Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පසුගියදා කලාවත්තෙක්ක වෙනසක ආරම්භක සංවාදයට මා දන්නා අවුරුදු තුනක විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ වැඩිම පිරිසක් සහභාගී වූවා පමණක් නොව සංවාදය ඉවරවන තුරු වැඩි පිරිසක් රැඳී සිටි පැහැබර අවස්ථාවක් ද විය. අපේ අරමුණු තව තවත් ඔප මට්ටම් කරමින් ආචාර්ය ලියනගේ අමරකීර්ති ඉතාම විචාරශීලි හා ප‍්‍රාමාණික ප‍්‍රවේශයක් ලබා දුන්නේය. ඔහු උදාරණ ලෙස කවි කිහිපයක් ගායනා කරමින් කවුරුත් මැසිවිලි නගන-

වර්තමාන සිංහල කවිය ගැන නවමු අත්දැකීමකට අප ඈඳා ගත්තේය. ඔහු ලබා දුන් ප‍්‍රවේශයෙන් අනතුරුව සංවාදය එකදිගට ගලාගෙන යද්දී අපේ දොඩමලුභාවයන් තම තමන්ගේ සිත් තුළ පමණක් කැකෑරෙන්නට ඉඩදී කලාගාරයෙන් එළිබහින්නට වූයේ සියල්ලන්ටම සරච්චන්ද්‍ර රඟමඬලේ 7.30ට වේදිකාගත කරන ජෙහාන් ශී‍්‍රකාන්තගේ "හැපි ජර්නි" නාට්‍ය නැරඹීමේ උවමනාව තිබූ නිසාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ වල සතිය (නාට්‍ය සතිය) මනමේ, සුද්දෙක් ඔබ අමතයි, සුභ සහ යස, මකරාක්ෂයා, හැපි ජර්නි, ජනේලෙන් පනින්නද යන නාට්‍ය වලින් සමන්විත විය. මනමේ බලන්නට කවදත් වල ඉඩ මදිය. එහෙත් මෙවර විශේෂත්වය වන්නේ මනමේ පමණක් නොව අනෙක් සියලූම නාට්‍ය නරඹන්නට ද එක සේ සෙනග සහභාගී වීමයි. ආචාර්ය ලියනගේ අමරකීර්ති තම දේශනයේදී කියූ පරිදි ම මෙය විශ්වවිද්‍යාලයේ ඉතාම පැහැපත් ප‍්‍රවනතාවකි. එහෙත් එය ප‍්‍රාමාණිකව සිදුවූ පේ‍්‍රක්ෂක වර්ධනයක් විනා වඩාත් ප‍්‍රගතිශීලි නොවන බව හැ‍ඟෙන්නේ හැපි ජර්නි එක අතරතුරේ දී ය. කලාගාරයෙන් එළියට බැස්ස තැන සිට සරච්චන්ද්‍ර වල දක්වාම හැපි ජර්නයට සෙනග පේලි ගැසුණහ. අප වලට ඇතුල්වී ඉඳ ගැනීමට වට පිට බලද්දී කල්තියා පැමිණි මිතුරන් පිරිසක් විසින් ඔවුන් අතර ඉඩක් පාදා නොදන්නට අපට සිදුවන්නේ ආපසු හැරී එන්නට ය.

කෙසේ හෝ නාට්‍ය ලෝලීන් විසිල් ගසමින් නාට්‍ය ඇරඹෙන තුරු ඇස් පාද පාදා සිටියහ. නියමිත වේලාවද මදක් පසුවී නාට්‍ය පටන් ගත්තේ පඩි මත සිට ගත් පේ‍්‍රක්ෂකයෝ වාඩිවෙන්නට ඉඩ පාදා ගනිද්දීම ය. පේරාදෙණි බහුතර නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ආතල් බලාපොරොත්තු ඇස් වලට වැලි ගසමින් අලුත් ආකෘතියකින් හැපි ජර්නිය ගමන් ආරම්භ කළේය. වැඩි වේලාවක් ඉක්මයන්නට මත්තෙන් තැන තැන බිලි බිලියෙන් නලියන්නටත් කසු කසුවක් පැතිරී යන්නටත් විය. බොහෝ දෙනෙක් වැඩි වේලා නොයවා ඉතාම සතුටින් කසු කුසුවට පොහොර දමමින් එස්. බී. ට තැබූ හූවම ජෙහාන්ටත් දමා ගැසූහ. මෙය එක්තරා ආකරයකට විද්‍යාර්ථියා තුළ සිටින දෙබිඞ්ඩා එලිපිට හඳුනාගැනීමට පෑදුනු අවකාශයකි. හූව ද ඉතාම ඉක්මනින් වල පුරා පැතිර යන්නට වූ අතර රංගන ශිල්පින්ට තව දුරටත් තමාගේ කාර්යයට අවකාශ නැති වුව ද වල මත තම රංගනය දියකර හරින්නට විය. හූ - සිනහ අතර මගේ ඇස් කණ් රංගය කෙරෙහි අලවන්නට මා ගත් සියලු උත්සාහයන් වලපල්ලට යාම නාට්‍ය තත්වාකාරයෙන් අත්දැකීම මට අහිමි කළේය.

හැපි ජර්නි නාට්‍යයේ ආකෘතිය එහි අන්ර්ගතය හා බොහෝ සෙයින් සමීප බව මගේ අදහසයි. එහි සංදර්භය වර්තමාන ලාංකේය “අවුල"යි. ඒ අවුල පෙන්නද් දී අපේ පේ‍්‍රක්ෂකයෝ සිනාසුණහ. ඒ වර්තමාන දේශපාලනික ව්‍යාකූලත්වයට නොවේ. එය පෙන්වන්නට උත්සහ කළ වුන්ටය. එයින් ඉඟි කරන්නේ අපිට ඒ අවුල පෙන්නන්නට එපා කියාය. එසේ නැතහොත් එය නොදැක තව තවත් අතරමං වීමේ හෝ ෆැන්ටසිගත වීමේ දැඩි උවමනාවයි. එවිට ටිකක් දුරට කල්පනා කිරීමෙන් සිනාසී ඇත්තේ අපට ම බව සිනාසුණවුන්ට ම තේරුම්යාම අරුමයක් නොවේ. එහෙත් නාට්‍ය දර්ශනයෙන් පසුව කිසිදු හාවක් හුවක් නැතිව ජෙහාන් හා ඔහුගේ කණ්ඩායම පිටත්ව ගිය අතර හූ කීවෝ තවමත් තමාගේ වීරත්වය ගැන පාරම්බාති.

පසුදා උදෑසන බාත්රූම් එකේ දී කණේ වැටුණු ඇතැම් ප‍්‍රකාශ මගේ නාට්‍ය ලෝලත්වයට ඇන්න පිහිපාරවල් විය. "අදද්දෙමු ගේම- ඊයෙ නාඩගමම නටමු- මරු ආතල්ලෙක මචං- අදත් කෙළිමු ඒ ගොන්පාට්ටෙකම සුපිරියටම- පජාත කරලම දාමු" ඇතැමෙකු පැවසුවේ පේරාදෙණියෙ විතරයි එකට එකතුවෙලා හූ කියන සංස්කෘතිය රැකිල තියෙන්නේ කියාය. කලාවත්තෙක්ක වෙනසක ඉදිරි ගමනක් ගැන අපට බලාපොරොත්තු තබාගත හැක්කේ "හූවේ" අඳ බාල සංස්කෘතිය කලාවට හරියන්නේ නැති බව මුලින්ම අවධාරණය කර ගැන්මට සැළැස්වීමෙනි.

මෙහිදී මුල්ම ගැටලුව වන්නේ ආතල් එකක් ගැනීමට නාට්‍යයක් බැලීමට යාමයි. නාට්‍ය පමණක් නොව ඕනෑම විශිෂ්ට සාහිත්‍ය හෝ වෙනත් කලා පඨිතයක් හුදෙක් මේ ආතල් එක වෙනුවෙන් මිඩංගු කිරීම තව තවත් අප ගතකරන්නා වූ ලාංකේය මොහොත වලපල්ලට යැවීමක් නොවේ ද? කලාවත්තෙක්ක වෙනසක බරපතල කතිකාවතකට අත තැබු අපට අභිප‍්‍රායික ජයග‍්‍රහණය ඉතාම අභියෝගාත්මක බව පසක් කර දෙන්නටත් අප තවදුරටත් සන්නද්ධ වියයුතු බව අපට පැහැදිලි කර දෙන්නටත් මෙකී සිද්ධිය සමත්වූ බව කිව යුතුය.

කෙසේ හෝ මේ තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ අපේ තාරුණ්‍යය යයි නොසිතමි. බොහෝ දෙනෙකු වැළඳ ගන්නා ඊනියා ආතල් ෆැන්ටසියට විරුද්ධව කලාව තුළින් පිළිතුරු සපයන ජෙහාන් වැන්නන් ද සිටින බවද අමතක කළ යුතු නොවේ. අපේ රසවින්දන හැකියාව ඕපපාතිකව බිහිවූවක් නොවේ. එය අප අත්දුටු දේ හා පරිසරය ඔස්සේ වර්ධනය වූවකි. ලාංකේය අධ්‍යාපනය හා රාජ්‍ය යන්ත‍්‍රණයේ හා ආගමික දෘෂටිවාදීමය ව්‍යාප්තකිරීම් හරහා අපේ රසඥතාවය තීරණය කරනු ලැබ තිබේ. ඕනෑම කලා කෘතියක පෘෂ්ඨය අතගා බලා එහි අහුවෙන අර්ථ යන්තමට අහුලාගන්නට අපේ රසිකයින්ගෙන් වැඩි පිරිසක් ඇබ්බැහි වී සිටිති. විශිෂ්ට කලා කෘතියකට සාධාරණ රසිකයෙකු වීමට නම් එහි පෘෂ්ඨීය වියමන පුරාවට ඉතාම සුපරික්ෂාකාරීව ඇවිදීම අනිවාර්ය වන අතර හමුවෙන්නාවූ අර්ථ තව තවත් හාරමින් දෙවෙනි තුන්වැනි පෙළ අරුත් උපද්දවා ගත යුතුය. එසේ හාරා උපද්දවාගත් අර්ථ තව තවත් ඔපමට්ටම් කොට සමාජ කතිකාවක් ඇති කළ යුතුය. ඕනෑම කලාකෘතියක් පණ ගසා නැගිටින්නේ රසික මැදිහත්විමෙනි. ඔහු හුදු ඇහුම්කන්දෙන්නෙකු හෝ නරඹන්නෙකු නොවිය යුතුය. කියවන්නෙක්, කියවන ගමන් සාවධානව ඇහුම්කන් දෙන්නෙක්, ඒ ගැන නිරන්තර කතිකාවතකට හිත මෙහෙයවන්නෙක් විය යුතුය. අපේ කලා රසිකයින් බොහෝදෙනෙකු උත්සාහ කරන්නේ තමා අත්විඳින කලා කෘතිය තුළින් තමාගේ සිතැඟි ඉස්මතු කරගැන්මට ය. එකම රසිකත්වය හැම කලා කෘතියක් අරභයාම එකම අයුරින් පැතිරවිය නොහැකිය. එසේ කිරීම කෘතියට කරන අසාධාරණයකි. ඕනෑම කලා කෘතියක් ඒ ඒ කෘතියට අනන්‍ය වූ ආදර්ශ පාඨකයෙකු, රසිකයෙකු අපේක්ෂා කරයි. (ආචාර්ය ලියනගේ අමරකීර්ති සිය සහෘද සාක්ෂිය හා පහන සහ කැඩපත යන කෘති වලදී මෙය අපට පැහැදිලි කරදී තිබේ)

මුලින්ම කලා නිර්මාණයක් සාවධානව කියවිය යුතුය. තමන් විසින් පනවා ගත් මිනුම් දඬු මත කලා කෘතියක් පිළිගැනීම හා ප‍්‍රතික්ෂේප කිරීම රසිකත්වයේ තරම නොවිය යුතුය. සරච්චන්ද්‍ර වලේදී අපේ පේ‍්‍රක්ෂකයන්ගෙන් වැඩි කොටසකට සිදු වූයේ මේ ඛේදයයි. අඩුම තරමින් නාට්‍යයෙහි අවසානය තෙක් බලාසිටින්නට හෝ බැරිම තැන නැගිට රංග පීඨයෙන් එළියට යාමට තරම්වත් ශික්ෂණයක් නැති කලා රසිකයින්ගෙන් පිරුණු රසිකත්වයක් කුමකටදැයි මට වරෙක සිතේ. හැපි ජර්නි නාට්‍යයෙහි ආකෘතිය අපේ පේ‍්‍රක්ෂකයාට නුහුරු වීම නිසා එය දරාගන්නට බැරි වූ බව මගේ හැඟීමයි. ආචාර්ය ලියනගේ අමරකීර්ති පැවසූ ආකාරයට යුද්ධයෙන් පසු අපට තවම ඒ ගැන විචාරශීලිව බලන්නට නොහැකි වීම අනෙකයි.

නාට්‍ය හමාරවීමෙන් පසු වලේ දී මා ජෙහාන් හමුවන විට සිටියේ කණස්සල්ලෙන් බව කීම අරුමයක් නොවේ. එහෙත් ඔහු හා දොඩමලු වන විට මට හැඟී ගියේ ඒ තමාටවත් තමාගේ රංගන ශිල්පීන්ටවත් හූ කියූ නිසා ලද චිත්ත පරාජයක් නොව රටේ පවතින වත්මන් "අවුල" තමාගේ පරපුරේම පේ‍්‍රක්ෂකයන්ට නොදැනීම නිසා බවයි. ඔහු ප‍්‍රශ්න කළේ පශ්චාත් යුධ ශී‍්‍ර ලංකාවේ සිදුවන පැහැරගැනීම් - අතරුදහන්වීම් - ගිනිතැබීම් - ගස්බැඳීම් - පලිගැනීම් - අයුක්ති සහගත අත්තඩංගුවට ගැනීම් ඈ සියල්ල තමාගේම පරපුර විසින් ෆිට්ටෙකේ පිලිගන්නේ ද යන්නයි. මේ සියල්ල මධ්‍යයේ ප්‍රේක්ෂකයා විසින් "ආතල් එකක්ම" ඉල්ලීම එක්තරා සරදමකි. ඔහු නම් කීවේ තමා ආවේ ආතල් එකක් දීමට නොවන බවයි.

නාට්‍යයක පමණක් නොව ඕනෑම කලා නිර්මාණයක එක්තරා වින්දනමය අවකාශයක් එහි පෘෂ්ඨයේ ඇති බව මම පිළිගනිමි. එහෙත් අපට අවශ්‍ය වන්නේ එම මතුපිට යන්තම් දුව ඇවිදින ආතල් හොයන පේ‍්‍රක්ෂකයින් පිරිසක් නොවන අතර විශිෂ්ට කලා කෘති වලට සාධාරණයක් ඉටුකළ හැකි කියවන්නන් විචාරකයින් පිරිසකි. එය කවිය - ගීතය - නවකතාව - කෙටිකතාව - නාට්‍යය - චිත‍්‍රය - ඡායාරූපය - සිනමාව යන සියලූ කලාංයන් උදෙසා නිර්මාණය වනු දැක්ම පැතුමයි. අපේ කලා රසිකත්වය බොඳ මීදුමක සිට පියවරෙන් පියවර පැහැදිලි අවකාශයක් කරා පිය නගන්නට නම් අප මහන්සි විය යුතුය. ඒ වෙනුවෙන් අවශ්‍ය වන්නාවූ "වෙනසක" වෙනස් කතිකාවක් ලාංකේය සමාජ සංදර්භය තුළ ගොඩනැගෙනු දැකීම අපේ සතුටයි. මේ "හැපි ජර්නියට" හූ කියන්නන් සේම හාවක් හූවක් නැතිව ඔහේ කල් ගෙවන්නන්ටත් ඇස් ඇර බැලීමට කාලයයි.

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails