Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ක්‍ෂුද්‍ර කවිය, කවියේ තිඹිරි ගෙය යි. මානව ශිෂ්ඨාචාරයේ පළමු කවි සියල්ල ක්‍ෂුද්‍ර කවි වීම අනිවාර්ය විණි. මන්ද පළමු කවි බිහි වුණේ සිත් තුළ පමණ ය. වචන ඔස්සේ මෝචනය වූ පළමු කවි මහා ආඛ්‍යාන වීමට රේඛීය වූ මහා ආඛ්‍යානමය ඉතිහාසයක් ඒ වන විට ගොඩ නැගී නොතිබිණි. රාජ්‍යය සංස්ථාපිත වන්නට නම් මහා ආඛ්‍යාන ගොඩ නගා නඩත්තු කළ යුතු විය. ඉතිහාසය නම් රේඛීය සංස්ථාගත කාල මානය අවශ්‍ය විය. වැඩවසම් රාජ්‍යය තුළ මහා කාව්‍යයන් බිහි වීමේ විභවය වූයේ එයයි.

ක්‍ෂුද්‍ර කවිය හැම විටම මහා ආඛ්‍යානයට එරෙහි විය. සිංහල ජන කවියේ අල්පෝක්තික චිත්තරූපවාදය ඒවායේ එළිවැට සහ සඳැස් ලකුණු-

පසෙකලා බැලූ පසු ක්‍ෂුද්‍ර කවි වලට නෑකම් දැක්වීය. පැරැන්නන්ගේ ජීවන ප‍්‍රඥාව ගැබ් කොට ගත් කියමන් පිරුළු තුළ ද මෙම ලකුණු දැකිය හැකි වේ. එහෙත් ක්‍ෂුද්‍ර කවිය කියූ සැණින් අපට සිහියට නැගෙන ජපන් හයිකු කවිය දාර්ශණිකව, සෞන්දර්යවාදීව, ආකෘතිකව ක්‍ෂුද්‍ර කවියේ පරමාදර්ශය වී තිබේ. එසේම පවුන්ඞ් වැනි චිත්තරූපවාදී කවියකුට ජීවය දුන් ඔහුගේ මහා ආඛ්‍යාන කාව්‍යය පෝෂණය කරන තරමේ මහේක්‍ෂීයත්වයක් එම ක්‍ෂුද්‍ර කවි ගැබ් කොට ගත්තේ ය.

ක්‍ෂුද්‍ර කවිය චිත්තරූපවාදී මෙන්ම අල්පෝක්තිකවාදී විය. නූතන සාහිත්‍යයේ කැපී පෙනෙන අල්පෝක්තිකවාදයක් පිළිඹිබු කළ අර්නස්ට් හෙමින්ග්වේ ගේ කෙටි කතා ගැන කරන ප‍්‍රකට කියමනක් ක්‍ෂුද්‍ර කවියට ද මනාව ගැලපෙයි. එනම් ඔහුගේ කෙටි කතා ”මුහුදේ පා වෙන හිම කුට්ටි වැනි”ය යන කියමනයි. මුහුදේ පා වෙන හිම කුට්ටියක මතුපිටින් පෙනෙනුයේ ඉතා සුළු කොටසකි. වැඩි හරියක් ඇත්තේ දියේ ගිලී ය. සැබැවින්ම ක්‍ෂුද්‍ර කවි ද එසේ ය.

ලාංකීය ක්‍ෂුද්‍ර කවියේ දැවැන්තයකු වන ආරියවංශ රණවීර විසින් පරිවර්තිත ”මිණි පැමිණි” නම් හයිකු කවි එකතුවෙහි පසුවදනේ දී ඔහු උපුටා දක්වන විචාර කණ්ඩයක් මෙහිදී දක්වන මනා ය.

ජපන් කවියකි
මාත‍්‍රා දහයක
හැඩය එය
කුඩාය
බෙලි කටුවකි
සිහින්
මහා සමුදුරක සිතුවිළි
ගුලි කරගෙන සිටිනා

-ඩොරති බි‍්‍රටන්-

Slang is poor mans poetry යන කියමන තුළින් ද අවවහරේ එන චිත්තරූපවාදී ශෘංගාරාත්මක බව හඳුනා ගනී. අවවහර ද එක්තරා ක්‍ෂුදු කවි ප‍්‍රභේදයක් ද? සම්භාව්‍ය ශෘංගාර සාහිත්‍යය වෙනුවට ජනකාන්ත ක්‍ෂුද්‍ර කවියක් ද?

ක්‍ෂුද්‍ර කවි ප‍්‍රයෝගයක් ද? සම්භාව්‍ය ශෘංගාර සාහිත්‍ය වෙනුවට ජනකාන්ත ක්‍ෂුද්‍ර කවියක් ද? මෙවන් ප‍්‍රශ්න අප කවියේ ප‍්‍රගමනය උදෙසා නැගිය යුතුව ඇත.නූතන සිංහල තරුණ කවියේ පැණ නැගී ශෘංගාරාත්මක චිත්තරූපවාදය වැන්නක් නොඑසේව අපට ස්ථානගත කළ නොහැකිය. ඒවායෙහි නරුමවාදී බව පමණක් කවි,නොකවි, ප‍්‍රතිකවි, ක්‍ෂුද්‍ර කවි ආදී අප නාම ගැන්වීමෙන් සිදු වන සෙතක් ඇත්ද? සීගිරි කුරුටු ගී,කැම්පස් කුරුටු කවි,අවවහර ජන කවි වැනි කියමන් වැනි බොහෝවක් මහා ආඛ්‍යානමය බවින් වියෝ වන හෙයින් ඒ තුළ ක්‍ෂුද්‍ර කවි ලක්‍ෂණ ගැබ් වෙයි. අවසන් විග‍්‍රහයේදී මේ කවරක් වුව මහා ආඛ්‍යානයකින් හසුරුවන බව සත්‍යය විය හැකිය. නිදසුනකට ක්‍ෂුද්‍ර කාව්‍යමය ගුණයන් සහිත ප‍්‍රචාරක දැන්වීම් දකිත හැකිදු, ඒ සියල්ල වෙළඳපළ සහ ලාභය නැමති මහා ආඛ්‍යානය විසින්ද අවවහරේ ක්‍ෂුද්‍ර කාව්‍ය ලක්‍ෂණ පුරුෂ මූලික රාජ්‍ය කේන්ද්‍රීයත්වය නම් මහා ආඛ්‍යානය විසින් ද පාලනය කරනු ලැබ ඇත. මන්ද අවවහර පුරුෂයින්ගේ මිස ස්ත‍්‍රීන්ගේ නොවේ.

ක්‍ෂුද්‍ර කවි සහ ආඛ්‍යානයමය කවි අතර සමවාය සම්බන්ධය පිළිබිඹු කළ කවීන් දෙදෙනකු නම් එස්රා පවුන්ඞ් සහ මහගම සේකර ය. ක්‍ෂුද්‍ර කවි රැසක් චිත්තරූපවාදීව විඥානමයධාරා රටාවකට ප‍්‍රතිමුඛ වී සමොධානීකරණය වීම තුළින් ආඛ්‍යාන කවි බවට පත්වීම පවුන්ඞ්ගේ කැන්වෝස්, සේකරගේ නොමියෙමි, ප‍්‍රබුද්ධ වැනි කාව්‍යයන් තුළ මොනවට දකිත හැක.

ක්‍ෂුද්‍ර කවිය තුළ එන මූලික ලක්‍ෂණයක් නම් එහි එන ප‍්‍රජාතාන්ත‍්‍රීය බවයි. එනම් කවියා මියගොස් සිටීමයි.එවිට රසිකයා මත බලපවත්වන කවියාගේ පොලිස් රාජ්‍යය අහෝසිව තිබීමයි. එවිට පැන නගින පාඨාන්තරීය කියවීම් පිළිබඳ කාරණය ක්‍ෂුද්‍ර කවියක මූලික දෙයකි. ඔස්කා වයිල්ඞ් ට අනුව කලා කෘතියක් රස විඳීම යනු කැඩපතක් ඉදිරියට යාමකි. මන්ද කැඩපතින් පෙනෙන්නේ බලන්නාගේ මුහුණ ය. ක්‍ෂුද්‍ර කවිය ප‍්‍රජාතාන්ත‍්‍රීය වීම නියතයක් ලෙස ගත හැකි ද? එය එහි මූලික ලක්‍ෂණයක් මිස නියතයක් නොවේ.(කලාවෙහි නියත නැත). මන්ද ක්‍ෂුද්‍ර කවිය ද අනෙකුත් කලාවන් සේම මතවාදී දෘෂ්ටිවාදී ආඛ්‍යානයක් කවියා විසින් කෙවිටින් දක්කනු ලබන්නක් වූ සැණින් අධිකාරවාදී ආඛ්‍යානයක් බවට පත් වේ. කෙටි වූ පමණින් එය ක්‍ෂුද්‍ර කවියක්වත්,කවියක්වත් නොවේ. 80 දශකයෙන් පසු යළි සිංහල කවියෙහි පැන නැගී තිබෙන මේ වන විට ලොව කිසිදු දියුණු රටක නැති කෙටි කවි ද?, දිග කවි ද? වැනි ගාලගෝට්ටි කවියෙහි ප‍්‍රගමනය ට නොව කුකවියන් ට කවීන් වීමට ඉණිමං පමණි. කවිය දිග වුවත්,කෙටි වුවත් ඉන් ඒ කවි වන්නේවත්, නොවන්නේවත් නොවේ. සංකල්ප රූප සහ චිත්තරූප තුළින් යමක් ධවනි නොකරන කිසිවක් දිග වුව ද,කෙටි වුව ද කවි විය හැකි නොවේ.

ලෝක තලය තුළ ප‍්‍රතිකවි සහ කවි නොමවන කවි අරභයා කවියේ අධිකාරවාදය බිඳ වැටී බොහෝ කල් ගෙවී ඇත. එහෙත් මෙහි ඒ පල් වලේ දියබුං ගැසීම යළි ඇරඹී ඇත. ඇතැමුන් 80 දශකයේ මුල් භාගයෙන් නැවතූ සංවාදය යළි එතැනින්ම අරඹා ඇත.

ක්‍ෂුද්‍ර කවිය ලෝක පද්‍ය සාහිත්‍යය තුළ මහේක්‍ෂීය කාව්‍යාංගයක් බවට පත් වී හමාර ය. එය කවියේ මං හසර සොයා ගැනීමට මග පෙන් වූ මහෝඝයකි. ක්‍ෂුද්‍ර කවිය එහි ක්‍ෂුද්‍රත්වය හෙයින්ම මහෝක්‍ෂය සැකිළි රුවක් චීන කටු චිත‍්‍රයක් මෙන් එහි සියල්ල අප හමුවේ තබයි. එහි එන අල්පෝක්තිකවාදය එබැවින්ම ජීවිත සොබාවන් අතිශයෝක්තියට නංවයි. ජපන් ඉකෙබානා මල් සැකසුම් කලාවෙහි ප‍්‍රකට ආප්තයක් බවට පත් වූවක් වන මල ලස්සන කිරීමට නම් බඳුන වඩාත් රළු කරන්නත් යන ක්‍ෂුද්‍ර කවියට මොනවට ගැලපේ.

ක්‍ෂුද්‍ර කවියේ පරමාදර්ශය මෙන්ම පූර්වාදර්ශය වන හයිකු කවිය ජපන් බොන්සායි විසිතුරු රුක් කලාවට නෑකම් දක්වයි. අවුරුදු සිය ගණන් වයස,අඩියක් හමාරක් උස රූස්ස ගස්, ක්‍ෂුද්‍ර කවිය ද එසේ ය. ක්‍ෂුද්‍ර වූ එය මහේක්‍ෂීය අවබෝධයක් ජනිත කරයි.අයිරිෂ් මහා කවි යීට්ස්ගේ ක්‍ෂුද්‍ර කවි තුළ ද පුරාණ ග‍්‍රීක කවි වල ජපාන ටැන්කා සහ හයිකු කවි මෙන්ම චීන කවි වල ආභාෂය දකිත හැකි ය.පෙරදිග ක්‍ෂුද්‍ර කවියට සෙන් දහම,ගසන් කතාවට සේම මහේක්‍ෂීය භාවයේ ජීවන හුස්ම පිම්බේ ය. යීට්ස්,පවුන්ඞ්,සේකර වැන්නන් තුළ පැවැති මහා ආඛ්‍යාන විරෝධයට,වික්ටෝරියානු විරෝධයට ක්‍ෂුද්‍ර කවිය පෑහුණේ එවන් පසුබිමක ය. මහා ආඛ්‍යාන ඔලූවේ තබා ගත් මෝල්ගස් ගිලින ලද පිඹුරන්ට ක්‍ෂුද්‍ර කවිය අසාත්මික වන්නේ එහෙයිනි. එහෙත් කාරණය නම් මහා ආඛ්‍යානය ඔලුවේ තබා ගෙන ලියනා ක්‍ෂුද්‍ර කවි ඔවුන් විසින් සහතික දී නිර්දේශ කිරීමයි. ක්‍ෂුද්‍ර කවි යනු මෝස්තරයක් නොවේ.

සෙන් බුදු දහම සහ මනෝ විශ්ලේෂණය අතර සමීපතාවන් හඳුනා ගන්නා එරික් ෆ්‍රොම් ප්‍රොයිඩියානු ආබාධිත සංඝටන මනෝ චිකිත්සකවේදී විධි ක‍්‍රමය බුදු දහමේ චෛතසික ධර්මතා පිළිබඳ දැක්ම සමඟ ඇති සමානකම් දක්වයි. විඥානධාරා සන්දර්භය කෙරේ මනෝවිශ්ලේෂණවේදය ආනුභාවය පෑවේය. චිත්තරූපවාය කෙරේ ද ඒ එසේම ය. සෙන් දහම,හයිකුව,ක්‍ෂුද්‍ර කවිය චිත්තරූපවාදයේ ප‍්‍රතිමුඛකරණයට සමරූපී සමෝධානීකරණ සිනමා ආර, මේ සියල්ල මහා ආඛ්‍යාන වලට එරෙහි ය. ඉතිං ක්‍ෂුද්‍ර කවිය මහා ආඛ්‍යාන ගොඩ නොනගයි. ඒ මහේක්‍ෂීය අවබෝධයන් ගොඩ නගයි. ක්‍ෂුද්‍ර කවිය මහා ආඛ්‍යානයන්ගේ මළගමයි. එබැවින් ඒ කවියාගේ ද මළගමයි. කවියා ජීවත් වන්නේ කොතැන්හි ද එවිට කවිය මිය යයි. කවියා මිය ගිය තැන්හි කවිය උපදියි. එය මොනවට පසක් කරනු උරගල ක්‍ෂුද්‍ර කවියයි.

[තුෂාරි ප්‍රියංගිකාගේ "වයිතාල" [2009] පොතේ පෙරවදනෙන්.]

කේ කේ සමන් කුමාර [සර්පයා]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails