Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිංහල යොවුන් සාහිත්‍යයේ ආරම්භකයා ලෙස මාර්ටින් වික්‍රමසිංහ ඉතිහාස ගතවන්නේ 1947 ප්‍රකාශයට පත්කළ ''මඩොල් දූව'' කෘතියෙනි. ඔහු එම කෘතිය රචනා කළේ ඇමරිකානු ලේඛක මාර්ක් ට්වේන්ගේ "Huckleberry finn" කෘතිය ඇසුරිනි. එම කෘතියේ ආකෘතිය මෙරටට ගැලපෙන ආඛ්‍යාණයකින් ඉදිරිපත් කිරීමට ඔහු සමත් විය. එතැන් සිට වර්තමානය දක්වා ගෙවීගිය අර්ධ ශතකයක් ඉක්මවූ කාල සීමාව තුළ මෙරට බිහි වූ යොවුන් සාහිත්‍ය කෘතීන් ප්‍රමාණය කෙතරම් ද යන්න ගණනය නොකළ ද ඒ කෘති අතුරින් සියයට අනූ නවයයි දශම නවයක් තරම් ප්‍රමාණයක අන්තර්ගතය ''මඩොල් දූව'' කෘතිය අතික්‍රමණය කරන්නට අසමත් වූ අතර එම කෘති බහුතරයක හරය ද සමානතාවයක් දැක්වීය. 1957 දී එළි දැක්වූ ටී. බී. ඉලංගරත්නගේ ''අඹ යහළුවෝ'' කෘතිය යොවුන් සාහිත්‍ය කෘතියක් ලෙස නම් කළ ද එය පාරම්පරික වලව් පැලැන්තියේ ගරාවැටීම සංකේතවත් කළ කෘතියක් ලෙස හැඳින්විය හැකිය. දෙනගම සිරිවර්ධන සහ කුලසේන ෆොන්සේකාගේ කෘතීන්හි ඉහත දැක්වූ ලක්ෂණ දක්නට නොවූ අතර-

දෙනගම සිරිවර්ධන ආදර්ශමත් චරිත හඟන්වා දුන් අතර කුලසේන ෆොන්සේකාගේ ඇතැම් කෘති තුළින් ද බිහිවූයේ යොවුන් වීරයෝ ය. එහෙත් එතෙක් බිහිවූ යොවුන් සාහිත්‍ය නිර්මාණ අතික්‍රමණය කරන්නට ඔහු සමත් විය. සාම්ප්‍රදායික යොවුන් නවකතා ආකෘතිය පැහැදිලි වෙනසකට ලක්කරන්නට දායක වූ ලේඛකයන් අතරින් ටෙනිසන් පෙරේරා මූලිකත්වය ගත් අතර ඔහුගේ 'ආකාසේ මාළිගාව', 'නදී සංග්‍රාමය' සහ 'මැජික්කාරයාගේ කතාව' හඳුන්වා දිය හැකි ය. අනතුරුව 1997 දී කේ. කේ. සමන් කුමාර ''පුංචි අපේ රජ්ජුරුවෝ'' කෘතිය තුළින් එතෙක් පැවති යොවුන් සාහිත්‍ය සම්ප්‍රදාය වෙනස් කරන්නට සමත් විය. එම වෙනස නැවතත් වෙනසකට භාජනය කරමින් ඔහු 2000 වසරේ දී ''සඳවතියගේ කතන්දරය'' නමින් කොටස් දෙකකින් හෙබි නිර්මාණයක් එළි දැක්වූයේ ය. ඉන් අනතුරුව බිහි වූ කිසියම් ප්‍රශස්ථ මට්ටමක යොවුන් කෘතියක් ලෙස 2004 වසරේ දී එළි දැක්වූ කමල් පෙරේරාගේ 'රන් නෙළුම් පොකුණ' කෘතිය හැඳින්විය හැකිය. (මෙම කෘතීන් කිසිවක් සම්මානයට පාත්‍ර නොවීම පිළිබඳව කනගාටු වීමෙන් ඵලක් නැත.)

ඉහත කී සියලු යොවුන් කෘතීන් පිලිබඳව සිහි කැඳවන්නට නිමිත්ත වූයේ පසුගිය දෙසැම්බර් 30 වන දින එළි දැක් වූ, ප්‍රියාන් ආර්. විජේබණ්ඩාරගේ ''නෑ ඒ අම්මා නෙවෙයි'' කෘතිය කියැවීමෙන් ලද ආහ්ලාදය යි. බහුතරයක් යොවුන් කෘති රචනා කරන්නෝ ඉලක්ක කොට ගන්නේ යොවුන් පරපුර ආකර්ෂණය කර ගන්නා ආකාරයේ කතා සන්දර්භයක් හරහා තම කෘතීන් ඉදිරිපත් කිරීමට යි. එවායේ අන්තර්ගත වූ චරිත බොහොමයක් වීරයින් වූ අතර කිසියම් සමාජ විරෝධී පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් පවත්වාගෙන යන ලද රහසිගත ව්‍යාපාරයක් හෙළිදරව් කිරීම, ක්‍රීඩා කිරීමට ගොස් වනයේ අතරමං වූ පිරිසක් විවිධ ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ පාමින් අනතුරුව ඒ සියල්ල ජයගෙන නිවසට පැමිණීම, බිලි පූජාවක් පැවැත්වීම සඳහා පැහැරගෙන ගිය දරුවකු බේරාගැනීම වැනි කතන්දර විය. එහෙත් 'නෑ ඒ අම්මා නෙවෙයි' කෘතියේ ප්‍රධාන චරිතය වන බිනර (බංඩි) වීර වික්‍රමාන්විත ක්‍රියාවල නිරතවන්නෙක් නොවේ. ඔහු වීරයකු වන්නේ තමන්වටා සිටින 'අම්මා' (නන්දි), 'ගුණේ මාමා', 'කිරි අම්මා', 'සීයා', 'සිරි අංකල්', 'අප්පු ආතා', 'ජිනේ මාමා', 'ලොකු නැන්දා', 'කුමාරි පුංචි', 'මැණිකෙ පුංචි', 'බිල්ලා' (බිනරගේ පියා) 'විනේ සර්' සහ බිනරගේ පාසල් මිතුරන් වැන්නන්ගේ ක්‍රියාදාමයන් ඉදිරිපත් කිරීමෙන් පාඪකයාවෙත සපයන කුතුහලය, දුක, වේදනාව, සහ ප්‍රහසනය සහ ඔවුන්ගේ මනෝ භාවයන් එළි දැක්වීම තුළිනි.


ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර


කතුවරයා සමාජයේ මුල් බැස ඇති ඇතැම් මතවාද අභියෝගයට ලක් කිරීමට සහ එම අභියෝග ජයගැනීම සඳහා ඉතා සියුම් ආකාරයෙන් කථකයා උපයෝගී කොට ගෙන ඇත. පළමු පරිච්ඡේදයෙන් ම එම අභියෝගය ඉදිරිපත් කොට සමාජ සම්ප්‍රදාය පිටු දකින්නේ වැඩිහිටියන් ද නිරුත්තර කරමිනි. නිරන්තරයෙන් තම පියා පිළිබඳ විමසමින් තමන් උපහාසයට ලක් කරන ගමේ ඕපාදූප සොයමින් කල්ගත කරන අප්පු ආතාට පහරදීමෙන් අනතුරුව වැඩිහිටියන් ඔහුට අවවාද දෙන්නේ,

''වැඩිහිටි අයට හිරිහැර කරන්න හොඳ නෑ පුතේ...''
මාමලා මගේ ඔළුව අතගාලා එහෙම කීවා.
''ඒ අය අපට හිරිහැර කරනකොටමොකද කරන්නේ?...''
-පිටුව 12

බංඩි වැඩිහිටියන්ගෙන් ප්‍රශ්න කරනවා. බංඩිගේ මෙම පැනයට වැඩිහිටියන්ගෙන් ලැබෙන්නේ මෙවැනි පිළිතුරක්.

''ඕවා ටික දවසකින් ඇරිලා යයි... ඔයා ඉක්මනට ලොකු වෙන්නකෝ...''
ඒ මාමාලාගේ කෙනෙක් අන්තිමට කීවේ එහෙම.
-පිටුව 12


යථාර්ථය වසන් කරමින්, සිදු නොවන ක්‍රියාවක් ඉස්මතු කරමින් ළමයාගේ හිත සැනසීමට උත්සාහ ගන්නා (ළමුන් රවටන) දෙමාපියන්ට එහි නිස්සාර භාවය පෙන්නුම් කරන්නට මෙය කදිම අවස්ථාවක්. කතුවරයා ඊළඟ වාක්‍යයෙන් එය තව දුරටත් තහවුරු කරනවා.

ඒත් එදායින් පස්සේ ආයෙමත් කිසිම දවසක ''තාත්තා කෝ...'' යයි අප්පු ආතා මගෙන් අහපු වගක් මතකයේ නෑ.
-පිටුව 12


සාම්ප්‍රදායික යොවුන් වීරයින් බිහිකරනවා වෙනුවට, ලොමු දහ ගැන්වෙන ත්‍රාසජනක සිද්ධීන් ඉදිරිපත් කරනවා වෙනුවට කතුවරයා යොදා ගන්නේ වෙනත් ආකෘතියක්. එම ආකෘතිය හේතුවෙන් ම ඇතැම්විට කෘතිය යොවුන් පරපුරට පමණක් නොව වැඩිහිටියන්ට ද කියවා, රස විඳිය හැකි තත්ත්වයක පවතී. පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට විවිධ සමාජ සිද්ධීන් හරහා මිනිසුන් විසින් අත් හැර නොමැති, එහෙත් අත් හැරිය යුතු ඇතැම් ගති සොබාවන් ප්‍රශ්න කරයි.

ඕනෑම පාසලක විනය භාර ගුරුවරයෙක් සිටින බව නොරහසක්. එම ගුරුවරුන් තමන්ගේ තනතුර ළමයින්ගේ යහපත වෙනුවෙන් යොදාගන්නවා වෙනුවට බොහෝවිට පෙළඹෙන්නේ එකී තනතුර දඩමීමා කර ගනිමින් ළමයින් බිය ගැන්වීමට. බිනර තමන්ගෙ විනය පාලක ගුරුවරයාගේ මානසිකත්වය අවතක්සේරුවට ලක් කරන්නේ ඉතාම සරල ආකාරයෙන්.

පමාවී පාසලට පැමිණෙන ළමයින් ගේට්ටුවෙන් පැනීම සිරිතක් කර ගෙන සිටින නිසා විනය පාලක ගුරුවරයා ගේට්ටුව අසල තිබෙන ගහකට මුවාවෙලා ඔවුන්ට වේවැල් පහර දීම පුරුද්දක් කරගෙන සිටියා. බිනර එවන් අවස්ථාවකට මුහුණ දුන් මොහොතේ ඔහු ඒ සඳහා දක්වන්නේ අපූරු ප්‍රතිචාරයක්.

'පරක්කුවෙලා එන ගැහැනු ළමුන් හැර පිරිමි ළමයි ගේට්ටුවේ යකඩ ගරාදිවල අඩිය තිය තියා උඩට ගොඩ වී ඉස්කෝලෙ වත්තට පනිනවා. එතකොටම වගේ අඹගහට මුවා වෙලා ඉන්න විනේ සර්ගේ වේවැලෙන් පස්ස පැත්තට පාරක් වැදෙනවා. වේවැල් පාර කන ළමුන් එකා දෙන්නා පස්ස පැත්ත අත ගගා ම පංති කාමරයට යනවා. දවසක්දා මේ විදියට ම ගේට්ටුවෙන් පනිද්දි මගේ පස්ස පැත්තටත් වේවැල් පාර වැදුණා. දුවගෙන යාම වෙනුවට මං එතනම නැවතී පිටුපස හැරී සර් දිහා බැලුවා. විනේ සර් රවාගෙන මං දිහා බලාගෙන ඉන්නවා. මං හිනා වෙලා, ''ආයුබෝවන් සර්...'' කියලා යන්න ගියා.
-පිටුව 32


මේ සිදුවීමෙන් අනතුරුව විනය පාලක ගුරුවරයාගේ පැවැත්ම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මෙම සිද්ධිය විස්තර කිරිමට තිබෙන ඉඩකඩ අවම බැවින් බිනරගේ වචනවලින් ම එය සඳහන් කිරීම වඩාත් සුදුසුයි.

ඊළඟ සතියේ මං පරක්කු වෙලා ගිහින් ගේට්ටුවෙන් පැන්නා. ඒත් වේවැල් පාර වැදුණේ නෑ. මං හැරිලා අඹ ගහ දිහා බැලුවා. වෙනදාට අඹ ගහට මුවා වෙලා ඉන්න 'විනේ සර්' දකින්න හිටියේ නෑ. ...
-පිටුව 32


ළමයින්ට දඬුවම් කිරීමේ ක්‍රමය සහ ඒ සඳහා ළමුන් මුහුණ දෙන්නේ කෙසේ ද සහ වැරැද්ද අත්හැරීම සඳහා ළමුන් පොළඹවාගන්නේ කෙසේ ද යන්න මින් මනාව පැහැදිලි වෙනවා.

විනය සර් ඉස්කෝලෙ හිටියා. විනය කටයුතු භාරව තවත් කාලයක් වැඩ කරගෙන ගියා. ඒත් එදයින් පස්සෙ කවදාවත් පරක්කු වෙලා එන ළමයින්ට වේවැල් පාර දෙන්න මග හිටියේ නෑ.
-පිටුව 33


ගුරුවරයාගේ සහ ළමයාගේ මනෝභාවන් පිළිබිඹු කරන කදිම අවස්ථාවක් මතුකරලීම සඳහා කතුවරයා මෙය අවස්ථාවක් කොට ගන්නේ ඉතාමත් සරල ආකාරයෙන්. නමුත් මෙය සමස්ථ ගුරු පරපුරටත් ළමා පරපුරටත් ආදර්ශයක් නොවන්නේ යැයි කිසිවෙකුටත් පැවසිය හැකිද?

විටෙක දරුවන් නඟන ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම ඉතාමත් අපහසුයි. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය හැර ගොස් මහණ වන අවස්ථාව පිළිබඳ ගුරුවරිය විස්තර කරද්දී දරුවන් ගුරුවරියගෙන් අපූරු ප්‍රශ්නයක් අහනවා. සිද්ධිය විස්තර කරගෙන යන ගුරුවරිය එක් අවස්ථාවක මෙසේ ප්‍රකාශ කරනවා.

...ගංඟාවෙන් එගොඩ වෙලා ගංඟාව අයිනේ ම නතර වෙලා අස්සයගෙ පිටෙන් බැස්ස සිද්ධාර්ථ කුමාරයා එයා එතෙක් ඇඳගෙන හිටපු රාජ ඇඳුම්, රාජාභරණ ගලවලා ඡන්න ඇමතිට දුන්නා...
-පිටුව 23


මේ අවස්ථාවේ දරුවන්ගේ කුතුහලය මතුවෙනවා. දරුවන් ඉතාමත් අවධානයෙන් මේ විස්තරයට සවන් දී සිටි බවත් මින් පැහැදිළි වෙනවා. දරුවන්ගේ නොසන්සුන්තාව වටහාගත් ගුරුවරිය දරුවන් ගෙන් එය දැනගැනීම සඳහා විශාල උනන්දුවක් දක්වනවා. ප්‍රතිචාරයක් නොලැබුණ විට

...කියන්න කසුන් මොනවද රුවන් කීවේ... නොකීවොත් දෙන්න ම ප්‍රින්සිපල් සර් ගාවට යවනවා...
-පිටුව 23


ගුරුවරිය, දරුවන් තම ආධිපත්‍යයට නතු කර ගැනීමට නොහැකි වූ විට අනුගමණය කරන ඊළඟ පිළිවෙත තමය ඉහත සඳහන් වුණේ.
විදුහල්පතිවරයා අබියසට යන්න දරුවන් දක්වන්නේ දැඩි බියක්. දරුවන් තමන්ගේ සිතුවිලි ගුරුවරිය අබියස මුදා හරින්නේ එයින් මිදීමේ අදහසින්. මේ ඒ දරුවන්ගේ සිතුවිලි.

''... මිස් ... මිස්... රුවන් කියනවා සිද්ධාර්ථ කුමාරයා ඇඳුම් ගලවල ඡන්න ඇමතිට දුන්නම එයාට ඉන්න වෙනේනෙ ඇඳුම් නැතුවනේ... එහෙම වුණාම කැතයිනෙ කියල...''
-පිටුව 24


දරුවන්ගේ මෙවැනි සිතුවිලි වැඩිහිටියන්ට පහසුවෙන් මගහැරවිය නොහැකියි. ඒ සඳහා මුහුණ දිය යුතුවන්නේ දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයකින්. කතුවරයා එවන් අභියෝග ඉතා පහසුවෙන් ජය ගන්නවා.

''මෙහෙමනේ දරුවනේ, දැන් ඔයාලා ඉස්කෝලේ ඇරිලා ගියහම මේ ඇඳුම පිටින් ම ඉන්නේ නෑ. ඕව ගලවල දාල වෙන ඇඳුම් ඇඳ ගන්නවා. සිද්ධාර්ථ කුමාරයත් එහෙමයි...''
-පිටුව 24


කුඩා දරුවන්ට සුරංගනා කතා කියල ඒ අයව රවටන්න පුළුවන් වාතාවරණයක් වර්තමානයේ නැහැ. ඇතැම් අවස්ථාවන්වල දරුවන්ගේ සිතුවිලි වැඩිහිටියන්ගේ සිතුවිලි යටපත් කරන තරමට ප්‍රබල වෙනවා. එවන් අවස්ථාවල දී දරුවන්ට යථාර්ථය අවබෝධ කර දෙන්නට දෙමාපියන්ට සිදු වෙනවා. නමුත් සමහර දෙමාපියන් ''ඔයාට ඒව දැනගන්න තව කල් තියනවා. පණ්ඩිත කතා අහන්නෙ නැතුව ඉන්න.'' කියල ඒ දරුවන්ගේ සිතුවිලි යටපත් කොට දරුවන් බියපත් කරන්න උත්සාහ ගන්නවා. මේ තුළින් වෙන්නේ දරුවාගේ මානසික තත්ත්වය ව්‍යාකූල බවට පත්වීමයි. ''නෑ ඒ අම්මා නෙවෙයි'' කෘතිය කියවන දරුවන් තුළ පුහු වීරයන් පිලිබඳ සංකල්ප පහළ නොවුනත් සමාජ යථාර්ථයට මුහුණ දීමට සුදුසු නිරවුල් මනසක් ඇතිකරලීම සඳහා බලපෑමක් ඇතිවීම වළක්වන්න බැහැ. තමන්ගේ දරුවන්ට පා පහර එල්ල කරමින් වධ බන්ධනයන්ට ලක්කරන විදෙස් ලේඛක ලේඛිකාවන්ගේ කෘති මෙරට යොවුන් සාහිත්‍ය ක්ෂේත්‍රය ආක්‍රමණය කරමින් සිටින අවස්ථාවක ''නෑ ඒ අම්මා නෙවෙයි'' කෘතිය එම අඩුපාඩුව මඟ හරවා දරුවන්ට සමාජ අවබෝධයක් ලබාදීම සඳහා මහඟු පිටුවහලක් වන බව නොඅනුමානයි.

ජයසිරි අලවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails