Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ ලිපිය ලියැවෙන මොහොත වන විට, රාජ්‍ය නාට්‍ය උළෙල සහ යෞවන සම්මාන නාට්‍ය උළෙලේ සම්මාන ප‍්‍රදානය අවසන්ව සැලකිය යුතු කාලයක් ගෙවී ඇත. මෙම නාට්‍ය උළෙල දෙක තුළ කෙටි නාට්‍ය අංශය වැදගත් වන එක් මානයක් වනුයේ, එය නව පරපුරේ තරුණ නාට්‍ය කරුවන් ලාංකීය සමාජ දේශපාලන තේමාවන් උකහා ගැනීම පිළිබඳ කැඩපතක් සේ දිස්වීමයි. ඒ පිළිබඳව සලකා බලද්දී උළෙලවල් දෙක තුළ ම ප‍්‍රදර්ශණය වූ කෙටි නාට්‍ය රටේ දේශපාලන හෙජමොනිය පිළිබඳව සංවේදී වී ඇති බවක් දිස්විණ. නමුදු අවාසනාවකට-

බොහෝ තරුණ නාට්‍ය කරුවන් එකී දේශපාලනය හා බැඳුන තේමාවන් භාවිතා කොට තිබුණේ නාට්‍යයෙහි ‘පෙළ’ට පමණක් සීමාවන සේ යැයි මේ ලියුම්කරු තුළ නිරීක්‍ෂණයක් වේ. එසේ සෘජු දෙබස් තුළින් පමණක් පවතින සංස්ථාපිතයට ප‍්‍රහාර එල්ල කිරීම ප‍්‍රාමාණික නොවන්නේ, එය ගොඩනැගිය යුතු වන්නේ ‘රංගය’ තුළින් ගෙනෙන සිදුවීම හා ඓන්ද්‍රීයව බද්ධ කොට බැවිනි. ප‍්‍රකාශනවාදී ස්වරූපය නිර්මාණශීලී ලෙස ජය ගත් එවන් නාට්‍ය සමස්ත උළෙල තුළම වූයේ එක දෙකකි. අනාදිමත් කාලයක සිට අප දැක පුරුදු, පීඩිතයා කැරලිකාරී ලෙස හෙජමොනියට අභියෝග කරනා විට, එය තලා පාගා දමන මිලිටරි යාන්ත‍්‍රණය පැරණි කෙටි කතා ඡායාවක් පාවිච්චි කොට වේදිකාවට ගෙන ඒම සහ ධනේෂ්වර යථාව හුදු විරෝධයකින් ඔබ්බට විනිවිදීමට අපොහොසත් වීම සුලබ ලෙස දක්නට ලැබෙද්දී, රංගාකෘතිය හා අන්තර් පඨිතය අතින් බෙහෙවින්ම නව්‍ය වූ කෙටි නාට්‍යය චාලක රණසූරිය නිර්මාණය කළ "බොක්ස්" ය.

“බොක්ස්" යනු සිනමා ශාලාවක් තුළ චිත‍්‍රපටයක් නැරඹීම සඳහා විශේෂයෙන්ම සකස් කළ ආසන දෙකක් හෝ තනි යුගලාසනයක් සහිතව තනන කුඩා කුටි විශේෂයයි. මෙය දියුණු කලාවන් සහිත යුරෝපීය සමාජාවකාශයක් තුළ නම් අතිශය පෞද්ගලික නැරඹීම් කුටියක් විය හැකි වුව ද ලාංකීය අර්ථයෙන් වෙනස් තැනෙක ස්ථාන ගත වන්නකි. අගනුවර හෝ වෙනත් නගර තුළ පොදුවේ මෙය සිරුරේ ශෘංගාර කලාප පිළිබඳ කුහුල් සිතැති අහිංසක පෙම්වතුන්ගේ සිට ගණිකාවකගේ පහස විඳීමට ලොල් ඕනෑම වයස් ප‍්‍රමාණයක පුද්ගලයෙකු පෙම්වතියක හෝ ලිංගික ශ‍්‍රමික ගැහැණියක හා වසංවන තැනෙකි. චාලකගේ නාට්‍ය පුරාම ඇත්තේ මේ අවකාශයට ගණිකාවක කැඳවාගෙන යනු ලබන රජයේ සේවකයෙකු මුහුණදෙන සිදුවීමකි. ඒ මොහොතේ ශාලාවේ තිරගත වන්නේ “පරසතු මල්" චිත‍්‍රපටයයි. නාට්‍යයේ අපූර්වත්වය වන්නේ චිත‍්‍රපටයේ හඬ පටය හා නාට්‍ය පාත‍්‍රයාගේ රංගය සම්මිශ‍්‍රණය කිරීම වන අතර, එය මෝස්තරකාරී කලවම්කිරීමකින් ඔබ්බට විහිදී යන්නේ නාට්‍ය හා බද්ධවීම මතිනි. මෙහිදී ගණිකාව කුඩා කල තම පියා හා මෙම චිත‍්‍රපටය නැරඹූ මතකය ඔස්සේ බොනී මහත්තයා ගේ චරිතයට අනන්‍ය වෙයි. ඒ අතර ඇය රැ‍ඟෙන ආ මැදි වයසේ කාර්යාල සේවකයා උත්සුක වන්නේ තමාගේ කායික අවශ්‍යතාවය දෘඪ ලෙස ඉටුකර ගැනීමටය. නාට්‍යය ගලා යන්නේ ගැහැණිය චිත‍්‍රපටය හා අනන්‍යවීම ඊට බාධාවක් බවට දිගින් දිගටම පත්වෙද්දි හටගන්නා ගැටුම ඔස්සේ යි. තමාට ජීවිතයේ දී භෞතිකව හමුනොවන බොනී මහත්තයා නැමැති චරිතය ගැහැණියගේ ෆැන්ටසි වස්තුව වන විට, ඈ අභියස සැබෑ ලෙස හිඳින ගනුදෙනුකාර පිරිමි ශරීරය ඇයට බාධාකාරී වේ. ඇගේ ෆැන්ටසිය ඔහුට බාධාකාරී වේ. සුළු මොහොතක, සුළු අවකාශයක හට ගැනෙන මේ ද්වන්ධ ගැටුම තුළ නිරූපනය වන්නේ අතිශයින් දේශපාලනික සිදුවීමක සිරස්කඩකි. නගර ශෝභිනිය අතීතයේ දැරියක ලෙස පරසතුමල් නැරඹීමට කැඳවාගෙන විත් ඇත්තේ පියාය. එය බෙහෙවින් සංකේතාත්මක, සංකීර්ණ අරුත් දනවන මතක සිහිගැන්වීමකි. පියා විසින් හඳුන්වා දෙන ලෝකයෙහි ද අවසන අත්විඳින්නට ලැබෙන ලෝකයෙහි ද පරස්පරය හෙවත් "ෆැන්ටසිමය පිරිමියා" සහ "මුණගැසෙන ඇත්ත පිරිමියා" අතර වෙනස, ඇගේ ජීවිතයට හැරවුම් ලක්ෂයක් වී ඇත්තේ සිතූ පැතූ අයුරින් නොවේ. මෙය පුරුෂ බල කේන්ද්‍රීය දෘෂ්ටිවාදයෙන් හුස්ම ගන්නා සමාජයක, "ආශාවේ වස්තුව" වන ගැහැණිය සතු ඉරණමයි.

පරසතු මල් හි "බොනී මහත්තයා" යනු පාරම්පරික දේපළක් හිමි, අප‍්‍රමාණ නුරාවකින් දැවෙන රදළ සල්ලාලයෙකි. නමුදු ඔහුලේ සළෙල බව තුළ කිසියම් ආචාරධාර්මික බවක් ඇත. තම වලව් ගෘහය ආශි‍්‍රත ගැමි අවකාශයේ ඇහැට කනට පෙනෙන සිත් ගත් සියලු ස්තී‍්‍රන් දැපනයේ දමා ගන්නා හෙතෙම සංගීතයට හා සිතුවමට ලොල් කලාකාමියෙකු ද වෙයි. අනෙක් අතට ඔහු ගැහැණුන් ග‍්‍රහණය කර ගනුයේ බලහත්කාරීත්වයෙන් ම ද නොව පොළොඹවා ගැනීම ද මතිනි. එසේම ඔහුගේ වසඟයට නතු වීම ට ගමේ තරුණියන් තුළ ද අවිඥ්ඥානික ආශාවක් ඇතුවා මෙනි. නමුදු බොනී ගේ වඩාත්ම සිත් ගත් ගැහැණිය ඔහුව මායිම් නොකරයි. අවසන ඔහු මධුවිතටම ලොල්ව පරාජිත පේ‍්‍රම විප්පයෝගයක ගිලේ. කෙසේ වුව ඔහු කය පහසට ගත් තරුණියන්ට සිය දේපළින් භෞතික සංග‍්‍රහයක් ද කළේය. මෙය ඉඩකඩමින් කැරෙන තිළිණයක් විය හැකි මුත් එම මානුෂික අර්ථ දැක්වීමේ දෘෂ්‍යමානීය මොහොත පසු කළ හොත් වැඩවසම් සමාජ ස්ථරයක ලිංගික ශ‍්‍රම සූරාකෑමක් මත උපන් වරදකාරීබවින් ගැලවීමේ මගක් ලෙසද කියවිය හැකිය. චිත‍්‍රපටය දෙස බලා සිටිනා කය විකුණන පහළ පාන්තික ගැහැණියට බොනී මහත්තයා ෆැන්ටසියක් වන්නේ එම දෘෂ්‍යමාන මානුෂීය අරුත තුළ නොතිත්ව ගිළෙන බැවිණි. "බොනී මහත්තයගෙ ඇස් වල කඳුළු.... බොනී මහත්තය කියන්නෙ අඬන මිනිහෙක් නෙවෙයි. අඬන්නෙ ආදරේ හින්දා... එයා මං ළඟ හිටියනං ඇස් දෙකෙන් එක කඳුලු බිංදුවක් බිමට වැටෙන්ඩ මං ඉඩ දෙන්නෙ නෑ..." මෙවැන්නක් නාට්‍යයේ නගර ශෝභිනියගේ මුවට නැගෙන්නේ, පරසතු මල් කතා කරුවා සිය අවසාන විග‍්‍රයේ දී බොනීව තබන, සිතෙහි නැගි පරමාදරයක් වෙනුවෙන් උමතුවූ ආස්ථානයේ බලවත්කම මතය.

සිහින පෙම්වතා තිරයේ දකිනු හැකි ශාලාවට තමා කැඳවාගෙන ආ මිනිසා කෙරෙහි ඈ ගනුදෙනුකාර කමකට වඩා බැඳෙනුයේ තුති පූර්වක හැඟීමකිනි. ඇය ගණුදෙනුකාර පිරිමියා විසින් කුලී කාමරයකට රැ‍ගෙන නොගොස් සිනමා ශාලාවට රැගෙන විත් ඇත්තේ ඇගේ ගාස්තුව ලෙස රුපියල් හාර සියයක් වෙන් කළ පසු කාමර කුලිය ගෙවීමට මුදල් නැති නිසාය. එබැවින් ඔහු හැකි ඉක්මණින් තම කාර්යය කරගත යුතුය. ඒ සඳහා වහාම ඇය චිත‍්‍රපටයෙන් ගලවා ගත යුතුය. “පිළිවෙතින් පෙළගැසෙමු" යැයි ඉහළින් එන විකාර සහගත අණට ඉලක්ක වූ සමාජය කෙතරම් ආතතිගත දැයි යන්න මේ උත්සාහය තුළ ගොඩනැගෙන සංවාදය ඔස්සේ මතුවේ. ගනුදෙනුකාර පිරිමියා වුවද ජීවිතය විඳීම නොව විඳවීම ඉරණම වූ අවාසනාවන්තයෙකි. සැබැවින්ම ඔහුට ජීවිතයක් නැත. ජීවත් විය යුතු වන්නේ එදිනෙදා බිල්පත් ගෙවීම සඳහා ශ‍්‍රමය වැගිරවීමට ය. අවසන නිවසට යන මිනිස් රොඞ්ඩට බිරිඳගෙන් ලැබෙනුයේ සුවදායක කය පහසක් නොව උදේ සිට සවස්වන තුරු දරුවන් කරපින්නාගෙන නැගුණු වෙහෙසින් පීඩිත පරොසය. ගැහැණිය එක දිගට දරුවන් වැදීමේ උපකරණයක් බවට පත්කරන්නේ ද පිරිමියා ම විසිනි. මේ ලාංකේය සමාජ නියැදියක ඇත්ත කතාවය. එහෙත් එය බොරු යැයි කියන්නේ මතට, දුරාචාරයට තිත තබා සුබ අනාගතයක් පතා මයාවක ගිලී හිඳින්නේ අපම ය. අප තුළ ඇති නරක ගැන කතා නොකරන අපි නොමසුරුව අනෙකාගේ වනචරකමට තර්ජනය කරන්නෙමු. තම අවශ්‍යතාවය සපුරා ගන්නට දඟළන අතරතුරේ යාබද කුටියේ සිදුවන ලිංගික හැසිරීමට මේ පිරිමියා දොස්නගමින්, "යකෝ අපි ආවෙ වැදගත් විදියට චිත‍්‍රපටියක් බලන්ඩ. තොපි අවලං වැඩ කරනවා" යැයි සිදුරකින් බලමින් බැන වදින්නේ සමස්ත සමාජයේ ම සිල්වතේ නිරුවත ප‍්‍රකාශ කරමිනි.

"පරවුණු මල් වල සුවඳ අතීතේ- පරසතු මල් ළඟ විසිර ගියාවේ" ගීතය තිරයේ දිගහැරෙන අතර තුර එය නාට්‍යය හා සමාන්තර වන්නේ අපූරු ලෙසය. ගීතයට ඇලූම් කරන ගැහැණිය එය අවසන්වීමට මත්තෙන් පිරිමියාගේ බෑගයේ තිබු කඩදාසියක් ඇද ඔහුගේ පෑන ඉල්ලා සටහන් කර ගැනීමට උත්සාහ දරන්නීය. මෙය නාට්‍යය තුළ ප‍්‍රබල සංකේතීය ප‍්‍රකාශනයකි. ඇයට සම්පූර්ණයෙන් ගීතය ලියා ගැනීමට නොලැබේ. ඇය ලියූ කොටස දෙස බලයි. පිරිමියාට තරු විසිවේ. “මොකද්ද යකෝ මේ කළේ. මේක මගෙ පොඩි එකාගෙ උප්පැන්න සහතිකේ." මෙසේ ප‍්‍රහසන අවස්ථා එකින් එක පසුවෙයි. ඇය අවසන ඔහුගේ ඉල්ලීමට ඉඩ දී අසුනෙහි ඇලවේ. ඔහු කලිසම බුරුල්කොට ඇගේ සිරුර මත නැග ගනී. සැබැවින්ම ඇය ඔහුට ඉඩ සලසන ආකාරය තුළ පේ‍්‍රක්ෂකයාට ඇතිවන්නේ නිරායාස අනුකම්පාවකි. එහෙත් ඔහු තම අවශ්‍යතාවය සපුරා ගන්නට සැරසෙන විටදී ම චිත‍්‍රපටය නිමාවී ශාලාවේ විදුලි බුබුළු දැල්වේ. එසේ තියුණු හාස්‍ය රසයෙන් අනුන මතුපිට සිදුවීම් යට ඇත්තේ කුමක් ද? ශෝකාන්තයකි. අනෙක් අතට සමකාලීන ජීවිතයයි. කෙසේ වුව මේ ලියවිල්ල අසම්පූර්ණ කියවීමකි. ඒ, පිරමිඩාකාර සාගර අයිස් කන්දක මෙන්, දෘශ්‍යමානයෙන් ඔබ්බෙහි බොක්ස් හි යටි තලය විශාල බැවිනි.

විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails