඩක් නැත. නමුත් මා මෙහි දී යෝජනා කරන්නේ කිසියම් කලා නිෂ්පාදනයක් තුළ යථාර්ථය ප‍්‍රතිනියෝජනය කලාකරුවාගේ අපේක්ෂා හා අරමුණු සමග බද්ධ කිරීම අතිශයින්ම සීමාසහිත බවයි.

ඊට අමතරව මේ ප‍්‍රවේශය තුළ දක්නට ලැබෙන හා අපගේ සාකච්ජාවට බෙහෙවින්ම අදාළ වන කරුණ වන්නේ කෘතිය මගින් ප‍්‍රක්ෂේපණය කිරීමට කලාකරුවා අපේක්ෂා කරන පණිවිඩය හා කෘතිය තුළින් නියෝජනය කෙරෙන හෝ අඩුම තරමින් එසේ නියෝජනය කෙරෙනවා යැයි විචාරකයා / කියවන්නා විශ්වාස කරන යථාර්ථය අතර අනිවාර්ය සම්බන්ධතාවක් තිබේ ද යන්නයි. කීර්ති බාලසූරියට හා සුචරිත ගම්ලත්ට අනුව ‘හෙවනැල්ල’, ‘යළි උපන්නෙමි’, ‘මළගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’ වැනි කෘති ධනවාදය විසින් නිපදවනු ලබන පුද්ගලවාදයේ මහාර්ඝත්වය වන්දනා කරනු පිණිසත් ධනවාදයෙන් නිෂ්පාදිත ජීවිතය පරමයක් ලෙස සලකා අනුමත කරනු සඳහාත් රචිත ඒවාය. දන් ගැටලුව වන්නේ එම කෘති එවැනි අරමුණක් සහිතව රචනා කරන ලද කෘතිම යැයි පිළිගනු ලැබුවත් ඒ නිසාම ඒවා යථාර්ථය ඥානනය නොකරන ඒවා ලෙස ගුණාංගීකරණය කළ හැකි ද යන්නයි. ප‍්‍රශ්නය අනෙක් අතට ඇසුවහොත් යථාර්ථය ඥානනය කරන කෘතියක් ලෙස විචාරකයා හඳුනාගන්නා කෘතියක් තුළම එම කෘතියේ කතුවරයාගේ වෙනත්, සමහර විට ඊට පරස්පර හා / හෝ විචාරකයා පිිළිගනු නොලබන, අරමුණු, අපේක්ෂා නොතිබිය හැකි ද යන්නයි.

කතුවරයාගේ අපේක්ෂාව හා කෘතිය මගින් නියෝජනය කෙරෙන යථාර්ථය අතර මෙම දයලෙක්තිකය අපගේ සාකච්ජාවට බෙහෙවින් අදාළය. මෙම රචනය තුළ සාකච්ජාවට භාජන කෙරෙන අමරසේකරගේ කෘතීන් අරභයා, විශේෂයෙන්ම සුචරිත ගම්ලත් විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික විවේචනය වූයේ එම කෘති රචනා කරනු ලැබුවේ අමරසේකර විසින් අනුදත් ජාතික චින්තන දෘෂ්ඨිවාදය නගාලනු පිණිස බවයි. (මේ සම්බන්ධයෙන් ගම්ලත් ඉදිරිපත් කළ අදහස් ඒ ආකාරයෙන්ම උපුටා දැක්වීමට හැකියාවක් නොතිබීම ගැන කණගාටු වෙමි.) ඒ අනුව අපට උපකල්පනය කළ හැක්කේ එම කෘති තුළ යථාර්ථය ඥානනය කිරීමේ ශක්‍යතාව ගැබ් නොවන්නේ කතුවරයාගේ එම අපේක්ෂාව නිසා බවයි. මා යෝජනා කරන්නේ කලා කෘතියක් මගින් සම්පාදනය කෙරෙන අරුත් ග‍්‍රහණය කර ගැනීමේලා මෙම ප‍්‍රවේශය බෙහෙවින්ම සීමාසහිත එකක් බවයි. එම තතු යටතේ මා මෙම සාකච්ජාව සඳහා වෙනත් ප‍්‍රවේශයක් යෝජනා කිරීමට කැමැත්තෙමි. එම ප‍්‍රවේශය මූලික වශයෙන් පදනම් වන්නේ මිඛයෙල් බක්තීන් (Mikhail Bakhtin) විසින් ඉදරිපත් කරනු ලැබූ බහු ශාබ්දිකතාව (Polyphony) සහ කානිවල් (Carnival) යන සංකල්ප මතය.

මෙම ප‍්‍රවේශයට අනුව ගත් කළ, විශේෂයෙන්ම කෘතිය මගින් නියෝජනය කරන යථාර්ථය(න්) හා / හෝ සම්පාදනය කරන අරුත් තීරණය වන්නේ කතුවරයාගේ / කතුවරියගේ අපේක්ෂාව ලෙස කියවන්නා / කියවන්නිය නිශ්චය කරන දෙය මත නොව කතුවරයා /කතුවරියගේ ලේඛක පරිශ‍්‍රමය තුළ කෘතිය තුළට ඇතුල් කරනු ලබන අරුත් හා සංඥා විකේතනය කිරීමට (Decode) කියවන්නා / කියවන්නිය සමත් වන ප‍්‍රමාණයටයි.

මෙහි දී මා වියමනකින් ජනනය කරනු ලබන අරුත් වනාහී එම වියමන තුළම පවතින අරුත් නොව කියවන්නා විසින් ඒ මත ආරෝපනය කරන අරුත්ය යන පශ්චාත් නූතනවාදී අදහසට වඩා තරමක් වෙනස් අදහසක් මත පදනම් වීමට කැමැත්තෙමි. එනම් කියවීමේ ක‍්‍රියාවලිය තුළ පාඨකයා විසින් ග‍්‍රහණය කරනු ලබන අරුත් වනාහී කතුවරයා විසින් කෘතිය සම්පාදනය කරනු ලැබීමේ ක‍්‍රියාවලිය තුළ කෘතිය තුළට ඇතුල් කරනු ලබන අරුත්ය යන්නයි. කතුවරයාගේ හා පාඨකයාගේ මෙම කාර්යයන් පිළිබඳව වැඩිදුර විවරණයක් මෙහි දී අවශ්‍ය වේ.

ඇත්ත වශයෙන්ම කතුවරයා විසින් කෘතිය සම්පාදනය කිරීමේ ක‍්‍රියාවලිය තුළ කෘතිය තුළට සවිඥානකව අරුත් හා සංඥා ඇතුල් කරනවාට වඩා වැඩි ක‍්‍රියාවලියකි මා මෙයින් අදහස් කරන්නේ. මෙහි දී අපට ඇත්ත වශයෙන්ම කතුවරයා අර්ථ නිරූපණය කළ හැක්කේ කෘතිය හා කෘතියට බාහිරව පවතින අනේක ප‍්‍රමාණ කතිකාවන් අතර පාලමක් ඉදිකරන්නෙකු වශයෙනි. එවිට මෙම පාලම දිගේ කෘතිය තුළට ගලා එන අරුත්, සංඥා අනිවාර්යයෙන්ම කතුවරයා අපේක්ෂා කරන ඒවාම විය යුතු නැත. මෙම ක‍්‍රියාවලිය කෙරේ කතුවරයාගේ කිසියම් පාලනයක් අනිවාර්යයෙන්ම තිබීම බලාපොරොත්තු විය හැකි අතරම කතුවරයා ඉදිකරන පාලම දිගේ කෘතිය තුළට ඇතුල් වන අරුත් සමුදාය හා එහි පොහොසත්කම කතුවරයාගේ දක්ෂතාව මත රඳා පැවතීම ද නොවැලැක්විය හැකිය. කෙසේ වෙතත් මෙහි දී මෙම බාහිර අරුත් හා සංඥා කතුවරයා විසින් ඉදිකරනු ලබන පාලම දිගේ කෘතිය තුළට ගලා ඒම අඩුම තරමින් ආකාර තුනකට සිද්ධ විය හැක. පළමුව, කතුවරයා සිය සවිඥානික මැදිහත්වීම ඔස්සේ සිතාමතාම යම් යම් අරුත් සංඥා කෘතිය තුළට රැගෙන ඒමට පුළුවන. දෙවනුව, කතුවරයාගේ අවිඥානයේ මැදිහත්වීමෙන් ද කෘතිය තුළට ඇතැම් අරුත් සංඥා පැමිණීම සිද්ධ විය හැක. තෙවනුව හා වඩා වැදගත් ලෙස, කෘතිය හා බාහිර ලෝකය අතර කතුවරයා විසින් ඉදිකරනු ලබන පාලමේ ස්වභාවය විසින්ම කතුවරයාගේ මැදිහත්වීමෙන් සාපේක්ෂ වශයෙන් ස්වායත්ත ලෙස අරුත් හා සංඥා කෘතිය තුළට පැමිණීම සිදු විය හැක.

මෙම තුන්වන කාරණය තරමක් පැහැදිලි කිරීම මෙහි දී වැදගත්ය. මෙහි දී කතුවරයා විසින් කෘතිය හා බාහිර ලෝකය අතර ගොඩනගන පාලම ලෙසින් හඳුන්වනු ලබන්නේ කතුවරයා කෘතිය ගොඩනැංවීම පිණිස උපකාර කරගන්නා විවිධාකාර කලා තාක්ෂණයන්ය. ආඛ්‍යාන විධික‍්‍රම, විවිධ රූපක හා භාෂා ප‍්‍රයෝග හා වෙනත් ප‍්‍රකාශන විධීන් මීට ඇතුලත් කළ හැක. මා මෙම ගොඩනැංවීම පාලමක් ලෙස හඳුන්වන්නේ බාහිර ලෝකයේ ඇති අරුත් හා සංඥා කෘතිය තුළට පැමිණෙන්නේ එය මාධ්‍යය කරගෙන නිසාය.

මෙය කතුවරයාගේ සවිඥානක හා/හෝ අවිඥානික මැදිහත්වීම ඇතිව මෙන්ම නැතිවද සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස කතුවරයා කිසියම් රූපකයක් තමන්ට අභිමත අරුත් ප‍්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා විට එම රූපකය ඒ වන විටත් කතිකාව තුළින් අත්පත් කරගෙන තිබෙන අරුත් නිරායාසයෙන්ම කෘතිය තුළට පැමිණීම සිදු විය හැකිය. කලා කෘතියක් සම්බන්ධව දෘෂ්ඨිවාදී විශ්ලේෂණයක් කිරීමේ දී මේ කාරණය ඉතාම වැදගත්ය. කලා කෘතීන් තුළ අඩංගු දෘෂ්ඨිවාදී නියෝජනයන් බොහෝ දුරට සිද්ධ වන්නේ මෙම කතුවරයාගේ මැදිහත්වීමෙන් සාපේක්ෂ වශයෙන් ස්වායත්ත ලෙස කෘතිය තුළට ඇතුල්වන අරුත් හා සංඥා හරහාය.

කෘතියක් බාක්තීනියානු අර්ථයෙන් කානිවල් ස්වරූපයක් අත්පත් කර ගන්නේ මෙකී විවිධ ආකාරවලින් කෘතිය තුළට පැමිණෙන අරුත් හා සංඥා කෘතියේ කැන්වසය නැමැති එක් අවකාශයක් තුළ සාමූහිකව පෙනී සිටීම නිසාය. මේ තුළ කෘතියක හොඳ නරක තීරණය කිරීම සම්බන්ධව යමක් ප‍්‍රකෘශ කරනවා නම් මෙහි දී සඳහන් කළ හැක්කේ කෘතියක පවතින මෙම කානිවල් ස්වරූපයේ හා බහුශාබ්දිකතාවයේ ප‍්‍රමාණය අනුව වෙනත් වචනවලින් කියනවා නම් කතුවරයා විසින් කෘතිය තුළට ගෙන එනු ලබන අර්ථ හා සංඥාවල විශාලත්වයේ ප‍්‍රමාණය අනුව අපට කෘතියේ හොඳ නරක තක්සේරු කිරීමට හැකියාවක් තිබෙන බවයි.

මෙම සංදර්භය තුළ ‘කියවීම’ යන පශ්චාත් ව්‍යුහවාදී (?) සංකල්පයේ අරුත කුමක්ද? මා යෝජනා කරන්නේ කියවීම යනු කලින් සඳහන් කළ ආකාරයට කෘතිය තුළට ඇතුල්ව කානිවල් ස්වරූපයෙන් පවතින බහු ශාබ්දිකත්වය විකේතනය කිරීමේ (Decode) ක‍්‍රියාවලිය බවයි. මෙහි දී කෘතිය තුළ ඇති අරුත් කොතරම් ප‍්‍රමාණයක් කියවීමේ ක‍්‍රියාවලිය තුළ කියවන්නා විසින් විකේතනය කරගන්නවා ද යන්න තීරණය වන්නේ කියවන්නාගේ පොහොසත්භාවය මතය.

රෝලන්ඞ් බාත්ගේ ‘කතුවරයා මියයාම’ පිළිබඳ අදහස මෙම සංදර්භය තුළ ප‍්‍රයෝජනයට ගතහොත් අපට ඉහත දැක්වූ කලා කෘතිය පිළිබඳ ප‍්‍රවේශය තව දුරටත් ඉදිරියට ගෙනයාමට පුළුවන. මෙහි දී අපට ‘කතුවරයා මියයාම’ යන්නෙන් අර්ථ ගැන්වීමට හැකි වන්නේ කෘතිය සම්පාදනය කිරීමත් සමගම කතුවරයා හා කෘතිය අතර ඇති සම්බන්ධය බිදී යාමයි. එහි දී කියවන්නා ද කතුවරයාගේ ආධිපත්‍යයෙන් මිදීමක් සිදු වේ.

මෙහි දී අපට කෘතියේ අර්ථ හා එම අර්ථවල සංදර්භයන්හි තවත් පැත්තක් අනාවරණය කර ගැනීමට පුළුවන. එනම් කෘතිය කතුවරයාගේ ආධිපත්‍යයෙන් මිදීමත් සමග කෘතිය හා බාහිර ලෝකය අතර සබඳතාව නිදහස් චලනයක් අත්පත් කර ගැනීමයි. මෙය තේරුම් ගැනීමට ඇති ඉතාම පහසු ආකාරයක් වන්නේ කෘතියේ අඩංගු සංඥාවල අරුත් සංදර්භය කාලය තුළ වෙනස්කම්වලට භාජන වීමට තිබෙන ඉඩකඩයි. මේ නිසා වසර සියයකට ඉහත දී රචනා කරන ලද කෘතියක් කියවන පාඨකයාට කෘතිය තුළින් වසර සියයකට පෙර නොතිබූ අරුත් උකහා ගැනීමට හැකියාව ලැබේ. එම අරුත් සහ කතුවරයා අතර කිසිදු සම්බන්ධතාවක් නොතිබීමට පුළුවන.

මේ අනුව මෙම සාකච්ජාවේ මුලට නැවත ගමන් කරනවා නම් කීර්ති බාලසූරිය හා සුචරිත ගම්ලත් කෘතිය තුළින් නියෝජනය වන යථාර්ථය හා කතුවරයාගේ අභිලාෂය අතර සම්බන්ධය අරභයා ඉදිරිපත් කරන අදහස සම්බන්ධව ඉතා තියුණු විවෙචනයක් කිරීමට පුළුවන. එනම් කෘතියේ අඩංගු අරුත් හා සංඥා (ඒ නයින් ගත් කළ ඒ තුළින් නියෝජනය කෙරෙන යථාර්ථය) කතුවරයාගේ අභිලාෂයන්ට වඩා බෙහෙවින්ම පුළුල් වන අතර කෘතිය හුදෙක් කතුවරයාගේ අභිලාෂයන් තුළින් පමණක් දැකීම අතිශයින් පටු විධික‍්‍රමයකි.

ඉහත සාකච්ජාවේ සංදර්භය තුළ මෙහි දී සාකච්ජාවට ලක්වන ගුණදාස අමරසේකරගේ කෘති ස්ථානගත කළහොත් අපට ඒවා දෙස බැලිය හැක්කේ කෙසේද? කීර්ති බාලසූරියගේ හා සුචරිත ගම්ලත්ගේ ප‍්‍රවේශයට අනුව බැලුවහොත් ඒවා අමරසේකර කිසියම් අදහස් පද්ධතියක් (ජාතික චින්තනය) තහවුරු කරලීම පිණිස ලියන ලද ඒවාය. ඇත්ත වශයෙන්ම මා ඉහත යෝජනා කරන ලද ප‍්‍රවේශය තුළ එම විවේචනය සපුරා බැහැර කිරීමට අවශ්‍යතාවක් මතුවන්නේ ද නැත. ඇත්ත වශයෙන්ම කෘති මාලාව කියවා බැලූ කල්හි එකී නිගමනයට එළඹීමට අවශ්‍ය සාධක ඒ තුළ පැහැදිලිවම දැක ගත හැකිය. ඇත්ත වශයෙන්ම සසංක පෙරේරා මෙම කෘති නවකථා නොව ‘දේශපාලන විවරණයක් ලෙසින් ප‍්‍රබන්ධගත කරන ලද ස්වයං චරිතාපදානමය සමාජ ඉතිහාසයීය ශානරයක්’ ලෙස හඳුන්වනු ලබන්නේ ද මෙම කෘති තුළ දැක ගත හැකි මෙම ලක්ෂණය නිසාමය.

මා දැනටමත් ඉහත සඳහන් කර ඇති ආකාරයට මෙම කෘති මගින් අමරසේකර ඊට පෙර තමන් විසින්ම රචිත කෘතිවල එන චරිත හා සිදුවීම් යළි ආඛ්‍යානගත කොට ඇත. මෙම යළි ආඛ්‍යානගත කිරීමේ දී ‘අබුද්දස්ස යුගයක්’ යන විචාර නිබන්ධයේ හා ඉන් පසුව ඔහු විසින් කරන ලද සාහිත්‍ය, සමාජය හා දේශපාලනය අරභයා සම්පාදිත කෘතිවල එන අදහස් වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන ලද බවට සැකයක් නැත. මෙම කෘතිවල එන චරිත එකී ආඛ්‍යාන තුළ හැසිරෙන ආකාරය ඔවුන්ගේ දෙබස් එමෙන්ම සිදුවීම් ඉදිරිපත් කර ඇති ආකාරය තුළ පැහැදිලිවම අමරසේකරගේ ඉහත සඳහන් කළ අදහස්වල බලපෑම දැකගත හැකිය. නමුත් සුචරිත ගම්ලත්ට වෙනස් ලෙස මා මෙහි දී මතු කරන කරුණක් වන්නේ මෙ කෘති වනාහී අදාළ චරිත හා සිදුවීම් මත ජාතික චින්තනය ආරෝපණය කිරීම සඳහා වූ ගුණදාස අමරසේකරගේ සවිඥානක අපේක්ෂාව පමණක්ම නොවන බවයි.

"ගමනක මුල කතා මාලාව හා සිංහල මැද පංතියේ කතාන්තරය"

‘ගමනක මුල’ කෘතියෙහි එම කෘතිය සම්බන්ධව පහත උපුටා දක්වන ප‍්‍රකාශක සටහන අඩංගු වේ. මෙම සටහන ලියා ඇත්තේ අමරසේකර නොවේ නම් එය අඩුම තරමින් අමරසේකරගේ අනුමැතිය ලැබූවක් බව සිතීම දුෂ්කර නොවන්නේ ඔහු විටින් විට කර ඇති ප‍්‍රකාශ සමග මෙම ප‍්‍රකාශය ද හොඳින් ගැලපෙන නිසාය. ප‍්‍රකාශය මෙසේය :
‘‘19 වන සියවසේ අග භාගයේ දී පමණ මෙරට ගම් නියම්ගම් තුළින් බිහිවී 20 වැනි සියවස තුළ සීඝ‍්‍රයෙන් වැඩුනු සිංහල මැද පංතියේ පරිණාමය මෙතෙක් නොලියැවුණු කතාන්තරයකි.’’

මෙහි දී ‘සිංහල මැද පංතිය’ ලෙස හඳුනා ගන්නේ මා ඉහත ‘ග‍්‍රාමීය ඉහළ මැද පංතිය’ ලෙස වර්ගීකරණය කර ඇති සමාජ පංතියයි. කෙසේ වෙතත් මගේ අදහස වන්නේ මෙම පංතියේ ආරම්භය කාලනුක‍්‍රමික වශයෙන් 19 වන ශතවර්ෂයට බෙහෙවින් ඔබ්බට ගමන් කරන බවයි. මේ පංතියේ මූලාරම්භය අඩුම වශයෙන් 18 වන ශතවර්ෂයේ මැද භාගය දක්වා අතීතයට ගෙන යා හැකි බව මා වෙනත් තැනක පෙන්වා දී ඇත.(5) ඇත්ත වශයෙන්ම මෙම පංතිය දේශපාලන වශයෙන් වැදගත් පංතියක් බවට පත්වන්නේ 19 වන ශතවර්ෂයේ අග භාගයෙන් පසුවයි. ඒ බහුජන අධ්‍යාපනයේ ව්‍යාප්තිය, මුද්‍රණද්වාරයෙන් පිටත්වන සිංහල පුවත්පත් සඟරාවල ව්‍යාප්තිය, බෞද්ධ පුනර්ජීවනය වැනි සංසිද්ධීන් නිසා මෙම පංතිය සීඝ‍්‍ර දේශපාලනීකරණයකට පත්වන අතර මේ යුගයේ දි මතුවන සිංහල ජාතිකවාදයේ ප‍්‍රධාන ජනපදනම වන්නේ මෙම පංතියයි.(6)

මෙහි දී මා යෝජනා කරන්නේ ‘ගමනක මුල කතාමාලාව’ හා ‘සිංහල මැද පංතිය’ අතර ගුණදාස අමරසේකර දක්වන සම්බන්ධය අප වැඩි දුරටත් විභාග කර බැලීමට අවශ්‍ය බවයි. මා දැනටමත් තර්ක කර ඇත්තේ ‘කරුමක්කාරයෝ’ කෘතියට පසුව ලියැවුණු අමරසේකරගේ කෙටිකථා හා නවකථා බොහොමයක් මූලික වශයෙන් ලියැවී ඇත්තේ මෙකී ‘සිංහල මැද පංතියේ’ එසේත් නැතහොත් මා ‘ග‍්‍රාමීය ඉහළ මැද පංතිය’ ලෙස හඳුන්වා ඇති පංතියේ දෘෂ්ටිපථ ලක්ෂයේ සිට බවයි. ඒ අනුව ගත් කළ ‘ගමනක මුල කතාමාලාව’ හා සිංහල මැද පංතිය අතර ඇති සම්බන්ධය වන්නේ එය එම පංතියේ දෘෂ්ටිපථ ලක්ෂයේ සිට ලියැවී තිබීමයි. එවිට එය අනිවාර්යයෙන්ම මැද පංතිය පිළිබඳ කතාන්තරය (අමරසේකර මැද පංතියේ කතාන්තරය නමින් හඳුන්වන්නේ එය නම්) වීම අවශ්‍ය නොවේ. මැද පංතියේ කතාන්තරය කියන විට එයට අඩුම තරමින් තේරුම් දෙකක් තිබිය හැකිය. එය එක්කෝ මැද පංතිය පිළිබඳ කතාන්තරය (Story of the Middle class) විය හැකිය. එසේත් නැතහොත් මැද පංතියේ දෘෂ්ටි කෝණයෙන් ලියැවුණු (අන් විෂය වස්තුවක් අරභයා වූ) කතාන්තරයක් විය හැකිය.

මෙම දෙවනුව කී අවස්ථාවට උදාහරණ ලෙස අමරසේකරගේ ‘අසත්‍ය කථාවක්’ හා ‘පේ‍්‍රමයේ සත්‍ය කථාව’ දැක්විය හැක. එම කෘති දෙක තුළ අපට ග‍්‍රාමීය පහළ මැද පංතිය පිළිබඳව ග‍්‍රාමීය ඉහළ මැද පංතික දෘෂ්ටි කෝණයකින්(Point of view) ලියැවුණු ආඛ්‍යානයක් හඳුනාගත හැකිය. අමතර කරුණක් ලෙස සඳහන් කළ හැක්කේ ග‍්‍රාමීය පහළ මැද පංතිය මුල් කරගෙන ලියැවුණු ‘කරුමක්කාරයෝ’ තුළ නම් මෙම ග‍්‍රාමීය ඉහළ මැද පංතික දෘෂ්ටිකෝණය දැක ගත නොහැකි බවයි.

‘සිංහල මැද පංතියේ’ එසේත් නැතිනම් මා යෝජනා කර ඇති ග‍්‍රාමීය පංති ව්‍යුහය පිළිබඳ රාමුවේ ග‍්‍රාමීය ඉහළ මැද පංතිය දෘෂ්ටිපථ ලක්ෂයේ සිට ලියැවෙන විට එය අනිවාර්යයෙන්ම එම පංතියේ දෘෂ්ටිකෝණය ගැබ් කර ගත් ආඛ්‍යානයක් වීම හෝ එම පංතිය පිළිබඳ ආඛ්‍යානයක් වීම හෝ අවශ්‍ය නොවේ. ඇත්ත වශයෙන්ම අමරසේකරගේ දෘෂ්ටිකෝණය මෙම ග‍්‍රාමීය ඉහළ මැද පංතියේ දෘෂ්ටිකෝණයම ද යන ප‍්‍රශ්නය කෙනෙකුට සාධාරණ පදනමක් මත නැගීමට පුළුවන. නමුත් කෙනෙක් කිසියම් පංතියක දෘෂ්ටිපථ ලක්ෂයක සිටගත් විට ඔහුට/ඇයට එම පංතියේ දෘෂ්ටිකෝණය/දෘෂ්ටිවාදය ගැන විවේචනාත්මක ප‍්‍රවේශයක් නොමැත්තේ නම් එම දෘෂ්ටිපථ ලක්ෂයේ සිට ලියැවෙන ආඛ්‍යානය තරමක් දුරට හෝ එම පංතියේ දෘෂ්ටිකෝණය/දෘෂ්ටිවාදය නියෝජනය කරනු ලැබීම වැලැක්විය නොහැකි ය.

අමරසේකරගේ ‘යළි උපන්නෙමි’, ‘ගන්ධබ්බ අපදානය’ වැනි කෘතිවල මේ සම්බන්ධයෙන් අපව උනන්දු කරන ඇතැම් ලක්ෂණ අඩංගුය. මෙම කෘති වල මෙකී ග‍්‍රාමීය ඉහළ මැද පංතියේ නගරයට සංක‍්‍රමණය වූ සාමාජිකයන් තමන් නගරය තුළ අභිමුඛ වන අත්දැකීම් ලෝකය හා ග‍්‍රාමීය ඉහළ මැද පංතියේ ලෝක දැක්ම අතර හටගන්නා ආතතිය තුළින් මතු වුනා වූ පසුව කී ග‍්‍රාමීය ඉහළ මැද පංතියේ ලෝක දැක්ම අරභයා වූ විවේචනාත්මක ප‍්‍රවේශයක් දැකිය හැකිය.

එසේම අපට තව දුරට නැගිය හැකි ප‍්‍රශ්නයක් වන්නේ ‘ගමනක මුල කතා මාලාව’ තුළ ගැබ් වන දෘෂ්ටිකෝණය පවා ග‍්‍රාමීය ඉහළ මැද පංතියේ දෘෂ්ඨිකෝණයම ද යන්නයි. මෙහි දී තාවකාලික වශයෙන් මා යෝජනා කිරීමට කැමැත්තේ එය ග‍්‍රාමීය ඉහළ මැද පංතික සම්භවයක් සහිත නාගරිකයාගේ දෘෂ්ටිකෝණය බවයි. ‘යළි උපන්නෙමි’, ‘ගන්ධබ්බ අපදානය’ වැනි කෘතිවල දෘෂ්ටිකෝණය මෙම නගරයට සංක‍්‍රමණය වූ ග‍්‍රාමීය ඉහළ මැද පංතිකයාගේ මුල්කාලීන නාගරික අත්දැකීම්හි දෘෂ්ටිවාදී නියෝජනය නම් ‘ගමනක මුල කතා මාලාව’ මෙම පංතිකයාගේ පසුකාලීන නාගරික අත්දැකීම්වල දෘෂ්ටිවාදී නියෝජනය ලෙස හැඳින්විය හැකිය.

මා දැනටමත් සඳහන් කර ඇත්තේ ‘ගමනක මුල කතා මාලාව’ තුළ දැකිය හැක්කේ ‘ජීවන සුවඳ’ කෙටිකතා සංග‍්‍රහයේ සිට රචිත අමරසේකරගේ නවකතා හා කෙටිකතා බහුතරයක එන අනුභූති ලෝකය යළි ආඛ්‍යානගත කිරීමක් බවයි. සාමාන්‍යයෙන් ‘ගමනක මුල කතා මාලාව’ දෙස නිශේධාත්මකව මෙන්ම සාධනීයව බලන විචාරකයින් ද මෙම යළි ආඛ්‍යානගත කරන ලද ආඛ්‍යානයේ කේන්ද්‍රීය සංඝඨකය ලෙස දකින්නේ ‘අබුද්දස්ස යුගයක්’ විචාර කෘතියෙන් ඇරඹි අමරසේකරගේ අදහස් පද්ධතිය, වෙනත් වචනවලින් කියනවා නම් ජාතික චින්තනය බවයි. එම ප‍්‍රස්තුතගත කිරීම අසත්‍ය නොවුවත් පාර්ශවීය එකකි. මා යෝජනා කරන්නේ ජාතික චින්තනය පසුපස පංතිමය පදනමක් (ද) ඇති බවයි. එම පංතිමය පදනම නම් නගරයට සංක‍්‍රමණය වූ ග‍්‍රාමීය ඉහළ මැද පංතියේ පසුකාලීන දෘෂ්ඨිවාදයයි.

මෙහි දී පසුකාලීන යනුවෙන් මා අදහස් කරන්නේ මෙම ග‍්‍රාමීය මැද පංතික පසුබිමක් සහිත නගරයට සංක‍්‍රමණය වූ පිරිස් නාගරික වටපිටාව තුළ ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලන වශයෙන් සාපේක්ෂ වශයෙන් තහවුරු වූවාට පසු අවධියයි.

මෙහි දී අපට ‘යළි උපන්නෙමි’ හි රණතුංග හා ‘ගමනක මුල කතා මාලාවේ’ පියදාස හෝ සිරිපාල අතර සංසන්දනයක් කිරීමට පුළුවන. ‘යළි උපන්නෙමි’ ආඛ්‍යානය තුළ රණතුංග විමුක්තිය ලබන්නේ නාගරික සමාජයේ අද්දර දී, ඔහුට හමුවන ගණිකාවත් සමග නාගරික මෙන්ම ග‍්‍රාමීය ජීවිතයෙන් ද පලා යාමෙනි. මෙය අපට එවක ගමෙන් නගරයට සංක‍්‍රමණය වූ මධ්‍යම පංතිකයාගේ මන: ඍෂ්ඨිය (Fantasy) ලෙස (මනෝ විශ්ලේෂණාත්මක අරුතකින්) සැලකීමට පුළුවන. මෙම මන: ඍෂ්ඨියේම වෙනත් ස්වරූපයක් අපට මාර්ටින් වික‍්‍රමසිංහගේ ‘විරාගය’ නවකතාවේ අරවින්ද හරහා හඳුනාගත හැකිය.

අමරසේකරගේ ‘ගන්ධබ්බ අපදානයේ’ ගුණරත්න මෙන්ම මාර්ටින් වික‍්‍රමසිංහගේ නවකතාවල හමුවන තිස්ස හරහා ද අපට ග‍්‍රාමීය හා නාගරික අත්දැකීම් අතරට මැදිවී සිටින චරිත දැකගත හැක. මෙහි දී ගුණරත්න හා තිස්ස මෙම අත්දැකීමට මුහුණපාන්නේ එකිනෙකට වෙනස් ආකල්පමය ප‍්‍රවේශයකිනි. තිස්ස කිසියම් උපේක්ෂා සහගත ආකාරයකට ග‍්‍රාමීය හා නාගරික ජීවිතය අතර තුලනයක් ඇති කර ගැනීමට උත්සාහ දරන අතර ගුණරත්න මෙම අත්දැකීම් වර්ග දෙකටම එක්තරා සාහසික භාවයකින් ප‍්‍රතික‍්‍රියා දැක්වීමට උත්සාහ කරයි.

මෙම ගැටලුවේම තවත් පැත්තක් සිරි ගුණසිංහගේ ‘හෙවනැල්ල’ හි ජිනදාස හරහා හමුවේ. ජිනදාස හරහා අපට හමුවන්නේ මනෝ විශ්ලේෂණාත්මක අරුතකින් නාගරික ජීවිතය නමැති සංකේතකරණය කර ගත නොහැකි ‘යථ’ (Real) මය අත්දැකීමට මුහුණ දෙන චරිතයකි. සමස්තයක් ලෙස ගත් කළ නාගරික අත්දැකීම්වලට එක්වරම නිරාවරණය වූ හා එකී නාගරික අත්දැකීම් තුළ තම ජීවිතය ස්ථාපිත කර ගැනීමට නොහැකි වීමෙන් උපන් ක්ෂතිමය අත්දැකීම (Traumatic experience) මෙකී ඉහත සාකච්ජා කළ චරිත හරහා අපට දැක ගත හැක.

නමුත් ‘ගමනක මුල කතා මාලාවේ’ පියදාස හෝ සිරිපාල වැනි චරිත හාත්පසින්ම වෙනස් චරිත වෙති. මොවුන් නාගරික ජීවිතය තුළ ආර්ථික වශයෙන් සමාජයීය වශයෙන් සංස්කෘතික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන්ද හොඳින් තහවුරු වූ පුද්ගලයින් වෙති. ඔවුන්ගේ ජීවන පරමාදර්ශ රණතුංගගෙන්, අරවින්දගෙන් හෝ තිස්සගෙන් සපුරාම වෙනස්ය. මොවුන් හොඳ රැකියා කරන නාගරික ජීවිතය තුළ හොඳින් සුරක්ෂිත ලෙස තහවුරු වී ඇති දේශපාලන බල අධිකාරියේ ඉහළ තැන් සමග සබඳතා ඇති තම පුද්ගලික අවශ්‍යතා එම බල අධිකාරියට ඇති සිය සබඳතා හරහා පහසුවෙන් ඉෂ්ට කරවාගත හැකි, ලංකාව තුළ ජීවත් වීමට අපහසුකම් හෝ රුචි නොවේ නම් ඇමෙරිකාවට සංක‍්‍රමණය වීමට පවා පහසුකම් ඇති අය වෙති.

සිරි ගුණසිංහගේ ‘හෙවනැල්ල’ හා එහි කතා නායකයාගේම පසුකාලීන ජීවිතය අළලා ලියන ලද ‘මන්දාරම’ යන කතා දෙක තුළ එන ජිනදාසගේ චරිතය අපට මෙම ග‍්‍රාමීය මැද පංතියේ නාගරික සාමාජිකයන්ගේ විකාශයේ යථෝක්ත අවස්ථා දෙක අවබෝධ කර ගැනීමට වටිනා කවුළුවක් සපයයි. ‘හෙවනැල්ලේ’ අපට හමුවන නාගරික ජීවිතයට මුහුණදීම නැමැති බියජනක අත්දැකීමට බියේ පලා යන ජිනදාස වෙනුවට ‘මන්දාරම’ නවකථාවේ අපට හමුවන්නේ නාගරික මැද පංතිය තුළ හොඳින් ස්ථාපිත වූ ජිනදාස කෙනෙකි.

අමරසේකරගේ මුල්කාලීන නවකථාවක නමින්ම (ගන්ධබ්බ අපදානය) කියැවෙන පරිදි රණතුංග, තිස්ස, ගූණරත්න, අරවින්ද, ජිනදාස වැනි චරිත ජීවත්වන්නේ ගන්ධබ්බයින් ලෙසටයි. ඔවුන් ග‍්‍රාමීය අත්දැකීම් හා නාගරික අත්දැකීම් අතර අතරමං වූ මානසික ව්‍යුහයක් තුළ ජීවත් වන්නෝ වෙති. මේ තුළ ඔවුන් තුළින් ප‍්‍රකට වන ලෝක දක්ම තුළ අධිපති ග‍්‍රාමීය ජීවිතය මෙන්ම අධිපති නාගරික ජීවිතය ද විවේචනයට භාජන වේ. කෙසේ වෙතත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මෙම ලෝක දැක්ම පැහැදිලි අදහස් පද්ධතියක් ලෙස ඉදිරිපත් වී නොතිබීමයි. අරවින්ද, රණතුංග හා තිස්ස වැනි චරිත තුළ දක්නට ලැබෙන තරමක විකල්ප (Nonconformist) ජීවිත විලාශයන් වුව ද විධිමත් විකල්ප ලෝක දැක්මක් ලෙස සැලකීමට නුපුළුවන.

නමුත් ‘අබුද්දස්ස යුගයක්’ කෘතියෙන් ඇරඹි පසුව වර්ධනය වූ ‘ජාතික චින්තනය’ යන නමින් බෞතීස්ම වූ අදහස් පද්ධතිය තුළ අපට ඊට වඩා විධිමත් ලෝක දැක්මක් හඳුනා ගැනීමට පුළුවන. මෙම අදහස්මය විධිමත්භාවය අපට ‘ගමනක මුල කතා මාලාව’ තුළ දැක ගැනීමට පුළුවන. ග‍්‍රාමීය ජීවන අත්දැකීම් හා නාගරික අත්දැකීම් අතර දෝලනය වෙමින් එම අත්දැකීම් ලෝක දෙකෙන් එකක හෝ ස්ථිරසාර ලෙස පය ගසා සිටීමට නොහැකි වූ අරවින්ද, රණතුංග, ගුණරත්න, තිස්ස, ජිනදාස වැනි චරිතවලට වඩා ‘ගමනක මුල කතා මාලාවේ’ පියදාස හා සිරිපාල හෝ ‘මන්දාරම’ හි ජිනදාස වෙනස්ය. පියදාසට ස්ථිර රැකියාවක් ද නිවාසයක් ද කුටුම්භයක් ද ඇත. තරමක් දෝලනය වන චරිතයක් වුව ද සිරිපාල භෞතික වශයෙන් දෝලනය වන්නේ ගම හා නගරය අතර නොව ඇමරිකාව හා කොළඹ (කොළඹ යනු රූපකයකි) අතරය. ජිනදාසගේ ජීවිතය චලනය වන්නේ හෙවනැල්ලේ ජිනදාසගේ ජීවිතය මෙන් ග‍්‍රාමීය උරුමය හා නාගරික අත්දැකීම් අතර වූ ගැටුම ඇසුරෙන් උපන් ආතතිය විසින් නොව මහාචාර්ය ආලෝක බණ්ඩාර සමග ඇති සංජානන අර්බුද හා බිරිඳගේ අසනීපය හා ඇය මියයාම වැනි ස්ථාපිත නාගරික ජීවිතය තුළම ඇති ගතිකයන් විසිනි.

දැන් ‘ගමනක මුල කතා මාලාව’ මැද පංතියේ කතාන්තරයයි යන අමරසේකරගේ කියමන යළි සලකා බලමු. එය අමරසේකර මැද පංතිය නමින් හඳුන්වන සමාජ කොට්ඨාශය පිළිබඳ කථාන්තරය ද? එසේත් නැත්නම් එම සමාජ කොට්ඨාශයේ දෘෂ්ටි පථ ලක්ෂය හා/හෝ දෘෂ්ටිකෝණ තුළින් ලියවුණු එකක්ද? මම එය සීමිත අරුතකින් මෙසේ නම් කිරීමට කැමැත්තෙමි : ග‍්‍රාමීය ඉහළ මැද පංතියේ නගරයට සංක‍්‍රමණය වූ සාමාජිකයාගේ දෘෂ්ටි පථ ලක්ෂයේ හා එම සමාජ ඛණ්ඩයේ පසුකාලීන වර්ධනයේ දෘෂ්ටිකෝණයෙන් එම සමාජ ඛණ්ඩයේ අතීතය ප‍්‍රබන්ධගත කිරීමක්. විය හැකි හා විය යුතු පරිදිම මෙම නාමකරණය මගින් ‘ගමනක මුල කතා මාලාව’ මුළුමනින්ම නිර්වචනය නොවනු ඇත. නමුත් මා මෙම ප‍්‍රස්තුතගත කිරීම යෝජනා කරන්නේ එම කතා මාලාවේ දේශපාලන හා දෘෂ්ඨිවාදීමය තලය තේරුම් ගැනීමට එම ප‍්‍රස්තුතගත කිරීම ප‍්‍රයෝජනවත් වන නිසාය.

මෙම කතා මාලාව තුළ ඉතා පැහැදිලි ඉරණම්වාදී ප‍්‍රවේශයක් (Teleological approach) දැක ගැනීමට පුළුවන. ඉතිහාසය පිළිබඳ ඉරණම්වාදී ප‍්‍රවේශය යනුවෙන් අදහස් වන්නේ ඉතිහාසය අඩු වැඩි වශයෙන් කිසියම් කලින් නියම කරන ලද්දා වූ ගමන් පථයක් දිගේ විකාශය වන්නේය යන අදහසයි. කතා මාලාවේ එකිනෙක කොටස්වලට දී ඇති නම් මීට අදාළව ගත් කළ අපගේ උනන්දුව වඩවයි. ‘ගමනක මුල’, ‘යළි මග වෙත’, ‘වංක ගිරියක’, ‘ගමනක මැද’ වැනි පද කිසියම් නිශ්චිත ගමන් පථයක් පිළිබඳව මෙන්ම ගමනාරම්භයක් හා ගමනාන්තයක් පිළිබඳ ඍජු ලෙසම සංඥා කරයි. ‘ගමනක මුල’ කී කල්හි එය නිශ්චිත ආරම්භයක් පිළිබඳ ඍජු දැනුම් දීමකි. ‘ගමනක මැද’ යන්න අපූරු යෙදුමකි. ‘ගමනක මැද’ යන්න නිශ්චය කිරීමට හැකි වන්නේ ගමනේ අවසානය පිළිබඳ පූර්ව නිශ්චිත අදහසක් ඇතිනම් පමණකි. මෙහි දී අමතර වශයෙන් සඳහන් කළ යුතු දෙයක් වන්නේ මෙම පද භාවිතය මගින් ගම්‍ය වන ඉතිහාසය පිළිබඳ ඉරණම්වාදී ප‍්‍රවේශය, අමරසේකරගේම චින්තන සගයකු වන මහාචාර්ය නලින් ද සිල්වා විසින් යුදෙව් චින්තනය ලෙස ගර්හාවට ලක් කොට බැහැර කරනු ලබන චින්තන සම්ප‍්‍රදායට අයත් බවයි.

ඇත්ත වශයෙන්ම මෙම පද භාවිතය තුළ අපට අමරසේකරගේ නූතනවාදී (modernist) ප‍්‍රවේශය හඳුනාගත හැක. නූතනවාදී ව්‍යාපෘතියේ මූලිකම ලක්ෂණය වන්නේ සමස්ත ඓතිහාසික ක‍්‍රියාවලිය එකිනෙකට සම්බන්ධ සමස්තයක් ලෙස එසේත් නැතහොත් මහා ආඛ්‍යානයක් ලෙස තේරුම් ගැනීමයි.

මෙම රචනයේ මුලදී සාකච්ජා කරන ලද සසංක පෙරේරාගේ වියමන තුළ ඔහු ‘ගමනක මුල කතා මාලාවට’ ආරෝපණය කරන ස්වයං චරිතාපදානමය ලක්ෂණය වෙත මෙහි දී අපට මඳක් යොමු වීමට පුළුවන. සසංක පෙරේරා යෝජනා කරන ආකාරයටම කතා මාලාව තුළ ස්වයං චරිතාපදානමය අංශයක් ඇත. කතා මාලාවේ ආඛ්‍යානය තුළ කතුවරයාගේ ජීවිතය සමග සමාන්තරභාවයක් දැකිය හැකිය. කතා මාලාවේ කතා නායකයා වූ පියදාසගේ ජීවිතයේ කාල අවකාශ සංදර්භය හා කතුවරයා වූ ගුණදාස අමරසේකරගේ ජීවිතයේ කාල අවකාශ සංදර්භය අතර ළඟ සමානකමක් දැකිය හැකිය.

කතා මාලාව ඇරඹෙන්නේ කතා නායකයා වූ පියදාසගේ පවුල සිය මව උගන්වන පාසල පිහිටි යටලමත්තේ සිට පාසල් නිවාඩුවකට සිය ස්වාමිපුරුෂයාගේ ගම වූ හම්මෑලියට යන අවස්ථාවකිනි. මෙම සිද්ධිය සිදු වූයේ 1934 දී බැව් ගමනක මුල කෘතියේ පසු කවරයේ සඳහන් වී ඇත.(9) කතාවේ සංදර්භයට අනුව ඒ සිදුවීම වන විට පියදාසගේ වයස අවුරුදු පහක් පමණ වෙතැයි සිතිය හැකිය. ඒ වයස ඒ වන විට කතුවරයා වූ ගුණදාස අමරසේකරගේ වයස සම`ග ද ගැලපේ. ඒ අනුව කතා මාලාවේ ආරම්භය හා කතුවරයාගේ ස්වයං චරිතාපදානය අතර සමාන්තරභාවයක් අපට එහි දී දැකිය හැකිය.

මා මෙම කාරණය ගෙනහැර දැක්වූයේ කතා මාලාව තුළ මා දකින නූතනවාදී මහා ආඛ්‍යානමය ස්වභාවය පිළිබඳව යමක් පැවැසීම සඳහාය. කතා මාලාවේ මුල් කොටස ‘ගමනක මුල’ වේ. කතා මාලාවට කතුවරයා විසින්ම ආරෝපණය කරනු ලැබ ඇති සමාජ-දේශපාලන-ඓතිහාසික අරුත ආශ‍්‍රයෙන් සලකා බැලුවොත් මෙම ‘ගමනක මුල’ යන්නෙහි රූපකාර්ථය අප තේරුම් ගත යුත්තේ කවර ආකාරයකටද? කතා මාලාවේ ආඛ්‍යානයට සාපේක්ෂව ගතහොත් නම් ‘ගමනක මුල’ යන්නෙන් වාචිකව අර්ථවත් වන්නේ කථා නායකයා ගමෙන් නගරයට සංක‍්‍රමණය වීමයි. ඒ අනුව ‘ගමනක මුල කතා මාලාව’ සිංහල මැද පංතියේ කතාන්තරය යන අමරසේකරගේ ප‍්‍රකාශ කිරීම අනුව යන්නේ නම් අපට කීමට සිද්ධ වන්නේ අමරසේකර මෙහි දී මෙම මධ්‍යම පංතියේ කතාන්තරය ලෙස හඳුන්වන්නේ එම පංතියෙන් කොටසක් නගරය කරා සංක‍්‍රමණය වීම ද? එසේත් නැතහොත් අප මෙම කතා මාලාව තේරුම් ගත යුත්තේ අමරසේකර තමන් ද අයත් යැයි සිතන මධ්‍යම පංතියේ පරිණාමය තමන්ගේම චරිතයේ සමාජ-දේශපාලන වර්ධනය මුල් කර ගත් මනා ආඛ්‍යානයක් බවට පත් කිරීමක් ලෙස ද?

ඇත්ත වශයෙන්ම මෙම දෙවනුව යෝජනා කළ ප‍්‍රස්තුතය ඇසුරෙන් කතා මාලාව දෙස බැලීමේ දී අපව උනන්දු කරන සාධක ගණනාවක් අපට ඒ තුළ දැක ගැනීමට පුළුවන. මෙහි දී ප‍්‍රධාන වශයෙන්ම කරුණු දෙකකට අපගේ අවධානයට යොමු කළ හැක. පළමුවැන්න, කතා මාලාවේ ආඛ්‍යානයේ කාල-අවකාශ සංදර්භය තුළ දක්නට ලැබුණු යම් යම් ඓතිහාසික වශයෙන් වැදගත් යැයි සැලකෙන ඇතැම් සංසිද්ධීන් සමග කතා නායකයාගේත්, ආඛ්‍යානයේ සෙසු පාත‍්‍ර වර්ගයාගේත් ඉරණම ගැට ගැසීමට ගෙන ඇති උත්සාහයයි. දෙවැන්න, ආඛ්‍යානයේ අවස්ථා හා චරිත නිරූපණය අදාළ ඓතිහාසික යථාර්ථය සමග සම්බන්ධ කර ඇති ආකාරයයි.

පළමුව කී කරුණ දෙස අවධානය යොමු කිරීමේ දී අපගේ කුතුහලය වඩවන දෙයක් කතා මාලාවේ දෙවෙනි කොටස වූ ‘ගම්දොරින් එළියට’ කතාවෙන් හමුවේ. එම කොටස අවසන් වන්නේ කතා මාලාවේ කතා නායකයා වූ පියදාසගේ මව විදුහල්පති සේවයෙන් විශ‍්‍රාම යාමත් සමගය. කෘතියේ ආඛ්‍යානය තුළ කියැවෙන ආකාරයට මෙම සිදුවීම සිද්ධ වන්නේ 1956 මහජන එක්සත් පෙරමුණේ මැතිවරණ ජයග‍්‍රහණයට සමාන්තරවය. පදවියෙන් විශ‍්‍රාම ලබා නව වාසස්ථානයකට පිටත්ව යාමත් මහජන එක්සත් පෙරමුණේ මැතිවරණ ජයග‍්‍රහණයන් සම්බන්ධ කරමින් කතා මාලාවේ මුල් කොටස් කීපය තුළ එන ග‍්‍රාමීය ඉහළ මැද පංතියට අයත් ප‍්‍රධාන චරිතයක් වන බාල මහත්තයා මෙසේ ප‍්‍රකාශ කරයි.

‘කොයි එකටත් පිටවෙලා ආපු නැකත බොහොම හොඳ ඇති. ලොකු ජයග‍්‍රහණයක් අරගෙනනෙ අළුත් තැනට පිය නඟන්නෙ.’
(1985 පළමුවන මුද්‍රණය, පිටුව 119)

මෙම සිදුවීම ප‍්‍රබන්ධ කිරීමේ දී ඉස්කෝලෙ හාමිනේ (කතා නායකයාගේ මව) තමා විශ‍්‍රාම ලබන අවස්ථාවේ ලියූ ලොග් සටහන ද උපුටා දක්වා ඇත. මෙම සටහනම අත් අකුරුවලින්ම එම මුද්‍රණයේම පසු කවරයේ මුද්‍රණය කර ඇත. නමුත් ආඛ්‍යානයේ එන විශ‍්‍රාම ලැබීම පිළිබඳ තොරතුරුත් එහිම එන ලොග් සටහනත් පසු කවරයේ එන අත් අකුරු සටහනත් අතර සියුම් වෙනස්කම් කීපයක් දැකිය හැකිය. එම අත් අකුරු පිටපතේ සටහනේ දිනය ලෙස සඳහන් වන්නේ 25-3-55 ලෙසිනි. මෙම දිනය අදාළ සිදුවීම හා මහජන එක්සත් පෙරමුණේ මැතිවරණ ජයග‍්‍රහණය අතර ඇති කර ඇති කාලමය සම්බන්ධය සමග පරස්පර වේ. ඒ වගේම කතාව තුළ උපුටා දක්වා ඇති ලොග් සටහනේ ඉස්කෝලෙ හාමිනේ තම රාජකාරි හා බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ උපගුරුවරිය වන ඇලන් වික‍්‍රමසිංහ මහත්මියට පැවරූ බව සඳහන් වී ඇත. නමුත් පසු කවරයේ අත් අකුරු පිටපතේ එම නම සඳහන් වන්නේ ජී. ජොහානා ලෙසිනි.

මෙම වෙනස අප තේරුම් ගන්නේ කෙසේද? ඊට හේතුව ලෙස කළ හැකි එක් අනුමානයක් වන්නේ පසු කවරයේ එන අත් අකුරු සටහන ගුණදාස අමරසේකරගේ මවගේ සටහනක් බවයි. එය එසේ නම් කතුවරයා සිය ජීවිතයට අදාළ සත්‍ය සිදුවීමක් (මවගේ විශ‍්‍රාම යාම) තවත් සත්‍ය සිදුවීමක් (මහජන එක්සත් පෙරමුණේ මැතිවරණ ජයග‍්‍රහණය) හා එකිනෙකට ඈදන්නේ එකී සිදුවීම්වල කාලමය වෙනස යළි සකස් කිරීම මගිනි. ඒ මගින් කතා මාලාවේ ආඛ්‍යානයේ කේන්ද්‍රීය පවුලට අදාළ සිදුවීම්වල එම පවුලට පමණක් වැදගත් වන්නා වූ සුවිශේෂත්වය වෙනුවට ඊට වඩා වැදගත්කමින් වැඩි යැයි ආඛ්‍යානය තුළම ගම්‍ය කරන වෙනත් සිදුවීම් (මෙහි දී මහජන එක්සත් පෙරමුණේ මැතිවරණ ජයග‍්‍රහණය) සමග සබඳතාවක් ඇති කරනු ලබයි.

මෙම ආඛ්‍යාන උපාය මාර්ගය මගින් ජනිත කරන ප‍්‍රතිඵල කවරාකාරද? එහි ඉතාම පැහැදිලිව පෙනෙන ප‍්‍රතිඵලය වන්නේ ආඛ්‍යානයේ තල දෙකක් එනම් මහේක්ෂ ආඛ්‍යානය (macro narrative) පොදු සමාජ-දේශපාලන සිදුවීම් හා ක්ෂුද්‍ර ආඛ්‍යානය (micro narrative) එනම් කතා නායකයාගේ හා ඔහුගේ පවුලේ සිදුවීම්, අතර තාර්කික සම්බන්ධයක් ගොඩනැංවීමයි.

මහේක්ෂ ආඛ්‍යානය හා ක්ෂුද්‍ර ආඛ්‍යානය අතර ගොඩනංවනු ලබන මෙම තාර්කික සබඳතාව කතා මාලාවේ එකිනෙක කොටස්වලට දී ඇති ‘ගමනක මුල’, ‘යළි මග වෙත’, ‘ගමනක මැද’ යනාදී පදවලට සුවිශේෂී රූපකාර්ථ සපයයි. කතා මාලාව ‘මැද පංතියේ කතාන්තරය’ ලෙස හඳුන්වන කල්හී එම මැද පංතියේ කතාන්තරයේ මහේක්ෂ තලය හා ක්ෂුද්‍ර තලය කතා මාලාවේ ආඛ්‍යානයේ මහේක්ෂ තලය හා ක්ෂුද්‍ර තලය මගින් නියෝජනය කිරීම කතුවරයාගේ අබිලාෂය විනැයි සිතිය හැකිය. එසේ නම් ‘ගමනක මුල’, ‘යළි මග වෙත’, ‘ගමනක මැද’ ‘වංකගිරියක’ යනාදී පදවලට මහේක්ෂ අරුතක් මෙන්ම ක්ෂුද්‍ර අරුතක් ද තිබේ. මහේක්ෂ අරුත මැද පංතියේ පොදු විකාශනයට සම්බන්ධිතය. ක්ෂුද්‍ර අරුත කතා නායකයාගේ චරිතයේ විකාශනයට සම්බන්ධය. වෙනත් ආකාරයකින් ගත් කළ කතා නායකයාගේ චරිතය මැද පංතියේ ක්ෂුද්‍ර නියෝජනයක් (Microcosmic Representation) ලෙසින් හැඳින්වීමට පුළුවන.

මෙම ක්ෂුද්‍ර නියෝජනාත්මක ලක්ෂණය කතා මාලාව තේරුම් ගැනීමේ ලා ඉතාම වැදගත්ය. මා මෙහි දී යෝජනා කිරීමට කැමැත්තේ කතා මාලාවේ එන චරිත හා අවස්ථාවලට කතුවරයා විසින් මේ ආකාරයේ ක්ෂුද්‍ර නියෝජනාත්මක ස්වරූපයක් ලබා දි ඇති බවයි. මෙම ක්ෂුද්‍ර නියෝජනාත්මක ලක්ෂණයේ ඇති සුවිශේෂත්වය වන්නේ ආඛ්‍යානයේ ක්ෂුද්‍ර තලයේ අපට හමුවන චරිත හා අවස්ථා මහේක්ෂ තලයේ එන ගතිකයන් හා චරිත ලක්ෂණවල ක්ෂුද්‍ර නියෝජනයක් ලෙස ඉදිරිපත් වීමයි. මෙය කතා මාලාවේ නූතනවාදී ස්වරූපය ප‍්‍රකට වන ප‍්‍රමුඛතම ආකාරය ලෙස මා මෙහි දී යෝජනා කිරීමට කැමැත්තෙමි. මෙම කරුණ තව දුරටත් අපට කතා මාලාවේ එන අවස්ථා හා චරිත නිරූපණ සමහරක් ආශ‍්‍රයෙන් සලකා බැලීමට පුළුවන.

කතා මාලාවේ එන චරිත දෙස බැලීමේ දී පෙනෙන සුවිශේෂ ලක්ෂණයක් වන්නේ එම චරිත පොදු සමාජ මනෝභාවයක ප‍්‍රකාශකයින් ලෙස පෙනී සිටීමයි. සිරිපාල, බාල මහත්තයා, බස්සා (බස්නායක) වැනි චරිත ප‍්‍රධාන කොටම මෙම ගණයේ ලා සැලකීමට පූළුවන. මෙම චරිත නිරූපණයේ දී මූලික වශයෙන්ම අනුගමනය කොට ඇති උපාය මාර්ගය බව පෙනෙන්නේ කතා මාලාව තුළ එන එකිනෙක චරිත පාත‍්‍රයා , සිදුවීම් හා අවස්ථා අතර අන්‍යොන්‍ය සම්බන්ධතා තුළ එම චරිතවල විකාශය හා ඒවායේ ලක්ෂණ ගෙනහැර දැක්වීම නොව කතුවරයා විසින් කෘතියට පිටතින් ඇති යථාර්ථයන් සම්බන්ධව බැසගන්නා ලද යම් යම් පූර්ව නිගමනයන්ය. වෙනත් ආකාරයකට කියනවා නම් මේ චරිත තේරුම් ගැනීමේ ලා වැදගත් වන්නේ එම චරිත කෘතියේ සෙසු චරිතවලට දක්වන සබඳතාවන්ට වඩා කතුවරයා විසින් එම චරිතවලට ආරෝපණය කරනු ලැබ ඇති සුවිශේෂ ගුණාංගයන්ය. මගේ මේ තර්කය තව දුරටත් විදාරණය කිරීම පිණිස ‘ගම් දොරින් එළියට’ කෘතියේ එන අවස්ථාවක් වෙත අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එය අංක 2 ලෙස දක්වා ඇති කොටසේ එන්නේ සිරිපාලගේ ගෙදර පැවැත්වෙන බුද්ධිමය සංවාදයකි. එම සංවාදය තුළ අපට අභිමුඛ වන චරිත හා ඔවුන් එකී බුද්ධිමය සංවාදයට දායක වන ආකාරය තුළ වඩා ප‍්‍රමුඛත්වයට පත්වන්නේ එම චරිත අතර සබඳතා ව්‍යුහයන් නොව කෘතියට පරිබාහිරව අමරසේකර අත්දකින බුද්ධිමය සැකැස්ම තුළ ඔහු හඳුනාගන්නා එකිනෙක බුද්ධිමය ප‍්‍රවණතාවන්ය. චරිත නිරූපණය සම්බන්ධයෙන් වන මෙම උපාය මාර්ගය අපට අමරසේකරගේම වෙනත් කෘතියක් සමග සංසන්දනය කර සලකා බැලීමට පුළුවන. මෙහි දී කරුමක්කාරයෝ නවකථාව වෙත අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එම නවකතාවේ චරිත අර්ථවත් වන්නේ එක් චරිතයක් තවත් චරිතයක් කෙරේ දක්වන සම්බන්ධතාවයේ සංදර්භය තුළයි. උදාහරණ වශයෙන් විලිසොංගේ චරිතය අපට අර්ථසම්පන්න වන්නේ ඔහු ප‍්‍රධාන වශයෙන්ම සෝමක්කා හා විලිසොංගේ පියා සමග ඇති සබඳතා ව්‍යුහයන් තුළයි. සෝමක්කාගේ චරිතය හා පියාගේ චරිතය සම්බන්ධයෙන් තත්වය ද එසේමය. එම සබඳතා ව්‍යුහයෙන් පිටත මෙකී චරිත අර්ථසම්පන්න කර ගැනීමට අපිට හැකියාවක් නැත.

නමුත් ‘ගමනක මුල කතා මාලාවේ’ බොහෝ චරිත සම්බන්ධ තත්වය මීට වෙනස්ය. සිරිපාලගේ චරිතය අපට අර්ථ සම්පන්න වන්නේ එය එම චරිතය සමග අභිමුඛ වන වෙනත් චරිත සමග එම චරිතයට ඇති සබඳතා හා එම චරිතය කෘතිය තුළ අපට හමුවන සංදර්භය තුළ නොව කතුවරයා විසින් එම චරිතය වෙත ආරෝපණය කරන යම් යම් ගුණාංග තුළය. තවත් ආකාරයකින් කියනවා නම් සිරිපාල වැනි චරිතයක විකාශනය ආඛ්‍යානය තුළ සිද්ධ වන්නේ සෙසු චරිත හා අවස්ථා සමග ගැටීමෙන් නොව එම චරිතය විටින් විට සිය අදහස් අප ඉදිරියේ විදාරණය කරමින් පෙනී සිටීම මගිනි.

මා ඉහත සඳහන් කළ ක්ෂ්ද්‍ර නියෝජනාත්මක ස්වරූපය ඉතාම හොඳින් දැක ගැනීමට ලැබෙන අවස්ථාවක් ඉණිමගේ ඉහළට යන කොටසේ හමුවේ. එනම් එහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ මූලිකත්වයෙන් පැවැත්වෙන නිර්මාණ කවය පිළිබඳ විස්තරයයි. මෙම නිර්මාණ කවයේ සාකච්ජා වාර අමරසේකර විසින් නිරූපණය කරනු ලැබ ඇත්තේ එවකට ලංකාවේ පැවැති බුද්ධිමය සැකැස්මේ ක්ෂුද්‍ර ආකෘතියක් (miniature) ලෙසිනි. ‘දේවමුණි’ නමින් අප හමුවට එන මාක්ස්වාදියා, අබේවික‍්‍රම නම් සිංහල ජාතිකවාදියා, සේනාරත්න නම් මානව විද්‍යාඥයා වැනි චරිතවල දක්නට ලැබෙන්නේ අපට සාමාන්‍යයෙන් සමාජය තුළ දක්නට ලැබෙන සංයුක්ත චරිතවලට වඩා වියුක්ත සමාජ-චරිත ලක්ෂණවල නියෝජනයන් ලෙස ගොඩනංවනු ලැබූ චරිතය.

මෙම නියෝජනාත්මක චරිත උපයෝගී කරගෙන ගොඩනගනු ලබන කතිකාව සහ කෘතියෙන් බාහිර තත්‍ය ලෝකය අතර ඉතා සිත්ගන්නා සුළු වෙනසක් නිරීක්ෂණය කිරීමට පුළුවන.

කතා මාලාවේ ආඛ්‍යානයට අනුව නිර්මාණ කවයේ කාල-අවකාශ සංදර්භය 1956-57 කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. එහි දි කෙරෙන සංවාදයේ දී මහාචාර්ය සරච්චන්ද්‍ර යන චරිතය මෙසේ ප‍්‍රකාශ කරයි.

‘මම දන්නෙ නැහැ සේනාරත්න මහත්තය කියපු සියළු අදහස් සමග අපිට එකඟ වෙන්න පුළුවන්ද කියල. ඒ වුනත් අපි ඒව දැඩි විමසිල්ලෙන් සලකා බැලිය යුතු බව මම කියන්න කැමැතියි. විශේෂයෙන්ම ඔය ගණනාථ ඔබේසේකර මහාචාර්යතුමාගේ අදහස් ඇමරිකාවේ සමාජ විද්‍යාඥයින්ගේ ඉමහත් ගෞරවයට පාත‍්‍ර වූ ඒවා බව මම දන්නවා. ඒව ඒ මහත්තය ඉදිරිපත් කරල තියෙන්නෙ කලක් මුළුල්ලේ කරන ලද පර්යේෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන්. මේ රටේ තියෙන වර්තමාන බුද්ධාගම විදේශීන්ගේ නිර්මාණයක් බවයි ඔබේසේකර මහත්තය පෙන්නල දීල තියෙන්නෙ.’

කතාව කියවන ලංකාවේ පශ්චාත් යටත් විජිත බුද්ධිය සැකැස්ම පිළිබඳ අවබෝධයක් ඇති පාඨකයා /පාඨිකාව මෙහි දී නිතැතින්ම කෘතියට බාහිරව අප දන්නා මහාචාර්ය ගණනාථ ඔබේසේකරත් බුද දහම පිළිබඳ ඔහුගේ අදහසුත් ඇසුරෙන් ඉහත උපුටා දක්වා ඇති, කෘතිය තුළ එන සරච්චන්ද්‍රගේ අදහස් කියැවීමට පෙළඹෙනු නිසැකය. එහි දී මා මතු කිරීමට කැමැති කරුණක් වන්නේ තත්‍ය ලෝකයේ අපට හමුවන මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ බෞද්ධාගම පිළිබඳ කතිකාවක් කෘතිය තුළ අපට හමුවන මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ බුදු දහම පිළිබඳ කතිකාවත් අතර ඇති කාලමය නොගැලපීමයි. ගණනාථ ඔබේසේකර බුදු දහම අරභයා කෘතියේ ‘නිර්මාණ කවයේ’ සංවාදයේ එන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේත් එම අදහස් ඇමරිකාවේ ප‍්‍රචලිත වූයේත් කෘතියේ අදාළ සංවාදය සිදුවන 1956-57 කාලයට බොහෝ පසු කලෙකයි. මෙම කාලමය වෙනස අපගේ සාකච්ජාවට බලපාන්නේ කෙසේද? කිසියම් ඓතිහාසික සිදුවීමක් අපට තේරුම් ගත හැක්කේ එකී සිදුවීම කාලමය වශයෙන් හා අවකාශීය වශයෙන් ඒ අවට ඇති සෙසු සිද්ධීන්ට දක්වන සම්බන්ධය තුළයි. එය වෙනත් කාල අවකාශ සංදර්භයක් තුළ පිහිටවුවහොත් එම සිදුවීම එයම බවට පත්වන්නේ නැත. අපි මෙම නිර්මාණ කවයේම එන තවත් අවස්ථාවක් හරහා මේ ගැටලුව තේරුම් කර ගනිමු.

අදාළ සංවාදයේ දී අබේවික‍්‍රම හා ආචාර්ය සේනාරත්න අතර ඇති වන වාදයක දී වරක් ආචාර්ය සේනාරත්න මෙසේ ප‍්‍රකාශ කරයි.

‘අබේවික‍්‍රම මහත්තය හිතන්න එපා මම අපට සංස්කෘතියක් නැතෙයි කියල කියනව කියල. මම කියන්නෙ ඔය අබේවික‍්‍රම මහත්තයල කියන සිංහල බෞද්ධ සංස්කෘතිය අපිට නැතෙයි කියන එක විතරයි.’
...........
‘අපිට තියෙන්නෙ බහු ජාතික, බහු ආගමික, බහු වාර්ගික සංස්කෘතියක්. ඒක ඔය බෞද්ධ සිංහල ලේබලයෙන් අඳුන්වන්න බැහැ. අබේවික‍්‍රම මහත්තයල, මෙත්තානන්ද මහත්තයල, මාර්ටින් වික‍්‍රමසිංහ උන්නැහෙල කියන ඔය සිංහල බෞද්ධ ලේබලේ ඒකට අලවන්න බැහැ.’

ලංකාවේ පශ්චාත් යටත් විජිත ඉතිහාසය සම්බන්ධව මට ඇති අවබෝධය තුළ මෙම බහු ජාතික, බහු ආගමික, බහු වාර්ගික සංස්කෘතිය පිළිබඳ කතිකාව මතුවන්නේ මෙම කෘතියේ එන කාල-අවකාශ සංදර්භයට බෙහෙවින් වෙනස් කාල-අවකාශ සංදර්භයක දීය. එනම් 1980 ගණන්වල ජනවාර්ගික අර්බුදය තීව‍්‍ර වීමත් සමග ලාංකීය සමාජයේ වාර්ගික සංයුතිය (Ethnic Composition අරභයා ඇති වූ කතිකාව තුළය. එම අදහස වෙනත් කාල අවකාශ සංදර්භයක් තුළ එනම් 1957 සිංහල සංස්කෘතිය අරභයා වූ කතිකාවක සංදර්භයේ පිහිටීම තුළ අදාළ අදහසට හාත්පසින්ම වෙනස් අරුතක් ලැබේ.

මෙහි දී අපට කෘතිය තුළ එන ක්ෂුද්‍ර නියෝජනාත්මක ස්වරූපය අරභයා වැදගත් නිරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට පුළුවන. එනම් කෘතියේ ආඛ්‍යානයේ කාල අවකාශ සංදර්භය හා කෘතියෙන් බාහිර තත්‍ය ලෝකයේ කාල-අවකාශ සංදර්භය අතර එකට එකේ සම්බන්ධයක් ඇති කිරීමේ ඇති ගැටලුවයි. කෘතිය ඓතිහාසික සිදුවීම්හී කලාත්මක නියෝජනයක් (Ethnic Composition) ලෙස සැලකිල්ලට ගතහොත් මෙම ලක්ෂණය ගැටලුවක් මතු නොකළත් කතුවරයාම කෘතියට ලබා දෙන අර්ථ නිරූපණය වූ කෘතිය ලංකාවේ ‘‘මැද පංතියේ කතාන්තරයයි’’ යන්න සැලකිල්ලට ගත්තොත් මෙම තත්වය ගැටලුවක් මතු කරයි.

අප කලින් සාකච්ජා කළ නූතනවාදී ප‍්‍රවේශයට අනුව සලකා බැලුවොත් අමරසේකර සිදු කොට ඇත්තේ ඓතිහාසික ක‍්‍රියාවලිය සම්බන්ධ තම ධාරණාවන් තමා විසින්ම ගොඩනංවන ලද චරිත හා අවස්ථා තුළට කැටි කොට ආඛ්‍යානගත කොට අප වෙත ඉදිරිපත් කිරීමයි.

අවසානය

මා විසින් මෙතෙක් වේලා සිදු කරනු ලැබූ නිරීක්ෂණ කීපය ඇසුරෙන් මෙම කතා මාලාවේ එන පංති දේශපාලන දෘෂ්ටිවාදයට අදාළව මූලික ප‍්‍රශ්නයක් මතු කිරීමට කැමැත්තෙමි.

කෘතිය හා අමරසේකර නම් කරන මැද පංතිය අතර සම්බන්ධය කුමක්ද? කෘතිය අමරසේකර කියන ආකාරයට මැද පංතියේ කතාන්තරය ද? එසේත් නැත්නම් මා ඉහත යෝජනා කර ඇති ආකාරයට නගරය කරා සංක‍්‍රමහණය වූ ග‍්‍රාමීය ඉහළ මැද පංතියේ කොටසක දෘෂ්ටිකෝණයෙන් ලංකාවේ මෑත ඉතිහාසය ආඛ්‍යානගත කිරීමක් ද? දැනටමත් සඳහන් කර ඇති ආකාරයට ඕනෑම නිර්වචනයක් අසම්පූර්ණ එකකි. එම නිසා මා කල්පනා කරන ආකාරයට වඩාත් වැදගත් වන්නේ මෙකී ප‍්‍රශ්නවලට ඍජු පිළිතුරු සපයනවාට වඩා කෘතිය හා බාහිර ලෝකය පවත්නා වූ දයලෙක්තික සම්බන්ධතාව කෙරේ යොමු වීමයි. ඒ මගින් කෘතියේ විවිධ මාන් දෙස යොමු වීමට අපට හැකියාව ලැබේ. මෙම රචනයට බෙහෙවින් අසම්පූර්ණ අවසානයක් තිබුණත් මා ඉදිරිපත් කළ නිරීක්‍ෂණ මෙකී ප‍්‍රශ්න වෙත විමසුම් බැල්මක් හෙළීම සඳහා උපකාරී මේ යැයි සිතමි.

1- Perera Sasanka, Fiction Creativity & Politics: Reading Gunadasa Amarasekara's Gamanaka Meda" The Island"
Colombo"25th &27th May 2006.
2- බාලසූරිය කීර්ති, ගම්ලත් සුචරිත, කල්පනා ලෝකවාදය සාහිත්‍යකලා හා මාක්ස්වාදය. දෙවන මුද්‍රණය, ගොඩගේ ප‍්‍රකාශකයෝ, කොළඹ, 1999.
3- කොළඹ නව නගර ශාලාවේ දී වසර කීපයකට පෙර පැවැති ‘සිංහල-දෙමළ සාහිත්‍ය උළෙලේ’ දේශනයක දී අමරසේකරගේ 70 ගණන්වල කෘති අගයමින් ‘ගමනක මුල’ හා ඉන් පසුව ලියැවුණු කෘති සිය ජාතික චින්තන මතවාදය තහවුරු කරනු පිණිස ලියැවුණු ඒවා ලෙස බැහැර කළේය.
4- ‘ගමනක මුල’ සිට ‘ගමනක මැද’ දක්වා වූ නවකතා හත මා මෙතැන් සිට හඳුනා ගැනීමේ පහසුව තකා ‘ගමනක මුල කතා මාලාව’ ලෙස හඳුන්වමි.
5- මේ සඳහා බලන්න මවිසින් සම්පාදිත අප‍්‍රකාශිත දර්ශනපති නිබන්ධය. “The Formation of Sinhala Nationalist Ideology in the Nineteenth & Early Twentieth Centuries” (University of Colombo, 2000).
6- Peasant in Transition : Agrarian Society in western Sri Lanka under Dutch Rule 1740-1800, PhD dissertation Leiden University, 2007
7- දෙවන මුද්‍රණය, 2001 ජනවාරි, විසිඳුනු ප‍්‍රකාශකයෝ.
8- මෙම සංකල්පය මා උපුටා ගත්තේ එච්. එල්. සෙනෙවිරත්නගේ Rituals of the Kandian State (Cambridge University Press 1978)කෘතියේ නුවර පෙරහැර ගැන එන විග‍්‍රහයෙනි. (එම කෘතියේ පිටු 108-114). සෙනෙවිරත්න මෙම සංකල්පය නුවර පෙරහැර සඳහා යොදාගෙන ඇති ආකාරය පිළිබඳ විවේචනයක් මා මෙම රචනයේ පාද සටහන් 5 යටතේ සඳහන් කර ඇති කෘතියේ ඉදිරිපත් කර ඇත.


නිර්මාල් රංජිත් දේවසිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails