Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගුණදාස අමරසේකර පසුගිය වසරේ අසූ විය සැපිරීය. මේ නිසා ඔහුගේ ලේඛන දිවිය නැවත අගය කිරීම සඳහා අමරසේකරගේ පොත් ප්‍රකාශකයා විසින් මේ වසර "අමරසේකර ප්‍රත්‍යාවලෝකන වර්ෂය" ලෙස නම් කරනු ලැබ ඇත. එහෙත් අමරසේකර යනු හුදු ලේඛකයෙකුට වැඩි කෙනෙකි. ඔහු ඉතා නිර්ව්‍යාජ හා ආනුභාව සම්පන්න බුද්ධිමතෙකි. තමන්ගේ ප්‍රකාශනවලට ප්‍රචාරය හා අගය කිරීම දිනා ගැනීමටත්, තම ව්‍යාපාර වර්ධනය වෙමින් පවත්වා ගැනීමටත් ප්‍රකාශකයෝ-

නොයෙක් ව්‍යාපෘති අරඹති. විසිදුනු ප්‍රකාශන අධිපති ගෙවිඳු කුමාරතුංග පඬිවර කුමාරතුංග මුනිදාසයන්ගේ මුණුබුරා වුවද ඔහුට පවා මේ ව්‍යාපාර තර්කනය අදාළය. ගෙවිඳු කුමාරතුංග යනු ලේඛකයෙකු ලෙස බුද්ධිමය මැදිහත්වීම්ද කළ හැකි කෙනෙකු වුවද ඔහුගේ මෙම අමරසේකර ප්‍රත්‍යාවලෝකන ව්‍යාපෘතිය මූලික වශයෙන්ම ව්‍යාපාරික ව්‍යාපෘතියකි. මෙය අමරසේකරගේ කෘති දිගින් දිගටම අලෙවියේ තබා ගැනීමට යොදන උපායක් විය හැකිය. පොදුවේ හොඳ සාහිත්‍ය කෘති පළ නොකර හුදෙක් එක ලේඛකයෙකුගේ හෝ එක ගුරුකුලයක පොත් පළ කරන ප්‍රකාශකයෙකු වන ගෙවිඳු කුමාරතුංගට එවැනි උපාය මාර්ගවල යෙදීමට සිදුවීම ස්වභාවිකය. පොදුවේ සිංහල සාහිත්‍ය හා බස පෝෂණය කරනු කැමති ප්‍රකාශකයෝ ලංකාවේ වසන අනෙකුත් වැදගත් ලේඛකයන්ගේද කෘති පළ කරති; ආධුනිකයන්ට අත දෙති. ඒ ඒ ලේඛකයන්ගේ දෘෂ්ටිවාදී හෝ දේශපාලන ආස්ථාන නොසලකා පොත් පළ කරති.

එහෙත් කවිය හා ප්‍රබන්ධ කතාව සම්බන්ධයෙන් විසිදුනු ප්‍රකාශකයන්ගේ එකම ලේඛකයා ගුණදාස අමරසේකරය. ඒ අර්ථයෙන් ගත් කල විසිදුනු ප්‍රකාශක ආයතනය සිංහල ප්‍රකාශන ක්ෂේත්‍රයේ දෘෂ්ටිවාදීව වඩාම පටු ප්‍රකාශන ආයතනය වේ. මේ හේතුව නිසාම අමරසේකරගේ පොත් වෙළඳපොල ආරක්ෂා කර නොගෙන තම ව්‍යාපාරය ආරක්ෂා කර ගත නොහැකි තත්ත්වයකට මේ පොත් ප්‍රකාශකයා පත් වෙයි. මේ පසුබිම නිසා අමරසේකර ප්‍රත්‍යාවලෝකනය යනු එම පොත් ප්‍රකාශකයාගේ ව්‍යාපෘතියක් මිස අනිකක් නොවන බව පෙනෙන්නේ මෙකල ලංකාවේ නොයෙක් ජාතිකවාදී හා ජාතිවාදී සංවිධානවල සිටින අමරසේකරගේ දෘෂ්ටිවාදී දරුවන් අමරසේකරගේ සාහිත්‍යය ප්‍රත්‍යාවලෝකනය ගැන වැඩිමනත් උනන්දුවක් නොදක්වන හෙයිනි. කෙසේ වෙතත් විසිදුනු ප්‍රකාශකයා කරන මේ බුද්ධිමය හෝ ව්‍යාපාරික ව්‍යාපෘතිය මගින් අප කවුරුත් යෙදිය යුතු බුද්ධිමය සංවාදයක් අරඹන බව කිව යුතුය. සාමාන්‍යයෙන් "ජාතික චින්තනය" යැයි ගැනෙන අමරසේකර චින්තනය යළි විමසීම නම් කළ යුතුම කාර්යකි.

අමරසේකර යනු සැබෑ සමාජ මුල් ඇති අව්‍යාජ බුද්ධිමතෙකි. ඉන් අදහස් කෙරෙන්නේ ඔහු සිය තෝරාගත් ජන කණ්ඩායම වන සිංහල බෞද්ධ සමාජය සමග ඓන්ද්‍රිය ලෙස බැඳුණු බුද්ධිමතෙකිය යන්නයි. පසුගිය දශක කීපය තුළ අමරසේකර සිංහල බෞද්ධ සමාජයේ සියලු කතිකා වෙත බලපෑම් කළේය. විශේෂයෙන්ම තරුණ ජනයාගේ චින්තනය වෙත අමරසේකර කළ බලපෑම අතිවිශාලය. රැඩිකල් තරුණ ජනයා වෙත මෙතරම් බලපෑමක් කළ අනෙක් ස්වදේශික බුද්ධිමතෙක් නොවෙති. පසුගිය දශක කීපය දෙස බලද්දී පෙනෙන්නේ ලංකා විශ්ව විද්‍යාලයේ උගත් අමරසේකර නම් දන්ත වෛද්‍යවරයෙකුත්, ලුමුම්බා විශ්ව විද්‍යාලයේ උගත් විඡේවීර නම් වෛද්‍ය ශිෂ්‍යයෙකුත් ලංකාවේ රෝග නිවාරණය කරන්නට තැත් කළ වැදගත්ම දෙදෙනෙකු බවය. සැබවින්ම අමරසේකර දශක කීපයක්ම ගත කළේ විඡේවීරගේ ( මෙහිදී විඡේවීර යන නම යෙදෙන්නේ පරම්පරාවක සංකේතයක් ලෙසය)මාක්ස්වාදී හිස "ජාතික චින්තනයෙන්" පුරවන්නටය. මේ ක්‍රියාවලියේදී අමරසේකර ලංකාවේ රාජ්‍යයට ධෛර්ය සම්පන්න ලෙස අභියෝග කළ ජවිපෙයද ඉතා සාර්ථක ලෙස විනාශ කළ බවද කෙනෙකුට තර්ක කළ හැකිය. එනම් සීමාන්තික ජාතිකත්වය හා දේශප්‍රේමය යනු ප්‍රධාන වශයෙන් අමරසේකර විසින් ජවිපෙ සඳහා ඇට වූ උගුල් යැයි කෙනෙකු තර්ක කරන්නට ඉඩ ඇත. එලෙස දකුණෙහි පැවති ප්‍රධන ක්‍රම- විරෝධී දේශපාලන පක්ෂය විනාශ කළ අමරසේකර උතුරෙහිදි එල්ටීටීඊයට විකල්ප වශයෙන් නැගෙන ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ව්‍යාපාරවලට පවා, ඊලාම් හා බෙදුම්වාදී ලේබලය අලවයි. ඒ නිසා අමරසේකර දකුණ හා උතුර යන දෙකෙහිම රැඩිකල් ව්‍යාපාර විනාස කරන දෘෂ්ටිවාදය සැකසූ ප්‍රධාන චින්තකයා වන්නේය.

කෙසේ වෙතත් අමරසේකර යනු අව්‍යාජ බුද්ධිමතෙකි. අපේ විශ්ව විද්‍යාල, දේශපාලන පක්ෂ, හා රාජ්‍ය නොවන සංවිධාන එවැනි බුද්ධිමතෙකු නිෂ්පාදනයෙහිලා සමත් වී නැත. කවර හෝ හේතු නිසා විශ්ව විද්‍යාල අපූර්ව චින්තන ශක්තියෙන් යුතු අදීන හා කැපවුණ බුද්ධිමතුන් නිෂ්පාදනයට සමත් වී නැත. සමහර විශ්ව විද්‍යාල බුද්ධිමත්තු අපූර්වයහ; අදීනයහ. එහෙත් ඔවුහු කැපවුණු අය නොවෙති. සමහරු අපූර්ව හෝ ස්වාධීන නොවෙති. සමහර අවස්ථාවල මේ ලක්ෂණ දෙකම ඇතැම් විශිෂ්ට විශ්ව විද්‍යාල බුද්ධිමතුන් වෙත දැකිය හැකි වෙතත් ඔව්හු සාමාන්‍ය ජන ජීවිතය හා ඔවුන්ගේ දේශපාලනය සමග කිසිම සම්බන්ධයක් නොදක්වති. කෙටියෙන් කියන්නේ නම් මෙසේය: ප්‍රසිද්ධ මහජන බුද්ධිමතෙකු ලෙස අමරසේකර දරන තත්ත්වයට ළං වන කෙනෙකු විශ්ව විද්‍යාලවල වේ නම් ඒ ඔහුගේ චින්තන සම්ප්‍රදායටම අයත් මහාචාර්ය නලින්ද සිල්වාය.

දේශපාලන පක්ෂවල තත්ත්වයද එසේමය. මෑත කාලයේදී අපේ දේශපාලන පක්ෂ බුද්ධිමය මධ්‍යස්ථාන ලෙස ක්‍රියාකාරී වී නැත. එම දේශපාලන පක්ෂවලින් පළ කෙරෙන ප්‍රකාශන මගින් පෙනෙන්නේ අපගේ චින්තනය කිති කවා අවුස්සන අන්දමේ බුද්ධිමය ක්‍රියාකාරකම් ඒවා තුළ සිදු නොවන බවය. උත්ප්‍රාසාත්මක හා ශෝකජනක කාරණය වන්නේ ඒ ඒ දේශපාලන පක්ෂ තුළ සෑහෙන තරම් බුද්ධිමය පෞරුෂයක් ඇති බුද්ධිමතුන් සිටියද තම තම පක්ෂ පලදායක බුද්ධිමය සංවාදවල යෙදවීමට ඔවුන් අසමත්ව සිටීමයි. දේශපාලන පක්ෂවල නායකකාරකාදීන් අතරින් යම් කිසි බුද්ධිමය අරගලයක යෙදෙන බව පෙනෙන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පමණි. එයත් ඔහුගේ පෞද්ගලික කැපවීම මිස පක්ෂයක් ලෙස කරන මැදිහත්වීමකියි නොසිතේ.

රාජ්‍ය නොවන සංවිධාන ඒවායේ ස්වභාවයෙන්ම පාහේ බුද්ධිමය මධ්‍යස්ථාන බව පෙනෙන්නේ රටේ බොහෝ රැඩිකල් චින්තකයන් ඒවා වෙත ආරක්ෂණය වන නිසාය. එහෙත් කැපවුණු අව්‍යාජ බුද්ධිමතුන් යැයි කිව හැක්කේ ඒ බුද්ධිමතුන් ටික දෙනෙකුට පමණය. බොහෝ විට ඉංග්‍රීසියෙන් ලියන ඔවුන්ට ඒකභාෂික මහජනයා වෙත ළඟාවීමට හැකි වී නැත. ඒ නිසා ඔවුන්ගෙන් සමහරු කවුරුත් නොදන්නා බසකින් කතා කරන, ඉහළ වැටුප් ලබමින් සැප පහසු කූඩුවල වසන ගිරවුන් සේ අපට ඇසේ. සිංහල කතා කරන ජනයාගේ සාහිත්‍යය කලා වෙත ගැඹුරින් ප්‍රතිචාර දැක්වීමට හැකියාව ඇත්තේ ඔවුන්ගෙන් ඉතාම සුළු පිරිසකට පමණි. සමහර රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ බුද්ධිමත්තු සිංහල සාහිත්‍ය ගැන කිසිවක් නොදනිති; නැතිනම් එය අවඥාවෙන් සලකති. ඔවුන්ගේ ජීවිතය ගතවන්නේ කොළඹ අවට සුපිරි අවන්හල්, බොජුන් හල්, කලා නිකේතන, බුද්ධිමය සමාජ වැනි ඉතා කුඩා ලෝකයකය. මේ වරප්‍රසාදිත ලෝකයෙන් පිට සෑම තැනක්ම ''ෆීල්ඩ් එකය''. දැන් දැන් නම් ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ඉහළ තනතුරු දරන්නේ සිංහලද දෙමළද කතා නොකරන විදේශික අයය. විදේශිකයන් අප රටේ සේවය කිරීම හොඳය. එහෙත් ඒ අය අපගේ බස, සාහිත්‍යය, සංස්කෘතිය ගැන දැන ගැනීමට අවංක උනන්දුවක් නොදක්වන්නේ නම් අප වෙනුවෙන් ඔවුන්ට කළ හැකි දේ සීමා වෙයි.

දෙමළ බුද්ධිමතුන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි හා දෙමළ භාෂා කතා කරන සැබෑ ද්විභාෂකයන් වීම නිසා ඒ සමාජයේ තත්ත්වය මීට වෙනස් යැයි මා අසා ඇත. එහෙත් බෙංගාලි සාහිත්‍ය කලාද පශ්චාත්-ව්‍යුහවාදී න්‍යාය වැනි නව න්‍යායික ගුරුකුලද හොඳින් දත් දීපේශ් චක්‍රබර්ති හෝ පාර්තා චැටර්ජි වැනි බුද්ධිමතුන් ලාංකික ඉංග්‍රීසි භාෂක සමාජය තුළ මා නම් තවමත් දැක නැත. මේ ලෝ ප්‍රකට විද්‍යාර්ථීන්ට ඩෙරීඩාගේ න්‍යායන්ද බෙංගාලි ජනගීද එක සේ කට පාඩමින් කියන්නට පුළුවන. යසොදරාවතෙන් කවියක් දෙකක් කටපාඩමින් කිවහැකි ඉංග්‍රීසි භාෂා උගතුන් කීදෙනෙක් නම් අප අතර වේද? එවැනි කෙනෙකු හැටියට මා දන්නේ අමරසේකර වැන්නවුන්ගේ දෘෂ්ටිවාදවලට අභියෝග කරන නිසාම ඔවුන්ගෙන් නිරන්තර ගැරහුම් ලබන මහාචාර්ය ගණනාථ ඔබේසේකරය. පැරණි සිංහල කවියක් දෙකක් කටපාඩමින් කීමෙන් ඔහු ලබන ප්‍රීතිය නිසා පැරණි සිංහල පොත පත යළි කියවා බලන්නට මට සිතුණු වාර අපමණය. ඔහු වැන්නවුන් සිංහලෙන් නොලිවීමත් තමන්ගේ ප්‍රධාන කෘති සිංහලයට පරිවර්තනය නොකිරීමත් ඒකමානීය සංස්කෘතියකටම දිරිදීමකි. තමන් දන්නා දේ හා තමන් හිතන දේ සිංහලයෙන් ලියමින් සිංහලයාගේ ජීවිතය හා ඓන්ද්‍රීය ලෙස සම්බන්ධව දිවි ගෙවන ගුණදාස අමරසේකර වෙත මා විචාරාත්මක ගෞරවයක් දක්වන්නේ ඒ නිසාය.

ස්වභාෂා කතා කරන සමාජය හා අව්‍යාජ සම්බන්ධතා නැතිකමින් රාජ්‍ය නොවන සංවිධාන ආශි්‍රත ඇතැම් බුද්ධිමතුන්ගේ අර්ථවත් ව්‍යායාම මහජනයා මත කිසිදු බලපෑමක් කරන්නට අසමත් වී ඇත. ඊට අමතරව පසුගිය දශක කීපය තුළ එල්ටීටීඊ සංවිධානයේ හිංසක ක්‍රියා ගැන නිරන්තර විචාරයක් සපයන්නට මේ එන්ජීඕ බුද්ධිමතුන් අසමත්වීම නිසාද ඔවුහු මහජනයා වෙතින් හුදෙකලාව සිටිති. අමරසේකර වැනි ජාතිකවාදීන් විසින් රාජ්‍ය නොවන සංවිධානවල බුද්ධිමතුන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසන ලද බව ඇත්තය. එහෙත් මහජන ජීවිතය සමග අව්‍යාජ සම්බන්ධයක් ඇත් නම් එවන් ද්‍රෝහිත්වයට ඇදදැමීම් කරන්නට ලේසි නැත. මෙවන් විදේශ ආධාරලාභී බුද්ධිමතුන්ට සාපේක්ෂව අමරසේකර අව්‍යාජ බුද්ධිමතෙකි. ඔහු සිංහල සමාජය තුළ බලපෑම් සහගත බුද්ධිමතෙකු වී ඇත්තේ ඔහුගේ චින්තනයේ නිරවද්‍යතාවකට වඩා ඔහුගේ අව්‍යාජ්‍යත්වය හේතු වෙනි. උදාහරණයක් ලෙස ඔහුගේ ජාතික චින්තනය එදිනෙදා ජීවිතය වෙත පරිවර්තනය වන්නේ ''මෙරට මනුෂ්‍යයන් වන්නේ සිංහල බෞද්ධයන් පමණි'' වැනි අර්ථයක් ගත් සංස්කෘතික සාපේක්ෂතාවාදයක් ලෙසිනි. මෙය සාපරාධි ලෙස වැරදි අදහසකි. එහෙත් සිංහල සංස්කෘතියද විඥානයද සමග සමීප ලෙස බැඳුන අමරසේකර වෙතින් එන කියුමක් නිසා ඊට පිළිගැනීමක් ලැබේ. පෘතුවිය යනු මිනිසා විසින් හීලෑ කරගතයුතු දෙයක් නොව අප සමගම ජීවත් වන සහ-ජීවියෙකු ලෙස දකින බෞද්ධ සංවර්ධන න්‍යායක් ගොඩ නගනු වෙනුවට සිංහල බෞද්ධ සංස්කෘතික සාපේක්ෂතාවාදය කර ඇත්තේ සමාජ ජීවීන් ලෙස පරිභෝජනවාදීද දේශපාලනිකව ජාතිවාදීද වන මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීමයි; ඉවසා සිටීමයි. ලංකාවේ නව බෞද්ධයා තුළ පරිභෝජනවාදයත් ජාතිවාදයත් අලංකාර ලෙස සුසංයෝග වේ.

ජාතික වෙස් මුහුණ යට විකට රූ

අමරසේකරගේ ජාතික චින්තනයේ තවත් උරුමයක් ඇත. 1956 දරුවන් යැයි සැලකෙන අය තම තම නොහැකියාවන් ජාතික චින්තන මාදිලියක් බවට පෙරලූහ. උදාහරණයක් ලෙස සිංහල හැරුණු විට අන් බසක් නොදන්නා අය තම ඒකභාෂිකත්වය ''ජාතික'' විමේ විධියක් බවට උත්කර්ෂණය කළහ. මේ දවස්වල විශ්ව විද්‍යාල එවන් ජාතික චින්තකයන්ගෙන් පිරී ඇත. තමන්ට අභියෝගයක් වන අයට, තමන්ට නොතේරෙන දේවල් කතා කරන අයට පහර දෙන්නට අවශ්‍ය වූ විට මේ අවස්ථාවාදීන් පසුබසින්නේ ජාතිකත්වය වෙතය. අපේ කාලයේ වඩාම බරපතල චින්තකයන් සමග බුද්ධිමය සංවාදවලට එළඹිය නොහැකි අය බුදුන් වහන්සේ අපට අවශ්‍ය සියලු දේ උගන්වා ඇතැයි කියති.

ඔවුන්ට අනුව ජාතක පොත තිබුණොත් ඇතිය. ඩෙරීඩාගේ ඔෆ් ග්‍රැමටලොජි හෝ ෆූකෝගේ ආර්කියොලොජි ඔෆ් නොලේජ් අවශ්‍ය නැත. ජාතක පොත යනු ඉතා හොඳ පොතකි. එහෙත් එය පමණක් මදිය. එය ඇතැයි කියන්නෝ ඩෙරිඩා, ෆූකෝ, හැබර්මාස් හෝ සිසෙක් නොකියවිය හැකි, එවන් සංකීර්ණ චින්තකයන් සමග බුද්ධිමය වශයෙන් ගනුදෙනු කළ නොහැක්කෝ වෙති. එහෙත් ඔවුන් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව ජාතික චින්තනයෙන් වෙස් ගන්වා උත්කර්ෂයට නැංවීමය: අපේ පොත අපට ඇත! අවිශිෂ්ටත්වය හා සාමාන්‍යත්වය උත්කර්ෂයට නැංවීම නිසා මෙරටට සිදු වී විනාශය විස්තර කිරීම වූකලි ඉවර කළ හැකි වැඩක් නම් නොවේ. පරපුට්ටන්ගේ පාරාදීයක් යැයි අනුකාරකයන්ගේ පාරාදීසක් යැයි විශ්ව විද්‍යාල වෙත පහර දෙන ජාතිකවාදීන් තමන් කරන්නේ සංස්කෘතික විප්ලවයකියි සිතුවද ඔවුන් සැබවින්ම කරන්නේ ඒ ආයතන ළිං මැඩියන්ගේ පාරාදීස බවට පෙරලීමය. අමරසේකර වටා රොඳ බැඳ සිටින දහස් ගණන් දෙනා එවන් ව්‍යාජ ජාතික චින්තකයෝ වෙති. එවැන්නවුන් සමග අමරසේකර යෙදී සිටින ගමන සම්බන්ධයෙන් කළ හැක්කේ උත්ප්‍රාසයෙන් යුත් සුබ ගමන් පැතීමකි. ''යන මග යහපතම වේවා!'' තමන් වටේ කැරකෙනවුන්ගෙන් වැඩි පිරිසක් මැට්ටන් බව අමරසේකරම ඉඳහිට කීම ඔහුගේ විශිෂ්ටකමට දෙස් දෙයි.

අමරසේකර සමග සැබෑ බුද්ධිමය සංවාදයකට එළඹිය හැකි අය නම් අමරසේකර විසින් ''ජාති ද්‍රෝහීන්,'' ''බටහිර ඒජන්තයන්'' හෝ ''බටහිර අනුකාරකයන්'' යැයි හැඳින්වෙන පිරිසයි. නියම බුද්ධිමය සංවාද වලක්වන එවන් නම් පටබැඳිලි වසර ගණනාවක් පුරා අමරසේකර සිය ගෝලබාලයන්ට ඉගැන්වීය. දාර්ශනික විට්ගන්ස්ටයින්ගෙන් ( අනේ ඔහුත් බටහිරයෙකි!) මා උගත් දෙයක් නම් මනුෂ්‍යත්වයේ සාරය වන්නේ එකිනෙකා අතර වන සංවාදය බවයි. ''ජාතික'' වෙස් ගත් අවිශිෂ්ට චින්තකයන් පරම්පරාවක් අද කරමින් සිටින්නේ අපේ සමාජය නියම සංවාදයන්ගෙන් තොර කිරීමේ කාරියයි. අමරසේකර ඔවුන්ගේ මහා ප්‍රාඥයාය. ඕනෑම ආයතනයක- පෞද්ගලික අංශයේ පවා- සාමාන්‍ය හැකියාවන්ගෙන් යුත් හෝ කිවහැකි කිසිම දක්ෂතාවක් නැති අය වඩාම ජාතිකවාදියෝ වෙති. ඔවුහු ඕනෑම දක්ෂයෙකුට, උද්යෝගී නිර්මාණශීලියෙකුට විජාතික ලේබලය අලවති. ජාතික චින්තන ගුරුකුලයේ මෙවන් ගෝලයන්ට නිර්මාණශීලි හා උත්පාදක ශක්තියෙන් යුතුවීම යනු ''බටහිර'' වීමකි. මේ නිසා ජාතියේ වඩාම ඝෝෂාකාරී ආරක්ෂකයෝ ජාතිය වෙනුවෙන් සැලකිය යුතු කිසිවක් කර නැත්තෝ වෙති; නැත්නම් එසේ කිරීමේ කිසිම කුසලතාවක් නැත්තෝ වෙති. මේ ජාතියේ මිතුරන්ගේ සැබෑ ස්වරූපය රාජිත දිසානායකගේ ආපහු හැරෙන්න බෑ නාට්‍යයේ මැනවින් හාස්‍යයට ලක් කර තිබේ.

අමරසේකරගේ න්‍යායන් මගින් සිදු වී ඇති විනාශයේ නියම තත්ත්වය දකින්නට තරම් කාලයක්- එනම් වැඩි කාලයක් නොවේ- ජීවත් වන්නට අමරසේකරට දීර්ඝායුෂ ලැබේවායි මම පතමි. තම වරද ගැන එදිනට පසුතැවෙන්නට තරම් අවංකකමක් අමරසේකර නම් කවියාට ඇතැයිද මම සිතමි. විචාරයක අගයක් ඇත්තේ විචාරයට ලක්වන දෙය අව්‍යාජ නම් පමණි. අමරසේකර කෙතරම් ආනුභාව සම්පන්න චින්තකයෙකුද යත් ඔහු සමග එකඟ නොවී තර්ක කිරීම සෑම විටකම මහත් පල ලබා දෙයි.

විශිෂ්ට කෙටිකතා

ඔහුගේ හොඳම කෙටිකතා කියවන කල නම් මම බොහෝ විට ඔහු සමග එකඟ වෙමි. ඔහුගේ හොඳම කතා අඩංගු වන්නේ ඔහුගේ සාහිත්‍ය ජීවිතයේ මැද හරියේදී ලියන ලද එක්ටැමෙන් පොළවට, එකම කතාව, හා කතා පහක් යන කෘතිවලය. එම කෘතිවලදී අමරසේකර කරන්නේ ප්‍රකටව පෙනෙන සෘජු දෘෂ්ටිවාදී පක්ෂපාතකම් නැතිව ලංකාවේ පශ්චාත්-යටත් විජිත පුරවැසියාගේ ස්වභාවය විචාරාත්මකව පරීක්ෂා කර බැලීමයි. එහිදී ඔහු පසුකාලීන කෙටිකතාවලදී මෙන් කතාව මතු පිට ''ජාතික චින්තනය'' තවරන්නේ නැත. ඒ කතාවලින් පසුව අමරසේකර නම් නිර්මාණකරුවා වසාගෙන අමරසේකර නම් මතධාරියා මතු වන්නට විය. වැඩිකල් නොයාම ජාතියේ සතුරන් හා මිතුරන් කපා විවර කරන සැත්කම් පිහියක් බවට ඔහුගේ සාහිත්‍යය පත් විය. දෘෂ්ටිවාදීව මෙහෙය වනු ලැබ ඔහු ලියූ එවන් කතා තුළද යම් දීප්තිමත් මොහොතවල් දැකිය හැකි වුවත් 1980 දශකයෙන් පසුව ඔහු ලියන කතා කියවන්නට කලින්ම පාහේ ඒවායේ ස්වභාවය පෙරදකින්නට දැනුවත් පාඨකයාට හැකි වෙයි. කලාකරුවෙකු ලෙස ඔහුගේ කලා-ප්‍රයෝග ඉතා ප්‍රකටව පෙනෙන්නට පටන් ගත් අතර ඒවා රසිකයා පුදුම කිරීමේ හැකියාවෙන් අඩු විය. සාමාන්‍යයෙන් ඔහුගේ කතාවල ආවේ අපට කලින්ම අනුමාන කළ හැකි වට්ටෝරු කතා වස්තුවකි. එය මෙසේය: සාමාන්‍ය පන්තියකින් ආ පිරිමියෙක් මුලින් දේශීය අධ්‍යාපනය ලබා පසුව බටහිර රටකින් පශ්චාත්- උපාධි ලබයි. ඊ ළඟට ඔහු රාජ්‍ය නොවන සංවිධානයක ලොක්කෙක් වෙයි; ඔහු ජාතියට විරුද්ධ වෙය; ඇමරිකාවට ඔත්තු සපයය; ෆෙඩරල් ක්‍රම ගැන කතා කරය; ලංකාව බහුජාතික රටක් යැයි කියයි. එහෙත් සමහර විට ඔහු තමන් ජාතියට කරන ද්‍රෝහිකම් ගැන තැවෙයි. අමරසේකරට අනුව මේ පුද්ගලයා සිංහල ජාතිය පිළිබඳ විචාරශීලි ප්‍රවේශයක් ගන්නේ ප්‍රතිපත්තිමය හෝ ෙසෙද්ධාන්තික කාරණා නිසා නොව තමන් සිංහල ජාතියට විරුද්ධ නිසාය. ඒ නිසා ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට ලෝක පරිමාණව පවත්නා මහා කුමන්ත්‍රණයක හවුල්කරුවෙකි. අමරසේකරගේ මෑත කාලීන කතා වට්ටෝරුව සාමාන්‍යයෙන් ඒකය. මේ නිසා ඒ කතා අප ආනන්දවත් කරන්නට අසමත් අදහස් පමණක් බවට පත් වෙයි. මෙවන් ප්‍රචාරාත්මක කතාවක් දැන් අපොස උසස් පෙළ සිංහල විෂය නිර්දේශයටද අයත් නිසා මේ දෘෂ්ටිවාදය ගමන් කර ඇති කෙතරම්දැයි පෙනේ. මේ කතාව තේරූ අඥානයන් අපේ හොඳම කෙටිකතාකරුවෙකුට කර ඇති නපුර ඒ කෙටිකතාකරුවාටත් නොදැනී කළ නපුරක් වන්නට බැරිය!

අමරසේකරගේ ලේඛන දිවියේ සන්ධිස්ථානයක් සේ සැලකෙන එක කෙටිකතාවක් මගේද ප්‍රියතම කතාවක් වෙයි. ඒ නම් ''එක්ටැමෙන් පොලවට නොහොත් උපාධිධාරිණිය'' නම් කතාවයි. මෙම කතාව අමරසේකර විසින් පේරාදෙණි සාහිත්‍යය යනුවෙන් හැඳින්වෙන සාහිත්‍යයට එරෙහිව ගසන ලද කැරැල්ලකි. යටත් විජිත අධ්‍යාපනය හෝ පශ්චාත් යටත් විජිත යුගය දක්වාම පවතින යටත් විජිත අධ්‍යාපනයේ ශේෂ විජිතකරණයට ලක් වූ ජනතාවකගේ විඥානයට හා යටත් විජිතවාසීන් උනුන් අතර පවත්වා ගන්නා සම්බන්ධතාවලට කරන බලපෑම මෙම කතාවෙන් මනාව නිරූපණය වෙයි. අධ්‍යාපනය යනු සමාජ විසමතා සමනය කරන වැදගත් සමතලකරණයකි. එහෙත් යටත් විජිත හා පශ්චාත් යටත් විජිත තත්ත්වයන්හිදී අධ්‍යාපනයද තවත් උස්-පහත් භේද හඳුන්වා දෙමින් මිනිසුන් අතර සැබෑ මිනිස් සබඳතාවලට අවහිර කරන උපකරණයක් ලෙස ක්‍රියා කරයි. මෙම කතාවේ උපාධිධාරිණිය වන නිමලාට සිය හොඳම සංවාද සහකාරයා, ආධ්‍යාත්ම සගයා හමුවන්නේ විශ්ව විද්‍යාලයෙන් අස්වී ස්වේච්ඡා ගුරුවරියක ලෙස සේවය කරන අතරය. ඇයට ඔහු හමුවන්නේ ඒ පාසැලේදී නොවේ. බස් රියේදීය. කුඩා කල ඇගේ පාසැල් මිතුරෙකු වු මොහු දැන් ඇගේ ගමේ බස් රියේ කොන්දොස්තරවරයාය. ඔහුගේ නම සිරිපාලය. ඔහු පැරණි නූතන සාහිත්‍ය කියවන රසිකයෙකි; කවියෙකි; අව්‍යාජ මිනිසෙකි. මේ දෙදෙනා නැවත හමු වූ පසු සාහිත්‍ය කලා පිළිබඳ සංවාද මාලාවක් ඔස්සේ ඔවුන්ගේ පැරණි මිතුදම නැවත ඇවිලේ. එය ක්‍රමයෙන් ආදර සම්බන්ධයක් ආසන්නයටම වර්ධනය වෙයි. වෙනත් පරමාදර්ශි ලොවක නම් ඒ දෙන්නා ඉතාම ගැලපෙන යුවළකි. එහෙත් මේ දෙදෙනා අතර සැබෑ මිනිස් සම්බන්ධයක් වර්ධනය වීම වලකන්නේ උපාධියයි. උපාධිය නිසාම තමා බස් කොන්දොස්තරට වඩා උසස් යයි ඈ සිතයි. උපාධිය නැති නිසාම තමා ඈට වඩා පහත්ය යන හීනමානය ඔහුගේ විඥානයටද බලපෑම් කරයි. මේ නිසා ඔවුහු දෙදෙනා දෙපසට වෙන් වී යති.

යටත් විජිත අධ්‍යාපනයේ මූලික උපයෝගීතාවාදී අරමුණ වූයේ යටත් වැසියන් පාලනය කරන, ඔවුන්ගෙන් බදු එකතු කරන හා ඔවුන්ට දඬුවම් කරන නිලධාරි තන්ත්‍රයක් නිර්මාණය කර ගැනීමය. මැකොලේ සාමිගේ ඉන්දීය අධ්‍යාපන පනතින් පෙනුණේ එයයි. ඒ පාලන කටයුතු සාර්ථකව කිරීමට නම් උපාධිධරයා හෙවත් උගතා සාමාන්‍ය ජනතවාට වඩා ඉහලින් සිටිය යුතුය. මේ දෘෂ්ටිවාදය නිදහස් පසු ආ පශ්චාත් යටත් විජිත යුගයේදී තීරණාත්මක ලෙස වෙනස් වූයේ නැත. මේ කතාවේ උපාධිධාරිණිය නිර්දය ලෙස බස් කොන්දොස්තර අමතක කර දැමීමේ දෘෂ්ටිවාදයේ සැබෑ උපත ඇත්තේ යටත් විජිත අධ්‍යාපනය වෙත යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. මෙම කතාව හැත්තෑව දශකයේ නිල තත්ත්වයට එසවී සිටි ජනතාවාදී සාහිත්‍යය වෙතද පේරාදෙණි සාහිත්‍ය වෙතද එල්ල කරන ලද ඇඟවුණු විචාරයකි.

ජනතාවාදී සාහිත්‍යයේදී නම් ''විප්ලවීය'' ලෙස සිතන නිමලා සිරිපාල සමග ආදරයෙන් බැඳෙන්නට ඉඩ තිබිණ. මූලික වශයෙන් ලිබරල් මානවවාදී දෘෂ්ටියකින් යුක්ත වූ පේරාදෙණි සාහිත්‍යය, විශේෂයෙන් සරච්චන්ද්‍රගේ සාහිත්‍යයේදීද මෙම කතාව හුදු මානවවාදී ඉඟියකින් අවසන් වන්නට ඉඩ තිබිණ. අනික ඒ ගුරුකුල දෙකම අමරසේකර තරම් සමාජ-සංස්කෘතික වශයෙන් සංකීර්ණ ලෙස මෙවන් කතා වස්තුවක් නොදකින්නට ඇති ඉඩ වැඩිය. ''කලානිධි හෙවත් පච වෙදා,'' ''දිසොන්චිනා හාමි'' වැනි කතාද යටත් විජිත අධ්‍යාපනය ස්වදේශීය දැනුම් පද්ධතිවලටත් යටත් විජිත මිනිසුන්ටත් කරන හානිය තේමාත්මකව හසු කර ගන්නා කතා ලෙස කියවිය හැකිය.

සිංහල යථාර්ථවාදී කෙටිකතාවේ වඩාම පොහොසත් අවධිය අයිතිවන්නේ අමරසේකරටය. තවමත් ඔහු සිය පරම්පරාවේ අන් ලේඛකයන්ට වඩා විශිෂ්ටය. අමරසේකරගේ කෙටිකතා ඒවායේ ව්‍යුහය අතින්ද අද්විතීය හා ස්වීය වන්නේ ඔහු ''ඒකීයධාරණාව'' ''ජීවිතයෙන් පෙත්තක්'' ආදී ගතානුගතික සංකල්ප එලෙසින්ම බාරගන්නා 'කෙටිම කෙටි කතා' ලියන්නෙකු නොවන නිසාය. ඔහුගේ ප්‍රබන්ධ කතාවලින් ''මිනිස් සත්‍යයන්'' සෙවීම සෑම විටකම පදනම් වන්නේ ''ඓතිහාසික සත්‍යයන්'' සෙවීම මතය. මෙය ඉතා නිවැරිදි ප්‍රවේශයකි. අමරසේකර නම් ප්‍රබන්ධ රචකයා ලංකාවේ පශ්චාත්-යටත් විජිත තත්ත්වය වෙත සපයන අන්තර්දෘෂ්ටීන් අමරසේකර නම් දෘෂ්ටිවාදියා දෙසන සියලු දේට වඩා ප්‍රඥාලෝකය සපයනසුළුය. ඒ නිසා ඔහුගේ හොඳම කතා කියවිය යුත්තේ අමරසේකර නම් දෘෂ්ටිවාදියාට එරෙහිවය. ජාතියේ නියම බුද්ධිමය උරුමකරුවන් ලෙස ඔහු විසින් තෝරා ගැනෙන ඊනියා ප්‍රඥාංකුරයන් අතර නම් මේ කියවීම කළ හැකි අය සිටිතියි මම නොසිතමි. පසුගිය දශකය තුළ අමරසේකර සිය බුද්ධිමය පුත්‍රයන් ලෙස තෝරාගත් සමහර අය හුදු බොල් පිළිම බව දැන් වත් පෙනී යා යුතුය.

ඉහත ආකාරයේ කෙටිකතා මාලාවකට පසුව අමරසේකර ලියූ ප්‍රබන්ධ කතා ඒකීයමානීයද සියුම් ඉඟි අරුතින් ඌනද විය. ඔහුගේ පඨිතමය අවකාශය එනම් ප්‍රබන්ධ අභ්‍යන්තරය කලාත්මක අනිශ්චිතතාවෙන් යුක්තවීම නැවතිණ. ''කලාත්මක අනිශ්චිතතාව'' යනුවෙන් මා අදහස් කරන්නේ ප්‍රබන්ධ කතාවක චරිත හා සිදුවීම් වෙත එක්, තනි පැතලි අර්ථයකට ඌනනය කළ නොහැකි බොහෝ අරුත් ඇති බවයි. සමහර විට මේ අර්ථ එකිනෙකට විරුද්ධද විය හැකිය. අජිත් තිලකසේනගේ ප්‍රබන්ධ කතා මේ ගුණයෙන් පොහොසත්ය. එහෙත් මෑතකදී පළ වූ විල්තෙර මරණය (2007) කෘතිය තෙක්ම අමරසේකර පශ්චාත් යටත් විජිත ලංකා පුරවැසියා අවබෝධ කරගැනීමේ කාර්යක එළඹෙයි. මෑත කාලීන කතාවලින් කතුවරයා අඟවන හැටියට ඒ පුරවැසියා අසමත් පුද්ගලයෙකු වන්නේ ඔහු හෝ ඇය ජාතික චින්තනයෙන් තොර වන නිසයි.

මා සිතන සැටියට නම් ලංකාවේ නියම ජාතිකත්වය සොයා ගත යුත්තේ අප රටෙහි ඇති පොහොසත් විවිධතාව හා බහුත්වය වෙත මිස නොබිඳුණු සිංහල බෞද්ධකමක් වෙත නොවේ. සිංහලයන් හා ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්වීමේ ක්‍රම බොහෝ ගණනක් ඇත. අන්‍ය සංස්කෘතීන්ගේ මිශ්‍රණයක් තුළ නැති වී ගිය පාරිශුද්ධ සිංහලයා සෙවීම නොකළ හැකි කාර්යකි. පාරිශුද්ධ සිංහලත්වය යැයි කියන දේ ඇති අතීත මොහොත වර්තමාන දේශපාලන හා දෘෂ්ටිවාදාත්මක අවශ්‍යතාවල නිර්මාණයක් මිස තත්‍ය ලෙස පවතින්නක් නොවේ. කාලයේ දවටනයන් එකිනෙක ගලවා බලන සෑම මොහොතකදීම හමුවන සංස්කෘතියද තවත් සංස්කෘතීන්හි හා ජීවත්වීමේ විවිධ මාදිලීන්හි මිශ්‍රණයකි. මානව සංස්කෘතීන්හි පාරිශුද්ධ, තනි මොහොත යැයි කියා දෙයක් නැති බව පෙන්වන අධ්‍යයන ඕනෑ තරම් ඇත. සංස්කෘතික සාරය කියා දෙයක් ඇත් නම් එය නිරන්තරයෙන්ම වෙනස් වෙමින් මාරුවෙමින් විකාශනය වෙමින් පවතින දෙයකි. ඒ නිසා සැබෑ සාරය අල්ලා ගැනීම කළ නොහැකි දෙයකි. අනික, සාරය යැයි ගන්නා දේ අපට හමුවන විට එය තවදුරටත් සාරය නොවේ. එසේම ඒ සාරය සෙවීමේ දේශපාලන කටයුත්ත දියත් කිරීමට තමන්ගේම පොල් පොට් කෙනෙකු සොයා ගන්නට ඒ සෙවීම කරන රටට සිදුවන්නේය. අපේ රට ඇති තරම් ලේ වැගිරීම් දැක ඇති නිසා මේ ලේ වැකි යුගය අවසානයකට ආ යුතුය. සංස්කෘතියක පිරිසිදු 'සාරය' සොයා අතීතයට යන්නාට බොහෝ විට හමුවන්නට ඉඩ ඇත්තේ අපිරිසිදු 'සැරව'ය.

ගමනක අග

ලංකාවේ ''සිංහල පමණයි''තරුණ පරම්පරාව අමරසේකරගෙන් බොහෝ දේ උගෙන තිබේ. එහෙත් අමරසේකර අසූ වන විටට පා තබන විට අමරසේකරගේ චින්තනය ගැන නැවත සිතා බැලීම අනිවාර්ය කරමින් අපේ රටේ එක් නාටකීය යුගයක් අවසානයකට පැමිණ තිබේ. මේ දවස්වල අමරසේකර වැන්නන්ගේ දෘෂ්ටිවාද පෙරනොවූ විරූ රාජ්‍ය අනුග්‍රහයක් හා බලයක් බුක්ති විඳියි. අමරසේකර චින්තනයේ දරුවෝ ඇමතිකම්ද දරති. එය කොතරම්ද යත් මෙරට දෘෂ්ටිවාදීමය ජනාධිපති අමරසේකර යැයිද විටෙක පෙනේ. ප්‍රේමසිරි කේමදාස වැන්නන් ගැන අමරසේකර කියන මුග්ධ ලෙස අශෝභන වචනවලින් පෙනෙන්නේ රාජ්‍යයට සමීපව විසීමෙන්ද තමන්ගේ දෘෂ්ටිවාදී හෙජමනියෙන්ද ඔහු ප්‍රීතිමත් වන බවයි.

යම් දෘෂ්ටිවාදයක් රාජ්‍යයේ දෘෂ්ටිවාදය කාලය යනු ඒ දෘෂ්ටිවාදය පිළිබඳ මහජන විචාරය වේගවත් කළ යුතු කාලයයි. රාජ්‍යය යනු පුරවැසියන් විසින් නිරන්තර පරීක්ෂාවට බඳුන් කළ යුතු හිංසක යන්ත්‍රයකි. එසේ පරීක්ෂා කිරීම ප්‍රගතිශීලී කාර්යකි. ඒ කාර්ය කිරීමේදී රාජ්‍යයේ දෘෂ්ටිවාදද විචාරයට ලක් කළ යුතුය. අමරසේකරගේ චින්තනය අප විසින් විචාරය කරනු ලැබිය යුත්තේ ඒ අර්ථයෙනි. එල්ටීටීඊයේ සම්පූර්ණ පරාජය තව සති කීපයකින් සිදු වන බව කියනු ලැබේ. අඩු තරමින් ඉන් පසුව වත් අප අපටම මතක් කරදිය යුතු දෙයක් නම් ශ්‍රී ලංකාව යනු බෙහෙවින් විවිධ, විචිත්‍ර හැසිරීම් හා චින්තන මාදිලි එකට පවත්නා බහුසංස්කෘතික රටක් බවය. එක් තනි චින්තනයක් වත් ඒක තනි හදබසක් වත් මේ රටෙහි නැත. අපේ පරම්පරාව හමුවේ ඇති විශාල අභියෝගයක් නම් මේ විවිධ චින්තන විධි, විවිධ කටහඬවල්, විවිධ අභිලාෂ ආදිය එකසේ පොහොණි කරන්නට උපරිම හැකියාව ඇති පාලන ආර්ථීක හා සංස්කෘතික ව්‍යුහ නිර්මාණය කිරීමයි.

මේ කාර්ය සඳහා ජාතිය යැයි ගන්නා විශාල පොරෝනය යට ඇති දේ දෙස සමීපව බැලීමට අපට සිදුවන්නේය. ඒ පොරෝනය යට ඇති දෑ ඉතා අප්‍රසන්නය. පොහොසතා හා දුප්පතා අතර පරතරය පොරෝනය යටින් අපටත් හොරා වර්ධනය වී ඇත. පරණ සමාජ පරතරයන් හා උස් පහත් භේද එසේම තිබෙද්දී තවත් අලුත් උස් පහත් භේද ඇති වී තිබේ. ඒ පොරෝනයට මුවා වී අලුත් හොරු රංචු ප්‍රභූත්වය වෙත ගමන් කළහ. අලුත් සොක්කෝ අලුත් ලොක්කෝ වූහ. ප්‍රජාතන්ත්‍රවාදය දරා සිටිය යුතු සියලු ආයතන දේශපාලනීකරණය වී ඇති අතර දූෂිත හා අදක්ෂ පනස් හයේ දරුවෝ ඒ ආයතන මෙහෙවති. ජාතිය බේරා ගැනීමේලා කාර්ය බහුලව සිටි අමරසේකර වැන්නෝ ජාතිය පිළිබඳ නිරන්තර ස්වයං-විචාරයක් නිපදවන්නට අසමත් වූහ. ඔවුන්ගේ ජාතිය බේරා ගැනීම ස්පීල්බර්ග්ගේ සේවින් ප්‍රයිවේට් රයන් චිත්‍රපටය සිහි කරයි: බේරාගෙන අවසාන වූ විට වටිනා කිසිම දෙයක් ඉතිරිව නැත. මේ නිසා ලංකාවේ අනාගතය තීරණය වන්නට බලපාන එක් කාරණයක් නම් අමරසේකර කාලයක් තිස්සේ අපට ඉගැන්වූ දේ අත්හැරීමට අප සමත්වන්නේද යන කාරණයයි. අප ඒ අත්හැරීම හා අමතක කිරීම කළ යුත්තේ එක්තරා කෘතවේදී හැඟීමකින්ද යුතුවය.

[ලියනගේ අමරකීර්තිගේ පහන සහ කැඩපත කෘතියෙන්]

ලියනගේ අමරකීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails