Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සමාජය වෙනසකට ලක්කිරීමේ රැඩිකල් දේශපාලන න්‍යායයන් ගැන සාකච්ඡාව තුළදී හෝ ප්‍රායෝගික තලයේ ක්‍රියාකාරකම් පිළිබඳව වන අත්දැකීම් ගැන සාකච්ඡාවන් තුළදී හෝ අහඹු ලෙසකින් වත් සාකච්ඡාවට නොගන්නා කලාපයකින් “නූතන සමාජ විප්ලවයේ” හි හැඩතල පිළිබඳව නැවුම් ආදර්ශයක් ගොඩනැංවීම මේ දින වල සිදුවෙමින් පවතී. සමාජවාදය, රුසියානු සමූහ ගොවිපොළ, ගරිල්ලා සටන් ක්‍රම, චේ ගෙවාරා, වැනි ශබ්දකෝෂයක් හා බැ‍‍ඳෙමින් නව ලිබරල් පරිභෝජනවාදය වැළඳගත් පිරිස් විසින් "කල් ඉකුත්වූ" "පසුගාමී" දෙයක් ලෙස නම්කොට තිබූ “සමාජ විප්ලවය” අළුත් මානයක් කරා පිවිසෙමින් සිටී. ලංකාවේ ක්‍රම විරෝධී අරගලයක් වෙනුවෙන් නූතන දැනුම සපයන්නන් තමන්ව වචන තුළ පමණක් හිරකොටගනිමින් තමන් විසින් දියත් කරනු ලබන ප්‍රායෝගික වැඩපිළිවෙළ සමාජවාදයට වඩා පැසිස්ට්වාදී ආදර්ශයක් සැපයීමත්, ප්‍රායෝගික තලයේ වඩා හුරුබුහුටි වූවන් විසින් භාවිතා කළ න්‍යායය 20 සියවසයේ මුල්භාගය හෝ මැදභාගය සිහිපත්කරවීමත් නිසා ලංකාවේ සමාජ වෙනසක් වෙනුවෙන් පෙනීසිටින්නන් එක්තරා ආකාරයක අපෙක්ෂාභංගත්වයකට පත්ව සිටියෝය. අරාබි කලාපයේ ටියුනීසියාව, ඊජිප්තුව මෙන්ම යේමනය, ජෝදානය, ඇල්ජීරියාව වැනි රටවල ජනයාගේ ප්‍රායෝගික භාවිතය මඟින් ලෝකයට අළුත් න්‍යායයක් සැපයෙමින් තිබේ.

ඉතා දිර්ඝ කාලයක් බලයේ රැ‍ඳෙමින් ඒකාධිපති ස්වරූපයේ පාලකයින්ගෙන් ගෙන් යුක්ත වන මෙම රටවල (උදා - ටියුනීසියාව වසර 23, ඊජිප්තු‍ව වසර 30, යේමනය වසර 32) ප්‍රබල ලෙසින් යටපත් කොට තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, විවිධ දේශපාලන අදහස් දැරීමේ අයිතිය, ප්‍රකා‍ශනයේ අයිතිය වැනි අයිතීන් මෙන්ම දරිද්‍රතාව, විරැකියාව, මූලික අවශ්‍යතාවන් සම්පූර්ණ කරගත නොහැකිව පීඩනයට පත්ව සිටි ජනතාවගේ පීඩනය මුදාහැරීමේ තත්ත්වයක් ලෙස මෙකී සමාජ විපරිවර්තනය හැඳින්විය හැකිය. නිශ්චිත දේශපාලන න්‍යාය පත්‍රයක් හෝ දර්ශනයක මඟපෙන්වීමක් නොමැතිව හටගත් මෙකී ජනඅරගලයන්හි අවසාන ප්‍රතිඵලයේ ස්වභාවය හෝ ඉදිරියට සිදුවීමට නියමිත දේශපාලන වෙනසේ ස්වභාවය පිළිබඳ නිශ්චිත අදහසක් ඉදිරිපත් කිරීම අපහසු වුවද දැනට සිදුව ඇති තත්ත්වයන්ගේ සුවිශේෂී ලක්ෂණ ගණනාවක් නිරීක්ෂණය කළ හැක.

සමස්ත අරාබි කලාපය පුරාවටම පැතිර ගියද මෙම ජන අරගලයන්හි මේ වන විට වඩා සාර්ථකභාවයක් අත්කරගෙන ඇත්තේ ටියුනීසියාවේ සහ ඊජිප්තුව යන රටවලිනි. ඉතා දීර්ඝ කාලයක් රාජ්‍ය ව්‍යූහය දරා සිටි ප්‍රබල ආඥාදායකත්වයන් රටින් පිටුවහල් කිරීම දක්වා මෙකී ජන අරගලයන් ප්‍රබල වූ අතර මේ රටවල් අතර අන්තර් සබැඳියාව ද දිගින් දිගටම දක්නට ලැබිණි. ජන නැඟීමෙහි ස්වරූපය හා ක්‍රියාකාරීත්වය තුළ සමානාත්මතා ගණනාවක් දක්නට ලැබෙන අතරම ඒවායෙහි පොදු මෙන්ම එකිනෙකට අනන්‍ය වූ ලක්ෂණ ද ගණනාවක් ඇත.

නව මාධ්‍ය භාවිතාව

අරාබිකරය තුළ සිදුවූ මෙකී ජනනැඟීටීම "“ෆේස්බුක් විප්ලවය" ලෙසද හඳුන්වාදෙනු දක්නට ලැබිණි. ඊට ප්‍රධානතම හේතුව ‍රාජ්‍යය විසින් සිදුකෙරෙමින් පවතින්නාවූ අසාධාරණ, ජනවි‍රෝධී, හිංසාකාරී ක්‍රියාවන් මෙන්ම වංචා දූෂණ වලට එරෙහිව ජනයා පෙළගස්වනු ලබන්නේ සමාජ ජාල වෙබ් අඩවි (Facebook හා Twitter වැනි) සහ ජංගම දුරකථන භාවිතාව තුළින් වීමය.

ඒ සඳහා හොඳම උදාහරණ වන්නේ ටියුනීසියාවේ අන්තර් ආණ්ඩුකරණ කමිටුවෙහි එක් සාමාජිකයෙකු ලෙස මෙන්ම තරුණ කටයුතු ගා ක්‍රීඩාභාර ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ අන්තර්ජාල බ්ලොග්කරුවෙකු, පරිගණක වැඩසටහන් නිර්මාපකයෙකු (Programmer) වන Slim Amamou ය. [කියවන්න.] පසුගියදා විජයග්‍රාහීව අවසන් වූ ඊජිප්තු විප්ලවයේ තුළින් ලෝකය පුරා වීරත්වයට පත්වූ ‍වායෙල් ඝෝනිම් බ්ලොග්කරුවෙකු මෙන්ම ගූගුල් සමාගමේ අරාබි කලාපයේ අලෙවි කළමණාකාරවරයාය. [කියවන්න.] ඔහු විසින් අල්ශලීඩ් නම් තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් විරෝධතාව පළකරමින් ආරම්භ කළ ෆේස්බුක් පිටුව මඟින් තාහීර් චතුරස්‍රය කරා ජනතාව කැඳවීමට විශාල බලපෑමක් සිදුකළේය.

නිශ්චිත දේශපාලන ව්‍යාපාරයකින් හෝ දෘෂ්ඨිවාදයක් මත පදනම් නොවන නිසාත් විධිමත් දේශපාලන පක්ෂ වල සංවිධානාත්මක දායකත්වය අවම වීමත් හේතුකොට ගෙන මෙකී විප්ලවය මෙහෙයවූ පිරිස් සමූහයක් දක්නට ලැබේ. අඩු වැඩි වශයෙන් මෙකී සමස්ත ජනනැඟිටීම සඳහා දායකත්වය දැක්වූ මූලිකයන් අතරින් බහුතරයක් අන්තර්ජාලය හරහා ඊට සම්බන්ධ වූවෝ වෙති. මේ වන විට ඊජිප්තු විප්ලවයේ නායකත්වය සැපයූ පිරිස් අතර වඩාත් ඉදිරියෙන් නම් කියවෙන අප්‍රේල් 06 ව්‍යාපාරයෙහි [කියවන්න.] වයෙල් ඝෝනිම්, [කියවන්න.] සක්‍රීය කාන්තා ක්‍රියාකාරිනියක වූ අහ්මා මර්ෆවුස් [කියවන්න.] වැනි සියල්ලන් ඊජිප්තුවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම අන්තර්ජාලය තුළ වඩාත් ක්‍රියාකාරී බ්ලොග්කරුවන්ද විය. මීට අමතරව කෆායා ව්‍යාපාරය, මුස්ලිම් සහෝදරත්වය වැනි ව්‍යාපාර ගණනාවක් තීරණාත්මක දායකත්වයක් මේ වෙනුවෙන් දක්වා ඇත.

ටියුනීසියානු ජනඅරගලය ජයග්‍රහණයෙන් පසු එය ඊජිප්තුව කරා ව්‍යාප්ත වීමේදී සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් ටියුනීසියානු විප්ලවකරුවන් විසින් ඊජිප්තුවේ ජනඅරගලය ‍සඳහා සිය සහයෝගය දැක්වීමට නොපැකිළිව ඉදිරිපත් වූහ. උද්ඝෝෂණ ව්‍යාපාර වලින් පමණක් නොව අන්තර්ජාලය ඔස්සේද ඊජිප්තුවේ ජනඅරගලය වෙනුවෙන් දායකත්වය දක්වන ලදී. අන්තර්ජාලය ඔස්සේ රාජ්‍ය ක්‍රියාකාරීත්ව අඩපණ කිරීම සඳහා DDos ආක්‍රමණ [කියවන්න.] එල්ල කිරීමට ටියුනීසියාවෙන් ලද දායකත්වය ඉහළ බවද කියැවේ. ටියුනීසියාවේ කොටස් වෙළඳ පොළෙහි වෙබ් අඩවියටද DDos ආක්‍රමණයක් එල්ල විය. හොස්නි මුබාරක්ගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වෙබ් අඩවිය මෙන්ම අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවිය හා තොරතුරු අමාත්‍යංශයද මෙකී ආක්‍රමණවලට ගොදුරු වුණි.

සංවිධානාත්මක හිංසාව වෙනුවට සිවිල් ජනඅරගලය.

"සමාජවාදී විප්ලවය" පිළිබඳව වන අදහස තුළ රාජ්‍යය පෙරළා දැමීම පිළිබඳව ඇත්තේ ආයුධ සන්නද්ධ සටන් ඉතිහාසයකි. සමාජවාදී දේශපාලන දර්ශනය තුළ නොවන, හැත්තෑව දශකයෙන් පසු හටගත් විවිධ සංස්කෘතික අනන්‍යතා අරභයා රාජ්‍යයට එරෙහි පැනනැඟුණු අරගලයන් බහුතරයක් ආයුධ සන්නද්ධ ඒවා විය. ඒවා විසින් මානව ඉතිහාසයේ ප්‍රචණ්ත්වය පිළිබඳ අතිශය අමිහිරි මතකයන් ඉතිරිකළා පමණක් නොව බොහෝ තමන් විසින් සටන අරඹන මොහොතේ පැවති අරමුණ පසුකාලීනව යටපත් කර දැමීය. රාජ්‍ය විරෝධී ආයුධ සන්නද්ධ ගරිල්ලා ව්‍යාපාරයක් ලෙස හටගෙන ඉන්පසුකාලීන නිශ්චිත භූමි ප්‍රදේශයක සිය ආධිපත්‍ය දරමින් රජයේ හමුදාව සමඟ සාම්ප්‍රදායික යුද්ධයක නියැළුණු ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ සංවිධානයේ පරාජයත් සමඟම රාජ්‍ය පෙරළා දැමීම සඳහා ආයුධ සන්නද්ධ යුද්ධයකට පිවිස සාර්ථකත්වය ලබාගැනීමේ හැකියාව අවම බව පසක් විය. ලෝකය පුරා රටවල් අතර සිදුවන සටන් ප්‍රමාණයට වඩා රට අභ්‍යන්තරය තුළින් රාජ්‍යයට එරෙහිව පැනනඟින තර්ජන බහුල වීම නිසා බොහෝ රටවල ආරක්ෂක විදයම විශාල ලෙස ඉහළ දැමීමත්, රාජ්‍ය අතර අන්තර් සහයෝගීතාව ඉහළ යාමත් නිසා රාජ්‍යයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා සන්නද්ධ අරගලයකට පිවිසීමේ සාර්ථකත්වයේ ප්‍රතිශතය අවම මට්ටමක ලා සැළකීමට හේතුවුණි.

ලෝක යුධ වියදම් සඳහා රාජ්‍යයන් විසින් සිදුකරන වියදම [කියවන්න.] හා සන්නදනයේදී රාජ්‍ය හා මිලිටරි වශයෙන් ගැටීම ක්‍රම ක්‍රමයෙන් අරුත්සුන් තත්ත්වයකට පත්වෙමින් පවතී. රාජ්‍ය හමුදා මඟින් නවීන අවිආයුධ භාවිතා කිරීමත්, ගරිල්ලා සටන් ක්‍රම හා යථාර්ථවාදී සටන් ක්‍රම හා සාම්ප්‍රදායික නොවන සටන් විදි අනුගමනය කිරීමත් හේතුකොට ගෙන රාජ්‍යයට එරෙහි සැබෑ විමුක්තිවාදී සන්නද්ධ අරගලයක් මෙහෙයවීම පහසු කාරණයක් නොවේ. මේ නිසා බොහෝ සන්නද්ධ ව්‍යාපාරයන් ඉදිරියට ඇදුනේ වෙනත් බාහිර රටක හෝ ජාත්‍යන්තර දේශපාලන පාර්ශවයක සහයොගීතාව මඟිනි. සීතල යුධ සමයෙදී රුසියාව හා ඇමෙරිකාව මෙවැනි ක්‍රියාකාරකම් පසුපස සිටි අතර පශ්චාත් ශීත යුධ සමයේදී ජාත්‍යන්තර ඉස්ලාම් ආගමික කණ්ඩායම් මෙන්ම චීනයද මේ සඳහා එක්වුණි. ඉන්පසු රටක් අභ්‍යන්තරයෙහි හටගන්නා විමුක්ති අරගලයක් තමන්ගේ සැබෑ අරමුණු වෙ‍නුවෙන් කොතෙක් දුරට පෙනීසිටිනවාද යන්න ප්‍රශ්ණයකි. අනෙක් අතට සාම්ප්‍රදායික නොවන යුද්ධයක් තුළදී හිංසාව අනන්තය තෙක් භාවිතා කිරීමට සිදුවීම ප්‍රා‍යෝගිකව සිදුවන්නක් බව අප හොඳින් අත්දැක ඇත්තෙමු. මානව විමුක්තිය උදෙසා සන්නද්ධව සිදුකෙරෙන සටනකදී ඉන් සිදුවන හානියේ ප්‍රමාණය මානව විමුක්තිය උදා කරලීමට වැයකළ යුතු ද සහ එසේ වැයකිරීම මඟින් අවශ්‍ය ප්‍රතිඵල කොතෙක් දුරට ඉෂ්ඨවනවාද යන්නත් නැවත වරක් සළකා බැලිය යුතුය.

එනයින් ගත්කළ සමාජ විප්ලවයේ මුහුණුවර සඳහා නව විකල්පයක් අරාබිකරයෙන් දෘෂ්‍යමාන වේ. ඊනියා අවිහිංසාවාදී ජනඅරගලයක් යැයි හැඳින්විය නොහැකි වුවද මේ සියල්ල සන්නද්ධ අරගල යැයි කිසිලෙසකින් හැඳින්විය හැකි ඒවා නොවේ. එක් අතකට තොරතුරු තාක්ෂණයේ පිහිට නිසාවෙන් රාජ්‍යයේ හිංසාව භාවිතාකිරීමට ඇති අයිතිය සීමා වීමත්, නූතන ජනසමාජය තුළ ජීවත්වන පිරිස්වල සහභාගීත්වය තුළින් ජයග්‍රහණය කරා මෙහෙයවීමත් නිසා මෙකී අරගල රැල්ල මානව ශිෂ්ඨාචරයේ “හිංසාව” සම්බන්ධයෙන් වැදගත් සංදිස්ථානයක් සළකුණු කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී පෙළගැසීමට එරෙහිව රාජ්‍ය හිංසාව භාවිතය අවම කිරීමට බලකෙරෙනුයේ තොරතුරු තාක්ෂණය නිසාවෙන්මය. උදාහරණයක් ලෙස ඊජිප්තුවේ තාහීර් චතුරස්‍රයේ පැවති උද්ඝෝෂණ පැය 24 පුරාවටම සජීවී ලෙස ලෝකය පුරා විසුරුවා හැරීමට ලෝක මාධ්‍ය ගණනාවක් කටයුතු කළේය. ඒවාට එරෙහිව විවිධාකාරයේ බාධාකිරීම සිදුකිරීමට ඊජිප්තු රජය ක්‍රියාකළ ද ලෝක දේශපාලන එකඟතාවන්ට එරෙහිව ගොස් මාධ්‍යවාරණයක් සිදුකිරීමට කළ නොහැක්කක් විය. රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින්ට එරෙහිව මැර කණ්ඩායම් යොදා බලපෑම් කළද, අමානුෂික ලෙස පහරදීම් හා හිංසා කිරීම් සිදුකළද මිලිටරිමය වශයෙන් සමස්ත බලය යෙදවීම කළ නොහැක්කක් විය. තොරතුරු තාක්ෂණයේ දියුණුව හා ලෝක රාජ්‍යයන් අතර වන අන්තර් සබඳතාවයේ හේතුව නොවන්නට 1989 චීනයේ ටියැන්මෙන් චතුරස්‍රයේ සිදුවූවාක් මෙන් වූ අතිවිශාල ජනසංහාරයක් ඊජිප්තුව තුළ සිදුවන්නට ඉඩතිබුණි. රාජ්‍යයේ විසින් නීත්‍යනුකූලව ආධිපත්‍ය දරණ හිංසාව සඳහා වන නීත්‍යානුකූල බලයට එරෙහිව ආයුධ රහිතව ජනඅරගලයක් සිදුකොට රජයක් පෙරළාදැමීම සඳහා වන භෞතික තත්ත්වයක් ලෝකය තුළ ගොඩනැඟී ඇත. සාමකාමී උද්ඝෝෂකයින් “ත්‍රස්තවාදීන්” යැයි නාමකරණය කළද, ජනබලය මඟින් ඒවා පැරදවිය හැකිබවට සාක්ෂි සහිතව ඔප්පු කර ඇත.

අන්තර්ජාලය හා ෆේස්බුක් පිළිබඳව රැඩිකල් දේශපාලනය තුළ එකිනෙකට වෙනස් ස්ථාවරයන් ගණනාවක් ඇත. කෙසේ නමුත් අවසානයේ ප්‍රායෝගිකව සපථ කොට පෙන්වා දෙනුයේ අන්තර්ජාලය යනු දේශපාලනික මෙහෙයවීම් සිදුකළ හැකි වටිනා සමාජ අවකාශයක් බවය. ජන අරගලය සඳහා වන “කැපවීම” හා “කැපකිරීම” සම්බන්ධයෙන් සාම්ප්‍රදායික න්‍යායයන් ප්‍රශ්ණ කිරීමක් සිදුව ඇත. වෙළඳාම මෙන්ම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අන්තර්ජාලය හා එක්වීම සමඟම එක්තරා ආකාරයක සයිබර් ගරිල්ලා සටන්වල මුලික ලක්ෂණයන් “විකීලීක්ස්” සිද්ධිය අරඹයා මෙන්ම අරාබි ජන අරගල තුළද සුලබව දක්නට ලැබුණි. ශක්තිය, හැකියාව, විප්ලවය අළුතින් නිර්වචනය වන කාලපරිච්ජේදයක ලාංකික විකල්ප ක්‍රියාධරයන්ද මේවා සම්බන්ධයෙන් විවෘතභාවය මෙන්ම සන්දර්භය හා බැඳුණු අවබෝධයද අතිශයින්ම වැදගත්ය. ෆේස්බුක්, ට්වීටර්, යූටියුම්, ෆ්ලිකර් හරහා සංවිධානගතවීම්, මෙහෙයවීම් සිදුවුවද අවසාන ඊජිප්තු අරගලය ක්‍රියාත්මක වූයේ තාහීර් චතුරස්‍රයේ බව ද අවසානයට සටහන් කර තබමි.

මෙම ලිපියෙහි අන්තර්ගතයන් හා සම්බන්ධ සබැඳි-

ලෝක යුධ වියදම් හා ඒ සම්බන්ධ පර්යේෂණ වාර්තාව
රටවල් හා කලාප වශයෙන් අන්තර්ජාල භාවිතාව පිළිබඳ දත්ත
අප්‍රියෙල් 6 ව්‍යාපාරයේ ක්‍රියාකාරිණියක වූ අහ්මා මර්ෆවුස් සමඟ වන සම්මුඛ සාකච්ඡාව
ටියුනීසියාවේ Slim Amamou සමඟ සම්මුඛ සාකච්ඡාව.
අල්ෂහීඩ් නම් තරණයාගේ ඝාතනයට එරෙහිව ආරම්භ වූ ෆේස්බුක් පිටුව

බුන්දි ලිපි-

සයිබර් අවකාශයෙන් ටහ්රීර් චතුරස්‍රයට| ෆේස් බුක්, ට්විටර් සහ ජයග්‍රාහී ඊජිප්තු විප්ලවය
මුබාරක් ගෙදර යැවූ facebook කැරැල්ල
අරාබිකරයේ විප්ලවීය ජවයට බිය වන්නේ ඇයි? - ස්ලොවෝ සිසැක්
මම වීරයෙක් නොවෙමි. සත්‍ය වී‍රයෝ නම් සත්‍ය අරගලය පණ පෙවූ අයයි. - වේල් ගෝනීම්
ඊජිප්තු මුබාරක් හා ලාංකික මුබාරක්


සංඛ කිරිඳිවැල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails