Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


(ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ අනාගතය විනිවිදීම)

ජනවාර්ගික සංහිඳියාව අද්‍යතන දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් බහුත්වවාදී සංස්කෘතියක් තුළට අනුගත කිරීම මෙහි ගැබ්වී තිබෙන සරල අදහසයි. වර්තමාන රජය මේ සඳහා කිසියම් උත්සාහයක් දරමින් සිටී.

ජනාධිපතිවරයා විසින් පත්කොට තිබෙන "උගත් පාඩම් හා සංහිඳියා කොමිසම" මෙහි දී කැපී පෙනේ. දැනට මහජන සාක්ෂි කැඳවමින් තිබෙන එම කොමිසම, සිය අවසන් වාර්තාව එළඹෙන මැයි මාසයේ දී ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව ඇත. ජනවාර්ගික සංහිඳියාව අරබයා රජයේ ක්‍රියාමාර්ගවල සාර්ථකත්වයක් දැකිය හැකි වන්නේ සංහිඳියා කොමිසම මඟින් පිළියෙල කරන අවසන් වාර්තාව සහ එමඟින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයට කොතෙක් දුරට හැකියාවක් ලැබෙන්නේ ද යන කාරණය මතයි.

(සංහිඳියා කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දුර්වලතා බොහොමයක් ඇත. ඒවා මෙම ලිපියේ අවසන් පරිච්ඡේදයේ සාකච්ඡා කෙරේ.) මේ සඳහා රජයට අප්‍රමාණ වෙහෙසක් දැරීමට සිදුවනු නොඅනුමානය. එළඹෙන අභියෝග මැඟගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා සියුම් සහ සැලසුම් සහගත උපාය-උපක්‍රම යෙදීමට සිදුවනු ඇත. මන්ද, ජනවාර්ගික සංහිඳියාව අරබයා තීන්දු තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම අතර ළංකළ නොහැකි තරමේ හිඩැසක් ලංකා ඉතිහාසය පුරාවට පෙන්නුම් කර ඇති බැවිනි.

සංහිඳියා කොමිසම රටේ ජනවාර්ගික සංහිඳියාවක් ඇති කිරීම උදෙසා කුමන නිර්දේශ ඉදිරිපත් කරනු ඇත්තේදැයි තවම දන්නේ නැත. එහෙයින් ඒ ගැන ගුණ දොස් විචාරන්නට මෙය සුදුසු කාලය නොවේ. එහෙත් සංහිඳියා ක්‍රියාමාර්ගවල සාර්ථකත්වයට උපයුක්ත වන පූර්ව කොන්දේසි දෙකක් ගැන මෙහි දී සිහිපත් කළ යුතුව ඇත. සංහිඳියා කොමිසමෙන් අපේක්ෂිත නිසි ඵල නෙලා ගැනීම සඳහා මෙම පූර්ව කොන්දේසි සම්පූර්ණ කිරීම අවැසි වේ. මෙම ලිපිය සැකසෙන්නේ ඒ ගැන පාඨක අවධානය යොමු කරවීමේ අභිප්‍රායෙනි.

මෙයින් එක් පූර්ව කොන්දේසියක් වන්නේ සංහිඳියා කොමිසම මඟින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාවට නැංවීමේ දී රජය විසින් අනුගමනය කරනු ඇති ජනවාර්ගික ප්‍රතිපත්තියයි. සිංහල-බෞද්ධ අධිපතිවාදී මතවාදවලට කොටු නොවී දෙමළ, මුස්ලිම් ජනතාව දෙස ගෞරවයෙන් බැලීමට රජයට සෑහෙන හැකියාවක් තිබිය යුතුය. සුළුතර-බහුතර මානසිකත්වයෙන් මිදී රටේ සියලු පුරවැසියන් සම තැනෙහිලා කටයුතු කිරීමට රජයට කොමපණ හැකියාවක් ලැබෙන්නේ ද, එම ප්‍රමාණය ජනවාර්ගික සංහිඳියාව අරබයා වෙසෙසින් උපකාරී වෙයි. මෙම පූර්ව කොන්දේසිය රජය විසින් සම්පූර්ණ කළ යුතුව ඇත. අනෙක් පූර්ව කොන්දේසිය වන්නේ වෙනම රාජ්‍ය සංකල්පය සිය නිෂ්ඨාර්ථය කරගෙන කටයුතු කරන දෙමළ අන්තවාදයේ සිදුවිය යුතු විපරිවර්තනයයි. එය මෙරට දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ සහ සංවිධානවලට පැවරෙන පරම වගකීමයි.

මේ අනුව රටේ ජනවාර්ගික සංහිඳියාවක් ඇති වීම සඳහා සිංහල අධිපතිවාදී මතවාදයේ මෙන්ම දෙමළ අන්තවාදයේ බරපතල විපරිවර්තනයක් සිදු විය යුතුව ඇත. මෙකී සාධකවල විපරිවර්තනයකින් තොරව ජනවාර්ගික සංහිඳියාවක් පිළිබඳ බලාපොරොත්තු තැබීමට නොහැකි වේ. මන්ද, සංහිඳියාවේ මාර්ගය එකඟතාවක් වන බැවිනි. එකඟතාවක් ඇති කරගැනීමට නම් අන්තවාදී ස්ථාවරවලින් බැහැරවීමට සිදුවනු ඇත. මේ මඟින් ගම්‍යවන අර්ථය වන්නේ ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයෙන් ඔබ්බට මේ රට ගමන් කළ යුතුව ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයේ ප්‍රවිශ්ටය සිදු වන්නේ 1920 දශකයේ මුල් භාගයේදීය. ඒ එවකට ලංකා ජාතික සංගමයේ සභාපතිව සිටි සර් පොන්නම්බලම් අරුණාචලම් මහතා ඇතුළු දෙමළ නායකයන් පිරිසක් ලංකා ජාතික සංගමයෙන් කැඩී වෙන්වෙමින් ''දෙමළ මහජන සභාව'' පිහිටුවා ගැනීමත් සමඟයි. එය මේ රටේ ජනවාර්ගිකත්වය මුල් කොට ගත් දේශපාලන ව්‍යාපාරයකට අත්තිවාරම දැමීමක් විය. ඊට ප්‍රථම වාර්ගිකත්ව සාධකය නැතහොත් ජනවාර්ගික විඥානය මෙරට දේශපාලන කටයුතුවල දී මතුපිටට පැමිණ තිබුණේ නැත. ජනවාර්ගික සාධකය මූල් කරගෙන දේශපාලන කටයුතුවල නියැලුණේ නම් එදා පොන්නම්බලම් අරුණාචලම් මහතාට ලංකා ජාතික සංගමයේ සභාපතිත්වය අහිමි වන්නට ඉඩ තිබිණි. යටත් විජිත යුගයේ ශක්තිමත්ම ජාතික ව්‍යාපාරය වූයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතා එකමුතුවෙන් ගොඩනැඟුණු මේ ලංකා ජාතික සංගමයයි. එහෙත් 1920-30 දශක වන විට ජනවාර්ගික කේන්ද්‍රීය දේශපාලනය මේ රටේ මුල් ඇදගන්නා තත්ත්වයක් නිර්මාණය වන්නට විය. 1933 දී සිංහල මහ සභාවත්, 1944 දී ලංකා දෙමළ සංගමයත් බිහි වන්නේ ජනවාර්ගික විඥානය පදනම් කරගෙනයි. (පසු කාලීනව ජනවාර්ගික පදනමින් දේශපාලන පක්ෂ හා සංවිධාන බොහොමයක් නිර්මාණය වූ අතර ඒවා එකිනෙකක් නම් වශයෙන් මෙහි සඳහන් කොට නැත.)

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව සම්පාදනය කරන ලද ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් (සෝල්බරි ව්‍යවස්ථාව) සිදු කෙරුණේ ඒ වන විට ගොඩනැෙඟමින් පැවති ජනවාර්ගික විඥානය තවත් පෝෂණය කිරීම සඳහා හේතු සාධක නිර්මාණය කර ගැනීමකි. එම ව්‍යවස්ථාව මඟින් සුළු ජාතිය සහ මහ ජාතිය වශයෙන් ව්‍යවස්ථානුකූලවම ජනවර්ග බෙදා දැක්විණ. ඒ සුළු ජාතීන් සඳහා යැයි පවසමින් වෙනම වූ අයිතිවාසිකම් වගන්තියක් (ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තිය) ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමෙනි. සුළු ජාතීන් සඳහා වෙනම වූ අයිතිවාසිකම් වගන්තියක් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ගැන ධනාත්මක දෘෂ්ටිකෝණයකින් බැලීමට බොහෝ වියතුන් උත්සාහ ගත්ත ද, අවසාන වශයෙන් එමඟින් සිදු වූණේ ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනය පෝෂණය කිරීම සඳහා කරුණු කාරණා මතු කරගැනීමකි. 1956 දී ගෙන ආ ''සිංහල පමණයි පනත'' ජනවාර්ගික විඥානය පෝෂණය කිරීම සඳහා තව තවත් රුකුල් දුන්නේය.

1957 දී ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනය විවෘත සහ පැතිරුණු ස්වභාවයකින් මතු පිටට එන්නට පටන් ගත්තේය. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ප්‍රකාරව ගෙන ආ ''රට සභා ක්‍රමය'' මෙයට හේතු විය. රට සභා ක්‍රමයට එරෙහිව ප්‍රධාන කොටම විරෝධතා දැක්වූයේ සිංහල සහ බෞ ද්ධ සංවිධානයි. රට සභා කෙටුම්පතේ ඇතුළත් ඇතැම් විධිවිධාන අනුව දෙමළ බහුතරයක් සිටින ප්‍රදේශවලට පළාත් සීමා ඉක්මවා ගොස් ඒකාබද්ධකරණයක් ඇති කරගනිමින් දෙමළ බහුතරයකින් යුතු රට සභා ස්ථාපිත කරගනු ඇති බවට ඔවුහු චෝදනා කළහ. 1965 දී ගෙන ආ දිස්ත්‍රික් සභා ක්‍රමයට ද සිදු වූයේ එයමය. මේ අවස්ථා දෙකේදීම සිදු වූණේ ජනවාර්ගික පදනමින් රට පුරා දේශපාලන උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර දියත් කිරීමයි. උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙමළ නිජබිම් බවට නොනිල පිළිගැනීම ද එම උද්ඝෝෂණ ව්‍යාපාර හරහා සනිටුහන් කරනු ලැබීය.

1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාවේ දී ජනවාර්ගික විඥානය ව්‍යවස්ථාව තුළටම ඇතුළත් කරනු ලැබීය. එම ව්‍යවස්ථාව මඟින් සිංහල භාෂාව රාජ්‍ය භාෂව ලෙස ව්‍යවස්ථාපිත කරන ලද අතර එතෙකින් නොනැවතී බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කරන ලදී. මෙම විධිවිධාන මඟින් සිදු වූයේ රටේ පුරවැසියන් ජනවාර්ගික ධූරාවලියකට අනුව හැඩගැස්වීමකි. අවසාන වශයෙන් වාර්ගික ආධිපත්‍ය ක්‍රමයක් නිර්මාණය කිරීමට අවැසි කොන්දේසි 1972 ව්‍යවස්ථාව මඟින් සම්පූර්ණ කරනු ලැබීය. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත එම ව්‍යවස්ථාව සංශෝධනය කෙරුණ ද 1978 දී සම්පාදනය කරන ලද දෙවන ජනරජ ව්‍යවස්ථාව මඟින් ද ඉහත විධිවිධාන සංශෝධය කිරීමට හෝ එම දුර්වලතා මඟහරවා ගැනීමට අවශ්‍ය විධිවිධාන ගෙන ඒමට හෝ පියවර ගැනුණේ නැත. '78 ව්‍යවස්ථාව මඟින් ද සිදු කළේ වාර්ගික ආධිපත්‍ය ක්‍රමය තහවුරු කිරීමක් සහ ඉදිරියට පවත්වාගෙන යාමකි.

ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයේ ප්‍රතිඵලයක් හැටියට 1980 දශකයෙන් පසු මේ රටේ සිවිල් යුදමය වාතාවරණයක් නිර්මාණය වූ බව අපි කවුරුත් දනිමු. 2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් කරන තෙක් වසර 30 කට ආසන්න කාලයක් අපි එයින් බැට කෑවෙමු. සිංහල ජනතාවත් දෙමළ ජනතාවත් ජනවාර්ගික භේදයකින් තොරව යුද්ධය විසින් ගොදුරු කර ගනු ලැබීය. ජනතාව භෞතික හා මානසික වශයෙන් පහළට ඇද වැටිණ. යුද්ධය නිසා සිදු වූ ජීවිත හා දේපොළ හානි ගැන තවද නිසි තක්සේරුවක් සිදු වී ඇතැයි සිතිය නොහැකිය. යුද්ධය විසින් ජාතික ආර්ථීකයට දැවැන්ත මරු පහරක් එල්ල කරන ලදී; වසර ගණනාවකින් රට ආපස්සට තල්ලු කරන ලදී; සමාජ-සංස්කෘතික දේහය බරපතල සෝදාපාළුවකට ලක් කරන ලදී.

යුද්ධය ''මිල කළ නොහැකි තරමේ මානව හා භෞතික සම්පත් ප්‍රමාණයක් රටට අහිමි කළ සංසිද්ධියක් වුව ද'' යුද්ධය අවසන් කිරීමත් සමඟ රටේ අනාගතය සැලසුම් කිරීම සඳහා තවත් මාහැඟි අවස්ථාවක් උදා කළේය. එක් පැත්තකින් දෙමළ අන්තවාදය පෝෂණය කළ, එය නඩත්තු කළ සහ මුළු රටම ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත් කරගත් එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමට හැකි වීම යුද්ධය අවසානයේ රටට ලැබුණු එක් ජයග්‍රහණයකි. වසර ගණනාවක් බියෙන් හා සැකෙන් වෙලී සිටි ජනතාවගේ බිය-සැක තුරන් කිරීමට හැකිවීම එමඟින් ලද තවත් ජයග්‍රහණයකි. උතුරත් දකුණත් එකිනෙකාගෙන් වෙන් කොට තිබුණු ප්‍රධාන බාධකය (එල්ටීටීඊය) ඉවත් කිරීමට හැකි වීම යුද්ධය අවසානයේ රටට ලැබුණු තවත් අවස්ථාවකි. එපමණක් නොව යුද්ධය නිමාවීමත් සමඟ ජනතාවට අලුතින් හිතන්නට, සැලසුම් කරන්නට, සාකච්ඡා-සංවාද පවත්වන්නට සහ කේවල් කරන්නට හැකි සාමකාමී සමාජ වාතාවරණයක් යළිත් උදා කරනු ලැබීය. ඉතිහාසය නැවත අවලෝකනය කරමින්, වැරැදි නිවැරැදි කරගනිමින, අතීත කළු පැල්ලම් මකාලමින් අනාගතය දෙස බලන්නට දැන් අපට අවස්ථාවක් උදාකර දී ඇත.

ජනාධිපතිවරයා විසින් පත් කොට තිබෙන උගත් පාඩම් හා සංහිඳියා කොමිසම මේ සඳහා මාර්ගයක් පාදා දෙයි. එහෙත් එම කොමිසමෙන් අපේක්ෂිත නියම ඵල නෙලා ගැනීමට හැකිවේදෝයි යන සැකය දැන් දැන් මෝරා යමින් තිබේ. සංහිඳියා කොමිසම සහ එහි ක්‍රියාකාරීත්වය ගැන තොරතුරු ජනතාව අතරට ගලා යන්නේ ඉතාමත් අල්ප වශයෙනි. සාමාන්‍ය ජනතාව අතර ඒ ගැන තිබෙන අවබෝධය සහ ඔවුන් ඒ සම්බන්ධයෙන් දක්වන උනන්දුව ගැන කිසිසේත් සතුටු විය නොහැකිය. දිවයිනේ තැනින් තැනට ගොස් මහජන සාක්ෂි කැඳවන බවට ඉඳහිට මාධ්‍ය මඟින් අසන්නට දකින්නට ලැබුණ ද සංහිඳියා කොමිසම සහ එහි ක්‍රියාකාරීත්වය ගැන තවමත් සමාජයේ පළල් කතිකාවක් ගොඩනැගී නැත. එයට හේතුව ඒ ගැන ජනතාවට තොරතුරු සම්ප්‍රේෂණය කරන විඥාපන මාධ්‍ය ප්‍රමාණවත් ලෙස විවෘත වී නොතිබීමයි. රජය ඒ සඳහා දක්වන උනන්දුව ද සතුටුදායක තත්ත්වයක නැත. අනෙකුත් දේශපාලන පක්ෂ හා සංවිධාන ද ප්‍රබල හඬක් නඟන්නේ නැත.

පසුගිය සිවිල් යුද සමයේ අප දුටුවේ සමාජයේ සියලු ස්ථරවල ඒ ගැන පුළුල් කතිකාවක් ගොඩනැෙඟන ආකාරයයි. පක්ෂ, ආගම් භේදවලින් තොරව වැඩි දෙනෙක් යුද්ධය ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය ධෛර්යය ලබා දුන්හ. රාජ්‍ය මාධ්‍ය පමණක් නොව පෞද්ගලික මාධ්‍ය ද එම අවස්ථාවේ දී පොදු මතයක හිඳ කටයුතු කරනු දැකිය හැකි විය. මේ හෙයින් යුද්ධය අවසානයක් කරා ගෙන යා යුතු බවට සමාජයේ සාමූහික විඥානයක් ගොඩනැඟිණ. යුද්ධය අවසන් කිරීමට එය බෙහෙවින් ඉවහල් වූ බව නොරහසකි. මීට පෙර අප එවැනි සාමූහිකත්වයක් දුටුවේ 2004 සුනාමි අවස්ථාවේදීය. සිදු වූ විනාශයෙන් ගොඩ ඒම සඳහා එම අවස්ථාවේ දී සියලු දෙනා එකාවන්ව නැඟී සිටියහ. අන්‍යෝන්‍ය වශයෙන් උදව්-උපකාර කර ගත්හ. සුනාමිය විසින් බරපතල විනාශයක් ගෙන දුන්න ද එය වෙස් වලාගත් ආශීර්වාදයක් බව සමහරු කියන්නට පටන් ගත්හ. සුවිශාල මුදල් කන්දරාවක් රට ඇතුළට ගලා අවේය. විනාශ වූ රට නැවත ගොඩනැඟීම සඳහා ඉන් අවස්ථාවක් උදා කළේය. එහෙත් අවාසනාවන්තම කරණය වන්නේ සුනාමි අවස්ථාවේ ගොඩනැඟුණු ඒ සාමූහිකත්වය කල් යත්ම ටිකෙන් ටික බිඳ වැටෙන වාතාවරණයක් නිර්මාණය වීමත්, සුනාමිය විසින් ඇති කළ තුවාල සම්පූර්ණයෙන් සුවකර ගැනීමටත් ප්‍රථම රටේ දැඩි ව්‍යාකූලත්වයක් හටගැනීමත්ය.

එහෙයින්, මේ අවස්ථාවේ දී ද සුනාමි අවස්ථාවේ දී සිදු වූ දේම සිදුවන්නට ඉඩ හැර කිසිවකුට නිහඬව කල්මැරීමට ඉඩදිය නොහැකිය. එය රටේ අනාගතයට කිසිදු ආකාරයකින් සුබදායී වන්නේ නැත. දැන් එළැඹ තිබෙන්නේ අතහළ නොහැකි අවස්ථාවකි.

අද රටේ සිටින තරුණ-තරුණියන්ගෙන් වැඩි දෙනා යුද්ධයේ රුදුරු අත්දැකීම්වලට ගොදුරු වූවෝ වෙති. සමහර විට ඔවුහු මුළු ජිවිත කාලය පුරාම අත්විඳින්නට ඇත්තේ යුද්ධයේ අමිහිරි අත්දැකීම් වන්නටත් පිළිවන. මතුපිට තලයේ දී දක්නට නොවුණත් සමස්ත සමාජය පුරා දැඩි ප්‍රචණ්ඩකාරී මානසිකත්වයක් ගොඩනැඟී ඇත. මේ ප්‍රචණ්ඩකාරී මානසිකත්වය කොයි මොහොතේ හෝ පුපුරා නොයනු ඇතැයි ද කිසිවකුට තක්සේරු කළ නොහැකිය. එහෙයින් මේ ගෙවී යන්නේ තීරණාත්මක මොහොතකි. සුළු ජාතීන් හෝ මහ ජාතීන් යැයි කියා කොටසක් මේ රටේ නොමැති බව ප්‍රකාශ කරමින් ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීය යුතු බවට විධිවිධාන ගෙන එන්නට කවුරුන් හෝ උත්සාහ ගන්නේ නම් එහි ප්‍රතිඵල ඉතාමත් විනාශකාරී වීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකාවේ හෙට දවස සාමයේ හා සංවර්ධනයේ තෝතැන්නක් වනු දැකීම අප සියලු දෙනාගේ ඒකායන බලාපොරොත්තුව නම් ඉතිහාසියේ සිදු කළ වැරැදි යළිත් සිදු නොකිරීමට තරයේ වගබලා ගත යුතු වන අතර ෂයිලොක්ගේ මස් රාත්තලම ඉල්ලීමේ දේශපාලනයෙන් ද අපි බැහැර විය යුතු වෙමු.

2011 පෙබරවාරි 10

සංජීව මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails