Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පෙරවදන| මේ ගත කරන නිමේෂය (ලංකාව) ආශ්චර්යාත්මකය. ආපසු හැරී බැලුවත් - ඉස්සරහ ගැන කල්පනාවේ පැටලුනත් ඒ ආශ්චර්යේම ගිලේ. අපි ඔක්කෝම සතුටින්. ඒ ආශ්චර්යාත්මක (magical) යථාර්ථයෙහි අපි අතරමං වෙමු. පශ්චාත් ගෝලීයේ රාමුවේ නූතන ලාංකීය සමාජ පද්ධතිය තුළ මානවීය සබඳතාවන්හි ද්‍රවශීලතාවයේ අගය බෙහෙවින් ඉහළය. ජංගම දුරකථන, අන්තර්ජාලය ආදී තාක්ෂණික උපකරණ පාරිභෝගිකකරණය-

වු සමාජය ඒ හා සමපාත වන්නාවු ප්‍රායෝගික දැනුමකින් සන්නද්ධ නොවීම මත යටකී සමාජ මානව සබඳතා ක්ෂණභංගූරය. තාවකාලිකය. ආදරය, ලිංගිකත්වය, ජාතිකත්වය, ආගමිකත්වය, කලාත්මක රසඥතාවය යනාදී සියල්ල එක්තරා සංස්කෘතිකමය දෘෂ්ටිවාදාත්මක බලකණු මගින් තීරණය කරනු ලබයි. අලුතින් නිෂ්පාදනය කරනු ලබයි. එමගින් ඒවා හුදු පාරිභෝගික උවමනාවන් බවට ඌනනය කොට තිබේ. පුද්ගල මනස පුද්ගලයා තුළම මනුෂ්‍යයාගේ සිට වෙනත් අමුතු ජීවියෙකු බවට පරාරෝපණය වී ඇත.

56 න් තීරණාත්මක ලෙස අභිවර්ධනය වු සිවිල් සමාජය තුළ සිංහල අධිපතිධාරී කතිකාව හා 77 න් පසු ලාංකේය සන්දර්භය තුළ සිදුවු ප්‍රමාණාත්මක ධනේෂ්වරකරණය සමග ඇතිවු ගුණාත්මක බවින් අවප්‍රමාණය වු ''විපර්යාසය'' මේ පටලැවිල්ලේ තීරණාත්මක රෝපණිය අවස්ථාවන් යැයි සිතේ. තමාගේ පන්තියට අයත් දෘෂ්ටිවාදීමය උපකරණ මත ආධිපත්‍යය රඳවාගැනීමට නොහැකි වු විට කිසිදු පන්තියකට රාජ්‍ය බලය දීර්ඝ කාලයක් රඳවාගත නොහැකිය යන අල්තූෂරියානු විග්‍රහය මගින් එකී තත්වය තවදුරටත් අපට පැහැදිලි කරගැනීමට පහසුය. රාජ්‍ය ව්‍යුහය තුළ පුද්ගලයා ආයතනගත වීම - මෙසේ ආයතනගත වීම තුළ ආයතනගත පුද්ගල සබඳතා මගින් පුද්ගල විඥානය වෙනස් තැනකට විස්ථාපනය කිරීම මගින් බලය තහවුරු කරගැනීමට තල්ලුවක් සපයයි.

එක්පැත්තකින් රාජ්‍ය ආයතනික ව්‍යුහයත් (පාසල, විශ්වවිද්‍යාලය ද ඇතුලුව), ආගමත් රාජ්‍ය බලය තහවුරු කරගැනීම උදෙසා උපකරණ හැටියට ඓතිහාසිකව ක්‍රියාත්මක වෙයි. රාජ්‍ය බල ව්‍යුහයේ පැවැත්ම තහවුරු කරගැනීම උදෙසා තම දෘෂ්ටිවාදීමය උපකරණ මගින් උපරිම ඵල නෙලාගන්නට බල කණ්ඩායම් දරන්නාවු නිරන්තර අරගලය පෙන්වන හොදම කැඩපත වන්නේ ''ජනමාධ්‍යයි.'' විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍යය මෙහි පුරෝගාමීත්වය දරයි. එමගින් විසුරුවා හරිනු ලබන වැඩසටහන් සියල්ලක්ම පාහේ මේ ප්‍රචාරකවාහක ගුණය විද්‍යමාන කරන නමුත් පවතින ගෝලිය ලිබරල් ආර්ථීකය යටතේ අමුතු ජීවියෙකු බවට පරාරෝපණය වු පුද්ගල මනසත් සීමාන්තික ආගමික නැඹුරුවත් තුළ මෙය සාමාන්‍ය දැනුම බවට ස්වීයකරණය වෙමින් සොබාවිකකරණය වී ඇත. විශේෂයෙන්ම පරිභෝජනවාදී කලාවක් නිපදවා පුද්ගල සන්තානය අවිඥානික කොට/සිරගත කොට තම දෘෂ්ටිවාදීමය හරයන් සම්මුතිගත කොට ගැනීම උදෙසා අති සූක්ෂම ලෙස අපේ දෑස් කඩතිර බැඳ දක්කාගෙන යනු දකින අපිද අපේ හෘද සාක්ෂියට දොරගුළුලාගෙන ඔල්වරසන් නගමින් අපේ අවසානයම රසවිඳිමින් සිටින්නෙමු.

නව ලිබරල්වාදී පරිභෝජනවාදය තුළ අප වහා අපේ පුද්ගලභාවයන් වෙනස් ආස්ථානයක් කරා විතැන් කොට නොගන්නේ නම් ලංකාවේ අප ගත කරන මේ ''නිමේෂය'' එන්න එන්නම ආශ්චර්යාත්මක (magical) යථාර්ථයක් වනු නොවැළක්විය හැකිය. විශේෂයෙන්ම යුධ ජයග්‍රාහක උන්මාදයෙන් හා ඊනියා සුචරිතවාදයෙන් මිදෙන්නට 63 වන නිදහස භුක්ති විඳින අපට නොහැකි වීම තුළ එය වඩාත් අභාග්‍යසම්පන්න හා අභියෝගාත්මක වේ.

ඒ අභියෝගය භාර ගැනීමේදී කලාවට ඉමහත් කාර්යභාර්යක් පැවරේ. සෘජු දේශපාලනික බල ව්‍යුහය සුරකින අවිචාරවත් අධිපතිවාදී කලා භාවිතය හා එම කතිකාවන්ගෙන් විචාරශීලීව දුරස්ථ වෙමින් නව මානයක් කරා ඇස් යොමුවිය යුතු බවට අවධාරණය කරමු. මෙහිදී සහසුද්දයෙන්ම කලාව දේශපාලනයෙන් වියුක්ත කොටගෙන පරම පවිත්‍ර වු තැනකින් ''ඔන්න අපි පටන් ගමු !''යි කියන්නට අප බොළඳ විය යුතු නැත. එහෙත් තවත් එක් දෘෂ්ටිවාදයක් කරපින්නා ගත් බලකණුවක අතකොලුවක් වී එය තවදුරටත් ඔසවා තබන ව්‍යාපෘතියක කොටස්කරුවන් ලෙස ස්ථානගත නොවි කවිය, ගීතය, කෙටිකතාව, නවකතාව, චිත්‍රය, ඡායාරූපය, නාට්‍ය, සිනමාව ආදි කලාංගයන් සාවධානව ''කියවමින්'' - ''ඇහුම්කන් දෙමින්'' විචාරශීලී සමාජ කතිකාවක් ගොඩනැංවීමේ කාර්යට යම් තරමක ප්‍රමාදයකින් පසුව වුව පණ පොවන්නට වහා යුහුසුළු වෙමු. ලංකාවේ සාමාන්‍ය සමාජය තුළ දැනටමත් මෙය යම් තරමකින් ආරම්භ වී තිබීම අපට වඩාත් පහසුවකි.

ව්‍යුහගත සමාජ සම්මතයන් අභියෝගයට ලක් කිරීමටත් ඒ හරහා ස්ථාපිතව ඇති ජරාජීර්ණ වු අධිපතිවාදයන් ප්‍රශ්න කරමින් විප්ලවීය වෙනසක් උදෙසා අලුත් කතිකාවතකට දොරගුළු හැරදීමේ දී පෑනට - පින්සලට - වේදිකාවට - කැමරාවට ඇති ශක්‍යතාව අතිමහත්ය. හර්බට් මාර්කුස් කියු ආකාරයට කලාවට ලෝකය වෙනස් කළ නොහැකි බව සැබෑ වුවත් කලාවට ලෝකය වෙනස් කළ හැකි මිනිසුන් හා ගැහැණුන්ට අවශ්‍ය බුද්ධිමය ආවේශය ලබාදිය හැකි බව කියමින් මේ ලේඛනය හමාර කරමු.

කලාවත්තෙක්ක.........වෙනසක

අපට ඕනෙ කරන්නේ කලාවත්තෙක්ක වෙනසක්. ඊට ඉස්සරල අපි කලාවත්තෙක්ක ඉන්න තැන අඳුරගන්න ඕනෙ. ඒ වගේම නූතන කලාව තියෙන තැන අඳුරගන්නත් ඕනෙ. ඒ කියන්නේ ඉතා හෙමින් අපටත් නොදැනී ඒත් වේගවත් ගමනක් යන කලා ලෝකෙත්තෙක්ක විශ්වවිද්‍යාල වල සිසුන් වෙන අපි ඉන්නෙ කොතනද? ඒ හා සමගාමීද? නැත්තං ඊට සියවස් ගණනාවක් ඈතකද?

අපි මුලින්ම බලාපොරොත්තු වෙන්නෙ මේ ප්‍රශ්නෙට සාධනීය උත්තරයක්. කලාවත්තෙක්ක වෙනසක් කරන්න නම් කලාවත්තෙක්ක අපි ඉන්න තැන අඳුරගන්න ඕනෙ කියල අපි විශ්වාස කරනවා. ව්ශ්වවිද්‍යාල සිසුන් විප්ලවීයයි කියල සමාජ සම්මතතයිනෙ. කලාවෙනුත් ඒ විප්ලවීය බව අපට අවශ්‍යයි වගේම සමාජයත් ඒ විප්ලවීය බව බලාපොරොත්තු වෙනව ඇති. කලාවත්තෙක්ක.......වෙනසක මේ සුසංවාදය විසි හතරවෙනිද (2011.02.24), හවස පහට ඒටීයෙකේ (AT) පවත්තන්න අපි කටයුතු සූදානං කෙරුවේත්, ඒ සඳහා ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙන්නේත් කලාවත්තෙක්ක වෙනසක් මේ මොහොතේ අපට අවශ්‍යය හින්දමයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails