Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලාංකේය දේශපාලන සහ සංස්කෘතික සංකේත ආර්ථීකය තුළ එතෙක් කලක් කිසිදු නියෝජනයක් ලබා නොතිබූ නන්දිකඩාල් කළපු තීරය පසුගිය 2009 මැයි මාසයෙන් පසුව අතිමහත් සංකේතීය වටිනාකමක් හිමිකර ගත්තේය. ඒ එල්ටීටීඊයේ සන්නද්ධ ද්‍රවිඩ ජාතිකවාදය නන්දිකඩාල් කළපුව අසබඩ වන ලැහැබකදී සහමුලින්ම පරාජයට පත්වීම නිසාය. එය සමූලික පරාජයක් යැයි කිව හැක්කේ කරුණු කිහිපයක් හේතු කොට ගෙනය. එල්ටීටීඊය විසින් ද්‍රවිඩ ජාතිකවාදී ව්‍යාපාරයේ දේශපාලනික හා දෘෂ්ටිමය පැතිමානයන් නොවැදගත් තලයකට ඇදදමා එය හුදෙක් මිලිටරි ව්‍යාපාරයක් බවට පරිවර්තනය කොට තිබූ තතු යටතේ එහි යුධමය පරාජය විසින් සමස්ත ව්‍යාපාරයේ ඓතිහාසික ඉරණම තීන්දු කළ හැකි විය.

අනෙක් අතින් වීරාභිනන්දනයට ලක් කළ අසහාය නායකත්ව ප්‍රතිරූපයක් කේන්ද්‍රකොට ගෙන එල්ටීටීඊයේ මුළුමහත්-

සංවිධාන ව්‍යුහය ගොඩනගා තිබූ හෙයින් එකී නායකත්ව ප්‍රතිරූපයේ විනාශය එහි සමස්ත පරාජය නිර්මාණය කිරීමට සමත් විය. ප්‍රභාකරන් යනු එල්ටීටීඊයට හුදු නායකත්ව පිරමීඩයේ උච්ච ස්ථානය පමණක් නොව සමස්ත පිරමීඩයේ ඒකීයත්වය දරා සිටි අවිඥානික ආයෝජනයද විය. ඒ අනුව යුද්ධයේ අවසන් නාට්‍යානුසාරී පෙළ ගැස්ම තුළ ප්‍රභාකරන්ට ඔහුගේ පවුලේ සියලු දෙනා සමග එක්ව මිය යාමට නියමිත වීම මෙකී ඉතිහාසයීය නාට්‍යයේ තිර රචනය තුළ අපේක්ෂිත ජවනිකාවකි. මෙකී සංසිද්ධිය විසින් ද්‍රවිඩ අන්තවාදී ජාතිකවාදයට මහා භාරතය පරදවන ඓතිහාසික වීර කාව්‍යයක් ද, සිංහල ජාතිකවාදයේ සියලු ප්‍රවණතාවලට ගාමිණී අභය, කීර්ති විජයබාහු වැනි ඉතිහාස ආඛ්‍යානයන්හි එන රණකාමී චරිත හා සැසඳෙන්නා වූ රාජ්‍යත්වයේ දෘෂ්ටිවාදීමය ප්‍රතිරූපයක් ද එකවර ලබා දුන්නේය. නන්දිකඩාල් සංසිද්ධිය ලාංකේය මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ ඛණ්ඩනීය නිමේෂයක් ලෙස හඳුනාගත හැක්කේ ඉහත කරුණු කිහිපය නිසා පමණක් නොවේ. මෙකී නිමේෂයෙන් පසුව ලාංකේය දේශපාලන පෙළගැස්ම තුළ සුවිශේෂවත්, සමාජ සැකැස්ම තුළ පොදුවේත් සිදුවෙමින් පවතින තවත් පරිවර්තනීය ප්‍රවණතා රාශියක් නිසාය.

මෙම ලිපියේ අරමුණ එකී ප්‍රවණතා ඇසුරින් පශ්චාත් නන්දිකඩාල් ලංකාව විග්‍රහාත්මක තලයන් කිහිපයක් ඔස්සේ විමර්ශනයට ලක් කිරීමය. මෙහිදී මගේ අවධානයට ලක් වන්නේ ඉතිහාසයේ සිද්ධීන් එකිනෙක තර්කානුකූල පිළිවෙළකට ගළපා තැනූ කතන්දර ශරීර, නැතහොත් ආඛ්‍යාණ හඳුනා ගැනීම නොවේ. එම ආඛ්‍යාණවල ඛණ්ඩනීය නිමේෂයන්, බිඳීම්, රැඩිකල් පරිවර්තනයන් යනාදිය හඳුනා ගැනීමයි. එවන් ඇතැම් ඛණ්ඩනීය නිමේෂයන්ට පසුව ඉතිහාසය පිළිබඳ අධිපති සමාජ පරිකල්පනයම වෙනස් විය හැකිය. නන්දිකඩාල් නිමේෂය එවන් වූ ඛණ්ඩනයක් වීය යන්න මගේ අහ්‍යුපගමනයයි.

අතරමැද සමාජ පන්තීන්ගේ දේශපාලන භූමිකාව

ඉහත කී පරිවර්තනය වටහා ගන්නට නම් 2005 ජනපතිවරණය ආශ්‍රිතව සලකුණු වූ තවත් වැදගත් දේශපාලන පරිවර්තනයක් දෙස අවධානය යොමු කළ යුතුවේ. එනම් ලාංකේය රාජ්‍යයේ දේශපාලන අධිකාරීත්වය සාම්ප්‍රදායික ප්‍රභූ ධනපති පවුල් ව්‍යුහයෙන් පිටතට ගමන් කිරීමය. ආර්. ප්‍රේමදාස ව්‍යතිරේකයක් ලෙස සැලකුවහොත්, 2005 වන තෙක්ම ලාංකේය රාජ්‍යයේ බල හවුල (power bloc) තුළ අධිපති සමාජ ශ්‍රේණිය ලෙස පවතින්නට සමත් වූයේ යටත් විජිත දේශපාලන ආර්ථීකයේ නිමැයුමක් වූ ස්වදේශීක පවුල් ස්ථරයකි. සමාජ විද්‍යාඥයින් සහ මානව විද්‍යාඥයින් මෙම සුවිශේෂී ප්‍රභූ ශ්‍රේණිය “ඉංග්‍රීසි උගත් ඉහළ මධ්‍යම පංතිය”, “ඉවැන්ජලික ප්‍රභූන්”, “ඕල්කට් බෞද්ධයන්” යනාදී විවිධ නම් වලින් හඳුන්වති. රාජපක්ෂ පවුල මෙම සාම්ප්‍රදායික පාලක පවුල් ව්‍යුහයට අයත් නොවූ සහ සැබැවින්ම එහි අනුග්‍රාහකත්වය ලැබූ ප්‍රාදේශීය ප්‍රභූ ස්ථරයකට සම්බන්ධ වූවකි. කුමන අරුතින් ගත්තද 2005 ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ලද ජයග්‍රහණය හුදෙක් රාජ්‍ය නායකත්වයේ වෙනසකට වඩා වැඩි දෙයකි. එය ලාංකේය පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ සමාජමය සන්ධාරයේ (Social composition of State) ඇති වූ වෙනසක් ද වේ.

ඉහත ප්‍රස්තුතය විමසා බැලීම සඳහා අප පළමුව, රාජපක්ෂ බලාධිකාරයේ ගොඩනැගීමට පසුබිම සැකසූ ආසන්න දේශපාලනමය පෙළ ගැසීම දෙස බැලිය යුතුය. 2004 - 2005 කාලසීමාවේදී ලාංකේය දකුණේ දේශපාලන පෙළගැසීම්වල සුවිශේෂ ප්‍රවණතා කිහිපයක් හඳුනාගත හැකිය. මේ කාලයේදී, විශේෂයෙන් ජවිපෙ, ජාතික හෙළ උරුමය සහ සිංහල ජාතිකවාදීන් පොදුවේ එජාප නායකත්වයටත්, ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක නායකත්වයටත් එරෙහිව ප්‍රබල දෘෂ්ටිවාදී ව්‍යාපාරයක් ගොඩනැඟූහ. සිංහල සිවිල් සමාජයේ බලවත් කොටසක් මෙසේ ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකින්ම එකවර වියෝ වූයේ කුමක් නිසාද? 1994 - 2004 දශකය තුළ මෙම පක්ෂ දෙකේ ප්‍රභූ නායකත්වය මූලික ගැටලු දෙකක් අරභයා සමාන්තර ස්ථාවරයකට එළැඹ සිටීම මගින් ඉහත ප්‍රවණතාවයට අවශ්‍ය පසුබිම සකස් වූයේ යැයි මම තර්ක කරමි.

නිදහසින් පසු ලංකාවේ මැතිවරණ දේශපාලනය ප්‍රධාන පසමිතුරුතා දෙකක් යටතේ සංවිධානය විය. එනම්, ආර්ථීක නිදහස්කරණය සහ රාජ්‍ය සුභසාධනය පිළිබඳ පසමිතුරුතාවත්, ද්‍රවිඩ වාර්ගික ජාතිකවාදය සහ සිංහල වාර්ගික ජාතිකවාදය අතර පසමිතුරුතාවත්ය. පුරුද්දක් ලෙස ප්‍රධාන ධාරාවේ එක් පක්ෂයක් ආර්ථීක නිදහස්කරණයට පක්ෂවන විට අනෙක් පක්ෂය (බොහෝ විට ශ්‍රීලනිප) රාජ්‍ය සුභසාධනවාදයේ පැත්ත ගත්තේය. එක් පක්ෂයක් ද්‍රවිඩ වාර්ගික ජාතිකවාදයේ ඉල්ලීම්වලට සාධනීයව ප්‍රතිචාර දක්වන්නට උත්සාහ කරන විට අනෙක් පක්ෂය එයට එරෙහිව සිංහල බෞද්ධ වාර්ගික ජාතිකවාදයේ සටන් පාඨ ඉහළට එසවූයේය. නිදසුනක් ලෙස, බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමට එජාපය විරුද්ධ වූ අතර ඩඩ්ලි - චෙල්වනාගයම් ගිවිසුමට ශ්‍රීලනිපය ඇතුළු වමේ පක්ෂ විරුද්ධ විය. 1987 වන තුරු ජයවර්ධන බලාධිකාරය සිංහල වාර්ගික ජාතිකවාදයේ පෙරටුගාමීත්වය ගත් අතර 1987 දී ඉන්දු - ලංකා ගිවිසුමෙන් පසුව ශ්‍රී ලනිපය සහ ජවිපෙ එය තමන් අතට හිමිකර ගත්තේය. නමුත් 1994 - 2004 දක්වා ගත වූ දශකයේදී ඉහත කී ප්‍රධාන පසමිතුරු අක්ෂයන් දෙකටම අදාළව වැදගත් පරිවර්තනයක් සිදු වෙමින් පැවතුණි. එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නායකත්වයෙන් ශ්‍රීලනිපයත්, රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එජාපයත් වාර්ගික ගැටලුවට සාකච්ඡාමය විසඳුමක් දීම සම්බන්ධයෙනුත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් සම්බන්ධයෙනුත් සමාන්තර ස්ථාවරයන්ට පැමිණ තිබීමයි. “විවෘත ආර්ථීකයට මානුෂික මුහුණුවරක්දීම” යනු හුදෙක් භාෂාමය අලංකාරෝක්තියක් වූ අතර එල්ටීටීඊය සමග කළ ඊනියා තුන්වන ඊළාම් යුද්ධය දේශපාලන විසඳුමක් පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව කඩ කරන්නට සමත් නොවීය.

සැබැවින්ම මේ තත්ත්වය වටහා ගත යුත්තේ ගෝලීය සන්දර්භයක් තුළය. මන්දයත් 1987 ඉන්දු - ලංකා ගිවිසුම මගින් ලංකාවේ ජනවාර්ගික ගැටලුව කලාපීය ගැටලුවක් බවට නිල වශයෙන් පත් කරන ලද අතර තුන්වන ඊළාම් යුද සමයේ එය බරපතළ ලෙස ජාත්‍යන්තරීකරණය විය. දේශපාලන විසඳුම ලංකාවට ලබා දෙන විදේශීය ණය ආධාර වැඩපිළිවෙළේ පූර්ව කොන්දේසියක් බවට පත් විය. ආර්ථීක නිදහස්කරණයත්, දේශපාලන විසඳුම පිළිබඳ ජාත්‍යන්තරයේ අවතීර්ණවීමත් එකිනෙකට සම්බන්ධ වූයේ නව ලිබරල් ධනවාදයේ හෙජමොනිය තුළ හැඩ ගැසුණු සමකාලීන ගෝලීය ආණ්ඩුකරණයේ රාමුවක් තුළය. මෙය ජනප්‍රිය ව්‍යවහාරය තුළ හඳුනා ගනු ලැබුවේ ලිබරල් සාම ව්‍යාපෘතිය ලෙසය. අපගේ අවධානයට ලක් විය යුතු වැදගත් කාරණය නම්, 1994 - 2004 දශකයේදී ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙක නොනිල වශයෙන් ආර්ථීක හා දේශපාලන එකඟතාවන්ට පැමිණෙන විට එම පක්ෂ දෙකටම එරෙහිව සිංහල කුඩා පක්ෂවල වේගවත් වර්ධනයක් සිදුවීමයි. 1994 සිට 2004 දක්වා කාල පරිච්ඡේදයේදී ජවිපෙ සහ ජාතික හෙළ උරුමය යන පක්ෂවල ඡන්ද පදනමේ ක්‍රමික වර්ධනය නිරීක්ෂණය කරන විට ඉහත කී කාරණය මනාව පැහැදිලි කර ගත හැකිය. මෙහිදී සිදුව ඇත්තේ එජාපයෙන් හා ශ්‍රීලනිපයෙන් ගිලිහෙන යම් යම් සමාජ තීරු ජනප්‍රියවාදී සටන් පාඨ ඔස්සේ සංවිධානය කර ගන්නට රැඩිකල් සිංහල පක්ෂ සමත්වීමයි. දෘෂ්ටිවාදී දේශපාලනය සම්බන්ධයෙන් වැඩි වැදගත්කමක් ගන්නා නාගරික සහ අර්ධ නාගරික නව අතරමැද සමාජ ශ්‍රේණීන්[1] ජවිපෙ, හෙළ උරුමය සහ පොදූවේ සිංහල බෞද්ධ රණකාමී ජාතිකවාදය කෙරෙහි විශාල බලපෑමක් කළේය. මෙහිදී දෘෂ්ටිවාදී තලය තුළ ජවිපෙ හා හෙළ උරුමය විසින් රැඩිකල්කරණය කරනු ලැබ ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙක අතරින් ගිලිහුණු රාජ්‍ය සුභසාධනවාදී දෘෂ්ටියත්, සිංහල බෞද්ධ ජාතිකවාදී දෘෂ්ටියත්ය.

මෙම දෘෂ්ටිවාදී ආස්ථානයන් දෙකේ ඇති සුවිශේෂ වැදගත්කම කුමක්ද? ලාංකේය ප්‍රභූ පාලක පවුල් ව්‍යුහයට සිංහල බෞද්ධ බහුතරයෙන් සමන්විත වූ අතරමැදි සමාජ පන්තීන් අතර දෘෂ්ටිවාදීමය සුජාතභාවයක් පවත්වාගෙන යා හැකි වූයේ රාජ්‍ය සුභසාධනවාදයේත් (රාජ්‍ය කේන්ද්‍රීය සංවර්ධන උපාය මාර්ග ඇතුළත්ව) වාර්ගික ජාතිකවාදයත් මගින්ය. මේ දෙකම ඔවුන් අතින් ගිලිහෙන විට සිදු වන්නේ කුමක්ද? පවත්නා හෙජමොනික සැකසුමේ අභ්‍යන්තරික සමතුලිතතාවය බිඳී යාමයි. මෙය දේශපාලන අර්බුදයක් ජනනය කරයි. අන්තෝනියෝ ග්‍රාම්ස්චිට අනුව දේශපාලන අර්බුදයක් යනු යම් යම් සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයන්ට මෙතෙක් කලක් තමන් සාම්ප්‍රදායිකව නායකත්වය දුන් සමාජ කණ්ඩායම් වල සහයෝගය අහිමිවී යාමේ තත්ත්වයකි. මා ඉහත විශ්ලේෂණය කර ඇත්තේ, ලංකාවේ සිංහල බෞද්ධ අතරමැද සමාජ පංතීන්ට අදාළව ග්‍රාම්ස්චියානු අරුතින් සමස්ත දේශපාලන අර්බුදයක් නොව යම් පාර්ශ්වීය අර්බුදයක් 1994 - 2004 කාලයේදී ඇති වූයේ කෙසේද යන්නයි.

ඉහත අර්බුදයට දක්වන ලද දේශපාලනමය සහ දෘෂ්ටිවාදීමය ප්‍රතිචාරයන් රාශියක් අපට හඳුනාගත හැකිය. ග්‍රාම්ස්චි පැවසූ ලෙස අර්බුද සමයකදී නම නොඇසු නවක බලවේගයන්ද “දෛවයේ මිනිසුන්” ලෙස තමන්ව සාධාරණීකරණය කර ගත් පුද්ගලික වීරයින් ද දේශපාලන අවකාශය අත්පත් කොට ගන්නට පොර පිටියට බසිති. හෙළ උරුමයේ ක්ෂණික සාර්ථකත්වය, ජවිපෙට චන්ද්‍රිකා බලාධිකාරිය යම් දුරකට හැසිරවීමට හැකිවීම, දේශපාලන පක්ෂ සහ සංවිධාන වල සිදුවූ බිඳීයාම් සහ අනපේක්ෂිත සන්ධානගතවීම් යනාදිය 1994-2004 කාල පරිච්ඡේදයේ නිතර දෙවේලේ දක්නට ලැබුණේය. සිවිල් සමාජය තුළ මේ කාලයේදී පැවැති ප්‍රබලතම විවාදයට කේන්ද්‍රගත වූයේ “එල්ටීටීඊ ත්‍රස්තවාදය”, “ශ්‍රී ලංකාවට කෙරෙන විදේශීය බලපෑම්”, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යනාදියයි.

මෙහිදී තවමත් බොහෝ පර්යේෂකයින්ගේ ප්‍රමාණවත් අවධානයට ලක්වී නොමැති දෘෂ්ටිමය ව්‍යාපෘතියක් නම් 1980 දශකයේ අග භාගයේ ආරම්භ වී 1990 දශකයේ මැද භාගයෙන් පසුව දේශපාලනයට වඩාත් බලපෑම් සහගත වූ ජාතික චින්තන ව්‍යාපෘතියයි. යුද්ධයේ අවසන් අදියර තුළදී ලංකාවේ ජාතිකත්වය සහ ජාතික ගැටලුව පිළිබඳවත් රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජය පිළිබඳවත් අධිපති දෘෂ්ටිය බවට පරිවර්තනය වූයේ මෙම ජාතික චින්තන ව්‍යාපෘතිය විසින් නිර්මාණය කළ අදහස්ය. සිංහල බෞද්ධ ජාතික චින්තනය හුදෙක් පුවත්පත් විවාදයක් පමණක් නොව එයටම ආවේණික උපාය මාර්ගික ඉලක්කයක් තිබූ කතිකාමය මැදිහත්වීමක්ද වූ බව මෙහිදී සැලකිල්ලට ගත යුතුය.

රාජපක්ෂ ප්‍රපංචය

ලාංකේය දේශපාලනයේ පරිවර්තනීය සාධකයක් ලෙස රාජපක්ෂ ප්‍රපංචය මතු වූයේ ඉහත කී සුවිශේෂී ඓතිහාසික තත්ත්වය තුළය. මගේ අදහස නම් රාජපක්ෂ ප්‍රපංචය අධ්‍යනය කිරීම සඳහා න්‍යායිකව වෙහෙස වීමෙන් තොරව ලංකාවේ සමකාලීන දේශපාලන ප්‍රවණතා සංයුක්තව විග්‍රහ කළ නොහැකි බවය. මහින්ද රාජපක්ෂ හැඳින්වීම සඳහා වර්තමානයේ විපක්ෂ බලවේග විසින් භාවිතා කරන “නාසිවාදී”, “ෆැසිස්ට්වාදී” යනාදී යෙදුම් වල හිර නොවී ඔහුට දකුණේ සමාජයෙන් ලැබුණු සක්‍රීය පක්ෂපාතීත්වය පිළිබඳ නිවැරදි ගණන් බැලීමක් කරන්නට අප උත්සාහ කළ යුතුය. රාජපක්ෂ බලාධිකාරය හැඳින්වීම සඳහා ෆැසිස්ට් හෝ “ඒකාධිපති කල්ට්” යන යෙදුම් භාවිතා කිරීම ශාස්ත්‍රාලීය වශයෙන් ද වැරදිය. විශේෂයෙන්ම අප අවධානය යොමු කළ යුත්තේ රාජපක්ෂ හට ජනයාගේ සක්‍රීය අවනතභාවයක් දිනාගත හැකි වූයේ කුමන ව්‍යුහාත්මක සහ දේශපාලනික තත්ත්වයක් මතද යන කාරණය දෙසය. ඔහු ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂකයා ලෙස මතු වුව ද පක්ෂයේ ප්‍රභූ බණ්ඩාරනායක නායකත්වයේ සහාය ඔහුට හිමි නොවීය. නමුත් සිංහල බෞද්ධ අතරමැද සමාජ පන්තීන්වලට බලපෑමක් කළ හැකි තත්ත්වයක සිටි ජාතික චින්තනය, ජවිපෙ සහ ජාතික හෙළ උරුමයේ සක්‍රීය සහයෝගය ඔහුට හිමි විය. එහෙයින් පක්ෂයේ ආකෘතිමය සීමාවන් ඉක්මවා ගිය පුළුල් හෙජමොනික ආමන්ත්‍රණයක්[2] කිරීමේ ශක්‍යතාව ඔහු අත්පත් කර ගත්තේය. ඔහු මේ යුගයේ සිංහල බෞද්ධ අතරමැද සමාජ පන්තීන්ගේ අර්බුදයට දෘෂ්ටිවාදීමය විසඳුමක් ලෙස ඉදිරිපත් වූ රණකාමී සිංහල ජාතිකවාදයේ, ප්‍රතිමූර්තියක් බවට පත් කෙරෙණි. එසේම රාජ්‍ය සුභසාධනවාදී අලංකාරෝක්තීන් සමග මුසු වූ ආර්ථීක ජනප්‍රියවාදයද ඔහුට උච්චාරණය කළ හැකි විය. ඇතැම් වාමාංශික කණ්ඩායම් රාජපක්ෂ ව්‍යාපෘතියට ආකර්ශනය වූයේ මෙම ආර්ථීක ජනප්‍රියවාදයත් සාම්ප්‍රදායික ප්‍රභූ පවුල් ව්‍යුහයට ඔවුන් දැක්වූ සම්ප්‍රදායික විරෝධයත් නරුමවාදී ලෙස උපයෝගී කරගනිමින්ය.

නමුත් වඩා නිවැරදිව කිවහොත් මහින්ද රාජපක්ෂ ඉහත කී කිසිදු ව්‍යාපෘතියක් සමග මූලාරම්භයේදී ඍජුව අනන්‍ය නොවීය. ඒ වෙනුවට අර්නෙස්ටෝ ලැක්ලාච් පවසන ආකාරයේ හෙජමොනික සංඝටකයකට තිබිය යුතු මූලික ගුණය රාජපක්ෂ සතු විය. ලැක්ලාච් හෙජමොනික ව්‍යාපෘතියක් හඳුනා ගන්නේ යම් සුවිශේෂ අනන්‍යතාවක් (නැතහොත් කතිකාමය සංඝටකයක්) “පොදු බව” නිරූපනය කරන්නා වූ තත්ත්වයකට ඔසවා තැබීමේ ක්‍රියාවලියක් ලෙසය. මෙසේ පොදු බව නියෝජනය කිරීම සඳහා එකී සංඝටකයට වඩ වඩාත් ස්වකීය පුද්ගලිකත්වය නොහොත් සුවිශේෂී ගුණ අඩු කර දැක්වීමට සිදුවේ. එවිට එය සුවිශේෂී අරුතක් ජනනය කරන්නේ නැති වුවත් ඇතැම් විට එකිනෙකට ප්‍රති විරෝධී අරුත් පවා එකවිට දනවන තත්ත්වයකට පත්වේ. සරලව කිවහොත් එකිනෙකට වෙනස් සමාජ බලවේග හා කණ්ඩායම්වලට මෙම “හිස් මධ්‍ය” වටා සංවිධානය විය හැකිය, එය සමග අනන්‍ය විය හැකිය. රාජපක්ෂ ව්‍යාපෘතියේ දේශපාලනික සාර්ථකත්වයට මෙම හෙජමොනික තර්කනය ඉමහත් සේ උපකාරවී ඇතැයි යන්න මගේ අදහසයි.

සැබවින්ම මෙම ව්‍යාපෘතිය විසින් 1994 - 2004 දක්වා කාල පරිච්ඡේදය තුළ සිංහල බෞද්ධ අතර මැදි සමාජ පන්තීන් මුහුණ දුන් දේශපාලන අර්බුදයට පාර්ශ්වීය විසඳුමක් ලබාදී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්ෂ බලාධිකාරය නිර්මාණය විය. මෙම බලාධිකාරය ලාංකේය පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ සමාජමය නැතහොත් පන්තිමය සන්ධානයේ වෙනසක්ද ඇති කර තිබේ. එනම් සිංහල බෞද්ධ අතරමැද සමාජ පන්තීන්ගේ දේශපාලන අධිකාරීත්වය රාජ්‍ය තුළ තහවුරු කිරීමයි.

සිංහල බෞද්ධ ධනවාදී හෙජමොනිය

ඉහත පැහැදිලි කළ පරිදි 2004 දී පමණ ආරම්භ වන රාජපක්ෂ බල ව්‍යාපෘතියට ක්‍රියාත්මක වන්නට සිදු වූයේ එයට වඩා පුළුල් සහ දිගු ඉතිහාසයක් සහිත සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපෘතිය තුළය. මේ එකක් අනෙකට සහමුලින්ම ඌනනය කළ නොහැකි වුවද රාජපක්ෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ කතිකාමය අවකාශය නැතහොත් ක්ෂේත්‍රය තුළ වඩා අධිපති වූයේ සිංහල බෞද්ධ ජාතිකවාදය යැයි කීම සාධාරණ ය.

නමුත් මගේ අවධාරණය වන්නේ, රාජපක්ෂ ව්‍යාපෘතියට එහිම වූ උපායමාර්ගික ප්‍රවේශයක් සහ ක්‍රියාකාරීත්ව රටාවක් තිබෙන බවත් ඒවා සුවිශේෂව හැදෑරිය යුතු බවත්ය. එයට දේශපාලනික ආර්ථීකමය තලය තුළ ධනවාදී සංවර්ධනය පිළිබඳ අග්නිදිග ආසියානු ආදර්ශය (කාර්මීකරණය වෙනුවට සංචාරක සහ සේවා ආර්ථීකය ප්‍රමුඛත්වයට ගැනීම අනුව මෙය සැබැවින්ම අග්නිදිග ආසියානු මොඩලයට වඩා ඉතාම වෙනස්ය. නමුත් පරිවාරයේ ධනවාදී සංවර්ධනයක් පිළිබඳ දෘශ්ටිවාදය අනික් අතින් නම් එය අග්නිදිග ආසියාව අනුගමනය කරන්නට ප්‍රයත්න දරයි) අනුව සැකසුණු උපාය මාර්ගයක් ඇති බව පෙනෙයි. බොහෝ දෙනකු සිතන පරිදි වත්මන් බලාධිකාරයේ සංවර්ධනය පිළිබඳ උපාය මාර්ගය සකස් වූයේ යුද්ධය නිමා වීමේ සන්දර්භය තුළ ස්වකීය බලයට සුජාතභාවයක් ලබා ගැනීමේ අරුතින් නොවේ. යුද්ධය පැවැති කාලපරිච්ඡේදය තුළම මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැගුණා පමණක් නොව එය යුද්ධයේ උපාය මාර්ගික අවශ්‍යතා සමග ද බැඳි තිබුණේය. නිදසුනක් ලෙස “උතුරු වසන්තය” සහ “නැගෙනහිර නවෝදය” යන ව්‍යාපෘතීන් වල ප්‍රධාන උපාය මාර්ගික අරමුණ වූයේ එම ප්‍රදේශවල ජන සමාජය අතර ස්වකීය දේශපාලනික ව්‍යාපෘතීන්ට අවශ්‍ය සුජාතභාවය ලබා ගැනීමයි. මිලිටරි දේශපාලන තලය තුළ රාජපක්ෂ බලාධිකාරයට තිබූ ප්‍රධාන උපාය මාර්ගික ව්‍යාපෘතිය වූයේ යුද්ධයයි. මෙම යුද්ධය විසින් ඉටු කළේ ද්‍රවිඩ සන්නද්ධ ජාතිකවාදය පරාජයට පත් කිරීම පමණක් නොවේ. එය ඒ සමගම නව බලාධිකාරයේ අභිලාෂයන්ට අනුව ලංකාවේ නෛතික දේශපාලනික ආයතන ව්‍යුහය යළි සැකසීමටද දායක විය. යුද්ධයේ අවසන් අදියර තුළ ලාංකේය පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ ආයතනික සැකැස්මේ යම් යම් වෙනස්කම් සිදුවූ බව ඒ පිළිබඳව සමීප නිරීක්ෂණයකදී පෙනී යයි. අධිකරණ ව්‍යුහය, රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය, පොලීසිය සහ සිවිල් පරිපාලනය යනාදී සියලු ආයතනික ව්‍යුහයන් තුළ ඍජුවම රාජපක්ෂ බල අධිකාරයට යටත් විධායකයේ අණසක ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ සබඳතා ස්ථාපිත කෙරිණ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවූයේ මෙම විධායකයේ නව ස්වරූපයට ව්‍යවස්ථාපිත වලංගුභාවයක් ලබාදීම පමණකි. මෙම සංශෝධනයෙන් පසුව රාජ්‍ය සේවය ඍජුවම විධායකය යටතට ගැනෙන අතර විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතනික ව්‍යුහයන් අතර සමතුලිතතාව විධායකයට වාසිදායක වන පරිදි නැවත සකසයි. මෙය අවශ්‍ය නම් “ව්‍යවස්ථාපිත අධිකාරීත්වවාදයක්” ලෙස හඳුනා ගත හැකිය. මීට සමාන්තරව සිවිල් ජන ජීවිතය වඩ වඩාත් සුපරීක්ෂාවට ලක් කරමින් මහජන සහ පුද්ගලික අවකාශයන් “පොලිස්කරණයට” ලක් වෙමින් තිබේ. මහජන අවකාශයන් තුළ පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම, කොළඹ නගරයේ ආරක්ෂක කැමරා සවි කිරීම, ජනමාධ්‍ය පාලනය සහ සංස්කෘතික නිදහස සීමා කිරීම යනාදිය මෙම පොලිස්කරණයේ විවිධාකාර ප්‍රකාශවීම්ය. යුද්ධය සමග වර්ධනය වූ මිලිටරිකරණයේ තර්කණය ලාංකේය රාජ්‍යයට සහ සමාජ ජීවිතයට කරන බලපෑම එබඳුය.

අවසන් වශයෙන් නව බලාධිකාරයේ වැදගත් උපායමාර්ගික ව්‍යාපෘතියක් වූයේ/වන්නේ සිංහල බෞද්ධ රණකාමී දෘෂ්ටිවාදීමය ව්‍යාපෘතියයි. එය සැබවින්ම ගොඩනැගුණේ ද්‍රවිඩ රණකාමීත්වයට දක්වන ලද ප්‍රතිචාරයක් ලෙස බව සැබෑය. නමුත් එයට බටහිර විරෝධී සංස්කෘතික සදාචාරවාදී දෘෂ්ටිවාදයක් සමග සුසම්බන්ධ කර ඇති බව අමතක නොකළ යුතුය. මෙම දෘෂ්ටිවාදී ව්‍යාපෘතියේ මූලයන් 19 වැනි සියවසේ අග භාගයේ ධර්මපාල ව්‍යාපෘතිය දක්වා දිව යන බව ඇතැම් බුද්ධිමතුන් තර්ක කරයි. නමුත් මගේ අවධානය යොමු වන්නේ එහි ඓතිහාසික මූලයන් දෙසට නොව එහි නවතාවන්, ඛණ්ඩනයන් හා නව සංදර්භගතවීම් දෙසටය. නිදසුනක් ලෙස සමකාලීන සිංහල බෞද්ධ ජාතිකවාදය මූලික වශයෙන්ම විද්‍යුත් මාධ්‍ය කේන්ද්‍ර කොට ගෙන වර්ධනය වන අතර, විද්‍යුත් ප්‍රතිරූප, ජනප්‍රිය සංස්කෘතිකාංග, ප්‍රදර්ශනකාමය, සහ ප්‍රසාංගිකත්වය යනාදිය එහි නව අංගෝපාංගයෝ වෙති. ඒ අනුව 1980 දශකයේදී සෙරීනා තෙන්නකෝන්ගේ විශ්ලේෂණයට ලක් වූ පුවත්පත් ජාතිකවාදයෙන් වෙනස්ව අද පවතින්නේ “රූපවාහිනී ජාතිකවාදයකි''.

විමල් වීරවංශගේ සහ චම්පික රණවකගේ උද්වේගාත්මක කතා, ජැක්සන් ඇන්තනීගේ ප්‍රසාංගික ඉදිරිපත් කිරීම්, නිල උත්සව අවස්ථාවන්හි දැන් නිතර දක්නට ලැබෙන රාජාභිනන්දන ගීත, නැටුම්, වේදිකා අලංකාරයන් යනාදිය තුළ මෙම ප්‍රසාංගිකත්වය නිරීක්ෂණය කළ හැකිය. සැබැවින්ම රූපවාහිනී ජාතිකවාදය මිලිටරි දේශපාලනමය තලයේ වර්ධනයත් සමග සමාන්තරව යයි. නිදසුනක් ලෙස යුද්ධයේ අවසන් වසර කිහිපයේදී යුද්ධය රාජ්‍ය රූපවාහිනී නාලිකා තුළ සජීවීව ප්‍රචාරය කෙරුණා පමණක් නොව හමුදාවල ජයග්‍රහණ සිතියම්ගත කිරීම් මගින් ප්‍රේක්ෂකයින් පරිකල්පනීයව යුද මෙහෙයුමට සම්බන්ධ කර ගන්නා ලදී. දෘෂ්ටිවාදීමය තලයේ ජයග්‍රහණ වල වැදගත්කම රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් බුද්ධිමත් ලෙස ගණනය කර ඇති බව මනාව පැහැදිලි වන්නේ කලාකරුවන්, පුවත්පත් කලාවේදීන්, ක්‍රීඩකයින්, සිංහල විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් සහ බුද්ධිමතුන් ස්වකීය ව්‍යාපෘතියට සක්‍රීයව දායක කර ගන්නට එය සමත් වීමෙන්ය. එය කලාකරුවන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නා තරම් දුරට ගමන් කළේය.

සැබැවින්ම මෙම දෘෂ්ටිවාදීමය ව්‍යාපෘතිය මගින් ලංකාවේ නිදහසින් පසුව කිසිදු බලාධිකාරයක් විසින් හෝ හිමිකර නොගත් ආකාරයේ කැමැත්ත මගින් පාලනය කිරීමේ ශක්‍යතාවක් රාජපක්ෂ බලාධිකාරයට ලබාදී තිබේ. මෙය මහාචාර්ය නලීන් ද සිල්වා ගේ ජාතික චින්තන ව්‍යාපෘතිය “රාජ්‍යයේ නිල දෘෂ්ටිවාදය” බවට පරිවර්තනය වීමකි. අතීත රාජ්‍යත්වයේ පුනරාගමනයක් ලෙස නව බලාධිකාරය දෘෂ්ටිවාදීව උත්කර්ෂයට නැංවෙන විට “ද්‍රවිඩයන් හට ද්‍රවිඩ වීම නිසාම ඇති වූ සුවිශේෂ ප්‍රශ්නය කුමක්ද?” යන්න දැන් රාජ්‍යයේ මුවින්ම ඇසෙමින් පවතින්නේ එහෙයිනි.

ඉහත විශ්ලේෂණය කළ දේශපාලන-ආර්ථීක, මිලිටරි-දේශපාලනික සහ දෘෂ්ටිවාදීමය යන තලයන් සියල්ල අප සැලකිල්ලට ගත යුත්තේ හුදෙකලාව නොව එකම හෙජමොනික ව්‍යාපෘතියක සංයුක්ත අංගයන් ලෙසය. එවිට, පශ්චාත්-නන්දිකඩාල් ලංකාවේ හෙජමොනික සැකසුම අපට වටහා ගන්නට සිදු වන්නේ “නව ලිබරල් ගෝලීය ආණ්ඩු මට්ටුකරණය” (neo-liberal machanisms of global governance) සමග අනුගතවූ සිංහල බෞද්ධ ධනවාදී හෙජමොනියක් ලෙසය. මෙය උතුරේ ද්‍රවිඩ ප්‍රජාවගේ ඇසින් බැලූ කල මනාව පැහැදිලිවේ. මන්ද යත් දැන් ද්‍රවිඩ වාර්ගික ජාතිකවාදය මිලිටරි දේශපාලනික තලයේ සහමුලින්ම පරාජය කොට ඇති අතර එයට දේශපාලන ආර්ථීක තලයේ අසීරු අභියෝගයක්ද ඉදිරිපත් කොට තිබේ. එනම් විවෘත වූ A9 මාර්ගය ඔස්සේ උතුරට එන දකුණේ ප්‍රාග්ධනයත්, ගෝලීය ප්‍රාග්ධනයත් සමග ජය ගත නොහැකි තරඟයකට එන ලෙස නිදහස් වෙළඳෙපොළ තර්කනය යටතේ උතුරේ ද්‍රවිඩ ජනතාවට ආරාධනා කොට තිබේ. දශක තුනක යුද්ධය පැවැති කාලයේ උතුර ආර්ථීක විවෘතකරණයට ඉලක්ක වූයේ සාපේක්ෂව අඩුවෙන් වුවත් දකුණ වේගවත්ව වාණිජකරණය විය. එහෙයින් පශ්චාත් යුධකාලීන උතුර සහ දකුණ අතර ඉතිහාස-කාලයේ (historic-time) නොගැළපීමක් පවතී. ඉදිරියේදී විවෘත වෙළඳෙ පොළ තර්කනය යටතේ සිංහල බෞද්ධ ධනවාදී හෙජමොනිය උතුරේ ස්ථාපිතවීමට නියමිත අතර ජනවාර්ගික පසමිතුරුතාවයන්ගේ කේෂ්ත්‍ර භූමිය දේශපාලනයෙන් ආර්ථීකයට මාරුවීම අපේක්ෂා කළ හැකිය. මීට සමාන්තරව උතුරු සහ නැගෙනහිර පළාත් අර්ධ මිලිටරි සංවර්ධන යාන්ත්‍රණයකින් මෙහෙයවීමට ලක් වන අතර කොළඹ නව බලාධිකාරිය සමග අනුග්‍රාහක-සේවාදායක සම්බන්ධතා ඔස්සේ බැදුණු නව ද්‍රවිඩ පාලක ප්‍රභූ තන්ත්‍රයක්ද ස්ථාපිත වෙමින් පවතිනු පෙනේ. පොදුවේ උතුරේත් දකුණේත් සමාජ සබඳතා වඩ වඩාත් නිර්දේශපාලනීකරණය කිරීම මෙම නව හෙජමොනික සැකසුමේ ප්‍රධාන අවශ්‍යතාවකි.

හෙජමොනික සැකසුමේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතා සහ පරිවර්තනීය ශක්‍යතා

ඉහත සමස්ත විග්‍රහය විසින් කෙනෙකු තුළ අඳුරු අනාගත චිත්‍රයක් තනන්නේ නම් එය අපේක්ෂා කළ යුත්තකි. නමුත් මෙහි අදහස පවත්නා තත්ත්වය කෙසේවත් වෙනස් විය නොහැකි බව නොවේ. අන් කවර හෙජමොනික සැකසුමක් සේම වත්මන් සිංහල බෞද්ධ ධනවාදී හෙජමොනිය ද අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා රැසක් දරා ගත්තකි. රාජපක්ෂ බලාධිකාරියේ අභ්‍යන්තර (පවුල් ව්‍යුහයේ) ඉරිතැලීම් පිළිබඳ සිහින මවන සරලමතික උපායවේදීන් සමග මා කෙසේවත් අනන්‍ය නොවන බව මෙහිදී කීමට කැමැත්තෙමි. එහෙත් මෙම බලාධිකාරය අතිශයින් වැරදි ලෙස නාසිවාදය සමග හෝ ඊනියා ඒකාධිපති කල්ලි තර්කනයක් සමග අනන්‍ය කරන්නාවුන්ද පවත්නා තත්ත්වය න්‍යායික නිර්මාණශීලීත්වයකින් යුක්තව විශ්ලේෂණය කරගන්නට අසමත්ය. ඉහත ප්‍රවේශයන් දෙකටම වෙනස්ව පවත්නා හෙජමොනික සැකසුම වෙනස්වීමේ/ කිරීමේ ශක්‍යතාවන් හඳුනාගත යුත්තේ එහි ව්‍යුහාත්මක ප්‍රතිවිරෝධතාවයන් තුළය. එවන් ප්‍රතිවිරෝධතාවන් කිහිපයක් සංක්ෂිප්තව ගෙන හැර දක්වන්නට කැමැත්තෙමි.

දේශපාලන- ආර්ථීක තලයේ ප්‍රධාන ප්‍රතිවිරෝධතාවක් වන්නේ බලාධිකාරයේ සමාජ සන්ධාරයේ ප්‍රධාන භූමිකාවක් රඟපාන අතරමැද පන්තීන්ගේ ආර්ථීකමය අභිලාෂයන් සහ දැන් මෙම බලාධිකාරය විසින් විවෘතවම ක්‍රියාවට නැගෙන නව ලිබරල් ආර්ථීක මූලෝපායන් අතර ප්‍රතිවිරෝධතාවයි. රාජ්‍ය කේන්ද්‍රීය “සංවර්ධන කර්මාන්තය” මේ ඇසුරින් පැන නගින සමාජ ආතතීන්වලට විසඳුමක් ලෙස ඉදිරිපත් වුවද අවසන් වශයෙන් එහි පැවැත්ම රඳා පවතින්නේ ගෝලීය ධනවාදයේ ගතිකයන් අනුවය. දේශපාලනිකව ගත් කළ වත්මන් හෙජමොනික සැකසුමෙන් ආන්තීකරණයට ලක් කළ සහ බැහැර කිරීමට ලක් කළ සමාජ ශ්‍රේණීන්ගේ බහුලත්වය සැලකිල්ලට ගත යුතුය. සමස්තයක් ලෙස ද්‍රවිඩ හා මුස්ලිම් වාර්ගික සුළුතරය, නාගරික සහ ග්‍රාමීය පීඩිත පන්තීන්, සහ සාම්ප්‍රදායිකව රාජ්‍ය ව්‍යුහයේ වරප්‍රසාදිත තත්ත්වයක් ඉසිලු ඊනියා ඉවැන්ජලික ඉහළ මධ්‍යම පන්තිය මෙසේ ආන්තීකරණයට සහ බැහැර කිරීමට ලක් වූ කණ්ඩායම් අතරට වැටේ. විශේෂයෙන්ම නාගරික හා ග්‍රාමීය දිළින්ඳන් වෙත අන් කවර කලකවත් නොවූ විරූ අන්දමේ බැහැර කරන සුළු ප්‍රවේශයක් දැන් ක්‍රියාවට නැංවෙමින් තිබේ. කොළඹ නගරයෙන් අඩු ආදායම්ලාභීන් ඉවත් කිරීම, ඉහළ යන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පිළිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක් නොදැක්වීම සහ ග්‍රාමීය දිළින්ඳන්ගේ ගැටලුවලට සංස්කෘතික සහ දේශපාලන තලයන් තුළ තිබූ නියෝජනයන් පවා මකාදැමීම මේ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය. සංවර්ධනය පිළිබඳ අධිපති කතිකාවත්, මිලිටරි දේශපාලනික ආණ්ඩු - මට්ටුකරණයේ තර්කනයත් දිළින්ඳන් පිළිබඳ ඉහතකී නිශේධනීය ආකල්පයට අවශ්‍ය සිතීමේ ක්‍රමය සකසයි. එසේම යුද්ධයේ අවසානය වඩ වඩාත් අතීතයට එක්වත්ම රණකාමී ජාතිකවාදයට තිබූ හෙජමොනික ශක්‍යතාව වඩ වඩාත් අඩුවී යාම අපේක්ෂා කළ හැකිය.

පොදුවේ ගතහොත් මෙය කෙසේවත් සර්ව-ව්‍යාපී බලයක් සහිත පරම බලාධිකාරයක් නොවේ. එහි ශක්‍යතාවන් පිළිබඳ අධිතක්සේරුවක් ඇතිවීම කෙරෙහි වඩාත්ම වගකිව යුත්තේ අභ්‍යන්තර බල අරගලවල සිරවී සිටින නිර්මාණශීලීත්වයෙන් තොර විපක්ෂ බලවේගයන්ය. ප්‍රජාතන්ත්‍රික ශිෂ්ඨත්වයේ ආලෝකය මෙරට අනාගත පරපුරෙන් ඈත් කර තබන සියලුම ප්‍රවණතා කෙරෙහි අන් සියල්ලන්ටමත් වඩා වගකිව යුත්තේ, විවේචක චින්තනයටත්, නිර්මාණශීලී විදර්ශනයන්ටත් සමුදුන් බුද්ධිමය ප්‍රජාවය. මේ ග්‍රාම්ස්චි පැවසූ ලෙස, නව වාමාංශික ඓන්ද්‍රීය බුද්ධිමතුන් පරපුරක අවශ්‍යතාව අන් කවර කාලයකටත් වඩා තදින් දැනෙමින් තිබෙන යුගයකි.

සටහන්

1- අයිජාස් අහමඩ්, මයිකල් කැලෙකි, පී. එස්. ජා වැනි මාක්ස්වාදී න්‍යායවේදීන් පෙන්වා දෙන පරිදි පශ්චාත් යටත් විජිත රටවල දේශපාලන සැකසුම් තුළ තීරණාත්මක භූමිකාවක් රඟන්නට අතරමැද සමාජ පන්තීන්(Intermediate Classes) සමත් වේ.

2- මෙහිදී මම හෙජමොනිය යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් මර්දනය සහ බලහත්කාරය මගින් පමණක් නොව පාලිතයන්ගේ සක්‍රීය හෝ අක්‍රීය කැමැත්ත මගින්ද ගෙන යන පාලනයයි. මෙකී කැමැත්ත, නැතහොත් අවනතභාවය දෘෂ්ථීවාදීව ගොඩනංවන ලද්දකි. හෙජමොනික සැකසුමක් යනු යම් හෙජමොනික නායකත්වයක් ඇසුරෙහි ගොඩනැගෙන සමාජ සබඳතාවල සමස්තයයි.


සුමිත් චාමින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails