Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



19වන ශතවර්ෂය අවසානයේ දී සහ 20වන ශතවර්ෂය මුල දී ඇති වුණු කාන්තා කැළඹීම හේතුවෙන් විශ්ව කාන්තා දිනය බිහි වීමට පදනම වැටුණි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී, ජෝන් ස්ටුවර්ට් මිල් යනු සැබැවින්ම, ප්‍රථම වරට කාන්තාවට ඡන්ද අයිතිය දිය යුතු යැයි ප්‍රකාශ කළ පුද්ගලයා ය. වසර 1893 දී, නවසීලන්ත රජය විසින් ලෝකයේ ප්‍රථම කාන්තා ඡන්ද වරම ලබා දුන් රට ලෙසින් ඉතිහාසගත වුව ද, ලොව අන් රට වල එය ක්‍රියාත්මක වීමට තවත් බොහෝ වසර ගණනක් ගත විය.

වර්ෂ 1908 වන විට දී කාන්තාවන් අතර ඇති වූ පුබුදුව, රැකියා කිරීම, වැටුප් ලැබීම සහ ඡන්ද අයිතිය ලබා ගැනීම යන කාරණා මත පදනම් ව ඇමෙරිකාව තුළ ඇති වූ කාන්තා උත්තේජනය මත එරට කාන්තාවෝ 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයට එක්රැස් වූහ. ඒ වන විට පැවැති දැඩි පුරුෂාධිපත්‍යය දරා ගනු නො හැකිව මෙලෙස වීදි බට කාන්තාවෝ ඊළඟ වසර වන විට (1909), ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂයේ මෙහෙය වීමෙන්, එම වසරෙහි පෙබරවාරි 28 වනදා ප්‍රථම වරට,"ජාතික කාන්තා දිනය" ලෙස යොදා ගත්හ. ඉන් අනතුරුව, එරට කාන්තාවන් විසින් කාන්තා අයිතීන් රැක ගැනීම උදෙසා වන විවිධ සම්මුතීන් සහ ප්‍රකාශනය උදෙසා, "වාර්ෂිකව" පෙබරවාරි මස අවසන් ඉරිදා, ජාතික කාන්තා දිනය පවත්වන්නට තීරණය කර ගන්නා ලදී.

අනතුරුව, දෙවන කාන්තා සමුළුව, කොපන්හේගන් නගරයේ දී පැවැත් වුණු අතර ඒ සඳහා රටවල් 17 ක, විවිධ සමාජ ක්‍රියාකාරිනියන් සියයකට අධික ප්‍රමාණයක් සහභාගී වූහ. එහිදී, ජර්මන් සමාජවාදිනියකව සිටි ක්ලාරා සෙzට්කින්, එය වාර්ෂිකව පෙබරවාරි 28 වන දා, ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කළ යුතු යැයි යෝජනා කළා ය. ඒ අනුව, වසර 1911 වන විට එම යෝජනාව සම්මත වී, කාන්තාවට රැකියා කිරීමේ නිදහස, ඊට සරිලන වැටුපක් ලැබීම සහ ඡන්ද අයිතිය ඇතුලු කාන්තා සමානාත්මතාව වෙනුවෙන් නැගී සිටීම සඳහා මිලියනයකට අධික කාන්තා රැළිය මාර්තු මස 19 වන දා, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රට වලදී පැවැත්විණ.

මේ 21 වන ශතවර්ෂය යි. 2011 වසර යි. කාන්තාවෝ ජාත්‍යන්තර කාන්තා දිනයේ සිය වසර (1911-2011) සමරති.

පළමු වන ලෝක යුද්ධයත් සමඟින් රුසියන් කාන්තාවෝ ද, සාමය වෙනුවෙන් වීදී බට අතර යුද්ධයට විරුද්ධව කාන්තා සහයෝගීතාව ලබා දුන්නෝ ය. එය 1913 වසරෙ දී, පෙබරවාරි අවසන් ඉරිදා යොදා ගත් අතර අනතුරුව එය මාර්තු 08 වන දා වශයෙන් වාර්ෂිකව පවත්වන්නට තීරණය විය. වසර 1917 වන විට, රුසියන් කාන්තාවෝ ''පාන් සහ සාමය'' (Bread & Peace) නම් වූ ව්‍යාපාරය වෙනුවෙන් වැඩවර්ජනයක යෙදුණු අතර එය පැවැත් වූයේ පෙබරවාරි මස අවසන් ඉරිදා ය. එය ජුලියන් දින දර්ශනයට අනුව පෙබරවාරි 23 වනදා වූ නමුත් ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව මාර්තු 08 වනදා විය.

අනතුරුව, ලෝකය පුරා ක්‍රමයෙන් ව්‍යාප්තව, අධ්‍යාපනික, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා, ජාත්‍යන්තර කාන්තා දිනය ලෙසින් සෑම වසරකම මාර්තු 08 වන දා, වසර 2000 දී සිට සම්මත කර ගන්නා ලද අතර ඇෆ්ගනිස්ථානය, කාම්බෝජය, චීනය(කාන්තාවන්ට පමණි), කියුබාව, මැඩගස්කරය, මොන්ගෝලියාව, නේපාලය(කාන්තාවන්ට පමණි), රුසියාව, උගන්ඩාව, යුක්රේනය, වියට්නාමය ඇතුලු රටවල් විශාල ගණනක රජයේ නිවාඩු දිනයක් ලෙසින් ද නම් කෙරිණ. විශේෂයෙන් එදිනට කාන්තා අයිතීන් වෙනුවෙන් විවිධ සහ නව ප්‍රඥප්ති ප්‍රකාශයට පත් කිරීම, දහස් ගණනක් කාන්තා සංවිධාන අතින් සිදු වෙයි.මෙදිනට කාන්තාවට විශේෂයෙන් සැළකීම, මල් පොකුරු සහ ත්‍යාග දීම වැනි බටහිර සම්ප්‍රදායානුකූලව සැමරීමක් ද සිදුවෙයි. එහෙත් අප වැනි ආසියාතික රට වල මේ දක්වා සිදු වනුයේ තම අයිතීන් සහ සමානාත්මතාව දිනා ගැනීම උදෙසා උද්ඝෝෂණ කිරීම ය.

කෙසේවතුදු, පුරුෂාධිපත්‍යයට නතු වුණු ලෝකය තුළ, මේ වන තෙක් කාන්තාවට, සමාන වැටුප් ලැබීමට, අධ්‍යාපනික, ව්‍යාපාරික, සමාජයීය හෝ දේශපාලනික වශයෙන් සම අයිතීන් ලැබී නැත. කාර්මීකරණයත් සමඟින් පුරුෂ මූලික වන සමාජය නිරන්තරයෙන් ගැහැණිය දෙවන ස්ථානයෙහි ලා සැළකීම, ලොව ඕනෑම රටක දී දැක ගත හැකිය. සමස්තයක් වශයෙන් බටහිර රට වල යම් ප්‍රවණතාවක් දක්නට ලැබුණ ද, සංවර්ධනය වෙමින් පවත්නා රටවල එය තවමත් ඛේදවාචකයකි. දිනෙන් දින, ලොව පුරා දහස් ගණනින් කාන්තා සංවිධාන බිහි වුණ ද, කෙතරම් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ ද, ඒවා දිනනු නොහේ.

කෙසේ හෝ පුරුෂයා විසින් තම බල පරාක්‍රමය පතුරවා ගෙන, ගැහැණිය තම යටතට ගන්නට නිරන්තරයෙන් වෙහෙසෙයි. ඔහු තුළ පවත්නා හීනමානය වැනි හැඟීමකින් සැමවිට ම ඔහු, ඈ මත තම ආධිපත්‍යය පතුරවයි. ඒ, ගැහැණිය සැබැවින්ම ඔහුට වඩා අධ්‍යාත්මිකව බලවත් සහ ශක්තිසම්පන්න බව ඔහු දන්නා හෙයිනි. වත්මන් සමාජය දෙස බලද්දී, පුරුෂයා සමඟ සම'සුන් ගනිමින් යම් යම් සමාජ ස්ථරයන්හි කාන්තාව සිටින බවක් දකින්නට හැකි වුව ද, බහුතරයක් කාන්තාවන් කුටුම්භ ප්‍රචණ්ඩත්වය තුළ වේදනා විඳිමන් අසාධාරණයට ලක් වී සිටියි. විශේෂයෙන් ආසියාතික අප රටවල කාන්තාවට අවම මානුෂික අයිතිවාසිකම්වත් හිමිවන්නේ නැත. ඇගේ සිතීමේ නිදහස පවා අහිමි කර ඇති අන්දම දිනපතා ම අසන්නට දකින්නට ලැබේ. අවසන් තීරණය ක්‍රියාත්මක වනුයේ පුරුෂයාගේ අණසකට යටත්ව ය. ඔහුගේ කායික සහ වාචික බලයෙන් ඇය යටපත් කර ගනියි. බටහිර රටවල තත්වය ලිහිල් බවක් උසුලන නමුදු මාධ්‍යය හරහා අප වෙත ලැබෙන තොරතුරු ස්වල්පය ඉතාම සුළුතරයක් බව අප වටහා ගත යුතුය. ලොව පළමු පෙළ අසුන් වල ද කාන්තාවෝ වෙති. මේ මොහොත වන විට දේශපාලනික වෙනස්කම් වලට ද, විශාල දායකත්වයක් ලබාදෙමින් කාන්තාවෝ පෙරමුණේ සිටිති. එහෙත් මේ සියල්ල, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය හරහා අපට ලැබෙන්නා වූ තොරතුරු, අපමණක් අසාධාරණයට ලක් වන ලොව බිලියන ගණනක් කාන්තාවන් හා සැසඳීමේදී අතිශයින් සුලු ප්‍රමාණයක් බව අප අවබෝධ කර ගත යුතු ය.

යම් සමාජයක ගැහැණිය පුදනු ලබන ආකාරය මත එම සමාජයේ යහපැවැත්ම පිළිබඳ ව තක්සේරු කළ හැකි බව සැබැවි. මාතෘ මූලික යැයි කියා ගන්නා සමාජයන් තුළ ද, ආර්ථික සහ දේශපාලනික වශයෙන් ගත් කළ විශේෂයෙන්ම දැකිය හැක්කේ පුරුෂ මූලික සමාජ ක්‍රමය යි. එහි දී ගැහැණිය සැම විටම දෙවන ස්ථානයෙහි ලා සැළකේ. එමෙන්ම ගැහැණිය යනු පිරිමියාගේ සහ කුටුම්භයේ ආවතේවකාරිය වශයෙන් සිර කර තැබීම සිදු වෙයි. දරුවන් වැදීම, හැදීම සහ ගේ දොර බලා ගැනීමත්, ස්වාමි පුරුෂයාට සැළකීමටත් ඇයට සිදු වෙයි.

දේශපාලනික වශයෙන් ගත් කළ වර්තමානයේ දී රාජ්‍යයන් තෝරා පත් කර ගැනීමේ අයිතිය ඇයට ලැබී තිබුණ ද, දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉතා අඩු ප්‍රතිශතයක් දක්වයි. අධ්‍යාපනය ලැබීමේ සම අයිතීන් ලැබුව ද, සමාජයීය වශයෙන් පුරුෂයා විසින් ඈ දකින ආකාරයේ වෙනස්කම් සිදු වී නම්, ඒ නැති තරම්ම යැයි කිව හැකි ය. සැබැවින්ම අප කතා කළ යුතුව ඇත්තේ ද, සමාජයීය වශයෙන්, අධ්‍යාත්මික වශයෙන් කාන්තාවට ලැබිය යුත්තේ කිනම් ස්ථානයක් ද යන්නයි.

කාන්තාව සහ සමාජය

ලොව පුරා ව්‍යාප්තව ඇති කාන්තා සංවිධාන ප්‍රමාණය කෙතරම් දැයි කිව නො හැකි තරම් ය. එයම ලෝකයෙහි අසමතුලිතභාවය සහ නො දියුණු සමාජය පිළිබඳ කැඩපතක් වෙයි. නමුදු, බොහෝ විට මෙම කාන්තා සංවිධාන තුළින් විමුක්තිකාමී වනවාට වඩා කළහකාරී බවක් දිස් වෙයි. පිරිමියාට සමාන වනවාටත් වඩා පිරිමියා අභිබවා යන්නට සැරසෙයි. විටෙක එය සියවස් ගණනාවක තිස්සේ ම ගැහැණිය අපහරණයට, දූෂණය ට නැතහොත් පාවිච්චී වීම තුළ හට ගත්තා වූ කෝපය විය හැකි ය. නමුදු, ලොව පවතිනා තාක් ගැහැණුන් සහ පිරිමින් සමානයෝ නොවෙති. එය යථාර්ථය යි. ඔවුනොවුනට සුවිශේෂී වන ශක්‍යතාවන්,දුර්වලතාවන් සහ ආශාවන් ඇත. ශාරීරික ව ගත්ත ද, ඔවුහු සමාන නොවෙති. අධ්‍යාත්මික වශයෙන් ද ඇත්තේ විශාල පරතරයකි. එබැවින් සම අයිතීන් ඉල්ලා සටන් වැදීම නිශ්ඵලය. සිදු විය යුතුව ඇත්තේ, ගැහැණියට නිසි තැන ලැබීමයි. යම් සමාජයක දී, ගැහැණියට, ඇයට හිමි ''නිසි තැන'' ලැබෙන්නේ නම් එය ඉතා දියුණු සමාජයක් බවට පත් වෙයි.

රාජ්‍යය වශයෙන්, ඇයට ඡන්ද අයිතිය දීම, රැකියා කිරීම සහ සමාන වැටුප් ලැබීමේ අයිතිය ලබා දීම ආදී කරුණු සිදු විය යුතු ය. අධ්‍යාපන සහ සෞඛ්‍ය වශයෙන් ද ඇය දෙවැනි නොවන්නීය. එහෙත් ආත්මීය වශයෙන් ගත් කළ, සමාජයීය වශයෙන් ගත් කළ ඇය ඔහුට වඩා බොහෝ වෙනස් වෙයි. එතැනදී ඇයට ලැබිය යුත්තේ ''නිසි තැන ම'' පමණි. එවිට පුරුෂයා දෙවැනි තැන් ගනී. ලෝකය සමතුලිත වනුයේ එයාකාරයෙනි. ලොව පවතිනුයේ එයාකාරයෙනි. ගැහැණිය දුර්වල වූ තැන දී පුරුෂයා ද, පුරුෂයා දුර්වල වන තැනදී ගැහැණිය ද ඉදිරිපත් වෙයි නම් එය සැබැවින් ම තුලනාත්මක ය. පැවැත්ම උදෙසා, ඔවුනොවුන්ට එකිනෙකා අවැසි වෙයි. එවිට ඔවුහු ගෞරවණීය වෙති. එබැවින් විමුක්තිකාමී හෝ සටන්කාමී වනවාට වඩා නිසි තැන ලබා ගැනීම වෙනුවෙන් කාන්තාව එකමුතු විය යුතු ය. එය වඩා ඵලදායී වනු ඇත.

අද බිළිඳිය, හෙට ලෝකය බිහි කරන්නී ය.
ගැහැණියට මෙන්ම පිරිමියාට ද, ඇය ම මව වන්නී ය.

2011.03

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails