Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රාවන් චිත්‍රපටයේ දී රාම සීතා පුරාවෘත්තය තුළට සමකාලීන ඉන්දියානු සමාජය පිළිබඳ තම අලුත් වෘත්තාන්තය ගොනු කරන මනිරත්නම් බොලිවුඩයේ ධනෝපායන සිනමා තාරකා පමණක් නොව සමාජ යුක්තිය පිළිබඳ උණුසුම් දේශපාලන කතිකාව ද සිනමා කර්මාන්තය තුළ ආයෝජනය කරයි. තේමාවේ සහ කතිකාවේ බැරෑරුම් භාවය නිසා ද නළු නිළි දෙපළේ කැරිස්මාව නිසා ද මේ සියල්ලටම-

වඩා මනිරත්නම් ගේ කෘතහස්ත සිනමා භාවිතය නිසා ද රාවන් චිත්‍රපටිය බොලිවුඩ් සිනමාවට මහා සිනමාවක වෙස් මුහුණක් ලබා දෙයි. එය වාණිජ සිනමාවට මහා සිනමාවේ මතුපිට හැඩරුව තුළ සැඟවීමක් මේ අනුව මහා සිනමාව හා කලාත්මක සිනමාව පිළිබඳ චින්තනය ද බොලිවුඩ් කර්මාන්තය තුළම ආයෝජනය වෙයි.

එබැවින් මනිරත්නම්ගේ රාවන් චිත්‍රපටිය ආයෝජන තල කිහිපයකින් සමන්විත වී තිබෙන සංකීර්ණ ආයෝජනමය වියමනකි. මේ බහු වියමන මෙන්ම උපාය මාර්ගික කලාත්මක භාවය හා උපකරණීය කලාත්මකභාවය ද මනෝ විශ්ලේෂණීය කියවීමක් මඟින් පොදු ජන ප්‍රේක්ෂක මනසට ආකර්ෂණය කරවයි. එය ලෝක ව්‍යාප්ත විනෝද කර්මාන්තයේ ප්‍රධාන ආයෝජන කලාපයක් ලෙස සැලකෙන බොලිවුඩය මගින් ප්‍රේක්ෂකයා වෙත වීසි කරනු ලබන සිනමාත්මක තොණ්ඩුවකි.

බීරා නම් වූ වනගත මැර නායකයා විසින් ප්‍රතාප් ෂර්මා නමැති පොලිස් අධිකාරිවරයාගේ රූමත් බිරිඳ වන රාගිනී පැහැර ගෙන යයි. එය පුරාවෘත්තය තුළ රාවණා විසින් රාමාගේ සීතා පැහැර ගෙන යාමේ සමකාලීන වෘත්තාන්තයයි. බීරා වනගත ගැමි වීරයෙකි. ඉන්දියානු රොබින් හුඩ් චරිතයකි.

රාගිනී පැහැරගෙන යාමට හේතුව වන්නේ බීරාගේ සොහොයුරියට පොලීසිය මඟින් සිදු කරන ලද අසාධාරණයකි. ඇගේ විවාහ උත්සවය අවස්ථාවේ දී කඩා පනින ප්‍රතාප් ෂර්මා පිස්තෝලයකින් බීරාට වෙඩි තබා තුවාල කරයි. බීරා පලා යන නමුත් ඔහුගේ සොහොයුරිය පොලිස් අත්අඩංගුවට පත් වී දූෂණයට ලක් වෙයි. ඇය ළිඳකට පැන දිවි නසා ගනියි.


පළිගැනීමක් ලෙස රාගිනී පැහැර ගෙන යන නමුත් බීරා ඇයට අතවරයක් නොකරයි. ඒ වෙනුවට නීතියේ සාධාරණකම සහ නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ සාධාරණ කම ප්‍රශ්න කරයි. පසුව අන්‍යොන්‍ය එකඟත්වයක් මත රාගිනී නිදහස් වී පොලිස් අධිකාරී ප්‍රතාප් ෂර්මා වෙත පැමිණෙයි. එනමුත් ඔහු ඇගේ පතිවෘත්තාව පිළිබඳ ප්‍රශ්නයක් මතු කරමින් උපායශීලී ලෙස ඇය බීරාගේ වන ගහන වෙත ආපසු හරවා යවයි. ඇය සහ බීරා වාදාභිමුඛ වන අවස්ථාවේ දී ඇගේ විරුද්ධත්වය නොතකා ඔහු බීරාට වෙඩි තබා මරා දමයි. බිරිඳ පිළිබඳ සැකය, ඇගේ හෘද සාක්ෂිය නොසලකා හැරීම සහ නීතියේ හෙජමොනිය චිත්‍රපටියේ භෂ්මාවශේෂ ලෙස ඉතුරු වේ. ඒ භෂ්මාවශේෂ රැගෙන ප්‍රේක්ෂකයන් එකිනෙකා තම තමන්ගේ කුඩා අධ්‍යාත්මික බිම්කඩවල් තුළ හෘද සාක්ෂියේ සොහොන් කොත් ගොඩනඟා ගත යුතුය. මේ රාවන් චිත්‍රපටියේ කලාත්මක සදාචාරයයි.

මේ චිත්‍රපටිය නරඹන ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගන්නා කාන්දම පවතින්නේ රාගිනී තුළ බීරා කෙරෙහි ඇති රහසිගත ආලයෙහි විනා අනෙකක නොවේ. එය අප්‍රකාශිත ආලයකි. පළ කළ නොහැකි ආලයකි. මුළු මහත් චිත්‍රපටිය උත්සාහ කරන්නේ ප්‍රකාශ කළ නොහැකි ඒ දුරවබෝධ ආලය ප්‍රකාශ කරන්නටය. සැලොලයිඩ් පටිය කැමරාවේ ධාවනය කෙරුණේත්, පසුව සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටරය තුළ ධාවනය කෙරෙන්නේත් ඒ වෙනුවෙනි. එබැවින් එය කලාත්මක සිනමාත්මක සහ සැලොලයිඩ් යථාර්ථයකි.

'කෝට්ලි ලව්' හෙවත් පරමාදර්ශී කුලීන ආලය ගැන සාකච්ඡා කරන ලැකාන් පවසන්නේ ඒ දෘඪමය ආලය ලෙස මතුවන්නේ ලිංගික සබඳතා නොමැති වීම ආවරණය කර ගන්නා වහන්තරාවක් බවයි. මවා ගත් ආදර බාධා සහ තහංචි ලෙස පවතින්නේ නොපවතින සම්බන්ධතාවක් බවයි.

රාවන් චිත්‍රපටිය තුළ නිරූපිත ආලය ද එවැන්නකි. එමඟින් සලකුණු කෙරෙන්නේ රාගිනී සහ බීරා අතර පමණක් නොව රාගිනී සහ ඇගේ නිල සැමි ප්‍රතාප් ෂර්මා අතර ද නොපවතින ආලයකි. සමහර විට එය අභිෂේක් සහ රායි අතර ද නොපවතින ආලයක් විය හැකිය. එය පරමාදර්ශී රාවන් ආලයකි.



මේ ආලය බොහෝ මිල අධික ආලයකි. ඒ ආලය නිපදවන්නට විශාල ධනස්කන්ධයක් වැය කළ යුතු විය. ප්‍රේක්ෂකයෝ තම ටිකට් මුදල් ගෙවා එය නඩත්තු කළ යුතුය. ාගිනී සහ බීරා අතර හෝ රාගිනී සහ ප්‍රතාප් අතර හෝ නොපවතින ආලය තමාගේ බව ප්‍රේක්ෂකයා විශ්වාසය කරන අතර ඔහු එහි ශයනය කරයි. මේ අතෘප්තකර ආලය ප්‍රේක්ෂකයා පිනවයි. ඒ සුරතාන්තමය පිනා යාම සම්බන්ධ වන්නේ අතෘප්තිකර පාරිභෝගිකයා ලෙස කඩ සාප්පු ගානේ යමින්, සුපර් මාර්කට් දෙස බලමින්, රූපවාහිනියට වහ වැටෙමින් ඔහු සැබෑ ලෝකය තුළ ගත කරන කාලකණ්ණි ජීවිතය සමගය. එබැවින් ඔහුගේ සිනමාත්මක නැරඹීම කලාත්මක ක්‍රියාවක් නොව මෙගා පාරිභෝජන ක්‍රියාවකි.

යුක්තිය පිළිබඳ කතිකාවද ඒ සන්දර්භයෙන්ම මතු වී එයි. මනිරත්නම් අයිති වන්නේ මානුෂ්‍යවාදී සහ ගරුත්වයක් සහිත වාණිජ සිනමාවකටය. අද එය රියැලිටි ෂෝ, සෝප් ඔපෙරා ආදිය සහිත ප්‍රචාරකවාදී නිර්ලජ්ජිත හරසුන් කර්මාන්තයක් බවට පෙරළී ඇත. මේ නිසා මනිරත්නම්ට තම කලාව තුළම යුක්තිය පිළිබඳ තේමාව ගොඩනඟන්නට සිදු වී ඇත.

[රාවය| චැප්ලින් කොලම| 2010.11]

එරික් ඉලයප්ආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails