
ලං ලංව ගෙන නරඹමි
ඈ එවූ සේයා රූ
දැනේ දැනේ
සුසුවඳ
බිත්ති මත අලෙවු දුන්
නෙක වර්ණ
සායමෙහි
පෙනේ
නිසි නිසි තැන
නිසි පිළිවෙලට
රැඳවූ
විසිතුරු අසුන්
සුව දෙන යහන්
සැලේ සැලේ
මුදු සේද තිර පට
දිලේ
නෙක මල්කමින් ආකුල
කදා රජනී පහන්
ඒ
මා තැනූ නිවසළු
නිවා විදුලිය බුබුල
වැතිරෙමි දළ යහන මත
ගුලි ව ගන බොල් අඳුරට
එක් කරමි හිස් සුසුමක්
සීතල පාළු කුටියෙහි
කැකෑරෙන පාළුවට
ඈත එතෙර මට හිමි මව් බිමක් වෙතී
බෝම වෙහෙස විඳ තැනු නිවසක් ද ඇතී
පාර මතක මුත් නිල කරදාසි නැතී
සිහිනෙන් මුත් හැබැහින් එහි යනු නොහෙතී
සජීවනී කස්තුරිආරච්ච්



