Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



යුද්ධයෙන් පසුව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ ජන වර්ග අතර සහජීවනය ගොඩ නැගීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙනි. දේශපාලන විසඳුම් වෙනුවෙන් දහස් සංඛ්‍යාත ආඛ්‍යාන ගොඩ නැංවූ සිවිල් සමාජ ක්‍රියාධරයින් ද ඒ වෙනුවෙන් පෙනී සිටි න්‍යායධරයින්ගේ ද අවධානය යොමු වී ඇත්තේ සහජීවනය ගොඩ නැගීම වෙනුවෙනි. සහජීවනය ලෙස අපේක්ෂා කළ දෙය තමන් දරන අදහස් අනුව වෙනස් වුව ද යුද්ධය යුද්ධයෙන් අවසන් කර ඇති පශ්චාත් යුධ සමයෙක ඉන් පසු කුමක් විය යුතු ද යන්න යුධ ජයග්‍රහකයාට තීරණය කළ හැකිය. එවිට ඉල්ලූ දෙයක් නොව තමන් කැමති දෙයක් දෙන්නටත් එය පිළිගැනීමට බල කිරීමටත් නැතහොත් බලෙන් පිළි ගැන්වීමටත් බලය සහිත අයට හැකි වෙත්. එවිට සහජීවනය එකිනෙකාට විවිධ අරුත් දැනවීම අහඹුවක් නොවේ.

සමහරු දේශපාලන විසඳුම සහජීවනය ඇති කිරීමේ ප්‍රථම සහ හොඳම කාරණය බව දකින අතර සමහර අය භෞතික සංවර්ධනය තුළින් සහජීවනය ඇති කළ හැකි යැයි අපේක්ෂා කරති. තවත් අයෙක් සහජීවනය ඇති කරන්නේ සංවර්ධනය හරහා සිදුවන සහජීවනය හරහා යැයි අපේක්ෂා කරති. මේ සියල්ලන්ම යුද්ධය ඇති වීමට බලපෑ හැකියැයි සැලකෙන එකිනෙකාගේ බුද්ධි ගෝචරවන විග්‍රහයන් තුළ හඳුනා ගත් ප්‍රශ්නවලට උත්තර බඳින්නට සුදානම් නමුත් යුද්ධය තුළ හටගත් සහ ඒ මගින් ගොඩ නැංවු පුද්ගල මානසිකත්වය ආමන්ත්‍රණය කෙරෙන ව්‍යාපෘති දැක ගැනීමට නොහැකිය. පාලිත ප්‍රජාවගේ බුද්ධියට නොව හදවතට කතා කිරීමේ හරඹය ප්‍රගුණ කර ඇති පාලක පිරිස් යුද්ධය නිසාවෙන් හෙම්බත් වු පශ්චාත් යුධ සමයෙහිද පීඩා විඳින ප්‍රජාවගේ හදවතට සාධනීය ලෙස ආමන්ත්‍රණය කෙරෙන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම සලකා බැලිය යුතුය.

යුද්ධයේ නේක ප්‍රචන්ඩත්වයට ගොදුරු වු සහ තව දුරටත් එහි ගොදුරු බවට පත් වන ප්‍රජාව සහ සොල්දාදුවන්ගේ පශ්චාත් යුධ මානසිකත්වය සොයා බැලීම සඳහා සැලකීමට ලක්වන කිසිදු ක්‍රියා මාර්ගයක් දැකිය නොහැකිය. අවම තරමින් උපදේශන සේවාවන්වත් ක්‍රියාත්මක වන්නේ අල්ප වශයෙනි. සංඛ්‍යාත්මකව ගත් විට යාපනය දිස්ත්‍රීක්කයටම සිටින්නේ එක් මනෝ වෙද්‍යවරයෙකි. මනෝ සමාජ යහ පැවැත්ම වර්ධනය සඳහා කළ යුතු බොහෝ දෑ අප සමාජවල දෙවෙනි තැන්හිලා සලකයි. මේ සම්බන්ධයෙන් සහ තවත් දහසකුත් එකක් ප්‍රශ්නවලට පිළයම් සොයනු වෙනුවට වග කිවයුත්තන් සිදු කරන්නේ යුද්ධය දිනවීම සඳහා භාවිත කළ වාර්ගික ජාතිවාදී මතවාදය තවදුරටත් පවත්වාගෙන යාමය.

සායනික වශයෙන් හඳනා ගන්නා පශ්චාත් ව්‍යසන ආබාධ කෙටි කාලීන මෙන්ම දිගු කාලීනද විය හැකිය. අහිමිවීම තුළ ඇති කෙරෙන දුක, කළකිරීම, පීඩාව, අනියත බිය, සැකය, පශ්චාත්තාපය සිත තුළ රඳවා සිටින, විවෘත වීමට ඉඩක් නොලද මිනිසුන් පිරි සමාජයකින් එම සමාජයට යහපතක් නම් සිදු නොකරනු ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගවට ගත් අය පදනම් කරගෙන කරන ලද අධ්‍යයනයකින් 86% පමණ පශ්චාත් ව්‍යසන ආබාධවලින් පෙළුනු බව පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් මැදිහත්වීම වැදගත් වන්නේ, පුද්ගලයා තුළ සහජීවනය, පුද්ගලයන් අතර සහජීවනය මෙන්ම ප්‍රජාවන් අතර සහජීවනය ද වැදගත් වන නිසාවෙනි. අඩු වැඩි වශයෙන් අප සියල්ලෝම යුධ වින්දිතයන් වෙමු. අප පමණක් නොව නූපන් දරුවන්ද එහි වින්දිතයෝය. මන්ද ඔවුන් යුද්ධය වෙනුවෙන් වැය කළ සම්පත් සහ එය විසින් නිර්මාණය කරන ලද මතවාදී ආඛ්‍යානවලට උරුමකම් කියන නිසාවෙනි.

පශ්චාත් යුධ සමයෙක තව දුරටත් සිදු නොවිය යුතු ප්‍රජාවගේ මානසික භීතිය වැඩි කෙරෙන බොහෝ දේ සිදු වෙමින් පවතී. එයට රාජ්‍ය මතවාදය මෙන්ම ඒ මත ගොඩ නැගුනු ජනතාවගේ ව්‍යවහාරික බුද්ධියද අනිසි ලෙස රුකුල් දෙයි. යුද්ධය අවසන් වීමත් සමග උතුරු නැගෙනහිර, දකුණෙහි බොහෝ දෙනාට සංචාරක ප්‍රදේශයක් බවට පත්ව තිබේ. වසරකට වරක් යැවෙන කතරගම නුවර සංචාරවලට (වන්දනා) අමතරව දැන් ඊට යාපනය ද එක් වී ඇත. එය නැරඹීමේ අර්ථයෙන් පමණක් නොව වෙළඳ ව්‍යාපාරික කටයුතු සඳහා ආයෝජනයටද මෙම සංචාරක සංකල්පය පහසුකම් සපයයි. එම ප්‍රදේශය දියුණු කිරීම, සංචාරය කරන්නන්ට ද පහසුකම් සැපයීම සඳහා ව්‍යාපෘති බොහොමයක් ඇති අතර ඒවාට බහුත්ව සබඳතා පවත්වන්නේ දකුණෙන් යන වෙළඳ ව්‍යාපාරිකයන්ය.

එහි සංවර්ධන ගොඩ නැගීම්වල ලාභ ලබන්නේ එම ප්‍රජාව නොවන බව එහි වෙසෙන්නන්ගේ විවේචනයකි. භාෂා ප්‍රශ්නයත් අනෙකා කෙරෙහි ඇති අනියත බියත් මීට බලපෑ හැකි යැයි කිව හැකි එහෙත් එසේ නොවන සාධක වෙයි. එමෙන්ම මේ තුළ සිදුවන අනෙක් දෙය නම් ආන්ඩුව විසින් එහි පැවැත්මට අවශ්‍ය මතවාදීමය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමයි. ඊට අදාල ව්‍යාපෘති යුහුසුළුව ක්‍රියාත්මක වේ. වසර තිහකටත් අධික කාලයක් පුරා යුද්ධයත් සමග දැඩිව වර්ධනය කළ “මෙම ප්‍රදේශය අපේය” යන මතය තව දුරටත් එහි පැවතීමට උතුරු නැගෙනහිරට අවකාශ නොසපයයි. ඒ පිළිබඳ තිබෙන සාක්ෂි නැති කිරීම නැතහොත් නව ඉතිහාසයක් ගොඩ නැගීම අරඹා ඇත. එසේත් නැතිනම් එම ඉතිහාසයෙහි අයිතිය ඔවුනට පමණක් නොව සිංහලයාටද ඇති බවට සාක්ෂි බෝ කිරීම අරඹා ඇත. ඒ සඳහා අවශ්‍ය යැයි සිතෙන නැතහොත් යුද්ධය දිනවු මතවාදය අනාගතයේදීද සාධරණිකරණය කළ හැකි සාක්ෂි ඉතිරි කළ ඉතිහාසයක් පමණක් ඔවුනට ඉතිරි කරන බව එහි යන කවරෙකුට වුව දැක ගත හැකිය. ස්මාරකවලට තව දුරටත් රුදී සිටිය හැක්කේ එය ස්මරණය කරන්නේ පවතින රටකරවන මතයට හානියක් නොවන දෑ නම් පමණි. එහිදී ඔවුන් තැනු දෑ නොව යුද්ධයේදී විනාශ කළ දෑ ස්මාරක වෙති. මෙය පුද්ගලයන්ට ද අදාලය. විරුද්ධ මත දරන්නන්ට එහි සිටිය නොහේ. මේ තුළ ඔවුන් අත් කරගෙන ඇති එකම දෙය නම් මානසික භීතියයි.

මෙය ඔවුනට පමණක් ආවේණික නැතහොත් උතුරට පමණක් අදාල වුවක් නොවේ. මෙම නිහඬ කිරීමේ නැතහොත් මානසිකව මෙන්ම ශාරීරිකවද සංවර කිරීමේ ව්‍යාපෘතිය දකුණට ද අදාල කර තිබේ. ඒ හා ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර ප්‍රජාවගේ ඇසට ප්‍රිය උපදවන ලෙසට පුරවැසියන්ගේ හැසිරීම සදාචාරාත්මක කිරීමේ ව්‍යාපෘතිය පසු ගමන් යයි. නිහඬව දක්වන සංවර සහමතියට අමතරව ශාරීරිකව ද ඒ සඳහා සහමතිය දැක්විය යුතු ව්‍යාපෘති අරඹා ඇත. මෙම ව්‍යාපෘතීන්ට මග පෑදු චින්තන මතයට සදාචාරය කෙලෙස විය යුතු ද යන්න කොන්දේසි පැනවීම අදාල නිසා මෙම සංවර කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනයා බැඳී සිටිති. මන්ද එය ගැමියා විසින්ම ගොඩ නගන ලද මතවාදයයි. එය ඔහුට ඇයට ඇවැසි වූ මතවාදයයි.

කාන්තාවන්ට කොට ඇදුම් වෙනුවට දනහිසෙන් පහලට වැටෙන සේ ඇඳුම් ඇන්ද වීම ද එම සදාචාරය සංවර කිරීමේ ව්‍යාපෘතීන්හි තවත් කොටසකි. මෙම සංවර කිරීමේ ක්‍රියාවලියට හැසිරිය යුතු ආකාරය, හඳින පළඳින ආකාරය, සංග්‍රහ කරන ආකාරය ද අයත්ය. මේවා නිසි ලෙස ක්‍රියාත්මක වන සංවර සමාජයක ජනයා විසින් තෝරා පත් කරනු ලබන පාලකයන් පිළිබඳ සුදු මහත්වරු නරකක් නම් නොසිතනු ඇත! උතුරෙහි බලහත්කාර මර්ධනය ද දකුණෙහි බලහත්කාරය යැයි බැලු බැල්මට නොපෙනෙන ලෙස මර්ධනය ද ක්‍රියාත්මක වේ. දෙමළ ජනයා තුළ මර්ධනය ලෙස වපුරා ඇති මෙම භීතිය ඔවුනගේ අද දවස පමණක් නොව හෙට දවසද අහිමි කර තිබේ. කිසිවෙකුට විවෘත නොවන ඔවුනගේ හඬ මතු වන්නේ ඔවුන් හරහා නොවීම මෙහි ප්‍රධානම ගැටලුවයි. එනම් තම අදහස් නොබියව ප්‍රකාශ කිරීමට හැකි සාමාන්‍ය ජනයා පමණක් නොව ඔවුන්ව නියෝජනය කළ හැකි අයද නිහඬව සිටී. යම් සමාජයකට කළ හැකි ප්‍රබලතම හානිය නම් එම සමාජයෙහි මතවාද තනන්නන් එම සමාජයට අහිමි කිරීමයි. එය අද දවසේ උතුරේ ජනයා අත් විඳිති. තම ජීවිත පිළිබඳ භීතිය හැරුණු කොට තවත් බොහෝ දේ ඔවුනගේ දුක් ගැනවිල්ලට අයත්ය. තරුණයන්ට රස්සා නොමැතිවීම, යුද්ධය නිසාවෙන් තම සාමාන්‍යපෙළ ප්‍රතිඵල අහිමි ව උසස් පෙළ හැදෑරීමට නොහැකිව ලතවෙන තරුණ තරුණයින්, ඉහළ අධ්‍යාපනය හැදෑරීමට මුදල් නොමැතිව තැවෙන තරුණ තරුණයින්, පාසලට දමා යාමට සපත්තු කුට්ටමක් නැතිව ලතැවෙන තිබෙන කුට්ටම දමා ගෙන ගොස් පාසලේ නිග්‍රහයට ලක්වන ළමුන්, පදිංචි වුව ද සිය ඉඩමට අයිතිවාසිකම් කිව නොහැකිව ලතවෙන මිනිසුන් එහි සිටිති. මේ ප්‍රශ්න ඔවුනට පමණක් අදාල වූ ඒවා නොවේ. එහෙත් මෙහි බර ඔවුනට වැඩිවන්නේ ඔවුන් ඔවුන්ව අනෙකා ලෙස හඳුනා ගත් ඉතිහාසයක සතුරා වීම නිසාවෙනි.

දකුණෙහි බොහෝ දෙනෙකුට උතුර යාපනය ලෙස ආඛ්‍යානගත වන නිසා ඔවුන්ට මුදල් ඇති බවත් එහි ජීවිත පහසු බවත් විශ්වාස කරති. එහෙත් යාපනයෙන් එපිටට යන විට අලුතින් සියල්ල ගොඩ නැගිය යුතුය යන අපේක්ෂාවෙන් අතු පැලවල්වල ජීවත්වන එදා වේල සරිකර ගැනීමට නොහැකිව වෙසෙනා ගැමියා හමුවේ. යුද්ධය නිසා තමනට නැතිවූ භෞතික දේපල පමණක් නොව සිය ජීවිත සරිකළ පුද්ගල ජීවිතද සොයා යන ගමනක ඔවුන් නිරත වේ. ඔවුනගේ දුක් ගැනවිලි කියන්නට හොඳම මාධ්‍ය ලෙස තෝරා ගත් දෙවියන් සඳහා සැප පහසු දේවාල සෑදීමට සිය ශ්‍රමය මෙන්ම එදා වේල පිරි මසන මුදල් කැප කරන ජනයා එහි වෙසෙත්. මේවා ඔවුනටම ආවේණික නොවුවත් රටේ අන් තැනෙක ඔවුනගේ මානසික භීතිය ඇතැයි කිව නොහැකිය. දෙවියන් යදින්නේ බොහෝ විටම තියන දේ වැඩි කරගැනීමටම නොව තිබු දේ නැවත ලබා ගැනීමටය. තමන් නොතැනූ සොහොන් ගෙවල්වල හෝ තිඹිරි ගෙයක සිටිනා සිය නෑ හිත මිතුරන් නැවත ලබා ගැනීම සඳහාය. ඒ ඔවුනගේ අද දවසේ ජීවිතයයයි. දිගින් දිගටම බිඳ වැටුනු විශ්වාසය දෙවියන් කෙරෙහි පමණක් තවදුරටත් ඔවුන් රඳවා සිටී. මෙම මානසික භීතිය, සාමුහික සමාජ ධ්‍රැවීකරණයක් ලෙස පෙනෙන්නේ තමා වින්දිතයෙකුය යන මානසිකත්වය දැඩි ලෙස ඔවුන් දරා සිටීමය. එම භීතිය විසින් නවතා දමා ඇති සමාජයට විවෘත වීම, තමා වෙනුවෙන් පෙනී සිටීම සමාජයට යහපතක් නම් සිදුකරන්නේ නැත. කතා කරන අය නිහඬ කිරීමට කෙතෙක් ව්‍යාපෘති තිබුනත්, ඒ නිසාම නිහඬ වීම සාධාරණීකරණය කළ නොහේ.

විශ්ව විද්‍යාල තරුණ තරුණයින් පවා සිය සමාජය වෙනුවෙන් අවම තරමින් ආර්ථිකමය සහ සමාජමය වශයෙන් දුක් විඳින ජනයා වෙනුවෙන් සිය හඬ අවදි කළ යුතුය. තමන් වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවය බලහත්කාර නිහඬ කිරීමේ භීතියට යටපත් නොකළ යුතුය. “අනෙකාගෙන්“ අප රකින සොල්දාදුවන් අතරේ ද මෙම මානසික භීතිය වගා වෙමින් පවතී. එයද අනෙකා කෙරෙහි ඇති වූ බියමය. ඒ තුළ වෙසෙන ඔවුන් සිය සමීපයන්ගෙන් ඈත්ව සිටීම, එම නිසා ඇතිවන හුදෙකලාව, නැවත අර්බුදයක් ඇති නොවෙතැයි යන්න පිළිබඳ ඇති අවිශ්වාසය, ගම් වැසියන් අතර සබඳතා සීමා කර තිබීම, භාෂාව නොදැනීම තවදුරටත් එහි තත්වය තීව්‍ර කෙරෙන සහ ඔවුන් සිය රාජකාරිය ඇතුලතදී වගා කරගන්නා දෑය. සුළු ගැටලුවකදී පවා ඔවුන් මුදා හරින්නේ මෙම මානසික ආතතියයි. නැතහොත් මානසික තෙහෙට්ටුවයි. මේ කාන්සියෙහි දිගු කාලීන ප්‍රථිඵල ගැන දන්නා අය සොල්දාදුවන් එළවලු විකිණීමේ රාජකාරියෙහි අනුයුක්ත කර ඇත. ඒ හරහා හුදෙකලා බව, කාන්සිය ඒ තුළ සිතන්නට ඇති කාලය අහෝසි කිරීමේ නැතහොත් සීමා කිරීමේ පිළියමක් ලෙස එය භාවිත කරයි. සීතීමට ඇති කාලය අහිමි කරන ව්‍යාපෘති රාජ්‍ය මතවාදය පවත්වාගෙන යාමට අවශ්‍යය. ඒ කෙරෙහි රට කරවන්නන් සවිඥානිකය.

උතුරු නැගෙනහිර සංචාරය සඳහා යන බොහෝ දෙනා හොඳ හිත රැගෙන යනවා වෙනුවට තව දුරටත් රැගෙන යන්නේ මහ ජාතිය ලෙස ගොඩ නගා ඇති ආඛ්‍යාන සමුහයමය. අප විසින් නුඹලා පරාජය කරන ලද්දේ ය යන්න එහි රැගෙන යති. කිසිදු වග විභාගයකින් තොරව ඕනෑම තැනෙක කෑකෝ ගැසීමටත් ඕනෑම ස්ථානයකට අවසරයකින් තොරව ඇතුළු වීමටත් ස්වයං වරයක් ඇතැයි ද එය ප්‍රදානය කර ඇතැයි ද එහි යන දකුණේ ජනයා විශ්වාස කරති. යුද්ධය නැවැත්වීම සඳහා භාවිත කළ මතවාදී කතිතාවන් තුළ තව දුරටත් ජීවත් වේ. ඒ නිසාම ඔවුන් පරාජය කරන ලද්දේ එල්.ටී.ටී.ඊ.ය පමණක් නොව දෙමළ ජනයා යන්න ද එනිසාම ඔවුන් අපට ඉඩ දිය යුතු යැයි ද මෙම කතිකාව විශ්වාස කරයි. ඉවත් තළ යුත්තේ, ස්මරණයෙන් අතුගා දැමිය යුත්තේ මෙම මතවාදීමය වැරදි අවබෝධයයි. පසුමිතුරු ආඛ්‍යාන ඉවත් කරන තෙක් අඩු වැඩි වශයෙන් සියල්ලෝම මුහුණ දෙන මානසික භීතියට පිළයම් නොවනු ඇත. ත්‍රස්තවාදයට නැවත දලුලන්නට ඉඩ දිය යුතු යැයි කිසිවෙකුත් කල්පනා නොකරනු ඇත. එහෙත් එසේ නොවන්නට ක්‍රියාත්මක කෙරෙන පසමිතුරු මතවාද සාධාරණිකරණය කළ හැක්කේ කෙසේද?

ගීතිකා ධර්මසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails