Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වයස 14 ක දරුවෙක් මැර කල්ලියකට බැඳීම සඳහා තම සුදුසුකම පෙන්වීමට තවත් අහිංසක නව යොවුන් තරුණයකු මරා දැමුවේය. එම මිනීමැරුම් නඩුව අසනවිට වින්දිතයාගේ මව ශාන්ත නොඉවසිලි බවකින් උසාවියට වී නඩුවට කන් දීගෙන සිටියාය.

මිනීමරු දරුවා මරණයට වරදකරු විය. තීන්දුව ප්‍රකාශ කළ පසු එම මව සංසුන්ව නැගීසිට දරුවා දෙස ඍජුව බලාගෙන මෙසේ කීවාය.

"මම උඹව මරණව"

වේදනාවෙන් පෙළන මවෙග් මෙම ප්‍රකාශයත් සමග ම කලබලයට පත් හිර නිලධාරීහු වහාම දරුවා ඉවතට ගෙන ගියහ.

පළමු මාස හය ගතවීමෙන් පසුව මරණු ලැබූ දරුවාගේ අම්මා විශේෂ අවසරයක් ලබාගෙන මෙම හිරකාර දරුවා බලන්නට ගියාය. එම මිනීමැරුම කරන්නට පෙර දරුවා ජීවත්වී ඇත්තේ මහපාරේය. ඔහුට කිසිදු නෑදෑයෙක් නොසිටියේය. එබැවින් ඔහු බලන්නට හිරෙගදරට පැමිණි එකම තැනැත්තිය තමා අතින් මරණයට පත් වූ නව යොවුන් තරුණයාගේ ආදරණීය මව පමණි. දෙදෙනා ටික වෙලාවක් කතා කරමින් සිටියහ. අනතුරුව පිටත්වන්නට පෙර ඇය ඔහු අත මුදල් ටිකක් සහ සිගරට් කීපයක් තැබුවාය. අනතුරුව, ඇය නිතර නිතර මිනීමරු ළමා හිරකරුවා බලන්නට යන්නට පටන් ගත්තාය. ආහාර සහ තෑගිබෝග ගෙනෙගොස් දුන්නාය. බොහෝ වෙලාවක් ළමා හිරකරුවා සමග කතාබහ කරමින් ගතකළාය.

ඔහුගේ වසර තුනක හිර කාලය අවසන්වන්නට ළංවිය. ඒ අතර දිනක්, ඔහු පිටතට ආ කල කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි එම මව දරුවාගෙන් විමසුවාය. දරුවාට ඊට දෙන්නට පිළිතුරක් නොවීය. ඔහුට යන්නට තැනක්වත් නොවීය. ඔහු උත්තරයක් දීගත නොහැකිව අසරණව බිම බලාගෙන සිටියේය. ඇය ඔහුට තම යහළුවකුගේ කොම්පැනියක රැකියාවක් සොයා දෙන්නට පොරොන්දු වූවාය. අනතුරුව ඕ ඔහුගෙන් නතර වන්නට බලාපොරොත්තු වන්නේ කොහේදැයි වමසුවාය. තමන්ට යන්නට තැනක් නැති බව ඔහු ඉතා අසරණ හඬකින් කීවේය. එවිට, ඒ මව තාවකාලිකව තම නිවෙසේ නතර වන්නැයි ඔහුට ඇරයුම් කළාය.

මාස අටක් තිස්සේ ඔහු ඇගේ නිවෙසේ ජීවත්විය. ඈ කරුණාවෙන් පිසින ආහාර බුක්ති වින්දේය. මේ අතර දිනක් ඇය ඔහුව සාලයට කැඳවා තමන් ඉදිරියෙන් අසුන් ගන්නැයි ඇණ වූවාය. මඳ වේලාවක් නිහඬව ඔහු දෙස බලාගෙන සිටියාය. අනතුරුව, නිහඬබව බිඳිමින් කතාකරන්නට පටන්ගත්තාය.

"ඔය ළමයට මතකද එදා උසාවියෙදි මං කියපු දෙය? මම උඹව මරණව?"

"ඔව් මට හොඳට මතකයි, මට ඒ මොහොත කවදාකවත් අමතක වෙන්නෙ නැහැ", දරුවා පිළිතුරු දුන්නේය.

"ඔව් මං ඒක කළා", ඇය තවදුරටත් කියා ගෙන ගියාය. "මගෙ පුතා නිරපරාදෙ මරාදාපු කොල්ල ජීවත්ව ඉන්නව දකින්ඩ මට කොහොමවත් ඕනැ වුණේ නෑ, මට ඒ මිනීමරු කොල්ල මැරෙනව දකින්ඩයි ඕනැ කෙළේ. ඒ හින්දමයි මම ඔයාව බලන්ඩ හිරගෙදරට යන්ඩ පටන් ගත්තෙ. තෑගි, කෑම වර්ග ගෙනිහිල්ල දුන්නෙත් ඒ නිසයි. රැකියාවක් හොයල දුන්නෙත් ඒ හින්දයි. ගෙදර නවත්ත ගත්තෙත් ඒ හින්දමයි. පුතේ ඔයාව වෙනස් කරන්ඩ මම පටන් ගත්තෙ ඒ විධියටයි. දැන් ඒ පරණ මිනිමරු දරුව නැහැ. මට මගෙ පුතාත් නැහැ! මේ ගෙදර දරුව හිටිය කාමරයත් තියනවා, මම කැමතියි ඔය පුතා මගේ ම පුතා වෙනවට. ඉතින්, මම ඔයාගෙන් ඉල්ලා හිටිනව මේ ගෙදර මාත් එක්ක නවතින්ඩ කියල! ඔයා දැන් මගෙ ආදරණීය පුතා! මම ඔයාගෙ ආදරණීය අම්මා!"

එම විසිවන සියවසේ පටාචාරාව, නූතන කිසාගෝතමිය දරුවාගේ අහිංසක දෑස දෙස එක එල්ලේ ම බලා ගෙන, කියා ගෙන ගියාය.

ඒ ආකාරෙයන් ඕ තම කුසින් බිහිකර, ගත දිවෙන රතු රුහිරු සුදුපාට කිරිකර පොවමින් තම පණටත් වඩා ආදරෙයන් හදාවඩාගත් දරු පැටවා මරා දැමූ, කිසිදාක මවකගෙ උණුසුම හෝ මව්කිරි බිඳක් තොලගා නොතිබූ ඒ අහිංසක දරු පැටවාගේ මව බවට පත් වූවාය.

[කලු අමෙරිකානු මවක සහ කලු දරුවකු සම්බන්ධ සත්‍ය කතාවක අනුවර්තනයකි]
පරිවර්තනය - මණ්ඩාවල පඤ්ඤාවංස හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails