Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රත්න ශ‍්‍රී විජේසිංහ කවියා ගේ කුළුඳුල් කාව්‍ය සංග‍්‍රහය වූ ‘බිය නොවන් අයියණ්ඩි’ කෘතියට පසුවදනක් ලියමින් ප‍්‍රවීණ ලේඛකයෙකු මෙන්ම විචාරකයෙකු වන ඩබ්ලියු.ඒ අබේසිංහ මහතා මෙසේ කීවේය.

"අපූර්ව සංකල්පනයෙන්ද, අසංකීර්ණ වූ බුද්ධි ප‍්‍රභාවෙන්ද, විප්ලවවාදී වූ දෘෂ්ටියෙන්ද, නවතම වූ ශෛලියෙන්ද,අනූපම වූ ජනතා දයාවෙන්ද, අපමණ ප‍්‍රාණයෙන් පණ ගැහෙන්නාවූ භාව පූර්ණ බසින් ලියැවී ඇති මේ කාව්‍ය හා ගීත රචනා සියල්ල-

කියා සිටින්නේ ‘බිය නොවන් අයියණ්ඩි’ යන නමින් තවත් කවි පොතක් ප‍්‍රකාශයට පත්ව ඇති බව නොව කිසිවෙකුගේ සහතිකයක්,කිසිදු විශේෂණ පදවලින් හැඳින්වීමක් අවශ්‍ය නැති කවියෙකු අපගේ සාහිත්‍ය උරුමයට,අපගේ ජාතියට බිහිවී සිටින බවය."

අබේසිංහ මහතාගේ අනාවැකිය වඩා යථාර්ථයක් බවට පත්කරමින් ගෙවී ගිය දශක තුනට වැඩි කාලය තුළ රත්න ශ‍්‍රී නාමය හෙළ සාහිත කෙතේ නොමැකෙන සටහනක් පමණක් නොව හැරවුම් ලක්ෂ්‍යයක් තබා හමාරය. ‘බිය නොවන් අයියණ්ඩි’ කෘතිය ලියා ප‍්‍රකාශයට පත් කෙරෙනුයේ 1979 වසරේදීය.

රත්න ශ‍්‍රී ගේ නවතම කෘතිය වන ‘සන්ධ්‍යා තීර්ථය’ මේ වන විට ප‍්‍රකාශයට පත් වී තිබේ.ඔහුගේ නවතම කෘතියෙන් ගෙවී ගිය දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ඔහු අපට දායාද කළ කාව්‍ය හා ගීත අස්වැන්න දෙසත්, ඔහු දෙසත් ආපසු හැරී බලන ලෙස අපට ආරාධනා කරන සෙයක් මට හැ‍ඟෙයි.

ගෙවුණු 2004 වර්ෂයේ එක් දිනක් මගේ මතකයට එයි.

බර අතකින් යමක් ලියන බර හඬකින් යමක් කියන පෙර පරම්පරාවන්ගේ මිනිසුන්ගෙන් බරින් පරිපූර්ණ ජීවිතයක් දැකීම ද එකල මගේ සිහිනයන් අතර සිහිනයක් විය.ඒ වන විට පුවත්පත් ආයතනයක කෑලි ගණනට ලියමින් සිටි මා හට චන්ද්‍රිකා ආණ්ඩුව විසින් රැකියාවෙන් දොට්ට දමා ගෙදර යැවූ රත්න ශ‍්‍රී ගැන අසන්නට ලැබිණි.කෑල්ලකින් මගේ මාසික දීමනාවට එකතුවූයේ රු. 200 ක් පමණ වුවද රු.1000 ට වැඩි වියදමක් අතින් දරමින් මා ඔහුගේ ගාල්ලේ, ලේන්බාන් වීදියේ කුඩා නිවසට ගියෙමි.රත්න ශ‍්‍රී ලියූ ගුණදාස කපුගේ ගායනා කරන අධිරාජ්‍ය විරෝධී රණකාමයෙන් ඔදවැඩුණු ‘බිම්බරක් සෙනග ගැවසුණු’ ගීතය ද, යූ.ඇන්.පී ආණ්ඩුවෙන් රාජ්‍ය සේවයේ දුෂ්කර මාරුවක් ලබා දීමෙන් පසු එකී අත්දැකීම් අළලා ලියූ ‘මගෙ බිසවුනේ අසාපන්’ ගීතය ද හිතේ හොල්මන් කරමින් සිටිය දී මම රත්න ශ‍්‍රී ගේ නිවසට ගොඩවැදීමි.එසේ වුවද මාගේ සිහිනයේ යෝධයා අඟුටු මිට්ටෙකු බවට පත්ව සිටියේය. ඔහු දැඩි කලකිරීමෙන් හා ජීවිතය එහෙන් මෙහෙන් ඇහිඳ ගන්නට වලිකන්නෙකු බවට පත්ව සිටියේය. කෙසේ හෝ මා ඔහු හා සම්මුඛ සාකච්ඡාවක් කර ලිපියක් ලිවීමි. එයින් ඔහුට සාධාරණත්වයක් ඉෂ්ට වූයේ යැයි හෝ එය ප‍්‍රමාණවත් යයි මා විශ්වාස නොකළ අතර ම ඔහුගේ හිත් වේදනාවේත්, මගේ කාංසාවේත් එක් අංශුමාත‍්‍රයක් හෝ සමනය වන්නට ඇතැයි පමණක් හඟිමි. එළියට බසින්නට මොහොතකට පෙර ඔහු මාගේ උරහිසේ අත තබා "මං මල්ලි ලියන ‘තෙල්බැම්ම පාමුල’ කොලම කියවනවා. කෑලි කීපයක් එකතු කරලත් තිබ්බා. දිගටම ලියපන්" යයි කීවේය.

ඔහු අදටත් නවකයින්ට අතදෙන්නට මැලි නොවෙයි. ඔවුන් දිරිමත් කරන්නට පසුබට නොවෙයි. නවකයෙකු කවි පොතක් ලියා ඒ පිළිබඳ කෘතියට යමක් ලියා දෙන්නැයි ඉල්ලීමක් කරනු ලැබුවහොත් එකී ඉල්ලීම කිසිසේත් පැහැර නොහරියි. ඇතම් ප‍්‍රවීණ කවි රජ-සිටු මැතිවරුන්ගේ කුහකත්වය ඔහුට නැත. ඉදින් මා ඉදිරිපිට සිටින අඟුටුමිට්ටාට යළි යෝධ පියාපත් ලැබෙයි.

‘රත්න ශ‍්‍රී ට තියෙන්නේ පාලකයන්ට නෝන්ඩි වෙන්නත් එක්ක පරණ ගුරු රස්සාවට යන එක.තමන්ට ලියන්න තියෙන දේ වඩාත් සැරට දැනෙන්ඩ ලියන එක.’ අපේ පරම්පරාවේ බොහෝ මිත‍්‍රයන් එකල දැරූ අදහස එය විය.

එසේ වුව රත්න ශ‍්‍රී යළි ගුරු වෘත්තියට නොගියේය. ටික කලක් දුෂ්කර ජීවිතයක් ගෙවා යළි කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පවත්නා ‘මහවැලි කේන්ද්‍රයේ’ පත්වීමක් ලබා කොළඹ ආවේය. ඉන් ඉක්බිතිව කොළඹ කේන්ද්‍රීය දකුණේ දේශපාලනය විසින් තීරණාත්මක කඩඉමක් පසු කළේය. රත්න ශ‍්‍රී යළි ගෙදර ගියේය.නවතම කවිපොත කරළියට ආවේය. ‘සන්ධ්‍යා තීර්ථය’ගැන යමක් ලියන්නට ප‍්‍රථමයෙන් රත්න ශ‍්‍රී ගේ ගමන් මග පිළිබඳ සැකෙවින් යමක් සටහන් කළ යුතුමය.

රත්න ශ‍්‍රී 1979 දී ලියූ ‘බිය නොවන් අයියණ්ඩි’ 1985 දී ලියූ ‘වස්සානේ’ 1988 දී ලියූ ‘සුබ උදෑසන’ 1996 දී ලියූ ‘සල්ගහ යට’ ආදී සෑම කාව්‍ය සංග‍්‍රහයකම,ගීත සංග‍්‍රහයක්ම පාහේ දෝර ගලනා මනුෂ්‍යත්වය, අන් ගැහැට කෙරෙන් උපන් සංවේදිත්වය මෙන්ම සමාජ වෙනසක් වෙනුවෙන් සිහින දකිනවුන්ට ජීවණ හුස්ම පිඹින ජීව ගුණයෙන් පිරිපුන් විය. ආදරය ගැන ලියූව ද එහි නව්‍යත්වයක් මෙන්ම අව්‍යාජත්වයක් තිබිණි.

සරසවි උප සංස්කෘතික භාෂාවෙන් සටහන් කරන්නේනම් සරසවියට අලුත් නැවක් බස්සන විට ජ්‍යෙෂ්ඨ උත්තමයින් හා උත්තමාවියන් විසින් කුණු ප්‍රෙෂාලාට තෙල බෙදීම සඳහා තාප්ප මත ලියන කවි පදවැල් වල පවා ‘කටු පඳුරු සිප ගනිමු හෙට මලක් වනු පිණිස’, ‘අනුන්ගේ කූඩු වල නවාතැන් නොඉල්ලා තමන්ගේ තැනකට යමල්ලා’ යනුවෙන් නොලියවෙන වසරක් නැති තරම්ය.

ඔහු සිය කුළුඳුල් කෘතිය තුළින් සමාජ වෙනසක් වෙනුවෙන් තමන් කෙරෙහි වන බලාපොරොත්තුවට පණපොවයි.

‘ඒත් මං කියන්නම්
අයියා අහගෙන ඉන්න
ඉතිහාසෙ අන්තිම ප‍්‍රශ්නෙට උත්තර
‘අයියණ්ඩිය බිය නොවන්න
පෙන්වන්නම් මම
මැරෙනා සැටි නොව
ජීවත්වන සැටි’

(බිය නොවන් අයියණ්ඩි-පිටු 30-31)

‘යුද සෙබල කඳවුරේ
මුර කරන
රකුසු ඇස් ඇරුණේය විල්තෙරට
දිය බොන්ට ආ ගොදුරු පෙනුණේය.
සවණක් රැසින් දිලෙන රයිෆල්ය.
භෝජන අරගන්ට කල්යල්ය.
කැලෑමල් දැදුරුකර
රුදුරු වෙඩි හඬ නැගිණි
පිට පිටම
තරුණ වඳුරෙක් පපුව බදාගෙන බිමවැටිණි.
කළු ලෝම තෙමාගෙන
ගලා ආවේය ලේ උතුරමින
විසඥව යන්නට පෙරාතුව
ගලන ලේ දෙස බලාගෙන
ඌ කියනවා යම්තමට ඇසිණි
මිය යන්නට ආසන්න වූ දුබල කට හඬින
‘කමක් නෑ අයියණ්ඩි
කමක් නෑ
වතුර ඩිංගක් ගෙනත් දෙන්න
මට බොන්න’

(වඳුරු යෝනියි-දේව ගණයි-බිය නොවන් අයියණ්ඩි-පිටු-18-19)


‘සල්ගහ යට‘ සහ ‘වස්සානේ‘ කෘති ලියැවෙන විටදී ද රත්න ශ‍්‍රී සිය නොසන්සිඳුණු බලාපොරොත්තු වලින් පොහොසත්ව සිටියේය.71 අපේ‍්‍රල් අරගලය වෙනුවෙන් රාජ්‍ය ත‍්‍රස්තවාදයෙන් බැට කා අකාලයේ මිහිදන් වු තරුණ ජීවිත පිළිබඳ ඔහු තුළ වූ කම්පනය හා වේදනාව මෙසේ සටහන් විය.

‘බෙදී විසිරී ගියත් දස අත කැදලි හැරදා සියල්ලෝ
කොහේ කොතැනක සිටීදෝ නුඹ නොදත්තෙමු අපි කුරුල්ලෝ
වැදී හී සර වැටුණු වග නුඹ කියන විට වැඩි මහල්ලෝ
මගේ පෑනෙන් ලේ ගලන්නට වුණා සොහොයුරු කුරුල්ලෝ’


රත්න ශ‍්‍රී ගේ ‘සල්ගහ යට’ කාව්‍ය සංග‍්‍රහයේ එන මෙම කාව්‍යය අවසන් වන්නේ හුදෙක් තම සංවේදනාව පත්ඉරු තුළ සටහන් කළ බලාපොරොත්තු සුන් කරගත් කවියෙකු ලෙස සලකුණු කොට නොව අව්‍යාජ සටන්කාමිත්වය ඉස්මතු කරමින් ගිළිහී ගිය බලාපොරොත්තු යළි දල්වන විප්ලවවාදී ජීවගුණයෙන් පිරිපුන් කවියෙකු ලෙසටය.

පියාපත් සිඳ තලා දැමුවද මුවින් ගී පද නොවෑහේ
මුසාලිය රන්කමින් හැදුවද එයින් සත්‍යය නොසෑදේ
මගේ ඇස තුළ නෙතු පියා නුඹ නිදන මේ රැය නිමාවේ
එදා දහසක් බුදුන් බුදුවුණු උදෑසන යළි උදාවේ

(සල්ගහ යට)


රත්න ශ‍්‍රී නම් මිනිසා තුළ ජීවත් වූ දැවැන්තයා මෙවැනි නිර්මාණ වල හිස ඔසවා සිටියි. පවත්නා සමාජ ක‍්‍රමයට අභියෝග කරමින් වෙනස් සමාජ රටාවක් වෙනුවෙන් අරගල කරන තරුණ කණ්ඩායම්වල අරගලයේ දිශානතිය හා ක‍්‍රමෙවිදයන් තීරණය කරනු ලබන්නේ හුදෙක් එකී කණ්ඩායම් විසින් පමණක්ම නොවේ. අරගලයේ අනෙකා(රාජ්‍ය*මෙන්ම අරගලය තුළම හා එහි ක‍්‍රියාකාරිත්වය විසින් පවත්නා ප‍්‍රතිවිරෝධී හේතු සාධකයන් ද ඒවායේ ස්වරූපයන්ට හේතුවෙයි.

රාජ්‍ය මර්දන උපකරණයක් ලෙස පෙනී සිටිනා හමුදාවන්ගෙන් හෝ පොලීසියෙන් එවැනි කණ්ඩායම් වලට මෙන්ම පොදුවේ ජනතාවටද සිදුවන මර්දනයට උතුර හෝ දකුණ යනුවෙන් භේදයක් නොවේ. ‘ත‍්‍රස්තවාදය පීඩිතයාගේ සුසුමකැයි’ අයිජාස් අහමඞ් වරෙක සඳහන් කළේය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ අන්තවාදී ත‍්‍රස්තවාදයට අප එරෙහිවිය යුතු වූවාසේම රාජ්‍ය ත‍්‍රස්තවාදයට ද අප එරෙහි විය යුතුවෙමු. එසේම එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය යට සැඟවුණු ද්‍රවිඩ ජනයාගේ සාධාරණ දුක් ගැනවිල්ලක්, විලාපයක් තිබුණු බව ද අප විසින් පිළිගත යුතු ය. රත්න ශ‍්‍රී ජාතික ගැටලුව සම්බන්ධයෙන් සවිඥානකව සිටි බව මාගේ පුද්ගලික හැඟීමයි.

‘ශාන්තිනී තෙමා වැටේ නළලෙ කුංකුමං
කුංකුමං තෙමා අහසේ හඬන චන්දිරන්
පාන් පැලට ගිනි ඇවිළී අන්න නැගෙන දුම්
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යං’


ශාන්තිනීලාට දෙවියන්ගේ හෝ පිහිට ආරක්ෂාවක් නැති බව 2009 මැයි මස 17 වන දින වන විට උතුරේ වැල්ල යට සැඟවුණු දහස් ගණනක් වූ ශාන්තිනීලා මෙන්ම අනාථ කඳවුරු වල අපා දුක් විඳින ලක්ෂ ගණනක් වූ ශාන්තිලාද මේ වන විට පසක් කරගෙන ඇතිවාට සැක නැත. ශාන්තිනීලා සම්බන්ධයෙන් වූ රත්න ශ‍්‍රී ගේ දයාර්දභාවය ලෝකයාට හඬගා කියූ කරුණාරත්න දිවුල්ගනේ අද මෙම ඛේදජනක ඉරණමට ශාන්තිනීලා ඇද දැමූ ආණ්ඩුවක ශාන්තිනීලාගේ අල්ලපු වැටේ ආණ්ඩුකාරවරයා ය.

රත්න ශ‍්‍රී අතින් ලියැවුණු රශ්මි සංගීතාගේ ගායනයෙන් හැඩවුණු ‘මන්නාරම් කන්‍යාරාමය’ගීතය ද යුධ විරෝධී හා මානව දයාවෙන් සපිරි අගනා නිර්මාණයකි.

‘වෙන යන්න රටක් නෑ
රට ගිනිගෙන ඉවරයි
මේ සොහොන් බිමේ
තැන තැන පස් කඳු වැඩිවෙයි
නැගිටින්න එපා නැගිට කොහේ යන්නද අපි..
ඉතිං කෝවලන්..ඉතිං කෝවලන්...

නුඹ නැතිව ගියේ මටමයි
මේ රටට නොවෙයි..
මහ පොලොවට මිස මිනිස්කමට
පෙම් නොකරන මේ රටට නෙවෙයි
නැගිටින්න එපා නැගිට කොහේ යන්නද අපි..
ඉතිං කෝවලන්..ඉතිං කෝවලන්...’


ජාතික ගැටලූව සම්බන්ධයෙන් ඔහු ගේ සංවේදනාව හා කියැවීම අප කාටත් දැනෙන ආදරණීය තැනකට ස්ථානගත කළ තවත් අවස්ථාවක් ලෙස මා දකින්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු පොලිස්පතිවරයා ද,තමිල් සෙල්වම්ගේ මරණයෙන් පසු දේශපාලන අංශ ප‍්‍රධානියා ද බවට පත් වූ එස්. නඩේසන් ගේ සිංහල ජාතික බිරිඳ වූ විනීතා ගුණසේකර වෙනුවෙන් ලියැවුණු ‘සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී’නම් ගීතයයි. කපුගේ ගේ ගැඹුරු හඬ ඊටම සරිලන භාවමය ගැඹුර පුළුල් කරයි.අරුත තීව‍්‍ර කරයි.

‘ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණු විහඟ සෙනග හඬාවි
ඒ කඳුළු සිංහලට නගන්න ඔබට හැකිය ප‍්‍රියාවී
ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී’
යයි ඔහු ලියුවේය.

එසේ වුවද එකී දේවතාවියට කඳුළු සිංහලට නගන්නට අවස්ථාවක් ලබා නොදුන්නේ දරුණු සටන් ඇවිළෙමින් පැවති 2008-2009 වසර වල රත්න ශ‍්‍රී විසින ම සිංහල ජාතිවාදී රණ කාමය දල්වා ඔසවා තැබූ රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතාවන් විසින්මය. එස්.නඩේසන් ගේ සහ විනීතා ගුණසේකරගේ කසාද සහතිකයට අත්සන් තැබූ වාසුදේව නානයක්කාර ට තමන්ගේ අතීත සටන් සගයන්ට මරණය කැඳවූ ආණ්ඩුවක අමාත්‍ය පදවියක් දරන්නට තරම් විචිකිච්ඡාවක් නොමැති වුව ද උතුරු-දකුණු භේදයකින් තොරව රාජ්‍ය ත‍්‍රස්තවාදයෙන් බැට කෑ හා පීඩිත ජනයා වෙනුවෙන් තමන්ගේ පෑන හැඬ වූ රත්න ශ‍්‍රී ට රාජ්‍ය මර්දනයේ කොටස්කරයෙකු වී පීඩක රාජ්‍යයක ආරක්ෂක හමුදාවන් වෙනුවෙන් පෑන මෙහෙයවන්නට හැකි වීම පිළිබඳ අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකු කම්පා වූ බව මම දනිමි. ලක්ෂයකට අධික මිනිසුන් මරා දමා තවත් ලක්ෂ ගණනාවකට උන්හිටි තැන් අහිමි කළ, පරම්පරා ගණනාවකට මානසික කම්පනයන් හා ආතතියන් හා මානසික රෝගාබාධ සහිත කොන්ද කඩා දැමූ අංග විකල අනාගත දරු පරපුරක් දායාද කළ ම්ලේච්ඡ යුද්ධයකට දකුණේ ජන සමාජය තුළ වාමාංශික-දක්ෂිණාංශික,බෞද්ධ-අන්‍යාගමික,ලොකු-කුඩා, ගැහැණු-පිරිමි, උගත්-නූගත්, දුප්පත්-පොහොසත්, නාගරික-ගැමි ආදී කිසිදු භේදයක් නොසලකා එකඟතාවයක් හා උත්තේජනයක් ලබා ගැනීමට ජනමාධ්‍ය,සාහිත්‍යය,සිනමාව,ගීතය ආදී බොහෝ ක්ෂේත‍්‍රවලින් බොහෝ දෙනෙක් දායක වූහ.ඒ මොහොතේ ජාතිවාදී, ආගම්වාදී,යුධ වාදී දකුණේ රාජ්‍ය දෘෂ්ටිවාදය පෝෂණය කළ රත්න ශ‍්‍රී ගේ අහිංසක නොවුණු පෑන යළි ඔහු අපගේ සිහින තුළ අඟුටු මිට්ටෙකු බවට රූපාන්තරණය කරන ලදී..

‘රට රකින ජීවිත රකින
අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර දිරිය ලැබගෙන
මව්බිමට මගෙ වාසනා
විපුල දිරියෙන් විදුල දිරියෙන්
දිනේවා මුර දේවතා
ආයු රක්ඛන්තු ආවඩා’


යුද්ධයට මානුෂීය විය නොහැකිය.එය කුමන රටක කුමන කොටස්කරයින් දායක වුවද ම්ලේච්ඡමය. ලෝක ප‍්‍රසිද්ධ අවුට්රිච් වධකාගාරය ගැන දැන ලත් කම්පනයෙන් තියඩෝර් ඇඩර්නෝ ‘අවුට්රිච් වලට පසු කවි ලිවීම ම්ලෙච්ඡයයි’ යයි සඳහන් කළේය. එය දැන හෝ නොදැන තවත් ම්ලේච්ඡ යුද්ධයකට ඊට අවැසිම මොහොතක සහය පළ කළ අපගේ කවියා කවි පොතක් ලියා ප‍්‍රකාශයට පත්කරයි.

රත්න ශ‍්‍රී විජේසිංහ කවියා විසින් රචිත ‘සන්ධ්‍යා තීර්ථය’ ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙස දැන් වෙළෙඳ පොළට නිකුත් වී තිබේ.

බොහෝ ගැහැට ද, නින්දා- අපහාසද, කීර්ති - ප‍්‍රශංසා සේම විටෙක නිවරදි මාවත නිවැරදි සේ දුටුව ද, තවත් විටෙක වැරදි මාවත නිවැරදි ලෙස දුටුව ද,තවත් විටෙක නිවැරැද්ද වැරැද්ද කුමක්දැයි තෝරා බේරා ගත නොහැකිව වල්මත් වුව ද,තවත් විටෙක තමන් ගත් මග කුමක් වුවද තමන්ගේ තීරණය වෙනුවෙන් නොපැකලී පෙනී සිටින ලද අනේක විධ අත්දැකීම් තොගයක් කරපින්නාගෙන ජවයෙන් පැමිණි ගමනක ජීවිතයේ විඩා බර සැන්දෑව ගෙවා දමන මිනිසෙකුගේ අව්‍යාජ වූ සිතිවිලි රත්න ශ‍්‍රී ගේ ‘සන්ධ්‍යා තීර්ථය’තුළින් විද්‍යමාන වේ. ඔහු මානව දයාවාදී වන තරමට ඔහුට ළෙංගතුවන පිරිස් ඔහු අමානුෂික බලවේගයකට නතුව ඊට සහය දක්වන විට ඔහු කෙරෙහි පිළිකුලෙන් ඉවත බලාගත්තා වුව ද ජීවිතය යනු හුදෙක් සුදු හෝ කළු නොව අළු පාට යමක් බව ඔහු අපට පසක් කරවන්නට උත්සාහ දරයි.

‘හැරී ආපසු බලමි මම පැමිණි පිය හසර
මැකී යයි අතීතයෙ සුදෝසුදු පෙණ වැළඳ
කොහේ හෝ නන්නාදුනන බිමක දුර කතර
ඔබත් ඇති මා වගෙම සිහින සිතුවිලි අතර’

(සන්ධ්‍යා තීර්ථය-පිටු-09-10)


ප‍්‍රංශයේ ‘චාල්ස් ඩිගොල්’ ගුවන්තොටුපළේ 56 වන පර්යන්තයේ ආපන ශාලාවේ මුල්ලක තනි මේසයට වාඩි වී සිටින කවියා දකින ගේ කුරුල්ලාට කියන්නට ඇත්තේ ද එකම කතාවකි.

‘කාත් කවුරුවත් නැතිව
නන්නාදුනන රටක
කොහේ යනවාද අපි
මේ පාරේ
හැම තැනම පාරවල්
සංසාරේ’

(සන්ධ්‍යා තීර්ථය -පිටුව-20)


පීඩිතයාගේ තැන ස්ථානගතව සිටි රත්න ශ‍්‍රී, පීඩකයාගේ කරට අත දමා ගත් පසු බොහෝ හිතමිතුරු කවීහු සිය ආත්මීය ගත වේදනාව සති අන්ත පුවත්පත් වල කවි පිටු අතර දිගේලි කළහ.ඉඩ ලද විටෙක ඉඳ හිට හෝ ඊට පිළිතුරු කවියක් ලියන්නට රත්න ශ‍්‍රී ද අමතක නොකළේය. එවන් කවියක් දෙකක් ද සන්ධ්‍යා තීර්ථයට අන්තර්ගතව ඇත.
‘මිතුර එබැවිනි’ කවිය එයින් එකකි.

'නුඹ''නුඹ'ලෙසින්
සුරැක ගනු පිණිසමය මේ
රිදෙන පපුවෙන් කවි ලියන්නේ'

(මිතුරෙකුගේ කවියකින්)


රත්න ශ‍්‍රී ඊට පිළිතුරු ගොනු කරයි.

‘නොතේරෙන බොහෝ දේ
සිද්ධ වෙන
අප‍්‍රිය අමනාප
හෙට දවස් මගහැර
රුධිර පීඩනය අඩු හදවතක් සොයාගෙන
මං ආවේ
පුතුන්ගේ ලෙඩට
තිත්ත වූ බෙහෙත් කන
ගොළු ගැහී දත් හපන
පියවරුන් යන පාරේ

පරමල් වලට කෙළ ගසා
දැහැටි දඬු පාගා
පරිභව කළා වූ
අකෘතඥයින්ගෙන් පිරුණු
අපායට යන පාරේ

ජ්‍යාමිතිය ප‍්‍රගුණ කොට
අමාරුම ගණන් හැදුවා වාගේ
කියා දිය යුතු මිතුර
සරල රේඛාවක්ද
සංසාරේ..?


හැම තැනම පාරවල් ඇති, සරල රේඛාවක් නොවුණු සංසාරය ආදී මෙකී නොකී කතා කියමින් රත්න ශ‍්‍රී තවදුරටත් උත්සාහ දරමින් සිටින්නේ තමා රජ, සිටු, මැති ඇමතිවරුන්ට වන්ද භට්ටකම් කරන්නට යෑම කෙතරම් උපේක්ෂා සහගතව අප බාරගත යුතු ද යන්නයි.අනෙක් අතට රජ ගෙදර පිළිකන්න මත හිඳින රත්න ශ‍්‍රී ට ‘පාර මතකදැ’යි අසන හිතමිතුරු කවියාට සන්ධ්‍යා තීර්ථය තුළින් පිළිතුරු ගොනු කරන කවියා තමන්ටත් සිද්ධවුණේ අන්දරේට වූ වින්නැහියම නොවේදැයි අපට කල්පනා කරන්නට දොරටු විවර කරයි.

‘හිසින් දැරූ බැරි බර රජු මැති ගාව
බිමින් තබා පැදුරේ කවි ලෙව කෑව
අතින් රජ ගෙදර කැත කුණු අතගෑව
ලියන්න යන කවි නැත රජුනට දාව’

දුකට කියූ කවි රජ ගෙදරට විකුට
කවට අන්දරේ දුක් වින්දෙ ද සැපට
බතට කන්න බැරි පිළිවෙත්මය අපට
දරට සුදුසු ඒවා රජ ගෙට ළිපට’


අපගේ ප‍්‍රතිපත්ති මත යැපෙන විට එදා වේල හරි හම්බ කර ගැනීමේ ඇති අසීරුව ‘බතට කන්න බැරි පිළිවෙත්මය අපට’යයි කියන විට ‘සාහිත්‍යය කන්නදැ’යි ඇසූ ජේ.ආර් ගෙන් ඔහු වෙනස් වන තැන සොයා ගැනීම සැබවින් ම අසීරුය. ජේ.ආර් මෙන්ම රත්න ශ‍්‍රී ද ඇත්තටම නිවැරදි නම් අප මේ මොහොතේ ද බෙහෙවින්ම වැරදිය. එහෙත් කවියා තුළ තමා කෙරේම නැගෙන ප‍්‍රතිවිරෝධය ද මෙම කවියම බැව් ඉවසීමෙන් යුතුව මෙම කවිය කියවන විට නොවැටහෙනවා ද නොවේ.

‘ගලින් සැදුණු මහ වාසල් ඇති බැවිනී
ගලින්ම ලොව තැනුණේ නැත සකි සඳුනී
හෙමින් අන්දරේ හිනැහෙන හැටි පෙනුනී
ඇහින් වැටෙන දුක මුළු ලොවටම නොපෙනී

සාර සියක් මල් අත තිබුණත් රුවැතී
බාර වෙන්ට එක දෙවියෙකුවත් නොමැතී
පාර මතක ඇති-වංගුව මතක ඇතී
වීර ගහ යටයි පණ යන්නට කැමතී

(රජ ගෙදර කවි-සන්ධ්‍යා තීර්ථය-පිටු-70-71)


රත්න ශ‍්‍රී ගේ පරමාදර්ශය අන්දරේ වන විටත්, ඔහු අන්දරේ මෙන් වීර ගසක් යට තමන්ගේ අවසානය සිදුවනු දැකීමට කැමැත්තෙන් පසුවන බව කීව ද අන්දරේ තමන්ට අත් වූ ඉරණම ගැන සෑහීමට පත් වූ බවක් නොපෙනේ. අන්දරේ කියූ බව කියන අවසාන කවිය සිහිපත් කරනු වටියි.

‘රිදී කළේ රන් කොතලේ බීපු මට
නිකන් කළේ පැන් නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති මෙමට
කෙසේ පසුවෙම්ද පලු වීර ගස් යට’


මෙම කවිය අවසන් වරට කියමින් එතෙක් රජ වාසලේ වන්ද භට්ටකම් කළ අන්දරේ වීර ගසක් යට දිය පොදක් වත් නැතිව මිය ගිය වග ජනප‍්‍රවාදයේ සඳහන් වේ. ‘අපගේ කවියාට එවන් අවාසනාවන්ත ඉරණමක් අත්නොවේවා’ යි යන්න අපගේ ප‍්‍රාර්ථනයයි. කෙසේ වෙතත් සන්ධ්‍යා තීර්ථයේ එන ‘රජ ගෙදර කවි’නම් කවිය කියවන විට දයාසේන ගුණසිංහයන් විසින් 1974 දී ලියා පළ කළ ‘රන් තැටියක කඳුළු’ කාව්‍ය සංග‍්‍රහයේ එන ‘පුනරාගමනය’ද සිහිපත් වීම අහම්බයක් විය නොහැකිය.

‘පැලේ පිළේ ඉපදුණු මට රජ වාසල හුරු කොයින් ද
රජුන් ඇමතියන් නලවන මිහිරි මුසා බස් කොයින් ද’
යන්නෙන් කවිය අරඹන කවියා රජුන්ට, රජ මෙහෙසියන්ට, සිටුවරුන්ට, මැති ඇමතිවරුන්ට සුවසේ තලු මරමින් කාලය කා දමන්නට තමන්ගේ කවි සිතුවිලි දායාද කළ මුත් එකී කැප නැති අඩවියෙන් මිදී හිස් දෑතින්ම තමන් යළි පිළිසරණක් නැති තමන්ගේ ම මිනිසුන්ට එකතුවීමට පැමිණි බව පුනරාගමනය කවියේ කථකයා කියා සිටියි. දයාසේන ගුණසිංහට තිබුණු දිරිය රත්න ශ‍්‍රී ට ඇති බවක් නොපෙනේ.‘සන්ධ්‍යා තීර්ථයේ’ එන ඇතැම් කාව්‍ය නිර්මාණයන් කාව්‍යෝක්තිමය වශයෙන් අබල දුබල තැන් පෙන්වන අවස්ථාවන් ද නැතුවා නොවේ. එවැනි එක් අවස්ථාවක් ලෙස කැපී පෙනෙන නිර්මාණය නම් ‘පිනි බිඳුව’නමින් නම් කර ඇති පද්‍ය නිර්මාණයයි.

‘සොර බොර වැවේ ඉවුරත
යන්තමට වක ගිය
කෙකටියා මලක කොපුලත
මිදුණ පිනි බිංදුව’


මහියංගණය විහාරයේ නෙළුම්මල් විකුණා තමන්ගේ වියදම් පිරිමසා ගත් දිළිඳු දැරියක මල් නෙලන්නට සොර බොර වැවට ගොස් සිටියදී දියේ ගිලී මරණයට පත්වීමේ ඛේදවාචකය කවියා මෙම කවියට විෂය කර ගනියි.

එසේ වුව කවිය දිගටම කියවාගෙන යන විට අලංකාරික කිහිපයකින් හැඩ කළ ගද්‍ය ආඛ්‍යානයක් මිස කාව්‍ය නිර්මාණයක් ලෙස අප සිත් බැඳ ගැනීමකට හෝ අප තුළ භාවමය හැඟීමක් හෝ පහන් සංවේගයක් ඇති කිරීමට මෙම නිර්මාණය සමත් නොවෙයි. එසේ වුව මෙම අත්දැකීම ම පාදක කොට ගෙන රත්න ශ‍්‍රී ගේ පෑන් තුඩින්ම ලියැවුණු ගීතය සැබිවින්ම මීට වඩා නිර්මාණාත්මකය.

‘සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ..’
යයි ඇසෙන විට කෙනෙකුගේ ඇසට කඳුළක් ඉනුවේ නම් එය පුදුමයට කරුණක් නොවේ.එය එතරම්ම අප සිත් සසල කරවයි.එය ගීතයක් බැවින් හඬ ද,සංගීතයද ඒසා මහඟු නිර්මාණයක් බිහිකිරීමට මහත් දායකත්වයක් සැපයූ බවට කෙනෙකුට තර්ක කළ හැකිය. එහිද යම් සත්‍යතාවක් ගැබ්ව ඇති මුත් එකී ගීත රචනය හුදු ලියවිල්ලක් ලෙස පමණක් ගෙන කියවූවද ‘සන්ධ්‍යා තීර්ථයේ’ එන කවියට වඩා පොහොසත්ය.

මෙසේ ලියූ පමණින් ‘සන්ධ්‍යා තීර්ථය’තුළ නිර්මාණාත්මක බවින් හා මුහුකුරා ගිය අත්දැකීම් වලින් පොහොසත්වූ ද,කවියාගේ ප‍්‍රතිභාපූර්ණ කවිත්වය යළි යළිත් විදාරණය කරන්නා වූ ද කාව්‍යමය සලකුණු සිහිපත් නොකළහොත් එය කුහකත්වයට ආවැඩීමකි. කෘතියේ එන‘බිලි පූජාව’කාව්‍යය සැබවින්ම විශිෂ්ට නිර්මාණයකි.දරුවන් ජීවත් කරවීමට තරම් වත්කමක් නැති ඉහ වහා ගිය දරිද්‍රතාවයෙන් බැට කෑ මවක විසින් තමන්ගේ දරුවා කළුතර බෝධිය අසලින් කළු ගඟට වීසි කළ පුවත පසුගිය දිනෙක සෑම මාධ්‍යයක් මගින්ම පාහේ වාර්තා කර තිබිණි. ඒ ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් බොහෝ කවීන් බොහෝ කාව්‍ය නිර්මාණ රචනා කර තිබෙනු පුවත්පත් වල කවි පිටු අතර,වෙබ් හා බ්ලොග් අඩවි වල ද කියවන්නට දකින්නට ලැබිණි. බොහෝ දෙනා එය සාමාජයීය ඛේදවාචකයක් ලෙස ගෙන මව කෙරෙහි වූ හුදු දයානුකම්පාව කවියට නගන ලද අයුරු දක්නට ලැබිණි. ඒ අතර තවත් කවියෙකු සිරගෙට නියම වූ අම්මාට, ජීවත්වන අයියාට සමාජ අසාධාරණය වෙනුවෙන් විප්ලවයට ආරාධනා කරමින් කවි ලියනු දකින්නට ලැබිණි.

‘මල්ලී ගඟේ ගිය පසුව ජීවත්වන අයියාට’යන හිසින් චන්දන සිරිමල්වත්ත ලියූ කවිය ඒ බොහෝ කවි අතර තවත් එක කවියකි.

‘කළුතර බෝධිය ගාව
කාසි විසි කරන විට
අතගසන්නට එපා නුඹ
රවා බලනවා මිනිස්සු..
පව් කාරයින් අපි...
කඳුළු පෙරනවා හෙම නොවේ
රවා බලාපන් උඹ වෛරයෙන්..
................
................
පවුකාරයන්ට ගහන්න
ගල් එකතු කරන ලෝකය
මකාදාපන් උඹ..
ලොකු මහත් වූ දවසක..’

(අකුරු ඔබ දෙස බලා හිඳී-පිටු. 109-110)


කාව්‍යාත්මක බව හීන වූ මෙවැනි හුදු වාර්තාවන්, සටන් පාඨ, ගම්බද හෑලි ඇරුණු කොට මෙම සිදුවීම ම පාදක කරගත් කාව්‍යෝක්තීන්ගෙන් ද, රසාලිප්ත බවින් ද අනූන වූ සිදුවීම කෙරෙහි වූ හුදු කම්පනය පමණක් නොව එකී සමස්ත සිදුවීම ම අලුත් කවි ඇසකින් දුටු අවස්ථාවක් වේ නම්,විශිෂ්ට කාව්‍ය නිර්මාණයක් වේ නම් ඒ රත්න ශ‍්‍රී ගේ ‘බිලි පූජාව’නමින් හැඳින්වෙන නිර්මාණයයි.

‘අචිරවතී ගංගාවක් වී
කළු ගඟ නතර නොවී ගලනා
කැමරා ඇස් ඔරවාගෙන
පාලම උඩ
ගොදුරු සොයන උකුසු රෑන උන්නා’


මේ අයුරින් රත්න ශ‍්‍රී වෙනත් කිසිවෙකුත් ස්පර්ශ නොකරන තැනකින් නිර්මාණයට මුලපුරයි.දරුවා ගඟේ ගසා ගෙන යද්දී පාලම උඩ කැමරා ඇස් ඔරවාගෙන සිටියේ ද තවත් ගොදුරු සොයන පිරිසකි. යම් සිදුවීමක්, ඛේදවාචකයක් සිදුවූ වහාම එය වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ යුතුකමකි;වගකීමකි. එසේ වුවද හුදෙක් වාර්තා කිරීමෙන් එය සිදුවූ සමස්ත සමාජ පසුබිම ආවරණය නොකෙරේ. සිදුවන අපරාධ බොහෝ විට මුහුදේ පාවෙන අයිස් කන්දක් වැනිය. මතු පිටට පෙනෙන්නේ ඉතා සුළු කොටසක් පමණි.ඇතැම් විද්‍යුත් මාධ්‍යයන් මෙම සිදුවීම තමන්ට උදා වූ අනගි අවස්ථාවක් සේ සලකා බොරදියේ මාළු බානු දකින්නට ලැබිණි. මොවුන් විසින් වේදනාත්මක හා සංවේදීතාවය, කඳුළ තලූ මර මරා පැකට් කොට කොටස් වශයෙන් දවස් ගණනාවක් විකුණන ලදී. සිදුවීමේ ඛේදවාචකයට අමතරව කවියා ස්පර්ශ කරනුයේ මෙම ඛේදවාචකයයි. දරුවා ගඟට වීසි කළ මවගේ ඇසේ දිලිසෙන කඳුළට කැමරාව ඇල්ලූ මෙකී ශ‍්‍රද්ධාවන්ත මාධ්‍යවේදීන් කිසිවෙකුත් යුද්ධයෙන් මියැදුණු, අතුරුදහන් කෙරුණු දහස් ගණන් පුතුන් වෙනුවෙන් හඬා වැළපුණු අම්මාවරුන් කිසිවෙකුත් හසුනොවිණි. ඒ වෙනුවට ම්ලේච්ඡ යුද්ධයක් සෞන්දර්යයකරණය කරමින් අත්පත් කරගන්නා බිම් අඟලෙන් අඟලට,විනාශ කර දමන ජීවිතයෙන් ජීවිතයට, ලකුණෙන් ලකුණට අත්පුඩි තලන ක‍්‍රිකට් මැච් එකක් බවට පත් කරන ලදි.ඇතම්විට අපගේ කවියා ද එසේ අත්පොලොසන් දුන්නු තවත් එක් අයෙකු වන්නට ද බැරි නැත.

කෙසේ වුවද කවියාගේ මෙම කාව්‍ය නිර්මාණය අපගේ සිත් ඇදබැඳ ගනියි.
‘වැලේ ගෙඩි වැලට බර නෑ’යන්න අදත් ගම්බද ව්‍යවහාර වන කියමනකි. එහි අර්ථය ‘වැදූ මවට දරුවන් වැඩි නෑ’යන්නය.එසේත් නැතිනම් අම්මාවරුන් කිසිවිටෙකත් තමන්ගේ දරුවන් තමන්ට බරක් සේ කිසි විටෙකත් නොසලකන බවයි.

‘සුරු විරු පැණසර
දරුවන් වැඩූ සිරිලක් අම්මා
වැලට බරවෙලා
තව එක දරුවෙකු
ගංගාවට දැම්මා’


එහෙත් දරුවා වැලට බර වූ මේ දරුවා ගඟට දමන්නේ තවත් එක් අම්මා කෙනෙකු නොව සිරි ලක් අම්මා ම ය.දරුවා අහිමි වන්නේ මවට නොව රටට ය.බොහෝ කවියන් සටන් පාඨ තෝරද්දී රත්න ශ‍්‍රී අපූර්වත්වයෙන් හා යථාර්ථවාදී දැක්මකින් යුතුව එක් වාක්‍යයකින් දෙකකින් මෙම සිදුවීම හුදෙක් පුද්ගලික සිදුවීමක් නොව සාමාජයීය ඛේදවාචකයක් බව පසක් කරවයි.විශිෂ්ට කවියෙකුගේ අතිවිශිෂ්ට ප‍්‍රතිභාව මෙයින් ගම්‍ය වේ.

‘කැඳ උගුරක්
බත් වේලක්
ඇඳුමක්
උන්ට නොදුන්
සුදු ඇදගත්
සජ්ජන පිරිවර
ඈට ගහන්නට
ඉස්තරම්ම ගල්
අසුලා
අසුලා දුන්නා’

ගංගාවේ දිය රැළි උකුලේ
දිය බෙරලිය මල් තුරුලේ
කිසිදා නොසි‍ඳෙන
කඳුළු බිඳක් සෑ රදුන්ට පෙනුණා’


සැබවින්ම මෙම කවිය ඉවසීමෙන් යුතුව කියවන කිසිවෙකුට වුව අකල් නිද්‍රාවට පත් වූ කවියෙකුගේ අළු ගසා දමා යළි නැගිටීමක් සංකේතවත් කරන බව නොකියා සිටිය නොහැකිවනු ඇත.

සන්ධ්‍යා තීර්ථයට සැපත් වූ සොඳුරු කවියාණෙනි, රාත‍්‍රිය තව බොහෝ දිගුය.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails