Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


නිමිත්ත| සුභද්‍රා ජයසුන්දර ගේ "පැන්ඩෝරා"

ලෝක සාහිත්‍යය තුළ ස්ත්‍රීත්වය පිළිබඳ බිහිවි ඇති නිර්මාණ බොහෝය. ඒවා විවිධ මාන වලින් ද්‍රෘෂ්ටි කෝණ වලින් ගැහැණිය හා ස්ත්‍රීත්වය විග්‍රහ කරයි. ඒවායේ පදනම් විටෙක ආගමික වන අතර තව විටෙක සංස්කෘතිකය; තවත් විටෙක නූතන ස්ත්‍රීවාදී අදහස් වලින් පෝෂිතය. සුභද්‍රා ජයසුන්දර ගේ මේ කවිය දැකිය හැක්කේ සංස්කෘතිය හා ආගම මත පදනම්ව ගොඩ නැගුණු ශිෂ්ටාචාරය ඓතිහාසිකව බිහි කළ ස්ත්‍රියගේ ප්‍රතිරූපය ට ආගමික සංකේත භාවිත කරමින් කරන අභිමුඛ වීමක් ලෙසිනි.

බයිබලයට අනුව සේම ග්‍රීක සාහිත්‍යයට අනුව ද මිනිසා ද මිනිසා ගේ සහයට ගැහැණිය ද මවන්නේ දෙවියන් විසිනි. යෙහෝවා පිරිමියාගේ ඉළ ඇටයකින් ඊවා හෙවත් ලොව ප්‍රථම මනුෂ්‍ය දුව පාපයෙන් තොරව මවන විට සියුස් මැටි වලින් සැදූ ලොව ප්‍රථම ගැහැණියට පැන්ඩෝරා ට දෙවිවරුන් සතු සියළු හැකියාවන්ද සෝබාවන් ද කිසිවකටත් වඩා කුතුහලය ද දුන්නේය. ඒ සමගම මිනිසාට දඬුවම් පිණිස සියළු නපුර පිරවූ මංජුසාවක් ද දුන්නේය. බයිබලයට අනුව සර්පයා හෙවත් පාපයේ දූතයා ට ආදම් ද ඒ පවට ඇඳා ගන්නී ඊවාය.

උන්වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක:
“නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විළි රුදා ඇතිව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහිය. එහෙත් නුඹේ ආශාව සැමියා කෙරේ වන්නේය. ඔහු නුඹ පාලනය කරන්නේය.”
උත්පත්ති 3:16

විවෘත නොකරන ලෙස අණ ලද මුත් කුතුහලයෙන් මඬනා ලදුව සියුස්ගේ මංජුසාව විවෘත කර ලෝකයට වේදනාව ද අඬ දබර ද ලෙඩ රෝග ද පතුරන්නි පැන්ඩෝරාය. මේ අනුව දුක ද පාපය ද මිනිසා වෙත රැඟෙන එන්නී ගැහැණියයි.

Pandora (the very first woman who was formed out of clay by the gods) opened the pithos (storage jar) which Zeus had given her as a wedding present, and released the swarm of evil spirits trapped within. They would ever afterwards plague mankind.- ග්‍රීක සාහිත්‍යය

එනයින් ගැහැණියගේ ගමන ඇරඹෙන්නේම සමස්ත මානව වර්ගයාගෙන් දෙස් ලබන්නිය ලෙසිනි.

ධනේෂ්වර ආර්ථිකයක සංස්කෘතිමය උපරි ව්‍යුහයේ උපාංගයන් වන සියලු ආගමික සංස්කෘතීන් හෝ දාර්ශනික මානයන් විමසා බලද්දී ගැහැණිය සාහිත්‍යයේ දී හෝ ‍ඓන්ද්‍රිය ලෝකයේ දී පිරිමියාට ඉහළින් තැබෙන්නේ නැත. ඇය ඔහුගෙන් නිමැවෙන අතර ඔහුට අතවැසි වීම ම ඇගේ යහපත් කම පිළිබිඹු කරයි. මව් තනතුරෙහි ලා පසු කලෙක ඇය මුදුන් මස්තක කරන ලෝකයම අන් සියලු තැන හිදී ඇගේ වරදම සොයයි. ඉදින් ඇය පිරිමියාගේ දඬුවමයි.

“ග්‍රීක සමාජයේ කාන්තාවට හිමි තැන ඉතා පහත් එකක් විය. ගැහැණියගේ ප්‍රධාන කාර්යය වූයේ දරුවන් ; විශේෂයෙන් පිරිමි දරුවන් හැදීමයි.” - ප්ලේටෝ (427-347 ක්‍රි.පූ.)

ප්ලේටෝ සිය නිරීක්ෂනය එසේ සටහන් කරද්දී ඇරිස්ටෝටල් දේව නීතිය ස්වභාවික රීතිය සමග මෙසේ ගළපයි.
“ගැහැණිය පහත් වන්නේ කිසියම් දොසක් හේතුවෙනි. “ඔවුහු ස්වභාවයෙන්ම දෝෂ සහිතය” මන්ද ඔවුන්ට සම්පූර්ණ මිනිසෙකු තැනිය හැකි ශුක්‍රාණුවක් නිපදවිය නොහැකි බැවිනි. ගැහැණියක හා මිනිසෙකු සංවාසයේ යෙදෙන විට පිරිමියා මිනිස් ජීවිතයක් සඳහා අවශ්‍ය සාධක ලබා දෙයි. (උදා: ආත්මය, හැඩය). ගැහැණිය හුදෙක් පෝෂණයෙන් පමණක් දායක වෙයි.”

ඇරිස්ටෝටල්ට අනුව මිනිසාට ගැහැණිය පාලනය කළ හැකි වන්නේ ඔහු සතුව අසීමිත බුද්ධි මහිමයක් ඇති නිසාය. මෙය මිනිසා මත රඳා පවතින ගැහැණියට ද යහපත උදා කරයි. හරියට මානවයින් හා හීලෑ සතුන් අතර ඇති සම්බන්ධය මෙනි.

අප ඇරිස්ටෝටල් ගේ කියවීම තුළ වටහා ගත යුතු දෙය වන්නේ ඔහු අවධාරණය කරන කරුණ වන “ස්වභාවයෙන්ම දොස් සහිත” යන්නයි. ඔහු එය ජීව විද්‍යාත්මක කරුණක් පදනම් කර ගැනීමෙන් ස්වභාවික රීතියකට අනුව විග්‍රහ කරයි.

සුභද්‍රා ඓතිහාසික ඊවාගෙන් සහ පැන්ඩෝරා ගෙන් ස්ත්‍රිය විග්‍රහ කළ ද එය නූතන ස්ත්‍රීවාදී විග්‍රහයකින් වෙනස් වෙයි.

ස්ත්‍රීවාදී සාහිත්‍ය ධාරාවේ ධාරාවේ දිදුළන කිවිඳියක වන මායා ඇන්ජලෝ සිය කවිය යොදවන්නේ මේ සාම්ප්‍රදායික ගැහැණියට සමාජයෙන් හිමි කර දී ඇති ප්‍රතිරූපයට එරෙහිවය. ගැහැණිය නිරන්තරයෙන් පාගා දමන්නට තැත් කරන පුරුෂ අධිකාරියට එරෙහිවය. ඇගේ Phenomenal Woman නම් ලෝ ප්‍රකට කවියෙන් ඇය ගැහැණියගේ රූමත් බවට සලකන නූතන සමාජය ධෛර්යවන්තව ප්‍රශ්න කරයි. සිය ස්ත්‍රී ශරීරය තුළ සැඟව ඇති පුද්ගල ලක්ෂණයන් සහ ස්වභාවයන් මිස බාහිර ස්වරූපය වැදගත් නොවන බව ඇය අවධාරණය කරයි.

“මගේ රහස කොහි වෙත්දැයි
රුවැති ගැහැණුන් විස්මයෙන් විමසති
මම සොබාමත් නොවෙමි
මෝස්තර නිරූපිකාවක් බඳු සිරුරකට ද
හිමි කම් නොකියමි
එහෙත් මා මුව විවර කළ විට
මා මුසා බස් කියන්නේ යයි ඔවුහු සිතති
මම මෙසේ කියමි
එය ඇත්තේ මගේ අතේ දුරිනි
උකුළෙහි පරතරයෙනි
පියවරක දුරිනි
දෙතොල වක් වන සැනෙනි
මම ගැහැණියක වෙමි
අසිරිමත් ලෙස
අසිරිමත් ගැහැණිය...
ඒ මම ය.”*

එහෙත් සුභද්‍රා විස්තර කරන ස්ත්‍රිය සුවඳවත් මායාවී රූ සොබා රැගත් සදා කාලයටම පිරිමියා වසඟ කරගත් ස්ත්‍රියමය.
“පසින් නැඟ සුපුෂ්පිත කුසුම් ගත රඳන්නී
මායාවි ප්‍රකෘතිය සඳුන් තුර වන්නී”

Phenomenal Woman හි ආශ්චර්යමත් ස්ත්‍රිය පිරිමින් දණ ගස්සවයි.

I walk into a room
Just as cool as you please,
And to a man,
The fellows stand or
Fall down on their knees.

එහෙත් “පැන්ඩෝරා” හි ස්ත්‍රිය තවමත් පිරිමියා ඉදිරිපිට දණ නමන්නීය
“දණ නමමි අවනතව නුඹ නිසා කියන්නී”

“අහෝ මැය ඉළ ඇටයෙන් මැවුණ
ඒවා ද නුඹ සිතයි
ඉතින් නුඹ සදහටම ලුහු බඳියි”

එතෙකුදු ඇය ලෝකයට තවමත් පණ නල පිඹියි. ඒ ජීව උල්පත ම පුරුෂයා වරදට පොළඹවයි. ඇය අණ ලද්දී අවනත වීමටය. එනිසාම ඇය අවනතව විසිය යුතුය. එහෙත් මේ කිසිවකින් සංතෘප්ත නොවන පිරිමියා පරිපූර්ණ දෙය සොයා යයි. ඉදින් ඒ ගමනෙහි වරදක් වෙද එහි වගකීම ද හිමි ගැහැණියටය.

“නාභිගත නාභියක ප්‍රේමයෙන් ගැට ගසා
අංශුවෙන් අංශුවට තනන්නී”

පිරිමියාගේ දඬුවම ලෙස යුග ගණනක් තිස්සේ ගරහනු ලැබූ ඇය පරම වූ ප්‍රේමයකින් ස්ත්‍රී පුරුෂ සබඳතා බෞතීස්ම කරන සමාජ ව්‍යුහයක් නොදකියි. ශරීරයෙන් නිපන් සිය නෛසර්ගික ආවේශයන්හි ගැලෙමින් කූඨ ප්‍රාප්තිය වෙනුවෙන් ශිඛර මස්තක වන පිරිමියා ද ජෛව විද්‍යාත්මකවම එයින් වෙනස් වෙමින් නිම්නයක ආනන්දය සොයන ගැහැණිය ද මේ සමාජ සංස්කෘතියේ බලපෑමට යටත්ය. එතෙකදු ඇය මේ ශිඛරයන් ද නිම්නයන් ද අංශුවෙන් අංශුවට ප්‍රේමයේ රැහැනින් වෙළන්නට තැත් දරයි.

“එසේ වුව මා තැනූ දෙවිඳුනී
මා ගෙනා ගින්දරට මම ම කපු සපයමී
ආකාස ගංගාව ගුගුරවයි
දේව නියමය නසා
සැබෑවට මිනිසෙකුට ලංවෙමී.”

සාම්ප්‍රදායික ද්‍රෘෂ්ටිය තුළ ඓතිහාසිකව හංවඩු ගැසුණු ගැහැණියට හිමි ප්‍රතිරූපය සුභද්‍රා වෙනස් මානයකින් ප්‍රශ්න කරන්නේ මෙතැනදීය. ඇය මූලික වශයෙන් ප්‍රශ්න කරන්නේ දෙවියන්ගේ මැවිල්ල හෙවත් ඵලය වන පිරිමියා නොවේ. හේතුව වන දෙවියන්ය. ඇය එරෙහිව යන්නේ සිය මැවුම්කාර දෙවියන්ටය. නොඑසේනම් ඉහත හඳුනා ගත් පරිදි ආගම අයත් වන සංස්කෘතිය නිෂ්පාදනය කරන සමාජයේ උපරි ව්‍යුහයටය. දෙවියන් ලෝකය මවා ඒදන් උයන මැවුවේය. එහි පරිපූර්ණත්වය පිණිස මිනිසා මැවුවේය. ඔහුට තනියට ගැහැණිය මැවුවේය . සියල්ල යහපත් නම් ඇයි සර්පයෙක් හා තහනම් ගසක්? පරිපූර්ණ වීම යනු යහපත හා අයහපත යන දෙකේම පැවැත්ම නම් සියල්ල එහි වේවා! එහෙත් සියල්ල සැලසුම් කරන ලද්දේ දෙවියන් නම් චෝදනා ලැබිය යුතු ගැහැණිය ද? සියුස් විසින් පැන්ඩෝරා සාදනු ලබන්නේ ප්‍රොමිතියස් ට සහ මිනිසුන්ට දඬුවම් පිණිසය. සියලු රුව ගුණ ලබන පැන්ඩෝරා අතට “ශාපලත්” මංජුසාව දෙන්නේ සියුස්ය. එහෙත් චෝදනාව පැන්ඩෝරාටය. සුභද්‍රාගේ කවිය කෙලින්ම පිරිමියාට දමා ගසන්නක් නොවී උද්ඝෝෂණයකට හෝ කෙඳිරි ගෑමකට ලඝු නොවී වෙනත් තලයකට කරනු ලබන ඉදිරිගාමී ආමන්ත්‍රණයක් වන්නේ එතැනදීය.

ගැහැණු මිනිස් සබඳතා එකිනෙකා පෙළන ආස්ථානයක තමන් ඒ තුළ නිරන්තර ගර්හාවට පාත්‍ර වන තැනක ඇය පිරිමියා කෙරෙහි ද ප්‍රේමය කෙරෙහි ද අසීමිතව බැඳෙයි. තමන්ම දැවෙමින් ප්‍රේමය ජීවමාණ කිරීමට දරණ මේ තැත අන්ධ වීමකියි වෙනත් ද්‍රාෂ්ටිවාදයකට තර්ක කළ නොහැකිවා නොවේ. එහෙත් ඒ තුළ ප්‍රේමයේ පරම තත්ත්වය වන කොන්දේසි විරහිත බව කරා මනුෂ්‍යත්වය උත්කෘෂ්ටත්වයට නැංවෙනු විමසිලිමත් ඇසකට හසු වනු ඇත.

දේව නියමයට සැබැවට ඇය ළංවන පිරිමියාගේ විඥානය ද ඔහු මෙතෙක් ගෙවූ සමාජය විසින් හැඩ ගන්වන ලද ජීවිතයේ නිර්මිතයකි. ඔහුගේ පෙරළා ප්‍රේම කිරීමේ ශක්‍යතාව ද සංකීර්ණ මනෝ භාවයන් ද ඒ සංස්කෘතිකයේ බලපෑමට අඩු වැඩි සෙයින් යටත්ය. මානව සබඳතාවක ඇති ද්වි පාර්ශවිය බව ඉස්මතු වන එතැන මේ සදාකාලික සාම්ප්‍රදායික ගැහැණිය තමන් හා සටන් වදියි. තමන්ගේ මූලික ස්වභාවය යයි මුළා කොට ඇන්දවූ නින්දාවේ වැරහැලි ගලවා විසි කොට සංස්කෘතිය විසින් හැඩි කළ පොළොව මත සැබෑ ප්‍රේමයේ මුල් බැස්සවීමට අදිටන් කරයි. ඒ සඳහා තනිව සටන් වදින්නට ස්ත්‍රිය සූදානම්ය. ඇගේ අවිය ප්‍රේමයයි. මුළු කවිය පුරාවටම සාම්ප්‍රදායිකව නිර්මිත ඓතිහාසික ප්‍රතිරූපයෙන් නොමිදෙන මුත් ඒ තුළම රැඳී ඒ විශ්වාසයන්ම ප්‍රශ්න කරයි.

ඒ තුළ විඳවීමකි. යුගයෙන් යුගයට විඳි අවමානයන්ගෙන් සැදුණාවූ ගැඹුරු තුවාලයකි. අවනත බවෙකි. සාංකාවෙකි. එහෙත් ප්‍රේමය කෙරෙහි වන නොසිඳෙන අදිටනකි; විශ්වාසයකි. ඈ ප්‍රකාශයට පත් කරන්නේ ඇගේ ප්‍රේමයට හිමි ස්ථානයයි. ඒ අයිතිය හඳුනා ගන්නා ලෙස මහා සංස්කෘතියට කෙරෙන බලකිරීමයි.

The Origin of the Family (1884) හි එංගල්ස් විස්තර කරන පරිදි,
“මවගේ අයිතිය අහිමි වීම යනු සමස්ත ස්ත්‍රීත්වයේ ඓතිහාසික පරාජයයි. මිනිසා සිට නිවසේ ද අධිපතිකම පවරා ගත් අතර ගැහැණිය දාස කමට පහත් කරනු ලැබුවාය. ඇය ඔහුගේ අනුරාගයේ වහලිය වූ අතර දරුවන් නිපදවන හුදු යන්ත්‍රයක් වූවාය.”යන්න වෙනුවට මවගේ අයිතියයි. ස්ත්‍රියට අත්‍යන්තයෙන් හිමි අනුරාගය අභිබවන ප්‍රේමයේ ගෞරවයයි. ස්ත්‍රී පුරුෂ බන්ධනය තුළ මානව ප්‍රේමයට හිමි නිශ්චිත තථ්‍ය ස්වරූපයයි.

ආශ්‍රිත ග්‍රන්ථ සහ ලියවිලි

1 ශු. බයිබලය
2. http://www.theoi.com/Heroine/Pandora.html
3. Aristotle, Politica, ed. Loeb Classical Library, 1254 b 10-14
4. Phenomenal Woman by Maya Angelou
http://www.poemhunter.com/poem/phenomenal-woman/
*මෙම කොටස ලිපිය සඳහා පරිවර්තනය කරන ලදි.
5. The Origin of the Family,1884, Frederick Engels

පැන්ඩෝරා



පසින් නැඟ සුපුෂ්පිත කුසුම් ගත රඳන්නී
මායාවි ප්‍රකෘතිය සඳුන් තුර වන්නී
ආලෝක වර්ෂයක කිඳීගෙන
ජීවයම ගෙනියන්න හැකිවාට
පාශයේ බැඳුණු ශාපය ඇයයි
පුරුෂයින් දඬුවමේ බඳින්නී

රහස් හදවත රහස් ඉසියුම්ව රකින්නී
දණ නමමි අවනතව නුඹ නිසා කියන්නී
අහෝ මැය ඉළ ඇටයෙන් මැවුණ
ඒවා ද නුඹ සිතයි
ඉතින් නුඹ සදහටම ලුහු බඳියි

නුඹෙන් ඉපදී නුඹ ම පතන්නී විනම් ඇය
කෙලෙස දඬුවම් රැගෙන වඩින්නී
පසින් නැඟ පස නසා සදාකාලික වෙමින්
ජීවයම ගැබ පුරා දරන්නී

නාභිගත නාභියක ප්‍රේමයෙන් ගැට ගසා
අංශුවෙන් අංශුවට තනන්නී
වේදනාවේ ගිලී අංශුවට නැසෙන තුරු
ඇය ම වේ හද බැඳුම් සිඳින්නී

එසේ වුව මා තැනූ දෙවිඳුනී
මා ගෙනා ගින්දරට මම ම කපු සපයමී
ආකාස ගංගාව ගුගුරවයි
දේව නියමය නසා
සැබෑවට මිනිසෙකුට ලංවෙමී.

-සුභද්‍රා ජයසුන්දර

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails