Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුමාරණතුංග

පාරවල් කැපීමට විශේෂයෙන් පුරුදු පුහුණු කරන ලද පිරිසක් කැලය මැදින් පාරක් කපමින් සිටියහ. ඔවුන්ගෙන් සමහරු දක්ෂයෝ වූහ. සමහරු අදක්ෂයෝ වූහ. සමහරු බොහෝ වැඩ කළහ. සමහරු ස්වල්පයක් වැඩ කළහ.
ශක්තිමත් හැඩි දැඩි පුරුෂයෙක් පැමිණියේය. හෙතෙම ඔවුන් බලා සිටියදීම තමා අත වූ සියුම් පොරවෙන් දිගට හරහට වනය සිඳින්නට විය. ඔහුගේ දක්ෂකම දුටු බොහෝ දෙනා නියම පාර කපන්නා-

ඔහු යැයි කීහ. ස්වල්ප වෙලාවක් වැඩ කළ පසු ඔහු එතැනින් ඉවත්ව ගියේය.
ඔහු කැලෑවෙන් විශාල කොටසක් කපාදමා තිබිණි. එහෙත් කිසිවෙකුට කොතැනකට හෝ යා හැකි පාරක් ඔහු විසින් කපා නොතිබිණි.

එක සහ දසදහස

සන්තාන නම් අධිරාජයා මහා තේජෝබල පරාක්‍රමයෙන් යුතුව සිංහාසනය අරා සිටියේය. තියුණු කඩු කිනිසි ගත් දසදහසක් භටයෝ ඔහු ආරක්ෂා කෙරෙමින් පිරිවරා සිට ගත්හ.
ක්ෂණයකින් එක් කඩුපතක් ඔහුට එරෙහිව ලෙළ දීගති. අධිරාජයා බියෙන් තැති ගැනී ගියේය.

යථාර්ථයේ සෙවණැල්ල

ප්‍රේක්ෂකයෝ යථාර්ථය වේදිකාවට පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියහ.
බෙරය වැයිණ. තිරය හැරිණ. මනා කොට ආලෝකවත් කරන ලද වේදිකාව හරහා යථාර්ථයේ සෙවණැල්ල විහිදී ගියේය. ප්‍රේක්ෂකයෝ මොහොතක් නෙත් අයා කන් යොමා බලා සිටියහ.
ඊළඟ මොහොතේ ඔවුහු උත්කර්ෂයෙන් ඇළලී ගියහ. ඇදක් කුදක් හෝ යමක් නොමැති සෙවණැල්ල මෙතරම් සම්පූර්ණ නම් යථාර්ථය කොතරම් අලංකාර විය යුතුද?

"අපූරුයි. විශිෂ්ටයි" ඔවුහු කෑ ගැසූහ.

සෙවණෑල්ල කෙමෙන් කෙමෙන් ගමන් කරනට විය. අහි අග කෙළවරේ එල්බීගෙන යථාර්ථය වේදිකාවට පැමිණියේය.
ප්‍රේක්ෂකයන්ගේ මුහුණු ඇකිළිණි.
"ඉවත්වෙනු" "වහා ඉවත්වෙනු"යි ඔවුහු කෑ ගැසූහ.

අමරදේව

කොවුලාට අපුරු කටහඩක් ඇත.
ඌ රාජාලියෙකු වී නම්
අපට රාජාලියෙක් ලැබේ
කොවුලෙක් නැතිවේ.

කීර්තියට යටවීම

කීර්තිය මගේ පාමුල මැඩි පැටවෙකු මෙන් සිටිනු මම දුටුවෙමි. මම කීර්තිය උකුලට ගෙන කිරි පොවා බත් කවා ඇති දැඩි කළෙමි.
බලා සිටියදීම කීර්තිය හුළං බෝලයක් මෙන් වැඩෙන්නට විය.
කීර්තිය දැන් මා යට කරගෙන මහා පර්වතයක් මෙන් සිටී. මවිසින් හදා වඩා ගත් කීර්තිය මට මහත් ආඩම්බරයකි.
කීර්තිය නිසා මට අතක් පයක් සෙලවීමට ද නොහැක. අමාරුවෙන් මා එසේ කළත් චණ්ඩ මාරුතයක් වන් කලෙක මෙන් කීර්තිය වෙව්ලුම් කයි. කීර්තිය පෙරලී යතැයි බියෙන් මම බිම දිගා වී එය ආරක්ෂා කරමි.

ගුහාවල විසූ පුදුම සත්තු

පුරාණ කාලයෙහි මේ පොළොව පුදුම සත්ව වර්ගයකට වාසභූමි විය. එකළ පොළොව මතුපිට ගස් කොළන් නොවීය. ඔවුහු පොළොව හාරාගෙන ගුහා තනාගෙන එහි පස් කමින් රංචු වශයෙන් ජීවත් වූහ.
එක ගුහාවක නතර වෙන රංචුවේ නායකයා මෙතන පස් ඉතා රසවත්යැයි කියයි. රංචුවේ ඉතිරි සියල්ලෝ එය අනුමත කරති. යම් හෙයකින් එකෙකු හෝ ඒ කියමනට විරුද්ධ වී නම් ඉතිරි අය ඔහුව තලා පෙලා මරා දමති.

ටික කලක් සිටින විට නායකයාට ඒ පස් නීරස බව සිතෙයි. ඔහු ඒ බව කී විට ඉතිරි සියල්ලෝ එය අනුමත කරති. විරුද්ධවන්නෝ පෙර මෙන් මරා දැමෙති. ඉන් පසු ඔවුන් අනික් ගුහාවක් සොයා යයි. එහිදී ද පෙර සිදුවීම ම වෙයි.
පෙර සිටි පෙදෙසේ පස් කන්නවුන්ට "මෝඩයෝ" "ද්‍රෝහියෝ" වැනි දේ කියා බැණ වදිති. අනුගාමිකයෝද එබස් අනුමත් කරති. අර රංචුවල ඇත්තෝ ද මේ රංචුවට එලෙසින් ම බැණ වදිති. විරුද්ධවන්නෝ මරා දැමෙති.

මේ සතුන් මිය ගොස් දැන් බොහෝ කල්ය. එහෙත් ඔවුන්ගෙන් පැවත එන්නෝ අදත් ජීවත් වෙති.

ව්‍යංග්‍යා (මහගමසේකර සහ කේ. ජයතිලක එක්ව පළ කළ කෙටි වියමන් එකතුවෙන්) උපුටා ගන්නා ලදී. 1960 දී මුල් වරට මුද්‍රණය කරන ලදී.

කේ. ජයතිලක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails