Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රෝහණ දක්වා ගමන් ගැනීම සඳහා දුම්රියේ අසුනක වාඩි වී සිටි මට, ගැහැණු ළමයෙක් මා උන් මැදිරියට ගොඩ වෙනවා ඇසුණි. ඇයව දුම්රිය මැදිරියට ඇරලවූ අය ඇගේ දෙමව්පියන් යැයි මට සිතුණ අතර, ඇගේ සංසුන් බව නිසා ඔවුන් තැවුල් සිතෙන් පසුවන බවද මට වැටහුණි. ඈ සමග සිටි කාන්තාව ඇගේ ගමන් මළු තබන ස්ථානය ගැනත්, කවුළුවට නැඹුරු නොවී ගමන් නොකරන්නටත්, නොදන්නා මිනිසුන් හා කතාවට නොවැටී ඉන්නාකාරයත් සවිස්තරාත්මකව ඇයට පහදා දෙන්නට විය.

ඔවුන් ඇගෙන් සමුගන්නවාත් සමගම දුම්රිය ඉදිරියට ඇද්දුවේය. ඒ මොහොතේ මා දෑස සම්පූර්ණයෙන්ම අන්ධ වී තිබූ නිසාත්, මාගේ දෘෂ්ඨි කෝණයට අසුවන්නේ මද එළියක් සහ අඳුර පමණක්ම නිසාත්, ඇගේ හැඩරුව කෙසේ ද යන්න පැහැදිලි කිරීමට මම අපොහොසත් වුවද, ඈ පැළඳ සිටියේ නම් සෙරෙප්පු යුගලක් බව ඇගේ විළුඹ එහි ගැටෙනාකාරයෙන් මට තේරුණි.

ඒ හැඩරුවේ කොයියම්ම දෙයක් හෝ පසක් කරගැනීමට මට සෑහෙන වෙලාවක් වැය කරන්නට සිදුවෙනවා නියතයි. ඇතැම් විට කිසිසේත්ම එය සිතා ගන්නට ද මට නොහැකි වෙනවා ඇත. ඒ කෙසේ හෝ වේවා ඇගේ කටහඬට ද, සෙරෙප්පු යුගල නැගූ හඬට ද මම බොහෝ සේ ප‍්‍රිය කළෙමි.

"ඔයා දිගටම යන්නෙ ධේරා ද?" මම ඇසීමි.

මා අසුන්ගෙන සිටින්නට ඇත්තේ අඳුරු ස්ථානයක විය යුතුය. මගේ පැනයෙන් මදක් හඬ නැගෙන සේ ගැස්සී තැති ගත් ඇය, මට පිළිතුරු දෙන්නට විය.

"මම දැනගෙන හිටියෙ නෑ මෙතැන තවත් කෙනෙක් හිටිය විත්තිය."

"කොහොමත් ගොඩක් හොඳට ඇස් පේන අය තමුන් ඉදිරියේ තියෙන දේ දැකගන්න අසමත් වෙනවා.. ඒ අයට ගැඹුරට හිතන්න කරන්න ගොඩක් දේවල් තියෙන නිසා වෙන්නැති එහෙම වෙන්නෙ.... නමුත් අන්ධ අයට එහෙම නැතිනම් සුළු වශයෙන් ඇස් පේන අයට හිතන්න තියෙන්නෙ, අනෙක් අය කියන කරන දෑ වලින් තෝරා බේරාගත් කොටස් විතරයි.. මමත් ඔයාව දැක්කෙ නෑ. ඒත් ඔයා ඇතුළට එනව නම් මට ඇහුණා.." මම ඇයට කීවෙමි.

මා අන්ධයෙක් බව ඇයට අවබෝධ නොවෙන සේ මට හැසිරිය හැකිදැයි මම කල්පනා කළෙමි. තව තවත් හරි බරි ගැහී අසුනට බර වුණ මා හට දෙවනුව සිතුණේ, එය එතරම් මහා ලොකු දෙයක් නොවේ කියාය.

"මම සහරන්පූර් වලින් බහිනවා.. මාව ගන්න මගේ නැන්දා එහාට එනවා.." ඇය කීවාය.

"එහෙනම් මම වැඩිය කුළුපග නොවෙන එක නුවණට හුරුයි.. සාමාන්‍යයෙන් නැන්දලා ටිකක් සැරයි නේ.." මම උත්තර දුනිමි.

"මම යන්නෙ ධේරා.. ඊටපස්සෙ මුස්සූරි.."

"අනේ! ඔයා කොච්චර වාසනාවන්තද.. ? මටත් මුස්සූරි යන්න ඇත්නම්.. මම ගොඩක් ආසයි එහෙ කඳු වලට.. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසෙදි.."

"ඔව්.. මේ තමයි හොඳම කාලෙ.." මතකයන් අවදි කරගත් මා ඈට කීවෙමි."කඳු වැහෙන තරමටම පිපුණු කැලෑ ඬේලියා මල්.. පැහැපත් ඉර එළිය.. එතකොට රෑට පුළුවන් ගිනි උඳුනක් ළඟට වෙලා බ්‍රැන්ඞි ටිකක් රස විඳින්න.. ගොඩක් විදේශකයින් පවා මේ කාලෙට නැති නිසා, පාර තොටවල් වුණත් නිස්කලංකයි.. හුදෙකලාවයි.. ඒක නිසා ඔක්තෝබර් තමා හොඳම කාලය.."

ඇය නිහඬ වූවාය. මවදන් ඇගේ හිත තුළට කිඳා බැස්සදෝයි මට සිතෙන්නට විය. නැතහොත් මම මෝඩ සිහින මවන්නෙකැයි ඇය සිතනවා විය යුතුය. එසේ වේ නම් මා වැරැද්දක් කොට ඇත.

"දැන් එළිය මොන වගේද.. ?" මම ඇසීමි.

එපැන ඇය ගාණකට නොගත්තාය. මම අන්ධයෙක් බව ඇයට දැනටමත් වැටහී ඇත්දැයි මසිත වූ කනස්සල්ල, ඇගේ ඊළඟ ප‍්‍රශ්නයෙන් වහා දුරු විය.

"ඇයි ඔයා ජනේලෙන් එළිය බලන්නැත්තෙ.. ?"

ඉඳගෙන උන් තැනින් කවුළුව අසලට ඇදී ගිය මම එහි දාරයට බරවීමි. කවුළුව තිබුණේ විවෘතවය. මා එයින් පිටත බැලූයේ භූමි දර්ශන හොඳින් අධ්‍යනය කරන බවක් ඇයට පෙනෙනාකාරයටය. හති දමමින් දුවන ඇන්ජිමේ හඬත්, ඝෝෂාකාරීව නැගෙන රෝද වල හඬත් මට පැහැදිලිව ඇසුණි. මගේ මනසේ දෙනෙතට පිටත දසුන් මැවී පෙනෙන්නට විය.

"දැක්කද.... අපි ඉඳගෙන යද්දි ගස් කොළන් හරියට නිකන් පාවෙනව වගේ නේද.. ?" මම උද්යෝගයෙන් පැවසුවෙමි.

"ඒක ඉතින් හැම වෙලේම එහෙමනේ.. සත්තු එහෙම පේන්නෙ නැද්ද.. ?"

"නෑ.." ධේරා කිට්ටුව වනාන්තරයේ කිසිම සතෙක් නැති බව කලින් තියාම දැන සිටි මම, සැකයකින් තොරව ඇගේ ඒ පැනයට පිළිතුරු දුන්නෙමි.

කවුළුවෙන් මෑත් වුණ මා ඈට මුහුණලා හිඳ ගත්තෙමි. මද වේලාවක් අපි නිහඬව සිටියෙමු.

"ඔයාට තියෙන්නෙ සිත්ගන්නා සුළු මූණක්.."

සැලෙන හදවතින් මම ඇයට පැවසුවත්, ඈට ඒ වෙනස නොදැණුණි. චාටුබස් වලට විරුද්ධ විය හැක්කේ ගෑණු ළමයින් සුළු කොටසකටය. ඇය සිනාසෙන්නට විය. ලගන්නා සුළු සිනාවකි එය.

"මට තියෙන්නෙ සිත්ගන්නා සුළු මූණක් කියල අහන්නත් ආසයි. මොකද හැමෝම කියන්නෙ මට ලස්සන මූණක් තියෙනව කියලා.. ඒ කතාව අහලම මට එපා වෙලා තියෙන්නෙ.."

හ්ම්.. එහෙනම් මම හිතුවත් හරි…. ඒ කියන්නෙ ඇයට තියෙන්නෙ ලස්සන මූණක් යැයි සිතූ මම, හයියෙන්:"සිත්ගන්නා සුළු කියන්නෙත් ඉතින් ලස්සන වෙන්න පුළුවන්" යැයි, ඇයට කීවෙමි.

"ඔයා ගොඩක් ප‍්‍රියමනාප තරුණයෙක්.." ඇය කීවාය."ඒත් ඇයි ඔයා ඔච්චර බරපතළ විදිහට හිතන්නෙ.... ?"

ඒ කියමනට මට සිනාසෙන්නට සිතුණි. නමුත් සිනාසෙන්නට සිතීමෙන් පවා මට ඇතිවනුයේ කරදරකාරී හැඟුමක් සහ හුදෙකලාවක් පමණි.

"ටිකෙන් ටික ඔයා බහින තැනත් ළං වෙනවා..." මම කීවෙමි.

"හොඳ වෙලාවට මේ ගමන කෙටි ගමනක්.. මට පැය දෙක තුනකට වඩා කෝච්චියේ ඉඳගෙන යන්න බෑ….." ඇය කීවාය.

නමුත් මම නම් කොව්චර දුරක් වුව යෑමට සැදී පැහැදී සිටියෙමි. ඒ ඇගේ කටහඬට සවන්දීමටමය. කන්දකින් ආරම්භ වී ගලායන ඇල දොළකින් මතුවෙන හඬක් වගේය ඇගේ කටහඬ. දුම්රියෙන් වෙන්වුණු වහාම ඈට මේ ක්ෂණික හමුවීම අමතක වනු ඇත. නමුත් ගමනානත්තය දක්වාත්, ඉන්පසු ටික කලක් යනතුරුත් මේ හමුවීම මගේ මනසේ රැඳී තියෙනු නොඅනුමානයි.

දුම්රිය නලාව වේගයෙන් නද දුන්නේය. එහි රෝද වල රිද්මයද කෙමෙන් කෙමෙන් වෙනස් වන්නට විය. අසුනින් නැගිට ගත් ඇය ඇගේ ගමන් මළු එක්කාසු කරන්නට පටන් ගත්තාය. මම ඇගේ කොණ්ඩය කෙසේ ඇත්දැයි සිතන්නට වීමි. එය එකට ගැට ගසා ඇත්ද.. නැතහොත් ගොතා ඇති ද.. සමහරවිට එය උරපතු දක්වා කඩා හැලෙන සේ ලිහා ඇත. එසේත් නැතිනම් ඇය කොණ්ඩය කොටට කපා ඇත්ද....

දුම්රිය හිමින් සීරුවේ වේදිකාවට ඇද්දුවේය. පිටතිත් දොරටු පාලකවරුන්ගේ සහ වෙළෙන්දන්ගේ හඬවල් ඇසෙන්නට වූ අතර, කෝච්චි පෙට්ටියේ දොර අසලින් කාන්තාවකගේ උස් කටහඬක් මතුවිය. ඒ ඇගේ නැන්දා විය යුතුය.

"සුබ ගමන්...." ඇය කීවාය.

ඇය සිටගෙන උන්නේ මට ඉතා කිට්ටුවෙන්ය. කොතරම් කිට්ටුවෙන් ද කියතොත් ඇගේ හිසෙන් විහිදෙන, අත්කර ගන්නට බැරි ඒ සුවඳ පවා මට දැනෙන්නට විය. දෑත දිගුකර ඒ හිසකෙස් අල්ලන්නට සිත් වූවත්, ඇය මා අසලින් වෙන්ව ගියාය. ඇගේ සුවඳ පමණක් ඈ උන් තැනම රැඳී පැවතුණි.

දොරටුව අසලින් කලබගෑනියක් ඇති විය. දුම්රිය මැදිරියට ගොඩවෙමින් සිටි මගියෙක් ගොත ගසමින් සමාව අයදිනවා මට ඇසුණි. එවිට දොරටුව තදින් වැසුණේ මුළු ලෝකයම වසාගෙනය. මම මගේ අසුනට නැවත බර වුණෙමි. දුම්රියේ ගාඩ්වරයාගේ තියුණු විසිල් හඬ මතුවිය. ඒත් සමගම අපි ඉදිරියට යන්නට පටන් ගත්තෙමු. නැවත වතාවක් අලුත් මගියෙක් සමග කරන්නට මට සෙල්ලමක් විය.

දුම්රිය සිය වේගය එක්රැස් කරගත්තේය. එහි රෝද සුපුරුදු ගීතය ගෙනයන්නට වූ අතර කෝච්චි පෙට්ටි කෙඳිරිගාමින් පැද්දෙන්නට විය. කවුළුව සොයාගත් මම ඒ අසලින් වාඩි වූයේ මට අඳුරක් වූ එළියට මූහුණලා ය. පිටත බොහෝ දෑ සිදුවෙමින් තිබුණි. ඒ මොනාදැයි යන්න සිතීම පවා රසබර සෙල්ලමකි.

කෝච්චි පෙට්ටියට ගොඩ වූ මගියා මගේ කල්පනා ලොව බින්ඳේය.

"ඔයා ගොඩක් කලකිරෙන්න ඇති නේද....?" ඔහු කීවේය."දැන් බැස්ස කෙනා වගේ මම නම් සුහද කෙනෙක් නෙමෙයි.." ඔහු තවදුරටත් පැවසුවේය.

"ඒ ගෑණු ළමයා හරි කරුණාවන්තයි.." මම පැවසුවෙමි."කරුණාකරලා මට කියනවද එයාගෙ කොණ්ඩය තිබුණෙ දිගටද කොටටද කියලා..?"

"මට මතක නෑ.." ඔහු ව්‍යාකූල හඬකින් පැවසුවේය."එයාගෙ ඇස් වලටයි මගේ අවධානය යොමු වුණෙ.. කොණ්ඩයට නෙමෙයි.. ඒ ගෑණු ළමයට තිබුණෙ හරිම ලස්සන ඇස් දෙකක්.. කොච්චර ලස්සන වුණත් ඒ ඇස් වලින් එයාට කිසිම ප‍්‍රයෝජනයක් නෑ.. ඒ ළමයා අන්ධයි.. සම්පූර්ණයෙන් අන්ධයි.. ඇයි.. ඔයාට ඒ වගක් තේරුණේ නැද්ද.. ?"

[රුස්කින් බොන්ඩ්ගේ "The Eyes Have It" කතාවේ පරිවර්තනය.]

රුස්කින් බොන්ඩ්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails