Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පුංචි කාලේ බාලාංශ පංතිවලදී "භය" නිර්වචනය කරගන්නේ ශරීර ශක්තියට අනුව. ඒ කියන්නේ ඇඟපතින් වැඩි එකා හැමදාම පංතියේ චණ්ඩියා. එක්කෙනෙකුට දෙන්නෙකුට බිම වැටෙන්න ගසා තමන්ගේ ශක්තිය පෙන්වූ පසු ඒ හාදයා පංතියේ චණ්ඩියා වෙනව විතරක් නෙවෙයි පංතියේ අනිත් හැමෝම එයාට "භය" අය බවට පත්වෙනවා. පසුකාලීනව "භය" ගැන නිර්වචනයට වෙන දේවල් හේතුවෙනවා. එතැනින් පස්සේ චණ්ඩියෙක් වෙන්න ඇඟ විතරක් ප්‍රමාණවත් නැහැ.

මුල්‍යමය හැකියාව හා ක්‍රය ශක්තිය, මිතුරු පිරිසේ සංඛ්‍යාත්මක ප්‍රමාණය, දෙමාපියන්ගේ හයි ශක්තිය, දේශපාලන සම්බන්ධකම්, පාතාල සම්බන්ධකම්, තමන් සන්තක ආයුධ වල ස්වරූපය, සංවිධානාත්මකබව වගේ කාරණා අනෙකාව "භය" කරගැනීම සඳහා යොදාගන්නා මිනුම් දඬු බවට පත්වෙනවා.

කරදඬු උස්මහත් වෙලා යම් ආකාරයක ශිෂ්ඨ සමාජයකට යන්නට තරම් අධ්‍යාපනය, ආර්ථිකය ගොඩනැ‍‍‍‍ඟෙනවා නම් පොදුවේ පිළිගත්තු ප්‍රජාතන්ත්‍රවාදී ආචාරධර්ම ස්ථාපිත සමාජයක් වෙතට පියමං කරන්න පුළුවන් වුණත් ගෝත්‍රික මනෝභාවයන් පරිණාමයේ දී අත්හැර ගැනීමට නොහැකිවුණු අසංස්කෘතික මානවයින් සමාජයේ සිටින සිවිල් මනුස්සයින් "භය" කරගැනීමට මාන බලන බව අපි හැමෝම දන්නවා. මුළු ‍ලෝකයම එක්තරා ආකාරයක ශිෂ්ඨාචාරගතවීමක් ගැන දෙඩෙවුවත් කැලෑ නීතිය රට රටවල්, ජාතීන් අතර පමණක් නොව ජාත්‍යන්තර බල දේශපාලනය තුළත් ලැජ්ජා නැති විදිහට දකින්න පුළුවන්.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට සිය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතාව කොහොම වුණත් ජාත්‍යන්තර සම්බන්ධකම් වලදී ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කරන ගැඹුරට විහිදුණු භීතිකා ගණනාවක් තියෙනවා. ඒ අතරින් වඩාත්ම ප්‍රබල "ඉන්දියානු භීතිකාව" යැයි කිවහොත් හරි.

දැන් ලංකාව ඉන්දියාවට බයය. ඒත් ඉස්සර එහෙම නැහැ. එහෙම නැත්තං රාවණා විසින් සීතාව පැහැරගෙන එන්නේ නැහැ. අතීතයේ වැඩ කොහොම වුණත් දැන් නම් ලංකාවට ඉන්දියාව ගැන ඇත්තේ චූ යන්න තරම් ප්‍රබල භීතියක් බවයි පේන්න තියෙන්නේ.

එක අතකින් ලංකාව ඉන්දියාවට බිය වීම ගැන පුදුමකුත් නෑ. මොකද කියනව නම් අර කතාවක් තියෙන්නේ ඉන්දියාවේ ඉන්න සේරම මිනිස්සු ලංකාව පැත්තට ඇති මුහුදු වෙරළට ඇවිල්ලා චූ කළොත් මුහුද ගොඩගලලා ලංකාව මුහුදේ ගිලෙයි කියලා. එහෙම ශක්තියක් ඇති රටකට බිය වීම එක අතකට ලැජ්ජාවට කාරණාවකුත් නෙවෙයි.

තමන්ට හයිය ඇති විට අනෙකාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන නොහිතන අය තමන්ට වඩා බලවත් තැන් වලට බය පක්ෂපාතී වීම (උස් තැන් දැක හැකිලීම හා මිටි තැන් දැක පිප්පීම) යටපත් කළ නොහැකි වූ ජාතික ලක්ෂණයක්. එහෙම සිද්ධ වෙන ජාත්‍යන්තර ගණුදෙණු වලදී නම් සිදුවන්නේ සිංහලෙන් වීරකම් පෑම හා ඉංග්‍රීසියෙන් දෙකට නැමීමයි. ඒත් චන්ඩිකම් සීරියස් ගෙන ඉන්දියාවට පොඩි පූස් පාට් එකක් දැමීමට පහුගිය දවස්වල ලංකාවේ ක්‍රිකට් ආයතනය විසින් උත්සාහ කළා. මේ දවස් වල ජාත්‍යන්තර ගණුදෙනු වලදී ඇති නරක ග්‍රහචාරයේ බලපෑම නිසාම වන්නට බලාපොරොත්තු වූ පරිදිම ඉන්දියාව ඉදිරිපිට දණගැසූ ලංකාවේ ක්‍රිකට් ඇමති නැට්ට පස්සපැත්තේ ගහගෙන නිතරඟ පරාජයක් භාරගත්තා.

ක්‍රිකට් නම් ක්‍රීඩාව රේස් ඔට්ටු දුවන අශ්වයින්ට ආදේශ කළ ඉන්දීය අයිපීඑල් තරඟාවලියේ ගුණාත්මකභාවය ගැන කතා කිරීම වෙනමම කළයුතු දෙයක්. විකිණීමේ සදාචාරාත්මකබව පිළිබඳ මෙලෝ හසරක් දන්නැති ක්‍රීඩකයින් සල්ලි වලට කෙළහලාගෙන සිටින ආකාරය පසුගිය කාලය පුරාවටම අප නිරීක්ෂණය කළා. ශ්‍රී ලාංකික ක්‍රිකට් කාලසටහන හා පරස්පරව අයිපීඑල් කාලසටහන පිහිටවුණු මුල්ම අවස්ථාව මෙය නොවේ. 2008 දී සල්ලි මල්ලට ලොබ බැඳි ක්‍රීඩකයින්ගේ සහයෝගයට ක්‍රීඩා ඇමතිවරයා පැමිණි අතර හතුරා වූයේ එවකට පාලක මණ්ඩල සභාපති අර්ජුන රණතුංග.

ක්‍රිකට් කන්‍යාභාවය බිඳගෙන කාලයකට පසුව අයිපීඑල් වලට කොක්ක දැමීමට ලංකාවේ ක්‍රිකට් පාලකයින් ක්‍රියා කරන්නේ එහි අළුත් තේරීම් කමිටුව පත්වීමත් සමඟයි. සැබැවින්ම ලංකාවේ ක්‍රිකට් ගොඩනැංවීමේ අදහසක් එහි කොනක වත් ගැවී නොතිබුණත් නවක තේරීම් කමිටු සභාපති දුලිප් මෙන්ඩිස් දේශප්‍රේ‍මයෙන් යුතුව කීවේ අයිපීඑල් ගහන ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් අප්‍රේල් 5 වන දින සිට පුහුණුවීම් සඳහා සහභාගී විය යුතු බවයි. මෙකී බලපෑම් පිටුපස තිබූ ආසන්නතම හේතුව වශයෙන් ගත හැක්කේ ලෝක කුසලාන අවසන් තරඟාවලිය තුළදී ජනාධිපති මහින්ද රාජපක්ෂට හා ඔහුගේ පිරිසට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් සිදුකළ අකටයුතුකම්. ප්‍රමාණවත් ටිකට්පත් ප්‍රමාණයක් ලබානොදීමත්, ටිකට් ගැනීමේදී දුෂ්කරතාවයට පත්කිරීමත්, අවසන් තරඟය තුළ ලංකා ජනාධිපතිට ප්‍රමාණවත් පිළිගැනීමක් ලබානොදීමත් මේ අතර වෙනවා කියලයි කියන්නේ.

කොහොම වුණත් ජාත්‍යන්තරය සම්බන්ධයෙන් ලංකාවේ ගණුදෙනු සිද්ධ වෙන්නේ ලංකාවේ දේශපාලඥයින් විසින් එදිනෙදා භාවිතා කරන ග්‍රාමීය ස්වරූපයෙන් කියන එක ගැන ඕන තරං සාක්ෂි තියෙනවා. රාජතාන්ත්‍රික බව ගැන අංශුමාත්‍රයක විනයක් නැති පිරිස් වල ක්‍රියාකාරීත්වයේ අසාර්ථක බව අපි ඕනතරං අත්දැකලා තියෙනවා. නාවලපිටියට විරුද්ධ පක්ෂයකට තියා තමන්ගේම පක්ෂේ එකෙකුටවත්එන්න නොදුන්න ලංකාවේ ක්‍රීඩා ඇමති විසින් තමන්ගේ ඉෂ්ඨ දේවතාවාට සිදුකරපු නොපනත්කම් වලට උත්තර දුන්නේ ඉන්දියාවට දැනෙන පාට් එකක් දාන අදහසකින් වගෙයි පෙනුනෙ. අයිපීඑල් සිට යළි කැඳවීමේ නිවේදනය ඇතුළේ ඒ තරහ සැඟව තියෙන බව හොඳටම පැහැදිලියි. ආවේගයෙන් අන්ධ වුණු මහින්දානන්ද අලුත්ගමගේට හතුරගේ තරම පෙනුනේ නෑ. ක්‍රිකට් ක්‍රීඩකයින්ට දාපු සත්තම මාධ්‍යයටත් නිකුත් කරා. සමහරු තුෂ්නිම්භූතව ඉන්දියාවට රිද්දීම දිහා බලං හිටියත් රා කලයක් බීපු මීයගේ හැසිරීම ගැන දන්න අර්ජුන රණතුංග මාධ්‍ය සාකච්ඡාවකදි ලංකාවේ දේශපාලන තීරණ ගැන හොඳ අනාවැකියක් පළකරා.

එස් මහින්ද හිමියන්ගේ වචන වලට අනුවම නිවටුන් යැයි කියන උස් තැන් දැක හැකිලෙන සහ මිටි තැන් දැක පුප්පන පිරිසට විළිලැජ්ජාවක් නැහැ. රට ඉදිරිපිට, ලෝකය ඉදිරිපිට පොරටොක් දී, යම් යම් අසාර්ථකත්වයන්ට මුහුණ පෑම නිසාම තම තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වීම් ගැන උදාහරණ ඕනෑතරං ජාත්‍යන්තව තිබුණත්, ලංකාවේ නිවටයින් විසින් එසේ සිදුකළ එකම අවස්ථාවක් වත් හොයාගන්න බෑ. මේ වගේ නෝන්ඩි වීමක් ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයාට තමන්ගේ නිරින්දා වෙනුවෙන් දරාගන්න එක එච්චර අපහසු නැතිව ඇති.

ප්‍රතිපත්තියක් හැටියට ලංකාව තුළ ඉන්දියාව පිළිබඳව ඇති බය ගැන ක්‍රියාකාරීත්ව දේශපාලනයේ යෙදෙන හැමෝම දැන සිටිය යුතු දෙයක්. පන්දං අල්ලන, මුට්ටි අල්ලන කට්ටිය වගේම එන්න ඉන්න කට්ටියටත් මේක හොඳ පාඩමක්. ඔය කොඩි පිච්චිලි, මාරාන්තික උපවාස, තානාපති කාර්යාල වටකරන පුරුදු තියෙන කට්ටිය මේවගේ නෝන්ඩි වැඩ කරලා නිකං කිච වෙන්නේ මොකටද? ඒ කොහොම වුණත් එස්. මහින්ද හිමිගේ කවියෙන් ගන්න පුළුවන් ආදර්ශය ලංකාවේ දේශපාලනයට හොඳටම ගැලපෙනවා. ඔය මොන මොන ප්‍රශ්නේ ආවත් ‍මුහුණ දෙන්න පුළුවන් "කෝකටත් තෛලෙ" එතන තියෙනවා.

ගෝරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails