Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



‍ෆේස් බුක් එකෙන් බ්ලොග් අඩවි වලින් ඇරඹි නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන ඊජිප්තුවේ ජනතා විප්ලවය දහ අටවන දිනයේ දී සිය පලමු ජයග්‍රහණය වාර්තා කලේ ය. වසර තිහක් යකඩ හස්තයකින් රට පාලනය කල අතිශය ප්‍රබල පාලකයෙකු ලෙස ලෝකය හඳුනා ගෙන සිටි හුස්නි මුබාරක් ට අවසානයේ ඉල්ලා අස්වීමට සිදු විය. සිය දහස් ගනනක ජනයාගෙන් වැසුනු කයිරෝවේ නිදහස් චතුරස්‍රය බැරැක් ඔබාමාට මෙසේ පවසන්නට බල කර තිබිණ. අපේ දෑස් අබිමුව ඉතිහාසය දිගහැරෙමින් තිබේ. අසිරිය වන්නේ මිලියන ගනන් ජනයා වීදි බැස්සේ නිශ්චිත නායකයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක මෙහෙයවීමෙන් තොරව වීම යි. එසේ වුවත් ජනවාරි 25 වන දින වීදි බැසීම යෝජනා කරමින් ෆේස් බුක් හා ට්විටර් ඔස්සේ එය සංනිවේදනය කිරීමේ මූලිකත්වය ගන්නේ අප්‍රේල් 6 තරුණ සංවිධානයයි. එයට අමතරව නිදහස වෙනුවෙන් හඩ නඟන ජනයා පිරි වීදි වලින් නායකයන් හා සංවිධාන බිහි වෙමින් තිබෙන බව වාර්තා විය.

පසුගිය වසර දහය තුල ලෝකයේ ඇති වූ ජන නැගිටීම් වර්ණ වලින් නම් කෙරිනි. ඒ අදාල ජනයා මෙහෙය වූ දේශපාලන පක්ෂයේ පාටිනි. උදාහරණ ලෙස 2009 වසරේ දී වර්තමාන ඉරාන ජනාධිපතිට එරෙහිව එරට මැතිවරන දූෂිත බව කියමින් වීදි බට ජනතාව කොල පාට විප්ලවය ලෙස ද 2004-05 කාලයේ යුක්රේණයේ ජන නැගිටීම් තැඹිලි පාට විප්ලවය ලෙස ද නම් කෙරින. 2011 දී අප ටියුනීසියාවෙන් හා ඊජිප්තුවෙන් දකින්නේ මීට වෙනස් තත්වයකි. එනම් පක්ෂය, ආගම, ස්ත්‍රී පුරුෂභාවය, වයස හෝ සමාජ තත්වය අනුව නම් කල නොහැකි සමාජයේ පැහැදිලි හරස් කඩක් පෙනෙන්නට තිබීමයි. එනිසා වසර ගණනක් පුරා වාමාංශික සංවාදයන්ගේ මූලික ගැටලුවක් වූ විවිධ අනන්‍යතාවයන් සහිත මිනිසුන් එක් අරමුණක් වෙනුවෙන් එකට එකතු කරන්නේ කෙසේ ද යන්නට අද විවිධ අනන්‍යතා සහිත මිලියන ගණනක ජනයා ගෙන් පිරි ටහ්රීර් චතුරස්‍රය අභිමුඛ වී ඇත. එසේම නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වීයත්වයට නව යුගයේ ඩිජිටල් පරම්පරාව අභිමුඛ වී ඇත.

පරිගනකය හා අන්තර්ජාලය සේම ෆේස් බුක් හා ට්විටර් වැනි සමාජ සම්බන්ධතා වෙබ් අඩවි ද මුල්කාලීනව වටහා ගනු ලැබුවේ මිනිසා වඩ වඩාත් ආත්ම වාදී අයිස් වතුරෙහි ගිල්වන මාධ්‍යයන් ලෙස යි. ඒ වටහා ගැනීම යුක්ති සහගත කල හැකි සාක්ෂි ද එලිපිටම පෙනෙන්නට තිබුනි. මිනිසා තවත් මිනිසෙකු ඇසුරු කරනු වෙනුවට හයිපර් යථාර්ථවාදී අවකාශයක් තුල අධි යථාර්ථවාදී සබඳතා ජාලයක පැටලී ඇති බවට සමාජ විද්‍යාඥයන් මැසිවිලි නඟමින් සිටිය හ. පොදු ජන අවකාශයන් සීඝ්‍රයෙන් ඛාදනය වී යාමේ අනතුරු ඇඟවීම් සංඥා ද අසන්නට ලැබිණ. මේ සියල්ල පදනම් සහගත නිරීක්ෂනයන් බවට කිසිදු සැකයක් නැත. නමුත් ඉහත සඳහන් කල ටියුනීසියාවේ හා ඊජිප්තුවේ ජනතා නැගිටීම් පසුබිමෙහි අන්තර් ජාලයේත් ෆේස් බුක් ට්විටර් හා බ්ලොග් අඩවි වලත් ක්‍රියාකාරිත්වය කෙතරම් රැඩිකල් වී ද යත් ඒවා "ෆේස් බුක් හා ට්විටර් රෙවලූෂන්ස්" ලෙස නම් කරන්නට පවා සමහරු එඩිතර විය. තොරතුරු තාක්ෂණයේ හා එහි උපාංග වල දියුණුව විසින් උරුම කර දී ඇති මෙම එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත දෙක අප වටහා ගන්නේ කෙසේ ද? එක් අතකින් එය මිනිසාට හුදෙකලා ආත්මවාදී සිරකුටියක අපහසුවකින් තොරව පැවතීමට ඉඩ ලබා දෙයි. අනෙක් අතින් සාමූහික මිනිස් නිදහස වෙනුවෙන් හඩ නඟන පොදු ජන විප්ලව මහ පොලොව මත නිර්මානය කරයි.

මිනිස් ශිෂ්ටාචාරය ඓතිහාසිකවාදී ආකාරයට නරඹන විට පෙනෙන තීරණාත්මක හැරවුමක් වන්නේ කාර්මික ධනවාදය හා නූතනත්වයේ ආගමනයයි. මේ ව්‍යාපෘතීන් දෙක එකක් අනෙක පෝෂනය කරමින් යුරෝපා සමාජය තුල වර්ධනය වීම ආරම්භ වන්නේ දහ අටවන සියවසේ අගභාගයේ සිට යි. මේ ව්‍යාපෘතීන් වල බලපෑමට ලංකාව ඊජිප්තුව වැනි රටවල් ලක්වන්නේ යටත් විජිත කරනයේ ගොදුරක් වීමේ ප්‍රතිපලයක් ලෙස යි. මේ ව්‍යාපෘතීන් දෙකම දෙආකාරයකින් පූර්ව නූතන සමාජයේ සාමූහික බැඳීම් දිය කර හරින්නට විය.

කාර්මික ධනවාදයේ වර්ධනය විසින් මිනිසා එතෙක් රැඳි සමාජ සාමූහිකයෙන් ගලවා හුදු ශ්‍රමිකයෙක් ලෙස සමාජයට මුදා හරින්නට වූ අතර නූතනත්වයේ ව්‍යාපෘතිය එම පැරණි සාමූහිකයන් හි පදනම් තාර්කිකව බිඳ දැමී ය. සරල උදාහරණයකින් මෙය පැහැදිලි කර ගැනීමට යටත් විජිත කරනයට පෙර ලාංකීය ගමක බෙරවා කුලයේ පවුලක තරුණයෙකු ගැන සිතන්න. ඔහු ගේ ජීවිතය කිසියම් පාරම්පරික සිරිත් විරිත් සමුදායකින් හා ඥාතිමය බැඳීම් මාලාවකින් තීරණය වී ඇත. ඔහුට ඔහු ගැන සිතන්නට ඇති සීමාව එමගින් සලකුණු කර ඇත. ඔහු යමක් කරන්නේ සමහර විට එය පරම්පරා ගත සිරිතක් වන බැවිනි. එය ප්‍රශ්න කල නොහැකි ය. අවසාන අර්ථයෙන් මගේ ජීවිතය මෙසේ වී ඇත්තේ ඇයි දැයි ඔහු සිතුවොත් ලැබෙන පිලිතුර කර්ම විපාකය වැනි එකක් විය හැකි ය. බටහිර දී නම් එය දෙවියන්ගේ කැමැත්ත යි. මේ තරුණයා එම සාමූහිකයේ ඇලුනු ජීවියෙක් වන අතර එම සාමූහිකය ලෞකික නොවන කේන්ද්‍රයකින් (එනම් කර්මය හෝ දෙවියන්ගේ කැමැත්ත වැනි) පාලනය වෙයි. නූතනත්ව ව්‍යාපෘතිය විසින් සිදු කරන ලද්දේ මෙම ලෞකික නොවන කේන්ද්‍රය හේතුව මඟින් දිය කර හැරීමයි. එනම් ඔහුට ඔහුගේ ජීවිතය ප්‍රශ්න කල හැකි ය. එය වෙනස් කල හැකි ය යන්න ස්ථාපනය කිරීමයි. මෙය සිදුවන්නේ අධ්‍යාපනය පුලුල්ව සමාජ ගත වීමල මුද්‍රණය ප්‍රචලිත වීම ආදී වූ ක්‍රියාන්විතයන් ගේ ප්‍රතිපල ලෙසයි. එම ක්‍රියාන්විතයන් ඔස්සේ විද්‍යාව හා දර්ශනය විසින් ගොඩනඟන ලද නව දැනුම සමාජය තුල විසරනය විය.

එසේ ම හේතුවේ නියාමයන්ට අනුව දේවල් නැවත සකස් කිරීම ද ඇරඹෙයි. රෝහල්, බන්ධනාගාර, උම්මත්තකාගාර, නීති පද්ධති, පාසල්, විශ්ව විද්‍යාල මේ සියල්ල සහ අවසාන අර්ථයෙන් ජාතික රාජ්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදීව පාලකයන් තෝරා ගැනීම දක්වා දියත් වන්නේ මෙම ව්‍යාපෘතියයි. රජු යනු දෙවියන්ගේ නියෝජිතයායි. එනිසා ඔහුගේ බලය ප්‍රශ්න කල නොහැකි ය. දෙවියන් දිය වී ගිය පසු රජෙක් යනු හිස් රූකඩයකි. බලය ජනතාව සතු වන අතර එම බලය විසින් කලින් කලට පාලකයන් තෝරා පත් කර ගත හැකි ය. එම පාලකයන් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු නොකරන විට පලවා හැරි ය හැකි ය. මේ සියල්ල මෙසේ සිදු වන්නේ හේතුව හා තාර්කිකත්වය මගින් පාලනය වන නිසා ය.

මෙම නූතනත්වයේ ශික්ෂණ ව්‍යාපෘතිය තුල දී සිදුවන්නේ පෙර සඳහන් කල ලෞකික නොවන සාමූහිකයේ ඇලුනු මිනිසා එයින් ගලවා දැමීම යිග පුද්ගලත්වය යන සුවිශේෂ ප්‍රපංචය බිහි වන්නේ මෙම ක්‍රියාවලිය තුල යි. පුද්ගලයා යනු දෙවියන් විසින් පාලනය කල සාමූහිකයෙන් ගැලවුනු මනුෂ්‍යයා ය; ඔහු තමන් ගැන තීරණ ගනියි. ජීවිතය වෙනස් කල හැකි බව සිතයි. ඔහුට සුවිශේෂී වූ අශාවන් රුචිකත්වයන් ඇත. ඔහු තම දෙමාපියන් සොයා දෙන කෙනෙකු හා විවාහ නොවී තමන්ට ගැලපෙන තරුණියකට ප්‍රේම කර ඇය විවාහ කර ගනියි. වැදගත්ම කරුණ නම් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ අදහසක් තිබිය හැක්කේ පුද්ගලයෙකුට පමනක් වීම යග පුද්ගලත්වයක් නොමැති මිනිස් ප්‍රාණීන් නිදහස ගැන නොසිතයි.

කෙසේ වුවත් පුද්ගලයෙකු ආගමික විශ්වාසයෙන් සම්පූර්නයෙන් බැහැර වන බවක් මින් අදහස් නොවේ. සිදුවන්නේ ජීවිතය මෙහෙය වන කේන්ද්‍රයෙන් එය ඉවත් වීම පමණ ය. උදාහරණයක් ලෙස ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය තුල ඔවුහු දෙවියන්ට යාඥා කලහ. එහෙත් දෙවියන්ගේ කැමැත්ත මුබාරක් යැයි ඔවුහු පිලි නොගත්හ. එහි දී බහුතර ජනයා ගේ කැමැත්ත තමන්ගේ කැමැත්ත කර ගැනීමට දෙවියන්ට සිදු වී ඇත. නූතනත්වයට පසු ආගම පුද්ගල ජීවිතයට සම්බන්ධ වන්නේ ඒ ආකාරයටයි.

කෙසේ වුවත් අප ඉහත පැහැදිලි කල මෙම පුද්ගලත්වයේ ප්‍රහර්ෂය බිහි වන්නේ එහි අනතුර ද දරාගෙන යග එනම් පුලුල් ලෞකික සාමූහිකත්වයන් ගොඩ නැඟීමේ අසීරුවයි. ධනවාදයේ වර්ධනය සමඟ වැඩෙන පරිභෝජනවාදයේ උත්කර්ෂය පුද්ගල ආශාවන් හා රුචිකත්වයන් අනන්ත චලනයක රඳවයි. පුද්ගල අනන්‍යතාවය ද එයට සමගාමීව වඩා සංකීර්ණ මානයක් අත් කර ගනියි. න්‍යෂ්ටික පවුල ක්ෂුද්‍රතම ලෞකික සාමූහිකය වන අතර ඉන් එපිට පුලුල් සාමූහිකත්වයන් වඩා ලිහිල් ස්වරූපයක් ගනියි. පරිගනකය, අන්තර්ජාලය, නවීන ජංගම දුරකතන හා ෆේස් බුක් වැනි සමාජ සබඳතා වෙබ් අඩවි ද බිහි වන්නේ මෙම ඓතිහාසිකත්වය තුලම ය.

තත්වය එසේ නම් මිලියන ගනනක ජනයා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙල ගස්වන ජනතා අරගලය නිර්මානය කිරීමට අන්තර්ජාලයග ෆේස් බුක් හා බ්ලොග් අඩවි මූලිකත්වය ගන්නේ කෙසේ ද?

මෙයට ඉතා නිශ්චිත පිලිතුරක් ගොනු කිරීමට අසමත් වුවත් ඊජිප්තු අරගලයේ ජනතා ඉල්ලීම් දෙස බැලීමෙන් ඒ සඳහා මඟක් විවර කර ගත හැකි ය. ඔවුන් ඉල්ලා සිටින්නේ ඒකාධිපති පාලනයක් ගෙන යන ජනාධිපති මුබාරක් ගේ රෙජීමයට ඉවත් වීමට ය. වසර තිහක් තිස්සේ රට පාලනය කරන හදිසි නීතිය ඉවත් කිරීමට ය. ජනාධිපති වරයාට අසීමිත වාර ගනනක් පත් විය හැකි පවතින ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමට ය. මේ සියල්ල විසින් සිදු කරමින් තිබෙන්නේ පුද්ගල නිදහස මර්දනය කිරීම යි. ජනමාධ්‍ය රාජ්‍ය අතකොලු බවට පත් වීමත් විපක්ෂය හුදු අලංකාරයට ඇති සැරසිල්ලක් බවට පත් කිරීමත් මර්දනය විසින් සමාජ සංවාද ලෝකය හකුලා දැමීමත් සිදු වන මොහොතක මර්දනය කල නොහැකි සයිබර් අවකාශය ඉතිරි වෙයි. මෙහිදී සිදු විය හැකි එක් දෙයක් නම් සමාජ අවකාශයේ මර්දනය අමතක කර සයිබර් අවකාශය තුල නිදහස අත්විඳීම යි. නමුත් එයට වෙනස් ව ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ ජනතාව සයිබර් අවකාශය තුල සංවිධානය කල අරගලය සමාජ පොලොව තුල දියත් කලේ ය. පහත සඳහන් වන්නේ ඊජිප්තු අරගලය සයිබර් අවකාශය තුල සංවිධානය කිරීමට මූලිකත්වය ගත් සමාජ ව්‍යාපාරයක් පිලිබඳ කෙටි හැඳින්වීමකි.

අප්‍රේල් 6 තරුණ ව්‍යාපාරය

මෙ නමින් හැඳින්වෙන්නේ 2008 අප්‍රේල් 6 වන දින සංවිධානය කර තිබූ කම්කරු වැඩ වර්ජනයකට සහය දීමට තරුණයන් දෙදෙනෙකු විසින් සාදන ලද ෆේස් බුක් ගෲප් එකකි. මින් එක් අයෙකු වන අහමඩ් මේහර් වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකි. විකිපීඩ්යා වාර්තා කරන පරිදි මෙම වැඩ වර්ජනය දින කලු හැඳ ගෙන නිවසෙහි නතර වන ලෙස මෙම ෆේස් බුක් ක්‍රියාකාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියහ. ඒ පිලිබඳ වාර්තා ෆේස් බුක් ට්විටර් හා බ්ලොග් අඩවි ඔස්සේ සංසරණය විය.


අහමඩ් මේහර්


මේ වෑයම සමඟ තරුණයන් අතර අතිශය ජනප්‍රිය වූ මෙම ෆේස් බුක් කන්ඩායම 2009 වසර වන විට සාමජිකයන් 70000 පසු කරන ලදි. ඔවුන් තමන් හඳුන්වා දෙන විට කියා සිටින්නේ මින් පෙර කිසිදු දේශපාලන ක්‍රියාකාරීත්වයකට සම්බන්ධ නොවූ රටට ආදරය කරන තරුණ කන්ඩායමක් ලෙස යි. ඔවුන්ගේ මූලස්ථානය දැක්වෙන්නේ ඊජිප්තුවේ ඕනෑම තැනක් යනුවෙනි.

මෙම කන්ඩායමේ ක්‍රියාකාරීන් බහුතරය ඉතා හොඳින් නවීන තාක්ෂණය හැසිර වීමට දන්නා තරුණ තරුණියන් ගෙන් සමන්විත ය. අහමඩ් මේහර් පසුගිය දිනක අල් ජසීරා රූපවාහිණියට කියා සිටියේ ඔවුන් වසරක් පාසා ෆේස් බුක් ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස වැනි කරුණු පදනම් කර ගෙන උද්ඝෝෂණ සංවිධානය කිරීම සිදු කල අතර 2011 ජනවාරි 25 වන දිනය ද එවැනිම එකක් වූ බවයි. නමුත් අසල්වැසි ටියුනීසියානු අරගලයේ ජයග්‍රහනය විසින් ඇති කල උද්දාමයත් මුබාරක් රෙජීමයේ මර්දනයත් විසින් එම ෆේස් බුක් කන්ඩායමේ උද්ඝෝෂනය දැවැන්ත විප්ලවයක් බවට පරිවර්තනය කලේ ය.

ජයග්‍රහණයේ ප්‍රහර්ෂය හා අනාගතය පිලිබඳ අපැහැදිලි තාවය මධ්‍යයේ වුව ද එක් දෙයක් පැහැදිලි ය. ඊජිප්තුවට නැවත එය පැවතුණු තත්වයට යා නොහැකි ය. මක් නිසා ද යත් අපේ දෑස් අබිමුව ඉතිහාසය ඉතිහාසය දිග හැරෙමින් තිබෙන බැවිනි.

කෞශල්‍ය කුමාරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails