Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තිස් වසරක යුද්ධය අවසන් වීමත් සමගම සංවර්ධනයේ නව බලාපොරොත්තු දැල්වී ඇත. දේශපාලන අධිකාරිය ප්‍රකාශ කරන්නේ මෙහි ප්‍රතිඵල භුක්තිවිදීමට ශ්‍රි ලාංකීය ජනතාවට අවකාශය සළසාදෙන බවයි. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟින් ලංකා‍ව ආසියාවේ ආශ්චර්යය බවට පරිවර්තනය කිරිමට යන වග ආණ්ඩුව දැනටමත් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ වි ඇති බව සැබෑවකි‍.

මෙය යථාර්තයක් බවට පත් කිරීමට ගෙන යන වැඩ පිළිවෙල පිළිබඳව විමර්ශනය කිරීමට සුදුසු යැයි තීරණය කළේ ඒ අනුවය. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලාංකිය ඉදිරි අනාගතය සැකසීමේ ත්‍රිපිටකය යැය පැවසිම සාවද්‍ය නොවේ යැයැ සිතමි. ජනාධිපති තුමන් එහි ඉදිරිපත් කරන ප්‍රධාන කරැණු කීපයක් පිළිබදව මුලින්ම අවධානය යොමු කරමු. ශ්‍රී ලාකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරිමට අවශ්‍ය මහා පරිමාණ ආයෝජන දැනටමත් සිදු වෙමින් පවතී. ඒ අතරින් හම්බන්තොට වරාය, කොළඔ මාතර අධිවේගී මාර්ගය ඇතුලු මාර්ග පද්ධතිය පුලුල් කිරීමේ ව්‍යාපෘතීන් හා බලශක්ති ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. පොදුවේ ය‍ටිතල පහසුකම් සංවර්ධන වැඩ සටහන් ලෙස මේවා සැළකිය හැකිය.

දකුණු ආසියාවේ සෙසු රටවල් සමග සංසන්දනය කිරීමේදි සීග්‍ර ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරමින් ආර්ථික වශයෙන් දියුණු වෙමින් පවතින රටක් ලෙස ලෝකය හමුවේ පිළිඹිබු කිරීමට කටයුතු කරමින් පවතී. මෙහි ප්‍රතිථලයක් ලෙස ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස උසස් වීමක් ද ලබා ඇත. 8% වැඩි දළ දේශීය නිෂ්පාදිත‍ෙය් වර්ධනයක් අපේක්ෂා කරන ආණ්ඩුව 2016 වසරේ දී ඒක පුද්ගල දළ ජාතික ආදායම දෙගුණයක් බවට පත්කිරීමයි. තවද ශ්‍රී ලංකාව "ගෝලීය පංච මහා කේන්ද්‍රය" (Global Hub), ආර්ථික, නාවුක, ගුවන් සහ දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට ද සැලසුම් කර ඇත.

මෙම අරමුණු ඉටුකරගැනීම සඳහා ඉහතින් ද සඳහන් කල පරිදි මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින් සිටී. මෙහි ප්‍රතිථල ක්ෂනිකව නොලැබෙන බව අවිවාදයෙන් පිළිගත යුතුය. එහෙත් මෙවන් කාර්යයන් සඳහා යොදවන ආයෝජන, විදේශ ණය ආධාර සහ ආර්ථික සැලසුම් සහ ප්‍රතිපත්තීන් ආසිය‍ාවේ ආශ්චර්ය බවට පත්කිරීමට පිටිවහලක් වන්නේ ද පිළිබඳව නැවත වතාවක් හැරී බැලිය යුතුය.

ඒක පුද්ගල ආදායම 2016 වසර වන විට ඇමරිකානු ඩොලර් 4000 සීමාවට ලගාවීමට නම් 10% පමණ ආර්ථික වර්ධනයක් අඛන්ඩව පවත්වාගත යුතුය. මෙලෙස වේගවත් ආර්ථික වර්ධනයක් පවත්නා චීනය හා ඉන්දියාව වැනි රටවල් දෙස බලන විට ඒ සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක කරුණු වල පවත්නා ගැටළුකාරී ස්වභාවයන් දැකගත හැකිවේ. ශ්‍රී ලංකාව 2007, 2008 සහ 2009 යන වසර වල පිළිවෙලින් 6.8% , 6.0% , 3.5% ක ආර්ථික වර්ධනයක් අත්කර ගන ඇත. චීනය සහ ඉන්දියාව ඉහල ආර්ථික වර්ධනයක් ලබාගැණිම සඳහා ආයෝජන දල දේශිය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) 40% ප්‍රතිශතයක අගයකට වර්ධනය කර ඇත. ආයෝජන සඳහා අවශ්‍ය ඉතුරුම් අනුපාතය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 30% කට ආසන්න අගයකට පවත්වාගන යයි. අනෙකුත් ආයෝජන, ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමෙන් සිදුකරයි. නමුත් ශ්‍රී ලංකාවේ ආයෝජන මට්මම ද.දේ.නිෂ්පාදනයෙන් 25% ක අගයක් ගන්නා අතර ඉතුරුම් 18% ක පමණ අගයක් ගනී. මහ බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි 2009 වසරේ ආයෝජන ද.දේ. නිෂ්පාදිතයේ 24.5% ක් සහ ඉතුරුම් 23.9% ක අගයක් ගෙන ඇත. 8% ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට මෙම ආයෝජන අගයන් 40% ක පමණ අගයකට ගෙන ආ යුතුය. ඒ සඳහා එක් විසදුමක් ලෙස විදේශ ආයෝජන ආකර්ෂණය අතින් ශ්‍රී ලංකාව ඉතා පහල මට්ටමක් උසුලයි. සෙසු රටවල් සමග සංසන්දනය කිරීමේ දී මේ බව මනාව පැහැදිලි වේ. 2009 ලෝක ආයෝජන වාර්තාව අනුව ඍජු විදේශ ආයෝජන ආකර්ෂනය අතින් චීනය ඉදිරියෙන් ම පසුවේ. එය ඇමරිකානු ඩොලර් බිලියන 108.3 කි. ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 41.6 හා සමාජවාදී මුහුණුවරක් ගන්නා වියට්නාමය ද ‍ඇමරිකානු ඩොලර් බිලියන 8.1 ක අගයක් ගනී. නමුත් ශ්‍රී ලංකාවේ එය ඇමරිකානු ඩොලර් බිලියන 0.8 කි. මේ අනුව විදේශ ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ පවතින ආර්ථිකමය ස්වභාවය මනාව පිළිඹිබු වේ. මෙය තවදුරටත් 2009 වසරේ ව්‍යාපාර කිරීමේ දර්ශකය (Doing Business Index) විමර්ශණය කිරීමේ දී පෙනේ. මෙහි ප්‍රථම ස්ථානය සංගප්පූරුවට හිමිවී ඇති අතර ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 102 වැනි ස්ථානයයි. එහිදී ව්‍යාපාර ආරම්භ කිරීම, ව්‍යපාර සඳහා අවසර ගැනීම, දේපල ලියාපදිංචි කිරීම සහ ආයෝජකයන්ට සපයන සුරක්ෂිතතාව අතින් ඉතා දුර්වල ස්වභාවයක් පෙන්නුම් කරයි. මේ නිසා අප බලාපොරොත්තු වන ආර්ථික වර්ධනයට ලගාවීමට අවශ්‍ය ආයෝජන මට්ටමට ලගාවීමට ගැටළු පවතින බවයි.

මීට අමතරව රාජ්‍ය ආදායම වර්තන වියදම් (දෛනික) පියවා ගැනීමටද ප්‍රමාණවත් නොවේ. 2009 මහ බැංකු වාර්තාවට අනුව රාජ්‍ය ආදායම රුපියල් මිලියන 702,644 වන අතර වර්තන වියදම් සදහා පමණක් රුපියල් මිලියන 879,575 ක් වේ. එම වියදම් පියවා ගැනීමට ද ණය ආධාර ගැනීමට සිදුවී ඇත. සියළුම ආයෝජන ණය ගැනීම් සහ ආධාර මත තීරණය වේ. රාජ්‍ය අයවැය හිගය රුපියල් මිලියන 473,361 ක් වේ. ද.දේ. නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය අයවැය හිගය 9.8% කි. වර්තන වියදම් වලින් විශාල ප්‍රමාණයක් වැටුප් ගෙවීම් සහ ණය සඳහා වූ පොලී ගෙවීම් සඳහා වැය වේ. එය පිළිවෙලින් රුපියල් මිලියන 271,229 ක් හා 309,675 ක අගයක් ගනී. ද.දේ. නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම 14.6, වර්තන වියදම් 18.2, වැටුප් ගෙවීම් සඳහා 5.6 හා පොලී ගෙවීම් සඳහා 6.4 ක අගයක් ගනී. මේ හේතුවෙන් විශාල වශයෙන් ණය ආධාර ගැනීමට සිදුවේ. ඒ අනුව පොලී ගෙවීම් සඳහා වැය වන මුදල් ප්‍රමාණය ද වර්ධනය වේ. මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ප්‍රමාණයට ආසන්න මට්ටමක් ගනී. එය ද.දේ.නිෂ්පාදිතයෙන් 86.2% ක මට්ටමක් දක්වා වර්ධනය වී ඇත. සරල උදාහරණයක් ලෙස කුඩාම සමාජ ඒකකය වන කුටුම්භයක් (සරලව පවුලක්) ගෙන පැහැදිලි කරන්නේ නම් පවුලක් එදිනෙදා කටයුතු කරගන යාමට මුදල් ණයට ගැනීමට සිදුවුවහොත් කාලයක් යාමේදී ඔවුන්ට අත්වන ආර්ථිකමය ප්‍රතිවිපාක අමුතුවෙන් පැහැදිලි කලයුත නැත. මෙලෙස විග්‍රහ කිරීමේදී රාජ්‍ය මූල්‍ය පද්ධතියේ ව්‍යූහාත්මක වෙනස්කම් සිදුකිරීමට අව්‍යය බැව් පෙනේ. රාජ්‍ය මුදල් අයථා ලෙස යොදා ගැනීම් අවමකිරීමට පියවර ගත යුතුය. එසේ නොවුනහොත් බලාපොරොත්තු වන මට්ටමේ සංවර්ධන ප්‍රතිඵල අත්කර ගත නොහැකිවේ.

ඉන්දියාව සහ චීනය ලෝකයේ පිබිදෙමින් එන යෝධ ආර්ථිකයන් බවට පත්ව ඇත. නව කර්මාන්ත සහ සේවා අංශයේ ආයෝජනයන් වැඩිකරමින් ආර්ථිකයේ ව්‍යූහාත්මක වෙනස්කම් සදහා අවකාශ විවර කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික සංයුතිය ගතහොත් ද.දේ.නි. සඳහා කෘෂි අංශය 12%, කාර්මික අංශය 28% ක් සහ සේවා අංශය 60% කින් දායක වේ. නමුත් මෙම අංශ වල සේවා න්‍යුක්ති අනුපාතය ගතහොත් කෘෂි අංශ‍යේ 32%, කාර්මික 26% සහ සේවා අංශය 42% ක් වේ. මේ අනුව සේවා න්‍යුක්තිකයන් 32% දායක වන්නේ ආර්ථිකයේ 12% ක් සඳහා පමණි. එනම් කෘෂි අංශයේ ඵලදායිතාව පිළිබදව නැවතත් සිතා බැලිය යුතුය. තවද කෘෂි අංශයේ නියුතුවන්නේ බොහෝ සෙයින් ග්‍රාමීය ජනතාව වන අතර ඔවුන්ගේ ජීවන තත්වය වර්ධනය වීම හීනවීමට ඵලදායිතාවය අඩුවීම හේතුවී ඇත. මෙම සේවා න්‍යුක්තිකයන්ට කර්මාන්ත හා සේවා අංශයන්හි රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වේ. මන්දයත් ආර්ථික වර්ධනය වේගවත් රටවල් දෙස බැලීමේ දී ඔවුන් ප්‍රාරම්භක අවධියේ කෘෂි අංශයේ වර්ධනයට අවධානය යොමුකර ක්‍රමයෙන් එය කර්මාන්ත හා සේවා අංශ සඳහා ව්‍යාප්ත කිරීමයි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කිරීම ආර්ථික වර්ධනය සඳහා කටයුතු කරන පාර්ශවයන්ගේ වගකීම වේ.

1960 වසරේදී දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව ඒක පුද්ගල ආදායම අතින් සමාන අගයක් ගෙන තිබුණි. එය ඇමරිකානු ඩොලර් 152 ලෙස සටහන් විය. නමුත් 2005 වන විට දකුණු කොරියාව 15,380 ක් ලෙසත් ශ්‍රී ලංකාවේ 1241 ක් ලෙසත් පවතී. දකුණු කොරියාව අනුගමනය කල ආර්ථික සැලසුම් සහ ව්‍යුහාත්මක වෙනස්කම් තුලින් වේගවත් ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් අද වන විට ශක්තිමත් ආර්ථිකයන් බවට පත්ව ඇත. වෙනත් රටක ක්‍රියාත්මක කල ප්‍රතිපත්ති හා සැලසුම් අප රටට එලෙසම අදාල නොවන අතර එලෙසම අදාල කරගත යුතුද නැත. නමුත් අවශයෙන්ම කලයුතු වෙනස්කම් පවතී. ඉහතින් සදහන් කල ව්‍යුහාත්මක වෙනස්කම් වලට අමතරව මානව සම්පත සාක්ෂරතාව අභිබවාගිය කුසලතා සහ දක්ෂතා වලින් පිරිපුන් ප්‍රාග්ධන සාධකයක් බවට පත්කල යුතුය. යුද්ධය අවසාන වුවද මේ සඳහා වන පැහැදිලි වැඩපිළිවෙලක් තුලින් පමණක් බලාපොරොත්තු වන ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීම බලාපොරොත්තුවක් පමණක් නොව යථාවක් බවට පත්වනු ඇත.

චමීර පසන් මාරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails