Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[ලිපියට පෙරවදනක් : මේ ලියන මොහොත වන විටත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නගමින් ඊජිප්තු ජනාධිපති හුස්නි මුබාරක්ට වහා පිටව යන ලෙස බල කරන එරට ජනයා දොලොස් වන දිනටත් කයිරෝ නගරයේ ටහ්රීර් චතුරස්‍රයෙහි පිටාර ගලමින් ඇත. ටහ්රීර් යන්නෙහි තේරුම නිදහස යන්නයි. මෙම ජන නැගිටීමෙහි සුවිශේෂත්වය එය කිසිවෙකු විසින් සංවිධානය නොකරන ලද්දක් වීමයි.

ඔවුහු අසල්වැසි ටියුනීසියානු විප්ලවයෙන් විෂයකරනය වී තමන් අතර ඇති ආගමික හෝ දේශපාලනික වෙනස්කම් අමතක කර පොදු සතුරාට එරෙහිව නැගෙන්නට වූහ. නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට ඇති අනතුර ඉදිරියේ ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි අනන්‍යතාවයන් පසෙකට දැමින. පහතින් පලවන්නේ අරාබිකරයේ මෙම විප්ලවීය ජවය පිලිබද වර්තමාන බටහිර දර්ශනයේ ජනප්‍රියම තාරකාව වන ස්ලෙවෝ ජිජැක්ගේ ලිපියක පරිවර්තනයයි. -පරිවර්තක]

ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ ජනතා නැගිටීම් පිලිබද බටහිර ලිබරල් ප්‍රතිචාරයන් බොහෝ විට ප්‍රකට කරන්නේ කුහකත්වය හා නරුම භාවයයි. මෙම විප්ලවයන්හි ඇති ආකර්ෂනීයත් වය වන්නේ ඉස්ලාම් මූලධර්මවාදය කැපී පෙනෙන ලෙස ම නොපැමිණීම යි. සුවිශිෂ්ට ලෞකික ප්‍රජාතන්ත්‍රික සමිප්‍රදායට අනුව මෙම ජනතාව මර්ධිත රෙජීමයකට, එහි දූෂණයට සහ එය විසින් ඇති කරන ලද දරිද්‍රතාවයට එරෙහිව කැරලි ගසා නිදහස සහ ආර්ථික අපේක්ෂාවන් ඉල්ලා සිටියහ. මෙයින් අරාබි කරයේ රටවල සැබෑ ප්‍රජාතන්ත්‍රික සංවේදනය සීමිත ලිබරල් ප්‍රභූ පංතියකට සීමා වී ඇති අතර බහුතර සාමාන්‍ය ජනතාව උත්තේජනය කර විය හැක්කේ ආගමික මූලධර්මවාදයට හා ජාතික වාදයට පමණකි ය යන බටහිර ලිබරල්වාදීන් ගේ නරුමවාදී පන්ඩිතමානී අදහස වැරදි බව ඔප්පු විය. ප්‍රධාන ගැටලුව වන්නේ ඊලගට සිදුවන්නේ කුමක් ද යන්න යි. දේශපාලන ජයග්‍රාහකයා ලෙස මතුවනු ඇත්තේ කවුරුන් ද?

ටියුනීසියාවේ තාවකාලික ආන්ඩුව තෝරා ගන්නා අවස්ථාවේ එයින් ඉස්ලාම් වාදීන් හා රැඩිකල් වාමාංශිකයින් බැහැර කෙරින. තෘප්තිමත් ලිබරල් ප්‍රතිචාරය වූයේ, "ඉතා හොදයි, මේ තමයි ඒකාධිපතිවාදී අන්ත දෙක, ඔවුන් මූලිකව එක සමානයි" යන්නයි. නමුත් දේවල් ඒ තරමට ම සරල ද? සැබෑ දිගු කාලීන පසමිතුරුභාවය රැදී පවතින්නේ ඉස්ලාම්වාදීන් හා වාමාංශය අතර නොවේ ද? මර්ධිත රෙජීමයට එරෙහිව ඔවුන් තාවකාලිකව එක්සත් වුවද, එයින් ජයගත් වහා ඔවුන් දෙකඩ වී මරනීය අරගලයකට මුල පුරයි. එය බොහෝ විට පොදු සතුරාට එරෙහි අරගලයට වඩා බෙහෙවින් දරුණු එකකි.

නිශ්චිතවම මෙවැනි ගැටුමක් අවසන් ඉරාන මැතිවරනයන්ගෙන් පසුව අපි නොදුටුවෙමු ද? සිය දහස් ගණනක් වූ මුසාවිගේ ආධාරකරුවන් රැදී සිටියේ කුමේනිගේ විප්ලවය දරා සිටි ජනප්‍රිය සිහිනය වූ නිදහස සහ සාධාරනත්වය මත ය. මෙම සිහිනය මනෝරාජික වන්නේ වී නමුත්, එය ලොමුදැහැගන්වන සමාජ හා දේශපාලනික නිරමාණශීලීත්වයක් සමාජය තුල පිපිරවීමට මග පෙන්වී ය. ශිෂ්‍යයන් අතර හා සමාන්‍ය ජනතාව අතර සංවිධානමය අත්හදා බැලීම් සිදු විය; වාද විවාද ඇති විය. ඕනෑම දෙයක් කල හැකි බව පෙනුනු මොහොතක, විවෘත වූ මෙම සැබෑ ඉඩ ප්‍රස්තාව සමාජ පරිවර්තනයේ බලවේගයන් විසින් නොසලකා හරින ලදි. ඉස්ලාම් වාදී ස්ථාවරය මගින් දේශපාලන යාන්ත්‍රණය අත් කර ගැනීම විසින් මෙම ඉඩ ක්‍රමයෙන් යටපත් කෙරිනි.


පැහැදිලිව මූලධර්මවාදී වන ව්‍යාපාරයන් ගැන සලකා බැලීමේ දී පවා සමාජ සංරචකය මගනොහැරීමට අප ප්‍රවේශම් සහගත විය යුතු යි. දිගින් දිගටම තලෙයිබාන් විද්‍යාමාන වන්නේ ත්‍රස්තය මගින් සිය බලය ක්‍රියාත්මක කරන මූලධර්මවාදී ඉස්ලාම් කන්ඩායමක් ලෙසයි. කෙසේ නමුත් 2009 වසන්ත කාලයේ දී ඔවුන් පකිස්තානයේ ස්වැට් නිම්නය අල්ලා ගත් අවස්ථාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ එහි වෙසෙන සුලුතර ධනවත් ඉඩම් හිමියන් හා ඔවුන්ගේ ඉඩම් අහිමි කුලී කරුවන් අතර ඇති ගැඹුරු තුවාල භාවිතා කරමින් තලෙයිබාන් සංවිධානය පංති අරගලයක් නිර්මාණය කර ඇති බවයි. නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ වචන වලින් තලෙයිබාන් සංවිධානය කරමින් සිටින්නේ ගොවියන්ගේ තත්වයෙන් ප්‍රයෝජනය ලබා ගෙන "විශාල වශයෙන් වැඩවසම් ලෙස පැවතී‍මෙන් පකිස්තානයට ඇති අවදානම් පිලිබද අනතුරු ඇගවීම" නම්, පකිස්තානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් සහ එක්සත් ජනපදය මෙම තත්වය සමාන ලෙසම ප්‍ර යෝජනයට ගෙන එම ඉඩම් අහිමි ගොවියන්ට උදව් කිරීමෙන් වලකන්නේ කුමක් විසින් ද? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවික සහයකයා වන්නේ පකිස්තානය තුල ඇති මෙම වැඩවසම් බලවේගයන් ද?

මෙයින් ලැබිය හැකි අනිවාර්ය නිගමනය වන්නේ මුස්ලිම් රටවල් වල රැඩිකල් ඉස්ලාම් වාදයේ නැගීම යනු ලෞකික වාමාංශය අතුරුදන් වීමේ අනික් අන්තය බවයි. අද ඇෆ්ගනිස්තානය අගතිගාමීම ඉස්ලාම් මූලධර්මවාදී රට ලෙස නිරූපනය කරන විට, කාටද තවමත් මතක, වසර හතලිහකට පමණ පෙර, එය සෝවියට් සංගමයෙන් ස්වාධීනව බලය ගත් බලවත් කොමියුනිස්ට් පක්ෂයක් ද ඇතුලත් ශක්තිමත් ලෞකික සම්ප්‍රදායක් සහිත රටක් වූ බව. එම ලෞකික සම්ප්‍රදායට සිදු වූයේ කුමක් ද?

ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ (සහ යේමනයේ හා සමහර විට සෞදි අරාබියේ පවා) වර්ධනය වෙමින් ඇති සිදුවීම් මෙම පසුබිම තුල කියවීම අතිශය තීරණාත්මක ය. තත්වය අවසානයේ ස්ථාවර වී, ලිබරල්වාදී අංගරාග ශල්‍යකර්ම (liberal cosmetic surgery ) ද සහිතව පැරණි රෙජීමයම පැවතුනහොත් එය විසින් ජයගත නොහැකි මූලධර්මවාදී ප්‍රතික්‍රියාවක් ජනනය කරනු ඇත. අති මූලික ලිබරල් උරුමයේ පැවත්ම වෙනුවෙන්, ලිබරල් වාදීන්ට රැඩිකල් වාමාංශයේ සහෝදර උපකාරය අවශ්‍යව තිබේ. නැවත ඊජිප්තුව දෙසට හැරුනොත්, වඩා ලැජ්ජාසහගත සහ භයානක ලෙස අවස්ථාවාදී වූ ප්‍රතිචාරය වූයේ සී එන් එන් මගින් වාර්තා වූ ටෝනි බ්ලෙයාර් ගේ ප්‍රකාශයයි : "වෙනසක් අවශ්‍යයි. නමුත් එය ස්ථායී එකක් විය යුතුයි. අද දවසේ ඊජිප්තුව තුල ස්ථායී වෙනස යන්නෙන් අදහස් වනුයේ පාලක ස්ථරය ක්‍රමිකව විශාලනය කර ගැනීම ඔස්සේ මුබාරක් ගේ බලවේග සමග සම්මුතිගත වීම යි". සාමකාමී සංක්‍රාන්තියක් ගැන කතා කිරීම අශ්ලීල වන්නේ මේ නිස යි. විපක්ෂය තලා පොඩිකර දැමීමෙන් එය නොකහැක්කක් බවට පත් කරනු ලැබුවේ මුබාරක් විසින් ම ය. උද්ඝෝෂකයන්ට එරෙහිව මුබාරක් විසින් හමුදාව එවීමත් සමග තෝරා ගැනීමට ඇති දෙය පැහැදිලි විය: එක්කෝ අංගරාග වෙනසක් (cosmetic change) එනම් යමක් වෙනස් වන එනිසා සියල්ල පෙර ලෙසම පවතින වෙනසක් නැත්නම් සැබෑ පරිවර්තනයක්.

සත්‍යයේ නිමේෂය ඇත්තේ මෙතැනයි: දශකයකට පෙර ඇල්ජීරියාවේ සිදු වූ වා සේ සැබවින්ම නිදහස් මැතිවරන පැවැත්වීම ඉස්ලාම් මූලධර්මවාදීන්ට බලය ප්‍රදානය කිරීමට සමාන වන්නේ යැයි කිසිවෙකුට කියා පෑ නොහැකි යි. තවත් ලිබරල් කනස්සල්ලක් වන්නේ මුබාරක් ගිය හොත් බලය ලබා ගැනීමට සංවිධිත දේශපාලන බලවේගයක් නොපැවතීමයි. ඔව්, ඇත්තෙන්ම එවැන්නක් නැහැ. මුබාරක් විසින් සියලුම විපක්ෂ බලවේගයන් හුදු ආන්තික සැරසිලි (marginal ornaments) බවට ඌනනය කිරීමට වගබලා ගත් තත්වයක් තුල ඇති වී ඇති ප්‍රතිඵලය අගතා ක්‍රිස්ටිගේ ජනප්‍රිය නවකතාවක නමට සමාන වී ඇත: ඉතින් කවුරුත් නැහැ. මුබාරක් වෙනුවෙන් ඇති තර්කය වන එක්කෝ ‍‍‍‍ඔහු නැත්නම් වියවුල යන්න ඔහුටම එරෙහිව ඇති තර්කයක්.

බටහිර ලිබරල් වාදීන්ගේ කුහකත්වය ලොමු දැහැගන්වන සුලුයි: ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රසිද්ධියේ සහය දුන්හ; දැන් ජනතාව ආගමේ නාමයෙන් නොව, ලෞකික නිදහසේ සහ සාධාරනත්වයේ නාමයෙන් ප්‍රජාපීඩක පාලකයන්ට එරෙහිව නැගී සිටින විට, ඔවුන් ඒ පිලිබද ගැඹුරින් කල්පනා කරමින් සිටිති. කල්පනා කරන්නේ ඇයි? අවස්ථාවක් ලද ඒ නිදහසින් ප්‍රමුදිත නොවන්නේ ඇයි? මාඕ සේතුං ගේ පැරණි ආදර්ශ වාක්‍යය කවරදාටත් වඩා අදට උචිතය:

ස්වර්ගයට යටින් ඇති සියල්ල අවුල් වියවුල් වී ඇත, අවස්ථාව සුවිශිෂ්ට ය. [There is great chaos under heaven. The situation is excellent]

එසේනම් මුබාරක් යා යුත්තේ කොහාට ද? මෙතැන දී ද පිලිතුර පැහැදිලි ය. එනම් හේග් අධිකරනය වෙතට ය. එහි අසුන් ගත යුතු රාජ්‍ය නායකයෙකු සිටී නම් ඒ ඔහු ය.

[මෙම ලිපිය 2011 පෙබරවාරි 1 වන දා guardian.co.uk හි පල විය.]
[ඡායාරූපය- අල් ජසීරා]

ස්ලෙවෝ ජිජැක්
පරිවර්තනය - කෞශල්‍ය කුමාරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails