
දුවලා දුවලා
පපුව උගුරෙන් එළියට පනින
මහන්සියකින්
අප්රාණික ශරිරය
විඩාබරව ඇද වැටුණේ
ආයෙමත් නැගිට්ටවන්න
හිතාගෙන නම් නෙවෙයි
ඉස්සර වගේ
එහෙම නැගිට්ටවන්න ඕනෑකමක්
තිබුණ අයත්
අද ළඟපාතක නැහැ
හැමෝම
තරගයට වැදිලා
හරි හරියට
තමන් ගැනවත් නොසිතා
හුස්මක් කටක්වත් නිදහසේ නොගෙන
දුවනවා
දුවනවා
සුසන්තිකාටත් වඩා වේගෙන්
දුවන අතරේ
හන්දි ගානේ ඉදෙන
කිරි බතේ රහ බලන්නත්
පොළිමේ හිට ගන්නවා
හැම පෝයකටම
පන්සල් යන ඔයා
දෙමල්ලු තොග ගණන් මැරුණම
කිරිබත් කෑවේ කොහොමද කියලා
හිත හිතා
කිරි බත් කන එක නැවැත්තුවා මං
ආඩම්බරයක් නෙවෙයි
ඔයාට තිබුණේ
කිසිම දවසක ආයේ
කිරි බතක් කන්න බැරිවෙයි කියන
පශ්චාත්තාපය
සිරි ලක දේ
සිරි සැප දේ
විදේශයක ඉදන්
ජාතික අභිමානය
ඊ මේල් මගින් මට උගන්වන
ඔයාට වෙලාවක්
කොහොම තිබුණද මංදා
මං ගැනවත් හොයන්නේ නැති
මැරෙන උන් ගැනවත්
උස්සන් යන උන් ගැනවත්
වද නොවී ඉන්න
කියලා කියලම
ඔයාට එපා වෙලා
ඔයා කිව්වේ
ඉස්සර වගේ
දැං ඔයා මට ආදරේ නැහැ කියලා
උන් ගැන හිතන එක අත් ඇරියම
මට මාව මග හැරැණා
මට එදා ඉදන් හතිය
අප්රණික ශරිර කූඩුව
ඔහේ වැටෙන් ඇරලා
මම හිටියේ
ආයෙමත් නැගිටින්න ඕනේකමක්
මේ සිස්ටම් එක තුළ නැති හින්දා
එත්
මං තාම මැරිලා නැහැ
අරවින්ද පෙරේරා



