Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මාස දෙක තුනකට උඩදී පොළොන්නරුව සමීපයේ පිහිටි ස්ථානයක නටබුන් අධ්‍යයනය කර එම ස්ථානය දුටුගැමුණු මහරජතුමාගේ සටන් මධ්‍යස්ථානයක් වූ විජිතපුරය යැයි හඳුනා ගත් මහාචාර්ය අනුර මනතුංග පිළිබඳව තොරතුරු සෙවීමට මා තුළ කුහුලක් හටගත්තේය. ඒ අනුව මා එතුමා ලියූ පොතපත සොයා යද්දී 'නටබුමක් මත හිඳ ලියමි' නමින් වූ කවි එකතුව නෙත ගැටිණි. එහි වූ කෙටි කවි අතරෙහි තිබුණු එක් කවක් මගේ සිත අමන්දානන්දයට පත් කිරීමෙහි හේතු විය. එය නම් කොට තිබුණේ "සරසවි දේවී"යනුවෙනි.

එය අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ඛේදවාචකයක් කියා පාන්නකි.

සැතපුම් පණහක්
ඔබ්බෙන් උණත් කිම
ලියවිලි හදා ගත්තෝතින් නම්
කොලුවා එක වසරේ ය
ජාතික පාසලක
ලබ්බක්වත් නො දත්තාට
කිම ඇති කාරිය
ලියවිලි හදා ගත්තෝතින් නම්
මහැදුරුකම අතේ ය
සරසවියක
(නටබුමක් මත හිඳ ලියමි, අනුර මනතුංග, 43 පිටුව.)

උසස් යැයි කියන පාසලක පළමු වසරට දරුවකු ඇතුළත් කිරීමට දෙමාපියන් ගන්නා උත්සාහය දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට වඩා තමන්ගේ ලොකු කම පෙන්වීමට ගන්නා වෑයමක් සේ පෙනී යන්නකි. එක වසරේ සිට බොරුවෙන් ආරම්භ කරන අධ්‍යාපන ජීවිතය විශ්වවිද්‍යාලය තෙක්ම මෙන්ම ඉන් පසුවද බොරුවෙන් හා වංචාවෙන් ගෙවා දැමීමට ඇතැමුන් ගන්නා තැත කියාපාන නිදසුන් කිහිපයක් වරින් වර මගේ නෙත ගැටි තිබුණි. මේ වංචාව හා බොරුව තව දුරටත් ගෙන යා හැකිද යන ප්‍රශ්නය මේ වන විට මතුව ඇත්තේ සරසවි ඇදුරන්ට වැටුප් වර්ධක සඳහා පර්යේෂණ වල නිරත වීම අවශ්‍ය බවට හඟක් නැගෙන බැවිනි. පර්යේෂණ යනු කවරේද යන්නත් පර්යේෂණ මගින් කෙරෙන්නේ කුමක්ද යන්නත් මෙහි ලා සලකා බැලීම වැදගත්ය.

ඒ සමගම අවධානය යොමු කළ යුතු කරුණු වන්නේ පර්යේෂණ මගින් නිර්මාණය කරන නව දැනුම බෙදා හැරීමක් සිදු වේද යන්න හා ඒ දැනුම වලංගු හා විශ්වසනීය දැනුමක්ද යන්නයි. පර්යේෂණ මගින් නව දනුමක් නිර්මාණය නොකෙරේ නම්, ඒ දැනුම බෙදා හැරීමක් සිදු නොවේ නම් එවැනි උගතුන් හා ඔවුන් සිටින විශ්වවිද්‍යාලත් කුමකටද යන ප්‍රශ්නයද ආයාසයකින් තොරව මතු කළ හැකිය. මේ සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පසුගියදා අන්තර්ජාලය අඩවි මඟින්ද ඉස්මතු කර තිබුණි. දින කීපයකට උඩදී පොත් දොරට වැඩුමක මූලාසනය ගනිමින් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් කළ ප්‍රකාශයක්ද මේ හා සම්බන්ධ කළ හැකිය. උන්වහන්සේ පැවසුවේ අද ආචාර්ය උපාධි ලැබූවන් තැන නොතැන සිටියත් රටේ සංවර්ධනයට ඔවුන් බොහෝ දෙනෙකුගෙන් අබ මල් රේණුවකවත් දායකත්වයක් ලබා ගත නොහැකි බවයි. බෙල්ලන්විල නාහිමියන් පැවසූ වචන ඇතැම් අයෙකුට අමිහිරි විය හැකි බැවින් මම ඒවා එසේම සඳහන් නොකළෙමි. කෙසේ වෙතත් මේ අයගේ පර්යේෂණකාමය හෙළි කරන නිදර්ශණ නම් කොතෙකුත් හමු වන නිසා උන් වහන්සේ පැවසූ වචන ඒ ආකාරයෙන්ම පිළිගන්නට අපහසුවක් නොමැත. සති අන්තවල පැවැත්වෙන එම්.ඒ.පන්ති වලට සහභාගීවන විශාල පිරිස් වලින්ම පෙන්නුම් කෙරෙනුයේ විශ්වවිද්‍යාල විවිධ රැකියා සඳහා සුදුසුකම් වශයෙන් පිළිගත හැකි සහතික නිකුත් කරන තැනක් වී තිබීමයි.

මේ තත්ත්වය තේරුම්ගත් සුඟ පිරිසක් හෝ සිටීම නිසා අපට සැනසුම් සුසුම් හෙළීමට ඉඩ ලැබී තිබේ. අඩසියවසකට පමණ පෙර පළ වූ විශිෂ්ට ශාස්ත්‍රීය සඟරාවක් වූ සංස්කෘති සඟරාව යළි අරඹා පවත්වා ගෙන යන විද්වත් පිරිස එයින් එක් කොටසකි. පසුගියදා නිකුත් වූ සංස්කෘති සඟරාවට මහාචාර්ය සසංක පෙරේරා ලියූ ලිපියක මේ තත්ත්වය සාකච්ඡා කර තිබුණි. උසස්වීම් ලබාගැනීමට විවිධ ''සූස් කට්ටකම්'' කරන අය හා එබඳු කට්ටකම් ගැන ඒ ලිපියේ කරුණු දක්වා තිබුණි. විවිධ ''උපහාර කලාප'' පළ කිරීමත් "ඇබ්ස්ට්‍රෑක්ට්" ලියමින් ලකුණු රැස් කිරීමත් එයින් අංග දෙකකි. ඇබ්ස්ට්‍රෑක්ට් එකක් යනු පර්යේෂණයකට එළඹුම හා එහි ප්‍රතිඵල පිළිබඳ සාරාංශයක් විනා පර්යේෂණයක් නොවේ.ඇබ්ස්ට්‍රෑක්ට් ලියූවත් එතැනින් එහාට අධ්‍යයනය කිරීම අවශ්‍ය නොවන්නේ අරමුණ පර්යේෂණය නොව ලකුණු රැස් කිරීම බැවින් එයින් එහාට යෑම අවශ්‍ය නොවන බැවිනි.මේ අන්දමට ඇබ්ස්ට්‍රෑක්ට් මඟින් උසස් වීම් ලබන අය ''ඇබ්ස්ට්‍රෑක්ට් ප්‍රොපෙසර්ලා''ලෙස ප්‍රසිද්ධ වී සිටිනබවද මහාචාර්ය සසංක පෙරේරා සඳහන් කරයි.

මහාචාර්ය තනතුරට උසස් කිරීම සඳහා කථීකාචාර්යවරුන් විසින් කරන ලද පර්යේෂණ හා ශාස්ත්‍රීය ප්‍රකාශන අගය කිරීමට ලක් කරනු ලැබේ. සහකාර කථීකාචාර්ය තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය තනතුරට යෑම සඳහා සමත් විය යුතු එම්. ඒ. හෝ පී.එච්. ඩී.පශ්චාත් උපාධිය සඳහා කෙසේ හෝ පොතක් ලියා ඉදිරිපත් කරන ආචාර්යවරුන් බොහොමයකගේ එම්. ඒ. හා පී.එච්. ඩී. නිබන්ධන කිසි දාක මිනිස් ලොව එළිය දකින ඒවා නොවේ.වි භාග අවශ්‍යතාව සඳහා ඉදිරිපත් කරන මෙවැනි ඇතැම් පොතක් මුද්‍රණය කිරීමට තබා පුස්තකාලයක තැන්පත් කිරීමටවත් සුදුසු නොවන අවස්ථා පිළිබඳවද වාර්තා වෙයි. එහෙත් මහාචාර්ය තනතුරට උසස් වීම සඳහා බොහෝ දෙනෙක් තමන් ලියූ පශ්චාත් උපාධි නිබන්ධනයේ පරිච්ඡේද කිහිපය වෙන වෙනම පොත් වශයෙන් පළ කරවා ගනිති. මේවාද පළ කෙරෙන්නේ පිළිගත් ප්‍රකාශන ආයතන මාර්ගයෙන් නො වේ.''කර්තෘ ප්‍රකාශන'' වශයෙනි. ඒවාද බොහොමයක් වෙළඳපොළෙන් මිලදී ගත හැකි ඒවා නොවේ. උසස් වීම සඳහා තමන්ගේ පරිගණකයෙන් මුද්‍රණය කර ගත් ඒවාය.මෙවැනි ඇතැම් පොතකින් මහාචාර්ය තනතුරට අවශ්‍ය ලකුණු ලබා ගැනීමටත් වඩා වෙනත් ලාබයක් උපයා ගත හැකිය. ඒ බාහිර උපාධි සඳහා නියම කරවා ගැනීමෙනි.ඇතැම් ආචාර්යවරු තමන්ගේ පොත්වල පිටකවර සටහනේ ''මේ පොත බාහිර උපාධියේ අසවල් ඒකකයට අදාළය'', ''මේ පොතේ කතුවරයා අසවල් විෂය ඒකකය බාරව කටයුතු කරයි'' යනුවෙන් වෙළඳ දැන්වීමක ස්වරූපයෙන් පළ කරවා ගනිති. සිසුන් දහස් ගණනක් සිටින උපාධි පරීක්ෂණ පැවැත්වෙන කාලයේ උපකාරක සම්මන්ත්‍රණ පැවැත්වීමත් එහිදී තමන්ගේ පොත එළිපිට අලෙවි කිරීමත් ගජ වාසි ගෙන දෙන ව්‍යාපාරයකි.

මේ පොත් කියවා බැලූ අයකුට ඒවායේ තත්වය වටහා ගත හැකිය. එහෙත් ඒවා නොකියවූ අයෙකුට ඒ ගැන හරි වැටහීමක් ලබා ගැනීම අසීරු විය හැකිය.එබැවින් ඒවායේ ගුණාත්මකභාවය ගැන යම් ඉඟියක් සැපයීම සුදුසුය.මේ ඇතැම් ආචාර්යවරයෙක් එක් වසරකදී පොත් තුන හතරක් තමන් නමින් පළ කරවා ගෙන තිබේ.පර්යේෂණාත්මක අගයකින් යුතු පොත් සම්බන්ධයෙන් පවත්නා සම්මතයක් වන්නේ හොඳ පර්යේෂණාත්මක ග්‍රන්ථයක් සඳහා අඩුම තරමින් වසර දෙකක් හෝ තුනක් ගත කළ යුතු බවයි.එහෙත් පොතකට වසර දෙකතුනක් නො ව වසරකට පොත් තුනහතරක් යන ඉලක්කයට පොත් ලියන්නකු අතින් නම් ගුණාත්මක ග්‍රන්ථයක් බිහි වනු දැකීම සිහිනයකි. විශ්ව විද්‍යාලවල තත්වය කියාපාන වැදගත් නිල ලේඛන කිහිපයක්ද මගේ ඇස ගැසිණි. ඒවා විශ්වවිද්‍යාලයන්හි තත්ව පාලන වැඩසටහන යටතේ ඒ ඒ විශ්ව විද්‍යාලය පෙර විමසුම් වලට ලක් කරමින් සම්පාදනය කළ ඒවාය. මේ තත්ව පාලන වැඩසටහන උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පාලනය කර ගැනීම සඳහා ලොව වෙනත් රටවලද ක්‍රියාත්මක වන්නක් නිසා එහිදී සලකා බැලෙනුයේ විශ්ව විද්‍යාලයක් කෙතරම් දුරට අන්තර්ජාතික ප්‍රමිතීන්ට එකඟද යන්න හෙවත් අපේ විශ්වවිද්‍යාල කෙතරම් දුරට 'විශ්ව විද්‍යාල' වන්නේද යන්නයි.මේ මට්ටම ගැන හෙළි කරන නිල ලියවිල්ලක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ප්‍රසිද්ධ කර ඇත. එය qaacouncil.lk යන අන්තර්ජාල ලිපිනයෙන්ද කියවිය හැකිය.

මෙහි කතා කරන්නේ ''ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය'' යටතේ පවත්වා ගෙන යන ''දර්ශනය හා මනෝවිද්‍යාව'' නම් උපාධි පාඨමාලාව ගැනය. මේ පාඨමාලාව වෙනම අධ්‍යයනාංශයක් බවට පත් කිරීමට ගෙනා යෝජනාව විශ්වවිද්‍යාලයේ සනාතන සභාව හා පාලක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර යෝජනාව ඉදිරිපත් කළ මහාචාර්යවරයා ඒ සම්බන්ධයෙන් නඩු මගට බැස ඇතැයි වාර්තා වෙයි. වාර්තාව මේ අපූරු උපාධි පාඨමාලාව ගැන කියන්නේ මෙවැන්නකි.

''දර්ශනය හා මනෝවිද්‍යාව යන විෂය දෙක එකට ගෙන තනි විෂයක් වශයෙන් උගන්වනු ලැබේ.මෙයින් එක් විෂයක් ඉගෙනගැනීමට අපේක්ෂා කරන ශිෂ්‍යාටද විෂය දෙකම ඉගෙනීමට සිදු වන අතර අවසානයේ ඔහුට ලැබෙන උපාධියද ''දර්ශනය හා මනෝවිද්‍යාව'' උපාධියකි. මේ විශ්වවිද්‍යාල පද්ධතියේ කිසි තැනක අසන්නට නොලැබෙන තත්ත්වයකි'' මේ පාඨමාලාව ගැන දිගින් දිගට මේ වාර්තාවේ දී විවේචනය කෙරේ.එහි පෙන්වා දෙන එක් කරුණක් වන්නේ මේ සමෝධානය පළමු වසරේ ශිෂ්‍යයන්ට දැරිය නොහැකි තත්වයක් බවයි. අනික විෂය කරුණුවල ගුණාත්මක භාවය පිළිබඳ ගැටලුවයි. ඒ වචන මෙසේය:

"PHPY 2204: Sexuality and Society does not seem to fall within either philosophy or psychology.Nevertheless, judging by the number of students enrolled (2004/5: 246, 2005/6: 293, 2006/7: 291), the course unit looks popular." zzPHPY 2204: Sexuality and Society ලිංගිකත්වය හා සමාජය යනුවෙන් නම් කොට ඇති විෂය ඒකකය දර්ශනය හෝ මනෝවිද්‍යාව යන විෂය දෙකින් එකකටවත් අයත් වන බවක් නොපෙනේ. එහෙත් ඒ විෂය ඒකකය තෝරාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පෙනී යන්නේ (2004/5 වර්ෂය: සිසුන් 246යි. 2005/6 වර්ෂය: සිසුන් 293යි. 2006/7 වර්ෂය: සිසුන් 291යි) එය 'ජනප්‍රිය' හෙවත් ශිෂ්‍යයන් වැඩි දෙනෙක් තෝරා ගන්නා එකක් බවයි."

මේ සඳහනින් පැහැදිලි වන්නේ විශ්වවිද්‍යාල ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන තැනකට වඩා ජනප්‍රිය කරුණු 'උගන්වන' තැනක තත්වයට පත්වී ඇති බවයි.දර්ශනය හා මනෝවිද්‍යාව යන විෂය දෙක සඳහා සුදුසුකම් ඇති ගුරුවරුන් නොමැති බවද ඒ වාර්තාවේ දැක්වේ. එහෙත් ''මේ විෂය දෙකටම මහාචාර්ය'' කෙනෙක්ද එහි වෙයි.එතුමාගේ නමින් පළ වී තිබෙන පොත්පත් සංඛ්‍යාව තිහකටත් වැඩිය. එක අවුරුද්දකට පොත් හතරක් බැගින් පළ කොට තිබේ. වර්ෂයකට පර්යේෂණ කෘති මෙතරම් සංඛ්‍යාවක් සම්පාදනය කළ හැකිනම් එය ආශ්චර්යකි. මෙතුමාගේ පොත් වල අන්තර්ජාලයෙන් ලබාගත් සුලබ කරුණු පරිවර්තනය කර ඉදිරිපත් කිරීමකට වැඩි දෙයක් නැත. සමහර විෂය ගැන ලියා ඇත්තේ ඒ ගැන මූලික අවබෝධයක්වත් නැතිව බව පෙනේ. එක් උදාහරණයක් නම් 2008දී පළ කළ පර්යේෂණ ක්‍රම විද්‍යාව නම් පොතයි. එය පර්යේෂණ ක්‍රමවිද්‍යාව ගැන නොව ''විද්‍යාත්මක ක්‍රමය'' ගැන ලියවුණකි. මේ මහාචාර්යවරයා මේ විෂය දෙකින් එකක්වත් අඳුනන්නේ නැති බව මෙයින් පෙනේ.

විශ්වවිද්‍යාලවල පර්යේෂණවල තත්වය හෙළි කරන නිදර්ශන කිහිපයක් පොතපත කියවද්දී මට හමුවිය. මේවා ආචාර්ය මහාචාර්යවරුන්ගේ හිස් බව හා බොල් බව මෙන්ම ඔවුන්ගේ අපරීක්ෂාකාරී බව ද පෙන්නුම් කරයි. මින් එකක් 19 වන සියවසේ යටත්විජිත ආණ්ඩුවේ සේවකයෙකුව සිටිමින් සිංහල සාහිත්‍යය ගැන ඉංග්‍රීසියෙන් ලියූ ඡේම්ස් ද අල්විස් ගැන අධ්‍යයනයකි. (නූතන සිංහල සාහිත්‍යයේ පුරෝගාමියා ඡේම්ස් ද අල්විස්) එය පර්යේෂණ ග්‍රන්ථයක් බව කර්තෘ මෙන්ම පසුවදන සැපයූ මහාචාර්යවරයාද පවසා තිබිණි. මෙහි කර්තෘ සිංහල අංශයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක බව කියා තිබුණත් ඇගේ සිංහල දැනුම ගැන ද මට සැක පහළ වූයේ අක්ෂර වින්‍යාසය මෙන්ම උක්ත ආඛ්‍යාත සම්බන්ධයද වැරැදි තැන් කීපයක්ම එහි තිබූ බැවිනි. පොත පළවීමෙන් පසුව දැක ගැනීමට ලැබුණු නිසා හෝ නැත්නම් කවුරුන් හෝ පෙන්වා දුන් නිසාදෝ ඇතැම් වැරදි තැන් 'ටිපෙක්ස්' ගා මකා පොත වෙළඳෙපොළට දමා තිබූ බව පෙනී ගියේය. එහෙත් එහි ආ කරුණුවල වැරදි නම් ''ටිපෙක්ස්'' ගා මැකිය හැකි ඒවා නොවේ. එක් උදාහරණයක් නම් "සිදත් සඟරාවට" බටුවන්තුඩාවේ පඬිතුමා කළ සන්නසක් ගැන එහි සඳහන් වීමයි. මෙය එකම ඡේදයේ දෙපොළකම එන නිසා මුද්‍රණ දෝෂයක් විය නොහැකිය. සන්නසක් යනු රාජ මුද්‍රාව තැබූ ලියවිල්ලකි. එවැන්නක් දෙන්නේ රජු විසින් ගම්වරයක් පිරිනමනු ලබන අවස්ථාවකදීය.සිදත් සඟරාවට සන්නසක් ලියුවේ ඇයි දැයි පැහැදිලි නැත.

මෙහි ආ එක් රසවත් වාක්‍යයක් පාඨකයන්ගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරමි."අල්විස් සිය පද්‍ය සාහිත්‍ය විචාරයට ක්‍රමයෙන් අවතීර්ණ වන්නේ යථෝක්ත සාහිත්‍යය පිළිබඳ හදවත පුරවා ගත් ප්‍රබල හැඟීමෙන් යුක්තවය."(107 පිටුව) පර්යේෂිකාව අල්විස්ගේ හැඟීීම් ගැන අධ්‍යයනය කරන්නේ කෙසේද?"හදවත පුරවා ගත් ප්‍රබල හැඟීම්" යනු මොනවාද? හැඟීම් ඇතිවන්නේ හදවතේ යැයි පවසන්නේ කවර මනෝවිද්‍යාඥයාගේ මතයක පිහිටාද? ඒ සියල්ලටම වඩා මෙහි ඇති ශාස්ත්‍රීය භාවය කුමක්ද?

මෙවැනි පොත් පශ්චාත් උපාධි පර්යේෂකයන්ට නම් වැදගත් වෙයි. ඒ පර්යේෂණ ග්‍රන්ථයක් නොලිය යුතු අන්දම ගැන මෙයින් උදාහරණ දැක්විය හැකි බැවිනි. පර්යේෂණයකදී ප්‍රාථමික මූලාශ්‍ර පරිශීලනය කළ යුතු යෑයි ඉගැන්වෙයි. එහෙත් මේ ලේඛිකාව තමාගේ ප්‍රස්තුතයට අදාළව හෝ ප්‍රාථමික මූලාශ්‍ර පරිහරණය නොකරන බව පෙනේ. මේ කෘතිය ඡේම්ස් ද අල්විස්ගේ සිදත් සඟරා හැඳින්වීම ගැන අධ්‍යයයනයකි. එහෙත් සිදත් සඟරා හැඳින්වීමෙහි ඡේම්ස් ද අල්විස් කියූ කරුණු ඇය ලබා ගන්නේ වෙනත් ලේඛකයන්ගේ පොත් වලිනි.මේ එවැනි එක් තැනකි."අල්විස් ද මේ පුවත ඔහුගේ සිදත් සඟරා ප්‍රස්තාවනාවෙහි ගෙනහැර දක්වන බව විමල් බලගල්ලේ පෙන්වා දෙයි."(205 පිටුව)

තවත් තැනක් නම් ඡේම්ස් ද අල්විස් බුද්ධාගම ලක් පොළෝ තලයෙන් අතුගෑවී යන බව කියන තැනයි. කතුවරිය එය පළ වූ මුල් ස්ථානය නොදනී. තමාගේ අධ්‍යයයනයට පාදක කර ගන්නා බව කියන පොතේ එය සඳහන් වන තැන නොදන්නා ඇය ඒ සටහනට අදාළව අධෝලිපියක් දක්වමින් මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ගැන ලියූ ලිපියක එය දැක්වෙන බව පවසයි.(33-34 පිටු) තමන්ගේ මූලික අධ්‍යයනයට ලක් වන පොතවත් කියවා නැතිව කරන මේවා අපූරු පර්යේෂණය.

මේ නිබන්ධනය සමෝධානය කරන අන්දමද අපූරුය. මෙන්න ඡේම්ස් ද අල්විස් ගැන ඇගේ නිගමනය:

''ශත වර්ෂ එකහමාරක් ගතවී ඇතත් වත්මන සාහිත්‍ය අධ්‍යයනයකදී කවර හෝ පාර්ශ්වයක් නියෝජනය කරන මහඟු මූලාශ්‍රයක් ලෙස අල්විස් තවමත් ජීවමාන බව සඳහන් කළ යුතුය.'' මේ කියන ''කවර හෝ පාර්ශ්වය'' කුමක්ද? මෙය ශාස්ත්‍රීය නිගමනයක් වන්නේ කෙසේද? ඡේම්ස් ද අල්විස්ගේ දායකත්වය නූතන සාහිත්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ අධ්‍යයනයකදී නිශ්චිතව දක්වා ලීමට නොහැකි නම් මේ පර්යේෂණය කළේ කුමක් අරබයාද? මේ ප්‍රශ්න පාඨකයකු වශයෙන් මා හට ඇති ඒවාය.

මේ ලංකාවේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රීය තත්වයේ දැන් පවතින මට්ටමයි.මේ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වීම නිසා විශාල සිවිල් තත්වයක්ද හිමි වෙයි. ඒ නිසා මාධ්‍යවලින් ශිල්ප දැක්වීමටද මං විවර වෙයි. ඒවායේ ස්වභාවයද අපට විටින් විට දැක ගත හැකිය.ඇතැම් ආචාර්යවරු තමන්ගේ විෂය අනන්‍යතාව සොයා ගත නොහැකි තරමට බහුවිෂයීක වී සිටිති. නවකතා, කවි, ගීත, දෘශ්‍ය කලා, සෞන්දර්යය, සන්නිවේදනය, ආගම, ජාතික චින්තනය, සමාජ විද්‍යාව, අපරාධවිද්‍යාව හා මානවවිද්‍යාව හරහා පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාව තෙක් කවර ක්ෂේත්‍රයක වුවත් පොත් ලියන, රූපවාහිනී සාකච්ඡාවලට යන හා පොත් දොරටවැඩුම්වල දේශන පවත්වන ආචාර්යවරුන් හමු වන්නේ දැනුමට වඩා වැඩි සිවිල් තත්වය නිසා බව පෙනේ. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව හඟ නැගෙන්නේ මෙවැනි පිරිස් අතරින් විය යුතුය. එය තමන්ගේ බඩවියත රැක ගැනීමට ගෙනෙන පහසු සටන් පාඨයක් බව පෙනේ.

මා මේ ලිපිය ආරම්භ කළේ මහාචාර්ය අනුර මනතුංග මහතාගේ කවියකිනි. එහිම කොටසකක යළි උපුටා දක්වමින් මෙය අවසන් කරමි.

"ලබ්බක්වත් නො දත්තාට
කිම ඇති කාරිය
ලියවිලි හදා ගත්තෝතින් නම්
මහැදුරුකම අතේ ය
සරසවියක"

ආරියනන්ද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails