Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ ය." {18(1) ව්‍යවස්ථාව}

"දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේ ය." {18(2) ව්‍යවස්ථාව}

"සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය." (19 ව්‍යවස්ථාව)

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හෝ-

පළාත් සභාවක මන්ත්‍රීවරයකුට හෝ පළාත් පාලන ආයතනයක සභිකයකුට පිළිවෙලින් පාර්ලිමේන්තුවේ හෝ ඒ පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතනයේ හෝ ජාතික භාෂා දෙකෙන් කවර භාෂාවකින් වුවද තමාගේ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමට හිමිකම ඇත්තේ ය." (20 ව්‍යවස්ථාව)

"සියලුම නීති සහ අනු නීති පැනවීම නැතහොත් සෑදීම ද එකී සියලුම නීති සහ අනු නීති පළ කිරීම ද ඉංග්‍රීසි භාෂාවෙන් වූ පරිවර්තනයක් ද ඇතිව සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම විය යුත්තේ ය." {23 (1) ව්‍යවස්ථාව}

ඉහත උපුටා ගැනීම්වල දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ භාෂා භාවිතය පිළිබඳව ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන විධිවිධානයි. එහෙත් මෙම විධිවිධාන කොතෙක් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ ද යන්න අදත් බරපතළ ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නය මා සිතේ පැන නැඟුණේ පසුගියදා පාර්ලිමේන්තු විවාදයක් නැරඹීමට මා පාර්ලිමේන්තුවට ගිය අවස්ථාවේදීය. ඒ 2011 අප්‍රියෙල් මස 5 වැනි අඟහරුවාදාය. එදින පාර්ලිමේන්තුවේ දී පනත් කෙටුම්පත් දෙකක් විවාදයට ගැනිණ. එයින් එකක් වූයේ "පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)" පනත් කෙටුම්පතයි. අනෙක වූයේ "පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන)" පනත් කෙටුම්පතයි. මේ පනත් කෙටුම්පත් දෙකම මීට පෙර, එනම් 2011 ජනවාරි මස 04 වැනිදා පළමු වරට පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන තිබිණි. අප්‍රියෙල් මස 5 වැනිදා පැවතියේ එහි දෙවැනි වර කියවීමයි.

එදින පාර්ලිමේන්තු විවාදය පටන් ගන්නා අවස්ථාව වන විටත් අදාළ පනත් කෙටුම්පත් වල සිංහල සහ දෙමළ භාෂා පිටපත් ලබා දී නොතිබිණි. සියලු මන්ත්‍රීන්ට ලබා දී තිබුණේ ඒවායේ ඉංග්‍රීසි බසින් මුද්‍රිත පිටපත් පමණි. මේ ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රශ්න කර සිටියේය. එහි දී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ එම පනත් කෙටුම්පත් වල සිංහල සහ දෙමළ පිටපත් කඩිනමින් ලබා දෙන බවත් විවාදය පවත්වාගෙන යෑමට එය බාධාවක් කර ගත යුතු නැති බවත්ය. අමාත්‍යවරයා ප්‍රකාශ කළ ආකාරයටම ඒ වායේ සිංහල සහ දෙමළ පිටපත් විවාදය යන අතරතුර ලබා දුන් ආකාරය අපට දැක ගැනීමට හැකි විය.

මෙය පාර්ලිමේන්තුවේ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන සංසිද්ධියක් වුව ද, මෙම සිදු වීමෙන් ප්‍රශ්න දෙකක් පැන නැෙඟයි. පළමු ප්‍රශ්නය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23(1) ව්‍යවස්ථාවේ දක්වා තිබෙන විධිවිධාන හරිහැටි ක්‍රියාත්මක වෙනවා ද යන්නයි. සියලුම නීති සහ අනු නීති සෑදීම ද, එම නීති සහ අනු නීති පළ කිරීම ද ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් සහිතව සිංහල සහ දෙමළ භාෂාවෙන් සිදු කළ යුතු බව එහි දක්වා තිබුණ ද, එදින සිදු වූ ආකාරයෙන් හැඟී යන්නේ එම නීති සහ අනු නීති ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කොට පසුව ඒවායේ සිංහල සහ දෙමළ භාෂා පරිවර්තනයන් ලබා දුන් බවයි. මෙහි දී මතු වන දෙවැනි ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තු විවාදයක් පටන් ගෙන එය යන අතරතුර අදාළ පනත් කෙටුම්පත් වල පිටපත් මන්ත්‍රීන් වෙත ලබාදීමෙන් එම විවාදය කොතරම් දුරට සාර්ථක වේවි ද යන්නයි. ඔවුන්ට එය කියවා බලා තේරුම් ගැනීමට හෝ අවස්ථාවක්, කාලයක් තිබේ ද යන්න මෙහි දී කල්පනා කළ යුතුව ඇත.

පාර්ලිමේන්තු විවාදයක් පවත්වාගෙන යෑමට භාෂාව ඇතැම් විට ප්‍රශ්නයක් නොවිය හැකිය. මන්ද, පාර්ලිමේන්තුව ඇතුළත අදාළ භාෂා පරිවර්තන එම අවස්ථාවේදීම සිදු කෙරෙන බැවිනි. මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තමන් කැමැති ඕනෑම භාෂාවකින් කතා කළ හැකි අතර අවශ්‍ය වෙතොත් භාෂා පරිවර්තන ද ලබා ගත හැකි ය. එහෙත් පනත් කෙටුම්පතක් වැනි දීර්ඝ එමෙන් ම සංකිර්ණ ලියවිල්ලක් කියවා බලා තේරුම් ගැනීමේ දී නම් පාර්ලිමේන්තුව තුළම ද භාෂාව ප්‍රශ්නයක් විය හැකිය. මන්ද, පාර්ලිමේන්තු මැති- ඇමැතිවරු සියලු දෙනා ඉංග්‍රීසියෙන්ම වැඩ කරන පිරිසක් නොවන බැවිනි.

කෙසේ නමුත් එදින විවාදයේ දී අප අත්දුටු සංසිද්ධියෙන් පැහැදිලිවන ඉතා කණගාටුදායක කාරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන විධිවිධාන රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව ඇතුළතවත් හරිහැටි ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවයි. පෙර සඳහන් කළ ආකාරයට මෙය පාර්ලිමේන්තුවට එතරම් ප්‍රශ්නයක් නොවුණත් ඉන් පිටත, පොදු සමාජයට නම් බරපතළ ප්‍රශ්නයකි. මේ රට භාෂාව නිසා ඉතා සංකීර්ණ අර්බුද රැසකට මුහුණ දුන් රටක් බව අප මෙහි දී යළි යළි ත් සිහිපත් කළ යුතු නොවේ.

සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල තොරතුරු භාෂා තුනෙන්ම පවත්වාගෙන යන ලෙස ජාතික භාෂා හා සමාජ එකාබද්ධතා අමාත්‍යාංශය මඟින් ඉල්ලීමක් කරනු පසුගියදා මාධ්‍ය මඟින් අපි දුටුවෙමු. භාෂා තුනෙන්ම නොහැකි නම් අවම වශයෙන් සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන් පමණක් හෝ තොරතුරු පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා එහි දී අදාළ ආයතනවලින් ඉල්ලා සිටියේය. ජාතික සමඟිය සහ සහජීවනය ගොඩනැංවීමෙහිලා ද්විභාෂා භාවිතයේ ඇති වැදගත් කම අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබිණි. එහෙත් රටේ නීති සකස් කරන ආයතනය වන පාර්ලිමේන්තුව ඇතු ළතවත් එම නීති හරිහැටි ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ සමස්ත රටේ ද්විභාෂා භාවිතයක් ගැන කතා කිරීම කොතරම් ප්‍රායෝගික ද යන්න මෙහි දී නැවත නැවතත් සිතා බැලිය යුතු ප්‍රශ්නයයි.

[2011-04-08]

සංජීව මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails