Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පසුගිය දිනක පලවූ පුවතකින් කියවුනේ මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි හිටපු LTTE කාඩර් වරියන් 374 දෙනෙකුගෙන් 270 දෙනෙකු සමත්වී දෙදෙනෙකු වෛද්‍යවිද්‍යාල සුදුසුකම් ලබා 44 දෙනෙකු විශ්වවිද්‍යාල සඳහා සුදුසු කම් ලබා ඇති බවය. එම පුවතට පසු වදනක් ලියන වාර්තාකරුවාම ප්‍රකාශ කොට තිබුනේ වැරදි මාවත් වෙනුවට-

නිවැරදි මාවත තුලින් ජීවිතය ජය ගැනීම සඳහා ඔවුන් උත්සුක වී ඇති බවය. අප අත්දැකීමෙන් දන්නා පරිදි මෙතරම් කරදර තිබියදී අපහසු තත්වයන් යටතේ විභාග සමත් වූ මොවුන් අන් අයට වඩා සුවිශේෂ දක්ෂතාවයන්ගෙන් හෙබි අය ලෙසින් සමාජය තුල සම්භාවනාවට ලක්වනු ඇත.

ස්වභාවික ඉතිහාසය තුලින් මිනිස් ඉතිහාසය වෙන්කිරීමත්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව පශ්චාත් කාර්මික සමාජයන් තුලින් වඩාත් තීව්ර වූ බුද්ධිමය ශ්‍රමයේ අතිප්‍රමුඛ භූමිකාවත් තුල මුළු මහත් ලෝකය තුලම පිලිගන්නවා ඇති සහ පිලිගැනෙන නව ලිබරල්වාදී දෘෂ්ඨිවාදයට අනුව මුලධර්මවාදී පිළිගැනීම වන්නේ, ඔබගේ දක්ෂතාවය අනුව ඒ ඒ දක්ෂතාවයේ හැකියාවන්ට නියම වී ඇති වටිනාකම් අනුව ඔබට සමාජයේ නිසි තැන ලැබෙනු ඇතැයි යන්නයි. එනම් ඔබ වඩාත් දක්ෂ නම් ඔබට වඩාත් සැප පහසු ජීවිතයක්ද, (ධනවාදය තුල පිලිගැනී ඇති දෘෂ්ටිවාදී ජීවිතයට අනුව) සමාජ වටිනාකම් සහ ඉහල පාරිභෝගික භාණ්ඩ අර්චනකාමී හැකියාවක්ද ලැබෙනු ඇතිය යන්නය. එම නිසා මෙම යුගය තුල ක්‍රම විරෝධී වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වයක් නොමැත. ඒ වෙනුවට අති මහත් බහුතරය පිළිගෙන ඇති ඉහත හෙජමොනික දෘෂ්ටිවාදයට අනුව කිසිවෙකුට ක්‍රම විරෝධී සටනක අවශ්‍යතාවයක් නොමැති අතර ඇති මහත් බහුතරයේ පිළිගැනීම වන්නේ නව ලිබරල්වාදී සමාජය වඩාත් හොඳින් කළමනාකරණය කල හැකි ආණ්ඩුවක් පිලිබඳවය. එවිට ඒ ඒ පුද්ගලයාට අදාළ ස්ථානය සමාජය තුල හිමි කරගත හැකිය යන්නයි. ධනවාදය වෙතින් එල්ලවන මෙම දෘෂ්ටිවාදී අභියෝගයට මාක්ස්වාදී න්‍යායික ව්‍යවහාරය නිසි අයුරින් මුහුණ දෙන බවක් නොපෙනේ. ඒ වෙනුවට ධනවාදය තුල බිහිවී ඇති සියලු නිෂ්පාදන සහ නිෂ්පාදන බලවේගයන් මෙන්ම ඒ තුල බිහිවී ඇති සියලු විද්‍යාවන් සහ තාක්ෂනයන් පිළිගනිමින් නිෂ්පාදන සබඳතා පමණක් අහෝසි කිරීම වෙනුවෙන් පමණක් පෙනී සිටින ඔවුන්,(බටහිර විද්‍යාව සහ ධනවාදය යනු දෙකක් නොව එකකි. එම විද්‍යාවන් තාක්ෂනයන් මෙන්ම සියලු නිෂ්පාදන සහ නිෂ්පාදන බලවේගයන් බිහිවන්නේද ඊට අදාල දෘෂ්ටිවාදයක් තුල හෙයින් මේවා එකට සම්බන්ධවන ආකාරයන් එනම් නිෂ්පාදන සබඳතා පමණක් එසේ නොමැති නම් නිෂ්පාදන මාදිලිය පමණක් වෙනස් කරන්නේ කෙසේද යන ගැටලුව මොවුනට නැත.) "ශ්‍රම විභාජනයේ ඉතිහාසය" තුල සිදු වූ සහ සිදුවෙමින් පවතින සියලු ආකාරයේ මිනිස් සහ සොබාදහම සුරාකෑම්, මර්ධනයන්, විඳවීම්, තුලින් ලෙයින් - යකඩින් ගොඩනගන ලද ශිෂ්ඨාචාරය තුල අත් පත් කරගත් දෑ (නිෂ්පාදනයන්) "මිනිස් ඉතිහාසය තුල මිනිස් ජයග්‍රහණයන්" ලෙස බාරගනී. එය තුල මුලිකම ශ්‍රම විභජනය වන කායික සහ මානසික ශ්‍රම විභාජනයද පිළිගනී. අද්‍යතන මාක්ස්වාදී සංවාදය තුල එය නිසි අයුරින් ප්‍රශ්න නොකරන තත්වයක් උද්ගත වී ඇත්තේ සමාජීයව විසඳිය යුතු ප්‍රශ්න වෙත විද්‍යාව සහ තාක්ෂනය මැදිහත් වීමෙන් විසඳුම් (ජීවන ආකෘතීන්) ලබාදීම, වෙළඳපොල සහ ප්‍රචාරණය හරහා දෘෂ්ටිවාදීමය ලෙස සියලු දෙනා බාරගෙන ඇති තත්වයක් තුලය. ධනවාදය තුලදී එම අකාරයෙන් ලැබෙන විසඳුම් වෙතින් සිදුවන්නේ ප්‍රශ්න තවත් ප්‍රශ්න බවට පත්වී අවුල් වී නැවතත් ගුණාකාරමය ලෙස වැඩිවීම සහ නැවත ඒ සඳහා ද විසඳුම් ඒ ආකාරයෙන්ම ඉදිරිපත්වීමකි. එනම් එම නිෂ්පාදනයන් පිළිගැනීම තුල එම නිෂ්පාදනයන් විසින් ඇති කරන ලද කොනක් පොටක් බේරිය නොහැකි සමාජ පාරිසරික අවුල් ජාලාව (සමාජ යථාර්තය) තුල මිනිසුන් ස්ථානගතවී ඇති ආකාරයන්ද පිළිගැනීමය. එවිට මෙම අවුල් ජාලය තුල ආහාර, ජලය, වාතය, සෞඛ්‍ය, පාරිසරික වැනි ක්ෂේත්‍ර තුල ඇතිවන ප්‍රධාන ප්‍රශ්න වලට සහ අනෙකුත් සෑම සමාජ අර්බුදයකටම ද විසඳුම් යෝජනා වන්නේ මෙම ශිෂ්ටාචාරය විසින් ගොඩනගන ලද නිෂ්පාදනය තුලමය. එම තත්වය (සමාජ යථාර්තය) ඒ අයුරින් පිළිගන්නේ නම් කායික සහ මානසික ශ්‍රම විභජනය මෙන්ම අනෙකුත් සියලු අකාරයන්ගේ ශ්‍රම විභාජනයන්ද නඩත්තු කර පවත්වා ගැනීම අනිවාර්ය වේ. එනම් පවතින යථාර්ථය වෙනස් කරනවා වෙනුවට එම යථාර්ථය පිළිගැනීමය. සමාජය ඉදිරියට වර්ධනය වනවාය යන්න පිළිගැනීම තුල (මෙම ඊනියා සමාජ සංවර්ධනය පිළිගැනීම යනු මුළු ඉතිහාසය සමග සංසන්දනය කල විට ඉතා සුළු නිමේශයක් වැනි වසර සියයක පමණ ඉතිහාසය, එනම් ඊනියා කාර්මික විප්ලවයෙන් පසු ලෝක විනාශය කරා යන ගමනද පිළිගැනීමය.) මෙම තත්වයට විසඳුම් ලෙස බොහෝ "බුද්ධිමතුන්" යෝජනා කරන්නේ ආචාරධර්මීය විසඳුම්ය. එනම් කායික සහ මානසික ශ්‍රම විභජනය "සත්‍යයක්" ලෙස පිළිගත යුතු බවත්, කල හැක්කේ ආර්ථික අසමානතාවය අහෝසි කිරීමත්, සමානාත්මතාවය පිළිගැනීමේ ආචාරධර්ම පද්ධතියක් ගොඩනැගීම තුලින් එම ශ්‍රමිකයන් දෙකොට්ටාශයම සමානයන් ලෙස පිළිගැනීමත් බවය. එවිට එම ආචාරධර්ම පද්ධතිය ගොඩනගන්නේද ඉහත සඳහන් බුද්ධිමතුන්මය. මේ පිලිබඳ මාක්ස් මෙසේ සඳහන්කොට ඇත.

"ශ්‍රම විභජනය සැබවින්ම එබන්දක් බවට පැමිනෙන්නේ, මානසික සහ කායික ශ්‍රමය අතර විභේදනය දිස් වන විට පමණි. (දෘෂ්ටිවාදීන්ගේ මුල් රුපකාරය වන පුජකයන් බිහිවීම ද මීට සමගාමීය) එතැන් පටන් ඉදිරියට, පවත්නා භාවිතය පිලිබඳව විඥානයට වඩා තමන් අන් යමක් බවට, සැබෑ යමක් නියෝජනය කිරීමෙන් තොරවම තමන් සැබවින්ම යමක් නියෝජනය කරන බවට විඥානයට සැබෑ ලෙසම තමන්වම පුම්බා ගැනීමට හැකිය. මෙතැන් පටන් විඥානය, ලෝකයෙන් තමන්වම ගලවා ගැනීමේ සහ ශුද්ධ න්‍යාය, දේව ධර්මය, දර්ශනය, ආචාරධර්මය නිර්මාණය කිරීමේ ස්ථාවරයක සිටී."(ජර්මන් දෘෂ්ටිවාදය)

මාක්ස් මූලික වශයෙන්ම එරෙහි වන්නේ ශ්‍රම විභජනය නිසා ඇති වන පරාරෝපනයටය. පරාරෝපනය යන්න එම යුගයේදී මාර්කස් ඒ පිලිබඳ සලකා බැලූ ආකාරයට වඩා පුළුල් ආකාරයකින් වර්තමානයේ සලකා බැලිය යුතුය. කාර්මික ධනවාදයට පෙර සහ කාර්මික ධනවාදයේ මුල් යුගයන්හි පැවති ආකාරයේ, එනම් මාක්ස් පෙන්වාදුන් ආකාරයේ, සමාජ විප්ලවයේ ගාමක බලවේගය වන තම බඩ වියත රැක ගැනීමට හා කම්කරු පන්තිය මියගොස් වඳ නොවීමට අවශ්‍ය වැටුපක් පමණක් හිමි වූ අචල කම්කරු පන්තියක් අද නොමැත. ඒ වෙනුවට නිශ්චිත කාල වකවානුවක් තුල පමණක් භෞතිකමය ලෙස පහල සමාජ පන්තිකයන් විය හැකි සහ තම බඩ වියත රැක ගැනීමට පමණක් නොවෙන, වෙනත් නිෂ්පාදනද මිලදී ගත හැකි ක්‍රය ශක්තියක් සහිත මෙන්ම ඔවුන්ගේ ඊළඟ පරපුරට තම පන්ති පදනම වෙනස් කර ගත හැකිය යන දෘෂ්ටිවාදීමය බලාපොරොත්තුව සහිත විවිධ ශ්‍රමික සමාජ පන්තීන් ඇත. ඔවුනගේ දුවා දරුවනට තම උපන් පන්ති පදනම වෙනස් කර ගත හැකි අවස්ථාව ප්‍රධාන වශයෙන්ම විවර වී ඇත්තේ අධ්‍යාපන ධාරාව තුලිනි. එම නිසා වහල් යුගයේ සැමදා වහලා වීම නිසාද වැඩවසම් යුගයේ සැමදා ප්‍රවෙනිදාසයා වීම නිසා ද අවශ්‍ය වූ සමාජ වෙනස වර්තමාන ධනවාදය තුල එම ආකාරයෙන් අවශ්‍ය නොවී ඇත්තා සේම ඒ සඳහා ඉදිරිපත්වන ගාමක බලවේගයක්ද නැත. විදු වැනි අන්ත දුගී දුප්පතුන් හැරුණු කොට මෙම යුගයේ අනෙකුත් අයට තම මුලික අවශ්‍යතා පිලිබඳ ප්‍රශ්නයක් නොමැත. සියලු දෙනා තමනට අදාළ මට්ටම් වල ඇති පාරිභෝගික භාණ්ඩ අර්චනකාමයේ අලී ගැලී සිටී.

ඉහත අප සඳහන් කල නව ලිබරල්වාදී මුලධර්මය ලංකාව තුල බහුතර පිළිගැනීමට ලක්වෙමින් තිබීම තුල වර්ෂ 1994 ට පමණ පෙර නිෂ්පාදනය වූ ගණයේ ජනප්‍රිය චිත්‍රපට දැන් නිපදවෙන්නේ නැත. 70 දශකයේත්, පසුව ඊට මදක් වෙනස් ආරකින් 80 දශකයේ නිෂ්පාදනය වූ බොහෝ ජනප්‍රිය සිනමා පට තුල මුඛ්‍ය තේමාව වී තිබුනේ සමාජ අසාධාරණත්වයට ලක්වී සිටින දුප්පත් එසේ නොමැතිනම් ලුම්පන් තරුණයාට පොහොසත් කෙල්ලෙකු සමග ඇති වන ආදර සම්බන්ධයයි. මේවා තුලින් ගම්‍ය වුයේ සමානාත්මතාවය ලබාගැනීමට සමාජ බාධාවක් ඇති බව සහ සිනමා පටය තුල බහුතර ප්‍රේක්ෂකයා නියෝජනය කරන කතා නායකයා සමාජ බාධාව මග හරිමින් ආදරය තුලින් තම පන්ති අසමානත්වය සමනය කර ගැනීමයි. 87-89 ජ. වි. පෙ. අරගලය පරාජය වීමත් සමග මෙවැනි චිත්‍රපට ක්‍රමයෙන් අභාවයට යන ලදී.

විදු සිනමා පටය තුල ප්‍රාදේශීය දේශපාලඥයා විසින් නියෝජනය කරන දේශපාලන ධාරාව වන්නේ ඉහත සඳහන් කල නව ලිබරල් මුලදර්මවාදී දේශපාලන ධාරාවයි. විදු තම නිවසේ කාමරක තුල සිරකරගෙන සිටියදී විදු රැගෙන යාමට පැමිණි මවට ඔහු පවසා සිටින්නේ, විදූ මෙහි කැමැත්තෙන් සිටින බවත්, විදු දක්ෂයෙකු බවත්, විදුට මෙම රටෙහි ජනාධිපති විය හැකි බවත්, එය එසේ වන්නේ දක්ෂයාට ඉහලට එනම් තමාට හිමි තැනටම යා හැකි සමාජයක් උදාකර කරමින් ඒ සඳහා වන බාධාවන් ඉවත් කිරීමෙන් පමණක් බවත්, තම නායකයා රටෙහි ජනාධිපති කරවීමෙන් එය සඵල කරගත හැකි බවත්ය. මුලදී විදු මුදලට විකිණීමට අකමැති වූ මව, දේශපාලඥයාගේ එම ප්‍රකාශයෙන් පසුව, විදූගේ අනාගත සාර්ථකත්වය තීරණය කරන මාවත් දෙක පිළිබද දෙගිඩියාවකින් යුතුව පාසල් වේදිකාව වෙනුවට දේශපාලන වේදිකාව වෙත විදු රැගෙන යාම නිහඩව අනුමත කරයි.

අප මෙතෙක් කියවා ඇති විදු පිලිබඳ බොහෝ විචාරයන්ට අනුව විදු තුලින් සංවාද ගතකරන මුඛ්‍ය කාරණා පෙනී ගොස් නොමැති බව අපගේ වැටහීමයි. බොහෝ විචාරකයන්ට අනුව සම්භාව්‍ය මාක්ස්වාදයේ විස්තර කෙරෙන අකාරයෙන්ම එම පැරණි අර්ථයෙන්ම පාලකයන්, පාලක පන්තීන් මෙන්ම කම්කරුවා සහ කම්කරු පන්තියද මාක්ස් අත්දුටු ආකාරයෙන්ම අදද පවතී. එම නිසා කලාවේ කාර්යභාරය වන්නේ මෙම හතුරු මිතුරු සම්බන්ධයන් හෙළිදරවු කිරීමය.

සමහර විචාරකයින් පෙන්වා දෙන්නේ ප්‍රේක්ෂකාගාරය පිලිබඳ අර්බුදයක ගිලී ඇති හඳගම ජනප්‍රියවාදය දක්වා පසු බැස ඇති බවය. තවද සිනමා පටයේ පදනම් දෘෂ්ඨිවාදය ලාංකීය නව සිංහල බෞද්ධ වාණිජ දෘෂ්ටිවාදය ලෙස ඔවුන් හඳුනාගනී.

විදු යනු කිසිදා පාසල් නොගිය වයස අයුරුදු 9 ක 10 ක ළමයෙකි. වැල්ලේ නිදහසේ ජීවත්වන නිරතුරුවම සුද්දන් ඇසුරු කරන ඔහුට ලැබෙන දැනුම යනු තම ජීවතයට අදාල ව්‍යවහාරිකත්වය තුලින් ලැබෙන දැනුමක් මිස ජීවිතයට ඓන්ද්‍රීය නොමැති ආයතන ගත අධ්‍යාපනය තුලින් ලැබෙන දැනුමක් නොවේ. ඔහුට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලැබෙන්නේ ද ඔහු දන්නා අනෙකුත් දේවල් පිලිබඳ දැනුම ලැබෙන්නේද ඔහුගේ ජීවිතයට, සමාජය සහ ඔහු අත්විඳින පරිසරය සමග ඇති ඓන්ද්‍රීය ජීවන-භාවිතාව තුලිනි. ඔහුට තිබෙන දැනුම සහ ව්‍යවහාරිකත්වය අවියෝජනීයව එකට බැඳී පවතින අතර ඔහු අත්විඳින සමාජ-පරිසරය ගැන, ඔහු ලෝකය දකින ආකාරය පිලිබඳව පාසල තුලින් හෝ වෙනයම් ආයතනයක් තුලින් ඔහු වෙත ඍජු අර්ථකතනයන් නොලැබේ. මේ පිලිබඳ එක් උදාහරණයක් සිනමා පටය තුලින්ම ගෙනහැර දැක්විය හැකිය. එක් ජවනිකාවක විදු තාප්පයක් උඩ වාඩිවී සිටියදී විදුහල්පති සහ ඔහුගේ දියණිය ඔවුන්ගේ කාරයෙන් එතනින් යන අතර තුර එය විදු ඉදිරිපිට නවත්වයි. එහි සිටින දියණිය විදුට මෙසේ පවසයි. "ඔතන හිටියොත් වැස්සට තෙමේවි දැන් ගෙදර යන්න" එම කාරය එතනින් නික්ම යනවාත් සමගම තවත් කාරයක් පැමිණ එතන නවත්වා, ඉන් එලියට බැස ගන්නා අයෙකු විසින් විදුගේ මව එම කාරය තුලින් එලියට ඇද බිමට දමා යන්න යන විට, "මගේ ගාන දීල පලයන්" යනුවෙන් ඇය බෙරිහන්දේ. පසුව විදු මවගෙන් විමසා සිටින්නේ හැමෝටම වටිනාකම් තියනවාද යනුවෙනි. විදු ඩොලර් එකක් වත් නොවටිනා කොල්ලෙකු බව වැල්ලේදී හමුවන සුද්දා විසින් ඊට පෙර පවසා තිබුණි. එවිට කාර් පිළිබඳව, කාර් වල යන අය සහ එම මිනිස් සම්බන්ධතා වල සුවිශේෂතා පිළිබඳව මෙන්ම මිනිසුන්ගේ වටිනාකම් තීරණය වන ආකාරයන් සම්බන්ධයෙන්ද විදුට ලැබෙන අවබෝධයන්ගේ සිද්ධි අනුභූතික වන ආකාරය එබඳුය. සමහර විචාරකයින්ට ප්‍රශ්නයක් වී ඇති විදුගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව සහ සබකෝලයක් නොමැති වීම ඔහු තුල පවතින්නේ මෙන්න මේ ජීවන භාවිතාව තුලිනි. ඔහුට මහජන රැස්වීමක් වැනි සභාවල් පිලිබඳ හැඟීමක් හෝ දැනීමක් අන් ළමුන්ට ඇති අර්ථයෙන් නොමැත. එම නිසා ඔහුට එවැනි සභාවක් යනු තම එදිනෙදා ජීවන ව්‍යවහාරය තුල අත්දකින තවත් එක් සංසිද්ධියක් පමණි. ඔහු කතා කරන්නේ එවෙලෙහි හිතට එන දේය. නමුත් තවත් පැහැදිලි කල යුතු දෙයක් ඇත. එනම් පාසල් නොගිය පමණින්, වැල්ලේ නිදහසේ ජීවත් වූ පමණින්, යම් ළමයෙකු විදු වැනි නොවී වෙනත් අය බවටද පත්වීම ගැනය.

අප එකිනෙකා විවිධාකාර වී ඇත්තේ අපගේ ජීවිතය තුල අපට හමු වූ අය, අපට ලැබුන අත්දැකීම් සහ සිද්ධීන්, ආර්ථික, සමාජ දේශපාලන දෘෂ්ටිවාදී සමස්තය තුල සංකරණ-සංයෝජන වූ අකාරයන්ගේ සහසබඳතා එකතුවක් ලෙසය. ආදිකල්පික සමාජයක මෙන් නොව ඉතා සංකීරණ ආර්ථික, දේශපාලන, නිෂ්පාදන, දෘෂ්ටිවාදීමය සම්බන්ධතා සහිත සමාජයක් තුල, කෙනෙකු අත්විඳින ඉහත සඳහන් කල සංකරන-සංයෝජන සංකීර්ණතා ඉතා විශාල අගයක් සහ විවිධත්වයක් ගැනීම තුල එකිනෙකාගෙන් බොහෝ වෙනස් විවිධ මිනිස් විෂයයන් බිහිවේ. විදු වැල්ලේ කුඩු කාරයන්, හොරුන් හෝ වෙනත් තක්කඩියන් සමග එකතු නොවීමට හේතුව විදුගේ මවගේ ස්වභාවය බව සිනමාපටය තුල පෙන්නුම් කෙරේ. ඇය කිසිඳු අවස්ථාවක විදු නොවිකුනයි. විදු පාසල් යැවීමට නොහැකි වූ එකම බාධාව උප්පැන්න සහතිකයි.

ගණිකා ගැට කපන්නියකගේ දරුවෙකු වන, දිළිඳු කෙසඟ සිරුරක් ඇති විදු වටිනාකමක් ඇත්තෙකු බවට පත්නොවුනි නම්, එනම් ඔහු "දක්ෂයෙකු" නොවුනි නම් ඔහු නොකා නොබී සිටියය ද කිසිවෙකුටත් එය ප්‍රශ්නයක් නොවේ. රිය අනතුරකින් හෝ වෙනත් අයුරකින් "දක්ෂ" සිසුවෙකු මිය ගිය විට ඒ පිලිබඳ බොහෝ දෙනා ඉමහත් කම්පාවට පත්වේ. මෙම නිසා මෙවැනි සිද්ධියක් වාර්තා කිරීමේදී සිද්ධියට අදාළ සිසුවා "දක්ෂයෙකු" නොවුවද ඉතා දක්ෂ සිසුවෙකු ලෙස පුවත් පත් විසින් ඒ පිලිබඳ රස කතා වාර්තා කරන්නේ, ඒ පිළිබද ප්‍රවෘත්තිමය වටිනාකම ඉහල යන නිසාය.

විදුගේ හැකියාවන් දකින විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්, ළමුන් සහ වෙනත් අය විදු යනු "දක්ෂයා" ලෙස හඳුනා ගනී. එනම් මෙතරම් විධිමත් පාසල් වලදී මෙන්ම, විශ්වවිද්‍යාල තුලදී වත් හමු නොවන ගනයේ හැකියාවක් විදු තුලින් හදුනා ගැනීමයි. එවිට විදු යනු ඔහු තුල ඇති සුවිශේෂතාවයක් හේතුවෙන් මෙම ඉංග්‍රීසි සහ සිංහලෙන් කතා කිරීමේ හැකියාව ලබාගත් අයෙකු ලෙසට සිනමා පටය තුල සියලුදෙනාත්, සිනමා ප්‍රේක්ෂකයා මෙන්ම විචාරකයනුත් හඳුනා ගනී. එය ඉතා හොඳින් පෙන්නුම් කරන්නේ විදු සිනමාපටයේ ප්‍රචාරක දැන්වීම් තුලිනි. ඒ පිලිබඳ අදහස් දක්වන විදුහල්පති වරුන්, ගුරුවරුන්, සහ එය නරඹන සියලු දෙනාම එක හඬින් කියා සිටින්නේ "දක්ෂයා කොහේ හිටියත් එලියට එනවා" වැල්ලේ මුඩුක්කුවක හැදුනද ඔහු දක්ෂයෙකුනම් සමාජය තුල ඉදිරියට යා හැකි බවත්, එය අවබෝධ කර දෙන, එසේ නොමැතිනම් එම අසිරිමත් පණිවිඩය රැගෙන යන විදු සිනමා පටය ළමුන්ට ගුරුවරුන්ට මෙන්ම සියලු දෙනාට ආදර්ශයක් බව සහ දක්ෂයාට නිසි තැන ලබා දියයුතුයි වැනි උදාන වාක්‍යන්ය. මින් පෙන්නුම් කරන්නේ මෙම යුගයේ සියලු දෙනාට "සත්‍ය" ලෙස පෙනෙන සහ ඊනියා සම්භාව්‍ය මෙන්ම පශ්චාත් මාක්ස්වාදීන්ටද නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වී ඇති, ශ්‍රම විභජනය තුල අසමානතාවය නමැති සමාජ ප්‍රශ්නය වසන්කරන නවලිබරල්වාදී න්‍යාය ගත කිරීම (ඔබගේ දක්ෂතාවය අනුව ඒ ඒ දක්ෂතාවයේ හැකියාවන්ට නියම වී ඇති වටිනාකම් අනුව ඔබට සමාජයේ නිසි තැන ලැබෙනු ඇත....) අති මහත් බහුතරය පිළිගෙන ඇති ආකාරයත්, අනෙකුත් අයට මෙම තත්වය පිලිබඳ වැටහීමක් නොමැති බවත්ය. එම නිසා මෙම යුගය තුල ධනවාදය ආගමකි.

නමුත්, විශේෂයෙන්ම අධ්‍යාපන ධාරාව තුලින් සියලු දෙනා කරා පැමිණෙන මෙම නව ලිබරල්වාදී ආගමික මුලධර්මවාදයට විදු හසු නොවීම තුල ඔහු ලෝකය දකින අකාරය වෙනස් වී ඇත. අන් අය තමාව වටහාගන්නා අකාරය පිලිබඳ විදුට හැඟීමක් නොමැත. ඔහු දක්ෂයෙකු හෝ වීරයෙකු බව ඔහු නොදනී. විදුහල්පතිට අනුව දඩාවතේ ගොස් හදාගත් ළමයෙකු වන විදු, මුලදී උප්පැන්න සහතිකය පිලිබඳ ප්‍රශ්නය හේතුවෙන් පාසලට ඇතුලත් කරනොගනී. නමුත් පසුව විදු දක්ෂයෙකු ලෙස හඳුනා ගැනීම තුල විදුහලට ඇතුලත්වීමේ අවස්ථාව හිමි වේ. මෙම යුගයේ පන්ති අර්ථයන්, එනම් තමන් කිනම් පන්තියකට අයත් වනවාද යන්න නිශ්චය වීමේ ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ මෙම අධ්‍යාපන ධාරාව හරහාය. දැනට වසර සියයකට පමණ පෙර මෙන් නොව මෙම යුගයේ තම උපන් සමාජ පන්තිය වෙනස් කර ගැනීම සඳහා බොහෝ ක්‍රමවේදයන් ඇත. ඒ අනුව වෙනත් ආකාරයන්ගෙන් මුදල් උපයාගෙන තම පන්ති පදනම වෙනස් කරගන්නා අයට නොලැබෙන පිළිගැනීමක් අධ්‍යාපන ධාරාව තුලින් ඉදිරියට යන කෙනා සතු කොට ගත හැකිය. එනම් "මිනිස් වර්ගය" තුල "සුවිශේෂ මිනිසුන්" ලෙසය. ඒ ඒ අධ්‍යාපන මට්ටම් අනුව ඊට අදාල පිළිගැනීම් ඇත. (ව්‍යාපාර තුලින්, එසේ නොමැති නම් කූට මගඩි තුලින්, දේශපාලනය හරහා, හෝ වෙනත් ක්‍රම මගින් සමාජයේ ඉහලට නැගගත් බොහෝ දෙනෙකු තම දරුවන් හට ඉතා උසස් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ ගන්නේත්, මුදලට ලබාගන්නා ආචාර්ය උපාධියක් හෝ උපාධියක් තම නමෙහි මුලට යොදා ගැනීමට උත්සුක වන්නේත්, වාමාංශික දේශපාලකයන් නීතිඥ, ආචාර්ය, මහාචාර්ය වැනි පට්ටම් තම නමෙහි මුලට යොදන්නේත් මේ නිසාය.) වර්ගවාදය (ජාතිවාදය) සහ මේ තත්වය අතර කිසිඳු වෙනසක් නොමැත.


තම දියණිය සමග සමීප සම්බන්ධයක් පැවැත්වීමට විදුහල්පති බාධා නොකරන "සත්‍යය" ඇත්තේ විදු වැනි දක්ෂයෙකු යනු නියත වශයෙන්ම අනාගතයේ බුද්ධිමය ඉහල මධ්‍යම පන්තිය නියෝජනය කරන සහලක්ෂණ ප්‍රකට කිරීම තුලය. ඉතින් මෙම සුවිශේෂී දක්ෂයාට සියලු දෙනාගේ මෙන්ම ජනමාධ්‍ය වලද අවධානය යොමු වීම තුල ඔහු සුපිරි තරුවක් බවට පත් කිරීමට සියලු දෙනා ඇප කැප වේ. මෙම යුගයේ ඇමෙරිකාව ප්‍රමුඛව ලෝකය පුරා ජනමාධ්‍ය හරහා නොයෙකුත් නොයෙකුත් ක්ෂේශ්ත්‍රයන් තුල සුපිරි තරු තෝරන්නෙත් ඒ සඳහා මිනිසුන් තුල ඇති කැමැත්තත් යනු අප ඉහත සඳහන් කල ආකාරයට ධනවාදය ආගමක් ලෙස සියලු දෙනා කරා පැමිණීමෙන් ඇති වන තත්වයක් තුල සමාජ සාධාරණය ඉටුවීමෙන් මිනිසුන් තුල ඇතිවන ෆැන්ටසිමය සන්තෘෂ්ටියයි. මෙම සාධාරණත්වය ඉටු කිරීම සඳහා SMS හෝ එවැනි වෙනත් මාර්ගයකින් තමාටත් දායක වී පහන් සංවේග උපදවාගත හැකිය. මේවා සමාජය තුල සමාජ සාධාරණය ඉටුවීමේ පරමාදර්ශ ලෙස ක්‍රියා කරයි. එම නිසා විදු සුපිරි තරුවක් බවට ඔසවා තැබීම සඳහා ක්‍රියා කරනන්ගේ තත්වයද එයමය.

මිනිසුන්ගේ වටිනාකම් පිලිබඳ මෙම නව ලිබරල්වාදී නිර්නායකයන් කිනම් ශිෂ්ටාචාරයක් අධිනිශ්චය වීම තුලින් ස්ථාපිත කරන ලද්දක්ද යන ඉඟිය සිනමා පටය විසින් අපට ලබා දෙන්නේ විදුට හමුවන සුද්දා තුලිනි. සුද්දාට අනුව විදු යනු ඩොලර් එකක්වත් නොවටිනා කොල්ලෙකි. නමුත් පසුව මෙම සුද්දාම ජනමාධ්‍ය මගින් විදුගේ වටිනාකම හඳුනා ගනී.

නමුත් විදු යනු විදුහල්පතිලා, ගුරුවරුන්, සමාජය මෙන්ම විචාරකයින්ද හදුනා ගන්නා ආකාරයේ "දක්ෂයා" නොවේ. එනම් එක ජවනිකාවක විදු ගුරුතුමිය වෙත කියා සිටින්නේ තමාට පාසලේ වැඩ (පාසල තුල විෂය කටයුතු) කල නොහැකි සහ නොතේරෙන නිසා තවත් පාසලට නොපැමිණෙන බවය. ඔහුගේ ජීවන ව්‍යවහාරය තුලින්, එනම් ඔහුට අනුභූතික වන සිද්ධීන් සහ දේවල් සංයුක්තව වටහා ගැනීම තුලින් විදුගේ ලෝකය නිර්මාණය වී ඇත. විදු අත්දකින ලෝකය තුල සමාජ පරිසරය සහ සිද්ධීන් සමග ඔහු අපෝහක වන ආකාරයත් පාසල් විෂය පද්ධතිය තුල ඔහුට පිහිටා සිටින්නට සිදු වන ආකාරයත් දෙකකි. එනම් පාසල තුල විෂයයන් ඉගැන්වෙන්නේ නිරපේක්ෂ අර්ථයෙන් සහ නීති රීතීන් ලෙස මෙන්ම වියුක්තවය. ඒ අතර ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප බොහොමයක් ඇති විෂයන්ද ඇත. වියුක්තව සිතීමට නොපුහුණු වූ සංයුක්ත ක්‍රියාකාරී ළමයෙකු වන විදුට, ඉතිහාසයක් මුළුල්ලේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් වියුක්තව මෙන්ම ආයතනගතව ගොඩනගන ලද දැනුම් පද්ධතීන් වන එම විෂයන් සහ සංකල්ප තේරුම් ගැනීමට අපහසුවීම පුදුමයක් නොවේ. ඔහුගේ "කතා" තුලින් ප්‍රකාශ වන්නේ ඔහුට ඓන්ද්‍රීය වන සංයුක්ත දැනුමකි. දේශපාලඥයාගේ පුත්‍රයා පාසැල තුලදී විදුට පහර දෙන විට විදු වෙතින් ප්‍රති පහර එල්ල නොකෙරේ. එසේ වන්නේ ඔහු අයත් නැති ඔහුට ඓන්ද්‍රීය නොවන පරිසරයකට (සමාජ යථාර්ථයකට) ඇති ආගන්තුක භාවය හේතුවෙනි. නමුත් ඔහු තුලින් වීරයෙකු බලාපොරොත්තු වන විදුහල්පතිගේ දියණිය, "හැමදාම ගුටි නොකා ගිහින් ගහනවා" යනුවෙන් පවසා ඔහුට පහර දීම සඳහා විදු තල්ලු කර දමයි.

මෙසේ විදු "දක්ෂයා" ලෙස හඳුනාගන්නා ප්‍රධාන පාර්ශවයන් දෙකක් ඇත. එනම් විදුහල්පතිගේ නායකත්වයෙන් යුතු ගුරුවරුන් ළමුන් දෙමාපියන් සහ ජනමාධ්‍ය ද ඇතුලත් පාර්ශවය සහ දේශපාලනඥයාගේ නායකත්වයෙන් යුතු පාර්ශ්වයයි. මෙම දෙපාර්ශ්වයේම අරමුණ විදු ලවා කතා පැවැත්වීමය. විදුහල්පතිගේ පාර්ශ්වයට ඔහු "සුපිරි දක්ෂයා" වනවිට දේශපාලනඥයාට ඔහු තම රැස්වීම් සඳහා සෙනඟ ඇද්දවීමට හැකි අයෙකු පමණි. විදුහල්පති ඇතුළු පිරිස මෙම විදු නමැති දක්ෂයාගේ විශ්මිත හැකියාව සහ එම සුපුවත අවට විදුහල්වලටත් මුළු රටටත් ප්‍රචාරය කිරීමට සැලසුම් කොට ඇත. මේ සඳහා දේශපාලනඥයා වෙතින් එල්ල වන බාධාව හේතුවෙන් එවැනි තත්වයකට අවශ්‍ය වන බාධාව නිර්මාණයවී ඇත. සියලු ජයග්‍රහණයන් සඳහා බාධාවන් අවශ්‍ය වීමත් යුගයේ හෙජමොනික දෘෂ්ඨිවාදය තුල ෆැන්ටසික සුරතාන්තය වැටී ඇත්තේ ඒ තුලින් වීමත් තුල ජනමාධ්‍ය කරුවාට ගිනි තබන ලද, විදු කතාව පැවැත්වීමට නියමිතව තිබු පාසලේ වේදිකාව යනු එය නරඹන හුදී ජනයා බලාපොරොත්තු වන අවශ්‍යම තත්වයයි. එම නිසා ජනමාධ්‍ය කරුවා විදුහල්පතිට පවසන්නේ නියම "Ideal වේදිකාව" නිමවී ඇත්තේ එය ගිනි තැබීමෙන් පසුව බවයි. සමහර විචාරකයින්ට අනුව නම් මෙම සිනමා පටයේ පදනම වන සිංහල බෞද්ධ වාණිජ දෘෂ්ටිවාදය විවේචනය කරනවා වෙනුවට එය උත්කර්ෂණයට නැංවීමක් ලෙස දකින්නේ දේශපාලඥයා පරදා මෙන්න මේ විදුහල්පති නියෝජනය කරන පාර්ශවයේ ජයග්‍රහණය යන්න සිනමා පටය තුල ආක්‍යාන ගතවී ඇතැයි යන සරල සහ වැරදි සහගත වටහා ගැනීම නිසාය. සිනමාපටයෙහි එන එකම ගීතයෙහි අර්ථය වන්නේද සියලු දෙනා වීරයන් සොයමින් සිටිනා බවය. නමුත් විචාර ලියු බොහෝ අය වටහා නොගත් ප්‍රමුඛතම කාරණය නම් මෙම සිනමා පටය තුලින් විදු වීරත්වට නැංවීමක් හෝ විදු "සුපිරි දක්ෂයා" ලෙස විදු තුල වන ගූඩ සුවිශේෂතාවක් ඉස්මතු කිරීමක්, ඉන් ප්‍රකට නොවන බවය. ඒ වෙනුවට සිදුව ඇත්තේ විදුට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති කතා පැවැත්වීම් සඳහා දෙපාර්ශවය විසින්ම ඔහුව දක්කාගෙන යාමකි. එය එම දෙපාර්ශවයේ අවශ්‍යතාවයක් පිරිමසා ගැනීම සඳහාය. එබැවින් සිනමා පටයේ ආකෘතිය තුලින් එම දෙපාර්ශවය, පවතින දෘෂ්ටිවාදය තුලම ප්‍රශ්න කිරීමකට ලක්කෙරේ.

මේ බව තවත් පැහැදිලිව පෙන්විය හැකිය. විදුගේ මව ක්‍රීඩා පිටිය තුල විසි කර දමා යන ගුරුවරයාගේ මුදල් පසුම්බිය රැගෙන කාර්යාලයට පැමිණෙන විදුහල්පතිගේ දියණියගෙන් "අර ළමයා දැන් කතාව පුරුදු වෙනවද" යනුවෙන් විදුහල්පති විමසීමෙන් පසු දියණියගේ පිළිතුර වන්නේ "එයා කියන්නේ පුරුදු වෙන්න දෙයක් නෑ එයාට එවෙලේ හිතට එන දේ කියනවා කියල" යනුවෙන් පිළිතුරු ලබා දේ. විදු කතා පුරුදු වෙනවා යනුවෙන් දෙයක් නොදන්නා අතර එවෙලෙහි දකින ඔහුට හැඟෙන දේ කිසිඳු ඉවක් බවක් නොමැතිව කියා දමයි. දේශපාලන වේදිකාවේ කතා කරනවාද පාසල් වේදිකාවේ කතා කරනවාද යන මෙලෝ නිනව්වක් විදුට නැත. හඳගම විසින් ඉදිරිගාමී විදුහල්පති කෙනෙකු පෙන්නුම් කරනා බවක් සමහර විචාරකයින් විසින් සඳහන් කොට තිබුණි. විදුහල්පති පිළිබඳව ඔවුනට එසේ පෙනෙන්නේ රාජ්‍යය තුල ආණ්ඩු පත්කරගැනීමට අදාළ දේශපාලන මොහොත සිනමා පටය තුල නිරීක්ෂණය නොකිරීමය. අදාළ දේශපාලඥයා තම උත්සාහයන් තුල කිසිඳු අවස්ථාවක ආණ්ඩු බලය උපයෝගී කරනොගනී. ආණ්ඩු බලය හොබවන දේශපාලනඥයෙකුට මෙවෙනි පාසල් උත්සවයක් නවත්වා දැමීමේ ලෙහෙසිම මග වන්නේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුව හරහාය. ඔහුට පොලිසියේ ආරක්ෂකයන් නොමැති අතර විදුහල තුල පවත්වන උත්සවය නැවැත්වීම සඳහා බලහත්කාර කම් කරනවා මිස ආණ්ඩු බලය උපයෝගී කරගනිමින් අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවේ ඉහල නිලධාරින් ලවා එයා නැවැත්වීමට උත්සාහ නොකරයි. ඒ තුලින් පෙන්නුම් කරන්නේ ඒ වන විට බලය හොබවන්නේ වෙනත් පක්ෂයක් බවය. බොහෝ විදුහල්පතිවරුන් බලයේ සිටිනා පක්ෂය නියෝජනය කරන අතර මෙම විදුහල්පතිවරයා එම පාක්ෂිකයෙකුමද විය හැකි බව පෙන්නුම් කරන්නේ ඔහු දේශපාලඥයා කෙරෙහි දක්වන චර්යාවන් තුලය. (කෙසේ වෙතත් "ඉදිරිගාමී" සහ "පසුගාමී" යන සහ සම්බන්ධ ප්‍රතිපක්ෂයන් දෙක තුල ලෝකය වටහා ගැනීම ඊනියා සම්භාව්‍ය සහ පශ්චාත් මාක්ස්වාදයට මෙන්ම ධනවාදයටද පොදු වන සංවාද භාෂාවට අයත් විධි ක්‍රමයකි.) මෙම දේශපාලන මොහොත හරියටම UNP යේ නායකයා වන රනිල් වික්‍රමසිංහ 2002 වර්ෂයේ අගමැති වන්නට නියමිතව තිබු අවස්ථාව වැනිය. එය එම අවස්ථාවමද යන සැකය මතු වන්නේ දේශපාලන වේදිකාවට ඉහලින් කොළ කොඩි වැල් කීපයක් දිස් වීමත් එකල රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අය හිස පැලඳු රතු පැහැය මිශ්‍රිත කැප් තොප්පි සිහිගන්වන තොප්පිම දේශපාලඥයා ඇතුළු පිරිස පැළඳ තිබීමත් ඔහු වෙතින් ප්‍රකාශ වන අදහස් එකල UNP දේශපාලන වේදිකාවල ප්‍රකාශ වූ අදහස්ම වීමත්, සාපේක්ෂව නව ලිබරල් මුලධර්මවාදය නියමාකාරයෙන් දරා සිටින ලාංකීය පක්ෂය එය වීමත් නිසාය.

මෙම දේවල් වටහා නොගන්නා බොහෝ දෙනෙකු තමන් දරනා ඊනියා මාක්ස්වාදී ස්ථාවරයන්ට අනුව කම්කරු පන්තියට ලැබෙන පන්ති විඥානයක් ගැන කතා කරයි. එවැනි ඊනියා කම්කරු පන්තියක් පිළිබඳව හෝ එවැනි ඊනියා කම්කරුපන්ති විඥානයක් පිලිබඳ විවරණයක් මෙම සිනමා පටය තුලින් ප්‍රකට නොකෙරේ. නමුත් ඔවුන් විදු හඳුනා ගන්නේ තම පන්ති පදනම තුලින් මතුවන වීරයා සහ නායකයා ලෙස සහ තව දුරටත් එය උදාහරණ මගින් පැහැදිලි කරමින් පවසා සිටින්නේ ලුම්පිත නිර්ධන පන්තිය තුලින් මෙවැනි නායකයන් බිහි නොවන බවයි. මෙම සිනමා පටය තුල විදු වීරයා හෝ නායකයා හැටියට අභිෂේක කිරීම සඳහා හඳගමට උවමනාවක් ඇති බව මොවුන්ට පෙනී යන්නේ සිනමාපටයේ ආකෘතිය විසින් එහි අන්තර්ගතය ප්‍රශ්න කරන ආකාරය ඔවුනට නොවැටහෙන නිසාය.

විදු වීරයා කරවීමට උත්සාහ දරනා "හොඳ" පාර්ශවය නියෝජනය කරන ළමුන් දෙදෙනා ජයග්‍රහණයක් කරා යාමේදී හමුවන සියලු ජනප්‍රියවාදී බාධා ජය ගන්නා ආකාරය, විදු සිරකොට ඇති කාමරයෙන් මුදා ගෙන වේදිකාව දක්වා රැගෙන යන දර්ශන පෙලින් පෙන්නුම් කරයි. නමුත් ඉතා අමාරුවෙන් වේදිකාවට නැගගත්, ඉතා වෙහෙසට පත් දුර්වල කෙසඟ සිරුරක් ඇති විදු වෙතින් කතාවක් බලාපොරොත්තු වන සියලු දෙනාට අසන්නට ලැබෙන්නේ ඔහුගේ ව්‍යවහාරය තුල නොමැති පාසල තුලින් ඔහුට ලැබුන එකම දෙය හැටියට සංකේතවත් කරන සාම්ප්‍රදායික ස්තුතියක් වන "මගේ කතාව අසාසිටින්නට පැමිණි ඔබ සැමට ස්තුතියි" යන්න පමණි. ඔහු කලින් කතා කල දෙවතාවෙදීම් ඔහු තුලින් එවැන්නක් ප්‍රකාශ නොවුනි. එනම් ඔහු එදිනෙදා ජීවන විවහාරය තුලදී මුහුණ දුන් ඔහුට අනුව සුවිශේෂතාවයක් නොමැති තවත් එදිනෙදා ක්‍රියාකාරකම් වලින් එකක් වූ ගහ උඩ කතා පැවැත්වීමත් පාසලේ කතා පැවැත්වීමත් යන ඔහුගේ ජීවිතය තුල සංයුක්ත ඓන්ද්‍රීය අනුභූතීන් තුල එවෙලෙහි හිතට එන දේ කියූ විදුට, ඔහුගේ ජීවිතයෙන් වියුක්ත සන්දර්භයක් තුල ගොඩනැගෙන සිදුවීම සහ පාසල් වේදිකාව යනු ඔහුට පුරුදු ජීවින ආකෘතියට බෙහෙවින් වෙනස් තත්වයකි. එම අවස්ථාව වන විට ඊට අදාලව ඔහුට සිදු වූ සහ ඔහුට මුහුණ දීමට සිදුවන සිද්ධීන් හැඟවුම්කරණය කර ගැනීමේ හැකියාවක් ඔහුට නොමැත. එම නිසා සිනමා පටය අවසානයේදී සිනමා පටය තුල විදුගේ ප්‍රේක්ෂකයින් සහ සිනමා ශාලාව තුල විදුගේ ප්‍රේක්ෂකයන් යන දෙකොට්ටාශයම බලාපොරොත්තු වන "දක්ෂයා" හෝ "වීරයා" ඔවුනට මුණ නොගැසේ.

ධනවාදය තුලදී මාක්ස්වාදීන් ඇතුළු සියලු දෙනාට "දක්ෂයා" ස්වභාවික වීම යන්න, ශ්‍රම විභාජනයේ ඉතිහාසය තුල "දැනුම" යන්න අධිනිශ්චය වීමෙන් පසු, "දක්ෂයා" බිහිවීමේ විශයමුලිකත්වය පිලිබඳ වාමාංශික අර්ථකතනයක් සහ සංවාදයක් නොමැතිවීම හේතුවෙන් විදු තේරුම් ගැනීමට නොහැකිවීම නිසා විදු පිලිබඳ විකාර ලිවීමට ඊනියා වම්මුන් පෙළඹී ඇත.

විදු යනු විදුට ඔහුගේ මව තැබූ නමය. එනම් එම නම සමාජය තුලදී අර්ථාන්විත වන්නේ ආර්ථික දේශපාලන සමාජ දෘෂ්ටිවාදයන් සහ ක්‍රියාකාරිත්වයන් තුලිනි. නමුත් එම අර්ථයෙන් හඳගමගේ විදු නමැති ළමයා එම නම අර්ථවත් නොකරයි. "විදු" යන්න නිශ්චිතවම අර්ථවත් වන්නේ ලෝකය පුරා පිළිගැනෙන සහ ව්‍යාප්ත වී ඇති ධනේශ්වර දෘෂ්ටිවාදී අධ්‍යාපනික ආයතන තුලය. (පාසල්, විශ්වවිද්‍යාල). එසේ බලන කල "නියම විදුලාට" විදු තේරුම් ගත නොහැකි වීම පුදුමයක් නොවන අතර එය වාම දේශපාලන අරගලය දුර්වල වී ඇති බව හඟවන කනගාටුදායක තත්වයකි.

විදූ අපට වැදගත් වන්නේ ඔහු පෙන්නුම් කරන සංයුක්ත සමාජ ක්‍රියාකාරිත්වය නිසාත්, අද ක්‍රම විරෝධී දේශපාලනය පවතින අධිපති කතිකාව තුල යටපත් වී ඇති නිසාත් හොදටම හීලෑවී ඇති නිසාත් භාවිතාව තුල තමා වෙනස් නොවී පවතින සියළු අගතීන් ස්වභාවික කරගනිමින් සමාජය වෙනස්කිරීමට උත්සාහ දැරීමත් නිසාය. හේතුවේ විශ්වීය නීතිය සියලු ආකාරයේ පීඩනයන්ගෙන් ගැලවීම සඳහා මග පෙන්වන්නේය යන ලිබරල් මානව වාදයටත්, ඊට අදාළ සියලු මානව හිමිකම් වලටත් එරෙහි වූ මාර්කස් විසින් යෝජනා කරන ලද්දේ මානවවාදී විරෝධයකි. (ප්‍රතිමානවවාදය) එය නව සුසමාදර්ශයකි.

"දහනවවන සියවසේ සමාජ විප්ලවයට තම කාව්‍යාත්මක බව අනාගතයෙන් පමණක් මිස අතීතයෙන් උකහාගත නොහැකිය. අතීතයට සම්බන්ධ සියලුම මිත්‍යාචාරයන් ගලවාදැමීමෙන් මොබ ඊට තමන් විසින්ම ආරම්භවිය නොහැකිය. මුල්ම විප්ලවයන්ට තමන්ගේම සාරය ආශ්‍රිතව තමන්වම මෝහනය කර ගැනීම සදහා අතීත ලෝක ඉතිහාසය පිළිබද මතක සටහන් අවශ්‍ය වූයේය. දහනවවන සියවසේ විප්ලවය, තමන්ගේම සාරය කරා පැමිණීමට නම්, මළවුන්ට තමන්ගේ මළවුන් වල දැමීමට ඉඩහල යුතුය." (මාක්ස් - එකතුකල කෘති)

මේ අනුව අරගලය තුලම සංයුක්ත විප්ලවීය මිනිසුන් ගොඩනැංවෙන සවිඥානික ප්‍රතිහෙජමොනික ක්‍රියාකාරිත්වයකට එහා ගිය ප්‍රති සංස්කෘතික (Counter Culture) ක්‍රියාකාරිත්වයක්, ව්‍යවහාරයක් යෝජනා කල යුතුව ඇත. එවිට, මේ විදූ අහම්භයක් වන විට ඒ විදූලා අහම්භයක් නොවනු ඇත.

"එම නිසා පුද්ගලික දේපොළෙහි මැඩපැවැත්වීම යනු සියලු මනුෂ්‍ය ඉන්ද්‍රිය සංවේදනයන්ගේ සහ ගති ලක්ෂණයන්ගේ සම්පූර්ණ විමුක්තියයි. මෙය විමුක්තිය වන්නේ හරියටම මේ සංවේදනයන් හා ගුණාංගයන් ආත්මීයව මෙන්ම විෂයබද්ධව ද මානුශීය බවට පත්ව ඇති නිසාමය. ඇස මානුෂීය ඇසක් බවට පත්ව තිබෙන්නේ එහි විෂය මිනිසා වෙනුවෙන් මිනිසා සෑදූ සමාජමය මනුෂ්‍ය විෂයක් බවට පත්ව ඇතුවාක් සමගමය. එමනිසා ඉන්ද්‍රියන් (Senses) තම අව්‍යවහිත නැතිනම් ක්ෂණික භාවිතය තුලදී න්‍යායඥයන් ලෙස කටයුතු කරති. ඉන්ද්‍රියන් උදෙසා ඉන්ද්‍රියන් යමක් සම්බන්ධ කරයි. එහෙත් එයම වනාහී තමන් කෙරෙහිම හා මිනිසා කෙරෙහි විෂයබද්ධ මානුෂීය සම්බන්ධතාවයක් වන අතර අනෙක් අතටද එසේම ම වේ. එම නිසා උවමනාවට හෝ සන්තෘෂ්ටියට ඒවායෙහි මමංකාරී (egoistic) ස්වභාවය අහිමිව ඇති අතර ස්වභාවධර්මයට එහි හුදු උපයෝගීතාව අහිමිව ඇත්තේ එහි භාවිතය මනුෂ්‍ය භාවිතය බවට පැමිණ තිබෙන්නේය යන අරුතිනි." (මාක්ස් - මුල්කාලීන රචනා)

මාධව රුවන්පතිරණ/ ගණනාත පතිරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails