
පරිවාර තරු
කවුළුවෙන් එබෙන විට
මා කවි ලිවිය යුතුමය
හැමදාම
නිමිත්තක් පුරනවා
රෑ අහස....
මේ මුර කුටිය අයිති
සඳවතියට
මගේ සේවය ඇයටය....
විරසක උනදාට
සළු උනා ඈ යන්න යනවා
දැන දැනම
මා අකමැති බව හිරුට....
දෑළවට තරු පොකුරු ගැහුනට
ළෙංගතුකම් කිති කැවෙන්නේ
දුරින් හිඳ අත වනන කොට
දන්නවා මගේ ආදරේ තරම
මා වටින්නේ
ඒ නිසයි ඇයට....
අනුන්ගෙම වස්තුව රකින
සංසාර ගමනකට
නිබද අත්සන තබන
ගනුදෙනුකාර ජීවිතයක
'තනිය'
මට දැනෙන්නේ අමාවකදාට....
අදුර දන්නවා යැ
ආදරේ පාට....
ඔබ ඔතැන - මා මෙතැන
කමක් නෑ
විසඳන්න පුළුවන් අපට
මේ නිශාචර
සෞන්දර්ය සමීකරණය
මා දන්නවා ඔබ දන්න බව
ආසන්න අගය....
අකුරු නැති කවි ලියයියැ
නැතිනම් ඔහොම....
තෑගි ලෙස - මල් පොකුරු
ඇගෑලුම් නැතිවට
තැවුල් සිත් නෑ අප ළඟ
නිබඳ සිහිවටන
'මාරු කර ගන්නෙ'
සොදුරු සැමරුම් නැති අය....
ලෝකය පංගුකර
නිසි - නිසි දේ
රිසි අයට බෙදන දවසක,
මහ පොළවයි - රෑ අහසයි අතර
හුදකලාවේ සියලු හිමිකම්
අපටය - අපටමය
නිශාචර රහස් දන්නේ
අපය - අප පමණය.....
[සාදය සූදානම්ය - 2009]
ඩී. එම්. ටීම්රාන් කීර්ති
KAVI BOONDIYA | සඳවතිය, ජීවිතය සහ මුර කුටිය - [ඩී. එම්. ටීම්රාන් කීර්ති]
Posted by
BoondiOnLine
3.29.2011



