Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පසුගිය පෙබරවාරි 14 වැනිදා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වුණු දිමුතු චින්තකගේ ''හොඳ වයින් 4ක්'' කෙටි නාට්‍ය උළෙල නැරඹීමේ භාග්‍යය උදාවුනා. එය භාග්‍යයක් ලෙස හැඳින්වූයේ සැබවින්ම ඒ සැඳෑව චමත්කාර ජනක සෑඳෑවක්ම වූ නිසයි. ප්‍රථමයෙන්ම වේදිකාගත වුනේ නලින් ලුෂේනිගේ ''සබන් පෙන'' නාට්‍යයයි. ඉන්පසුව චාලක රණසූරියගේ ''බොක්ස්'', ගයාන් දේශප්‍රියගේ ''කූඩුවට එනකං'' සහ-


ධනංජය කරුණාරත්නගේ ''දුවන උන් දෙන්නෙක් '' කෙටි නාට්‍ය තුන වේදිකාගත වුනා. ඉහත වතාවක ''දුවන උන් දෙන්නෙක්'' ධනංජයගේ සිහින රගහලේදී නරඹා තිබුණා සහ මම ඒකට ඉතාම කැමතියි. ''සබන් පෙන'' සහ ''කූඩුවට එනකං'' මට එච්චර දැනුනේ නැති බව සඳහන් කළයුතු මෙන්ම, ඒවා ඉතා සාර්ථක උත්සාහයන් ලෙස අගය කළයුතු ද වෙනවා. එමෙන්ම ඒවායේ රඟපෑ නළු නිළියන් ද ඉතාමත් ජව සම්පන්නව සාර්ථක රංගනයන් ඉදිරිපත් කිරීමට සමත් වුනා. ඒ අතරින් සබන් පෙන නාට්‍යයේ මිලිටරි චරිතය රගපෑ නළුවා විශේෂයි. ඒත් මම මේ ලියවිල්ලේදී කතාබහ කරන්න යන්නේ නාට්‍ය උළෙල පුරා මගේ සිත්ගත් කෙටි නාට්‍යය වූ ''බොක්ස්'' ගැනයි!

බොක්ස් හි ඇති සිදුවීම කෙටියෙන් විස්තර කරනවා නම්, එහි ඇත්තේ ගණිකාවක් සමග සිනමාහලක බොක්ස් අසුනකට යන පිරිමියෙක් ගැන සිදුවීමක්. නාට්‍යයේ සිදුවීම් දිගහැරෙන විට මේ පුද්ගලයා රජයේ සේවකයෙක්, මධ්‍යම පාන්තිකයෙක්, මාස් පඩි කාරයෙක් ලෙස ඔහුගේ චරිතය අපට දැනෙන්න පටන් ගන්නවා. ''බොක්ස්'' වචනයේ (මේ මොහොත තුල) පරිසමාප්ත අර්ථයෙන්ම අපූරු කෙටි නාට්‍යයක්. එහි එන අත්දැකීම කෙටි නාට්‍යයකට ඉතාමත් උචිත අවස්ථාවක්. කොටින්ම නාට්‍යකරුවා විසින් තෝරාගෙන තිබෙන අවස්ථාවම නාට්‍ය රසය පිරී තිබෙන්නක්. ඔහු තම නාට්‍යයේ අකෘතිය සකස් කරගෙන තිබෙන්නේ අනුභූතියටම සරිලන පරිදි වීම විශේෂත්වයක්. නාට්‍යයේ අකෘතිය විසින් නාට්‍යකරුවා සන්නිවේදනය කිරීමට උත්සාහ ගන්නා අදහස් තීව්ර කරනවා. නාට්‍යයේ ඉදිරිපත් කිරීම තුල පසුබිමින් ගලා යන මහා සිදුවීම වන චිත්‍රපට දර්ශනයේ හඬ පටය, නාට්‍යකරුවා විසින් විටින් විට අපට ඇසීමට සළස්වනවා. එය සංකේතාත්මකව, නාට්‍යයේ යටිපෙල බිහි කිරීමට යොදාගෙන ඇති ආකාරය අතිවිශිෂ්ඨයි. එයම සිනමා තිරය මතින් ප්‍රක්ෂේපණය කෙරෙන ආලෝක කදම්භයන් දැක්වෙන දෘෂ්‍ය ප්‍රයෝගයක් ලෙස ද යොදාගෙන තමන් නොකියා කියූ දෙය තවතවත් ප්‍රබල කිරීමට ද චාලක අවස්ථාව තිබුණු බව මෙහිලා පැවසිය යුතුයි.

නාට්‍යයේ චරිතයන්ගේ දෙබස් අතරින් විටෙන් විට මතුවන චිත්‍රපටයේ දෙබස් අපට ඇසෙන්නේ, චිත්‍රපටයේ චරිත, නාට්‍යයේ චරිතයනට දක්වන ප්‍රතිචාර ලෙසයි. නාට්‍යයේ සිටින ගණිකාවගේ ආදරය හිමිකරගත් පරමාදර්ශී පෙම්වතා ඇයට හමුවන්නේ චිත්‍රපටය තුලදීයි. රිදී තිරයේ පෙම්වතාගේ හඬට, ඇය අප ඉදිරියේ හිඳිමින් ප්‍රතිචාර දක්වනවා. ''බොක්ස්'' තුල සිටින ගණිකාවට ප්‍රතිමුඛ වන සමාජයේ, බොනී මහත්තයා-හොඳ කෙනා හෙවත් මහා පොදු පුරුෂ ෆැන්ටසිය ඉදිරියේ දර්පණය තැබීමට චාලකට හැකිවී තිබෙනවා. ප්‍රචණ්ඩත්වය ෆැන්ටසිකරණය වීම සහ ෆැන්ටසියම නැවත පද්ධතිගත ප්‍රචණ්ඩත්වය බිහිකිරීමට දායක වීම දක්වා ගැඹුරක් දැනවීමට බොක්ස් සමත් වී ඇති බව මගේ නිගමනයයි.

නාට්‍යයේ පසුතලය නාට්‍යයේ අත්දැකීම සමග ගසට පොත්ත මෙන් බද්ධ වී තිබුණා මෙන්ම එය නවමු අත්දැකීමක් ද වුනා. එමෙන්ම ඔවුන් විසින්ම නිර්මාණය කරගත් වේදිකා තාක්ෂණයක් ද නාට්‍ය පුරාම දැකගන්නට ලැබුණා. නාට්‍යයේ රගපෑ සරත් කරුණාරත්න සහ සුදාරා රන්දිනී, විශිෂ්ඨ රංගනයන් සැහැල්ලුවෙන් ඉදිරිපත් කරමින් තම චරිත වෙත උපරිම සාධාරණය ඉටුකොට ඇති බව පැවසිය යුතුයි. තවත් වේදිකා නාට්‍ය කිහිපයකින් අප දැක ඇති සරත්, බොක්ස් හීදී අපට හමුවන්නේ වෙනස්ම කෙනෙකු ලෙසින්. ඔවුන් දෙදෙනාම තම චරිතයන්හි දිග පළල හඳුනාගෙන, හුදු හාස්‍යයට පිරිනැමෙන ගැලරියේ විසිල් අභිබවා නාට්‍ය වෙනත් සියුම් තැනකට රැගෙන යාමට සමත් වී තිබුණා.


බොක්ස්


''බොක්ස්'' තුලින් පිටතට එන හාස්‍යය මතුවන්නේ නාට්‍යයේ සන්දර්භය මත සිදුවන ගැටුමක් ලෙසයි. විටෙක එය සැබෑවටම සිදුවන්නක් ද යැයි ප්‍රේක්ෂකගාරයට සිතෙන තරමටම හාස්‍යජනක වෙනවා. එහෙත් එසැනින්ම අපට අප සමගම එකඟ වන්නට සිදුවෙනවා! මට සිතෙන පරිදි ''බොක්ස්''තුලදී සිදුවන්නේ සම්මුති සත්‍යය ඉදිරියෙන් ප්‍රේක්ෂකගාරයේ එකිනෙකා ගේ පෞද්ගලික සත්‍යය තැබීමයි. එවිට සිනහ සයුරක ගිලෙමින් නාට්‍ය නැරඹීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරි වන්නේ නැහැ. නාට්‍යයේ බොහෝ තැන් වලදී ප්‍රේක්ෂකාගාරය ''බොක්ස්'' රසවිඳින්නේ සාමූහිකවයි. නාට්‍යයට ප්‍රේක්ෂකයන් දක්වන ප්‍රතිචාර වල හැඩය තීරණය වීමට, ඔවුනොවුන් සජීවීව දක්වන පෞද්ගලික ප්‍රතිචාර තුලින් සිදුවන දිරිගැන්වීම් ද හේතුවෙනවා. ප්‍රතිඵලය වන්නේ සාමූහික සිනහවක්. එවිට නාට්‍යය අවසානයේ දී අපූරු දෙයක් සිදුවෙනවා නාට්‍යයේ සමස්ථය සඳහා තමන්ගේ ප්‍රතිචාරය විය යුත්තේ සිනහවක් ද සුසුමක් ද යන වග තීරණය කිරීමට ප්‍රේක්ෂකාගාරයට තමන්ගේ එහා පැත්තේ ඉන්න කෙනා දිහා බැලීමට සිදුවෙනවා. ඒ මොහොත වන විටත් ප්‍රේක්ෂකයන් වන අප සිටින්නේ අඩ අඳුරේ, තම තමන්ගේ බොක්ස් තුලට වී නිසා අප අසළ සිටින්නා අප දෙස හොරැහින් බැලූ බව අප දකින්නේ නැහැ. අප ද ඔහු දෙස බැලූ බව ඔහු දන්නේත් නැහැ.

මෙම නාට්‍ය උළෙල අප වෙත ගෙන ඒමට වෙහෙස මහන්සිය දැරූ දිමුතු චින්තකට, සියළුම නාට්‍ය නිෂ්පාදකවරුන්ට සහ ඒ පිටුපස සිටි කණ්ඩායමට, අපගේ ප්‍රණාමය පුද කරන අතර, තව තවත් උසස් නිර්මාණ අප වෙත ගෙන එන්නට ධෛර්යය හා ශක්තිය පතනවා!

21.02.2011

අමිල ගලප්පත්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails