Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සදහා වන නිල ගීතය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ ලහිරු පෙරේරා විසින් ගායන කරන 'එන්න....එන්න..' නම් ගීතය පිලිබදව විවිධ අදහස් පළවෙමින් පවතී. ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව හා කැනඩාව අතර තරඟය අවස්ථාවේදී එය සිය කණ වැකී එහි අඩංගු පද වලින් අනෙකුත් රටවලට අපහාසයක් වන බව පවසමින් එය ප්‍රචාරයවීම නවතන ලෙසට නියෝග කරනු ලැබූ බවටද පුවත් පළවිය.

මෙහිදී මෙම ගීතයේ අඩංගු ''නවසිලන්තෙ තල්මසුන්ගෙ හකු පන්නන්න, කැන්ගරුන්ට එන්න කියමු බජිරි කවන්න'' වැනි යෙදුම් බොහෝ සාකච්ඡාවන්ට මුල් විය. මෙම ගීතය හා ජනාධිපතිවරයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවූ විවිධ අදහස් (වාමාංශික දේශපාලන දැක්මක් සහිත යැයි පිලිගනු ලබන විකල්ප අදහස් සන්නිවේදනය සඳහා නිර්මාණය වූ වෙබ් අඩවිවල සිට නලු නිලියන්ගේ ඕපාදූප පළවන විවිධ වෙබ් අඩවි හා බ්ලොග් දක්වා) අතුරින් කිහිපයක් මෙසේ පෙළ ගැස්විය හැක (මා මේ අදහස් දැක්වීම් හතර උපුටා දක්වන්නේ මේ පළවූ අදහස් අතුරින් අතිබහුතරය මේ කවර හෝ ප්‍රකාශයක මූලික අදහස හා යම් පමණකට සමාන වන බැවිනි. මේ අනුව මේ ප්‍රකාශ හතර තුල එකී සංවාදය තුල ප්‍රකාශවූ අදහස් අතිබහුතරය නියෝජනය වන්නේය යන්න මාගේ උපකල්පනයයි).

01. ''මේ සිංදුව කියන්නේ (ගායනා කරන බව සමහරු කියති) ලහිරු පෙරේරා නැමැති ගීත ව්‍යාපාරිකයාය (ගායකයකු ලෙස ද හැදින්වේ)...... මොවුන් සමාන කලහැක්කේ පොත් අස්සේ වැල පොත් හෙවත් කුණුහරුප පොත් හංගා විකුණන වර්ගයේ පාදඩ වෙලෙන්දන්ටය. මොවුන්ට කලාකාරයන් කියනවා නම් ඇත්ත කලාකාරයෝ තමන් කලාකරුවන් යැයි කියනවාට විරුද්ධ විය යුතුය.''

02.''රට යන අත අනුව අලුත් ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණය කිරීම භාතිය-සන්තුෂ්ට පැවරෙන්නට ඉඩ තිබේ. ඒ නිසා ජනාධිපතිතුමාගේ තීරණය අපි රෝහණ වීරසිංහගේ සිට රූකාන්ත ගුණතිලක දක්වා ආණ්ඩුවට කඩේ යන සංගීතඥයින්ගේ විලි ලැජ්ජාව බේරා දීමට ගත් මහඟු පියවරක් සේ අපි අගය කරමු.''

03. ''මූව විතරක් නෙවේ, අර ඉරාජ්, භාතිය-සංතුෂ් කියන රට කන්න ආපු එවුන්ගේ කටවල් සින්දු නොකියන්න අතුල්ලන්න ඕන කලු ගලක. බැරිවෙලාවත් අර මන්ද බුද්ධිකය ජනාධිපති වෙලා හිටියනං මේ සින්දුවටත් තාලෙට නැතිව අප්පුඩි ගහනවා. මෙවුන් කලාකාරයොද, පරිගණක නොතිබුනා නම් ඔක්කොම හබස්. අනුන්ගේ සින්දු රීමික්ස් කර කර මොන කෙංගෙඩියක්ද මුං කරන්නේ.''

04. ''මේ ලංකාවෙ අපි කවුරුවත් කපාගෙන උඩ යන ජාතියක් නෙවෙයි. මේ සින්දුවෙ කිසිම ලස්සනක් නැහැ. මහ ගොං සින්දුවක්. මීට වඩා කොච්චර ලස්සන සිංදු තියෙනවද ? ශ්‍රී ලාංකිකයෝ කියන්නෙ අරූගෙ හක්ක පන්නන්න, අරූට මේව කවන්න එහෙම ජරා ජාතියක් නෙවෙයි.''

මේ ප්‍රතිචාර ලබාදෙන අය දැඩි ක්‍රිකට් ලෝලීන්ද, දැඩි ආණ්ඩු හිතවාදීන්ද, වාමාංශිකයින්ද, කලාකරුවන්ද, සාමාන්‍ය මිනිසුන්ද යන්න පිලිබදව එතරම් නොසලකා මේ සියල්ලෙන් හැඟවෙන මූලික අදහස් මතුකර ගැනීමට උත්සාහ කරමි. ඒ මේ ප්‍රකාශ කරන්නන් විවිධ විෂය ආස්ථානයන් රැසක් එකවර දැරීම අපට එතරම් ආගන්තුක නොවන බැවිනි. උදාහරණයක් ලෙස එකම පුද්ගලයෙක් එකවිට කලාකාරයෙක්, වාමාංශිකයෙක්, දේශප්‍රේමියෙක්, යුධවාදියෙක්, රජයේ ඇමතිවරයෙක් හා ක්‍රිකට් පිස්සකු වීම විය හැක්කක්ය යන්න අප සමාජය අවිවාදිතව පිලිගෙන ඇති බැවිනි. දැන් අපි මේ ප්‍රකාශ හතර තුල ගැබ් ඇති අදහස්වල මූලික හරයන් මොනවාද යන්න විමසා බලමු. ඒවා මෙසේය:

01. ලහිරු පෙරේරා කලාකාරයකු නොවේ. සංගීත වෙලෙන්දෙකි. එවැන්කුට ජාතික මට්ටමේ ගීතයක් නිර්මාණය කිරීමට ඉඩ නොදිය යුතුය.

02. ලහිරු පෙරේරා ඇතුලු නව පරපුරේ සංගීතකරුවන් අපේ විදග්ධ කලාවන් විනාශකර පාදඩත්වය කලාව ලෙස ඉදිරියට ගෙනවිත් ඇත.

03. විදේශීය ජාතීන්ට නිගා කරන මෙවැනි ගීතයක් තේමා ගීය ලෙසින් ඉදිරිපත් කරීම ලංකාව වැනි රටකට තරම් නොවේ.

දැන් මා මුලින් ඉදිරිපත් කළ ප්‍රකාශයන් තුල අන්තර්ගතවූ හැඟීම්බර ආවේගශීලී බවින් නිදහස්ව මේ අදහස් සාකච්ඡාවට ලක්කිරීමේ හැකියාව ලැබී ඇත.

මම තුන්වැන්නෙන් පටන් ගමි. එනම් ශ්‍රී ලංකාව අන් රටවලට වඩා උසස් බවට පාරම් බාමින් අන් රටවල් පහත හෙලීම හොද නැත යන්නයි. ලහිරුට බනින්නේ එසේ කිරීම හේතුවෙනි. නමුත් සමාජයක් ලෙස පසුගිය කාළය පුරාවටම අප කරමින් සිටියේ කුමක්ද? අප සිටියේ අපව ගිලගැනීමට එන මුලු ලෝකයටම එරහිව නැඟී සිටිමිනි. අවි අමෝරමිනි. ලංකාවට බලපෑම් කිරීමට ආ විදේශයන්හි නියෝජිතයන් අපි එළවා දැමුවෙමු. අපට මානව හිමිකම් කියාදෙන්නට ආ සුද්දන්ව අප පයිසෙකට වත් ගණන් ගත්තේ නැත. ලෝකෙටම ලොක්කා ලෙස සිටින එක්සත් ජාතීන්ව ඔවුන්ගේ කාර්යාලය ඉදිරිපිටම අපි ගරා යකුන් නටවා දුම්මල ගසා එලවා දැමීමු. ඉතින් මෙහෙම වික්‍රමයන් පිලිබඳ රැයක් දවාලක් නැතිව කයිවාරු ගැසූ, එය ක්‍රියාවෙන්ම ඔප්පුකර පෙන්වූ, විශ්වයම මවිත කළ මහා යුධ ජයග්‍රහණය ලැබූ අපට මේ නිකම්ම නිකං සින්දුවකින් පිටරටවල් දෙක තුනට පොඩි කොචොක් එකක් දැමීමට බැරි ඇයි ? කලින් අපි සැවොම එකතුව සහයෝගය දක්වමින් කළ කි්‍රයාව ලහිරු පෙරේරා කළ විට පමණක් ප්‍රශ්ණයක් වන්නේ ඇයි ? මෙය අප තේරුම් ගන්නේ කෙසේද ?

පසුගිය කාළ වකවානුව ලංකා ඉතිහාසයේ සුවිශේෂී වන්නේ මේ කාළය තුල සමාජ කතිකාව තුල ජාතිකවාදය පෙරමුණට පැමිණිම හා එයට මතවාදීමය මෙන්ම දේශපාලනිකව ද බලය හිමිවීමයි. ඒ අනුව පංති, ආගමික, වාර්ගික, සමාජ ලිංගික ආදී විවිධ අනන්‍යතාවයන් යටපත් කරමින් තනි ලාංකීය ජාතික අනන්‍යතාවයක් පිලිබද අදහස ඉදිරියට පැමිණි අතර එකී අනන්‍යතාවය තුල ධනේෂ්වර, බෞද්ධ, සිංහල, පිරිමි අනන්‍යතාවය ඉදිරියට ගෙන අනෙක් සියල්ල ආන්තික කොට ඇති බව කිසිදු රැඩිකල් ලිබරල්වාදියකු හෝ වාමාංශිකයකු ප්‍රබලව කියා නොසිටින ලදී. පැරණි මිත්‍යාවන් හා පුරාවෘත, ජාතික සංකේත, ජාතික කොඩිය, ජාතිකාභිමානී ගීත, ජාතියේ නිදහස වෙනුවෙන් පුද්ගල නිදහස දෙවැනි කොට සැලකීම ආදිය ඉදිරියට පැමිණෙන ලදී.

සියලු වාද භේද නොමැති තනි ශ්‍රී ලාංකීය ජාතියක් පරිකල්පනය කෙරුනු අතර එය ප්‍රශ්ණ කරන කවරකු හෝ දේශදෝහියකු බවට නම්කරනු ලැබිනි. ලෝකයේ ඕනෑම ජගතකු පරාජය කිරීමට මේ උතුම් ජාතියට පුලුවන් බවට ආත්ම විශ්වාසයක් ඇතිවූ බැවින් ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනත් රටවල් සම්බන්ධයෙන් අනුගමනය කළ පිලිවෙතට වඩා පූර්ණ වෙනස් ආකල්පයකින් යුතුව කටයුතු කරගෙන යනු ලැබූයේ අපට මහත් ආශ්වාදයක් හා අභිමානයක් ගෙන දෙමිනි. අපගේ ජනමාධයයන් පුරා මෙන්ම අපගේ එදිනෙදා ව්‍යවහාරයන් හා සාමාන්‍ය කථා බහ තුල අන්‍යයන් මෙතරම් පහත්කොට ගර්හාවට හා උපහාසයට ලක්වූ වෙනත් යුගයකත් නොපැවතීය යන්න අවිවාදිතය. අද ලෝක කුලානය සඳහා නිල ගීත නිර්මාණය කරමින් පවතින උනන්දුව මීට පෙර ශී්‍ර ලංකාව ලෝක කසලානයේ සත්කාරක රටක් ලෙසින් කටයුතු කළ 1996 දී නොතිබුණේ එබැවිනි.

ඊළඟ ප්‍රශ්ණය වන්නේ අභිමානවත් ජාතියේ ලෝක දැක්ම අපේ ලෝක කුසලාන නිල ගීතය තුල අන්තර්ගතවීමේහි ඇති ගැටළුව කුමක්ද යන්නයි. එක් අතකින් ලෝකයේ අන් සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨවූ අපි, සෙස්සන් හෑල්ලුවට ලක්කළ අපි අපේ නිල ගීතය ඉතා ශිෂ්ඨ සම්පන්න එකක් විය යුතු යැයි සිතන්නේ ඇයි? පසුගිය කාළයේ ඉදිරියට පැමිණි ජාතිකවාදී කතිකාව තුල ජාතික සංගීතය, දේශීය නැටුම්, කලා නිර්මාණ තුල දේශීයත්වය නිරූපනය වීම යනාදිය ඇතුලත් විය. ජාතිය වෙනුවෙන් කලාව තුල පෙනී සිටින්නන්ට වැඩි වටිනාකමක් ලැබිනි. ජාතිය වෙනුවෙන් කළ ඕනෑම කිසිකබල් නිර්මාණයක් ජාතිය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් නිර්දය ලෙස ප්‍රතික්ෂේපවීමේ අන්තරායෙන් මිදී සිටීමට සමත්විය. ඒ අනුව ජාතිය වෙනුවෙන් පෙනී සිටීම තුල කෙතරම් අවර ගණයේ නිර්මාණයකට පවා කිසියම් විධග්ධත්වයක්, සමාජ බලයක් අත්කරගත හැකි විය. එසේ නොවූ නිර්මාණයන් එතරම් අවධානයට ලක් නොවුනා පමණක් නොව ඒවා එතරම් වැදගත් නොවන සේ සලකනු ලැබිනි. යම්හෙයකින් සමස්ථ ජාතිය (සිංහල-බෞද්ධ) නොවන වෙනත් වාර්ගික හෝ සංස්කෘතික අනන්‍යතාවයක් සහිත පිරිසකගේ සිදුවීමක්, ආදරයක් ගැන කියවෙන නිර්මාණ ඉතා අඩුවෙන් බිහිවූවා පමණක් නොව එසේ කෙරුනු ඒවාද නොවැදගත් ලෙස සලකනු ලැබිනි.

මේ වෙලඳපොල තේරුම්ගත් ජනතාවට අමතක වීමට ඔන්න මෙන්න කියා සිටි බොහෝ දෙනෙක් නැවත 'මාගේ ප්‍රාණය.... මාගේ දේශය..' වැනි දේශාභිමානී ගී ගයා තවත් කාලයකට තම ජීවිකාව ස්ථීර කරගති. ඕනෑම රටක ජනප්‍රිය, වරප්‍රසාදිත කලාව යනු කුමක්ද යන්න හැමවිටම අදාල සමාජයේ අධිපති ද්‍රෘෂ්ඨිවාදය විසින් තීරණය කරන්නක් වන බැවින් ජාතිකවාදී කතිකාවට බලය හිමිවූ සමාජයක ජාතිය වෙනුවෙන් වන නිර්මාණ එනම් ජාතිය ගොඩනංවනු සඳහා සුසම්බන්ධ කරනු ලැබූ මිත්‍යාවන්, පුරාවෘත, ජාතික හැඟීම් ඇතුලත් නිර්මාණයන්ට රාජ්‍ය අනුග්‍රහය හිමිවීමත්, ඒවා විදග්ධ යන බලපත්‍රයට හිමිකම් කීමත් නොවැලැක්විය හැකිය. ඒවාට රාජ්‍ය අනුග්‍රහය, වරප්‍රසාද හිමිවන අතර එනයින් ඒවා ජනප්‍රියත්වයද ලබාගනී. එවැනි දේ ඇතුලත් නොවන නිර්මාණ විදග්ධ නොවන යන වර්ගීකරණය උරුමකොට ගති. මේ අනුව වෙළඳපොල ඉල්ලුමට අනුව ඉතා කෙටි කාළයක් ඉතිහාසයේ නොවූවිරූ තරම් ජාතිකාභිමාන ගී බිහිවිය. සංගීත කර්මාන්තයේ නියුතු සියලු දෙනා මේ ඉල්ලුමට නිෂ්පාදන රැසක් බිහිකරද්දී (වේරලියද්ද, දීපිකා, භාතිය-සන්තුෂ්, සෙන්ටිග්‍රේඩ් ආදී වශයෙන්) වඩාත් වැඩියෙන් ජාතිකවාදය නියෝජනය කිරීමට මා වරහන් තුල දැක්වූ නම්වලින් මුලින් දෙදෙනාගේ පරම්පරාව සමත්විය. දෙවනුව කි පිරිස එහිදී එතරම් ම ජාතිකවාදී ආස්ථානයක් අත්කරගැනීමට අසමත් වූයේ ඔවුන්ගේ වෙලඳපොල වඩාත් විවිධත්වයකින් යුතුවීම (ආගමික, ජනවාර්ගිකමය හා මතවාදීමය) නිසා ඔවුන් ජාතිය ගැන ගී කියනවා හැරුනුවිට විවිධ කලාපයන් ගණනාවක් ආවරණය කිරීමට උත්සුක වූ බැවිනි. මෙහිදී සංගීතමය වශයෙන් සැබවින්ම මේ පිරිසගෙන් කවුරුන් විදග්ධද යන්න ගැන මා එතරම් සැලකිලිමත් නොවන්නේ මේ දෙපිරිසගේම නිර්මාණ සංගීතමය වශයෙන් දියුණු යැයි හොඳින් සංගීතය ග්‍රවණය කිරීමේ පරිචයක් ඇති කිසිවකු විසින් පිලි නොගන්නා බැවිනි. මේ අනුව විදග්ධත්වය මේ යුගයේ වඩාත් වැඩියෙන් ජාතිකවාදී කතිකාව නියෝජනය කිරීමට සමත්වීම මත රඳා පවතී.

දැන් අපට අපගේ පළවන තේරුම් ගැනීම වෙත යා හැක. එනම් කලාකාරයකු නොව සංගීත වෙලෙන්දෙකු වන ලහිරු පෙරේරා එවැන්කුට එකී ජාතියේ නිල ගීතය නිර්මාණය කිරීමට ඉඩ දී තිබීමය. කලින් අප කථාකළ විදග්ධත්වය පිලිබඳ සංවාදයේදී එහි දුරස්ථම අන්තයේ සිටින්නෙකි ලහිරු පෙරේරා. මෙතරම් ජාතික කැක්කුම ඔද වැඩුනු යුගයක ඔහු ඒ වෙනුවෙන් එකදු ගීතයක් හෝ ගයා නැත. ඒ වෙනුවට ඔහු රම්බරි, සුදු රටකජු-රතු රටකජු හා සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ වැනි දේ ගැන ගී ගියා ඇත. ඉතින් මෙවැන්නෙක් කලාකාරයෙක් ලෙස සැලකිය යුතුද? අඩුම ගනනේ යුධ ජයග්‍රහණය මොහොතේවත් ඔහු ජාතිය ගැන එක ගීතයක් කිවුවේ නම් මේ ලෝකාපවාදය තරමක් හෝ අඩු කරගත හැකිව තිබින. දැන් ඔහු නිකම්ම නිකං සංගීත වෙලෙන්දෙකි. දැන් අපිට මේ ප්‍රශ්ණය ඇසිය හැක. එනම් සමාජයක ජනප්‍රිය, අධිපති කලාව එහිම වූ ශුද්ධභාවයකින් යුතුව පැවතියේ කවරදාද යන්නයි. ජනප්‍රිය අධිපති කලාවේ ශුද්ධභාවය පිලිබද මතකය අපගේ මානසික ගොඩනැංවීමක් මිස සැබෑවක් නොවේ. එවැන්නක් කවර කලෙක හෝ පැවත නොමැත. එය හැම විටම පවත්නා අධිපති දෘෂ්ඨිවාදයට පක‍ෂපාතී වූවකි.

අපි මේ ලාංකීය ජනප්‍රිය, රජයේ වරප්‍රසාද භුක්ති විඳින විදග්ධ කලාකරුවා වෙලෙන්දකු කීමට අකමැතිවන විට ඔහු උත්තරීතර මනුෂ්‍ය වූ ගුණයක් දරා සිටින්නේ යැයි පරිකල්පනය කරන්නෙමු. ලංකාවේ විදග්ධ කලාකරුවන් සංවේදී පිරිසක් යැයි නිතර කියනු ඇසෙන්නේ මේ නිසාය. ලංකාවේ විධග්ධ කලාව තුල තරම් මනුස්සකම උත්කර්ශයට නංවනු ලැබෙන හා ඒ පිලිබදව අසන්නට ලැබෙන වෙනත් ක්ෂේත්‍රයක් නොමැත. මේ අදහස් වඩාත් වැඩියෙන් ඉදිරිපත්කොට ඇතතේ අප කලින් සාකච්ඡා කළ ජාතිකවාදයේ පරමාදර්ශ කථීකයින් බවට පතවීමට සමත්වූ විදග්ධයින්ය. මේ මිත්‍යාව වටහාගැනීමට සරළම උදාහරණයක් ගමු. එකම ගීත රචකයකු සාමය හා මිනිස් නිදහස අධිපති සංවාදය තුලට පැමිණි කාළයක ''ඔබ නැතිව ගියේ මටමයි. මේ රටට නොවේ. මහපොළවට මිස මිනිස්කමට පෙම් නොකරන රටට නොවේ'' යැයි ලියා ජාතිකවාදී කතිකාවට අධිපතිත්වය හිමි කාළයක ''ආයු රක්ඛන්තු ආවඩා රට වටී ස්වර්ගෙට වඩා'' යැයි ලිවීම අප තේරුම් ගන්නේ කෙසේද ? ළහිරුගේ පරම්පරාව වෙළෙන්දන් වෙද්දී මේ පිරිස එසේ නොවන නැතිනම් අඩුම තරම් ළහිරුලාට වඩා අඩුවෙන් වෙළෙන්දන් ලෙස අප සිතනු ලැබීමේ පදනම කුමක්ද ? දැන් මේ පෙනී සිටින අවංක කලාකරුවා සිටින්නේ අප පරිකල්පනීය ලෝකයෙන් මෙපිට කිනම් ඉසව්වකද ? සමාජයේ අධිපති ද්‍රෘෂ්ඨිවාදය විසින් කලාව හා කලාව නොවන්න කුමක්ද යන්න නිශ්චය කොට ඇති අතර එහිදී කලාව ලෙස නම්කරනු ලැබ ඇති දේ එසේ කරනු ලැබ ඇත්තේ කුමක් නිසාද යන්න දැන් අපට සිතිය හැක. පවත්නා අධිපත්ි ජාතිකවාදී ද්‍රෘෂ්ඨිවාදයට වඩාත් සේවය කොට ඇති අයට කලාකරුවන් යන සහතිකය ලැබී ඇත. මේ දෙපිරිස අතර වෙනස එපමණකි.


ලහිරු පෙරේරා


දැන් අපි අපේ සාකච්ඡාවේ අවසන් අදියරට පැමිණ ඇත්තෙමු. දැන් අප අපෙන් ඇසිය යුත්තේ අප සැමදෙනා මෙම ගීතය ජාතික මට්ටමේ නියෝජනයක් ලෙසින් වටහා ගන්නේ ඇයි ද යන්නයි. මේ ලෝක කුසලාන තරඟාවලිය පිලිබද අපගේ අවබෝධය කුමක්ද? ක්‍රිකට් යනු අතිවිශාල මුදල් ආයෝජනයක් සහිත ව්‍යාපාරයක් බව අපි සියලු දෙනා දනිමු එහි සෑම අංගයක්ම අනුග්‍රාහකත්වයන්, මුදල් ගෙවීම්වල සිට ඔට්ටු දැමීම දක්වා වූ විහාල ගණුදෙනු කලාපයන් ගණනාවක් දරා සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන ආකාරයටම මෙම ගීතය නිර්මාණය කොට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකත්වය දක්වන ආයතනයක් විසිනි. දැන් මෙය රට නියෝජනය කිරීමේ මනස්ගාතය කරපින්නාගෙන ඒ පිලිබදව අදහස් දැක්වීමටත්, එතුල ලාංකීය අනන්‍යතාවය විදහා දැක්වීමටත් අප උත්සාහ ගන්නේ මේ දැනුම මතම පිහිටා නොවේද ? ජාතිය මෙතරම් සුපිරිසිදු ලෙස එහි ගරුත්වය ගැන මෙතරම් සිතන කාලයක් එළැඹියේ මේ කතිකාවේ බලවත් බව නිසා බවත්, ලහිරුගේ ගීතයේ ජාතිය හරියට නියෝජනය නොවන කසිකබල් එකක් යැයි කියන මොහොතේම අප එම ජාතිකවාදී කතිකාවම නියෝජනය කරන බව බොහෝ ජාතිකවාදයට විරුද්ධ අයටද මඟහැරී යයි.

දැන් අපට බොහෝ දේ පැහැදිලි විය යුතුය. මුලින් මා සඳහන් කළ ප්‍රකාශ විසින් ඉදිරිපත් කරන මූලික කර්කයන් තුන වෙනස් කලාපයන් තුනකින් පැන නැඟුනු ඒවා සේ පෙනී ගියත් මේ තුනම එකම පදනමක් මත ගොඩනැඟුනු ඒවා වෙයි. එනම් ලාංකීය සමාජයේ අද දවසේ අධිපතිවාදී දේශපාලන බලය දරා සිටින ජාතිකවාදී පදනමයි. විමතිය දනවන සුලු නමුත් ශෝචනීය කාරණය නම් මේ අදහස් මේ ජාතිකවාදයට විරුද්ධ පිරිස් විසින්ද දරමින් හා ඒ වෙනුවෙන් කථා කරමින් ලියමින් සිටීමයි. මේ නොදැනුම ලාංකීය සමාජය කර ඇති හානිය දැනටමත් අති මහත්ය. අවසානයට මේ පිලිබඳව ඉතාම සරළ ආකාරයකින් මෙසේ කිව හැක.

මේ සමාජයට දේවල් ලැබෙන්නේ පැකේජ ලෙසිනි. අප ශීතකරණයක් මිළදී ගන්නාවිට එය අපට වුවමනා දේ පමණක් කරන එකක් වන්නේ නැත. එය නිර්මාණය කොට ඇත්තේ කුමක් සදහාද එය කරන්නේ එකී කාර්යයි. එනම් එයට දමන ඕනෑම දෙයක් ශීත කිරීමයි. මස් ශීතකරන, වතුර ශීත නොකරන, මාලු පිණි ටිකක් රස්නෙට තියාගන්නට හැකි ශීතකරණයක් නොමැත. ජාතිකවාදය ද එසේමය. එක්කෝ අපි එය පූර්ණ වශයෙන් පිලිගත යුතුය. නැතිනම් එම පැකේජයම ප්‍රතික්ෂේප කළ යුතුය. අපට ජාතිකවාදියකු නොවී කලාවේ පූජනියත්වය වෙනුවෙන් පෙනී සිටීමටත්, ලංකාවේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටීමටත් නොහැකිය. ලහිරුගේ ගීතයට විරුද්ධ වී යුද්ධයට විරුද්ධ යැයි කීමටද නොහැකිය. වාමාංශිකයකු වී මේ දෙකම කළ නොහැකිය. නමුත් අද ලංකාවේ වෙමින් පවතින්නේද එයයි .

දැන් බොහෝ දෙනකු අසනු ඇත්තේ මේ ආකාරයෙන් කල්පනා කලොත් එය කිසිවක් නොකර සිටීමට අපම හදාගන්නා හේතුවක් නොවන්නේද යන්නයි. සත්‍ය නම් කරන්නට දෙයක් නැතිවීම නොවේ. අප විසින් වැරදි දෙයක් කරමින් සිටීමයි. අප වැඩියෙන්ම විරුද්ධවිමට සිතන දෙයෙහි තර්කනය මතම අපි සිතමු. ඒ අනුව අපි ක්‍රියා කරමු.

මෙහිදී සියලු රැඩිකල්වාදීන්ගෙන් මා නොඇසූ අපූරු ප්‍රකාශයක් භාතිය විසින් කරනු මම වරක් ඇසුයෙමි. එක්තරා සාකච්ඡාවකදී ඔහුගෙන් අසනු ලැබූයේ හරිහරන් වැනි විශිෂ්ඨ ගායකයකු යොදා 'යාල් පානමෙන්' වැනි ගීතයක් කළේ ඇයිද යන්නයි. එම ප්‍රශ්ණය ඇසූ තැනැත්තා එයින් අදහස් කළේ හරිහරන් වැනි විශිෂ්ඨ ගායකයකු යොදාගෙන නිර්මාණයක් කරන විට ඊට වඩා සංගීතමය වශයෙන් ඉතා උසස් යමක් කළ හැකිව තිබුණා නොවේද යන්නයි. භාතිය මෙසේ කීය. ''ඔයාට ක්‍රිකට් ගහන්න පුලුවන් කියල හිතන්න. ඔයාට පුලුවන් ක්‍රිකට් විතරමයි. නමුත් මට ඔයා එක්ක හොකී ගහන්න ඕනෙ. මට ගහන්න ඕනෙ හොකී, ක්‍රිකට් නොවයි. අනික ඒකත් ඔයා එක්කම විතරයි. වෙන කවුරුවත් එක්ක නෙවෙයි. ඉතින් මොකද කරන්නේ...'' අපරටේ සමාජය වෙනස් කිරීමට කථා කරන අය කරමින් සිටින්නේ ජනතාව ක්‍රිකට් ගහමු කියන විට ක්‍රිකට් ගැසීමත්, හොකී ගහමු යැයි කියන විට හොකී ගැසීමත්ය. එවිට වෙනස් වන්නේ සමාජය නොවේ. ඔවුන්ය.

විදුර ප්‍රභාත් මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails